V2025

පුවත්

කොළඹ වානිජ මහාධිකරණ පිස්කල්ගේ වැඩ තහනම් !

කොළඹ වානිජ මහාධිකරණ පිස්කල්වරයා වැඩ තහන්ම් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

ඒ රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබා ගැනීමේ සිද්දියට අදල චෝදනාවට ලක්ව ඇති නිසා බවත් දැනගන්නට ඇත .

මෙම සිද්ධිය අදාල චෝදනා ලබා ඇති නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීමට සුදුසු බව දන්වමින් අගවිනිසුරුවරයා වෙත ද ලිඛිතව දන්වා යැවීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේක්ම නීතිඥ දසුන් නාගස්හේන මාධ්‍ය වෙත පවසා ඇති බවත් වාර්තා වෙයි .

සමෘද්ධි ජගත්ට ජනපතිගෙන් දෝස්මුරයක් !

ඊයේ (06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර බලවත් අපහසුතාවට පත්වූ පුවතක් සම්බන්ධයෙන් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඊට අනුව රුසියානු ගුවන් යානය රඳවා තබාගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දැනුවත් නොකළ බව පවසමින් විවේචනය කර ඇත .

මෙහිදී මන්ත්‍රීවරයා ගේ කතාව ස්වල්ප වේලාවක් අසාසිටි ජනාධිපතිවරයා නොදන්නා දේ ගැන කතා නොකර ඉන්න කියා, ජගත් කුමාර මන්ත්‍රීවරයා ට දැඩිව දොස් පැවරූ බවත් වාර්තා වෙයි .

එහි සිටි ඇතැම් මැති ඇමතිවරුන් ද ජගත් කුමාර මන්ත්‍රීවරයා ගේ අදහස් දැක්වීම ගැන අප්‍රසාදය පළකර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

අවසානයේ දෙබසින් බැනුම් වැඩිවීම තේරුම් ගත් මන්ත්‍රීවරයා බිම බලාගත් බවත් සඳහන් වෙයි.

සුබ පුවතක් : විදුලි කප්පාදුව අඩුවෙයි !

මෙතෙක් පැය තුනහමාරක් ක්‍රියාත්මක කෙරුණු විදුලිය කප්පාදුව පැය දෙකයි විනාඩි පහළොවක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන්දියානු ණය ක්‍රමය යටතේ තවත් ඩොලර් මිලියන 500ක් සඳහා අනුමැතිය ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කංචන විජේසේකර මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

අපිට ජූනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 557ක් අවශ්‍ය බව ගණන් හදලා තිබෙනවා. පසුගිය මාස තුනක කාලයට ඉන්ධන සපයා ගැනීමේදී ඉන්දියානු ණය ආධාර යටතේ කටයුතු කළා. මේ මාසය සඳහාත් ඉන්දියානු ණය ක්‍රමයේ ඉතිරි මුදල්වලට අපට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේදී නැවත වතාවක් ඉන්දියානු ණය ක්‍රමයක් යටතේ තවත් ඩොලර් මිලියන 500ක් සඳහා අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ අනුමැතිය අනුව ඔවුන්ගෙන් ලැබෙන උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

රටේ කතාබහක් ඇති වෙලා තිබෙනවා ඉන්ධන සංචිත සහ ඉන්ධන ප්‍රමාණයන් නිකුත් කිරීම පිළිබඳව. පසුගිය මාර්තු මාසයේ සිට විශ්ලේෂණයක් කළාම බලශක්ති අමාත්‍යාංශයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ අවශ්‍යතා වෙනුවෙන් නිකුත් කරන තෙල් පිළිබඳව අපිට බරපතල ගැටලුවක් පවතිනවා. පසුගිය වර්ෂවලට සාපේක්ෂව පසුගිය අප්‍රේල්, මැයි යන මාස දෙකේ විශාල වශයෙන් ඉන්ධන තොග පාවිච්චියට ගෙන තිබෙනවා. අද වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 5400ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3400 ප්‍රමාණයක් තමයි . නමුත් රටේ පවතින සංචිත සහ ලැබෙන්න තිබෙන සංචිත සමග කළමණාකරණය කළ යුතු නිසා අපි ප්‍රමුඛතාවය දීලා තිබෙනවා විදුලිබල මණ්ඩලය, ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගමනාගමන මණ්ඩලයට. පෞද්ගලින බස් රථ සඳහා ඉන්ධන ලබාදීමටත් ඒ වගේම වරාය සහ ආර්ථික මර්මස්ථාන වෙනුවෙන් ඉන්ධන ලබා දීමටත් ප්‍රමුඛතාවයක් ලබා දීලා තිබෙනවා.

ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුඛතා ගත ක්‍රමයක් යටතේ කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. අපි වැඩපිළිවෙලක් සකස් කරමින් සිටිනවා. සී.ටී.බී බස් රථ සඳහා ඉන්ධන වැඩි ප්‍රමාණයක් ලබා දීම සඳහා.. ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයේ තිබෙන බස්රථ සියල්ලටම ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න. ඒ වගේම පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස්රථත්, සංචාරක ක්ෂේත්‍රයේ ඩීසල් භාවිතා කරන බස්රථ සහ වෑන් රථ සඳහා ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේ කටයුතු අපි හෙට දවසේ සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව ධීවර හා කෘෂිකර්මාන්ත ප්‍රදේශ වලට ප්‍රමුඛතාවය ලබා දීලා තිබෙනවා. ඊයේ ධීවර අමාත්‍යාංශයත් සමග කළ සාකච්ඡාවේදී අපි ඒ සම්බන්ධයෙන් එකඟත්වයකට ආවා. ධීවර වරායන් 22ක් හරහා තමයි ඉන්ධන බෙදා හැරීම සිදු කරන්නේ. ඒ සෑම ධීවර වරායකටම අඩුම ලෝඩ් දෙකක්වත් ලබාදීම සඳහා අපි ලෝඩ් 45ක ප්‍රමාණයක් දෛයිනිකව අද සිට නිකුත් කිරීම ආරම්භ කරනවා.

විදුලිබල ක්ෂේත්‍රයට අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා සැලසුමක් අනුව කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ පැය 3.30ක විදුලි කප්පාදුවක් තමයි අපි කළේ. නමුත් අද සිට එම විදුලි කප්පාදුව පැය 2.15ක් දක්වා අඩුකර පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඩීසල් වලට වැය වන රැපියල් මිලියන 400ක මුදලක් විදුලිය කප්පාදුව නිසා දෛනිකව විදුලිබල මණ්ඩලයට ඉතිරි කර ගන්න පුලුවන් වෙලා තිබෙනවා.

- lankadeepa

ජනතාවට පොරොන්දුවක් දුන්න නම් ඉටුකරන්න - ඩලස් ගෙන් බරබරයක් !

21 වන ව්‍යවස්ථා සංශෝධනය කල් දැමීමට වූ යෝජනාවක් හමුවේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊට බරපතළ විරෝධයක් දක්වා ඇති බව වාර්තා වෙයි .

ඒ ඊයේ (06) රාත්‍රියේ පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් හමුව අවස්ථාවේ ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම රැස්වීමේදී 21 ට වඩා කතාබහට ලක්ව ඇත්තේ එදිනෙදා කටයුතු ගැනය.

පලමුව .. කාංචන විජේසේකර අමාත්‍යවරයා ඉන්දන තත්වය ගැන කතාකර ඇති අතර මහින්ද අමරවීර අමාත්‍යවරයා සාගතයට මුනදෙන්න සූදානම් කර ඇති සැලසුම් ගැන පවසා ඇත .

අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා රුසියානු ගුවන් යානාව රඳවා ගැනීම ගැන සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

21 වන සංශෝධනය සම්බන්ධයෙන් පසුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අදහස් දක්වා ඇත්තේ අවසානයේදී ය.

එහිදී සුපුරුදු පරිදි සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඊට විරෝධය පලකර ඇත .ඔහු පවසා ඇත්තේ පෝලිම් අවසන් කර ව්‍යවස්ථා සංශෝධන ගැන අවධානය යොමුකරමු කියාය. එනිසා 21 සංශෝධනය මාස 6 ක් කල්දමා ගැනීමේ ට ඔහු යෝජනා කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මෙහිදී කෝපයෙන් අදහස් දක්වා ඇති ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර ඇත .
'' 21 ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා කියල ජනතාවට කිව්වේ ජනාධිපතිතුමා. අපි ජනතාවට පොරොන්දුවක් දුන්න නන් එක ඉටුකරන්න ඕන.. දැන් ව්‍යවස්ථා කල් දාන්න කතා කලොත් නැති ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්"

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද මෙතැනදී යෝජනාවක් කර ඇති බවත් වාර්තා වෙයි . ඒ පුද්ලයින් ඉලක්කකරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම වැරදි බව සඳහන් කරමින්ය .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ අදහස් දැක්වීය .

කොහොමටත් පොදුජන පෙරමුණේ උදවිය කියන විදිහට, මිට ඉස්සෙල්ල ද්විත්ව පුරවැසියන්ට බෑ කියල වගන්තියක් ගෙනාවේ බැසිල් ටාගට් කරලා. ජනාධිපතිකම දෙපාරකට වඩා බෑ කිව්වේ මහින්ද ටාගට් කරලා. 35කට අඩු කෙනෙකුට ජනාධිපති තරඟෙට එන්න බැ කිවේ නාමල් ගැන හිතල වෙන්න ඇති. ඒ නිසා ජනාධිපති ගෝඨාභයට බලපාන විදියට අමාත්‍යංශ තියාගන්න වගන්ති ගෙන්න ඕන නැහැ කියලත් , රොෂාන් ඇමතිතුමා කරපු යෝජනාවෙත් ගතයුතු යමක් තියනවා.."

 

විදෙස් රැකියා අපේක්ෂා කරන රාජ්‍ය සේවකයින්ට : මනූෂගෙන් පණිවිඩයක් !

විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීම සදහා වන කඩිනම් වැඩසහනක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ඇමැතිවරයා පැවසුවේය.

රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බාධාවක් ඇති නොවන ආකාරයට විදේශ ගතවීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම මැදිහත්වෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සදහන් කළේය.

රාජ්‍ය සේවකයින් විදේශ ගත කිරීමේදී, ඔවුන්ට අවශ්‍ය රැකියා අවස්ථාවන් සොයා ගැනීමේදී විදේශ රැකියා නියෝජිතආයතන සදහා විශාල කාර්යභාරයක් පැවරෙන බවද, විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සමග අද උදෑසන පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

රාජ්‍ය සේවයේ නියුතු අය සදහා විදේශ රැකියා සදහා අවස්ථා ලබාදෙනවා. රාජ්‍ය සේවකයාගේ ජ්‍යෙෂ්ඨත්වයට, විශ්‍රාම වැටුපට බල නොපාන අයුරින් ඔවුන්ට විදේශ ගතවීමට අපි අවස්ථාව ලබාදෙනවා. ඒ සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශ සමග අපි සාකච්ඡා කරලා අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීමට කටයුතු කරනවා.

එහිදී රාජ්‍ය සේවකයින්ගෙන් විදේශ රැකියා සදහා පිටත් කරන්නේත් ඔවුන් විදේශ රැකියා ගත කිරීම භාරවන්නේත් විදේශ රැකියා නියෝජිත ආයතනවලටයි. ඒකට අවශ්‍ය රැකියා වෙළදපොල සොයාගෙන ඔවුන් විදේශ ගත කිරීමේ වැඩපිළිවෙලට සහාය ලබාදෙන්න

විදේශ ගත වීමට කැමැති රාජ්‍ය සේවකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකියාව තිබෙනවා . ඒ ඒ රැකියා අවස්ථාවන් ගැන මෙන්ම ඒ සදහා තිබිය යුතු සුදුසුකම් ඉදිරියේදී එම වෙබ් අඩවියේම ප්‍රසිද්ධ කරනවා.

විදේශ ගතවීමට කැමැති රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු අපි විදේශ රැකියා නියෝජිත ආයතන සමග හුවමාරු කරගැනීමටත් කටයුතු කරනවා. ඒ අනුව රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සෙවීමේ වගකීම නියෝජිත ආයතනවලට පැවරෙනවා.

මුළු රටේම විදේශ ගතවීමට රාජ්‍ය සේවකයින් කැමැත්තෙන් සිටියදී, එයට අවශ්‍ය සහාය ලබාදෙන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ රැකියා නියෝජිත ආයතනයි. ඒ සදහා ඔබට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

මුලු රටේම විදේශ ගත විමට රාජ්‍ය සේවකයින් කැමැත්තෙන් සිටියදී, එයට සහාය ලබාදෙන්නේ ඔබලා. ඒ ජාතික වගකීමටත් ඔබගේ දායකත්වය ලබාදෙන්න.

රනිල් අගමැති කරන්න : ෆොන්සේකාත් හවුල් වෙලා !

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය පුටුවට යාමට පාර කැපුනේ තමාගේ ක්‍රියාදාමය නිසා බව තේරුම් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි .

ජනාධිපතිතුමා විසින් රනිල් වික්‍රමසිංහ කැඳවීමට පැය තුනකට පෙර තමා කැඳවා වහාම අගමැති ධුරය බාර ගන්නැයි පැවසූ බවත් ඔහු එහිදී සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව සඳහන් කර සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

ජනාධිපති කළ කැඳවීම අවස්ථාවේ තමන් කොන්දේසි කිහිපයක් පැන වූ බවත් එම කොන්දේසි ඉටු කිරීමට පසුබිම හැදුනොත් අගමැතිකම බාරගන්නා බව තමා දැනුම් දුන් බවත් පැවසීය. 

ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය බාර ගන්නැයි ආරාධනා කළේ ඉන් අනතුරුව බව ද පැවසූ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයේ සිටින අතර තමාටත් පිං පොඩ්ඩක් දිය යුතු බවත් පැවසීය .

චම්පික අද හෝ හෙට සජබෙන් ගැලවී ස්වාධීන වෙයි !

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ඊට අදාල ලිපිය අද පස්වරුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත බාරදීමට නියමිතව තිබේ.

එසේම පාර්ලිමේන්තුවේදී ස්වාධීනවන චම්පික රණවක මන්ත්‍රීවරයා අද (07) පස්වරුවේ දී හෝ හෙට (08) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ සමගි ජනබලවේගය පක්ෂය විසින් චම්පික රණවක මන්ත්‍රීවරයා පක්ෂයේ නියෝජ්‍ය නායක කිරීමට යෝජනා කර ඇති පසුබිමක මෙසේ ස්වාධීන වීමට තීරණය කර තිබීමයි .

මේ අතර ලංකාසර වාර්තා කර ඇත්තේ , චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ මේ ස්වාධීන වීමත් සමග සමගි ජනබලවේගයේ තවත් පිරිසක් ස්වාධීන වීමටත්, තවත් පිරිසක් ආණ්ඩුව සමග ඍජුවම එකතු වීමටත් කටයුතු කරමින් සිටින බවයි .

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ චම්පික රණවක මන්ත්‍රීවරයා ආණ්ඩුව සමග එක්වන්නේ නම් මුදල් ඇමති ධුරය හෝ ඒ හා සමාන වෙනත් ඇමති ධුරයක් ලබා දීමට ආණ්ඩුව සූදානමින් සිටි බවයි .

එහෙත් ආණ්ඩුව විසින් කර ඇති මෙම යෝජනාව භාර නොගන්නා බව ප්‍රකාශ කර ඇති චම්පික රණවක මන්ත්‍රීවරයා වර්තමානයේ රට මුහුණ දී ඇති වැඩපිළිවෙළට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ . ඒ අනුව ඔහු ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස දිගටම විපක්ෂයේ සිටිනු ඇත.

තවද රට මුහුණපා ඇති බලශක්ති අර්බුදය විසඳීමට අදාල යෝජනාවලියක් මේ සතිය තුළ රජයට ඉදිරිපත් කිරීමට ද චම්පික රණවක තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ ඉවත්ව යාම සමග සමගි ජනබලවේගය පක්ෂයේ ඉදිරි පෙළ තවදුරටත් දුර්වල වනු ඇති බවයි.

මේ වන විට එම පක්ෂයේ ජනප්‍රිය ඉදිරිපෙළ තරුණ නායකයකු වු හරීන් ප්‍රනාන්දු ද ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගෙන තිබේ . ඔහු සමග පැමිණි මනූෂ නානායක්කාර ද මේ වන විට ආණ්ඩුවේ අමත්‍යවරයෙකි.

එසේම සජබ පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාද මේ වන විට අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග සාකච්ඡා කරමින් සිටින බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර යමින් තිබේ.

 

කබ්‍රාල්ට ඇප !

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත අද (07) මුදාහැරීමට නියෝග කර ඇත .

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින්‍ ය.

මෙම සිද්ධියට අදාළව නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද අධිකරණය පැමිණිල්ලට නියම කළ බවත් වාර්තා වෙයි .

මේ පෞද්ගලික පැමිණිල්ල සිදුකර තිබුණේ නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමි විසින් ය.

ඊට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට අධිකරණය මගින් නොතීසි නිකුත් කෙරුණේ ඉකුත් 25 වැනිදාය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණ ට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබිණ .

ආහාර සුරක්ෂිතතාව , ගොවි ණය 100 % කපන, සහනාධාර සීමාව ඉහළ දාන : රනිල්ගෙන් අතුරු අයවැයක් !

"2019 දී අප ක්‍රියාත්මක කළ බදු ක්‍රමය අහෝසි කිරීම නිසා රජයට රුපියල් බිලියන 6.6 ක ආදායමක් අහිමි වුණා. අපේ ආර්ථිකය කඩා කඩාවැටීම ඇරඹුණේ එතනින්. ඒ නිසා අපි වහාම 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතු වෙනවා. අප නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැනින්. " යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය .

එහිදී අග්‍රාමාත්‍යවරයා ඉදිරි අතුරු අයවැයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන පැකේජයක් , නැත්නම් සමාජ ආර්ථික දැලක් නිර්මාණය කිරීමක් වැන්නක් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අතර මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද මෙරටට අදාළව යෝජනා කරතිබුණකි.

ඒ අනුව අතුරු අයවැය හරහා ,

 ? ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගැනීම,

? සහනාධාර සීමාව ඉහළ දැමීම,

? හෙක්ටයාර 2 කට අඩු ගොවි ණය සියයකට සියයකින් කපා දැමීම

? ජනතාවට සිය ඉඩම් වල අඅයිතිය සින්නක්කරව ලබාදීම

ඇතුළු කරුණු කිහිපයක් වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි .

සම්ප්‍රදායික දේශපාලන මතවාද කෙටි කලකට පැත්තකින් තියමු !

අපිත් අපේ රටත් මුහුණ දෙන තත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වයෙන් යළිත් රට නඟාසිටුවීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ග හොයාගන්න වෙනවා . සම්ප්‍රදායික දේශපාලන මතවාද කෙටි කාලෙකට පසෙක තියා, රට ගොඩනැගීම සඳහා සාමූහික උත්සාහයක් දැරිය යුතු වෙනවා. මුළු රටේම ජනතාව ඒ උත්සාහය කොටස්කරුවන් විය යුතුයි. රට වෙනුවෙන් අපි හැමෝටම කාර්යභාරයක් පැවරෙනවා.

ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට ගෙන එන්න සටන් පාඨවලට බෑ !

මෙතනදී අපේ මූලික අවධානය යොමු වන්නේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරලීමටයි. හැබැයි ආර්ථික ස්ථාවර භාවයක් ඇති කළ පමණින් අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න බෑ. අපි අපේ රටේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරගත යුතු වෙනවා.

මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙන්නේ ප්‍රාතිහාර්ය වලින් නෙවෙයි. සටන් පාඨ වලින් නෙවෙයි . මැජික් වලින් නෙවෙයි. හැඟීම් වලින් නෙවෙයි. බුද්ධිමත්ව සිතා සකස්කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වෙහෙසීමෙන් සහ කැපවීමෙන්.

 ඉදිරි මාස 6 ට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 3300ක් අවශ්‍යයි : ගෑස් සඳහා ඩොලර් මිලියන 250ක් අවශ්‍යයි !

ඉන්ධන සඳහා රටට මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 500 ක් පමණ වෙනවා. වර්තමාන අර්බුදකාරී තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප සිහි තබා ගත යුතුයි. මේ වසර අවසානය වෙද්දි 40% කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා . මේ පසුබිමේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස බැහැර කරන්න බෑ. කෙසේ හෝ ඉදිරි මාස හය සඳහා ඩොලර් මිලියන 3300 ක් අප ඉන්ධන වෙනුවෙන් සොයා ගත යුතුයි.

ගෑස් ගෙන්වා ගැනීමට මාසයකට ඩොලර් මිලියන 40කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට අපි ගෑස් ගෙන්වා ගැනීම සඳහා බහුපාර්ශවීය ආධාර දේශීය මුදල් සහ ඉන්දීය ණය යොදා ගන්නවා .ඉදිරි මාස හයේ gas සඳහා අපට ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍යයි.

ඉදිරි සති 3 දුෂ්කර කාලයක් : සති 3 ට පස්සේ තත්ත්වය සාමාන්‍ය අතට !

ඒ වගේම ඉන්ධන සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් වෙනවා. අප සියලු දෙනාම හැකිතාක් අර පරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කර ගත යුතු කාලයක්. ඒ නිසා මේ කාල සීමාවේ තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙස මම සමස්ත පුරවැසියන් ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ කෑම දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වනවා. ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. මේ දුෂ්කර සති තුනට අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු.

තව ටික දවසකින් ආහාර වෙනුවෙන් දුෂ්කර තත්ත්වයක් !

අපට අවශ්‍ය ආහාරවලින් කොටසක් අපි දේශීයව නිපදවා ගන්නවා. ඉතිරිය පිටරටින් ගෙන්වනවා. ගෙවුනු මහ කන්නයේ අපේ අස්වැන්න පහළ මට්ටමකට වැටුනා. යල කන්නයේ මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙනවා.

අප දැන් සිටම වෙහෙසිය යුත්තේ ඊළඟ මහ කන්නය සාර්ථක කර ගන්නටයි. නමුත් ඒ අස්වැන්න එන්නේ 2023 පෙබරවාරි අවසානයේදීයි. සහල් පිළිබඳව කතා කළොත් අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් මිලියන 2.5ක්. නමුත් අපට තියෙන්නේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6 ක් පමණයි.

සහල් වගේම අනෙකුත් භෝග ගණනාවකටම මේ තත්ත්වය පොදුයි. ඒ නිසා තව මාස කීපයකින් ආහාර අතින් බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න අපට සිදුවෙනවා. දෛනික ආහාර අවශ්‍යතා යාන්තමින් හෝ සපුරාලීමට පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 150 ක්.

කෘෂිකර්මය කඩා වැටිලා : අපනයන භෝග සඳහා වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළ අහිමිවන තත්ත්වයක් !

කඩාවැටෙමින් පවතින කෘෂිකර්මය ගොඩනැංවීමේ කාර්යයන් අප වහාම ආරම්භ කළ යුතුයි. අපේ අපනයන බෝග සඳහා වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළ අපට අහිමි වෙමින් යනවා.

ඒ තත්ත්වය වළක්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට රසායනික පොහොර අවශ්‍යයි. වී එළවළු පළතුරු ප්‍රධාන අනෙක් බෝග සඳහාත් තේ රබර් පොල් ඇතුළු අපනයන බෝග සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට වසරකට ඩොලර් මිලියන 600 ක් වැය වෙනවා.

වගාවක ආරම්භයේ සිට අවසානය දක්වා වරින් වර පොහොර යෙදීමට සිදුවන නිසා මේ පොහොර ආනයනය අඛණ්ඩව හිඟයකින් තොරව කිරීම අවශ්‍යයි. නැත්නම් මුදලත් වෙහෙසත් අපතේ යැවීමක්.

ඖෂධ හිඟය වළක්වා ගන්න යෙදූ වැඩපිළිවෙළ !

දැනට රටට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වා ගැනීම සඳහා අප විවිධ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සම්බන්ධ කරගත්තා. ඒ වගේම විවිධ රටවලින් ආධාර ලබා ගැනීමට සැලසුම් සකස් කළා.

ඒ කණ්ඩායම් සහ රටවල් බේත් හේත් සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබාදෙන නිසා ඉදිරි මාස හය සෞඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන්ට අපේ ස්තුතිය පුද කර සිටිනවා.

ඉදිරි මාස 6 සඳහා සාමාන්‍ය ජනජීවිතය ගෙනියන්න ඩොලර් බිලියන 5 ක් ඕන !

මේ තත්ත්වය මත ඉදිරි මාස 6 තුළ අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 5ක මුදලක් අපට අවශ්‍යයි.

එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යද්දී ඊට සමාන්තරව රුපියල ශක්තිමත් කළ යුතුයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් ඩොලර් බිලියන 5 ක මුදලක් අපට අවශ්‍යයි.

ඒ කියන්නේ ඉදිරි මාස හය රට නොවැටී පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් හොයා ගැනීම අවශ්‍ය වෙනවා.

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘන අගයක් අරගෙන !

මේ සියල්ල මැද දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.5 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛන අනුව තත්ත්වය ඊටත් බැරෑරුම්.

ඔවුන්ට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ 6.5 ක්. යුක්රේන යුද්ධයේ බලපෑම නිසා මුලු ලෝකයේම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ලබන වසරේ පහත වැටෙනවා. යළි යථා තත්ත්වයට පත්කර ගත හැක්කේ 2024 වසරේදී බව පුරෝකතනය කර තිබෙනවා.

අප ඒ ලෝක තත්ත්වයටත් මුහුණ දියයුතු වෙනවා.

2019 බදු ක්‍රමය අහෝසි කිරීම නිසා අහිමි වූ පාඩුව රුපියල් බිලියන 6.6 ක් : කඩා වැටීමේ ආරම්භය එතන !

2019 දී අප ක්‍රියාත්මක කළ බදු ක්‍රමය අහෝසි කිරීම නිසා රජයට රුපියල් බිලියන 6.6 ක ආදායමක් අහිමි වුණා.

අපේ ආර්ථිකය කඩා කඩාවැටීම ඇරඹුණේ එතනින්. ඒ නිසා අපි වහාම 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතු වෙනවා. අප නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැනින්.

පසුගිය කාලවකවානුවේ අසීමිතව මුදල් අච්චු ගැසූ බව අප කවුරුත් දන්නා කරුණක්. 2020 සිට 2022 මැයි 20 වනදා දක්වා රුපියල් බිලියන 2.5 ක මුදලක් මුදාහැර තියෙනවා. වර්තමානයේ අප මුහුණ දෙන තත්වය නිසා
රජයේ බොහෝ ආයතන වල විධිමත් මූල්‍ය කළමනාකරණයක් සිදු වන්නේ නැහැ. ඒ නිසා අලුත් ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඊට එක් උදාහරණයක්.

ඔවුන් සතුව අරමුදල් තිබුනත් භාණ්ඩාගාර රෙගුලාසිවලට අනුව ඒ අරමුදල් කළමනාකරණය කරන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා.

වර්තමානයේ අපේ රට පත්ව ඇති තත්ත්වය මත කිසිදු රාජ්‍ය ආයතනයක පාඩු පියවා ගැනීමට මුදල් ලබාදීමේ හැකියාවක් රජයට නැහැ. ඒ ණය බර රජයට හෝ රාජ බැංකුවලට තවදුරටත් දරන්න බැහැ.

2023 අභියෝගයන්ට මුහුණදීම !

2024 මූල්‍ය දිරිගැන්වීම් ඔස්සේ ආර්ථික උත්තේජනය ඇතිකර ගැනීම !

2025 අයවැය සමබරතාවක් ඇතිකර ගැනීම හෝ ප්‍රාථමික අතිරික්තයක් ඇතිකර ගැනීම !

අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඒ සාකච්ඡාවන් සඳහා අප පදනම් කරගත්තේ අපේ ඉදිරි ආර්ථික සැලැස්මයි. ඒ අනුව 2023 වසර අපිට සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. අප විසින් වසර අවසන් වෙද්දී ආර්ථික ස්ථාවර භාවය ඇතිකර ගත යුතුයි. ඉන්පසු 2024 වසර වෙද්දි මූල්‍ය දිරිගැන්වීම් ඔස්සේ ආර්ථික උත්තේජනයක් ඇතිකර ගැනීමේ අවකාශ අපට උදා වෙනවා.

2025 වෙද්දි අපේ අය අයවැය සමබර තත්වයට ගෙන ඒම හෝ ප්‍රාථමික අතිරික්තයක් ඇති කර ගැනීම අපේ අරමුණයි. මේ දීර්ඝ දීර්ඝකාලීන ඉලක්කය කරා යෑමට මේ ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. ආණ්ඩු බලය හොබවන පුද්ගලයන්, කණ්ඩායම්, පක්ෂ වෙනස් වුවත් අප මේ තම තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමත්, කාර්ය සාධනය උපරිම මට්ටමකින් පවත්වාගෙන යෑමත්, අනිවාර්ය වෙනවා.

විදෙස් සම්බන්ධතා කෙරෙහි වැඩි අවධානයක් : ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන් ගන්න ඕන කාලයක් !

මේ කාර්යයේ දී අපේ විදේශ සම්බන්ධතා ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන් ලබා ගත යුතු වෙනවා. යම් යම් වැරදි ක්‍රියා මාර්ග නිසා අපි ලෝකයෙන්ම කොන් වෙච්ච රටක් බවට පත්වෙමින් යනවා. ඒ තත්ත්වය ආපසු හැරවීම ලේසි නැහැ. ඒත් අප කෙසේ හෝ එය කළ යුතුයි.

විදෙස් නායකයන් , තානාපතිවරුන් සහ සංවිධාන සමග සාකච්ඡා සාර්ථකයි !

මම මේ වෙද්දි විදේශීය තානාපතිවරුන් සමග නිරන්තර සාකච්ඡා පවත්වමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිතුමා. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් තුමිය සහ බ්‍රිතාන්‍ය අගමැති තුමා සමග දුරකථන සාකච්ඡා පැවැත්වූවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා.

මේ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙක් මේ අසීරු අවස්ථාවේදී අපේ රටට සහය දැක්වීමටත් ආධාර කිරීමටත් එකඟත්වය පළ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 09 වැනිදා මුලූ ලෝකයටම විවෘත ආයාචනයක් කරන්න කටයුතු සූදානම් කර තියෙනවා. ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීම සඳහා සහය වන ලෙසයි ඔවුන් ඒ ඉල්ලීම කරන්නේ. ඔවුන් මේ වැඩ පිළිවෙළ ඔස්සේ ආහාර කෘෂිකර්ම සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයන් වෙනුවෙන් ඩොලර් මිලියන මිලියන 48 ක මුදලක් මාස 4 ක කාලයක් තුළ ලබා දෙන්නට සැලසුම් කර තිබෙනවා.

ඉන්දියාව,චීනය සහ ජපානය සමග බිඳුණු සබඳතා යළි ශක්තිමත් කිරීම !

අපට ණය සහ ආධාර ලබාදෙන රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව, චීනය සහ ජපානයයි. අපට කවදත් හිතවත්ව සිටි මේ රටවල් සමඟ ඇති සබදතා දැන් බිඳ වැටී තියෙනවා. අප ඒ සබඳතා යළි ශක්තිමත් කර කරගැනීම අවශ්‍යයි.

මීට ටික කලකට පෙර චීන මහජන සමූහාණ්ඩුවෙන් ස්වොප් පහසුකම් යටතේ අපි ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල සම්බන්ධයෙන් කොන්දේසියක් තිබුණා. ඒ මුදල් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස තුනකට සරිලන විදේශ සංචිත අපේ රටට තියෙනවා නම් පමණයි. ණය මුදල ලබා ගන්න කොට අපිට මාස තුනක විදේශ විනිමය සංචිත තිබුණේ නෑ. එහෙම තියෙද්දි අපේ අදාළ නිලධාරීන් රට රැවටීමේ ණයක් ලබා ගත්තා.

අර කොන්දේසිය අනුව ඒ ණය අපට මුදා හැරෙන්නේ නැහැ. ඉලක්කම් විතරයි දැන් අපි ඒ කොන්දේසිය ඉවත් කිරීම සඳහා සලකා බලන මෙන් චීන රජයෙන් ඉල්ලීමක් කර තියෙනවා.

දීර්ඝ කාළීන මිතුරෙකු වූ ජපානය අහිමි කරගෙන ඇති ආකාරය !

ජපානය අපේ දීර්ඝ කාලීන මිතුරෙක්. අපේ රටට බොහෝ උදව් උපකාර කළ මිත්‍ර රටක්. නමුත් පසුගිය කාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් නිසා දැන් ඔවුන් ඉන්නේ හිත හොඳින් නෙවෙයි.

යම් යම් ව්‍යාපෘති අත්හිටුවීම පිළිබඳව අපේ රට ජපානයට විධිමත් අයුරින් දැනුම් දීමක්ත් කර නැහැ. සමහර අවස්ථාවල කිසිදු හේතු දැක්වීමක්වත් කර නැහැ. ජපානය අපේ රටේ සිදු කළ සමහර ව්‍යාපෘති අතරමග නවතා දමා ඇත්තේ තනි පුද්ගලයෙක් ලබාදුන් වාර්තා අනුවයි.

එල් එන් ජී විදුලි බලාගාර දෙකක් අපට ලබාදීමට ජපානය සහ ඉන්දියාව එකඟ වී සිටියා. විදුලිබල මණ්ඩලය කිසිදු සාධාරණ හේතුවකින් හා පදනමකින් තොරව ඒ ව්‍යාපෘති දෙකම නවතා දැම්මා.

2019 වන විට ජපානය අපේ රටට ඩොලර් බිලියන 3ක පමණ වටිනාකම් ඇති ව්‍යාපෘති ලබාදීමට එකඟත්වය පළකර තිබුණා. කිසිදු හේතු දැක්වීමකින් තොරව මේ ව්‍යාපෘති සියල්ලම අත්හිටුවා දැම්මා.

මිත්‍ර රටවල් ලබාදුන් වටිනා ව්‍යාපෘති පදනම් විරහිත ලෙස නවතා දැමීම සම්බන්ධයෙන් විමර්ශනයක් !

මිත්‍ර රටවල් වලින් අපට ලබාදුන් වටිනා ව්‍යාපෘති පදනම් විරහිත හේතුවකට නවතා දැමීම පිළිබඳව විමර්ශනය කරන මෙන් මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුවෙන් ඉල්ලා සිටිනවා.

හිතවත් රටවල් ඈත් කර ගත් පසු බිමක පවා ඉන්දියාව අපට උපකාර කිරීමට ඉදිරිපත් වුනා. මේ අසීරු අවස්ථාවේ අප ඔවුනට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ජපානය සමග පැරණි මිතුදම් යළි ශක්තිමත් කර ගැනීමට අප වෙහෙසෙනවා .

අපට ණය දෙන මිත්‍ර රටවල් එක් කොට ආධාර සමුළුවක් පවත්වන මෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියා. ඉන්දියාව චීනය සහ ජපානයේ ප්‍රධානත්වයෙන් මෙවැනි සමුළුවක් පැවැත්වීම අපේ රටට විශාල ශක්තියක් වෙනවා. චීනය සහ ජපානය ණය ලබාදීමේ දී අනුගමනය කරන ප්‍රවේශයන් වෙනස්. මෙවැනි සමුළුවක් මාර්ගයෙන් ණය ලබා දීමේ ප්‍රවේශයන් පිළිබඳව කිසියම් එකඟත්වයකට පැමිණිය හැකි බව අපේ විශ්වාසයයි.

 ගත්ත ණය ගෙවන්නත් ඕන !

මෙතෙක් ලබාගත් ණය ආපසු ගෙවීමේ වගකීම අපට පැවරෙනවා. බහුපාර්ශවීය ආනයන යන්ගෙන් ලබාගත් ණය වාරික ගණනාවක් මේ මාසයේ ගෙවන්නට තියෙනවා. අප ණය වාරික ගෙවීම් පැහැර හරින්නේ නෑ. ඉදිරියේදී අලුතෙන් නය ගැනීමට ද අපට සිදු වෙනවා ඒ ණය ගෙවීමේ වගකීමක් අපට තියෙනවා.

රට රටවලින් ලබා ගත් ණය ආපසු ගෙවීමේ සැලසුමකට එළඹුණු සැණින් අපේ අවධානය යොමු කළ යුතු වෙන්නේ අපේ රට ලබාගෙන ඇති පුද්ගලික ණය පිළිබඳවයි. මේ ගැන සොයා බැලීම උදෙසා අප ජාත්‍යන්තර මූල්‍ය උපදේශන සමාගමක් වන lezard ආයතනයේත්, ජාත්‍යන්තර නීති උපදේශන සමාගමක් වූ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේත් විශේෂඥ උපදෙස් ලබා ගන්නවා.

ලබා ගත් ණය ආපසු ගෙවීමට නම් අපට විදේශ විනිමය තිබිය යුතුයි. විදේශ විනිමය උපයා ගැනීම උදෙසා අපනයන ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ යුතු වෙනවා. අපේ රට පිහිටා තියෙන්නේ උපාය මාර්ගික වශයෙන් වැදගත් තැනක. ඒ පිහිටීම තරගකාරී තලයකට පිවිසීම සඳහා යහපත් සාධකයක්. සිංගප්පූරුව සහ ඩුබායි යන ආර්ථික මධ්‍යස්ථාන අතර අපට තවත් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වීමේ අවකාශ තියෙනවා.අපේ ගමන් මග සැලසුම් කර ගැනීමට වියට්නාමය ඉතා හොඳ ආදර්ශයක්. විවිධ නිෂ්පාදන අගයන් එකතුකිරීම් ඔස්සේ අපනයනයට යොමු කළ යුතු වෙනවා. ඒ වගේම විවිධ රටවල් සමඟ සිදුකරන ගනුදෙනු වලදී වෙළෙඳ ශේෂයේ අතිරික්තය හැකි තරම් අවම මට්ටමක පවත්වාගෙන යෑමටත් අප වෙහෙසෙන්නට අවශ්‍යයි .

අපේ අරමුණ ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමයි : මැෂින් එක reset කරන්න කාලෙ හරි !

අපේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. සියවන නිදහස් සැමරුම පවත්වන 2048 වෙද්දි වෙද්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමයි.

දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නෑ ඉතින් අපි මුලින්ම කරන්න ඕනෙ මොකක්ද. අපි මේ කොම්පියුටරය යළි සාදාගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොම්පියුටරය reset කිරීම. අතුරු අයවැය මගින් කරන්නේ computer reset කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දාගන්න කිසිම වයිරස් එකකට එන්න ඉඩක් නැති virus guard එකක් දාගන්න. එත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපසු පණ ගැන්විය යුතුයි reset කළ යුතුයි.

ඉදිරි කාලයේ අපේ ආර්ථික සැලැස්ම සහ මාර්ග සිතියම පදනම් කරගනිමින් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට අප ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. මම කලිනුත් සඳහන් කළා වගේ අපේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යළි ප්‍රකෘති තත්වයට ගෙන ඒමේ පදනම මේ අයවැය මගින් සකස් කිරීමයි අපේ බලාපොරොත්තුව.

අතුරු අයවැයෙන් රජයේ අනවශ්‍ය වියදම් කප්පාදුවක් :අපනයන ආර්ථික , සංචාරක , ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රය පිළිබඳ කඩිනම් අවධානයක් !

අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා දමනවා. අනෙක් වියදම් සීමා කරනවා. ඒ වගේම අර්බුදයට ලක් වී ඇති ක්ෂේත්‍ර ගණනාවක් යළි නගා සිටුවීම කෙරෙහි අපේ අවධානය යොමුකරනවා. අපනයන ආර්ථිකය සංචාරක ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු වෙනවා .

ඒ වගේම අපේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති දුර්වල ප්‍රජාව වෙනුවෙන් මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතු බව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. ඔවුන් ඊට එකඟත්වය පළ කළා. අප අතුරු අයවැය සකස් කරන්නේ ඒ කරුණු පදනම් කර ගෙනයි.

අතුරු අයවැයේ මොනවද තියෙන්නේ !

එහිදී අප අපේක්ෂා කරන ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි .

1 ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගැනීම .

ලෝක ආහාර සංවිධානය මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී තියෙන්නෙ ඒ සඳහා සහභාගි කරගත් පවුල්වලින් 73% ක් තම තමන්ගේ ආහාර වේල් සහ ආහාර ප්‍රමාණයන් කපා හැර දමා ඇති බවයි. ඒ තත්වය වෙනස් කර මේ ආහාර සුරක්ෂිතතා වැඩ සැලැස්ම අනුව හිඟයකින් තොරව ආහාර ලබාදීමට අප ක්‍රියා කරනවා. තුන්වේල කන්නට පුළුවන් තත්වයක් රටේ නිර්මාණය කරනවා .

2 සහනාධාර සීමාව ඉහළ නැංවීම .

ආර්ථිකය බිමටම වැටී ඇති මේ අවස්ථාවේ ජනතාව විවිධ පීඩාවන්ට මුහුණ දෙනවා. අප ඔවුන්ගේ පීඩාව හැකිතරම් ඉහිල් කරන්න පියවර ගන්නවා. ආර්ථික ශක්තියක් නැති ජනතාවට විවිධ සහන ලබාදීම උදෙසා දැනට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 350ක්. මේ මුදල ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා.

3 ගොවි ණය සියයට සියයක්ම කපාහැරීම.

කුඩා ඉඩම් වල වී වගාව කරන ගොවි පවුල් අති දුෂ්කර තත්වයනට පත් වී ඉන්නා බව අප දන්නවා. හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමනවා.

4 ජනතාවට තම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා ලබාදීම .

 ස්වර්ණභූමි මහවැලි ආදී ඔප්පු මගින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් සින්නක්කරවම ලබාදීමේ වැඩපිළිවෙළක් මීට කලින් අප ආරම්භ කළා. සමහර පළාත් සභා ඒ වැඩ පිළිවෙලට විරුද්ධව වුණා. ඒ නිසා එය සාර්ථක කර ගැනීමට හැකිවුණේ නෑ. දැන් එවැනි විරෝධතාවක් මතු වන්නේ නැති නිසා ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට පියවර ගන්නවා.

5 නාගරික තට්ටු නිවාස අයිතිය සහනදායි පදනමකින් පදිංචිකරුවන්ට ලබාදීම .

නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත්වෙන පවුල් ඉන්නවා. නිවසේ අයිතිය වෙනුවෙන් දීර්ඝකාලීන පොලී ගෙවන අයත් ඉන්නවා. අපි සහනදායි පදනමක් යටතේ මේ සියලු නිවාස වල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමට පියවර ගන්නවා.

6 චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කිරීම.

මා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවේ න් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස අපේ රටට පිරිනමනවා. මේ නිවාස අතරින් එකසිය අටක් අපි කලාකරුවන් වෙනුවෙන් වෙන් කර තියෙනවා. මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට ලබාදීමට අප කටයුතු කරනවා. මගේ බලාපොරොත්තුව ඒ නිවාස 1888 ම නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසීමටයි.

රට ඇද වැටී ඇති අවස්ථාවක ජනතාව දැඩි පීඩනයකට ලක් නොකොට ආර්ථිකයත් රටක් යළි ඔසවා තැබීමටයි අප මේ වෙහෙසෙන්නේ. හැම අංශයක් ගැනම විමසමින් හැම අංශයක්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමයි අපේ අපේක්ෂාව.

පියවරෙන් පියවර මෙහෙම ඉදිරියට ගියොත් අපට අපේ රට බේරා ගන්නට පුළුවන්. මෙතන තියෙන්නේ පුද්ගල ප්‍රශ්නයක් හෝ පක්ෂ ප්‍රශ්නයකට ඔබ්බෙන් ගිය අනතුරුදායක තත්වයක්. මේ අනතුර සහ බරපතලකම තේරුම් ගනිමු. මෙවැනි අනතුරුදායක තත්ත්වයක දී අතීතය පෑරීමෙන් පලක් වෙන්නේ නෑ. කෙටි කාලයකට අපි අතීතය අමතක කරමු. රට යළි ඔසවා තැබීමේ වෑයමේ දී අපි අනාගතය ගැන පමණක් සිතා කටයුතු කරමු.

ආර්ථික ප්‍රතිසංස්කරණ වලට සමාන්තරව සමාජ - දේශපාලන ප්‍රතිසංස්කරණත් අවශ්‍යයි : අරගල බිමෙන් පැමිණි ඉල්ලීම !

රටක් යළි ඉහළට ඔසවා තැබීමේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් සෑහෙන්නේ නැහැ. ඊට සමාන්තරව සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණයන් ද අවශ්‍ය වෙනවා. පසුගිය දිනයක අරගල බිමේ සිට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මතු කළ කරුණක් ගැන මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.

එහිදී අදහස් පළ කරමින් දමිතා අබේරත්න කලාකාරිනිය මගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් කරා. මේ ගැටළුවට විසඳුම් සොයා ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් නිසා රටට ආදරේ ඇති අය එක්කරගෙන පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් හොයාගන්න කියලයි එතුමිය ඉල්ලා සිටියේ. ඇය මෙහෙමත් කිව්වා. හැබැයි අගමැතිතුමනි ටොෆි ලොසිංජර දීලා ජනතාව රවට්ටන්න හදන්න එපා”.

මේ අදහස ගැන මෙතැන සිටින ඔබ සැමගේ අවධානය යොමු කරන්න මම කැමැති. අද රට පත් ව ඇති තත්ත්වයට විසඳුම් සෙවීමේ වගකීම පැවරී තියෙන්නෙ මේ සභාවේ සිටින ජනතා නියෝජිතයන්ගේ උර මතයි. අපි ඒ වගකීමට උර දිය යුතුයි. ඒ වගකීම අපි ඉෂ්ට කළ යුතුයි. පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝකාලීන සහ ප්‍රතිඵලදායී විසඳුම් සෙවිය යුතුයි.

ඒ නිසා අපි එකිනෙකා අතර ඇති සියලු භේද පසෙක දා රට වෙනුවෙන් අලුතෙන් සිතමු. අලුත් ගමනක් අරඹමු. අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වලට මුලපුරමු. වෙනස් විදියකට සිතමු. ක්‍රමය වෙනස් කිරීමට මුල පුරන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම වෙනස් විධියකට සිතා වෙනස් විදියකට කටයුතු කිරීමෙන්
.

රාජ්‍ය සේවයට පූර්ණ ප්‍රතිසංවිධානයක් සහ ප්‍රතිසංස්කරණයක් !

රාජ්‍ය සේවය පිළිබඳවත් අපට වෙනස් ඇහැකින් බලන්න සිද්ධ වෙනවා. සීමාවක් නැතිව රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම නිසා කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉතා පහල තලයකට වැටිලා. සමහර රාජ්‍ය සේවකයන්ට කරන්න කිසිදු රාජකාරියක් නෑ. මේ නිසා රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයට හා ප්‍රතිසංස්කරණයකට භාජනය කළ යුතු වෙනවා. පුරවැසියකුට සිය ජීවිත කාලය පුරාම කඩිනම් හා කාර්යක්ෂම සේවාවන් කරදරයකින් තොරව ලබා ගැනීමට හැකි රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.

මේ වෙනස තුළ අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් තියෙනවා ඒ දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩ නැංවීමයි. එය අනිවාර්යයෙන්ම විය යුත්තක්. හොරකමින් තොර සමාජයක්. හොරුන්ට ඉඩක් නැති රටක්. හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීතිරීති ඇති පාලනයක්.

මේ අරමුණින් අප අල්ලස හා දූෂණ වැළැක්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. 2019 වසරේදී අල්ලස සහ දූෂණය මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කෙරුණා. ඒ ප්‍රතිපත්ති කෙටුම්පත පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් වෙත ලබාදීමට අපි කටයුතු කරනවා. ඔවුන්ගේ අදහස් ද ලබා ගන්නවා. අල්ලස් හා දූෂණ මැඩලීමේ යාන්ත්‍රණය සාර්ථකව ක්‍රියාත්මක කරන ස්වීඩනය වැනි රටවලින්, හොංකොං රාජ්‍යයෙන් ආදර්ශ ගෙන අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කරනවා. දැනට සකස් කර ඇති කෙටුම්පතට යම් යම් සංශෝධන කළ යුතු නම් සියලු පක්ෂවල නීතිවේදීන්ගේ සහ විශේෂඥයන්ගේ උපදෙස් අනුව අවශ්‍ය සංශෝධන සිදු කර මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා.

ඉතින් රට යළි ගොඩනැංවීමේ ආර්ථික සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා ඔබේ සහාය ලබා දෙන ලෙස මම මේ සභාවේ සිටින ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

අපි මුලින්ම රට යළිත් ගොඩනංවමු. මේ අසීරු අවස්ථාවෙන් අපේ රට බේරා ගනිමු. ඊට ඔබගේ සහය දක්වන්න. නිශ්චිත කාල පරාසයක් තුළ මෙරට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමෙන් පසුව ඔබේ සාම්ප්‍රදායික දේශපාලන කටයුතුවලට පිවිසෙන්න. සාම්ප්‍රදායික පක්ෂ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න.

 වරෙක වින්සන්ට් චර්චිල් කළ සඳහනක් උපුටා දක්වමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නට කැමතියි.

“Pessimist sees the difficulty in every opportunity ; and optimist sees the opportunity in every difficulty” සර්ව අශුභවාදියා ඕනෑම ඉඩ ප්‍රස්ථාවක ඇති අසීරුතාවන් දකී. ශුභවාදියා හැම අසීරු අවස්ථාවක ම ඇති ඉඩ ප්‍රස්ථාවන් දකී.”

අපි මේ අසීරු අවස්ථාවේ ඉඩ ප්‍රස්ථාවන් පාදා ගනිමු. මේ ඉඩ ප්‍රස්ථාවන් ගෙන් ප්‍රයෝජන ගෙන රට යළි ගොඩ නංවමු සුභවාදීව සිතමු.

රට සාමාන්‍ය තත්වයට යළි ඔසවා තැබීමේ වගකීමට අප සියලු දෙනාම එක සිතින් එක හදින් උර දෙමු.

කප්පම් ගත්තාට ඇමති ප්‍රසන්න වැරදිකරු වෙයි !

2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව ප්‍රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගට වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන ලෙස නියෝග කර ඇත .

සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක් ද මිලියනයක වන්දියක් ද ගෙවන්නැයි අධිකරණය නියෝග කළේය.

දඩය නොගෙවන්නේ නම් වසර නවයක සිර දඬුවමක් ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම කර ඇත .

කිරිපිටි පැකට් එකක් උස්සලා : කේස් එක අධිකරණයට !

වෙළඳසැලකින් කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළ පුද්ගලයෙකු එහි හිමිකරු විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ.

මල්වාන වල්ගම ප්‍රදේශයේ වෙළඳසැලක මෙම සිදුවීම සිදුව ඇත.

ග‍්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවක් තම කමිසය අස්සේ සඟවාගෙන යාමේදී ඔහු අල්ලාගෙන මෙසේ පොලිසියට භාර දී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලසිය පැවසීය.

-Cnews

ආර්ථික අර්බුදය ගැන : මැති සභේ විභාගයක් !

2015 වසරෙන් පසු අද දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූර දැරෑවන්, රජයේ මූල්‍ය මණ්ඩල සාමාජිකයන් ලෙස ක්‍රියා කළ නිලධාරීන්, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් සහ වත්මන් ලේකම්වරයා විශේෂ විමර්ශනයක් සඳහා ලබන 08දා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබේ.

අප වෙත ලැබෙන ආරංචි අනුව රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවා ඇති මහ බැංකු අධිපතින් අතර අර්ජුන මහේන්ද්‍රන්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු වෙති. මෙයින් අර්ජුන මහේන්ද්‍රන් සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් දැනට සිටින්නේ විදේශගතවය.

මේ අයට අමතරව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, එස්.ආර්. ආටිගල සහ වත්මන් ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ද මෙම විමර්ශනයට කැඳවා ඇතැයි වාර්තා වෙයි.

2015 සිට මේ දක්වා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලවල සේවය කළ සහ මේ වනවිට සේවය කරන සියලු නිලධරයන්ද මේ දිනට කැඳවා තිබේ.

මෙම නිලධාරීන් රාජ්‍ය මුදල් කාරක සභාවට කැඳවා ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන බරපතළ ආර්ථික අර්බුදයට අදාළ හේතු කවරේද යටන්න සොයා බැලීමටය.

එසේම මෙම ආර්ථික අර්බුදය වළක්වා ගත නොහැකි වූයේ මන්ද යන කරුණ ගැනත් මෙහිදී විමර්ශනය කෙරෙනු ඇතැයි සඳහන්ය. ලබන 08 බදාදා සවස 2.00ට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව රුස්වී මෙම විශේෂ විමර්ශනය සිදුකිරීමට නියමිතය.

- deshaya

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාරුව : රාජ්‍ය සේවා කොමිසමේ අවධානයට !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ගේ ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුවී ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය සේවා කොමිසම හෙට (7) රැස්වන වන අතර එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාගේ මාරු වීම් සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ , රාජිත ශ්‍රී දමින්ද සහ කමල් සිල්වා මෙම මාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරු අතර සිටිති.

ලංකාවට ආහාර සහ ඖෂධ හිඟයක් : උදව් කරන්න UN ලෝකයෙන් ඉල්ලයි ?

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආහාර සහ ඖෂධ ලබාදීම සඳහා වන ගෝලීය ඉල්ලීමක් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටියි.

එම ඉල්ලීම සිදුකරන්න නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා රජය වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුව බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් හරහා කරුණු තහවුරු කරගෙන වාර්තා කර ඇත .

ඒ අනුව ජූනි මස 8 වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිල වශයෙන් මේ සඳහා වන ගෝලීය ඉල්ලීම සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙරට සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හමුවී මෙරට ඇති වීමට නියමිත ආහාර අර්බුදයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

නන්දලාල්ගේ මහ බැංකු අධිපති ධූර කාලය අවසන් : සේවා දිගුව රනිල්ගේ අතේ !

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය මෙම ජූනි මස 30දා හමාර වීමට නියමිතය.

ඉන් පසුව නව මහ බැංකු අධිපතිවරයකු හෝ වත්මන් අධිපතිවරයාම නැවත පත්කිරීමට ජනාධිපතිවරයාට සිදු වෙයි.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීමට පෙර ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයා විසින් ලබාගත යුතුව ඇත . ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස සුදුසු නමක් නිර්දේශ කළ යුතුයි.

සාමාන්‍යයෙන් මහ බැංකුවට පත්කෙරෙන අධිපතිවරයකුගේ නිල කාලය වසර හයකි. ඒ අනුව වත්මන් අධිපති ආචාර්ය වීරසිංහ මේ ගත කරන්නේ 2016 වසරේ මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ නිල කාලයේ අවසන් මාසයයි.

සිය නිල කාලය සම්පූර්ණ නොකර ආචාර්ය කුමාරස්වාමි 2016 සිට 2020 දක්වා එම තනතුර දරා ඉල්ලා අස්වූ අතර ඉන්පසු වසර දෙකක් පමණ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, සහ අජිත් නිවාඩ් කබ්රාල් කෙටි කලක් මහ බැංකු අධිපති ලෙස කටයුතු කළා. නන්දලාල් වීරසිංහ පත්වෙන්නේ ඉන් පසුවය .

නමුත් ඒ සමගම 2016 සිට 2022 දක්වා වූ මහ බැංකු අධිපති ධූරයේ සය වසරක නිල කාලය අවසන්. ඊට අනුව දැන් නව අධිපතිවරයකු හෝ මෙම අධිපතිවරයාම නැවත පත්කිරීමට සිදුවෙයි. කොහොම නමුත් ව්‍යවස්ථාව අනුව නම් ඒ පත්කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය අත්‍යවශ්‍ය වෙයි.

 

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ.

එම සමාගමේ කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම නොකළ ලාෆ් ගෑස් සමාගම සැපයුම හෙට (6) නැවත ආරම්භ කිරීමට නියමිතය.

සහල් තොග සති දෙකකට පමණයි : මෝල් හිමියන් දන්වයි !

පවතින ආර්ථික අර්බුදය හමුවේ දිස්ත්‍රික්කයේ පෙර පැවති වී මෝල් 1000ක ප්‍රමාණය වෙනුවට සක්‍රීයව පවතින්නේ වී මෝල් 70ක් පමණක් බව සුළු හා මධ්‍යම ප්‍රමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි .

ඔවුන් ඊයේ (04) දිනයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සක්‍රීයව පවතින වී මෝල් 70ද, සහල් නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති දෙකකට පමණක් බවයි.

ඉදිරියේ දී සහල් හිඟතාව නිර්මාණය වී ඔඩුදුවන පසුබිමක සහල් පටවා ගත් ලොරි රථ හෝ ප්‍රවාහනය කිරීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.

ඊට හේතුව ලෙස සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ මිනිසුන්ට සහල් නොමැතිවීම කරණකොටගෙන පාරේ ගමන් ගන්නා සහල් රැගත් රථවලට ද පහර දී ඒවා ලබා ගැනීමට උත්සාහ ගැනීමට ඉඩකඩ ඇති බවයි.

කෘෂි ව්‍යාපාර කටයුතු අඩාල වීම හේතුවෙන් මේ වනවිට සහල් මෝල් හිමියන්ට සිය බැංකු ණය වාරික හෝ ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව පවතින බව ද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ .

මෙම ගැටලුව සඳහා වහාම ණය ගෙවීමට සහන කාලයක් ලබාදෙන ලෙසත්, එම සහනය රජය මැදිහත් වී ලබා නොදුනහොත් නියත වශයෙන් ම බැංකුවලට ද මෝල් හිමියන්ගෙන් තර්ජනයක් ඇතිවිය හැකි බවත් එහිදී අවධාරණය කෙරිණ .

මේ වනවිට බොහෝ පිරිස් සහල් තොග වශයෙන් ගෙන ගොස් සිය නිවෙස් හි ගබඩා කර ඇති බවත්, ඊට හේතුව සහල් වසර 05ක කාලයක් වන තෙක් තබාගත හැකි බවත් මෙහිදී සඳහන් විය.

 

මැයි 06 සිට : පැය 2 කට වැඩි විදුලි කප්පාදුවක් !

හෙට (06) දින සිට පැය 2 කට වැඩි විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව හෙට සිට 10 වනදා දක්වා දින 04ක් දෛනිකව පැය 02යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි .

එසේම ජුනි 11 සහ 12 යන දිනවල පැයක බැගින් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවද මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මේ අතර අද (05) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව සිදුනොකරන බවද මහජන උපයෝගිතා කොමිසම පවසයි .

Page 243 of 386