V2025

පුවත්

මට පේන්නේ එතුමා වෙන රටක : රාජාසන කතාවට අනුරගෙන් ප්‍රතිචාර !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් කළ ප්‍රකාශය තුළින් පෙන්නුම් කරන්නේ එතුමා තවමත් වෙනත් රටක ජීවත් වන ආකාරයක් බව, ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනතාව මේ මොහොතේ මුහුණ දී ඇති විශාල ගැටලු ගණනාවක් තිබීම පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැති බව ඒ කතාවෙන් මැනවින් ඔප්පු වන අතර ඔහු ඉදිරිපත් කරන ලද විසඳුම් හා යෝජනා රට මුහුණ දී තිබෙන ගැටලුවලට, අර්බුදවලට පිළිතුරු සොයනවා වෙනුවට ඔහු ජීවත් වූ වෙන රටක ජනතා ගැටලු සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කළ බවක් පෙන්නුම් කරන බවද මන්ත්‍රිවරයා ‘මව්බිමට’ කීය.

එමෙන්ම වත්මන් පාලනයෙන් අවුරුදු දෙකකට වැඩි කලක් ගතවී තිබෙද්දී එහි අරාජික භාවය හා අසාර්ථක භාවය පිළිබඳව නිහතමානීව ආපසු හැරී බලනවා වෙනුවට “මම තමයි හොඳටම කළේ” කියන පුරාජේරුව තුළ ඔහු ජීවත් වන බව පෙන්නුම් කරන්නේ යැයි ද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව වසා දැමුවේ ඇයි යන්නට පිළිතුරු සපයනවා වෙනුවට රට හා ජනතාව මුහුණ දී තිබෙන අර්බුද හා ඒවා තම පාලන කාලය තුළ තීව්‍ර වූ අයුරු ගැන ආපසු හැරී බැලීමක් කරනවා වෙනුවට, පහුගිය කාලය පුරාම තැන තැන නන්දොඩවමින් කළ අඳෝනාවක් පමණක් ඊයේ පාර්ලිමේන්තුවේදී අසන්නට ලැබුණු බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

-අනුරාධා හේරත් (මව්බිම)

PB යයි - ගාමිණී එයි !

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරයේ ගාමිණී සේදර සෙනරත් අද (19) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

ගාමිණී සෙනරත් මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්ධුරය දරනු ලැබුවේය.

ඔහුගෙන් පුරප්පාඩුවන අග්‍රාමාත්‍ය ලේකම්ධුරයට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පත්කිරීමට නියමිත අතර ඔහු හෙට (ජනවාරි 20) දිනයේ නව ධුරයේ වැඩ භාර ගනු ඇත.

ගාමිණී සේදර සෙනරත් කියන්නේ කවුද?

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිධුරය දැරූ සමයේ ඔහුගේ කාර්යයාලයේ සිට ආර්ථික උපායමාර්ගික කරුණු සියල්ල පාලනය කළේ ගාමිණී සේදර සෙනරත් ය.

ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්යයමණ්ඩල ප්‍රධානියා මෙන්ම මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ ලිට්‍රෝ ගෑස් යන ආයතනවල සභාපතිවරයා ද විය.

එම කාලසීමාව තුළ රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම පාහේ ඔහුගේ පාලනයට නතුව තිබුණි.

2015 ආණ්ඩු පෙරළියත් සමග ඔහුට චෝදනා රැසක් එල්ලවූ අතර බොහෝ සිවිල් සංවිධාන සහ දූෂණ විරෝධී ක්‍රියාකාරීහු ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට පැමිණිලි කළහ.

ඔහුට එල්ල වූ චෝදනා මොනවා ද?

ගාමිණී සෙනරත්ට එරෙහිව එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූයේ රාජ්‍ය මුදල් අවභාවිතය යි.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඔහු ඇතුළු දෙදෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත්, පසුව විශේෂ මහාධිකරණය විසින් ගාමිණී සෙනරත් නිදොස්කොට නිදහස් කරන ලදී.

යළි අගමැති ලේකම් ධුරයට පත්වෙයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ගාමිණි සේදර සෙනරත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 21 ජනපති ධූරයට පත්වීමෙන් පසු පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කෙරිණි. 2020 අගෝස්තු පැවති මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු ඔහු නැවතත් අග්‍රාමාත්‍ය ලේකම්ධුරයට පත්විය.

ගාමිණී සෙනරත් 1984 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

කොළඹ විශ්වවිද්‍යාලයයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක් හදාරා තිබේ.

  • 1984 - 1985 කාලය තුළ පදවි ශ්‍රී පුර සහකාර ප්‍රාදේශීය ලේකම්
  • 1985 - 2002 ආගමන විගමන දෙපර්තමේන්තුවේ සහකාර පාලක, ජ්‍යෙෂ්ඨ සහකාර පාලක, නියෝජ්‍ය පාලක
  • 2002 - 2003 ප්‍රවාහන , මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සිවිල් ගුවන් සේවා)
  • 2004 - 2005 අග්‍රමාත්‍ය අතිරේක ලේකම්
  • 2005 - 2015 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති අතිරේක ලේකම්
    මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ඔහු ජනාධිපති කාර්යයමණ්ඩල ප්‍රධානී ධුරයට අමතරව, රාජ්‍ය ව්‍යවසායන් රැසක සභාපතීත්තවය දැරුවේය.
  • සීමාසහිත ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති
  • සීමාසහිත ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්) සමාගමේ සභාපති
  • සීමාසහිත කැන්විල් හෝල්ඩිංස් (පෞද්) සමාගම් සමූහයේ සභාපති
  • මහජන බැංකුව
  • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති
  • හෙලංකා හොටෙල් සහ ස්පා සමාගම
  • සිනොලන්කා හොටෙල් සහ ස්පා සමාගම
  • කැනොවින් හොටෙල් සහ ස්පා සමාගම

ඉල්ලා අස්වූ පී.බී.

ජනාධිපති ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වූ වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පුංචි බණ්ඩා ජයසුන්දර(පී. බී. ජයසුන්දර) මහ බැංකුකරුවෙකු සහ ජ්‍යේෂ්ඨ රාජ්‍ය සේවකයෙකු ලෙස වසර 40කට අධික කාලයක් විවිධ අත්දැකීම් ලබා ඇති අයෙකි.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ප්‍රතිපත්ති සංවර්ධන සහ සැලසුම්, සංවර්ධන සහාය සහ ව්‍යාපෘති මූල්‍ය සාකච්ඡා යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින්, 1999-2014 කාලය තුළ ඔහු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස කටයුතු කළේ ය.

ආචාර්ය ජයසුන්දර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස (1997-2002) ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, වැවිලි, ඛනිජ තෙල් සහ ගෑස්, රක්ෂණ සහ නිෂ්පාදන ව්‍යවසායන් කිහිපයක්ම පුද්ගලීකරණය කිරීමට නායකත්වය දුන්නේ ය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකු වන පී. බී. ජයසුන්දර 1973 දී ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා, 1980 දී විලියම්ස් විද්‍යාලයයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, 1984 දී බොස්ටන් විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගත්තේ ය.

ඔහු 1974 දී ශ්‍රී ලංකා මහ බැංකුවට ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සම්බන්ධ වූ අතර, පසුව එක්සත් ජනපදයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීමෙන් පසු 1980 දශකයේ දී ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස උසස් කරන ලදී.

ආර්ථික ඝාතකයෙක්...?

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම රටේ ආර්ථික ප්‍රතිපත්ති සැකසීමට මුල්වූ ආචාර්ය පී. බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය විටින් විට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ විවේචනයට ලක්විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය දැරූ කාලසීමාව තුළ අමාත්‍ය විමල් වීරවංශ වරක් පී. බී. ජයසුන්දර හඳුන්වාදෙනු ලැබූයේ "ආර්ථික ඝාතකයෙකු" ලෙස ය.

මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් වීරවංශ විසින් එවකට පී. බී. ජයසුන්දරට එරෙහිව ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කරනු ලැබීය.

ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් නඩුව: රාජ්‍ය ආයතනයක තනතුරක් දැරීමට නුසුදුස්සෙකු වෙයි.

ලාභ ලබන, ණය බරින් තොර වූ, බදුගෙවන සමාගමක් වූ, සම්පූර්ණයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්ව තිබූ සමාගමක් වන ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් (LMSL)හි කොටස් 2002 වසරේදී ජොන් කීල්ස් හෝල්ඩින් සමාගමට විකිණිමේ ක්‍රියාව, අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව විනිවිද භාවයකින් තොරව, ජෝන් කීල්ස් සමාගමට පක්ෂපාතීව සිදුකළ බව ආචාර්ය පී.බී ජයසුන්දරට චෝදනා එල්ල විය.

ඒ, වත්මන් අමාත්‍ය වාසුදේව නානායක්කාර එවකට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හෙවත් පර්ක් ආයතනයේ සභාපති වශයෙන් එවකට කටයුතු කරමින් සිටියේ පී.බී ජයසුන්දරයි.

නඩුවේ 08 වැනි විත්තිකාර පී.බී ජයසුන්දර අදාළ ගනුදෙනුවේදී මහජන යහපතට පටහැනිව ක්‍රියාකරමින් නීතිවිරෝධීව ජෝන් කීල්ස් හොල්ඩින් සමාගමට වාසි ලබා දීම සඳහා දුස්සන්ධාන ගතවූ බවට තහවුරු වීම හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 5ක වන්ධියක් ගෙවීමටද අධිකරණය ඔහුට නියෝග කළේය.

2008 ජූලි මාසයේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් ලබා දුන් ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් තීන්දුවේ දී, ආචාර්ය ජයසුන්දර ඔහුගේ අධිකාරියට ඉහළින් ක්‍රියා කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවත්, රාජ්‍ය නිලතල දැරීමෙන් නුසුදුස්සෙකු වූ බවටත් නිගමනය කරන ලදි.

අනතුරුව පී.බී ජයසුන්දර භාණ්ඩාගාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු අධිකරණයෙන් සමාව ද ඉල්ලා 2008 ඔක්තෝම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයකින් දක්වා තිබුනේ ඉදිරියේදී රාජ්‍ය අයතනයක තනතුරක් නොදරන බවටයි.

ඉන් වසරකට ආසන්නව තිබියදී යළි භාණ්ඩාගාර ලේකම් ධුරයේ කටයුතු කිරීමට තමාට අවසර දෙන ලෙස ආචාර්ය ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2009 වසරේ සැප්තැම්බර් මාසයේදී ආචාර්ය පී.බී ජයසුන්දරට 7 දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 6-1 ක තීන්දුවක් මගින් රාජ්‍ය සේවයේ පත්වීමක් භාර නොගැනීමේ තමාගේම පොරොන්දුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දීමෙන් පසු ජයසුන්දර නැවත රාජ්‍ය සේවයට එක්විය.

තමා රාජ්‍ය සේවයේ නොයෙදෙන බවට මීට පෙර ගොනු කර තිබූ දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ආචාර්ය පී.බී ජයසුන්දර ඉල්ලා තිබිණි.

ලංකා මැරිටයිම් සර්විසස් ලිමිටඩ් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සිටි විනිසුරු ශිරාණි තිලකවර්ධන පමණක් ඊට විරුද්ධ විය.

එවකට අගවිනිසුරු අශෝක ද සිල්වා සහ ශිරාණි ඒ බණ්ඩාරනායක, සලීම් මර්සූෆ්, ජගත් බාලපටබැඳි, කේ.ශ්‍රීපවන් සහ පී.ඒ.රත්නායක යන විනිසුරුවරුන් තීන්දුව අනුමත කළහ.

ආණ්ඩු තුනක තනතුරු දැරූ ප්‍රබල පුද්ගලයකු වූ හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා 'ජාතික අභිලාෂය' මත යළි එම තනතුරට පත් කිරීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය බැවින් දිවුරුම් ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ජාතියේ අවශ්‍යතා වෙනුවෙන් තමාගේ සේවය අවශ්‍ය බැවින් භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු තමා භාර ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය බව ඔහු එහිදී අධිකරණයට දන්වා සිටින ලදි.

BBC

 

කොරෝනා මරණ 15,243ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 12ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,243ක් දක්වා ඉහළගොස් ඇත.

සපුගස්කන්ද - කැළණිතිස්ස වැඩ නෑ : ලොකුගේ ලොකු බූට් එකක් කාලා !

ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීමත් සමග විදුලිබල අමාත්‍යංශය IOC සමාගමෙන් ඉන්ධන ලබගැනීමට දැරූ උත්සාහය එම සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ බව lanka truth වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

විදුලිබල අමාත්‍යංශයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් IOC සමාගම සඳහන් කර ඇත්තේ ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදෙන විනිමය අර්බුදයට තමන් ද මුහුණ දෙන බවත් ණයවර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බවයි. එසේම මේ මොහොතේ සිය ප‍්‍රමුඛතාවය වී ඇත්තේ තම බෙදුම්කරුවන්ගේ පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම බවයි.

විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මීට පෙර මාධ්‍ය වෙත පවසා සිටියේ IOC සමාගම සමග සාකාච්ඡා කර ජනවාරි 22වැනි දින දක්වා විදුලිබල මණ්ඩලයේ බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවයි.

මේ වනවිට කොළඹ වරායේ ඇති ඉන්ධන නැවකින් ඉන්ධන නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සාකච්ඡා වෙමින් ඇති බවත් එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

එසේම ඉන්ධන අර්බුදය හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියා විරහිත තිබේ.

සපුගස්කන්ද සහ කැළණි තිස්ස වැඩ නවතියි !

මේ අතර විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද සහ කැළණිතිස්ස යන බලාගාර දෙකෙහි විදුලිය ජනනය කිරීම ඊයේ (18) පස්වරුවේ සිට නතර වී ඇති බව වාර්තා වේ.

මෙම බලාගාර දෙක මගින් මෙරට විදුලිබල පද්ධතියට මෙගාවොට් සියයකට වැඩි ධාරිතාවක් එක්කරනු ලබන බව පැවසේ. බලාගාර දෙක අක්‍රීය වීමත් සමඟ දෛනික විදුලි සැපයුම් සැපිරීමේ ගැටලුවක් මතුව ඇති බවත් එම නිසා වරින් වර ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් විදුලිබල ආරංචි මාර්ග පවසයි.

සපුගස්කන්ද බලාගාරය දැවි තෙල් භාවිතයෙන් සහ කැළණිතිස්ස බලාගාරය ඩීසල් භාවිතයෙන් විදුලිය ජනනය කරනු ලබන අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් තොග ලබා දීම සඳහා තෙල් සංස්ථාව එකඟතාවය පළ කර ඇති අතර ඒවා ලැබුණු වහාම මෙම බලාගාර යළි පණ ගැන්වීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව පැවසේ.

(මූලාශ්‍රය lanka truth )

මසා 05 කට : ලංකාවට චීන හාල් කැවෙයි !

එක කන්නයෙන් කෘෂිකර්මාන්තය කාබනික කිරීම හේතුවෙන් මෙරට වී ගොවිතැනට දෙවියන් ගේ හාල් කැවුණු බවට ගොවීන් මැසිවිලි නගන විට මාස 05 ක් පුරාවට චීනයෙන් හාල් කැවීමේ පුවතක් වාර්තා වෙයි.

 ඒ චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබම නිසාය.

කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊයේ (18) ප්‍රකාශ කර තිබේ. ඒ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද තහවුරු කර ඇති බවත් වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට , චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන ලෙස බෙදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව මෙම ප‍්‍රධානය හිමිවෙයි.

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප්‍රමාණවත් බව ආණ්ඩු හිතවාදීන් පවසයි.

මේ වන විට දේශීය සහල් කිලෝවක් රුපියල් 180 .00 කට ආසන්නව පවතී. ආණ්ඩුව ආනයනික සහල් හරහා මිල ඉහළ යාම පාලනය කරන්න උත්සාහ කරන අතර මෙම චීන සහල් හරහා මාස කිහිපයක් දේශීය වෙළඳ පොළ තුළ සහල් මිල පාලනය වනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඔවුන් පවසන්නේ මෙය ආණ්ඩුව ලබන ජයග්‍රහණයක් ලෙසයි.

පැය දෙකේ ලිත්‍රෝ සභාපති රේණුක : මිල්කෝ සභාපති ධූරයට !

පැය දෙකකට ආසන්න කාලයක් සඳහා පමණක් ලිත්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්ව ජනාධිපති නියමයෙන් ධූරය අහිමි වූ පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මිල්කෝ ආයතනයේ සභාපති ලෙස පත්කර ඇත.

ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලීඩ් නිව්ස් වෙබ් අඩවිය මේ පුවත වාර්තා කරන අතර මේ වන විටත් අදාළ ලිපිය නිකුත් කර ඇති අතර රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නැති බවත් එම පුවතේ සඳහන් වෙයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

කෙසේ වුව ද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් රේණුක පෙරේරා මිල්කො සභාපති ධූරයට පත්කර ගැනීමට දැඩි උත්සාහක නිරත වන බව වාර්තා වෙයි.

රේණුක පෙරේරා මෑතකදී පැය කිහිපයකට ලිට්‍රො සමාගමේ සභාපති ධූරය සඳහා පත් වූ අතර පසුව ඒය අවලංගු විය.

SLT / MOBITEL ලොක්කො පුටු රැක ගැනීමේ මෙහෙයුමක 

එළ‌ඹෙන 2022 වර්ෂයේ දී වයස අවුරුදු 55න් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ සුදුසුකම් සපුරන SLT/MOBITEL ආයතන ජාලයේ ඉහල පුටු හොබවන්නනන් කිහිප දෙනෙක්ම තවත් වසරක හෝ වසර කිහිපයක සේවා දිගු කාලයක් ලබා ගැනීමේ තරගයට අවතීර්ණ වී ඇති බැව් ශ්‍රී ලංකා ටෙලිකොම් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මොවුන් මුලින්ම පසුගිය වසරේ රජය විසින් ප්‍රකාශිත රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම කාලය 65 දක්වා දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාවේ නිර්දේශ හුවාදක්වමින් තම සේවා දිගුව ලබා ගැනීමේ උත්සහයක නිරත වූවද අධ්‍යක්ෂ මණ්ඩලය දූරදර්ශි තීරණයක් නිසා එම උත්සහය වැළකී ගොස් තිබුණි.

එම උත්සහය ව්‍යවර්ත වීමෙන් අනතුරුව මොවුන් වෙන වෙන අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් වෙත දේශපාලනික බලපෑම් කරන්නද පඩුරු පාක්කුඩම් සහිතව ඔවුන්ගේ නිවෙස් කරා යමින්ද තම සේවා දිගුව ලබා ගැනීමේ අඛණ්ඩ උත්සහායක නියැලෙන බැව් වාර්තා වී තිබේ.

 වරප්‍රසාද සහිත උපදේශක තනතුරු :

 තවද තම සේවා දිගුවන් ලබාගැනීමට නොහැකි නම් එම ආයතන වලට අදාලව විවිධ වරප්‍රසාද සහිත උපදේශක තනතුරු ලබා ගැනීමටද සමහරුන් උත්සහ දරමින් සිටී.

 SLT/MOBITEL ආයතන වල පැරණි සම්ප්‍රදායක් බදු මෙම උපදේශක තනතුරු හෝ සේවා දිගු අති අසාර්ථක ක්‍රියාදාමයක් බවත් එයින් ආයතනයේ තරුණ හැකියාවන් නිසි කලදි නිසි ප්‍රයෝජනයට නොගෙන අපතේ යැවෙන බවත් SLT/MOBITEL වෘත්තිය සමිතිය පවසති.

මෙසේ කෙටි කලකට සේවා දිගු හෝ උපදේශක තනතුරු ලබා ගන්නනන්ගේ එකම අරමුණ ඔවුන්ගේ වරප්‍රසාද මුවාවෙන් විවිධ ව්‍යාපෘති සදහා තැරැව්කරුවන්ට ලබාදෙන උදව් හෝ අභ්‍යන්තර තොරතුරු මාර්ගයෙන් මුදල් ඉපයීම බැව් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් අප හා පැවසුහ.

නමුදු ඉදිරි දැක්මක් ඇති නව සභාපතිවරයා මෙම සම්ප්‍රදායික උගුලට හසු නොවී නව තරුණ ජවයට එම අවස්ථාවන් ලබා දී ආයතනයේ ප්‍රගතියට මාවත විවිර කරනු ඇති බැව් ඔවුන්ගේ විශ්වාසයයි.

 PEO TV මුල් පිටුව තරගයට

 මේ අතර ලංකාවේ එකම IP TV රූපවාහිනී විකාශන ජාලය වන PEO TV ආයතනයේ ප්‍රධාන විධායක පුටුවද මේ වසරේ හිස් වීමට නියමිත වී තිබුණද වත්මන් ප්‍රධාන විධායක නිලධාරියාද තම සේවා දිගුව හෝ උපදේශක තනතුරක් ලබා ගැනීමේ තරගයට එක් වී ඇති බැව් Vision com ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නට යෙදිණි.

කොපර් (Copper) හා ෆයිබර් (Fibre) ජාල මගින් ස්ථායි රූපවාහිනි සේවයක් ලබා දීමේ හැකියාව සහිත එකම IP TV ජාලය තමන් සතුව තිබියදීත් පසුගිය අවුරුදු තුන පුරාවට ම සක්‍රීය ග්‍රාහකයන්ගේ කිසිම වර්ධනයක් පෙන්වීමට අසමත් වීම ඔහුගේ පාලනයේ අසාර්ථක බවට සාක්ෂි බැව් ඔවුන් පවසන්නට යෙදිණි.

මේ කාලය තුළ PEO TV සේවාවේ ප්‍රධාන තරගකරු වූ Diolog Tv මගින් සිය ග්‍රාහක සම්බන්ධතාවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්වා දී තිබිණි. ග්‍රාහක වර්ධනයක් සිදු නොවුනද IP TV සම්බන්ධතාව ලබා දීමට මිලදී ගත යුතු STB උපාංග පසුගිය වසර කිහිපය මුළුල්ලේම මිලදී ගෙන ඇති අතර එයින් දැනට ක්‍රියාකාරි මට්ටමේ පවතින STB ප්‍රමාණය හැරුණු කොට තවත් STB තවත් උපාංග අවම 250,000 ක් පමණ මේ වන විට අස්ථානගත වී ඇති බවත් එමගින් PEO TV ආයතනයට අවම ඩොලර් මිලියන අටකට අධික අලාභයක් සිදු වී ඇති බැව් PEO TV අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් සදහන් කරයි.

 IP TV විකාශන පද්ධතියක් මිලදී ගැනීමට හදිසි ටෙන්ඩර් :

 මේ අතර සක්‍රියව පවතින IP TV විකාශන පද්ධතියක් පවතිද්දී සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යවමින් තවත් IP TV විකාශන පද්ධතියක් මිලදී ගැනීම සදහා හදිස්සියේ ටෙන්ඩර් කැදවා තම විශ්‍රාම දිනයට කලින් තාක්ෂණික ඇගයීම් ලහි ලහියේ නිම කිරීමේ උත්සායහක්ද මේ අතර PIOTV ආයතනය තුලින් වාර්තා වෙයි.

රට ඉතා උග්‍ර ඩොලර් හිගයක පවතින මොහොතක තවත් IP TV විකාශන පද්ධතියක් ඩොලර් මිලියන ගණනක් වැයකර විදේශ සමාගමකින් ගැනීමට සැරසීම හා එය ඉටුකර ගත නොහැකි වුවහොත් සේවා දිගුවකට හෝ ඒ සඳහා තම අනුගාමිකයින් මෙහෙයවමින් බලපෑම් කළ හැකි උපදේශක තනතුරකට අර ඇදීම් පිටුපස තවත් ටෙන්ඩර් මගඩියක සෙවණැළි වැටී ඇති බැව් SLT mobitel වෘත්තීය සමිති සඳහන් කරන්නට යෙදුනි.

මීට අමතරව තව ඩොලර් මිලියන ගණනක ටෙන්ඩර් සාර්ථක කරගත හොත් තවත් ලක්ෂ 5කට අධික පියෝ ටීවී ග්‍රාහකයින් නව අයි පී ටීවී විකාශන පද්ධතියට සංක්‍රමණය කරවීමට අවශ්‍ය නව STB උපාංග සඳහා අනාගතයේ STL mobitel ආයතනයට අවම ඩොලර් මිලියන විස්සකට අධික අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇති අතර ටෙන්ඩර් අනුමැතියෙදී එම අනාගත විශාල පිරිවැය පිළිබඳ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස නිසි ලෙස දැනුවත් කර ඇතිද යන්න සැක සහිත බැව් ඔවුන් පවසති.

 London හි සමාගමක් සමග නැවත නඩු මගට:

මීට වසර කිහිපයකට පෙර ද SLT ආයතනය සඳහා IPTV සේවා මුලින්ම සැපයූ දේශීය සමාගමක් සමග නඩු මගට යාමෙන් ආයතනයට doller මිලියන 4කට අධික මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිදු වූ අතර මෙවරද මෙම ටෙන්ඩරය සාර්ථක කර ගැනීම සඳහා වත්මන් සේවා සපයන London හි සමාගමක් සමග නැවත නඩු මගට යාමේ උත්සාහයක් ඇති බව ද වාර්තා වේ.

මේ වන විටත් ජනාධිපති නීතිඥවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ නිවෙස් වලට පවා යමින් තම සේවා දිගුව සඳහා උත්සාහ දරණ මොහු අසාර්ථක වුවහොත් PEOTV මගින් විවිධ පහසුකම් නොමිලේම ලබා දී ඇති ලංකාවේ ප්‍රධාන බෞද්ධ නාලිකාවක ප්‍රධාන විධයාක ධූරය තමන්ට ලබා ගැනිමට එම නාලිකාව සමග සාකචඡා වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

දැනට අවුරුදු තුනක් මුළුල්ලේ ඉතා මන්දගාමීව සිදු වන අලෙවි ප්‍රවර්ධනය සාර්ථක කර SL/MOBITEL ආයතනය පමණක්ම සතු Finre හා Copper ස්ථායි සන්නිවේදන ජාලය මගින් PEOTV ආයතනය ලංකාවේ අංක එකේ රූපවාහිනී විකාශන ජාලය බවට පත් කිරීමට නම් තාක්ෂණිාක නිලධාරීන් නොව ප්‍රාදේශීය ආලෙවි කළමණාකරණය පිළිබඳ මනා වැටහීමක්, අත්දැකීමක් ඇති තරුණ ජවයක් මේ මුල් පුටුවට යෙදවිය යුතු බැව් SLT/MOMITEL වෘත්තීය සමිති හා PEO TV විසින් සභාපතිවරයාට පෙන්වාදී ඇත.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

මෙත්පල් හුදෙකලා හටනක : මන්ත්‍රී රැස්වීමත් වර්ජනය කරලා !

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු පැවැත්වූ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ සැලකිය යුතු අවධානයක් යොමුව ඇත.

මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙද්දී මෛත්‍රීපාල සිරිසේන  සභා ගර්භයේ රැදී සිටි ආකාරයක් දැකගන්නට ලැබුණු බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සභා ගැබේ සිටි හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවීම ආණ්ඩුවේ ඇතමුන්ගේ සැකයට යොමුව තිබේ.

ඒ පසුගිය කාලයක් තිස්සේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති පැවති ආණ්ඩු විරෝධය රාජපක්ෂ විරෝධයක් බවට ක්‍රමයෙන් පරිවර්තනය කළ පසුබිම නිසාය.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ රාජාසන කතා විවාදය අවසානයේ ජන්ද විමසීම අවස්ථාවේ ඊට විරුද්ධව ජන්දය දෙමින් ආණ්ඩුවේ 2/3 බලය අවසන් කිරීමට ගැනෙන ශ්‍රීලනිප උත්සාහයක් ගැනත් දේශපාලන ගොසිප් පළවෙමින් තිබේ.

කෙසේ වුවත් ආණ්ඩුවේ තවත් ප්‍රබලයකු සඳහන් කර සිටියේ මෛත්‍රී ඇතුළු ශ්‍රීලනිප කිහිපදෙනෙකු හැර අනෙක් පිරිස ආණ්ඩුව සමග ඉදිරියට යාමට සූදානම් බවය.

කප්පාදුව පැයෙන් ඇරඹෙයි !

අද (19) ප.ව 6.00 ත් රාත‍්‍රී 10.00 ත් අතර කාලයේදී ප‍්‍රදේශ කිහිපයකට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඉන්ධන නොමැති වීම මත නවතා දමා ඇති කැලණිතිස්ස බලාගාරයට ඉන්ධන නැවත පුරවන තුරු මෙම විදුලි කප්පාදුව සිදුකරන බව පැවසෙයි.

ඒ පද්ධතියේ සමබරතාවය පවත්වාගෙන යාමට බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන් පවසන්නේ මෙරට ඩොලර් අර්බුදය උත්සන්නවීමට සාපේක්ෂව විදුලි කප්පාදුවද වර්ධනය විය හැකි බවයි.

එබැවින් ආණ්ඩුව කඩිනමින් ගෙවුම් ශේෂ අර්බුදය සඳහා ක්‍රමවත් විසඳුමක් වෙත යොමුවිය යුතු බවත් නැත්නම් මෙරට කර්මාන්ත රැසක් ඇණහිටිණු හැකි බවත් ඔවුන් අවධාරණය කරයි.

ජපානයේ  නියෝජ්‍ය තානාපති ඉවත්කිරීම ගැන තානාපතිට චෝදනා !

ජපානයේ නියෝජ්‍ය තානාපති වූ චන්දන වීරසේනට බොරු චෝදනා ඉදිරිපත් කරමින් ඔහුව වහාම ඉවත්කර දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකරට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබේ.

චන්දන වීරසේන ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමු පංතියේ නිළධාරියෙකි.

වාර්තාවන අන්දමට, ජපානයේ රාජ්‍ය ආයතනවලට ව්‍යාජ තොරතුරු ලබාදීමට දුන් උපදෙස් නියෝජ්‍ය තානාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් තානාපතිවරයා, මෙවැනි පියවරක් ගෙන ඇත්තේ ලංකාවේ විදේශ ඇමතිවරයට නියෝජ්‍ය තානාපතිවරයා පිළිබඳව මුළුමනින්ම අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කරමිනි.

ඒ අනුව චන්දන වීරසේනව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ට මාරුකර යවා ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා රජයේ මුදල් රෙගුලාසි වලට පරිබාහිරව තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් පාවිච්චි කර තමන්ගෙ පෞද්ගලික බඩු මිලදී ගෙන එම බිල්පත් රජයේ වියදම්වලට එකතු කිරීම් වැනි රාජ්‍ය මුදල් අවභාවිතය, කාර්ය මණ්ඩලය ට හිංසා කිරීම, රටට අපකීර්තියක් අත්වන ලෙස ඝෝෂාකාරී සාද පැවැත්වීම, ආරාධිත ජපන් ජාතිකයන්ට බැනවැදීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම, කිසිදු කාර්යභාරයක් නොකරන තමන්ගේ හිතවතුන් රජයෙන් වැටුප් ගෙවා නිල නිවසේ නතර කරවාගෙන ලංකාවේ රාජ්‍ය මුදල් විනාශ කිරීම ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට එල්ලවී ඇති තවත් චෝදනාවන් අතරින් කීපයකි.

මේවා පිලිබඳව ජනාධිපතිට, අගමැතිට, විදේශ ඇමතිට හා විදේශ ලේකම්ට පැමිණිලි කළ ද නිවැරදි කර ගැනීමට මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.

තානාපති සංජිව් ගුණසේකර මේ වන විට දින 70 ක් තානාපති කාර්යාලයට පැමිණ නොමැති බව වාර්තාවේ. ඔහු පදිංචිව සිටින ඇමරිකාවේ සිට ජනවාරි 5 යළි
ජපානය ගොස් ඇති අතර ඒවනවිටත් ඔහු කෝවිඩ් ආසදිතයකු බවට හඳුනාගෙන තිබී ඇති බවත් වාර්තා වෙයි.

එසේ කෝවිඩ් අසදිතයකු ලෙස යලි ජපානයට ගොස් ඇති මොහු නියෝජ්‍ය තානාපතිවරයා ලවා ජපානයේ රාජ්‍ය ආයතනයන්ට අසත්‍ය තොරතුරු ලබාදීමට උපදෙස් දී ඇතැයි පැවසේ. නියෝජ්‍ය තානාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ට මාරුකර යවා ඇත්තේ එම නියෝගය ප්‍රතික්ෂේප කිරීම නිසා බව තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මීට පෙර ජපානයේ තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරියකු වන රොෂාන් ගමගේ ද තානාපතිවරයාගේ හිංසාකාරී ක්‍රියාවන්ට ලක්ව තිබූ අතර ඔහු ද මාස කිහිපයක ට පෙර ලංකාවට පැමිණ ඇත.

ඊට පසු මේ දක්වා ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙනුත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙනුත් සිටි එකම රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියා වූයේ නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන යි. ඔහුට තම දරුවන්ගේ අධ්‍යාපනය ද මග නතර කර දමා ලංකාවට යාමට සිදු වී ඇත.

මීට පෙර මෙම තානාපතිවරයාගේ අනේක වධ හිංසා නිසා තානාපති කාර්යාලයේ ජපන් ජාතික කාර්‍යමණ්ඩල තිදෙනෙකු ම ඉල්ලා අස්වූහ. කෝකියා අදටත් ආගිය අතක් නොමැතිබව තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මොහුගේ අකාර්යක්ෂමතාව පැහැදිලි කෙරෙන ආසන්නතම සිදුවීම වන්නේ, පසුගිය දා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබු තෛපොංගල් උත්සවයයි. එම උත්සවයට සහභාගී වී ඇත්තේ හතරදෙනෙකු පමණි.

තානාපති කාර්යාල ආරංචිමාර්ග වලට අනුව, තානාපතිවරයාගේ එකම රාජකාරිය වී ඇත්තේ, දිනපතා සිය මුහුනුපොතේ ජයාරූප පලකරවා ගැනීමයි. එම ෆේස්බුක් සටහන් Tag කරන ලෙස තානාපති කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරන තානාපතිවරයා, එම නියෝග නොසලකා කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද වාර්තාවේ.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

මානව හිමිකම් කඩ කරන්න ඉඩ දුන්නෙත් නෑ ඉඩ දෙන්නෙත් නෑ- ජනපති

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සිය පාලන කාලය තුළ මානව හිමිකම් කඩ කිරීමට ඉඩ නොදුන් බවත් ඉදිරියටත් ඉඩ නොදෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.

තමන් මානව හිමිකම් කඩ කිරීම අනුමත නොකරන බවද ඔහු පැවැසීය.

යුද්ධයෙන් අතුරුදන් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරන බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

තමා ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අධිකරණයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකළ බවද ඔහු පැවැසීය.

යුද්ධයෙන් දීර්ඝ කාලයක් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාවට සියල්ලටම වඩා අවශ්‍ය වී තිබුණේ ආර්ථික සුරක්ෂිතභාවය යැයි පවසන ජනාධිපතිවරයා එම ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංගීම සදහා දෙමළ ජනතා නියෝජිතයන්ගෙන් සහාය ඉල්ලා සිටී.

"ඒ නිසා මෙම පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා, විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව හෝ පසෙක ලා ඔබේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙස."

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ තමන්ට ඡන්දය දුන් සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව සැලසීම ප්‍රමුඛස්ථානයේ ලා සලකන බව පවසා සති දෙකක් ගතවීමත් සමගය.

සංහිඳියාව සඳහා රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිදු වෙනස්කමකින් තොරව මෙම ජනතාව සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය අමතමින් වැඩිදුරටත් පැවසීය.

 

 

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබදවම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සිදු කළ කතාව මගින් අවධානය යොමු කර තිබුනි.

යුද පීඩිත ජනතාව යුක්තිය ඉල්ලා දිගටම කරන අරගල සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හා දෙමළ ඩයස්පෝරාව කරන බලපෑම් ‘කුමන්ත්‍රණ’ ලෙසින් හෙලා දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙදින කතාවේදී ඒ සම්බන්ධයෙන් දැක්වුයේ ප්‍රවේසම් සහගත ප්‍රවේශයකි.

පසුගිය කාලයේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරගන්නට අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ තමන් මානව හිමිකම් කඩකිරීම් වලට අනුබල දී නොමැති බවයි.

 

"මා වගකීමෙන් කියනවා, මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේ දී එවැනි ක්‍රියාවක් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ."

 

යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබූ ඉඩම් 90%කට වඩා නිදහස් කිරීම ආරම්භ කළේ තමන් ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදී බව පැවසු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළේ, ඉදිරි කාලයේ දී තවදුරටත් ඉතිරිව තිබෙන ඉඩම් නිදහස් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

විදුලි ඉංජිනේරුවන් හෙට ලෙඩ වෙයිද?

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත් හෙට (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය අසනීප නිවාඩු වාර්තා කර විදුලිබල මණ්ඩල කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (18) විරෝධතාවක් ද පැවැත්වුණි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අධිකරණ තීන්දුව සහ එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසීය.

“රජයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා වැඩි කෙරුවා. ඒකට අනුරූපීව සංස්ථාපිත ආයතනවල විශ්‍රාම යන වයස අවුරුදු 62 දක්වා වැඩි කළා. ඒ අතරතුර තමයි රණතුංග මහතාගේ විශ්‍රාම ආවේ ඒ විශ්‍රාම යන වයස ඇමතිතුමාගේ අනුමැතිය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලයට දීර්ඝ කරන්න පුළුවන්. ඒ කියන ප්‍රතිපාදනය පාවිච්චිකරලා ඇමතිතුමා රණතුංග මහතාගේ සේවා කාලය දීර්ඝ කරලා ලිපියක් නිකුත් කළා. ඒ නිසා ඊළඟට හිටපු ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවා මහාචාර්ය අබේසේකර මහතාට ගැටලුවක් පැනනැගුනා එයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් දැම්මා. ඒ අතරතුර ඇමතිතුමා රණතුංග මහතාගේ ලිපිය අවලංගු කළා. රණතුංග මහතාත් අභියාචනාධිකරණයට ගියා. නඩුව අහලා ඉවර වෙනකල් ස්ථීර පත්වීම් බැහැ. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය මාව පත්කරන්න තීරණය කරලා තියෙනවා.”

ඉන්ධන ඉල්ලා ඇමති කළ ඉල්ලීම IOC ප්‍රතික්ෂේප කරයි

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දී තිබේ.

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් ඔවුන් මේ බව පැවසූ බවය.

අද කොළඹදී පැවති සාකච්ඡාවේදී එම සමාගමේ නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා සමග ද සාකච්ඡා කළ බවය.

මේ අතර එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර එසේ විදුලිය විසන්ධි වීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී ඇත.

එසේම ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියා විරහිත කර තිබේ.

මෙගාවොට් 63ක ඒකක ප්‍රමාණයක් ඉන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරුණි.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් මේ වනවිට සපුගස්කන්ද බලාගාරය වෙත නිකුත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.

කොරෝනා මරණ 15,231ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (17) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,231කි.

අපේ රටේ හෘද සාක්ෂිය මැරිලා තියෙන්නේ - කාදිනල් හිමි

”හෘද සාක්ෂියට අනුව වැඩකරන පුද්ගලයින් සමාජයේ දක්නට ලැබෙන්නේ නැහැ .වර්තමානයේ. අපි ගන්න තීරණයන්ගෙන් ඇතිවන අභියෝගවලට මුහුණදෙන ශක්තිය අඩුයි. වෘත්තිමය ලෙස හෝ අනෙක්තු කිසියම් ලෙකද මේ විදියට හිතන කීදෙනෙක් ඉන්නව ද? නිදහසට පසු අවුරුදු 74 ක් තිස්සේ මේ රටේ සත්‍යය හැම වෙලාවේම නැති වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව හෘද සාක්ෂියට අනුව සාධාචාරත්මක ලෙස වැඩ කරන්නේ නැතුව සල්ලි සහ බලය පිටුපස හඹා යන්න පටන් අරං. අපේ රටේ හෘද සාක්ෂිය මැරිලා තියෙන්නේ. වඩා වැදගත් වෙන්නේ හොඳ මිනිසුන් නරකක් නපුරක් කරන්නේ නැති හොඳ මිනිස්සු බිහි කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. නැතුව බොහෝ නායකයෝ සමහර වෙලාවට කරනවා වගේ වැරදී සාධාරණීකරණය කරන එක නෙමෙයි”  යනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙලෙස අදහස් පළ කළේ  ශාන්ත පීතර විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදීය.

 

 

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක්

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා තිබේ.

එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්  විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්  වෙත යොමු කරන ලද ලිපියක්
මගින් මෙම ණය පහසුකම ලබාදෙන බව සඳහන් කර ඇත.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මේ හරහා ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය දැක්වීමට සහ ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගීතාවයට වැඩි ජවයක් ලබා දීමට ඉන්දියාව දක්වන කැපවීම පිළිඹිබු කරන බවය.

මෑතකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය සහය ලබාදී තිබේ.

 

පැය හතකරක විදුලි කප්පාදුවක් ! : ඩොලර් දුන්නොත් ඉන්ධන දෙනවා - ගම්මන්පිල

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත්, දින 22කට සරිලන දැවි තෙල් බවත් හෙතෙම සදහන් කරයි.

ඒ අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට සිදු වනු ඇති බවත් ඒය සිදු නොකරන්නේ නම් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලාශවල ජලය භාවිතා කිරීමේදී සීමාවන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒම ජලය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, පානීය හා පාරිසරික අරමුණු සඳහා කලමණාකාරණය කරමින් පවතින නිසාය.

අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයන් සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු වීම හේතුවෙන් බිඳවැටීම්වලදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බවත් සංගමය තව දුරටත් පෙන්වා දෙයි.

 'විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයි‘

 මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ, විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බවයි. ඒ අනුව මණ්ඩලයට අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බව ඔහු 'ලංකාදීප' කළ විමසීමකදී සඳහන් කර තිබේ.

 ඉන්ධන නොමැතිවීම හේතුවෙන්, විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ගිය සතියේ නතර වූ අතර, එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකකදී ලබාදී ඇතැයි පවසන ඇමතිවරයා, ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නොහැකි බව සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුනහොත් ඛනිජ තෙල් ආනයනය කර ලබාදිය හැකි බව කියන ඇමතිවරයා, ඒ සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බව ද කියා සිටියි.

විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බව පවසන බලශක්ති අමාත්‍යවරයා, දැනට තිබෙන ඉන්ධන විදුලිය නිෂ්පාදනයට ලබාදුනහොත් වාහන ධාවනය කිරීමට නොහැකි වනු ඇතැයි කියා සිටියි.

ඉන්ධන නොමැති වුවහොත් විදුලිය සැපයුම පැයකට දෙකකට කපාහැර තත්වය කළමකළමනාකරණය කිරීමට හැකියාව ඇති නමුත්, වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

 ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇත, ඉන්ධන නැත යනුවෙන් ප්‍රදර්ශනය කරනවා හැරෙන්නට අතරමැදි තත්වයක් නොමැති බවද බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියි.

 ඉන්ධන දීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 920 ක මුදලක් ද , ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 650ක මුදලක් ද ණය වශයෙන් ලැබිය යුතුව ඇතැයි පවසන ඇමැතිවරයා, ඉන්ධන අවශ්‍ය නම් මුදල් ලබා දෙන ලෙස එම ආයතන දෙකටම කල්තියාම දැනුම් දුන් බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් ලබාදී ඇතත්, විදුලි බල මන්ඩලය එසේ ඩොලර් ලබාදී නැතැයි ද ඇමතිවරයා පවසයි.

කොරෝණා මරණ 15,218ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 07 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,218 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, පිරිමි ආසාදිතයින් 05 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනකු ලෙසයි.

අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 02 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 05 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (17) වාර්තා කරන ලද මෙම මරණ 7 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

Page 308 of 392