V2025

පුවත්

මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම එම කමිටුවෙන් ඉවත් වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයෙක් ද ලෙස කටයුතු කළ රොෂාන් මහානාම වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් කටයුතු කරති.

කොරෝනා අසාදිත ළමුන් රෝහල්ගතවීම ඉහළට

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය  පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ, රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට ළමුන් 50 කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසී ය.

පෙරේදා සිදුවූ තවත් කොරෝනා මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේ ය.

අද සිට අඳුරට ඇස හුරු කර ගමු !

සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනන කටයුතු නැවතීම හේතුවෙන් අද (23) සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

 ඒ අනුව. එම විදුලි කප්පාදුව කාණ්ඩ 04ක් යටතේ සිදුකරන බව එම සංගමය සඳහන් කර සිටී.

A කාණ්ඩය : සවස 5.30 සිට සවස 6.30 දක්වා
B කාණ්ඩය : සවස 6.30 සිට සවස 7.30 දක්වා
C කාණ්ඩය : සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වා
D කාණ්ඩය : රාත්‍රී 8:30 සිට රාත්‍රී 9.30 දක්වා.

එසේම හෙට (24) දිනයේදී ද විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවත් වාර්තා වන අතර ඒ පැය 2ක කාලයකි. තවද ඩොලර් අර්බුදය නිසා ඉන්ධන මිලදී ගැනීමට නොහැකි බැවින් ඉදිරියටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විශේෂඥ මතය වී ඇත.

තෙල් ගිඟ ඇමති - මංගල සරණ යයි : මිල සූත්‍රය ඉල්ලයි !

රට තුළ මේ වනවිට පවතින බරපතල ඉන්ධන අර්බුදය සලකා ඉන්ධන මිලි සූත්‍රය යළි වහාම ක්‍රියාත්හක කරන ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මෙරටට අවශ්‍ය තරම් ඉන්ධන ආනයනය කිරීමට ආණ්ඩුව අසමත්වීම හමුවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා තෙල් අරපිරිමැස්ම සම්බන්ධ අමාත්‍යවරයා බවට කටයුතු කරන්න ගෙන ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

එසේම ඔවුන් පවසන්නේ තෙල් මිල ස්ථායිකරණ අරමුදල මිස ඉන්ධන මිල සූත්‍රය මෙරටට නොසුදුසු බවට පරසක්වල ගැසූවන් දැන් අර්බුදය උග්‍රවූ අවස්ථාව එහි සරණ පතා පැමිණ ඇති බවයි.

තවද හිටපු මුදල් අමාත්‍ය දිවංගත මංගල සමරවීර විසින් එදා නිවැරදි දැක්මකින් තක්සේරු කොට මෙරටට ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දුන් නමුත් එවකට විපක්ෂයේ සිටි වත්මන් පාලකයන් එහි කාලෝචිත බව සම්බන්ධයෙන් ජනතාව නොමග යැවූ බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් මේ බව සඳහන් කර සිටියේ ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින් රජයට ඉදිරිපත් කර ඇති හදිසි යෝජනාවලිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ය.

වාර්තා වන ආකාරයට පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ,වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකිරීම, කොළඹට එන වාහන සීමා කිරීම ආදිය අමාත්‍යවරයා යෝජනා කර ඇත.

එසේම රාජ්‍ය ආයතනවල රැස්වීම් ,සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කරීම , ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමා කර එවැනි රැස්වීම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම , වාහන තදබදය අඩු කිරීමට වහා පියවර ගත යුතු යැයි ද, කර්මාන්තවලට අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීමට කර්මාන්තකරුවන් දිරිගන්වන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.

වාණිජ බැංකුවලට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් තුනෙන් එකක් මහබැංකුවට ගෙන, ඖෂධ ,වෛද්‍ය උපකරණ හා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා රාජ්‍ය ආයතන වලට ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.

ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමුවත්, ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමැතිවරයා විනෝද ගමන් ,නෑදෑයන් හමුවීම්, විනෝද චාරිකා ,ප්‍රියසාද ආදිය සඳහා ගමන් බිමන් වැඩිවීම ද ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇති බවද පෙන්වා දී ඇත.

මේ අතර,කොවිඩ් වසංගතය බෝවිම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා වෙනුවට ,පෞද්ගලික වාහන භාවිතය වැඩිවීම ද ගෑස් හිඟය හේතුවෙන් භුමිතෙල් ලිප් භාවිතය ඉහළ යාම ද ඉන්ධන භාවිතය ඉහළ යාමට බලපා ඇතැයි ඇමැතිවරයා පෙන්වා දී ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මේ වන විට ඉහළ යමින් පවතින බවත්, දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 74ක් ලෙස පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 86 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇමතිවරයා ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 400 ක් වැය කරන්නට සිදුවන බවද සඳහන් කර ඇත.

මිල්කෝවෙන් එළියට දැමුණු ලසන්ත පොහොර එපා කියලා !

මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ ලංකා පොහොර සමාගමේ සභාපති ධූරය භාරනොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට තමන් පත්කළ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ලිපියක් යොමුකර තිබූ බව පවසා ඇති ඔහු නොවැළැක්විය හැකි හේතුවක් මත එම සභාපති ධූරය බාරගත නොහැකි බව ලිපියක් මගින් ලේකම්වරයාට දැනුම් දුන් බව ද පවසා ඇත.

මේ බව ලංකාදීප පුවතක සඳහන් අතර මිල්කෝ ආයතනයේ සභාපති ධූරයෙන් ඔහුව ඉවත්කර ඇති බව ලසන්ත වික්‍රමසිංහ දැනගෙන තිබුණේ මාධ්‍ය වාර්තා හරහා ය. එහිදී ඔහුව ඉවත්කර පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර තිබිණ.

ආණ්ඩුව තවත් චීන අශුචි පොහොර නැවක් ගේන්න හදනවා - රෝහිණී කවිරත්න

ඇහැටවත් දැකපු නැති අශුචි පොහොර නැවකට ඩොලර් ලක්ෂ 69 ක් ගෙවපු ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය නැවතත් ලංකාවට අවශ්‍ය නැති බැක්ටීරියා, දිලීර පිරුණු අශුචි නැවක් ඇණවුම් කිරීමට සුදානම් වෙනවා. මේ ආණ්ඩුවේ ලොකුම කොමිස් බිස්නස් එක තමයි අශුචි නැව් ඇණවුම් කිරීම. මේ රටේ හැම පුරවැසියෙක්ගේනම ධනය එකතු කරලා චීන අශුචි නැවකට ගෙව්වා. දැන් දෙවැනි අශුචි නැවත් ඇණවුම් කිරීමට සුදානම් වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.

ඇය මේ බව පැවසූවේ ඊයේ  විල්ගමුව නගරයේ පැවති සමගි ගොවි බල මණ්ඩල රැස්වීම අමතමිනි.

රැස්වීම අමතමින් කතා කළ කවිරත්න‍ෙ පැවසූවේ,

මේ ආණ්ඩුව ගොවියාට පොහොර ටික, කෘෂි රසායන ටික දෙන්නේ නැතිව මහ කන්නය විනාශ කලා. සහලින් ස්වයං පෝෂිත රටක් දැන් චීනයෙන්, පාකිස්ථානයෙන් ගේන ප්ලාස්ටික් හාල් කන තැනකට පත් වෙලා. ලාබෙට ගේන පිටරට හාල් අරගෙන උයලා බලන්න. හරියට රිජිෆෝම් කනවා වගේ. බත් ඇටයක තියෙන කිසිම කිරි රහක් නෑ. බත් ඇටයක තියෙන කිසිම රසක් නෑ. මිනිස්සුන්ට දැන් බඩ පිරෙන්න රිජිෆෝම්, ප්ලාස්ටික් කන්න වෙලා.

චීන අශුචි නැවට ඩොලර් ලක්ෂ 69 ක් ගෙව්වා. ඒ සල්ලිවලින් රටට ඕනි ප්‍රමිතියක් තියෙන වල් නාශක ගේන්න තිබ්බා. කෘමි නාශක ටික ගේන්න තිබ්බා. දිලීර නාශක ටික ගේන්න තිබ්බා. ඒකට ඕන සල්ලි ටික වගේ තුන් ගුණයක් ඇහැට දැකපු නැති අශුචි නැවකට ගෙවපු ආන්ඩුවක්වක් මේක.

දැන් ආයෙත් චීන අශුචි නැවක් ගේන්න සියළුම කටයුතු යොදා ගෙන යනවා.

ඉන්දීය නැනෝ යුරියා ජාවාරම කලා. ඒකට බැංකු ගිණුම් දාපු ජනාධිපති ලේකම් විශ්‍රාම ගියා. හොරු ටික සල්ලි ටික බෙදා ගත්තා. දැන් කතාවක් නෑ.

දැන් ඉන්දියාවෙන් දිගටම බොට්ටුවලින් හොර බෙහෙත් ගෙන්නනවා. ඒ වල් බොහෙත් ගැහුවාට වල් මැරෙන්නේ නෑ. ගොයමට වල් බෙහෙත් ගැහුවාම ගොයමත් එක්ක කහ පාට වෙලා යනවා. අනුරාධපුර - පොළොන්නරුව විතරක් නෙවෙයි ඇඹිලිපිටියේ ගොවීන්ගේ කුඹුරු මේ බෝට්ටු කෘෂි රසායන ගහලා විනාශ වෙලා තියෙන්නේ.

ආණ්ඩුව ගැසට් රිවස් කලාට කෘෂි රසායන ගෙන්වන්නේ නැත්තේ බෝට්ටු බඩු ජාවාරම කරන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයෝ නිසයි.

ලංකාවටම හොරෙන් ගේන තහනම් කෘෂි රසායන බෙදා හරින්නේ මොණරාගල, වැලිගම, මන්නාරම, ඔළුවිල්, කාත්තන්කුඩි සහ ත්‍රිකුණාමලය හරහා යි. මේ ජාවාරම පවත්වාගෙන යන්න ආණ්ඩුවේ මෝඩ නායකයෝ හරිත කෘෂිකර්මය ගැන කතා කරනවා. වස විස නැති කෘෂිකර්මය ගැන කථා කරනවා.

අශුචි නැව් ගේනවා. ආපහු යවලා සල්ලි ගෙවනවා

නැනෝ යුරියා ගේනවා. තුන් හතර ගුණයක් සල්ලි ගෙවනවා

අශුචි දියර කෑන් ගේනවා. බල්ලෝ ගොයම් ගස් ටිකත් එක්ක කනවා. ජාවාරම් කාරයෝ සල්ලි ටික හොරකම් කරනවා.

දැන් ආය අශුචි පොහොර නැවක් ගෙනල්ලා තියෙන ඩොලර් ටික නැවත හොරකම් කරන්න හදනවා.

මේ ජාවාරම නිසා තමයි අපිට කන්න නැති වෙලා තියෙන්නේ.

මේ ජාවාරම නිසයි රටට ගෑස් ටික නැති වුණේ

මේ ජාවාරම නිසයි පොඩි දරුවට කිරි ටික නැති වුණේ

මේ ජාවාරම නිසයි රටේ සිමෙන්ති හිගයක් ඇතිවුණේ

මේ ජාවරම නිසයි රටේ ගෑස් ටැංකි පුපුරන්නේ

මේ ජාවාරම නිසයි රටේ ගෑස් පෝලිම් ඇති වුනේ

මේ ජාවාරම නිසයි රටේ රටට සාගතයක් ආවේ

මේ ජවාරම නිසයි ගොවිනැත විනාශ වුනේ

මේ ජාවාරම නිසයි ගොවියාට යන එන මං නැති වුණේ යැයි ද කවිරත්න  පැවසුවාය.

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී
Hon. Rohini Kavirathna
MP, Matale District,
Samagi Janablawegaya.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රැඳවියෙකු මියයාම සිද්ධියට ජේලර්වරුන් 03කගේ වැඩ තහනම්

කඳුරුගස්ආර වැඩ කඳවුරේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර ජේලර්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක  පැවසුවේ, කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ සේවය එලෙස අත්හිටවූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව චන්දන ඒකනායක සඳහන් කළේ ය.

හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේත් කොරෝනා මාරයාට බිලිවේ !

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වී තිබේ.

 ඒ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල සදහන් කරයි.

වෛද්‍ය අතුල කහඳලියනගේ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත.

74 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරුවීම නිසා ඊට ප්‍රතිකාර ලබා තිබේ.

ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු කොවිඩ් මර්දන නීති රීති අනුව සිදුකිරීමට නියමිතව තිබේ.

ඔමික්‍රෝන් බස්නාහිරින් හිස ඔසවයිද?

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 75 දෙනෙකු මෙරටදී හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ඊයේ (22) ප්‍රකාශ කලේය.

ජාන විශ්ලේෂණයට භාජනය කළ සාම්පල 78 ක් අතුරෙන් මෙම ආසාදිතයින් 75 දෙනා සොයා ගෙන ඇති අතර ඉතිරි සාම්පල 03 ඩෙල්ටා ආසාදිතයින්ගේ බවට හඳුනාගෙන තිබේ.

අලුතින් හඳුනා ගත් ඔමික්‍රොන් ආසාදිතයින් කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, වැල්ලම්පිටිය, කොලොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අංගොඩ ප්‍රදේශවලින් සහ පරකඩුව, බදුල්ල, ගාල්ල සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලින් සොයාගෙන ඇත.

ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු ඩෙල්ටා ආසාදිතයින් තලංගම, කඩුවෙල සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් හන්නදුනාගෙන තිබේ.

මෙරට ප්‍රචාරණය වන ඔමික්‍රොන් අනුප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇති අතර, ඒවායේ ඉහළ ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාත තුළයි.

ලොකුගේ පාර කළුවර කරයි !

විදුලි පරිභෝජනය අඩු කිරීමේ යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඒ අනුව වීථි පහන් නිවා දැමීමට යෝජනා කරන බවත් විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පවසයි.

ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම හා කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවය.

වැඩිදුරටත් අදහස් දක්වන ඇමතිවරයා…

“පළාත් සභාවල වීදී ලාම්පු සැලැස්මකට දාලා නැහැ. එකින් එක විසන්ධි කරන්න වෙනවා. සැලැස්මකට දාපුවා.. හයිවේවල, ප්‍රධාන පාරවල්වල ඒවා අපිට පාලනයක් කරන්න පුළුවන්. ඒවා ගැන යෝජනාවක් කරන්න අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී.”

ජනතාවට කන්නත් නෑ : ඒත් ලක්ෂ ගණනක් මල් ඉහලා !

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී පවා ආගමික උත්සව සඳහා ගුවනින් මල් හෙළීමට රජය විසින් පසුගිය වසර තුළ බදු ගෙවන්නන්ගේ මුදල් රුපියල් මිලියන ගණනින් වියදම් කර ඇති බව වාර්තා වේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ එවැනි ගුවන් ගමනක් සඳහා පැයකට වැය වන මුදල ඩොලර් 2000ක් තරම් ඉහළ අගයක් ගත හැකි බවයි.

“අපි භාවිතා කරන හෙලිකොප්ටර් වර්ගය අනුව වියදම තීරණය වෙනවා. බෙල් -412 හෙලිකොප්ටරයක් ​​පැයකට ක්‍රියාත්මක වීමට ඩොලර් 2,000ක් පමණ වැය වෙනවා. බෙල් -212 හෝ ජෙට් රේන්ජර් හෙලිකොප්ටරයක මිල අඩුයි,” යනුවෙන් විජේසිංහ පැහැදිලි කළේය.

පසුගිය වසරේ ආගමික වතාවත් සඳහා ගුවනින් මල් හෙළීම සඳහා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් ගුවන් ගමන් හයක් පමණ සිදු කර ඇති බව ඔහු පැවසීය.

විජේසිංහ පවසන පරිදි බුද්ධශාසන අමාත්‍යාංශයෙන් ගුවන් හමුදාවට මල් හෙළීමට අවශ්‍ය වියදම් ගෙවනු ලබන බවකි.

- mawrata

විදුලි කප්පාදුව නැවතත්....

බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් හෙට (24) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

විදුලිබල මණ්ඩල වාර්තාවලට අනුව ජල විදුලිය නිෂ්පාදනය ඊයේ (22) දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 25 දක්වා පහළ බැස තිබූ අතර ගල්අඟුරු, ඩීසල් හා දැවිතෙල් මගින් සැපයූ විදුලි ප්‍රමාණය සියයට 72 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 108ක පමණ ධාරිතාවක් එක් කරන සපුගස්කන්ද බලාගාරය මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙන්නේ එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය දැවිතෙල් අවසන්වීම හේතුවෙනි.

විදුලි ඉංජිනේරු සංගමය අනාවරණ කරන ආකාරයට මෙගාවොට් 60ක පමණ කොළඹ වරායේ ස්ථාපිත පාවෙන විදුලි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් පවතින්නේ තවත් දින එකහමාරක පමණ කාලයකටය.

මෙගාවොට් 24ක ධාරිතාවක් සහිත උතුරු ජනනී විදුලි බලාගාරයේද දැවිතෙල් හා ඩීසල් අවසන්වෙමින් ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනය වනවිට මෙගාවොට් 183ක් පමණ ජාතික පද්ධතියට අහිමිවීමට නියමිතය.

ඒ අතරවාරයේ ජාතික පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කරන යුගදනවි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් අනිවාර්යයෙන් ආනයනය කළ යුතුව තිබේ.

විදුලි අර්බුදය මෙලෙස උග්‍රවී ඇත්තේ ජල විදුලිය නිෂ්පාදනය පහත බැසීම හා නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති පසුබිමකය.

නොරොච්චෝලේ බලාගාරයෙන් අහිමි වූ විදුලි ධාරිතාව ලබන 26 වනදා පමණ වනවිට යළි එක්කිරීමට හැකි වනු ඇති බවට විදුලිබල මණ්ඩලය විශ්වාසය පළ කරයි.

ඉස්සර සැප දැන් නෑ : සොරි හොඳේ - තිස්ස කුට්ටි

අද වන විට විදුලිය හා ඉන්ධන සම්බන්ධයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඇති වී තිබෙන තත්ත්වය මත වෙන දා ලැබුණු සැප දැන් ලබා ගැනීමට අපහසු තාවයන් මතුව තිබෙන බවද මන්ත්‍රීවරයා පවසා ඇත .

ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවන්ට ජනතාවගෙන් හිස නමා සමාව ඉල්ලන බවද ඔහු පවසයි .

බෞද්ධ උපදේශක සභාව : ජනාධිපති මෙහෙය ඇගයේ !

දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) පස්වරුවේ 12වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපතිතුමා කළ මෙහෙය අගයමින් බෞද්ධ උපදේශක සභාවේ දී මහා සංඝරත්නය අදහස් පළ කළහ.

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නැති අතර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කර දීමට පසුගිය දෙවසර තුළ ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

එමෙන්ම රටේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර, විසඳුම් සෙවීමට ජනාධිපතිතුමාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බව මහා සංඝරත්නය සඳහන් කළහ.

අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය. විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය කොවිඩ් බාධක හමුවේ වුව ද රැකගනිමින් බහුතර ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන් එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

ආණ්ඩුවේ අභ්‍යන්තර ගෝරි : බිස්නස් ගෝරි !

ආණ්ඩුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ හිතවාදී මාධ්‍ය විවේචන සිදුකර සිටින්නේ ව්‍යාපාර අරමුණ ඇතිවද යන්න ගැන සැකසංකා මතුවෙයි.

ඒ පුවත්පත් මණ්ඩල සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ තබා ඇති ෆේස්බුක් සටහනක් හරහාය.

රාජ්‍ය ආයතනයක තනතුරු වෙනසක් හුවා දක්වමින් ඔහු මෙවැනි සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇත.

ඒ , "ලසන්තට ලංකා පොහොර සමාගමේ සභාපතිකම දීල. දැන්වත් ලසන්ත කට්ටියට කියන්න- දෙරණටත් ඇතුළුව (අලුත් සභාපතිගෙනුත් මිලියන දෙතුන් සීයක ඇඩ් හම්බ වෙයි) නිකරුණේ ආණ්ඩුවට පහර දෙන්න එපා කියල. දැන් ඇතිනෙ." යනුවෙනි.

මේ ෆේස්බුක් සටහන දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ආයතනයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මෙසේ සිය ෆේස්බුක් පිටුවේ බෙදාහැර තිබුණි.

dilith 1000px

ආණ්ඩුව අභ්‍යන්තරයේ පුවත්පත් මණ්ඩල සභාපති සැලකෙන්නේ උග්‍ර බැසිල් රාජපක්ෂවාදියකු ලෙසින් වන අතර දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර සැලකෙන්නේ උග්‍ර ගෝඨාභය රාජපක්ෂවාදියකු ලෙසිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම දේශපාලන නොව ප්‍රාග්ධන තර්කයට යටපත් වී ඇති බවයි.

 

දශක ගණනක් රාජ්‍ය නායකයකු නොගිය තැනකට ජනාධිපති ගිහින් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (21) හදිසියේම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්,කොළඹ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොස් තිබේ.

දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිවරයා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමඟ සාකච්ඡා කර තිබේ.

කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද එහිදී ජනාධිපතිවරයා සොයා බැලීය.

හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තියයි. මෙවර මහ කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මඟහරවා ගනිමින් යල කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව දී තිබිණ. ඒ ඒ ආයතනවල කාබනික පොහොර මඟින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බැලිය යුතු බව හෙතෙම අවධාරණය කර ඇත.

ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට තීරණය කෙරිණ. එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය වසර දෙක තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන මඟින් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 9ක සියලු ම පුරන් කුඹුරු අස්වැද්දීමට හැකි වූ බව නිලධාරිහු පෙන්වා දුන්හ.

දිවයින පුරා ඇති සෙසු පුරන් කුඹුරු ද හඳුනාගෙන තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් ය. ඒවා පුරන් වීමට හේතු විමර්ශනය කර, හිමිකරුවන් සහ ගොවි සංවිධාන මැදිහත් ව අස්වැද්දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබී ය.
වී ගොවිතැන සඳහා යොදා ගත නො හැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක ශාඛා 559කින් යුත් ගොවිජන බැංකු මඟින් ගොවීන්ගේ තැන්පතු භාරගැනීම සහ ණය දීම සිදු කෙරේ. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා කන්න සහ වාර්ෂික ක්‍රමවේදයට ණය ලබා දෙයි. එමඟින් වෙනත් පාර්ශ්වයන්ගෙන් අධික පොලී මත ණය මුදල් ගැනීමෙන් ගොවීන්ට මුහුණ දීමට සිදු වන ගැටලු රැසකින් මිදිය හැකි බව නිලධාරිහු පෙන්වා දුන්හ. මෙහි ඇති වැදගත්කම සලකා ගොවිජන බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

සත්ත්වෝද්‍යාන ලොක්කි තාවකාලිකව ඉල්ලා අස්වෙලා !

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඇය ඉල්ලා ඇත්තේ කඩාකප්පල්කාරී ක්‍රියා හා වංචාවලට සම්බන්ධ පුද්ගලයින් ගැන විධිමත් විමර්ශනයක් සිදුකොට පවතින අවදානම්කාරී තත්වය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බවයි.

දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා යලි රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙනත් එසේ නොමැති වුවහොත් තමා ධුරයෙන් ස්ථිරවම ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද ඇය දන්වා ඇත.

ඉඩම් ඇමතිගේ යෝජනාව කැබිනට්ටුවේදී පත්තු වෙයි : වැඩේ අකුළගෙන !

දැනට රජය සතු කඩුවෙල ආසන්නයේ පිහිටි අක්කර 185ක් පමණ විශාල පැරණි වානේ සංස්ථා ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නිදහස් දීමනා පත්‍රයකින්) ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැතිවරැ ගණනාවක් දැඩි විරෝධය පළ කළහ. එම නිසා අවසන් මොහොතේ එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චන්ද්‍රසේන විසින් ඉවත් කරගත් බව දේශයට වාර්තා වෙයි.

මේ ගනුදෙනුවට සිය දැඩි විරෝධය පළකර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ ප්‍රමුඛ අමාත්‍යවරුන් පිරිසකි. අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ මෙම ඉඩම මෙලෙස පැවරැවහොත් මීට පෙර වෝටර්ස් එජ් ඉඩම පැවරීම උසාවියෙන් අවලංගු කළ පරිදි ගනුදෙනුව අවලංගු කර නැවත ඉඩම රජයට පැවරෙනු ඇති බවය.

මෙහිදී කැබිනට් ලේකම්වරයාගෙන් මෙහි නෛතික තත්ත්වය ගැන මතයද අමාත්‍යවරුන් විමසා තිබේ. ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වන කැබිනට් ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා ඒ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත්තේ රජයේ කිසියම් ඉඩමක් නිදහස් දීමනා පත්‍රයකින් පැවරිය හැක්කේ ආගමික හා සංස්කෘතික කටයුත්තකට පමණක් බවය. ව්‍යාපාරවලට ඉඩම් පැවරිය යුත්තේ දිගුකාලීන බදු පදනම යටතේ රජයේ තක්සේරැවට මිස නිදහස් දීමනා පත්‍රය මගින් නොවන බවද ඒ මහතා කියා ඇත.

මේ ආකාරයට එම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් මතු වූ දැඩි විරෝධය නිසා ඉඩම පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගැනීමට අමාත්‍ය චන්ද්‍රසේනට සිදුවූ බව වාර්තා වෙයි.

-Deshaya

Page 306 of 392