V2025

පුවත්

මහින්ද කහඳගම අත්අඩංගුවට !

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 09 වැනිදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මහින්ද කහඳගම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තු විසින් දන්වා තිබිණි.

ඩොලර් ඉලක්ක ගැන අගමැති පහදයි !

රජය මේ වසරේ ආපසු ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් ඉලක්ක කරන අතර රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඉලක්ක කර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ ඒකාබද්ධ වාණිජ මණ්ඩල සහා ඖෂධ නිෂ්පාදකයන් ගේ සංගමය , සුළු හා මධ්‍ය පරිමාණ ⁣ව්‍යාපාරිකයන් ගේ සංගමය ඇතුළු වෙලඳ සංගම් නියෝජිතයන් සමඟ අද (02)පැවති සාකච්ඡාවකදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය .

මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසූ අතර අර්බුදය සමනය කිරීමට උපකාර වන ඕනෑම මුල්‍යමය පාලමක් රඳා පවතින්නේ IMF සමඟ එළඹෙන ගිවිසුමක් මත බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ පරිත්‍යාගශීලී රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකරන බවයි.

ජපානය සමඟ සබඳතා බිඳ වැටී ඇති බවත් එම සබඳතා යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ හදිසි අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා වන ජාත්‍යන්තර අයාචනය සඳහා මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නායකත්වය දෙන බවයි.

ආහාර හිඟය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා පොහොර සුරක්ෂිත කිරීම සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළක් සැකසීමට එක හා සමාන ප්‍රමුඛත්වයක් ලබා දෙන බව පැහැදිලි කළේය.

කිසියම් අතිරික්ත බෝගයක් සිදුවුවහොත්, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සහනදායී මිලකට ඒවා ලබා දෙන බව ඔහු පැහැදිලි කළේය.

 

රාණී සහ හර්ෂගේ චෝදනා වැරදියි : සමන්ත චරිත්ට ලියයි !

මැයි 25 වැනිදා කෝප් කමිටුව හමුවේ ආචාර්ය රාණි ජයමහ තමා පිළිබඳ කළ ප්‍රකාශ සාවද්‍ය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී කළ සත්‍ය නොවන බරපතළ චෝදනාවලින් තමාගේ කීර්ති නාමයට කැළලක් ඇති වූ බවත් හිටපු මුදල් මණ්ඩල සාමාජික සමන්ත කුමාරසිංහ පවසයි .

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජුනි 01 වනදා කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් වෙත ලිපියක් ‍යොමුකරමින් ය.

 මෙහිදී ඔහු පවසා ඇත්තේ මුදල් මණ්ඩලයේ අදාළ රැස්වීම් සටහන් ගෙන්වාගෙන තමා සඳහන් කළ කරුණු වල සත්‍යතාවය පැහැදිලි කරගන්නා ලෙස ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ද සමන්ත කුමාරසිංහ විසින් කෝප් සභාපති වෙත යොමුකළ දීර්ඝ ලිපිය පහත දැක්වෙයි .

Correction of false information provided at COPE meeting on 25th May 2022 1

Correction of false information provided at COPE meeting on 25th May 2022 2

Correction of false information provided at COPE meeting on 25th May 2022 3

Correction of false information provided at COPE meeting on 25th May 2022 4

Correction of false information provided at COPE meeting on 25th May 2022 5

Correction of false information provided at COPE meeting on 25th May 2022 6

Correction of false information provided at COPE meeting on 25th May 2022 7

Correction of false information provided at COPE meeting on 25th May 2022 8

බදු ආදායම දෙගුණයක් කරන හැටි මෙන්න : බලධාරීන් සූදානම්ද ?

නොගෙවන බදු හා සඟවන බදු ආදායම් හෙළි කර ගෙන අයකර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිය හැකි නම් අද ලබන බදු ආදායම මෙන් දෙගුණයක ආදායමක් සෙවිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා දේශීය ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති සරත් අබේරත්න ප්‍රකාශ කරයි.

එය දීර්ඝකාලීන ක්‍රියාවලියක් ලෙස සිදුවිය යුතු යැයි ද ඔහු පවසයි .

ආදායම් බදු තුළින් ආදායම් ලබා ගන්නට පියවර ගන්නා අන්දමින්ම පවතින කළු ආර්ථිකයෙන් රට මුදා ගැනීමට ද බලධාරීන් කටයුතු කළ යුතු යැයි ඔහු යෝජනා කරයි.

ලංකා දේශීය ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති සරත් අබේරත්න මෙම කාරනා අවධාරණය කර ඇත්තේ, මැයි 31 දා කැබිනට් අනුමැතිය ලද බදු සංශෝධන පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ අදහස කුමක්දැයි ‘මව්බිම’ පුවත්පත කළ විමසීමකදී ය.

ඉක්මනින් මුදල් උපයා ගැනීමේ අරමුණින් රජය මෙම වක්‍ර බදු අයකිරීම් සංශෝධනය කරන්නට ඇතැයි සිතන බව ඔහු පවසයි.

දේශපාලනඥයන්, සුදුසුකම් නැති බදු නිලධාරීන් මෙන්ම වෙනත් නිලධාරීන් ද එක්ව සැදී ඇති චෞර වළල්ලක් විසින් මේ කළු ආර්ථිකය හසුරුවන බවත්, එය බිඳ දැමීමට ඉහළ සිට පහළට රටට ආදරේ ඇති සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවත් හෙතෙම අවධාරණය කර සිටියි.

''රටට බලපා තිබෙන මේ ආර්ථික අර්බුදයට හේතුව 2019 විශාල ප්‍රමාණයක් බදු ඉවත් කිරීමයි. 2019 වන විට එකතු කළ වාර්ෂික ආදායම රුපියල් බිලියන 1225යි. නමුත් 2019දී බලයට ආ වහාම රජය මේ බදු සංශෝධනය කරමින් විශාල ප්‍රමාණයකින් අඩු කළා. මෙයින් රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 1200ක් පමණ වෙනවා. ඒ සල්ලි හොයා ගන්න රුපියල් බිලියන 1700ක් මුද්‍රණය කළා. මේ උද්ධමනයට හේතුව මුදල් මුදා හැරීමයි. රජයේ සේවක වැටුප්වලට පමණක් බිලියන 80ක් අවශ්‍යයි.''

අන්තරේට එරෙහිව පොලිසිය ඉල්ලූ : වාරණ නියෝගය ප්‍රතිකේෂ්ප වෙයි !

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (02) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතිකේෂ්ප වී ඇත .

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මෙසේ කුරුඳුවත්ත පොලිසිය සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඒ සාමකාමී විරෝධතා ව්‍යාපාර වැළැක්වීම සඳහා අධිකරණය නියෝග නිකුත් නොකරන අතර , මහජනතාවට පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණකරුවන් හැසිරුණහොත් පොලිස් බලතල පාවිච්චි කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන් කරමින් ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියට විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති බවට තොරතුරු වලින් අනාවරණය වී ඇති අතර එසේ වුවහොත් ඉන්මහජනතාවට පීඩාවක් ඇතිවී මහා මාර්ගවල ගමනාගමනය අඩාල විය හැකි යැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ හේතුවෙන් කොළඹ කුරුඳුවත්ත , සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත, මල් පාර, නෙළුම් පොකුණ වටරවුම ඇතුළු මාර්ග කිහිපයකට ඇතුල්වීම වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ .

21 ගැන සජබ යෝජනා වැඩකට නෑ !

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ 2022 මැයි 31 දින, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ අත්සනින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යෝජනා 5 ක් යොමු කර තිබු බවත් එම යෝජනා 5 න් 4 ක් ම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට තරම් නොවන ඒවා බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි .

නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි .

ජනවරමක් ( People’s Mandate) නොමැතිව ව්‍යවස්ථාවට බරපතල වෙනස්කම් කිරීමට උත්සහ දැරීමත් ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ නැත. නමුත්, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට තමන්ගේ අනාගත යහපත් සංශෝධනයකට ඇති කැපවීම පෙන්වීමට 21 වන ව්‍යවස්ථා සංශෝධනය මාවතක් කර ගත යුතුය.

සමගි ජනබලවේගයේ 2022 මැයි 31 දින, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා 5 ක් යොමු කර තිබුණි. එම යෝජනා 5 න් 4 ක් ම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට තරම් නොවන ඒවා වේ.

සජබ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 5 පිළිබඳ තාක්ෂණික කරුණු මෙසේය.

යෝජනාව 1. ‘ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තබාගත නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ප්‍රතිපාදන ඒ ආකාරයෙන්ම ඇතුළත් කිරීම’

මෙය ඉතා යහපත් යෝජනවකි. 44 (2) ව්‍යවස්ථාව පරණ තැනට ගෙන ගොස් ජනාධිපතිවරයා අමාත්‍යාංශය දැරීම නැවැත්විය යුතුය යන්න ව්‍යවස්ථාව ඇතුළත් විය යුතුය. එය දිනාගැනීමට සියළු පක්ෂ එක් විය යුතුය.

නමුත්, 19 සම්මත වූ පසුවත් ව්‍යතිරේකයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලන රජයේ පරිසර, රාජ්‍ය ආරක්ෂක, මහවැලි අමාත්‍යාංශ දරා ඇති බව ද අමතක නොකළ යුතුය. ඒබැවින් 21 සංශෝධනය ඉවත දැමීමට මෙය කොන්දේසියක් නොකර ගැනීම රටේ අභිවෘද්ධියට හේතු වනු ඇත.

යෝජනාව 2. මහබැංකුවේ අධිපතිවරයාට අමතරව මූල්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ද ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත පත් කිරීම.

ලිපියේ දැක්වෙන පරිදි 'ව්‍යවස්ථාදායක සභාව' කියා එකක් 21 න් යෝජනා කර නොමැති අතර එය 'ව්‍යවස්ථා සභාව' බව නිවැරදි විය යුතුය.

තවද, අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති ලෙස දෙවන වාරය ලබාදීමට විරුද්ධව කීර්ති තෙන්නකෝන් විසින් පවරනු ලැබූ නඩුවෙන් පසුව, මුලින්ම මහ බැංකුවේ අධිපති ධූරය ව්‍යවස්ථා සභාවෙන් පත් කළ යුතුය යන්න සමාජගත විය. නමුත්, මුල්‍ය මණ්ඩලය යනු රජයේ දෙපාර්තමේන්තුවකට අනුරූප (සමාන්තර) ආයතන ව්‍යුහයකි. ව්‍යවස්ථා සභාවකින් දෙපාර්තමේන්තු සාමාජිකයින් පත් කරන්නේ ‌නැත. එසේ නම් එය මුල්‍ය මණ්ඩලය නොව යෝජිත ‘මුදල් කොමිසක්’ විය යුතුයි. එවැනි යෝජනා ඇතත්, එය තවම ලංකා නීතිය නොවේ. අනාගතය පදනම් කර ගෙන ව්‍යවස්ථාව ලියන්නට බැරිය. එබැවින් අංක 2 යෝජනාව අතිශයින් අගතිගාමී, සමාන්තර රාජ්‍ය ව්‍යුහයට ද බලපෑම් කරන්නකි.

යෝජනාව 3 ජාතික ප්‍රමුඛතා හා ඇගයීම් කොමිෂන් සභාවක් ස්වාධීන කොමිසමක් ලෙස පත්කිරීම හා ඊට සාමාජිකයින් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය අනුව සිදුකිරීම.

‘ජාතික ප්‍රමුඛතා හා ඇගයීම් කොමිෂන් සභාවක් පිහිටුවීම’ පිළිබඳ යෝජනාව අවම වශයෙන් අගමැතිවරයා සමඟ පැවති රැස්වීමේ දී හෝ සජබ ඉදිරිපත් කළේ නැත. ගහෙන් ගෙඩි එන්නා සේ ගෙනෙන යෝජනා රටට විනාශයක් මිස අත්කළ සුගතයක් නැත. නිශ්චිත ආයතනික ව්‍යුහයකින් තොරව කොමිසන් පත් කිරීම තුලින් ‘පිස්සු පුසා කොමිසම වැනි යෙදුම් පවා සමාජ ව්‍යවහාරයට එක්වී සමස්ත ක්‍රියාවලියට විහිළුවක් බවට පත්වූ බව අතීත අත්දැකීමකි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් සිදු කරන කාර්ය ඉක්මවන කාර්යයක් යෝජිත කොමිසම මගින් සිදු කරන්නේ කුමන කේෂ්ත්‍රයන් උදෙසා ද යන්න නිරවුල් විය යුතුය.

යෝජනාව 4. ජනපති, අගමැති, අමාත්‍යවරුන් ,මන්ත්‍රීවරුන් ඇතුළු ජනරජයේ නිලතල හොබවන සියලුදෙනා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම හා එය පැහැර හැරියහොත් දැඩි දඬුවම් පැමිණවීමට නීති රාමුවක් සැකසීමට යෝජනා කර ඇත.

වත්කම් බැරකම් නීතිය ගැන මෙරට සිවිල් සංවිධාන වසර 11 ක් යෝජනා සංශෝධන යෝජනා කර ඇත. මැතිවරණ කොමිසම විසින් ලබාදෙන වත්කම් බැරකම් ප්‍රකාශ පිටපත් ප්‍රසිද්ධ කිරීමට අවසරය පවා නැත. වත්කම් බැරකම් පනත මගින් සරළව බලාත්මක කළ හැකි සංශෝධන ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමේ අවශ්‍යතාවයක් නැත. වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට වත්කම් බැරකම් නීතිය වහා සංශෝධනයට රජය/විපක්ෂය/පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පියවර ගත යුතුය. ස්වෙච්ඡාවෙන් එය සිදු කර තම කැපවීම ප්‍රදර්ශනය කළ යුතුය.

5. සොරාගත් දේපොළ නැවත රජය සතු කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වයක් වන ජාත්‍යන්තර සම්මුතීන් අනුමත කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීම.

සොරාගත් දේපල ගැනීමට ලංකා අධිකරණයකින් නඩු තීන්දුවක් ලබා ගත යුතුය. එය කළ යුත්තේ ව්‍යවස්ථාවෙන් නොව මහෙස්ත්‍රාත්/මහාධිකරණයකිනි. ලංකාවේ සොරාගත් මුදල් නැවත ලබාගැනීමට නම්, නීතිපති නඩු පවරා ලංකා අධිකරණයෙන් උසාවි තීන්දුවක් ලබා ගත යුතුය. මෙය ලංකාවේ බලාත්මක නීති මගින් දුෂිතයින්ට දඩුවම් නොකිරීම පිළිබඳ ප්‍රශ්ණයක් මිස, ව්‍යවස්ථාවට අදාල ගැටළුවක් නොවේ. සොරකම් කළ මුදල් ආපසු ලබා ගැනීම ව්‍යවස්ථාට ඇතුළුත් කළ රාජ්‍යයන් නැති තරම් ය. අවශ්‍ය නම් කාබනික වගාව වගේ මේ සංකල්ප අත්හදා බැලිය හැකිය.

සජබ විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනා හතරක්ම හුදු කාලය කා දැමීමක් වනු ඇත්තේය. ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමට ඇති අවස්ථාව අහිමි කිරීමට වැදගත් අවශ්‍යථාවයකි. නමුත්, එය පදනම් කොට 21 ව්‍යවස්ථා සංශෝධනය ගෙඩිය පිටින් අතහැරීම කිසි ලෙසකින් හෝ සිදු නොවිය යුතුය.

 

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

විල්පත්තු වන විනාශය මෙන් විසි ගුණයක වන විනාශයක් !

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් වත්තේගම කැබලිත්ත කොටියාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉතා වටිනා රක්ෂිත වනාන්තර ප්‍රදේශ කාලයක සිට ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ සහායද ඇතිව හොරෙන්ම අල්ලාගෙන නොයෙක් ආකාරයේ වගාවන් සිදු කිරීම මහා පරිමාණ ව්‍යාපාරිකයින් සහ අතලොස්සක් දූෂිත රාජ්‍ය නිලධාරීන් එකතුව කරගෙන යන්නේ වසර කිහිපයක සිට ය. එසේම ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ සහාය ඇතිව ( දේශපාලනඥයින් ගේ නම් සඳහන් මූලික සටහන සංස්කරණය කර ඇත ) කරගෙන යන මෙම මහා ඉඩම් කොල්ලය විල්පත්තුවේ සිදු වූ අක්කර 3000 ක වන විනාසය මෙන් අවම වශයෙන් විසි ගුණයකට වඩා වැඩි ය.

කෙසේ නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස මහා පරිමාණ ව්‍යාපාරිකයින් අක්කර 20 සිට 100 දක්වා වන ඉඩම් අල්ලා ගැනීම ක්‍රමිකව නතරකර අදාල රක්ෂිත සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කරමින් තිබුණි.

එවන් වටපිටාවක ජනාධිපතිතුමා විසින් පත්කළ ආර්ථික කමිටුවේ එවක ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව මත, හිටපු වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා වන සී බී රත්නායක සහ එවක ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස් එම් චන්ද්‍රසේන විසින් පිලිවෙලින් නිකුත්කළ 1/2020 සහ 18/2020 චක්‍රලේඛ හරහා ශ්‍රී ලකාවේ වන ආවරණය තුල පැවතී වන ආවරණයෙන් 3% ක් සහ අවම වශයෙක් හෙක්ටයාර ලක්ෂ 500ක ඉඩම් (අක්කර ලක්ෂ 12කට ආසන්නව) රජයේ රක්ෂිත කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගන්නා ලද අතර, වත්තේගම කැබලිත්ත කොටියාගල රක්ෂිත ඉඩම්ද මෙම රජයේ කැලෑ ඝනයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය කළ වනාන්තර වේ. ඉහත චක්‍රලේඛ මගින් මෙම වනාන්තර අනාරක්ෂිත කිරීම තුල, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දේශපාලන අවශ්‍යතා මත හිතුමතේ ඉඩම් බලපත්‍ර සහ ඔප්පු නිකුත් කිරීම සිදුකළ අතර, බහුතරයක් ව්‍යාපාරිකයින් මෙම වනාන්තර ඉඩම් දිගින් දිගටම ග්‍රහණයට ගමින් තිබුණි.

ඉහත තත්වය යටතේ 3000 කට ආසන්න ගොවියන් හා ව්‍යාපාරිකයින් (දුෂිත රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව) ලෙස පෙනී සිටින මෙම සංවිධානය වූ ඉඩම් කොල්ලකරුවන්ට බෙදාදීම පිණිස කිසිවක් සොයා නොබලා අක්කර 25,000 ක් රක්ෂිත ප්‍රදේශවලින් ඉවත්කර සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත. රජයේ ඉඩම් ආඥා පණත ප්‍රකාරව රජයේ ඉඩම් අක්කර 2කට වඩා ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව ගොවිතැනට ඉඩම් දුප්පත් ගොවියන්ට ලබාදුන්නේ නම්, අවශ්‍ය වන්නේ අක්කර 6000 කට ආසන්න ප්‍රමාණයකි. (ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 63% ක් කෘෂිකාර් මික භුමි වන නමුත් අදවන විට ඉන් පලදායී ලෙස භාවිතා කරන්නේ 40% ක් පමණි). ඒ අනුව වැඩිපුර අක්කර 19000ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත.

එසේ තිබියදී, අදා ඉඩම් බෙදාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව අදාළ මැනුම් කටයුතු කරන විට, මෙලෙස අක්කර 50 හා 100 බැගින් ඉඩම් සොරාකා අල්ලාගෙන සිටින ව්‍යාපාරික කණ්ඩායම් අදාළ මැනුම් ක්‍රියාවලිය අඩපණ කිරීමට කටයුතු කර ඇත.

එසේම ඔවුන් තම මුදල් සහ සේවකයින් මෙන්ම ප්‍රදේශයේ ගම්වැසියන් අවුස්සා ඔවුන්ට අක්කර 5ත් 10ත් අතර ඉඩම් ලබාදීමට කටයුතු කරන බව පවසා බලහත්කාරයෙන් වත්තේගම කැබලිත්ත කොටියාගල රක්ෂිත ප්‍රදේශවල ඉඩම් ඇල්ලීමට පොළඹවන ලදී. එසේම මීට ප්‍රදේශයේ භික්ෂුවක් ( මූලික සටහනේ නම සඳහන් නමුත් එය සංස්කරණය කර ඇත ) සහ පසුගිය මහා මැතිවරණයේදී ප්‍රදේශයෙන් තරඟ කර පරාජයට පත් යන අයෙක්ද ඉදිරියට දමාගෙන දිගින් දිගටම අදාල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවීමටත්, රක්ෂිතයට හානි කිරීමත් දිගින් දිගටම නොයෙක් අවස්තාවලදී සිදුකරයි.

මෙලෙස ඉඩම් ඇල්ලීමට උත්සාහ කළ අවස්ථා කිහිපයකම එය ව්‍යර්ථ කිරීමට පොලීසිය, විශේෂ කාර්‍ය බලකාය සහ වන සංරක්ෂණ දෙපාර්තමන්තුව එක්ව කටයුතු කළ අතර අදාළ සංරක්ෂණ ක්‍රියාවලියට යුධ හමුදාවෙන් විශාල සහයක් ලැබුණි.

එපමණක් නොව, ගුවන් හමුදාව පවා බීජ බෝම්බ ව්‍යාපෘතිය හරහා වන වගා කිරීමට ඉහත ප්‍රදේශයේ ගුවනින් ගොස් බීජ බෝම්බ හෙලීම පවා සිදුකරන ලද අතර අදාළ වන වගාවන්ට පවා හානිකිරීමට මෙම සංවිධානාත්මක ඉඩම් කොල්ලකරුවන් අවස්ථා කීපයකදී කටයුතු කරන ලදී.

wattegama5කෙසේ වෙතත් නොයෙක් චෝදනා ලැබුවත් වන ජීවී සහ වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එවක විමලවීර දිසානායක මහතා නිදහස් කළ ඉඩම් හැර වෙනත් කිසිඳු රක්ෂිත හෝ යෝජිත් රක්ෂිත ඉඩමක් අනවසර ඉඩම් කොල්ලකරුවන්ට අලාගනීමට ඉඩ නොදුන් අතර ඒවා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලදී.

එලෙස ඉතා දැඩි පරිශ්‍රමයකින් ආරක්ෂා කළ වනාන්තර ඉඩම් නැවත වතාවක් ඊයේ සහ අද දිනයේ අදාළ සංවිධානාත්මක ව්‍යාපාරික ඉඩම් කොල්ලකරුවන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරමින් පවතී. බලෙන්ම සිය ගණනක් ට්‍රැක්ටර් බයික් සහ රථවාහනවලින් රක්ෂිතයට ඇතුළු වී වන වගාව සිදුකරන භූමියත් කැලෑ ඉඩමුත් අල්ලාගැනීමත් භුමිය සකස් කිරීමත් ආරම්හ කර ඇත. අද දිනයේදී අදාළ අනීතික ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ වන සංරක්ෂණ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය වටකොට බලහත්කාරය පෑමට සහ රාජකාරියට බාධාකිරීමට මෙම කොල්ලකරුවන් කටයුතු කරමින් සිටී.

වන සංරක්ෂණ දෙපාර්තතමේන්තුව තත්වය මැඩපැවැත්වීමට මොනරාගල දිසාව භාර පොලිස්පතිවරයාගෙන් ඉලා ඇති නමුත් ඔහුද අනවසර ඉඩම් ඇත්තෙකු මෙන් අනවසර වගාකරුවන්ට ඉඩම් ලබාදියයුතු යයි පවසා ඇත.

අප විසින් මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව වර්තමාන වන සංරක්ෂණ අමාත්‍යවරයා වන මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ අදාළ දිසාව භාර පොලිස්පතිවරයා තමා මේ පිළිබඳව විමසා සිටි අවස්තාවේදීද වනාන්තර රකිනවා වෙනුවට ඉඩම් කොල්ලකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවක් ගම්‍ය වූ බවයි. අපට ලැබී ඇති තොරතුරු අනුව පොලිස්පතිවරයා පවා ලිඛිතව අදාළ අනවසර ඉඩම් කොල්ලය වලකාලීමට කටයුතු කරන ලෙස දන්වා ඇතත්, මෙම දිසවභාර පොලිස්පතිවරයා අදාල නියෝගය සහ රාජ්‍ය නිලධාරීන්ට සහයෝගය දෙනවා වෙනුවට තම නිරීක්‍ෂන දන්වා යැවීමක් යයි පවසා අදාල ඉඩම් කොල්ලකරුවන් සාධාරණීකරණය කිරීමට කටටයුතු කර ඇතැයි පැවසේ. ඒ අනුව බොහෝ පාර්ශව සැක කරන්නේ අදාළ දිසා බාර පොලිස්පතිවරයා එක්කෝ අදාළ රක්ෂිත ඉඩමකට කෙළ හලන බවක් හෝ කාගේ හෝ අවශ්‍යතාවකට පරිසර සංරක්ෂණයට අදාළ ආයතනවලට තම සහය නොදී හිතුමතේ කටයුතු කරන බවයි. ඒ අනුව අදාළ රක්ෂිත සංරක්ෂණය සහ ආරක්ෂා කිරීම අදාළ DIG වරයාගේ සහය නොලැබීම මත අපහසු වී ඇති බවයි.

විල්පත්තු වන විනාශය මෙන් විසි ගුණයකටත් වඩා විශාල මෙම වන විනාශය නැවතීමට වර්තමාන විෂයභාර අමාත්‍යවරයාගේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ වගකීම වේ. ලෝකයේ බොහෝ රටවල්වලට සාපේක්ෂව ලංකාවේ ඇත්තේ ඉතා අවම වන ගහනයකි. එය බොහෝ දියුණු රටවල් හා සංසන්ධනය කිරීමේදී පවා අඩකටත් අඩු අගයකි. ලෝක පරිසර දිනය එළඹීමට ඇත්තේ තවත් දින 5 ක් පමණි. එසේ තිබියදේ ලංකාවේ විශාලතම වනාන්තර ඉඩම් කොල්ලය හමුවේ නිහඬව සිටින්නේනම් ශ්‍රී ලංකාව ආර් තික අර්බුධයට එහා ගිය නීතිය බිඳවැටී රටේ වටිනා භුමි සම්පත් සහ පරිසර පද්ධති මංකොල්ලකරුවන් අතට පත්ව පාරිසරික අර්බුධයක් සහ සමාජීය අරබුධයක්ද ගොඩනැගෙනු ඇත.

ජයන්ත විජේසිංහ

කැඳවුම්කරු

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0777771348 (ජයන්ත විජේසිංහ, කැඳවුම්කරු, වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය) ඇමතීමෙන් ලබාගත හැකි බව දැනුම්දී ඇත .

සනත් නිශාන්ත, මිලාන් ඇතුළු 13 දෙනා යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ලබන 08 වැනිදා දක්වායි.

මන්ත්‍රීවරුන් දෙදෙනා මැයි 17 වැනිදා අත්අඩංගුවට ගැනුණේ, පසුගිය මැයි 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.

ගංවතුරට හසුවූවන්ට රනිල්ගෙන් සහන !

ගංවතුර තත්ත්වයන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි .

ඊට අනුව මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සිදුව ඇත .

කලුතර , ගම්පහ , ගාල්ල , රත්නපුර යන දිස්ත්‍රික් ලේකම් වරු සමග පැවති එම සාකච්ඡා දි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තේ ගංවතුරින් අපදා වලට පත් ජනතාව ට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි .

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයට ද උපදෙස් දි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන මුදල් ලබා දිමට පියවරගන්නා ලෙස බවත් එහිදී සඳහන් විය.

රෝහලට එන දරුවන්ගෙන් 20% කට මන්දපෝෂණය ?

මෙරට දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩි වෙමින් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

ආහාර හිගය මත දරුවන්ට අවශ්‍ය පෝෂණය නොලැබීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි හෙතෙම පැවසීය.

රෝහලට ඇතුළත් කරන ලද ළමයි පනස් තුන් දෙනෙකුගෙන් එකොළොස් දෙනෙකු මන්දපෝෂණය පෙළෙන බව ද හෙතෙම පැවසූ ඔහු ඉන්ද සිවුදෙනෙකුගේ උග‍්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව ද කියා සිටියේය.

ඔවුනට විශේෂ පෝෂණ ආහාර ලබාදීම ආරම්භ කළ ඔහු සඳහන් කළේය.

මේ වන විට වාට්ටුවට ඇතුළත් කරන දරුවන් ගෙන් සියයට 20ක පමණ ප්‍රමාණයක් මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Cnews

නිමල් අමරේ එළියට !

අමාත්‍ය ධුර ගෙන රජයට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වහාම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත .

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධව !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමයි.

අදාළ එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයෙකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය වේ.

ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරුවලින් ඉවත් කෙරේ.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක් : දයාසිරිගෙන් අනාවරණයක් !

විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩු පාර්ශ්වය තුළින් ම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි .

ඔහු මේ බව අනාවරණය කර සිටියේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ 21 වන සංශෝධනයට විරුද්ධව ආණ්ඩු පාර්ශ්වය තුළ කඳවුරු බඳිමින් සිටින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රීලනිප මහ ලේකම්වරයා මෙසේද පැවසීය .

“විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන අවස්ථාවේදී එයට විරුද්ධව ඡන්දය භාවිත කරන අය පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.එසේ ඡන්දය නොදී එය කඩාකප්පල් කොට විසි එක් වැනි සංශෝධනය පරාජය කර නැවත විසිවන සංශෝධනය බලාත්මක කරමින් ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමට සූදානම් වනවා.මේ ඔස්සේ විදේශ රටවල සිටින පුද්ගලයන්ට ලංකාවේ ප්‍රධාන තනතුරුවලට පත් වීමට හැකි ක්‍රමයක් සකස් කරනවා නම් එයට විරුද්ධව රටේ ජනතාවට නැඟී සිටිනා ලෙස ඉල්ලා සිටිනවා.එය කිසි විටෙකත් තර්ජනාත්මක කාරණයක් නොවෙයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට සහාය දීම මේ රටේ සියලු ජනතාවගේ වගකීමක්.” දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

සජිත්‍ට අලුත් තනතුරක් !

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක භූමිකාවට අමතරව කපුටු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ සිරිකොත එජාප මුලස්ථානයේ පැවැති පක්ෂ නියෝජිත සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවටත් එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර චෝදනා කළේය .

21 වන සංශෝධනයට සහය ලබා නොදෙන බව පවසමින් රටපුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම බව පැවැසූ එජාප මහ ලේකම්වරයා රටට ආදරය කරන අයකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව පැවසීය .

ජනාධිපති සමාව ඉවතට : දුමින්ද ආයෙත් ඇතුළට !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර , ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත .

යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණ.

රනිල් ඇතුළු අමාත්‍ය මණ්ඩලේ කැබිනට් විෂය පථ මෙන්න !

දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව වැඩිම ආයතන ප්‍රමාණයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත හිමිව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මහ බැංකුව ඇතුළු ආයතන 57ක් හිමිව ඇත . එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට විෂය පථ 42ක් වෙන්කර ගෙන ඇත .

අදාළ ගැසට් නිවේදනය මෙතැනින් බලන්න.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ : රනිල් බැසිල් එළිපිට ගැටෙති !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන ක්‍රියාත්ම කිරීම හා නොකිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ අදහස් දැක්වීම හමුවේ ඊයේ (30) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීම තුළ බරපතළ මත ගැටුම් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එහිදී 21 වැනි සංශෝධනය ඉදිරිපත් නොකරන ලෙස බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යුතු කිහිප දෙනෙකුත්, 21 ගෙනා යුතු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසේ කිහිප දෙනෙකුත් අතර මත ගැටුම් මතුව ඇති බවත් දැනගන්නට ඇත .

ආණ්ඩු පක්ෂයේ මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් එක්ව සිටියේ පළමු වතාවට ය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.

එසේම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද මෙම රැස්වීමට සහභාගී වී ඇත.

මෙම රැස්වීමේදී ඩයනා ගමගේ, දිලුම් අමුණුම, සරත් වීරසේකර, විමලවීර දිසානායක, ප්‍රසන්න රණවීර, චින්තක මායාදුන්න මන්ත්‍රීවරු 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස බල කරමින් තර්ක ඉදිරිපත් කර ඇත.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජේදාස රාජපක්ෂ, මහාචාර්ය චරිත හේරත්, හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් 21 ගෙන ඒමට පක්ෂව අදහස් දක්වා තිබේ.

මේ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යස්ථ මතයක් දරා ඇති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දී ඇත්තේ 21 වැනි සංශෝධනය සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා තිබෙනවා නම් ලබන බ්‍රහස්පතින්දාට පෙර ඒවා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමුකරන ලෙසය.

අපේ රටේ ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් එකට ගැටගැහිලා තියෙන්නේ - චරිත හේරත්

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මෙසේ පැවසිය.

"ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයත්, දේශපාලන අර්බුදයත් කියන මේ දෙකම එකක් විදියට ගන්නවා ද එහෙම නැත්නම් එක අර්බුදයක් විසඳලා අනෙක් එකට යනවා ද කියන එක තමා මුලික අදහස වුණේ. නමුත් අදහස් දෙකම දරපු මන්ත්‍රීවරු හිටියා. විශේෂයෙන්ම මම විශ්වාස කරන්නේ, අපේ රටේ ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් එකට ගැටගැහිලා තියෙන්නේ. ඒ නිසා ආර්ථිකය ගොඩගන්නවා හා සමානව වේගයකින් බරකින් දේශපාලන වශයෙන් මේ අලුත් ව්‍යවස්ථාව ඉදිරියට ගේන්න ඕනේ කියලා අපි අදහස් කරනවා. "

උතුරු නැගෙනහිර සමග සාකච්ඡාව සිකුරාදා - විජේදාස

යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර දේශපාලන පක්‍ෂ නායකයින් සමග ලබන සිකුරාදා සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පවසයි.

තවත් පාර්ශව කිහිපයක් සමගද සාකච්ඡා කර ලබන සදුදා එම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සංගම් සමඟද සාකච්ඡා කර ඔවුන්ගේ ද යෝජනා ලබා ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

බේකරි 7000න් 2000ක් වැහිලා !

වර්තමානයේ උද්ගතව ඇති ගෑස් සහ ඉන්ධන හිඟය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයින පුරා පිහිටි බේකරි 7000න්, 2000කට ආසන්න සංඛ්‍යාවක් වැසීගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි .

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි මිල ඉහළ යෑමද මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

මේ තත්ත්වය තවදුරටත් පැවැතියහොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් ඇතිවිය හැකි බවද එන්.කේ. ජයවර්ධන පවසයි .

ශෂීට ඇප ලැබෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (31) ඇප මත මුදා හැර තිබේ.

නීති විරෝධී ආකාරයෙන් විදේශ ගමන් බල පත්‍රයක් සැකසීම යන චෝදනාවට වරදකාරිය කරමින් ඇයට වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද්දේ පසුගිය සිකුරාදා දිනයේ දී ය.

නමුත් එම තීන්දුවට එරෙහිව ඇය අභියාචනයක් ගොනු කළ ගොනුකර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඇප ඉල්ලීම සලකා බලමින් අද දිනයේ මෙසේ ඇය ඇප මත මුදාහැර ඇත .

Page 244 of 385