V2025

පුවත්

දේශගුණ සමුළුවට පස්සේ : සජබ කාලගුණයේ වෙනසක් !

ජනාධිපති වුනාට පස්සේ, ජාත්‍යන්තර අවමගුල් දෙකකට බ්‍රිතාන්‍යයට සහ ජපානෙට ගිය, ජනාධිපති රනිල් , ඔන්න COP27 දේශගුණික සමුළුවට සහභාගී වෙන්න මේ සතියේ, ඊජිප්තුවට යන්නයි හදන්නේ..

ආරංචියේ හැටියට සෙනසුරාදා (5) ඉඳලා, නොවැම්බර් 9 වැනි බදාදා දක්වා, ජනාධිපතිවරයා ඊජිප්තුවේ සංචාරයට දින යොදාගෙන.

මේ සංචාරයට, සාගල රත්නායක යන්නේ නැති ලු.. ඒ වෙනුවට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, රුවන් විජේවර්ධන යන කතාවක් තමයි තියන්නේ..

ජනාධිපති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ , ජනාධිපති සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිතයි ලු..

ජනාධිපති රනිල් ඊජිප්තුවට ගිහින් ආපු ගමන් , සජබේ ලොක්කෝ දෙතුන් දෙනෙක්, ආණ්ඩුවට එකතුකර ගන්න, මේ දවස්වල රහස් සාකච්ජා කීපයක්ම තියල කියලත් ආරංචියි.

දේශපාලන වාර්තාකරු

2023 දී අධ්‍යාපනයේ පරිවර්තනයක් !

ලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොලිමත් සරසවියේ (Polymath ) පෙරපාසල් ගුරු පුහුණුව හා සූපවේදී පාඨමාලාව අවසන් කළ ඩිප්ලෝමාධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කොටස් හයකින් සමන්විත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ මුල් ම අදියර වන පරිපාලන අධ්‍යාපන වෙනස්කම් ලබන වසරේ සිට ම ආරම්භ කරන බවත් ඒ අනුව ඉදිරියේ දී දැනට තිබෙන කලාප කාර්යාල 100 – 120 දක්වා වැඩි කර ඒ යටතේ තිබෙන කොට්ඨාස 550ට අදාළ ව පාසල් මණ්ඩල(School Board) 550ක් ස්ථාපනය කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංචාරක හා සත්කාරක සේවා කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් හා පොලිමත් සමූහයේ සභාපති උපාලි ගුණසේකර යන මහත්වරු සහභාගි වි සිටියහ.

– මාධ්‍ය ඒකකය

තේ කර්මාන්තය නංවන්න විධිමත් සැලැස්මක් - ජනාධිපති

කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

අද තේ කර්මාන්තය පිළිබඳ ඔබේ සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවට මම සවන් දුන්නා. ඔහු කනගාටුදායක කතාවක් ඉදිරිපත් කළා. මේ වන විට අපේ රට මුහුණදී සිටින තත්ත්වය දෙස බැලීමේදී අපට එය අවබෝධ කරගත හැකියි. දැන් මගේ කණගාටුදායක කතාව ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මොකද මම ටයිටැනික් නෞකාව භාරගෙන තිබෙන්නේ අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔබට සිතා ගත හැකි මම කොතැනින්ද ආරම්භ කළ යුත්තේ කියා. හැම දෙයක්ම අගාධයට වැටිලයි තිබුණේ. අපි බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා.

අපිට දැන් මොනවද කරන්න තිබෙන්නේ. පළමුව අනෙකුත් අපහසුතා තිබියදී ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර තිබේද යන්න පිළිබඳව අපි සහතික විය යුතුව තිබෙනවා. අප විසින් ප්‍රකාශ කරන ලද මෙම බංකොලොත්භාවය සමඟත් අපේ ආර්ථිකය නතරවීමක් සිදුව තිබෙන අතර එහිදී උද්ධමනය, බංකොලොත් භාවය මේ සෑම දෙයක්ම අපගේ ආර්ථිකයට සිදුව තිබෙනවා.

අපි කොහොමද නැවත අපේ ආර්ථිකය ගොඩනඟන්නේ. මම සිතුවා ඒ වෙනුවෙන් අපි දැන් සිදුකරමින් සිටින ක්‍රියාවලිය ඔබට පැහැදලි කිරීමට. ප්‍රථමයෙන්ම අප කළ යුතු වන්නේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමයි. එහිදී ආනයන සීමා කළ යුතුයි. එමගින් අපිට ඉන්ධන, පොහොර සහ ඖෂධ මිලදී ගත හැකියි.

මුලදී මෙම ක්‍රියාවලිය සාර්ථක නොවුණත් එහි යහපත් තත්ත්වයක් දැන් දක්නට ලැබෙනවා. අපේ ආදායම අඩුවී ඇති නිසා අපේ බිල්පත් ගෙවීම සහ අනෙක් අවශ්‍යතා සපුරා ගැනීම අපහසු වී තිබෙනවා. අපි කරුණු දෙකක් මතක තබා ගත යුතුයි. මිලියන 1.7ක් වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සහ ලබාගෙන ඇති ණය ගෙවීම් සිදු කිරීම. එය මතක තබාගෙනයි අපි කටයුතු කළ යුතු වන්නේ.

අපි දැන් බංකොලොත් බව ප්‍රකාශ කර ඇති බැවින් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මෙම බංකොලොත් ලේබලය ගලවා දැමීමට ප්‍රමාණවත් පියවර ගැනීමයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට සිදු වෙනවා. සෑම රටක්ම, සෑම ආයතනයක්ම අපිට දන්වා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් යම් සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අපට 2019 වසර වන තෙක් එවැනි සැලැස්මක් තිබුණා. නමුත් පසුව එය අවලංගු වුණා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා ආරම්භ කරන්න අපිට සිදු වුණා. අපිට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. මේ වසරේ අපේ ආර්ථික වර්ධනය වේගය ඍන 8ක් පමණ වෙනවා. පසුගිය වසරේ තිබුනෙත් ඍන අගයක්, ලබන වසරේ එය ඍන 3ක අගයක් ගනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

නමුත් කනගාටුවට කාරණය තමයි එම පුරෝකථනය සිදුකරන අවස්ථාවේ සියලුදෙනාම සිතුවේ ලෝක ආර්ථිකය හොඳ මට්ටමක තිබෙයි කියලා. නමුත් දැන් ගෝලීය ආර්ථිකය අයහපත් අතට පත්වනු ඇති බවට ඇඟවීම් ලැබී තිබෙනවා. අපිට එහි බලපෑම දැනෙන්නේ කොහොමද. යුරෝපයේ සහ අනෙක් රටවල උද්දමනය ඉහළ යාම නිසා ජීවන වියදම වැඩිවෙනවා. එවිට අපි එම රටවලට සිදු කරන ඇඟළුම්, තේ, කෝපි අපනයන අඩුවෙනවා. අපි මෙයත් අවබෝධ කර ගත යුතුයි.

අපි ඉදිරි වසර දෙක කළමනාකරණය කරත යුතු වෙනවා. අපේ ආදායම 15% සිට 8.5% දක්වා අඩු වුණා. ඒ නිසා අපි නැවතත් අපේ ආදායම 15% ක් දක්වා වැඩි කර ගත යුතුයි. එම ඉලක්ක අපි 2026 වසර වන විට සපුරාගත යුතුයි.
මෙම සැලැස්මට අපි වසර 04ක් යොදා ගත්තා. මොකද මෙය වසර දෙකකින් සිදු කිරීමට ගියොත් අපිට ඇති වන පීඩනය දරාගන්න පුළුන් වෙයි කියා මම හිතන්නේ නැහැ. අපි වසර 04ක් ලබා ගැනීම සුදුසුයි කියා සිතන්නේ 2023 වසර ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකය අයහපත් වන බව පෙනෙන්න තිබෙන නිසයි.

පළමුව අපට මුදල් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා කෘෂිකර්මාන්තය ද ඇතුළුව හැම දෙයකින්ම බදු අය කිරීමට අපට සිදු වුණා. ඒ හැර අපට වෙනත් මගක් තිබුණේ නැහැ. ‍2019දී බදු ගෙවන ප්‍රමාණයේ අඩුවක් සිදු වුණා. එවිට ආදායම අඩු වුණා. බදු ආදායම 2019ට පෙර පැවති මට්ටමට ගෙන ඒම සඳහා අපි දැන් උත්සාහ කරමින් සිටිනවා.

2019 වසරේ බදු අය කිරීම දෙස බලන විට දැන් එය තනි ඉලක්කමේ අගයක් බවට පත් වෙලා. නමුත් 2020 වසර සමඟ බලන විට එහි විශාල පරතරයක් තිබෙනවා. නමුත් අපි දැන් පීඩාවට පත් වෙලා. බදු පමණක් නොවේ, අපේ රුපියල අවප්‍රමාණය වී පොලී අනුපාත ඉහළ ගොස් තිබෙනවා.
මේ පසුබිම තුළ තමයි අපිට කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ. අද සාමාන්‍ය ජනතාවට ජීවත්වීම අපහසු වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ තමයි අපිට ඉදිරියට යාමට සිදුව තිබෙන්නේ.

අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපිට ණය ලබාදුන් අය සමඟ සාකච්ඡා කිරීමට අපිට සිදු වෙලා තිබෙනවා. ඒ සඳහා මුලින්ම මම බටහිර සහ ජපාන ණය දෙන්නන්ගෙන් සමන්විත පැරිස් සමාජය සමග සාකච්ඡා ආරම්භ කළා.

අපිට ණය ලබාදෙන ප්‍රධාන රටවල් 03න් එක් රටක් වන ජපානය තමයි පැරිස් සමාජයේ ඉන්නේ. අපිට ණය දෙන අනෙක් ප්‍රධාන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව ඒ අතර නැහැ. චීනය ප්‍රථමයෙන්ම බංකොලොත්භාවය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළේ සැම්බියාව සමඟයි. මම හිතන්නේ ඉන්දියාව පළමුව එය සිදු කරන්නේ ශ්‍රී ලංකාව සමගයි. මම මේ වන විටත් ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කරලයි තිබෙන්නේ. ඉන් පසුව ඉන්දියාව සහ චීනය සමඟත් සාකච්ඡා කර තිබෙනවා. එකිනෙකාට බලපාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරම එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වේදිකාවකට පැමිණිය යුතුයි.

අපිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට හැකි වුවහොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදාකරගත හැකියි. චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමුව තිබෙන නිසා මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයිද කියා මම දන්නේ නැහැ. එසේ නොවුණහොත් ජනවාරි මාසය වන විට එය සාර්ථක කර ගැනීමට අපි ඉලක්කසහගතව කටයුතු කළ යුතුයි.

ඒ අනුව ඉහළ ආදායමක් ලබාගෙන ඉදිරියට යා හැකි බව අපි පෙන්විය යුතුයි. අනතුරව ලබන වසරේ වඩා හොඳ ආදායම් තත්ත්වයත් තිබෙන බව අපි සහතික විය යුතුයි.
මේ වන විට බොහොමයක් සංවිධාන සහ රටවල්වලින් අපිට සහාය ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. සමහර රටවල් අපිට සෘජුව උදව් කර තිබෙන අතර තවත් සමහර රටවල් සංවිධාන මගින් සහාය ලබා දී තිබෙනවා.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අපි ස්තූතිවන්ත වෙනවා අපිට ප්‍රමාණවත් තරම් පොහොර ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව. ඇමරිකාව පවා අපට සහාය ලබා දී තිබෙනවා. ඒ නිසා පොහොර ගැටළුව විසඳාගැනීමට අපිට හැකි වුණා. කිසිවෙක් අපිට ඉන්ධන සඳහා මුදල් සපයා දෙන්නේ නැහැ. ඒ නිසා පොහොරවලට වැය කෙරෙන විදේශ විනිමය අපට ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවීමට හැකියි.

අද වන විට ඉන්ධන මිල අඩු වී තිබුණත් යුක්‍රේන යුද්ධය නිසා ශීත ඝෘතුවේදී ඉන්ධන මිල ඉහළ යන බවට සියලුදෙනාගේ විශ්වාසයක් තිබෙනවා. මින් පසුව අපිට මුහුණදීමට සිදුවන අභියෝගය එයයි. නමුත් අපිට පොහොර තිබෙන නිසා ප්‍රථමයෙන් අපි සිදුකළ යුත්තේ කෘෂිකර්මය නඟාසිටුවිමයි. එය වී ගොවිතැනින් ආරම්භ කර තේ සහ අනෙකුත් බෝගවලට ව්‍යාප්ත කළ හැකියි.

ඒ නිසා මෙය එක කොටසක් පමණි. ලබන වසරේ මාර්තු, අප්‍රේල් වනවිට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබාගතහොත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න එය මනා පිටිවහලක් වෙනවා. මේ අතර අපිට එකඟතාවන්ට එන්න පුළුවන් වුණොත් අනෙක් රටවල සහාය අපිට හිමි වෙනවා.

තෙවනුව අපි සංචාරක කර්මාන්තය දියුණු කළයුතුව තිබෙනවා. ලබන වසරේ දෙසැම්බර් මාසය වනවිට සංචාරකයින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක සහගතව කටයුතු කළහොත් මෙය සාර්ථක කරගත හැකියි. අවසානයේදී විදේශ මූල්‍ය සංචිත අවශ්‍ය වෙනවා. දැන් එය වැඩිකරගත හැකි ක්‍රමයක් නැහැ. අපි අනෙක් සියලුම ක්‍රම අහිමි කරගෙන තිබෙන නිසා අපට විදේශ සංවිත වැඩි කරගත හැකි එකම ක්‍රමය වන්නේ අපේ ව්‍යවසායන් ඩොලර්වලට අලෙවි කිරීමයි. එමගින් ඩොලර් බිලියන 4ක් පමණ සංචිතවලට ඇතුළත් කරගැනීමට හැකි වනු ඇති අතර එමඟින් රුපියල තවදුරටත් ශක්තිමත් වෙනවා. අපි සම්පූර්ණයෙන්ම වෙළඳ ආර්ථිකයක් සහ ඉහළ වර්ධන වේගයක් සහිත ආර්ථිකයක් වෙත ගමන් කරනවනම් පමණයි අපට මේ සියල්ල කළහැකි වනුයේ.

ඔබේ ක්ෂේත්‍රයේ ගැටලු තිබෙන බව මම දන්නවා. ගොඩනැඟිලි ක්ෂේත්‍රය වැනි සියලුම ක්ෂේත්‍රවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබෙනවා. මට ඒ ගැන අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තමයි පොලි අනුපාතය ක්‍රම ක්‍රමයෙන් පහළට දමන්න උත්සාහ කරන්නේ.

උද්ධමනය ඉහළ අගයකට පැමිණ තිබෙන බව මහ බැංකු අධිපතිතුමා අපිට දැනුම් දී තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි මාර්තු වන විට පොලී අනුපාතයන්ගේ අඩුවක් දැකගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි ගන්නා මෙම ක්‍රියාමාර්ග සමග ලබන වසර මැද වන විට පොලී අනුපාතයන් අඩුවිමේ සහනය ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.

පසුගිය වසර දෙක තුළ රුපියල් ට්‍රිලියන 3.2ක මුදල් අච්චු ගහලා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට පුළුවන්කමක් නැහැ.

ඔබට සහාය දැක්විය යුත්තේ කෙසේද යන්න පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. අපි ප්‍රමාණවත් පරිදි පොහොර ලබාගෙන තිබෙනවා. ඒ වගේම පොහොර සැපයුම්කරුවන්ට ගෙවීම් කරන්න තිබෙනවා. තවම ඒ සඳහා මුදල් ලැබී නැහැ. නව බදු එකතු කිරීමෙන් මෙම මුදල් ලබාගත හැකිවේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.
අපි තේ කර්මාන්තය සංවර්ධනය කළයුතුයි. ඇමැතිතුමා හා රාජ්‍ය ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවට මම සහතික වෙනවා. ඔවුන් මේ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. තේ කර්මාන්තයට උදව් කරනවා කියන්නේ අපි අපිටම උදව් කරනවා කියන එකයි. ලබන වසරේදී අපි අනෙක් නිෂ්පාදනත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. රුපියල ස්ථාවර කරන අතරතුර මේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කර තිබෙනවා. මේ ආර්ථික මොඩලය සමඟ අපි ඉදිරියට යා යුතුයි. අපනයනය මත පදනම් වූ ආර්ථිකයකට අපි කඩිනමින් ගමන් කළයුතු වෙනවා.

ඔබලට පොහොර අවශ්‍ය බව අපි දන්නවා. තේ කර්මාන්තයේ දී ප්‍රතිරෝපණය ඉතා වැදගත් වෙනවා. තේ කර්මාන්තයේ කඩාවැටීමට ප්‍රධාන හේතුව ප්‍රතිරෝපණය නොමැති කමයි. එයින් හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න අඩුවෙලා යනවා. අද වන විට වියට්නාමය පවා අපිව අභිබවා ගිහින් තිබෙනවා.

අද අපි කෘෂිකර්මාන්තය නවිකරණය කිරීමේ වැඩසටහනකට යොමු වෙලා තිබෙනවා. එයින් තේ කර්මාන්තයට විශාල වටිනාකමක් ලැබේවි. තරගකාරී වගේම දියුණු තේ කර්මාන්තයක් යළිත් රටේ ඇති කළ යුතුයි. ගුණාත්මකභාවයෙන් ඉහළ තේ නිෂ්පාදනය කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. රටේ ඉහළ හා මධ්‍යම ප්‍රදේශවල වැවෙන තේ වුණත් ඒවායේ ගුණාත්මකභාවය අඩු නම් තරගකාරිත්වයක් නැහැ. ඒ නිසා තේ කර්මාන්තය දියුණු කළ යුතුයි. කර්මාන්තශාලා නවීකරණය කළයුතුයි.
ඇතැම් තේ කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ සේවය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඇතැමුන් ක්ෂේත්‍රයට අගෞරවයක් වන අන්දමින් කටයුතු කරනවා. තේ කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කර ඔබේ සහයෝගය ඇතුව ඉදිරියට යන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ඉටු කරගන්නා අන්දම පැහැදිලි නැතත් ටයිටැනික් නෞකාව ගැටුණු හිමකන්දෙන් ඉවතට ගන්න මම උපරීම උත්සාහ කරනවා. ‍

මෙහි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රි ලංකා තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Rolf Blazer යන මහත්වරු අදහස් දැක්වූ අතර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

“ආහාර අහේනියක්  දිඹුලාගල ගම් 08ක දරුවෝ පාසල් ගමන නවත්වති"  - පුවත සාවද්‍යයි

මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් හතරක් 2022 ඔක්තෝබර් 31 වන සඳුදා දින මනම්පිටිය නිමල් ජයරත්න මාධ්‍යවේදියාගේ නමින් ප්‍රධාන සිරස්තලයක් ද සහිතව “දිඹුලාගල ගම් 08ක දරුවන්ගේ පාසල් ගමන නැවතී ඇති බවත්, ආහාර අහේනියක් නිසා ආයෙත් කැලෑ අල හාරනවා, කැලෑ කොළ කනවා" යනුවෙන් වාර්තා කර ඇත.

මේ පිළිබඳ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාගෙන් සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිදු කළ ලිඛිත විමසීමකදී ඔවුන් විසින් දන්වා ඇත්තේ එම පුවත සාවද්‍ය බවයි.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් ආදිවාසීන් පදිංචි ප්‍රධාන ගම්මානය වන දළුකාන වසමට ගොස් මේ පිළිබඳ සොයා බලා ඇති අතර, එහිදී ආදීවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය සමඟ ද සාකච්ඡා කර ඇත.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අපහසුතා පවතින පවුල් ඇති නමුත් ආහාර හිඟකමක් හේතුවෙන් සම්පූර්ණයෙන් පාසල් ගමන අතරහැර දමා සිටින ළමූන් ගම්මානයේ නොමැති බවයි.

මේ පිළිබඳ ප්‍රදේශවාසීන් කිහිපදෙනකු වෙතින් විමසා බැලීමට ද ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති අතර, ඔවුන් ද ප්‍රකාශ කර ඇත්තේ එම පුවත්පත්වල සඳහන් ප්‍රවෘත්තිය කිසිසේත්ම සත්‍ය නොවන බවයි.

තම දරුවන් කැලෑ කොළ කන තරම් ආහාර අහේනියක නොමැති බවත් ආර්ථික අපහසුතා සහ දෙමාපියන්ගේ හේතු මත හෝ වැඩිහිටියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි හේතු නිසා ඇතැම් ළමුන් කඩින් කඩ පාසල් යන බවත් එය ගම්මානයේ අතිශය සාමාන්‍ය සිද්ධියක් බවත් ඔවුන් පවසා තිබේ.

මේ පිළිබඳ දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟත් ඒ මොහොතේ එම පාසලට පැමිණ සිටි දෙමාපියන් සමඟත් ප්‍රාදේශීය ලේකම් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සාකච්ඡා කර ඇත.

එම දෙමාපියන්ද ප්‍රකාශ කර ඇත්තේ, එම පුවත පිළිගත නොහැකි අසත්‍ය පුවතක් බවත් සෑම දිනකම පාසලේ දරුවන් සඳහා උදෑසන සහ දිවා ආහාර වේල් දෙකක් ලබාදෙන බවත් ආහාර පමණක් නොව දරුවන්ට අවශ්‍ය ඇඳුම්, පොත්පත්, පෑන් පැන්සල්, පොත් බෑග් ඇතුළු අධ්‍යාපනයට අවශ්‍ය බොහෝ දෑ විදුහල්පතිතුමියගේ මැදිහත්වීමෙන් එම පාසලේ ළමුන් වෙත ලබාදෙන බවයි.

එමෙන්ම පුවත්පත් සඳහන් කරන ආකාරයට අඛණ්ඩව පාසල් නොපැමිණෙන ළමුන් එම පාසලේ කිසිවකුත් නොමැති බව ද විදුහල්පතිතුමිය දන්වා ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කළ ප්‍රාදේශීය ලේකම් සඳහන් කර සිටින්නේ තමන් අද උදෑසන පාසලට ගිය අවස්ථාවේ ළමුන්ට පිළිගැන්වීමට වර්ග පහකින් සමන්විත පෝෂ්‍යදායි දිවා ආහාරවේලක් සූදානම් කර තිබූ අයුරු දුටූ බවයි.

විදුහල්පතිතුමිය විසින් ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා පිටස්තර දානපතීන්ගේ උදව් ලැබෙන බවත්, ආහාරවලට අමතරව දරුවන්ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් රජයට අමතරව දානපතියන් තම පාසලට උදව් කරන බවයි.
මෙම සිද්ධිය පදනම් කරගෙන ඇති ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මියගේ මිණිබිරිය මෙම පාසල වෙත පැමිණෙන අතර එම දරුවාට ද සියලුදේ ලබාදෙන බව එම දරුවා විසින්ම ප්‍රකාශ කර ඇත.

මේ පුවත පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ විදුහල්පතිතුමිය ප්‍රකාශ කර සිටින්නේ මේ පුවත කියවීමෙන් තමා පුදුමයට හා කණගාටුවට පත් වූ බවත් පුවත්පතේ සඳහන් ආකාරයට ළමුන් තම පාසලේ නොමැති බවත්ය.
අනතුරුව නිලධාරි කණ්ඩායම සොරිවිල දෙමළ කනිෂ්ඨ විද්‍යාලය හා සිංහල කනිෂ්ඨ විද්‍යාලය වෙත ද ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලූ අතර, එම විදුහල් දෙකෙහිම ද ළමුන් සඳහා උදෑසන හා දහවල් ආහාර වේල් පිරිනමන බවත් ආහාර හිඟකම නිසා අඛණ්ඩව පාසල් නොපැමිණෙන ළමූන් තම පාසල්වල නොමැති බවත් සඳහන් කර තිබේ.

ආර්ථික අපහසුතා තිබෙන ළමුන් සාමාන්‍ය පරිදි සිටින බවත් විශේෂයෙන්ම දෙමාපියන්ගේ වුවමනාවක් නොමැතිකමින් ළමුන් කිහිපදෙනක් කඩින් කඩ පාසලට පැමිණීමේ තත්ත්වයක් පවතින නමුත් එම දෙමාපියන් දැනුවත් කර එය මඟහරවා ගැනීමට පියවර ගනිමින් සිටින බව එම විදුහල්පතිවරු පෙන්වා දෙති.

කෙසේ වෙතත් පුවත්පත්වල සඳහන් ආකාරයට ආහාර අහේනියක් මත දරුවන් පාසල් නොපැමිණීමේ කිසිදු තත්ත්වයක් නොමැති බව ද වැඩිදුරටත් ඔවුහු අවධාරණය කර සිටිති

ජනාධිපති මාධ්‍ය අංශය

IMG 20221031 WA0029

IMG 20221031 WA0031

ගමනායකගේ දුව ජවිපෙ ඉහළ පුටුවකට !

විජේවීරගෙ පුතාට ජවිපෙ තැනක් නැති වුණාට, ගමනායකගෙ දුවට තැනක් ලැබිලා.. ඔන්න ජවිපෙට සම්බන්ධ නිව්ස් එකක් කරලියට ඇවිත්.

ආරංචියේ හැටියට කතාව කෙටියෙන් මෙහෙමයි..

නොවැම්බර් 01 වැනිදා ඉඳලා, 06 වැනිදා දක්වා, වෙනිසියුලාවේ කරකාස් නගරයේ දී පැවැත්වෙන, වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂයේ, 16 වැනි සමුළුවට, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්, එම පක්ෂයේ බ්‍රිතාන්‍ය කමිටුවේ ලේකම්, දර්ශන හෙට්ටිආරච්චි සහ, කමිටු සාමාජිකා වෛද්‍ය ජනිතා ගමනායක යන දෙදෙනා, සහභාගී වීමට නියමිතයි ලු..

මෙම සමුළුවට සමාන්තරව පවත්වනු ලබන, ‘වර්තමාන පන්ති අරගලයේ දී, කම්කරු පන්තියේ සහ කම්කරු පන්ති පක්ෂයේ භූමිකාව’ මැයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණයකට ද , මේ දෙදෙනාම සහභාගි වෙනව ලු..

1937 දී ආරම්භ කරන ලද වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂය, ලතින් ඇමරිකානු කලාපය හා, ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ප්‍රමුඛත්වයේලා පිළිගැනීමට ලක්ව ඇති පක්ෂයක්..

මෙම සමුළුව සඳහා ලතින් ඇfමරිකානු කලාපය ඇතුළු, ඉන් බාහිර රටවල, කොමියුනිස්ට් පක්ෂවල නියෝජිතයන් ගණනාවක් සහභාගිවීමටද නියමිතයි.

සමුළුව පැවැත්වෙන අතරතුර තුළදී, ජවිපෙ නියෝජිතයන් දෙදෙනා , වෙනිසියුලානු ආණ්ඩු පක්ෂය වන, එක්සත් සමාජවාදී පක්ෂය සමග, සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා කියල තමයි, ආරංචි වෙන්නේ..

රෝහණ විජේවීර කියන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වරයා.. දොන් උපතිස්ස ගමනායක, ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් කෙනෙක්.. ජවිපෙ 2 වැනි කැරැල්ලේ දෙවැනියා .

භිෂණය කාලයේ , ඒ දෙන්නවම, ප්‍රේමදාස ආණ්ඩුවෙන්, අමු අමුවේ මරල දැම්ම. විජේවීරගේ පවුල ආරක්ෂක අංශ වලට බාරදෙද්දී, ගමනයකගේ බිරිඳ කරුණා, දරුවොත් එක්ක රටින් පලාගියා.

ඒ දවස්වල ගමනායක ගේ දියණිය ජනිතා හෙවත් , අනුෂ්කා රසාදරී ඉගෙන ගත්තේ, හොරණ තක්ෂිලා කණිටු විදුහලේ 4වන වසරේ. පුතා මහවිල විදුහලේ දෙවන වසරේ ..

දේශපාලන ආරංචිමාර්ග කියන විදියට, ගමනායකගේ දියණිය වෛද්‍ය ජනිතා ගමනායක , තවත් ටික කාලයකින්, ලංකාවේ පුරවැසිකම ලබාගෙන, ජවිපෙ අනාගත දේශපාලනය බාරගන්න, ලංකාවට එන කතාවකුත් තියනවා.

දේශපාලන වාර්තාකරු

සාධාරණ බදු ක්‍රමයක් සඳහා අවධානය යොමුකළ යුතුයි - හිටපු මුදල් ඇමති රවී !

මෙරටට තිරසාර වර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගිකවූත් අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකිවූත් සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන දැඩි බදු ක්‍රියාමාර්ග පිළිබඳ දැනට පැවැත්වෙන සාකච්ඡා සහ වාද විවාද ප්‍රායෝගික මෙන්ම තිරසාර නොවන බව තමාට නිරික්ෂණය වී ඇති බවත් ඔහු පවසයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පෙන්වා දෙන්නේ විවිධ බදු නියම කිරීම සහ ගෙවීමට ඇති හැකියාවෙන් ඔබ්බට බදු අය කරනවාට වඩා මුල්‍ය ඉලක්ක සපුරා ගනිම සදහා කොපමණ මුදල් ප්‍රමාණයක් එකතු කල යුතු ද යන්න අවධානයටගත් ප්‍රවේශයක් ගත යුතුව ඇති බවය.

රට මේ මොහොතේ පෙර ක්‍රියාත්මක කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ ඒ මත ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් වාර්තාගත උද්ධමනයක් මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සැපයුම් වල ඇතිවූ උග්‍ර හිඟය වලක්වා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගනිමින් සිටින බවත් ඔහු පවසයි .

තමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ගෙවුම් ශේෂ අර්බුදය මඟහරවා ගැනීමටත්, සංචිත නැවත වර්ධනය කරගෙන ජාත්‍යන්තර ආයෝජකයන් අතර විශ්වාසය ගොඩනගා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපකරගත් ආකාරය සිහිපත් කරන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එහි දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.4% සිට 15% දක්වා මාස 33කට අඩු කාලයකදී වර්ධනය කරගනු ලැබුවේ බදු ආදායම් ඉලක්ක මගින් මිස බදු ගෙවන්නන්ගේ බදු ප්‍රතිශතය මත නොවන බවත් පෙන්වා දෙයි.

රජයේ ආදායමේ හිඟය පියවා ගැනීමේදී වඩාත් ප්‍රායෝගික අත්දැකීම් සහ වෘත්තීයමය වශයෙන් පුහුණුවක් සහිත ප්‍රවේශයක් අවශ්‍ය බව පෙන්වාදෙන හිටපු මුදල් අමාත්‍යවරයා එහිදී ඇති බරපතළම අභියෝගය වන්නේ තමන් බදු ගෙවීම සාධාරණ නොවන බවත් උපයන ආදායම් රාජ්‍ය සේවකයන් සහ දේශපාලනඥයින් විසින් නාස්තියට හා සූරාකෑමට ලක් කරන බවට ජනතාව අතර ඇති මතය බවත් සඳහන් කරයි.

එබැවින් ආණ්ඩුව උපයන සෑම රුපියලක්ම ඥානාන්විතව වියදම් කරන බවට ජනතාවගේ සිත් තුළට කාවැද්දීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටින්නේ මෙරට නිදහස ලබා වසර 75ක් ගෙවී අවසන් නමුත් ආර්ථික නිදහස ලබාගෙන තිබේද යන්න විමසා බැලීමට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම පාහේ අඩාල වී ඇති අවස්ථාවක, එය යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ධනාත්මකව බැලිය යුතු බවත් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම රට නැවත නගා සිටුවීමට සහ රටට ආදායමක් ගෙන ඒමට දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියාකළ යුතු බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

උද්ධමනය පහළට !

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කලකට පසුව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇත.

ඒ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා තහවුරු කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 69.8 ක් ලෙස සටහන් වූ අතර එය ඔක්තෝම්බර් මස සියයට 66 ක් දක්වා පහත වැටී තිබේ.

එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මසට සාපේක්ෂව ආහාර උද්ධමනයද ඔක්තෝම්බර් මස සියයට 9.3 කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

ඉකුත් සැප්තැම්බර් මස සියයට 94.9 ක් වූ ආහාර උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 85.6 ක් දක්වා පහත වැටී ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝම්බර් මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 56.3 ක් ලෙස සටහන් වන අතර සැප්තැම්බර් මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 57.6 ලෙස සටහන් විය. එයද සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ යාමකි.

ඔක්තෝබර් මස සියයට 66 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 28.1 ක දායකත්වයක් ලබා දී ඇති ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 37.9 ක දායකත්වයක් ලබා දී ඇත.

21 සංශෝධනය බලාත්මකයි !

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය අත්සන යොදා සහතික කර ඇති අතර ඒ අනුව අද (31) සිට එය බලාත්මක විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය (21) වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත විය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් අගෝස්තු මස 10 වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස 20 සහ 21 යන දිනවල පැවැත්විණ.

දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කිරීමෙන් අනතුරුව පැවැති තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක්ද විපක්ෂව ඡන්දයක්ද හිමිවිය.

පනත් කෙටුම්පත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සම්මත වුවත් තාක්ෂණික කාරණයක් හේතුවෙන් එය බලාත්මක වන්නේ විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.

පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක , පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණධීර සහභාගීවූහ.

දීපාවලිය ඉන්දීය - ශ්‍රී ලංකා සමානතා පිළිඹිබු කෙරෙන සැමරුමක් - ජනපති

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව පැවසීය.

දීපාවලි යනු එම සමානතා පිළිඹිබු කෙරෙන එක් අවස්ථාවක් බවත්, එය අද මුළු ලෝකයම සමරන උත්සවයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය විසින් (Colombo Expats Cultural Association) ඊයේ (29) පස්වරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයට එක් වෙමිනි.

දීපාවලි සැමරුම සියලුදෙනා එකට එක් කෙරෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතවරයා එකමුතුකම සහ සහයෝගීතාව සංකේතවත් කෙරෙන දීපාවලී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තූතිය පිරිනැමීය.

කොවිඩ් වසංගතය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අභියෝගකාරී තත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අඩු වරප්‍රසාදිත පවුල්වල දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් සංගමය ඉටුකරනු ලබන කාර්යභාරය ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් ඒ. බැනර්ජි (A. Banerjee) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

IMG 20221030 WA0013

IMG 20221030 WA0012

රවී සාගල හලපු - එජාප සැලුන් දොර : ප්ලාන්ට් නිව්ස් එකක් !

''එජාපයත් සැලුන් දොරක් දමයි....'' ලංකාදීප පත්තරේ ලොකු හෙඩිමකින් නිව්ස් එකක්..

ඒ නිව්ස් එකේ හැටියට, පොහොට්ටුව ප්‍රධාන , සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත , ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා, නව වැඩපිළිවෙලක් හදන්න කියලා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ, UNP ලොක්කන්ට උපදෙස් දීලා.

දිනෙන් දින වෙනස් වන , මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර, ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ, වැඩ කටයුතු, ඒ අනුව කඩිනමින් ආරම්භ කරන්න කියල රනිල් වික්‍රමසිංහ කියල ලු..

හැකි ඉක්මණින්, මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙසත්, ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත්, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උපදෙස් දීලා කියල තමයි ලංකාදීපේ කියන්නේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ උපදෙස් දීල තියෙන්නේ , එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන , මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් ගේ සහභාගීත්වයෙන් තිබුන UNP එකේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ලු..

ලංකාදීපේ ගිය ඔය නිව්ස් එක , ඔන්න ඊයේ ශෝෂල් මිඩියාවලත් හිට් වෙලා ..

ඔය නිව්ස් දැකලා කලබල වෙලා තියෙන්නේ , පොහොට්ටුවේ ලොක්කෝ විතරක් නෙමෙයි, අලි- පොහොට්ටු සන්ධානයක් හදන්න දඟලන UNP ලොක්කෝ, කීප දෙනෙකුත්, අවුල් වෙලා ලු...

මේ දවස්වල රට ගිහින් ඉන්න, පොහොට්ටු මහ ලේකම් සාගර ත් ජනාධිපති රනිල්ගේ හිතවතෙකුට කතාකරලා , ඔය ගැන අහලා තිබුන ලු..

අන්තිමේදී ඒ හිතවතා , මේ නිව්ස් එක ගැන, ජනාධිපති තුමාට call එක්ක දීල අහලා.

'' ඕක බොරු නිව්ස් එකක් .. මම මේ ලංකාදීපේ ට කතාකරන්න හදන්නේ. ම නොකියපු කතාවක් කිව්වේ කව්ද කියල දැනගන්න.. අනෙක, මම ඔහොම කතාවක් කියල නෑ .. ඔහොම රැස්වීමක් තිබුනෙත් නෑ .. අනෙක, අඛිල පහුගිය සතියේ හිටියේ ඉන්දියාවේ.. '' ජනාධිපති තුමා කියව ගෙන කියවගෙන ගියා ලු..

ඒ කතාව අස්සේ ජනාධිපති රනිල් මෙහෙමත් කිව්වා ලු...

'' කොහොමටත් වෙනින් පක්ෂවල කට්ටිය ගන්නවට වඩා, මේ වෙලාවේ UNP එකට වැදගත් වෙන්නේ, UNP එක හදාගෙන, ඉදිරියට යන්නේ කොහොමද කියල හිතන එක.. චන්දයක් කිට්ටු වුනාම, වෙනින් පක්ෂ එක්ක වැඩ කරනහැටි, ඒ වෙලාවට බලාගන්න පුළුවන්.. අපේ පක්ෂයේ ලොකු උදවිය, දැන් ජනාධිපති කාර්යාලේ , සෙල්ලන් පුටු තරඟ කරලා හරියන්නේ නෑ .. සිරිකොතට ගිහිල්ල , ගමට ගිහිල්ල වැඩකරන්න ඕන. ''

''කොහොමටත් ඉස්සරහදී තරුණ - තරුණියන් ඉස්සරහට දාලා, එයාලට පක්ෂයේ වගකීම් දෙන්න තමයි, මම හිතාගෙන ඉන්නේ..'' එජාප නායකතුමා කිව්ව ලු..

මේ වෙලාවේ, පොහොට්ටුවේ කට්ටිය, UNP එකට ගන්න , කිසිම අදහසක් නැ කියල තමයි, ජනාධිපති රනිල් කිව්වයි කියන්නේ..

ඔය වගේ කතාවක්, ලංකාදීපෙට දුන්නේ කව්ද කියල, ජනාධිපති රනිල් පස්සේ හොයාගෙන ලු.. එයාගේ ලඟම ගොලයෙක්ගේ, ප්ලාන්ට් එකක් නිසා, මොකුත් කරගන්න විදියකුත් නැ ලු..

ඔය පොහොට්ටුවෙන් කට්ටියක්, UNP එකට ගන්නවා කියන කතාව , පහුගිය දවස්වල ,රංගේ බණ්ඩාරයි, අඛිලයි දෙන්නම ප්‍රෙස් තියලම මාධ්‍යවලට කියපු නිසා ,
සැලුන් දොරක් නිව්ස් එක දැම්මා කියල, ලංකාදීපේ ලොක්කෙක් , ජනාධිපති තුමාට කියල.. මොනවා කරන්නද මාමගේ පත්තරේ නේ..

කොහොම හරි ඔය නිව්ස් එකෙන් පස්සේ, UNP එකේ දේශපාලන මණ්ඩලේ කැඳවලා, පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්න, ජනාධිපති රනිල් තීන්දු කරලා ලු.. දවස් දෙක තුනකට, රට ගිහින් ආපු ගමන්, ඒ රැස්වීම කැඳවන්න කියල දැනුම්දීමකුත් කරලා කියලා තමයි ආරංචි...

සැලුන් දොරේ කතා මොනවා වුනත්, සජබේ ලොක්කෝ දෙතුන් දෙනෙක්, අයවැයට සහයදෙන්න, ළඟදීම ආණ්ඩුවට එකතුවෙන්න යනවා කියලනම් කතාවක්, ඔන්න යනවා. ඒ දෙන්නෙක්ම හිටපු ආණ්ඩුවල මැති ඇමතිකන් දරපු කට්ටිය ලු..

ඔය විදියට බලනකොට, ලොක්කා පොහොට්ටුවට කොහොම වෙතත්, සජබෙට නන් වැඩක් දෙන්න වෙලාව බලබල ලු ඉන්නවයි කියන්නේ..

කොහොම නමුත් newstube අපිටත් ඔය නිව්ස් එක ආවා. අපි ඇහුවා ඔය වගකීම් දුන්න පාර්ශ්ව අතර හිටපු මුදල් ඇමති රවී නැද්ද කියලා . මොකද අපි දන්න විදිහට එජාප ප්‍රතිසංවිධාන වැඩේ සැලකිය යුතු වගකීමක් මේ වෙනකොටත් පක්ෂ නායකත්වය විසින් හිටපු මුදල් ඇමති රවීට පවරලා තියෙන්නේ .

එතකොට නිව්ස් එක ප්ලාන්ට් කරපු පාර්ශ්වය පැත්තෙන් දැනගන්නට ලැබුණේ කොළඹින් බැහැරව ගොස් සිටි නිසා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම රැස්වීමට සභාභාගී වුනේ නෑ කියලා . ඒ නැතත් පක්ෂ නායකත්වය විසින් ඔහුට ද ඒ සම්බන්ධ විශේෂ වගකීමක් පවරා ඇති බවත් කිව්වා .

වැඩේ කියන්නේ එජාප ජාතික සංවිධායක සාගල රත්නායක වත් මේ හමුවෙන් හලලා. මොනවද අප්පා මේ නිව්ස් ප්ලාන්ට් ? අනේ මන්ද ...

දේශපාලන වාර්තාකරු

ස්වාධීන කොමිෂන් 7ක් අහෝසියි !

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා 7ක් අහෝසි වීමට නියමිතය.

ඒ වෙනුවට නව කොමිෂන් සභා පත්කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත වූ පසු සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ අහෝසි වීමට නියමිත වන්නේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම, මුදල් කොමිසම හා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසමයි.

මෙම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් සහ සභාපතිවරුන් පත්කිරීම මෙන්ම අලුතෙන්ම පිහිටුවන ජාතික විගණන කොමිසම සඳහා ද සභාපතිවරයකු හා සාමාජිකයන් පත්කිරීම ඉතා ඉක්මනින් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙතෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුව තිබූ පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම් හා විනය පාලන කටයුතු ජාතික පොලිස් කොමිසමට පැවරීම නව සංශෝධනයේ තවත් අරමුණකි.

-deshaya

මෛත්‍රී යාචකයා කිව්වේ මහින්දටද ?

පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවට ගොඩවීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

" ඒ අය ආපහු කොහෙ නැගිටින්න දැයි " සිරිසේන මහතා ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට පුළුල් සන්ධානයකින් තරඟ වදින බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ බලපෑමට නතු වී ඇති බව පෙනෙන්නට ඇතැයිද සඳහන් කළේය.

මේ ආණ්ඩුවෙන්ද රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබී නැතැයි ඔහු කීවේය.

Lankadeepa

සෝල් ඛේදවාචකය ගැන ජනාධිපති ශෝකය පළකරයි !

දකුණු කොරියාවේ සෝල් නගරයේ හැලොවීන් සැමරුම් උත්සවයකදී තෙරපීමෙන් 151 දෙනකු මියගොස් 80කට අධික පිරිසක් තුවාල ලැබීමේ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළකරයි.

දකුණු කොරියානු රජයට සහ ජනතාවටත්, විශේෂයෙන් එම අනතුරින් මියගිය අයගේ පවුල්වලට ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය පළ කර තිබේ .

එමෙන්ම සිදුවීමෙන් තුවාල ලැබූවන්ට ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත .

අදාළ අනතුරින් මහනුවර ප්‍රදේශයේ ලාංකික තරුණයකු (27) මියගිය බවට වාර්තා වී ඇති අතර තව දුරටත් සිද්ධියෙන් බලපෑමට ලක්වූ ලාංකිකයන් සෙවීමේ කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බවත් වාර්තා වෙයි .

තවමත් කැලෑවේ ඉන්න විජේමුනිගේ කතා මම ගණන් ගන්නේ නෑ - ඩයනා

සමගි ජන බලවෙිගයේ පසුගියදා පැවැති රැස්වීමකට එක් වෙමින් හිටපු ඇමතිවරයෙකු වූ විජිත් විජිතමුනි සොයිසා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

කාන්තා සංවිධාන ගණනාවකින් එල්ල වන චෝදනාවක් වන්නේ පාර්ලිමේන්තුවේ මේවන විට රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරණ ඩයනා ගමගේ ඇමතිවරිය අලලා සිදු කළ මේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුවහෙළා දකින බවයි.

කාන්තාවක්, ඇමතිවරියක්, සහ මවක් ලෙස ඇයට මෙ⁣සේ නින්දා කිරීම දේශපාලන පක්ෂ භේදයකින් තොරව හෙලා දැකිය යුතු බව අදාල කාන්තා සංවිධානවල ඉල්ලීම වේ.

මේ සම්බන්ධයෙන විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඩයනා ගමගේ ඇමතිවරිය සදහන් කොට සිටියේ විජිත් විජිතමුනි සොයිසා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට තමාගේ කාලය වැය නොකරන නමුත් තමන් විසින් ඉදිරිපත් කොට ඇති රටේ අභිවෘද්ධියට අදාල ආර්ථික සැලසුම් වන ගත මානසිකත්වයෙන් යුතු විජිත මුනිසොයිසාට නොතෙරීම සම්බන්ධයෙන් තමා පුදුමයට පත් නොවන බවයි.

එසේම කැලයක ජීවත් වන සොයිසාට ඇත්තේ කැලය සම්බන්ධයෙන් වන මානසිකත්වයක් බැවින් ඔහුගේ ප්‍රකාශයෙන් ඒ බව මනාව පැහැදිලි වන බවයි.

මම මවක් ලෙස කාන්තාවන්ට ගරු කරන බැවින් විජිතමුණි සොයිසාට තමාගේ මව සම්බන්ධයෙන් ආදරයක් ගෞරවයක් නොමැති බව මෙමගින් පෙන්නුම් කරන අතර ඇය වනයේ සතා සිපාවා ලග වාසය කිරීමක් බදු ප්‍රකාශයක් සිදු කිරීම තම මව ගැන සිතන පුතෙකුට කිසිදු ලෙස සිදු කළ නොහැකි ප්‍රකාශයකි.

ඔබ ඔබගේ මවට ගරු කරන්නේ නම් තවත් මවකට හෝ කාන්තාවකට වනයේ සතුන් සමග වෙසීම සම්බන්ධයෙන් කතා නොකියනු ඇත. කනගාටුවට කරුණ වන්නේ කැළයේ මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකු කැලයෙන් තොරව රටක පාලනය සම්බන්ධයෙන් දන්නා කරුණු මොනවාද යන්න මොවුන් වැන්නවුන් පාර්ලිමේන්තුවට යාමට බලයදුන් ජනතාව නොදැන සීටීමය. එම නිසා වන ගත සතුන්ට පිළිතුරු සැපයීම තමන්ගේ කාර්යය භාරය නොවන බවත් සදහන් කර සිටින ඇය, වැඩිදුරටත් සදහන් කොට සිටියේ සමගි ජන බලවේගය පක්ෂය තමන්ගේ බවත් එය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ප්‍රදානය කොට සිටියේ එය බලු කූඩුවක් බවට පත් කොට බල්ලන් ඇති කිරීමට නොවන බැවින් එයට බල්ලන් දමා ගත්තා නම් ඔවුන් බැඳ තබා ගැනීමෙි වගකීම ඔහු විසින් දැරිය යුතු බවත්ය. අප්පච්චිලාගේ මරණයෙන් පසු ඔහු ලං කරගත් බාප්පොච්චිගේද මළගම සනිටුහන් කරන්නේ සොයිසලා වැනි පුද්ගලයින් බැවින් එයින් පරිස්සම් වන ලෙසද තමන් ඉල්ලා සිටින බවත් සදහන් කොට සිටින්නීය..

කෙසේ නමුත් බලයට කෑදරකමින් කටට එන ඕනෑම දෙයක් කියා උඩුබිරුම් ලන පුද්ගලයන්ගේ කතා අසා කඳු පාත් නොකළ හැකි බව සදහන් කරන ඇය..සොයිසා විසින් සිදුකළ පුකාශයන් සමස්ත කාන්තාවන්ට සිදුකල අපහාසයක් බවත් ඇය සදහන් කොට සිටින්නීය..

අසීරු සෑම අවස්ථාවකම ඇමරිකාව ලංකාවට ලබාදුන් සහය ජනපතිගේ ඇගයීමට !

 
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවතෙන 74 වසරක අතීත සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මේ වන විට පියවරගෙන තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට අසීරුතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව පැවසීය. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල පසුගිය 28 වනදා නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 
 
පසුගිය යුධ සමයේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා 2001 වසරේ තමා අග්‍රාමාත්‍යවරයාව කටයුතු කරන සමයේ ජෝර්ජ් බුෂ්ගේ නායකත්වයෙන් එක්සත් ජනපදය ලබා දුන් සහාය ද කෘතවේදීව සිහිපත් කළේය.
 
2004 වසරේදී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට යළි නැගී සිටීමට බිල් ක්ලීන්ටන් මහතා  ප්‍රමුඛ රජය ලබාදුන් සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ ජෝ බයිඩ්න් මහතාගේ මැදිහත්වීමෙන් මෙරටට හිමි වූ සහාය නොවන්නට මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇති බව ද පැවසීය. 
 
වසර 74ක එක්සත් ජනපද - ශ්‍රී ලංකා මිත්‍රත්වය, හවුල්කාරිත්වය සහ ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත්  පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමු වන මුදල් නීතිය සකස් කිරීම සඳහා සහ මහ බැංකුව ස්ථාපිත කිරීම සඳහා වූ මනාව කෙටුම්පත් කරන ලද නීති පද්ධතිය සම්පාදනය වෙනුවෙන් එක්සත් ජනපදය දැක්වූ සහායට සිය ප්‍රසාදය පළ කළේය.
 
මෙවන් දීර්ඝකාලීන මෙන්ම හෘදයාංගම සබඳතාවක් අත්විඳින ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය ඉදිරියට ද සමීප මිතුරන් ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව වෙන් කළ නොහැකි පාර්ශ්වකරුවන් ලෙස  සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඒකිනෙකාට ගරු කරමින් හා  විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කරනු ඇති බව ද පැවසීය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
 
මීට වසර 38කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් නව ඇමෙරිකානු චාන්සලර් ගොඩනැගිල්ල විවෘත කරනු අයුරු මගේ මතකයට නැගෙනවා.  ඇමරිකානුවන් වෙරළ තීරය මිලදී ගැනිමට පෙර එම කාර්යාලය පැවතියේ මගේ මී මිත්තණිය වන හෙලේනා විජේවර්ධන මහත්මියට අයත් ගොඩනැඟිල්ලකයි. 
 
එය ශ්‍රි ලංකාවේ ඇති එකම පෞද්ගලික වෙරළ තීරය වන අතර පෞද්ගලික වෙරළ තීරයක් හිමි ඒකම තානාපති කාර්යාලය ද මෙය බව කියන්න කැමතියි. මෙම සමුද්‍රීය දර්ශනය ඔබගේ සතුටට හේතුවන බව මට විශ්වාසයි.
 
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මීට වසර 74කට පෙර ආරම්භ වූ බව තානාපතිනිය සිය කතාවේදි සඳහන් කළා. අප ලබන වසරේ 75 වන නිදහස් සංවත්සරය සමරන විට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ද 75 වසරක් සපිරෙනවා. එහෙත් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 
 
මීට වසර 200කට පමණ පෙර මිෂනාරිවරු යාපනයේ පාසල් විවෘත කිරීමට පැමිණියා. තවද ලංකාවේ මුලින්ම රෝහලක් පිහිටුවීම පිළිබඳව මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. එම රෝහල යුධ සමයේ දී යාපනයේ සිටි පිරිසට මහඟු සේවාවක් ඉටු කරනු ලැබුවා. එය ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයක් පමණක් නොවේ. කර්නල් ඕල්කොට්තුමා සිදු කළ සේවාව ගැන අපි සියලු දෙනාම දන්නවා. ඔහු ආරම්භ කළ පාසල වන ආනන්ද විද්‍යාලයෙන් පැමිණි බොහෝ පුතුන් මෙතැන මෙන්ම ලෝකය පුරාම විසිර සිටිනවා.
 
එක්සත් ජනපදයේ දායකත්වය හිමි වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හෝ ආගම සඳහා පමණක්ම නොවේ. ඔවුන් වෙළඳාමේ ද යෙදී සිටියා. ඇත්ත වශයෙන්ම අපේ මිනිරන්, පොස්ෆේට් වෙළඳාමේ එක් ප්‍රධාන ගැනුම්කරුවෙක් වූයේ එක්සත් ජනපදයයි. මේ සියල්ල ඉතිහාසයේ ලියවී තිබෙනවා. 
 
අපගේ සබඳතාවය හුදෙක්ම වෙළඳාම, අධ්‍යාපනය, ආගම පමණක්ම නොව එය හමුදා කටයුතු සම්බන්ධව ද අදාළ වෙනවා. 1942 වසරේ දී, එවකට අද්මිරාල් මවුන්ට්බැට්න් සාමිවරයා යටතේ මෙරට නුවර ප්‍රදේශයේ සිටි අග්නිදිග ආසියානු බල ඇණියේ නියෝජ්‍ය අණ දෙන නිලධාරීන් වූයේ ජෝසප් සිල්වන් හා වනීගර් ජෝ ය. ඔවුන් ඉන්දියාවේ, බුරුමයේ සහ චීනයේ සිටි චීන භට සේනා පාලනය කළා. අපේ මිලිටරි සබඳතා ආරම්භ වූයේ එලෙසයි. 
ඒ වගේම යුද්ධයෙන් පසු අපගේ ආර්ථික සබඳතා මෙන්ම පළමු මුදල් නීතිය සකස් කිරීමට සහ මහ බැංකුව පිහිටුවීමට අපි ජෝ නික්සන්ගේ සහාය ලබා ගත් අතර ඒය විශිෂ්ට  නීති සම්පාදන කෙටුම්පතක් බවට පත්ව තිබෙනවා. 
 
විශේෂයෙන්ම, 1951 වසරේ දී, එවකට රාජ්‍ය ලේකම්වරයාට අපේ නියෝජිතයන් මත විශ්වාසය තැබීමට සිදු වූ අතර, සමහර ආසියාතිකයන් පසුබා යද්දී, මුදල් අමාත්‍යවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා ජපාන සාම ගිවිසුමට සහාය පළ කරමින් දේශනයක් සිදු කිරීමත් සමඟ මෙම දේශපාලන සන්ධානය ගොඩ නැඟුනා. එබැවින් සැලකිය යුතු කාලයන්හිදී ද අප  ඔබ වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. එබැවින් අවශ්‍යතාවේදී රැඳෙන මෙම සබඳතා සැබෑ මිත්‍ර සබඳතාවක්.
 
1977 ජේ.අර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට මා පත්වූ අවස්ථාවේ දී, අගමැති ලී ක්වාන් යූ සහ අගමැති මැල්කම් ෆ්රෙසර් සහ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමඟ ජනාධිපති රෝනලඩ් රේගන්, අගමැති මාග්‍රට් ත්‍රැචර්, අගමැති නකසොන් ඇතුලු සියළුම දෙනා අපට කලාපීය  සහයෝගිතාව වර්ධනයට සහයෝගය ලබා දුන්නා. 
 
1993 වර්ෂයේ දී, මම ඇමෙරිකාවට ගියේ, අන්තර්ජාලය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගිවිසුමකට එළඹීමට. ඒ වෙනුවෙන් උප ජනාධිපති ඇල් ගෝර් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. එදා මම එහි ගොස් එයට අත්සන් නොතැබුවා නම් කුමක් සිදුවේ දැයි හිතන්න. එය ද දීර්ඝ කාලීන මිත්‍රත්වයක ප්‍රතිඵලයක්.
 
2001 වර්ෂයේ දී මම අගමැතිවරයාව සිටිය දී ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් ලබා දුන් සහාය මෙහිදී නිසැකවම සඳහන් කළ යුතු යි.  සාම සාකච්ඡා පැවැත්වීමට සහ එල්.ටී.ටී.ඊ සංවිධානය පාලනය කිරීමට සහ සුනාමි ව්‍යසනය හේතුවෙන් අප විපතට පත් වූ අවස්ථාවේ දී ඔහු ලබා දුන් විශේෂ දායකත්වය මම මෙහිදී සිහිපත් කරනවා. 
 
ඔහුගේ පියා වන ජනාධිපති ජෝර්ජ්  බුෂ් සහ ජනාධිපති ක්ලින්ටන් අපට සහාය දැක්වීමට ශ්‍රී ලංකාවට පැමිණියා. එය දිගු කාලයක් පැවති මිත්‍රත්වයක් වන අතරම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රතිසංස්කරණය කිරීමේ දී සහ නීතියේ ආධිපත්‍ය මෙන්ම අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස තහවුරු කිරීමේ දී මා අගමැතිවරයා වශයෙන් සිටියදී එක්සත් ජනපදයේ සහය නැවතත් මා හට හිමි වුණා.
 
2017 වසරේ දී ජනාධිපති බයිඩ්න් සෙනෙට් සභිකයෙකුව සිටිය දී මට පෞද්ගලිකව මුණගැසීමට හැකි වූ අතර ඔහුගේ සුවිශේෂී කතාවකට සවන්දීමට ද මට හැකි වුණා. මෙය පටන්ගැන්මක් පමණයි. අවසානය නොවේ. 
 
කෙසේ වුවත්, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී අපට සහාය ලබා දීම සම්බන්ධයෙන් බයිඩ්න් ජනාධිපතිවරයාට මම ස්තූතිය පළ කළ යුතු යි. අපි එය බෙහෙවින්ම අගය කරනවා, ඔබගේ සහාය නොමැතිව අපට සාර්ථක මහ කන්නයක් ලැබෙන්නේ නැහැ. 
 
අද විවෘත කරන ගෙඩනැඟිල්ල අර්ථවත් කරන්නේ එක්තරා ආකාරයකින් අප සියල්ලන්ම එකට බැඳ තබන ගඩොල් සහ බදාමයෙන් සැදි මිනිස් සබඳතාවයි. ඒමෙන්ම මේ නව ගොඩනැගිල්ල එක්තරා ආකාරයකින් සබඳතා වර්ධනය විය යුතු නව යුගයක සංකේතයක්.  ඉන්දියන් සාගර කලාපය වැඩි අවධානයට ලක් වන විට, ලෝකයත් ඒ සමඟම වෙනස් වෙනවා.
 
 භු දේශපාලනය කෙතරම් වේගයෙන් වෙනස් වනවා ද යන්න අප පසුගිය අවුරුද්දේ සිට අත් දකින අතර, ඒ අනුව අපගේ නව සබඳතා පවත්වාගෙන යෑමට සිදු වනවා. අප දිගු කාලයක් එක්ව වැඩ කර තිබෙනවා. එකිනෙකාට ගරු කරමින් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා එකිනෙකාට සමීපව ක්‍රියා කළ යුතු බව මම විශ්වාස කරනවා.
 
කොළඹ නගර මධ්‍යයේ මුහුදු තීරයට සමගාමීව පැරණි තානාපති කර්යාලය පිහිටා තිබු ස්ථානයම වඩාත් පුළුල් කර නව ගොඩනැඟිල්ල ඉදි කර තිබෙන අතර  කතානායක මහින්ද යාපා අබේවර්ධන,  ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලී චංග්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් ජනාධිපතිවරයා සමග ගොඩනැඟිල්ල විවෘත කිරිමට එක් වූහ.
View the embedded image gallery online at:
http://newstube.lk/news?start=4266#sigProId7bb33ecd65

ඉදිරි දින කිහිපයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක්.....!

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතන බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරයි.

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පිටි කිලෝවක මිල : පාන් ගෙඩියේ මිලට කිට්ටුයි !

තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක තොග මිල රුපියල් 250 සීමාව තුළ පවත්වාගෙන යාහැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසන්නේ එළඹෙන උත්සව සමය අවසන්වන තෙක් වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල එම මට්ටමේ තබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසට ද එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටී.

වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල ඊයේ (28) වනවිට රුපියල් 250 දක්වා අඩුවී ඇත.

දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි ආනයනය සඳහා වෙළෙඳ අමාත්‍යාංශය අවසර ලබාදීම මෙලෙස තිරිඟු පිටි මිල පහළයාමට හේතුවී ඇත.

සජිත්ගේ නායකත්වයෙන් වන නොවැම්බර් 02 විරෝධයට PCR ගේ සහය !

නොවැම්බර් 02 වෙනිදා සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රධානත්වයෙන් සහ අරගල පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් කියන පාර්ශ්ව කිහිපයක් මුල්වී සිදුකරන ක විරෝධතාවය සඳහා 43 සේනාංකයේ පූර්ණ සහාය පල කළ බව වාර්තා වෙයි .

එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ පවසා ඇත .

“දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු හැටියට ඉන්න වසන්ත මුදලිගේ තරුණයත්, සිරිධම්ම ස්වාමීන් වහන්සේත් රඳවගෙන ඉන්නවා දින 90 කට වැඩි කාලයක්. තවත් විශාල පිරිස් වලට අඛණ්ඩ පොලිස් මර්දනයක් දියත් කරලා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් තියෙනවා. එම කරුණුවලට විරුද්ධත්වය පළකිරීමට තමයි මේ සිදුකිරීමට යන්නේ. අපේ සහයෝගය ඒ සඳහා ලැබෙනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට නොවැම්බර් 02 විරෝධතාවයේ සියලු බරපැණ දරන්න පොරොන්දු වී ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගේ දේශපාලන ව්‍යාපෘතිය සඳහා දැනුවත් ලෙස චම්පික රණවක මන්ත්‍රීවරයා ද මේ හරහා එක්ව ඇති බවයි.

නොවැම්බර් 02 විරෝධයේ දේශපාලන නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගැනීමට පසුගිය දිනක පැවති සාකච්ඡාවක් අවස්ථාවේ අවධානය යොමුවූ බවත් විචාරකයන් සිහිපත් කරයි.

කෙසේ වුවත් මේ වන විට චම්පික රණවක මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් , එය කෙසේ හෝ ලබාගෙන ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සකසා ගැනීමේ අපේක්ෂාව ඇතුව මේ ආකාරයට හැසිරෙන බව තේරුම් ගතහැකි බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී ඇත .

Page 238 of 442