V2025

පුවත්

මේ ලංකා ඉතිහාසයේ අමාරුම සති තුනයි : අග්‍රාමාත්‍ය රනිල් කියයි !

අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අද ශ්‍රී ලංකාවේ සිදුව ඇති ආර්ථික අර්බුදය 1969 දී පැවති කෝපි ආර්ථිකය කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් බවය.

ඉන්ධන අර්බුදය හදිසි තත්ත්වයක් නොවන බව පැවසූ ඔහු මාස ගණනක සිට තෙල් නැව් ගෙන ඒම කළමනාකරණයේ දුර්වලතා නිසා සිදු වූ දෙයක් බවද ඔහු තව දුරටත් පවසා ඇත .

අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු ඉහළට : අවමය රු.40 යි

අද (30) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22 %කින් ඉහළ දමා තිබේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ, නව ගාස්තු සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රු.40 ක් වන බවයි.

මෙම බස් ගාස්තුව වැඩිවීම පෞද්ගලික සහ ලංගම යන දෙඅංශයටම අදාළ වන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

 

ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි - සාගල රත්නායක

ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක පවසයි.

නැවත පෙට්‍රල් නැවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ජුලි මාසයේ 22 වැනි දා බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටී.

අදාළ පෙට්‍රල් නැව ඉන්දියාවේ සිට පැමිණීමට නියමත ය.

එසේ වුවද ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බව ද ඔහු පවසා සිටී.

රට තුළ මේ වන විට ඉතිරිව ඇත්තේ පෙට්‍රල් මෙට්රික් ටොන් පන් දහසක් පමණක් බවත්, ලබන මස 6,10,16,19,21,හා 31වැනිදා වන විට මෙට්‍රික් ටොන් 33000 ක ගෑස් තොග මෙරට ලැබීමට නියමිත බව ද සාගල රත්නායක පැවසී ය.

600% කින් විදුලිබිල වැඩි කරනවා වෙනුවට : වෙන්න ඕන දේ PCR කියයි !

වර්තමාන ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ සියලු ක්ෂේස්ත්‍ර බිඳ වැටීමකට ලක්ව ඇති බවත් මේ වනවිට රට තුළ විදුලිය නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන යොදා ගැනීමට සිදුවීම මත ජනතාවගේ එදිනෙදා කාර්යයන් සිදුකර ගැනීමට අවශ්‍ය ඉන්ධන සැපයීම සීමාවකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චාමික රණවක පවසයි.

පවතින ඉන්ධන අර්බුදය නිර්මාණය වීමට හේතු හා ඊට සමගාමීව රටතුළ ඇතිව තිබෙන ගැටළු පිළිබඳව 43 සේනාංක පරිශ්‍රයේ අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාවට තම ජීවනෝපායන් සිදුකර ගැනීමට නොහැකි වීම මත ඔවුන් ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති නිසාවෙන් වැඩි වශයෙන් ඉන්ධන ජනතාවට ලබාදීම ආණ්ඩුව සිදුකලයුතු බවත් ජල විදුලියේ ප්‍රතිලාභ දුගී දුප්පත් ජනතාවට වැඩිවශයෙන් ලබාදී ඉන්ධන ජනතාවගේ එදිනෙදා කාර්යන් සඳහා යොමු කලයුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .

පොලිසිය හමදාව දාලා බේරගන්න බැරි ප්‍රශ්නයක් !

"ගොවියට ගොයම් ටික කපාගන්න බෑ. කපාගත්ත වී ටික ගෙදරට ගෙනියන්න විදිහක් නෑ. ඒ ගෙනාපු වී ටික අදාළ වී මෝල්වල කොටා ගන්න විදිහක් නැහැ. ඒ කොටා ගත්ත හාල් ටික කඩේට ගෙනියන්න විදිහක් නැහැ. එළවලු, පලතුරු ටික ප්‍රවාහනය කරගන්න විදිහක් නැහැ. මිනිස්සුන්ට කන්න නැහැ. බඩු අහස උසට නැගලා තියෙනවා. සෑම භාණ්ඩයක්ම සියයට තුන්සීයකින් වැඩිවෙලා තියෙනවා. ඇතැම් භාණ්ඩ. සියයට පන්සීයකින්, දාහකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මුළු රටම බිඳ වැටිලා මේ වෙනකොට ගුවන් සේවා ඇතුළු සෑම ක්ෂේස්ත්‍රයකටම මේ ඉන්ධන හිඟය ඉතාම භයානක විදිහට බලපාලා තියෙනවා. මිනිස්සුන්ගේ ආදායම් නැති වෙලා තියෙනවා. මිනිස්සුන්ව පාරට ඇද දාලා තියෙන්නේ මේ ආණ්ඩුව. ඒක නිසා උද්ඝෝෂණ කරන්න එපා. මිනිස්සු ගෙවල්වල තියන්න ඕනේ කියලා පොලිසියයි, හමුදාවයි දැම්ම පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

අර්බුදයට වහකිවයුතු පාර්ශ්ව ගෙදර යන්නම ඕන !

මේ අර්බුදයට, වගකිවයුතු පාර්ශවයන් දැන් ගෙදර යා යුතුයි. විශේෂයෙන්ම මේ අර්බුදයේ නිර්මාතෘවරු වන, ජනාධිපති රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු ගෙදර යා යුතුයි. මේවට විසඳුම් නැතුව නෙවෙයි. හැබැයි මේ රාජපක්ෂලා මහ පුටුවල ඉන්නකන් රාජපක්ෂලා විසින් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නකන් රාජපක්ෂලාගේ හෙන්චයියන් විසින් මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු මේ ආයතන මෙහෙයවනකන් සහ රාජපක්ෂලා ගිහිල්ලා, පුටුවල වාඩිවෙලා තෙල් නැව් ගෙන්නන එක පිළිබඳ තීරණ ගන්නකන් මේ රට ගැන විශ්වාසයක්, මේ රටට තෙල් සපයන අයගේවත්, විදේශීය රටවල්වලවත්, අපේ රටේ ඉඳලා විදේශ රටවල්වලට ගිහිල්ලා ඉන්න තිස් ලක්ෂයක් අපේ විදේශ ශ්‍රමිකයන්ගේවත් හිත් වල කිසිම විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ."

IMF සහය ලැබෙයිද විශ්වාස නෑ !

එමෙන්ම එළෙඹෙන මස 25 වනදා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන දාහක, ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට ඇති බවත් මේ වනවිටත් ඩොලර් මිලියන දෙසිය පනහක් අයිති සමාගමක් ලංකාවට එරහිව නඩු දමා ඇති බවත් ඇති බවත් පවසන චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටින්නේ එම නඩුවේ බලපෑම මත ලංකාවට IMF සහය ලැබීම පිළිබඳවද විශ්වාසයක් නොමැති බවයි.

එමෙන්ම මෙම ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක පොදු ප්‍රවාහනයේ වටිනාකම හා ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මේ ජනාධිපති ගැන විශ්වාසයක් ලෝකයටම නෑ !

"ඉතාම සක්‍රීය වැඩපිළිවෙලක් ආණ්ඩුවට අවශ්‍යයි. විශ්වාසයනිය වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක ලබාදීමේ හැකියාවක් නැහැ. මොකද බරපතල දේශපාලන අර්බුදයක් තිබෙන නිසා. ඒ දේශපාලන අර්බුදය තමයි මේ ජනාධිපති ගැන කිසිඳු විශ්වාසයක් ලෝකයේ නොමැතිවීම. මොහු ඉතාමත්ම මුග්ධ විදියට මේ රටට අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් උදව් කරපු ජපානය තරහ කරගත්තා. ජපානෙන් දශම එකේ පොලියට ගත්ත ණය වෙනුවට විදේශීය සමාගම් වලින් සීයට විසිහතරේ පොළියට අරගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලවල් දියත් කළා. අර කඩුවෙල සිට කොළඹට එන සැහැල්ලු දුම්රිය මාර්ගය වෙනුවට හිතවත් සමාගමකට ඔවුන් ලබා දෙන්න ගියා අතුරුගිරියේ සිට දෙමටගොඩට අධිවේගී මාර්ගයක් හදන්න. සීයට විසි හතරේ පොලියට. මේවා සාහසික අපරාධ. මේ සාහසික අපරාධයට දායක වෙච්ච නිලධාරීන්, ඒ වගේම දේශපාලකයින් විශේෂයෙන්ම ජනාධිපති මෙහි වගකීම භාරගත යුතුයි. අද ඒ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති හතර තිබුණා නම්, ඒ වගේම මරදානේ සිට හෝමාගමට තිබිච්ච ඒ කැළණිවැලි දුම්රිය ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල තිබුණා නම්, අපි හදපු ඒ සීග්‍රගාමී බස් ප්‍රවාහන සේවය, බස් රැපිඩ් ට්‍රාන්සිට් ප්‍රොජෙක්ට් එක තිබුණා නම් අද මේ රට මේ අර්බුදයට ලක් වෙන්නේ නැහැ. මේවා ඔක්කොම එක පෑන් පාරෙන් මේ ජනාධිපති නැවැත්තුවා."

තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතු වලට අත දැඩිම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතුයි !

"විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතු වලට අත දැඩිම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතුයි. ඒ වගේම විවිධ තැන්වලින් විවිධ ආකාරයට අතනින් මෙතනින් තෙල් සම්පාදනය කර ගැනීමේ කටයුතු නවත්තලා ලංකාව තුළ විධිමත්ව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වෙලා ඉන්න සමාගම් හරහා ඒ කටයුත්ත කළ යුතුයි. මිත්‍ර රාජ්‍යන් එක්ක විවෘත ක්‍රියාවලියක ඒ කටයුත්ත කළ යුතුයි. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඒකට ඇඟිලි ගැසිය යුතු නැහැ.

මේ පහුගිය දවස්වල ලංකාවට බොරතෙල් ගේන්න මැදිහත් වෙච්ච සමාගමක් මීට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්ට ගුවනට චන්ද්‍රිකා යවන්න උදව් කරපු සමාගමක්මයි. මේ දෙකම එකයි. ඒක නිසා අපි මේ දෙස බලාගෙන ඉන්නවා.

ජනාධිපති වහාම ඉල්ලා අස්වෙන්න ඕන !

ජනතාව පුපුරන තැනට ගෙනිහිල්ලා රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි ඉල්ලා අස් වුණාට පස්සේ එතනට පත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. විසිහතර පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවලා, රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම සර්ව පාක්ෂික පාලනයක් හදලා, නිශ්චිත වැඩපිළිවෙලක් හදලා, ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරලා, දින වකවානු නියම කරලා මැතිවරණයකට ගමන් කිරීමේ අපිට නම් වරදක් පේන්නේ නැහැ.

කොල්ල කන ලද ධනය අත් හැරලා මේ බලය අත්හැරලා රාජපක්ෂවරු යා යුතුයි !

ඒ නිසා කොල්ල කන ලද ධනය අත් හැරලා මේ බලය අත්හැරලා රාජපක්ෂවරු යා යුතුයි. යන්නැති බව පැහැදිලියි. ඔවුන් යැවිය යුතුයි. ඒ සඳහා වෙන ජනතා ව්‍යාපාරයක් දැන් අවිහිංසාවාදීව, ප්‍රජාතන්ත්‍රවාදිව ආරම්භ විය යුතුයි. පාර්ලිමේන්තුව තුල වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් විධිමත්ව සකස් කරලා ඉදිරියට යාමේ වගකීම මේ අවස්ථාවේ සියලු දෙනාටම තියෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා මුල්වෙලා කටයුතු කළ යුතුයි. ඔහු ඒ සඳහා මුල්වෙලා කටයුතු කරන්නේ නැත්නම් ඒ සඳහා කටයුතු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගෙන ඒ කටයුත්ත කරන්නට ඉදිරි කාලයේදී අපි ක්‍රියා කරන බව ප්‍රකාශ කරනවා."

විදුලි බිල වැඩි කිරීම ගැන PCR මතය !

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින්, විදුලි බිල වැඩි වෙන්න දැන් සංශෝධන ඇවිල්ලා තියෙනවා. මහජන උපයෝගීතා කොමිසම අවසර දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමාගේ මතය? යනුවෙන් යොමුකරන ලද පැනයට චම්පික රණවක මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදෙනු ලැබිණි.

"නිත්‍යානුකුලව ගත්තොත් විදුලි බිල වැඩි කරන්න පෙර මහජන උපයෝගීතා කොමිසම සති තුනක් මහජන අදහස් ඒ සම්බන්ධයෙන් විමසිය යුතුයි. දැනට ප්‍රකාශයට පත්වෙලා තිබෙන යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ආසන්නයෙන් සීයට අසූ පහක පමණ විදුලි ගාස්තු වැඩිවීමක් සාමාන්‍යයක් හැටියට යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැනට තියෙන රුපියල් බිලියන දෙසිය හැටක පමණ ආදායම රුපියල් බිලියන පන්සිය දොළහක් දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා.

ඇත්තටම ඒක ආසන්නයෙන් සීයට සීයකම වැඩිවීමක්. මේකේ තියෙන අසාධාරණය මේකයි. ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන අය ඉන්නවා එකොළොස් ලක්ෂයක්. ඒගොල්ලන්ට සියයට හයසීයකින් වැඩි කිරීම වැරදියි. මොකද ජල විදුලිය කියන එක හැමෝටම හම්බවෙන දෙයක්. ඒ හයිය මේ ජල විදුලියේ හයිය අපේ දුගී දුප්පත් ජනතාවට දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ජනතාව ගැන හිතලා ඒ කටයුත්ත මහජන උපයෝගීතා කොමිසම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

ඩොලර් නැතුව සමාගම් මොකටද ?

එමෙන්ම IOC මෙන් නව සමාගමක් ඉන්ධන ලබාදීමට පැමිණීම හා එම ගින් කුමක් සිදුවේවිද? යන්න මාධ්‍යවේදීන් විසින් චම්පික රණවක මන්ත්‍රීවරයා ගෙන් විමසා සිටියේය.

"ඔය වගේ විසඳුම් ක්‍රියාත්මක කරන්න පුලුවන්ද? ඒක තමයි අද තියෙන ප්‍රශ්නේ. දැන් දෙදාස් දෙකේදී අයි ඕ සී එක ගෙනාවා. අයිඕසී එක ගෙනාවම ඒ වෙලාවේ ලංකාවට ඩොලර් ඕන තරම් තිබුණා. දැන් අද මේ එන විදේශ සමාගම් එන්නේ ඩොලර් වලින් තෙල් අරගෙන. එතකොට මෙහෙ හම්බුකරන්නේ රුපියල්. එතකොට ඒගොල්ලන්ට ඒ රුපියල් ඩොලර් බවට පරිවර්තනය කරගන්න වෙනවා. එතකොට ඩොලර් ලංකාව තුළ නෑ. ඒ තත්වය තුළ මම හිතන්නෑ කිසිම සමාගමක් දේශපාලන හේතුවක් මත මිසක් මේ ආර්ථික කාරණයක් මත, මුල්‍යමය කාරණයක් මත ලංකාවට එයි කියලා."

ඉන්ධන අර්බුදයෙන් : දුම්රියට බරපතළයි !

දුම්රිය ගමන්වාර රැසක් ඊයේ (28) පස්වරුවේ සිට අදත් (29) අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකළපුව සහ කන්කසන්තුරේ ආදි ප්‍රදේශ රැසකට ධාවනය කරන දුරගමන් සේවා දුම්රිය රැසක් ද අවලංගු කිරීමෙන් කලින් ප්‍රවේශපත් වෙන්කරගත් මගීන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි .

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය අඩුවීමත්, පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකිරීමත් හේතුවෙන් දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

එවැනි පසුබිමක ධාවනය වීමට නියමිත දුම්රියද අවලංගුවීම නිසා ධාවනය වූ දුම්රියවල මගීන්ට ගමන් කිරීමට සිදුවූයේ දුෂ්කරතා මධ්‍යයේ බවත් වාර්තාකරුවන් පවසයි .

ඇතැම් මගීන් දුම්රිය පාපුවරුවේ මෙන්ම වහලය මත ද නැගී ඉතා අවදානම් අයුරින් ගමන් කළ බවත් ඔවුන් පවසයි .

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ රාත්‍රී 9.45 ට පොල්ගහවෙළ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය හදිසියේ අවලංගු කිරීමෙන් අපහසුතාවට පත් ජනතාව කොටුව දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට විරෝධය දැක්වූ බවත් වාර්තා වෙයි .

මේ අතර දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසන්නේ දුම්රිය සේවකයන්ට සේවා ස්ථානයට පැමිණීමට ඉන්ධන නොමැතිවීමෙන් ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත් දුම්රිය අවලංගු වියහැකි බවයි .

දුම්රිය රැසක් අද සහ ඊයේ (28 සහ 29) අවලංගු කිරීමට සිදුවූ බව පැවසූ ඔහු ඉන්ධන හිඟය රටම මුහුණදී සිටින ගැටලුවක් වීම නිසා ඉරිදි දිනවලදී තත්වය බරපතල වියහැකි බවත් සඳහන් කර ඇත .

යුද සිරකරුවන්ට නිදහස : LGBTQ අයිතිය පිළිගත් : එක රටක් එක නීතියක් කොමිසමේ වාර්තාව ජනාධිපතිට !

බරපතළකම නොසළකා උතුරේ යුද්ධයට සම්බන්ධ වූ සිංහල - දෙමළ ආදී සියලු සිරකරුවන් සමාජ අන්තර්ග්‍රහණ සහ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යටත්ව පොදු ජනාධිපති සමාවක් මගින් මුදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති කොමිසමක් විසින් නිර්දේශ කර ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මෙවැනි නිර්දේශයක් ලබාදී ඇත්තේ, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් බවත් එම ආරංචි මාර්ග පවසයි .

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ "එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්‍යසාධක බලකායෙහි' අවසාන් වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපතිවරයාට භාරදුන් බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අදාළ වාර්තාව තුළ කාන්තා අයිතිවාසිකම් වල සිට සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් දක්වා පුළුල් පරාසයක අයිතිවාසිකම් පිළිබදව සාකච්ඡා කර ඇති බවය.

එහිදී දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති මගින් සිදු කරනු ලැබ ඇති සමලිංගික සේවනයේ යෙදීම අපරාධ වරදක් බවට පත් කිරීම අහෝසි කිරීමටත් ‍යෝජනා කර ඇති බවත් වාර්තා වෙයි .

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව (Transgender) වෙනුවෙන් ආරම්භක පියවරක් ලෙස ඔවුන් වෙනුවෙන් අනන්‍යතා සහතිකයක් රජය මගින් නිකුත් කිරීමටත් එකී අය සම්බන්ධයෙන් සමාජයේ පවත්නා අගතිගාමී ආකල්ප වෙනස් කරමින් ඒ අය වෙනුවෙන් සුදුසු සුභසාධන වැඩපිළිවෙළක් රජය මගින් සැකසීමටත් එම බලකාය විසින් යෝජනාකර ඇති බවත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් 'එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය' පිහිටුවනු ලැබිය.

 

ඉන්ධන අර්බුදය සමනය කරගන්න : ඉන්දියාවෙන් සහතිකයක් !

ශ්‍රී ලංකාවට මේ වන විට අත්‍යවශ්‍ය වී ඇති පෙට්‍රල් සහ ඩීසල් සැපයුම කඩිනම් කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බව ඉන්දීය ඛණිජතෙල් අමාත්‍ය හර්දීප් සිං පූරි පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සමග පැවැති සාකච්ඡාවකදී බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත .

ඉන්ධන, ගෑස් සහ ඒ ආශ්‍රිත සැපයුම් අංශවලදී ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට දිගුකාලීන සබඳතා ඇති කර ගත හැකි ක්‍රම සම්බන්ධයෙන් ද ඉන්දීය ඛණිජතෙල් අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත .

පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ලෝලීන් 500 ක් පළා ගිහින් !

වැලිකන්ද, කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 500-600ක් අතර ප්‍රමාණයක් ඉන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පවසයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු ඊයේ (28) රාත්‍රියේ දී සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත් ඉන් පසුව එහි සිටි දහසකට ආසන්න පිරිසක් කඳවුර තුල කලහකාරී ලෙස හැසිරීමට ගෙන ඇති බවය.

මෙහිදී එම රැඳවියන් විසින් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිසියට සහ හමුදා සාමාජිකයින්ට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බවත් අද උදෑසන ආරක්ෂක වැටවල් කඩා බිඳ දමමින් රැඳවියන් 500-600ත් අතර පිරිසක් ඉන් පලා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

මේ වන විට පලා ගිය පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මියගොස් ඇති රැඳවියා ගේ සිරුර අසල පොලිසියට හෝ ආරක්ෂක අංශ වෙත ලඟා වීමට එහි සිටින සෙසු රැඳවියන් ඉඩ නොදෙන බවත් පැවසීය .

හොඳටම කරපු හැටි : දත්ත සමග එළියට !

2022 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1.6 කින් හැකිලී ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ “2022 වසරේ පළමු කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ සියයට 1.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2021 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව ආර්ථිකයේ සැලකිය යුතු හැකිලීමක් පෙන්නුම් කරයි.” යනුවෙන් පවසයි.

2020 සහ 2021 වසරවල කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු,2022 ආරම්භයේදී, ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ නව අපේක්ෂාවන් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකය සෙමින් වර්ධනය වීමට පටන් ගත් බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, උද්ධමනය, විදේශ විනිමය අවප්‍රමාණය වීම සහ ඩොලර් හිඟය වැනි සමහර සාධකවල අහිතකර බලපෑම් හේතුවෙන් 2022 පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය 2021 පළමු කාර්තුවට සාපේක්ෂව මන්දගාමී බව වාර්තා වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලය තුළ රසායනික පොහොර හිඟය කෘෂිකාර්මික නිෂ්පාදනයට දැඩි බලපෑමක් ඇති කළ අතර විශේෂයෙන් සහල් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටුණි. “මේ අනුව, කෘෂිකාර්මික ආර්ථිකය 2015 වසරේ සිට මෙම කාර්තුවේ ඉහළම පහත වැටීමක් වාර්තා කළේය.”

මීට අමතරව, බොහෝ කර්මාන්ත හා සේවා සඳහා අත්‍යවශ්‍ය වන ඉන්ධන ආනයනය සඳහා පනවා ඇති සීමාවන්, ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු සියලුම නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදනය අඩු කර ඇත.

ඒ අනුව 2022 වසරේ පළමු කාර්තුවේදී කාර්මික අංශය ද සැලකිය යුතු පසුබෑමක් වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, රට තුළ පැවති සියලු අහිතකර තත්ත්වයන් මධ්‍යයේ වුවද, 2021 පළමු කාර්තුව හා සසඳන විට 2022 පළමු කාර්තුවේදී සේවා ක්‍රියාකාරකම්වල මෘදු වර්ධනයක් වාර්තා විය.

තවද, 2022 වසරේ පළමු කාර්තුව සඳහා වත්මන් මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 4,573,080 සිට රුපියල් මිලියන 5,368,465 දක්වා ඉහළ ගොස් ඇත්තේ සියයට 17.4ක ධනාත්මක වෙනසක් වාර්තා කරමිනි.

ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුන; ‘කෘෂිකර්මාන්තය’, ‘කර්මාන්තය’ සහ ‘සේවා’ වර්තමාන මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට තම කොටස පිළිවෙළින් සියයට 8.1, සියයට 31.1 සහ සියයට 55.6 කින් දායක කර ඇති අතර, ‘නිෂ්පාදන සඳහා බදු අඩු සහනාධාර’ සංරචකය 2022 පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයට සියයට 5.2 ක කොටසකට දායක වී ඇත.

මේ අතර, 2022 පළමු කාර්තුවේ දී කෘෂිකර්ම සහ කාර්මික අංශයන් පිළිවෙළින් සියයට 6.8 සහ සියයට 4.7 ක හැකිලීම් වාර්තා කළ අතර සේවා අංශය 2021 වසරේ පළමු කාර්තුව හා සසඳන විට සියයට 0.7 ක සුළු ප්‍රසාරණයක් වාර්තා කළේය.

IOC ඉන්ධන සදහා සීමාවක් !

ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා ඇති බව නිවේදනය කර ඇත .

ඊට අනුව IOC ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 2,500 ක සහ වෙනත් වාහනවලට රුපියල් 7,000 ක ඉන්ධන නිකුත් කරනු ඇත .

මීට පෙර IOC ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 2,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 3,000 ක සහ වෙනත් වාහනවලට රුපියල් 10,000 ක් ලෙස ඉන්ධන නිකුත් කරනු ලැබිණ .

අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය !

"අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා," යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ඒ සැලැස්ම කුමක්ද යන්න ඔහු විස්තර කරනවා නම් හොඳය. එවිට බලයේ සිටින වෙනත් පාර්ශ්වයකට වුණත් එය කළ හැකිය.

කෙසේ වෙතත්, ජවිපෙ මතය තුළ පවා සර්ව පාක්ෂික ආණ්ඩුවක අදහස නොමැති වීම කැපී පෙනේ. එය වනාහි සර්ව පාක්ෂික නොව ජවිපෙ/ ජාතික ජන බලවේග ආණ්ඩුවකි. නැතිනම් ජවිපෙ කැමති පිරිස් තෝරාගෙන නිර්මාණය කරගනු ලබන සන්ධානයකි. අරගලයේ නායකයන් හෝ එයට ඇතුළත් වේද යන්න පැහැදිලි නැත.

අනුර කුමාර දිසානායක කියන මේ දෙයට අවස්ථාව ලබාදිය යුතු යයි මම සිතමි. එහෙත්, පුරවැසියකු ලෙස ඔහුට හෝ ඔහුගේ පක්ෂයට බලය ලබාදීමේ හැකියාවක් මට නැත. ඔහු ඉල්ලන්නේ ජනාධිපතිකම නොවේ. අගමැතිකමයි. ඔහු එය ලබාගත යුතුය. ජනාධිපතිවරයා හමුවී තම වැඩපිළිවෙල පැහැදිලි කර තමාට අගමැතිකම ලබාදෙන ලෙස ඉල්ලා සිටිය යුතුය. පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලාසිටිය යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය වැනි පක්ෂවල ද සහාය අවශ්‍ය නිසා ඔවුන් සමග ද සාකච්ඡා කළ යුතුය.

ඔහු කැමති කැබිනට් මණ්ඩලයක් පාර්ලිමේන්තුවෙන් පත්කරගත යුතුය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා හැරුණු කළ තවත් ඇමතිවරුන් 12ක්වත් අවශ්‍ය වේ. ඒ සඳහා ඔහු කැමති පුද්ගලයන්ට ඇමතිකම් ලබාදීම සඳහා ඔහු පක්ෂ නායකයන් එකඟ කරගත යුතුය.

පාර්ලිමේන්තුවේ සිටින අය හොඳ නැති නම්, පිටත සිටින අය පාර්ලිමේන්තුවට පත්කරගත යුතුය. ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර ඔවුන් ඉල්ලා අස්වන්නට එකඟ කරගත යුතුය. ඔවුන් ඉල්ලා අස්වූ පසු එම මන්ත්‍රී තනතුරුවලට අගමැති අනුර කුමාර දිසානායක කැමති අය පත්කිරීමට එම පක්ෂවල ලේකම්වරුන් එකඟ කරගත යුතුය.

මේ කිසිවක් ජනතාවට කළ නොහැකිය. ඒ සඳහා අවශ්‍ය තත්වයන් ජවිපෙ/ ජාජබ විසින් නිර්මාණය කරගත යුතුය. කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රවේශය වැදගත්ය.

ඉන්පසු අනුර කුමාර දිසානායක ඔහු පවසන 'යම් ස්ථාවරය' වහා නිර්මාණය කළ යුතුය. එනම් ලංකාව ණය ආපසු නොගෙවූ බංකොළොත් තත්වය හේතුවෙන් මුහුණදෙන ආදීනවවලින් රට බේරාගත යුතුය. ඉන්ධන, ගෑස් ආදිය ආනයනය කරදිය යුතුය. පෝලිම් නැතිකළ යුතුය. ජනතාව වේදනාවට පත් නොකර ඔවුන්ගේ අවශ්‍යතා සපයා දිය යුතුය. නීතියේ පාලනය ඇතිකළ යුතුය. වැඩවර්ජන නැවැත්විය යුතුය. රජයේ සේවකයන්ගේ ඉල්ලීම් ලබාදිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සම්පත් සපයාගත යුතුය.

- අජිත් පැරකුම් ජයසිංහ,
Praja.lk

අනිත් අය ඉල්ලන මාස 06 : රනිල්ට නැත්තේ ඇයි ?

රට බාර දුනහොත් මාස 06 න්, අවුරුද්දෙන්, අවුරුදු පහෙන් තමන්ට රට හැදිය හැකිය කියන විපක්ෂ කණ්ඩායම් ඒ් කාලය අගමැති රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රශ්න කරයි.

විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමඟ කොළඹදී අද (28) පැවැති සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව කීවේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය ගෙන තවමත් මාස දෙකක්වත් ගතවී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය නායකයා අවුරුදු දෙකක් විනාශ කළ රට දින කිහිපයකින් ගොඩගත යුතුයැයි පෙන්වන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සාහ කරන පිරිස් මිස සැබෑ දේශප්‍රේමීන් නොවන බව ද කීය.

රට යළිත් පෙර තිබුණු තැනට ගෙන ඒ්මට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද සැලකිය යුතු කාලයක් ලබා දෙන්නැයි රුවන් විජයවර්ධන ඉල්ලා සිටියේය.

 

බයිඩන්ගෙන් ලංකාවට ඩොලර් මිලියන 20ක ආධාර !

ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28) නිවේදනය කළේය.

එම මුදල ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා යොදා ගනු ඇතැයි සඳහන් වෙයි.

මෙම මූල්‍ය සහාය පාසැල් ළමයින් ලක්ෂ 08 කට පාසැල් පෝෂණ වැඩසටහන යටතේ ආහාර සැපයීමටත් ගැබිණි මව්වරුන් 27,000 කට ඉදිරි මාස 15 සඳහා ආහාර වවුචර් පත් ලබා දීමටත් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගොවියන් 30,000 කට කෘෂි කාර්මික සහ මූල්‍ය සහාය ලබා දීමටත් යොදා ගැනෙනු ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත .

බස් ගාස්තු 30% කින් ඉහළට !

ජූලි මස 01 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට රජය තීන්දුවක් ගෙන ඇත .

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් ඉල්ලීමක් කළ බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පැවසීය.

ජාතික ගමනා ගමන කොමිසම එම ඉල්ලීම පිළිබඳව සළකා හෙට (29) අනුමැතිය ලබාදීමට නියමිත බව ද ඔහු කීය.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ බස් සංගම් නිලධාරීන් අතර අද (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම ඉල්ලීම කළ බවත් ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් සඳහන් කළේය.

පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ - රජය : ජනතාව තවමත් පෝලිමේ !

අද (28)සිට ජූලි (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව ඊයේ (27) කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

ඒ අනුව ,සෞඛ්‍ය , ආරක්ෂක ,විදුලිබල, අපනයන කර්මාන්ත ආදී ක්ෂේත්‍ර සදහා පමණක් අද සිට ලබන 10 වැනිදා දක්වා ඉන්ධන නිකුත් කරන නමුත් පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමක් සිදුවන්නේ නැත.

ඒ බවත් අමාත්‍යවරයා ඊයේ පැහැදිලිව පැවසූ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් සිදුකරන බවද පැවසීය .

රට තුළ පැනනැගී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ(27) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්,ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට එහිදී තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන හල් ඉදිරිපිට තවමත් පෝලිම් !

කෙසේ වුවත් අද දින කොළඹ තදාසන්න ප්‍රදේශ වල ඉන්ධන හල් ආශ්‍රිතව සංචාරය කළ අප වාර්තාකරුවන් පවසන්නේ පෞද්ගලික වාහන තවමත් ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිම් වල සිටින බවය.

කුමන හෝ අවස්ථාවක ඉන්ධන බව්සරයක් පැමිණ ඉන්ධන නිකුත් කෙරෙනු ඇති බව සහ ඉන්ධන ලැබෙන කුමන හෝ අවස්ථාවක ඒ ලබාගන්නට ටෝකන් පතක් ලැබෙනු ඇති බවට විශ්වාසයෙන් මෙසේ පිරිස රැඳී සිටින බවත් වාර්තාකරුවන් පවසයි .

ඒ හේතුවෙන් ඉන්ධන සැපයීම නැවත සිදුවන කාල වකවානුව පමණක් නොව , ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ජනගත කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් වාර්තාකරුවන් පවසයි .

 

කුඩා දරුවන් සිටින අම්මලාටත් : විදෙස් රැකියාවට අවස්ථාව !

වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇත.

ඒ අනුව ඉදිරියේදී අවුරුදු 05 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට බාධාවකින් තොරව රට රැකියා සඳහා පිටත්ව යාමට අවස්ථාවක් රජය විසින් සකස්කර දී ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

ගෘහ රැකියා සඳහා විදේශගත වන කාන්තා විගමනිකයින්ගේ දරුවන් වයස අවුරුදු 05ට නොඅඩු බව තහවුරු කර ගැනීමේ අරමුණින් දැනට පවතින "පවුල් පසුබිම් වාර්තාවක්" ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් සිදු කරන බව කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති අන්තර්ජාතික වාර්තා කිහිපයකම පෙන්වා දී ඇත.

එසේම ඇතැම් අවස්ථාවලදී එකී වාර්තාව ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබියදී ද ඇතැම් නිලධාරින් විසින් විවිධ හේතූන් මත එකී වාර්තා ප්‍රමාද කිරීම මඟින් විදේශගත වීමට අපේක්ෂා කරනු ලබන කාන්තාවන් අපහසුතාවන්ට පත් කරනු ලබන බවට ද කරුණු ඉදිරිපත් වී ඇත.

එම වාර්තාව ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොමැති ඇතැම් කාන්තාවන් වෙනත් නීති විරෝධී මාර්ග ඔස්සේ කිසිදු අධීක්ෂණයකින් තොරව විදේශගත වී විවිධ ගැටලුවලට මුහුණපා ඇති බවත් වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, වයස අවුරුදු දෙක (02) හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී අනිවාර්ය පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමට එරෙහිව : අලුත් නීති එයි !

අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් අලුත් නීති හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීමට අදාළව මෙරට නීති පද්ධතිය තුළ නිසි නිර්චනයක් නොමැති බව සලකා බැලීමෙන් පසුවය.

මේ බව සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි .

ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් එවැනි නඩු විභාග කිරීමට හා තීරණය කිරීමට පැහැදිලි සහ ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය කරනු නොලබයි.

ඒ හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීමේ සීමාවන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාවන් කොතෙක් ද යන්න පිළිබඳව තේරුම් ගැනීම අපහසු වී ඇත.

එසේම, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෑතකාලීනව දැඩි විවේචනයට ලක් වූ නඩු පිළිබඳව සලකා බැලීමේදී ඒ පිළිබඳ නීතිය නැවත සලකා බැලීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, යෝග්‍ය නීති හඳුන්වාදීමේ අරමුණින් ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව විසින් මූලික කෙටුම්පතක් පිළියෙල කර ඇත.

එකී මූලික කෙටුම්පත මත පදනම්ව නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනයේ ගුවන යළිත් ජාත්‍යන්තරයට !

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් නැවත ලබන 01 වෙනිදා සිට ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි .

මූලික ජාත්‍යන්තර නියාමන අවශ්‍යතාවන් සහතික කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු 2019 නොවැම්බර් මස 11 දින ආරම්භ කර ලද නමුත් කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු 2020 මාර්තු මස 15 දින සිට තාවකාලිකව අත්හිටුවා තිබිණ .

මේ බව සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එම ගුවන් තොටුපොළේ සිට දකුණු ඉන්දියානු ගමනාන්ත දක්වා කුලී ගුවන් ගමන් සහ කාලසටහන්ගත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව ස්ථාපිත කර ඇති ගුවන් සමාගම් විසින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු 2022 ජූලි මස 01 දින සිට නැවත ආරම්භ කිරීම පිළිබඳව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

Page 311 of 462