V2025

පුවත්

ඇඳිරි නීතිය තවදුරටත් !

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.

එසේ පනවන ඇදරි නීතිය පසුදා එනම් (14) උදෑසන 6.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

13

නව අගමැති රනිල් : ප්‍රමාදය ගැන සජිත් තැවෙයි !

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (12) සවස දිවුරුම්දී ඇත.

ඒ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මෙසේ පත්වන්නේ හය වෙනි වතාවටය .

නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ ට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාදීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරිපත් ව ඇති බවත් වාර්තා වෙයි .

එසේම ඉදිරියේදී සුළු පක්ෂ ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

සජිත් තැවෙයි !

කෙසේ වුවත් මෙම දිවුරුම්දීමත් සමග මෙතෙක් රට අරාජික වන්නට ඉඩහැර බලාසිටි බලවේග කලබල වූ තත්ත්වයක් පෙන්නුම් කරයි.

විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉමහත් ශෝකයෙන් මුසපත්ව සිටින බවත්, එසේම තමන්ගේ ප්‍රමාදය සියල්ලට මුල බව හිතවතුන් කිහිපදෙනෙකු වෙත පවසා ඇති බවත් වාර්තා වෙයි

එසේම විපක්ෂ නායක අද හිටිහැටියේ ලිපියකට අත්සන් තබා තමන් කොන්දේසි කිහිපයක් සමග අගමැති ධූරය භාරගන්නට සූදානම් බව සඳහන් කර ඇත .

එහිදී ඔහුගේ නියෝජිතයන් හට ජනාධිපති දන්වා ඇත්තේ , පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතරය පෙන්වා අගමැති ධූරය ලබාගන්නට කටයුතු කරන ලෙසත් , ඒ හැර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ලබාදුන් වචනය වෙනස් කිරීමට නොහැකි බවත් ය.

එසේම අගමැති ධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් පළමුව ආරාධනා කර සිටියේ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත බවත් , ඔහු විවිධ කොන්දේසි දමමින් අවස්ථාව ප්‍රතිකේෂ්ප කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී සිහිපත් කර ඇති බවත් වාර්තා වෙයි .

සෝභිත කාදිනල් විරෝධය !

මේ අතර ඕමල්පේ සෝභිත හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ගේ පත්වීමට විරෝධය පලකර ඇත .

රනිල් එන ආරංචියට කොටස් වෙළඳපොල ගොඩ යයි !

රනිල් වික්‍රමසිංහ අගමැති වීමට යන ආරංචියට ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල යළිත් හිස ඔසවන්නට ආරම්භ වී ඇති බව කොටස් වෙළඳපොල විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

අද(12) දිනය අවසන් වනවිට 3.17%ක වර්ධනයක් අත්කර ගැනීමට කොටස්වෙළඳපොල සමත් වී ඇත.

ආර්ථික අර්බුධය සහ දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අඩියටම කඩා වැටුණු ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ ආයෝජනයෙන් දෙස් විදෙස් ව්‍යාපාරික ප්‍රජාව ඉවත් විය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කඩා වැටුණු ආර්ථිකය යළ පණ ගසා සිටුවන්නට සමත් එකම පුදගලයා ලෙස රනිල් හිතවාදීන් දිගින් දිගටම කියා සිටි රනිල් හිතවාදීන් පවසන්නේ, අද කොටස් වෙළඳපොල වර්ධනය ඊට කදිම සාක්ෂියක් සපයන බවයි.

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන සිටින එකම දේශපාලකයා නිසා ඔහුව විශෟවාස කොට විදේස් ආයෝජන සහ ආධාර රැසක්ද දිගින් දිගටම රට තුළට ගලාගෙන ඒමට නියමිත බව වැඩි දුරටත් ඔවුන් සඳහන් කර සිටියි.

කෙසේ වුවද මේ වන විට රට තුළ පැන නැගී ඇති ඉන්ධන හිඟය, බල ශක්ති අර්බුධය සහ බඩු භාණ්ඩ හිඟයට ඉක්මන් විසඳුම් නොගෙනාවොත් මහජනතාව තවත් ප්‍රකෝපකාරී වෙමින්, මුලු රටම මහා ව්‍යසනයකට ඇදගෙන යනු ඇති බව දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයින් දිගින් දිගටම අදහස් දැක්වීය.

කිසිම බලාපොරොත්තුවක සේයාවක්වත් නැති එවන් තත්ත්වයක් තුළ අද කොටස් වෙළඳපොලේ නැගිටීම මහජනාතාව සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ අපේක්ෂාවන් ජනිත කරවමින් ඇත.

සජිත් අගමැති ධූරය ඉල්ලයි : වෙලාව ඉවරයි පුතා : කාලෙකට පස්සේ ජනාධිපතිට හිනා !

අභිනව අගමැති ධූරය පිළිගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

මේ වන විට අගමැති ධූරය ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් ද විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවත් එහිදී සඳහන් කෙරිණ .

එම ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නැයි මහානායක හිමිවරු ඇතුළු පිරිස කළ ඉල්ලීම අනුව නිශ්චිත අවම කාලයක් තුල ජනාධිපති ධූරයෙන් ඉවත්වීම ඇතුළු කොන්දේසි කීපයක් මත අග්‍රාමාත්‍ය ධූරය බාර ගැනීමට එකඟ බවයි.

ZZ 4 1024x1024

රනිල්ට බය වෙලා !

වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ හදිසි ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කරන්නේ , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය භාර ගැනීමට සූදානම් බව දැනුම්දි පැය 24 ක් ඉක්මයාමට පෙර වීමයි.

එසේම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරු 6.30 ට හය වෙනි වතාවටත් අග්‍රාමාත්‍ය ධූරයෙ දිවුරුම් දීමට සූදානම් කර තිබූ පසුබිමක වීමයි.

කෙසේ වුවත් මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැති ධූරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත කළ ආරාධනය ඔහු විවිධ කොන්දේසි දමමින් ප්‍රතිකේෂ්ප කර තිබිණ.

ජනාධිපතිට හිනා !

මේ වන විටත් අගමැති ධූරය භාර ගැනීමට සූදානම් බව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකළ ලිපිය ජනාධිපති අතට පත්ව ඇති බවත් වාර්තා වෙයි .

එහිදී අගමැති ධුරය බාර ගන්නා ලෙස තමා විසින් රනිල් වික්‍රමසිංහට දුන් වචනය මේ අවස්ථාවේදී වෙනස් කළ නොහැකි බව ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින්ට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

වත්මන් අර්බුදය තුළ අගමැතිධුරය බාරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන ලෙස තමන් පළමුව අරාධනා කලේ විපක්ෂ නායකවරයාට බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා දිගින් දිගටම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද ප්‍රකාශ කර තිබේ.

ඒ තත්වය තුළ අගමැතිධුරය බාර ගන්නා ලෙස තමා කල ඉල්ලීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුන හෙයින්, ඔහුට අද දිනයේ දිව්රුම් දීමට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කෙසේ වුවත් පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතරයක් පෙන්වීමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සූදානම් නම් ඊට අනුව කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති පැවසුඉ බවත් වාර්තා වෙයි .

රටේ පවතින බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුද හේතුවෙන් ඉඳහිට හෝ සිනහා වීමත් අමතක කර සිටි ජනාධිපතවරයාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකළ ලිපිය දැක සිනහා ගොස් ඇති බවත් වාර්තා වෙයි .

විචාරකයන් සජිත්‍ට සලකයි !

ඒ අනුව මේ හදිසි තීන්දුව මහ නායක හිමිවරුන්ගෙ ඉල්ලීම පිළිගැනීමක් නොව රනිල් වික්‍රමසිංහ අගමැති වීමේ භීතිකාව හේතුවෙන් සහ බල තන්හාව නිසා ගනු ලැබූවක් බව විචාරක මතය වී තිබේ .

දේශපාලන විචාරකයන් පවසන්නේ මේ ආකාරයට අවස්ථාවාදී ලෙස භික්ෂූ සංස්ථාව හෝ මහ නායක හිමිවරුන් විකිණීම සටකපටි දේශපාලන උපක්‍රමයක් බවයි.

මෑත ඉතිහාසයේ එය හොඳින්ම අත්හදා බලා වාසි අත්කර ගත්තේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

පැය 48 ක් රටේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් නොමැතිව පැවතියදී, කොන්දේසි දමමින් රටේ බරපතළ ආර්ථික අර්බුදය අමතක කර, සිය බලය ගැන පමණක් සිතූ සජිත් ප්‍රේමදාස වැන්නෙකු, එක් වරම මහනායක හිමිවරුන් විකුණා, අගමැති ධූරය ඉල්ලීම හරහා , ඔහු විපක්ෂ නායක ධූරයටත් නොසුදුසු බව ඔප්පුකර ඇති බවත්, විචාරකයන් පවසයි .

ඔවුන් එහිදී පෙන්වා දෙන්නේ , මහින්ද රාජපක්ෂ අදටත් ජනතාවගෙන් වසංවී බංකර් ජීවිතයක් ගෙන යන්නේ දේශපාලන බලය වෙනුවන්, ආගම ජාතිය ගැන බොරු කියා ජනතාව රැවටූ නිසා බවයි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ද ආරම්භයේම ඒ මග යන්නට සූදානම් වන බවත් එනිසා එවැනි දේශපාලන නායකයන් පළමු මොහොතේ ම වේදිකාවෙන් ඉවත් කිරීමට අනාගතය වෙනුවෙන් කරන හොඳ ආයෝජකයක් බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මේ අතර වාර්තා වන්නේ , සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයන් රැසක් මේ වන විට රනිල් වික්‍රමසිංහ අගමැති වීමට සහය පළකර ඇති බවයි.

ගෝල්ෆේස් අනුරංගට යුක්තිය ඉටුකරනු : අරාබි වසන්ත අත්අඩංගුවට ගනු !

මැයි 09 වනදා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මැර කල්ලි එල්ල කළ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ශාලික අනුරංග මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

ගෝඨා ගෝ ගමේ the trust නම් කූඩාරමේ සිටි ක්‍රියාකාරීම සාසාමාජිකයකු වූ ඔහු ප්‍රහාරයට ලක්ව ඇත්තේ ද තවත් සහෝදර අරගලකරුවකු පොදුජන පෙරමුණේ මැර පිරිසේ ප්‍රහාරයෙන් මුදවා ගැනීමට යාමේදී ය.

ඒ අවස්ථාවේ අනුරංග වෙත යකඩ පොළු ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ , පසුගිය සමයේ පොදුජන පෙරමුණ ආණ්ඩුවට එරෙහි විරෝධතාකරුවන් වෙත අදිසි පෙනීසිටීම් හරහා විරෝධය දක්වන කුප්‍රකට "අරාබි වසන්ත " බව සඳහන් වෙයි. එසේම මේ ප්‍රහාරය එල්ල කරන්නේ පොලිස් නිලධාරීන් ද ඉදිරි පිටය.

ගෝල්ෆේස් අරගල බිමේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඊට අදාළ වීඩියෝ සාක්ෂි පවා ඔවුන් සතුව ඇත.

මෙම අරාබි වසන්ත ව විරෝධතාකරුවන් විශේෂ කොට දක්වන්නේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහාන නිවස ඉදිරිපිට විරෝධය අවස්ථාවේ ඉතා සැක සහිත ලෙස ගින්නට ලක්ව රටේම ආන්දෝලනයකක් ඇති කළ බස් රථය එතැනට ගෙනා පුද්ගලයා ද මොහු බව විශ්වාස කරන නිසාය.

කෙසේ වුවත් කුප්‍රකට අරාබි වසන්ත ගේ යකඩ පොලු ප්‍රහාරය හේතුවෙන් අනුරංග ගේ හිසේ දකුණු පැත්තට බරපතළ හානි සිදුව ඇති බවත් වාර්තා වෙයි .

මේ වන විට හිස් කබලේ දකුණු පැත්තෙන් කොටසක් ඉවත් කර ඇති බවත් නල්ස් යොදා එහි එක්වන රුධිරය ඉවත් කරන බවත් වෛද්‍යවරුන් පැවසූ බව ඔවුන් පවසයි .

මේ වන විට අනුරංග ක්‍රමයෙන් සුවය ලබමින් සිටින නමුත් ඔහු සාමාන්‍ය තත්ත්වයට පත්වීමට කාලයක් ගතවනු ඇති බවත් අරගල බිමේ සගයන් පවසයි.

මේ හමුවේ ඔවුන් ඉල්ලා සිටින්නේ , නිරායුද ශාලික අනුරංග වෙත මරනීය ප්‍රහාරයක් එල්ල කළ මේ කුප්‍රකට අරාබි වසන්ත වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

පහත දැක්වෙන්නේ ඒ කුප්‍රකට අරාබි වසන්ත ගේ තිරිසන් හැසිරීම ය.anuranga

anuraga

anuranga 3

anuranga 4

 

 

පැනලා හමාරයි : මහින්ද ඇතුළු 17 කට විදෙස් ගමන් තහනමක් !

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ , නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත්කර ඇත.

පසුගිය මැයි 09 වෙනිදා “මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරු මේ නියෝගය බලපැවැත්වෙන බවත් වාර්තා වෙයි .

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) මේ නියෝගය නිකුත්කර ඇති අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන සිදුකළ ඉල්ලීමක් පිළිගනිමින් ය.

අදාළ නඩුවේ විත්තිකරුවන් මෙසේය .

a 15 1024x1024

රනිල් 6 වැනි වරටත් අගමැති වෙයි : දිවුරුම්දීම අද 6.30 ට !

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (12) පස්වරු 6.30 ට අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිව්රුම්දීමට නියමිතව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , නව ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධව 'සමගි ජන බලවේගයේ' පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට ආසන්න පිරිසක් ඊයේ (11) රාත්‍රියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පවත්වා ඇත.

එම හමුවීම සිදුව ඇත්තේ , හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ගේ නිවසේදී ය.

වාර්තා වන ආකාරයට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වන නව ආණ්ඩුවේ වැඩපිළිවෙළ සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු වී ඇත.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ සජබ ජ්‍යෙෂ්ඨයකු පවසා සිටියේ, අග්‍රාමාත්‍ය ධුරය හා නව ආණ්ඩුව පිහිටුවීමේ වගකීම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක විසින් දිගින් දිගටම පැහැර හැරීම නිසා රට අරාජිකත්වයකට යාම වැලැක්වීමට සහ කඩිනමින් ආර්ථික අර්බුදය විසඳාගැනීමට සහය ලබාදීමට මේ තීරණය ගත් බවය.

එසේම මේ වන විට සමගි ජනබලවේගය සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන් ද ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

එසේම රනිල් වික්‍රමසිංහ අද අගමැතිවරයකු ලෙස දිවුරුම් දෙන්නේ හය වැනි වතාවටය .

ආණ්ඩුව ගන්න සජබෙන් කොන්දේසි : අජිත්ට අනුව බහුතරය සජිත්‍ට !

තම පක්ෂය ඉදිරිපත් කරන කරුණු 4කට යටත්ව ආණ්ඩුව බාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසයි.

ඊයේ (11) සවස පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඊට අදාළ නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

SJB 1024x986

සජබ මන්ත්‍රීවරුන්ගේ ඉවසීම පනියි !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදිය හැකි ඕනෑම කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙන බවය.

වාර්තා වන ආකාරයට එම මන්ත්‍රී කණ්ඩායම ඊයේ (11) කොළඹදී හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත .

වාර්තා වන ආකාරයට එම මන්ත්‍රී කණ්ඩායම 20කි.

ඔවුන්ගේ මතය වී ඇත්තේ පක්‍ෂ දේශපාලනය පසෙකලා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට සජිත් ප්‍රේමදාස කටයුතු නොකිරීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවය.

එසේම රට පවතින්නේ දැන් භාරගත්තොත් මට මොකක් වේවිද යනුවෙන් සිතන මොහොතක නොවන බවත් සැබෑ නායකයන් මතුවිය යුත්තේ අර්බුද සමයේ එහි අභියෝගය භාරගන්නා පෞරුෂය ලෙස බවත් ඔවුන්ගේ මතය වී ඇත.

හරීන් - මනුෂ ස්වාධීනයි !

කෙසේ වුවත් මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දැනටමත් ස්වාධීන වන බව ප්‍රසිද්ධියේ පවසා ඇත.

බහුතරය සජිත්‍ට !

මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු වන අජිත් පී පෙරේරා සිය ෆේස්බුක් ගිනුමේ සටහන් තබමින් හුදෙකලා අරගලයක නිරතව සිටියි.

එහි එක් පෝස්ටුවක ඔහු පවසන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය සජිත්‍ට බවය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රතිචාර දක්වා ඇත්තේ , බහුතරය තිබේ නම් අගමැති නොවන්නේ ඇයිද ? යනුවෙනි.

ajith p

ෆොන්සේකා - ගෝඨාභය හමුවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (11) සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඊට අනුව මෙම හමුවීම ජනාධිපති මන්දිරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආරාධනයක් අනුව සිදුව ඇත.

එහිදී වත්මන් ආරක්ෂක සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ජා කර ඇති බවත් වාර්තා වෙයි .

මෙසේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වන අවස්ථාවේ අලුත් ආණ්ඩුවක් සැදීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය තමාට ලබාගත හැකි බව ෆීල්ඩ් මාෂල් වරයා මෙහිදී සඳහන් කර ඇතැයි ද වාර්තාවේ.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ අගමැති ධුරය බාරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත කල ආරාධනය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් තුල , සමගි ජන බලවේගයේ ප්‍රධානියකු වන ෆීල්ඩ් මාර්ෂල්වරයා මෙසේ ජනාධිපතිවරයාව හමුවීමය.

සජිත්‍ට විපක්ෂ නායක ධූරයත් අහිමිවන ලකුණු !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට එම ධූරය අහිමිවන තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඒ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් නව ආණ්ඩුවක් පිහිටුවීමට සහය දෙමින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට ගෙන ඇති තීන්දුව නිසාය.

එසේම තවත් පිරිසක් තීරණාත්මක මොහොතක සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට නියමිත බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට මේ වන විට සජබ මන්ත්‍රී කණ්ඩායමේ 25 කට ආසන්න පිරිසක් ඊළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වුවහොත් ඔහුට සෘජුව සහය දැක්වීමට එකඟව සිටින බවය.

එයින් 11 දෙනෙකු ඊයේ (11) සවස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී පවසා ඇති බවත් වාර්තා වෙයි .

ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය බවය. එසේම ආසයි බයයි න්‍යායේ නායකයකු සමග ඉදිරියට ගමනක් නැති බවත් එම මන්ත්‍රීවරුන් ගේ අදහසවී තිබෙන බවත් වාර්තා වෙයි .

තවත් පිරිසක් 19 සංශෝධනය අවස්ථාවේ සජබ නායකයා වන සජිත් ප්‍රේමදාස කිසියම් කකුලෙන් ඇදීමක් සිදුකලොත් ඊට එරෙහිව දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි .

ඒ අනුව ගතවන මොහොතක් පාසා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ට එකී ධූරය අහිමිවන තත්ත්වයක් පෙන්නුම් කරයි.

පාර්ලිමේන්තුවේ ‍අග‍්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාසගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලාසිටියද විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ඔහු මඟ හරිනු ලැබීය.

පොහොට්ටුව පුපුරයි : පිරිසක් විපක්ෂයේ !

මේ අතර නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.

ඊට ඉදිරියේදී මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ නායකත්වය දෙනු ඇති බවත් වාර්තා වෙයි .

එසේම මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දරන ධූරය ලබාගන්නට ඔවුන් මේ වන විටත් සූදානම් වෙමින් සිටින බවත් වාර්තා වෙයි .

එම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමට නියමිතව තිබේ.

 

 

නව අග්‍රාමාත්‍ය සහ කැබිනට්ටුව සූදානම් : ජනාධිපති දන්වයි !

මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගත හැකි අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය .

පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද තමන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය .

එසේම නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යන්න අවස්ථාව සලසා දෙන බවටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අදහස් පළකර සිටියේ අද (11) ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශයේදීය.

ජනාධීපති ගෝටාභය රාජපක්‍ෂ විසින් අද සිදු කරන ලද ජාතිය ඇමතීමේ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි .

ආර්ථික අර්බුදය නිසා සමාජ දේශපාලන අස්ථාවර භාවයක් ඇති වුණා !

“අද අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක්. මේ අවස්ථාවට එන්නට ප්‍රථම ආර්ථික අර්බුදය නිසා ජනතාව මුහුණ දෙමින් සිටි දුෂ්කරතා නිසා සමාජ, දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුණා.

මේ පැවති ගැටලුවලට විසඳුම් හැටියට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවක් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පක්ෂ එකතුකරන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස. පසුගිය කාලයේ මම මේ සඳහා විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල නායකයන් සමග සාකච්ඡා බොහොමයක් කළා. ඒ අදහස මමත් පිළිඅරගෙන මේ විසඳුමට අවශ්‍ය පසුබිම සකස් කරන්න අසීරු හා දැඩි තීන්දු කිහිපයක්ම අරගත්තා.

රාජපක්ෂවරුන් ඉවත් කළ ඇමති මණ්ඩලය !

පසුගිය කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී එවකට හිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු විශාල ප්‍රමාණයක් ඒ වගේම රාජපක්ෂවරු සියලුදෙනාම නැති තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නව ඇමති මණ්ඩලයක් පත් කළා. ඒ වගේම අගමැතිවරයා ඉල්ලා අස්වී සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවලා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව සලසා දෙන්නට එකඟතාවකට පැමිණියා.

මැයි 09 අවාසනාවන්ත තත්ත්වයක් !

නමුත් මැයි මස 09 වන සදුදා උදෑසන ඔබ සියලුදෙනාම දන්නා පරිදි ඉතා අවසනාවන්ත තත්ත්වයක් ඇති වුණා. මේ සිදුවීම පාදක කරගෙන ඉතාම සුළු වේලාවක් තුළ දිවයින පුරා කළහකාරී සිද්ධීන් ඇති වෙන්න පටන් ගත්තා. ඇඳිරි නීතිය පනවලා ත්‍රිවිධ හමුදාව ස්ථානගත කරන්නටත් ප්‍රථමයෙන් මේ ක්‍රියාදාමය සංවිධානාත්මකව රට පුරාම සිදු වුණා. පැය කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුථ නව දෙනෙක් පමණ අමානුෂික ලෙස පහරදී මරා දමනු ලැබුවා. ඒ වගේම 300කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කළා. ඒ වගේම නිවාස විශාල ප්‍රමාණයක් ගිනි බත් කළා. රට පුරාම මංකොල්ල කන්න පටන් ගත්තා.

මේ සිද්ධීන්ට පාදක වූ මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව මම දැඩි ලෙස හෙළා දකිනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන්න නිසි කටයුතු කරන්නටත් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

රට සාමකාමී කරන්න පියවර ගනිමින් සිටිනවා !

ඒ කෙසේ වෙතත් ඉන් පසුව සිදු වූ මිනීමැරුම්, පහරදීම්, බිය ගැන්වීම්, දේපළ විනාශ කිරීම් ඇතුළු මේ ම්ලේච්ඡ සිදුවීම් මාලාව කිසිසේත්ම සාධාරණීයකරණය කිරීමට හැකියාවක් නැහැ. මෙම සිද්ධිය සිදුවූ මොහොතේ ඉදලා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මම රට සාමකාමී කරන්න පියවර ගනිමින් සිටිනවා.

මේ අවස්ථාවේදී රජයේ මූලිකම වගකීම වන්නේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ නිසා කළහකාරීන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නියෝග ලබා දී තිබෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වූ සැලසුම් කළ, අනුබල දුන් සහ ප්‍රචාරණය කළ සෑම දෙනාටම විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නවා.

කඩාකප්පල් ක්‍රියාවලින් ඉවත් වන්න !

ඒ නිසා මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ඉවත් වී සිටින ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙතෙක් සිදු වූ ජීවිත හා දේපළ හානි දෙස බලා තවදුරටත් වෛරය වපුරුවන කණ්ඩායම් හෙළා දකින්නට මේ රටේ වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන අතරම රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මම සියලු පක්ෂ නායකයන් සමග කටයුතු කරනවා.

අලුත් අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් !

වර්තමානයේ තිබෙන තත්ත්වය පාලනය කරන්න, ඒ වගේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගන්න දැනට ඇණහිට තිබෙන රජයේ කටයුතු පවත්වාගෙන යන්න නව ආණ්ඩුවක් පිහිටුවීමට මා කටයුතු කරමින් සිටිනවා. මම මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරනවා.

19 බලාත්මක කරනවා !

ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා.

පත්වන නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යන්න අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ඉල්ලීම් ලැබි තිබෙනවා. පත්වන නව රජය රට ස්ථාවරත්වයට පත් කිරීමෙන් පසු සියලුදෙනාම සමග සාකච්ඡා කර ඒ සඳහා කටයුතු කිරීමටත් ඉඩ ප්‍රස්ථාව සලසා දෙනවා. මෙම අතිශය දුෂ්කර අවස්ථාවේදී රට කඩාවැටීමට ඉඩ නොතබා මහජනතාවගේ ජිවිත වගේම ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරගෙන ජන ජිවිතයට අත්‍යාවශ්‍ය සියලු දේ සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න මට සහය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

එබැවින් මේ අවස්ථාවේදී සාමකාමීව සහ කල්පනාකාරිව කටයුතු කරන මෙන් සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

රනිල් බලය අල්ලයි? ජනාධිපති ජාතිය අමතයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (11) මේ මොහොත වනවිට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

ජනාධිපති මන්දිරයේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන අතර එය මෙරට දේශපාලන ඉතිහාසයේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ නව ආණ්ඩුවක් පත් කිරීම අවිනිශ්චිත තත්ත්වයක තිබියදීය.

විශේෂයෙන් අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව පැය 48ක් ගෙවීගොස් හමාරය .

ජනාධිපති - සජිත් සාකච්ඡා අසාර්ථකයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අගමැති ධුරය බාරගනිමින් ආණ්ඩුවක් පිටුවන ලෙස ජනාධිපතිවරයා මැයි 09 කර තිබු ආරාධනය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.

ඒ, පළමුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වියයුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරමිනි. ඊට අදාළව පැවති අවසන් සාකච්ඡාව බිඳ වැටුණේ තමන් අගමැති වීමට නම් පළමු මොහොතේ ම ජනාධිපති ඉවත් විය යුතු බවට සජිත් පාර්ශ්වය දැමූ කොන්දේසිය ජනාධිපති විසින් ප්‍රතිකේෂ්ප කර ඇති නිසාය.

සජබ වෙනුවෙන් මේ සාකච්ඡාව සඳහා සහභාගි වූයේ , රංජිත් මද්දුමබංඩාර , හර්ෂ ද සිල්වා , එරාන් වික්‍රමරත්න , කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් ය.

ස්වාධීන මන්ත්‍රී නම්වලට බහුතරයේ ප්‍රශ්නයක් !

මේ අතර ස්වාධින මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ රැස්වී අගමැති ධුරය සඳහා නම් තුනක් යෝජනා කර තිබිණ. ඩලස් අලහප්පෙරුම, විජේදාස රාජපක්ෂ හා නිමල් සිරිපාල ද සිල්වා ඒ නම් තුනයි.

ඒ අතර ප්‍රසිද්ධ හිමිවරුන් පිරිසක් විසින් හිටපු කතානායක කරු ජයසුරිය අගමැති ධුරයට පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

කෙසේ වෙතත් ඊට අදාළ සාකච්ඡා වලදී පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිව ඇති බවත් වාර්තා වෙයි .

පොහොට්ටු සජබ සහය රනිල්ට !

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක්, සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මේ වන විට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළිත් අග්‍රාමාත්‍ය කිරීමට සහය දැක්වීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි .

ජනාධිපති අද ජාතිය අමතයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 9.00 ජාතිය ඇමැතීමට නියමිතව ඇත්තේ මෙවැනි දේශපාලන පසුබිමක ය.

 

වැඩ වර්ජනය අවසන් කළේ : හමුදා පාලනයක් ගැන සැකයක් නිසා ?

ජන අරගලයට අත තැබූ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්මට බල කල ඒකාබද්ද වර්ජනය වර්ජනය අවසන් කර ඇති අතර මැයි 12 වෙනිදා පෙරවරු 7.00 සිට මහජන සේවා යථා තත්වයට පත් කිරීම පිළිබදව වෘත්තීය සමිති අවධානය යොමුව ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැරයන්ට මහජනතාව නිසි දඩුවම් ලබා දී ඇති බැවින්, තවදුරටත් රට තුල ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මවීම වැලකිය යුතු බවත් ආගමික අන්තවාදීන්, හොරුන්, දේශපාලන මැරයින්, හොරුන්ට ජන අරගලය අතට ගැනීමේ ඉඩ වැලකිය යුතු බැවින් මේ තීරණය ගනු ලැබූ බව
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

ආණ්ඩුවක් නෑ : වෙඩි තියන්න අණදෙන ලේකම්ලා ඉන්නේ කොහොමද ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ රවී කුමුදේශ් මෙසේ පැවසීය .

"ආරක්ෂක ලේකම් කියලා කෙනෙක් ඊයේ රෑ කියනවා වෙඩි තියන්න කියලා. හිටපු අගමැති හැංගිලා. එයාව නිත්‍යාණුකූලවම අයින් කරලා. ආණ්ඩුවක් නෑ. ඒ නිසා ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්න විදියක් නෑ .

සාමකාමී ජන අරගලයට අත තැබූ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර ගිහින් ඉවරයි. දැන් දේශපාළණ මැරයෝ, කුඩු කාරයෝ ආගම් අන්තවාදීන් වැඩේ අතට ගන්න හදමින් ඉන්නවා. මේක හමුදා පාළණයේ සැලසුම් සහගත උත්සාහයක් වෙන්න පුළුවං."

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දැඩිව අවධාරණය කරන්නේ , මේ වන විට රටේ නිර්මාණය වී ඇති තත්ත්වය හමුවේ වෙන වාසි ලබාදීමට නොහැකි බවයි.

 අරගලය නව මුහුණුවරකින් මැයි 13 වෙනිදා සිට !

එසේම රට ව්‍යවස්ථාණුකූල ලෙස කඩිනමින් යථා තත්වයට පත් කිරීම සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාළණ පක්ෂ නායකයින්ගේ වගකීමක් වන බැවින්, ඒ සදහාද බල කරමින්, ජන අරගලය විසින් ඉල්ලනු ලබන සැබෑ දේශපාළණ පරිවර්තනය සදහා වන අරගලය ලබන 13 වෙනිදා සිට නව මුහුහුණුවරකින් නැවත ආරම්භ කිරීමටද වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කර ඇත.

හමුදා පාලනයක් ගැන සැකයි !

එසේම මේ වන විට රටේ මතුව ඇති ප්‍රචණ්ඩත්වය සහ අරාජික ස්වාභාවය දිගටම පැවතිය හොත් හමුදා සහය ලබන ඒකාධිපතිත්වයක් මතුවීමේ අවධානම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පාර්ශ්ව රැසක් පෙන්වා දී ඇත.

එසේම සමාජ මාධ්‍ය තුළ පවා සිවිල් යුද තත්ත්වයක දී මෙන් අගනුවර ප්‍රමුඛ ප්‍රධාන නගර වල ගමන් ගන්නා සන්නාහ සන්නද්ධ රථ කෙරෙහි අවධානය යොමුව ඇත.

FB IMG 1652274230879

 

අර්බුදය විසඳීමට : ජනාධිපති ඉවත් වෙන්න - පෙසප

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වාහාම ඉවත්විය යුතු බවත් ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තාවකාලික සම්මුති ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් යෝජනා කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේ අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

ජනාධිපතිවරයා ඉවත්වීමත් සමඟ තාවකාලික ජනාධිපතිවරයෙක් පත්කර මසකට පසුව නව ජනාධිපතිවරයෙක් පත්කළ යුතු බව කී කුමාර් ගුණරත්නම් ඉන් පසුව මාස හයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂවල සහභාගීත්වයෙන් තාවකාලික අන්තර්වාර පාලනයක් ස්ථාපිත කළ යුතු බව ද සඳහන් කළේය.

රට මුහුණ දී සිටින ගැටලුකාරී තත්වයෙන් මිදීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය යෝජනා හතක් ඉදිරිපත් කරන අතර තාවකාලික සම්මුති ආණ්ඩුව යටතේ හදිසියේ ගතයුතු ක්‍රියාමාර්ග ද ඉදිරිපත් කර තිබේ.

 

මහ බැංකු අධිපති : දේශපාලනඥයින්ට සති දෙකක් කල් දෙයි !

රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

"තව සතියක් දෙකක් මෙම අස්ථාවරභාවය තිබුණොත් මම මේ පුටුවේ ඉන්නේ නෑ’ යනුවෙන් ද මහ බැංකු අධිපතිවරයා පැවසූ අතර ඒඅද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී ඔහු ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම සදහා රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම අහිතකර ලෙස බලපාන බවත් පැවසීය.

අද අගමැතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් නැති, පාර්ලිමේන්තුව අක‍්‍රිය විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයක් පවතින්නේ යයිද පැවසූ මහ බැංකු අධිපතිවරයා හැකි ඉක්මණින් ස්ථාවර පාලන ක්‍රමයක් පත්කළ යුතු බවද සදහන් කලේය.

එවැනි ස්ථාවරත්වයක් කෙටි කලකින් ලබාගත නොහැකි නම් රට අරාජික වනු ඇති බවත් පැවසූ ඔහු තවත් දින කිහිපයක් මෙසේ පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක් ඇතිවිය හැකි බවද කියා සිටියේය.

අන්තර්කාලීන අගමැති සජබට දෙනවට : පොහොට්ටු විරෝධයක් !

සමගි ජන බල⁣වේගයේ නායකයකු හට ආණ්ඩු බලය පිහිටුවීමට පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහාය ලබා ගැනීම දුෂ්කර වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේම අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සජබ ජ්‍යෙෂ්ඨයන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගේ සහාය ඉල්ලා ඇති අතර එහිදී ද එතරම් සුභවාදී ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඇතමුන් විරෝධය පලකර ඇති බවත් වාර්තා වෙයි .

මීට හේතුව ලෙස වාර්තා වන්නේ , මැයි 09 අරලිය ගහ මන්දිරයේ සිට දියත් කෙරුණු මැර ප්‍රහාරයට සම්බන්ධ නොමැති මැති ඇමතිවරුන් පවා කෝපවූ ජනතාවගේ ප්‍රහාරයට බඳුන් වන විට සජබ නායකයන් මුනිවත රැකි බවත් , අවම වශයෙන් ජනතාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගැනීමත්‍ ය.

කෙසේ වුවත් අන්තර් කාලීන ආණ්ඩුවක් සියලු පක්ෂ එක්ව කටයුතු කරන්නෙ නම් ඊට මන්ත්‍රීවරුන් ලෙස සහාය දක්වන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා ඇති බවත් වාර්තා වෙයි .

සජබ - පොහොට්ටුව මෙම සාකච්ඡා දියත්කර ඇත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත පසුගියදා සිදුකළ ආරාධනය අනුවය.

 

 

මිනිස් ආවේගයන් විප්ලවීය නැතැයි කිව හැක්කේ කෙසේද? 

දූෂිත හොස්නි මුබාරක් ගේ පාලනයට එරෙහිව 2011 වසරේ කයිරෝවේ දිගහැරුණු ෆේස්බුක් විප්ලවය නොඒසේනම් අරාබි වසන්තය (Arab Spring) වගේම ඊට සමාන්තරව ටියුනිසියාවේ පුපුරා ගිය ජැස්මින් විප්ලවයත්, ග්‍රීසියේ මුල්‍ය අර්බුදයේ ගෝලීය පාඩම් සහ 2013 වසරේ සිට අද දක්වා දිග ඇදෙන 'කළු ජාතිකයින් ද ජීවත් විය යුතුය' යන (Black Lives Matter) විකෙන්ද්‍රිය ඇමෙරිකානු අරගලයත් සමඟ පසුගිය දශකය ගතවූයේ ජනප්‍රිය අරගල දශකයක් ලෙසය.

ඒ සියල්ලත් සමඟම 2019 හොංකොං අරගලය, 2020 තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සටන, මෑත බල්ගේරියානු සහ බෙලරුසියානු අරගල, පෝලන්ත කාන්තා අරගලය, කිරිස්ගිස්තියනු අරගලය, ඉන්දියානු ගොවි අරගලය, 2010 සිට 2022 දක්වා පමණක් වූ තවත් දහසකුත් එකක් සටන් සහ අරගල මෙන්ම දරුණු ආර්ථික අවපාතය ද ශ්‍රී ලංකාවේ ගෝල්ෆේස් අරගලයේ ප්‍රභවය, ජවය සහ විකසිත බවට බලපාන්නට ඇත.

ගෝල්ෆේස් අරගලයේ නිර්මාණාත්මක, බහුවිධ, විචිත්‍රවත් සහ වෛවර්ණ බව විසින් එය ලංකාවේ පමණක් නොව ආසියාවේ මෙන්ම ලෝකයේද මේ වර්ගයේ පළමු විප්ලවීය අත්දැකීම බවට පත්වන්නට ඇත. මේ අරගලයට තරුණ ජනයා පමණක් නොව සමස්ත පොදුජන ආකර්ෂණය ම දිනා ගන්නට ඒ විකෙන්ද්‍රිය අත්දැකීම ඉවහල් වන්නට ඇතැයි සිතිය හැක. සහභාගී වූ අය ඒ ගැන අනුරාගික වූ අතර සහභාගී නොවූ බොහෝ අය එයට ආදරය කළේය.

දහස් ගණන් වැල නොකැඩි ගෝල්ෆේස් කේන්ද්‍රය වෙත තරුණ ජනයා වැඩි වශයෙනුත් වැඩිහිටි ජනයා සෑහෙන පමණත් සහභාගී වන්නට විය. කේන්ද්‍රය අනුව යමින් ලංකාව පුරා ඒ අනුව ගෝඨාගෝ ගම් ඇතිවිය. අරගලය ගැන මිනිසුන් දැනුවත් විය.

මිරිහානෙන් ඇරඹි මේ ප්‍රතිරෝධය පාර්ලිමේන්තු වටරවුම දක්වා මාසයක් තිස්සේ ගමන්කර යම් සටන්කාමී බව තීව්‍රතාවයක් අත්පත් කර ගනිමින් පැවතියේය. එය ආපසු හැරවිය නොහැකි බව හැම කෙනෙක් වෙතින්ම මේ වනවිට ප්‍රකාශ වෙමින් තිබිණි.

අප්‍රේල් 9 වැනිදා එළඹෙන්නේ මේ සියල්ල සිදුවෙමින් පවතින විටය.

අරගලයේ අනුරාගික කේන්ද්‍රය' (passionate core) ගෝල්ෆේස් වනවිට සහ ඒ අනුරාගය ගැන සත පහක වටිනාකමක් නොතිබූ ග්‍රාමීය රාජපක්ෂවාදී වැඩිහිටි ලුම්පනය ඒ මැදට ත්‍රාඩ ලෙස කඩා වැදී එය විනාශ කරන විට එයට එරෙහිව පාරට බැස්සේ අගනුවර ආයතන වල ටයිකෝට් දැමූ තරුණ පරම්පරාව ය. වැඩකරන පන්තිය ය. පොදුවේ මිනිසුන් ය.

දෛවෝපගත 9 වැනිදා අවසන් වූවේ සර්ව රාත්‍රික මට්ටමෙන් විශාල පෙරළියක් වෙනුවෙන් ලාංකික පොළොව සූදානම් බවට සලකුණු කරමිනි. නොසිතූ දේපළ විනාශයක් රට අත්වින්දා වුවද සියලු සමකාලීන ගෝලීය අරගල අවසන් වී ඇත්තේ මිටත් වඩා ප්‍රචණ්ඩ ප්‍රතිරෝධයන් සහිතවය. කෙසේ වුවද ගෝල්ෆේස් අරගල සන්දර්භය අන් බොහෝ අරගලවලින් වෙනස් ව ගෝලීය අවධානයක් දිනා ගත්තේ ද එහි පැවති අවිහිංසාවාදී ප්‍රවේශය නිසාය. නමුත් ගෝල්ෆේස් ප්‍රහාරය විසින් අපගේ ඉවසීම පරික්ෂාවට ලක්කර තිබිණි. කෙසේ වුවත් අද වනවිට යම් සාමකාමී මතුපිටක් ලාංකික පොළොව මත වැටි ඇත. එය රැක ගැනීම අප හැමගේ වගකීමකි.

ජනප්‍රිය විප්ලවීය යෙදුමක් මෙහිදී උපුටන්නේ නම් 'හැම කෙනෙක් ම දුෂ්ට රජුගේ ගෙළ සිඳින්නේ කෙසේද යන්න ගැන රහසින් ඕපාදූප කියමින් ඇත. ඇතැම් විට මේ ඕපාදූපයට දශක ගණනක් ගතවිය හැක. මේ දුෂ්ට රජු කිසිසේත්ම දෙවියන් නොවන බව දන්නා සාමාන්‍ය මිනිසුන් කොයි මොහොතේ හෝ ඔහු දේවත්වයෙන් බිමට ඇද දැමීම ගැන රහසේ ජනකතා ගොතමින් සිටියි. නමුත් ඒ මොහොත එළැඹෙන්නේ ඉතාම සෙමින් නිසා එළඹෙන මොහොත ගැන මිනිසුන් දන්නේ නැත. එය ඔවුන්ට සිතාගත නොහැක. ඔවුන් නාට්‍ය ශාලාවට ගමන් කරන විටත් නාට්‍යයේ උච්චස්ථානයට ළඟාවී ඇත'.

ඔවුන් ගම්වල සිට ගෝල්ෆේස් නාට්‍යය කුඩු කරන්නට යනවිට ඇත්ත වශයෙන් නාට්‍ය පටන් ගෙන බොහෝ වෙලා ගොසිණි. ඇත්තටම එය තිබුණේ උච්චස්ථානයේය. ඔවුන්ට එය තේරුණේ දෙබරු කනවා සේ වදින විටය.

ඔවුන් කරන දෙය ඔවුන් නොදන්නා නිසා ගොං ප්‍රාදේශීය දේශපාලඥයින් උඩගෙඩි දුන් ලෙසින් ම ඔවුන් කොළඹ ආවේය. නැව් පිටින් ගුටි අනුභව කර ආපසු ගියේය. රජු දේවත්වයෙන් බිමට ඇද වැටෙමින් සිටියි. ඕපාදූපය ඇත්තක් වෙමින් ඇත.

ඒ සියල්ල සමඟ අරගලය කිසිදා නොතිබූ ජවයක් අත්පත් කර ගත්තේය.

ලාංකික ගෝල්ෆේස් අරගලයද වැටෙන්නේ ඊජිප්තු ෆේස්බුක් අරගල ප්‍රවර්ගයටය. මන්ද අරගලයේ අනුරාගය නිර්මාණය කිරීමේදී සහ සන්නිවේදනය කිරීමේදී ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය කළ කාර්යය අතිමහත් වීම නිසාය. එසේම සමාජ මාධ්‍ය තුල ඇති දුර්වලතා ද මෙහිදී විද්‍යාමාන විය.

මුහුණුපොත ඉතිහාසයේ සාරය නියෝජනය නොකරන මුත් එය මිනිස් ආවේගයන්හි කැඩපතක් නිර්මාණය කරයි. මිනිස් ආවේගයන් විප්ලවීය නැතැයි කිව හැක්කේ කෙසේද?

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

ගෝඨා යන්නම ඕන : අගමැති වෙන්න අනුරත් සූදානම් !

වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාවක් අද (11) ප්‍රසිද්ධ කර ඇත.

මෙහිදී ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රධානත්වයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළකර ඇත.

එසේම එහි පළමු සහ දෙවැනි කොන්දේසි අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත්විය යුතු අතර කතානායක වැඩබලන තාවකාලික ජනාධිපති විය යුතුව තිබේ.

මේ ඇතුළු ජාතික ජනබලවේගය කෙටිකාලීන යෝජනා මාලාව පහත දැක්වෙයි .

1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.

2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.

3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;

(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,

(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.

4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.

I. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.

II. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.

III. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.

IV. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය.

V. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.

Page 245 of 377