V2025

පුවත්

කාටවත් නොදී ඉන්න : ශ්‍රීලනිපය තීන්දුවක් අරගෙන !

ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර සාකච්ඡාව මාර්ගයෙන් කාටත් පිළිගත හැකි අයෙකු පත්කර ගැනීමටත් යෝජනා කළේය.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සාකච්ඡා මට්ටමින් ප්‍රකාශ වී තිබුණේ සමගි ජනබලවේගය පක්ෂයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතය.

අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන නම් මේ වන විට යෝජනා වී ඇත.

 

ඊළඟ ජනාධිපති පාලකයෙක් නොව භාරකරුවෙක් වෙන්න ඕන - පාඨලී

රටේ මීළඟ ජනාධිපතිවරයා පාලකයා නොව භාරකාරයා පමණක් විය යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වීම සහ ජනතාව හමුවේ මතුවන නව අභියෝග සම්බන්ධයෙන් අද 43 සේනාංකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය

ළදරු වල්ලිපුකාරයන් වගේ හැසිරෙන්න අයිතියක් නෑ !

“ව්‍යවස්ථාවට පිටතින් මේ පාලකයා පලවා හරින්න ජනතාවට සිද්ධ වුණා. ඔහු ව්‍යවස්ථාව නොතකා තනි මතයට මේ රට බංකොලොත් කරලා පවුල් 55 ලක්ෂයක් පාරට ඇද දමපු නිසා. නමුත් තවදුරටත් ව්‍යවස්ථාවට පිටතින් පාර්ලිමේන්තු වට කරමින් රජයේ කාර්යාල වට කරමින් අනාගතයේ ඇතැම් විට අධිකරණයත් වට කරමින් පාලකයන් නම් ජනතාව නම් අපිමය කියලා ළදරු වලිප්පුකාරයෝ වගේ හැසිරෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.”

අරගලය විසින් කළ කැපවීම් සම්බන්ධයෙන් සම්පුර්ණ අවධානයෙන් යුතුව ව්‍යවස්ථාවට සහ අනෙකුත් ක්‍රියාදාමයන්ටත් දැන් අවස්ථාව ලබා දිය යුතුය. 20 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී, තීරණය වෙන පාර්ලිමේන්තුවේ රහසිගත ඡන්දයකින් ජනාධිපතිවරයා පත් කර ගැනීමේ තරඟය එක පක්ෂයක් පරාජය කොට තව පක්ෂයක් දිනන එක පුද්ගලයෙක් පරාජය කරලා තව පුද්ගලයෙක් ජයග්‍රහණය කොට ජනාධිපති ධූරයට පත්වෙන ක්‍රියාවලියකට වඩා මේ රටේ අද පවතින මේ ආර්ථික අර්බුදයේ රටේ බංකොලොත්භාවයේ බැරෑරුම්කම තේරුම් අරගෙන, ඒ වගේම සමස්ත මහජනතාවගේම අරගලයේ ස්වරූපය තේරුම් අරගෙන කටයුතු කරන, කාගෙත් එකඟතාවයෙන් යුතු සම්මුතිවාදී නායකයෙක් මේ ජනාධිපති ධූරයට පත්විය යුතුය.

“පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගමන් කරලා, මේ ඊළඟ අවුරුදු දෙකහමාරේ මේ රටේ රාජ්‍ය නායකයා හැටියට,ප්‍රජාතාන්ත්‍රික, සාමූහික, සර්වපාක්ෂික ආණ්ඩුවක නායකත්වය තමන් සුදුසුයි කියන ආකාරයට කටයුතු කළ යුතුමයි. ඒ සඳහා වෙච්ච මහජන සම්මුතියකට ඔහු පැමිණිය යුතුමයි.

අනතුර දැනගෙන වැඩ කරමු !

එහෙම නැතුව තමන්ගේ පක්ෂය, තමන්ගේ පිල, තමන්ගේ පවුල දිනවන්න කටයුතු කළොත් මේ රට මීටත් වඩා භයානක අනතුරකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, පක්ෂ නායකයින් හා අනිත් අය කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ඉන්න කණ්ඩායම හැටියට. දැන් ඒක විවිධ කණ්ඩායම් වලට ලිහිලා, පෙරලිලා ගිහින් තියෙන්නේ. ඔවුන් තම අතීතය අමතක කරලා, මේ රාජපක්ෂ මහත්තුරුන්ගේ යුගය අමතක කරලා, ඉදිරිය ගැන කල්පනා කරලා, පවුල්වාදයෙන්, ඒ වගේම පාදඩ වාදයෙන් තොර දේශපාලන ගමනක් සඳහා පියවර ගන්නවා ඇතැයි කියලා, අපි බලාපොරොත්තු වෙනවා.

විපක්ෂයේ කණ්ඩායමෙනුත් අපි බලාපොරොත්තු වෙනවා, මෙතෙක් කල් හිසේ තබාගත් මතවාද වලින් ඔබ්බට කල්පනා කරලා, මේ මහජන අර තේරුම් අරගෙන මේ අරගලයට අනාගතයේ ඕනම පාලකයෙකුට මුහුණ දෙන්න වෙන බවත් වටහා තබාගෙන කටයුතු කරයි කියලා. අරගල බිමෙනුත් අපි බලාපොරොත්තු වෙනවා ජනතාව නම් අපිමෙයි කියලා කල්පනා කරලා නොයෙක් ආකාරයෙන් මේ ආරක්ෂක අංශවලට, රටේ පාලනය තවත් දුෂ්කර කරන්නේ නැතිව මහ බැංකුව මුල්‍ය පද්ධතිය ඇතුළු රටේ ආර්ථිකය හසුරුවන ආයතන වලට ඒ කටයුතු කර ගැනීමේ පහසුව ඇති කරන ආකාරයට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.”

අරගලය අවිහිංසාවාදීය !

මෙය අවිහිංසාවාදී ජන අරගලයකි. ඒ අරගලයට උචිත ආකාරයට මේ පහුගිය කාලේ ලෝකය පුරා සිදු වුනා වගේ අ සිදුවීමක්. ඒ සඳහා ඉතා වගකීමෙන් යුතු මුහුණ දිය යුතු වේ. සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත අරගල භූමියේ සිටගෙන යම් ප්‍රබුද්ධ අදහස් ඉදිරිපත් කළ වෘත්තීය සංවිධාන හා සමාජ ක්‍රියාකාරිකයන්ගේ අදහස් ද කැටි ගත හැකි මහජන සභාවක්, ප්‍රතිපත්ති සභාවක් ඇතිකර ගත යුතුය.

“සමහර අය අපි මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයට විරුද්ධයි කියනවා. මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමය නොයා රට ඉදිරියට ගෙනියන ක්‍රියාදාමය පැහැදිලි කරන්නේ නෑ. ඒ නිසා මූල්‍ය අරමුදල එක්ක ඉදිරියට යනවද නැද්ද කියන එක පළමුව තීරණය කරන්න ඕනේඉදිරියට ගෙනියනවා නම්, ඒ ඉදිරියට ගෙනයන මාර්ග සිතියම කුමක්ද කියන එක. පළමුවෙන්ම තියෙනවා, මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අත්සන් කරගැනීම. ඒකට ආණ්ඩුව අසමත් වුණා. පහුගිය ජූනි තිස් වෙනිදා. ඒක අත්සන් කරන්න තිබුණා. ඉදිරියේ ඒ මාර්ග සිතියම කරගෙන යනවා නම්, බොහොම පැහැදිලිව ආර්ථිකය සම්බන්ධයෙන්, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් බරපතල පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා. ඒවා නොවලහා රටට ප්‍රකාශ කරන්න ඕන”

රන්ජන්ට නිදහස ?

සිරගතව සිටින රන්ජන් රාමනායක නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වැඩබලන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට අදාළ උපදෙස් ලබා දී ඇත.

මෙහිදී වැඩබලන ජනාධිපති වරයා පවසා ඇත්තේ අවශ්‍ය ලිපි ලේඛන සකස් කොට නීතිපතිවරයාට සහ අගවිනිසුරුවරයා ට බාර දෙන ලෙසයි.

වෙන්න ජනාධිපති ලැයිස්තුව ඉහළට !

ගෝඨාභය ගේ ඉතිරි ධූර කාලය සඳහා පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් හරහා ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට නියමිත අතර ඒ සඳහා වන නාමයෝජනා ප්‍රමාණය දීර්ඝ වෙමින් ඇති බවක් පෙන්නුම් කරයි.

මේ වන විට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා තරග කරන බව නිවේදනය කර ඇත .

ඊළඟට ඊයේ (15) නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද පවසා සිටියේ තමන් ද ජනාධිපති වීමට ඉදිරිපත් වන බවය.

මේ අතර ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද ඊට ඉදිරිපත් වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

රටේ අර්බුදය විසඳීම සදහා රට භාර ගැනීමට තමන් සූදානම් බව ඔහු මීට පෙරද පවසා තිබින.

තරගය තවත් උනුසුම් කරමින් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපති තෝරන ඡන්ද විමසීම සදහා තමන් ද තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

එය දුෂ්කර තරගයක් වුවද සත්‍යය ජයගන්නා බවද හෙතෙම සඳහන් කර තිබේ.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනය වන විට වාර්තා වූයේ ඩලස් අලහප්පෙරුම ජනාධිපති කරවීමට සමගි ජන බලවේගයේ සහාය දීමටත් සජිත් පේ‍්‍රමදාස අගමැති කරවීමට ස්වාධීන මන්ත‍්‍රි කණ්ඩායමේ සහාය දීමට එකගතාවක් ඇති වූ බවත්ය.

ඒ අනුව විපක්ෂ නායක පාර්ශ්වයෙන් මේ වන විට එම සම්මුතිය බිඳ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තුන්වේල එක වේලට වැටිලා.....

රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ නවයක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ  පැවැසීය.

මේ අතර රටේ ඉතා කුඩා පරිමාණ ව්‍යාපාර නවලක්ෂ තිස් පන් දහසෙන් දෙලක්ෂ අසූ දහසක් ආර්ථික අර්බුදය හේතුවෙන් වැසීගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

තවද කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසු එක් දහස් පන් සියයෙන් සියයට 20ක් එනම් දහසය දහස් තුන් සියයක්ද ආර්ථික අර්බුදය හේතුවෙන් වැසී යාමේ අවදානමකට ලක්ව ඇතැයි පැවසූ මහාචාර්යවරයා මෙම ව්‍යාපාර වැසී යෑමෙන් පුද්ගලයන් ලක්ෂ හතකට සෘජුවම රැකියා අහිමිවී ගොස් ඇති බවද ප්‍රකාශ කළේය.

මේ ව්‍යාපාරික ස්ථානවල ලක්ෂ තිහකට වැඩි පිරිසක් රැකියා කරන බවත් අමු ද්‍රව්‍ය මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය සහ සේවක පඩිනඩි ගෙවීමේ අපහසුතා යනාදී හේතු සැලකිල්ලට ගෙන එම ආයතන මෙසේ වැසී ගොස් ඇති බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ  වැඩිදුරටත් පැවසීය.

ලංකාදීප

රූපවාහිනීයට මීඩියා උගන්වන්න ගිය නඩේට : නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය !

අරගලකරුවන් ලෙස හඳුන්වාගත් පිරිසක් පසුගිය 14 වෙනිදා ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුල්වී එහි වැඩසටහන් සැකැස්ම පිළිබඳ නියෝග කිරීම ඇතුළු එම පාර්ශ්වයේ බලහත්කාරී හැසිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් දැඩි විවේචනයට ලක්කර ඇත.

ඒ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

 අරගලයේ නාමයෙන් මාධ්‍ය ආයතනවලට අණ දීම වැරදි පූර්වාදර්ශයකි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අරගලකරුවන් ලෙස තමන් හඳුන්වාදුන් පිරිසක් 14 වැනිදා ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වී එහි වැඩසටහන් සැකැස්ම පිළිබඳව නියෝග පැනවීම හා සජීවී වැඩසටහනකට සහභාගී වෙමින් පළ කළ අදහස් පිළිබඳව දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම බලහත්කාරී ක්‍රියාකලාපය හා ආන්තික අදහස් තරයේ ප්‍රතික්ෂේප කරයි.

මාධ්‍ය අන්තර්ගගතය තීරණය කිරීම ඒඒ මාධ්‍යවල සංකාරක මණ්ඩය සතු අයිතියක් වන අතර ඊට බලපෑම් කිරීම මාධ්‍ය නිදහස පිළිබඳව සලකා බැලෙන පිළිගත් නිර්ණායකවලට අනුව පැහැදිලිවම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමකි.

ජාතික රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය පවතින ආණ්ඩුවල හොරණෑ ලෙස ක්‍රියා කරනු වෙනුවට ‘මහජන සේවා ජනමාධ්‍ය’ බවට පත් කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය ප්‍රජාව දසක දෙකකට පමණ පෙර සිට කියා සිටින අතර රාජ්‍ය මාධ්‍ය හා මහජන දේපළක් වන සංඛ්‍යාත (frequencies) භාවිත කරන මාධ්‍යයද ඇතුළුව සියලු මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවිය යුතුය යන අදහස ප්‍රවර්ධනය කරමින් සිටී. එමෙන්ම අදහස් පළ කිරීමේ නිදහස ඇතුළුව ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික කොන්දේසියක් බව පිළිගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සිය තේමාපාඨයෙහි සඳහන් වන පරිදි ‘නිදහස වගකීම පෙරදැරිව’ පරිහරණය කළ යුතු බවද නිරන්තරයෙන් අවධාරණය කරයි. ඒ අර්ථයෙන්, රට බංකොළොත්භාවයට පත් කළ පාලන තන්ත්‍රයට එරෙහිව ඉතිහාසයේ පෙර නොවූවිරූ මහජන නැගිටීමක් සිදු වී ඇති මොහොතක ජාතික රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය තවදුරටත් එම පාලන තන්ත්‍රය ආරක්ෂා කරමින් හා මහජන නැගිටීමට එරෙහිව කටයුතු කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිසේත්ම අනුමත කරන්නේ නැත. එමෙන්ම පවතින ආණ්ඩුවට පක්ෂපාතී හා ඊට එරෙහිව කටයුතු කරන ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාලිකාවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද අපට බලවත් විවේචන තිබේ.

එසේ වුවද මාධ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම ජනමාධ්‍ය ප්‍රජාව, මහජනයා සහ රජය අතර පුළුල් සංවාදයකින් හා එකඟතාවකින් සිදු විය යුතු බව තරයේ විශ්වාස කරන හා ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සාමූහික ක්‍රියාදාමයක නිරතව සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කිසිදු පාර්ශ්වයක් මාධ්‍ය ආයතනයකට කඩාවැදී අණ දීමෙන් යහපත් වෙනසක් ඇති කළ හැකි බව කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත. එමෙන්ම කවර පාර්ශ්වයක හෝ එවැනි බලපෑම් මාධ්‍ය නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන තර්ජන ලෙස සලකා තරයේ හෙළා දකී.

ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන ශෝචනීය ඉරණම හමුවේ, ඊට ආසන්න වගකිවයුත්තන් වන ගෝඪාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් පාලන තන්ත්‍රයට එරෙහිව තෙමසකට පමණ පෙර පැනනැගුණු මහජන අරගලයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය ප්‍රජාව සිය සහාය පළ කළේය. විශේෂයෙන් එම අරගලය විසින් පිළිබිඹු කළ ප්‍රජාතන්ත්‍රවාදී, අහිංසාවාදී, බහුත්වවාදී හා දියුණු සංස්කෘතික ප්‍රකාශනය, අනාගත ශ්‍රී ලංකාවක් පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස සලකා තරයේ ප්‍රසංසාවට ලක් කළේය. අවාසනාවකට මෙන් පසුගිය දිනවල සිදු වූ ඇතැම් සිදුවීම් අරගලයේ එම වර්ධනයට මුළුමනින්ම ප්‍රතිපක්ෂ ගුණාංග පිළිබිඹු කරන බව අපගේ නිරීක්ෂණයයි. රූපවාහිනියට කඩාවැදීමේ සිදුවීම අප දකින්නේ එම අයහපත් වර්ධනයෙහි පිළිබිඹුවක් වශයෙනි. අරගලකරුවන් ලෙස පෙනී සිටි නියෝජිතයන් දෙදෙනා එම පරිශ්‍රය තුළ අණ නියෝග දෙමින් හැසිරුණු ආකාරය මෙන්ම සජීවී විකාශනයේදී පළ කළ ඇතැම් අදහස්ද ශිෂ්ට සමාජය කම්පනයට පත් කරන ඒවා බව පැවසීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුබට වන්නේ නැත. එක් ප්‍රකාශකයෙන් සෘජුවම පැවසුවේ ‘මාධ්‍ය සදාචාරය’ ඔවුන් නොපිළිගන්නා බවයි. එමෙන්ම තමන් කරන්නේ ‘ඉල්ලීම් නොව අණ දීමක්’ බවද ඔවුහු සෘජුවම පැවසූහ. මේ හැසිරීම සිහිගන්වන්නේ කුප්‍රකට මර්වින් සිල්වා ඇමතිවරයා මැර පිරිසක් සමඟ රූපවාහිනී පරිශ්‍රයට කඩාවැදුණු අවස්ථාවයි.

අදහස් පළ කිරීමේ අයිතිය, සියලු අයිතිවාසිකම්වල මූලික පදනම බව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අරගලයේ නාමයෙන් සිදු වන මෙබඳු ක්‍රියාවන් හෙළාදැකීමත් ඒවා සංවාදයට ලක් කිරීමත්, අත්දැකීම් රහිත අරගලකරුවන්ට නිසි අවබෝධයක් ලබා දීමත් දැනුවත් සමාජයේ වගකීමක් බව අවධාරණය කරයි. එමෙන්ම ‘ආදරයේ අරගලය’ නැමති දියුණු සංස්කෘතික විරෝධතා අවකාශය ගොඩනැගීමට දායක වූ සියලු පාර්ශ්වවලින් අප සහෝදරත්වයෙන් ඉල්ලා සිටින්නේ කෙතරම් අභියෝගාත්මක වාතාවරණයකදී වුවද අරගලයෙහි එම ගුණාංග ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කරන ලෙසය.

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් : මසට මරණ ජාවාරමක් !

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් සත්වෝද්‍යායේ සේවය කරන සංවිධානාත්මක පිරිසක් විසින් මස් පිණිස ඝාතනය කිරීම සම්බන්දව ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය වෙන්න සුපුන් ළහිරු ප්‍රකාශ් විශේෂ අනාවරණයක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි .

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් සත්වෝද්‍යායේ සේවය කරන සංවිධානාත්මක පිරිසක් විසින් මස් පිණිස ඝාතනය කිරීම සම්බන්දව !

හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ නරඹන්නන් පිනවීම පිණිස රඳවා ඇති සතුන් සහ ඊට යාබද වනාන්තර කොටසේ සිට පැමිණෙන වන සතුන් සත්වෝද්‍යාන සේවකයින් පිරිසක් විසින් විවිධ ක්‍රම මගින් මස් පිණිස ඝාතනය කරන බවට අප සංවිධානයට දැනගන්නට ලැබී ඇත.

මෙසේ ඝාතනය කෙරෙන සතුන් ප්‍රදේශයේ විවිධ හෝටල් සහ බලවත් පුද්ගලයින්ගේ පරිභෝජනය සඳහා යොමුකරන බවත් මේ හරහා රිදියගම සෆාරි උද්‍යානයේ සත්වෝද්‍යාන සේවකයින් කිහිපදෙනෙක් මුදල් උපයන බවත් මේ වන විට මෙම ආයතනය අවට ජනතාව අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති බවද කියැවේ. නමුත් අවාසනාවට කරුණ නම් මේ දක්වා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හෝ රිදියගම සෆාරි උද්‍යානයේ පාලනාධිකාරිය මේ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීමයි. මෙහි ආසන්නතම සිදුවීමක් ලෙස මෙම සෆාරි උද්‍යානයේ ‘ජගත් ශාකභක්ෂක කලාපයේ’ රඳවා සිටින ගෝනෙකු මද්දක පැටලී සිටින ආකාරය එහි යන ඕනෑම කෙනෙකුට දැකීමට හැකියාව පවතී. යම්කිසි හේතුවක් නිසා එම මද්ද ගෝනාගේ අං තට්ටුවේ පැටලීම නිසා අදාළ සත්වයාට හානියක් සිදුවී නැත. යම් හෙයකින් එම මද්ද අදාළ සත්වයාගේ ගෙලෙහි සිරවීම සිදුවීනම් එම සත්වයාද රිදියගම සෆාරි උද්‍යානයේ මෙම සත්වෝද්‍යාන සේවකයින් විසින් සිදුකරන මස් ජාවාරමේ ගොදුරක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

සත්වෝද්‍යානයක් වැනි සංවෘත්ත ප්‍රදේශයක් තුලට පිටස්තර පුද්ගලයින්ට පැමිණ මදු ඇටවීමට ඇති ඉඩ ඉතා සීමිත වන බැවින් අත්‍යාවශ්‍යයෙන්ම ඒ සඳහා රිදියගම සෆාරි උද්‍යානයේ සත්වෝද්‍යාන සේවකයින්ගේ සෘජු හෝ වක්‍ර සම්බන්දයක් තිබිය යුතු බව අපගේ වැටහීමයි. එසේ නැතත් බාහිර පුද්ගලයින් විසින් හෝ එසේ සිදුකරන්නේ නම් ඊට ඉඩදීමට උද්‍යාන බලධාරීන්ට කිසිඳු හැකියාවක් නැත. එම සතුන් උද්‍යානයෙන් පිටතදී මේ ආකාරයෙන් මදු වල පැටලෙන්නේ නම් එය තවත් ගැටළු සහගත තත්ත්වයකි.

එබැවින් මේ පිළිබඳව ඔබගේ ප්‍රමුඛ අවධානය යොමුකර කඩිනමින් විමර්ශනයක් සිදුකර මෙම අමානුෂික හා නීතිවිරෝධී සත්ත්ව ඝානතයන් වැළක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් වරදකරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබාදීමටත් කටයුතු කරන ලෙස අප සංවිධානය දැඩිව ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව ඔබ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අප සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවද සිහිපත්කරනු කැමැත්තෙමු.

මීට විශ්වාසී,

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු

ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

ජනාධිපති වෙන්න මමත් සූදානම් : ඩලස්ගෙන් නිවේදනයක් !

නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී ජනාධිපති තෝරාගැනීම සඳහා වන ජන්දයට ඉදිරිපත් වන බව වාර්තා වෙයි .

අද (15) මන්ත්‍රීවරයා විසින් නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇත .

අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි .

මාධ්‍ය නිවේදනයයි !

අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයින් ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තොරා පත් කර ගත යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.

ශ්‍රි ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන,ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගතකරමින් සිටී. ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැඟුණු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරින් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන් ම මේ වන විට ජනතා අපේක්ෂාවන් ගේ දිශානතිය වෙනස් වී ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි. කුඩා පාසල් දරුවා ගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසාර විසඳුමක් ලබාගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූල දේශපාලන රාමුවක් තුළ ය.

දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විටම මෙරට ජනතාව ගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි. වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි. පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන් ගේ සහ වෘත්තියවේදීන් ගේ සහය ලබාගත යුතු ය. මා ඔවුන් සියලු දෙනාගේම සහය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි ය.

දේශපාලන පාට කණ්නාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව මම මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය ද අපේක්ෂා කරමි.

නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

ඩලස් අලහප්පෙරුම
පාර්ලිමේන්තු මන්ත්‍රී
15. 07. 2022

පාසල් නිවාඩුව යළි දීර්ඝ කරයි

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ලබන බ්‍රහස්පතින්දා (21) පාසල් යළි ආරම්භ කරන බවයි.

ඊළඟ ජනාධිපති පත්වෙන හැටි මෙන්න !

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධුරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිධුරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව මගින් දක්වා ඇති පරිදි ධුරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරීමට පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගැනීම සිදු කළ යුතු බවය.

මෙහිදී මෙම තෝරාපත්කරගැනීම 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන අනුගමනය කරමින් සිදු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

විශේෂයෙන් මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදුවන අතර මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාට ද ඡන්දයක් හිමිවීම විශේෂත්වයකි.

එසේම මෙම ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීම සිදුවේ.

මේ අනුව පනතේ දක්වා ඇති විධි විධාන යටතේ පහත පියවරයන් අනුගමනයකරමින් මෙම තෝරා පත්කරගැනීම සිදුවේ.

1) මෙහිදී ජනාධිපතිධූරය හිස් වූ දිනට පසුව හැකි ඉක්මනින් ද එසේම එදින සිට මාසයක් නොඉක්මවිය යුතු පරිදි ද එම තෝරා පත් කර ගැනීම සිදු කළ යුතුය.

2) ඒ අනුව එම පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර එහිදී පාර්ලිමේන්තුව රැස්වීම සඳහා නියමිත දිනය සහ වේලාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීම සිදුවේ.

3) එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට ජනාධිපතිධූරයෙහි පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය. මේ අනුව එම රැස්වීම් දිනයෙහි සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක ජනාධිපතිධූරය සඳහා නාම යෝජනා බාර ගනු ලබන දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නියම කළ යුතුය.

4) නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කරනු ලැබූ දිනයේ දී පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කිරීම සිදුවේ. මේ අනුව මෙදින ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගැනීමට යම් මනිත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට අපේක්ෂා කරන සෑම මන්ත්‍රීවරයෙකුම තමා විසින් එසේ යෝජනා කරනු ලබන මන්ත්‍රීවරයා තෝරා පත් කර ගනු ලැබුවහොත්, ජනාධිපතිධූරයෙහි සේවය කිරීමට ඔහු කැමැති බවට ලිඛිත එකඟත්වයක් කලින් ලබාගෙන තිබිය යුතුය. එසේම අපේක්ෂකත්වයට යෝජනා වූ මන්ත්‍රීවරයා එදින පාර්ලිමේන්තුවේ සිටිය යුතුය.

5) මෙහිදී ජනාධිපති ධූරය සඳහා එක් මන්ත්‍රීවරයකු පමණක් එසේ යෝජනා කරනු ලැබ ස්ථීර කරනු ලැබුවේ නම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් එම මන්ත්‍රීවරයා ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය. එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකු මෙසේ යෝජනා කරනු ලැබ ස්ථිර කරනු ලැබුවේ නම් ඡන්ද විමසීමක් සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුව විසින් නියම කළ යුතුය. එම දිනය නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ වේලාවෙන් පැය 48 කට පසුව වූ දිනයක් නොවිය යුතුය.

6) ඉන්පසුව ඡන්ද විමසීම සඳහා නියම කරනු ලැබූ දිනයේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කළ යුතු අතර ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර ඔහු විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකළ යුතුය. මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා විසින් කථානායකවරයා ඇතුලු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබිය යුතු අතර එම එක් එක් මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුය. ඉන්පසු එය ඡන්ද පෙට්ටියට දැමීම සිදුකළ යුතුය.

7) එසේම මන්ත්‍රීවරයෙකු විසින් අනවධානයෙන් ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම් එය තේරීම්භාර නිලධාරියාට ආපසු දිය හැකි අතර මේ පිළිබඳ තේරීම්භාර නිලධාරියා සෑහීමකට පත්වන්නේ නම් වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට දිය යුතුය. තව ද එම නරක් වූ ඡන්ද පත්‍රිකාව තේරීම්භාර නිලධාරියා විසින් නොපමාවම අවලංගු කළ යුතුය. මෙහිදී නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රීවරයෙකුගේ නම ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවන වරටත් අඬ ගසන අතර එහිදී ද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදෙන්නේ නම් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටිය ලෙස සලකනු ලැබේ.

8) මේ අනුව එක් මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි “1” යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුය. මෙහිදී අපේක්ෂකයින් කිහිපදෙනෙක් යෝජනාවී ඇති අවස්ථාවක මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතී. ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව යෙදිය හැකිය.

9) මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඡන්ද ගණන් කිරීම සිදුවේ. ඡන්දය ගණන් කිරීම සිදුකරන ස්ථානයට යම් අපේක්ෂකයෙකු පැමිණීමට කැමති නම් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර නැතහොත් තමා නියෝජනය කිරීමට වෙනත් මන්ත්‍රීවරයකු එම ස්ථානයට යෑමට පත්කිරීමට එම අපේක්ෂකයාට හැකිය.

10) දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම්භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නොපමාව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය.

11) එසේම දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකුට ලැබී නොමැති අවස්ථාවල සටහන් කර ඇති දෙවන, තෙවන ආදී මනාප පරික්ෂා කිරීම සිදුවේ. මෙහිදී අවම මනාප ලබා ගත් අපේක්ෂකයන් ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවන මනාප ගණන් කිරීම සිදු කරයි.

12) ගණනය කිරීමේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු විසින් ලබාගෙන නොමැති අවස්ථාවකදී එකී ගණන් කිරීමේ දී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

13) එසේම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමක් සිදු වේ.

රනිල් වැඩ අරඹයි : 19 යළිත් :අතිගරු හළයි : ජනාධිපති කොඩියත් අහෝසියි ! (වීඩියෝ )

වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට පසුව අද (15) විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කිරීමට නියමිත මූලික ප්‍රතිපාදන කඩිනමින් ගෙනෙන බවට ප්‍රතිඥා දුන්නේය .

එසේම ජනාධිපතිවරයාගේ නම ඉදිරියෙන් "අතිගරු" යන වචනය යෙදීම තහනම් කරන බවත් ජනාධිපති පැවසීය .

එමෙන්ම ජනාධිපති කොඩිය අහෝසි කරන අතර රටකට තිබිය යුත්තේ එක කොඩියක් පමණක් බවත් අවධාරණය කර සිටියේ ය.

නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තේරී පත් වන තුරු තමන් ජනාධිපති ධූරයේ වැඩ බලන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ සිදුකරන ඡන්ද විමසීමට යම් යම් බලපෑම් එල්ල වන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයිද මන්ත්‍රීවරුන්ට විවිධ පිරිස්වලින් යම් යම් බලපෑම් සිදුවෙමින් ඇතැයි ද මෙහිදී ජනාධිපතිවරයා පැවසීය .

සාමකාමී අරගලය සඳහා කිසිදු බාධාවක් නැති බවත් නමුත් සාමකාමී අරගලකරුවන් අතරට පැමිණි කැරලිකරුවන් විසින් සිදුකරන රාජ්‍ය විරෝධී කටයුතු වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් තවදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි .

රනිල්ට බයේ සජිත් පස්සට යයි : ෆොනි ජනාධිපති වෙන්න සටනක !

නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ජූලි 20 පැවැත්වීමට නියමිත ජන්ද විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ඊයේ (14) පැයකට ආසන්න කාලයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර සාකච්ඡාවක් තිබී ඇති නමුත් එය එකඟතාවකින් තොරව අවසන්වී ඇත .

මේ අතර විපක්ෂ නායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන ජන්දය සඳහා ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා තමන් ඉදිරිපත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසා ඇති බවත් වාර්තා වෙයි .

කිරිඇල්ල පරළ වෙයි !

කෙසේ වුවත් අද (15) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු පක්ෂ නායකයන් ගේ රැස්වීම අවස්ථාවේ මීට පෙර ගෙන තිබූ තීන්දුව වෙනස් කර විපක්ෂයේ පොදු සම්මුතියක් ඇතිවීම වැළැක්වීමට පිරිසක් ක්‍රියාකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරේය.

විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රී පිරිසක් විපක්ෂයේ නියෝජනය ලෙස සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට ඊයේ එකඟව පැවති නමුත් අද එය වෙනස් කර ඇති බවත් පවසමින් ඔහු එහිදී චෝදනා කර සිටියේ ය .

රනිල්ට බයේ බයේ සජිත් : අඩියක් පස්සට තියයි !

සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පරාජයට පත්වීමේ අවධානමක් ඇත්නම් පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන ජන්දය සඳහා ඉදිරිපත් නොවීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බවය.

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ , ඩලස් අලහප්පෙරුම සහ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරාගැනීමේ ජන්දයට ඉදිරිපත් වනු ඇති බවය.

රනිල් ජනාධිපති ධූරයට : අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ අද (15) දිවුරුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ගෝඨාභය රාජපක්ෂ රටින් පළාගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින 7 ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද නිවේදනය කළේ ඉදිරි දින හතක කාලය ඇතුළත නව ජනාධිපති වරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හරහා සිදුකරන බවය.

එතෙක් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ගෝඨා නිල වශයෙන් ගියා : රනිල් ජනාධිපති ලෙස දිවුරුම්දීමට අගවිනිසුරු වෙත !

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ය.

ජනාධිපති ලෙස දිවුරුම්දීමට රනිල් සූදානම් !

ඒ පසුබිමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට සකස්කර අවසන් ව ඇති බවත් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට තව නොබෝ වේලාවකින් අගවිනිසුරුවරයා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා , නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

අලුත් ජනාධිපති 20 පත්වෙයි !

මේ අතර නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට (16) පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය .

පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සඳහා, රැස්වීමට සාමකාමී වාතාවරණයක් උදා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කතානායක වරයා කීය.

දින හතක් වැනි කෙටි කාලයක් තුළදී සියලු වගකිව යුත්තන්ගෙන් සහභාගීත්වයෙන් නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා සඳහන් කළේය.

අගමැති වෙන්න සජිත් සූදානම් : රනිල් යටතේ බෑ කියා තිස්ස කියයි !

පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි .

ඒ අනුව දැනට විපක්ෂයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වු අතර ඊට ලංකා කම්කරු කොංග්‍රසය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ස්වාධීන පක්ෂ 10 නියෝජිතයන් සහභාගී වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහභාගීවී ඇත .

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ මෙම සාකච්ඡාවට සහභාගීවී නැත.

මේ අතර වැඩබලන ජනාධිපතිවරයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (15) දිනයේදී දිවුරුම්දීමට නියමිතව ඇත.

සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිධූරය යටතේ අග්‍රාමාත්‍යධූරය දැරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සූදානම් නොමැති බවය.

ගෝඨා සමුගනී : ලිපිය email කරයි : බලය රනිල්ට !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය තහවුරු කරයි.

ලිපිය ලැබී ඇත්තේ email ආකාරයට අනුව වන බවත් , මේ වන විට එහි නීත්‍යානුකූල භාවය පරීක්ෂා කරන බවත් කතානායක ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

අදාළ ලිපිය කතානායක වෙත යොමුකර ඇත්තේ , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව වෙත ආරක්ෂාකාරී ලෙස ගොඩබැසීමෙන් පසුවය.

වාර්තා වන ආකාරයට මේ අනුව ජනාධිපති ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ව්‍යවස්ථාවට අනුකූල ලෙස හිමිව ඇති අතර ඔහු හෙට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ය.

092937bc 965f 4732 bc25 f1241b014ca3

ගෝඨාගේ වාර්තා ගත ගොඩබෑමක් !

ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කළ ගුවන් යානය බවට ද පත්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ළඟාවී ඇතැයි වාර්තා වේ.

ජනපති රැගත් යානය මීට සුළු වේලාවකට පෙර සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපල වෙත ගොඩබැස්වූ බවට ගුවන් යානා නිරීක්ෂණ වෙබ් අඩවිවල දැක්වේ.

Flightradar24.com හි දත්තවලට අනුව, Male සිට ගමන් කළ ගුවන් යානය ගොඩබැස්වීමට ආසන්න වන විට පරිශීලකයින් 12220කට වැඩි පිරිසක් විසින් නිරීක්ෂණය කර ඇත.

එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

20220714 172657

20220714 172713

1x 1 696x421

අරගලයට කළු පැල්ලමක් : ආරක්ෂක අංශ සාමාජිකයන් 2ක් මරණයට !

පොල්දූව මංසන්ධියේ දී ඊයේ (13) දින ඇතිවූ කලහාකාරී තත්ත්වයෙන් විරෝධතාකරුවන්ගේ පහර කෑමකට ලක් වූ හමුදා සෙබලෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ පස්වරුවේ සිට විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදී සිටියදී තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව සහ පොලීසිය එක්ව කටයුතු කරද්දී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී හමුදා නිලදාරියෙකුට විරෝධතාකරුවන් විසින් පහර දෙන ලද අතර ඔහු සතු ගිනි අවි සහ පතුරම් ද පැහැර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර ඇත.

අරගලයට කළු පැල්ලමක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අදාළ චෝදනාව බරපතළ බවයි.

ඊයේ දින පාර්ලිමේන්තු පරිශ්‍රය අවට සිට ජනතාව පෙළඹවූ දේශපාලන නියෝජිතයන් මේ වන විට ඔවුන්ගේ ෆේස්බුක් සටහන් පවා සංශෝධනය කර ඇති බවත් , එහෙත් කුපිත වූ ජනතාව හමුවේ අරගලයේ නිරායුද සාමකාමී අනන්‍යතාවය කෙළෙසී ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

එබැවින් කඩිනමින් මේ තත්ත්වය වෙනස් කිරීමට දක්ෂ සංවිධායකයන් සමග අරගලය සංයුක්ත විය යුතු බවත් දේශපාලන විචාරකයන් පවසයි .

එසේ නොවුණුහොත් ඉදිරියට අරගලය පොදුජන සහය නොමැතිව හුදෙකලා ලෙස මර්දනය විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

Page 226 of 386