V2025

පුවත්

DP දොට්ට දාන්න : අගමැති ජනාධිපතිට දන්වලා ?

කැබිනට් සම්ප්‍රදායන් කඩකරමින් හැසිරෙන කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි ස්ථාවරයක සිටින බව ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි .

අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග අනුව අදාළ හැසිරීම අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ත්‍රාඩ ජාවාරම්කරුවකුට වන අතර මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම ස්ථාවරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දී ඇත .

රටේ ආර්ථික අර්බුදය විසඳීමට නිසි සැලැස්මක් නැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ (ජුලි 06) ප්‍රකාශ කළේය.

අදාළ මාධ්‍ය හමුවේදී ඇමති ධම්මික පෙරේරා විසින් , අග්‍රාමාත්‍යවරයා , මුදල් අමාත්‍ය වශයෙන් රටේ ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බව, ඔහුට රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සැලසුමක් නොමැති බව, ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කරන බව ඇතුළු බරපතළ ප්‍රකාශ රැසක් සිදුකර තිබිණ .

කෙසේ වුවත් මේ වන විට ඇමති ධම්මික පෙරේරා ගේ අදහස් දැක්වීම , පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මදුර විතානගේ , වසන්ත බණ්ඩාර , නාලක ගොඩහේවා විසින් බරපතළ ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කර ඇත.

අරගලකරුවන්ට පොලිස්පතිගෙන් දැනුම්දීමක් !

අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු අයිතිවාසිකම් මුවාවෙන් සාමකාමී බව බිඳ වැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටින ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස්පති ඉල්ලා සිටින්නේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසය.

එම අවස්ථාවේදී නීත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පෞද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසට පොලිස්පතිවරයා මහ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත .

ස්ථාවර තැම්පත් සහ පොලී අනුපාත ඉහළට !

ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර ඇත .

ඒ බව අද (07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

ඊට අනූව මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින්, පිළිවෙලින් සියයට 14.50 දක්වා සහ සියයට 15.50 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින සියයට 4 මට්ටමේ පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතිබව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

කැසිනෝ වෙනුවෙන් නියාමන අලුත් වෙයි : DP දැන් MK ?

සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි .

එසේම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුලදී අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇති බවත් වාර්තා වෙයි .

ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදු කෙරුණු අතර සිය මව් රටේදී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී කැසිනෝ හල්වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබි තිබුණි.

මෙම ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර් ,යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ගණනාවක් ලැබි තිබුනු බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත .

ඇතැම් විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතාම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බවට වාර්තා වන බවත් මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

මේ අතර පසුගියදා කැසිනෝ නියාමනය ඇතුළු සූදු බදු විධිමත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන එනු ලැබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ අතර එයින් දින 2ක් යන තැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ යෝජනාවක් ඉදිරිපත් විය.

ඒ බැසිල් රාජපක්ෂ ගේ පුරප්පාඩුව වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පැමිණි මෙරට අංක එකේ කැසිනෝ ව්‍යාපෘති ලෙස ප්‍රසිද්ධ ධම්මික පෙරේරා විසින් ය.

ඔහු මේ වන විට වත්මන් ආණ්ඩුවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

 

තෙල් දෙන සාකච්ඡාවට රුසියාවෙන් එයි : පිළිගන්න විමල් යයි !

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා වන සාකච්ඡා සඳහා රුසියානු ඉන්ධන සමාගම් නියෝජිතයින් දෙදෙනෙකු මෙරටට අද (07) පැමිණ ඇති බව වාර්තා වෙයි .

මෙම නියෝජිතයන් පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබූ බවත් වාර්තා වෙයි .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අමතා ශ්‍රී ලංකාවට සහනදායි පදනම මත ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

ඒ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්වීටර් සටහනක් ද තබා තිබිණ .

බැසිල්ගේ ගිනිකෙලි මාතරින් ඇරඹේ : ඩලාට සහ කාංචනට අභියෝගයක් !

පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ දේශපාලන පළිගැනීම් සිදුකරන බව මාතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ඒ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරය දරන ලද ක‍්‍රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කරන්නට මැදිහත් වෙමිනි.

බැසිල් රාජපක්ෂ ගේ මැදිහත්වීම තුළ අලුතින් පත්වීම ලබා ඇත්තේ අරුණ ගුණරත්න බවත් වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නව සභාපතිවරයා රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙකු වෙයි.

මේ පත්වීම් මාරුවේ දේශපාලන සටන වන්නේ හිටපු සභාපතිව ක‍්‍රිෂාලි මුතුකුමාරණ ධුරයට පත් කිරීම සඳහා නිර්දේශ කර ඇත්තේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍ය කංචන විජේසේකරගේ වීමය.

මේ අතර වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන ලෙසත් බැසිල් රාජපක්ෂ විසින් දැනුම් දීමක් කර ඇති බවයි.

ආණ්ඩුව ඇතුලෙන්ම DP කිච වෙයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වියයුතු බවට අමාත්‍ය ධම්මික පෙරේරා සිදුකළ ප්‍රකාශයට ප්‍රබල අතුල් පහරක් පොදුජන පෙරමුණ පාර්ශ්වය වෙතින්ම එල්ලවී ඇත.

ඒ ජනාධිපති ගෝඨාභය ගේ වියත්මග සංවිධානයේ ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා විසිනි .

එහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇති අතර එම ට්වීටර් සටහන පහත දැක්වෙයි .

sere3

වැඩි මිලට හෝ තෙල් දෙන්න තීන්දුවක් !

රටේ තිබෙන ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීමට ලබන 22 වැනිදාට පෙර වැඩිමිලට හෝ පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ එළඹෙන 13 වනදා වනවිට පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සැපයුම්කරුවෙකු ඉදිරිපත්ව සිටින බවය.

දේශපාලන සංස්කෘතියේ රැඩිකල් වෙනසක් : ජයසූරිය වාර්තාව රනිල්ගෙන් පාර්ලිමේන්තුවට !

ආර්ථික වැඩපිළිවෙළට සමාන්තරව  රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය බවත්  එවැනි නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරලීමට ආංශික කාරක සභා ක්‍රමය බලවත් කරලීමේ වැඩපිළිවෙල ඉතා ශක්තිමත් පදනමක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .
 
අග්‍රාමාත්‍යවරයා මේ බව අද (06) පාර්ලිමේන්තුවේදී  පවසා සිටියේ අධීක්ෂණ ආංශික කාරක සභා බලවත් හා ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් වෙනුවෙන් වූ හිටපු කථානායක කරූ ජයසූරිය වාර්තාව සභාගත කරමිනි.
 
යෝජිත අධීක්ෂණ ආංශික කාරක සභා මගින් ප්‍රධාන අරමුණු හතරක් ඉටු  කරගැනීමට  බලාපොරොත්තු  වන බවත් ඒ වෙනුවෙන් අධීක්ෂණ ආංශික කාරක සභා 16 ක් යෝජනා කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය .
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි .
 
 
අද අපේ රට ඇද වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමේ දී මූලික  අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකය යළි ස්ථාවර කිරීමට. 
 
ඉන් පසුව නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට. මේ කටයුතු දැන් අපි සැලසුම් සහගතව ඉටු කර ගෙන යනවා.
 
ආර්ථික වැඩපිළිවෙලට සමාන්තරව අපි තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව මම අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. 
 
මේ අවස්ථාවේ හැකි පමණින් දේශපාලන  ප්‍රතිසංස්කරණ ගණනාවක් අප කළ යුතුයි. ඒ වැදගත් තැනක් හිමි වන්නේ පාර්ලිමේන්තුව යළිත් ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් මුදා ගැනීම. 22 වැනි සංශෝධනය එක් පියවරක්.  පාර්ලිමේන්තු ආංශික  කාරක සභා බලවත් කරලීම තවත් පියවරක්.
 
නිදහසට කලින් අපේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වුණු අධීක්ෂණ ආංශික කාරක සභා ක්‍රමය යළි බල ගැන්විය යුතු බව මම මීට කලින් අවස්ථා ගණනාවකදී අවධාරණය කර තියෙනවා. 
 
මේ ක්‍රමය යටතේ  පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුළු මහත් පාර්ලිමේන්තුවම ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය පාලනය සඳහා දායක වෙනවා.
 
 
අපේ රටේ මේ දක්වා වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය මේ ක්‍රමය ඔස්සේ සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. වර්තමානයේ අපි  ඡන්ද කාලයේදී පක්ෂ වශයෙන් බෙදෙනවා. පාර්ලිමේන්තුවට පැමිණියාට පස්සේත්  බෙදිල්ල තව තවත් වර්ධනය කරනවා. ආණ්ඩුව අණ පණත් ගෙන එනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරනවා . රාජ්‍ය පාලනය කරගෙන යනවා.  විපක්ෂය ඒවාට බොහෝ අවස්ථාවල විරුද්ධ වෙනවා.   රාජ්‍ය පාලනයට හා රාජ්‍ය පාලනය සම්බන්ධ  ප්‍රතිපත්ති සකස් කිරීමට එක් වීමේ ඉඩකඩක් විපක්ෂයට නෑ.
 
මේ කමිටු ක්‍රමයේදී  රජයට සිද්ධ වෙනවා තනි මතයෙන් බැහැර වෙලා පොදු මතයකට එළැඹෙන්න. විපක්ෂයට සිද්ධ වෙනවා විවේචනයට සීමා නොවී , විසඳුම් සෙවීමට දායකවෙන්න.
 
අද අපේ රටේ වැටී තියන තත්ත්වයෙන් ගොඩ එන්න නම් , පාර්ලිමේන්තුව තුළ මෙන්ම මේ විදිහේ වෙනසක්  සිදුවිය    යුතුයි. කවුරු බලයේ සිටියත්,  කවුරු විපක්ෂයේ සිටියත්, රට ගොඩ නැංවීමේ ක්‍රියාවලිට මුළු පාර්ලිමේන්තුවම එක ලෙස සම්මාදම් විය යුතුයි.
 
මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු බොහොමයක් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරු.  අමාත්‍යාංශ කාර්ය භාරයක් නොමැති ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු වගේම විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුනුත්, රට ගොඩ නැංවීමේ වෑයමට සාමූහික දායකත්වයක් ලබා දීමේ වැදගත්කම ගැන වරින් වර අදහස් පළ කර තියෙනවා.
 
ඔන්න ඔය පසුබිමේ තමයි, අධීක්ෂණ ආංශික කාරක සභා බලවත් හා ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස මම හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ.
කරු ජයසූරිය මහතාගේ වාර්තාව අද  අපි පාර්ලිමේන්තුවට ලබා දෙනවා.  ඒ වාර්තාව අධ්‍යයනය කර,  සාකච්ඡා කර ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට මම මේ මුළු  පාර්ලිමේන්තුවේම සහයෝගය අපේක්ෂා කරනවා.
 
මම අවස්ථා කීපයකදීම මේ පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළ වැදගත් කරුණක් නැවතත් සිහිපත් කරන්න කැමතියි. මේ අර්බුදකාරී අවස්ථාවේ අප සියල්ලන්ගේම වග වගකීම හා යුතුකම වන්නේ,  අතීතය පාරමින් සිටීම නෙවෙයි.  මේ අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා ශක්ති ප්‍රමාණයෙන් සහය වීමයි.
 
අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.  එවැනි නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරලීමට  මේ ආංශික කාරක සභා ක්‍රමය බලවත් කරලීමේ වැඩපිළිවෙල ඉතා ශක්තිමත් පදනමක් වෙන බව මගේ විශ්වාසයයි.
 
යෝජිත අධීක්ෂණ ආංශික කාරක සභා මගින් අපි ප්‍රධාන අරමුණු හතරක් ඉටු  කරගැනීමට  බලාපොරොත්තු වෙනවා.
1. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ප්‍රජාවට සහ පවුල්වලට සහනයක් ලබා දීම.
2. රටත්, රටේ ව්‍යවසායනුත් යළිත් ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් කිරීම.
3. ජනතාව සහ සමස්ත සමාජයම සුවපත් කිරීම.
4. ඉහත තුන් වැදෑරුම් ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ක්‍රමවේදයන් පුනර්ජීවනය කිරීම.
 
මෙන්ම මේ කරුණු මුදුන්පත් කරගැනීම උදෙසා අධීක්ෂණ ආංශික කාරක සභා දහසයක් බලගැන්වීමට මේ වාර්තාවෙන් යෝජනා කරනවා.
 
1. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ කමිටුව.
 
2.  බලශක්ති සහ ප්‍රවාහන කමිටුව.
 
3. ආහාර සුරක්ෂිතතා සහ කෘෂිකර්ම කමිටුව.
 
4.  භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ අපනයනය ඉහළ නැංවීමේ කමිටුව.
 
5. අධ්‍යාපන කමිටුව.
 
6. සෞඛ්‍ය කමිටුව.
 
7. විවෘත සහ වගකියන්න රාජ්‍ය සේවකයන් සඳහා වූ කමිටුව.
 
8. ජාත්‍යන්තර සබඳතා කමිටුව.
 
9. ජාතික ආරක්ෂාව සඳහා වූ කමිටුව.
 
10. විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ වූ කමිටුව.
 
11. යුක්තිය හා නීති ගරුක සමාජයක් පිළිබඳ කමිටුව.
 
12. පරිසර ,ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධන කමිටුව.
 
13. මාධ්‍යය, තාරුණ්‍යය, ජාතික උරුමය හා නව පුරවැසියා පිළිබඳ කමිටුව.
 
14. සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ කමිටුව.
 
 15. ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කමිටුව.
 
16. ජාතික ආර්ථික හා භෞතික සැලසුම්කරණ කමිටුව.
 
මේ කමිටු සඳහා මන්ත්‍රීවරුන් නොවන තරුණ තරුණියන් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එක් කර ගැනීමේ වැදගත්කමත් කරු කරු ජයසූරිය වාර්තාව මගින් පෙන්වා දී තියෙනවා. මේ කරුණත් ඉතා වැදගත්. දේශපාලනයට සෘජුව සම්බන්ධ සම්බන්ධවීමට අකමැති තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අදහස් සහ යෝජනා රටේ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමේදී ලබා ගැනීමේ මාර්ගයක් මේ ඔස්සේ සැලසෙනවා.
 
ඒ වගේම විද්වතුන් හා විශේෂඥ උපදෙස් ලබා ගැනීමේ අවකාශ වාර්තාව මගින් යෝජනා කර තියෙනවා.
 
මේ අනුව අධීක්ෂණ ආංශික කාරක සභා ක්‍රමය මගින්, මුළු පාර්ලිමේන්තුවම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට නැංවීමේ ක්‍රියාවලියට එක් වෙනවා. ඒ වගේම තරුණ ප්‍රජාවත්, විද්වතුන් හා විශේෂඥයිනුත් මේ කමිටුවලට සහභාගි කරවා ගන්නවා.
 
මේ  ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් එක අතකින් අපේ දේශපාලන සංස්කෘතියේ  දැවැන්ත වෙනසක් ඇති වෙනවා. අනික් අතින් රටේ අනාගතය ගොඩ නැංවීමට විශාල රුකුලක් ඇතිවෙනවා. සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහිකරලීමේ  අරමුණට සවිමත් පදනමක් ගොඩ නැංවෙනවා.  සැබෑ සිස්ටම් චේන්ජ්  එකකට මුල පිරෙනවා.
ඉතින් මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ මෙම වාර්තාව අධ්‍යයනය කර, ඔබේ සාධනීය අදහස් හා යෝජනා ද ඊට එක් කරන ලෙසයි. අපි ඉතාමත් කඩිනමින්, හදිසි කාර්යයක් සේ සලකා මේ අධීක්ෂණ ආංශික කමිටු ස්ථාපිත  කරමු . බලගන්වමු.  නව දේශපාලන සංස්කෘතියකට පදනම දමමු.

ආණ්ඩුව ලේ වැනි කුමන්ත්‍රණයක : අනුරගෙන් බරපතළ චෝදනාවක් !

ආණ්ඩුව බියගුළු ලේ වැකි කුමන්ත්‍රණ වලට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
 
අද (06) ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ චෝදනා නැගීය.
 
මේ වන විට බෝම්බ බැඳගෙන ජනාධිපති මන්දිරය වටලන්න ජවිපෙ උපදෙස් නිකුත්කර ඇති ආකාරයට වීඩියෝ පවා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් ඔහු පැවසීය .
 
අදාළ මාධ්‍ය හමුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක දැක්වූ අදහස් පහත දැක්වෙයි .
 
09 වැනිදා උද්ඝෝෂණයට සහය දෙනවා !
 
ආණ්ඩුවේ අසමත්කම නිසා එය පළවා හැරීමේ විශාල උද්ඝෝෂණයක් ගෝල්ෆේස් පිටිය පදනම් කරගෙන 09වැනිදා සූදනම් කර තිබෙනවා. ඒ සඳහා අපි පොදු ජනතාවට සහාය වෙමින් මැදිහත් වෙනවා. ආණ්ඩුව ජනතා නැගිටීම්වලට මුහුණ දෙන්නේ පොලිසිය, හමුදාව යොදවා අමානුෂික ලෙස පහර දී, එළවා දැමීම, බියවැද්දීම වැනි ක්‍රියාමාර්ගවලිනුයි. ඊට අමතරව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වටා අතුරු බලකායක් ගොඩනැගීමට තීන්දු කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ අණ පිළිපදින ග්‍රාම ආරක්ෂකයින් පස්දෙනෙක් ඔවුන් වෙත යොදවන්න තීරණය කර තිබෙනවා. 
 
පොලිස්පති ගේ ලියුම !
 
මේ කරුණු දෙකට අමතරව තුන්වෙනුව පසුගිය 27වැනිදා පොලිස්පති විසින් ආරක්ෂක ලේකම් වෙත යවන ලද ලිපියෙන් 05, 06 දෙදින පවත්වන කළුකොටි සැමරුම ඉලක්ක කරගෙන උතුරේ සහ දකුණේ බෝම්බ පිපිරවීමේ සැලසුමක් තිබෙන බවත්, එයට විදෙස් රහස් ඔත්තු සේවයත් කටයුතු කරමින් එල්.ටී.ටී.ඊ.ය පිට පැටවීමට සූදානමක් තිබෙන බවත්, ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඊට අමතරව අපේ පක්ෂයත් තවත් පක්ෂයක් සඳහන් කරමින් මන්ත්‍රීවරුන්ට පහරදීම, දේපළවලට හානි කිරීමට සැලසුමක් තිබෙන බවත්, පොලිස්පතිවරයා ඒ ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා මීට පෙර මාධ්‍ය හමුවේත්, 05වැනිදා පාර්ලිමේන්තුවේදීත් විශේෂයෙන් කරුණු දැක්වූවා.
 
 පොලිස්පතිවරයා මේ ලිපියට පදනම් කරගත් කරුණු රටට හෙළි කළ යුතුයි. මේ ලිපිය පොලිස්පතිවරයාගේ හිතළුවක්ද? නැත්නම් ආණ්ඩුව විසින් පොලිස්පතිවරයාට දැනුම්දීමේ ප්‍රතිඵලයක්ද? මෙවැනි ව්‍යාජ, භයානක ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් පිළිබඳව සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ. 
 
භයානක බෝම්බ වීඩියෝවක් !
 
මේ සියලු කරුණුවලට වඩා ඉතාමත් භයානක වීඩියෝ පටයක් 05වැනිදා සිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. එහි තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ යම් කෙනෙක් පක්ෂයේ සාමාජිකයන්ට පෙට්‍රල් බෝම්බයක් සකස් කරන ආකාරය පිළිබඳව උපදෙස් දීමයි. 09වැනිදාට එම බෝම්බ ශරීරයේ බැඳගෙන ජනාධිපති කාර්යාලය වටලන ලෙසත් ජනාධිපතිවරයා පළවා හරින ලෙස මාගේ උපදෙස් ලැබී තිබෙන බවත්, ජනාධිපති පළවා හැරීමෙන් අනතුරුව මාව ජනාධිපති ධුරයට පත්කරන බවත් සටහන් වී තිබෙනවා. 
 
බෝම්බ වීඩියෝව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් !
 
මෙය අතිශය භයානක නිර්මාණයක්. ජනතා නැගිටීම් බෝම්බ ප්‍රහාරයන් දක්වා වර්ධනය වීමේ සැලසුම් තිබෙන බව, ඝාතනය කිරීමේ සැලසුම් තිබෙන බව සහ ජනතා විමුක්ති පෙරමුණ ඒවා මෙහෙයවන බවට සමාජයට පණිවිඩයක් දීමේ අරමුණ මේ වීඩියෝ පටයේ තිබෙනවා. දැන් තාක්ෂණය ඉහළයි. ආණ්ඩුව වහාම මේ වීඩියෝව නිර්මාණය කළේ කවුද, එය සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කළේ කවුද කියලා පරීක්ෂණවලින් සොයාගත යුතුයි. ඊයේම මම පොලිසිය භාර අමාත්‍යවරයාට කතාකොට මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියා. 
 
අද දිනයේ අපේ නීතීඥ කණ්ඩායම් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම වීඩියෝව භාරදෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර, වීඩියෝ නිර්මාණය කළේ කවුද? හඬ කාගේද, සමාජ ජාලාවලට නිකුත් කළේ කවුද යන කරුණු රටට ඉදිරිපත් කළ යුතුයි.
 
 ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ භයානක බියගුලු, ලේ වැකි කුමන්ත්‍රණයකටයි. ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන පාලකයන් සමහර අවස්ථාවල ලංකාවේ ලෝකයේ බොහෝ රටවලත් පාලකයන් මෙවැනි ලේ වැකි කුමන්ත්‍රණ සිදුකර තිබෙනවා. ජනතාවගේ සාධාරණ නැගිටීම් බියගන්වන්න කුමන්ත්‍රණකාරී ලෙසත් අවලාදකාරී ලෙසත් දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කරනවා. පොලිස්පතිවරයාගේ මෙම ලිපියත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආයුධ ඉල්ලීමත්, මේ වීඩියෝ පටයත් තුළින් එවැනි කුමන්ත්‍රණයක් පිළිබඳ බරපතළ සැකයක් මතුවෙනවා. 
 
කෙටි කාලයකින් පුළුල් විමර්ශනයක් කර සියල්ල හෙළිදරව් කරන්න !
 
කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොට අදාළ කරුණු සියල්ල රටට හෙළිදරව් කළ යුතුයි. ජනාධිපතිවරයාට විරුද්ධව කුඩා පෝස්ට් එකක් දැම්මත් එක රැයෙන් තරුණයන්ව අත්අඩංගුවට ගත් අවස්ථා තිබුණා. කුඩා හඬ පටයක් සම්බන්ධයෙන් බියවද්දා අත්අඩංවට ගත් අවස්ථා තිබුණා. මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු සොයාගත නොහැකි වුණොත් එය ආණ්ඩුවේ වැඩක් බවට අපට සාධාරණ සැකයක් මතුවෙනවා. ගෝඨාභය-රනිල් විකෘති කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් බව තහවුරු වෙනවා.  මෙය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් නොවේ නම්, කවුරු විසින් නිර්මාණය කර, සමාජ ජාලාවලට නිකුත් කලේද යන්න රටට හෙළිකළ යුතුයි. ගෝඨාභයගේ ආණ්ඩුවට අපි කියන්නේ මෙවැනි විහිළුකාරී මාරාන්තික දේවල්වලින් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට උත්තර දෙන්න එපා කියලයි. මෙවැනි බියගුලු ක්‍රියා හරහා ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගන්න, ව්‍යාජ චිත්‍රයක් නිර්මාණය කරන්න, ගොඩනැගෙමින් තිබෙන ජනතා විශ්වාසය පළුදු කරන්න උත්සාහ කරනවා නම් එය අසාර්ථක උත්සාහයක් බව ගෝඨාභය තේරුම්ගත යුතුයි. 
 
මාධ්‍ය අහපු ප්‍රශ්නය !
 
ප්‍රශ්නය:-
වීඩියෝව නිකුත් කිරීමට අදාළ යම් තොරතුරු ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවාද? 
 
පිළිතුරු:-
ඔව්. ඒ සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්න සූදානම්

තෙල් ගන්න ණයක් ගන්න : ගෝඨාභයගෙන් පුටින්ට ඇමතුමක් !

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ තමන් අතර අද (06) දුරකථන සංවාදයක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ණය ක්‍රමයක් ලබා දෙන ලෙසට තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, මේ වන විට අත්හිටුවා ඇති ඒරෝෆ්ලෝට් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන ලෙස ද රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇත .

ජනාධිපති ගෝඨාභය මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් සටහනක් තබමින්ය.

අතීතයේදී රුසියාව විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වූ කරුණු සම්බන්ධයෙන් තමන් ස්තුතිය පළකළ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත .

සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ වන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කළ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

හිරුණිකා ඇතුළු 12කට පොලිස් ඇප

කොටුව ජනාධිපති මන්දිරය අසල පැවැත් වූ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුණේ, ජනධිපතිවරයාට එරෙහිවයි.

පසුව පොලීසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස්ථානයට රැගෙන ගියේ ය.

ධම්මික කිපුණේ : රනිල්ගේ සූදු බදු සංශෝධන යෝජනාව නිසාද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා අද(06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය

ඔහු මෙහිදී සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ආර්ථිකය ගොඩගැනීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවයි.

එවැනි සැලැස්මක් තිබේ නම් තමා සමග විවාදයකට එන ලෙසත් ධම්මික පෙරේරා අමාත්‍යවරයා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අභියෝග කළේය.

ධම්මිකගේ කිපුණේ ඇයි ?

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ ධම්මික පෙරේරා අමාත්‍යවරයකු වීමට පෙර අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයාව සිටි බව අමතක නොකළ යුතු බවයි .

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන නියාමනය කිරීමට සහ ඒවායින් විධිමත් ලෙස නියමිත බදු අයකර ගැනීමට හැකිවන ආකාරයට සූදු බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් යෝජනාවක් ගෙන ආ බවත් ඔවුන් සිහිපත් කරයි.

මෙතෙක් කාලයක් සූදු බදු නිසි ලෙස රාජ්‍ය ආදායමට එක්නොවූ බවත් ඒ ආශ්‍රිතව බදු නොගෙවීම සම්බන්ධයෙන් පවා ව්‍යාපාරිකයන්ට චෝදනා ඇති බවත් ඔවුන් පවසයි .

එසේම මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ජනතා අවිශ්වාසය ගොඩනගන්න බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතිය විය හැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

පසුගියදා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමුදුන් අතර ඔහු වෙනුවට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තු පැමිණියේ ධම්මික පෙරේරා ය.

රනිල්ගේ යෝජනාව !

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඊට අනුව ,2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මඟින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන විධිවිධාන පනවා ඇත.

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.

එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ.

එබැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

 

ආණ්ඩුවට සැලැස්මකුත් නෑ : මට දෙන්නෙත් නෑ - ගොඩහේවා

ආන්ඩුවට සැලැස්මකුත් නෑ. සැලස්මක් ගැන කතාකරන්න අපිට ඉඩ දෙන්නෙත් නෑ ” ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය නාලක ගොඩහේවා කියයි.

ඔහු මෙසේ පවසා ඇත්තේ තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමිනි.

‘ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් උදේ කතාකරල මට කියනවා රටේ වත්මන් ආර්ථික අර්බූදය ගැන කතා කරන්න විනාඩි 3 යි දෙන්න පුලුවන් කියලා. විනාඩි 3 කින් මොනවද කියන්න පුළුවන්. එයාල වරු ගනන් කාලය දෙන අය මොනවද කියන රට හදන සැලැස්ම ?

ඊයේ අගමැති තුමා පාර්ලිමේන්තුවේ කල කතාවේ මම නම් දැක්කේ නෑ සැලැස්මක්. ආන්ඩුවට නිසි සැලැස්මක් නැති නිසා තමයි අද IMF එකත් පස්ස ගහන්නේ.

රජය කල යුතු, කල හැකි බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් රටේ ආදායම් හා වියදම් කලමණාකරනයේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය ගැන අගමැතිතුමා හෝ එකම කැබිනට් මන්ඩල සාමාජිකයෙක් විවෘතව කතා කරනවා මෙතෙක් මම අහලා නෑ.

පාර්ලිමේන්තුවේ COPE කමිටුවේ විමර්ශණයට ලක්වෙන රාජ්‍ය ආයතන 420 ක් පමන තිබෙනවා. මේ අතරින් මහා භාන්ඩාගාරය අඩුම ගානේ වාර්ෂිකව අධ්‍යයනයක් වත් කරන්නේ ආයතන 52 ක් ගැන පමනයි. ඔවුන් කියනවා මේ ආයතන 52 ක් උපායමාර්ගිකව වැදගත් කියලා. ඒ කියන්නේ ඉතුරු 370 ව උපායමාර්ගිකව කිසිම වැදගත් කමක් නෑ රජයට. ඒවා තියෙන නිසා පවත්වාගෙන යනවා. හැබැයි ඒවා නඩත්තු කරන්න වාර්ෂිකව මේ රටේ ජනතා මුදල් වියදම් කරනවා.

රාජ්‍ය ආයතන වෙනුවෙන් මේ රට විශාල ආයෝජනයන් කොට තිබෙනවා 2021 වන විට ලංකාවේ ප්‍රධානතම රාජය ආයතන 52 පමනක් සතුව තිබෙන සම්පත්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 12.437 එහෙමත් නැත්නම් බිලියන 12,437 ක්. කොටින්ම කියනවා නම් රජයේ අවුරුදු 12 ක විතර ආදායමට සමානයි මේ ආයතන 52 පමනක් තියෙන සම්පත්. මේ වගේම තවත් විශාල සම්පත් ප්‍රමාණයක් රජයේ ඉතුරු ආයතනත් ගත්තොත් තියෙනවා. දැන් අහන්න මේ හා විශාල සම්පත් ප්‍රමාණයක් කලමණාකරනය කරලා මේ රාජ්‍ය ආයතන රජයට වසරකට ගෙවන්නේ කීයද කියල. 2021 වසරේ ගෙවලා තියෙන්නේ රුපියල් බිලියන 30 යි. අර කොරෝනා කාලේ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දෙනකොට එකවරකට මේ බිලියන 30 ඉවර වෙනවා. ඊටත් වඩා වැදගත් කාරනේ තමයි මේ රාජ්‍ය ආයතන සියල්ල එකතු වෙලා රජයට රුපියල් බිලියන 30 ක් දෙන කොට රජය මේ ආයතන නඩත්තු කරන්න රුපියල් බිලියන 360 භාන්ඩාගාරයෙන් වියදම් කරලා තියෙනවා.

පෞද්ගලික අංශයේ ව්‍යාපාරක කරන කොට අපි return on investment ගැන කතා කරනවා. ඒ කියන්නේ ආයෝජනයට සාපේක්ශව ප්‍රතිලාබ. බැංකුවේ සල්ලි දාල අවුරුද්දට 15 ක් ගන්න පුලුවන්නම් ව්‍යාපාරය කරල අඩුගානේ 25% ක වත් ප්‍රතිලාබයක් තියෙන්න ඕනේ නේද. නමුත් මේ රජයේ ව්‍යාපාර වල return on investment කීයද ? බිලියන 12,000 ට බිලියන 30 කියන්නේ 0.25% ( සීයට දසම 25 යි)

මොන අපරාධයක්ද මේක . මොනවටද මේ ව්‍යාපාර තියන් ඉන්නේ ?

මම මුලින් කියපු රාජ්‍ය ආයතන 52 ක් අවුරුද්දකට 12 % ක ප්‍රතිලාබයක් රටට දුන්නා නම් ඒ කියන්නේ වසරකට රුපියල් බිලියන 1,400 ක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම දෙගුන කරන්න පුළුවන් මේ උපායමාර්ගිකව වැදගත් කියන රාජ්‍ය ආයතන 52 නිසියාකාරව කලමණාකරනය කිරීමෙන් පමනක්.

ඉතුරු ආයතන 370 නම් තියාගෙන ඉදලා කිසිම වැඩක් නෑ ඒවා අනිවාර්‍යයෙන්ම එක්කෝ වහලා දාන්න ඕනේ නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ.

මේ රාජ්‍ය ආයතනවල අති විශාල නාස්ති හා දූෂණයන්ද සිදුවන බව පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේ නිතර ඔප්පු වෙනවා. මේ නිසා ලාබ ලබන ආයතනවලත් ඒ සම්පත්ම වඩා කාර්‍යක්ෂමව කලමනාකරණය කිරීමෙන් ඊට වඩා ආදායමක් ලබා ගන්නට බැරිද යන ප්‍රශ්ණය ඇසිය යුතුයි. පාඩු ලබනා ආයතන වලත් තත්වය එයමයි. මේ බොහෝ ආයතනවල ඇත්තේ කලමණාකාරීත්ව දුර්වල තාවයයි. රාජ්‍ය ආයතන වල 220,000 සේවකයෝ වැඩකරනවා. මේ අයගෙන් උපරිම ඵලදායිතාව ලබා ගන්න ආන්ඩුව වැඩ කරනවද . ඒ අයට හරි පුහුණුව ලබාදීලා, අතිරික්ත සේවකයන් ඉන්න තැන්වලින් සේවකයන් අඩු තැන් වලට මාරු කරලා, ඉලක්ක ලබා දීලා, නිසි සේවය අගය කරන්නත් බොරු කරන අයට අවස්ථා නොදෙන්නත් පුලුවන් සැලසුම් හදලා මේ ආයතන පාලනය කරන්න ඒ කලමණකාරීත්වයන්ට පුළුවන් වෙන්න ඕනේ.

ඒ නිසා සියල්ලටම පෙර මේ ආයතනවලට ලාබ ඉපයීම සඳහා පැහැදිලි ඉලක්ක ලබා දී ඒ සඳහා දක්ෂ කලමණාකරුවන් පත් කල යුතුයි. ඉලක්ක සපුරා නොගන්නා ආයතන වසා දමනු ලබන බව කල් තබා දැනුම් දී ප්‍රතිපල පෙන්වීමට ඒවාට නිශ්චිත කාල සීමාවක් ලබා දිය යුතුයි.

තව බොහෝ දේවල් තියෙනවා දැන් හරි කරන්න පටන් ගත යුතු.

– මාධ්‍ය ඒකකය

ඇමති නිමල් ඉල්ලා අස්වෙයි !

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කර තිබේ.

නම සඳහන් නොකරමින් ජපානයේ සමාගමක් වෙතින් අමාත්‍යවරයකු කොමිස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී චෝදනාවක් එල්ල කළේය .

ඒ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බවත් වාර්තා වෙයි .

පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති අතර ඊට අදාළ ලිපිය පහත දැක්වෙයි .

n1 large

හිරුණිකා ඇතුළු 09ක් අත්අඩංගුවට !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 09 දෙනෙක් කොටුව පොලීසිය අද (06) අත්අඩංගුවට ගෙන ඇත .

ඒ ඔවුන් ජනාධිපති මන්දිරය ආසන්නයේ ඔරලෝසු කනුව ළඟට පැමිණ විරෝධතාවයක නිරතව සිටියදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ අත්අඩංගුවටගත් පිරිස අතර හිරුණිකා ප්‍රේ්මචන්ද්‍ර සමඟ කාන්තාවන් 05 දෙනෙක්ද පිරිමි පුද්ගලයින් 04 දෙනෙක්ද සිටින බවය.

නිමල් කැබිනට් අමාත්‍ය ධූරයෙන් දොට්ට !

ජපානයේ ටයිසෙයි නැමැති ආයතනයෙන් නැමති සමාගමෙන් කොමිස් ඉල්ලූ බවට මෙරට ජපන් තානාපති කාර්‍යාලය හරහා බරපතළ චෝදනාවකට ලක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද ( 06) අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමට හෝ ඉල්ලා අස්වීමක් නිවේදනය කිරීමට නියමිතව ඇති බවය.

ටයිසෙයි සමාගම 1987 දී ආරම්භ කරන ලද ජපන් සමාගමකි.. එහි ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍රයන් වන්නේ ගොඩනැඟිලි ඉදිකිරීම්, සිවිල් ඉංජිනේරු විද්‍යාව හා දේපළ වෙළඳාම් සංවර්ධනය ය.

2020 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බහු මට්ටමේ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා ටයිසෙයි සමාගමට ඩොලර් මිලියන 564ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබිණ.

ජපානයේ ටයිසෙයි නැමැති ආයතනයෙන්, මෙරට කැබිනට් ඇමතිවරයෙක් පගාවක් ඉල්ලා ඇති බව , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

එම සිදුවීම දැනගත් ජනාධිපතිවරයා, බොහෝ සේ කලබල වූ බවත්, පගාව ඉල්ලූ ඇමතිවරයා කවුද කියා ජනාධිපතිවරයාගෙන්ම අහලා දැන ගන්න යනුවෙන් ද විපක්ෂ නායකවරයා පැවසීය .

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය .

“ ගරු කතානායකතුමනි, මේ රටේ දූෂණ වංචා හොරකම් සියල්ලක්ම නතර කරන්නට ඕනේ. මම ගරු අගමැතිතුමාගෙන් අහනවා. ජනාධිපතිවරයා බොහෝ ලෙස කලබල උනාලු දැනට කැබිනට් එකේ ඉන්න ඇමතිවරයා ජපානයේ ටෙයිසෙයි කියන කොම්පැනියෙන් පගාවක් ඉල්ලලා. මම අහනවා මෙහෙම දූෂිත ආණ්ඩුවක් තුළ රට ගොඩනගන්න පුළුවන් ද?. එහෙනම් අග්‍රාමාත්‍යතුමා අපෙන් ඇහුවා විසඳුම්. කරුණාකරලා තමන්ගෙ කැබිනට් මණ්ඩලයේ දූෂිත ක්‍රියාකාරකම් කරන, කොමිස් ගන්න, පගා ගන්න අය ඉවත් කිරීම. ටෙයිසෙයි කම්පැනියෙන් පගාවක් ගත්තෙ කවුද? ජනාධිපති තුමාගෙන් ම අහගන්න. “

 

විභාග කාල සටහන් : පාර්ලිමේන්තුවේදී එළියට !

අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රකාශයට පත් කළේය.

අමාත්‍යවරයා එම දින වකවානු ප්‍රකාශ කළේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක සභාව කල්තබන අවස්ථාවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

" පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේදී නිකුත් කෙරෙනවා. මීළඟ උසස් පෙළ විභාගය ඒ ප්‍රතිඵල නිකුත් කර අඩු තරමින් මාස තුනකින් පසු බොහෝවිට නොවැම්බර් දෙසැම්බර් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එසේම මේ වසරේදී පැවැත්විමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උසස් පෙළ ආරම්භ කිරීමට පෙරාතු දිනයක පවත්වීමට අපේක්ෂා කරනවා. මේ වසර අවසානයේ තිබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාර්තු පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා.

ප්‍රධාන විභාග දෙකක් අතර යම් කාල පරිච්ඡේදයක් අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට ලබාදීම අවශ්‍යයි. අපොස උසස් පෙළ විභාගය පසු ගිය සැරේ පැවැත්වුණා. ඒ විභාගයේ ප්‍රතිඵල පරික්ෂා කිරීම අවසන් අදියරේ පවතිනවා.

කොවිඩ් තත්වය නිසා 2020- 21 වර්ෂවලදී බස්නාහිර පළාතේ පාසල් කාලය සියයට 50කින් පමණ අහිමි වුණා. පිට පළාත්වල එම කාලයේදී අහිමිවුණු පාසල් කාලය සියයට හතළිහකි.

Page 222 of 377