V2025

පුවත්

කොරෝනා මරණ 14,901 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 17 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,901 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු පිරිමි ආසාදිතයින් වන අතර ඉතිරි 6 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර වයස අවුරදු 30එට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 06 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 10 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (27) වාර්තා කරන ලද මෙම මරණ 17 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

27 12 21

නියුරෝසික සීගිරිය...!

ලෝකේ හොඳ දේවල් ඉතුරු වෙනවා වගේම නරක කියල හිතන හෝ හිතපු දේවලුත් ඉතිරි වෙනවා. ලෝකේ අටවැනි පුදුමය ලෙස යුනෙස්කෝව නම් කරන සීගිරිය මම හිතන්නේ අපි දන්නා ඉතිහාසයේ පාපී, නරක, අඳුරු පැල්ලමක් (evil) තුළින් මතුවූ අද්විතීය නිර්මාණයක්.

පීතෘ ඝාතනය. පණ පිටින් හිටුවා පස් ගැහීම. ඒ කාශ්‍යප ඉදිරියේ ලියවෙන දේවල්. මව් පිය ඝාතනය ආනන්තරීය පාප කර්මයක් ලෙසින් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ නම් කරන ලද දෙයක්. මම හිතන්නේ කාශ්‍යප කරන්නේ ඉතිහාසයේ විශාලම සංකේත පිළිවෙල උල්ලංඝනය. ඒක ඉතිහාසයේ ක්ෂිතියක්.

නමුත් කාශ්‍යප පැත්තෙන් ගත්තම එයාටත් හිතෙන්න ඇති නේද මමත් මිනිහෙක්, මගේ මොනවද අඩු වගේ හැඟීමක්. මම කියන්නේ එයා පුපුරා යන තරම් අනන්‍යතා අර්බුදයක ඉන්න ඇති කියල. ධාතුසේන රජ්ජුරුවන්ටත් බැරි වෙන්න ඇති ඒ වෙලාවේ තිබ්බ පිළිවෙල ඉක්මවලා (අග බිසවගේ පුතාට තමයි රාජ්‍යත්වය අයිති වෙන්නේ කියන එක) වෙනත් දෙයක් කරන්න.

එයා රාජ්‍යයත්වට සුදුසු මිනිහෙක් ලෙස පවත්නා පිළිවෙල ඇතුලේ පිළිනොගැනීම ඇතුලේ ලොකු ලැකානියානු අඩුවක් දැනෙන්න ඇති. කෙසේ හෝ පුරවා දැමිය යුතු දෙයක් ඔහු තුළ ඇතුවා ලෙස හිතෙන්න ඇති (lack = want to be). දැන් තමන් කුමක් කළ යුතුද (මම දැන් කවූද?) සහ එසේ කළ යුතු දෙය කරා ගමන් කිරීමට එරෙහිව ඇති බාධාව කුමක්ද කියන අර්බුදය ඇතුලේ ඔහු නියුරෝසික වෙන්න ඇති.

එයාට මිනිසෙක් හැටියට පූර්ණ ලෙස විකසිත වීම සඳහා ඒ පැවති සංකේත පිළිවෙල බාධාවක් වෙන්න ඇති. මේ අපි දකින නිර්මාණය බිහි වෙන්නේ ඒ නියුරෝසික අර්බුදයේ ප්‍රථිපලයක් හැටියට වෙන්න පුළුවන්.

ඒ කොහොම වුණත් ඒ අනන්‍යතා අර්බුදය ඇතුලේ බිහිවෙන දෙය තමයි වැදගත් වෙන්නේ. කාශ්‍යප හදන්නේ වෙනත් අය උත්සාහ කරපු නැති දෙයක්. ආලකමන්දාවක්. ලෞකික නිර්මාණයක්. එයාට සතුටු වීම සඳහා අවකාශයක්. අර අල්පේච්ච සරල බව වගේ බෞද්ධ අදහස් වලට වෙනස් එකක්. පවත්නා ක්‍රමයට එරෙහිව යන දෙයක්. එයාගේ අනෙකා තමයි පැවතිච්ච පිළිවෙල.

එයා වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පයෙන් නිදහස් වෙලා පූර්ණ ලෞකික අවකාශයක් නිර්මාණය කරනවා. හිතුවක්කාරී ලෙස. මම හිතන්නේ මේ වර්ගයේ එකම සහ අවසාන ලාංකික මහේෂ්ක නිර්මාණය. එදා එයාගේ රෝග ලක්ෂණය. අද ගෝලීය රෝග ලක්ෂණය.

ලාංකික සංචාරක ආකර්ෂණ වලින් අංක එකට තියන ගෝලීය නිර්මාණය කරන්න ඒ හිතුවක්කාරී බව හේතු වෙන්න ඇති. අනන්‍යතාවක් නොතිබ්බ, අනන්‍යතාවක් නොදුන්න කාශ්‍යපගේ වේදනාව මොන වගේ වෙන්න ඇතිද? පුරවන්න බැරි අඩුවක් එක්ක එයා කොච්චර නම් තැවෙන්න ඇත්ද? එයාගේ සේනාව එයාව තනි කරන්නත් ඔය සියලු දේ බලපාන්න ඇති.

නමුත් එයාගේ සේනාව එයාව තනි කරද්දී එයා සියදිවි නසා ගන්නේ සමුරායි ක්‍රමයකට.

එච්චර හිතුවක්කාර පාපී කෙනෙක්ගේ නිර්මාණයක් විදේශ විණිමය ගේන ලෝක පුදුම සංචාරක ආකර්ෂණයක් වෙයි කියල එදා මහාවංස කාරය හිතන්න නැතුව ඇති. බටහිර අයත් ආසයි පෙරදිග හිතුවක්කාරී බවට.

FB IMG 1640583755943

@ මළ ඉර බහින කොට පිදුරංගල පර්වතයට සීගිරිය පෙනෙන හැටි. එහෙම බලාගෙන ඉන්නකොට මට හිතිච්ච දේ.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

රාජ්‍ය ආයතන 05ක් ගැන : තීන්දුවක් ගැනීමේ සූදානමක් !

රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන ලෙස රජයට දන්වා තිබේ.

එහඉදි එම මණ්ඩලය වැඩිදුරටත් රජයට මෙම යෝජනාව කරන්නේ රාජ්‍ය ආයතන 527න් පහක් වන එම ආයතන සදහා රජයෙන් දෙන ආධාරද අත්හිටුවිය යුතු බවද සදහන් කරමිනි.

2006 සිට 2020 දක්වා රාජ්‍ය ආයතන 527න් 77ක් ලබා ඇති පාඩුව රුපියල් ත්‍රිලියන 1.2ක් බව රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය පවසා සිටී.

lead news

සමාගම් 10ක් පොහොර ආනයනයට ඉදිරිපත් වෙලා !

පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දී ඇති බව වාර්තා වෙයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පවසන්නේ එක් සමාගමක් යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් ආනයනයට ඇණවුම් ලබාදී ඇති බවයි.

වගාබිම් සඳහා අවශ්‍ය රසායනික පොහොර මේ වනවිට ලැබෙමින් පවතින බවද එළවළු, පලතුරු සහ විසිතුරු මල් වගාවන් සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කර ඇති බවද ඔහු පවසයි.

ඩොලර් අර්බුදයට මහ බැංකුවත් හිරවෙයි !

ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණය ලබන මස මැද දී පමණ ලබා දිය හැකි බව ද මහ බැංකුව වෙළද අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1200 ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි දෙකහමාරක පමණ මුදලක් ආනයන කරුවන්ට බැංකු හරහා නිකුත් කරන්නැයි වෙලද මාත්‍යාංශය මහ බැංකුවෙන් මීට සති දෙකකට ඉහතදී ලිඛිත ඉල්ලීමක් කර තිබිණි .

වෙළද අමාත්‍යංශය එම ඉල්ලීම කළේ එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හමුවී කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි . එම ඩොලර් ප්‍රමාණය නිදහස් කිරීමට මහ බැංකුව මුලදී එකඟතාව පළ කර තිබූ නමුත් ඒවා පසුගිය සතිය වන විටත් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් විමසීමට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මහ බැංකුවට ඉකුත් බ්‍රහස්පතින්දා ගොස් එහි අධිපති වරයාද හමුවි සාකච්ඡා කර ඇති අතර ,එම ඩොලර් ප්‍රමාණය මේ මොහොතේ නිදහස් කිරීම අපහසු බව මහ බැංකු නිලධාරීන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ .

ලබන මාසයේ ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් කෝටි 50 ක විදේශ ණය වාරික ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ,කන්ටේනර නිදහස් කිරීමට මේ මොහොතේ ඩොලර් නිදහස් නොකරන බව බව දැනගන්නට ඇත .

lankadeepa

කොරෝනා මරණ 14,871ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (24) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,871කි.

හඳුන්නෙත්තිගෙන් ජීඑල්ට ලිපියක් !

සයිප්‍රසයේ කොන්සල් කාර්යාලය වසා දැමීමේ තීන්දුව සම්බන්ධයෙන් නැවත සළකා බැලීමක් සිදු කරන ලෙස ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති විදේශ කටයුතු ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජී.එල්. පීරිස් ඇමතිවරයාට ඊයේ (24) දිනයේ ලිපියක් යොමු කරමින් ඔහු පවසා සිටින්නේ මේ වන විටත් 6000ක ට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් සයිප්‍රසයේ සේවය කරන බවත් කොන්සල් ජෙනරාල් කාර්යාලය වසා දැමීමට ගත් තීන්දුව ගැටලු සහගත එකක් බවයි.

පසුගිය දෙසැම්බර් 16 දින මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තාකර සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් විදෙස් රාජ්‍යයන් 3ක් තුළ තම රාජතාන්ත්‍රික සේවා කාර්යාල තුනක් වසා දමන බවයි. ඒවා නම් සයිප්‍රස්, නයිජීරියා හා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි පවත්වාගෙන යනු ලැබූ තානාපති මෙන්ම කොන්සල් කාර්යාල යි. මෙම තීරණයට හේතුව ලෙස ඉදිරිපත් කළේ වියදම් කපා හැරීමේ අවශ්‍යතාවයයි. කෙසේ වෙතත් ආණ්ඩුව ගනු ලැබූ මෙම තීන්දුව හේතුවෙන් එම රටවල රැකියා කරනු ලබන ශ්‍රී ලාංකිකයින් ඉදිරියේදී බරපතළ ගැටලුවලට මුහුණ දීමේ අවධානමක් මතුව තිබේ.

විදේශ කටයුතු ඇමතිවරයාට සුනිල් හඳුන්නෙත්ති යොමු කරනු ලැබූ ලිපිය පහතින්….

ජී.එල්. පීරිස් මහතා, විදේශ කටයුතු ඇමති විදේශ කටයුතු අමාත්‍යාංශය 24/12/2021

ඇමතිතුමනි,

සයිප්‍රසයේ කොන්සල් කාර්යාලය වසා දැමීම

පසුගිය දෙසැම්බර් 16 දින මාධ්‍ය වාර්තාකර සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් විදෙස් රාජ්‍යයන් 3ක් තුළ, එනම් සයිප්‍රස්, නයිජීරියා හා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි පවත්වාගෙන යනු ලැබූ තානාපති / කොන්සල් කාර්යාලය 3ක් වසා දැමීමට තීරණය කොට ඇති බවය. මෙම තීරණයට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ වියදම් කපා හැරීමේ අවශ්‍යතාවයයි.

රටක් ලෙස මෙවන් තත්වයකට පත්වීමට සිදුවීම පිළිබඳව අප කණගාටුවට පත්වන බව මුලින්ම ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම මෙහිදී අප වඩාත් අවධානය යොමු කරන කාරණයක් වන්නේ සයිප්‍රසයේ කොන්සල් කාර්‍යාලය වැසීම පිළිබදවය.

සයිප්‍රසයේ සේවය කළ හය දහසක් (6000ක්) පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දායක වූ එරට ‘සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල’ (Cyprus Social Security Fund) එම ලාංකිකයන්ට ලබා ගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දී ඇත. ඇතැම් ශ්‍රී ලාංකිකයන් හට රුපියල් ලක්ෂ 50-60 වැනි මුදලක් ලංකාවට ගෙන්වා ගත නොහැකිව ඇත. මේ තත්වයට හේතුව වී ඇත්තේ අදාල රට තුළ ක්‍රියාත්මක නීති රීති වන අතර මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත්වීම කරමින් සිටියේ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්‍යාලයයි.

කෙසේ වෙතත් සයිප්‍රසයේ පැවති මෙම කොන්සල් කාර්‍යාලය වසා දැමීම මෙම ක්‍රියාවලියට මහත් බාධාවක් එල්ල කරන බවත්, එරට දැනටමත් සේවය කරන ලාංකිකයන් තානාපති සේවය ලබාගැනීමේ දී බරපතළ ගැටළු රැසකට මුහුණ දීමට ඉඩ හැරීමක් බවත් අවිවාදිතය.

රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගැනීම අත්‍යවශ්‍ය හා විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට බලපෑමක් වන රටක රාජතාන්ත්‍රික සබඳතා මෙලෙස නවතා දැමීම සාධාරණ නොවේ. එමෙන්ම එම තීරණය හේතුවෙන් ඉහත කී සමාජ ආරක්ෂණ අරමුදල ලබා ගැනීම සඳහා මැදිහත් වන ගිණුම් හිමියන් දැඩි දුෂ්කරතාවකට පත්වන බව නොඅනුමානය. එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකොට සයිප්‍රසයේ රාජතාන්ත්‍රික ගනුදෙනු සඳහා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා කොන්සල් කාර්‍යාලය වසා දැමීමේ තීරණය යළි සළකා බලන ලෙස ඉල්ලා සිටිමු.

එසේ නොමැතිනම්, එකී සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳව කටයුතු කිරීම සඳහා විදෙස් කටයුතු අමාත්‍යාංශය තුළ හෝ නිළධාරියෙකු පත්කොට පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමු. ස්තූතියි.

මෙයට

විශ්වාසී,

සුනිල් හඳුන්නෙත්ති

දේශපාලන මණ්ඩල සභික

ජනතා විමුක්ති පෙරමුණ.

IMF නියෝජිතයන් ලංකාවට ඇවිත් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික කණ්ඩායමක් කොළඹට පැමිණ සිටියද ශ්‍රී ලංකා ආණ්ඩුව එම ආයතනයෙන් මූල්‍ය ආධාර ආධාර ඉල්ලා නිති බව වාර්තා වේ.

IMF හි ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි පවසා තිබුණේ ආණ්ඩුව ඉල්ලා සිටින්න්නේ නම් විකල්ප පිළිබද සාකච්ඡා කිරීමට තවමත් සූදානම් බවයි.

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කණ්ඩායමක් සමුලුවකට සහභාගී වීම සදහා දෙසැම්බර් 7 සිට 20 දක්වා කොළඹට පැමිණි බව නොසාකි පැවසීය.

-Mawrata

අනාරක්ෂිත ගෑස් සිලිණ්ඩර ලක්ෂ 3-4 ක් : තවමත් නිවෙස් ඇතුලේ !

අනාරක්ෂිත ගෑස් සිලින්ඩර ලක්ෂ තුනත් හතරත් අතර ප‍්‍රමාණයක් තවමත් නිවෙස් තුළ තිබෙන බව ගෑස් අනතුරු පිළිබදව සෙවීමට පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජික විශ‍්‍රාමික මහාචාර්ය ඩබ්.ඩී.ඩබ් ජයතිලක පවසයි.

මෙම අනාරක්ෂිත ගෑස් සිලින්ඩර නැවත කැදවිය යුතුව තිබුණත්, ගෑස් සමාගම් මෙතෙක් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නැති බවටද මහාචාර්යවරයා චෝදනා කරයි.

ගෑස් අනතුරු පිලිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කමිටුව ලබා දුන් වාර්තාව ජනාධිපති කාර්ය මණ්ඩලය මගින් අධ්‍යයනය කළ යුතුව තිබුණත්, මෙතෙක් ඔවුන් එම වාර්තාව අධ්‍යයනය කර තිබෙන බවක් නොපෙනෙන බවද මහාචාර්යවයා පවසයි.

ගෑස් සංයුතිය වෙනස් කළද, මර්කැප්ටන් ප‍්‍රමාණය නිසි ලෙස පැවතියානම්, සිද්ධ වුණු අනතුරුවලින් 50% ක්වත් වළක්වාගත හැකිව තිබුනු බවද මහාචාර්යවරයා පවසා තිබේ.

හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ ගුණරත්න වීරකෝන් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට 74 වන වියෙහි පසු වූ හිටපු අමාත්‍යවරයාගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර හෙට අවසන් කටයුතු කිරිමට නියමිත බව පවුලේ ඥාතීන් දන්වා සිටියි.

1947 නොවැම්බර් 10 දින උපත ලද ගුණරත්න වීරකෝන් ගාල්ල, කරන්දෙනිය මධ්‍ය මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර සිය ප්‍රථම උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලදී.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිය දේශපාලන ගමන ආරම්භ කරමින් 1994 වසරේදී දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් විය. එසේම කරණ්දෙනිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ එතුමා 2004 දී පාර්ලිමේන්තුවට තේරී පත්විය.

2004 සිට 2015 දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ගුණරත්න වීරකොන් මහින්ද රාජපක්ෂ රජය යටතේ ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ජාතිය ගොඩනැගීමේ කැබිනට් නොවන අමාත්‍ය, ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආදී අමාත්‍යධූරවල කටයුතු කරන ලදී.

2015 යහපාලන රජයේ මෛත්‍රී පාර්ශවය සමග එක්වූ එතුමා පසුව පැවැති මහමැතිවරණයෙන් පරාජයට පත් විය.

පොලිස් වෙඩි තැබීමකින් පොලිසියේම 04ක් මරුට

ඊයේ (24) රාත්‍රියේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ වෙඩි තැබීමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මරුමුවට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

ඊයේ රාත්‍රී කාලයේ අදාල වෙඩිතැබීම කර ඇත්තේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට ම අනුයුක්ත පොලිස් සැරයන්වරයකු විසිනි.

මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් පොලිස් මූලස්ථානය විසින් සඳහන් කර ඇත්තේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිටි අදාල සැකකාර පොලිස් සැරයන්වරයා විසින් එම පොලිස් ස්ථානයේ ම සේවය කරමින් සිටි පොලිස් නිළධාරීන් පිරිසකට කළ වෙඩිතැබීමෙන් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

වැඩිදුරටත් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම වෙඩිතැබීමට හේතුවී ඇත්තේ, රාජකාරි නිවාඩු පිළිබඳ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම බවයි.

ඊයේ රාත්‍රියේ සිදුකළ එම වෙඩි තැබීමෙන් ඊයේම පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර අද උදෑසන තවත් එක් නිලධාරියෙක් මියගොස් ඇති බව පොලිසිය වාර්තා කළේය.

මෙහිදී වෙඩිවැදී තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් දෙදෙනෙක් කල්මුණේ අෂ්රෝෆ් අනුස්මරණ රෝහල වෙත ඇතුළත් කර ඇත. අද මීට ස්වල්ප වෙලාවකට පෙර මියගොස් තිබුණේ මේ තිදෙනාගෙන් අයෙකු බව වාර්තා වේ.

පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් අයෙක් මේ වනවිට රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින අතර අසාධ්‍ය තත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.

කෙසේ නමුත් මෙම වෙඩිතැබීමෙන් අනතුරුව අදාළ පොලිස් සැරයන්වරයා T56 ගිනිඅවි දෙකක් සහ පතුරම් ගැබ් 19 ක් සමග ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගොස් භාර වී ඇතැයි ද වාර්තා වේ.

1640402390 p L

ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට නොහැකි වෙලා - කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබන්නේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පවසති.

කාදිනල්වරයා මේ බව සඳහන් කළේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගිවෙමිනි.

මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.

රට දියුණු කිරීමට නම් සමාජ පරිවර්තනයක් හා විප්ලවීය වෙනසක් සිදුවිය යුතු බවත් පවතින ගමන් මාර්ගය වෙනස් කිරීම අනිවාර්ය බවත් කොළඹ අගරදගුරුවරයා සඳහන් කරයි.

සැබෑ නත්තල යනු කා-බී ජොලි කිරීම නොව ගව මඩුවේ සහ කුරුසියේ පණිවුඩය තේරුම් ගෙන එකිනෙකාට උපකාර කරගනිමින් කටයුතු කිරීම බවද කාදිනල් හිමි ‍ පෙන්වා දෙයි.

ජනාධිපති ඇන්දූ හතර දෙනෙක් ගැන හිටපු ලේකම් කියන කතාව

සමස්ත ශ්‍රී ලංකාවම මහත් අර්බුදයකට ඇද දමා මෙරට ගොවිතැන එකරැයින් කාබනික ගොවිතැනකට හැරවීමේ තීන්දුව මෝඩ තීන්දුවක් බව පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තනතුරින් ඉවත් කරනු ලැබූ මහාචාර්ය උදිත ජයසිංහ පවසයි.

ජනාධිපතිවරයාට මෙම තීන්දුව ගැනීමට පොළඹවනු ලැබුවේ පුද්ගලයින් හතර දෙනෙකු විසින් බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා, පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සභාපති පාලිත වීරක්කොඩි යන අය ඊට වගකිව යුතු බවයි. ඉදිරියේදී අනිවාර්යයෙන්ම රට තුළ සාගතයක් ඇති වන බවත් එහි වගකීම මෙම උපදේශකයින් හතර දෙනා විසින් භාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වමින් කවුරු කුමක් කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවත් ජනාධිපතිට වුවද යමක් පැවසීමේ සීමාවක් ඇතැයි පවසයි. චීනය සමග සිදු කළ පොහොර ගනුදෙනුව අතිශයින්ම සැකසහිත බව පවසන හිටපු ලේකම්වරයා චීනය ගැන සිතා පොහොර ගැන සානුකම්පිතව බලන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලීම් කළත් තමන් ඊට අකමැති වූ බව ඔහු පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තනතුරින් පසුගියදා ඉවත් කරනු ලැබූ මහාචාර්ය උදිත ජයසිංහ මේ අදහස් පළකර සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

ජවිපෙ ශ්‍රීලනිපයට කොකා පෙන්නයි !

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට ජනතා විමුක්ති පෙරමුණේ සූදානමක් නැතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවීමට සුදානම් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පෙරේදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා ඊයේ මේ බව අවධාරණය කළේය.

නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ යෝජනාවට ස්තූතිය පුදන බවත්, එහෙත් වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් පවසන ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා, එහෙත් වෙනත් පක්ෂවල දුෂිතයින් නොවන පුද්ගලයින් ඒකරාශිකර ගැනීමට සුදානම් බවද කියා සිටියේය.

කොරෝනා මරණ 14,852 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (23) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,852කි.

කොවිඩ් නිසා පිරිමි වඳ වෙයිද?

කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ.

කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු ඇතැ යි බියෙන් එන්නත ලබා නොගත් පිරිසක් ද සිටියත්, මෑතක දී ප්‍රකාශයට පත්කෙරුණු නවතම අධ්‍යයනයකින් පෙනී යන්නේ කොවිඩ් රෝගය වැළඳුණු පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවනබව යි.

කොවිඩ් ආසාදනය වී සුවවූ බෙල්ජියම් ජාතික පුරුෂයින් 120 දෙනෙකු සහභාගීකර ගෙන සිදුකළ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත්තේ, කොවිඩ් ආසාදනයෙන් මසකට අඩු කාලයකින් පරීක්‍ෂා කළ විට පර්යේෂණයට සහභාගී වූවන්ගෙන් 60%කගේ ශුක්‍රාණුවල මධ්‍යන්‍ය චාලක හැකියාව අඩු වී තිබූබව යි.

කොවිඩ් ආසාදනය වීමෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට ශුක්‍රාණුවල චාලක හැකියාව අඩු පිරිමින්ගේ ප්‍රතිශතය 37%ක් වූ අතර, මාස දෙකකට පමණ පසු මෙම අගය 28%ක් විය.

මෙම අධ්‍යයනය මඟින් අනාවරණයකර ගත් තවත් කරුණක් නම් කොවිඩ් ආසාදනයෙන් පසු පුරුෂයින්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ගණත්වය ද පහළ බසින වග යි.

 106217535 106169719 gettyimages 866635964 2.jpg

කොවිඩ් ආසාදනය වී මසක් තුළ පරීක්‍ෂා කළ විට, පර්‍යේෂණයට සහභාගී වූ පිරිමින්ගෙන් 37%කගේ මධ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය ද පහළ බැස ඇතිබව නිරීක්ෂණය කෙරිණි.

රෝගය ආසාදනයෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට පිරිමින්ගෙන් 29%ක් දෙනාගේ ශුක්‍රාණු ගණත්වය අඩුවී තිබූබව ද, මාස දෙකකට පසුව ද පිරිමින්ගෙන් 6%කගේ ශුක්‍රාණු ගණත්වය අඩුවූබව ද පර්යේෂකයින් විසින් අනාවරණය කෙරිණි.

 උණ රෝගයන් හේතුවෙන් ශරීරයේ ඇතිවන උෂ්ණත්ව වෙනස්වීම් නිසා ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් ආසාදන තත්ත්වයන්ගෙන් පසුව ද මෙසේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ අඩුවීම් නිරීක්ෂණය කළ හැකිවුවත්, කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් ගත්කල උණ හේතුවෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් නිසා මෙසේ සිදුවනු විය හැකිබවට පර්යේෂකයින් මත පළකරයි.

පර්යේෂකයින් ඇස්තමේන්තුගත කරන්නේ මෙම ගැටලුව මාස තුනක් වැනි කාලයක් තුළ සාමාන්‍ය අතට හැරෙනු ඇතිබව යි.

කෙසේ නමුත්, මෙය තහවුරුකර ගැනීමටත්, පිරිමින්ගෙන් සුළුතරයකට හෝ ස්ථිර හානියක් සිදුව ඇත්ද යන්න නිශ්චය කිරීමටත් වැඩිදුර අධ්‍යයනයන් සිදුවෙමින් පවතියි.

පසුගිය මැයි මාසයේ ද කොවිඩ් සහ පුරුෂයින්ගේ සරුභාවය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් 'ඒෂියන් ජර්නල් ඔෆ් ඇන්ඩ්‍රොලොජි' සඟරාවේ පළවිය.

කොවිඩ් වැළඳී සුවවූ පුරුෂයින් 41 දෙනෙකු යොදාගෙන සිදුකළ එම පරීක්ෂණයෙන් ද හෙළිවූයේ, කොවිඩ්-19 වැළඳී නැති පාලක කණ්ඩායම සමග සසඳන විට කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින්ගේ මුළු ශුක්‍රාණු සංඛ්‍යාව, ශුක්‍රාණු සාන්ද්‍රණය, සහ ක්‍රමානුකූලව චලනය වන ශුක්‍රාණුවල ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුව තිබූබව යි.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ කොවිඩ් සුවවී රෝහලෙන් පිටවීමෙන් දින 56ක පමණ කාලයකින් පසු ය.

ඉන් දින 29කට පසු දෙවන වර පරීක්ෂා කළ විට මෙම අගයන් සාපේක්ෂ වශයෙන් ඉහළගොස් තිබූබව ද පර්යේෂකයින් සඳහන් කරයි.

පිරිමින්ගේ සරුභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට පුරුෂයින්ගේ නිසරුභාවයට බහුලවම බලපානා හේතූන් වන්නේ ශුක්‍රාණු පිටකිරීමේ ගැටලු, ශුක්‍ර තරලයේ ශුක්‍රාණු අඩංගු නොවීම හෝ ඉතා අඩු ප්‍රමාණයකින් අඩංගු වීම, සහ ශුක්‍රාණුවේ අසාමාන්‍ය හැඩය හෝ චලිතය යි.

ජනවාරියේ දී ලැන්සට් වෛද්‍ය සඟරාවේ පළවූ ලිපියකට අනුව, ලොව පුරා නිසරුභාවයෙන් පීඩා විඳින යුවල සංඛ්‍යාවෙන් 50%කම පාහේ නිසරුභාවයට පුරුෂයාගේ නිසරුබව හේතු වී හෝ දායක වී ඇත.

BBC

 

වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දින 04 ක් පුරා පැවති දීප ව්‍යාප්ත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද  සඳහන් කළේ, අද (24) පස්වරුවේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු එම තීරණයට එළැඹී බවයි.

වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුකරණ බව පවසමින් ඊට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවාදා දිනයේ සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරිණි.

වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද දිනයේද රෝගීන් දුෂ්කරතාවට පත්වුණි.

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි  අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී ඇත.

අද (24) පෙරවරුවේ කළුආරච්චිගේ දිවුරුම් දීම සිදුව ඇත්තේ, ජනාධිපති කාර්යාලයේදී ය.

අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි  කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිසියේ ය.

විකුම් අතුල කළුආරච්චිගේ වසර 33ක සේවා කාලයෙන් වසර 27ක් මහේස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ මහතා මහාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරාය ද වේ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග  මේ අවස්ථාවට එක්ව සිට ඇත.

1640335874 PMD L

Page 314 of 388