V2025

පුවත්

වැඩේ බාරගන්න : ෆොනී සූදානම් !

 රට තුළ යළි නිතිය හා සාමය ඇතිකරලීමේ වගකීම බාරගැනීමට තමා සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම දේශපාලන හිතවතුන් හට පවසා ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 දා ඉල්ලා අස්වීමෙන් පසුව මසක් ඇතුලතදී පාර්ලිමේන්තුව තුළ දී පැවැත්වීමට නියමිත ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ඡන්දයට ඉදිරිපත්වීමට මන්ත්‍රීවරයා ගේ සූදානමක් ඇති බවය.
 
එහිදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අරගලකරුවන්ගෙ සහය තමන්ට ලැබෙනු ඇති බවට මන්ත්‍රීවරයා විශ්වාසයෙන් සිටින බවත් දැනගන්නට ඇත .

ඊයේ (09) අරගල භූමියේදී, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැන්නවුන් හට විරෝධතා එල්ලවූ නමුත් , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හට අරගලය ඇමතීමට පවා අවස්ථාව හිමිව තිබීම කෙරෙහි මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ ද අවධානය යොමුව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි . 

IMF වෙතින් දැනුම්දීමක්

ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ඉක්මණින් විසඳුමක් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එතෙක් මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් එම නිවේදනය නිකුත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන රනිල් වික්‍රමසිංහ  සමඟ ප්‍රතිපත්තිමය මට්ටමේ සාකච්ඡා වටයක් පසුගිය දා අවසන් කළ බවත් එහිදී විසඳීමට මූල්‍ය ගැටළු කිහිපයක් තිබෙන බව හඳුනාගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට විශේෂයෙන්ම අවදානමට ලක් වූ සහ දුප්පත් ජනතාවට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත් තම ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඇති කැපවීම යළි අවධාරණය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ශවේන්ද්‍ර ජාතිය අමතයි - සාමය ආරක්ෂා කිරීමට ශ්‍රීලංකා වාසි ජනතාවගෙන් සහය ඉල්ලයි

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත සහයෝගය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා වාසි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ මොහොතේ රටේ ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණ සාමකාමීව සහ ව්‍යවස්ථානුකුලව නිරාකරණය කරගැනීම අතිශයින් වැදගත්බව ඔහු පෙන්වාදෙයි.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ ඉල්ලීම සිදු කළේ, විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් වන යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ද එම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

දින ගණනාවක් ඉන්දියාවේ නිල සංචාරයකට සහභාගී ව සිටි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක හමුදා ප්‍රධානින් පිරිසක් යලි වහාම දිවයිනට පැමිණියේ ඊයේ (09) පස්වරුවේදීය.

දේශපාලන නායකයින් හැංගිලා !

මේවනවිට ජනාධිපතිවරයා සැඟවී සිටිමින් සිය ඉල්ලා අස්වීමේ දිනය ප්‍රකාශයට පත්කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ ද සිය අගමැති ධුරයෙන් ඉවත්වන බවක් දැනුම් දී තිබේ.

බන්ධුල ගුණවර්ධන ඊයේ සිය අමාත්‍ය ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වූ අතර තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කිරීමට නියමිතබව වාර්තාවේ.

එසේම මේවනවිට ආරක්ෂක හමුදාවන් හා පොලිසිය මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති අතර මහජන ආරක්ෂාව මුළුමනින්ම බිඳ වැටි තිබේ.

මෙම තත්වය තුළ ඇතැම් මාධ්‍ය රට පාලනය කිරීමේ වගකීම බාරගෙන තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

අරගලකරුවන් කොළඹ කඳවුරු බැඳගනී !

 ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වමින් ඊයේ කොළඹට එක්රැස්වූ අරගලයේ නිරත සාමාන්‍ය වැසියන් බොහෝ පිරිසක් මේවනවිටත් කොළඹ කොටුව සහ අවට ප්‍රදේශවල රැඳී සිටිති.

අද අලුයම සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවලදී නිරික්ෂණය වුණේ එම විරෝධතාකරුවන්ගෙන් විශාල පිරිසක් මේවනවිටත් ගාලුමුදොර අරගලභූමියේ රැඳී සිටින බවයි.

තවත් පිරිසක් කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රය තුළත්, තවත් පිරිසක් කොටුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළත් රැඳී සිටිති. ඊට අමතරව කොටුව දුම්රිය ස්ථානයේ ද තවත් විශාල පිරිසක් තවදුරටත් රැඳී සිටින බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශවලට සහයෝගය ලබාදෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය හමුවක් පවත්වා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි වටපිටාවක් තුළයි.

ගෝඨා යන දවස මෙන්න !

ජූලි 13 තමන් ජනාධිපති ධූරයෙන් ඉවත්වන බව ගෝඨාභය රාජපක්ෂ පවසා ඇතැයි වාර්තා වෙයි .

කතානායක ආරංචි මාර්ග මේ බව සඳහන් කර සිටියි.

මේ වන විට පක්ෂ නායකයන් ද කතානායක සමග පැවති සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ , ජනාධිපති සහ අගමැති ඉල්ලා අස්විය යුතු බවය.

පක්ෂ නායක තීන්දුව ජනාධිපතිට : තාවකාලික ජනාධිපති මහින්ද ?

කතානායක ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් විසින් අද (09) ගනු ලැබූ තීන්දුව කතානායකවරයා විසින් ලිඛිතවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මේ වනවිට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට කතානායකවරයා අදාළ ලිපියේ සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට මෙම පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බවකි.

මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ රවුෆ් හකීම් සිය ට්වීටර් ගිනුම් හරහා තහවුරු කර ඇත .

මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් , තාවකාලික ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන පත්වනු ඇත.

අගමැති නිවසට ගිනි තබයි

අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනිතබා ඇත.

අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් සිවු දෙනකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'සිරස' නාලිකාව විසින් ගෙන ගිය මාධ්‍ය මෙයුමෙන් පසු මෙම ගිනිතැබීම සිදුවිය.

අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මේ දිනවල රෝගාතුර තත්වයෙන් පසුවේ.

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසට එරෙහිව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තලදුව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුව කනගාටුව පළ කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

එම පිරිසට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් ප්‍රකාශක වරයා කීය.

මේ අතර පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අගමැතිද බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අගමැති නිවෙස අසල උණුසුම් තත්ත්වයක්

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ නිවස ආසල පොලිසිය සහ අරගල කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ආසන්නයට ගොස් එහි මාර්ග බාධක බිඳගෙන ප්‍රවේශවීමට ගත් උත්සාහයක් වළක්වමින් පොලිසිය ඔවුන්ට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මෙම ප්‍රහාරවලින් සිරස මාධ්‍යවේදීන් ඇතුළු කීප දෙනෙක්ම තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම උණුසුම්කාරී තත්වය තවදුරටත් පවතියි.

සිරස මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්.....

අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසළදී ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදී සිටි සිරස නිවුස්ෆස්ට් මාධ්‍යවේදීන් 04දෙනෙකු ප්‍රහාරයට ලක් වී ඇත.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට දැඩිලෙස පහර දී ඇත.

මේ වන විට ප්‍රහාරය ලක්වූ පිරිස රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.

වරුණ සම්පත්, සරසී පීරිස්,යූ.ඩී සින්දුජන්, ජනිත මෙන්ඩිස් යන අය  පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් අතර වේ.

04

ධුරයෙන් ඉවත් වීම ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා බහුතරය ප්‍රකාශයට පත්වීමෙන් පසුව තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ පවසයි.

එතෙක් රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේය.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බව ඔහු පවසයි.

එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වේ.

පාර්ලිමේන්තුව කැඳවන්නැයි අගමැති කතානායකගෙන් ඉල්ලයි

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති අතර,

පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් ද  කර තිබේ.

අරගලය මැද ප්‍රභූ පිරිසක් නෞකා දෙකකින් පිටවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ සහ ගජබා නෞකා දෙකෙන් ප්‍රභූ පිරිසක් කොළඹ වරායෙන් පිටත් ව යන අයුරු සමාජමාධ්‍යවල වීඩියෝවක් සංසරණය වෙයි.

ප්‍රභූන් පිරිස කවුද යන්න තහවුරු වී නොමැති අතර, පිරිසක් ඉතා හදිස්සියෙන් බඩු බාහිරාදිය රැගෙන නෞකාවට නගින අයුරු ද එහි දර්ශනය වේ.

කොළඹ වරායේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ පුද්ගලයන් පිරිසක් රැගත් නෞකා දෙක වරායෙන් පිටත්ව ගිය බවයි.

මාධ්‍යවේදිනී මනෝහාරීගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක හා සාහිත්‍යවේදිනියක වන මනෝහාරී හේවාවසම් ගේ මෑණියන් වන H.M.A. සමරසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

මහනුවර ගුරුදෙනියේ පදිංචිව සිටි සමරසේකර මහත්මිය මිය යන විට 78 වන වියෙහි පසුවූවාය.

ඇයගේ දේහය මේවනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (10 ඉරිදා) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

'මිරර් ආර්ට්' වෙබ් අඩවියේ කතුවරිය වන මනෝහාරී සිය මවගේ වියෝව සම්බන්ධයෙන් ඇය විසින් ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් පහත පළවේ.

‘‘නිවුස්ටියුුබ්‘‘ මහෝහාරී හේවාවසම් මියගේ මෑණියන්ට නිවන් සුව පතන්නෙමු.

Mano 2022.07.09

 

අරගලයට පොලිස් නිලධාරියෙකු ද එක් වෙයි

මේ වනවිට ගාලු මුවදොර දෙසට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව පාගමණින් එක්වෙමින් සිටින අතර, එසේ මහරගමට එක්වූ ජනතාව පැමිණෙමින් සිටි පාගමණට පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු එක්විය.

අරගලයට සාහය දක්වමින් එක් වූ පොලිස් නිලධාරිය, මහත් හරසරින් ජනතාව පිළිගත් අතර ඔහුද මේ වනවිට එම පෙළපාලියේ ගමන් කරනු දක්නට ලැබේ.

පොලිස්පතිගේ ඇඳිරි නීතිය ඉවත් කරගෙන !

පොලිස්පතිවරයා ඊයේ රාත්‍රියේ (08) පැනවූ  "පොලිස් ඇඳිරි නීතිය" අද (09) උදෑසන වන විට ඉවත් කරගෙන ඇත.
 
 මෙසේ ඉවත් කරගන්නට සිදු වූයේ මේ අනීතික නීතිය පැන වූ මොහාතේම එයට එරෙහිව සක්‍රිය පුරවැසි  විරෝධයක් මතු වූ බැවිනි. 
 
අදාළ නිවේදනය පහත දැක්වෙයි .
FB IMG 1657336702515

පොලිස් ඇඳිරි නීතිය නීති විරෝධීයි : අගමැති රනිල් ජනාධිපතිට දන්වයි !

පොලිස්පති නිවේදනයක් හරහා හෙට (09) දින සිට නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය නීති විරෝධී බවත් , එබැවින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොලිස් ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව දැනුවත් වූ වහාම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකව ඇත.

නීතිඥ සංගමයේ විරෝධය !

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පොලිස් ඇඳිරි නීතිය නීතිය පැනවීම දැඩිව විවේචනය කරමින් වහාම නිවේදනයක් නිකුත්කර ඇත.

එම සංගමය නිවේදනය හරහා ප්‍රශ්න කර සිටින්නේ මෙවැන්නක් සිදු කිරීම සදහා පොලිස්පතිවරයාට ඇති නීතිමය බලය කුමක්ද යනුවෙනි.

පොලිසියට මේ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත්, එය නීති වීරෝධී බවත් එම සංගමය නිවේදනය හරහා පෙන්වා දී ඇති අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි.

FB IMG 1657299299428

මානව හිමිකම් කොමිසමේ සාක්ෂිය මෙන්න !

මේ අතර පොලිස් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ද සමාජ මාධ්‍ය වෙත , ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම උපුටා දක්වමින් අදහස් දැක්වීමක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි .

“It is noted that S. 56 of the Police Ordinance, No.16 of 1865 (as amended) lays down the duties of individual police officers including the duty to “preserve the peace”. An examination of the Ordinance as a whole indicates that it does not confer general powers on the police to declare curfew. It appears that ‘police curfew’ has evolved as a practice.”

"1865 අංක 16 දරන පොලිස් ආඥාපනතේ S. 56 (සංශෝධිත පරිදි) "සාමය සුරැකීමේ" රාජකාරිය ඇතුළුව එක් එක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය දක්වා ඇති බව සටහන් වේ. සමස්තයක් ලෙස ආඥාපනත විමසා බැලීමෙන් පෙනී යන්නේ ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කිරීමට පොලිසියට සාමාන්‍ය බලතල ලබා දී නොමැති බවයි. ‘පොලිස් ඇඳිරි නීතිය’ පුරුද්දක් ලෙස විකාශනය වී ඇති බව පෙනේ.”

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

Human Rights Commission of Sri Lanka https://www.hrcsl.lk/wp-content/uploads/2020/02/curfew.HRCSL-recommendation-final.pdf

බස්නාහිර පොලිස් කොට්ඨාස 07 කට ඇඳිරි නීතිය !

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව වාර්තා වෙයි.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මේ බව නිවේදනය කර ඇති අතර ඊට අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත .

එසේම මේ ඇඳිරි නීතිය පැනවූ පොලිස් බලප්‍රදේශවල සියලුම පුද්ගලයන් තමන්ගේ නිවාසවල රැදීසිටියුතු අතරම පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බාධා කිරීමත් ලෙස සළකා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයාගේ නිවේදනයේ සඳහන් වෙයි.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බලප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස්පතිවරයා එම නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.

පොලිස්පති විසින් නිකුත්කළ අදාළ නිවේදනය පහත දැක්වෙයි .

IMG 20220708 WA0021

අර්බුදය එසේමයි : විපක්ෂයේ නායකයන් ජනපති අගමැති සූට් මහයි !

රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි ජනතා අරගලය හෙට (09) තීරණාත්මක කඩ ඉමක් වෙත යොමුවෙමින් තිබියදී විපක්ෂයේ දේශපාලන නායකයන් ජනාධිපති සහ අගමැති ධූර ලබමින් බලය තහවුරු කර ගැනීමේ ප්‍රයත්න දියත්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මේ වන විට ජනාධිපති හෝ අග්‍රාමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන නායකයන් විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා ආරම්භ කර ඇත .

එසේම ඔවුන් අරගලකරුවන් සමග සාකච්ඡා කරමින් සිටින බව දැක්වෙන විවිධ සාකච්ඡා සභාවන් සිය මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කරමින් සිටියි.

සජිත්ගෙන් මෙහෙයුම් කමිටුවක් !

මේ අතර රට තුල උද්ගතව ඇති අර්බුදකාරි තත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩපිළිවෙලකට යොමුවන ලෙසට සිදුකරන ඉල්ලීම් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලීමේ මූලික පියවර වශයෙන් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කොට මෙහෙයුම් කම්ටුවක් ස්ථාපිත කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මෙම මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් පත්කර තිබේ.

සිරිසේන - පාඨලී හමුවක් !

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අතර විශේෂ හමුවක් අද (08) පෙරවරුවේ පැවැත්වූ බවත් වාර්තා වෙයි .

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු එම සාකච්ඡාව සඳහා දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය හා ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගී වී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවකගේ පාර්ශවය වෙනුවෙන් කරුණාරත්න පරණවිතාන සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් එම හමුව සඳහා සහභාගී වූ බවත් වාර්තා වෙයි .

 

 

 

අරගලය සාමකාමී වෙන්න ඉල්ලන : එජාප නිවේදනය මෙන්න !

සාමකාමී විරෝධතා අරගලයට දිගින් දිගටම සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂය , හෙට (09) පැවැත්වීමට නියමිත අරගල පියවර සාමකාමී ලෙස පවත්වන ලෙසත් ඉල්ලා සිටියි.

එසේම සාමකාමී විරෝධතාවයන්ට කිසිදු බාධාවක්, අවහිරයක් නොමැතිව නිදහසේ කරගෙන යාමට අවස්ථාව ද තිබිය යුතු බවද අවධාරණය කරමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

අරගලය සාමකාමී වෙන්න ඉල්ලන : එජාප නිවේදනය මෙන්න !

අරගලකරුවන් විසින් හෙට (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩ අරගලයක නිරතවීමට තීරණය කර ඇත.

සාමකාමී අරගලයන්ට එක්සත් ජාතික පක්ෂයේ සහාය නිරතුරුවම හිමිවන බව සිහිපත් කළ යුතු ය.

ගාලුමුවදොර අරගලකරුවන්ට මැයි 09 දින එල්ල වූ ප්‍රහාරයේදී ද අප පෙනී සිටියේ අරගලකරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙනි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්වූ පසු අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් පත් කරනු ලැබූවේ මා ය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩනයකින් සිටින බව අප පිළිගන්නා පරම සත්‍යය වේ.

රාජපක්ෂ පාලනය හමුවේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසාවෙනි.

එම වැරදි මූල්‍ය පාලනයේ ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව ඇත්තේ සමස්ත රට වැසියාටම ය.

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්වීමෙන් අනතුරුව පවතින ආර්ථික අර්බුදයේ සැබෑ තත්ත්වය රටට හෙළි කළ අතර, අමාරු කාලයක් පසු කිරීමට සිදුව ඇති බව ද ප්‍රකාශ කළේ ය. එම අමාරු කාලය දැන් අප පසුකරමින් සිටින්නෙමු.

අරගලය වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාව ගෙන් අපි ඉල්ලා සිටින්නේ එක දෙයක් පමණකි. ඒ සාමකාමීව විරෝධතාවයේ නිරතවන ලෙසට ය. විරෝධය පළ කිරීමට ජනතාවට ඇති මූලික අයිතිවාසිකම් අපි පිළිගන්නෙමු. සාමකාමී විරෝධතාවයන්ට කිසිදු බාධාවක්, අවහිරයක් නොමැතිව නිදහසේ කරගෙන යාමට අවස්ථාව ද තිබිය යුතු ය. විරෝධතාවයට පැමිණෙන ජනතාව ද සිය විරෝධය සාමය කඩනොවන අයුරින් පවත්වාගෙන යා යුතු බව අප ගේ විශ්වාසය යි.

ආරක්ෂක අංශ ද නීතිය හා සාමය රැකිය යුත්තේ අරගලකරුවන්ට බාධාවක් නොවන ලෙසට ය. රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම ආරක්ෂක අංශ සතු වගකීමක් සේ ම අරගලකරුවන් සතු වගකීමක් බව ද සිහිපත් කරන්නෙමු. සාමකාමී රටක් පැවැතීම අප සැමගේම අපේක්ෂාව වන බැවින් එය සැමදා පවතීවා යන්න අප ගේ ඒකායන ප්‍රාර්ථනය යි.

 

Page 227 of 384