V2025

පුවත්

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ  මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මංගල මද්දුමගේ පැහැරගෙන ගිය බවට චෝදනා කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටදී මෙම පැහැරගැනීම සිදුකළ බවයි.

එසේම මංගල මද්දුමගේ මහනුවර ගෝඨා ගෝ ගම ආරම්භයේදීත් ගෝල් ෆේස් ජන අරගලයේදීත් ප්‍රමුඛපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කළ බව පුබුදු ජයගොඩ පැවසිය.

මේ අතර පොලිසිය පවසන්නේ, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මංගල මද්දුමගේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි.

අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ජෝසප් ස්ටාලින්ට ඇප

අධිකරණ නියෝග කඩකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ  අද (08)නියෝග කළේය.

ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩා ඇති කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය සැකකාර ජෝසප් ස්ටාලින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූනි.

ඒ අනුව අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් (03) දාය.

අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කරමින් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කොටුව පොලිසිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉන්ධන කෝටාව : ත්‍රීරෝද රථ හිමියන්ට සුබ ආරංචිය

ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව QR කේතය ඔස්සේ නිකුත් කරන ඉන්ධන කෝටාව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් පවසන්නේ පූර්ණ කාලීනව ත්‍රී රෝද රථ කුළී සේවාවේ නිරතව සිටින පුද්ගලයින්ට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගැනීමට සූදානමක් ඇති බවයි.

එහෙත් ඒ කුමන ප්‍රමාාණයකින්දැයි මෙතෙක් නිෂ්චිත ලෙස තීරණය වී නැති බවත් වාර්තා වෙයි .

රනිල්ගේ සර්ව පාක්ෂික පාලනයෙන් විපක්ෂයට සුනාමියක් !

කාටවත් මතකද රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තේ මොකටද කියලා . ඊළඟට ව්‍යවස්ථාවට අනුකූල ලෙස ජනාධිපති වුණ එක ඇත්ත . හැබැයි රනිල් ආවේ, මේ දරුණු ආර්ථික අර්බුදය සමනය කරන්න පුළුවන් කියලා .

හැබැයි මේ ටිකේ මීඩියා දිහා බැලුවාම පේන්න තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු කතා විතරයි වගේ . ආර්ථිකය හදන්න වැඩ පිළිවෙලක් යනවා තමයි හැබැයි ඒකට පබ්ලිසිටි නැති තරම්. කොටින්ම රාජ්‍ය මාධ්‍ය පවා උණ විකාරෙන් වගේ සර්ව පාක්ෂික පාලනය අස්සේ හිරවෙලා.

දේශපාලන ආරංචි මාර්ග කියන විදියට මේ දවස් වල ජනාධිපති රනිල් එක්ක සාකච්ඡාවට යන අයට වෙන්නේ , අර යකාගේ විලෙන් වතුර බොන්න ගිය අයට වුණා වගේ වැඩක්.

විල පැත්තට ගිය අඩිපාරවල් ගොඩක් තිබුණත්, ආයෙත් ආපු අඩි පාරවල් පේන්න නෑ . ඒ වගේ තමයි මේකත්, ජනාධිපති කාර්‍යාලය පැත්තට ගොඩක් අය සාකච්ඡාවට යනවා , හැබැයි ආයේ එන්නේ ටික දෙනයි. බහුතරයක් නවතින්න හිත හදාගෙන තමයි එන්නේ.

ලස්සනම වැඩේ වුණේ, සමගි ජනබලවේගය පක්ෂයට. කොච්චර ආරාධනා කළත් සජිත් රනිල් එක්ක සාකච්ඡාව ප්‍රතික්ෂේප කරමින් හිටියේ . සමහර විට වික්‍රමසිංහ ස්ටයිල් එක දන්න නිසා වෙන්න පුළුවන් .

හැබැයි අන්තිමට පක්ෂයේ පිරිසක් කඩාගෙන යන්න සූදානමක් ඇති බව තහවුරු වුණ ගමන් සජිත් පක්ෂය බේරගන්න වගේ සාකච්ඡාවට ගියා.

මාර වැඩක් වුණේ, මෙන්න රනිල් තෙල බෙදන්න ගත්තා . ඒ 1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්ත කතාවක් කියමින්. එහිදී මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළ බවත් එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් බවත් රනිල් කිව්වා.

ඇත්තටම සජබ සෙට් එකක් හිටියා ආණ්ඩුවට යන්නත් ඕන, හැබැයි ශක්තිමත් තර්කයක් නැතුව . ඒ කියන්නේ ආසයි බයයි සෙට් එකක් . දැන් ඉතිං හරිනේ, ජනාධිපති රනිල් කට්ටියගේ ඔලුව අතගාලා එවලා තියෙන්නේ " සර්ව පාක්ෂික ආණ්ඩුව " කියලා කියන එක අවුලක් වගේ නම් " සර්ව පාක්ෂික පාලනයක් " කියලා කියමු කියලා.

ඒ වගේම "මේ සියලු දෙනා මමත් එක්ක වැඩකරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුලුවන්.'' කියලත් කියලා. කාලා එන්නකෝ, ඔන්න දැන් සජිත් සේරම දමලා ගහලා ගෙදර ගියත් සජබ නඩයක් එංගලන්තයේ 41 සිස්ටම් එකට හරි ආණ්ඩුවට සෙට් වෙන්නලු යන්නේ .

ඒ අස්සේ පසුගියදා සජිත් එක්ක රනිල්ගේ සාකච්ඡාවට ගිය මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා , ආයෙත් එයාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය , කියන දේශපාලන පක්ෂය හැටියට ආයෙත් ජනාධිපති රනිල් හම්බෙන්න දින දාගෙන . අගෝස්තු 10 ලු දිනය හම්බෙලා තියෙන්නේ .

ඒ වගේම තමයි ජනාධිපති රනිල් පහුගිය දවස් වල ඔය ආගමික නායකයන් හම්බෙන අවස්ථාවල ප්‍රසිද්ධියේ කිව්වා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා සඳහා එනවා , ඒත් ජවිපෙ එන්නේ නෑ කියනවා කියලා . ඔය විදියට ජවිපෙ තාප්පෙටම හේත්තු කරන්න යනකොට ඔන්න ජවිපෙත් ජනාධිපති රනිල් හමුවෙලා සාකච්ඡා කරන්න දිනයක් දාගෙනලු. කවුරුත් ප්‍රසිද්ධ නොකළට, දේශපාලන ආරංචි මාර්ග නම් කියන්නේ අගෝස්තු 09 , අඟහරුවාදා තමයි ජවිපෙ ජනාධිපති රනිල් හම්බෙන දවස කියලා .

ඒ වගේම තමයි , වී.විග්නේෂ්වරනුත්, එයාගේ පක්ෂය එක්ක වෙනම ගිහින් ජනාධිපති රනිල් හම්බෙන්නලු ඉන්නේ . ඒකත් ගොඩක් වෙලාවට බදාදා වෙයි කියලයි කියන්නේ .

ඒ වගේම පහුගියදා චම්පික රණවක ප්‍රමුඛ 43 සේනාංකයත් ජනාධිපති රනිල්ව හම්බුණා . එහිදී ඉදිරිපත් කළ යෝජනාවලටත් ජනාධිපති සුබවාදී ප්‍රතිචාරයක්ලු දැක්වූවේ.

දේශපාලන වාර්තාකරු

අර්තාපල්, තේ සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට: රසායනික පොහොර සූදානම් !

ඉදිරි සතියේ සිට අර්තාපල්, තේ සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේ, ඉදිරි මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.

මේ අතර ඉතාම වැරදි සහගත තීන්දුවක් වූ 100%කාබනික වගාව සහ රසායනික පොහොර තහනම හේතුවෙන් උද්ගතව ඇති අස්වනු අඩුවීම සහ ආහාර අහේනිය වලක්වා ගැනීමට මහ කන්නය සාර්ථක කරගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි .

ඒ වෙනුවෙන් රසායනික පොහොර ආනයනය සහ සැපයුම විධිමත් ලෙස සිදුකිරීමට බලධාරීන් දැනුවත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බවත් වාර්තා වෙයි .

අසීරුම අවස්ථාවේ ජනාධිපති නිවැරදි මාවතක - ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි

ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට මෙහෙයවීමට ජනපති සමත් වී තිබෙන බව ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි පවසති.

ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට රට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් වී ඇති අතර ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට එතුමාට ආශිර්වාද කරන බවත් ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමි පවසති .

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (06) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසුහ.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ හිටපු අමාත්‍ය දයා ගමගේ හා අනෝමා ගමගේ විසින් පිළිගනු ලැබීය.

ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

අත්දැකීම් බහුල දේශපාලන නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ඉතා අභියෝගකාරී අවස්ථාවක, බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ පරිදි ජනාධිපති ධූරයේ භාරධූර වගකීම භාරගත් බව සඳහන් කළ මහා නායක හිමියෝ රට මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට එතුමාට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන බව පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පුද්ගලිකව කොතරම් පාඩු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවූ බවයි. රටක් ඉදිරියට ගෙනයාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ අනුශාසනාවක් කරමින් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාමකාමී විරෝධතාවලට ඉඩදීම මෙන්ම නීති විරෝධි ක්‍රියා මැඩලීම රජයේ වගකීම බවයි.

මෙහිදී අදහස් දැක්වූ අනුනායක හිමිපාණන් වහන්සේ,
ඔබතුමා එදා සිටම මහා සංඝරත්නය සමග ඉතා සමීපව කටයුතු කළ නායකයෙක්. ඔබතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අප මහත් සතුටට පත් වෙනවා. දේශපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් සහ අත්දැකීම් සම්භාරයක් ඔබතුමාට තිබෙනවා. පසුගියදා ඔබතුමාගේ නිවස සහ පණ මෙන් රැකගත් පොත් පත් විනාශ කිරීම පිළිබඳ අප ඉතාමත් කණගාටුවට පත් වෙනවා.

පසුගිය කාලයේ ඇතැම් භික්ෂුන් වහන්සේ සහ ඇතැම් ආගමික නායකයින් ප්‍රමාණය ඉක්මවා දේශපාලනයේ නිරතවීම පිළිබඳ අපි කණගාටු වෙනවා. මහා සංඝරත්නය ලෙස අපට කළ හැක්කේ ඔබතුමන්ලාට උපදෙස් දීම පමණයි.

රජයත් ජනතාවත් අතර විශ්වාසය ගොඩනගා ගැනීමට නායකයන් කටයුතු කළ යුතුයි. එහෙත් පසුගිය කාලයේ එසේ සිදු නොවිම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදු වුණා.
අපේ රටේ තිබූ තත්ත්වය නිසා කිසිදු ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. නීතිය ක්‍රියාත්මක කිරීමට පාලකයා ලෙස ඔබතුමා බැඳී සිටිනවා. එය වරදක් නෙවේ. ඔබතුමා මේ රටේ සියලු ජනතාවට සාමකාමීව ජීවත්වීමට ඉඩ සලසුනු ඇතැයි අපි විශ්වාස කරනවා.

රනිල් - අනුර සාකච්ඡාවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර හමුවක් ලබන අගහරුවාදා (09) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එදින පස්වරු 3:00 ට පමණ මෙම හමුව සිදුවීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීමකට අනුවදෙපාර්ශවය අතර මෙම හමුව සූදානම් වන බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවීම සහ රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

කෙසේ වුවත් පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පක්ෂය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ , අර්බුදය සමනය කරන්න සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් කැඳවූ සාකච්ඡා සඳහා පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආගමික නායකයන් හමුවේ සඳහන් කරනු ලැබිණ .

 

ජූලි මාසයේ ලිට්‍රෝ ගෑස් ලාභ ලබයි : පසුම්බියට දැනෙන මිල අඩුකිරීමක් සූදානම් !

ගෙවුණු ජූලි මාසයේදී තම සමාගම ලාභ ලබන සමාගමක් බවට පත්ව ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ලිට්‍රෝ සමාගම මෙවැනි ලාභයක් පෙන්නුම් කළේ වසර කිහිපයකට පසුව බවත් ඔහු පවසයි .

මේ අතර නව මිල සූත්‍රයට අනුව හෙට (8) මධ්‍යම රාත්‍රි සිට ලිට්ට්‍රෝ ගෑස් මිල අඩුකරන බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කර ඇත .

ඒ අනුව අදාළ මිල අඩුවීම ජනතාවට දැනෙන අගයකින් සිදුකිරීමට සමාගම අවධානය යොමුකර ඇති බවත් සභාපතිවරයා පවසා ඇත .

ආසියාව උණුසුම් කළ චීන නැව හම්බන්තොටට නොඑන ලකුණු !

ලංකාව කේන්ද්‍ර කරගනිමින් දේශපාලන අර්බුදයකට තුඩුදී ඇති චීනයේ 'යුආන්වැන් 5' පරීක්ෂණ නෞකාව සැලසුම් කර තිබූ පරිදි ලබන 11දා හම්බන්තොට වරායට නොපැමිණෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි .

අදාළ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට පසුගිය ජූනි මසදී නිල අවසරය ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී තිබිණ .

එහෙත් චීන මහජන විමුක්ති හමුදාවට අයත් සතුරු මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන අධීක්ෂණයට පහසුකම් ඇති 'යුආන්වැන් 5' නෞකාව හම්බන්තොට වරායට පැමිණීම ගැන ඉන්දියාව මෙරටට දැඩි විරෝධය පළ කළේය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ද තම විරෝධය දැනුම් දුන් බවත් වාර්තා විය.

කෙසේ හෝ දෙරට අතර හොඳ හිත රැකගෙන මෙම අර්බුදය විසදා ගැනීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඉන්දීය සහ චීන විදේශ අමාත්‍යවරුන් කාම්බෝජයේදී මුණගැසී සාකච්ඡා කළ බවත් වාර්තා වෙයි .

එහිදී සිදු කළ කරුණු පැහැදිලි කිරීම් අනුව චීන යුද නැව හම්බන්තොට වරායට නොපැමිණෙනු ඇතැයි දැනගන්නට තිබේ.

එජාපය සමග එකතුවෙලා ගමනක් යමු : සජබ ඇතුලේ යෝජනාවක් !

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවතත් එකතු වී නව දේශපාලන ගමනක් යා යුතු යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත .

මේ ගැන තවමත් පක්ෂය තුළ ඇත්තේ සංවාදයක් පමණක් බව පැවසූ ලේකම්වරයා ඉක්මනින් මේ යෝජනාව ගැන තීන්දුවක් ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා දැනට යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි විය යුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර තිබේ.

ඒ අතර තවත් මන්ත්‍රීන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට පිටත සිට සහාය දීම වඩාත් යෝග්‍ය බව යැයිද මහලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ තම පක්ෂය නිල වශයෙන් සාකච්ඡා කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් කී බව සඳහන් මේ පුවත දේශය පුවත්පත වාර්තා කර ඇත .

ජනාධිපතිගෙන් හදිසි නීතියේ සංශෝධනයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි .

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ නීති සංශෝධනය සිදුකර ඇත .

ඒ අනුව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) සහ 365(ආ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410සිට 420 දක්වා වගන්ති හදිසි නීතියට අදාළව ඇතුළත් කරනු ලැබ ඇත.

පසුගිය සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සර්ව පාක්ෂික පාලකයක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වූ දේශපාලන පක්ෂ සහ අරගලයේ පාර්ශ්ව කරුවන් හදිසි නීතිය යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් වලක්වන ලෙස ඉල්ලා සිටියේ ය.

ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එකී ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවක් මේ හරහා පෙන්නුම් කරන බවය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ජනපතිට සුභාශිංසන

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්  ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුභාශිංසන එක් කර තිබේ.

විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ, රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජය ගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.

එසේ කිරීමේදී, මහජනතාව සමග අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය ගොඩනැගීම, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ඇන්ටෝනියෝ ගුටරේස්  පෙන්වා දුන් බවය.

ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිත දරුවන් 12 දෙනෙක් !

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසයි.

මෙම කාලය තුළ කොවිඩ් රෝගී දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව ඩෙංගු වැලඳුණු දරුවන්ගේද වැඩිවීමක් රට පුරා දක්නට ලැබෙන බව පැවසූ  වෛද්‍ය විජේසූරිය,  දරුවන් මේ රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට මවුපියන් හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

ඒ සදහා දරුවන් මදුරු දෂ්ටනයෙන් බේරා ගැනීම ඉතාමත් වැදගත් බවද ඔහු පවසා සිටී.

“අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ..” –මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක්

පක්ෂ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව සංවිධානය කළ විරෝධතා පා ගමන් කිහිපයක් අද (06) නුගේගොඩ අවට ප්‍රදේශවලින් ආරම්භ වී තිබේ.

"අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ.." යන තේමාවෙන්, මර්දනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට හා පැහැරගැනීම්වලට එරෙහිව එක් විරෝධතා පා ගමනක් ආරම්භ වුණේ දෙල්කඳ ප්‍රදේශයෙනි.

කිරුළපන ප්‍රදේශයෙන් තවත් විරෝධතා පා ගමනක් ආරම්භ වූ අතර එම පිරිස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පිඨයට එක්විය.

image 53488e6a93

බඩ එපා කියලා අපෙන් රට ගත්තා : අන්තිමට රටයි බඩයි දෙකම නැති වුණා - රවී කරුණානායක

"රනිල් වික්‍රමසිංහ හැකියාවක් ඇති පුද්ගලයෙක් බවත්  පාක්ෂික රජයක් බිහි වීම ඉතා වැදගත් බවත් හිටපු  අමාත්‍ය රවී කරුණානායක පවසයි .
 
2015 වසරේ දී ගොඩනැඟු රට  අරගනු ලැබූ නමුත්  අද ජනතාවට රටත් බඩත් දෙක ම නැති වී ඇති බවත් ඔහු පවසයි .  
 
හිටපු අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ , උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 4000 වෙනුවෙන්  සතොස වවුචර්පත් ලබාදීමේ ලබාදීමේ අවස්ථාවකට  එක් වීමෙන් අනතුරුවය.
 
කොළඹ මහ නගර සභාවේ ප්‍රතිපාදන අනුව රුපියල්   3500 ක වටිනාකමින් යුත් මෙම වවුචර්පත් ලබාදීමට පියවර ගෙන තිබිණ .
 
එහිදී ඔහු  වැඩිදුරටත් මෙසේද පැවසීය .
 
"ආර්ථිකය ගොඩනැගීම කටින් කරන්න බැහැ ප්‍රායෝගිකව ඒකට මුහුණ දෙන්න වෙනවා..සර්ව පාක්ෂික රජයක්  බිහි කිරීම කාලෝචිත ක්‍රියාවක්..සමගි ජන බලවේගය හැමදාම කඩ කඩ යන දේවල් තමයි කරන්නේ..වෛරය ව කරපු දේවල් කරලා වැඩක් නැහැ...අපි  patrol වැඩි කළහම අපිට හිනා  වුණා දැන් පන්සිය ගනන්වලට පැට්‍රල් ගණන් යනවා..."
 
ජනාධිපතිවරයා ගේ වැඩපිළිවෙළට සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බවද බව ද එහිදී හිටපු අමාත්‍ය  රවි කරුණානායක පැවසීය .
 
 කඩා වැටුණු රට යළි ගොඩ නැංවිය යුතු බවත් අපි නැති කරපු පෝලින් නැවත නැති කළ යුතු බවත් එහිදී ඔහු පැවසීය .
 
 

ගෝඨාභය තවත් දින 14ක් ඉල්ලයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන එකොළොස් වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.

එහෙත්, රජය කර ඇති මෙම ඉල්ලීම අනුව, හිටපු ජනාධිපතිවරයා මේ මස අවසන් සතිය පමණ වන තෙක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට ඇත.

අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් මස 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඔහුට සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට අවසර දී තිබිණි. පසුව එම කාලයද තව සති දෙකකින් දීර්ඝ කරනු ලැබීය.

(lankadeepa.lk)

 

සර්ව පාක්ෂික: "ආණ්ඩුව" අවුල් වගේ නම් "පාලනයක්" කියලා දාගන්න !

ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත .

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන සන්ධානය සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත .

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස අපි සියලු පක්ෂවලට ආරාධනා කළා. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමග අපි සාකච්ඡා කරමින් සිටිනවා. රටේ ආර්ථිකය දැන් අසීරු තත්වයකයි තිබෙන්නේ. මේ තත්ත්වයෙන් ගොඩඑන්න සියලුදෙනා එක්වෙලා ආණ්ඩුවේ ඇමති ධූර භාර අරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රට ගොඩනගන්න කටයුතු කරන්න ඕනෑ. මම සමගි ජන සන්ධානයට ආරාධනා කරනවා සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වෙලා අපිත් එක්ක කටයුතු කරන්න. මේ සියලු දෙනා මමත් සමග වැඩකරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුලුවන්.

1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

1977 ආණ්ඩු පෙරළියේ දී 5/6 බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැගුවා. හැබැයි දැන් 5/6ක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනගන්න බැහැ. එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි.

පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් අපිට හිදිසි නීතිය පැනවීමට සිදු වුණා. එහෙත් හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙනවා. එහිදී හදිසි නිතිය අවශ්‍යයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය එලෙසින්ම ඉදිරියට ගෙන යන ලෙස අපි යෝජනා කරන්න කැමැතියි. එදා ඔබතුමා රටේ අගමැතිවරයා ලෙස 19 වන සංශෝධනය ගෙන ඒමට නායකත්වය ලබා දුන්නා. එය ඉතා යහපත් පියවරක්. එම නිසා එය තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස අප ඉල්ලා සිටිනවා.

එමෙන්ම 19 වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාපිත කවුන්සිලයක් පත් කරන සංඛ්‍යාව 20 වන සංශෝධනයෙන් වැඩිකර තිබෙනවා. එය 19 වන සංශෝධනයේ තිබුණු පරිදිම තබා ගැනීම ඉතා වැදගත් බව සිහිපත් කරන්න කැමතියි.

අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ ජනතාව මත දැඩි ආර්ථික බරක් පැටවී තිබීමයි. මේ ප්‍රශ්ණයට විසඳුම් සෙවිම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ඒ වගේම දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහා ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා ස්ථාපිත කිරීමෙන් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊට අමතරව තවත් කමිටු පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අපි යෝජනා කර සිටිනවා.

සමගි ජන සන්ධාන අද මෙම සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක සිතුවිලිවලින් යුක්තවයි. මේ අවස්ථාවේ රටක් ලෙස අපි මේ සාකච්ඡාවට එක්විය යුතුයි.

වර්තමානයේ රටේ පවතින්නේ අසාමාන්‍ය දේශපාලන තත්ත්වයක් බව කිවයුතුයි. ඒ බව මනාව අවබෝධ කර ගනිමින් මේ සාකච්ඡා ඉදිරියට ගෙනයාමට සූදානම් බව මා ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා

ප්‍රචණ්ඩත්වය මුදාහැරි පිරිස් වෙත දඬුවම් ලබා දුන්න ද, සාමකාමී අරගලයේ නිර වූ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටිනවා. පසුගියදා ඔබතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අපි සතුටුයි. අපේ කණ්ඩායමේ වැඩපිළිවෙළත් ඊට සමාන බව කියන්න කැමතියි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා මහතා

දුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වුණා. ඒ පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනෑ. දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමේ වගකීම් අපි සියලුදෙනාට පැවරී තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවේ. පවතින ගැටලුවට එය විසඳුමක් ලෙස මම දකින්නේ නැහැ. අවශ්‍ය වන්නේ වර්තමානයේ රට සහ ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීමයි.

මෙහිදී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු අදහස් දැක්වූ අතර අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න ,ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20220805 WA0022

 

එකම මගක පියවර මැන යන්න : අරගලයේ නියමුවන් සහ ජනාධිපති අතර සම්මුතියක් ! (වීඩියෝ )

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
 
දැන් තිබෙන අභියෝගය ආර්ථික අරගලය ජය ගැනීම බව කී ජනාධිපතිවරයා, අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
 
ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත්, මර්දනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති මෙම සාකච්ජාවට  Black Cap Movement, ලිබරල් සහෝදරත්වය, සර්වපාක්ෂික අරගලකරුවෝ, වන් ප්ලස් සංවිධානය සහ ගෝල්ෆේස් අරගලභූමියේ අරගලකරුවන් පිරිසක් ද සහභාගී වී සිටියේය.
 
මෙහිදී Black Cap Movement හී සම කැඳවුම්කරුවන් වන විමුක්ති දුෂාන්ත හා හේමප්‍රිය කවිරත්න සහ, මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න කරුණු තුනක් මුල් කරගනිමින් මෙම හමුවේදී අදහස් ප්‍රකාශ කරන ලදී.
 
එනම්,
 
1. මර්දනකාරී හදිසි නීතිය වහාම ඉවත් කිරීම.
 
2. 2022 ජන අරගලය පැන නැඟීමට හේතු වූ කරුණු සහ එම තත්ත්වයට තිරසාර විසඳුම් සෙවීම සඳහා පූර්ණ බලැති කොමිෂන් සභාවක් පිහිටුවීම.
 
3. පවතින අර්බුදය පිළිබඳව අරගලකරුවන් සහ රජය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම.
 
එමෙන් ම, ගාලු මුවදොරින් ඔබ්බට යෝජනාවලියේ සඳහන් කරුණු යථාවක් කරගැනීම සඳහා රජයේ මැදිහත්වීමේ වැදගත්කම ද Black Cap Movement සංවිධානයේ සමාජ මාධ්‍ය අංශ ප්‍රධානී ගුණරත්න අධිකාරි මහතා විසින් අවධාරණය කරන ලදී.
 
එසේම, රටේ පොදුජන මතය පාර්ලිමේන්තුව සහ පොදුජනතාව යන දෙපාර්ශවයට විතැන් ව ඇති බැවින්, දෙපාර්ශවයේ කඹ ඇදීමේ ක්‍රියා පිලිවෙත වෙනුවට, ජනතා අභිලාෂයන්ට ගරු කරමින් රටේ අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට ක්‍රියා කළ යුතු බව සංවිධානයේ සම ජාතික සංවිධායක යෂේන්ද්‍ර විජේවර්ධන මෙහිදී අවධාරණය කළේ ය.
 
 මෙහිදී අරගලකරුවන් ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ හදිසි නීති තත්ත්වය නුදුරේදීම ඉවත් කරගැනීමට තවමත් සූදානමක් නොමැති බවත්, එසේ ම, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය දැක්වූ අරගලකරුවන්ට යම් අසාධාරණයක් සිදු වී නම් ඒ ගැන සොයා බලා මැදිහත්වීමට පෞද්ගලික ව කටයුතු කරන බවත් ය.
 
එමෙන් ම 'ජන සභා ක්‍රමය' හා පර්ලිමේන්තුවේ අධීක්ෂණ කරක සභා වලට තරුණ නියෝජනය තහවුරුකරණ බවත්, අරගල භූමියේ සමස්ථය නියොජනය කරන කණ්ඩායමක් සමග සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.
 
මෙම හමුව සඳහා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ රුවන් විජේවර්ධන ද සහභාගී වූහ.
aragala 2

Page 215 of 384