V2025

පුවත්

පොලිස්පතිගේ ඇඳිරි නීතිය ඉවත් කරගෙන !

පොලිස්පතිවරයා ඊයේ රාත්‍රියේ (08) පැනවූ  "පොලිස් ඇඳිරි නීතිය" අද (09) උදෑසන වන විට ඉවත් කරගෙන ඇත.
 
 මෙසේ ඉවත් කරගන්නට සිදු වූයේ මේ අනීතික නීතිය පැන වූ මොහාතේම එයට එරෙහිව සක්‍රිය පුරවැසි  විරෝධයක් මතු වූ බැවිනි. 
 
අදාළ නිවේදනය පහත දැක්වෙයි .
FB IMG 1657336702515

පොලිස් ඇඳිරි නීතිය නීති විරෝධීයි : අගමැති රනිල් ජනාධිපතිට දන්වයි !

පොලිස්පති නිවේදනයක් හරහා හෙට (09) දින සිට නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය නීති විරෝධී බවත් , එබැවින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොලිස් ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව දැනුවත් වූ වහාම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකව ඇත.

නීතිඥ සංගමයේ විරෝධය !

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පොලිස් ඇඳිරි නීතිය නීතිය පැනවීම දැඩිව විවේචනය කරමින් වහාම නිවේදනයක් නිකුත්කර ඇත.

එම සංගමය නිවේදනය හරහා ප්‍රශ්න කර සිටින්නේ මෙවැන්නක් සිදු කිරීම සදහා පොලිස්පතිවරයාට ඇති නීතිමය බලය කුමක්ද යනුවෙනි.

පොලිසියට මේ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත්, එය නීති වීරෝධී බවත් එම සංගමය නිවේදනය හරහා පෙන්වා දී ඇති අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි.

FB IMG 1657299299428

මානව හිමිකම් කොමිසමේ සාක්ෂිය මෙන්න !

මේ අතර පොලිස් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ද සමාජ මාධ්‍ය වෙත , ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම උපුටා දක්වමින් අදහස් දැක්වීමක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි .

“It is noted that S. 56 of the Police Ordinance, No.16 of 1865 (as amended) lays down the duties of individual police officers including the duty to “preserve the peace”. An examination of the Ordinance as a whole indicates that it does not confer general powers on the police to declare curfew. It appears that ‘police curfew’ has evolved as a practice.”

"1865 අංක 16 දරන පොලිස් ආඥාපනතේ S. 56 (සංශෝධිත පරිදි) "සාමය සුරැකීමේ" රාජකාරිය ඇතුළුව එක් එක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය දක්වා ඇති බව සටහන් වේ. සමස්තයක් ලෙස ආඥාපනත විමසා බැලීමෙන් පෙනී යන්නේ ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කිරීමට පොලිසියට සාමාන්‍ය බලතල ලබා දී නොමැති බවයි. ‘පොලිස් ඇඳිරි නීතිය’ පුරුද්දක් ලෙස විකාශනය වී ඇති බව පෙනේ.”

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

Human Rights Commission of Sri Lanka https://www.hrcsl.lk/wp-content/uploads/2020/02/curfew.HRCSL-recommendation-final.pdf

බස්නාහිර පොලිස් කොට්ඨාස 07 කට ඇඳිරි නීතිය !

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව වාර්තා වෙයි.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මේ බව නිවේදනය කර ඇති අතර ඊට අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත .

එසේම මේ ඇඳිරි නීතිය පැනවූ පොලිස් බලප්‍රදේශවල සියලුම පුද්ගලයන් තමන්ගේ නිවාසවල රැදීසිටියුතු අතරම පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බාධා කිරීමත් ලෙස සළකා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයාගේ නිවේදනයේ සඳහන් වෙයි.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බලප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස්පතිවරයා එම නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.

පොලිස්පති විසින් නිකුත්කළ අදාළ නිවේදනය පහත දැක්වෙයි .

IMG 20220708 WA0021

අර්බුදය එසේමයි : විපක්ෂයේ නායකයන් ජනපති අගමැති සූට් මහයි !

රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි ජනතා අරගලය හෙට (09) තීරණාත්මක කඩ ඉමක් වෙත යොමුවෙමින් තිබියදී විපක්ෂයේ දේශපාලන නායකයන් ජනාධිපති සහ අගමැති ධූර ලබමින් බලය තහවුරු කර ගැනීමේ ප්‍රයත්න දියත්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මේ වන විට ජනාධිපති හෝ අග්‍රාමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන නායකයන් විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා ආරම්භ කර ඇත .

එසේම ඔවුන් අරගලකරුවන් සමග සාකච්ඡා කරමින් සිටින බව දැක්වෙන විවිධ සාකච්ඡා සභාවන් සිය මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කරමින් සිටියි.

සජිත්ගෙන් මෙහෙයුම් කමිටුවක් !

මේ අතර රට තුල උද්ගතව ඇති අර්බුදකාරි තත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩපිළිවෙලකට යොමුවන ලෙසට සිදුකරන ඉල්ලීම් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලීමේ මූලික පියවර වශයෙන් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කොට මෙහෙයුම් කම්ටුවක් ස්ථාපිත කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මෙම මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් පත්කර තිබේ.

සිරිසේන - පාඨලී හමුවක් !

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අතර විශේෂ හමුවක් අද (08) පෙරවරුවේ පැවැත්වූ බවත් වාර්තා වෙයි .

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු එම සාකච්ඡාව සඳහා දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය හා ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගී වී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවකගේ පාර්ශවය වෙනුවෙන් කරුණාරත්න පරණවිතාන සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් එම හමුව සඳහා සහභාගී වූ බවත් වාර්තා වෙයි .

 

 

 

අරගලය සාමකාමී වෙන්න ඉල්ලන : එජාප නිවේදනය මෙන්න !

සාමකාමී විරෝධතා අරගලයට දිගින් දිගටම සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂය , හෙට (09) පැවැත්වීමට නියමිත අරගල පියවර සාමකාමී ලෙස පවත්වන ලෙසත් ඉල්ලා සිටියි.

එසේම සාමකාමී විරෝධතාවයන්ට කිසිදු බාධාවක්, අවහිරයක් නොමැතිව නිදහසේ කරගෙන යාමට අවස්ථාව ද තිබිය යුතු බවද අවධාරණය කරමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

අරගලය සාමකාමී වෙන්න ඉල්ලන : එජාප නිවේදනය මෙන්න !

අරගලකරුවන් විසින් හෙට (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩ අරගලයක නිරතවීමට තීරණය කර ඇත.

සාමකාමී අරගලයන්ට එක්සත් ජාතික පක්ෂයේ සහාය නිරතුරුවම හිමිවන බව සිහිපත් කළ යුතු ය.

ගාලුමුවදොර අරගලකරුවන්ට මැයි 09 දින එල්ල වූ ප්‍රහාරයේදී ද අප පෙනී සිටියේ අරගලකරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙනි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්වූ පසු අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් පත් කරනු ලැබූවේ මා ය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩනයකින් සිටින බව අප පිළිගන්නා පරම සත්‍යය වේ.

රාජපක්ෂ පාලනය හමුවේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසාවෙනි.

එම වැරදි මූල්‍ය පාලනයේ ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව ඇත්තේ සමස්ත රට වැසියාටම ය.

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්වීමෙන් අනතුරුව පවතින ආර්ථික අර්බුදයේ සැබෑ තත්ත්වය රටට හෙළි කළ අතර, අමාරු කාලයක් පසු කිරීමට සිදුව ඇති බව ද ප්‍රකාශ කළේ ය. එම අමාරු කාලය දැන් අප පසුකරමින් සිටින්නෙමු.

අරගලය වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාව ගෙන් අපි ඉල්ලා සිටින්නේ එක දෙයක් පමණකි. ඒ සාමකාමීව විරෝධතාවයේ නිරතවන ලෙසට ය. විරෝධය පළ කිරීමට ජනතාවට ඇති මූලික අයිතිවාසිකම් අපි පිළිගන්නෙමු. සාමකාමී විරෝධතාවයන්ට කිසිදු බාධාවක්, අවහිරයක් නොමැතිව නිදහසේ කරගෙන යාමට අවස්ථාව ද තිබිය යුතු ය. විරෝධතාවයට පැමිණෙන ජනතාව ද සිය විරෝධය සාමය කඩනොවන අයුරින් පවත්වාගෙන යා යුතු බව අප ගේ විශ්වාසය යි.

ආරක්ෂක අංශ ද නීතිය හා සාමය රැකිය යුත්තේ අරගලකරුවන්ට බාධාවක් නොවන ලෙසට ය. රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම ආරක්ෂක අංශ සතු වගකීමක් සේ ම අරගලකරුවන් සතු වගකීමක් බව ද සිහිපත් කරන්නෙමු. සාමකාමී රටක් පැවැතීම අප සැමගේම අපේක්ෂාව වන බැවින් එය සැමදා පවතීවා යන්න අප ගේ ඒකායන ප්‍රාර්ථනය යි.

 

ධීවරයන්ට අඛණ්ඩව ඉන්ධන දෙන්න : අගමැති රනිල්ගෙන් වැඩපිළිවෙළක් !

පවතින ඉන්ධන අර්බුධය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටළුවලට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන් වෙත උපදෙස් ලබාදී ඇත .

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් වෙයි.

පසුගිය බදාදා(06) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදආරච්චි සහ මයන්ත දිසානායක විසින් ඉන්ධන අර්බුධය හේතුවෙන් ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න මතුකරන ලදී.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සියළු පාර්ශව වල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට දිනයක් එදිනම ලබා දුන්නේය.

ඒ අනුව අද (8) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සියළු පාර්ශව වල සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.

ඉන්ධන අර්බුදයත් සමග ධිවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිලිබඳව ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අනුව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත්, ධිවර ප්‍රජාව මුහුණ දෙන ගැටළුවලට සහන ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලීප් වෙදආරච්චි,නිමල් ලංසා, නිරෝෂන් පෙරේරා, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්විය.

කමිටු සාමාජිකත්වය සඳහා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නියෝජිතයෙකු ඉදිරියේදී නම් කරන බව සඳහන් කල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාල අමාත්‍යංශවල ලේකම්වරුන් සහ නිලධාරීන් ද මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර ගන්නා ලෙසද උපදෙස් ලබා දුන්නේය.
kanchana rw 1000px

IMG 20220708 WA0002

 

 

 

ජූලි 09 - ගලක්වත් අතට ගන්න එපා : අනුර දන්වයි !

ගෝල්ෆේස් අරගලකරුවන් හෙට (09) ක්‍රියාත්මක කරන ජාතික විරෝධතාවට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ සහයෝගයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය .

ඒ ඊයේ (ජූලි 7) පස්වරුවේ එම අරගලකරුවන් හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින්ය .

කෙසේ වෙතත් හෙට පැවැත්වෙන මෙම විරෝධතාවේ කිසි ම අරගලකරුවෙකු ගල්කැටයක් හෝ අතට නොගන්නා ලෙසත් එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති වුවහොත් ආණ්ඩුවට එය වාසිසහගත වන බව ත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ ය.

ආණ්ඩුව මෙවැනි විරෝධතාවලට ප්‍රතිචාර දක්වන්නට යන්නේ පොදු ප්‍රවාහනය අඩාල කරමින් බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම අරගලකරුවන්ගේ සාධනීය ඉල්ලීම් හමුවේ ප්‍රචණ්ඩත්වය මවාපෑම ප්‍රායෝගික නොවන බව ත් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙන කිසිවෙකුට නොව ආණ්ඩුවට බවත් පැවසීය.

එම නිසා කිසි ම පුද්ගලයෙකු ප්‍රචණ්ඩත්වය දියත් කර ආණ්ඩුවට කිසිදු වාසියක් සැලසිය යුතු නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය .

 

ලංකාව රුසියාවෙන් තෙල් ගත්තට ඇමරිකාවට ප්‍රශ්නයක් නෑ - ජුලී චන්ග්

රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් නිල වශයෙන් නිවේදනය කර ඇත .

ඒ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඇමෙරිකාව ලබා දී ඇති සහාය පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි .

ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් සමඟ රාජ තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය උපදෙස් ලබා නොදෙන බවත් එය ශ්‍රී ලංකා රජයේ තීරණයක් බවත් එහිදී ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත .

එහිදී ඇමරිකානු තානාපතිනිය සඳහන් කර ඇත්තේ ,යුක්රේන - රුසියාව යුද්ධය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇතත් එය තුන්වෙනි පාර්ශ්වයකට බල නොපාන බවය.

ඇමෙරිකා එක්සත් ජනපදයට තම බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇත්තේ ඇමෙරිකාව තුළ පමණක් බවත් තුන්වෙනි පාර්ශ්ව රුසියානු බොරතෙල් මිලදී ගන්නවාද නැද්ද යන තීරණය එම රටවල තීරණයක් බවත් ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් සඳහන් කර ඇත .

පොලිසිය අන්තරේට එරෙහිව වාරණයක් ඉල්ලයි : අධිකරණය ප්‍රතිකේෂ්ප කරයි !

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් හෙට (09) කුරුදුවත්තේ සිට ආරම්භ කිරීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන බවත් , ඒ අනුව එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුල්වීම වළකාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පොලිසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය අද (08) ප්‍රතිකේෂ්ප කර ඇත .

වාර්තා වන ආකාරයට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් පාගමනක කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට මරදාන ටෙක්නිකල් හන්දිය ඔස්සේ ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පිවිසීමට සූදානමක් පවතින්නෙයැයි තොරතුරු ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම්දී ඇත.

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ එය ප්‍රතිකේෂ්ප කර පවසා ඇත්තේ උද්ඝෝෂණයේ යෙදී සිටින්නන් යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුකළ හොත් පොලිසියට ඇති බලතල ප්‍රකාරව කටයුතු කරන ලෙසය.

 

ගෝඨාභය යන්න ඕන : ඩලස් ඇතුළු මන්ත්‍රීවරුන් 47ක් තීන්දුවක් අරගෙන !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් හත් දෙනකු තීරණය කර ඇති බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත .

දැඩි ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන cnews වාර්තා කර ඇති ආකාරයට ඊයේ (07) පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම පිරිස අදාළ සාකච්ඡාව සිදුකර ඇත.

රට තුළ ඇතිවෙමින් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නව ජනාධිපතිවරයකු පත් කිරීමට අවස්ථාව උදාකර දිය යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බවත් එම පුවත පවසයි .

කොතරම් බලා සිටි ද ජනාධිපතිවරයා ගේ නායකත්වය යටතේ රට යථා තත්ත්වයට පත්වන බවත් නොපෙනෙන නිසා රට ලේ ගංගාවක් බවට පත්ව දේපල ජීවිත හානි සිදුවීමට ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇති බවත් cnews පුවතේ සඳහන් කර ඇත .

ගෝටාභය රාජපක්ෂ ජනාධිපති දිගින් දිගටම ධුරයේ සිටිය හොත් අවසානයේ බෙදුම්වාදී බලවේග ශක්තිමත් වනු ඇතැයි ද රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වනු ඇති බවද ඔවුන් සාකච්ඡා කර ඇති බවත් එකී පුවත සඳහන් කර ඇත .

ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් ජනාධිපතිවරයා ධුරයට පත් කළ යුතු බව ද ඔවුන් සාකච්ඡා කර ඇති බවත් මෙම සාකච්ඡාව සඳහා වත්මන් ඇමතිවරුන් තිදෙනෙකුද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චරිත හේරත්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති, උදේන කිරිදිගොඩ, අකිල එල්ලාවල ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බවත් cnews වාර්තාව වැඩිදුරටත් පවසයි .

පොහොර මෙට්‍රික් ටොන් 40000 නැව ජූලි 9 රෑ එනවා !

මෙට්‍රික්ටොන් 40,000 ක පොහොර රැගත් නෞකාවක් හෙට (9)රාත්‍රි මෙරටට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි .

අමාත්‍යංශය පවසන්නේ ජූලි ((10) වැනිදා සිට එම පොහොර බෙදාහැරීමේ කටයුතු කඩිනම් කරන බවයි .

එමෙන්ම තවත් පොහොර මෙට්‍රික්ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙකතුළ මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යංශය පවසයි .

මේ අතර කෟෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ මහකන්නය සඳහා පොහොර බෙදාහැරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේවනවිටත් වෙන්කර ඇති බවය.

සඳහන් කර සිටී.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  පැවසුවේය.

විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබද වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවෙමින් පැවති අතර, වහාම එම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඇමැතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වා දේ.

නීත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම්කීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

විදේශ ගත ශ්‍රමිකයින් සදහා වූ විශ්‍රාම වැටුප සදහා, ශ්‍රමිකයින්ට විදෙස් මුදල්වලින් වාරික ගෙවීමට අවස්ථාව හිමිවේ. විශ්‍රාම වැටුප සදහා වන දායක්තව මුදල් ගෙවමින් සිටියදි කිසියම් ශ්‍රමිකයෙක් මිය ගියහොත් අදාල වාරික මුදල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ගෙවනු ලබයි. ඉන් පසුව ප්‍රතිලාභ අදාල නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමටද කටයුතු කරනු ඇත.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අනුව රුපියල් විසිදහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට විදේශ ගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමිවේ.

ශ්‍රමිකයින් විදේශ ගත කරනු ලබන විදේශ රැකියා නියෝජිත ආයතන විසින්, ශ්‍රමිකයාගේ විශ්‍රාම වැටුප සදහා වන දායකත්ව මුදලින් සියයට විසිපහක් ලබාදෙන්නේ නම් එම ආයතන සදහා විශේෂිත අවස්ථාවන් ලබාදීමට නියමිතව ඇත.

ඉන්ධන හිගය, ගෑස් හිගය සහ ඖෂධ හිගයට විසදුම් ලබාදීම සදහා මාසිකව ණය නොවන විදේශ විනිමය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් ලංකාවට ගෙන්වා ගත යුතු බවද ඒ සදහා විදේශ ගත ශ්‍රමිකයින් සිය පවුල්වලට නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ මුදල් එවිය යුතුව ඇති බවද මනුෂ නානායක්කාර ඇමැතිවරයා සදහන් කළේය. එසේ නීත්‍යානුකුලව මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රජයෙන් කළ යුතු වගකීමක් ලෙස මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වාදෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා සදහන් කළේය.

කැසිනෝවලට ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි ? රංගේබණ්ඩාර

බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරාට රිදී ඇත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රශ්න කරයි.

එජාප මහ ලේකම්වරයා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ප්‍රශ්න කරනු ලැබීය.

කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින් රජයේ බදු ගෙවීම පැහැර හරිමින් ගෙන ගිය ජාවාරම මැඬලීම සඳහා කැසිනෝ සහ සූදූ ආඥා පනත යාවත්කාලීන කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා වශයෙන් පසුගිය සඳුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නිසා සූදූ සහ කැසිනෝ ව්‍යාපාරිකයින්ට මෙලෙස රිදී තිබෙන බවද එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර එහිදී අවධාරණය කර සිටියේ ය.

ඇමති ධුරයේ දිව්රුම් දී සතියක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස පැවසීමට ධම්මික පෙරේරාට ඇති පදනම කුමක්දැයි විමසූ එජාප මහ ලේකම්වරයා , අගමැතිවරයා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන විට යම් යම් අයගේ යටි බලාපොරොත්තු සුන් වී කොනිත්තන්නට හදන බවද පැවසීය .

8 සහ 9 අරගලයට දාපු : පොලිස් බාල්දිය ව්‍යර්ථ වෙයි !

ජූලි 08 සහ 09 ගෝල්ෆේස් අරගලකරුවන් ප්‍රමුඛ ජනතාව කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් ලබාගන්නට පොලිසිය දැරූ උත්සාහයක් ව්‍යර්ථව ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මේ වෙනුවෙන් කොටුව පොලිස් ස්ථානාධිපති විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධයක් සිදු වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල තිබෙන හෙයින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එහිදී අධිකරණය සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

DP දොට්ට දාන්න : අගමැති ජනාධිපතිට දන්වලා ?

කැබිනට් සම්ප්‍රදායන් කඩකරමින් හැසිරෙන කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි ස්ථාවරයක සිටින බව ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි .

අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග අනුව අදාළ හැසිරීම අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ත්‍රාඩ ජාවාරම්කරුවකුට වන අතර මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම ස්ථාවරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දී ඇත .

රටේ ආර්ථික අර්බුදය විසඳීමට නිසි සැලැස්මක් නැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ (ජුලි 06) ප්‍රකාශ කළේය.

අදාළ මාධ්‍ය හමුවේදී ඇමති ධම්මික පෙරේරා විසින් , අග්‍රාමාත්‍යවරයා , මුදල් අමාත්‍ය වශයෙන් රටේ ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බව, ඔහුට රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සැලසුමක් නොමැති බව, ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කරන බව ඇතුළු බරපතළ ප්‍රකාශ රැසක් සිදුකර තිබිණ .

කෙසේ වුවත් මේ වන විට ඇමති ධම්මික පෙරේරා ගේ අදහස් දැක්වීම , පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මදුර විතානගේ , වසන්ත බණ්ඩාර , නාලක ගොඩහේවා විසින් බරපතළ ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කර ඇත.

අරගලකරුවන්ට පොලිස්පතිගෙන් දැනුම්දීමක් !

අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු අයිතිවාසිකම් මුවාවෙන් සාමකාමී බව බිඳ වැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටින ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස්පති ඉල්ලා සිටින්නේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසය.

එම අවස්ථාවේදී නීත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පෞද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසට පොලිස්පතිවරයා මහ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත .

ස්ථාවර තැම්පත් සහ පොලී අනුපාත ඉහළට !

ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර ඇත .

ඒ බව අද (07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

ඊට අනූව මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින්, පිළිවෙලින් සියයට 14.50 දක්වා සහ සියයට 15.50 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින සියයට 4 මට්ටමේ පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතිබව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

කැසිනෝ වෙනුවෙන් නියාමන අලුත් වෙයි : DP දැන් MK ?

සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි .

එසේම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුලදී අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇති බවත් වාර්තා වෙයි .

ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදු කෙරුණු අතර සිය මව් රටේදී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී කැසිනෝ හල්වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබි තිබුණි.

මෙම ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර් ,යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ගණනාවක් ලැබි තිබුනු බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත .

ඇතැම් විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතාම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බවට වාර්තා වන බවත් මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

මේ අතර පසුගියදා කැසිනෝ නියාමනය ඇතුළු සූදු බදු විධිමත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන එනු ලැබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ අතර එයින් දින 2ක් යන තැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ යෝජනාවක් ඉදිරිපත් විය.

ඒ බැසිල් රාජපක්ෂ ගේ පුරප්පාඩුව වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පැමිණි මෙරට අංක එකේ කැසිනෝ ව්‍යාපෘති ලෙස ප්‍රසිද්ධ ධම්මික පෙරේරා විසින් ය.

ඔහු මේ වන විට වත්මන් ආණ්ඩුවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

 

Page 229 of 385