V2025

පුවත්

වෛද්‍යවරුන්ට තෙල් : හමුදා කඳවුරුවලින් !

වෛද්‍යවරුන් සඳහා යුද හමුදා කඳවුරු තුළ ඉන්ධන ලබාදීමට රජය තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි .

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි සඳහන් කර සිටියේ වෛද්‍යවරුන්ට ළඟම පිහිටි යුද හමුදා කඳවුරෙන් ඉන්ධන ලබාගැනීමේ පහසුකම් සැපයීමට යුද හමුදාපතිවරයාද සිය කැමැත්ත පළකර ඇති බවය.

ඉන්ධන ලබාගැනීමේදී වෛද්‍යරුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමේදී ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවූ කළහාකාරී සිදුවීම් ගැන සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ ඇති බවත් වාර්තා වෙයි .

වෛද්‍යවරුන්ට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි හා ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු හා පළතුරු ප්‍රවාහනය කරන රථ සඳහා ද යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන නිකුත් කිරීමට තීරණය වී තිබේ.

නුවරඑළිය ,කැප්පෙටිපොල ,දඹුල්ල ,තඹුත්තේගම,මීගොඩ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ආසන්න යුද හමුදා කඳවුරුවලින් ඒ සඳහා ඉන්ධන නිකුත් කෙරෙන බවත් වාර්තා වෙයි .

ඉස්සරහට මන්ත්‍රී පාතාලයක් : අනුරගේ අනාවරණයක් !

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැපයීම සඳහා රජයේ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසවය තැබිය නොහැකි බැවින් ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ ග්‍රාමාරක්ෂකයින් 05 දෙනෙකු යොදාගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හෙළි කළේය.

ඔහු මේ බව හෙළි කළේ ඊයේ (01) අම්බලන්තොටදී පැවැත් වූ “ආණ්ඩුව #පන්නමු! පාරට බහිමු!…” විරෝධතා රැලියේදීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මුලින්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිනි අවි 04ක් ලබා දෙන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් කැමති පුද්ගලයින් 04 දෙනෙකු ගිනි අවි පුහුණුව සමගින් ආරක්ෂාවට යොදාගැනීම සඳහා සාකච්ඡා කර ඇති බවය.

නමුත් පසුව එය ගිනි අවි සහිත තමන් කැමති ග්‍රාමාරක්ෂකයින් 05 දෙනෙකු ලබා ගැනීම දක්වා වෙනස් කර ඇති බව හෙළි කළේය.

මේ මගින් හෙළි වී තිබෙන්නේ රජයේ නිල ආරක්ෂක අංශවන හමුදා හෝ පොලීසිය සම්බන්ධයෙන් විශ්වාසය නැතිවීම හේතුවෙන් මන්ත්‍රීවරුන් වටා පැරා මිල්ටරි කණ්ඩායමක් සේ ක්‍රියාකරන පාතාල බලකායක් පිහිටුවාගැනීමට සූදානම් වන බවය.

ජනාධිපති ගෝඨාභය හැංගිලා : පොහොට්ටු මන්ත්‍රී කියයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැගවී සිටින ජනාධිපතිවරයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හෝ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාගත නො හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත .

එනිසා ජනතාවගේ ගැටලු ජනාධිපතිට දැනුම් දිය හැකි එකම ආකාරය ජනමාධ්‍ය පමණක් බවද පැවසූ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මාධ්‍ය ආයතන සඳහා ඉන්ධන අහිමි කිරීමෙන් එම අවස්ථාවද අහිමි කරමින් ඇතැයිද කියා සිටියේය.

ලිට්‍රෝ ගෑස් සැපයීමත් : අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි !

තවදුරටත් ගෑස් සැපයීම සිදුකරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි .

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර , ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන බවත් පවසා ඇත .

මේ මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා පවසා ඇත .

එහි පළමු නෞකාව ලබන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවත් ඔහු සඳහන් කර තිබේ .

ව්‍යවස්ථා සංශෝධනයට සිරිසේනගෙන් බාල්දියක් !

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිදුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චෝදනා කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේද පවසයි .

" ගෙනැවිත් තිබෙන 22වෙනි ව්‍යයවස්ථා සංශෝධනය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස්. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් වත්මන් ජනපතිවරයාට ධූර කාලය අවසන් වන තුරු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල මෙන්ම තවත් බලතල ලබාදී තිබෙනවා. අපි එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 70කින්, 80කින් ආපස්සට ගොස් ගැබිණි මව්වරුන්ට නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව තිබෙනවා. ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරු දී කළ වරැද්ද නිවැරදි කරගන්නට තවමත් සූදානම් නැහැ"

නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න : ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිට දන්වයි !

නැවත සියලු පක්ෂ නායකයින් කැඳවා නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීමට පියවර ගන්නැයි දන්වමින් මහානායක ස්වාමීන්වහන්සේලාගේ අත්සන්වලින් යුත් ලිපියක් ජනාධිපති වෙත යොමු කර තිබේ.

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී ජනාධිපතිවරයා සහ සියලු පක්ෂ නායකයින් එකඟ වියයුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇත.

අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහානායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය යොමුකර තිබේ.

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජනජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වියයුතු බවද ඉන් අවධාරණය කර තිබේ.

එසේම මීට පෙර ජනාධිපතිවරයා තමන් වහන්සේලාට එකඟතාව පළකල ආකාරයට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද එහිදී කරුණු සඳහන් කර ඇත .

අදාළ ලිපිය පහත දැක්වෙයි .

283326295 1039702076748515 4763917011920915110 n 751x1024 1 696x949

290153783 1349561505535644 9112730890484833654 n 691x1024 1

289496958 2191399824358647 4051940712573201821 n 695x1024 1

කන්දකාඩු රැඳවියාගේ මරණය : යුද - ගුවන් සෙබළු 4 ක් අත්අඩංගුවට !

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .

 පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කළ අතර , අත්අඩංගුවට ගනුලැබූ පිරිස අතර  යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු සිටියි. 

ඉකුත් (29) දින කන්දකාඩු කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ රැඳවියෝ යුද හමුදාව සමග කලහකාරී ලෙස හැසිරැණු අතර එහිදී අවස්ථා දෙකකදී රැඳවියන් 647 දෙනකු සෝමාවතී රක්ෂිතයට පැන ගොස් සිටි අතර යුදහමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී රැඳවියෝ රැසක් අත්අඩංගුවට පත්වූහ. 

පලාගිය රැඳවියෝ අතරින් 126 කට ආසන්න රැඳවියන් පිරිසක් අතුරැදන්ව සිටින බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (2) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

ජපන් සහය ඉදිරියටත් : තානාපති ජනාධිපතිට දන්වයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) පවසා ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඊයේ ( 01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දී තානාපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර පවසයි .

ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි පැවසූ බවත් ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

 

සිපෙට්කෝ නැති වුණාට IOC ඉන්ධන එනවා !

ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් රැගත් නෞකා 03ක් මෙරටට පැමිණීමට නියමිත බව ලංකා IOC සමාගම පවසයි.

ඊට අනුව එක් නෞකාවක් ජූලි 13 - 14 දෙදින තුළ පැමිණීමට නියමිත අතර , දෙවන ඉන්ධන නෞකාව ජූලි 28 හෝ 31 වන දාත්, තුන්වන ඉන්ධන නෞකාව අගෝස්තු 10 හෝ 15 වන දා ලෙස පැමිණීමට නියමිත බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් ආණ්ඩුවේ බලධාරීන් පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්න පැමිණීම සම්බන්ධයෙන් ජූලි 22 වන තුරු නිශ්චිත දැනුම්දීමක් සිදුකළ නොහැකි බවය.

මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත්කරමින් ඇත.

 

ජූලි 07 වෙනකොට යන්න : භික්ෂු සංවිධාන ජනාධිපතිට දින නියම කරයි !

තවදුරටත් රට අරාජික තත්ත්වයට පත් නොකර ජූලි මස 7 වන විට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලියුමක් මගින් දැනුම් දී තිබේ.

එසේ ඉවත්ව නොයන්නේ නම්, මෙරට සියලු ම භික්‍ෂුන් වහන්සේ කොළඹට ඒකරාශී කර මෙම 7 දින සිට අඛණ්ඩ හා දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව ද එම භික්‍ෂු සංවිධානය සිය ලියුම මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

රට තුළ පවත්නා අර්බුදකාරී හා අරාජික තත්ත්වය සමනය කිරීම සඳහා වහා ම ක්‍රියාමාර්ගයක් ගන්නා තෛ්‍රනිකායික මහ නා හිමියන් වහන්සේලා ඒකාබද්ධ ප්‍රකාශනයක් අස්සන් කර කළ දැනුම්දීමට සුබවාදී ප්‍රතිචාරයක් හෝ නැඹුරුවක් ආණ්ඩුව වෙතින් නොදැක්වීම නිසා මෙම පියවර ගන්නා බව ද එම ලියුම මගින් පෙන්වා දී ඇත.

බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ ජනතාවට සේවය කරන බවට රුවන්වැලිසෑ පුදබිම, ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩසිටින පුදබිම, තුළ දී දිවුරුම් ලබා දෙමින් ජනාධිපතිවරයා කර ඇත්තේ ජනතාව මුළා කිරීමක් බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේගේ ප්‍රකාශනයට ප්‍රතිචාර නොදැක්වීම තුළින් පෙනී යන බව ද එම ලියුමේ සඳහන් ය.

කප්පරක් විශ්වාස තබාගෙන බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ඇතුළු හැටනම ලක්‍ෂයක අති බහුතර ජනතාවක් ජනාධිපතිවරයා තෝරා පත්කර ගත් නමුත් එම ජනතාවට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අල්පමාත්‍රයක හෝ විශ්වාසයක් නොමැති බව ද ගෝඨාභය රාජපක්‍ෂ තවදුරටත් ජනාධිපතිවරයා වශයෙන් පිළිගැනීමට භික්‍ෂුන් වහන්සේ මෙන්ම රටේ සමස්ත ජනතාව ද සූදානම් නොමැති බව ද එම ලියුම මඟින් පෙන්වා දී ඇත.

රට තුළ මහා විනාශයක් පෙනෙන්නට ඇති විට ඒවා වළක්වාලීමට පියවර ගැනීම මෙන්ම මිලියන 22ක ජනතාවගේ උන්නතිය පිණිස කටයුතු කිරීම භික්‍ෂුන් වහන්සේගේ පරම යුතුකම බැවින් මෙම ඉල්ලීම කරන බව ද ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ සිය ලියුම මගින් වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.

උලපනේ සුමංගල, කොබෙයිගනේ විජිත, මතුරට ධම්මාලංකාර ඇතුළු භික්‍ෂුන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව මෙම ලියුම යවා තිබේ.

- මව්බිම

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමීන් දයාශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම නීතීඥවරයෙකු වූ ගෝමින් දයා ශ්‍රී අද (02) උදේ අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්බන්ධයෙන් ගැටළු පැණනැගුණු තීරණාත්මක අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අධිකරණ ක්‍රියාමාර්ගවලදී මෙන්ම එයින් බාහිරවද ඔහු විශාල කාර්යභාර්යයක් ඉටුකර තිබිණි. විශේෂයෙන්ම 1987 ජූලි මස ජේ.ආර් ජයවර්ධන ශ්‍රී ලංකා ජනාධිපති සහ රජිව් ගාන්දු ඉන්දීය අගමැතිවරයා අතර අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම, ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේස්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේදී ජ්‍යෙෂ්ට නීතිඥයෙකු වශයෙන් ගෝමින් දයා ශ්‍රී විශාල කාර්යභාර්යයක් සිදු කර තිබිණි.

අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, එම පළාත් දෙක ඒකාබද්ධ කිරම නීති විරෝධී යයිද එය නැවත උතුර සහ නැගෙනහිර වශයෙන් වෙන් කළ යුතු යැයිද තීරණය කරනු ලැබීය. මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ ඒකීයභාවය සම්බන්ධ ත්‍රීරණාත්මක අවස්ථා ගණනාවකදී ඔහුගේ දායකත්වය පිරිනමා තිබිණි.

ඒ මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.

ගෝඨා මහින්ද බැසිල් පිරිසට : අධිකරණය දුන්න තවත් තීන්දුවක් !

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා අවසරය ලබා දීම සම්බන්ධයෙන් ජූනි 28 වන දින ගැනීමට තිබූ තීරණය අද දින (ජූලි 01) අධිකරණයේදී සැලකිල්ලට ගන්නා ලදී.

වගඋත්තරකරුවන් තිදෙනෙකු පමණක් අද අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.

පළමු වගඋත්තරකරු (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ), අට වන වගඋත්තරකරු වන නන්දලාල් වීරසිංහ සහ නව වන වගඋත්තරකරු වන ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය නියෝජනය කළ නීතිඥවරුන් පමණක් අද දින නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිට ඇත.

අට වන සහ නව වන වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මීට සමාන නඩුවක් (SCFR 195/2022) දැනටමත් ගොනු කර ඇති බව ත්, ජූලි 4 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරිපිට සහාය දැක්වීම සඳහා එය නියමිතව ඇති බවත් ය.

ඒ අනුව, මෙම කරුණු දෙක ම එකවර විභාගයට ගැනීම සලකා බලන ලෙස නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, එම ඉල්ලීම සලකා බැලීම පිණිස අධිකරණය විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කරන ලදී.

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් (මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්), හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ ගමන්වල යෙදීම තහනම් කරන ලෙසට පෙත්සම්කරුවන් අතුරු සහනයක් ඉල්ලා ඇත.

මෙම තත්ත්වයට හේතු සහ වගඋත්තරකරුවන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග විමර්ශනය කිරීම සඳහා මෙන් ම, මුදල් අක්‍රමිකතා සහ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය නොකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ කමිටුවක් පත් කිරීමේ ඉල්ලීමක් ද පෙත්සම්කරුවන් කර ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් චන්ද්‍රා ජයරත්න, ජූලියන් බෝලිං සහ ජෙහාන් කනගරත්න යන සෙසු පෙත්සම්කරුවන් සමග මෙම පෙත්සම ගොනු කරන ලදී.

එම මූලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ අර්බුදයක් නිර්මාණය වන ආකාරයට විනිවිදභාවයකින් තොරව සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමට එරෙහිව ය.

එහි සඳහන් කර ඇති පරිදි ආර්ථික අර්බුදයට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වේ.

2019 වසරේදී නීතිවිරෝධී ලෙස බදු සහන දීම හරහා රජයේ ආදායම් අඩු කර ගැනීම.
එම බදු සහන ආපසු හැරවීමට අසමත් වීම.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ප්‍රමාද කිරීම.
රුපියලේ අගය සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණ නොගැනීම.
පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ, ඉහත කී කරුණු සඳහා අදාළ වග උත්තරකරුවන් ඍජුව වගකිව යුතු බවට ය.

-මව්බිම

මර්වින් ශ්‍රීලනිපයට !

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා අද(01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

ඔහු මෙසේ ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්තේ , ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේනගේ නිල නිවසට පැමිණය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බවත් වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය.

ඇඟලුම් කම්හල් 200කට මාරාන්තිකයි !

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී අද දවසේ බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

බොහෝ අවස්ථාවලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන තත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම් වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද ලොකු බලපෑමක්වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදය පවසයි.

මේ අතර ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහනවලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක්වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.

මේ තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් දැනටමත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම විදුලිය කප්පාදුව නිසා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ඇඟලුම් කම්හල්වලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති හෙයින් ඒ තත්වය එම ආයතනවල ආදායමට අහිතකර ලෙස බලපා ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ඇඟලුම් නිෂ්පාදන ආයතන වලට විදේශයන්ගෙන් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි පෙන්වා දෙන ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒ තත්වය මඟ හරවා ගැනීම සඳහා ඇණවුම් කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

-Lankadeepa

අරක්කු බෝතල් 05කට : පෙට්‍රල් බෝතල් 05ක් !

අරක්කු බෝතල් පහක් ඉන්ධන ලීටර් පහක් සමග හුවමාරු කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් රක්වානින් වාර්තා විය.

කුඩා මැණික් ව්‍යාපාරියෙකු වන මොහු සිය මොටර් රථයෙන් රක්වාන නගරයට පැමිණ තිබිණි. පසුව ඔහුගේ රථයට ඉන්ධන ලීටර් පහක් සොයා ගැනීමට උත්සහ කරමින් සිටියදී තරුණයන් කිහිප දෙනෙකු මුණ ගැසී ඇත. අදාළ ව්‍යාපාරිකයා එම පිරිස වෙත පවසා ඇත්තේ වැඩි මිලකට හෝ ඉන්ධන ලබා දෙන ලෙසයි.

කෙසේ හෝ අවසානයේ රෑ බෝ වී තිබූ නිසා ව්‍යාපාරිකයා මත්පැන් අලෙවි සලකට ගොස් මත් පැන් බෝතල් 5ක් මිලදී ගෙන තරුණයන් වෙත ලබා දෙමින් කියා ඇත්තේ පෙට්‍රල් ලීටර පහක් මේ වෙනුවට ලබා දෙන ලෙසයි.

එහිදී තරුණයන් ඉදිරිපත්ව ව්‍යාපාරිකයා දුන් අභියෝගය භාරගෙන හොර පාරෙන් ඉන්ධන අලෙවි කරන අයකු මුණගැසී පෙට්‍රල් ලීටර් පහක් ලබා දී ඇති බව ගම්වාසීහු පවසති.

– Aruna

කන්දකාඩුවට මානව හිමිකම් කොමිසම යයි

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථා‍නයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි සභාපතිනි විශ්‍රාමික ශ්‍රේඨාධිකරණ විනිසුරු රොහිණි මාරසිංහ සඳහන් කළේ, සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත මානව හිමිකම් කොමිසමේ නියොජිතයින් පිරිසක් ගිය බවයි.

අදාල කණ්ඩායම ලබා දෙන වාර්තාව අනුව සිදුවිම සම්බණයෙන් පූර්ණ ස්වාධීන විමර්ශනයක් පවත්වන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සඳහන් කළාය.

=කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයකු පහර දීම හේතුවෙන් මියයාමේ සිද්ධියක් මුල්කරගෙන ඉකුත් (27) දින එහි නොසන්සුන්තාවක් හටගත්තේය.

ඊළඟ ජන්දය උඩින් දිනනවා : බැසිල් කැට තියයි !

මීළඟ පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත හැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇති බව වාර්තා වෙයි .

ජනතා විරෝධය හමුවේ මුදල් අමාත්‍ය ධූරයෙන් මෙන්ම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ මේ වන විට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වල නිරත අතර එහිදී මේ බව පවසා ඇත .

දිස්ත්‍රික් මට්ටමින් එම පක්ෂයේ සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට කැඳවා සංවිධාන කරමින් සිටින බවත් වාර්තා වෙයි .

මීළඟ පළාත් පාලන මැතිවරණය එළඹෙන පෙබරවාරි මාසයට කලින් පැවැත්විය යුතුව ඇති බවත් ඒ සඳහා සූදානමින් කටයුතු කරන ලෙසත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි .

භීතිය ඉවතට : දිගටම මහ බැංකු අධිපති නන්දලාල් !

ආචාර්ය නන්දලාල් වීරසිංහ 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කර ඇති බව වාර්තා වෙයි .

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ වෙත භාර දෙනු ලැබිණ.

කෙසේ වුවත් පසුගිය සමයේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ තමන්ව ධූරයෙන් ඉවත් කරනු ඇති බවට භීතිකාවකින් පෙළුණු බවක් නිරීක්ෂණය විය.

Page 231 of 384