V2025

පුවත්

සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජයෙන් සහතිකයක් !

ශ්‍රී ලංකා රජය සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කරයි.

ඒ අනුව, රජය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (UPR) එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු රාජ්‍ය කිහිපයක් විසින්ම සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.

විදේශ කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව අලි සබ්‍රි අමාත්‍යවරයා පැහැදිලි කර සිටියේය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ගොඩනැඟී ඇති සමාජ කතිකාවත පළමු වරට සංවාදයට බඳුන් වූයේ 1994 වර්ෂයේ දිය. එදා පටන් මේ වන තුරු ඔවුනට සාධාරණයක් ඉෂ්ට වී නොමැත.

එකී වගන්ති තුළින් පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා දඬුවම් ලැබිය හැකි වරදක් බවට නිගමනය කරන මුත්, එකී කිසිඳු වගන්තියක් ඔස්සේ සමලිංගිකත්වය, හෝ විවිධ ලිංගික අනන්‍යතාවලට එරෙහි ප්‍රකාශයක් අඩංගු නොවේ.

තව ද, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා මොනවාද යන්න පිළිබඳ නිර්වචනයක් ඇත්තේ ද නැත.

නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය විසින් මෙම වගන්ති අවභාවිතා කරමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුනට පීඩා සිදුකිරීමට කටයුතු කරන අතර, මෙම චෝදනා මත අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට මානසික රෝගයක් පවතින බවට හැඟවීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂාවලට යොමුකළ අවස්ථා ද තිබේ.

එවන් පසුබිමක් තුළ, විදේශ කටයුතු අමාත්‍යවරයා සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජය කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

මේ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචන සැසිවාරයේ සිව්වන චක්‍රයේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ යන රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් මෙරට රජයෙන් ඉල්ලා සිටි අතර, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් වලට ගරු කරන මෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණ.

වී කිලෝවක් සඳහා රුපියල් සියයක සහතික මිලක් : ජනපතිගෙන් උපදෙස් !

වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක් වෙමිනි.

පරන්තන් වෙල්යායට පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළා. ඒ නිසා මෙවර මහ කන්නයේ දී වී අස්වැන්නේ අතිරික්තයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව වී කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට රජයෙන් මිලදී ගන්න කටයුතු කරනවා.

අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳිනවා. අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටිනවා. ඒ නිසා පවුල් ලක්ෂ විස්සකට මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී සහල් කිලෝ ග්‍රැම් 10 බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව සිංහල, දෙමළ අලුත් අවුරුදු සමය වන විට ඒ අයට සහල් කිලෝ 20ක් ලැබී තිබෙනවා.

දැනට හෙක්ටයාරයකට ලැබෙන්නේ වී මෙට්‍රික් ටොන් 03ක වගේ ප්‍රමාණයක්. අපි ක්‍රියාවට නංවනු ලබන කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සමඟ හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් හයක්වත් ලබා ගන්න අපට අවශ්‍යයි. හැකිනම් එය මෙට්‍රික් ටොන් 07 දක්වා වර්ධනය කරගත යුතුයි. එම දියුණුව ඇතිකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරනවා. මීට වඩා වී මිලදී ගැනීමේ ක්‍රම සහ ගබඩා කිරීමේ ක්‍රම ඉන් පසුව නිර්මාණය වේවි. ඒ වගේම කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ නවීන හාල් මෝල් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුළදී ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අපිට හැකි වේවි. මේ ප්‍රදේශයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. පුනරින් වැව ප්‍රතිසංස්කරණය කිරීමට අපි කටයුතු කරනවා. ඉරනමඩු වැව මේ වනවිට සකස් කර අවසන්.

 යාපනය දිස්ත්‍රික්කය සහ උතුරු පළාත නැවත රටටම ආහාර සැපයිය හැකි තරම් අස්වැන්නක් ලැබීමට හැකි පළාතක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා. මීට අමතරව සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් පියවර ගැනීම අපේ අපේක්ෂාවයි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව කිළිනොච්චිය, පන්නම් කන්ඩි වෙල්යාය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සිටි ගොවි ජනතාවගේ ද ගැටලු පිළිබඳ සොයා බලමින් ඔවුන් සමඟ සුහද කථා බහක නිරත විය.

ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ජනාධිපතිවරයා දැක බලා ගැනීමට ඒ අවට රැස්ව සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි කුඩා දරුවන් අතරට ගොස් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=3942#sigProIdbdb60e43c4

ඡන්දෙට සහාය නොදෙන හැමෝටම එරෙහිව නඩු දානවා - මැ.කො.සභාපති

මාර්තු නමවන දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා සියල්ලන්ගේ සහාය අවශ්‍ය බවත් එසේ නොකරන සියළු පාර්ශ්වයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා  සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කොට තිබේ.

විශේෂයෙන්ම මැතිවරණ කටයුතු සදහා පෙබරවාරි මාසයට අවශ්‍ය මුදල ලෙස රුපියල් මිලියන අටසියයක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එම මුදල් ලබා දී නොමැති බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් මහා භාණ්ඩාගාරයෙන් මීට පෙර ඉල්ලා සිටින ලද රුපියල් මිලියන සියයක මුදල ලැබුණු බව මැතිවරණ කොමිසම පවසා තිබුණි.

මීට අමතරව මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සහ මැතිවරණ රාජකාරියේ නියුතු නිළධාරීන්ට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස මැතිවරණ කොමිසම විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමද මේ දක්වා ඉටු වී නැති බව ද පැවසේ.

mawrata.lk

ආනයනික අර්තාපල් මත බද්දක් !

මෙරට අර්තාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාවත් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් සිදු කරන අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කළේය.

ඒ අනුව අර්තාපල් ආනයනය කිරීම තහනම් කිරීම වෙනුවට ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බව අමාත්‍ය මහින්ද අමරවීර  පැවසීය.

හෙට (13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධව තමන් ජනාධිපතිතුමන්ට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ බීජ අර්තාපල් වගාවේ අස්වනු නෙලීම ඊයේ (11) ආරම්භ විය. එම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


අත්‍යවශ්‍ය නොවන සැත්කම් ප්‍රමාද කෙරේ......

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, වෛද්‍ය නිර්දේශය මත කල් දැමිය හැකි ශල්‍යකර්ම මෙලෙස කෙටි කාලයක් සඳහා ප්‍රමාද කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට රජයේ රෝහල්වල ඖෂධ 140 ක පමණ හිඟයක් පවතින බවයි.

මේ වනවිට ඊට අදාළ ඇණවුම් ලබා දී ඇති අතර, ඉන් ඖෂධ වර්ග 40 ක් පමණ ලබන සතියේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ අනුව ලබන මාසය වනවිට පවතින ඖෂධ හිඟය 75% - 80 % කින් මග හැරෙනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය.

කෙසේ වෙතත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගැනෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල  කියා සිටියේය.

 

උතුරේ පවුල් 197කට ඉඩම් ඔප්පු

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (11) සිදු කෙරිණි.

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති උතුරේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරිම සිදු කර තිබේ.

සංකේතාත්මකව කිහිප දෙනකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක් පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස් තම ඉඩම් නිදහස් කර දීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කළහ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=3942#sigProId2209d07f8f

සංස්කෘතිය, සංහිඳියාවේත් සංවර්ධනයේත් පාලමයි - ජනපති

රජයේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය සහ සංස්කෘතිය බවත් වැටී ඇති රට ගොඩනැඟීමට අලුත් බලාපොරොත්තුවකින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු නායකයා ලෙස ජනතාව තෝරාපත් කරගනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන් මහතා බව සිහිපත් කළ ජනාධිපතිවරයා සිංහල දෙමළ නායක සුසංයෝගකින් රට වේගයෙන් ඉදිරියට ගෙන යා හැකි බවද පෙන්වා දුන්නේය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ඉන්දීය රජයේ ආධාර මත රුපියල් කෝටි 1350ක වියදමින් යාපනයේ ඉදි කළ “සංස්කෘතික මහමැදුර” විවෘත කිරීමේ උත්සවයට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

අපගේ 75 වන නිදහස් සංවත්සරය කොළඹ පමණක් නොව යාපනයේදීත් සමරන්න අපි තීරණය කළා. ඒ වැඩසටහන අප ආරම්භ කරන්නේ මේ සංස්කෘතික මධ්‍යස්ථානයෙන්. මෙය අපට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් ලබා දුන් ත්‍යාගයක්. ඒ නිසා එතුමාට සහ ඉන්දීය රජයටත් ස්තූතිය පිරිනැමීම මගේ පළමු කාර්යය වෙනවා. ඉන්දියාවත් ලංකාවත් එක්ව කරන වැඩසටහන්වල එක් ප්‍රධාන අංගයක් තමයි මෙම වැඩසටහන.

මේ ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය ඇතිකිරීමේ ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව වගේම විශේෂයෙන් ත්‍රිකුණාමලය වරාය සංවර්ධන වැඩසටහන පිළිබඳවත් අපි සාකච්ඡා කරගෙන යනවා. බලශක්ති ක්ෂේත්‍රය ඉන් ප්‍රධානයි. ඒ වගේම මේ ආර්ථික අර්බුදයෙන් සහ ණය උගුලෙන් නිදහස් වීමට අපට ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කරනවා.

මේ සංස්කෘතික මධ්‍යස්ථානය පොදු මධ්‍යස්ථානයක්. මම සෑම අවස්ථාවකම පවසන පරිදි රටවල් දෙකෙහි සංස්කෘතිය වෙන් කරන්න බෑ. එක කාසියක එක් පැත්තක් ඉන්දියාව, අනෙක් පැත්ත ලංකාව. අපට තිබෙන මෙම එකම සංස්කෘතිය ආරක්ෂා කරගෙන වර්ධනය කළ යුතුයි.

ඒ නිසා මේ මධ්‍යස්ථානය ලබා දීම පිළිබඳ සියලු දෙනා වෙනුවෙන් මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අද සංස්කෘතික අංගවලට සහභාගී වූ හා පසුව සහභාගි වන සියලුදෙනාටත් මම ස්තූතිවන්ත වෙනවා.

අපගේ 75 වන නිදහස යාපනයේ සමරන්න අපි තීරණය කළේ නිදහස් සටනට යාපනයෙන්, අපේ දෙමළ ජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබුණ නිසයි. ආරුමුග නාවලර් මැතිතුමා ආරම්භ කළ පුනර්ජීවනය පිළිගෙන තමයි ඊට පසු හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා බෞද්ධ පුනර්ජීවනය ආරම්භ කළේ. එතනින් තමයි අපේ පළවෙනි සිංහල නායකත්වය බිහි වුණේ. පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත් කළා. ඒ ගැන එතුමාට ස්තූතිවන්ත විය යුතුයි.

ශ්‍රී ලාංකිකයන් තෝරාපත් කරගත් පළවෙනි නායකයා පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා. 1915 අර්බූද කාලයේදී අපේ සිංහල බෞද්ධ නායකත්වය ආරක්ෂා කර දුන්නේ පොන්නම්බලන් රාමනාදන් මැතිතුමා බව කියන්න කැමතියි.

හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ බර හා සමාන රත්තරන් දෙන්නම් කියල හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ ජීවිතය බේරන්න කියලා එතුමා ආණ්ඩුකාරවරයාට කිව්වා. ඒක අසාර්ථක වුණා. ක්‍රීසි මැතිතුමාත් සමඟ සිංහල බෞද්ධ නායකයින් වෙනුවෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සටන් කළා.

පොන්නම්බලම් අරුනාචලම් ලංකා ජාතික සංගමය ආරම්භ කළා. වෘත්තිය සමිතිවලට නායකත්වය දුන්නා. අවාසනාවකට එතුමා 1924 දි මිය ගියා. ඊට වසරකට පසුව එෆ්.ආර්. සේනානායක මහතා මිය ගියා. ඒ දෙදෙනා ජීවත් වුණා නම් මීට වඩා වෙනස් ඉතිහාසයක් අපේ රටට තිබෙනවා. සිංහල කලාව පිළිබඳව ලෝකය දැනුවත් කළේ ආනන්ද කුමාරස්වාමි මහතාගේ සිංහල කලාව ග්‍රන්ථය. ඒවගේම අරුනාචලම් මහදේව මැතිතුමා මේ රටේ නිදහස වෙනුවෙන් ඉදිරියට පැමිණියා.  ඒ වගේම හින්දු ආගම දියුණු කරන්න, කොළඹ සිවම් කෝවිල ඇති කරන්න, තවත් කෝවිල් ඇතිකිරීමට ඒ පවුලෙන් උදව් උපකාර ලැබුණා. මේ පවුල ලාංකික, සිංහල, බෞද්ධ, ද්‍රවිඩ, හින්දු ආගම් ඉදිරියට ගෙන යාමට සහයෝගය ලබා දුන්නා.

ලාංකිකයින් ලෙස මෙන්ම යාපනයේ ජීවත්වන ජනතාව ලෙසත් අපි සියලුදෙනාම ඒ පවුලට කෘතඥතාව පිරිනැමිය යුතුයි. ඒ වගේම වෛද්‍යලිංගම් තුරෙයිසාමි මැතිතුමා අපිට අමතක කිරීමට බැහැ. නිදහස ලබාගැනීමේ ව්‍යාපාරයේ දී ඩී.එස්. සේනානායක මැතිතුමාට සහාය ලබාදුන් සී. සුන්දරලිංගම් අමාත්‍යවරයාත් ඒ වගේම සී. සිත්තම්පලම් අමාත්‍යවරයා, නල්ලයියා අමාත්‍යවරයාත් අපි මෙහිදි සිහිපත් කළ යුතුයි.

ඒ වගේම ජී.ජී. පොන්නම්බලම් , චෙල්වනායගම් මැතිතුමත්, එම්. තිරුචෙල්වම් ඇමතිවරයාත් සිහිපත් කළ යුතුයි. මේ නායකයින් තමයි ලංකාව ගොඩනඟන්න අනෙකුත් නායකයින් සමඟ එක්ව කටයුතු කරනු ලැබුවේ. ඒ අනුව යාපනයේදීත් නිදහසේ 75 වන සංවත්සරය සමරන්න රජය තීරණය කළා. අපි දැන් අලුත් ගමනක් යා යුතුයි. එහිදී සියලු ශ්‍රී ලාංකිකයින් එක්විය යුතුයි. සංහිඳියාව ගැන පෙබරවාරි 08 වනදා මම කතා කළා. නැවත ඒ පිළිබඳ මෙතනදි කතා කිරීමට අවශ්‍ය නැහැ. ඒත් සංස්කෘතිය පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය හා සංස්කෘතියයි. ද්‍රවිඩ සංස්කෘතිය මගින් ලාංකීය සංස්කෘතිය පෝෂණය වී තිබෙනවා. ඒ සඳහා තමිල්නාඩුව සහ කේරළයේ සම්බන්ධයක් තිබෙනවා.

විශේෂයෙන් පාණ්ඩ්‍ය විජයධානී රාජධානීවල ඉදලා ජාවකජාති චන්ද්‍රබාහුර් පාලකයාගේ සිට ආර්ය චක්‍රවර්ති රජවරු සමයේත්, සපුමල් බුවනෙකබාහු රජතුමාගේ කාලයේත්, සංගිලි රජතුමාගේ කාලයේත් විශාල සංස්කෘතියක් මේ ප්‍රදේශයේ නිර්මාණය වුණා. නල්ලූර් කෝවිල ඇති කළා. ඒ වගේම සංගිලි රජතුමාගේ විශාල මාළිගාව තිබුණා. කෝට්ටේ රජතුමාට විශාල මාළිගාවක් අවශ්‍යවුනා නම් ඒ මාළිගාව මීටත් වඩා විශාල වනු ඇති බව ඒ අනුව අපට සිතිය හැකියි. .ශ්‍රාවස්ති මහල් සංස්කෘතික මධ්‍යස්ථානය ඉන්පසුව ඉදි කළා.
යාපනයේ ඉතිහාසය ගැන පොත්පත් වගේම වෛද්‍ය පොත් පත් තිබුණා. වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියැවී තිබු පුස්කොළ පොත් පෘතුගීසින් විසින් ගිනි බත් කළ බව සඳහන් වෙනවා.
ඒ නිසා තමයි මීගපුල්ලෙ ආරච්චි විසින් පෘතුගීසීන්ට විරුද්ධව කැරලි දෙකක් ආරම්භ කළේ. එතුමා අමතක නොකළ යුතුයි. නැවත මේ සංස්කෘතිය ඕලන්ද කාලයේ ඇති වුණා. යාපනය තේසවලාම නීතිය ආරම්භ කෙරුණා. එහිදී නව නීති යාපනය ට ගෙන ආවා. ඕලන්ද කාලයේ දී යාපනය සංස්කෘතික දියුණුවක් තිබුණා . බ්‍රිතාන්‍ය කාලයේ යාපනයේ ආර්ථික දියුණුවක් පැවතුණා.

1840 පළමු පුවත්පත නිකුත් කළා. එමගින් යාපනයේ සාහිත්‍යය දියුණුව ආරම්භ වුණා . නමුත් යුද්ධය එක්ක ඒ සියල්ල විනාශ වුණා . පුස්තකාලය ගිනිතිබ්බා. යාපනය කොටුව විනාශ කළා. නමුත් කෙසේ හෝ යාපනයේත්, කොළඹත් ඒ වගේම ඩයස්පෝරාව ලංකාවේ පිටතත් මේ ද්‍රවිඩ කලාව සහ සංස්කෘතිය ආරක්ෂා කළා.

දැන් නැවත එහි පිබිඳීමක් සිදුව තිබෙනවා. චිත්‍රපටි වගේම යුද්ධය පිළිබඳ භාෂා තුනෙන්ම ලියුවුණු ග්‍රන්ථ තිබෙනවා. ඒ වගේම කලාව දියුණු වී තිබෙනවා. අලුත් කලාවක් සහ සංස්කෘතියක් ගොඩනැඟි තිබෙනවා.

අපි අද සම්ප්‍රදායික ද්‍රවිඩ සංගීතයකට සවන් දෙනවා. ද්‍රවිඩ ගීතවලට ඇහුම්කන් දෙනවා. ඒ වගේම ආර්. රහුමාන්ගේ ගීත සිංහල අයත් අහනවා. සිංහල ගීත ද්‍රවිඩ අයත් අහනවා. අපි අලුත් කලාවක් ඇති කර තිබෙනවා. අපි එය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා මම සංස්කෘතික අමාත්‍යවරයාට කිව්වා ගාල්ලේ තිබෙන සාහිත්‍ය උළෙල වගේ එකක් යාපනයෙත් පවත්වන්න කියලා. ඒ වගේම අලුත් කලාවක් අපි ඇති කරමු. මේ ගමන අපි සියලුදෙනා එකට එකතුවෙලා යමු. වැටුණ රට ගොඩනගන්න අපි සියලුදෙනා එකතු වෙමු.

මේ ස්ථානය තමයි යාපනයේ ද්‍රවිඩ කලා මධ්‍යස්ථානය විය යුත්තේ. ඒ නිසා ඉන්දීය රාජ්‍ය ඇමතිතුමනි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාටත් දැනුම් දෙන්න අපි මෙම ස්ථානය “සරස්වති මහල්” ලෙස නම් කරන බව. අපි අලුත් බලාපොරොත්තුකින් ඉදිරියට යමු.

 ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වසරේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී දෙවතාවක් යාපනය ට පැමිණියා . උතුරේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ හොඳ අවබෝධයක් එතුමාට තිබෙනවා . පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා උතුරේ ප්‍රශ්න විසදීමට ගන්නා පියවර පිළිබඳ පැහැදිලි කළා. 13 වන ව්‍යවස්ථාව සංශෝධනය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළා. 2022 වසරේ පැවති ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයාට හැකි යැයි සිතා අප සියලුදෙනා එතුමා ට සහයෝගය දුන්නා. එම අර්බුදයෙන් මේ වන විට අප ගොඩඑමින් තිබෙනවා .ඒ නිසා වත්මන් ජනාධිපතිවරයා ට අප සහයෝගය දැක්විය යුතුයි . උතුරේ ජනතාව ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ලෙස ජීවත් වෙන්න කැමතියි .

ඉන්දීය රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන් 

අද ඉන්දියාවට සහ ලංකාවට විශේෂ දවසක්. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.2015 වර්ෂයේ මාර්තු මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලංකාවේ සිදු කළ සංචාරයේදී තමයි මීට මුල්ගල තැබුණේ. අද එහි ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතාව වෙත ලබා දී මට හැකි වී තිබෙනවා. යාපනය ජනතාවගේ සංස්කෘතික කලා කටයුතුවල වර්ධනයක් ඇති කිරීමට මෙම සංස්කෘතික මධ්‍යස්ථානය පිටිවහලක් වනු ඇති.

මම මෙම දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක සිදු කළ සංචාරවලදී නිවාස මෙන්ම යටිතලපහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍යය, කෘෂි කර්මාන්තය වැනි අංශවල දියුණුවට ඉන්දියාව ලබා දී ඇති සහයෝගය දැක ගැනීමට ලැබුණා. දොරෙයිඅප්පා ක්‍රීඩාංගනය, තිරුකේදීස්වරම් කෝවිලත් ඒ අතර වනවා. තවද 2022 ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ ඇමරිකානු ඩොලර් මිලියන 04ක් ලබා දෙමින් සහාය දීමට ඉන්දියාව කටයුතු කළා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍යාධාර ලබා ගැනීමට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඉන්දියාව ඒ අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දුන්නා. ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය තවත් ඉදිරියට ගෙන යමින් උතුරු පළාතේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල ළමුන් 100ක් සඳහා ශිෂ්‍යත්වයක් හඳුන්වා දීමට මෝදී අග්‍රාමාත්‍යවරයාගේ අදහසක් තිබෙන බවත් මෙහිදී පැවසිය යුතුයි.

2047 වසර වන විට ඉන්දියාව නිදහස ලබා වසර 100ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව මේ වන විටත් සැලසුම් සකස් කර ක්‍රියාවට නංවා තිබෙනවා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවත් එසේ කර ඇති බව. ඒ ගමන අප දෙරටම සහයෝගයෙන් යනු ඇති බවත් විශ්වාස කරනවා.

ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෙක්කලනාදන්, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=3942#sigProIdf7f516fb62

 

 

ලංකාවේදී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපලට

''ජනප්‍රිය නොවන, අසීරු තීරණ ගෙන රට ගොඩනැඟීමට කැපවෙමු'' යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 ඔහු එම ඉල්ලීම කරනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය ඊයේ (10) කොළඹ සිටි සෙන්ටර් හිදී මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් ආයෝජන තුළින් තහවුරු වන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.

Hyundai Grand i10 වාහනය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විදෙස් රටවල් අප රට පිළිබඳ තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ. මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.‍ෙ

''මෙම Hyundai Grand i10 මෙරට එකලස් කිරීම, පෙස්ටන්ජී මහත්මියගේ අධිෂ්ඨානයට උපහාරයක්.1977 දී ආර්ථිකය විවෘත කළ විට ඇය මෙම ගමන ආරම්භ කළ ආකාරය මම දන්නවා.

මට මතකයි එදා මම පස්වැනි පටුම‍ගෙන් ගාලු පාරට එන විට අබාන්ස් ප්‍රදර්ශනාගාරයක් තිබුණා. අද වන විට ඔබ එතනින් මේ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඔබ කළ දේට බොහෝම ස්තූතියි.

දකුණු කොරියාව සහ ලංකාව අතර පවතින සහයෝගීතාවය වගේම කොරියාවෙන් වැඩි ආයෝජන ප්‍රමාණයක් අපේ රටට ලැබෙන නිසා මෙය අනෙකුත් ආයෝජකයින්ගේ පැමිණීමටත් හොඳ ආරම්භයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා..

අද විශේෂයෙන්ම Hyundai Grand i10 වාහනය ශ්‍රී ලංකාවේදී මේ අයුරින් වෙළෙඳපොලට හඳුන්වා දෙන්නේ අපේ රට පිළිබඳ තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරමිනුයි.

අපේ රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක මෙවන් වාහනයක් හඳුන්වා ‍දීමට කටයුතු කළ අබාන්ස් හා හුන්ඩායි සමාගම්වලටත් පෙස්ටන්ජී මැතිණියටත් මගේ විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුයි.

මේ වාහනය හඳුන්වාදීම සිදු වන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක. නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩ නැ‍ඟෙනවා කියන විශ්වාසය ඇතුවයි. ඒ තැබූ විශ්වාසය පිළිබඳව නැවතත් මම ඒ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. ''

 ''ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකියි ''

ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනප්‍රිය නොවන එහෙත් රටට හිතකර අසීරු තීරණ ගැනීමට ඉදිරියේ දී සියලු දේශපාලන නායකයින් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.\

බදු පැනවීම් සිදු කළේ රටේ ජනතාව මුහුණ දී ඇති අසීරුතාව නොදැන නොවන අතර රටේ ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් එම තීරණය ගැනීමට සිදු වූ නමුත් නුදුරේදීම ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් මොහොතක නවතම වාහනයක් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් තහවුරු වන බව ජනාධිපතිවරයා පැවසීය.

''පසුගිය වසරේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ පසුබිමක අපි 2023 වසර ආරම්භ කළේ ඉතා අසීරු අදියරකින්. නමුත් මේ වන විට ක්‍රමාණුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ අනුව ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුම් ලබාදීමට හැකි වී තිබෙනවා. ඒ අයුරින්ම අපි තවත් ප්‍රශ්න ගණනාවක් විසඳා තිබෙනවා.

මෙවර මහ කන්නයේදී අපි හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් මිලියන 20ක වී මිළ දී ගෙන අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට අපි කටයුතු කරනවා.

රටේ ආර්ථිකය ගොඩනැංවීමට අපි මෙවන් පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඒ වගේම IMF සංවිධානය සමඟ එකඟත්වයකට පැමිණිමට හැකි වී තිබෙනවා. පැරිස් සමාජය, ඉන්දියාව, චීනය සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඔවුන් අතර ඇති වෙනස් ක්‍රමවේද විසඳ ගැනීමට අප කටයුතු කරනවා. ඒ අනුව තව මාස කිහිපයක් ගත වන විට මීට වඩා ආර්ථික දියුණුවක් සිදුවෙලා එළැඹෙන වසර වන විට යළිත් වාහන මිළ දී ගත හැකි පාරිභෝගිකයන් පිරිසක් රටේ සිටිනු ඇති බවට කිසිඳු සැකයක් නෑ.

අලෙවියක් නැත්නම් ව්‍යාපාරිකයෙක් මුදල් ආයෝජනය කරන්නේ නෑ. ආර්ථිකය කඩා වැටී ඇති බව හිතනවා නම් අළෙවියක් තිබෙන බව හිතන්නේ නෑ. එසේ නම් අපේ ආර්ථිකය ගොඩනැ‍ඟෙමින් ඇති නිසා තමයි මෙවන් ආයෝජන සිදු වන්නේ.

ආර්ථකය ගොඩනඟමින් ඉදිරියට යන මෙම ක්‍රියාදාමය තුළ අපට විවිධ තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ අතරින් සමහර තීරණ ඉතා අපහසුවෙන් ගැනීමට සිදු වෙනවා. ඒ තීරණ ජනප්‍රිය නොවන තීරණ වෙන්න පුළුවන්.

ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අසීරුතාව මම දන්නවා. ඒ වගේම බදු වැඩි කිරීම නිසා ඇති වූ දුෂ්කරතාව මම දන්නවා.

සමහරුන්ගේ වැටුපෙන් බදු හා ණය ගෙවූ පසු ඉතුරු වන්නේ ඉතා සුළු මුදලක්. මේ දුෂ්කරතාව දරාගන්න සිදුවන්නේ තව ඉතා ටික කාලයයි. අප රට ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් අපි මේ මේ තීරණ ගත්තේ නැත්නම් අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැහැ.

එමෙන්ම ඉදිරියේ දී රට පිළිබඳ සිතා තීරණ ගැනීමට අපේ සියලු දේශපාලන නායකයින් කැපවනු ඇතැයි මම විශ්වාස කරනවා. අපිට ජනප්‍රිය තීරණ ගන්න පුළුවන්. ඒත් ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු වෙන්නේ නෑ.
''සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ කිසි විටෙක ජනප්‍රිය තීරණ ගත්තේ නෑ. ඔහු තීරණ ගත්තේ රට වෙනුවෙන්. ඒ තීරණ පිළිගනිමින් ජනතාව එතුමා සමඟ වැඩ කළා''

සිංගප්පූරුව ඊට හොඳ උදාහරණයක්. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ කිසි විටෙක ජනප්‍රිය තීරණ ගත්තේ නෑ. ඔහු තීරණ ගත්තේ රට වෙනුවෙන්. ඒ තීරණ පිළිගනිමින් ජනතාව එතුමා සමඟ වැඩ කළා.දකුණු කොරියාවේ පාලකයනුත් ඒ වගේ රට වෙනුවෙන් අසීරු තීන්දු තීරණ ගත්තා. යුරෝපයේ තත්ත්වයත් එයයි.

විශේෂයෙන්ම එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් අගමැතිතුමාගේ කාලයේ දී කිව්වා යුරෝපා සංගමයෙන් ඉවත් වුණොත් අලුත් වෙළෙඳපොල ලබා ගත හැකි බවත් ඉතිරි කරන මුදල්වලින් සෞඛ්‍ය සේවය දියුණු කළ හැකි බවත් ප්‍රකාශ කළා. ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වුණා. සෞඛ්‍ය සේවයට මුදල් තිබුණේ නෑ. තිබෙන වෙළෙඳපොල තවත් අඩු වුණා.

ඉන්පසු පත් වූ ලිස් ට්‍රස් අගමැතිනිය බදු අඩු කිරීමට කටයුතු කළා. ඊට දින දෙකක් ගත වෙන්නත් පෙර එංගලන්තයේ පවුමක අගය කඩා වැටුණා. සමහර විට රුපියල කඩා වැටුණට වැඩිය වේගයෙන් පවුම කඩා වැටුණා. එතුමිය අගමැති තනතුරින් ඉවත් වෙලා දැන් යළිත් නව අගමැතිවරයෙක් පත්වී සිටිනවා. වර්තමාන අගමැතිවරයා රට වෙනුවෙන් හොඳ තීරණ ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

අපේ රටේ අනාගතය වෙනුවෙනුත්, තරුණ තරුණියන්ට හොඳ රටක් ගොඩනඟාදීම වෙනුවෙනුත් අපට මේ තීරණ ගැනීමට සිදුව තිබෙනවා. වැඩි කාලයක් ගතවීමට පෙර මේ රටේ ආර්ථිකය යළි ගොඩනැගෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

USAID වෙතින් සහල් මෙට්‍රික් ටොන් 600ක්

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID)විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 600 ක් ලබා දී ඇත.

මෙම ආයතනය මගින් ඉදිරියේදී සහල් මෙට්‍රික් ටොන් 3,950ක්, රතු පරිප්පු මෙට්‍රික් ටොන් 768ක්, සෝයා මෙට්‍රික් ටොන් 1,188ක් සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,310ක් ලබාදීමට නියමිතව ඇතැයි එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

එසේම මෙම වැඩසටහන මගින් පාසල් දරුවන් මිලියන 1.7ක් සහ ගර්භනී හා කිරිදෙන මව්වරුන් ලක්ෂ 03කට පෝෂණය ලබාදීමට හැකියාව ලැබේ.

අමෙරිකාව පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 270 කට වැඩි නව ආධාර ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන(WFP)සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න පිරිසක් මේ වන විට ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ පා සිටිති.

වැල්ලවායටත් භූ චලනයක්

වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් මෙම භූ චලනය සිදුව ඇති බවය.
කෙසේ නමුත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ, භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි.

ඊයේ (10) දහවල් කාලයේ බුත්තල, වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශ වල රික්ටර් මාපකයේ ඒකක 3.5 සහ 3ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලන දෙකක් සිදුවිය.

මැතිවරණයට අදාළ සියලු කටයුතු වළක්වන්නැයි, ගොනු කළ පෙත්සම සලකා බැලීම 23 තෙක් කල්යයි

පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු සංවිධාන කටයුතු වළක්වන්නැයි, ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව් .එම්. ආර්. විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 23 දක්වා කල් දමා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මූලික විරෝධතාවක් ගොනු කරමින් ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම්කරු , පාර්ශව නිසියාකාරයෙන් පෙත්සමෙන් ඉදිරිපත් කර නොමැති බවයි.

එමෙන්ම පෙත්සම්කරු ශ්‍රී ලංකාවේ වලංගු ඡන්ද දායකයෙක් ද යන්න සනාථ කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය.

එම පෙන්වාදීමෙන් පසු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසයි.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ ප්‍රකාශ කළේ, රට ආර්ථික පීඩනයකට ලක්ව තිබෙන අවස්ථාවේ ඉතා අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මුදල් වෙන්කරන ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයෙන් පෙන්වා දී ඇති බවයි.

අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ  මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබිණ.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර කළේ, මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 23 වැනිදා දක්වා කල් තැබීමටයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යැවූ වැදගත් ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැහැ - අමාත්‍ය සුසිල්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යැවූ වැදගත් ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පාර්ලිමේන්තුවේදී අද (10 )පැවසීය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වැඩ වැඩි නිසා එහි වැඩ වෙනත් අයට පවරන්නැයි ඉල්ලීමක් කළ අමාත්‍යවරයා ලිපියට උත්තරයක් නොලැබීම හේතුවෙන් විදුහල්පතිවරුන් පත්කර ගැනීමට නොහැකිව ඇතැයි සඳහන් කළේය.

ප්‍රේමජයන්ත  මෙසේ පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

විදුලි කප්පාදුවට එරෙහි මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලත් ප්‍රතික්ෂේප කෙරේ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මානව හිමිකම් කොමිසම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ උසස් පෙළ විභාග සමයේ කිසිඳු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට ලබා දුන් නිර්දේශ නොතකා දිගින් දිගටම විදුලිය කප්පාදු කිරිමෙන් අධිකරණයට අපහාස කල ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසයි.

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා යනු එක් පුද්ගලයෙකු බවත් ඔහුට විදුලිය විසන්ධි කිරිමට අදාළව වගකීම සම්පුර්ණයෙන් ගැනීමේ හැකියාව නොමැති බව පෙනී යන්නේ යැයි, ගාමිණි අමරසේකර , කුමුදුණි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ය.

එබැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කල මෙම නඩුව ගාස්තු නොමැතිව ප්‍රතික්ෂ්ප කිරිමට විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.

කෝටි දෙක මගේ : මන්දිරයේ හමුවූ සල්ලි ගෝඨා ඉල්ලයි !

අරගල සමයේ ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ  (08) ප්‍රතික්ෂේප කර ඇත.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්  මහේස්ත්‍රාත්වරයා  සඳහන් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවත්, මෙය මුදල් පිළිබදව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවත්ය.

එමෙන්ම මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබදව වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්ති ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර කළ ඉල්ලීම අධිකරණය එලෙස ප්‍රතික්ෂේප කළේය.

ආර්ථික ස්ථායිකරණ අනු කම්ටුවේ දෙවන වාර්තාව පාර්ලිමේන්තුවට !

ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභාවට අදාළ අනුකාරක සභාවේ දෙවන වාර්තාව අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ.
 
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසා සිටියේ අනුකාරක සභා දෙකෙහි වාර්තා දෙකම පාර්ලිමේන්තු සභාවේ විවාදයකට යොමු කලයුතු බවයි.

ෆවුසි පාර්ලිමේන්තුවට !

ඒ.එච්.එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (09) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන  ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.

සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ ඒ.එච්.එම් ෆවුසි  මෙලෙස දිවුරුම් දී තිබේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වුණි.

පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ ඒ.එච්.එම් ෆවුසි මහතාට මනාප 48,701ක් ලබාගෙන මනාප ලැයිස්තුවේ 07වන ස්ථානයට පත් වුණි.

හිටපු කැබිනට් අමාත්‍යවරයකුද වන ඒ.එච්.එම් ෆවුසි මන්ත්‍රීවරයා මේ වන විට 85 වියෙහි පසුවේ.

13 ගැන ස්ථාවරය ගැන අනුර දුන්න උත්තරය !

13 සංශෝධනය ඉදිරියට ගෙන ඒම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අටවා ඇති උගුලක් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක පවසයි.

එනිසා එම උගුල හසු නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
 
දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති වරයා ක්‍රියාත්මක කිරීමට හැදුවොත් ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ‘එයා ගේන්නෑ.. එයා හැමදාම ඔය සෙල්ලම දාන මනුස්සය.. එයාට ඕනි මේ රට ගිනි තියලා තමන්ගේ බලය ආරක්ෂා කරන්න’ යනුවෙන් ඔහු කියා සිටියේය.

කෙසේ වුවත් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්ථාවරය හෝ පෙර ස්ථාවරයම දරන්නේද යන්න ඔහු පැහැදිලි කලේ නැත.

ජන්දය තියනවාද නැද්ද : තීන්දුව දින 3ක් තුළ !

ඉදිරි දින තුන තුළ ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන බව මැතිවරණ කොමිසම පවසයි.
 
එහි සභාපති නීතිඥ  නිමල් පුංචිහේවා පවසන්නේ  ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන අතර දැනට ඒ සම්බන්ධව ගැටලුවක් මතු වී නොමැති බවයි.
 
මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.
 
කෙසේ වෙතත් මැතිවරණ අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නැති බවද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව ද ඔහු පවසයි.

Page 220 of 461