V2025

පුවත්

ණය ගැන කතාවට : චීනයෙන් කොළ එළියක් !

ලොව විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසා ඇත.

මෙම වට මේස සාකච්ඡාව ඉහළම මට්ටමින් පැවැත්විය යුතු බවත් එයට ණය හිමියන්, ණය ලබාගත් ඇතැම් පාර්ශ්ව සහ පුද්ගලික ණය හිමියන් සමඟ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජී20 සමුළුවේ සභාපතීත්වයද එක්විය යුතු බවත් ඇය සඳහන් කර තිබේ.

පසුගියදා චීන බාලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් පසුව දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වෙතැයි අපේක්ෂා ඉහළ ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජීවා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාන් මිළෙහි සංශෝධනයක් !

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු ඇත.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන  අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බවය.

පුංචි ඡන්දයට සන්ධාන තුනක් තරග බිමේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එක් එක්ව එක් සන්ධානයක් ද, ජාතික ජන බලවේගය වෙනම ද මැතිවරණ බිමට පිවිසීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මැතිවරණයට මුහුණදීම සඳහා මේ වන විට මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර සභාගය හා නිදහස ජනතා සභාව එක්ව නව සන්ධානයක් යටතේ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

උත්තර සභාගයේ විධායක සභාව ඉකුත් සතියේදී කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වී ඇති අතර, නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය හා ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එතෙක් එම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ද දිගටම කරගෙන යාමට ඔවුන් තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය

මේ අතර, නිදහස ජනතා සභාවේ ප්‍රකාශකයකු සදහන් කළේ, පළාත් පාලන මැතිවරණයට පුළුල් සන්ධානයකින් තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තරය සභාගය සමඟ සාකච්ඡා කරගෙන යන බවය.

අලුතින් ම පිහිටුවන සන්ධානයක් ලෙස මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

මේ අතර ආචාර්ය නාලක ගොඩහේවා විසින් 'වියත් පෙරමුණ' නමින් දේශපාලන පක්ෂයක් ද අලුතින් ලියා පදිංචි කරනු ලැබ ඇති අතර අපේක්ෂක lලැයිස්තු සකස් කිරීම ද කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් සතියේ සඳහන් කළේ, මැතිවරණය සඳහා අලුත් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරගෙන යන බවය.

මේ අතර, පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් කමිෂන් සභාව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත. එසේ වුවහොත් මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බව දැනගන්නට තිබේ. පළාත් පාලන පනත අනුව, පළාත් පාලන ආයතන, ලබන මාර්තු මස 20 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතුව ඇත.

ලංකාදීප

ඇල්ල සංචාරක කලාපය සංවර්ධනයට: ජනාධිපතිගෙන් උපදෙස් !

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඇල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ පැවැති සාකච්ඡාවේ දී ය.

සංචාරක ආකර්ශණයට ලක්ව ඇති ඇල්ල සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක ආකර්ශනයට බාධා නොවන අයුරින්, සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කර ගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

පළමු අදියර යටතේ ඇල්ල සංචාරක කලාපය මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශණීය ගමනාන්තයක් බවට පත් කරන බවත් අනතුරුව සමස්ත ඌව පළාතම සංචාරක ආකර්ශණය දිනාගත් තෝතැන්නක් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

ඇල්ල ප්‍රදේශය වෙත පැමිණ සිටී දෙස්, විදෙස් සංචාරකයන්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.,

ඇල්ල කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව එකතුව නිර්මාණය කරගත් සංචාරක කලාපයක්. එය දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. නව සුවිසල් සංවර්ධන සැලැස්මක් අනුව මේ සංචාරක කලාපය දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි මතුව ඇති ගැටළු සඳහා කෙටි කාලීන විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා.

අද මාලදිවයිනට පැමිණෙන සංචාරකයෙක් දිනකට ඩොලර් 500ක් පමණ වියදම් කරනවා . හැබැයි ඇල්ල ප්‍රදේශයට එන විදෙස් සංචාරකයෙක් දිනකට වියදම් කරන්නේ ඩොලර් විස්සයි. මේ තත්ත්වය අපි වෙනස් කළයුතුයි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පුහුණු සේවකයන් අවශ්‍යයි. පසුගිය කොරෝනා වසංගත සමයේ පළපුරුදු සංචාරක සේවකයන් රට අත්හැර ගියා. ඒ අය ඉතා හොඳ අත්දැකීම් තිබෙන ‍සේවකයින්. සංචාරකයින් පැමිණෙන්නේ හොඳ සේවාවක් අපේක්ෂාවෙනුයි. එම සංචාරකයන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට අපට පුහුණු සේවකයින් අවශ්‍ය වෙනවා.

මේ සුවිසල් සංවර්ධන වැඩසටහන යටතේ විශිෂ්ඨ සංචාරක සේවාවක් ඇතිකිරීමට පියවර ගත යුතුයි. ඒ වගේම ඌව පළාතට එන සංචාරකයින් අවම වශයෙන් දින 07ක්වත් මෙහි රඳවා ගැනීමට හැකිවන පරිදි අපි නව සැලසුම් සකස් කළ යුතුයි.

ඒ වගේම නැගෙනහිර පළාතට පැමිණෙන සංචාරකයින් ඉන් අනතුරුව ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළවෙළක් සකස් කළ යුතුයි. මත්තල ගුවන්තොටුපල දියුණු කර මත්තලින් මෙරටට පැමිණෙන සංචාරකයින් කෙලින්ම ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් අපගේ නව සංවර්ධන සැලැස්මට ඇතුළත් විය යුතුයි. මෙම සැලසුම් කෙටිකාලිනව සහ දිගුකාලීනවත් මෙරට ආර්ථිකයේ දියුණුවට බලපානවා.

සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා. ඒ සඳහා සහාය ලබාදෙන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී ඇල්ල ව්‍යාපාරිකයන් ඉදිරිපත් කළ ‍බොහෝ ගැටළුවලට එම මොහොතේම විසඳුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කළහ.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් , බදුල්ල දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු සහ ඇල්ල ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් ද, ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

මාලනීගේ සැත්කම සාර්ථකයි !

මෙරට නිලි රැජින ලෙස සැළකෙන මාලනී ෆොන්සේකා ඉන්දියාවේදී හදවත් සැත්කමක් සිදුකර ඇති අතර එය සාර්ථක බව වාර්තා වෙයි.

රුපියල් එක්කෝටි දස ලක්ෂයක් පමණ එම සැත්කම සඳහා වැයව ඇති බවත් එම මුදල සොයා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලිකව මැදිහත්ව ඇති බවත් දැනගන්නට ඇත.

එසේම සැත්කමේ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සොයාබලා කටයුතු කරන ලෙස ඉන්දියාවේ පිහිටි මෙරට මහකොමසාරිස් කාර්යාලයට උපදෙස් දීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

වාර්තා වන වැඩිදුර තොරතුරුවලට අනුව මාලනී ෆොන්සේකා මහත්මිය මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර අද දින නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇත.

අධිවේගයේ කෙරවලපිටිය පිටවීම අසළ ප්‍රශ්න රැසක් !

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ (E 02) කෙරවලපිටිය පිටවීමේ ස්ථානයේ සිට ගල්උඩුපිට හන්දිය දක්වා මාර්ග කොටස ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මාර්ගය භාවිතා කරන ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන් බලවත් අසීරුතාවන්ට මුහුණදෙන තත්ත්වයක් මතුව තිබේ.

අධිවේගී මාර්ගයට පිවිසෙන හා පිටවන ස්ථාන දෙකක මාර්ගය අබලන්ව සැලකිය යුතු මට්ටමේ වලවල් හෑරී ඇති අතර මාර්ගයේ තවත් ස්ථාන දෙකකද විශාල ප්‍රමාණයේ වලවල් දෙකක් හෑරී කාලයක් ගතව ඇති නමුත් මෙතෙක් එය පිළිසකර කිරීමක්ද සිදුව නැත. එසේම මාර්ගයේ විදුලි පහන් පවා නොමැති බැවින් රාත්‍රී කාලයේ ධාවනය වන වාහන වලවල් වල වැටී අනතුරට පත්වීමේ අවධානමක් පවතී.

දිගින් කිලෝමීටර් 25.8 ක් වන කොළඹ - කටුනායක අධිවේග මාර්ගය ඉදිකරනු ලැබුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පහසුවෙන් ගමන් කිරීම සඳහාය. එම මාර්ගයේ එක් පිටවීමක් ලෙස කෙලවරපිටිය පිටවීම 2019 නොවැම්බර් 18 වනදා විවෘත කෙරුණත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉන් අනතුරුව නිසි නඩත්තුවක් මේ ආශ්‍රිතව සිදුව නොමැති බවයි.

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පරිපාලනය වන මෙම ප්‍රදේශයේ කෙලවරපිටිය පිටවීමේ ස්ථානයේ සිට මීගමුව - කොළඹ මාර්ගයේ ගල්උඩුපිට හන්දිය (ලක්ස්ප්‍රේ හන්දිය ) දක්වා ඇති කිලෝ මීටර් 2.3ක මාර්ගය සහ ඊට යාබදව ඇති අතුරු මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීමත් මාර්ගය දෙපස කැලි කසල බැහැර කිරීමත් හේතුවෙන් අප්‍රසන්න ප්‍රදේශයක් බවටද පත්ව ඇත.

වෙනත් අධිවේග මාර්ගයන් ආශ්‍රිතව පිවිසීමේ සහ පිටවීමේ ස්ථාන උද්‍යාන අලංකරණය හරහා ආකර්ෂණීය ලෙස නඩත්තු කරමින් පවත්වාගෙන යන නමුත් මෙම මාර්ගය දෙපස එවැනි නිසි නඩත්තුවක් සිදුනොවීම නිසා දෙපස කැලෑ බිහිවී තිබේ. විවිධ පිරිස් ප්‍රදේශයේ කසල බැහැර කිරීමට යොමුව ඇත්තේද ඒ නිසා බව ප්‍රදේශවාසීන් පවසයි.

තවද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මේ ආසන්නයේ කොම්පෝස්ට් පොහොර අංගනයක් පවත්වාගෙන යාම හේතුවෙන් කෙලවරපිටිය පිටවුම ආසන්නයේ පිරිස්ද එම ස්ථානය ඉදිරිපිටට කාලයක් තිස්සේ කසල බැහැර කිරීමට පුරුදුව ඇත. නමුත් එම කටයුත්ත වැලක්වීමටවත් අදාළ බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මීට අමතරව ගල්උඩුපිට මංසන්ධියේ සිට කෙලවරපිටිය දක්වා දිවෙන ඩියෝන් අමරසේකර මාවත හා අවට අතුරු මාර්ග දෙපස ස්ථාන කිහිපයකමද අනවසර ලෙස මහා පරිමාණ කුණු කසල බැහැරකිරීම සිදුවෙයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පවතින අතර මාර්ගය භාවිතාකරන්නන්ට සහ ප්‍රදේශයේ ජනතාවද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකට ය.

අධිවේගී මාර්ගය දිවෙන පාලම යට ප්‍රදේශය වෙතද විවිධ ආයතන විසින්ද කැලිකසල බැහැරකර තිබෙන අතර ඒවායේ ඇති විවිධ කොටස් එකතු කිරීම සඳහා මත්ලෝලීන් නිතර එහි පැමිණෙන තත්ත්වයක්ද නිර්මාණයවී තිබේ. අධිවේග මාර්ගයේ පාලම යටට ඇතුල්විය නොහැකි ආකාරයට අඛණ්ඩව යෙදු ආරක්‍ෂිත වැටක් නොමැති අතර , දැනට තිබෙන වැටද කඩාදමා පාලම යට වාහන ගාල් කිරීමට පිරිස් යොමුව තිබේ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=4302#sigProId6cdb8acc42

වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ වත්තල ප්‍රාදේශීය සභාවද මේ කිසිත් නොතකා ප්‍රාදේශීය සභාවට අයත් වාහන අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් ද මෙකී පාලම යට පවත්වාගෙන යාමය.

එසේම අධිවේග මාර්ගයට පහළින් ඇති කොටසේ ආරක්‍ෂිත දැල මඟින් සම්පූර්ණ ප්‍රදේශය ආවරණය කර නොතිබීම හේතුවෙන් විශේෂයෙන් රාත්‍රී කාලයේ සොරුන් මංකොල්ලකරුවන් , ගණිකාවන් , මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් ඇතුළු විවිධාකාරයේ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් වල තෝතැන්නක් බවට එම ස්ථානය පත්ව ඇත. එහි විදුලි පහන් නොමැති නිසා එය විෂමාචාර ක්‍රියාවන්ට රුකුලක් වී ඇත.

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තදින් ඉන්න - ඇමති ටිරාන්

මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා අද (16) උපදෙස් ලබාදී ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට පුද්ගල තරාතිරම නොබලා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු ප්‍රදේශ නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා අමාත්‍යවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුදේව හෙට්ටිආරච්චි පොලිස් අත්අඩංගුවට !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි පොලිසිය විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

ඒ මහනුවරදී බීමතින් රිය පදවමින් විදේශීය දූත පිරිසකට මග අවහිර කිරීම හා පොලිස් අණ නොතකා ධාවනය යන චෝදනා යටතේ ය.

පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ ලබන 23 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දමයි !

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන සඳුදා (19) සිට දින කිහිපයක් තාවකාලිකව වසා තබන බව එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසයි.

එහි නේවාසිකාගාරවල සිටින සිසුන් අද (16) සවස 4න් පසු නේවාසිකාගාරවලින් පිටවී යා යුතු අතර, නේවාසිකාගාර යතුරු නේවාසිකාගාර උපපාලකවරුන්ට භාරදෙන ලෙස දැනුම් දුන් බව ද එම හිමියන් පවසයි.

සඳුදා සවස 4.00 න් පසු නේවාසිකාගාරවලින් සියලු සිසුන් ඉවත්විය යුතු බවත්, අනවසරයෙන් රැඳී සිටියහොත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.

නේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය : ක්‍රිකට් විස්තර විචාරකයකු සැකයි !

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම පොලිස් ආරංචිමාර්ග පවසයි.

මෙම පුද්ගලයා සහ දිනේෂ් ශාෆ්ටර් අතර රුපියල් කෝටි 138 ක ගණුදෙනුවක් සිදු වී ඇති බවත් එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් මෙම ඝාතනය ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය සොයන පුද්ගලයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බව බැලූ බැල්මට පෙනෙන බවත් බොරැල්ල කනත්ත තුළදී වාහනය දීම ඝාතනයට ලක්ව ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශාෆ්ටර් මහතාගේ කාර් රථය කාසල් රෝහල දෙසින් ඇති පිවිසුමෙන් කනත්ත තුළට ඇතුල් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවද දැනගන්නට ඇත.

තිළිණිට ඇප ලැබෙයි : රට ගමන් තහනම්

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි, මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  අද නියෝග කළේ ය.

ඒ, රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ඇයට පැනවූ විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

සෑම මාසයක අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි ද මහේස්ත්‍රාත්වරයා තිළිණි ප්‍රියමාලිට නියෝග කළේ ය.

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනුණේ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙනි.

පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්

රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලබන අධ්‍යාපනවාරයේදී එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව ද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යවරයා එසේ කීය.

මීට අමතරව රටපුරා දැනට තිබෙන අධ්‍යාපන කලාප 100 කලාප 120 දක්වා වැඩි කරන බව ද අධාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන කලාප සංඛ්‍යාව ඉහළ නැංවීමෙන් පසුව ගුරුවරුන්ගේ පරිපාලන ගැටළු විසඳා ගැනීම පහසුවෙන් බව ද එහිදී සුසිල් ප්‍රේමජයන්ත  සඳහන් කළේය.

ලංකාදීප

ක්‍රීඩා සම්මේලන තනතුරුවලට සිමා පනවයි !

වයස අවුරුදු 70කට වැඩි කිසිවකුට ජාතික ක්‍රීඩා සම්මේලනවල ප්‍රධාන නිලතල දැරිය නොහැකිවන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

එසේම, ජාතික ක්‍රීඩා සම්මේලනයක සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික වැනි ප්‍රධාන තනතුරු දැරිය හැක්කේ වසර දෙක බැගින් උපරිම දෙවරකට පමණක් ලෙස එම ගැසට් නිවේදනය මගින් සීමා පැනවීමක් ද සිදුකර ඇතැයි පැවසේ.

කෙසේවුවද ජාතික ඔලිම්පික් සම්මේලනයට පමණක් එම කාල සීමාව වසර 4 බැගින් උපරිම වාර දෙකට අවස්ථාව ලබාදී ඇතැයි ද වාර්තාවේ.

එසේම, සියලුම ජාතික ක්‍රීඩා සම්මේලන දිස්ත්‍රීක් මට්ටමින්, පළාත් මට්ටමින් සිය ක්‍රීඩා සංගම් පිහිටුවා විදිමත් පරිදි පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමට ද මෙම ගැසට් නිවේදනය මගින් අනිවාර්යය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මේ හරහා ඇතැම් ක්‍රීඩා සම්මේලන තුල පවතින ඒකාධිකාරය බිඳදමමින්, ක්‍රීඩාව ගම් මට්ටමින් ව්‍යාප්ත කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපොරෝතුව බව පැවසේ.

මෙම කාරණාවලට අදාල ගැසට් නිවේදන 3ක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් හෙට (16) පෙරවරු 9.30 ට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා පැහැදිලි කිරීමට නියමිත බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

“හරියට වැඩ නොකර නිදහසට කරුණු කියන්න එපා” - ජනපති

රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ය.

රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහක් කර ගත යුත්තේ, ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනපති  මේ බව සඳහන් කළේ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (දෙසැ. 15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

“රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව ක්‍රියා කළ යුතුයි. මට හේතු අවශ්‍ය නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න තිබෙන්න විදියක් නැහැ. රජයක් ලෙස සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතුයි.

වැවිලි ක්ෂේත්‍රයේදී ඇතැම් නිලධාරින් අණපනත් පලිහක් කර ගනිමින් කටයුතු කරනවා. 80 දශකයේ මීට අදාළ පනත සකස් කරන විට මේ පිළිබඳව මා අවධානය යොමු කර තිබෙනවා.

මේ ප්‍රදේශවලින් ෆයිනස් වගාව ඉවත් කරන්න කළින් ඒ පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ලබාගත යුතුයි.

ඉංග්‍රීසින් මේ රට පාලනය කරන සමයේ ෆයිනස් වගාව තිබියදී තේ වගා කළා. ඒ නිසා සාවද්‍ය මතවලට හසුවන්න එපා. ෆයිනස් වගාව ඉවත් කිරිමට පෙර ඉන් ජල පෝෂක ප්‍රදේශවලට බලපෑම් සිදුවනවා ද යන්න විද්‍යාත්මකව සොයා බැලිය යුතුයි. ෆයිනස් වගාව ඉවත් කර ටර්පන්ටයින් වගාවට යොමුවණේ ඇයි? ටර්පන්ටයින් වගාව මගින් ජලපෝෂක ප්‍රදේශවලට බලපෑමක් ඇතිවෙනවා නම් එම වගාව ඉවත් කරන්න.

මෙම ප්‍රදේශයේ තිබෙන අධ්‍යාපන ගැටලු පිළිබඳ සාකච්ඡා කරන විට ගුරු හිඟය පිළිබඳව සඳහන් කෙරුණා. ගුරු පත්වීම් ගැනීමෙන් පසුව අවුරුද්දක්, දෙකක් යන විට ස්ථාන මාරු ලබා ගන්නවා. පත්වීම ලබා වසර පහක් ගතවනතුරු ගුරු ස්ථාන මාරු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශයත්, පළාත් සභාවත් එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතුයි.

වතු පාසල් සඳහා අලුත් ඉඩම් ලබා ගැනීම පිළිබඳ කළ යෝජනාව සලකා බලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරිමට පියවර ගන්නවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝහලේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට අපි කටයුතු කරනවා.

දියතලාව මූලික රෝහල නිසා බණ්ඩාරවෙල රෝහලේ සංවර්ධන කටයුතුවල ගැටලුවක් මතුව තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමට පියවර ගන්නවා. බණ්ඩාරවෙල දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයට පවරන අතර එහිදී මේ කටයුතු සොයා බැලිය යුතු ය.

බදුල්ල පළාත් මහ රෝහල සංවර්ධනය කිරීමට අදාළ ඉඩම් සියල්ල මේ වන විට නිදහස් කර තිබෙනවා. එහි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන ලෙස මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.

අපේ රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම නිසා දැනට විදේශ ආධාර ලැබීම නැවතී තිබෙනවා. ඒ නිසා බදුල්ල පළාත් මහ රෝහලට අවශ්‍ය උපකරණ සඳහා මුදල් ලබාදීමේ දී යම් ප්‍රමාදයක් සිදු විය හැකියි.

සංචාරකයන් සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයක් එම රෝහලේ ස්ථාපනය කිරීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා. එමගින් විදේශ විනිමය උපයා ගැනීමට හැකියාවක් තිබෙනවා.”

වැට් බද්ද බලාත්මකයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානාය‍ෙ මහින්ද යාපා අබේවර්ධන  ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදි සම්මත විය. එහිදී පනත්‍ කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමි විය.

මේ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන)පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14 වැනි දින සිට බලාත්මක වේ.

ඩයනාගේ විදෙස් තහනම දින 05 කට ඉවතට

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දින 5 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබේ.
ඒ, ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුව අද කැඳ වූ අවස්ථාවේදීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ  එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ, රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල සවිස්තර වාර්තාවක් ලබන ජනවාරි 05 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

රාජ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න  කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසු ඇයට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියෝග කළේ ය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ, රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දක්වන නිහඬතාවය ගැටලු සහගත බවයි.

ඇය මේ දක්වා එම විමර්ශනවල සැකකාරිය ලෙස නම් කර නොමැති බව, ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එහිදී පෙන්වා දුන්නේ ය.

විවෘත අධිකරණය හමුවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් විසින් මේ දක්වා තම අධිකරණයට ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තා අනුව ඩයනා ගමගේ මහත්මිය එම විමර්ශනවල සැකකාරියක ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව තම අධිකරණයට පෙනී යන බවය.

කෙසේ නමුත් ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ, නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය.

කබ්‍රාල්ගේ වැඩ නිසා ඩොලර් බිලියන කීයක් අහිමිද ? රාජ්‍ය ඇමති හෙළිකරයි !

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සමයේ ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාම නිසා ඩොලර් බිලියන හයක හතක මුදලක් අහිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එවැනි අනම්‍ය තීරණ වත්මන් පාලනය විසින් නොගන්නා බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා අද වන විට ක්‍රියාත්මක කරන්නේ එම කාලයට වඩා බොහෝ වෙනස් ප්‍රතිපත්ති බවත් සඳහන් කරයි.

එම යුගයේ ඩොලරය රඳවා ගැනීමට ගොස් රටේ තිබුණු ඩොලර් බිලියන 6-7ක මුදලක් වියදම් වූ බවද ඔහු පවසයි .

පේරේ ශාස්ත පීඨ ආචාර්යවරුන් දේශනා වර්ජනයක !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් දේශනවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට සිසුන් පිරිසක් එල්ල කළ අමානුෂික ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව තමන්ට දැනුම් දුන් බවයි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පංච පුද්ගල පරීක්ෂණ කමිටුවක් විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Page 240 of 461