V2025

පුවත්

“සොල්දාදුවන් පාලනය කරන රටවල් කවදාවත් දියුණු වී නැහැ” – දයා රත්නායක

“සොල්දාදුවෙකු පෙරගමන් කරන සමාජයක් ලෝකයේ කිසි තැනක දියුණු වී නැතැයි,” හිටපු යුද්ධ හමුදාපති ජෙනරල් දයා රත්නායක  පවසයි.

ජෙනරල් දයා රත්නායක  මේ වන විට අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කරයි.

යුද්ධ ඇති වන්නේ විද්වතුන්ගෙන් සමන්විත සමාජය පෙර ගමන්කරුවෙකු ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යැයි ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා පැවති උත්සවයකදී ය.

“සොල්දාදුවන්ට කළ හැකි දේ තිබෙන නමුත් සමාජයක පෙරගමන්කරුවන් වීම එම කළ හැකි දේ අතර නොවන බව” එහිදී වැඩිදුරට ත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ය.

“උසස් සමාජය සම්බන්ධ වෙලා, ඇකඩමික් සමාජය සම්බන්ධ වෙලා විද්වතුන් සම්බන්ධ වෙලා සමාජයක පෙර ගමන්කරුවා වන්නට ඕනේ. ඒ පෙරගමන්කරුවා නොවී සිටීම තුළ තමයි සොල්දාදුවා පෙරගමන්කරුවා කරලා යුද්ධ කරන්නේ. සොල්දාදුවෙක් පෙරගමන් කරන සමාජයක් කවදාවත් ලෝකේ දියුණු වෙලා නෑ. සොල්දාදුවෝ පාලනය කරන රටවල් හමුදා පාලනය තියෙන රටවල් ලෝකේ කිසි තැනක දියුණු වෙලා නෑ. ඒ නිසා ඒ කට්ටියට කරන්න පුළුවන් වෙන වැඩ තියෙනවා. මේ වගේ දේවල් නොවේ.”

මව්බිම

පොලිස් පුටු මාරුවක්

නියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් 06 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

මැලේසියාවෙන් බැහැලා : ඇතිවෙන්න කාබනික පොහොර දෙන්න යයි !

යල කන්නයේ සිට මෙරට වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වගාවට අවශ්‍ය කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා මැලේසියානු ආයෝජකයින් කණ්ඩායමක් ඉදිරිපත්ව ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හමුව ඇති මෙම ආයෝජකයින් පිරිස අමාත්‍යවරයාට පෙන්වාදී ඇත්තේ නයිට්‍රජන් ප්‍රතිශතය 8%ක් පමණ අඩංගු වන ආකාරයට යෝජිත කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බවය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මෙම හමුවේ දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැලේසියාව දියුණු තාක්ෂණය යොදාගෙන වර්ෂය පුරා කෘෂිකර්ම කටයුතු කරන නිසා එරටේ දියුණු තාක්ෂණය මෙරට කාබනික වගාව සඳහා යොදා ගැනීමට අවස්ථාව ලබා දීම සතුටට කාරණයක් බවය.

කෙසේ වුවද යෝජිත පොහොර නිෂ්පාදනය පිළිබඳව අංග සම්පුර්ණ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

වාර්ෂිකව නිෂ්පාදනය කළ හැකි පොහොර ප්‍රමාණය, ඒ සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, මෙන්ම පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශවය අතර දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

මෙම ආයෝජකයින් පිරිස සමඟ ලංකා පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ ද අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට එක්ව ඇත.

අයවැය උඩින්ම සම්මතයි !

2022 අයවැය තෙවැනි වර කියවීම අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්ද 93කින් සම්මත වූ අතර , ඒ අනුව තුනෙන් දෙකක අනුමැතියක් පාර්ලිමේන්තුව විසින් ඊට ලබාදී ඇත.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි.

මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වනු ලබන්නේ , 2022 ජනවාරි 11 වැනිදා ය.

අනුර පාර්ලිමේන්තු ගෙනාවේ : ආටිගල අත්සන් කළ ගිවිසුමද ?

ආණ්ඩුව විසින් ආමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට යුගදනවි බලාගාරයේ අයිතිය පවරා අත්සන් තබන ලද ගිවිසුම පිළිබඳව හෙළිදරව් නොකර තබා ගෙන තිබූ අතර අද (10 ) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ අයවැය විවාදයට එක්වෙමින් කතා කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක එම ගිවිසුමේ පිටපතක් පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා විසින් පෙර අවස්ථාවක 27/2 යටතේ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ‍එම ගිවිසුම සභාගත කරන බවට ගාමිණී ලොකුගේ විදුලි බල අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණද එය ලබා දී තිබුණේ නැත.

පසුගිය කාලයේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණේ එය අත්සන් තබා වසර 02ක් යනතුරු හෙළි කිරීම වළක්වාලන වගන්තියක්ද එයට ඇතුලත් කර තිබූ බවය. එය ගිවිසුමේ 13.1 යටතේ වගන්තිය ලෙස ඇතුළත්ව තිබේ.

https://lankatruth.com/si/?p=126823

Lanka truth

ප්‍රසන්නගේ ප්‍රකාශය දුරදිග යයි : මෛත්‍රීට CID පැමිණිල්ලක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශය පිළිබදව වහාම පරීක්ෂණයක් කරන්න යැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

අද (10) මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසිනි.

පසුගිය දිනවලදී පියතුමන්ලා කළ ප්‍රකාශ මුල්කරගෙන දින ගණන් ප්‍රශ්න කළා සේ මෙම මැතිඇමැතිවරුන්ගෙන්ද මෙම ප්‍රකාශය පිළිබදව ප්‍රශ්න කරන ලෙස පියතුමා එහිදී ඉල්ලීමක්ද කළේය.

අප්‍රේල් වෙනකොට කන්නත් නැතිවෙයි : මහාචාර්යවරිය අනතුරු අඟවයි !

එළඹෙන අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් ඇතිවනු ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ අනතුරු අඟවයි.

මේ බව මහාචාර්යවරිය උපුටා දක්වමින් ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් වාර්තා කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මහ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කල යුතුව ඇතත් ඊට අවශ්‍ය පොහොර ලබාදීමට මෙතෙක් රජය පියවර ගෙන නැතැයි ද ඇය පවසයි.

කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්‍රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බව ද ඇය කියා සිටී.

මහ කන්නය යනු මෙරට වැදගත්ම හා වැඩිම අස්වැන්නක් හිමි කන්නය බවත් එම කන්නයේදී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය.

කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ විද්වතුන් සහ පර්යේෂකයන් පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ නිසා ආහාර හිගයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද ඇය තව දුරටත් සඳහන් කළාය.

පොදු ස්ථානවලට ඇතුළු වීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි

එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන අධිමාත්‍රා එන්නත (Booster) ලබා දී අවසන් කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03 ක් සම්පූර්ණ කළ සියලු දෙනා අධිමාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් දිනපතා අධිමාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති උපදෙස් ලබා ගෙන ඇති බවත් එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ද කොවිඩ් කමිටුව අද තීරණය කළේ ය.

වයස අවුරුදු 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12 – 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙන, පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ඇමරිකා සමුළුව ඇරඹේ : ලංකාව සහ චීනය කැපෙයි !

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වූ ඇමරිකානු සමුළුව අද (09) සහ හෙට(10) යන දෙදින පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුහුණ දී තිබෙන අභියෝග පිළිබදව මෙම සමුළුවේ දී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් අද දින දේශන සදහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සමුළුව සදහා ශ‍්‍රී ලංකාවට ආරාධනා කර නොතිබීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයන් පවසයි.

ලංකාවට අමතරව චීනය ද මෙම සමුළුව සදහා ආරාධනා නොලැබුණු රටවල් අතර සිටියි.

ඊළඟට පුංචි ජන්දය : මැකොස කියපු කතාව මෙන්න !

වෙනසක් නොමැතිව පවතින නීතිමය තත්ත්වය යටතේම පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්නේ නම්, ලබන වසරේ ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීම සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත්, වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (08) දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, ඊට එක්වෙමිනි.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සූදානමින් සිටින බවත් ඔහු පවසා ඇත.

අනුරගේ ප්‍රශ්නයෙන් : ආණ්ඩුවේ නිල සංචිත හෙළිවෙයි !

මෙරට සතු නිල විනිමය සංචිත සහ වත්කම් ප්‍රමාණය කොපමණ දැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක නගා තිබූ ප්‍රශ්නයකට අද (09) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දී තිබේ.

මන්ත්‍රීවරයා පසුගිය 03 වෙනිදා ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න කර තිබිණි. ආර්ථික හා මූල්‍ය රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ අද ලබා දුන් පිළිතුර අනුව පසුගිය නොවැම්බර් මාසය වෙන විට රට සතුව තිබූ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1587ක් වී තිබිණි.

මෙයින් ඩොලර් මිලියන 382.2 ක් රත්රන් ලෙසද, විනිමය සංචිත ලෙස ඩොලර් මිලියන 1009.5ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පත්කර තිබෙන සංචිත ලෙස ඩොලර් මිලියන 67ක් මෙන්ම විශේෂ ගැනුම් හිමිකම් ඩොලර් මිලියන 127.2ක් තිබී ඇත. ඊට අමතරව අනෙකුත් විවිධ සංචිත ඩොලර් මිලියන 1.1ක් පැවති බව පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබේ.

අනුර දිසානායක මන්ත්‍රීවරයා නගා තිබූ ප්‍රශ්න සහ අදාළ පසුබිම සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පහත දැක්වේ.

” ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මෑත වසර දෙකක කාලය තුළ වේගයෙන් කඩාවැටෙමින් ඇති බව නිරීක්ෂණය වන අතර එය තවදුරටත් හුදු ආර්ථික දත්ත හා තොරතුරු පිළිබඳ විද්වත් සාකච්ඡාවකට පමණක් සීමා වී නැහැ. මෙම විදෙස් සංචිත හිඟය මේ වන විට රටේ ජනතාවගේ ජීවිතවලට බලපෑම් කරන මට්ටමකට තීව්‍ර වී තිබෙනවා. අද වන විට බහාලුම් 1000කට වඩා අධික සංඛ්‍යාවක ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කොළඹ වරායේ සිර වී ඇති බවටත් එම භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා බැංකුවලින් ආනයනකරුවන්ට ඩොලර් නිකුත් නොකරන තත්වයක් ඇතිවී තිබෙන බවටත් වාර්තා වනවා. විශේෂයෙන් බොර තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම නිසා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ ඛනිජතෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට වසා දමා තිබෙනවා. මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඞ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඞ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා. 2020 වසරේ දෙවන කාර්තුව හා 2021 වසරේ දෙවන කාර්තුව සලකා බැලුවහොත් ලෝකයේම විදෙස් සංචිතවල වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 12,016.6ක සිට ඩොලර් බිලියන 12,817.19ක් දක්වා ඉහළ නැග තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින පවා මේ වසංගත තත්වය තුළ තමන්ගේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා. නමුත් ඊට පරස්පරව යමින් ශ්‍රී ලංකාව වසර දෙකක කාලය තුළ තමන්ගේ විදෙස් සංචිත වේගයෙන් අහිමි කරගනිමින් සිටිනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදෙශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක අගයක් සටහන් කළ අතර එය මාස 4.5ක කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. එම සංචිත ක්‍රමයෙන් හීනවෙමින් පැමිණ 2021 ජනවාරි වන විට ඩොලර් බිලියන 4.8ක අගයක් සටහන් කරන ලද අතර එය මාස 3.7ක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් අවසන් වන විට එම සංචිත අගයන් තවදුරටත් කඩා වැටී ඩොලර් බිලියන 2.3ක අගයක් සටහන් කර තිබෙනවා. එම සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 1.5ක කාලයක් වෙනුවෙන් ආනයන සිදුකිරීම සඳහා පමණයි. මේ අගයන් සටහන් වන්නේ 2021 අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට ඩො.මි. 554.8ක විශේෂ මූල්‍ය පහසුකමක් (ීෘඍ) ලැබී තිබියෙදීයි. මහ බැංකුවේ නොවැම්බර් 26 දින නිකුත් කළ සති මූල්‍ය තත්ව වාර්තාවේ විදෙස් සංචිතයන්හි එම ශීර්ෂය යටතේ ඩොලර් මිලියන 128.5ක අගයක් පමණක් සටහන් වීමෙන් එයින් වැඩි කොටසක් දැනටමත් ඩොලර්වලට පරිවර්තනය කර තිබෙනවා විය හැකියි.

2021 ජනවාරි සිට සැප්තැම්බර් කාලය අතරතුර රටේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 6003.2ක් ලෙස සටහන් වෙනවා. මෙය ඔක්තෝබර් – දෙසැම්බර් කාලය අතරතුර තවත් ඉහළ යා හැකියි. එසේම මෙම අවදානම් තත්වය මෑත ඉතිහාසයේ රටේ ගෙවුම් ශේෂයේ හිඟයක් නිර්මාණය කිරීමට තුඩු දිය හැකියි. 2022 වසර තුළ ශ්‍රී ලංකාව විසින් විදේශ ණය පියවීම සඳහා පමණක් ඩොලර් මිලියන 6500ක් වෙන් කළ යුතුව තිබෙනවා. යම් යම් මාසයන්හි අඩු වැඩි වීම් ඇති වන නමුදු දළ වශයෙන් එක් මාසයකට විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550ක් වෙන් කිරීමට රටට සිදු වනවා. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය සහ විදෙස් ණය පියවීමේ බැඳීම්ද 2022 වසරේ මුල් භාගයේ ඇති විදෙස් ණය පියවීමේ බැඳීම්ද සමගින් දැනටත් අවදානම් මට්ටමක ඇති රටේ ගෙවුම් ශේෂය මෙමගින් තවත් අර්බුදයට ඇද දැමිය හැකියි. පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ. එසේම මේ වන විට රටට ඩොලර් ලැබෙන ප්‍රධානම මූලාශ්‍රවලින් එකක් වන විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු සංක්‍රාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාස 05ක කාලයක් පුරා වේගයෙන් පහළ යමින් තිබෙනවා. නිදසුනක් ලෙස 2020 ජුනි – ඔක්තෝබර් කාලයේ සමස්ත සංක්‍රාම වටිනාකම ඩොලර් මිලියන 3274ක් වූ නමුත් මේ වසරේ ජුනි – ඔක්තෝබර් කාලයේ ඔවුන්ගේ සංක්‍රාම ප්‍රමාණය ඩොලර් මිලියන 2048ක් පමණයි. එය ප්‍රතිශතාත්මකව ගතහොත් 37.5%ක් පමණ කඩා වැටීමක්. මෙම අඩුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කළහොත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සංක්‍රාම මගින් ලැබීමට නියමිත මුදල 50%ට වඩා අඩුවිය හැකියි. මේ තත්වය තුළ මහ බැංකුව විසින් බලහත්කාරයෙන් බැංකුවල ඩොලර් අනුපාතිකය රුපියල් 202 ආසන්නයේ රඳවා තබාගෙන සිටියද එම මුදලට ආනයනකරුවන්ට ලබා දීමට වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් ඩොලර් නැහැ. ඩොලරයක් බැංකුවලට පිටින් එළියේ අලෙවි වන්නේ රුපියල් 240-260 අතර වටිනාකමකටයි. මෙවැනි ඉහළ වටිනාකමකට ඩොලර් මිලදී ගෙන භාණ්ඩ අනයනය කිරීමට ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසාත්, විශේෂයෙන්ම බැංකු මගින් නිකුත් කළ ණයවර ලිපි අනුව මේ වන විටත් ආනයනය කර ඇති භාණ්ඩවලට අදාළ ඩොලර් ලබා දීමට බැංකු අසමත් වී ඇති නිසාත් බරපතළ භාණ්ඩ හිඟයක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

  1. පසුගිය නොවැම්බර් මාසයේ 30වැනිදා වන විට විදෙස් විනිමය සංචිතයේ සත්‍ය වටිනාකම ශීර්ෂ අනුව වෙන්වෙන්ව කොපමණද? මහ බැංකුව සතු ක්ෂණිකව ගෙවීම් සඳහා භාවිත කළ හැකි විදෙස් විනිමය ප්‍රමාණය කොපමණද?
  2. රටේ විදෙස් විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?
  3. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන්නේ කවර ක්‍රියාමාර්ගයක්ද?
  4. කොළඹ වරායේ ගොඩගැසී ඇති ආනයනය කරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩ බහාලුම් නිදහස් කිරීම සඳහා බැංකුවලට ඩොලර් ලබා දීමට පියවර ගන්නේද? ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?”
  5. lanka truth

වයඹ ආණ්ඩුකාර කරන්නාගොඩ !

රාජා කොල්ලුරේගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පත්කිරීම අනුව ඔහු අද (09) වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.

නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත.

එසේම ආන්දෝලනාත්මක තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වසන්ත කරන්නාගොඩද චූදිතයකු ලෙස නම් කර තිබිණි.

බැසිල් මහින්දානන්දගේ ගුණ වයයි : කිරිපිටි ගැනත් දැනුම්දීමක් !

හරිත කෘෂිකාර්මික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අප සියලුදෙනා වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විවිධකාරයේ පීඩනයන්ට ලක්වෙමින්, හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව සතුටු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි

මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පශූ සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ දියර කිරිවලින් ස්වයංපෝෂිත රටක් සඳහා වූ වැඩමුළුවකට සහභාගීවෙමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

පසුගිය කාලයේ වසරකට විදෙස් ශ්‍රමිකයන් 2,30,000ක් පිටත් කර තිබෙනවා. පසුගිය වසරේ එය 53,000 දක්වා අඩුවෙලා. ලබන වසරේදී එය ලක්ෂ 3 දක්වා වැඩිකර ගන්න අපි උත්සාහ කරනවා. අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණීය ආහාර නිෂ්පාදනය කරන්න මේ වසරේ අපි විශාල මුදලක් වෙන්කර තිබෙනවා. පිටරටින් ආනයනය කරන කිරිපිටි නතරකර, මෙරට දියර කිරි නිෂ්පාදනය වැඩි කරගන්න සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මේ වසරේ අපි සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. දිසාපතිවරුන්ට රුපියල් මිලියන 85,000ක් අයවැයෙන් වෙන්කර දී තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, කොට්ඨාසවලට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභාවලට මුදල් ලබා දී තිබෙනවා. මේ සියලු මුදල් යොදාගෙන මෙරටේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි කියලා අපි අපේක්ෂා කරනවා. කිසිම අවස්ථාවක අතිරේක මුදල් ලබා ගැනීමට හැකියාවක් නෑ. අලුතින් වාහන, කාර්ය මණ්ඩල ලබා ගන්න අනුමැතිය ලබාදෙන්න බෑ. මේ රටේ රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉන්නවා. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්න තරමට මේස පුටුවක්වත් නැහැ. ඒ නිසා ඒ සියලු මානව සම්පත් යොදාගෙන, මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර, පිටිකිරි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පශු සම්පත් සංවර්ධනය සම්බන්ධ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා”

ගෑස් ප්‍රශ්නය මානව හිමිකම් කොමිසමේ විභාගයට !

දිවයින පුරා වාර්තා වන ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ අනතුරු සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ගොනුකළ පැමිණිලි දෙකක් හෙට (10) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය.

එසේම අනිකුත් වෙළඳ භාණ්ඩවල මෙන්ම ගෑස් සිලින්ඩරයේද ඇසිරුම් දිනය සහ අන්තර්ගතය දැක්වෙන විස්තර ප්‍රසිද්ධ කරන ලෙසත් අදාළ පැමිණිලි වල ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

එම විමර්ශනය සඳහා පෙනී සිටින ලෙස අද (09) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ට, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට සිතාසි නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන මෙම පැමිණිලි දෙක සිදු කර තිබේ.

කොරෝනා මරණ 14,555ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) තහවුරු කර තිබේ.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පුරුෂයින් 15 දෙනෙකු වේ .

අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන පුද්ගලයින් 07 දෙනෙකු මියගිය අය අතර සිටී.

සෙසු පුද්ගලයින් අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,555කි.

මහ කන්නයෙන් භාගයක් ඉවරයි. තාම පොහොර නැහැ - රෝහිණි කවිරත්න

''නැගෙනහිර පළාතේ මහ කන්නයේ භාගයකට වඩා කල් ගතවී ඇතත් අදටත් ගොවියාට පොහොර මිටියක්, බෙහෙත් කුප්පියක් නැතුව අන්ත අසරණ වෙලා. පොහොර - බෙහෙත් ගෙන්වන ගැසට් එක ගහන්න සතියකට වැඩිය ගියා. තවම වැඩ බලන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයෙක් පත් කරලා නෑ. මහ කන්නයේ පොහොර - බෙහෙත් ගෙන්වන එක නෙකෙරෙන වැඩක්. ජනවාරි කන්නයට හෝ බෙහෙත් පොහොර ටික ලබා දී ගොවිතැන රැකගන්නා ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න  පවසයි.

ගොවියට අවශ්‍ය රසායනික පොහොර ගෙන්වන බවට කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවද සති තුනක පමණ කාලයක් ඉක්මවා ගොස් ඇත්ත තවමත් පොහොර නොමැති බවයි මන්ත්‍රීවරිය සඳහන් කරයි.

''තවම එකම කෘෂි රසානයනයකට පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අවසර දී නෑ. අඩුම ගානේ වැඩ බලන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයෙකු හෝ පත් කර නෑ. එකම පොහොර ඇණවුමක් හෝ ලබා දී නෑ. ඇමති කිව්වා දැන් ඩොලර් තියෙනවා. එල්.සී. ඇරලා ඉවරයි. මේ කන්නයට බඩු ගේනවා කියලා. මේ සියල්ල පට්ටපල් බොරු. නියමිත මිල වගේ 400% ක් ගෙවලා නැනෝ යුරියා ගෙන්වන් තියෙන උනන්දුව හදලා තියෙන ගොයමේ වල් ටික මර්ධනය කරන්න වල් බෙහෙත් ගේන්න නෑ. උඩරට ගොවියෝ දිලීර නාශක නැතිව හූල්ලනවා. දඹුල්ල,මාතලේ,උඩුදුම්බර, හඟුරන්කෙත,වලපනේ,නුවරඑළිය කලාපයේ වගාවෙන් 75 %කට වඩා දිලීර රෝගවලට ගොදුරු වෙලා. ආණ්ඩුව බෙහෙත් නැතිව පිළිකා,වකුගඩු, ආදී බරපතල රෝග තියෙන මිනිස්සු රෝහල්වල මරණවා. බෙහෙත් ටික දෙන්නේ නැතිව වගා බිම්වල වගාව විනාශ කරනවා.

''ගෝඨාභය කියන්නේ ‘ටර්මිනේටර්‘ කියලා තමයි පොහොට්ටුවේ ගෝලයෝ කිව්වෙ. ඒ කතාව ඇත්ත. ‘ටර්මිනේටර්‘ කියන්නේ ‘කාබාසිනියා කරන්නා‘ මෙයා ආපු දවසේ ඉදලා හැමදේම කාබාසිනියා කරනවා'' යැයි ද කවිරත්න කියා සිටියි.

කොරෝනා මරණ 14,533 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) පස්වරුවේ තහවුරු කළ කොරෝනා මරණ 28ක් ම වාර්තා වී ඇත්තේ ඊයේ (07) දිනයේදීය.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පුරුෂයින් 15 දෙනෙකු වේ .

අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන පුද්ගලයින් 07 දෙනෙකු මියගිය අය අතර සිටී.

සෙසු පුද්ගලයින් අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,533කි.

 

ලයිට් කනු ඇමතිකම සීබී ටත් තිත්ත වෙයි : ප්‍රසිද්ධියේ විරෝධය දක්වයි !

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් අතර ආණ්ඩුවේ හැසිරීම සම්බන්ධයෙන් කළකිරීම තවදුරටත් ඉහළ යමින් ඇත.

ආසන්න සිදුවීම වාර්තා වන්නේ වනජීවී හා වනරක්ෂිත සංරක්ෂණ ඇමති සී බී රත්නායක අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් දැක්වූ අදහස් ය.

කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන ලිපි වලට අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමැති ධුරයක් තමන්ට අවශ්‍ය නැතැයි එහිදී ඔහු පැවසීය.

වැඩ කිරීමට හැකි නම් වැඩ කළ යුතු බවත් එහිදී කකුලෙන් ඇදීම සිදු නොකළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

‘සමහර විට ජනතාව අපිව ප්‍රතික්ෂේප කරයි. අපට අමාත්‍යාංශ දාලා යන්න වුණත් යනවා ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒත් මම නුවරඑළියෙ ජනතාවට වග කියන්න ඕන. මම රටේ සමස්ත ජනතාවට වග කියන්න ඕනි’ යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ම මේ ආකාරයට ආණ්ඩුවේ කටයුතු සිදුවන ආකාරයට සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළකර ඇත.

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියේ තමන් ලයිට් කනු අමාත්‍යවරයකු වීමට සූදානම් නැති බවය.

Page 319 of 388