V2025

පුවත්

සක්විති රණසිංහ හා බිරිඳ මුදා හරී

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සක්විති රණසිංහ අධිකරණය විසින් ඊයේ නියම කරන ලද රුපියල් ලක්ෂ 03 ක දඩ මුදල ගෙවූ පසු සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිණි යන විත්තිකරුවන් දෙදෙනා මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා  අද නියෝග කළේ ය.

නීතිඥ රවීන්ද්‍ර සෙනරත්  මාර්ගයෙන් එම විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණය හමුවේ පෙනි සිටියහ.

විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව නඩු කටයුත්ත අවසන් කිරීම සඳහායි.

2010 අගෝස්තු 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වත්තලදී එලුවේලෙයි තංගවේලු නමැත්තා නමින් ඉන්දියාවේ බැංකු ආයතන කිහිපයක් විසින් නිකුත් කරන ලද ගෝල්ඩ් වීසා අන්තර්ජාතික ණය කාඩ්පත් කිහිපයක් හා අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා සඳහා වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු බවට පත්කොට සක්විති රණසිංහට වසර 05 කට අත්හිටවූ සිර දඬුවම් ඊයේ නියම කරනු ලැබී ය.

ලංකාවේ අර්බුදයට හේතුව : ඇමරිකානු සෙනට් යෝජනාවෙන් හෙළිවෙයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු විනිවිදභාවයකින් යුතුව වෙන් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ සෙනෙට් යෝජනා වේ සඳහන් කර ඇත.

වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් ආර්ථික වශයෙන් සාර්ථක නොවන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා චීනයෙන් බිලියන ගණනක් ණයටගත් බවත් එම යෝජනාවෙන් කියැවෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩෙස්,සෙනෙට් සභිකයින් වන ඩික් ඩර් බින්,පැට්‍රික් ලීහී සහ කෝරි බුකර් ශ්‍රී ලංකාව පිළිබඳ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

පසුගිය රජයේ දුර්වවල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථක අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් මෙම යෝජනාව මගින් ඉල්ලා ඇත.

ආර්ථික වර්ධනය තුළින් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ප්‍රදානය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක මූල්‍ය සහාය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව එම යෝජානාවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සාමකාමී විරෝධතා ශ්‍රී ලංකා රජය ඉලක්ක කර බව එම යෝජනාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් විසඳුම් සෙවීමට විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව එම යෝජනාවේ දැක්වේ.

එසේම සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ නිත්‍යානුකුල අයිතීන්ට ආරක්ෂක අංශ ගරු කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.ශ්‍රී ලංකවේ ආර් ථිකයට බලපාන වංචා සහ දුෂණ ඇතිවීමට ඉඩකඩ ඇති අවස්ථා විසඳීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශංසා කරන බව එම යෝජනාවේ දැක්වේ.එසේම ජාත්‍යන්තර සංවර් ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඩ්. සංවිධානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳවද ප්‍රශංසා කරන බවද එහි සඳහන් වේ.

මෙම කරුණු ඇතුළුව තවත් කරුණු රාශියක් මෙම යෝජනාවේ ඇතුළත් වේ.

- lankadeepa

නීති විරෝධී මූල්‍ය ආයතනයක් නිසා : සක්විතිට දඬුවම් !

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සක්විති රණසිංහ යන අයට වසර 22ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (14) නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළේ ය.

අධිචෝදනා 11ට වෙන් වෙන්ව රුපියල් 25,000 බැගින් දඩයක් ද විනිසුරුවරයා එහිදී විත්තිකරුට නියම කළ අතර එම දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස හය බැගින් වූ ලිහිල් සිර දඬුවම් ලබාදීමට නියෝග කළේ ය.

එම සියලු චෝදනාවට තමා වැරදිකරු බවට අධිකරණය හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ඔහුට මෙලෙස දඬුවම් නියම විය.

ඊට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ වරද පිළිගත් දෙවන විත්තිකාරිය වන ඔහුගේ බිරිඳට ද වසර 2ක සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එය වසර 5කට අත්හිටුවා රුපියල් 25,000 ක දඩයක් ගෙවීමට නියෝග කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා අධික පොළියක් ලබාදෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයින්ගේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් තැන්පතු ගැනීම ඇතුළු අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ සක්විති රණසිංහ හා ඔහුගේ බිරිඳට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.

කපුටු කාක් නළාව නාද කළ නීතිඥවරයා නිදහස් !

"කපුටු කාක් කාක් කාක්” හඬින් සිය වාහනයේ නළාව නාද කළ බවට කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් අද (14) නියෝග කර ඇත .

යමෙකු රථවාහන වරදක් ලෙස එවැනි වරදක් සිදුකළා නම් එම ස්ථානයේදීම ස්ථානීය දඩයක් නිම කිරීමේ හැකියාවක් පොලීසියට ඇති හෙයින් එසේ නොකර අධිකරණයට කරුණු කියමින් නීතිය අවභාවිත නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එහිදී කොටුව පොලීසියට අවවාද කර ඇති බවත් වාර්තා වෙයි .

අධිකරණයෙන් මෙලෙස මුදා හැර ඇත්තේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමයේ සාමාජිකයකු වන නිතීඥ දුෂ්මන්ත වීරරත්න ය.

අනවශ්‍ය ලෙස නළාව නාද කිරීමේ චෝදනාව මත කොටුව පොලීසිය අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කරමින් මෙම නිතීඥවරයාට දැනුම් දී තිබුණේ ඉකුත් ජුලි මස 09 වැනිදා කොළඹ කොටුව ප්‍රදේශයේදීය.

මල්ෂාට මඩ ගැසූවන්ට වැඩ වරදියි !

ජීවන් කුමාරතුංග ගේ දියණිය වන මල්ෂා කුමාරතුංග මත්ද්‍රව්‍ය තොගයක් සමග බොරලැස්ගමුව ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට හසුවී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත මුළුමනින්ම අසත්‍ය බව වාර්තා වෙයි.

එම පුවත් පළකර ඇති සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවත් පොලිස් මුලස්ථානය පවසයි.

ඇය සතුව කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 02ක් තිබී ඇති බවත්, එම අවස්ථාවේදී ඇයව බේරා ගැනීම සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැදිහත්ව ඇති බවත් එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් liveat8.lk වෙබ් අඩවිය කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ මල්ෂා කුමාරතුංග කියා ඇත්තේ එම සිදුවීම වූ බව පැවසෙන වේලාවේ තමා නිවසේ නින්දේ පසු වූ බවයි.

එසේම මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද(14) පස්වරුවේ විශේෂ නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිත බවද ඇය ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියෙන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.

එසේම මේ පිළිබඳව කළ විමසීමකදී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුයේ මේ පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තමා පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කළ බවත් දිව්රුම් ප්‍රකාශයක් බාරදී ඇති බවත්ය.

මෙම පුවත් නිර්මාණය සම්බන්ධයෙන් ඔහුගේ චෝදනාව එල්ලවී ඇත්තේ සමගී ජන බලවේගය වෙතයි.

මූලාශ්‍රය : the leader .lk

PHOTO 2022 09 14 16 13 44 1

PHOTO 2022 09 14 16 13 45

PHOTO 2022 09 14 16 13 45 1

PHOTO 2022 09 14 16 13 46

PHOTO 2022 09 14 16 13 43

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ පිබිඳීමක් !

රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක වුවත් අර්බුදය ජය ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධව දෙස් විදෙස් ප්‍රජාවගේ විශ්වාසනීයත්වය ගොඩනැගෙමින් පවතී.
 
ඒ බව කොටස් වෙළෙඳපොළෙන් නිරීක්ෂණය වෙමින් පවතී.
 
පසුගිය කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ විදේශකයින් ඇතුළු ජනතාව විශාල පිරිසක් තම ආයෝජන අළෙවි කර මුදල් සිය රටවල් කරා ගෙන යාම සුලබ සිදුවීමක් විය.
 
එසේ වුව ද මෙම සතියේ මුල් දින 03 තුළ අඛණ්ඩව කොටස් වෙළෙඳපොළේ විදේශ මිලදී ගැනීම් විශාල ලෙස ඉහළ ගොස් කොටස් විකුණා දැමීම අඩු වී ඇත. ඒ සමග විශාල ලෙස විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒම ආරම්භ වී ඇති බවත් නිරීක්ෂණය වෙයි.
 
දිනය /
ශුද්ධ විදේශීය මිලදී ගැනීම්
රුපියල් මිලියන /
ශුද්ධ විදේශීය අලෙවි කිරීම්
රුපියල් මිලියන /
ශුද්ධ විදේශීය ආයෝජන
රුපියල් මිලියන
 
2022-09-12 236 183 53
2022-09-13 151 43 180
2022-09-14 830 156 673
 
ඒ අනුව මෙම සතියේ මුල් දින 03 තුළ පමණක් රුපියල් මිලියන 906ක විදේශ ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළ හරහා ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඉන්දියානු සාගර  කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා - ජනපති

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඉන්දියානු සාගර  කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරිමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (14) පස්වරුවේ පැවති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

ජාතික ආරක්ෂක විද්‍යායතනය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හරසරින් පිළිගැනුණු අතර ජනාධිපතිවරයා විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

උත්සව සභාව තවදුරටත් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ  අපට හොඳ  ආරක්ෂක පද්ධතියක් නැතිවුවහොත් අපේ අනාගතය විනාශ වී ලෝක තත්ත්වය සහ භූ දේශපාලනය ඉතා අයහපත් අතකට හැරෙන බවයි. එය රටකට යහපත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  රටක් වශයෙන් 2030 ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබෙන බව ද පැවසීය.   

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස් අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි. 

ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම “ජාතික ආරක්ෂක විද්‍යාතනයේ මෙහෙවර ලෙස සැලකේ.

2021 වසරේ ආරම්භ කෙරුණු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර අධ්‍යයන ආයතනයේ අවශ්‍යතා සම්පූර්ණ කළ විද්‍යාර්ථයින් 31 දෙනෙකුට උපාධි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. බී. එස්. රත්නායක, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ  සේනා විධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංජීවනී වීරසේකර යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20220914 WA0006

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60 වෙයි

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේගේ අත්සනින් මම චක්‍රලේඛය නිකුත් කර ඇත.

අදාළ චක්‍රලේඛය පහතින්.........

circular 09142022120852 page 001

circular 09142022120852 page 001

 

ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස මෙම යෝජනාව සම්මත වීම වැළැක්වීම සඳහා ආසියානු සහ අප්‍රිකානු රටවල ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, මලාවි, මොන්ටිනේට්‍රෝ, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය සහ කැනඩාවේ අනුග්‍රාහකත්වය යටතේ ඉදිරිපත් වීමට නියමිත යෝජනා කෙටුම්පතට රටවල් රැසක සහාය හිමිවන බවද පැවැසෙයි.

මෙම යෝජනා කෙටුම්පත මගින් ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපාරාධයක් සිදු කළා යැයි පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු යැයි මෙම යෝජනා කෙටුම්පත් මගින් නිර්දේශ කර ඇති යැයි පැවැසෙයි.

Lankadeepa

චරිත හේරත් : වෙන්න හඳුන්නෙත්තිට ඇඳලා !

ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීම තුළ ලෝක බැංකුව ලබාදුන් මුදලින් රුපියල් බිලියන 1.3ක් අවභාවිතා කර ඇති බවට නැගෙන චෝදනාව එම සමාගම ප්‍රතික්ෂේප කරයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්  (13) ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති අතර එහිදී සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කර සිටියේ මෙකී චෝදනාව අභූත සාවද්‍ය කතාවක් බවය.

ලෝක බැංකුව ලබාදුන් මුදල් අවභාවිතා කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත් ලෝක බැංකු පිරිවිතර වලට පරිභාහිර ලෙස එකී මුදල් වැයකර ඇත්නම් ඒ පිළිබඳව පළමුව ප්‍රශ්න කර සිටින්නේ ලෝක බැංකුව බවත් සභාපතිවරයා අවධාරණය කර සිටියේය.

මීට සති දෙකකට පෙර ලෝක බැංකු නියෝජිතයන් සමග තම සමාගම ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වූ බවත් , එහිදී අදාළ මුදල් වැයකර ඇති ආකාරය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නොතිබූ බවත් ඔහු ඔහු පැවසීය .

මාස 3 ක කාලයක් මෙරටට LP ගෑස් සැපයීමට නොහැකිව ලක්ෂ 45 කට අධික ගෑස් පාරිභෝගිකයන් පෝලිම් වල සිටි යුගය සිහිපත් කළ සභාපතිවරයා පවසා සිටියේ මාසයකට අඩු කාලයක් තුළ ගෑස් පෝලිම් පමණක් නොව ඉදිරි මාස කිහිපය සඳහා ද අඛණ්ඩව ගෑස් සැපයීමට හැකියාව තහවුරු කිරීමට තම සමාගම සමත්වු බවය.

එසේම අදාළ චෝදනාව සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරියේදී පවා නැගුණු ප්‍රශ්න කිරීම් හමුවේ විශ්වසනීයත්වයෙන් යුතුව සාක්ෂි සහිතව ඊට පිළිතුරු දීමට සමාගම කටයුතු කළ පසුබිමේ මෙවැනි අභූත චෝදනා එල්ල කිරීම කණගාටුවට කරුණක් බවත් ඔහු පැවසීය .

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

FB IMG 1663045849728

FB IMG 1663045854458

චරිත අවධානය ගන්න කරපු ප්‍රකාශයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අදාළ චෝදනාව මුලුමනින්ම දේශපාලන වාසියක් ගැනීමේ අපේක්ෂාව ඇතුව පැරණි කුනු ගොඩක් ගොඩදැමීමකට සමාන බවයි .

පොදුජන පෙරමුණ ආණ්ඩුව නම් ගිලෙන නැවෙන් එළියට පැනපු කණ්ඩායමක නියෝජිතයකු සිය පව් සමාකරගන්න දැරූ බොළඳ උත්සාහයක් සහ ඒ වෙනුවෙන් ජනතාව ඇන්දීමක් මිස ඊට වඩා දෙයක් මෙහි නොමැති බවත් ඔවුන් පවසයි .

ජනතාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින විට බිලියන ගණන් වලින් චෝදනා ඉදිරිපත් කිරීම සහ ඒ තුළ පවතින පාලනය සම්බන්ධයෙන් විරෝධයක් ගොඩනැගීම පැරණි සහ සම්ප්‍රදායික දේශපාලන තුරුම්පුවක් බවත් ඔවුන් අවධාරණය කරයි.

ලංකා රජයේ ආර්ථික හැකියාව සහ ගෑස් වෙළඳ පොළ තුළ තිබූ රික්තය පිරවීමට අවශ්‍ය සැපයීම සිදුකිරීම ප්‍රතික්ෂේප කළ සමාගමක් තමන්ට අහිමිවූ ටෙන්ඩරය වෙනුවෙන් මීට පෙරත් තෝරාගත් සිවිල් දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු යොදවා මෙම චෝදනාව එල්ල කළ බවත් ඔවුන් සිහිපත් කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේද පැවසීය .

 "පසුගිය සමයේ පොදුජන පෙරමුණ වෙතින් ඉවත්ව වෙනම දේශපාලන ගමනක් යාමට උත්සාහ කළ චරිත හේරත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඒ වෙනුවෙන් සමාජ අවධානය ගන්න විවිධ ප්‍රකාශ කරා. හැබැයි ඒ සියල්ල ජනතාව අතරට ගියේ නෑ . අන්න ඒ නිසා හොරකමක් ගැන කියාගෙන චරිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍ය අවධානය අරගෙන . මේක නිකං අර කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති යහපාලන ආණ්ඩුවට චෝදනා කරා වගේ . චෝදනා විතරයි , වෙන මොකුත් නෑ . අඩුගානේ සුනිල්ට ෆයිල් ටිකක් තිබුනා . චරිතට ඒවත් නෑ . චරිත් වෙන්න සුනිල්ට ඇඳලා වගේ හැර වෙන මොකුත් මෙතන නෑ "

පසුගිය සමයේ මේ සම්බන්ධයෙන් newstube lk සිදුකළ විශේෂ අනාවරණයක් පහත සබැඳියේ දැක්වෙයි .

 

ජනවාරිගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නොදීම : ඉන්දියාවේ කනස්සල්ලට !

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ලබාදීමට පොරොන්දු වූ දේශපාලන විසඳුම ලබා නොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට සහභාගී වෙමින් ජිනීවා හි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ කර ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මග පෙන්වීම යටතේ මානව හිමිකම් ප්‍රවර් ධනය සහ ආරක්ෂා කිරීමට රාජ්‍යයන්ට වගකීමක් තිබෙන බව ඉන්දියාව සැමවිටම විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම,පළාත් සභාවලට බලය බෙදීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම තුළින් ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට ඇති කැපවීම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකාව සමත්ව නොමැති බවත් ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ පවසා ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වී ඇති මානව හිමිකම් යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වීමට ඉඩ තිබියදී ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ සිදුකළ මෙම ප්‍රකාශය බලපෑම් සහගත බව විචාරක මතය වී ඇත.

.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවලදී තුන්වරක් ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර දෙවරක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

ඖෂධ මිලදී ගැනීමට ඇමරිකන් ඩොලර් 100ක් !

සෞඛ්‍ය අමාත්‍යංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමි වී ඇත.

අද (13) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කල අතර ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතිය මගින් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70ක් සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නාය යාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු ඩොලර් මිලියන 30ක මුදල මේ සඳහා යොදා ගැනීමට නියමිත ය.

විදේශ විනිමය හිඟතාව මත එම තීරණය ගත් බව ද අමාත්‍යවරයා පැවසීය.

වී මිලදී ගන්න සතොස ඉදිරිපත් වෙයි !

සතොස හරහා වී මිලදී ගෙන අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වාර්තා වෙයි.

ඒ වී අලෙවි මණ්ඩලයට බැංකු හරහා ප්‍රමාණවත් තරම් මුදල් නොලැබීම හේතුවෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙක් මතුව ඇති ගැටලුවට විසඳුමක් ලෙස බවත් වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම වෙනුවෙන් අද (13) පැවති මාධ්‍ය හමුව අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

වැඩබලන කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මේ බව සඳහන් කල අතර , වී මිලදී ගැනීම සම්බන්ධයෛන් ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාවේදීත් සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

එමෙන්ම රටේ ආහාර සංචිතවල අඩුවක් ඇතිවනු ඇතැයි යන බිය හේතුවෙන් ආරම්භ කළ සහල් ආනයනය ක්‍රමානුකූලව අඩුකිරීමටත්, පසුව එය නවතා දැමීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මේ වන විට ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති ආනයන තහනම දෙසතියකට වරක් සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි ද කී ඇමතිවරයා ඒ අනුව දෙසතියකට වරක් සාකච්ඡා කරමින් ඊට අවශ්‍ය පරිදි සංශෝධන කරන බව පැවසීය.

විදේශ විනිමය ගැටලුව විසඳුන සැණින් මෙම තාවකාලික තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන බව ද රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

ආනයන තහනම හරහා මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයට අමුද්‍රව්‍ය හා උපාංග සපයාගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇතැයි කී ඇමතිවරයා කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුවට අවශ්‍ය සංශෝධන ගැසට් කර පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරන බව ද පැවසීය.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ !

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ‘ලසාඩ්’ ආයතනය මේ වන විට මෙරටට ණය ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

වැඩබලන කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, රමේෂ් පතිරණ අද (13) මේ බව සඳහන් කර ඇති අතර ඒ   රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඒ අනුව මේ වන විටත් එම සමාගම ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශන ආයතන කිහිපයක සහය ලබාගෙන ඇති බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

සෑම මන්ත්‍රීවරයෙකුටම බදු ලිපි ගොනුවක් : පොහොට්ටුවෙන් යෝජනාවක් !

සෑම මන්ත්‍රීවරයෙක්ම බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.

එමගින් රටට ආදර්ශයක් දීම වැදගත් බවත් එය පාර්ලිමේන්තුවෙන්ම පටන්ගත්ත නම් ඉතා වැදගත් බවත් ඔහු පවසයි.

ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කල අතර ඒ පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

හිටපු ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යවරයාට, හිටපු අග්‍රාමාත්‍යවරයාට ආර්ථික අපරාධ චෝදනා නැගීම සාධාරණ නැතැයි කී මන්ත්‍රීවරයා මෙම ආර්ථික අර්බුදයට හේතුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2019 දී අනුගමනය කළ බදු අඩු කිරීම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණ වාර්තාවේ සඳහන් බවද පැවසීය.

බදු අයකිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා රාජ්‍යයට මුදල්, බදු ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී පියවර ගත යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

 

19 සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ, බිත්‍රාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණ වෙනුවෙන් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද එය බැංකු හා වෙළඳ නිවාඩුවක් නොවන බව අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේ ය.

ලංකාවේ තවත් ලී ක්වාන් - මහතීර් ඩබලක් : අන්දන්න ලෑස්තියි !

පොහොට්ටුව පැත්තේ ඉඳලා අයින්වෙලා, අලුත් සන්ධානයක් හදාගත්ත කණ්ඩායම, මේ දවස්වල ලොකු ලොකු වැඩ ටිකක් ප්ලෑන් කරගෙන යනවලු. එයාලා හොයනවලු ඊළඟ රට බාරගන්න පුළුවන් ලී ක්වාන් යූ කෙනෙක්. ඒත් තවම හම්බවෙලා නෑලු.

එහෙම ලී ක්වාන් කෙනෙක් හොයන අතර මැද්දේ, ඒ වගේ වැඩ කරන්න හපනා කියලා හිතං ඉන්න, කටකාරයෙක් ඒ වැඩේට සුදුස්සා එයාය කියලත් හිතන්ලු ඉන්නේ.

කොහොම වුණත් මේ අයගේ පළවෙනි දැල එලන්න යන්නේ , රජවෙන්න ට්‍රයි කරලා පැරදුණු කණ්ඩායම එක්ක.

රටේ ලොකු තැන වෙන්න, දැන් ඉන්න ලොකු තැන එක්ක තරග කරපු එයා ඇතුළු කණ්ඩායම, මේ අලුත් සන්ධානයට ගන්න , ප්ලෑන් කරලලු තියෙන්නේ.

ඒ කණ්ඩායමේ අර රටේ නායකයා වෙන්න හීන දැක්ක කෙනාව, මහතීර් මොහොමඩ් කරනවා කියලත් පොරොන්දු දීලලු.

එතකොට අරයා ලී ක්වාන්, මෙයා මහතීර්.... ඒවලු ජනාධිපති අගමැති සිහින.

ලංකාවට ආපු සමන්තා පවර් : මිතුරු මංගල සිහිකරයි !

''මංගල සමරවීර යනු තමාගේ මූලික වටිනාකම් හා අදහස් මත පදනම්ව, සෑම විටෙකම රට මුල් තැනෙහි තබා කටයුතු කළ, අතිදක්ෂ, නිර්මාණශීලී මෙන්ම හාස්‍යරසය හඳුනාගත්, ඉතාමත් විරල දේශපාලකයෙකු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් එම ට්විටර් පණිවිඩයෙන් පවසන්නීය.

තමාගේ ආදරණීය මිතුරෙකුව සිටි මංගලගේ ආධ්‍යාත්මික ගුණයෙහි මතකය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැවතීම සම්බන්ධයෙන් තමන් විස්මයට පත් වූ බව ද ඇය කියා සිටින්නීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවිල් සමාජය, පෞද්ගලික අංශය හා USAID හි ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය සමග තමන් පැවැත්වූ හමුවීම්වලදී කෙතරම් දුරට මංගලගේ අදහස් හා බලපෑම් සාකච්ඡාවට බඳුන් වූයේද යත්, තමන් ඉදිරියේ ඔහු ප්‍රාදූර්භූත වනු ඇති බව පවා තමන් බලාපොරොත්තු වූ බව ද පවර් පවසන්නීය.

ශ්‍රී ලාංකිකයින් මේ වන විට බලවත් අභියෝගවලට මුහුණ දී සිටින අතර, මංගලගේ ඥානය, තරුණ ප්‍රජාව සමග ඔහු පැවැත්වූ සබඳතා සහ ඔහුගේ ප්‍රායෝගික විඥානවාදය තවදුරටත් නොපැවතීම දැඩිව දැනෙන බව ද පවර් කියා සිටින්නීය.

අප අතර ඔහු නොසිටීම ගැන ශෝක වූවද,ඔහුගේ මතකයෙන් අපට ප්‍රබෝධමත් විය හැකි බවට තමන් විශ්වාස කරන බවත්, තමන් පෞද්ගලිකව එසේ කරන බවත් ඇය වැඩිදුරටත් පවසන්නීය.

mangala yt

mangala osl

යන්න කලින් මංගලගේ සොයුරියත් හමුවෙලා !

එසේම එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙවර සංචාරයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සොයුරිය හමුවී මංගල සමරවීරගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබිණ.

 සමන්තා පවර්, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සමීපතම මිතුරියකි.

මංගල සමරවීර ගේ දේශපාලන ජීවිතයට 30 වසරක් සැපිරීම නිමිත්තෙන් 2019 පෙබරවාරි 28 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ විශේෂ දේශනය සිදුකරනු ලැබුවේද ඇමරිකාවේ සිට පැමිණි සමන්තා පවර් විසිනි.

 

 

Page 202 of 386