V2025

පුවත්

කොරෝනා මරණ 14,661ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 20ක් අද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,661ක් දක්වා ඉහළගොස් ඇත.

මෙම නව මරණ අතර වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් සිටින අතර ඒ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බව වාර්තා කර තිබේ.

එසේම 30ත් 59ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු ද මෙම මියගිය පිරිස අතර සිටින අතර 60ට වැඩි පුද්ගලයන් 16ක් මියගොස් ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් කර ඇත.

මහ බැංකුවට එරෙහිව නීතිඥ සංගමය අධිකරණයට !

මූල්‍ය කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතිඥ, සාලිය පීරිස් මහතා සහ එම සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, එම බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අය නම් කර තිබේ.

පෙත්සම්කාර සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥවරුන් සිය සේවාදායකයින්ගෙන් අය කරනු ලබන ගාස්තු ශ්‍රී ලංකාව තුළදී සහ ඉන් පිටත දී විදේශ මුදල්වලින් මෙතෙක් ලබා ගෙන තිබෙන බව පෙත්සමේ සඳහන් වේ.

ඒ සඳහා පුද්ගලික නේවාසික මුදල් ගිණුම සහ විදේශ තැන්පතු ගිණුම යනාදී ගිණුම් දෙකෙන්ද, වානිජ බැංකු ගිණුම් හරහා ද සෘජුම විදේශ මුදල් ලබා හැකියාව පැවැතුණි.

එසේ තිබියදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මූල්‍ය පනතේ 10.1 වගන්තිය යටතේ 2251/41 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, එම ගැසට් නිවේදනය මඟින් බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර ඇතැයි පෙත්සම්කරුවන් චෝදනා කළේය.

තම සංගමයේ සාමාජිකයින්ගේ කිසිදු කැමැත්තකින් තොරව මෙසේ ඔවුන්ගේ ගිණුම්වලට එවන විදේශ මුදල් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්ථනය කිරීමට නියෝග කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(මව්රට )

ආනයන සීමා තවදුරටත් : මුදල් ඇමති කැබිනට් එකට කියලා !

රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

ඒ අනුව ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවත් මුදල් ඇමති ප්‍රකාශ කර ඇත.

ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමති බැසිලි රාජපක්ෂ එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර තිබේ.

තමා ඉන්දියාවට ගොස් එරට රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයිද ඔහු ප්‍රකාශ කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත.

ආණ්ඩුව පෙරළන ආණ්ඩුවේ දෙතුන් දෙනක් !

2015දී මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට කටයුතු කළ පුද්ගලයන් කිහිපදෙනෙකු වත්මන් ආණ්ඩුවේද හිදිමින් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමිනින්ය.

ඒ අනුව එම පිරිස වහාම ආණ්ඩුවෙන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.

“මේ කුමන්ත්‍රණ කාරයන් දෙතුන්දෙනාට ගහලා හරි පන්නා දැමිය යුතුයි. බංකොලොත් දේශපාලකයන්ට නැවත මතුවීමට ඉඩ තැබිය යුතු නැහැ.”

ලිට්‍රෝ අලුත් ආනයනික ගෑස් තොගයෙත් අවුලක් !

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් නිසි ප්‍රමිතියෙන් තොර බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි වාර්තා වෙයි.

ගෑස් කාන්දු වලදී විශේෂ ගන්ධයක් ඇති වීම වෙනුවෙන් එක් කරන එතිල් මර්කැප්ටන් රසායනික ප්‍රමාණය පහළ මට්ටමක පවතින බව එහිදී හෙළි වී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී මෙම තත්ත්වය හෙළි වී ඇත.

එමෙන්ම එහි ප්‍රොපේන් 29%ක් හා බියුටේන් 69%ක් පවතින බව ද හෙළි වී ඇත.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගෑස් නැව් කිහිපයකම සාම්පල පරීක්ෂා කිරීම වන විට සිදුවෙමින් පවතී.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ ප්‍රමිතියෙන් තොර බව හෙළි වුවහොත් ඒවා නැවත ප්‍රති අපනයනය කරන බවයි.

සංජය නිසා පුරප්පාඩු වූ BOI සභාපති ධූරයට රාජා එයි !

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කර පසුගියදා ඉල්ලා අස්වූ සංජය මොහොට්ටාල නිසා පුරප්පාඩු වූ ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය සදහා රාජා එදිරිසූරිය පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

හිටපු සභාපති සංජය මොහෙට්ටාල පසුගිය සතියේ සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර තිබූ අතර ජනාධිපතිවරයා එය පිළිගැනීමට පියවර ගෙන තිබුණේ නැත.

නමුත් නැවත ජනාධිපතිවරයා හමුවූ සංජය මොහොට්ටාල තමන් ඉල්ලා අස්වන බව යළි ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව පුරප්පාඩුව වෙනුවෙන් රාජා එදිරිසූරිය මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබූ බව ජනාධිපති කාර්‍යාල ආරංචි මාර්ග පවසයි.

සියල්ල ආණ්ඩුවට බෑ : ජනතාවත් කැපකිරීම් කරන්න - ගොඩහේවා

සියළුම ප‍්‍රශ්න රජය මත නොපටවාල අපිත් යම් කැප කිරීමක් කරමු’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කටාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මෙසේද පැවසීය.

‘2022 වසරට එනකොට රජය කල්පනා කරලා තිබෙනවා, විශාල දුෂ්කරතා මධ්‍යයේ උවත් අපි පුළුවන් තරම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලා ජනතාවට යම්කිසි සහනයක් දෙන්නට ඕනේ කියලා. හැම කෙනෙකුටම සහන දෙන්න බැරි උනත් විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන උත්සාහවන්ත අයට අපි උදව් කරන්න ඕනේ කියලා තීරණයක් අරන් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් ගමට වෙන් කරපු අයවැය තමයි මෙවර අපේ මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ ගම්වලට විශාල ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් එනවා. හැබැයි ඒ ප‍්‍රතිපාදන ආවහම ඒවා ප‍්‍රයෝජනවත් ආකාරයට යොදවා ගැනීම මේ ප‍්‍රතිලාභ ලබන අයගේ වගකීම වෙනවා.

ලෝකයේ අනෙක් රටවල අර්බුද ඇති වූ වෙලාවල ඒ රටවල් ආපහු ගොඩනැගුවේ දේශපාලනඥයෝ තනිවම නෙමෙයි. දෙවන ලෝක යුද්ධයෙන් යුරෝපය විනාශ වෙලා ගියහම ජර්මනියද, ප‍්‍රංශයද, එංගලන්තයද, හැම රටක්ම අලූ දූලි වෙලා තිබුණේ දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කොට. ඒ රටවල් සියල්ල තව අවුරුදු 20ක්, 30 ක් යනකොට ලෝකයේ බලගතුව රටවල් ලෙස සංවර්ධනය වුණේ ඒ රටවල්වල ජනතාවගේ කැපවීම නිසා. තමුන්නාන්සේලා හැමෝම දන්න උදාහරණය ජපානය, යුද්දෙන් පැරදිලා විනාශවෙලා තිබුණ ඒ රට නැවත ගොඩනැගුවේ ඒ රටේ මිනිස්සු. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ජීවත්වෙලා හිටපු මිනිස්සු පැය විසිහතරම වැඩ කළා. වැඩ කරලා මුළු ලෝකයටම ගෙනයන්න පුළුවන් ව්‍යාපාර ගොඩනැගුවා. මුළු ලෝකයම ඇල්ලූවා. අවුරුදු 30 ක් 40 ක් යනවිට ලෝකයේ ප‍්‍රභලතම රටක් බවට පත්වුණේ ඒ රටවල ජනතාවගේ කැපවීම නිසා.

අපි ලංකාව ගැන කතා කරන කොට අපි පුංචි කාලේ, කොරියාව කියලා කියන්නේ නගරයේ තිබෙන අපිරිසිදු දුප්පත්ම ප‍්‍රදේශයට. ඒ මොකද කොරියාව කියලා කියන්නේ ඒ තරම් දුප්පත් රටක්. අද ගිහින් බැලූවොත් කොරියාව අද දියුණුතම රටක්. යුරෝපයේ ඕනෙම රටකට සංසන්දනය කරන්න පුළුවන්. ඒ රටවල් ගොඩනැගුවේ ඒ රටවල මිනිස්සු උත්සාහවන්ත නිසා. 1975 වෙනකම් යුද්ධ කර කර හිටපු වියට්නාමය, නාපාලම් බොම්බය ගහල විනාශ කරපු වියට්නාමය, තරුණ පරපුරෙන් භාගෙකට වඩා මියගිය වියට්නාමය අද ලෝකයේ ආසියාවේ තිබෙන වේගයෙන්ම සංවර්ධනය වන රටක්. මම අත්දැකීමෙන් දන්නවා මොනතරම් උත්සාහවන්තද කියලා ඒ මිනිස්සු.

කොරෝනා මරණ 14,641ක් දක්වා ඉහළට

කොවිඩ් මරණ 27ක් වාර්තා වී තිබේ.

එම මරණ ඊයේ (12) තහවුරුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

මියගිය අය අතර අවුරුදු 30-59ත් අතර 13දෙනෙක්,අවුරුදු 60 සහ ඊට වැඩි 13ක් සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් වේ.

ඉන් 14දෙනෙකු පිරිමි අය වන අතර ඉතිරි 13දෙනා කාන්තාවන්ය.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 14,641කි.

ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර මහේලට

මහේල ජයවර්ධන  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, අදාළ කොන්ත්‍රාත්තුව ජනවාරි මස 01 වැනි දා සිට වසරක් බවයි.

මෙහිදී ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්ට සහයෝගය දක්වමින්, ඉදිරි වසරේ දී සැලසුම් සකස් කිරීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම මහේලගේ කාර්ය වනු ඇති.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් කටයුතු කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මහේල සතුට පළ කර ඇති අතර, ඔහුගේ සේවය ලබා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සතුට පළ කර තිබේ.

IMF යන්න වෙනවා : දයාසිරි කියයි !

ඉන්දියාව , චීනය වැනි රටවල් රටවල් ශ්‍රී ලංකාවට උදව් කිරීමේ තත්ත්වය ටිකක් අඩු වී ඇති බවක් පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ඒ හේතුවෙන් මේ මොහොතේ විකල්පයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බව තම පුද්ගලික අදහස බවද ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව අදහස් දක්වා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.

කෙසේ වෙතත් පක්ෂ ලෙස තවම ඒ පිළිබඳව සාකච්ඡා නොකළ බවත් පක්ෂයේ අදහස් ගණනාවක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ පිළිබඳව අවසන් මතයක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

IMF ගියොත් වෙනදේ මෙන්න : පෙරටුගාමීන් කියයි !

ආණ්ඩුව විසින් IMF ණය ගැනීමට ගන්නා උත්සාහය විපක්ෂයේ නායකයන්ද අනුමත කරන තත්වය තුළ ණය කන්ද ඉහළ යාමෙන් හා ආර්ථික පීඩාව වැඩිවීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වීමට නියත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනතුරු අඟවයි.

සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව පැවසුවේ අද(13) නුගේගොඩ, පෙ.ස.ප. කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව විසින් ලබා ගත් ණය සඳහා පොලී සහ වාරික මෙන්ම ස්වෛරී බැඳුම්කරවලට ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණවත් නොමැතිකම නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගැනීමට තීරණය කර ඇති බව පෙන්වා දෙමින් ඔහු දැක්වූ අදහස් මෙසේය.

“ආණ්ඩුවට IMF වෙතින් ණය ගැනීමට දැන් විපක්ෂයේ සියලු කණ්ඩායම් විවෘත ලෙස බලපෑම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙනවා. පසුගිය කාලයක් ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති මාර්ගයේම යමින් ණය කන්ද ජනතාව මත පැටවීම මිස ආර්ථික වැඩපිළිවෙළක් හරහා අර්බුදය විසඳන තත්වයක් පාලකයන්ට නෑ.

1975 ෆිලික්ස් ඩයස් බන්ඩාරණායක විසින් ගෙන ආ යෝජනාවක් වුවත් 1977 ජේ ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කළ වෙළඳපොළ ආර්ථිකය නැතහොත් නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ රරටේ ආර්ථිකය අද මුහුණ දෙන අර්බුදයට ඇද වැටී තිබෙනවා. මේ දක්වා රට පාලනය කළ පාලක කණ්ඩායම් මේ වන විට ආර්ථිකය ඇද වැටී ඇති අර්බුදයට මෙන්ම ජනතාව මුහුණ දෙන ප්‍රතිඵලවලට වග කිව යුතුයි වගේම දැන් මේ ණය ගන්න වෙත යන්න උපදෙස් දෙන නායකයන්, ඉදිරියේදී ඒ නිසා ඇතිවන ජනතා පීඩාවටත් වගකිව යුතු බව අපි කල්තියාම කියනවා.

මේ වනවිට මුල්‍ය අරමුදලට යන්න කියලා විපක්ෂ කණ්ඩායම් පවසා තිබෙනවා. නමුත් මුල්‍ය අරමුදලෙන් ණය ගන්නා විට කොන්දේසි පැමිණවීමක් සිදුවන බවත් එහිදී සිදුවන සුබසාධන කප්පාදුව, රාජ්‍ය සේවය හැකිලවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා ‌ෞද්ගලිකකරණය වැනි ප්‍රතිඵල නිසා නැවත වරක් ජනතාව බැට කනුනට නියමිතයි. ඒ නිසා මේ සැරේ ආණ්ඩුව මුල්‍ය අරමුදලට යන්නෙ විපක්ෂයේ ආශිර්වාදය ඇතිව. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයත් කියන්නෙ දැන් නම් මුල්‍ය අරමුදලට නොගිහින් බෑ කියලා. මුල්‍ය අරමුදලට නොගිහින් ඉන්න තරම් අමුතු දේශප්‍රේමයක් නෑ. බොරු දේශප්‍රේමය පෙන්නුවට මේ අය අවශ්‍ය වුණාම ජනතා අයිතිවාසිකම් කප්පාදු කරමින් මුල්‍ය අරමුදලට අවශ්‍ය කොන්දේසි ඉටු කරනවා. නමුත් මේ වෙලාවෙ ආණ්ඩුව ඒක කරද්දි විපක්ෂයෙත් ආශිර්වාද අරගෙන කරන්නෙ. ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස විපක්ෂය විසින් වැඩපිළිවෙලක් යෝජනා කරන්නෙ නෑ. ඔවුන් ගෙන එන උත්තරය මුල්‍ය අරමුදලින් ණය ගන්න එකයි.

ඒ අය සියලු දෙනාම එකම වැඩපිළිවෙළක් ලෙස සමාන අදහස් දරණ බව පිළිගන්න පුළුවන්. සමාගි ජන බලවේගයේ සජිත්, එ.ජා.ප.යේ රනිල්, ශ්‍රීල.නි.ප. මේ සියලු දෙනා නව ලිබරල් ආර්ථික පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පක්ෂ අය. නමුත් ජාතික ජන බලවේගයේ යෝජනාවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගන්න එක නමු, ඒ අයගෙ වැඩපිළිවෙළයි අනෙක් විපක්ෂ වැලපිළිවෙළ අතර වෙනස මොකක්ද? අපි අහන්නෙ මේ විසඳුම් දෙන්නෙ ජනතාවගේ ආර්ථික ගැටලු වලටද නැත්නම් මේ ආර්ථික අර්බුදය නිසා ඇතිවන පාලකයන්ගෙ අර්බුදයටද?

දැන් මේ අය පෙළියට ඉඳගෙන IMF යන්න කියලා ගායනා කරලා ඒකෙ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කරන කොට, මහජන සුබසාධන කප්පාදු කරනකොට, අධයාපනයට සෞඛ්‍යට කප්පාදුව ගේනකොට ඒකට විරුද්ධව බොරුවට නාහෙන් අඬන්න එපා. ඒ සඳහා විරෝධය දක්වද්දි බොරුවට IMF විරෝධී බෝඩ් අල්ලන්න එන්න එපා. ඒක තමයි දේශපාලනයෙ තියෙන නරකම තක්කඩිකම. තමන් කරනකොට හොඳයි, අනුන් කරගොට හොඳ නෑ කියලා මේ අය බොරු උද්ඝෝෂන කැඳවන්නෙ. ජනතාව මේ කප්පාදු කිරීම්වලට විරෝධය පළකරනකොට ඒ විරෝධය ගසා කමින් මැතිවරණ වලදි බලය ගන්න විතරයි මේ බොරු විපක්ෂය සටන් කරන්නෙ. බලය අරගත්තම ආපහු මේ පිළිවෙතමයි ක්‍රියාත්මක කරන්නෙ.

අපි ජනතාවට කියන්නෙ මේ ව්‍යාජ විරෝධතා දේශපාලනයට රැවටෙන්න එපා. මේ අය ජනතාව වෙනුවෙන් කියලා ගෙන යන ව්‍යාජ දේශපාලන රැවටිලිවලට හසු නොවී ඇත්ත ජනතා බලයක් වෙනුවෙන් සංවිධානය වෙමු, IMF ණය ගැනීමට ආණ්ඩුව තීරණය කළාම නැවත වරක් ජනතාවගේ විශේෂයෙන් වැඩකරන ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම් ඉදිරියට පැමිණීමට නියමිතයි. දැනටමත් විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ධ සංවාදයක් පැමිණ තිබෙනවා. ඒ ආකාරයෙන් ජනතා අයිතිවාසිකම් අහිමි කිරීම් ඉදිරියේත් පැමිණෙන විට මේ පාලක කණ්ඩායම් වගේම ව්‍යාජ විරෝධතා පරාජය කරලා සැබෑ ජනතා බලයක් වෙනුවෙන් කටයුතු කරමු, මේ ජනතා විරෝධී ආර්ථික පිළිවෙත වගේම ජනතා විරෝධී දේශපාලන සෙල්ලම නවත්වන සැබෑ ජනතා බලයක් වෙනුවෙන් ඒකරාශි වෙමු කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා.

ජනතාව අද මුහුණ දෙන ජීවන දුෂ්කරතා මේ පාලක කල්ලි විසින් ගෙන ගිය ආර්ථික පිළිවෙත්වල ප්‍රතිඵලයක් නිසා නැවත ඔවුන්ගෙන් විසඳුම් සොයනවාට වඩා ජනතා බලයක් ගොඩනඟමින් ආර්ථික වැඩපිළිවෙළක් තුළින් විසඳුම් සෙවීම පිණිස ක්‍රියාකාරී විය යුතු ජනතාවයි. ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඇත්තේ ඔවුන් මේ රටේ ආර්ථිකයේ තීරකයන්, මෙහෙයවන්නන් බවට පත්වන ආර්ථික-දේශපාලන ක්‍රියාකාරිත්වයකින් පමණයි.”

ඉස්සරහට වෙන්න යන දේ බන්දුල හෙළිකරයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් ගිවිසුමක් ඇතිකර ගතහොත් එම අරමුදල ප්‍රතිපත්තිමය කොන්දේසි සඳහා එකඟ වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය

එනිසා එම අරමුදලේ සහයෝගය ලබා ගන්නේ නම් ඊට ප්‍රථම ශ්‍රී ලංකාව විසින් සලකා බැලිය යුතු කරුණු බොහෝමයක් තිබෙන බවත් එමෙන්ම පුළුල් සංවාදයක් රට තුළ ඒ ගැන ඇති කළ යුතු බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ වෙළඳ අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීම ඒ වෙනුවෙන් සේවක වැටුප් හා මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමට සිදුවන බවත් පැවසූ ඔහු ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවද සඳහන් කළේය.

නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත් ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ජනතාව ඊට කැමති දැයි විමසා බැලිය යුතුව ඇති බව ද පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සඳහා එකඟ වුවහොත් ඇතිවන තත්ත්වයන්ට ජනතාවගේ කැමැත්ත ගැන විමසිලිමත් විය යුතු බවද සඳහන් කළේය.

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?

රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි.ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා.මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්.අමු කැවිලි වගේ කියවනවා.ඇඟට දැනෙන දේ ඔළුවට ගන්නේ නැතිව ඔහේ කියවනවා.

දැන් විදුරත් කියන්නේ මෙහෙම ගියොත් මේ ආණ්ඩුව පුපුරලා යන්න පුළුවන් කියලා.ඒ විතරක් නෙවෙයි විජේදාසත් ඊයේ පේරේදා කිව්වා තව සති තුනකින් ලොකු සාගතයක් එක්ක ජනතා නැගිටීමක් එනවා කියලා. හැබැයි මේ ඔක්කොමලා 20 ටයි,අයවැයටයි අතර උස්සපු අය.අද ආණ්ඩුවේ කාගෙන් ඇහුවත් ඉතින් අහන්න තියෙන්නේ අඬවැඩියාවක්ම තමයි.ඕක මොකද්ද අනේ අර මොළ හතේ විද්වතාත් අඩනකොට.අනිත් අය ගැන කවර කතාද?එයත් මුදල් ඇමති වෙච්චි කාලේ දුන්න බ්‍රහ්මදත්ත ටෝක්ස් දැන් නෑ. සාගතයක් නං එන්න දෙන්නේ නෑලු. කොහොම හරි කන බොන ටික ගෙනත් දෙන්නම්ලු.හරියට sales rep කෙනෙක් වගේ. දැන් එයා රටට අරපිරිමැස්ම උගන්වනවා. හිතලා බලන්න කවුද මේ අපට අරපිරිමැස්ම උගන්නනේ කියලා?හොදට මතක තියාගන්න.මේ තමයි ලෝකෙන් ණය අරන් ශත පහකට වැඩක් නැති නෙළුම් කුළුණු හදපු අය.මහ කෑලේ සම්මන්ත්‍රණ ශාලා හදපු අය, ගොවියට වතුර ටික නොදී රළපනාව උඩ Jogging Track හදන්න යෝජනා කළ ආර්ථික විශේෂඥයා.

ඇත්තටම අර අපේ සූපවේදී පබිලිස් සිල්වා මහත්තයට කිව්වා නං ඔයිට වැඩිය හොදට රටට අරපිරිමැස්ම ගැන කියා දෙයි.ඒ මනුස්සයා කියන්නේ බොහෝම වැදගත්, නිහතමානී මනුෂ්‍යයෙක්.තමන් දන්න දේ ජීවිතයට එකතු කරගෙනම ඒ ආදර්ශය රටට දුන්න කෙනෙක්.බැසිල්ලා වගේ නොදන්න, නොරකින ඒවා ගැන බොරු බයිලා ගහපු කෙනෙක් නෙවෙයි.විජේදාස රාජපක්ෂ නං කියන්නේ බැසිල්ට මොළ හතක් තියෙන්නේ හත පාස් නිසාලු.අයියෝ එහෙම අපහාස. හැබැයි රටේ රාළ එච්චරම පහලට බැසිල්ව දාන්නේ නෑ.අඩුම ගානේ අට පාස් ලෙවෙල් එකේ හරි තියනවා.මොකද බැසිල් තවම සටන අතෑරලා නෑ.ඔළුව නැතත් කද ෆයිට්.තවම උත්තර හොයනවා.සමහරක් ඒවට තාවකාලික උත්තරත් හොයාගෙනත් තියනවා. මෙතනදී බැසිල් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියනවා.එකක් තමයි ආර්ථිකය පුපුරා යෑම නතර කර ගැනීම.අනික ආණ්ඩුව පුපුරා යෑම නතර කර ගැනීම.

මේක හරියට දැන් දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් මැදින් බැසිල් අල්ලගෙන ඉන්නවා වගේ වැඩක්.මෙතනදී මහින්ද ඉන්න තත්වයත් එක්ක එයා මේකට සක්‍රීයව දායක වෙන්නේ නෑ.හැබැයි මහින්දට මේකට සක්‍රීයව දායක වෙන්න පුළුවන් නම් මීට වඩා පොඩි දෙයක් හරි කරයි.ජනාධිපති ගෝඨාභයට මේක තේරෙන්නේ නෑ.ඒක නිසාම ඒ දෙන්නාටම යැපෙන්න සිද්ද වෙලා තියෙන්නේ විජේදාස කියන හත පාස් බැසිල් මත.බැසිල් එක්ක තවත් පොඩි කණ්ඩායමක් ඉන්න බව පේනවා.පී.බී.කබ්රාල්,ආටිගල,ඔය වගේ පිරිසක්.හැබයි එයාලත් එකාට එකා නෑ. කොහොම හරි බැසිල් දැන් උත්සාහ කරන්නේ කොහොම හරි ඩොලර් ටිකක් හොයා ගන්න. ඒකට තියෙන එකම උත්තරය ණය ගැණීම හා විකිණිම.විකිණීම කිව්වම විකුණන්නේ රාජපක්ෂලාගේ දේපල නෙවෙයි.රටේ සමිපත් හා මහජන දේපල.දැන් ණය ඉල්ලගෙන මෙයාලා ලෝකෙ වටේ යන්නේ පෝලිමේ නෙවෙයි පෙලපාලිවලින්.වටයක් බැසිල් යනවා.දැන් කබ්රාල් යවලා තියෙන්නේ.

මෙහේ ඉන්න තානාපතිවරු ගෙන්න ගෙන බැසිලුයි,ජී.එලුයි එයාලව තවනවා.තවලා තව ණය ඉල්ලනවා.මොනවා කතා කලත් අන්තිමට නතර වෙන්නේ ණය වලින්.තව ටික දවසකින් තානාපතිවරු සාකච්ඡාවට එන්නේ තහනම් වචනය ණය කියලා දාලා.ඊළඟට තානාපතිලා ඔහොම තවන්න ගිහින් කොයිවෙලේ හරි ජී.එල් ලෙඩ වෙන්නත් පුළුවන්.කොහොම හරි ආරංචියේ හැටියට නං බැසිල් ඉන්දියාවේ දැඩි කොන්දේසි පිට ඩොලර් බිලියන 1.5 ක ණයක් ෂේප් කරගෙන වගේ. බැසිල්ට මෝදි හම්බ වෙන්න අවස්ථාව දීලා නෑ.ඉන්දියාවේ මුදල් ඇමතියි,විදේශ ඇමතියි තමයි හම්බ වෙලා තියෙන්නේ.ආරංචියේ හැටියට ඉන්දීය විදේශ ඇමති නං බැසිල්ට කන පිරෙන්න දීලා.එයාලා කියලා තියෙන්නේ IMF යන්න කියලා.දැන් චීනය පැත්ත හැරෙන්නත් බෑ.චීනා ණයක් දෙන්නං කියන්නේ සංචිතය ශක්තිමත් කරන්නලු.වියදම් කරන්න බෑ කියන කොන්දේසිය දාලලු. ඒකනේ දැන් ඔය තදියන් වෙලා කැබිනට් එකේ කතා කරන්නේ IMF යමුද කියලා.කබ්රාල්ගේ පොල් කට්ටට තවම යමක් වැටුණා කියලා ආරංචියක් නෑ.හැබැයි තවම ඉන්දියන් ණයත් ලැබිලා නෑ.ඒක දැන්ම ලැබෙන්නේ නෑ.හැබැයි අපට ඩොලර් හදිස්සියි. ඉතා ඉක්මනින් ඩොලර් ටිකක් ඕනි.අඩුම ගානේ ඩොලර් බිලියන දෙකක්වත්.නැත්නම් බඩු බනිස්.

අර මහ රෑ ඇමරිකන් වවුලෙක් එක්ක හොරෙන් ගහපු යුගදනව් ගිවිසුමත් අනුර පාර්ලිමේන්තුවට එළිකරලා තියෙන්නේ.එක හැන්සාඩ් ගත කරලා තියෙන්නේ.දැන් එතනින් ගන්න තිබුණ ඩොලර් මිලියන 250 එන්නෙත් නෑ.ඊළඟට ඒකට නඩුවක් යනවා.අනික තමයි මෙච්චර ඉක්මනට තව මොකවත් විකුණන ගන්නත් බෑ.ඊළගට දැන් මේ ආණ්ඩුවට ජාත්‍යන්තර පීඩනය උපරිම තැනට ඇවිල්ලා. ඇමරිකාව හා යුරෝපය අපි සම්බන්ධව බරපතල තීරණ කීපයක් ගන්න ලෑස්ති වෙන බව රටේ රාළට ආරංචියි.ඉන්දියාවේ අගමැති මෝදි බැසිල්ට හම්බ වෙන්න අවස්ථාව නොදුන්නට ඒ අවස්ථාව සම්බන්ධන්ට දීලා කියලා තමයි ආරංච්.සම්බන්ධන් එ අවස්ථාව කල් දාගෙන.සමහරවිට යුරෝපයේ ක්‍රියාමාර්ගය බලලාම මෝදි හම්බ වෙන්න වෙන්න පුළුවන්.ඒක නිසා රාජපක්ෂලා දාපු ගොඩක් සෙල්ලං දැන් එයාලට පාරවලල්ලක් වෙමින් තියෙන්නේ.ඔය තමයි බැසිල් අල්ලගෙන තියෙන දෙපැත්ත ඇවිලෙන විලක්කුවේ එක පැත්තක්.

බැසිල්ට මෙතනදී තව උත්තර දෙකක් තියනවා.එකක් තමයි IMF යන එක. ගිහින් ණය ප්‍රති ව්‍යුහ ගත කර ගණන්න එක.හැබැයි IMF ගිහින් ණය ප්‍රති ව්‍යුහ ගත කර ගත්ත වැඩක් නෑ අපට ඩොලර් ආදායමක් නැත්නම්. ණය ගෙවන්න කල් ගත්තත් රට දුවන්න ඩොලර් ඕනි.ඒකට උත්තරයක් නෑ.එතනදී තමයි මෙයාලා ජාතික ආණ්ඩුවක් ගැන හිතන්නේ.රනිල් අගමැති කරපු ජාතික ආණ්ඩුවක් ගැන හිතන්නේ.මොකද රනිල් පොල් කට්ට අරගෙන ලෝකෙ වටේ ගියොත් බැසිල්ට වඩා ලොකු ගානක් හොයා ගන්න පුළුවන්.ඊළඟට මෙයාලට එල්ල වෙලා තියෙන ජාත්‍යන්තර පීඩනයත් යම් තරමකට අඩු වෙයි.ඕක මෙයාලා හිතන එක උත්තරයක්. ඊළඟට තවත් උත්තරයක් තියනවා.ඔයාලට මතක ඇති ඉතිහාසයේ රාජපක්ෂලාට චෝදනාවක් එල්ල උනා ඩොලර් බිලියන 18 ක් ලෝකේ කොහේ හරි හංගලා තියනවා කියලා. පහුගියදා Pandora Papers වලින් කරපු අනාවරණයකින් නිරූපමායි,තිරු නඩේෂන්යි කරපු අයතා ඉපැයිම් ගැන හෙළිදරව් උනා.

ජනාධිපති මාසයක් ඇතුලත වාර්තාවක් දෙන්න කියලා අල්ලස් එකට නියෝග කලා. හැබැයි ඒ නියෝගය දැන් බල්ලටම ගිහිල්ලා. ඒක නිසා මේ වගේ මුදලක් තව ලෝකේ කොහේ හරි තියෙන්න පුළුවන්.දැන් ඕනි නම් ඒක ගේන්න පුළුවන්.අඩුම ගානේ භාගයක් හරි.රටේ රාළ කියන්නේ ඒක ගේන්න ඕනි විදිහට දැන් රටේ නීති සංශෝධනය කරගෙන තියෙන්නේ.දැන් ඇත්තේ නීතියේ ප්‍රශ්නයක් නෙවෙයි කොන්දේසි ප්‍රශ්නයක් වෙන්න ඕනි.2024 මට දෙනවා නම් ගේනවා වගේ කොන්දේසි.ඕක තමයි මෙයාලට තියෙන අනිත් උත්තරය.විලක්කුවේ අනිත් පැත්ත තමයි ආණ්ඩුව පුපුරණ එක නවත්වා ගැනීම.ඒකට ඉස්සෙල්ලා කරන්න ඕනි ආණ්ඩුව ඇතුළේ තියන අභ්‍යන්තර ගැටුම බේරා ගැනීම.අපි දැක්කා බැසිල් එකටත් අත තිබ්බා. පොහොට්ටුවේ කණ්ඩායම කැදවලා කිව්වා ආණ්ඩුවේ ඉන්න සුළු පක්ෂවලට ගහන්න එපා කියලා.ඇත්තටම බැසිල් එතනදී යෙදුවේ උපක්‍රමයක්.ප්‍රශ්න ටික බේර ගන්න කං ඇතුළ ෂේප් කර ගන්න එක.

නැත්තං ගිලෙන නැවෙන් පනින්න හදන මීයෝ ටික එකට මැරෙමු කියලා ෂේප් කරගන්න එක.වෙන වචන වලින් කියනවා නම් රාජපක්ෂලා වෙනුවෙන් මැරෙමු කියලා ඒයාලත් තියා ගන්න එක.ඇත්තටම මේ වෙලාවේ ශ්‍රීලනිපය තමන්ගේ පාක්ෂිකයා පාවලා දුන්නා.තමන්ට කියලා මොකක් හෝ පෞරුෂයක් තිබුණා නම් ඒක රාජපක්ෂලා ඉදිරියේ පාවලා දුන්නා.ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි අය වැය කතාවෙදි කිව්වේ අපි වගකියන්නේ ජනාධිපතිටයි,අගමැතිටයි විතරයි කියලා.ඊට පස්සේ පාර්ලිමේන්තු ආලින්දයේදී බැසිල් හම්බ වෙලා දුන්න උම්මා එකෙන් පස්සේ දැන් බැසිල්ටත් වග කියනවා. කොටින්ම රාජපක්ෂලා වෙනුවෙන් දයාසිරිලා විමල්ටත් වඩා හොඳට දැන් පන් මල්ල අරන් කඩේ යනවා.ඇත්තටම ශ්‍රීලනිපය තමන්ගේ පෞරුෂය වගේම පාක්ෂිකයාත් රාජපක්ෂලාට පවාදීලා ඉවරයි.ඒක නිසා ඔය ආණ්ඩුවේ තැන තැන ඇහෙන පුංචි පුංචි සද්ධ රටේ රාළ නං ගනන් ගන්නේ නෑ.

එහෙම කොන්දක් තියන අය මේ ආණ්ඩුවේ නං නෑ.ඒක නිසා ආණ්ඩුව පුපුරන්නේ මෙයාලා කියන විදිහට නෙවෙයි.ආණ්ඩුව පුපුරන්නේ රටේ රාළ කියන විදිහට.ඒ කියන්නේ 2022 වසරේ කොතනදී හරි වෙන ජනතා නැගිටීමකින්.එදාට මේ අශිෂ්ඨ ජනාධිපති පුටුවේ ඉදගන්න සිහින මවන අයගෙන් රටේ රාළ ඉල්ලන්නේ මෙච්චරයි.කුහක බල උවමනාව වෙනුවෙන් ආයෙත් මේ රට විනාශ කරන්න ලෑස්ති වෙන්න එපා.ඒක සජිත්ටත්. පාඨළීටත්,අර දැන් ඊළඟ ජනාධිපති කියලා කැම්පේන් කරන තබුත්තේගම වීරයාටත් අදාළයි.තවත් ජනාධිපති සිහින තියෙන ඕනි කෙනෙකුට අදාළයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.ජයවේවා.

මීට රටේ රාළ.

කොරෝනා මරණ 14,614ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (11) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,614කි.

’මංගලගේ අරමුණ අත්හැර දැමිය නොහැක’ - සමන්තා පවර්

(මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ අභාවයෙන් තෙමසක් සැමරීම වෙනුවෙන් නිකුත් කෙරුණ 'Mangala edition' වෙනුවෙන් USAID පරිපාලිකා සමන්තා පවර් විශේෂයෙන් සපයන ලද ලිපියක සිංහල පරිවර්තනය)

මංගල සමරවීර යනු කැපී පෙනෙන අපූරු මහජන සේවකයෙකු වූ අතර ඔහු මගේ ජීවිතකාලයෙහි මෙතෙක් මුණගැසුන විශිෂ්ටයෙකි.

එපමණක් නොව, අධිෂ්ඨානශීලී නිර්භීත නායකයකු වූ මංගල ඔහුගේම වචනයෙන් විස්තර කළ පරිදි, “සියලු පුරවැසියන්ගේ සමාන අයිතිවාසිකම්, යුක්තිය සහ අභිමානය මෙන්ම බහු වාර්ගික, බහු ආගමික සහ බහු භාෂා ව්‍යවහාරය සහතික කෙරෙන ශ්‍රී ලංකාවක් සඳහා වූ තම දැක්ම අනුගමනය කිරීම සඳහා,” සිය මුළුමහත් ජීවිතය කැප කළේය.

මංගලගේ හදිසි අභාවයෙන් බලවත් කම්පාවට පත්ව සිටින මම ඔහු කෙරෙන් ලද බුද්ධිගෝචර උපදෙස්, නොපසුබස්නා පෙරට යාමේ ගුණය සහ දුලබ මිතුදම වැනි අපූරු ගුණාංග කෙරෙහි ආශක්තව සිටිමි.

එමෙන්ම මිනිසුන් කිසියම් දිනෙක යහපත් අතට වෙනස්විය හැකිය යන විශ්වාසය අත්හැරීම ප්‍රතික්ෂේප කරමින් සහ ලෝක බලවතුන් සිය අවශ්‍යතා සඳහා පමණක් සිතීම - සහ කටයුතු කිරීම - කිසියම් දිනෙක වෙනස්වෙනු ඇතැයි බලාපොරොත්තු තබමින් මංගල තවමත් කඩිමුඩියේ සැලසුම් සකස් කරමින් සිටින්නේය යන හැඟීම ද මට අහිමිවිය.

විවෘත හදවතක් සහිත, නව මංපෙතක් පෙන්නුම් කළ දූරදර්ශී මවකගේ සහ මුල්පෙළේ මානව හිමිකම් නීතීවේදියකු ලෙස නමක් දිනූ පියෙකුගේ පුතකු වන මංගලගේ දැවැන්ත බලපෑමේ බීජ ආරම්භ වූයේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ කුරිරු බව දකිමිනි: “ඇතැම්විට මට එහි වෙනසක් කළ හැකිය” යන දල අදහස ඔහු තුළ ජනිතවන්නට ඇත.

පසු කලෙක මංගල විසින් සිහිපත් කරන ලද පරිදි, 1980 දශකයේ අහභාගයෙහි ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනයට සහ සංවිධාන කටයුතුවලට සම්බන්ධ වූ අවස්ථාවේ “ඔහුගේ සිහිනය” වූයේ “සියලුම ශ්‍රී ලාංකිකයින්ට - ඔවුන්ගේ කුලය, පන්තිය, ජාතිය හෝ ආගම කවරක් වුවත් - සමගියෙන් සහ ගෞරවාන්විතව ජීවත්විය හැකි සාමයයි.”

ඒ අභිප්‍රාය සිය අරමුණ කරගත් මංගල ඉහළ යමින් තිබූ සිය බලපෑම් කිරීමේ හැකියාව යොදාගනිමින් ඒ මූලික සිහිනය සැබෑ කරගැනීමට උත්සහ කරමින් සිය රටට සේවය කිරීමේ තිස් වසරක චාරිකාවක නිරතවිය.

සිය වෘත්තීය දිවිය පුරා විවිධ තනතුරු ගණනාවක් හෙබවූ මංගල නිරන්තරයෙන් උත්සහ කළේ ශ්‍රී ලාංකිකයින් සිය දෛනික දිවි පෙවෙත ගෙවනු පමණක් නොව ඔවුන්ට ගෞරවාන්විත ජීවිතයක් ගොඩනගාගැනීම සහතික කිරීමටය.image 9c92b32623

මංගලගේ මහජන සේවයේ උරුමය සැමරීම පිණිස 2019 දී කොළඹ සංචාරයක යෙදුණු අවස්ථාවේ මංගල විග්‍රහ කළ හැකි හොඳම වචනය කවරක් දැයි ඔහුගේ සගයන් සහ මිතුරන්ගෙන් මා කළ විමසීමට ඒ සියල්ලන්ගේ පිළිතුර වූයේ: “ගරුත්වය, ගරුත්වය, ගරුත්වය,” යන්නය.

'මව් පෙරමුණ' පිහිටුවීමට ආධාර කිරීමේ පටන් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ ක්‍රියාදාමය සඳහා පෙරමුණ ගැනීම, යුද වින්දිතයින්ට සහ දිවි බේරාගත් පුද්ගලයන්ට වන්දි ගෙවීම, සහ යුද්ධයෙන් පසුව පිළිසරණක් නැති පවුල් විසින් ලබාගත් ණය අහෝසිකර දමනු ලැබීම තෙක් පෙරමුණ ගැනීම දක්වා පුද්ගල ගරුත්වය ආරක්ෂා කිරීම මංගලගේ වෘත්තීය ජීවිතයේ මූලිකම ප්‍රතිපත්තිය වූවා විය හැකිය.

එහෙත් තම සමීපතමයන් හෝ ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වූවන්ගේ අභිමානය ගැන මංගල දැක්වූ හොඳම මිනුම වන්නේ එකී කිසිවක් එම ගැටලුවලට ප්‍රමාණවත් විසඳුම් නොවන බව ඔහු තේරුම්ගෙන සිටීමය.

මංගල වරක් සංහිඳියාව විස්තර කළේ “නිරන්තර උත්සහයක නිරත විය යුතු දීර්ඝ ගමනක්” ලෙසිනි. සියලු ජනකොටස් එක හා සමානව සලකන සමාජයක් ගොඩනැගීම යනු “එම අරමුණට එරෙහිව මතුවන බාධක නොතකා, තිරසාර උත්සාහයක් සහ කැපවීමක් අවශ්‍ය පරම්පරා ගණනක ක්‍රියාදාමයක්” බව ඔහු දැන සිටියේය.

වෙහෙස නොබලා කටයුතු කරන උත්සාහවන්ත ප්‍රතිසංස්කරණවාදියකු සහ දැඩි නවීකරණවාදියකු වූ මංගල, ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත් ආයතන යනු ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වූ වෙනස උදාකිරීම උදෙසා අත්‍යවශ්‍ය පදනම් බවට ඔහු තුළ වූ විශ්වාසය කිසි දින අත්නොහළ චරිතයකි. එම කැපවීම දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පමණක් නොව ඔහුගේ බොහෝ තීරණ සමඟ එකඟ නොවූ පුද්ගලයන්ගෙන් පවා ඔහුට ප්‍රබල පිළිගැනීමක් පමණක් නොව පුළුල් ගෞරවයක් ද ලබා දුන්නේය.

ඒ සියල්ල හමුවේ, මංගල ශ්‍රී ලංකාවට සහ එහි වැසියන්ට කෙතරම් ආදරය කළේ ද යන්න ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන්ට පවා බැහැර කළ නොහැකි විය.

ශ්‍රී පාදය ඈතුළු දිවයිනට අයත් දැකුම්කළු මනහර උස් කඳුවැටිවල පටන් උණවටුන වෙරළ තීරය දක්වා ඇති ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ පෝය දිනවල උත්සව යනාදී දේ ගැන කවියකු මෙන් රසවත් කරමින් විස්තර කරන විට පමණක් නොව, මේ වසරේ අප්‍රේල් මාසයේ මා USAID ආයතනයේ පරිපාලකවරිය ලෙසින් පත්වීමෙන් අනතුරුව තවත් කොවිඩ් එන්නත් ලබාගැනීම පිණිස රාජපක්ෂ ආණ්ඩුව දැරූ උත්සාහයේදී ඊට සහාය දෙමින් දිගින් දිගටම මා වෙත පණිවුඩ එවූ අවස්ථාවේත් මංගල ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙතරම් කැප වී සිටින්නේ දැයි මට හොඳින්ම වැටහින.

වසංගතය ශ්‍රී ලංකා වැසියන්ගේ ජීවිත බිලිගැනීම මංගලට දැඩි වේදනාවක් වූ අතර, මහජන සේවයෙන් මඳකට ඉවත්ව සිටියත් “වෙනසක් කිරීම” උදෙසා කිසිවක් කිරීමෙන් තොරව ඔහුට පැයක් හෝ ගතකිරීමට නොහැකි විය.

තමන් විසින් ඉටුකර ගැනීමට මුලපුරන ලද විශිෂ්ට සිහිනය තවමත් සැබෑ නොවූ බව පිළිගන්නා පළමු පුද්ගලයා මංගල වනු ඇත. එහෙත් ඔහුගේ සහයෝගය ද සහිතව විවිධ අංශවලින් ලැබූ ප්‍රගතිය හැරුණු විට, ඔහුගේ නායකත්වය, අඛණ්ඩ බව සහ නිම නොවන ශක්තිය, අසාධාරණයට එරෙහිව සහ සමානාත්මතාව වෙනුවෙන් ඔහු තුළ වූ කැපවීම අනුගමනය කරන නව පරපුරට කදිම මඟ පෙන්වීමකි.

ඔහුගේ අභාවයෙන් පසුව එක් පුවත්පතක කතුවැකියේ සඳහන් වූ පරිදි, “පුරවැසියන් වෙනස් අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තුව නොමැකෙනු පිණිස සියලු දෙනා ඇතුළත්, වඩාත් යහපත් රටක් ගැන සිහින මැවීමට දිරි ගන්වන දේශපාලන නායකත්වයක් ඉල්ලා සිටිය යුතුය. මංගල ආරම්භ කළ කාර්යභාරය මුදුන්පත් කෙරෙන නායකත්වයක් අවශ්‍ය කරයි.”

දැන් අපට පැවරුන පොදු අරමුණ ද එයයි. අපට මඟ පෙන්වනු ලැබීමට සහ දිරිමත් කිරීම සඳහා මංගල අද නොමැති වුවත්, ඔහුගේ පිය මඟ ළකුණු අනුව යමින් ඔහු විසින් කරන ලද කාර්යභාරය මුදුන්පත් කර ගැනීම සඳහා ප්‍රයත්න දරන අනාගත පරපුරට අපට හැකි සියලුම අයුරින් උපකාර කළ යුතුය. මංගල කිසිදිනක සිය අරමුණ හෝ ක්‍රියාමාර්ග අත්හැර නොදැමූ නායකයෙකි. ඔහුට මෙන්ම අපට ද එම කාර්යභාරය අත්හැර දැමිය නොහැක.''

මුල් ලිපිය :

"Mangala never, ever gave up, and neither can we" - Samantha Power

යුගදනවි ගිවිසුම ජාතියම පාවාදීමක් - චන්දිම වීරක්කොඩි

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීම හා සම්බන්ධ ගිවිසුම ජාතිය පාවාදීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි අවධාරණය කරයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉඩදුන් අමාත්‍ය මණ්ඩලයෙ සියලු දෙනා මෙරට අනාගතය පාවාදීමේ වරදකරුවන් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

යුගදනවි බලාගාරය හා සම්බන්ධ ආන්දෝලනාත්මක ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් චන්දිම විරක්කොඩි  මේ බව සඳහන් කළේය.

මේක ජාතිය පාවා දීමක්. රටේ නීතිපතිවරයාගේ අනුදැනුම නැතුව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගහපු ගිවිසුමක් සගවාගෙන ඉන්න බැහැ. මේ තීන්දුව කැබිනට් එකේ ඉදන් ගත්තා නම් මේ පාවාදීමට ඔවුනුත් හවුල් බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේය.

mawrata

ආසියාවේ රැජින රත්නපුරෙන් මතුවෙයි

ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ.

එහි බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එය නම් කර ඇත්තේ ‘ආසියාවේ රැජින’ නමින්ය.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙම මැණික හමුවී තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කලේ එම මැණික් ගල නිරීක්ෂණය සඳහා මේ වනවිටත් නිළධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි.

අදත් විදුලි කප්පාදුවක්

අද (12) දිනයෙත් සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම මිනිත්තු 30ක කාලයක් කපා හැරීමට සිදුවිය හැකිය බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේය.

නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවනි විදුලි ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත පද්ධතියෙන් ඉවත් කර ගැනීම මීට හේතුව බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කළේ ය .

මේ හේතුවෙන් රාත්‍රියේ විදුලි ඉල්ලුම ඉහළ කාලය තුළදී මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Page 318 of 388