V2025

පුවත්

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් : මසට මරණ ජාවාරමක් !

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් සත්වෝද්‍යායේ සේවය කරන සංවිධානාත්මක පිරිසක් විසින් මස් පිණිස ඝාතනය කිරීම සම්බන්දව ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය වෙන්න සුපුන් ළහිරු ප්‍රකාශ් විශේෂ අනාවරණයක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි .

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් සත්වෝද්‍යායේ සේවය කරන සංවිධානාත්මක පිරිසක් විසින් මස් පිණිස ඝාතනය කිරීම සම්බන්දව !

හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ නරඹන්නන් පිනවීම පිණිස රඳවා ඇති සතුන් සහ ඊට යාබද වනාන්තර කොටසේ සිට පැමිණෙන වන සතුන් සත්වෝද්‍යාන සේවකයින් පිරිසක් විසින් විවිධ ක්‍රම මගින් මස් පිණිස ඝාතනය කරන බවට අප සංවිධානයට දැනගන්නට ලැබී ඇත.

මෙසේ ඝාතනය කෙරෙන සතුන් ප්‍රදේශයේ විවිධ හෝටල් සහ බලවත් පුද්ගලයින්ගේ පරිභෝජනය සඳහා යොමුකරන බවත් මේ හරහා රිදියගම සෆාරි උද්‍යානයේ සත්වෝද්‍යාන සේවකයින් කිහිපදෙනෙක් මුදල් උපයන බවත් මේ වන විට මෙම ආයතනය අවට ජනතාව අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති බවද කියැවේ. නමුත් අවාසනාවට කරුණ නම් මේ දක්වා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හෝ රිදියගම සෆාරි උද්‍යානයේ පාලනාධිකාරිය මේ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීමයි. මෙහි ආසන්නතම සිදුවීමක් ලෙස මෙම සෆාරි උද්‍යානයේ ‘ජගත් ශාකභක්ෂක කලාපයේ’ රඳවා සිටින ගෝනෙකු මද්දක පැටලී සිටින ආකාරය එහි යන ඕනෑම කෙනෙකුට දැකීමට හැකියාව පවතී. යම්කිසි හේතුවක් නිසා එම මද්ද ගෝනාගේ අං තට්ටුවේ පැටලීම නිසා අදාළ සත්වයාට හානියක් සිදුවී නැත. යම් හෙයකින් එම මද්ද අදාළ සත්වයාගේ ගෙලෙහි සිරවීම සිදුවීනම් එම සත්වයාද රිදියගම සෆාරි උද්‍යානයේ මෙම සත්වෝද්‍යාන සේවකයින් විසින් සිදුකරන මස් ජාවාරමේ ගොදුරක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

සත්වෝද්‍යානයක් වැනි සංවෘත්ත ප්‍රදේශයක් තුලට පිටස්තර පුද්ගලයින්ට පැමිණ මදු ඇටවීමට ඇති ඉඩ ඉතා සීමිත වන බැවින් අත්‍යාවශ්‍යයෙන්ම ඒ සඳහා රිදියගම සෆාරි උද්‍යානයේ සත්වෝද්‍යාන සේවකයින්ගේ සෘජු හෝ වක්‍ර සම්බන්දයක් තිබිය යුතු බව අපගේ වැටහීමයි. එසේ නැතත් බාහිර පුද්ගලයින් විසින් හෝ එසේ සිදුකරන්නේ නම් ඊට ඉඩදීමට උද්‍යාන බලධාරීන්ට කිසිඳු හැකියාවක් නැත. එම සතුන් උද්‍යානයෙන් පිටතදී මේ ආකාරයෙන් මදු වල පැටලෙන්නේ නම් එය තවත් ගැටළු සහගත තත්ත්වයකි.

එබැවින් මේ පිළිබඳව ඔබගේ ප්‍රමුඛ අවධානය යොමුකර කඩිනමින් විමර්ශනයක් සිදුකර මෙම අමානුෂික හා නීතිවිරෝධී සත්ත්ව ඝානතයන් වැළක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් වරදකරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබාදීමටත් කටයුතු කරන ලෙස අප සංවිධානය දැඩිව ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව ඔබ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අප සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවද සිහිපත්කරනු කැමැත්තෙමු.

මීට විශ්වාසී,

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු

ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

ජනාධිපති වෙන්න මමත් සූදානම් : ඩලස්ගෙන් නිවේදනයක් !

නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී ජනාධිපති තෝරාගැනීම සඳහා වන ජන්දයට ඉදිරිපත් වන බව වාර්තා වෙයි .

අද (15) මන්ත්‍රීවරයා විසින් නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇත .

අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි .

මාධ්‍ය නිවේදනයයි !

අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයින් ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තොරා පත් කර ගත යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.

ශ්‍රි ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන,ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගතකරමින් සිටී. ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැඟුණු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරින් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන් ම මේ වන විට ජනතා අපේක්ෂාවන් ගේ දිශානතිය වෙනස් වී ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි. කුඩා පාසල් දරුවා ගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසාර විසඳුමක් ලබාගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූල දේශපාලන රාමුවක් තුළ ය.

දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විටම මෙරට ජනතාව ගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි. වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි. පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන් ගේ සහ වෘත්තියවේදීන් ගේ සහය ලබාගත යුතු ය. මා ඔවුන් සියලු දෙනාගේම සහය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි ය.

දේශපාලන පාට කණ්නාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව මම මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය ද අපේක්ෂා කරමි.

නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

ඩලස් අලහප්පෙරුම
පාර්ලිමේන්තු මන්ත්‍රී
15. 07. 2022

පාසල් නිවාඩුව යළි දීර්ඝ කරයි

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ලබන බ්‍රහස්පතින්දා (21) පාසල් යළි ආරම්භ කරන බවයි.

ඊළඟ ජනාධිපති පත්වෙන හැටි මෙන්න !

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධුරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිධුරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව මගින් දක්වා ඇති පරිදි ධුරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරීමට පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගැනීම සිදු කළ යුතු බවය.

මෙහිදී මෙම තෝරාපත්කරගැනීම 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන අනුගමනය කරමින් සිදු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

විශේෂයෙන් මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදුවන අතර මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාට ද ඡන්දයක් හිමිවීම විශේෂත්වයකි.

එසේම මෙම ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීම සිදුවේ.

මේ අනුව පනතේ දක්වා ඇති විධි විධාන යටතේ පහත පියවරයන් අනුගමනයකරමින් මෙම තෝරා පත්කරගැනීම සිදුවේ.

1) මෙහිදී ජනාධිපතිධූරය හිස් වූ දිනට පසුව හැකි ඉක්මනින් ද එසේම එදින සිට මාසයක් නොඉක්මවිය යුතු පරිදි ද එම තෝරා පත් කර ගැනීම සිදු කළ යුතුය.

2) ඒ අනුව එම පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර එහිදී පාර්ලිමේන්තුව රැස්වීම සඳහා නියමිත දිනය සහ වේලාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීම සිදුවේ.

3) එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට ජනාධිපතිධූරයෙහි පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය. මේ අනුව එම රැස්වීම් දිනයෙහි සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක ජනාධිපතිධූරය සඳහා නාම යෝජනා බාර ගනු ලබන දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නියම කළ යුතුය.

4) නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කරනු ලැබූ දිනයේ දී පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කිරීම සිදුවේ. මේ අනුව මෙදින ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගැනීමට යම් මනිත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට අපේක්ෂා කරන සෑම මන්ත්‍රීවරයෙකුම තමා විසින් එසේ යෝජනා කරනු ලබන මන්ත්‍රීවරයා තෝරා පත් කර ගනු ලැබුවහොත්, ජනාධිපතිධූරයෙහි සේවය කිරීමට ඔහු කැමැති බවට ලිඛිත එකඟත්වයක් කලින් ලබාගෙන තිබිය යුතුය. එසේම අපේක්ෂකත්වයට යෝජනා වූ මන්ත්‍රීවරයා එදින පාර්ලිමේන්තුවේ සිටිය යුතුය.

5) මෙහිදී ජනාධිපති ධූරය සඳහා එක් මන්ත්‍රීවරයකු පමණක් එසේ යෝජනා කරනු ලැබ ස්ථීර කරනු ලැබුවේ නම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් එම මන්ත්‍රීවරයා ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය. එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකු මෙසේ යෝජනා කරනු ලැබ ස්ථිර කරනු ලැබුවේ නම් ඡන්ද විමසීමක් සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුව විසින් නියම කළ යුතුය. එම දිනය නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ වේලාවෙන් පැය 48 කට පසුව වූ දිනයක් නොවිය යුතුය.

6) ඉන්පසුව ඡන්ද විමසීම සඳහා නියම කරනු ලැබූ දිනයේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කළ යුතු අතර ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර ඔහු විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකළ යුතුය. මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා විසින් කථානායකවරයා ඇතුලු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබිය යුතු අතර එම එක් එක් මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුය. ඉන්පසු එය ඡන්ද පෙට්ටියට දැමීම සිදුකළ යුතුය.

7) එසේම මන්ත්‍රීවරයෙකු විසින් අනවධානයෙන් ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම් එය තේරීම්භාර නිලධාරියාට ආපසු දිය හැකි අතර මේ පිළිබඳ තේරීම්භාර නිලධාරියා සෑහීමකට පත්වන්නේ නම් වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට දිය යුතුය. තව ද එම නරක් වූ ඡන්ද පත්‍රිකාව තේරීම්භාර නිලධාරියා විසින් නොපමාවම අවලංගු කළ යුතුය. මෙහිදී නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රීවරයෙකුගේ නම ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවන වරටත් අඬ ගසන අතර එහිදී ද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදෙන්නේ නම් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටිය ලෙස සලකනු ලැබේ.

8) මේ අනුව එක් මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි “1” යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුය. මෙහිදී අපේක්ෂකයින් කිහිපදෙනෙක් යෝජනාවී ඇති අවස්ථාවක මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතී. ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව යෙදිය හැකිය.

9) මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඡන්ද ගණන් කිරීම සිදුවේ. ඡන්දය ගණන් කිරීම සිදුකරන ස්ථානයට යම් අපේක්ෂකයෙකු පැමිණීමට කැමති නම් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර නැතහොත් තමා නියෝජනය කිරීමට වෙනත් මන්ත්‍රීවරයකු එම ස්ථානයට යෑමට පත්කිරීමට එම අපේක්ෂකයාට හැකිය.

10) දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම්භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නොපමාව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය.

11) එසේම දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකුට ලැබී නොමැති අවස්ථාවල සටහන් කර ඇති දෙවන, තෙවන ආදී මනාප පරික්ෂා කිරීම සිදුවේ. මෙහිදී අවම මනාප ලබා ගත් අපේක්ෂකයන් ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවන මනාප ගණන් කිරීම සිදු කරයි.

12) ගණනය කිරීමේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු විසින් ලබාගෙන නොමැති අවස්ථාවකදී එකී ගණන් කිරීමේ දී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

13) එසේම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමක් සිදු වේ.

රනිල් වැඩ අරඹයි : 19 යළිත් :අතිගරු හළයි : ජනාධිපති කොඩියත් අහෝසියි ! (වීඩියෝ )

වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට පසුව අද (15) විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කිරීමට නියමිත මූලික ප්‍රතිපාදන කඩිනමින් ගෙනෙන බවට ප්‍රතිඥා දුන්නේය .

එසේම ජනාධිපතිවරයාගේ නම ඉදිරියෙන් "අතිගරු" යන වචනය යෙදීම තහනම් කරන බවත් ජනාධිපති පැවසීය .

එමෙන්ම ජනාධිපති කොඩිය අහෝසි කරන අතර රටකට තිබිය යුත්තේ එක කොඩියක් පමණක් බවත් අවධාරණය කර සිටියේ ය.

නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තේරී පත් වන තුරු තමන් ජනාධිපති ධූරයේ වැඩ බලන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ සිදුකරන ඡන්ද විමසීමට යම් යම් බලපෑම් එල්ල වන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයිද මන්ත්‍රීවරුන්ට විවිධ පිරිස්වලින් යම් යම් බලපෑම් සිදුවෙමින් ඇතැයි ද මෙහිදී ජනාධිපතිවරයා පැවසීය .

සාමකාමී අරගලය සඳහා කිසිදු බාධාවක් නැති බවත් නමුත් සාමකාමී අරගලකරුවන් අතරට පැමිණි කැරලිකරුවන් විසින් සිදුකරන රාජ්‍ය විරෝධී කටයුතු වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් තවදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි .

රනිල්ට බයේ සජිත් පස්සට යයි : ෆොනි ජනාධිපති වෙන්න සටනක !

නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ජූලි 20 පැවැත්වීමට නියමිත ජන්ද විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ඊයේ (14) පැයකට ආසන්න කාලයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර සාකච්ඡාවක් තිබී ඇති නමුත් එය එකඟතාවකින් තොරව අවසන්වී ඇත .

මේ අතර විපක්ෂ නායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන ජන්දය සඳහා ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා තමන් ඉදිරිපත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසා ඇති බවත් වාර්තා වෙයි .

කිරිඇල්ල පරළ වෙයි !

කෙසේ වුවත් අද (15) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු පක්ෂ නායකයන් ගේ රැස්වීම අවස්ථාවේ මීට පෙර ගෙන තිබූ තීන්දුව වෙනස් කර විපක්ෂයේ පොදු සම්මුතියක් ඇතිවීම වැළැක්වීමට පිරිසක් ක්‍රියාකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරේය.

විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රී පිරිසක් විපක්ෂයේ නියෝජනය ලෙස සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට ඊයේ එකඟව පැවති නමුත් අද එය වෙනස් කර ඇති බවත් පවසමින් ඔහු එහිදී චෝදනා කර සිටියේ ය .

රනිල්ට බයේ බයේ සජිත් : අඩියක් පස්සට තියයි !

සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පරාජයට පත්වීමේ අවධානමක් ඇත්නම් පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන ජන්දය සඳහා ඉදිරිපත් නොවීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බවය.

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ , ඩලස් අලහප්පෙරුම සහ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරාගැනීමේ ජන්දයට ඉදිරිපත් වනු ඇති බවය.

රනිල් ජනාධිපති ධූරයට : අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ අද (15) දිවුරුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ගෝඨාභය රාජපක්ෂ රටින් පළාගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින 7 ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද නිවේදනය කළේ ඉදිරි දින හතක කාලය ඇතුළත නව ජනාධිපති වරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හරහා සිදුකරන බවය.

එතෙක් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ගෝඨා නිල වශයෙන් ගියා : රනිල් ජනාධිපති ලෙස දිවුරුම්දීමට අගවිනිසුරු වෙත !

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ය.

ජනාධිපති ලෙස දිවුරුම්දීමට රනිල් සූදානම් !

ඒ පසුබිමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට සකස්කර අවසන් ව ඇති බවත් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට තව නොබෝ වේලාවකින් අගවිනිසුරුවරයා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා , නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

අලුත් ජනාධිපති 20 පත්වෙයි !

මේ අතර නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට (16) පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය .

පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සඳහා, රැස්වීමට සාමකාමී වාතාවරණයක් උදා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කතානායක වරයා කීය.

දින හතක් වැනි කෙටි කාලයක් තුළදී සියලු වගකිව යුත්තන්ගෙන් සහභාගීත්වයෙන් නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා සඳහන් කළේය.

අගමැති වෙන්න සජිත් සූදානම් : රනිල් යටතේ බෑ කියා තිස්ස කියයි !

පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි .

ඒ අනුව දැනට විපක්ෂයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වු අතර ඊට ලංකා කම්කරු කොංග්‍රසය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ස්වාධීන පක්ෂ 10 නියෝජිතයන් සහභාගී වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහභාගීවී ඇත .

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ මෙම සාකච්ඡාවට සහභාගීවී නැත.

මේ අතර වැඩබලන ජනාධිපතිවරයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (15) දිනයේදී දිවුරුම්දීමට නියමිතව ඇත.

සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිධූරය යටතේ අග්‍රාමාත්‍යධූරය දැරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සූදානම් නොමැති බවය.

ගෝඨා සමුගනී : ලිපිය email කරයි : බලය රනිල්ට !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය තහවුරු කරයි.

ලිපිය ලැබී ඇත්තේ email ආකාරයට අනුව වන බවත් , මේ වන විට එහි නීත්‍යානුකූල භාවය පරීක්ෂා කරන බවත් කතානායක ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

අදාළ ලිපිය කතානායක වෙත යොමුකර ඇත්තේ , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව වෙත ආරක්ෂාකාරී ලෙස ගොඩබැසීමෙන් පසුවය.

වාර්තා වන ආකාරයට මේ අනුව ජනාධිපති ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ව්‍යවස්ථාවට අනුකූල ලෙස හිමිව ඇති අතර ඔහු හෙට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ය.

092937bc 965f 4732 bc25 f1241b014ca3

ගෝඨාගේ වාර්තා ගත ගොඩබෑමක් !

ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කළ ගුවන් යානය බවට ද පත්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ළඟාවී ඇතැයි වාර්තා වේ.

ජනපති රැගත් යානය මීට සුළු වේලාවකට පෙර සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපල වෙත ගොඩබැස්වූ බවට ගුවන් යානා නිරීක්ෂණ වෙබ් අඩවිවල දැක්වේ.

Flightradar24.com හි දත්තවලට අනුව, Male සිට ගමන් කළ ගුවන් යානය ගොඩබැස්වීමට ආසන්න වන විට පරිශීලකයින් 12220කට වැඩි පිරිසක් විසින් නිරීක්ෂණය කර ඇත.

එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

20220714 172657

20220714 172713

1x 1 696x421

අරගලයට කළු පැල්ලමක් : ආරක්ෂක අංශ සාමාජිකයන් 2ක් මරණයට !

පොල්දූව මංසන්ධියේ දී ඊයේ (13) දින ඇතිවූ කලහාකාරී තත්ත්වයෙන් විරෝධතාකරුවන්ගේ පහර කෑමකට ලක් වූ හමුදා සෙබලෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ පස්වරුවේ සිට විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදී සිටියදී තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව සහ පොලීසිය එක්ව කටයුතු කරද්දී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී හමුදා නිලදාරියෙකුට විරෝධතාකරුවන් විසින් පහර දෙන ලද අතර ඔහු සතු ගිනි අවි සහ පතුරම් ද පැහැර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර ඇත.

අරගලයට කළු පැල්ලමක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අදාළ චෝදනාව බරපතළ බවයි.

ඊයේ දින පාර්ලිමේන්තු පරිශ්‍රය අවට සිට ජනතාව පෙළඹවූ දේශපාලන නියෝජිතයන් මේ වන විට ඔවුන්ගේ ෆේස්බුක් සටහන් පවා සංශෝධනය කර ඇති බවත් , එහෙත් කුපිත වූ ජනතාව හමුවේ අරගලයේ නිරායුද සාමකාමී අනන්‍යතාවය කෙළෙසී ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

එබැවින් කඩිනමින් මේ තත්ත්වය වෙනස් කිරීමට දක්ෂ සංවිධායකයන් සමග අරගලය සංයුක්ත විය යුතු බවත් දේශපාලන විචාරකයන් පවසයි .

එසේ නොවුණුහොත් ඉදිරියට අරගලය පොදුජන සහය නොමැතිව හුදෙකලා ලෙස මර්දනය විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

අරගලයට අලුත් ලෙඩක් : ගිනි අවි පැහැරගැනීමක් ගැන චෝදනාවක් !

බත්තරමුල්ල පොල්දූව හංදියේ ඊයේ (13) ඇති වු නොසන්සුන්තාව අතරතර ප්‍රකෝප වු පිරිස් එහි ආරක්ෂාවට කැඳවා සිටි හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දී බරපතල තුවාල සිදුකර ඔවුන් සතුව තිබු ටී 56 ගිනි දෙකක් පැහැගෙන ගොස් ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසයි.

පිරිසගේ අමානුෂික යකඩ පොලු ප්‍රහාරයට ලක්ව සෙබළුන් දෙදෙනා හිසට හා මුහුණට බරපතල තුවාල සිදුව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

හමුදා සෙබළුන් දෙදෙනාගේ ගිනි අවි දෙක සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, එය භාවිතා කරමින් ඉදිරියේ කිසියම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවත්, ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසට හමුදාව ඉල්ලා සිටියි.

මේ පුවත ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර ඇත .

අරගලයට අලුත් ලෙඩක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මතුව ඇති මේ තත්ත්වය අරගලයට අලුත් ලෙඩක් ලෙසයි .

ඔවුන් පවසන්නේ නිදහස් සාමකාමී සහ නිරායුද උද්ඝෝෂණකරුවන් මෙතෙක් රැකගත් අනන්‍යතාවය මේ තුළ පළුදු කර දැමෙන බවයි.

එබැවින් මීට ඇති පොදුජන සහය ඉදිරියට දුර්වල විය හැකි බවත් පොදුජන සහය නොමැති අරගලය හුදෙකලා වී යාමේ අනතුර යථාර්ථයක් ලෙස පිළිගෙන අරගලකරුවන් කටයුතු කළ යුතු බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කර සිටියි.

ජනාධිපති ඉල්ලා අස්වීමට සූදානම් : සුද්දයට පෙර මන්දිර අත්හරින්න අරගල බිමේ තීන්දුවක් !

ජනාධිපතිවරයා මේවනවිට මාලදිවයිනෙන් සිංගප්පුරුව බලා අද (15) පිටත්ව ඇති බව වාර්තා වෙයි .

ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා ගමන් කිරීමට නියමිතව සිටියේ ඊයේ (14) දිනයේ වුවත් ආරක්ෂක හේතූන් මත එය අද දිනය දක්වා කල් ගොස් තිබුණි.

ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ සිංගප්පූරුවට යාමෙන් පසුව බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ගෝඨා අස්වෙයි : රනිල් ජනාධිපති වෙයි : ආරක්ෂක අංශ සීරුවෙන් !

එම ලිපිය ලැබුන වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිව්රුම්දීමට කටයුතු යොදා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මේ වනවිට සේනාධිනායකයාගේ අණ ලැබෙන තෙක් ත්‍රීවිධ හමුදාවේ සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

ඒ අනුව අරගලකරුවන් විසින් අත්පත්කරගනු ලැබූ සියලු රජයේ ගොඩනැගිලි නිදහස් කර ගැනීමේ මෙහෙයුම් වහාම ආරම්භ වීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.

ජනාධිපති අස්වූ වහාම මන්දිර නිදහස් කරනවා !

කෙසේ වුවත් අද ගෝල්ෆේස් අරගල බිමේ පැවති මාධ්‍ය හමුවකදී අරගල නියෝජිතයන් පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිකුත්කළ වහාම අත්පත් කරගත් ගොඩනැගිලි යළිත් ලබාදෙන බවය.

එසේම තවදුරටත් සාමකාමී නිරායුද අරගලය අවසන් නැති බවත් ඔවුන් පවසයි .

ප්‍රචණ්ඩත්වය සුළු පිරිසක වැඩක් !

මේ අතර ගෝල්ෆේස් අරගල බිමෙන් වැඩිදුරටත් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය දින කිහිපයක් තුළ අරගලය දියත්වූ ප්‍රචණ්ඩ ස්වරූපය කිහිපදෙනෙකු ගේ පටු දේශපාලන අවශ්‍යතා මත දියත්වූවක් බවයි.

සැබෑ අරගලය ඔවුන්ගේ එම ක්‍රියා ප්‍රතිකේෂ්ප කරන බවත් එම ආරංචි මාර්ග පවසයි .

කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය

අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇතැයි, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් මේ නියෝගය පනවනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ජනාධිපති මන්දිර බිමේ : ගංජා ගැහුවා කියා අත්අඩංගුවට අරගෙන !

ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකය අසල ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටි අරගලකරුවකුව පොලිස් විශේෂ කාර්ය බලකාය අද (14) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

ඔහු මීරිගම පදිංචි 24 වියේ පසුවන්නෙකු වන අතර පසුගිය 09 වෙනිදා උද්ඝෝෂණයට සහභාගිවී මට පැමිණි අඛණ්ඩව ඒ ස්ථනයේ රැදී සිටින්නෙක් බවත් ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට විශේෂ කාර්ය බලකායේ සෙබලුන් එම අරගලකරුව ගංජා සුරුට්ටුවද සමඟ කොටුව පොලිස් ස්ථානයට භාරදී ඇත.

කෙසේ වුවත් මීට පෙර අරගල බිම් ආශ්‍රිත පිරිස වෙත රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොවූ නමුත් මේ වන විට එය වෙනස්ව පවතී.

දේශපාලන විචාරකයන් පවසන්නේ අරගලය ක්‍රමයෙන් එහි ඉවසීම සාමකාමී බව සහ නිරායුද අනන්‍යතාවය අහිමි කරගනිමින් සිටින පසුබිමේ ඉදිරිය අවාසනාවන්ත තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

රට තුළ වහා සාමය ස්ථාපනය කළ යුතුයි – ත්‍රෛනිකායික මහ නාහිමිවරු

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතා අපේක්‍ෂාවන් ඉටු කර රට තුළ වහා සාමය ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බව ත්‍රෛනිකායික මහ නාහිමිවරු අවධාරණය කරති.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේලා ප්‍රකාශ කර සිටින්නේ, රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට රටේ ආරක්ෂාව මෙන්ම මහජන ජීවිත ද දැවි තර්ජනයකට ලක්ව ඇති බවයි.

ජන ජීවිත සුරක්‍ෂා කොට ජනතා ගැටලු විසඳීමෙහිලා නිසි සැලැස්මක් නොමැතිව අත්තනෝමතික වූ බල අරගලයක් තුළින් සිදුවනුයේ තවදුරටත් රට අරාජික වීම බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

එහෙයින් මෙම තීරණාත්මක මොහොත් ජනතා අපේක්ෂාවන් පිළිබඳ අවධානය යොමු කොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව වහා කැඳවා ජාත්‍යන්තර වශයෙන් දේශයේ ප්‍රතිරූපයට හානියක් නොවන පරිද්දෙන් විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව උන්වහන්සේලා නැවත නැවතත් අවධාරණය කර තිබේ.

නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, මෙම තීරණාත්මක මොහොත තුළ රටේ නීතියට අවනතව නීතියේ ආධිපත්‍යට ගරු කරමින් සාමකාමිව සිය විරෝධය දැක්වීම හැර මහජන දේපළවලට හානි පමුණුවන කිසිඳු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාවයේ නියුතු මහජනතාව ද වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි.

එසේ ම රට තුළ පවත්නා සැබෑ වතාවරණය පිළිබඳ දැනුවත් වීම මහජනතාවගේ අයිතියක් වන හෙයින් නිදහස් තොරතුරු වාර්තාකරණයට ඉඩ ලබා දී ජන ජිවිත ආරක්ෂා කරමින් රටේ සාමය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම ආරක්ෂක අංශවල යුතුකම හා වගකීම වන බව ද මහ නාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අගමැති කාර්‍යාලය යළිත් බාරදෙන්න : නීතිඥ සංගමය අරගලයට දන්වයි !

අරගලකරුවන් පිරිසක් විසින් අත්පත්කරගත් අග්‍රාමාත්‍ය කාර්‍යාලය යළිත් බලධාරීන් වෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර ඇත .

සාමකාමී විරෝධතාවලට ඇති අයිතිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය අඛණ්ඩව තහවුරු කරන අතරම ව්‍යවස්ථා විරෝධි වන අවනීතිය හෝ අරාජික තත්ත්වයකට සහය නොදක්වන බවත් එම නිවේදනය පවසයි .

රජයේ කාර්යාල අල්ලාගෙන විනාශ කිරීමට හෝ දේපොළවලට හානි කිරීමට උත්සාහ කිරීම සාමකාමී විරෝධතාවක් නොවන බවත් අදාළ නිවේදනයේ පෙන්වාදී ඇත.

සංසුන්ව සිටින ලෙසත්, දේශපාලන නායකයින් පොරොන්දු වු බල සංක්‍රමණයට ඉඩ තබන ලෙසත් මෙම නිවේදනය හරහා නීතිඥ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාය දන්වා ඇති පරිදි අද දිනයේ ඔහුගේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව නිවේදනය කිරීම මෙරට ජනතාව තුළ ඇති නීත්‍යානුකූල අපේක්ෂාවක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා රටෙන් පිටව යන බවට වාර්තා පළ වෙමින් තිබියදී ඉල්ලා අස්වීමේ ලිපිය හෝ නිශ්චිත වේලාවක් ජනතාවට දැනුම්දී නැත.

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීම පිළිබඳ වාර්තා පළ වූ බවත් ජනාධිපතිවරයා රට හැර ගොස් ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 එක වගන්තිය යටතේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා පත් කල බව කතානායකවරයා දැනුම් දුන්නේ ය.

මෙම සන්නිවේදනයන් මහජනතාව අතර ව්‍යාකූලක්වයට හා අවිනිශ්චිතතාවය හේතුවී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ඕනෑම පෞද්ගලික හෝ පොදු දේපොළකට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ විනාශයක් ජනතාවට දුන් පොරොන්දුවලට පිටුපා සිටිමට නිදහසට කරුණක් ලෙස භාවිතා කළ හැකි බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේ ය.

Page 218 of 377