V2025

පුවත්

ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී : සාගල රත්නායක !

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක පත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබෙි.

සාගල රත්නායක යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි : රනිල් සුබ පතයි !

ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු අද (25) උදෑසන දිවුරුම් දුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

හමුදා උත්තමාචාර මැද, මුර්මුගේ දිවුරුම්දීම සිදුව ඇත්තේ උදෑසන 10.15 ට, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනා ඉදිරියේය.

ජනපති ධුරයෙන් සමුගන්නා රාම් නාත් කෝවින්ද්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට සහභාගී වූ බවත් වාර්තා වෙයි .

දිවුරුම් දීමෙන් පසු පළමු නිල ට්විටර් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිනිය ඉන්දියානුවන් සැවොම ආමන්ත්‍රණය කළේ ‘ජොහාර් නමෂ්කාර්‘ යනුවෙනි.

තම රාජකාරි නිසි ලෙස සම්පූර්ණ කිරීමට ඉන්දියානුවන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත .

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ‘සන්තාල්’ ගෝත්‍රිත කාන්තාවකි. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මුර්මු දේශපාලන නායිකාවක බවට පත් වූයේ ‘සන්තාල්’ ​ගෝත්‍රය යෝජනය කරමිණි.

ඒ අනුව, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වුණු පළමු ගෝත්‍රික කාන්තාව වන්නේ මුර්මුය.ප්‍රතිභා පටෙල් ගෙන් පසු, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වුණු දෙවැනි කාන්තාව වන්නේ ද මුර්මුය.

ද්‍රෞපදී මුර්මු 1947 ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු උපන් අයෙකු වන අතර, නිදහසින් පසු උපන් කෙනකුට ඉන්දීය ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාවද මෙයයි. ඉන්දීය ජනාධිපති ධුරයට පත් ළාබාලතම පුද්ගලයා වන්නේ ද මුර්මු ය. ද්‍රෞපදී මුර්මු උපත ලබා ඇත්තේ 1958 ජූනි 20 වැනිදාය. ඒ අනුව යැයි ද පැවැසෙයි.

ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලගය වසර 5 කි. ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

ජනාධිපති රනිල් සුබ පතයි !

මේ අතර අද දිවුරුම් දුන් ඉන්දීය ජනාධිපතිනියට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක්කර ඇත.

අදාළ සුබ පැතුම් ලිපිය පහත දැක්වෙයි .

IMG 20220725 WA0008

පුටින් රනිල්ට සුබ පතයි !

කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ලාංකික රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි" යනුවෙන් සඳහන් කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කර ඇත .

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී වැ⁣ටෙරි අද (25) උදේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයට පැමිණ රුසියා ජනාධිපතිවරයාගේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබන බව ද රුසියා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙි.

"ඔබට සියලු සාර්ථකත්වය මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍ය ​​ප්‍රාර්ථනා කරමි"යනුවෙන් ද රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එවූ ලිපියේ සඳහන් වේ.

අදාළ ලිපිය පහත දැක්වෙයි .

image 716c303569

සර්ව පාක්ෂික ආණ්ඩුව : සජිත් බෑ කියද්දී 08ක් යන්න සූදානම් !

ඉදිරි සති දෙක තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන බවට මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර ගියත් එවන් ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .

පුවත්වල සඳහන් ආකාරයෙන් ඇමති තනතුරු හා වරප්‍රසාද ලබාගනිමින් ජනතාව ඇන්දවීමේ රඟපෑමක් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන අතර එයින් රට ගොඩනැගීමට කිසිදු දායකත්වයක් නොලැබෙන බව විපක්ෂ නායකවරයා කියා සිටියි.

ඒ අනුව එවැනි බොරුවකට කිසිසේත්ම එකතු නොවන බව පැවසූ ඔහු, විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බවත් සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය බවත් සඳහන් කර ඇත .

සජබ 8ක් ආණ්ඩුවට !

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරි සති දෙක තුළ පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ වගකීම් දැරීමට සමගි ජනබලවේගය පක්ෂයේ 8කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවයි.

ඔවුන් සමගි ජනබලවේගය පක්ෂයේ උදවිය බවත් ඒ හැර සමගි ජනබලවේගය සන්ධානය යටතේ තවත් සුළුපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද ආණ්ඩුවේ වගකීම් ගැනීමට සූදානමක් ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අදාළ මන්ත්‍රීවරුන් ආණ්ඩුව වෙත සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා එජාප ප්‍රබලයන් කිහිපදෙනෙකු මැදිහත්ව සිදුකරමින් සිටින බවත් ආරංචි මාර්ග පවසයි .

අරගලය අස්සේ තඹ උස්සපු හොරු මාට්ටු !

කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී රන් ආලේපිත තඹ බෝල හතළිහක් සොරකම් කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

ඊට අනුව අරගලකරුවන් විසින් ජනාධිපති නිල නිවෙසට ඇතුලු වීමෙන් පසු හොරුන් විසින් මෙම භාණ්ඩ සොරකම් කර ඇත .

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරණ යකඩ අලෙවිකරණ ස්ථානයකට මේවා අලෙවි කිරීමට තැත් කිරීමේ දී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද හෙළි වී ඇති බවත් පොලිසිය පවසයි .

ජනාධිපතිගෙන් විදෙස් රාජතාන්ත්‍රිකයන්ට සහතිකයක් !

සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් රාජතාන්ත්‍රිකයන් හමුවේ අවධාරණය කර ඇත .
පසුගිය සිකුරාදා (27) පැවති කොළඹ දි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇත .

නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි .

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම රජය විසින් තහවුරු කරන බව ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත .

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණුවලට බාධා කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදෙන බව ඇමරිකානු සිවිල් නිදහස සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත .

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කරන තිබේ .

විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ ඇතුළත පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබා දෙන බවත් ජනාධිපති පවසා ඇත .

GotaGoGama විරෝධතා අඩවිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු දෙමින්, වැරදි සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව එය ආරක්ෂක අංශ විසින් ඉවත් කර නොමැති බවත් රාජතාන්ත්‍රිකයන් හමුවේ ජනාධිපතිවරයා පැහැදිලි කරන ඇත .

තවද, පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන නීතිමය මාර්ග පිළිබඳවද නීතිපතිවරයා විසින් සහභාගිවන්නන් දැනුවත් කරනු ලැබූ බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත .

ජනාධිපති කාර්යාලය මාස 03 කට පසුව විවෘත කරන්න තීන්දුවක් !

ගෝල්ෆේස් අරගල බිම හේතුවෙන් මාස 03කට අධික කාලයක් වසා දැමුණු ජනාධිපති ලේකම් කාර්යාලය හෙට (25) සිට යළි සාමාන්‍ය පරිදි කටයුතු කරන බව වාර්තා වෙයි .

වැඩ ආරම්භ කිරමට පෙර අරගලකරුවන් සහ ඒ වෙස්ගත් කඩාකප්පල්කාකාරීන් විසින් කඩා බිද දමා තිබුණු ජනෙල් දොරවල් මෙන්ම කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට සිදු කර ඇති බවත් සඳහන් වෙයි.

එසේම අද (24) ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ හමුදාපති විසින් නිරීක්ෂණ චාරිකාවක් සිදුකළ බවත් ඔවුන්ගේ නිර්දේශය මත මෙසේ සුපුරුදු රාජකාරි ඇරඹීමට තීන්දු කර ඇති බවත් දැනගන්නට ඇත .

අර්බුද අස්සේ කොවිඩ්වලින් පරිස්සම් වෙන්න : 4 වෙනි මාත්‍රාව ගන්න !

කොව්ඩ්-19 මර්දන එන්නතේ 4 වන මාත්‍රාව ලබාගැනීම සඳහා පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

විශේෂයෙන් හෘදරෝග, දියවැඩියාව වැනි බෝනොවන රෝගවලින් පෙළෙන්නන් සහ වැඩිහිටියන් 4 වන මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන ලෙසත් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

4 වන මාත්‍රාව රටපුරා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලවල ශීත කාමර තුල ගබඩා කර තිබෙන බවද එම ස්ථානවලට ගොස් විමසීම් කර 4 වන මාත්‍රාව ලබා ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉදිරියේදී මතුවිය හැකි මතු විය හැකි අවදානම මගහරවා ගැනීම සඳහා 4 වන මාත්‍රාව අවශ්‍ය බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ගෝඨා සිංගප්පූරුවේදී අත්අඩංගුවටද ? අගෝස්තුවේදී මිරිහාන ටද ?

හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතීඥයින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි .

2009 සිවිල් යුද්ධයේදී ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවත්, ඒවා විශ්ව අධිකරණ බලය යටතේ සිංගප්පූරුවේ දේශීය නඩු පැවරීමට යටත් වන අපරාධ බවත් එම පැමිණිල්ලෙහි සඳහන් බවත් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට අදාළ පැමිණිල්ල පිටු 63 කින් යුක්තය.

වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කර ඇති බවට නීතිමය පැමිණිල්ල තර්ක කරයි.

මිනීමැරුම්, මරණ දණ්ඩනය, වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම, ස්ත්‍රී දූෂණය සහ වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වය, නිදහස අහිමි කිරීම, දරුණු කායික හා මානසික හානි සහ සාගින්න ඊට ඇතුළත් ය.

ගෝඨා සිංගප්පූරුවෙන් අබුඩාබි ගිහින් මිරිහානට !

කෙසේ වුවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිංගප්පූරුවේ සිටින හිටපු ජනාධිපතිවරයා ජූලි මස අවසානයේදී සෞදි - අබුඩාබි හී නිවාඩුවක් සඳහා යාමට නියමිත බවය.

සති කිහිපයක් එහි පවුලේ සාමාජිකයන් සමග නිවාඩුව ගතකර අගෝස්තුවේදී මෙරටට පැමිණ සිය මිරිහානේ නිවසට පැමිණීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි .

එහිදී ඔහු රජයෙන් ලැබෙන නිල නිවස සහ කාර්‍යාලය මේ වන විට ප්‍රතිකේෂ්ප කර ඇති බවත් , දේශපාලන කටයුතු වලින් බැහැරව පවුලේ සාමාජිකයන් සමග හුදෙකලා වීමට තීන්දුවක් ගැන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙරට ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඔහුට හෝ ඇයට විශ්‍රාම වැටුපක්, ආරක්ෂකයන් පිරිසක් , කොළඹට තදාසන්න නිවසක්, කාර්‍යාල පරිශ්‍රයක් ඇතුළත් පැකේජයක් හිමිවෙයි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණියහොත් ඔහුට ද මෙකී වරප්‍රසාද හිමිවනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .
මේ වන විට හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ආර්‍යාව , චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග , මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන මෙකී වරප්‍රසාද සියල්ල භුක්ති විඳීයි.

ජනාධිපති රනිල් මෛත්‍රීගේ නිවසට ?

අරගලකරුවන් විසින් අත්පත් කරගැනීමෙන් පසුව ජනාධිපති මන්දිරය සහ අරලිය ගහ මන්දිරය දැඩි ප්‍රතිසංස්කරණයක් කිරීමට සිදුව තිබීමත්, දැනට සිදුවන නීතිමය කටයුතු හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වෙනත් නිවසක් ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ලබාදීමට තීරණය වී ඇත.

මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට පැජට් පාරේ නිවසින් ඉවත්ව යාමට සිදුවිය.

පසුගිය ජූලි 09 වනදා අරගලකරුවන් යැයි කියන පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ පෞද්ගලික නිවස ගිනිබත් කෙරුණු අතර එය යළි ප්‍රතිසංස්කරණය නොකිරීමට ඔහු තීරණය කර ඇති බවත් පැවසෙයි .

මීට පෙර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු නිල නිවස ලෙස භාවිතා කළේ ඔහුගේ පෞද්ගලික නිවසය. එකී නිවස ගිනිබත් වීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ ආර්‍යාව රැකවරණය ලබා ඇත්තේ හමුදා මූලස්ථානයේ නිවස්නයක බවත් දැනගන්නට ඇත .

සාගලට සහ සෙනරත්ට : ජනාධිපති උපදේශක තනතුරු ?

හිටපු අමාත්‍ය සාගල රත්නායක සහ හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ජනාධිපති උපදේශකයන් ලෙස පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට හිටපු අමාත්‍ය සාගල රත්නායක මේ වන විටත් ජනාධිපති උපදේශක ලෙස නම් කර ඇත .

ඒ බව පසුගියදා ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි. ඒ "ජනාධිපති උපදේශක සාගල රත්නායක" ජනාධිපතිවරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවක් සඳහා සහභාගි වූ බව සඳහන් කරමින්ය .

එසේම ඉදිරි දිනක ගාමිණී සෙනරත් ද ජනාධිපති උපදේශක ලෙස නිල වශයෙන් පත්කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි .

ගාමිණී සෙනරත් හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ ජනාධිපති ලේකම්වරයකු ලෙස සේවය කර ඇති අතර වසර 35කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවූ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.

දේශපාලන පක්ෂ සුනාමියක් : සති 2 න් අලුත් ආණ්ඩුවක් !

පක්ෂ මාරු රැසක් සමඟ සති දෙකක් ඉක්මයන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට වත්මන් පාර්ලිමේන්තුව තුළ පක්ෂ සහ කණ්ඩායම් 18න් 14 ක් අදාළ සර්ව පාක්ෂික ආණ්ඩුව වෙත සම්බන්ධ කරගන්නට ජනාධිපති සැලසුම් කර ඇත .

ඒ ජනාධිපතිවරණය අවස්ථාවේ ඔහුට සහය දැක්වූ පාර්ශ්ව බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන්නේ ද පොදුජන පෙරමුණ වන අතර එහි මන්ත්‍රීවරුන් 101 ක් ජනාධිපතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ වෙත ජන්දය ලබාදී ඇත.

එබැවින් පිහිටුවීමට යන නව ආණ්ඩුවේ ද ප්‍රධාන පාර්ශ්වය වන්නේ පොදුජන පෙරමුණ වන අතර අමාත්‍ය මණ්ඩලයේ වැඩි කොටසක් ඔවුන්ට හිමිවනු ඇත.

ඊට අමතරව සමගි ජනබලවේගය පක්ෂයේ පිරිසක් , ශ්‍රීලනිපයේ පිරිසක් , ඊපීඩීපිය, එජාපය , ලංකා කම්කරු කොන්ග්‍රසය ,විග්නේෂ්වරන් කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානයේ පිරිසක්, අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පිරිසක්, රිෂාඩ් බදියුදීන් ගේ පිරිසක් , ස්වාධීන මන්ත්‍රීන් කණ්ඩායමේ (පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසගෙන්) කොටසක් ද නව රජය සඳහා සහය පළ කරමින් තනතුරු භාරගන්නා බව දැනගන්නට ඇත.

එසේම එම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යංශ 30 කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 30-35 ත් අතර ප්‍රමාණයක් ගනු ඇති බවත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

ශ්‍රීලනිපයේ ගෝරියක් : දයාසිරි සභාපති වෙන්න සැළැසුමක් !

තමන්ට ඉහළින් සිටින ජ්‍යෙෂ්ඨයන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වීමේ උත්සාහයක එහි මහ ලේකම් දයාසිරි ජයසේකර නිරතව සිටින බවට එම පපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් චෝදනා කරයි.

ඔවුන් මෙසේ චෝදනා කර සිටින්නේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර එල්ල කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් ය.

මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ශ්‍රීලනිප මහ ලේකම් පවසා ඇත්තේ පක්ෂයේ සියලු දෙනාට එකම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට මීට පෙර පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන තිබියදී නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර දෙකක් භාරගනු ලැබු අතර මහින්ද අමරවීර වත්මන් ආණ්ඩුවේ ද අමාත්‍ය ධූරයක ඉකුත්දා දිවුරුම් දීම ශ්‍රීලනිප මහ ලේකම් ගේ චෝදනාවට හේතු වී ඇත.

පක්ෂය කලින් ගත් තීන්දුව තවදුරටත් බලාත්මක බවත්, එලෙස අමාත්‍ය ධූර භාරගැනීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීන්දුව ගත යුත්තේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පක්ෂ මහලේකම්වරයා සඳහන් කර ඇත .

කෙසේ වුවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ පක්ෂයේ තමන්ට ඉහළින් සිටින ජ්‍යෙෂ්ඨයන් ඉවත්කර අනතුරුව වත්මන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ද විවේචනය තුළින්ම ඉවත් කිරීම මහ ලේකම් ගේ උපක්‍රමය වියහැකි බවයි.

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කරන වකවානුවේ දී ඔහුට මහ ලේකම් ධූරය හිසරදයක් වන තරමට දයාසිරි ජයසේකර විසින් ප්‍රසිද්ධියේ විවේචනය කළ බවත් අවසානයේ මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා දුමින්ද දිසානායක පක්ෂයේ ප්‍රධාන සංවිධායක කර දයාසිරි ජයසේකර මහ ලේකම් කරමින් විවේචනය අවසන් කරවූ බවත් ඔවුන් සිහිපත් කරයි.

එසේම ඉදිරියට හදන්න නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුව තුළත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිප සාමාජිකයන් වගකීම් භාරගන්න සූදානමක් ඇති අතර , දයාසිරි කියන ආකාරයට මන්ත්‍රීවරුන් ඉවත් කළහොත් පක්ෂයේ ඉතුරු වන්නේ මෛත්‍රීපාල සහ දයාසිරි පමණක් විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි .

ගෝල්ෆේස් මෙහෙයුම : පාර්ලිමේන්තු විවාදයට දින දෙයි !

අරගලකරුවන් කොළඹ ගෝල්ෆේස්" ගෝඨා ගෝ ගම" අරගල භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ විවාදයක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉල්ලා සිටි අතර ඊට ආණ්ඩුව පාර්ශ්වය දින ලබාදීමට කටයුතු කර ඇත .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පවසා ඇත්තේ එළැඹෙන (27) අදාළ විවාදය පැවැත්වීමට සූදානම් බව ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අග්‍රාමාත්‍යවරයා වෙතින් ඉල්ලා තිබුණේ අදාළ විවාදය හෙට (25) ලබාදෙන ලෙස ය.

එහෙත් අග්‍රාමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයේ සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව (25) රැස් කිරීම සහ මන්ත්‍රීවරුන් කැඳවීම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ප්‍රායෝගික වශයෙන් දුෂ්කර හෙයින් හදිසි නීති ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව 27 රැස්වන අවස්ථාවේදී එම කාරණයද විවාදයට ගැනීමට රජය අදහස් කර ඇති බවය.

පාර්ලිමේන්තුව අනිද්දා දිනයේ රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කළේ හදිසි නීතිය පිළිබඳ ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පමණය.

අරගලයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක් !

ගෝල්ෆේස් අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අරගලකරුවන් විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මාධ්‍යවේදීන්ට සහ නීතීඥවරුන් පිරිසකට පහර දීම පිළිබඳව ය.

ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා හමුදාව සහ පොලීසිය විසින් ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර එම ප්‍රදේශය යළි අත්පත් කර ගැනීමේ දී මෙම ගැටුම්කාරී තත්වය ඇති විය.

රජයේ සේවකයන් තව මාසයක් නිවසේ සිට රාජකාරී

රාජ්‍ය ආයතනවල සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ‍සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (24) සිට තවත් මාසයක කාලයක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීම සිදුවේ.

image 7d7b052510

 

කොරෝනා යළිත් හිස ඔසවයි

කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවට දැනුම් දෙන්නේ සෞඛ්‍ය රෙගුලාසී නිසි පරිදි අනුගමනය කරන ලෙසය.

මේ අතර ඊයේ කොරෝනා ආසාදිතයින් 72 ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කළේ ය.

ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හතර දහස් අටසිය හතලිස් හතරක් දක්වා ඉහළ යනු ඇත.

කොරෝනා ආසාදිතව සිටි 60 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (23) සඳහන් කළේ ය.

මේ අතර සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දිර්ඝ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් ආයතනයේ සැපයුම් අංශයේ නිර්දේශයට අනුව ෆයිසර් කොවිඩ් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව, සෙල්සියස් අංශක 90 – 60 දක්වා උෂ්ණත්වයක ගබඩාකර තිබූ එන්නත් කල් ඉකුත්වීමේ කාලය මාස 9 සිට 12 දක්වා දීර්ඝ වනු ඇත.

QR කේතයට ඉන්ධන දෙන නියමු ව්‍යාපෘතිය : දීප ව්‍යාප්ත ඉන්ධන හල් මෙන්න !

QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (23)සිට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිරවුම්හල් 25 ක ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය පවසයි .

පසුගිය 21 වනදා සිට QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය සිදුකෙරුණේ කොළඹ තෝරාගත් පිරවුම්හල් කිහිපයකදී පමණය.

එහෙත් ලබන සඳුදා සිට QR කේතය මත පදනම්ව දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බැවින් මෙලෙස අද දිනයේ නියමු ව්‍යාපෘතිය සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මකවන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කෙරෙන නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඉන්ධන හල් ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධ කර ඇත .

අදාළ ඉන්ධන හල් ලැයිස්තුව පහත දැක්වෙයි .QR

 

 

Page 213 of 377