V2025

පුවත්

ජුනි 20 IMF ලංකාවට - අගමැති රනිල් !

ජූනි මස 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ආයතන හිමියන්ට දැනුම්දී ඇත.

ඒ ඊයේ (09) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙරට මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවැති සාකච්ඡාවකදීය .

මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර් .එස්.එච්.සමරතුංග රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සහභාගි වූවන් දැනුවත් කර ඇත .

ජුනි මාසය අවසන් වන විට IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පැහැදිලි කළේය.

පවතින ආහාර හිඟය හේතුවෙන් තමන් රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන දියත් කරන බවද ඔහු පැහැදිලි කර ඇත .

ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන තුළින් ආහාර වේල් 3ක් ලබා ගැනීමට නොහැකි ජනගහනයෙන් 10% කට නොමිලයේ ආහාර ලබාදීමට රජයට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සදහන් කර තිබේ.

තත්ත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහාය වන ලෙස ඔහු මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

අවශ්‍ය විටෙක මාධ්‍ය විසින් රජයට වගවිය යුතු බවත්, නමුත් ඒ සමඟම වගකීම් සහගත වාර්තාකරණයක් අනුගමනය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මාධ්‍ය හිමිකරුවන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අගමැතිවරයා පැහැදිලි කළේ ආර්ථිකයට සිදුවී ඇති හානිය නිසා එහි ප්‍රතිඵල රටට විඳීමට සිදුවන බවයි.

කෙසේ වෙතත්, රජය මූල්‍ය සහ සැපයුම් ආධාර ලබා දීම තුළින් බලපෑම අවම කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ඔහු පැවසීය.

සමාජ අංශයේ සහාය සඳහා රුපියල් බිලියන 200 ක මූල්‍ය ආරක්ෂණ ජාලයක් රැස්කරමින් සිටින අතර ජපානයේ විශ්වාසය යළි ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.

ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබා දෙමින් රටවල් ඉදිරියෙන් සිටින බවත්, කෙසේ වෙතත් කිසිදු රටක් නොමිලේ ඉන්ධන ලබාදීමට පියවර නොගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත .

ඉදිරි මාස කිහිපය තුළ රට ගොඩනැගීමට මාධ්‍ය ආයතනවල සහය මත විශ්වාසය තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය)

FB IMG 1654852373755

තලතා පනීද ? සජිත් සැකයෙන් !

මේ වන විට ජනාධිපති විසින් නිකුත්කර ඇති නව කැබිනට් අමාත්‍ය ධූර 02 ක් සම්බන්ධ ගැසට් පත්‍රය හේතුවෙන් සමගි ජනබලවේගය පක්ෂයේ අර්බුදයක් මතුව ඇති බව වාර්තා වෙයි .

දැනගන්නට ඇති ආකාරයට ඒ , කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය සඳහා අමාත්‍යවරියක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ පත්වීමට ඉඩ ඇති බවට සිදුව ඇති ප්‍රචාරයක් නිසාය .

වාර්තා වන ආකාරයට පසුගිය කාලයක් තිස්සේ තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය , සජබ නායක සජිත් ප්‍රේමදාස සමග එතරම් ඇයිහොඳැයියක් තිබී නැත. ඊට හේතු වී ඇත්තේ දේශපාලන කරුණු බවත් වාර්තා වෙයි.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ නායිකාව වන ඇගේ දේශපාලන කටයුතු සීමා කරවීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

කෙසේ වුවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ අමාත්‍ය ධූරය පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බවය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15ක් ඇතුළත් කර ඇත.

ආර්ථිකය කඩා වැටුණේ ආනයන නවත්වපු නිසා - මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් !

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීමට වඩා රටේ ආර්ථිකය බිඳවැටීමට හේතු වූයේ වාහන ආනයනය නැවතීම සහ කොවිඩ් තත්වය බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල පවසා ඇත .

නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති 2019 වර්ෂයේ දී වෙනස් වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන්නේ යැයිද ඔහු සඳහන් කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආටිගල මෙසේ පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (9)පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2019 වර්ෂයේ දෙසැම්බර් 04 වන දින ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එම තීරණය ගත් බවද ඔහු පවසා ඇත .

මෙම රැස්වීමට හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුන්ද මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයන්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ එම බැංකුවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක්ද කැඳවනු ලැබ සිටියහ.

කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් ඊට සමගාමී පසුබිම් සටහනක් සහ වාර්තාවක් තිබිය යුතු හෙයින් එහි සම්පුරණ වගකීම ඇත්තේ එම විෂය සම්බන්ධ නිලධාරීන්ට බව මුදල් කාරක සභාවේ සමාජිකයන් මෙහිදී පෙන්වා දී ඇත.

යම් යම් නොවැලක්විය හැකි තත්වයන් තිබුණු බව පිළිගත හැකි වුවද මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිසි අධ්‍යනයකින් මෙවැනි තීරණ ගත යුතුව තිබු බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයින් තවදුරටත් විමසා සිටියේ කොවිඩ් තත්වය මතු වීමට ප්‍රථම, එවකට දේශපාලන බල අධිකාරිය විසින් ගනු ලැබූ මුල්‍යමය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී මතු විය හැකි ගැටලුකාරී තත්වයන් පිළිබඳ මුදල් මණ්ඩලයේ පැහැදිලි නිගමන ඇතුළත් වාර්තාවක් ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් වශයෙන් කිසිවෙකු හෝ ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර පවසා සිටියේ මෙවන් තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා වෙතද යොමු කරනු ලබන බවයි.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් නැවතත් විමසා සිටියේ, ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් දේශපාලන අධිකාරිය ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ නිවැරදි නොවන අවස්ථාවේදී ,ඒවා නිසි අයුරින් සිය ඉහළ බලධරයන්ට පෙන්වාදීමට හා දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ රජයේ වගකිව යුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළකිය යුතු බවයි.

දේශපාලඥයකු සහ නිලධාරියකු අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනා ගත යුතු බව පැවසූ වීරසිංහ මහතා දේශපාලඥයන් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හීදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන බවද සඳහන් කර ඇත .

එවන් තීරණවලට ලැබෙන ප්‍රතිඵල සඳහා වගකිව යුතු වන්නේ දේශපාලඥයන් පමණක් නොවන බවද ඔහු සඳහන් කර ඇත .

රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බව ආර්ථිකය බිඳ වැටෙනතුරුම ඒ ගැන තමන් දැනුවත් නොවූ බව සහ දේශපාලන අධිකාරියේ තීරණ මත පමණක් පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යැයි සමහරුන් පැවසීම අනුමත කළ නොහැකි බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත.

මෙම කාරකසභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පැවසුවේ තමන් මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිපල පිලිබඳව විවිධ අවස්ථාවන්වලදී වගකිව යුතු නිලධාරීන්ට සහ එවකට දේශපාලන බලාධිකාරියට පැවසුවද කිසිවකු ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවයි.

එහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන පැවසුවේ උපයන විට ගෙවීමේ බදු ක්‍රමය කිසිඳු හේතුවක් නොමැතිව ඉවත් කිරීම මගින් ගැටළු රාශියක් ඇතිවූ බවත් 12.5 ක්ව තිබු රාජ්‍ය ආදායම මෙලෙස බදු කපා හැරීමෙන් 8.7 ට අඩුවූ බවත්ය.

එසේම මහ බැංකුවේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධතාවය වැඩි කර ගනිමින් නිසි සන්නිවේදනයක් සහිතව තීරණ ගතයුතු බවද කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බැවින් මෙම සාකච්ඡාව නැවතත් එළඹෙන 17 වැනිදා පවත්වන බවද ප්‍රකාශ කෙරිණ.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , නාලක ගොඩහේවා , එම්. ඒ. සුමන්තිරන් , මුජිබර් රහුමාන් , සුරේන් රාඝවන් , ගාමිණී වලේබොඩ , කංචන විජේසේකර , අනුප පස්කුවල් , විජිත හේරත් , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , , ඉසුරු දොඩංගොඩ , රංජිත් බණ්ඩාර , නලින් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගිව ඇත .

මූලාශ්‍රය lankadeepa

සහල් මෙට්‍රික් ටොන් 32000ක් කඩිනමින් වෙළඳ පොළට : අමරවීර දන්වයි !

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කොට සතොස මගින් බෙදා හරින ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි .

මේ වනවිට වෙළෙඳ පොලේ සහල් හිඟයක් සහ මිල ඉහළ මට්ටමක පවතින නිසා එය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

දැනට වී අලෙවි මණ්ඩලය සතු වී තොගවලින් සහල් මෙට්‍රික් ටොන් 32,000ක් පමණ සකසා ගත හැකි බව වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මේ වන විට වෙළදපොලේ සියලුම සහල් වර්ග රුපියල් 230 හෝ 270ත් අතර අලෙවි වෙයි .

එසේ වුවත් වී අලෙවි මණ්ඩලය මගින් ලබා දෙන සහල් වල තොග මිල සහ අලෙවි කළ හැකි සිල්ලර මිල ගණන් ඊට වඩා අවම මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ලංකා විදුලිබල (සංශෝධන ) පනත : වැඩි ජන්දයෙන් සම්මතයි !

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 36ක් පමණි.

මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් වාර්තා වෙයි .

අදාළ පනතට එරෙහිව විදුලි ඉංජිනේරු සංගමය අද වැඩවර්ජනයක් කැඳවා තිබූ නමුත් අධිකරණ නියෝගයක් හේතුව එය වැලකී ගියේය .

විදුලි ඉංජිනේරු සංගමය කැඳවා තිබූ මේ වර්ජනයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ බරපතළ විරෝධයක් එල්ලවී තිබීමත් සුවිශේෂී ය.

අධිකරණයට බාරවූ ජොනීට ඇප ලැබෙයි !

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අද (09) අධිකරණය හමුවට බාරවී තිබේ.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ නිල නිවසට පැමිණ මන්ත්‍රීවරයා මෙසේ බාරවී ඇති අතර ඔහුට ඇප ලබාදී ඇති බවත් වාර්තා වෙයි .

ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය අසල එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් නියෝග කර තිබිණි.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා අද රාත්‍රී 8 ට පෙර අධිකරණයට භාර වන ලෙස ඔහුට අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබුණි.

ජුනි 10 සිට මාස්ක් අනිවාර්ය නෑ - සෞඛ්‍ය බලධාරීන්

හෙට (10) සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත .

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනයක් ද නිකුත්කර ඇත .

කෙසේවෙතත් ශ්වසන රෝග ගැටලු ඇති අය එය පැළඳීම සුදුසු බව එහිදී සඳහන් කර තිබේ.

කිසියම් අයකු දිගටම මුඛ ආවරණ පළඳින්නේ නම් එයට බාධාවක් නොවන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දැනුම් දෙයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

20220609 163221

ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

වහාම අද රාත්‍රී 8.00 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් අද (09) පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ට නියෝගයක් නිකුත් කළේය .

මෙම නියෝගය නිකුත්කර ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුවය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් රීට් පෙත්සම සලකා බැලීම සහ නියෝගය නිකුත්කර ඇත .

බැසිල්ගේ මෙහෙයුම සාර්ථකයි : බිරිඳ පුෂ්පා ඇමරිකාවේ ගෙදර යයි !

තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ පැවසීය.

පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී අද (09) මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

තමා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ තිබූ බලාපොරොත්තු දෙකම ඉෂ්ට වූ බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය .

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේ , තමා ලංකාවට පැමිණියේ යහපාලන ආණ්ඩුවෙන් තමා දූෂිතයෙක් යැයි චෝදනා කරමින් ඉදිරිපත්කෙරුණු නඩුවලට පෙනී සිටීමටත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වීමට හේතුව තමා බවට චෝදනා එල්ලවීමත් නිවැරදි කිරීමට බවත්, පැවසීය .

එසේ නොමැතිව ඇමතිකම් දැරීමට තමාට අරමුණක් නොතිබුණු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

තමාට එරෙහිව තිබුණු අවසාන නඩුවත් ඉකුත් සතියේ අවසන්වූ බවත් මහින්ද රාජපක්ෂ ව ජයග්‍රාහණය කරවා ඉහළ තනතුරකට පත්කෙරුණු බවත් පැවසු බැසිල් රාජපක්ෂ, ඒ අනුව තමාගේ අරමුණු මේ වන විට ඉටුවී ඇති බවද සඳහන් කළේය.

බිරිඳ ඇමරිකාවේ ගෙදර යයි !

මේ අතර හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ ද අද අලුයම රටින් පිටව ගොස් තිබේ.

කටුනායක ගුවන් තොටුපලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද අලුයම එමිරේට්ස් ගුවන්සේවයේ යානාවකින් ඇය ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඇය ඩුබායි සිට ඇමරිකාව දක්වා පිටව යාමට නියමිත බවද වාර්තා වේ.

 

 

 

 

ලංවීම වෘත්තීය සමිතිවලට : බරපතළ චෝදනාවක් !

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය අරගලයට සමඟාමීව පාලනයකින් තොරව රන්දෙනිගල රන්ටැඹේ වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇතැයි විදුලි අමාත්‍ය කාංචන විජේසේකර අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම වෘත්තිය සමිති ත්‍රස්තවාදය හේතුවෙන් ඉදිරියේදී ජල විදුලිය නිපදවීමේ හැකියාව අවම කිරීමක් බව පැවසූ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

අධිකරණ නියෝගයකයින්ගෙන් වෘත්තිය අරගලය සති දෙකකට නවතා ඇති බවත්, විදුලි බල සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇතැයි කී අමාත්‍යවරයා, තමන් අද ඉදිරිපත් කරන විදුලිබල පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීමට සහය දෙන්නැයි ඉල්ලා සිටියේය.

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය !

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි.
 
අද දින පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන පුනර්ජනනීය බලශක්ති හා සම්බන්ධ නීති වැදගත් වන්නේ එම පසුබිම තුළය. නීති සම්පාදකයන් හා ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඒ පිළිබඳ වාද විවාද කළ යුතුය. මා මෙම ලිපියේ මතු කර දක්වන්නේ මෙහි ඇති දේශපාලන වැදගත්කම පමණි. 
 
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් යනු ලංකාව මුහුණදී තිබෙන බලශක්ති අර්බුදයට වගකිව යුතු ප්‍රධානම පිරිසයි. එහෙත්, ඔවුන් මේ ගැන දක්වන අදහස් වැදගත්ය. සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය. කෙසේ වෙතත්, රටේම විදුලිය විසන්ධි කරන බවට ඔවුන් කරන තර්ජනයට ආණ්ඩුව ශක්තිමත්ව මුහුණදිය යුතුය. බලශක්ති ක්ෂේත්‍රයේ සිදුකළ හැකි විප්ලවයට එරෙහි ප්‍රතිවිප්ලවය නියපොත්තෙන් කැඩිය හැකි තැනදීම කඩාදැමිය යුතුය. 
 
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනමින් සිදුකළ යුතුය. මණ්ඩලයේ සිටින ඉංජිනේරු ඇතුළු සේවක අතිරික්තය හා වෙනත් දූෂණ මැඩලීම එහි කාර්යක්ෂමතාව ඉහළනැංවීම සඳහා අත්‍යවශ්‍යය. 
 
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් නගන සුපුරුදු අවලාදය නම් මේ සැරසෙන්නේ මණ්ඩලය විකුණාදැමීමට බවය. අප නම් කියන්නේ රටට බලශක්ති සුරක්ෂිතතාව සැපයීමට අසමත් වී තිබෙන ලංකා විදුලි බල මණ්ඩලය විකුණාදැමුවත් කමක් නැත. 
 
බලශක්ති සුරක්ෂිතභාවය ලංකාවේ නිෂ්පාදන කාර්මික විප්ලවයක් සඳහා අත්‍යවශ්‍යය.  ආනයනික පෙට්‍රෝලියම් මත රඳාපැවතීම අවම කිරීම සඳහා මාර්ගය වැටී තිබෙන්නේ පුනර්ජනනීය බලශක්තිය හරහාය. 
 
ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයකු වන සුජීව අබේවික්‍රම ලංකාදීප පුවත්පතට මෙසේ ප්‍රකාශ කර තිබිණි. "මෙගා වොට් එක බැගින් වූ විදුලි ව්‍යාපෘති 10,000කට බලපත්‍ර නිකුත් කරමු. ඒ සඳහා අවශ්‍ය වන්නේ හෙක්ටයාර් 20,000කි. එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ව්‍යාපෘති 30ක් පමණ ඇතුළත් වෙයි. ව්‍යවසායකයාට කොටස්වලින් 20%ක් දෙමු. ඉඩම අයිතිකරුට 10%ක කොටස් දෙමු. ඉතිරි කොටස් 70% ඩොලර් ආයෝජනය කළ හැකි විදෙස්ගත ලාංකිකයන්ට හෝ විදේශිකයන්ට ලබා දෙමු. ඒ කාටත් ලාභාංශ ගෙවිය යුත්තේ රුපියල්වලිනි. විදේශීය ආයෝජකයාට දෙන රුපියල්වලින් ලංකාවට පැමිණ සංචාරය කර විනෝද වී යළි සිය රටට යාමට පුළුවන. ලංකාවේ කරන සංචාරය සඳහා ඔහුට අවශ්‍ය මුදල් ලංකාව ඇතුළේ පවතියි. රුපියල් රටින් පිටට ගෙන යාමෙන් ප්‍රයෝජනයක් නොමැති නිසා විදේශිකයා තමන් සතු රුපියල් ලංකාව ඇතුළේදීම වියදම් කරයි. එවැනි ව්‍යාපෘතිවලට කැමැති විදේශිකයෝ ලොව කොතැනත් සිටිති. මා කරන මේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් අපේ ඩොලර් ප්‍රශ්නයට ද විසඳුම් ලැබෙයි. ආහාර අර්බුදයට ද පිළියම් යෙදෙයි. රට පුරා එවැනි ව්‍යාපෘති 10,000ක් ක්‍රියාත්මක වුවහොත් රට පුරා නව රැකියා බිහි වෙයි."
 
පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් කටයුතු කරද්දී දූෂණ අවම වන පරිදි කටයුතු කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. 
 
කෙසේ වෙතත්, මේ වනාහි ලංකාව එඩිතර තීරණ ගත යුතු වකවානුවකි. ආණ්ඩුවට එසේ කිරීමට සිදුවී තිබේ. බලශක්තිය භාරව ශක්තිමත්, එඩිතර, තරුණ ඇමතිවරයකු සිටීම බලාපොරොත්තු ජනිත කරයි. ඡයාරූපයේ සිටින්නේ විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර හා අපේ රටේ අනාගත පරපුරට අයත් සාමාජිකාවන් දෙදෙනෙකි.
 
අජිත් පැරකුම් ජයසිංහ,
 Praja.lk
 

ධම්මික පෙරේරාට පාර්ලිමේන්තු යන්න පුලුවන්ද?

‘නීතිය අනුව ධම්මික පෙරේරාට පාර්ලිමේන්තු යන්න බෑ‘ -- බම්බුව තමයි!

ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි.

තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය. අනාගත ආයෝජනය චම්පික රණවක ය. නින්දිතම අවස්ථාව කරුණා ය. විහිළුව සරත් ෆොන්සේකා ය. සුක්ෂම අවස්ථාව ඩලස් ය. බැසිල් ගේ පත් කිරීම ඔය එකක් තරම් වත් ලංකා දේශපාලනයේ තවම සුවිශේෂ වන්නේ නැත!

2004 මහා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ බාර දුන් නාම යෝජනා පත්‍රයක හෝ 99 ඒ වගන්තිය යටතේ බාරදුන් ජාතික ලැයිස්තුව ට හෝ රත්නසිරි වික්‍රමනායක ගේ හෝ විජේදාස රාජපක්ෂ ගේ නම තිබුණේ නැත. නමුත්, ඔවුන් දෙදෙනා පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබීය. එයට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් සුනන්ද දේශප්‍රිය අභියාචනාධිකරණයේ නඩුවක් දැම්මේය. පසුව මේ නඩුව ඉල්ලා අස්කර ගත්තේය. ජනදාස පීරිස් ඉල්ලා අස් නොවන්නට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමන්ගේ දිගු කාලීන දේශපාලන හිතවතා හා ලෙස අගමැති රත්නසිරි පත් කර ගන්නට ලැබෙන්නේ නැත. ඊ.ඒ.ඩී.සී. වීරසේකරගෙන් හිස්කල පුටුව, විජේදාසට ජාතික ලැයිස්තුව ලැබුණේ මේ වැඩේට අවශ්‍ය නීති තර්කය හැදූ නිසා යැයි මම සිතමි.

2007 සැප්තෑම්බර් එජනිස පත්කල මන්ත්‍රී අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයා අභාවයට පත් වූ අතර එම පුරප්පාඩුවට පත්වුයේ බැසිල් රාජපක්ෂ ය. කතාව හැමෝම දන්නා බැවින් විස්තර නොකරමි.

1999 දී පොදුජන පෙරමුණ (පුටුව) 99 ඒ වගන්ති ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්ට බාරදුන් ජාතික ලැයිස්තුව සංශෝධනය කළේය. මුල් ලැයිස්තුවේ බැටී වීරකෝන් ගේ නම තිබූ අතර, දෙවැන්නේ බැටී ගේ නම තිබුණේ නැත. බැටී වීරකෝන් කීර්තිමත් නීතිවේදියා නඩු දැම්මේය. වැඩක් වුණේ නැත.
2015 මහා මැතිවරණයට සරත් ෆොන්සේකා ‘පන්දම‘ ලකුණින් ඡන්දය ඉල්ලා පරාජයට පත් විය. 2016 දී එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මිය ගිය පසුව (එජාප තම ලැයිස්තුවේ සිටි අසාත් සාලි වෙනුවට), වෙනත් පක්ෂයකින් තමන්ට විරුද්ධව ඡන්දය ඉල්ලු සරත් ෆොන්සේකා ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය. කොමිසම ඒ නම ගැසට් කර සරත් ෆොන්සේකා මන්ත්‍රී කළේය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එදා එජාප මහ ලේකම් කබීර් හෂීම් ට විරුද්ධව අංක 54/2016 මානව හිමිකම් නඩුව දැම්මේය. නඩුව විභාගයට නොගෙන ම විසි විය.

ජාතික ලැයිස්තුවේ නම නොතිබුණු ඩලස් අලහප්පෙරුම 2005 පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි දැන් කවුරුත් කථා කරන්නේ නැත. ඇමති ලක්ෂමන් කදිරගාමර් ඝාතනයෙන් පසුව ඩලස් පාර්ලිමේන්තුවට ආ හැටි තමයි හොඳම එක! ඒක හොඳටම කළේ මහින්ද රාජපක්ෂ ය.

2008 වසන්ත සමරසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ විට එයට පත් වූවේ හොර පාස්පෝට් එකකින් ලන්ඩන් ගොස් ආපසු ලංකාවට පැමිණ සිටි විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ය. කරුණා කළ ජාතික මෙහෙවර නිසාදෝ එදා ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ගැන කවුරුවත් කථා කළේ නැත.

හෙළ උරුමය මගින් මැතිවරණයට ඉදිරිපත් කළේ භික්ෂුන් වහන්සේලා පමණී. 2006 පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී චම්පික රණවකට පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාව සලසා දුන්නේය. චම්පික ඒ මැතිවරණයට තරඟ කළේ හෝ ජාතික ලැයිස්තුවේ නම තිබුනේ හෝ නැත.

මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පත් කිරීම් හරිම අපූරුය. මාතෘකාවට කෙළින්ම සම්බන්ධ නැතත් සල්මාන්, අයි.කුද්දුස්, පුෂ්පකුමාර පමණක් නොව අසිත පෙරේරා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ හැටි විචිත්‍ර කතාය. ලැයිස්තුව තවත් දිගය! අවශ්‍ය කෙනෙකුට සොයා ගත හැකිය. (හොයනකොට ලූසිඩා නෝනා ගේ මන්ත්‍රීකම ආචාර්ය මර්වින් සිල්වා මහත්යාට ලැබුණ හැටි අමතක කරන්න, එය අදාලම නැතත)

රත්නසිරි, බැටී වීරකෝන්, සරත් ෆොන්සේකා නඩුවල දී පස්ස දොරෙන් පාර්ලිමේන්තු යන්නට බෑ කියන කතාව පරාජය වී ඇත. සත්‍යය එයයි.

අගමැති රත්නසිරි, කරුණා අම්මාන්, ඩලස්, චම්පික, විජේදාස පාර්ලිමේන්තුවේ කැපි පෙනුනු චරිත ය. බැසිල් රාජපක්ෂගේ පත්වීම ඒ සියල්ලට වඩා අවශේෂ හෝ සුවිශේෂ වන්නේ පත්වීමේ නීත්‍යානුකූල භාවය නිසා නම් නොවේ.

ආණ්ඩුව ද, විපක්ෂය ද, පුරවැසියන් ද එය බාර ගන්නා ආකාරය අනුවය.

රජිත් කීර්ති තෙන්නකෝන් ගේ ෆේස්බුක් ගිනුමෙනි

ලංවීම අසාධාරණ වර්ජනයක : විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් : ගැසට් එක මෙන්න !

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලය සියලුම වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම වෘත්තිය සමිති සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ පනතක් හෙට දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට විරුද්ධව මෙම වැඩවර්ජනය සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසීය.

මෙම පනත සම්බන්ධයෙන් කිසිදු වෘත්තීය සමිතියක් සමග අදහස් සාකච්ඡාවක් සිදු කර නැතැයි ද ඔහු පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් සඳහන් කරන්නේ හෙට අලුයම වන විට ලංකාව පුරා සියලුම බලාගාර ක්‍රමානුකූලව අක්‍රීය වනු ඇති බවයි.

විරෝධතාව නොතකා පනත සම්මත කළහොත් මෙම වැඩ වර්ජනය දිගටම පවත්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ ප්‍රතිචාර දක්වමින් ඇත්තේ , මෙම වැඩවර්ජනය අසාධාරණ සහ හිතාමතාම ජනතාව පීඩාවට පත්කරන්නක් බවයි.

මේ අතර විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

FB IMG 1654707342488

තවත් මිලිටිරි පත්වීමක් : මෙවර තරුණ සේවා සභාවේ සභාපති !

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස බ්‍රිග්‍රේඩියර් ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා පත්කර ඇත.

ඒ අනුව ඔහු පසුගියදා වැඩ ආරම්භ කර තිබේ.

බ්‍රිගේඩියර් තිරාන් ද සිල්වා මීට පෙර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහ මර්චන් බැංකුවේ අධ්‍යක්‍ෂවයෙක් ලෙස මෙන්ම, ආරක්‍ෂක අමාත්‍යංශයේ පරීක්‍ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ යුද හමුදා තොරතුරු තාක්‍ෂණ මධ්‍යෂ්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කර ඇත .

ඔහු , ආරක්‍ෂක අමාත්‍යංශයේ පරීක්‍ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ සහ යුද හමුදා තොරතරු තාක්‍ෂණ මධ්‍යස්ථානයේ මේ දක්වා පත්වූ ලාබාලතම අධ්‍යක්‍ෂවරයා වන බවත් වාර්තා වෙයි .

පානදුර රාජකීය විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු ඕස්ට්‍රේලියාවේ දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඇත .

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගියදා බ්‍රිගේඩියර් තිරාන් ද සිල්වා ට පත්වීම් ලිපිය ප්‍රදානය කර ඇත .

ලංකාවට IMF සහය : අගමැති ඇමතුම ඵල දරයි !

මෙම දුෂ්කර වකවානුවේ ශ්‍රී ලංකාවට සහාය වීමට IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළකර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි .

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක් අනුව IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ බව සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති දුරකථන සාකච්ඡාවක් අවස්ථාවේ ය.

ඊට අනුව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සමඟ ඊයේ සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පවත්වා ඇත .

IMF කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත .

ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කළ බවත් සඳහන් වෙයි.

 

 

ජොනී අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) වරෙන්තුවක් නිකුත් කර ඇත.

අධිකරණය මඟහැර සිටිම හා නියමිත ස්ථානවල රැඳී නොසිටීම පිලිබදව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරියේදී ඇති වූ සිදුවීම් වලට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

යෝජිත විදුලිබල සංශෝධන පනතට : කරන්ට් වදියි !

තරගකාරී ටෙන්ඩර් පටිපාටියට පිටින් සිදුකරන ක්‍රියාවලිය හරහා ලංකා විදුලි බල මණ්ඩලයට ආර්ථික වශයෙන් අලාභයක් සිදුවන යෝජිත විදුලි බල මණ්ඩල පනත වහාම හකුලා ගත යුතු බව 43 සේනාංකය පවසයි.

'රජය විසින් යෝජිත විදුලිබල සංශෝධන පනතේ සැගවුන සැබෑ අරමුණ' මැයෙන් අද 43 සේනාංකය මගින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ 43 සේනාංකයේ ඉංජිනේරු සංසදයේ සභාපති සුරත් සෙනෙවිරත්න මහතා;

“පහුගිය අවුරුදු විස්ස පුරාවට අවුරුදු 13 – 14 ක්ම විදුලිබල මණ්ඩලය තිබුනේ රාජපක්ෂ රජය යටතේ. එයිනුත් වැඩිම කාලයක් පාලනය කරේ සභාපතිවරයා හෝ ලේකම්වරයා විදිහට දැන් ඉන්න සභාපතිවරයා. එහෙමනම් මේ පාඩුව පිළිබඳ වගකීම දරන්න ඕනේ ඒ පාලනයේ හිටපු පිරිස්ම තමයි.

එතකොට මේ 250% කින් විදුලිබිල වැඩි වෙනවයි කියන කතාව එද්දිම අපි පාරිභෝගිකයෝ විදිහට ගත්තොත් අපි ඒකට අකමැති වුණත්, ඒක මේ වෙලාවේ සිද්ධ කරන්න වෙනවා. රටේ තියෙන අර්බුදයත් එක්ක. අපි ඒක පිළිගන්නවා. නමුත් ඇත්තටම හොයලා බලන්න ඕනේ විදුලිබල මණ්ඩලයේ පාඩු වෙන්නේ මොකක් හින්දද කියන කාරණය.

අපේ රටට මේ අර්බුදකාරී අවස්ථාවේ ඩොලර් එන එක සත්ය නමුත්, මේකෙදි සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් එහෙම, අන්තර්ජාතිකව මේ මොහොතේ, සාමාන්යයෙන් සුළං බලශක්ති ඒ විකිණෙන්නේ සමාගමෙන් අපි මේ ගිවිසුම හරහා බලාපොරොත්තු වෙනවා ඒක ඩොලර් සත හත හමාරක වගේ ගානකට මිලදී ගන්න. ඒකෙන් ඇත්තටම සිද්ධවෙන මෙගාවොට් 500 ක විදුලි බලාගාරය හරහා ඩොලර් සත 7.5ක මුදලකට විදුලිය මිලදී ගැනීම හරහා තවදුරටත් විදුලිබල මණ්ඩලයේ ආර්ථිකයට හානි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මේක ගේන්න ඕනේ අර අන්තර්ජාතික වෙළඳ පොළේ තියෙන වටිනාකමට, එහෙමත් නැත්නම් ඒ ආසන්න වටිනාකමටම අඩු ම ගානේ ඩොලර් සත 4 ක ප්‍රමාණයටවත් ඒකකයක් මිලදී ගන්න පුළුවන් තැනට ගේන්න ඕනේ. එහෙම වුණොත් තමයි, මේක විදුලිබල මණ්ඩලය පැත්තෙන්, එහෙම නැත්නම් මහජනතාව පැත්තෙන් අලාභයක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අර්බුදයකට නොයා තියෙන තත්වයකට හදාගන්න පුළුවන් වෙන්නේ.

අදානි සමාගමට මේ ටෙන්ඩරය ලබාදෙන්නේ කිසිම තරඟකාරී ටෙන්ඩර් ප්‍රතිපත්තියකට අනුව නෙමෙයි. දැන් අදානි සමාගමට මේ දෙන්න යන එක මේ සංශෝධනය හරහා, විදුලිබල මණ්ඩල පනත සංශෝධනය හරහා කරන්න යන්නේ, ඉදිරියට එහෙම එන, ලොකු ආයෝජන සමඟ එන ආයතන වලට විශේෂයෙන් පෞද්ගලික ආයතන වලට අපේ බලශක්ති ක්ෂේත්‍රය තුළ ලබා දෙන්න යනවා ඔවුන්. තරඟකාරී ටෙන්ඩර් වලින් තොරව ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදෙනවා. ඒකත් වෙන්නේ ආපහු අනිත් පැත්තෙන්. විදුලිබල මණ්ඩලයේ ආර්ථිකයට හානි වෙන එක. හරහා සිද්ධ විදුලිබල මණ්ඩලයටම පාඩුවක්. මේ සංශෝධන පනත වහාම අකුල ගන්න”

43 සේනාංකයේ මුදල් ලේකම්, ඉංජිනේරු සංසදයේ විධායක සභික සුමේධ රත්නායක දැක්වූ අදහස් ;

“මේ පනත බලාත්මක වෙන වෙලාවේදී සිද්ධ වෙමින් තිබුණු තාප සහ පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා විශේෂ ප්‍රතිපාදන සපයලා තිබුණා. අනික් කොන්දේසිය වුනේ සියලූම ව්‍යාපෘති තරඟකාරී ලංසු කැඳවීම යටතේ කළ යුතුයි කියන එක. මේ පනතේ හතලිස් තුන්වෙනි වගන්තියට ඉතා කුඩා සංශෝධනයක් ගෙනල්ලා, අනාගතයේදී කරන්නට තිබෙන ව්‍යාපෘති තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම තමයි, මේ පනත සංශෝධනයේ අරමුණ වෙලා තියෙන්නේ.

අපි හැමෝම දන්නවා ලංකාව අද මේ තිබෙන මේ ආර්ථික අගාධයට පත්වෙන්න ප්‍රධානම හේතුවක් තමයි, මේ තරඟකාරී ලංසු කැඳවන්නේ නැතුව කරපු ව්‍යාපෘති.

විදුලිබල මණ්ඩලය පාඩු වෙන්නේ මේ විදුලිබල මණ්ඩලයේ තියෙන ප්‍රශ්නයක් නිසාද? එහෙම නැත්නම් මේ අපේ පාරිභෝගිකයොන්ට අඩු මිලට විදුලිය දෙන නිසාද? නැහැ. ඇත්තටම වැඩිපුර මේ පාඩුව සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ කරන කටයුතු වලින්, මේ වගේ මහා පරිමාණයේ දූෂණ මඟින්, අනාගතයේදී මේ අදානි ලබාදෙන හැම විදුලි ඒකකයකින් අපේ ජනතාවට සිද්ධ වෙනවා පාරිභෝගිකයෙකුටම රුපියල් 13.50 ගානේ ගෙවන්න. ඩොලරය වැඩි වෙන තරමට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් 2019 විදුලිබල පනතට අනුව අවම පිරිවැයක් සඳහා එය යොමු කරමින් නම් අවම පිරිවැයක් වැය කරමින් නම් මේ ව්‍යාපෘතිය අධානිට කියන එක කෙලින්ම පනත උල්ලංඝනය කිරීමක්.

බලශක්ති සැලැස්ම යටතේ ක්‍රියාත්මක වෙන්න මේ සුනිත්‍ය බලශක්ති අධිකාරියට සහ විදුලිබල මණ්ඩලයට ඉඩ දෙන්න ඒවා තරගකාරී ලංසු කැඳවීමෙන් කරන එක තමයි ඉතාම සාර්ථක ක්‍රමය එහෙම නොකරන මේ ව්‍යාපෘති වලින් අනාගතයේදී මේ රටේ තව බොහොම දුකට පත්වෙලා ඉන්න ජනතාවට විදුලි බලය සඳහාත් අධික මුදලක් ගෙවීමට සැලැස්වීම තමයි සිද්ධ කීප දෙනෙකුගේ සුඛ විහරණය සඳහා. මේ පහුගිය කාලේ මේ රට පුරාම අර කපුටු නාදය දැන් ටිකක් නිහඬ වෙලා කියලා අපිට පේනවා.

හැබැයි මේ රාජ්‍ය ආයතන හැම එකක් ඇතුළෙම කපටු කණ්ඩායම් ඉන්නවා. මේ කපුටු කණ්ඩායම් ඉන්නවා විදුලිබල මණ්ඩලය ඇතුලේ. මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුලේ මේ කපුටු කණ්ඩායම් විසින් පරණ දූෂණයන් ඒ ආකාරයෙන්ම කරගෙන ආවා. රටේ ජනතාවගේ ආයතන වල සිටින මහත්වරුන්ගේ සියලු දෙනාගේම වගකීමක් මේ කපුටු කණ්ඩායම් මේ තැන්වලින් ඉවත් කිරීම”

තහනම් රසායනික යොදා මත්පැන් පෙරූ සමාගම් රකින්න : සුරාබදුවේ සූදානමක් !

තහනම් රසායනික ද්‍රව්‍ය යොදා මත්පැන් පෙරා පාරිභෝගිකයින්ට විකුණූ සමාගම් දෙක බේරා ගැනීම සදහා සුරා බදු දෙපාර්තමේන්තුවේ සූදානමක් ඇති බව අනාවරණය වෙයි.

ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් හරහා ය.

අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි .

පසුගිය කාලයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වෙළදපොලේ අලෙවි කිරීමට ඇති මත්පැන් වල නියදි ලබා ගෙන පරීක්ෂා කිරීමක් සිදුකරන ලදී. එහිදී හෙළිවූයේ පල්දන්වත්ත, මල්කඩුවාව, කුරුණෑගල ලිපිනයේ පිහිටා ඇති රෝයල් සිලෝන් ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම (කළින් වයඔ ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම ලෙස හදුන්වනු ලැබූ) හා සිනජි ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම විසින් පාරිභෝගිකයාට අලෙවි කරනු ලබන මත්පැන් වල Isopropanol හෙවත් Isopropyl අඩංගුව පැවැති බවයි.

මෙම රසායනිකය නිවසේ භාණ්ඩ සෝදා ගැනීමට හා සනීපාරක්ෂක කටයුතු සදහා(වැසිකිලි පිරිසිදු කිරීම සදහා) භාවිතා කරනු ලබන රසායනිකයක් වන අතර එය මිනිස් ශරීරයට හානිකර දායක රසායනිකයකි.

කොරෝනා රෝගයෙන් වැලකී සිටීම අත් පිරිසිදු කරන විෂබීජ නාශක නිෂ්පාදනය කිරීම සදහා මෙරට ආනයනය කරනු ලබන Isopropanol හෙවත් Isopropyl නැමැති රසායනිකය භාවිතා කරමින් මධ්‍යසාර නිෂ්පාදනය කිරීම ලාභ දායක වන අතර මධ්‍යසා නිෂ්පාදනය සදහා සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන එතනෝල්වලට වලට වඩා මෙම රසායනිකයේ මිල අඩුය. ඒ නිසාම අදාල සමාගම් හිතාමතාම මෙම රසායනිකය භාවිතා කරන බව විශ්වාස කල හැක.

අදාල සිදුවීම පිළිබදව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කල අතර සුරා බදු දෙපාර්තමේන්තුව විසින් අදාල සමාගම් දෙකට සීල් තබා උක්ත සමාගම් දෙකේ නිෂ්පාදන නැවත කැදවීම සදහා නියෝග නිකුත් කරන ලදී. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව අදාල සමාගම් දෙකේ නිෂ්පාදන පිළිබදව පාරිභෝගිකයා දැනුවත් කලේ නැත. එසේ දැනුවත් කලා නම් පාරිභෝගිකයාට අදාල භාණ්ඩ මිලදී නොගෙන සිටීමට හැකියාව තිබුණි.

මෙම සමාගම් දෙක රජයේ හිටුපු අමාත්‍යවරයෙකුට අයිති සමාගම් බවට සමහර මාධ්‍ය වාර්තා කරන ලදී. ඒ නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව මෙම සමාගම් දෙකට යම් කිසි සහයෝගයක් ලබා දෙන බව අප සංවිධානයේ විශ්වාසය වන අතර පාරිභෝගිකයින්ට විස රසායනික යොදා මධ්‍යසාර අලෙවි කල සමාගම් දෙකට නීතියෙන් රිංගායාමට අප කිසිවිටකවත් අවස්ථාව ලබා දෙන්නේ නැත.

අදාල සමාගමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා සහ අදාල සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීම කරන තෙක් අප බලා සිටින අතර එසේ නොකළහොත් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණය වෙත යාම සදහා අප සංවිධානය කටයුතු කරන බවද මෙරට පාරිභෝගිකයාට වසවිස පොවන මත්පැන් නිෂ්පාදනාගාර පිළිබදව මීටත් වඩ විමසිල්ලෙන් සිටින ලෙසද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අප ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Page 242 of 386