පුවත්

OIC ඇතුළු පොලිසියේ 04කට මරණ දඬුවම
වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබේ.
2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව එම නිලධාරීන්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.
මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ එකල තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 04දෙනෙකුටය.

රනිල් කරන්න : බැරි නම් යන්න (video)
මේ දින වල ආණ්ඩු විරෝධීන්ගේ සටන් පාඨය.. ‘රනිල්, කරන්න බැරි නම් අයින් වෙන්න‘ කියන එකය. නමුත් දැන් මේ රනිල්ට කරන්න බැරි වැඩ මොනවාද කියා හරියකට කියන්නේ නැත. ඒ කියන්නේ රනිල් කළ යුතුව තිබෙන වැඩ මොනවාද කියා විපක්ෂ කණ්ඩායම් නොකියන එකය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් වී තවම ගෙවී ගියේ මාස හය හතක කාලයකි. රනිල් ජනාධිපතිධුරය ලබා ගන්නා විට රට තිබුණ තැනත් දැන් රට තිබෙන තැනත් සලකා බලා විපක්ෂය රනිල්ට කරන්න බැරි නම් අයින් වෙන්න කියනවා විය යුතුය. පළාත්පාලන ඡන්දය ජයග්‍රහණය කර රනිල්ව එළවනවා කියා ජාජාබය, සජබය කියන්නේද රනිල් වැඩ නොකිරීමේ අවුල නිසා විය යුතුය.
මේ කියන විදිහට රනිල් රට බාර ගන්නා විට, රටේ තිබුණේ තෙල් පෝලිම්ය, ගෑස් පෝලිම්ය, බෙහෙත් පෝලිම්ය, කෑම පෝලිම්ය, පොහොර පොලිම්ය. ඒ අස්සේ විදුලිය පැය දහයකට දොළහකට කපමින් තිබිණි. බඩු මිල දරා ගන්න බැරි තරමට වැඩිවී තිබිණි. ව්‍යාපාර කර්මාන්ත බිඳ වැටෙමින් තිබිණි. ආදායම් මාර්ග අහිමි වූවන් බඩ ගින්නේ සිටියේ. මෙහෙව් රටේ ඉඳීමෙන් වගතුවක් නැතැයි කියමින් පාස්පෝට් පෝලිම් වල ලක්ෂගනනින් සිටියේය. කොටින්ම සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී කර කියා ගන්න දෙයක් නැතිව රටෙන් දෙකෙන් පංගුවකට වඩා සිටියේ හෙට දවස ගැන කෙසේ වෙත්ත වේලක් කෑවොත් ඊලඟ වේල කන්නේ කොහොමදැයි සිතා ගන්න බැරිවය.
අනෙක් පැත්තෙන් පීඩාවන් දරාගැනීමට බැරිව මිනිස්සු අරගල බිමේය. පාලකයන්ට එරෙහිව මරාගන් මැරෙන්න තරම් වියරුවකින් අරගලය ප්‍රචණ්ඩකාරීව රට පපුරා පැතිර තිබිණි. පොලිසියට ආරක්ෂක අංශවලට ඒ පාලනය කිරීමේ හැකියාව පවා අහිමිව තිබිණි. අරගලය රටේ නීතිය අතට ගෙන තිබිණි. රට අරාජික වීම දක්වා පාලනයකින් තොරව අරගලය දියත් විය. හිටපු පාලකයෝ වගකීම් අත්හැර පලාගොස් තිබිණි. රට බාර ගන්නැයි හිටපු ජනාධිපති ගෝඨා විපක්ෂයෙන් ඉල්ලීම පිට ඉල්ලීම් කළත් එය මඟ හැරිය විපක්ෂය නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් හත්පට්ට්යකුත් තව චුට්ටකුත් ඔනෙයි කියන්නා සේ ප්‍රායෝගික නොවන විවිධ කොන්දේසි දමමින් සිටියේය. විපක්ෂයේ තනි මන්ත්‍රීවරයකුව හිඳිමින් රනිල් රට භාර ගත්තේ මෙවැනි ව්‍යාකූල තත්වයක් හමුවේය. රනිල් ජනාධිපතිධුරය භාර ගන්නා විට තමන්ගේ එකම නිවසත් අරගලකරුවන් විසින් ගිණිතබා විනාශ කර තිබිණි. රාජ්‍ය මර්මස්ථාන අරගල ත්‍රස්තවාදයේ ග්‍රහණයට හසුව තිබිණි.
රනිල් නම් මේ ධෛර්යවන්ත මිනිසා, පරිණත දේශපාලනඥයා රට යළි ගොනැඟුමේ අසීරු අභියෝගය බාර ගන්නකොට තිබු එ වියවුල්කාරී තත්වය මාසයක් දෙකක් යන විට වෙනස් කිරීමට සමත් විය. විසඳුමක් පෙනෙන තෙක් මානයක නොතිබූ ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් කඩිනම පියවරයන් ක්‍රියාත්මක කෙරිනි. එය විසඳිය හැකි බව පෙන්වා තිබිණි. බිංදුවටම වැටී තිබු රාජ්‍ය ආදායම් යළි උපදවාගැනීමට මෙන්ම හදිස්සයකට ඩොලරයක් සොයා ගන්න නැතිවෙන තරමට වැටී තිබුණු විදේශ සංචිත යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් කටයුතු කෙරිනි. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලබා ගත හැකි මානුෂීය ආධාර උපකාර ලබාගැනීම සිදු විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙන් අවශ්‍ය සහය ගැනීම සිදුකළේය. එහි ණය ආධාර පැකේජය ලබාගැනීමේ සාකච්ඡා අවසන් අදියරකට ගෙන ඒමට මේ වන විට සමත්ව ඇත. ලෝක නායකයන්ගේ අවදානයට රටේ ප්‍රශ්න යොමු කර අවශ්‍ය සහයෝගයන් ලබාගැනීම වෙනුවෙන් පියවර රාශියක් ක්‍රියාත්මක කෙරිනි. රටේ ඉදිරි ගමන වෙනුවෙන්, මෙතෙක් ආ වැරදි පාර නිවැරදි කරමින් අලුත් බලාපොරොත්තුවක් සමඟ රට නිවැරදි පාරට ගැනීම සිදු කෙරිනි. අනාගත සංවර්ධනාත්මක ගමන වෙනුවෙන් අවශ්‍ය පදනම සකස් කෙරිනි. මේ සියල්ල විසින් යළි සාමාන්‍ය ජීවන රටාවට මිනිස්සුන්ට එන්න හැකියාවක් ලැබිණි. දුෂ්කර තත්වයන් යටතේ හෝ මිනිස්සු යළි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අපේක්ෂ සහගත වන්නට විය. මේ දේවල් නැවත් නැවත් මතක් කරමින් අපට කියන්න වෙන්නේ රට මෙහෙම අර්බුදයකට ගොදුරුව තිබු බව මිනිස්සුන්ට නිතර අමතක වන නිසාය. නැතිනම් අමතක කරවන්න විපක්ෂය කටයුතු කරමින් සිටින නිසාය. කොහොම නමුත් දැන් රනිල් කර තිබෙන දේ පැහැදිලිය.
රනිල්ට කරන්න බැරිනම් අයින් වෙන්න යැයි විපක්ෂය කියන්නේ මේ දක්වා රනිල් කරපු දේවල් නිසා තිබුණ විනාශකාරී තත්වයන් වෙනස් වීම ඔවුන්ට දිරවන්නේ නැති නිසා විය හැකිය. ඒ නිසා ආර්ථික අර්බුදය, දේශපාලන ව්‍යාකුලත්වය තවදුරටත් පවත්වාගෙන යෑම විපක්ෂය රනිල්ගෙන් බලාපොරොත්තු වූවට සැක නැත. කරන්න බැරිනම් අයින් වෙනන් කියන්නේ ඒ නිසාය.
විපක්ෂයට වුවමණා වුයේ ආර්බුද අතරින් එම අර්බුදයන් දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලන බලයක් ගොඩ නඟා ගැනීමේ මළපෙරේත ආශාව මුදුන්පත් කරගැනීමම පමණි. රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මේතාක් විපක්ෂ පක්ෂ වලින් කිසිදු සහයක් ලැබී නැතිවීම, ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කිසිදු සහයක් ලැබී නැතිවීම මඟින් නැවත නැවත කියන්නේ ඔවුන්ට අවශ්‍යවවන්නේ රට මේ ජරාජීරණ වෙනන් දී බලය අත්පත්කර ගැනීමේ වුවමණාව ගැන පමණය. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන වන සිහිනය සැබෑවුණොත් එදාට හෝ අර්බුදයකින් තොරව ආණ්ඩු කරන්නටවත් අද මේ අර්බුදවලින් ගැලවිය යුතු බව විපක්ෂය කල්පනා කරන්නෙ නැත. අවශ්‍ය බලයම පමණි. මේ නිසා ඔවුන්ට අනුව තමන්ගේ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් පත් කරගන්නා තෙක් කිසිදු අර්බුදයක් විසඳීම නොවිය යුතුව තිබු දේවල්ය. ඒ අනුව රනිල්ට කරන්න බැරි වූ දෙය එයය. ඔවුන්ගේ රනිල් විරෝධයේ පදනම එයය.
පසුගිය 08 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ ජඩ විපක්ෂය විසින් නොපිළිගන්නා ඔවුන් විසින් නොවිය යුතු දේවල් ලෙස පිළිගන්නා දේවල් රැසක් තමන් කර තිබෙන බව පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබිණි. අඩුම තරමින් රනිල් මේ මොනවාද කරන්නේ කියන්නේ කියා අසන්නට විපක්ෂය පැමිණ තිබුණේත් නැත. එසේම එම ප්‍රකාශයට ආදල විවාදයට හෝ විපක්ෂය සහභාගී නොවී මඟ හරිමින් තිබිණි.
රනිල් කරමින් සිටින්නේ වැරැද්දක් නම් නොකළ යුතු දේවල් නම්, අඩුම තරමින් රනිල්ට අභිමුඛ වී ඒ ගැන තමන්ගේ තිබෙන විරෝධය පළ කළ යුතුව තිබිණි. විවේචනය ඉදිරිපත් කළ යුතුව තිබිණි. වැරැද්ද අඩුපඩුව පෙන්වා දිය යුතුව තිබිණි. එහෙත් විපක්ෂය ආවේ නැත. ඒ රනිල්ට අභිමුඛ වන්නට ඇති බියද, අසමත් කමද, ලැජ්ජාවද, කොන්ද පණ නැති කමද, නැතිනම් තමන්ගේ වරදකාර හැඟිමද ? කියා පැහැදිලි නැත. සමහර විට ඒ සියල්ලම විය හැකිය.
කොහොමටත් අරබුදයෙන් රටත් ජනතාවක් ගලවා ගැනීම වෙනුවෙන් කළ යුතුදේ මේ යැයි කියන්න තරම් දෙයක් විපක්ෂය සතුව නැත. සජබයත් ජජබයත් රනිල් නැති තැන නැතිනම් ඔහුව මඟ හැර, තැන් තැන් වලට ගාල් වී රංචු ගැසී තමන්ගේ විසඳුම් නැතිනම් උත්තරය කියා කියවන්නේ රනිල්ගේ වැඩ පිළිවෙල ගැනය. රනිල් යන මාර්ගය ගැනය. නමුත් එය රනිල්ගේ කියා නොකියා සිටීමට පරිස්සම් වෙයි.
රටේ ආර්ථික අර්බුදය විසඳන මූලික ක්‍රියාමාර්ග ගැන ජාජබයෙ අනුර කුමාර කිසි ලැජ්ජාවක් හිරිකිතක් නැතිව තමන්ගේ විසඳුම් විදිහට ව්‍යාපාරික හමුවකදී කීවේ රනිල් දැනටමත් ක්‍රියාත්මක කර ඇති දෙයය. සජබයේ ආර්ථික ඔස්තාර්ලා කියා සිටින්නෙත් මේ යන මාර්ගය හැර වෙන විකල්ප නැති බවය. ඇතත්ම කතාව රනිල් මෙහෙම විසඳුම් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණා නම් මේ නල්ලමලේ විපක්ෂයට කියන්න කිසිවක්ම ඇත්තේ නැත. තිත්තම තිත්ත ඇත්ත මෙයය. මැතිවරණ වේදිකා ගානේ මොන නරිවාදන් දෙඩෙව්වත් අර්බුදය හමුවේ රනිල් මඟ හැර, යන්න වෙන පාරක් නැති බව විපක්ෂයට කොහොමටවත් ප්‍රතික්ෂේප කළ නොහැකිව තිබෙන බව දැන් පැහැදිලිය.
ජනාධිපති රනිල් නිදහස් දිනයදා කියා සිටියේ,
“..අද අපි ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. මෑත ඉතිහාසයේ මෙවැනි බරපතළ තත්ත්වයකට අප මුහුණ දීලා නැහැ.
අපට එවැනි තත්ත්වයක් උදා වුණේ ඇයි? මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවුද?
අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලුදෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කර වරද පටවන්න බෑ.
අපි මුල ඉදලාම වරද්දා ගත්තා. ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහයන් ගැනුණා. වෙහෙසීම් කෙරුණා. එහෙත් සියයට සියයක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නැහැ.. යනුවෙනි.
ජාතිය අමතා රනිල්ට මෙහෙම කියන්න තරම් කොන්දක් තිබුණත් එය පිළිගනන්වත් ප්‍රතික්ෂේප කරනන්වත් විපක්ෂය ඉදිරිපත් වුයේ නැත. නප්පියටම කෙළවෙලා තිබියදීත් තමන්ගේ හවුල්කාරිත්වයත් සමඟ වැරදි සිදුවූ බව පිළිගන්න විපක්ෂයට නොහැකි වීමේ තේරුම ඔවුන්ට මෙතැනින් එහාට ඉදිරි ගමනක් නැති බවය. වැරදි නිවැරදි කරගැනීමට සූදානමක් නැතිව නැවත නැවත ඒ වැරැද්දම වන්නට ඉඩ දෙන්නේ නම් රටට ඉදිරිගමනක් තිබිය නොහැක. කොහොම නමුත් මේ අය මැතිවරණ වේදිකාවල කරන නන්දෙඩවීම් වලින් පැහැදිලි වන්නෙ පරණ බංකොලොත් තියරි, වැඩ පිළිවෙලවල් සමඟ තවමත් රැඳි සිටින්න තිබෙන කැමැත්තය. ඒ ජනතාව චූන් කර රවටා බලය ගැනීමට තිබෙන කෑදරකමය.
රනිල් 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ, “මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා..“
“..මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දේශපාලන වාසි තකා බොරුවෙන්, මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැළපෙන්නේ නැහැ..සිස්ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මේකත් සාම්ප්‍රදායික දේශපාලනයේම කොටසක්..වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි…ඉදිරි වසර 25 තුළ අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න. ඔබ ලංකාවේ සිටියත්, විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. රට යළි ගොඩනැංවීමේ සාමූහික ව්‍යායාමයට එක් වන්න..සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම්කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි..අපේ මාතෘභූමිය ආර්ථික හෝ සමාජයීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බෑ. රට අරාජික කරන්නට ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නෙත් නැහැ. අපි සියලු දෙනා සිටගත යුත්තේ රටට ආදරය කරන පාර්ශ්වයේ මිස, රට අරාජික කරන පාර්ශ්වයේ නෙවෙයි..“ බවය.
මේ සරළ කරුණ තේරුම් ගන්න බැරිනම්, තවදුරටත් දේශපාලනය කියා කිසිවක් කිරීමෙන් පලක් නැත. රටට අවශ්‍ය සාමුහික ව්‍යායාමයකි. පක්ෂ ජාති ආගම් භේද තවදුරටත් අර්බුදය හමුවේ වලංගු නැත. අර්බුදය ඉල්ලා සිටියේම මේ ක්‍රමයේ වෙනසකි.
රනිල් කරන්න හදන්නේ ඒ වෙනසය. දැන් රනිල්ට කරන්න බැරිනම් අයින් වෙන්න කියන විපක්ෂයේ සටන කුමක්ද යනන් පැහැදිලි විය යුතුය.
-ඝෝෂක

රටවල් කිහිපයක ණය ගැන තවත් IMF සාකච්ඡාවක් !
චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ ජී 7 කණ්ඩායමට අයත් රටවල නියෝජිතයන් එළඹෙන සිකුරාදා නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර් තා කරයි.
එම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති බවත් එහි සඳහන් ය.
දැනටමත් මූල්‍ය අර්බුදයකට මුහුණ දී ණය පහසුකම් අපේක්ෂා කරන ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව මෙන්ම ශ්‍රී ලංකාව, සුරිනම් සහ ඉක්වදෝරය වැනි රටවල නිලධාරීන් ද එම වටමේස සාකච්ඡාවට සහභාගී වනු ඇති බව ද නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර් තා කර ඇත.
තවද ඔවුන් ජී 20 රාමුව යටතේ ණය සහන ඉල්ලා ඇති බවත් එහි සඳහන් වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජී 20 කණ්ඩායමේ වත්මන් සභාපතිත්වය දරන ඉන්දියාව එහි සම සභාපතිත්වය දරනු ඇති බව ද රොයිටර් පුවත් සේවය වාර් තා කර ඇත.
මෙම හමුව පැවැත්වෙන්නේ ජී 20 කණ්ඩායම නියෝජනය කරන රටවල මූල්‍යමය අංශය භාර නිලධාරීන් ලබන 23 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වෙන හමුවක් සඳහා ඉන්දියාවේ බෙංගලූරු හිදී හමුවීමට නියමිත පසුබිමක් තුළය.

සේපාල තවදුරටත් ඇතුලේ !
දළදා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
ඒ අදාළ නඩුව අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේය.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය සේවාදායකයා දැනටමත් කණගාටුව පළ කරමින් නීතිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර ඇති බවය.
තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටින බවත් කිසිදු ආගමික හෝ වාර්ගික කොටසකගේ හැගීම් ඇවිස්සෙන ආකාරය කිසිදු ප්‍රකාශයක් මින්මතුවට සිදු නොකරන බවට ඔහු එකග වන බවත් එම නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට නියම කළ අතර එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර සිටියේය.

අවශ්‍යතා ඇති කිසිවකු මඟ නොහැර සහල් බෙදීමට ජනපතිගෙන් උපදෙස් !
අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මිලදී ගන්නා වී තොග සහල් කර විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හරහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 6 1,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි.
නමුත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙම වැඩසටහන සඳහා පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් හඳුනා ගෙන ඇති බවයි.
ඒ අනුව අඩු ආදායම්ලාභී සියලුදෙනා වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ පවුල් 2 850 000ක් සඳහා ලබා දීමට රුපියල් බිලියන 20ක් වටිනා වී තොග මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. සහතික මිලක් ලබා දෙමින් වී මිල ආරක්ෂා කිරීමත් ඉන් අපේක්ෂා කරනවා.
මෙහි පළමු කටයුත්ත වන්නේ වී තොග මිලදී ගැනීමයි. වී තොග මිලදී ගැනීමේ කාර්යය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දී තිබෙනවා. රජය සහල් අළෙවි කිරීමට පියවර ගන්නේ නැහැ. දුප්පත් පවුල් සඳහා නොමිලේ සහල් ලබාදීමට රජය කටයුතු කරනවා. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශ ගණනාවක් එක්ව කටයුතු කරනවා.
නමුත් මේ සඳහා පූර්ණ කාලීනව යෙදවීමට කණ්ඩායමක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් නිදහස් කර ගැනීමට ආරක්ෂක අංශ සමඟ පැවැත්වු සාකච්ඡාවේදී එකඟත්වය පළ කෙරුණා.
දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සුදුසුකම් ලැබූ අයට සහල් බෙදාහැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සිදුකරන අනවශ්‍ය බලපෑම්වලට ඉඩ දිය නොහැකියි. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දෙන මෙම ප්‍රදානය “ සහන සහල්” ලෙස නම් කර ඒවා නැවත විකිණීමට නොහැකි වන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමත්, දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමත් සිදු කෙරෙනවා.
මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා නිවැරදි දත්ත ලබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් කොන්ත්‍රාත් පදනම යටතේ කණ්ඩායමක් බඳවා ගෙන හෝ දත්ත එක් රැස් කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුයි.
ඉදිරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී ඔවුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නිශ්චිත කාල රාමුවුක් තුළ මෙම කටයුතු අවසන් කිරීමට සැලසුම් කළයුතුයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙසේ පැවසීය.
සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ සහාය ලැබී තිබෙනවා.
නමුත් දත්ත එකතු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට තිබෙන තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. එම නිසා මේ පිළිබඳ දිසාපතිවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙසේ පැවසීය.
සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමට බාධා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලට කිසිඳු ඉඩක් නැහැ. මාර්තු 31 වන දා වන විට මෙම කටයුතු අවසන් කළ යුතුයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය,අනූප පැස්කුවල්, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික)ජෙනරල් කමල් ගුණරත්න, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික් ලේකම්වරු රැසක් සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්ව සිටියහ.

රට විරුවන් විපක්ෂය නොතකා මුදල් එවයි !
මෙම වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 68.8කින් ඉහළ ගොස් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, බන්දුල ගුණවර්ධන පවසයි.
පසුගිය ජනවාරි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මේ ආණ්ඩුව බලයේ සිටින තුරු විදෙස්ගත ශ්‍රමිකයන් රටට ඩොලර් නොඑවන බව විපක්‍ෂයේ ඇතැම් පක්‍ෂ පැවසුවත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහළයමින් පවතින බවද එහිදී සඳහන් කෙරිණ.
පුහුණු ශ්‍රමිකයන් වැඩියෙන් විදේශගත වුවහොත් මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7ට ලබාගැනීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂයේ පක්ෂ විදෙස් ප්‍රේෂණ මෙරටට නොඑවන ලෙසට බලපෑම් කරමින් තිබෙන පසුබිමක මෙවැනි තත්වයක් ඇතිවීම ආණ්ඩුවේ වැඩපිළිවෙල කෙරෙහි එම ප්‍රජාවේ විශ්වාසය ගොඩනැගීම තහවුරු වන්නක් බවයි. එසේම එම එවනු ලබන ප්‍රේෂණ නීති විරෝධී ආකාරයට සිදුනොකර බැංකු හරහා එවීමට රජය උනන්දු කිරීමක් පසුගිය සමයේ සිදුකළ බවත් එම වැඩපිළිවෙළ ද සාර් ථක වූ බවද මේ හරහා පෙන්නුම් කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

රවීන්ද්‍ර විජේගුණවර්ධන ඛනිජ තෙල් ලොකු පුටුවකට !
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන පත්කර ඇති බව වාර් තා වෙයි.
වාර් තා වන ආකාරයට රවීන්ද්‍ර විජේගුණවර්ධන අද (14) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව තිබිණ.
යහපාලන ආණ්ඩු සමයේ 2016 වසරේ හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවකදී මාධ්‍යවේදියකු පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රවීන්ද්‍ර විජේගුණවර්ධන දැඩි කථාබහට ලක්ව සිටියේය.
හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා ගේ සේවය ලිපියක් මගින් අත්හිටුවා නව පත්කිරීම කර ඇති බව එම සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයන් පවසයි.

තැපැල් ජන්දය දින නියමයක් නැතුව කල්දායි !
එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා ඇත.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මේ බව තහවුරු කර සිටියි.
මීට හේතුව ලෙස වාර් තා වන්නේ තැපැල් ඡන්ද විමසීමට අදාළ මැතිවරණ පත්‍රිකා මුදල් ගෙවීමකින් තොරව රජයේ මුද්‍රණාලය විසින් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ය.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

ශ්‍රීලනිප අපේක්ෂක කසිප්පු පෙරද්දී මාට්ටු !
යෝජිත පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු නීති විරෝධි මත්පැන් (කසිප්පු) පෙරමින් සිටියදි තිරප්පනේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ,උට්ටිමඩුව පදිංචි 28 හැවිරිදි අයෙකුය.
ගෝඩා මිලි ලීටර් ලක්ෂ 18ක් සමඟ නීති විරෝධි මත්පැන් ස්ප්‍රීතු මිලි ලීටර් 3750ක් සමඟ මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
මෙම අපේක්ෂකයා මත්පැන් පෙරමින් සිට ඇත්තේ කැලෑබද ප්‍රදේශයක වන අතර සැකකරු නීති විරෝධිව මත්පැන් පෙරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම වැටලීම කර තිබේ.

ජනතා පීඩනය අවම කිරීමට : කඩිනමින් මුදල් නිදහස් කරන්න - ජනපති
මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් ඔවුන්ට කඩිනම් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි දී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
තවද, 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කගේ හිඟ විශ්‍රාමික පාරිතෝෂික අක්මුදල්වලින් කොටස් වශයෙන් ගෙවාගෙන යෑමටත් කැබිනට් මණ්ඩල තීරණය කර තිබේ.
මන්දපෝෂණය තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන මාසික දීමනාව, ආහාර සුරක්ෂිතාව නොමැති පවුල් සඳහා ලබාදෙන මාසික දීමනාව අඛණ්ඩව ලබා දීමටත්, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී, මූල්‍ය ආධාර හා සමෘද්ධි සහනාධාරය හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමටත් තීරණය කර ඇත.
අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය.

ජවිපෙට සැර චෝදනාවක් !
"මැයි 9 වැනිදා අපේ ගෙවල් ගිනි තියපු හේතුව මොකද්ද?මගේ ගෙදර ගිනි තියපු සේරම වීඩියෝ මං ළඟ තියෙනවා. මගේ ගෙදර ගිනි තිබ්බේ වෙන කවුරුවත් නෙමෙයි ජ.වි.පෙ අයයි. ගෙදර ගිනි තියන්න නායකත්වය දීපු කෙනා තමයි මිනුවන්ගොඩ ජ.වි.පෙ රැස්වීමේ පළමුවෙනි කථිකයා. මම ඔහුගැන සියළුම දේවල් හොයාගත්තා. " යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග චෝදනා කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ගම්පහ ඊයේ (12) පැවති ගම්පහ දිස්ත්‍රික් පාලන අපේක්ෂක හමු සඳහා සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණින් වගේම මාලිමාව ලකුණින් ඇවිල්ලත් ගෙවල් ගිනි තිබ්බා. මගේ ගෙදර විතරක් නෙමෙයි මගේ ලේකම්වරයගෙ ගේත් ගිනි තිබ්බා. ජ.වි.පෙ අයට තියෙන්නෙ කුහකකමයි ඉරිසියාවයි විතරයි. හමුදා නිල ඇඳුමෙන් මංකොල්ල කාලා එළවපු මිනිහෙක් අද මිනුවන්ගොඩ නගර සභාවට මාලිමාවෙන් ඉල්ලනවා. මාලිමාවෙන් ඉල්ලන අය ගැන අද ෙෆ්ස්බුක්වල යනවා.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ විවේචනය මිසක් වැඩක් කරන්නේ නැති පක්ෂයක්. ගිනි තියන මිනී මරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන පිරිසකට බලය දීම භයානක වැඩක්. තමන්ට බලය ගන්න කී දාහක් මරපු මිනිස්සුද? බලයට ඇවිත් බලය රැක ගන්න මිනිස්සු කී දාහක් නැති කරයිද? මේ මැතිවරණය ආණ්ඩු පෙරළන්න, ජනාධිපති වෙනස් කරන්න පුළුවන් මැතිවරණයක් නෙවෙයි.
රජය වට්ටන්න බෑ. පාර්ලිමේන්තුව අල්ලගෙන ප්‍රජාතන්ත්‍රවාදය බිම වට්ටලා. රජය විනාශ කරා නම් අද අපි කොතැනද ඉන්නේ කියලා හිතන්න. සාමකාමී අරගලයට අපි එකඟයි. පීඩනයට පත් වූ මිනිස්සු අරගල කරන එක අපි දන්නවා. හැබැයි ජනාධිපතිවරයාගේ පූල් එකට බැහැලා නාන මානසිකත්වය තියෙන මිනිස්සු මේ රට පාලනය අතට ගත්තම මොකද වෙන්නේ කියලා හිතන්න.

අහුවෙන්න එපා : විදෙස් රැකියා ජාවාරමක් !
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සැකසු අමාත්‍යාංශ ලිපි ශිර්ෂයක් භාවිත කරමින් මුදල් වංචාකළ පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව විදේශ රැකියා නියුත්කි කාර්යංශය පවසයි.
එම කාර්යාංශය පවසන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම ජාවාරම්කරුවන් වෙනත් පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මගින් කිසිදු පුද්ගලයෙකුව විදෙස් රැකියා සඳහා යොමු නොකරන බවත් රැකියා සඳහා විදෙස්ගත කිරීම් සිදුකරන්නේ ඒ අදාළ නීත්‍යානුකූල ලියාපදිංචි විදේශ රැකියා ආයතන විසින් පමණක් බවත් ඔවුන් අවධාරණය කරයි.
කිසිදු අවස්ථාවක සිය අත්සන යොදා පුද්ගලයෙකුව විදේශ රැකියාවක් සඳහා යොමු කිරීමට කටයුතු නොකළ බවත් එවැනි ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙසත් විදේශ රැකියා නියුත්කි කාර්යංශය පවසයි.
මෙම ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණයක් පවත්වන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණික් ද යොමු කර තිබෙන බව ද විදේශ රැකියා නියුත්කි කාර්යංශය නිකුත්කළ නිවේදනයෙහි දැක්වෙයි.
විදෙස් රැකියාවක් සඳහා යොමුවීමට තමන් තෝරා ගන්නා විදේශ රැකියා ආයතන නීත්‍යානුකූල ලියාපදිංචි ආයතනයක්ද යන්න තහවුර කර ගැනීම සඳහා විදෙස් රැකියා නියුත්කි කාර්යංශයෙන් විමසිය හැකි බවද දන්වා තිබේ.

ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් !
රසායනික හා කාබනික පොහොර යොදා ගැනීමේ දී ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවත් වාර්තා වෙයි.
තවද ජාතික පොදු පොහොර ප්‍රතිපත්ති සඳහා ක්‍රියාත්මක කළයුතු යෝජනා 35ක් ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් ඉදිරිපත් කර ඇති අතර කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන වශයෙන් යෝජනා ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමටත් නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

තුර්කි -සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 35,000 පනී
තුර්කි හා සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවා තිබේ.
තුර්කියට බලපෑ භූ කම්පනයෙන් එරට හා අසල්වැසි සිරියාවේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තුර්කියේ මරණ සංඛ්‍යාව ඊයේ වන විට 29,605 දක්වා ඉහළ ගොස් ඇති අතර සිරියාවේ 4,500 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
මරණ සංඛ්‍යාව 50,000ට ආසන්න වනු ඇති බවට විශ්වාස කෙරේ.
ගොඩනැගිලිවලට යට වූ පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර දින 07 ක් ගතවන මොහොතේ ඇතැම් මෙහෙයුම් අත්හැර දැමීමට බලධාරීන් කටයුතු කර ඇත. ඒ භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වූ ප්‍රදේශවල උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙනි.
තුර්කි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ භූමිකම්පාවෙන් පැය 150 කට පසු Hatay පළාතේ සුන්බුන් අතරින් බිළිඳෙකු බේරා ගත් බවයි.
මේ අතර මියගිය පිරිස්වල සිරුරු මිහිදන් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 ක ජනතාවකට නිවාස අහිමි විය හැකි අතර 900,000 කට ආසන්න පිරිසකට තුර්කියේ සහ සිරියාවේ හදිසි උණුසුම් ආහාර අවශ්‍ය බවයි.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී
අන්තර්ජාල පද්ධති බිඳවැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ.
එම දෝෂය නිවැරදි කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉන්ටර්නෙට් මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදු වී ඇති බවට හඳුනා ගෙන තිබේ.
එක්දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සඳහා එම බලපත්‍ර ස්පීඩ් පෝස්ට් හරහා ලබා දීම සඳහා කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත් 37,000ක් ප්‍රතික්ෂේප වෙයි
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 37,000ක් පමණ ප්‍රතික්ෂේපවී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර ඉදිරිපත්ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව, හය ලක්ෂ 75,000කට අධිකයි.
තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 15 වැනිදා තැපෑලට භාරදීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිසම පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කරන බවයි.
මෙවර මැතිවරණ රාජකාරී සඳහා ලක්ෂ 2කට ආසන්න රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් යොදාගැනීමට සැලසුම් කර තිබේ.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 22, 23 හා 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

2024 සිට 6න් ඉහළ ශ්‍රේණිවල විෂය මාලා අලුත් වෙයි
2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේදී කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
දෙවන වරට ත් කොළඹදී පැවැත්වූ හුආවේ (Huawei) තොරතුරු තාක්ෂණ (ICT) තරගයේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෘත්‍රිම බුද්ධි විෂය වෛකල්පික විෂයක් ලෙසින් හෝ විෂය මාලාවට ඇතුළත් කෙරෙන බව ත් තොරතුරු තාක්ෂණ විෂය ත් සමගින් සිසුන්ට එම විෂය හැදෑරීමට ඉන් පසු අවස්ථාව උදා වන බව ත් පැවසූ අමාත්‍යවරයා මෙම සියලු අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන්ට පාදක වන අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කර ඇත.
එමෙන් ම මෙරට තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණ වැඩිදියුණුව ත් සමග බැවින් ඒ සඳහා අවකාශ විවර වන පරිදි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූලව ඉහළ නැංවිය යුතු වන අතර උසස් අධ්‍යාපනය තුළ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර පාඨමාලා වැඩි කළ යුතු බව ත් ඊට අවස්ථාව සැලසෙන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වලට විද්‍යා ගණිත ගුරුවරුන් ප්‍රමාණවත් ලෙස ලබා දිය යුතු බව ත් පාසල් පොකුරු හෙවත් පාසල් පර්ෂද සංකල්පය මනා සම්පත් කළමනාකරණයක් යටතේ ඊට පාදක කරගන්නා බව ත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර තිබේ.
අප හා සම මට්ටමේ රටවල් මේ වන විට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 10ක් පමණ අපට වඩා ඉදිරියෙන් සිටින අතර 21 වන සියවසේ 3 වන දශකයේ සිට ආපසු 20 වෙනි සියවසට අපට යා නොහැකි නිසා ඉදිරි වසර පහේදී අනිවාර්‍ය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් කරා යාමේ ඉලක්කය සපුරා ගත යුතු බව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මහින්ද අගමැති කරන්න යෝජනාවක් ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට යෝජනාවක් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකර ඇති බවට පළවන ප්‍රචාරය සාවද්‍ය බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
එම ආරංචි මාර්ග පවසන්නේ එවැනි කිසිම යෝජනාවක් හෝ අපේක්ෂාවක් පොදුජන පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තරයේ නොමැති බවය.
මේ අතර දේශය පුවත්පත ද මෙම පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතින් විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉතා හොඳින් තමන්ගේ රාජකාරිය ඉටු කරන බවත් ඔහු තනතුරින් ඉවත් කිරීමට කිසිදු හේතුවක් නැති බවත් ය.
කෙසේ වුවත් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසූ බවත් එම පුවතේ සඳහන් ය.
Page 219 of 461