V2025

පුවත්

මාස 6 න් ආර්ථිකය ගොඩදාන වැඩපිළිවෙළට : අනුරට අගමැති ධූරය සහ නොබෙල් ත්‍යාගය !

"තමන්ට බාර දුන්නොත් මාස හයකින් රට යථා තත්ත්වයට පත්කරන බව  අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ප්‍රකාශ කර තියෙනවා. ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්.  ඍන හයක් හතක් දක්වා  ආර්ථික වර්ධනය වේගය ඇද වැටුණු රටක් මාස හයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන යාම  මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක්  එහෙම වෙලා නෑ කියා අපිට අනුර කුමාර දිසානායක මහතාගේ අදහස බැහැර කරන්න බැහැ. මාස හයක් තුළ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් එතුමා ළඟ ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට  පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි
 ලෝකයටත් කදිම පූර්වාදර්ශයක් වෙනවා."  යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .
 
එවැන්නක් ඇත්නම් ජනාධිපතිට සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත් , එහිදී ඊට අවස්ථාව ලබාදී ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය .
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි .
 
මාස 6න් ආර්ථික අර්බුදය විසඳීමට වැඩපිළිවෙළක් පැමිණියහොත් එය ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබීමට සුදුසුකමක් බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි .
 
ආර්ථිකය යළි නංවන මාර්ග සිතියම පාර්ලිමේන්තුවට !
 
 අද වැටී තියන ආර්ථිකය යළි නංවාලීම සඳහා  අප අනුගමනය කරන මාර්ග සිතියම නැතිනම් ගමන් සැලැස්ම   ගැන තොරතුරු අද මේ සභාවත්, රටේ ජනතාවත් ඉදිරියේ පැහැදිලි කරන්න මම සූදානම්.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්නට අපට හැකි වුණා.එකඟතා ගණනාවකට එළඹෙන්නට අපට පුළුවන් වුණා .මේ නිසා මාර්ග සිතියම වඩාත් සවිස්තරාත්මක ලෙස ඔබ ඉදිරියේ තබන්නට දැන් අපට පුළුවන්.
 
IMF සාකච්ඡාව : වෙනදාට වඩා බරපතළයි !
 
 මීට කලින් අවස්ථා ගණනාවකදී අපේ රට අයි එම් එෆ් සමඟ සාකච්ඡා පවත්වා තියෙනවා. හැබැයි ඒ සියලු අවස්ථාවට වඩා මෙවර තත්ත්වය වෙනස්. බරපතලයි. වෙනදා අපි සාකච්ඡා පවත්වා තියෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට. එවැනි අවස්ථාවක දෙපාර්ශවයට ඇත්තේ ආධාර ලබා ගැනීම සහ ඊ එෆ් එෆ් හෙවත් විස්තීරණ ණය ආධාර ගැන එකඟත්වයකට ඒම පමණයි. එය සරල රේඛාවක් දිගේ ගමන් කරනවා වගේ වැඩක්.
 
බංකොලොත් රටක් නිසා සිදුව ඇති වින්නැහිය !
 
නමුත් දැන් තත්වය වෙනස්. අපි දැන් සාකච්ඡා වලට සහභාගි වෙන්නේ බංකොලොත් රටක් විදිහට. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාකච්ඡා වලට වඩා දුෂ්කර සහ සංකීර්ණ තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙනදා මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට පැමිණීමෙන් පසු, ඒ එකඟත්වය අයි එම් එෆ් අධ්‍යක්ෂක මණ්ඩලය  වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්න පුළුවන්. ඒත් අපේ රට පත්ව ඇති බංකොලොත් තත්ත්වය නිසා අපිට සිද්ධ වෙනවා අපේ ණය තිරසරභාවය පිළිබඳ සැලසුම් වාර්තාවක් වෙනමම ඔවුන්ට ඉදිරිපත් කරන්න. ඒ සැලසුම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් වුණාම තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට අපට එළඹෙන්නට පුළුවන්. මේ ක්‍රියාවලිය කලින් වගේ සරල රේඛාවක ගමනක් නෙවෙයි. වංකගිරියක ගමනක්.
 
IMF සාකච්ඡා සාර්ථකයි !
 
නමුත් ඒ දුෂ්කරතා මැද සාකච්ඡාව වටය ඵලදායි ලෙස අවසන් කිරීමට ලැබීම සතුටට කරුණක්. අයි.එම්.එෆ්.   නිල නිවේදනයට අනුව "ආධාර කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාධනීය සහ ඵලදායි සාකච්ඡා පැවැත්වුණා. සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවුණා."
 
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ තිරසරභාවය පිළිබඳ සැලසුම් වාර්තාව හැදෙමින් තියෙන්නේ !
 
දැන් ඊළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කිරීම, මූල්‍ය සහ නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්‍ලිෆඩ් චාන්ස් සමාගම් දැන් ඒ වාර්තාව සකස් කරමින් සිටිනවා. අගෝස්තු මාසය වෙද්දී වෙද්දි ඒ වාර්තාව අයි.එම්.එෆ්. වෙත ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තුවෙනවා. 
 
ඉන්පසුව මාණ්ඩලික එකඟතාවකට එළඹීමට අපට හැකි වේවි. ඊටත් පසුව ඒ එකඟතාව අයි.එම්.එෆ්.   අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනවා. අනුමැතිය ලැබුණු පසු, වසර 4 ක කාලයක් සඳහා විස්තීරණ ණය ආධාර වැඩ පිළිවෙලක් සකස් කෙරෙනවා අප දැන් ගමන් කරමින් සිටින්නේ අන්න ඒ මාර්ගයේ.
ඒ වගේම අයි.එම්.එෆ්.  මාණ්ඩලික එකගතාවය ලබාගත් පසු අප ඉන්දියාව, චීනය සහ ජපානය වැනි අපට ණය ආධාර වැඩි වශයෙන් ලබාදෙන මිත්‍ර රටවල් එක්කරගෙන ආධාර පූජා සමුළුවක් සංවිධානය කරන්න කටයුතු කරනවා. පොදු  එකඟතාවක් ඔස්සේ ණය ආධාර ලබා ගත හැකි ක්‍රමවේදයක් සකසා ගැනීමටයි  අප බලාපොරොත්තු වෙන්නේ.
 
ඉන්ධන අර්බුදය සහ ඊට සමාන්තර ආහර සුලබතාව පිළිබඳ ගැටලුව !
 
අද අප මුහුණදෙන ප්‍රශ්න අතරින් මූලිකමප්‍රශ්නය වන්නේ ඉන්ධන අර්බුදය. ඊට සමාන්තරව ආහාර සුලබතාව පිළිබඳ ගැටලුවටත් අපි මුහුණ දෙනවා. ඉන්ධන සහ ආහාර සම්බන්ධයෙන් අපේ රට කාලයක සිට අර්බුදයට යමින් සිටියේ. ඉන්ධන හිඟ වුණා. ආහාර මිල ඉහළ ගියා. 
 
නමුත් මෑතකදී ඇතිවුණු ගෝලීය අර්බුද නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණා වුණා කබලේ සිටි අප ලිපට වැටුණා.  යුක්රේන- රුසියා යුද්ධය නිසා අපේ ප්‍රශ්නය ඔඩු දිව්වා. දැන් සිදුවී තියෙන්නේ අපේ අර්බුදය උඩට ජාත්‍යන්තර අර්බුද කඩා පාත්වීම. මේ තත්ත්වය අපට පමණක්  නොවෙයි. වෙනත් රටවලටත්  බලපානවා. ඉන්දියාව හා ඉන්දුනීසියාව මේ බලපෑමෙන් පීඩාවට පත්වෙමින් යනවා. ඒ නිසා අපට ලබාදෙන ණය ආධාර සහන සීමා කිරීමට ඉන්දියාවට සිදුවී තිබෙනවා. 
 
මුළු ලෝකයටම මේ තත්ත්වය එකසේ බලපානවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධිත රටවල් සහ සංවර්ධනය නොවූ රටවල් අතර පරතරය ඉහළ නැංවෙන බවට එක්සත්ීම බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අනතුරු අඟවා තියෙනවා. ඒ වගේම රටක අභ්‍යන්තරයේ ඉහළ පන්තිය සහ පහළ පන්තිය අතර පරතරයත් වැඩි විය හැකි බවට ඔහු අනතුරු අඟවනවා. මේ ලෝක අර්බුදයෙන් පරිබාහිරව  හුදෙකලා වෙන්න ලෝකයේ කිසිම රටකට බැහැ. අපිත් මේ සියල්ලට මුහුණ දිය යුතු වෙනවා.
 
තවදුරටත් පරණ ක්‍රමයට යන්න බෑ !
 
අපට මුහුණ පාන්නට ඇති දේශීය සහ ගෝලීය අභියෝග සියල්ල ම  සලකා බලා තමයි මේ මාර්ග සිතියම, නැත්නම් ගමන් සැලසුම අපි සකස් කළේ. මේ මාර්ගයේ නොයා පරණ  ක්‍රමයේම අපට ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියොත් එක තැන පල් වෙලා මුළු රටම කඩා වැටෙනවා. 
 
ඒ නිසා අප වෙහෙසිය යුත්තේ මේ ගමන්මග ඉදිරියට යෑමයි. එය ලේසි පහසු ගමනක් නොවෙයි. මම ඒ බව වරින් වර ඔබට සිහිපත් කර දී තියෙනවා. අසීරු ගමනක්. දුෂ්කර ගමනක්. කටුක ගමනක්. ඒත් ඒ ගමන කෙළවර අපට සහනයක් ලබා ගන්න පුළුවන්. ප්‍රගතියක් දිනාගන්න පුළුවන්. 
අපේ ආර්ථිකය වර්තමානයේ හැකිලෙමින් පවතින්නේ. අපි එය ආපසු හැරවීමටයි මේ වෙහෙසෙන්නේ. මහ බැංකු සංඛ්‍යා ලේඛන අනුව අපේ වර්තමාන ආර්ථික වර්ධන වේගය ඍන හතරත්, ඍන පහත් අතර අගයක් ගන්නවා. අයි.එම්.එෆ්.  සංඛ්‍යාලේඛන අනුව එය ඍන හයත් ඍන හතත් අතර වෙනවා. 
 
ණය අර්බුදය සුළුපටු නෑ !
 
මෙය බරපතල තත්ත්වයක්. අපි මේ මාර්ග සිතියම ඔස්සේ අධිෂ්ඨානශීලී ගමනක් යෙදුනොත්, 2023 අවසන් වෙද්දී  ඍන එකක ආර්ථික වර්ධන වේගයක් අපට ලබාගන්න පුළුවන්.
 
2025 වෙද්දි ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කරගැනීම අපේ ප්‍රයත්නයයි.  ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම අපේ උත්සාහයයි. 2026 වෙද්දි  ස්ථාවර ආර්ථික පදනමක් ඇති කරගැනීම අපේ අපේක්ෂාවයි .
අපි මේ වන විට ගෙවන්නට ඇති ණය පිළිබඳව අදහසක් ඔබට ලබා දෙන්නට මා කැමතියි. මේ වසරේ ජූනි දෙසැම්බර් අතර ඩොලර් මිලියන 3489 ක්.  2023 දී මිලියන 5860 ක්. 2024 දී මිලියන 4916 ක්.  2025 දී මිලියන 6287 ක්. 2026  දී මිලියන 4030 ක්. 2027 දී මිලියන 4381 ක්.
 
2021 අවසානයේ රජයේ මුළු ණය බර රුපි 17,589.4 ක්.  2022 මාර්තු වෙද්දී රුපියල් බිලියන 21,696.6 ක්. 
මේ තමයි සැබෑ තත්ත්වය. මීට අමතරව ගෙවුණු වසර දෙක තුන තුල උග්‍ර වුණු ප්‍රශ්න ගණනාවක බලපෑම් අප හමුවේ තියෙනවා. ඒවා දවසින් දෙකෙන් විසඳිය හැකි ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් සමඟ සනාථ වේවි. 
 
වසර අග උද්ධමනය 60%ක් වෙයි !
 
අපේ සැලසුම උද්ධමනය පාලනය කරලීම උදෙසා වෙහෙසීමයි. මේ අවුරුද්ද අවසාන වෙද්දී උද්ධමනය 60% දක්වා ඉහළ නැංවෙනවා. ලෝකයේ භාණ්ඩ මිල ඉහළ නැගීමත්, රුපියලේ අගය පහත වැටීමත් මීට ප්‍රධාන වශයෙන් බලපානවා.
 
වර්තමාන උද්ධමනය නිසා, රුපියලේ වටිනාකම අඩුවීම නිසා සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දැන් ඇති මුදල් වල වටිනාකම 50%  කින් පහළ බැහැලා තියෙනවා  විශ්‍රාම වැටුප් වල සැබෑ වටිනාකමත්  සියයට 50% කින් පහළ බැහැලා. අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මේ තත්ත්වය බලපාන හැටි කල්පනා කරලා බලන්න. ඔවුන් සියලු දෙනා අතර දිළිඳුකම පැතිරෙමින් පවතිනවා. ඔවුන් අතට ලැබෙන  මුදලේ වටිනාකම සියයට 50%  කින් පමණ අඩු වෙලා. ඔවුන් ගේ මිලදී ගැනීමේ ශක්තිය 50% කින් පමණ අඩු වෙලා. සිහින ලෝක මවන එක ලේසියි. හැබැයි මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අසීරුයි.
 
මුදල් මුද්‍රණය සීමා කිරීමට දැනටමත් සැලසුමක් ක්‍රියාත්මකයි !
 
මොකක්ද මේකට විසඳුම. හැකි ඉක්මනින් රුපියල ස්ථාවර කිරීම,  රුපියල වැටෙන්න නොදී ශක්තිමත් කිරීම. ඒ අරමුණින් ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීම සීමා කිරීමේ සැලසුමක් අප ක්‍රියාවට නංවා තියනවා.
2023 වසරේ අවස්ථා කිහිපයකදී සීමා සහිතව මුදල් මුද්‍රණය කරන්නට අපට සිදු වේවි. නමුත් 2024 අවසන් වෙද්දී මුදල් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දැමීම අපේ අභිප්‍රායයි .
 
අප ඉලක්ක කරන්නේ 2025 වෙද්දි උද්ධමනය වේගය සියයට 4 ත්  6 ත් අතර මට්ටමකට පහත දමන්නයි. 
අප සිදුකළ යුතු තවත් ප්‍රමුඛතම කාර්යයක් වන්නේ බැංකු සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීම. ආර්ථික අර්බුදයක අර්බුදයකදී මේ පද්ධතීන් වෙත එල්ලවෙන පීඩනය මේ සභාවට අලුතෙන් විස්තර කළ යුතු නැහැ. නමුත් මේ පීඩනය නිසා බැංකු පද්ධතියට අබ මල් රේණුව කින් හෝ අගතියක් සිදු වන්නට අප ඉඩ දෙන්නේ නැහැ. බැංකු සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරලීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබාදී තියෙනවා .
 
රාජ්‍ය ව්‍යවසායන් දිගින් දිගටම පාඩු ලබන විට  එයින් පීඩාවට පත්වෙන්නේ පුරවැසියන් !
 
මේ අතර රාජ්‍ය බැංකු පිළිබඳ ව අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔවුන් දෙපැත්තකින් බැට කනවා. එක පැත්තකින් ආර්ථික අර්බුදය, අනිත් පැත්තෙන් රාජ්‍ය ව්‍යවසාය සඳහා ඔවුන් ලබා දී ඇති දැවැන්ත ණය ප්‍රමාණය. 
2021 මාර්තු 31 වෙනිදා වෙද්දි  ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන .....541.ක් ණයයි. 2022 මැයි 31 වෙනිදා වන විට විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 418 ක් ණයයි. ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන  1460  ණයයි. 
 
රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම පාඩු ලබද්දී එයින් බැට කන්නේ සමස්ත පුරවැසියන්. ජීවිත කාලය පුරා ගුවන් යානාවක ගමන් නොගත් ජනතාව   ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව වෙනුවෙන් දුක් විඳිනවා. ජීවිත කාලය පුරා මුදල් ලබාදී ඉන්ධන ලබා ගත් ජනතාව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව වෙනුවෙන් පීඩා විඳිනවා. පෝලිම් වල වරු ගණන්, දින ගණන්, රස්තියාදු වෙමින් ඉන්ධන ලබා ගන්නා වාරයක් වාරයක් පාසා ඔවුන් තෙල් සංස්ථාවේ සංස්ථාවේ පාඩුව පියවන්න වන්දි ගෙවනවා. ජීවිත කාලය පුරා මුදල් ගෙවා විදුලි බලය ලබා ගන්නා ජනතාව දවසකට පැය කිහිපයක් කලුවරේ ද හිඳිමින් විදුලිබල මණ්ඩලයේ  පාඩුව වෙනුවෙන් කරදර විඳිනවා. වන්දි ගෙවනවා. 
 
ජනතාවට බරක්ව ඇති ආයතන ගැන නැවත හිතන්න ඕන !
 
 ජනතාව විඳින මේ දුක්, පීඩා, කරදරත්, ආයතන වල පාඩුව වෙනුවෙන් ගෙවන වන්දි වසා දැමීම සඳහා කාලයක් තිස්සේ  පාවිච්චි කරන පිරුවටයක් තියෙනවා. ජනතා සම්පත්, ජනතා දේපල මෙන්ම මේ පිරුවටයෙන් ඒ ඒ ආයතන වල අසාර්ථකත්වය වසා ගන්නවා. මේවා සැබෑ ජනතා දේපළ සහ ජනතා සම්පත් නම්, ඒවායින් ජනතාවට සහනයක්, පහසුවක්, ලේසියක්, ලාභයක් සැලසිය යුතුයි. ඒත් මේවායින් ජනතාවට උරුම වී තියෙන්නේ දුක්, පීඩා, කරදර සහ පාඩු .
 
ඒ නිසා රටටත් ජනතාවටත් බරක් වී ඇති මෙවැනි ආයතන පිළිබඳව අලුතින් සිතන්නට අපට සිදුවෙනවා. වසර තිහ හතළිහක් තිස්සේ ජනතාවට මේ අයුරින් බර පැටවීම සාධාරණ ද ? තවදුරටත් ජනතාවට බර පටවමින් මේ ආයතන පවත්වාගෙන යා යුතු ද? මේ ආයතන මගින් ලබාදෙන සේවාවන් ජනතාවට බරක් නොවන ලෙස ලබා දෙන්න බැරි ඇයි? මේ සේවාවන්  ලබා දීමේ වෙනත් විකල්ප නැද්ද? මෙන්න මේ කරුණු සියල්ල සලකා බලා මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අප කඩිනමින් පියවර ගන්නවා. ඒවා රටට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාම සහතික කරනවා.  
 
වත්මන් අභියෝගය ජයගැනීම : ආහාර !
 
 
වත්මන් අභියෝග ජයගැනීම සඳහා අප යන ඉදිරි ගමනේ දී අවධානය යොමු කළ යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා. 
 
එකක් තමයි හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ පසුබිම සකස් කිරීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම කිසියම් කිසි යම් පාලනයකට නතු කර ලීම. 
 
හිඟයක් නොමැතිව රසායනික පොහොර !
 
 අනෙක් අතින් ආහාර සුලභත්වය වැඩි කිරීම සඳහා පියවර ගැනීම. ලබන මහ කන්නයේ අස්වනු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම අප දැන් සකස් කර අවසන්. රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න සියලු පියවර දැනටමත් ගෙන තියෙනවා. බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අන්තර්කාලීන අයවැය මගින් වෙන් කරනවා.
 
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා එන සතියේ  ලංකාවට !
 
ඒ වාගේම ගේම ලෝක ආහාර වැඩසටහන සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සමග එක්වී ආහාර සුලභත්වය වැඩි කිරීමේ වැඩසටහනක් දැනටමත් අප ආරම්භ කර තියෙනවා. මේ වන විට ඔවුන්ගේ නියෝජිත පිරිසක් ලංකාවේ ආහාර අර්බුදය පිළිබඳ විමර්ශනයක නිරත වෙනවා. මගේ ආරාධනයෙන් ලබන සතියේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා ලංකාවට පැමිණෙනවා. 
 
කොයි තරම් දැවැන්ත ආර්ථික අර්බුදයකට මැදි වී සිටියත් සමාජයේ දිළිඳු ම කොටස් ආහාර සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටළු අපිට අමතක කරන්න බැහැ. ඉදිරියේ දී ගෙන එන අන්තර්කාලීන අයවැය මගින් සමාජයේ ඉහළම කොටස් සඳහා කෙටිකාලීන සහන ලබා දීමට මුදල් වෙන් කරනවා. සමාජ සුභසාධන ප්‍රතිලාභ නීතිය යටතේ මේ සහන ජනතාවට ලබා දෙනවා. 
 
මන්දපෝෂණ තත්වයන් වලක්වා ගන්නට වැඩසටහනක් !
 
ඒ වගේම ආහාර හිඟතාව නිසා ඇතිවෙමින් යන මන්දපෝෂණ තත්ත්වයන් වළක්වාලීමේ කටයුතු අප දියත් කරනවා. 
 
මේ කටයුතු වලට සමාන්තරව වගාවන් සදහා සඳහා අවශ්‍ය  දිරි ගැන්වීම් කරනවා. පහසුකම් ලබා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙනත් අදාළ අමාත්‍යාංශ එක්කරගෙන අග්‍රාමාත්‍ය  කාර්යාලයේ ද මැදිහත් වීමෙන් දීප ව්‍යාප්ත වගා වැඩසටහනක් දියත් කරනවා. මේ වැඩපිළිවෙළේ අරමුණ විමධ්‍යගත මට්ටමෙන් ආහාර සුලභතාව වැඩි කිරීමයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සතිපතා රැස් වෙමින් අවශ්‍ය  ක්‍රීයාමාර්ග ගන්නවා. ඉදිරි  මාස හයක හතක කාලය තුළ සමස්ත ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා .
 
අපනයන ආර්ථිකය ඉහළ නංවන ප්‍රතිපත්තිමය තීරණ අන්තර්කාලීන අයවැයෙන් !
 
අපනයන ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති තීරණ ගණනාවක් ගැනීමට අප පියවර ගන්නවා. ඉදිරි අන්තර්කාලීන අයවැයට ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙනවා. 
 
අප මේ සැලසුම්කර ඇති මාර්ගයේ ඉදිරියට ගියොත් අනාගතය ගැන යහපත් බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. අප සියලු දෙනාම එක්සත්ව හා එක්සිත්ව ඒ කාර්යය භාරයට උර දිය යුතුයි. අප පැටලී ඇති දැල ඔසවාගෙන පියාඹන්නට අපි හැමෝම එකතු විය යුතුයි. 
 
2019  තැනට යන්න වෙන්නේ 2025 දී !
 
එහෙම කටයුතු කළොත් අපට  2025 වෙද්දි යළිත් 2019 අවුරුද්දේ අප සිටි තත්ත්වය කරා පැමිණීමේ අපේක්ෂාව ඉටු කරගන්න පුලුවන් වේවි. එතනින් මේ ගමන නවත්තන්නට බැහැ. නව ආර්ථිකයක් නිර්මාණය කරගැනීම දක්වා අප මේ ගමන ඉදිරියටම යා යුතු වෙනවා. 
 
අන්තර්කාලීන අයවැය මගින් මේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය  පසුබිම සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මම අගමැති වගකීම් භාරගත් අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ වෙතින් ලිඛිතව ඉල්ලීමක් කළා, මේ අසීරු හා අර්බුදකාරී අවස්ථාවේ රට වෙනුවෙන් එක්ක කටයුතු කරන්නට ඉදිරිපත් වෙන්න කියා. ඒ අවස්ථාවේ ඊට ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ හැමදෙනාම දන්න.
මේ එකමුතු වීමේ වැදගත්කම, එකට එක්ව මේ දුෂ්කර අවදියෙන් ගොඩ ඒමේ වැදගත්කම, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් විටින් විට පෙන්වා දී තියෙනවා. 
ඒ බවත් සිහිපත් කරමින් මම යළිත් මේ සභාවේ සිටින සියළුම පක්ෂ නියෝජිතයන් ගෙන් යළිත් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය ජයගැනීමට එකට එක්වෙන ලෙසටයි.  
 
 
අපේ අවසාන ඉලක්කය ඉහළ තරගකාරීත්වය කින් යුතු සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කරගැනීමයි.  මෙතැනදී අපට වින චීනය සහ වියට්නාමය වැනි රටවලින් ගතයුතු ආදර්ශයන් ද තියෙනවා. ඔවුන් තරඟකාරී සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයන් සාර්ථකව පවත්වාගෙන යන රටවල්.
 මා දන්නා තරමට අපේ ඉලක්ක ජය ගැනීම සදහා කෙටි පාරවල් නැහැ. මැජික් හෝ විශ්ව විශ්වකර්ම ක්‍රම නැහැ. ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රී තුමියත්  පසුගිය දිනෙක ඒ බව අවධාරණය කළා. එතුමිය මෙසේ ප්‍රකාශ කළා. "අපිට හිස් බඳුනක් ලැබෙන්නේ  .ලේසි නෑ මේක.  අපි හිතන්නේ නෑ අපි බලයට ආපු ගමන් සියල්ල විසඳෙනවා කියලා. බලයට ආ පමණින් සියල්ල විසඳෙන්නේ නැහැ. කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. කාලයක් යනවා මේක හරි තත්ත්වයට ගන්න. ඒ කාලය දුෂ්කර කාලයක් වෙයි. අපි සියලු දෙනාටම කැපවීම් කරන්න වෙනවා. ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා."
 
 
හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය පැවසුවා වගේ මේ අර්බුදය දවසින් දෙකෙන් මාස කිහිපයකින් විසඳන්න පුළුවන් මට්ටමේ එකක් නොවෙයි. ඊට වඩා බරපතල එකක්.  
 
හැබැයි අප ඉදිරිපත් කළ මේ ගමන් සැලසුමට වඩා ඵලදායි සැලසුමක් තියෙනවා නම්, කඩිනම් සැලසුමක් තියෙනවා නම්, එය ඉදිරිපත් කරන්න.  අපට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. වඩාත් ප්‍රතිඵලදායක  දායක නම් එය ක්‍රියාත්මක කරන්න. 
 
අනුර මාස 6 සැලැස්ම අරගෙන එන්න : අගමැති ධූරය දෙන්න !
 
තමන්ට බාර දුන්නොත් මාස හයකින් රට යථා තත්ත්වයට පත්කරන බව  අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ප්‍රකාශ කර තියෙනවා. ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්.  ඍන හයක් හතක් දක්වා  ආර්ථික වර්ධනය වේගය ඇද වැටුණු රටක් මාස හයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන යාම  මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක්  එහෙම වෙලා නෑ කියා අපිට අනුර කුමාර දිසානායක මහතාගේ අදහස බැහැර කරන්න බැහැ. මාස හයක් තුළ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් එතුමා ළඟ ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට  පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයටත් කදිම පූර්වාදර්ශයක් වෙනවා.
ඒ නිසා මම අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ මේ සැලැස්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලෙසයි. ජනාධිපතිතුමා ළඟට යන්නට කැමති නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි එය මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු. ඒ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කරන සැලැස්මට වඩා යහපත් සහ ප්‍රතිඵලදායි වැඩපිළිවෙළක් නම් අපි එය ක්‍රියාත්මක කරමු.  එවැනි සැලැස්මක් ආර්ථිකය පිළිබඳ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් විශිෂ්ට එකක් වෙනවා. 
 
ඉතින්  එවැනි සැලැස්මක් තියෙනවා නම් මම එතුමාට ඉඩදී තනතුරු අත්හරින්න සූදානම්. තනතුරු අත්හැර ඒ වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට සූදානම්. මොකද මම මේ දරන තනතුරු මට අලුත් දේවල් නෙමෙයි. රට අරාජික වෙලා තියෙන වෙලාවක කිසි කෙනෙක් වගකීම භාරගත්තේ නැති වෙලාවක මම මේ තනතුර භාර ගත්තේ පුටුවට ආසාවෙන් නෙවෙයි. 
 
ඒ අවස්ථාවේ රට පත්වී තිබුණේ අරාජික සහ අනතුරුදායක තත්වයකට. ඒ තත්ත්වය තවත් වර්ධනය වුනා නම් රට ලේ විලක් බවට පත් වෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් අප දිහා මිත්‍රත්වයෙන් නොබලන වටපිටාවක් උදා වෙන්න තිබුණා .
 
 මේ තනතුර භාර ගත්තේ ඒ තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ අරමුණ ඇතිව. මම වගකීම්  භාරගත්තේ රට වෙනුවෙන් .මගේ අත්දැකීම් හා සම්බන්ධතා භාවිතා කරමින් රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ අරමුණින්. අන්න ඒ නිසයි කිසිදු කොන්දේසියකින් තොරව මම මේ අරාජික රට භාර ගත්තේ රට ප්‍රපාතයට ඇද වැටීම වලක්වා ගන්න දැන් අපට පුළුවන් වුණා. දැන් තියෙන්නෙ සෙමෙන් සෙමෙන් යළි රට ඉහලට ඔසවා තබන්න. 
 
 මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවයක්  නෑ. මට තියෙන්නේ රට ගොඩ ගැනීම සඳහා වන අවශ්‍යතාවයක් විතරයි.  ඒ අවශ්‍යතාවය සපුරා ගැනීමේ මාර්ගයේ අප සැලසුම් සහගතව සහ ස්ථාවරව දැනට ඉදිරියට යමින් සිටින බව මම මේ සභාවට දන්නා සිටින්නට කැමතියි. 
 
අප මේ යන ගමන මෙතෙක් අපේ රටේ අනුගමනය කෙරුණු ක්‍රමය වෙනස් කිරීම සඳහා යහපත් පදනමක්. පුද්ගලයන් හෝ චරිත මාරු කිරීමෙන් ජයක් හෝ ප්‍රගතියක් ලබා ගත නොහැකි බව අතීත අත්දැකීම් අපට පෙන්වා දී තියෙනවා. පොදු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරලීමේ කරවීමේ වැදගත්කම අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තියෙනවා.  
ඉතින් දැන් අප අනුගමනය කරන ක්‍රමවේදයටත් වඩා යහපත් මාර්ග ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න. ඉදිරිපත් කරන්න. රට ඉහළට ඔසවා තැබීමේ වෑයමට අපි සියල්ලම එකතු වෙමු. වැටුණු තැනින් යළි නැගී සිටීමේ ගමනට එක් සත්ත්ව එක්සත්ව එක්සිත්ව එකතු වෙමු. සාමූහික අදහස් හා යෝජනා ඔස්සේ මේ ගමන් මඟ වඩාත් නිවැරදි කර ගනිමු.

Live @8 වංශ කතාව ඇණ හිටියි !

ස්වර්ණවාහිනී නාලිකාවේ live@8 ප්‍රවෘත්ති විකාශය විකාශය නොවන බව මේ වන විට වාර්තා වී ඇත.

ස්වර්ණවාහිනී සේවකයන් විසින් අද (04) උදේ සිට සේවක වැටුප් වැඩි කර දෙන මෙන් ඉල්ලා සිටින අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ස්වර්ණවාහිනිය කිසිදු වැඩසටහනක් විකාශය නොවන තත්ත්වයක් බවට පත්වී තිබේ.

ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි නමැත්තා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සිටිමින් ස්වර්ණවාහිනියේ ප්‍රධාන නිලධාරියා වශයෙන් කටයුතු කිරීම ද සේවකයන් විසින් ප්‍රශ්න කරනු ලැබ ඇත.

එසේම සේවකයින් වෙත විවිධ බලපෑම් කළ බවටත් චෝදනා එල්ලවී තිබිණ .

සුදේව හෙට්ටිආරච්චි සහ රංගන සිල්වා ඉවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට පාලනාධිකාරිය උත්සාහ කරන බවත් දැනගන්නට ඇත.

මේ අතර රංගන සිල්වා තමා වෙනුවෙන් හෝ වැඩසටහන් විකාශය කරන මෙන් සේවකයන්ගෙන් ඉල්ලා ඇති නමුත් සේවකයන් පවසා ඇත්තේ ඔබ වෙනුවෙන් අපි එසේ කරන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.

IMG 20220704 WA0009

Live @ 8 වෙනුවට, ඒ වෙලාවට අද ගියේ සිංදු !

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

සජබ ආර්ථික ඔස්තාද්ලා විශ්‍රාම යවයි : සජිත්ගෙන් රාජපක්ෂ පන්නයේ ආර්ථික ප්‍රතිපත්තියක් !

ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස දක්වා ඇති අදහස් හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ දෙදෙරීමක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , මෙතෙක් කාලයක් තිස්සේ සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය මුළුමනින්ම බැහැර කරමින් රාජ්‍ය ඒකාධිකාරයකට සමීප ඉතා පටු ආර්ථික වැඩපිළිවෙළක් පක්ෂයේ ප්‍රතිපත්තිය විය යුතු බවට අදාළ සාකච්ඡාව අවස්ථාවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ස්ථාවරය ලෙස ප්‍රකාශ කර ඇත .

වාර්තා වන ආකාරයට මේ සාකච්ඡාව සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න , කබීර් හෂීම් , එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා ඇතුළු කිහිපදෙනෙකු එක්ව ඇත.

එහිදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කරමින් පවසා ඇත්තේ , වත්මන් අර්බුදය සමනය කරගෙන රට ඉදිරියට ගැනීමට නම් IMF සමග සහයෝගයෙන් ඉදිරියට යායුතු බවය. ඒ හැර වෙනත් සුදුසු විකල්පයක් රට මුහුණපා ඇති තත්ත්වය හමුවේ නැති බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා ඇති අතර ඊට සහභාගිවී සිටි පිරිස අතර නිහඬ එකඟතාවක් පළව ඇත.

එහෙත් එහිදී සජබ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ , IMF එකම විකල්පය ලෙස සැලකීම රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවයි. සජිත් ප්‍රේමදාස ආර්ථික ප්‍රතිපත්තියට අනුව IMF සමග ඉදිරියට යාම දුෂ්කර වනු ඇති බවත් ඔහු පවසා ඇත .

වාර්තා වන ආකාරයට එහිදී සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ ,මේ මොහොතේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන පෞද්ගලීකරණය කිරීමට IMF යෝජනා කළහොත් තමන්ව ජනතා අප්‍රසාදයට පත්වනු ඇති බවය.

එබැවින් රනිල් වික්‍රමසිංහ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට සජිත් ප්‍රේමදාස ආර්ථික ප්‍රතිපත්තිය අනුව සියලු රාජ්‍ය ආයතන කාර්‍යක්ෂම කිරීමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසූ බවත් වාර්තා වෙයි .

වඩාත් ගැටලු සහගත තත්ත්වය වන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථිකය සම්බන්ධයෙන් වගකීම් පවරා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න ගේ මූහුණටම මේ ඉතා පසුගාමී ආර්ථික දැක්ම පැහැදිලි කර සිටීමය.

මේ ආකාරයට මෙතෙක් දැරූ ආර්ථික ප්‍රතිපත්තියට මුළුමනින්ම වෙනස් වූ සහ පසුගිය සමයේ රාජපක්ෂවරුන් අත්හදා බැලීමට ගොස් අසාර්ථක වූ, 70 දශකයේ සිරිමාවෝ පාලනය තුළත් අසාර්ථක වූ ආර්ථික ප්‍රතිපත්තියක් හදිසියේ සජිත් ප්‍රේමදාස යෝජනා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව සඳහා සහභාගි වූ මන්ත්‍රීවරුන් මවිතයට පත්ව සිටි බවත් වාර්තා වෙයි .

එසේම ඔවුන් සාකච්ඡාව අවසානයේදී කනස්සල්ලෙන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගෙන ඇති බවත් වාර්තා වන අතර , ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය සමයේ සමගි ජනබලවේගය පක්ෂය වෙනුවෙන් දිගින් දිගටම අදහස් දැක්වූ මන්ත්‍රීවරයකු ආවේගයෙන් අදහස් දක්වා ඇති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් එහි සිටි තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පිරිසට පවසා ඇත්තේ , "ලොක්කා සියල්ල අත්හැර 3% පස්සේ වැටිලා " කියාය.

ඉන්ධන අර්බුදය : නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් !

ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 12 වැනිදාට පෙර අධිකරණයට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට නියෝග කරනු ලැබිණ .

ඒ මේ වන විට රටේ ඇතිවී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයට දිගුකාලින සහ කෙටිකාලින විසදුම් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිතිඥ සංගමය ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් නිකුත්කර ඇත .

2021 උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු එයි : 2022 උසස් පෙළ මසක් කල් යයි !

2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 වැනිදා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදි අද (04) ප්‍රකාශ කළේය. 

එමෙන්ම 2022 වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර එය මාසයකින් පමණ කල් යාමේ හැකියාව පවතින බවද ඇමතිවරයා පැවසීය. 

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා  පාර්ලිමේන්තුවේදි අද (04) මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

පයින් ගහපු නිලධාරීයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් !

කුරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේදී ඉන්ධන හලේදී සිවිල් වැසියකුට පාපහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල වැහැර පළමුවන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් විරාජ් කුමාරසිංහ පිළිබදව වහාම අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසීය.

මේ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත .

පහරදීම සිදුවන්නේ එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් බලා සිටියදි වන අතර අසල සිටි ජනතාව ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පලකරන ආකාරයක් වීඩියෝ වල දැක්වෙයි .

කෙසේ වුවත් මේ වන විට මාධ්‍ය , සමාජ මාධ්‍ය ඇතුළු දෙස් විදෙස් අවධානය දිනාගත් සිදුවීමක් බවට මෙය පත්ව ඇත .

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් තනතුරට : ශානුක කරුණාරත්න !

මාධ්‍යවේදී ශානුක කරුණාරත්න අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට පත්කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් ලේකම් සමන් ඒකනායක කටයුතු කර ඇත .

මෙසේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධූරයට පත්වූ ශානුක කරුණාරත්න මීට පෙර අයි.ටී.එන් මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ද කටයුතු කර ඇති අතර යහපාලන සමයේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී මාධ්‍ය ලේකම් ලෙස ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ලෙස මාධ්‍ය වෘත්තියට පිවිසි කරුණාරත්න පෞද්ගලික රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන කිහිපයක ප්‍රවෘත්ති ප්‍රධානී සහ ප්‍රවෘත්ති සංස්කාරක තනතුරු දරා ඇත.

කෑගල්ල ශාන්ත මරියා විදුහලේ ආදි සිසුවකු වන ශානුක කරුණාරත්න ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ විශ්ව විද්‍යාල වල ජන සන්නිවේදනය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකි.

ජූලි අග ගෑස් පෝලිම් අවසන් !

ජූලි මාසය අවසන් වනවිට දැනට පවතින ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාසය පළකරයි.

එහි සභාපති මුදිත පීරිස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ , ජූලි 31 වනදා වනවිට ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද අඛණ්ඩව නිකුත් කළ හැකි වනු ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත .

ගෑස් නෞකා සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් සියයට 25 ක් පමණ මේනවිටත් ගෙවා අවසන් කර ඇති බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසා ඇති අතර ඒ අනුව ගැටළුවකින් තොරව ගෑස් තොග ආනයනය කිරීමට හැකියාව පවතින බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත .

කෙසේ වුවත් මේ වන විට ගෑස් සැපයීම සිදුකරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණකි .

එම තත්ත්වය මේ සතිය තුළ ද පැවැත්වෙනු ඇති බවත් ජූලි 6 මෙරටට ගෑස් නෞකාවක් පැමිණීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

ඒ ගායත් ඉක්මනින් සනීප වෙයි ! ( වීඩියෝ )

ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකුට හමුදා නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

අදාළ වීඩියෝව අනුව හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් එම තරුණයාගේ දෑත් දෙපසට කර අල්ලාගෙන සිටියදී හමුදා නිලධාරියෙකු විසින් අමානුෂික අන්දමට පා පහරක් එල්ල කරයි.

අදාළ වීඩියෝව සහ ඊට අදාළ සිරස news 1st වාර්තාව පහත දැක්වෙයි . 

සුවසැරියත් යන්නේ අමාරුවෙන් !

ඉන්ධන අර්බුදය හේතුවෙන් නොමිලේ සපයන සුවසැරිය ගිලන් රථ සේවාව ද වෙනදා මෙන් කාර්යක්ෂමව සැපයීමේ බාධා මතුව ඇති බව එහි කළමනාකාරීත්වය පවසයි .

සුවසැරිය ගිලන් රථ සේවය මගින් සිදුකරන දෛනික රෝහල්ගත කිරීම් 600කින් පමණ වැඩිවී, මේ වනවිට දිනකට 1600 ඉක්මවා ඇති බවත් ඔවුන් පවසයි .

කෙසේ වුවත් ඉන්ධන අර්බුදය හේතුවෙන් සිය කාර්ය මණ්ඩලවලට පවා සේවා සැපයීම් සඳහා පැමිණීමේ අභියෝගයට මුහුණ දී ඇති බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට එම සේවාව දැනුම් දී සිටියි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .FWvS35AaQAAB2YZ

ඉන්ධන තොග එන දින : ඇමති කාංචන දන්වයි !

ජුලි මස 8-9 සහ ජුලි 11-14 යන දිනයන් හිදී මෙරටට ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 බැගින් වූ ඉන්ධන නෞකාවන් දෙකක් මෙරටට ලඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටියි.

ඉන්දියාවේ IOC සමාගම ඇතුළු විවිධ සමාගම් හරහා සිදුකළ ඉල්ලීම් අනුව මෙම ඉන්ධන නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි .

මේ අතර ජුලි මස 22-23 යන දිනයන් හිදී LIOC සමාගම හරහා මිලදී ගනු ලැබූ පෙට්ට්‍රල් නෞකාවක් මෙරටට ලඟා වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත .

එම පෙට්ට්‍රල් නෞකාව වෙනුවෙන් මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවා ඇති බවත් ලබන ජුලි මස 08 වෙනිදාට තවත් ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවීමට සිදුව ඇති බවද අමාත්‍යවරයා පවසයි .

එම නෞකාවට ගෙවීමට ඇති ඉතිරි මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල පියවීමට නියමිතව ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත .

මේ අතර තවත් ඩීසල් නෞකාවක් මෙම මස 15-17 යන දිනයන් හිදී මෙරටට ලබාදීමට හැකි බව ලංකා IOC සමාගම සඳහන් කර සිටි බවත් ඒ සඳහා හෙට දිනයේදී ඇනවුමේ සීයයට 50ක් ගෙවන ලෙසත් ඉතිරි සීයයට 50 කොටස ලබන බදාදා වන විට ගෙවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවත් පැවසීය .

කෙසේ වුවද මෙරටට ඉතා ඉක්මනින් පෙට්ට්‍රල් නෞකාවක් ලබා ගැනීමට ඇති බැවින් ඒ සඳහා මුලික මුදලක් පියවීමට සිදුවන බැවින් මෙම ඩීසල් ඇනවුම සඳහා වටිනාකමෙන් සීයයට 30ක් පමණක් පියවීමට අවසර ඉල්ලා ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළ අතර ඒ සඳහා ලංකා IOC සමාගමේ අවසර ලැබෙන අයුරින් ගෙවීම් කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවත් පැවසීය .

මේ අතර රටට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබා ගැනීම සඳහා මැලේසියානු රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවත් එහිදී මැලේසියානු රජය විසින් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති බවත් එම ඉන්ධන ඉක්මනින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.

මේ අතර ජුලි මස 10-11 සහ අගෝස්තු මස 9-12 යන දිනයන් තුලදී මෙරටට බොර තෙල් මෙට්ට්‍රික් ටොන් 135,000 බැගින් වූ නෞකා දෙකක් ලඟා වීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියා. මෙම බොර තෙල් නෞකා දෙක ඉන්දියානු සමාගමක් හරහා සිදුකරන බවත් බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේය .

මෙම ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 582ක් වැය වන බවත්, එය සොයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවුවද ඒ සඳහා මුදල් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු පාර්ශව කිහිපයකගේ සහය ලබා ගැනීම බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පවසා ඇත .

මූලාශ්‍රය - නෙත් news

තෙල් ගෑස් ගල් අඟුරු බිස්නස්වලින් රාජපක්ෂවරුන් ඉවත් වෙන්න ඕන - චම්පික

" මේ රට කරන ගෑස් ගණුදෙනු, තෙල් ගණුදෙනු, ගල් අඟුරුවලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. ඒ ඩීල් වලින් ඔවුන් ඉවත් විය යුතුයි. ඔවුන් තමයි මේ අවුල කරන්නේ. මැද්දට පැනලා. ඒ නිසා ඒ ඒ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව කියනවා වහාම දේශපාලනයෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා ඉන්න"' යැයි 43 සේනාංකයේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි .

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක් පහත දැක්වෙයි .

අපේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඉදිරි සතිය තුළ කරුණු 4 කින් යුතු වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව 43 සේනාංකය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ 43 සේනාංකය නායක පාඨලී චම්පික රණවක මහතා මේ කරුණු අවධාරණය කළේය.

පුළුල් සන්ධානයකට, එක වේදිකාවකට එළඹෙමින් දැනට ඉදිරිපත් කර තිබෙන, 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ප්‍රශස්ත මට්ටමෙන්, හැකි ඉක්මනින් සම්මත කරගත යුතුය.

“ඒක අපි බලාපොරොත්තු වුණු 19 වෙනි සංශෝධනය නෙවෙයි. ඊට වඩා දියාරු කරපු, ගෝඨාභය රාජපක්ෂට යම් යම් බලතල ලබා දීපු, සංශෝධනයක්. ඒ නිසා එයට වැදගත් වෙනස්කම් ඉටුකරලා පාර්ලිමේන්තුව තුල ඒ අදාළ නීති කටයුතු අවසන් වූ පසු අධිකරණයේ ප්‍රශස්ත මට්ටමෙන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරලා පාර්ලිමේන්තුවයි ජනාධිපති ධූරයයි අතර තියෙන මේ බලතුලනය ශක්තිමත් කරලා ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලීසියක්, ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන ප්‍රසම්පාදන, ස්වාධීන විගණන කොමිසමක් ස්ථාපිත කරලා මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල හැකි ඉක්මනින් ගන්න. පක්ෂ, පාට, භේදයෙන් තොරව බැසිල් රාජපක්ෂගේ යටින් කරන කකුලෙන් ඇදිලි පරාජය කරලා ඉදිරියට යන්න. "

පාර්ලිමේන්තුව තුළ සිටින පක්ෂ, ස්වාධීන කණ්ඩායම් වල නායකයන් එක්ව අවබෝධතා ගිවිසුම් සකස් කරගෙන තිබෙන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ සභාවක් පිහිටුවිය යුතුය.

“විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාම අදාළ අමාත්‍යාංශවලට අනුයුක්ත කොට, ඒ අමාත්‍යාංශවල පාලනය පාලනය පිළිබඳ වගකීම ලබාදී, අමාත්‍යවරයා ඒ අමාත්‍ය සංසදයේ සභාපතිවරයෙක් බවට පත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ මේ 224 දෙනාටම වගකීම දීලා විවෘත විනිවිදන ස්වභාවයෙන් ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ඕනේ.”

“ගෝඨාභය රාජපක්ෂ පාලනය තියෙන තාක්කල් අපට මොනම ආකාරයේවත් විදේශ සහයක් ලැබෙන්නේ නැහැ. අඩු ම තරමින් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන තිස් ලක්ෂයක් වෙච්ච විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහයවත් මොහුට ලැබෙන්නේ නැහැ. ඒ සහයවත් අපට හරියට ලැබුණා නම් අපට ලොකු විදේශ සහයකින් තොරව මේ අර්බුදය පියමං කර ගන්න තිබුණා.”

වැදගත් ආයතන වලට කාටත් පිළිගත හැකි වෘත්තීය මට්ටමේ නායකත්වයන් පත් කළ යුතුය. අන්තර් කාලීන පොදු වැඩපිළිවෙලක් සකස් කර ගත යුතුය.

“තෙල් සංස්ථාවට, ඛනිජ තෙල් පර්යන්තයට, ලංකා විදුලිබල මණ්ඩලයට දේශපාලන පත්වීමක් තියෙන්නේ. වෘත්තීය මට්ටමේ පිරිස් මෙතනට පත් කරන්න ඕනේ. මුල්‍ය ක්ෂේත්‍රය දේශපාලන පත්වීම් ඉවත් කළ යුතුයි. ඒ වෙනුවට පිළිගත හැකි වෘත්තීය මට්ටමේ පිරිස් ඒවට පත් කරන්න ඕන. රටේ අනෙකුත් ප්‍රධාන සැපයුම් ක්ෂේත්‍ර වන ප්‍රවාහන, ජල සම්පාදන ක්ෂේත්‍ර වැනි දෑට ඒ ඒ ආයතනවල ඉන්න වෘත්තීය මට්ටමේ පිරිස් වලට ඉඩ දීලා ඒක ඉදිරියට ගෙන යාමේ වගකීම ඔවුන්ට ලබා දෙන්න ඕනේ ස්වාධීනව. එහෙම නොවුණොත් කිසිම විශ්වාසයක් මේ පාර මහමගට වැටිලා විදේශිකයෝ තුළවත්, විදේශවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ තුළවත් ඇති වෙන්නේ නැහැ.”

“2015 මහ මැතිවරණයට පෙර දින 100 වැඩපිළිවෙල කියලා එකක් තිබුණා. අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා මාස හයකට හෝ මහනායක හිමිවරුන් යෝජනා කරලා තියෙන විදිහට මාස 18 කට හෝ කවර හෝ කලකට පොදු අන්තර් කාලීන වැඩපිළිවෙලකට. අපි සූදානම් ඒ අවම වැඩපිළිවෙල තනන්න. මේ රටේ වෘත්තීයවේදීන්ගෙන්, වැඩකරන ජනතාවගෙන්, ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඒ හැම කෙනාගේම එකඟත්වය, සාමූහිකත්වය, ඒ අවම වැඩපිළිවෙලට ලබාගත යුතුයි. සති දෙකක් වැනි කෙටි කලක් තුළ, ඒ කටයුත්ත සිදුකරගත යුතුයි. පාර්ලිමේන්තුවේත් මැදිහත්වීම ඇතුළේ.”

ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී 24 පැයක් තුළ පාර්ලිමේන්තුව මගින් රටට නව ජනපතිවරයෙක් පත්
කරදීමට අවස්ථාව උදා කර දිය යුතුය.

“මේ කරුණු හතර අනිවාර්යයෙන්ම අපි ඉෂ්ට කරගත්තේ නැත්නම්, මේ මහ මගට බැහැලා ඉන්න අපේ ජනතාවට සහනය ලැබෙන්නේ නැහැ. රට තවත් දේශපාලන පිපිරීම්, සමාජ පිපිරීම් ඉදිරියේ මේ රට ඇතැම් විට ලේ ගංගාවක් වීමට ඉඩකඩ තිබෙනවා. ඒ යෝජනාව අපි සියලුම පක්ෂ වලට යෝජනා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වලට මේ ආරාධනය මේ ඊළඟ සතිය ඇතුලත සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් 43 සේනාංකය ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී රාජපක්ෂ පවුලට විශේෂ මතක් කිරීමක් කිරීමට ද රණවක මහතා කටයුතු කළේ මෙලෙසිනි.

“බොහොම කරුණාවෙන් සහ මේ රටේ ජනතාවගේ පැත්තෙන් කිව්වොත්, ඉතාම ආවේගයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ ඔය නාමල් රාජපක්ෂ මහත්තයලට කරුණාකරලා ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙන්න. කරුණාකරලා ඔබලා විසින් මේ රටෙන් මංකොල්ල කන ලද ධනය, මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔබලා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුල තියෙන්නේ අතිශය පිළිකුල් සහගත තත්වයක්. ඊළඟ මැතිවරණයෙන් ඔය පොහොට්ටුවේ කයි කාරයින්ට තේරෙයි මොකක්ද තත්වේ කියලා. මතක තියාගන්න මැයි 9 වෙනිදා මේ රටේ ජනතාව පාඩමක් ඉගැන්නුවා බේරේ වැව වටේදි. ඒ පාඩමවත් සිහියේ තබාගෙන දේශපාලනයෙන් කරුණාකරලා මේවට මැදිහත් නොවී ඉවත් වෙලා ඉන්න. ඔබලා මේවට ඇඟිලි ගහන වාරයක් පාසා වෙන්නේ මොකක්ද? රටේ ජනතාවගේ ප්‍රකෝපය තව ඉහළ නංවන එක විතරයි. විශේෂයෙන්ම මේ රට කරන ගෑස් ගණුදෙනු, තෙල් ගණුදෙනු, ගල් අඟුරුවලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. ඒ ඩීල් වලින් ඔවුන් ඉවත් විය යුතුයි. ඔවුන් තමයි මේ අවුල කරන්නේ. මැද්දට පැනලා. ඒ නිසා ඒ ඒ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව කියනවා වහාම දේශපාලනයෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා ඉන්න. මම දන්නේ නැහැ වාසුදේව නානායක්කාර මහත්තයාට මොනවා කියලා තියෙනවද කියලා. වහාම පැත්තකට වෙලා ඉන්න. ඒක තමයි මේ මොහොතේ ඔබේ පවුලටත්, මේ රටටත් කරන්න පුළුවන් ලොකුම උපකාරය.”

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් රණවක මන්ත්‍රීවරයා ;

ඔබතුමන්ලා මේ සර්වපාක්ෂික රජයක් පිහිටුවන්න ගෙන එන යෝජනා කොච්චර යෝජනා ගෙනාවත් වැඩි බලය තියෙන්නේ පොහොට්ටුවට ?

පොහොට්ටුවට බලයක් නැති බව පෙනෙයි. පොහොට්ටුවේ ඉන්න විශාල පිරිසක් ස්වාධීන වෙලා තියෙන්නේ. අපි ආරාධනා කරනවා ඒ පොහොට්ටුවේ ඉන්න සියලුම ප්‍රගතිශීලි බලවේග වලට මේ රාජපක්ෂ ශාපයෙන් කරුණාකරලා දැන්වත් ගැලවෙන්න. 3% යි අද රාජපක්ෂලාට රටේ තියෙන්නේ. ඒ නිසා පොහොට්ටුවේ ඉන්න ජනපදනමක් තියෙන, දූෂණයට යට නොවුණු පිරිස් වලට මේ අවස්ථාව රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. නැත්නම් ඒ පොහොට්ටුවේ ඉන්න වැදගත් මිනිස්සු ටිකටත් රාජපක්ෂලා එක්කම දේශපාලනමය වශයෙන් අවසන් ගමන් යන්න පුළුවන්.

මාධ්‍යවේදීන් හැටියට අපිත් සෑහෙන අසරණ භාවයට පත්වෙලා තියෙනවා මේ අත්‍යවශ්‍ය සේවාවන් අපි අත්‍යවශ්‍ය දේකටවත් නැතුව ගෙවල් ඇතුලේ සීමා කරලා තියෙනවා. මොකද හිතෙන්නේ ?

මාධ්‍ය ආයතන බොහොමයක් මාධ්‍යවේදීනුත් මේවා වාර්තාකරණයෙන් වළක්වා ගැනීමට විය යුතුයි අනිවාර්යෙන්ම මේ ඉන්ධන ගැටලුවට ඔවුන්ව හිර කරලා තියෙන්නේ. මාධ්‍ය ආයතන වලටත් අද ප්‍රශ්ණයක් තියෙනවා. මුද්‍රිත මාධ්‍ය ආයතන වලට කොළ නෑ. ඒ ආයතන වලට ඉස්සර තමන්ගේ පත්තර ටික රට වටේ ගෙනියන්න තමන්ගේම වූ ප්‍රවාහන මාධ්‍යයක් තිබුණා. දැන් ඒ ලොරි රථ ටික ක්‍රියාත්මක කරන්න විදිහක් නෑ. ඩීසල් නෑ. අර සීඝ්‍රගාමී බස් රථත් දැන් සෑහෙන්න ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉදිරි කාලයේදී මුද්‍රිත මාධ්‍ය සම්පූර්ණයෙන් වැහිලා යන්න නියමිතයි.

සැප්තැම්බර් මාසෙන් පස්සේ ගල් අඟුරු නෑ. ඒ නිසා දැනට කරන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වලටත් අවශ්‍ය විදුලි බලය සම්පාදනය කිරීම විශාල බරපතල ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් කියන ඒවා පවත්වා ගැනීම රටේ අත්‍යවශ්‍ය කාරණයක්. ඇත්තටම මේකත් එක්ක අපිට පේනවා ඉතාමත්ම නරක විදිහට ආරක්ෂක අංශ යුධ හමුදාව, ගුවන් හමුදාව, නාවුක හමුදාව, සිවිල් ආරක්ෂක බලඇණිය හා පොලීසියේ ඇතැම් නොහික්මුණු පිරිස් මේ ප්‍රශ්නයට මැදිහත් කරන්න උත්සාහ කරමින් ඉන්නවා ආණ්ඩුවත් දේශපාලන ගැති යම් පිරිසකුත්. ඒ නිසා රඹුක්කන සිද්ධිය වගේ රතුපස්වල සිද්ධිය වගේ සිද්ධි ඇති කර ගන්නේ නැතුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල ඉන්න හමුදාපතිවරුන්ගේ වගකීම තමයි තමන් ගැන නිසා ඇතිවෙච්ච ඒ මහා ගරුත්වය රාජපක්ෂ පවුල රකින්න ගිහිල්ලා නැති කරගන්න එපා. මොකද ආරක්ෂක හමුදාවල සාමාජිකයනුත් අපා දුක් විඳිනවා.

ඔවුනුත් මේ පාරට වැටිලා තියෙන්නේ. පොලීසියටත් ගෑස් නැහැ. පොලිසියටත් තෙල් නැහැ. යුධ හමුදාවට ගුවන් හමුදාවට නාවික හමුදාවේ පවුල් වලටත් ගෑස් නැහැ. තෙල් නැහැ. විදුලිය නැහැ. ඒක නිසා කරුණාකරලා මේ රාජපක්ෂ පවුල රකින්න ඇතැම් නිලධාරීන් කටයුතු කළාට නීතියට අනුව කටයුතු කරන්න, රටේ ජනතාවගේ පිළිකුලට භාජනය කරන්න එපා.
ඊයේ වෙනකොට අපි දැක්කා මාස 6 ක් දෙන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අය අලුතෙන් පත් කරගෙන ආණ්ඩුවක් හදන්නම් කියලා ජවිපෙ කියනවා?

අපි ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කියලා කරනවා ඇත්තටම එතුමන්ලට පුළුවන් නම් එතුමන්ලටත් අවස්ථාවක් දිය යුතුයි. රට පාලනය කරලා ඔය වේදිකාවේ කතා කරන දේවල් ඔප්පු කරලා පෙන්නන්න ඔවුන්ටත් අවස්ථාවක් දිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ වෙන් කළ නොහැකි කොටසක්. පාර්ලිමේන්තුවෙත් බහුතරය එකඟ නම් කිසි ප්‍රශ්නයක් නෑ.

බහුතරය එකඟ නම් අග්‍රාමාත්‍ය ධූරය අනුර දිසානායක මහත්තයාට දුන්නට කිසිම ප්‍රශ්ණයක් නැහැ?

එතුමාගේ ප්‍රතිපත්ති සහ සමස්තය මතයි අපි කටයුතු කරන්නේ පුද්ගලයෝ මත නෙවෙයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා නම් අන්තර් කාලීන අවම පොදු වැඩපිළිවෙලකට එකඟ නම් ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන වැඩසටහනක් තියෙනවා නම් සහ 22 වෙනි සංශෝධනය ප්‍රශස්ත මට්ටමෙන් සම්මත කරගන්න එකඟතාවයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත තියෙනවා නම් ඒ මත අපි තීරණය ගන්නවා. අපිට ප්‍රශ්ණයක් නැහැ මේ අනුර දිසානායකද, සජිත් ප්‍රේමදාසද, කවුද කියන එක ගැන අපිට ගැටළුවක් නැහැ එතන.

මේ මාධ්‍ය හමුවට එක්වූ 43 සේනාංකය සභාපති කරු පරණවිතාන සඳහන් කළේ, අර්බුදයට වගකිවයුත්තන් වන රාජපක්ෂලා මේ වන විට අර්බුදය මැද්දෙන් ‘බිස්නස්’ කරමින් රට අරාජිකත්වය කරා යාමට ඉඩ සලසමින් සිටින බවය.

“අප්‍රේල් 9 වෙනිදා සිද්ධිය එන්නට කලින් බොහෝ කලින් ඒ වගේම මේ අර්බුදය මෙච්චර ගැඹුරු වෙන්නට කලින්ම 43 සේනාංකයේ අපි මෙතනම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මාර්තු 25 වෙනිදා ප්‍රකාශ කළා මේ අර්බුදය යන දිහාව දැකලා මේකට තිබෙන්න ඕනේ මෙන්න මේ ආකාරයේ විසඳුමක් කියලා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ මේ බලතල සීමා කරපු, නැවත 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලගැන්වෙන, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කෙරෙන්නට ඕනේ. ඒ වගේම තමයි මේ වර්තමාන අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නට ඕනේ. ඒ වගේම තමයි ඒ ආණ්ඩුව පොදු අවම වැඩපිළිවෙලක්. රටට ඉදිරිපත් කරන්නට ඕනේ. කියන ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි යෝජනා කළා. රාජපක්ෂලා නොවන සියලු දේශපාලන බලවේග වලට අපි යෝජනා කළා. සමගි ජන බලවේගයට, ජනතා විමුක්ති පෙරමුණට, සුළු දේශපාලන පක්ෂ වලට. ඒ වගේම තමයි මේ වනවිට ආණ්ඩුවෙන් කැඩිලා ඉන්න ස්වාධීන කණ්ඩායම් සියලු දෙනාටම අපි යෝජනා කළේ එකතුවෙලා, පොදු අවම වැඩපිළිවෙලකට එන්න කියලා.”

මේ අවස්ථාවට 43 සේනාංකය විධායක සභිකයන් වන බන්දුල චන්ද්‍රසේකර සහ තීක්ෂණ ගම්මන්පිල ද එක්ව සිටියහ.

මේ system change එකට ලෑස්ති කවුද?

ලංකාවෙ වාර්ෂික ඒක පුද්ගල තෙල් පරිභෝජනය ලීටර්350.5ක්අ සල්වැසි ඉන්දියාවෙ 198යි, පකිස්තානෙ 158 බංග්ලාදේශයෙ 41යි.

ලංකාව මේ මෙහොතෙ මූනදීල තියන ප්‍රශ්නෙන් ගොඩ එන්න ඒක පුද්ගල තෙල් පරිභෝජනය අඩකටවත් අඩුකරන්න ඕනෙ.

FB IMG 1656842052192

මේක කරන්නෙ කොහොමද?

1 විදුලි නිශ්පාදනයට වැයවන තෙල් ප්‍රමානය අඩුකල යුතුයි. ඒ සදහා සුනිත්‍ය බලශක්තිය කඩිනමින් වැඩිකලයුතුයි. ලංකාවෙ සුනිත්‍ය බල ශක්තිය වැඩිකිරීමට දිගින් දිගටම භාදා කලේ විදුලිබල මංඩලේ නිලධාරී මාෆියාව.
2 පුද්ගලික වාහන භාවිතය අඩුකල යුතුයි.

උදා1- අපි පාසල් යන කාලෙ පාසලට ලමයි ආවෙ පාසල් බස් රථ වල, විදුහල්පති හැර වෙන කිසිම ගුරුවරයෙක් පුද්ගලික කාර් එකක ආවෙ නෑ.

දැන් ඕනෑම පාසලක ගුරුවරියන්ගෙ පොඩිකාර් කීයක් පාසලේ ගාල් කරල තියනවද? ලමයින්වත් අම්ම හරි තාත්ත හරි බයික් එකක ,වීල් එකක හරි කාර් එකක හරි ගෙනිහින්දාල එක්කන් එනව

මේ වෙනස උනේ කොහොමද ?

උදා2- ලංකාවෙ රාජ්‍යසේවයෙ ඉහල නිලධාරීන්ට පාවිච්චි කරන්න තියෙන වාහන මොනවද? prado 150, නිලවශයෙන් එකයි. පූල් එකෙන් දාල තව එකක් හරි දෙකක් හරි.
අමාත්‍යාංශයට එන්න යන්න එකයි. ගෙදර වයිෆ් ගෙ ලමයින්ගෙ පාවිච්චියට, බල්ලට බේත් ගේන්න යන්න, අනියම් බිරිදව ගිහින් බස්සන්න.

https://m.facebook.com/story.php?story_fbid=10228170111868166&id=1537473825

මේ නව මැද පංතියෙ පුලුල්වීමත් සමග බලයට ආපු සියලු රජයවල් ඩීල් කලේ ඔවුන්ගෙ හීන එක්ක, රාජපක්ෂලා ඒක කරපු හැටි ඉහත ලිපියෙ තියනව. යහපාලන ආණ්ඩුකාලෙත් මංගලගෙ v2022 campaign එකේ base එක ඒක. හැමෝටම ගෙයක් ගන්න , වාහනයක් ගන්න loan එකක්.

මේ මැද පංතික ජීවිතයෙ විකාරය විසින් සමාජයත් , පුද්ගලිකව ඔවුනුත් විශාල පීඩාවකට ලක්වෙලා තියෙන්නෙ

මාසික වැටුපෙන් වැඩිම පංගුවක් වාහනේ ලීස් ගෙවන්න නිවාස නය ගෙවන්න යොදවන මෙයාල ඇත්තටම හරියට කන්නෙත් නෑ.

මමත් නය අරන් තියනව. ඒ ව්‍යාපාර කරන්න.

මට තවම බයික් එක හැරුනාම වෙන පුද්ගලික වාහනයක් නෑ.

ගෙදර වාහනය දෙකතුනක් තියන මගෙ යාලුවන්ගෙ ගෙදරකට ගියහම "මචන් අඩියක් ගහමුද?, බත් ටිකක් කමුද? " අහන්න උන් ඇබරෙන විදිහ දැක්කහම දුක හිතෙනව. අපේ ගෙදරට යන එන උන් දන්නව. ඒක සීමා නැති නවාතැන් පොලක්, කවුරුත් අහල නෙමේ එන්නෙ, නවතින්න. දවස ,දෙක නෙමේ මාස ගනන් නැවතිලා ඉන්න අය ඕනෙ තරම්, ගෑනිට කම්මැලි හිතුනාම උයාගෙන කාපල්ල කියන එක හැරුනාම වෙන විරෝධයක් කවදාවත් කාටවත් ඇවිල්ලනෑ. බොනව කිව්වම Prasanna AbeywickramatNayantha Prasad Sanjeewani Hangawaththa (උපුල්)

ජීවිතේ කියන්නෙ නයවෙලා ගේ ඉස්සරහ කාර් එකක් නවත්තන් ඉන්න එක නෙමේ. කාල බීල, ඇවිදල විදින දෙයක්. මේ වෙනසට සමාජෙ ගේන එක ලේසිනෑ. ඒක ඇත්තටම විප්ලවයක් , system change එකක්.

ඒක කරන්න නම්

මැද පංතියට බය නැතුව දේශපාලනය කරන්න පුලුවන් කණ්ඩායමක් ඕනෙ. අද ගාලුමුවදොර අරගලය කියන්නෙ , සිරසෙන් promote කරන්නෙ , ජවිපෙන් කරන්නෙ මේ මැද පංතියේ අපේක්ෂාභංගත්වයේ අරගලය. ඇත්ත අරගලය තියෙන්නෙ ඒකට විරුද්ධව.

විදුලිබල මංඩලේ රංජන් ජයලාල්ල එක්ක , පෙට්‍රෝලියම් එකේ රංවලල එක්ක, පාරට බහින ලාල්කාන්තට, ශ්‍රීලංකන් එක්ක පාරට බහින වසන්ත "මත්තයට" මේ system change එක කරන්න පුලුවන්ද ?

මැද පංතියට බය නැතුව මේ අරගලය කරන්න පුලුවන්

එක්කෝ සැබෑ වමේ නායකත්වයකට

නැත්නම් hierarchy ධනේශ්වර නායකයෙකුට.

මම ඉන්නෙ දකුනෙ

දකුනට එන්න බැරි අය සැබෑ වමක් හොයාගන්න , මැද පංතියට බය නැති වමක්.

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි

සියලු පාසල් සතියක් වහයි !

ඉන්ධන අර්බුදය මුල්කරගෙන ඇතිවී තිබෙන තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට (04) සිට ලබන 08 වෙනිදා දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් සඳහා සතියක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙසේ සතියක නිවාඩුව ප්‍රකාශයට පත්කර ඇත .

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ ඉකුත් දෙසතිය තුළ විවෘතව තිබුණු ග්‍රාමීය පාසල් සඳහා දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණිම සමාලෝචනය කරමින් මේ තීන්දුව ගනුලැබූ බවය.

WhatsApp Image 2022 07 03 at 3.06.23 PM

ගෑස් මිලදී ගැනීමේදී වංචාවක් වුනාද : ලිට්‍රෝ සමාගමේ ලොක්කන්ට කෝප් කමිටු කැඳවීමක් !

ගෑස් මිලදී ගැනීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවි ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා ජූලි 05 වනදා පස්වරු 2.00 ට ලිට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිතයින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති බව වාර්තා වෙයි .

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මේ බව තහවුරු කර ඇත .

පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සාමාජික එස්. එම්. මරික්කාර් ලිපියක් යොමුකර කෝප් කමිටු සභාපතිවරයා වෙතින් ඉල්ලා සිටියේ, ලිට්‍රෝ සමාගම වැඩි මුදලට ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට පවතින සූදානම පිළිබඳව වහාම විමර්ශනක් කරන ලෙසය.

ඒ අනුව, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන්, ලිට්‍රෝ සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇතැයි මහාචාර්ය චරිත හේරත් සඳහන් කර ඇත .

 

දුම්රිය ගාස්තු මේ මාසයේ ඉහළට !

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව මේ මාසය තුළ වැඩි කරන බව දුම්රිය සාමානාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි .

මේ වන විට ඊට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව බස් ගාස්තුවෙන් 40% ක් දක්වා දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව මේ මාසය තුළ ඉහළ යනු ඇති බවත් ඔහු පවසයි .

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන ආකාරයට වත්මන් ප්‍රවේශපත්‍ර ගාස්තු හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව දිනකට රුපියල් මිලියන 30 ක පමණ අලාභයක් ලබයි.

ඒ දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්ධන සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 45 ක් වීමත්, නමුත් දෛනික සමස්ත ආදායම රුපියල් මිලියන 15 කට පමණ ආසන්න වීමත් නිසාය .

ඒ අනුව ප්‍රවේශ පත්‍ර ගාස්තුව වැඩි කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය රුපියල් බිලියන 6 කින් පමණ අඩුවනු ඇති බව ඔහුගේ අපේක්ෂාව වී තිබේ.

දැනට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව බස් ගාස්තුවට සාපේක්ෂව පවතින්නේ 20% ක පමණය.

පරිස්සමෙන් : කළු සහ ගිං ගංගා පිටාර මට්ටමේ !

ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැළුනු තද වැසි හමුවේ කළු ගඟ සහ ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති බවත් , ඒ සම්බන්ධයෙන් මේ ගංගා ආශ්‍රිත පහත්බිම් වල සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසත් බලධාරීන් දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිං ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

ඊට අනුව වැලිවිටිය – දිවිතුර, බද්දේගම, කොටපොල, හික්කඩුව, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, බෝපේ පොද්දල සහ ගාල්ල කඩවල් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි .

තවද අඅදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ඒ ප්‍රදේශයේ ගමන් ගන්නා රියැදුරන් ඒ පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරන්නැයි වාරිමාර්ග දොපර්තමේන්තුව දැනුම්දී ඇත.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර නගරය ආශ්‍රිත ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර පහත්බිම් රැසක් ද ජලයෙන් යට වී ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර හැටන් – අවිස්සාවේල්ල මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියැදුරන්ට දැනුම් දෙයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවිත විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවතින වර්ෂාවත් සමග කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.

අර්බුදය අස්සේ : සජිත් - අනුර සන්ධානයක් !

පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් සියලු පක්ෂ ඒකාබද්ධ විපක්ෂයක් සන්ධාන ගතකිරීමේ සූදානමක් සම්බන්ධයෙන් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට සමගි ජනබලවේගය , ජාතික ජනබලවේගය මෙහි මූලිකත්වය ගෙන ඇත .

සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සිදුකළ අදහස් දැක්වීමක් පදනම් කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ කටයුත්ත සඳහා මුලපුරා ඇති බවය.

අනුර කියපු කතාව !

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය සතියේ ජාතික ජනබලවේගය විරෝධතා වලදී එහි නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ වත්මන් දුර්දාන්ත පාලනය නිමා කිරීම සඳහා පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පක්ෂ එකමුතු විය යුතු බවය.

එසේ එකතුව සියලු දෙනා පාරට බැසිය යුතු බවත්, එම දිනය තමන් විසින් නුදුරේදීම තීන්දු කරන බවත් අනුර එහිදී අවධාරණය කර සිටියේය.

මෙම සටන අවසන් කරන්නේ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පලවා හැර බව මෙහිදී කියා සිටි අනුර, ඉන් අනතුරුව අප සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බවත්, මාස හයක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා රට තුළ මතුව ඇති දේශපාලන අස්ථාවරත්වය අවසන් කරන බවත් කියා සිටියේය.

සජිත්ගේ සැලැස්ම !

අනුර විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමත් සමග සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්කළ සජිත් පවසා ඇත්තේ විපක්ෂය එකමුතු කරන වැඩපිළිවෙළ වහාම ආරම්භ කළ යුතු බවය.

ඉදිරි දින 6 ඇතුළත විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ත් එහිදී සජිත් පවසා ඇත .

පක්ෂ 82 න් 80ක් සඳහා ආරාධනා !

මේ අනුව සජිත් සැලසුම් කර ඇත්තේ , මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 82න් 80 ක් සඳහා ආරාධනා කර අදාළ සංධානය ගොඩනගන්න ය.

ඒ අනුව පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය කිසිම ලෙසකින් මේ සඳහා සහභාගි කර නොගත්තට ද සජිත් තීරණය කර ඇත .

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැනගන්නට සජබ හිතවාදී මාධ්‍ය හරහා තොරතුරු නිකුත්කරන ලෙසත් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස උපදෙස් දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඒ අනුව මේ සති අන්තයේ සජබ හිතවාදී මාධ්‍ය මේ නව සන්ධානය ගැන වැඩි ඉඩක් වෙන්කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

Page 232 of 386