V2025

පුවත්

වෙල්ගම ලංගම නඩුවෙන් නිදහස් !

ප් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (24) නියෝග කර ඇත .

ඒ නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් , ඒ හේතුවෙන් මෙම සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ය.

මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අද අධිකරණය හමුවේ පෙනී සිටි බවත් වාර්තා වෙයි .

නිමල් ජපන් තානාපතිට සොරි කියයි !

ජපානය ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල්වීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි හමුවේ පවසා ඇති බව වාර්තා වෙයි .

ඒ අද(24) අමාත්‍යංශයේ දී ලංකාවේ ජපාන තානාපතිවරයා හමුවූ අවස්ථාවේදිය.

ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් ඇරඹූ කටුනායක ගුවන්තොටුපොළ දෙවන අදියරේ එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට මෙහිදී බාරදී ඇති බවත් වාර්තා වෙයි .

එහිදී ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි කොරෝනා උවදුර සහ වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවී ඇති බව තමාට වාර්තාවී ඇති බව පවසා ඇත .

එසේම මෙරට ඉදිකිරීම් කටයුතුවල නිරත බොහෝ විදෙස් සමාගම් මෙම අර්බුදයට මුහුණ දී ඇතැයි පෙන්වාදී ඇති තානාපතිවරයා ජපානය සම්බන්ධයෙන් පවතින දැඩි විශ්වාසය තවදුරටත් රඳවා ගන්නා ලෙසට ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි .

ශ්‍රී ලංකාව අසීරුතාවට පත් වූ සෑම අවස්ථාවකදීම ජපාන ජනතාව සහයට ඉදිරිපත්වීම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන බව නිමල් සිරිපාල සිල්වා ප්‍රකාශ කළ බවත් වාර්තා වෙයි .

එසේම තිරිකුණාමල වරාය ආශ්‍රිත නව කර්මාන්ත පුරයක් සඳහා ඉඩම් මේ වනවිට වෙන්කර ඇති බැවින් එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ජපන් ආයෝජකයන් දිරිමත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් දැනගන්නට ඇත .

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් (Hoshiai chiharu) හොෂිආයි චිහාරු කට්සුකී, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර සහ අතිරේක ලේකම් සුනිල් ගුණරත්න ඇතුළු පිරිසක් සහභාගීවූ බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

පොහොර සහ ඉන්ධන දුන්නා නම් ගැටලු රැසක් විසඳෙනවා : ජනාධිපති ඇත්ත පිළිගෙන !

මෙරට ජනගහණයෙන් 90%ක් ග්‍රාමීයව වෙසෙන අතර ඉන් 75%ක් කෘෂිකර්මාන්තයේ නියැලෙන අතර ඔවුන්ට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපයීම සම්බන්ධයෙන් විසඳුම් ලබාගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත .

ඒ යුරෝපා කලාපීය රටවල තානාපතිවරු අද (24) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ අදහස් දක්වමින් ය.

"යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන්න. මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙනවා’ යැයි ඊට එක්වූ විදෙස් දූත මණ්ඩල සාමාජිකයන් පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ලබාදෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව දූත මණ්ඩල සාමාජිකයන් පෙන්වා දුන් බවත් එහි සඳහන් වෙයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලෙස වගාකර නොමැති රජයේ ඉඩම් ලබාදීමට පියවර ගෙන තිබේ. යුද්ධයෙන් පසු ඇති වූ මානුෂීය තත්ත්වයන් සැලකිල්ලට ගෙන දීර්ඝකාලීන විසඳුම් ලබාදීමටත් නීතිය ක්‍රියාත්මක වීමේ දී කිසිවිටෙකත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති ආකාරයත් ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi), ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු (Eric Lavertu), ඉතාලි ජනරජයේ තානාපති රීටා මැනෙල්ලා (Rita Mannella), නෝර්වේ තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal), නෙදර්ලන්ත තානාපති ටාන්‍යා හොන්ග්‍රිච් (Tanja Gonggrijp), ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් (Holger Lothar Seubert), රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා (Victor Chiujdea), තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ (Rakibe Şekercioğlu), ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඔප්පු හිමිකම් නැති නිවාස ඉඩම් හිමියන්ගේ ප්‍රශ්නයට විසඳුමක් !

ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන් ට, ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දිමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

“සැමට හිමි බිමක්” වැඩපිළිවෙල යටතේ ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ වැඩසටහන අද (24) උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භවූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය .

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබයි

භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති දිවයිනේ සිටින සියළුම පුද්ගලයන්හට ඉඩමේ අයිතිය ලබාදීමේ පළමු පියවර අද දින සිට "හිමි බිම" ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය.

උපන් බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යානුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකටම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක් බිමේ හිමිකරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළද අද සිදු කෙරිණි.

හිමිකම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් පැවැති මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සහ ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන් හා ඔප්පුලාභීන් පිරිසක් සහභාගී වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි .

භූගත තෙල් ටැංකි විවෘත කර පෙන්වන : පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි !

ඉන්ධන පිරවුම්හල්වල ඇති භූගත ටැංකි විවෘතකර ජනතාවට පෙන්වීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සඳහන් කර ඇත .

පොලිස්පතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්ධන පිරවිම්හල්වල ඇති ඉන්ධන ටැංකි විවෘතකිරීම හෝ එය පරීක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ඛනිජතෙල් සංස්ථාවට සහ ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලයට බැවින් එම කටයුත්ත සඳහා පොලීසිය මැදිහත් නොවන ලෙස රටේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක්ඩ්ද නිකුත්කරමින්ය.

එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පොලීසිය ඉන්ධන පිරවුම්හල් වෙත යොදවා ඇත්තේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

 

පෙට්‍රල් නැව 24 එනවා - ඇමති : නැව එන්නේ නෑ - ආනන්ද : කවුද ඇත්ත කියන්නේ ?

අද(23) අලුයම මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව එක් දිනකින් ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අද (23) සහ හෙට (24) දිවයින පුරා සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බෙදා හරින බවය.

එසේම අමාත්‍යවරයා පවසන්නේ ඔටෝ ඩීසල් දිවයින පුරා උපරිම ධාරිතාවයෙන් බෙදාහැරෙන අතර සුපර් ඩීසල් සීමිත බෙදාහැරීමක් සිදු කෙරෙන බවය.

ඇමති කියන්නේ බොරු !

කෙසේ වුවත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පවසන්නේ හෙට දිනයේ (24) ඉන්ධන නැවක් පැමිණෙන බවට බලශක්ති ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවය.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත සදහන් කරන්නේ ඉන්ධන නැව් පැමිණෙන බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කර, ජනතාව රවටා ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීම වහාම නතර කරන ලෙසය.

රට මත්පැන් ඉල්ලුම 30% කින් පහලට : පාරිභෝගිකයන් කස්ටා වෙත ?

ජනතාවගේ ආදායම් අඩුවීම සහ මත්පැන් මිල ඉහළ දැමීම හේතුවෙන් රට මත්පැන් සම්බන්ධ ඉල්ලුම 30% කින් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි .

මේ බව අනාවරණය වී ඇත්තේ,පසුගිය ජුනි 20, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ය.

වාර්තා වන ආකාරයට එහිදී රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට සකස් කොට ඇති සැලසුම් පිළිබඳව කාරක සභා රැස්වීමේදී අවධානයක් යොමුව ඇත.

ඒ වෙනුවෙන් රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ කාරක සභා රැස්වීම සඳහා සම්බන්ධ කර ගෙන තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත.

මේ හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බව ද අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ විශ්ලේෂකයන් පවසන්නේ රට මත්පැන් ලෙස ප්‍රචලිත නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනය අඩුවීමට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් භාවිතය අනිවාර්යයෙන් ඉහළ යනු ඇති බවය.

ඒ අනුව මත්පැන් ආශ්‍රිත සෞඛ්‍ය අවධානමත් ඉහළ යනු ඇති බවත් ඔවුන් පවසයි .

අද හෙට දුම්රිය ගාස්තු 50% කින් ඉහළට !

ඉදිරියේදී දුම්රිය ගාස්තු අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (අධිකාරී - ගමනා ගමන) රංජිත් පද්මලාල් පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (අධිකාරී - ගමනා ගමන) රංජිත් පද්මලාල් මේ බව පවසා ඇත්තේ ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් සිදුවන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

තෙල් නැතුව රට ඇවිලෙද්දී : ඉන්ධන මිල යළිත් ඉහළට !

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසූ බව මාධ්‍ය වාර්තා පවසයි .

ඊට අනුව මෙම ඉන්ධන මිල ඉහළ දැමීමේදී සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 60 කට ආසන්න මුදලකින් ඉහළ දමනු ඇති බවත් භූමිතෙල් ලිටරයක් රුපියල් 200 කට වැඩි මිලක් දක්වා ඉහළ දමනු ඇති බව එම නිලධාරියා පැවසූ බව සඳහන් වෙයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් භූමිතෙල් ලීටරයක් රුපියල් 210 ක් බවට පත්වීමට ඉඩ ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළ බවත් අදාළ මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය මැයි මස 24 වැනිදා කළ අවසන් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 445 ක් දක්වා ඉහළ දැමීය.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 500.00 කට ආසන්න වෙයි. ඇතැම් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ මෙකී ඉන්ධන ලීටරයක මිල නුදුරේදීම රුපියල් 500. 00 ඉක්මවා යන තත්ත්වයක් ඇති බවය.

කෙසේ වුවත් මේ වන විට ඉන්ධන හල් ආශ්‍රිත ඉතා දිගු පෝලිම් මෙන්ම ගැටුම්ද ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරයි.

ජනාධිපති හමුවූ ඉන්දීය ප්‍රබලයන්ගෙන් පොරොන්දුවක් !

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ මේ බව සඳහන් වුණු බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව පැවසූහ.

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිතුමා දූත පිරිසට කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කළහ.

ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව : මෛත්‍රී - රතන ඇවිලෙයි !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වෙයි .

ඊට අදාළ ප්‍රකාශය වන්නේ පසුගියදා රූපවාහිනී වැඩසටහනකට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝහල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම පසුපස කෝටි ගාණක මුදලක් ලබා ගෙන ඇති බවට බුද්ධි අංශ වාර්තා කර සිටි බව පැවසීමය.

අද දින අතුරලියේ රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම කර ඇත්තේ ද අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ය.

ඉන්දීය විශේෂ දූත පිරිස ඇවිත් !

ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ විශේෂ දූත පිරිස අද (23) පෙරවරුවේ පැමිණ ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා ( Vinay Kwatra ) විසින් මෙම දූත පිරිසේ ප්‍රධානත්වය දරන බවත් වාර්තා වෙයි .

මෙම ඉන්දීය දූත පිරිසට සිව් දෙනෙක් ඇතුළත් අතර මෙම පිරිස ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

දරු ප්‍රසූතිය නිවසේම : පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සීරුවෙන් !

ගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූති කටයුත්ත නිවෙස්වල දීම සිදු කිරීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය දැනුවත් කර ඇති බව වාර්තා වෙයි .

සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කරන්නේ පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මව්වරුන් රෝහල්ගත කළ නොහැකි අවස්ථාවල නිවසේදීම දරු ප්‍රසූතිය සිදුවිය හැකි බවයි.

පවතින වාතාවරණය යටතේ ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඕනෑම අවස්ථාවක දරු ප්‍රසූතියක් සඳහා මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට තමන් නිලධාරිනියන් සූදානම් කරන බවද ඇය සඳහන් කර ඇත .

දරු ප්‍රසූතිය සඳහා මැදිහත් වීමේ අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම දැනුම් දීම කරන ලද බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

පුද්ගලික අංශයේ අවම වැටුප - වතු කම්කරු වැටුප ඉහළට : මනුෂගෙන් සහතිකයක් !

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහතික විය.

ජීවන වියදමට සරිලන ආකාරයට පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දමන බවත්, ඒ සදහා අවශ්‍ය වන නීති රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් ඇමැතිවරයා සහතික විය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙසේද කීවේය.

අපි අලුත් විදියට ගැලපෙන විදියට අලුත් ලෝකයට ගැලපෙන කර්මාන්ත වැඩි කරන්න, ආයෝජකයින් වැඩි කරලා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයන් ලබාදීමට, රැකියාවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි නීති රීති වෙනස් කළ යුතුයි. කාන්තාවන්ට පිරිමින්ට කියලා වෙනස්කම් කිරීමට පනවලා තියෙන නීති වෙනස් කළ යුතුයි. ස්ත්‍රී පුරුෂ භේධයකින් තොරව කටයුතු කරන වැඩ ලෝකයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා

අලුත් ලෝකය ගොඩ නැගීමේදී ශ්‍රමිකයින්ගේ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීමටත් අපි කටයුතු කරනවා

කම්කරුවන් මේ දවස්වල ජීවත්වෙන්නේ අමාරුවෙන් කියලා හැමෝම කියනවා. මේක සියයට සියයක් ඇත්ත කතාවක්. කෑම බීම මිල ඉහළ ගිහින්. තෙල් ටික ගහගන්න අමාරුයි. මේ නිසා පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී නිශ්චිත අවම වැටුපක් පනවා, පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප දැනෙන ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම වතු කම්කරුවන්ගේ පැත්තෙනුත් වැටුප් ඉහළ දමන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා පවත්වා, වතු කම්කරුවාටත් දැනෙන වැටුප් වර්ධකයක් ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය පෙනී සිටිනවා. අපි ඔවුන් ආරක්ෂා කිරීමට කැපවෙනවා.

හිරුණිකාගේ මාතෘත්වයට ගරහන්න එපා : අග්‍රාමාත්‍ය රනිල්ගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් !

තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බව වැඩි දුරටත් පවසයි.

රැට්ටා,ළහිරු,ජගත් ඇතුළු 07ක් රක්ෂිත බන්ධනාගාරයට.....

පසුගිය දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධාතවක නිරත වී මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  හමුවට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා , ධම්මික මුණසිංහ , ලහිරු වීරසේකර ,පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ,ජගත් මනුවර්ණ ,එරංග ගුණසේකර හා ජෙහාන් අප්පුහාමි යන අය ද සිටිති.

ඔවුන් ඊයේ පස්වරුවේ ඔවුන් මරදාන පොලිස් ස්ථානයට පැමිණ භාර විය.

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවලා !

තවත් දැවිතෙල් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 34 ක් ගෙවූ බවත් එම බොරතෙල් තොගය අද (22) ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එම බොරතෙල් තොගය විදුලි බලාගාර සහ කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිත බවත් නොරොච්චෝලේ බලගාරයේ අලුත්වැඩියා කටයුතු අතරතුරදී විදුලි කප්පාදුව තව දුරටත් වර්තමාන තත්වයේ පවත්වා ගැනීමට එම ඉන්ධන යොදවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන බෙදන : අලුත් අංක සූත්‍රය මෙන්න !

කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර ඇති අතර ඊට අදාළ සූත්‍රය මේ වන විට ප්‍රසිද්ධ කර ඇත .

ඊට අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින් දා, ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද, ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද, ලෙස දින වෙන්කර ඇත .

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බව ද අමාත්‍යංශය පවසයි.

WhatsApp Image 2022 06 22 at 3.52.45 PM

Page 236 of 385