පුවත්

සමෘද්ධිලාභීන්ගෙන් 40%ක් නුසුදුස්සන් !
සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව ඒ සඳහා වගකීම පැවරෙන්නේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිවිය.
ඒ අනුව එම දත්ත රැස්කිරීමේ කටයුතුවලට අවශ්‍ය විධිවිධාන සඳහා මෙම ගැසට් පත්‍රයේ නියෝග පළකොට තිබිණි.
ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න පවසා සිටියේ, ලියාපදිංචි අයදුම්කරුවන්ගේ නිවෙස් වෙත ගොස් පනතේ විධිවිධාන අනුව අයදුම්කරුවන් විසින් කරනු ලබන ප්‍රකාශයට අදාළ දත්ත සහ තොරතුරු ලබාගැනීමේදී පනතේ 21 සහ 22 වගන්ති අනුව සිය රැකියා අහිමිවීමට පවා ඉඩ ඇති බව පෙන්වා දෙමින් එකී වගන්ති සංශෝධනය කරන තුරු මෙම ක්‍රියාවලියට අදාළ සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වන බව සමෘද්ධි, ග්‍රාමනිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති දන්වා ඇති බවය.
මෙම 21 සහ 22 වගන්තිය මගින් සාවද්‍ය දත්ත ඇතුළත් කරන නිලධාරීන්ද දඬුවමකට යටත්වන බැවින් මෙසේ එම වගන්ති සංශෝධනය වනතුරු මෙම දත්ත එකතු කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බවද ඔහු පෙන්වා දෙන ලදී.
රජයේ සුබසාධක ලැබීම් සඳහා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන්/පවුල් හඳුනාගැනීම සඳහා මූලික අයදුම්පත් භාරගැනීම පසුගියදා අවසන් වී තිබිණි.
එසේම සුබසාධක ප්‍රතිලාභ ඉල්ලුම් කර ඇති අයදුම් කරුවන්ගේ නිවෙස් වෙත ගොස් ද්වීතීයික තොරතුරු එක්රැස් කිරීම සදහා ජංගම යෙදවුම් මෘදුකාංගයක්ද හඳුන්වා දුන් බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.
මෙහිදී කමිටුවේදී සාකච්ඡාවූයේ සමෘද්ධිලාභීන්ගෙන් 40% ආසන්න ප්‍රමාණයක් නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී ද හෙළිවී ඇති බවය.
ඒ අනුව නුසුදුසු පුද්ගලයන්ට දීමනාව ලබාදී ඉන් යම් ප්‍රතිශතයක් ලබාගන්නා ඇතැම් දූෂිත නිලධාරීන් ද සිටින බව මෙහිදී සාකච්ඡා විය.
මනා විනිවිඳබවකින් යුතුව මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු සිදුකිරීම සඳහා මෙම නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
එසේම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කළයුතු බවටද කාරක සභාව විසින් නිර්දේශයක්ද ලබා දෙන ලදී.
තාක්ෂණය මෙතරම් දියුණු මට්ටමක ඇති පසුබිමක ජාතික හැඳුනුම්පතක් සෑම පුරවැසියෙකුටම ලබාදීමට හැකියාවක් නොමැති බව පිළිගත හැකි කරුණක් නොවන බව ද වංචනික ක්‍රියාවන් නැවැතීමට එය වැදගත් තීරණයක් වනු ඇති බවද කාරක සභාව විසින් පෙන්වාදෙන ලදී.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමාවීමටත් මෙම ලේඛනය සකස් කිරීම පමාවීම හේතුවිය හැකි බැවින්ද දූෂණය හා වංචාවෙන් තොර සංස්කෘතියක් ඇති කිරීම සඳහා ද කඩිනමින් මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.
ඒ අනුව මෙම ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබාදුන් කාරක සභාව මුදල් අමාත්‍යාංශ ඉහළ නිලධාරීන්ට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ මේ සම්බන්ධව කඩිනමින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණෙන ලෙසය.
එසේම විකල්ප ක්‍රියාමාර්ගයක් හෝ අනුගමනය කරමින් මෙම දත්ත රැස්කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අදාළ තීරණ ගන්නා ලෙස ද කාරක සභාව මෙහිදී නිර්දේශ කළේය.
එසේම එම ප්‍රගතිය සති දෙකක් තුළ කාරක සභාවට වාර්තා කරන ලෙස ද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නේය.

නාකොටික් අත්අඩංගුවේ මියගිය පුද්ගලයා ගැන පොලිසිය කියන කතාව !
නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයාගේ මරණය මොට ආයුධවලින් පහරදීම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ ලේ ගැලීම හේතුවෙන් සිදුවී ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණවී ඇත.
ඒ බව අනාවරණය වී ඇත්තේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයට අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බව පොලීසිය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ. ජී. එස්. ප්‍රීති කුමාර නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ තුවාල 30 කට අධික ප්‍රමාණයක් තිබෙන බවටද ආරංචි මාර්ග සඳහන් කරයි.
උපායදූතයන් ලබාදුන් තොරතුරකට අනුව මියගිය සහකාර කළමනාකාරවරයාව වෘත්තීය පුහුණු අධිකාරිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබු අතර ඒ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් ය.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකා මරදාන පිහිටි පොලිස් බැරැක්කය අසලට ඔහුව රැගෙන ගිය අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට අසල තිබූ වීදුරු බෝතලයක් කඩා පහරදීමට උත්සාහ කර ඇත.
එහිදී පොලිස් නිලධාරීන් සිදුකළ පහරදීමකින් අනතුරුව තුවාල ලැබූ සහකාර කළමනාකාරවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.
උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සැකකාර සහකාර කළමනාකාරවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කර සිටියේ,
"මෙම සැකකරු වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කරන පුද්ගලයෙකු බවට පසුව හඳුනාගෙන තිබුණා. ඔහුව පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 15ක් පමණ තිබිලා තියෙනවා. රුපියල් 5,000 කොළ 21ක් තිබුණා. මෙම පුද්ගලයාව නෙළුම් කුලුන ප්‍රදේශයේ ස්ථානයකට රැගෙනවිත් තිබුණා. එහි සිට තමයි ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණේ. මෙම ජාලයට සම්බන්ධ අනෙක් අය ගැන."
"ප්‍රශ්න කරන අවස්ථාවේදී සැකකරු ආවේගශිලීව හැසිරී තිබෙනවා. එහි සිදුවූ සිදුවීමක් නිසා සැකකරුව ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී සැකකරු මියගිය බවට වාර්තා වෙලා තිබෙනවා."
"පශ්චාත් මරණ පරීක්ෂණයේදී අඩංගු කරුණු අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනවා. විශේෂයෙන්ම මෙම සිදුවීම ගැන අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරනවා. ඒ නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර තිබේද යන්න පරීක්ෂා කිරීමට."

නඩු සංගණනයක් !
සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනතේ අධිකරණ බලය තුළට ගැනෙන නඩු පිළිබඳව සංගනනයක් සිදුකිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ජනවාරි මස 31 වන දින වන විට දිවයිනේ සියලු අධිකරණවල පවතින අදාළ නඩු පිළිබඳව සංගනනයක් සිදුකිරීමට නියමිතය.
සුළු හිමිකම් අධිකරණ කාර්යය පටිපාටිය පනතේ අධිකරණ බලය තුළට ගැණෙන සියලු නඩු පිළිබඳ භෞතික සංගනනයක් සිදුකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් විනිසුරුවරුන්ට සහ අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.
අදාළ සංගනනය පෙබරවාරි මස 15 වන දින හෝ ඊට ප්‍රථම අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයට ඉදිරිපත් කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත.

නාකොටික් හී සැකකරුවකු මියයාම ගැන විශේෂ විමර්ශනයක් !
මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරාදන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
වාර්තා වන ආකාරයට පසුගිය ජනවාරි 10 වනදා සවස් කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ නිලධාරීන්ට විරෝධය පා කලහාකාරී ලෙස හැසිරී ඇත.
එය පාලනය කිරීමට යාමේ දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 41 හැවිරිදි තෙල්වත්ත හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු බව සඳහන් ය.
එම සිද්ධියේ දී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මියගිය සැකකරුගේ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය : සිරිසේනට ලොකු වන්දියක් ගෙවන්න වෙයි !
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර ඇත.
ඊට අමතරව රජය විසින් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් වුණි.
ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.
අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12ක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය එම නියෝගය ලබා දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනුකර තිබුණි.

සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පහළට !
ලංකා සතොස යළිත් වරක් අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
මෙම මිල අඩු කිරීම අද (12) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සතොස අලෙවිසැල් වල ක්‍රියාත්මක බවත් එම නිවේදනය සඳහන් කරයි.
ඒ අනුව මිල අඩුකළ භාණ්ඩ වර්ග 04 මෙසේය.
දේශීය සම්බා කිලෝව රුපියල් 220.00 (ලාභය රුපියල් 5.00), දේශීය සුදු කැකුළු කිලෝව රුපියල් 189 .00 (ලාභය රුපියල් 16.00 ), සුදු නාඩු කිලෝව රුපියල් 198 .00 (ලාභය රුපියල් 7.00), පාන් පිටි කිලෝව රුපියල් 240.00 (ලාභය රුපියල් 5.00)

සංගමයේ සභාපති ධූරය කෞෂල්‍ය නවරත්නට යන ලකුණු !
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) අවසන් වූ අතර එහිදී සභාපති ධුරය සඳහා නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාත් ලේකම් ධූරය සඳහා ඉසුරු බාලපටබැඳිත් නාම යෝජනා බාරදී ඇත.
අද දහවල් 12 .00 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව ලැබුණු අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා බාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නීතිඥ කෞශල්‍ය නවරත්න ඉදිරිපත් කෙරුණේ , ආචාර්ය කේ. කනග් ඊශ්වරන්, ආචාර්ය ෆයිස් මුස්තෆා, ආචාර්ය රොමේෂ් ද සිල්වා, ඉක්‍රම් මොහොමඩ්, කුෂාන් ද අල්විස්, කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන, යූ. ආර් ද සිල්වා, නලින්ද ඉන්දතිස්ස, චන්දක ජයසුන්දර, ජගත් වික්‍රමනායක සහ ශිරන්ති ගුණවර්ධන යන ජනාධිපති නීතිඥවරුන් ගේ යෝජනා ස්ථිරත්වයෙනි.
පසුගිය වසර කිහිපය තුළ ප්‍රමුඛ පෙලේ ජනාධිපති නීතීඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇසුරේ පෝෂණය වූ කෞෂල්‍ය නවරත්න නීති ක්ෂේත්‍රයේ වසර 26 කට අධික කාලයක වෘත්තිය අත්දැකීම් ඇති ප්‍රවීනයෙකි .
එසේම ඔහු සාර්ථක නීති වෘත්තිකයන් බවට පත් වූ කනිෂ්ඨයන් විශාල සංඛ්‍යාවක් බිහිකිරීමට දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු ද වෙයි.
වෘත්තීය ජීවිතයේ මූල් පියවර තබමින් නීතිඥ කෞෂල්‍ය නවරත්න නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය සාර්ථකව නිමා කිරීමෙන් පසු සීමාවාසික පුහුණුව සහ ආධුනිකත්ව පුහුණුව සඳහා යොමු වූයේ “ Messers Sivanantham & Associates ” හි නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ නීතිඥ කන්දයියා සිවානන්දම් මහතා වෙතය.
අනතුරුව 1997 ජූනි මාසයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දෙන ඔහු කනිෂ්ඨ නීතිඥයකු ලෙස ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතාගේ නීතිඥ කාර්ය මණ්ඩලයට එක්විය.
මේ වන විට නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ප්‍රධාන වශයෙන් බැංකු, රක්ෂණ, බුද්ධිමය දේපල, සමාගම් නීතිය, විදුලි සංදේශ, මුදල් අය කර ගැනීම්, ගිවිසුම්, අපහාස, විවාහ ආරවුල්, ඉඩම් කොටස් කිරීම සහ කුලී සහ නෙරපා හැරීම ඇතුළත් සිවිල් නීතිය සහ වාණිජ නීතිය යන ක්ෂේත්‍ර සම්බන්ධ විශේෂඥ දැනුමැති නීතිඥවරයෙකු ලෙස කීර්තියට පත්ව ඇති අතර, බැංකු සහ සංස්ථාපිත ආයතනවල නීති උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කරයි.
කෞෂල්‍ය නවරත්න මහතා බේරුම්කරණය සහ සමථකරණය වැනි විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන් හි ද සම්බන්ධ වන අතර වාණිජ ආරවුල් සම්බන්ධයෙන් බේරුම්කරුවකු ලෙසද ක්‍රියා කරනු ලබයි. සංශෝධිත (1950) අංක (43) දරන කාර්මික ආරවුල් පනතට අනුව ඔහු කාර්මික අධිකරණයේ ද බේරුම් කරුවෙකු ලෙසද කටයුතු කරයි.
නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2019 වසරේ ලේකම්වරයා ලෙස බහුතර ඡන්දයෙන් තේරී පත් වූ අතර ඊට අමතරව නීතිඥ සංගමයේ කලාප උප සභාපති (කොළඹ) , විධායක කමිටු සාමාජික සහ නීතිඥ මණ්ඩල සභික ලෙසද කටයුතු කර ඇත.
එසේම ඔහු කොළඹ නීතිඥ සංගමයේ ලේකම් (2014 – 2016), කොළඹ නීති සංගමයේ සභාපති (2016 -2017) වශයෙන් තනතුරු දරමින් එහි සාමාජිකයන්ගේ උන්නතිය වෙනුවෙන් මනා කැපවීමකින් කටයුතු කරනු ලැබූවෙකි.
සංශෝධිත අධිකරණ පනත යටතේ අගවිනිසුරු තුමන් විසින් පත් කරන ලද විනය කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකාවේ නීති වාර්තා ප්‍රකාශනය සඳහා වූ කර්තෘ මණ්ඩලයේ අතිරේක ප්‍රධාන කර්තෘවරයකු ලෙස ද කටයුතු කරයි.
නීති අධ්‍යාපන සංස්ථාපිත කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද , 2019 -2020 වසර සඳහා “Law Asia” විධායක කමිටු සාමාජිකයකු ලෙස ද නවරත්න මහතා කටයුතු කර ඇත. තවද අධිකරණ අමාත්‍යාංශයේ වාණිජ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කමිටුවේ ප්‍රධාන නීති උපදේශක ලෙස නවරත්න මහතා වාණිජ නීති ප්‍රතිසංස්කරණ වලට අදාල යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ක්‍රියාකාරී මැදිහත් වීමක් සිදු කළේය.
එමෙන්ම ඔහු සිවිල් නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුවේ සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධති ඩිජිටල්කරණය කිරීම පිළිබඳ කමිටුවේ ද සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.
නීති ප්‍රජාව සහ අධිකරණ පද්ධතිය හා සම්බන්ධ වූ සාමාජිකයින් ඇතුළු සමස්ත නීති ක්ෂේත්‍රයේ සාමාජිකයින් සමඟ වූ දිගුකාලීන ඇසුර තුළින් ලබා ගත් අත්දැකීම්, දැනුම සහ ප්‍රවීණත්වයෙන් අනූන, කෞෂල්‍ය නවරත්න මහතාට නීතිඥ වෘත්තියේ ඉහළම සම්ප්‍රදායයන්, ගරුත්වය, වෘත්තීය ආචාර ධර්ම, සම්මතයන් සහ නීතිඥ සංගමයේ නොසැලෙන ස්වාධීනත්වය රැක ගනිමින් සේවය කිරීමට හැකියාවක් ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.

හෙලිකොප්ටරය නග්ගපු ගමන් බිමට පතබෑවෙයි !
දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් එළිදැක්වීම අද (ජන. 11) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිදු විය.
එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී එම සන්ධානය තරග කිරීමට සූදානමින් පසුවන අතර ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10ක් එක්ව සිටී.
නමුත් මේ වනවිට ඔවුන්ට පලාත් පාලන මැතිවරණයට අපේක්ෂක ලයිස්තු සකස් කිරීමේදී ගැටළු පැන නගී ඇත.විශේෂයෙන්ම විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර අනුර ප්‍රියදර්ශන යාපා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ට මෙම ගැටළුව උද්ගතවී ඇත.
මොවුන් සමග සිටි පලාත් පාලන මන්ත්‍රීවරුන් බොහෝදෙනෙකු ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ,එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබවේගයෙන් අපේක්ෂකත්වය ඉල්ලා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මෙම සන්ධානයේ තේමාව වන්නේ "බලය අල්ලමු" යන්නයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ මෙම සන්ධානගත විමේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණත් පිරිස් එකරැස් කරගැනීමේ අපහසුතාවය නිසා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙම සන්ධානගත වීමේ උත්සවය පැවැත්විණි.

මන්ත්‍රීවරුන් 30 කට වැඩියි : විපක්ෂයේ අලුත් සන්ධානය සූදානම් !
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් නිදහස් ජනතා පෙරමුණ නම් නව දේශපාලන සන්ධානයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
එම සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් 30 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරනු ඇති බවත් දැනගන්නට ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කන්ඩායම් 10ක් විසින් පිහිටුවීමට සැලසුම් කර ඇති නිදහස් ජනතා සන්ධානයට අදාළ සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේදී කොළඔදී පැවත් වුණි.
අදාළ සන්ධානය ගැන අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසා ඇත්තේ, "ඉතාමත්ව ප්‍රබල සංධානයක් හැදෙනවා. ජනතාව වෙනුවෙන්.." යනුවෙනි. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසා ඇත්තේ, "ලාංඡනය උඩින් යන්නේ.. හෙලිකොප්ටරය වගේ එකක්." යනුවෙනි.

ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ ජපාන ව්‍යාපාරිකයින්ගේ අවධානය !
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ( Satoshi Fujimaru) ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
නව සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම් යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් මැතිවරණය කොමිසමට කැඳවයි !
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාව මැතිවරණ කොමිසමට ගෙන්වා කරුණු විමසීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.
ඒ, කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙනි.
කෙසේවෙතත් මේ වනවිට අදාළ ලිපිය ආපසු කැඳවීමට අමාත්‍යංශ ලේකම්වරයා පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි .

ආදර්ශා කරඳන පොලිස් අත්අඩංගුවට !
සිය සුරතල් බලුපැටියා අදාළ කරගනිමින් මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහට චෝදනා කළ, ආදර්ශා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත .
ඒ අදාළ සැකකාරිය විසින් රුපියල් මිලියන 100ක මුදලක් තමාගෙන් බලෙන් ලබාගැනීමට තැත්කරන බවට මහාචාර්ය ආශූ මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් ය.
වාර්තා වන ආකාරයට පරිගණක අපරාධ කොට්ඨාශය හමුවේ සිය නීතීඥවරයෙක් සමඟ පැමිණ ඉදිරිපත් වූ ආදර්ශාගෙන් පෙරවරු 11.30 සිට කළ දිර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර අනතුරුව සවස 5.40ට පමණ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .
අදාළ මුදල ලබානොදුනහොත් ඇය සතුව ඇති වීඩියෝවක් ප්‍රසිද්ධකරන බවට ඇය විසින් තමාට තර්ජනය කළ බව ආශු මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
රුපියල් මිලියන 100 ක මුදලක් තර්ජනයකර බිය ගන්වා බලෙන් ලබාගැනීමට තැත්කිරීම සහ අසභ්‍ය ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීම ඇයට එරෙහිව ඇති චෝදනා වෙයි.
ආදර්ශා කරඳන පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් අපේක්ෂිත ඇප අයදුම් කළ නමුත් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කැනඩාවෙන් පැනවු සම්බාධකවලට ලංකාවේ විරෝධය !
මෙරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සහ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට සිය විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
ඒ අනුව අදාළ විරෝධය පළකිරීම නිල වශයෙන් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අද (11) පෙරවරුවේ මෙරට කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවනු ලැබු බවත් වාර්තා වෙයි.
කැනේඩියානු රජය ඊයේ (10) නිවේදනය කර සිටියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බවය.
ඒ අතර හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට අමතරව මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයද සිටියි.
1983 සිට 2009 දක්වා පැවති මෙරට සිවිල් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකළ බවට චෝදනා කරමින් කැනේඩියානු රජය මෙලෙස සම්බාධක පවනවා තිබුණි.
කැනේඩියානු රජය ඊයේ නිවේදනය කළේ එලෙස සම්බාධක පැනවීමත් සමග හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු එම සිව්දෙනාට කැනඩාව තුළ සංක්‍රමණික හෝ සරණාගත රැකවරණ හිමි නොවන බවය.
එමෙන්ම ඔවුන්ට කැනඩාව සමග හෝ එහි පුරවැසියන් සමග කිසිදු ගනුදෙනුවක නිරතවීමට හැකි වන්නේද නැහැ.
කැනඩාව තුළ ඔවුන්ට අයත් යම් දේපළක් වේ නම් ඒවාද තහනම් කරන බවද කැනඩා රජය අවධාරණය කරයි.

සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ලොක්කාගේ දඬුවම ස්ථිරයි !
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් නියම කළ සිරදඬුවම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර ඇත.
2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 20ක් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායක යන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණි.
එම චෝදනාවලට වරදකරු කෙරුණු කුසුම්දාස මහානාම නමැති විත්තිකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයක් නියම කර තිබුණි.
ඊට අමතරව පියදාස දිසානායක නමැති විත්තිකරුට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අමතරව ඔහුට රුපියල් 50,000ක දඩයක් ද නියම කරනු ලැබීය.

US ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ජනපති හමු වෙයි !
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකානු රජයේ ප්‍රසාදය අයිලීන් ලෝබකර් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළ කළාය.
ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා ලෝබකර් මහත්මිය දැනුවත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධ කරුණු මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය.
ලෝබකර් මහත්මිය මෙහිදී සදහන් කළේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය අගය කරන අතරම දෙරට අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් පසුවන බවයි.
https://newstube.lk/news?start=4122#sigProId370c73e3e3

රනිල් සහ බයිඩ්න් ගේ සහය බ්‍රසීල ජනාධිපති ලූලාට : ජුලි චංග්ගේ සහය කාටද ?
"බ්‍රසීලියා නගරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. විවිධ කණ්ඩායම් ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ එවැනිම උත්සාහයන් මීට ඉහතදී ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවිය. එවැනි උත්සාහයන් හෙළා දකින අතර, මේ අවස්ථාවේදී අප බ්‍රසීලයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ ජනතාවට සහයෝගය දක්වමු. ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන සියලු පුරවැසියන් විසින් ආරක්ෂා කරනු ඇතැයි මම විශ්වාස කරමි." යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ පණිවිඩයක් නිකුත් කර ඇත.
ඒ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එරට කොංග්‍රසය, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.
බයිඩ්න්ගේ සහය ලූලාට !
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් ද බ්‍රසීලයේ සිදුවීම "ප්‍රජාතන්ත්‍රවාදයට පහරදීම" ලෙස හෙළාදැක ඇත.
පසුගිය වසරේ මැතිවරණයෙන් බොල්සොනාරෝ පරාජය කළ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමඟ දිගටම වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.
එසේම "බ‍්‍රසීලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම සාමකාමී බල හුවමාරුවකට එල්ල කරනු ලද ප්‍රහාරය මම හෙළා දකිමි. බ‍්‍රසීලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවලට අපගේ පූර්ණ සහයෝගය ඇති අතර බ‍්‍රසීල ජනතාවගේ කැමැත්ත පීඩාවට පත් නොකළ යුතුයි," ඇමරිකානු ජනාධිපතිවරයා නිකුත්කළ ට්වීටර් පණිවිඩයේ සඳහන්ව ඇත.
බයිඩ්න් සහ ජුලි චංග් ප්‍රතිපත්ති දෙකක ?
කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ, රටක ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට ලක්කරමින් ප්‍රචණ්ඩත්වයක් හරහා දරුණු අරාජිකත්වයක් නිර්මාණය කෙරුණු බ්‍රසීලයේ ඇතිවූ තත්ත්වයට සමාන තත්ත්වයක් පසුගිය සමයේ මෙරට ඇතිවූ නමුත්, පෙරළා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට රජය ගනුලැබූ උත්සාහය මෙරට ඇමරිකානු තානාපතිනියගේ අගය කිරීමට ලක්නොවීම ගැටළු සහගත බවය. එහිදී ඔවුන් සංසන්දනාත්මක ලෙස දක්වන්නේ, ජෝ බයිඩ්න් ඇමරිකානු ජනාධිපති ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතනික ව්‍යුහය ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට සහය සහය දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ඇමරිකාවේ මෙරට තානාපතිනිය වූ ජූලි චංග් එකී ප්‍රතිපත්තිය ලංකාවට වලංගු නොවන බවක් ප්‍රදර්ශනය වන අයුරින් හැසිරුණු බවය. ඒ අනුව ජෝ බයිඩ්න් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය මෙරට ඇමරිකානු තානාපතිනිය වූ ජූලි චංග් ට අදාළ නොවුණේ කෙසේද යන්න ගැටළු සහගත බවත්, විචාරක මතය වී ඇත.

අලි පොහොට්ටු සන්ධානය - මහ ලේකම් රංගේ මොනවද මේ කියන්නේ ?
එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සන්ධානයක් සෑදීම සඳහා වන සාකච්ඡා සාර්ථක බවත්, මේ වන විට ඒ ඒ පළාත් පාලන ආයතනවලට පක්ෂ සඳහා ලැබෙන අපේක්ෂක ප්‍රමාණයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත පවසා තිබුණත් ඊට වෙනස් නිවේදනයක් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත්කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි .
එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ, පාර්ශව හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙම මැතිවරණයට තරග කිරීමට අදාළව සාකච්ඡා ගණනාවක් පසුගිය දින කිහිපය තුල පක්ෂ නිලාධාරීන් සහ සෙසු පක්ෂ ප්‍රධානීන් අතර පැවැත්විනි.
එසේ සාකච්ඡා කල පක්ෂ අතර ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ද වේ. ඉදිරියේදි ද තවත් පක්ෂ හා පාර්ශව කිහිපයක් සමග ද සාකච්ඡා කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් යන මහත්වරු මෙම සාකච්ඡාවලට පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූහ.
සාකච්ඡා තවම අවසන්ව නැති අතර සියලු සාකච්ඡා අවසානයේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කරනු ඇත.
මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය

හම්බන්තොටට ඛනිජ තෙල් පිරිපහදුවක් !
අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
අද (10) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය වූ අතර විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බවත් ප්‍රකාශ විය.
ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
Page 230 of 461