V2025

පුවත්

ශෂීගෙන් අභියාචනයක් !

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (27) වසර 02 ක සිර දඬුවමක් නියම කළේය.

සිර දඬුවමට අමතරව ඇයට රුපියල් ලක්ෂයක දඩයක්ඩ්ද නියම කෙරුණු අතර දඩය නොගෙවන්නේ නම් ඇයට තවත් මාස 6 ක සිර දඬුවමක් ද කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියම කරනු ලැබීය.

විත්තිකාරියට එරෙහි නඟා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශකරමින් සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ටත් වැඩ වරදියි !

එසේම මෙම කටයුතු වලට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියොග කරනු ලැබීය.

ඇමති බිරිඳක් ලෙස නිල බලය පාවිච්චි කරමින් මෙම ගමන් බලපත්‍රය ලබාගැනීමට විත්තිකාරියකටයුතු කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී කියා සිටියේය.

එක් දින සේවාව යටතේ මෙම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර තිබුණද විත්තිකාරිය එම කවුළුව හෝ නොගොස් වක්‍ර මාර්ගයෙන් ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට මෙම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ලබාදීම මැයි 13 වැනිදාට යෙදී තිබුනත් එය තුන්වන දිනටත් කල් තැබුණේ එම නඩුවේ තීන්දුව ලබාදීම මැයි 27 වැනිදා දක්වා කල්දමමිනි.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධව ආගමන හා විගාමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැ යි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ 2015 ජනවාරි 23 වැනිදා යි.

ශෂීගෙන් අභියාචනයක් !

කෙසේ වුවත් වරදකාරිය වී සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් නියම කිරීමෙන් පැය කිහිපයකට පසු, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළාය.

අභියාචනය කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා ඇගේ නීතිඥවරුන් මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දී තිබේ.

ශෂී වීරවංශ අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ අදාළ චෝදනාවෙන් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසටයි.

දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඇය ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වැනිදා සලකා බැලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 27) තීරණය කරනු ලැබීය.

එම නිසා ඇයව එතෙක් බන්ධනාගාර කෙරෙණු ඇත.

 

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට : අගමැති තීරණයක් ගෙන නෑ !

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව වාර්තා වෙයි .

ඒ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය තහවුරු කර ඇත .

ඉදිරි අතරු සහන අයවැය මගින් සිදුකිරීමට නියමිත වන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අමාත්‍යාං හැර අනෙක් සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර ඒවා සහන ලෙස ජනතාවට ලබාදීම බවත් එහි සඳහන් ය.

 

 

ලංකාව ගොඩදාන්න : ඉන්දිය ජපන් ආධාර තවදුරටත් !

අර්බුදකාරී ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඇති බව ජපාන රජය ප්‍රකාශ කළ බව හින්දු පුවත්පත පවසයි .

ඒ අගමැති නරේන්ද්‍ර මෝදි සහ ෆුමියෝ කිෂිඩා අතර පසුගියදා ටෝකියෝ නුවර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෝදි සහ කිෂිඩා අග්‍රාමාත්‍යවරුන් මැයි 24 දින Quad සමුළුවට සමගාමීව හමු වූ අතර ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාවයට අමතරව 'නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික්' සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා “සමීප සහයෝගීතාව” පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත .

පිරිසිදු බලශක්ති, සහ ආයෝජන පිළිබඳ රැස්වීමෙන් පසුව නායකයින් දෙදනා “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව තහවුරු කළ බවට ජපාන විදේශ අමාත්‍යාංශය පවසයි .

තවද, ඔවුන් "ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව කලාපයට සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන ඇතුළත් රාමුවක් ඇති කිරීම සහ සංවර්ධනය සඳහා එකට වැඩ කිරීම යන කරුණු පිළිබඳ ද සාකච්ඡා කර තිබෙන බවත් වාර්තා වෙයි .

මෑත ගෝලීය සහ කලාපීය වර්ධනයන් පිළිබඳව නායකයින් දෙදෙනා අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා .

ඔවුන් ඉන්දු-පැසිෆික් කලාපයට අදාළ ප්‍රවේශයන් තුළ ඇති අභිසාරී බව සටහන් කළ අතර නිදහස්, විවෘත සහ ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වූ ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කර ඇත .

අඩ සියවසකට වැඩි කාලයක් ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිත්‍යාගශීලි සහ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ප්‍රමුඛතමයෙකි.

නමුත් එහි ප්‍රදාන සහ ආයෝජන චීනයෙන් හෝ ඉන්දියාවෙන් ලැබෙන ඒවාට සාපේක්ෂව අඩු අවධානයක් ලබා ඇත.

ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ජපානය නිවේදනය වැදගත්කමක් උපකල්පනය කරයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවෙන් කලකට පසු, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන ක්වාඩ් සාමාජිකයින් විදේශ ආධාර සමුහයක් පිහිටුවීමේ මූලිකත්වය ගනු ඇත.

ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට හසුව ඇත. මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දියාව ඩොලර් බිලියන 3.5 ක පමණ ආධාර ලබා දී ඇති අතර එ අත්‍යවශ්‍ය ආනයන සඳහා ණය කල් දැමීම් සහ ණය මාර්ග මගින්. ජපානයේ මැදිහත්වීම සමඟ කොළඹ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ඉවත් කර තිබියදීත් ජපානයේ යලි අධාර කිරිම ට මුලපිරීම පැමිණේම විශෙශ්ත්වයකි.

2020 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් බිලියන 1.5 ක ජපන් අරමුදල් සහිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් අවසන් කිරීමට නියෝග කළේ එය " ඵලදායි විසඳුමක්" නොවන බව පවසමින් ය.

2021 මුල් භාගයේදී, සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් ඇති කරමින්, උපාය මාර්ගිකව පිහිටා ඇති කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ත්‍රෛපාර්ශ්වික ව්‍යාපෘතියකින් ශ්‍රී ලංකාව ජපානය සහ ඉන්දියාව ඉවත් කළේය. පසුව එම වරායේම තවත් පර්යන්තයක් සංවර්ධනය කිරීමට ඉන්දියාවේ අදානි සමූහය සම්බන්ධ විය.

සිරිකොත ගෙවතු වගාවකට !

රට පුරා වගා කළ හැකි හිස් ඉඩම් හඳුනා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වෙයි .

ඒ ඔවුන් සමග රට තුළ ඇතිවෙමින් තිබෙන ආහාර හිඟය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ය.

එ.ජා.ප.යට අයත් ඉඩම් ගේ වතු වගා සඳහා පරිහරණයට තමන් විසින් ලබාදෙන බවද එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එජාප පක්ෂ මූලස්ථානය වන සිරිකොත වගා කටයුතු ලබා දෙනු ඇත.

ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයේ බලපෑම අවම කර ගැනීමට හැකි වන පරිදි රටේ සියලුම හිස් ඉඩම් ආහාර වගා කිරීමට යොදා ගත හැකි බවට මෙය උදාහරණයක් ලෙස ගත හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කර ඇත .

සජබ නියෝජ්‍ය නායක චම්පික !

සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාථලිි චම්පික රණවක පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ,මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් අද (27) පැවත් වෙමින් තිබෙන බවත් වාර්තා වෙයි .

මෙම සාකච්ඡා සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මූලිකත්වය ගෙන ඇති බවත් සඳහන් ය.

සමගි ජනබලවේගය පක්ෂයේ ආරම්භක අවස්ථාවේ එහි නියෝජ්‍ය නායක ධූරය චම්පික රණවක වෙත ලැබෙණු ඇති බවට රාවයක් පැවතිණ.

එහිදී චම්පික රණවක මන්ත්‍රීවරයා හෙළ උරුමය පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකත්වය පවා ලබාගෙන තිබිණ .

නමුත් සජබ ව්‍යවස්ථාව එළිදක්වන අවස්ථාවේ හෝ පළමු සමුළුව අවස්ථාවේ එවැන්නක් සිදුවුයේ නැත. ඒ හේතුවෙන් චම්පික රණවක සහ සජිත් ප්‍රේමදාස අතර එකිනෙකාගේ මුහුණවත් නොබලන තත්ත්වයක් ඇතිවූ බවත් ප්‍රසිද්ධ රහසකි.ල්

කෙසේ වුවත් මෙවර නියෝජ්‍ය නායක ධූරය අලුතින් ඇතිකර, ඊට චම්පික රණවක මන්ත්‍රීවරයා ඊට පත් කිරීම සජබ තීරණය කර තිබේ.

වාර්තා වන ආකාරයට මේ තීරණය ගෙන තිබෙන්නේ , සජබ මන්ත්‍රීවරුන් වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය දක්වා ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාර ගැනීම නිසා ඇතිවූ රික්තය පිරවීම සඳහා යි.

එමෙන්ම හරින් හා මනුෂ මන්ත්‍රීවරුන් අනුගමනය කරමින් ආණ්ඩුව එක් විමට නියමිත සජබේ අනිකුත් මන්ත්‍රීවරුන් ට මානසික ප්‍රහාරයක් එල්ල කිරීම ද මෙහි අරමුණවී තිබෙන බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් චම්පික රණවක පාර්ශ්වයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ , නියෝජ්‍ය නායක ධූරය වෙනුවෙන් ආරාධනයක් ලැබෙනු ඇති බවට හාහොවක් යන නමුත් මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

රාසා සහ සුමන්තිරන් බැසිල්ගේ ප්‍රොජෙක්ට් එකක : පෙනුම රනිල් - ඉලක්කය 21 !

21 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරගැනීමේ තීරණාත්මක අවස්ථාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර ශානක්‍යයන් රාසමාණික්කම් යොදවා සිදුකරන ප්‍රහාරය පිටුපස බැසිල් රාජපක්ෂ ගේ අවතාරය ඇතිද යන සැකය දේශපාලන විචාරකයන් මතුකරයි.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මේ මොහොත වන විට දේශපාලනඥයකු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු වන දයා ගමගේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වීම සහ ඔහු ගනුලැබූ මහජන බැංකුවේ ණය මුදලක් උපයෝගී කරගෙන ශානක්‍යයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා දිගින් දිගටම එකී ණය ප්‍රශ්නය පවා අවුල් වියවුල් කර ජනතාව නොමග යවන තැනකට යොමුකරමින් සිටින බවය.

මේ මොහොතේ ද්‍රවිඩ ජාතික සන්ධානය සැලකීමේදී මේ දේශපාලන ව්‍යාපෘතියේ නිරතව සිටින්නේ , මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ මඩකලපුව ශ්‍රීලනිප සංවිධායකයකු වූ ශානක්‍යයන් රාසමාණික්කම් සහ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පමණක් බවත් , දේශපාලන විචාරකයන් නිරීක්ෂණය කර ඇත .

ඒ අනුව ඔවුන් පවසන්නේ මේ දෙදෙනාම පෞද්ගලික දේශපාලන ව්‍යාපෘතියක් ලෙස සර්ව පාක්ෂික රජුන් තැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ වත්මන් භූමිකාව අර්බුදයට පත්කිරීමේ උත්සාහයක නිරතව සිටින බවය.

අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීම සහ ලංකා ඉතිහාසයේ පෙර නොවූවිරූ ආර්ථික අර්බුදයක් මතුව ඇති අවස්ථාවක එයින් රට මුදවා ගැනීමට , මුදල් අමාත්‍ය ධූරය ලබා රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහය සහ දයා ගමගේ ගේ ණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

විශේෂයෙන් දයා ගමගේ විසින් මහජන බැංකුව වෙතින් ලබාගෙන ඇති රුපියල් බිලියන 3 ක් හෝ ඊට ආසන්න ණය මුදල කිසිම ආකාරයකට බොල් ණයක් කර නොමැති බව බැංකුවේ සභාපති ලිඛිතව දැනුම් දී ඇති පසුබිමේ ඒ වෙනුවෙන් යොමුකළ ලිපිය පවා විකෘති කර ශානක්‍යයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා දක්වන අදහස් ජනතාව නොමග යැවීමක් මිස අනෙකක් නොවන බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මහජන බැංකුවේ සභාපති විසින් ශානක්‍යයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි !

IMG 20220526 WA0001

අදාළ ලිපියේ ඉතාම පැහැදිලිව අදාළ ණය මුදල් අයකර ගැනීමට අදාළ කටයුතු සිදුවෙමින් ඇති බවත් , එවැනි පසුබිමේ බැසිල් රාජපක්ෂ හරහා මනාප වැඩිකර ගෙන මන්ත්‍රී ධූර ලැබූ ඇතමුන් ඒ ණය ගෙවීම වෙනුවෙන් අවස්ථාවාදී ලෙස හැසිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

ඔවුන් පවසන්නේ යම් අයෙකු ව්‍යාපාරිකයකු ලෙස ණය ගැනීම සහ එය පියවීමට නොහැකි වීම පවා ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයාට ආණ්ඩුවේ තනතුරක් ලැබීමට ලිබරල් කතිකාව තුළ අවස්ථාවක් නොමැති වැනි අදහසක් දැක්වීම අතාර්කික දෙයක් බවයි.

එබැවින් මේ මොහොතේ අවශ්‍ය වන්නේ , ගෝඨාගෝගම සහ ඩීල්ගෝගම ක්‍රියාකාරීන් සමග මුසුව ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳීමට කටයුතු කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ එකවිට ක්‍රියාවට නැංවීමට බලකිරීම බවත් දේශපාලන විචාරකයන් ගේ මතය වී තිබේ.

එවැනි පසුබිමක 21 වන සංශෝධනය ආපසු හැරවීමට දත නියවන සහ 21 හමුවේ භීතියට පත්ව සිටින බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ දේශපාලන ව්‍යාපෘතියට සහය දක්වන ශානක්‍යයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා සහ ඔහුගේ දේශපාලන ගුරු ලෙස පෙනීසිටින එම්. සුමන්තිරන් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිට කටයුතු කළ යුතු බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මහ බැංකුවට කාය වර්ධන උපදේශකයෙක් : රනිල්ගේ අණින් නවතී !

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙකු බඳවා ගැනීම වහා නතර කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දන්වා ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (26) මේ දැනුම්දීම සිදුකර ඇත .

කායවර්ධන උපදේශකවරයෙකු බඳවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලුම් පත් කැඳවා තිබුණි.

ජනතාව දැඩිව පීඩා විඳින මේ වැනි මොහොතක ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙකු පත්කර ගැනීම කිසිදු ආකාරයකින් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

21 ගැන අගමැතිට අවවාදාත්මක දැනුම්දීමක් !

21වෙනි සංශෝධනය කඩිනමින් යථාර්තයක් කිරීම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පළමු වගකීම බව'මහජන සභාව' අවධාරණය කරයි.

'මහජන සභාව' කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් එම කාරණය අවධාරණය කර ඇත්තේ, සෞඛ්‍ය සේවයේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වන රවී කුමුදේශ් විසිනි.

එහිදී "21වෙනි සංශෝධනය ඉදිරිපත් කරන දිනයේ ඊට සහය නොදෙන කිසිවකුට නැවත ඒ පුටුවල ඉදගැනීමට හෝ අත් එසවීමට මේ රටේ මහ ජනතාව ඉඩදෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා " යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය.

සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එම කාරණය තවදුරටත් මෙසේ සංක්ෂිප්තව පැහැදිලි කර සිටියේ ය.

️විසි එක්වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ මොනවාද කියලා රජය හෝ අගමැතිවරයා ප්‍රකාශයට පත් කරන තුරු, මහ ජනතාව විදිහට අපිට 21 කියන්නේ නොම්මරයක් විතරයි.

️21ක ගැන මහජතාවට නිවැරදි අවබෝධයක් ලබා දෙන එකත්, එය අනුමත කර ගන්නා වැඩපිළිවෙල, සහයෝගය ලබා ගැනීමේ ක්‍රම වේදය සහ එය යථාර්ථයක් බවට පත් කරන කාල රාමුව පිළිබදව වහාම රට දැනුවත් කල යුතුයි.

️21වෙනි සංශෝධනය ගේන දවසට අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේතුවට අපි යවපු අත් 225ම ඉහලට එසවෙයි කියලා. එහෙම නැති අයට නැවත ඒ පුටුවල ඉදගන්න හෝ අත් උස්සන්න මේ රටේ මහ ජනතාව ඉඩදෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.

ප්‍රශ්නය ණය ගැනීම නොව ගත් ණය භාවිතා කළ ආකාරයයි - මහ බැංකු අධිපති

රට දැන් තිබෙන තත්වයට වැටීමට මූලික හේතුව ලෙස තමා දකින්නේ ණය ගැනීම නොව, එසේ ලබාගත් ණය වියදම් කර ඇති ආකාරය බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ඕනෑම රටක් ණය ගැනීම වැරැද්දක් නොවන බවත්, ණය නොගෙන රටක් දියුණු කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. රජයට ණය අවශ්‍ය වූ විට ඒ සඳහා රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව පහසුකම් සලසන නමුත්, එසේ ලබාගන්නා ණය භාවිතා කරන්නේ කුමන දෑ සඳහා දැයි තීරණය කරන්නේ ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව බව ඔහු පෙන්වා දෙයි.

ආයෝජකයින් යම් රටකට ණය ලබා දෙන්නේ, එම ණය රටේ ආණ්ඩුව විසින් පොදු ආයෝජන සඳහා යොදවයි යන අපේක්ෂාව ඇතුව බවත්, එසේ යෙදවූ විට රටේ ආර්ථිකය දියුණු වී, රටේ ණය නැවත ගෙවීමේ හැකියාව වැඩි වේය යන පදනම මත බවත් ඔහු පැහැදිලි කර ඇත .

කෙසේ නමුත් මෙරට තුළ විශාල අයවැය හිඟයක් තිබෙන හෙයින්, ණයක් ලැබූ විගස එය එදිනෙදා වියදම් සඳහා යෙදවී ඇති බවත් ආයෝජන සඳහා යම් කොටසක් යෙදවී තිබුණත් එම ආයෝජන හරහා කෙතරම් ප්‍රතිලාභයක් රටට ලැබී තිබේද නැතිද යන වග, රට දැන් වැටී තිබෙන තත්වයට මූලික හේතුව ලෙස තමා දකින බව මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත.

පෝලිම්වල ඉන්න එපා ලිට්‍රෝ දන්වයි : ලබන සතියේ එනවා ලාෆ් දන්වයි !

ගෑස් බෙදාහැරීමේ කටයුතු ප්‍රමාද වන නිසා හෙට ( 27) සහ අනිද්දා ( 28) දිනවල ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දී ඇත.

එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ , අද (26) මෙරටට පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් රැගත් නෞකා දෙක පැමිණීම දින දෙකකින් ප්‍රමාද වීම මීට හේතුවී ඇති බව ය.

ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ලිට්‍රෝ සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩර් බෙදා හැරීම අත්හිටුවූයේ මැයි 24 වන දා ය.

මැයි 23 වන දා ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් අඩංගු නෞකා දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබුණු අතර එම ගෑස් තොග අද ( 26) මෙරටට ලැබීමට නියමිතව තිබිණි.

ඒ අනුව, මැයි 26 වන දා එනම් අද සිට ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කරන බව එම සමාගම මීට පෙර පවසා තිබිණි.

මේ අතර, ඉදිරි දින 6 ඇතුළත දේශීය වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර සැපයීම ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසන්නේ ,තම සමාගමට අවශ්‍ය ණයවර ලිපි (LC) විවෘත කිරීමට මේ වන විට හැකි වී ඇති බව ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ලාෆ්ස් ගෑස් සමාගමට දේශීය වෙළෙඳපොළට නැවත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට හැකි බව ඔහු පැවසීය.

21 සංශෝධන වළක්වන්න : බැසිල්ගේ ගෝලයන් බරටම වැඩ !

කුමන ව්‍යවස්ථා සංශෝධනයක් වුවද ගෙන එනු ලබන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ අර්බුදය විසඳා ආර්ථික ශක්තිමත් කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, The Morning පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවට ඇතුළුවීමට හෝ ජනාධිපති වීමට ඉඩ නොදීම සඳහා නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත් නොකළ යුතු බවද ඔහු පවසයි.

“නිශ්චිත පුද්ගලයෙක් පන්වන්න, ජනපති වීම වළක්වන්න ලෝකෙ මොන රටකවත් ව්‍යවස්ථා සංශෝධන කරන්නෙ නැහැ…” යැයිද ඔහු එහිදී පවසා ඇත.

21 වැනි සංශෝධනයට සහය දැක්වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජිත ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කර විශ්ලේෂණය කළ යුතුව ඇති බවද ඔහු එහිදී පවසා තිබේ.

රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සිය සහය ලබාදුන් බව ප්‍රකාශරන කළ ඔහු කියා සිටින්නේ ආර්ථික අර්බුදය තවමත් පවතින බවයි.

“පළමුව ආර්ථික අර්බුදය විසඳා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නිදහසේ පාරේ ගමන් කිරීමට සහ සිතීමට මානසික නිදහස ඇති පරිසරයක් නිර්මාණය කරන්න. එවිට අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා කළ හැකියි,” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය තීරණය වන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම හෝ රජයේ නිලතල දැරීම වළක්වන ප්‍රතිපාදන මතද යන්න පිළිබඳව කළ විමසීමකදී කාරියවසම් මන්ත්‍රීවරයා කියා සිටියේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්චිත පුද්ගලයකු ඉලක්ක කර නිර්මාණය නොකළ යුතු බවය.

“ලෝකයේ කිසිම රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නේ නැහැ කවුරුහරි පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න, එලවන්න, එහෙම නැත්නම් කෙනෙක් ජනාධිපති වෙන එක වළක්වන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කර තිබෙන්නේ රටේ අවශ්‍යතා අනුවයි,” යැයි ඔහු පවසයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීමටත් රාජ්‍ය නිලතල දැරීමටත් ඉඩ සලසන අතර, එය 2021 දී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට මග පෑදුවේය. යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම වගන්තිය ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ කමිටුවක් මගිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් 21 වැනි සංශෝධනයේ මූලාරම්භය සහ එය විදේශ බලවේගයේ න්‍යාය පත්‍රයකට සේවය කරන්නේද යන්න පිළිබඳව සැක පහළ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව තහවුරු නොකරණ මන්ත්‍රීවරයා, “අපි 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවසානයේ සහාය නොදක්වන බව කියන්නෙ නැහැ. අපට පළමුව අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීමට සාකච්ඡා කළ හැකි සුදුසු පරිසරයක්.“

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳුදා (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය ඊයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් වෙත යවා තිබේ.

Lanka truth

ප්‍රචණ්ඩ ක්‍රියා සහ හමුදාවේ වැඩ ගැන හොයන්න : හිටපු හමුදා ප්‍රධානීන් 3 ක කමිටුවක් !

මෙරට තුළ පසුගිය දින වල දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ එහිදී හමුදාව මැදිහත් කිරීමේ අඩුපාඩු සොයා බැලීම වෙනුවෙන් හිටපු හමුදාපතිවරුන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇත.

අදාළ කමිටුවේ සභාපති ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ පත්කර ඇත.

එහි අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වන්නේ හිටපු යුද හමුදාපතිවරයෙකු වන දයා රත්නායක සහ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන රොෂාන් ගුණතිලක ය.

වාර්තා වන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ආසන්නයේ ඇතිවූ කලහකාරි සිදුවීම ඇතුළුව ඉන් පසුව ඇති වු සිදුවීම් සම්බන්ධයෙන් එම කමිටුව විසින් සොයා බැලීමට නියමිතය.

හෙට දිනයේ සිට සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් කරුණු විමසීමට මෙම කමිටුව කටයුතු කරන බවත් දැනගන්නට ඇත .

දේශබන්ධු නිසා පොලිස්පතිට අධිකරණ නියෝගයක් !

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට බාධා වන බව සඳහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු කර යවන ලෙසට නිතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබ තිබියදීත් එම උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පොලිස්පති සී. ඩී’. වික්‍රමරත්න ට ඊයේ (25) නියම කර ඇත .

පොලිස් දෙපාර්තමේන්තුවේ සාක්ෂිකරුවන් එකී නිලධාරියා යටතේ සේවය කිරීම හේතුවෙන් ඔහු ස්ථාන මාරුකරන ලෙසට නිතිපතිවරයා ඉකුත් මැයි මස 23 වැනිදා ලබා දෙන ලද නිතිපති උපදෙස්වලින් පැහැදිලි වන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් එම තනතුරේ සිටීම මෙම විමර්ශනයට බාධාවක් බවට නිතිපතිවරයා පිළිගෙන ඇතැයි මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කර ඇත .

එසේ නම්, නිතිපති උපදෙස් ප්‍රකාරව එකී නිලධාරියා මෙතෙක් ස්ථාන මාරුකිරීමක් සිදු නොකළේ මන්දැයි යන්න සම්බන්ධයෙන් වහාම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ .

අපනයන ආර්ථිකයක් මත පදනම්ව ප්‍රතිපත්ති තීරණ ගත යුතුයි: අගමැති

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් පදනම් කරගනිමින් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පෙන්වා දෙයි.

දැන් රට මුහුණදෙන ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ අපනයන ප්‍රවර්ධනයින් පමණි.

අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ බැංකු ප්‍රධානින් හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරි කාලය තුළ දේශීය හා විදේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වෙයි.ඒ සදහා සූදානම් විය යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වත්මන් ලෝක අර්බුදය හමුවේ රටවල් හැත්තෑවක් පමණ දුෂ්කරතාවලට මුහුණ දී තිබේ. ශ්‍රී ලංකාව ඉන් පළමු පෙළ සිටින බවද වික්‍රමසිංහ මහතා කීවේය. ජාත්‍යන්තර පොලී අනුපාත ඉහළ යාමේ වැඩි අවදානමක් පවතී .ජාත්‍යන්තර වශයෙන් ආහාර මිල ගණන් ඉහලයාමේ අනතුරක් ද මේ මොහොතේ නිරීක්ෂණය වේ.මෙම තත්වය අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.මේ අවස්ථාවේදී නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඉදිරියට යාමෙන් රටට වන අහිතකර ප්‍රතිවිපාක සීමා කර ගැනීමට අවස්ථාව ඇති බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළඹෙන තෙක් මෙම ගැටලුවලට නිශ්චිත විසඳුම් ලබාදීම අසීරු බව මහ බැංකුව පෙන්වා දුන්නේය. මේ සඳහා තව කෙටි කාලයක් ගතවේ.

අත්‍යවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන සඳහා ණය ගෙවීම පමා කිරිමේ සහන ලබා දීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මහ බැංකු අධිපතිවරයා සහ දේශීය විදේශීය බැංකු ප්‍රධානීන් රැසක් ‍අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති මෙම සාකච්ඡාවට එක්වූහ.

ඇයි ශවේ යන්නේ ? මෙන්න හේතුව !

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ දේශපාලන අධිකාරියේ දැඩි බලපෑම නිසා බව වාර්තා වෙයි .

මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ ඔහු ඇතුලු යුද හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවට දේශපාලන අධිකාරිය විසින් ඔහුට චෝදනා කර ඇතැයිද සඳහන් වෙයි .

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , බරපතළ චෝදනාව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වෙත එල්ල කර ඇත්තේ රාජපක්ෂ පවුලෙන් ය. ඊට හේතුව මැයි 09 ප්‍රතිප්‍රහාරය අවස්ථාවේ හිටපු අගමැති කිහිපවතාවක් දුරකථන ඇමතුම් ලබාදී අරලිය ගහ මන්දිරය වටලෑම වලක්වන ලෙස ඉල්ලා ඇතත්, ක්ෂණික ක්‍රියාමාර්ග නොගැනීම බවත් දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් බරපතළ ආරෝවක පසුවෙන රාජපක්ෂ පවුල ජනාධිපති වෙත අවධාරණය කර ඇත්තේ , ඥාතිත්වය හෝ රැකගැනීම වෙනුවෙන් හමුදාපති නම් ඉවත් කිරීම අනිවාර්යයක් බවය.

කෙසේ වුවත් අවසාන මොහොතේ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බංකරයක් වෙත යාමට ලැබුණේ , හමුදා ඛණ්ඩ කිහිපයක් අරලිය ගහ මන්දිරයේ ආරක්ෂාව සඳහා පැමිණි නිසාය.

මේ අතර පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක හඬින් මේ වන විට හමුදාපති සහ පොලිස්පති ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හමුව ගාලගෝට්ටියක් වී ඇත්තේ ද ඒ නිසා බවත් දැනගන්නට ඇත .

එසේම අදාළ චෝදනා සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් නිකුත්කර ඇති බවත් එහිද හමුදාපති පිළිබඳ ප්‍රසාදයක් නැති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම රහස්‍ය වාර්තාව සැකසීමට සහභාගී ව ඇත්තේද හිටපු හමුදා ප්‍රධානීන් බවත් නමුත් ඔවුන් සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අතර කාලයක් තිස්සේ පැවති සීතල යුද්ධයක පුපුරා යාම බවත් සඳහන් ය.

කෙසේ වෙතත් ශවේන්ද්‍ර සිල්වා තව දුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇතැයිද සදහන්ය.

නව යුධහමුදාපතිවරයා ලෙස විකුම් ලියනගේ ජූනි 01 වැනිදා සිට පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය කියයි.

 

 

ගිනිගත් මැති ඇමති නිවෙස්වල තිබූ පොහොරවල : ජාතකය හොයයි !

මැයි 09 ප්‍රතිප්‍රහාරය අවස්ථාවේ දේශපාලඥයින් රැසකගේ නිවාස ගිනිබත් වූ අතර එහිදී ඔවුන්ගේ නිවාසවල තිබී යූරියා පොහොර මිටි විශාල වශයෙන් හමුවූ බවට ජනමාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවී තිබුණි.

ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත්කර තිබූ අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබිණ .

මෙම කාරණාව සම්බන්ධව ජනමාධ්‍යවේදීන් විසින් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසනු ලැබීය. ඊට පිළිතුරු දුන් ඇමතිවරයා එම දේශපාලඥයින්ගේ නිවාසවල තිබී හමු වූ යූරියා පොහොර තොග සම්බන්ධව වහාම විමර්ශනයක් කිරීමට කටයුතු යොදන බව සඳහන් කළේය.

විශේෂයෙන් මෙම රසායනික පොහොර ගොවීන් හට සහනාධාර වශයෙන් ලබාදී තිබූ පොහොර ද, එසේ නොමැතිනම් වර්තමානයේ පවතින මිල ගණන් යටතේ ඔවුන් විසින් පෞද්ගලික වෙළඳුන්ගෙන් මිලදී ගත් පොහොර ද, එසේත් නොමැතිනම් පොහොර ලේකම් කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද පොහොර තොග ද යන්න සම්බන්ධව පැහැදිලි වාර්තාවක් තමන්ට භාරදෙන ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම ගොවීන්ට ඔවුන්ගේ වගා‍වන් සඳහා රසායනික පොහොර නොමැති අවස්ථාවක ඇතැම් දේශපාලඥයින් ඔවුන්ගේ නිවාසවල පොහොර ගබඩා කර තිබීම සම්බන්ධයෙන් තමන් ද විමතියට පත්වූ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වුවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වාර්තා ලැබීමෙන් පසුව එම ගිනිගත් නිවාසවල තිබී හමුවූ පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

– මාධ්‍ය ඒකකය

සනත් නිශාන්ත, මිලාන්, ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම සාමාකාමී විරෝධතා දෙකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.

නන්දලාල් වෙනුවට කුමාරස්වාමි ?

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය රඳා පවතින්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය මත බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි .

දැනට පවතින ආහාර, ඖෂධ, ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයට ඉන්දියාවේ සහය ලබා දීම තුළින් ඒ බව ඔප්පු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස පත් කිරීම සාදරයෙන් පිළිගන්නා ජාත්‍යන්තර ප්‍රජාව ඔහු කෙරෙහි ඇති විශ්වසනීයත්වය සහ සහයෝගය මේ වන විට පිලිඹුල් වෙමින් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් වන ආකාරයට නව පරිපාලනය විසින් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට උපකාර කළ හැකි ශ්‍රී ලංකාව තුළ සිටින අනෙකුත් ප්‍රධාන පුද්ගලයින්ගේ සහාය ලබාගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග දැනටමත් තහවුරු කර ඇත.

එ අතරින් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එක් ගෞරවනීය පුද්ගලයෙකි.

IMF සමඟ සාකච්ඡා සඳහා රජයට සහාය වීම සඳහා පැවරී ඇති උපදේශක කමිටුවකට හිටපු මහා බැංකු අධිපතිවරයා මෑතකදී පත් කරන ලදී.

ආචාර්ය කුමාරස්වාමි යළි මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට නව පරිපාලනය කටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග මේ වන විට තහවුරු කර තිබේ.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයට සහය වීමට උපරිම උත්සාහයක් ගත්තද, නව පාලනයට වැඩි විශ්වසනීයත්වයක් සහ ස්ථාවරත්වයක් ගෙන එන්නේ ආචාර්ය කුමාරස්වාමි බව රජය සහ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයින් පෙන්වා දී ඇත.

පසුගිය රාජපක්ෂ රජය විකල්පයක් සෙවීමට අපොහොසත් වීමත් සමඟ මහා බැංකු අධිපතිවරයා ලෙස පත් වුආචාර්ය වීරසිංහ දැන් පෙන්වා දී ඇත්තේ තමන් ආචාර්ය කුමාරස්වාමි වෙනුවෙන් ඉවත් වීමට කැමති නැති බවයි.

මහා බැංකු අධිපතිධුරයෙන් ඉවත් කිරීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ සමීප හිතවතුන්ගේ සහය ලබාගෙන අචාර්ය නන්දලාල් විරසිංහ ලබාගෙන ඇති බව ආරංචිමාර්ග පවසයි .

Page 239 of 377