V2025

පුවත්

තෙල් - ගෑස්  අර්බුදයේ ඉදිරි සතිය : රටේ තත්ත්වය බරපතළයි බියකරුයි !

"තෙල් - ගෑස් අර්බුදයේ ඉදිරි සතිය " මැයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිනුමේ මෙරට ඉදිරිය සම්බන්ධයෙන් බරපතළ මෙන්ම බියකරු පුරෝකථනයක් සිදුකර ඇත .

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .

තෙල් - ගෑස් අර්බුදයේ ඉදිරි සතිය !

වරාය, විදුලිබල මණ්ඩලය, හමුදාව, බස් ඩිපෝ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට හැර තෙල් සංස්ථාවෙන් තෙල් තොග නිකුත් කිරීම ඇණහිට ඇත.

රටේ අවම දෛනික ඉන්ධන අවශ්‍යතාව ඩීසල් 6000 MT ක් හා පෙට්‍රල් 3500 MT කි.

දැනට කොළොන්නාව, මුතුරාජවෙල ඉතිරිව ඇති තෙල් තොගය ඩීසල් 10,000 MT, 92 පෙට්‍රල් 1000 MT, 95 පෙට්‍රල 4000 MT කි. තෙල් බෙදාහරින මධ්‍යස්ථාන 11 ම වසා දමා ඇති ගානය.

මේ දිනවල ලංකාවේ විදුලි ජනනයෙන් 25% ක් සිදුවන්නේ ඩීසල්/ඉන්ධන මගිනි. දැනටමත් පොදු ප්‍රවාහණ සේවා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපන වී ඇත.

මඩකලපුව - අම්පාර ගොයම් කැපීම ඇරඹී ඇත. අස්වනු නෙලන්නට ඩීසල් නැත. වියළි කලාපයේ වගාවන්ට වතුර මෝටර සඳහා භුමිතෙල්, ඩීසල් ඇත්තේම නැති ගාන ය. හැදෙන ගෙඩිය, අලය, කරල වෙළෙඳපොලට ගෙනියන්නට ක්‍රමයක් ඇත්තේම නැති ගානය.

කෘෂිකර්ම, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ, පළාත් සභා හෙට අනිද්දා අලුතෙන් ගැසට්, නිවේදන නිකුත් කරනු ඇත.

රටට එක තැන නැවතීම වැලැක්වීමට ආණ්ඩුවට හෝ කිසිදු වැඩපිළිවෙළක් නැත. විපක්ෂය -- රටේ විකල්ප ආණ්ඩුව කියා දෙයක් නැත. සමාජ බලවේග කැඩි බෙදී වෙන්වී ඇත.

ගෑස් දැනටම නැත. ඉන්ධන තව ටික දවසකින් නැත්තටම නැතිවනු ඇත. විදුලිය කැපෙනු ඇත. ඇමතිවරු තව තව බොරු කියනු ඇත.

රැකියා ලක්ෂ 30 ක් අහිමි වනු ඇත.

පණ බේරාගන්න උත්සහ කරන්න!

රජිත් කීර්ති තෙන්නකෝන්

ඉන්ධන අර්බුදය තවත් ඇදෙයි - ඇමති පිළිගනියි : බස් ගාස්තු ඉහළට !

බස් ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා ඉහළ දැමීමට නියමිත බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පැවසීය.

වාර්ෂික අනිවාර්ය බස් ගාස්තු සංශෝධනයක් ලබන ජූලි මස 1 වැනිදාට යෙදී තිබීම නිසා ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම ආදි රැසක් මේ වන විට ගැලපීම් කරමින් සිටින බවත් අමාත්‍යවරයාා සහ බස් සංගම් නිලධාරීන් අතර අනිද්දා (28) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කීය.

ඉන්ධන අර්බුදය දිගටම !

මේ අතර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා ඇත්තේ දැනට පවතින ඉන්ධන අර්බුදය තවත් වසරක් පමණ කාලයක් හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇති බවය.

එම කාලය අතරතුර ඉඳහිට ඉන්ධන පෝලිමේ නැති වනු ඇති නමුත් යලි ඇති වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත .

දැනට මෙරටට මාසිකව ඉන්ධන ආනයනය සදහා ඩොලර් මිලියන 600 ක් පමණ ප්‍රමාණයක් වැය වූවත් එය අනිවාර්යෙන්ම මිලියන 300 දක්වා හරි අඩකින් අඩු කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

එහිදී යම් යම් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද පැවසූ ඔහු ඉන්ධන බෙදා හැරීම සඳහා ටෝකන් ක්‍රමයක් යුද හමුදාව මැදිහත් වී හෙට දිනයේ සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත .

මෑතකදී මෙරටට ඉන්ධන ගෙන්වීම සදහා ණයවර ලිපියක් විවෘත කරන ලද නමුත් එය ප‍්‍රතික්‍ෂෙප වූ බවත් ඊට හේතු වූයේ රුසියානු නැවක් වීම නිසා බවත් අමාත්‍ය කාංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කර ඇත .

මහ බැංකු අධිපති ගෙදර යවනවාද ? අග්‍රාමාත්‍ය මතය මෙන්න !

වත්මන් මහ බැංකු අධිපතිවරයා වෙනුවට තමන් විසින් වෙනත් අයකු එම ධුරයට පත් කරන බවට පළ වී ඇති ඕපාදුප තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

 ඊයේ (25) වෘත්තිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්මන් ධූර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වීමට නියමිත නමුත් ඒ අනුව එම ධුරයට වෙනත් අයකුගේ නමක් යෝජනා කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

අගමැතිවරයාගේ අවධානය මුළුමනින්ම යොමු වී ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර බැසිල්වාදියකු ලෙස ප්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර වත්මන් මහ බැංකු අධිපති ඉවත් නොකරන ලෙස ඉල්ලා ඇත.

ඩො.මි. 6.7 ගෙවූ චීන පොහොර වෙනුවට අලුත් පොහොර නෑ : හැබැයි වන්දියක් ඉල්ලයි !

ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ඉරිදා ‘මව්බිම’ වාර්තා කර ඇත .

අදාළ පුවත අනුව එම සමාගමේ මෙරට නියෝජිත සමාගම හරහා ඒ බව දැනුම්දී ඇත .

මව්බිම පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදී එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම මේ පිළිබඳව දැනුම්දී ඇති අතර යම් හෙයකින් එම පොහොර තොග භාර නොගන්නේ නම්, ඒ වෙනුවෙන් වන්දියක් පවා ගෙවීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවා තිබෙන බව ද පැවසේ.

ප්‍රතික්ෂේප වූ පොහොර තොග වෙනුවට නව පොහොරක් ලබාදිය නොහැකි බව එම හමුවේදී චීන සමාගමේ මෙරට නියෝජිතයා දැනුම් දී ඇති අතර චීන සමාගම ලබා දෙන පොහොර තොගය භාර නොගෙන ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සමාගම අපකීර්තියට පත් කළා සේ සලකන බව ත් ඔවුහු පෙන්වාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය.

ඒ අයුරින් චීන සමාගම අපකීර්තියට පත් කිරීමට වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ගෙවීමට සිදුවනු ඇතැයි ද මෙරට නියෝජිත සමාගම දන්වා තිබෙන බව එම ජේ‍යෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දෙරට අතර පවතින මිත්‍රශීලී ගනුදෙනු සඳහා බලපෑමක් ඇති කරනු ඇතැයි ද චීන පොහොර සමාගමේ දේශීය නියෝජිත සමාගම අනතුරු අඟවා ඇතැයි ඔහු තවදුරට ත් පැවැසීය.

ප්‍රතික්ෂේපිත චීන පොහොර නැවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල ගෙවා අවසන් අතර මේ වන තුරුත් ගෙවූ මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැතැයි කෘෂි ක්ෂේත්‍රයේ විශේෂඥයෝ චෝදනා කරති.

ඒ සඳහා අධිකරණයේ පැවරුණු නඩු කටයුත්තේදී එළැඹුණු සමථකරණයට අනුව ප්‍රසිද්ධ කළ යුතු ඒකාබද්ධ නිවේදනය පවා මේ වනතෙක් නිකුත් නොකිරීම සැක සහිත බව ද ඔවුහු පෙන්වා දෙති.

අර්බුදය මැද : ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් ලංකාවට !

ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් හෙට (26) සිට ලබන 29 දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි .

ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට මෙම දූත පිරිසට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත්, දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් ද ඇතුළත් වෙයි.

ඔවුන්ගේ සංචාරය අතරතුර මෙරට දේශපාලන නියෝජිතයින්, ආර්ථික විශේෂඥයින්, ජාත්‍යන්තර සංවිධාන ද හමු වී සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පාර්ශ්වය පැවසීය.

පෞද්ගලිකව තබාගත හැකි ඩොලර් ප්‍රමාණය මෙන්න : සීමාව පැන්නොත් වැඩ වරදියි !

මෙරට සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට සිය සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය සීමා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .

ඊට අනුව ඇමරිකානු ඩොලර් 15000 සිට 10000 දක්වා එම විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය අඩු කර ඇත.

ඊට වැඩි විදෙස් මුදල් විදේශ ව්‍යාපාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකට විකිණීම සිදු කළ යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .

ඒ සඳහා ඉකුත් 16වන දින සිට වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබා දෙන බවත් ,පොදු සමා කාලය අවසානයේදී මෙම නියමය උල්ලංඝණය කරමින් තමා සංතකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව පියවර ගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකු වැඩිදුරටත් සඳහන් කර ඇත .

අදානි සමාගමේ දේශීය නියෝජිතයා නාමල් ? (වීඩියෝ )

ඉන්දීය අදානි සමාගමේ දේශීය නියෝජිතයා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂදැයි බරපතළ සැකයක් මතුව ඇති බව කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩුගේ රහස් ලිපියකින් එවැනි සැකයක් මතුවන බවත් ඔහු පැවසූ අතර ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

”ඇයි මේ ලියුම නාමල් රාජපක්ෂ ට කොපි කරන්නේ.? එතකොට කවුද අදානිගේ local agent ලංකාවෙ? එතුමා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මොකටද? ” යනුවෙන් ද එහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ ය.

කෝප් කමිටුව ඇතුළේ හිටපු විදුලිබල සභාපති හෙලිදරව් කළ සියලු කරුණු ඇතුළත් වීඩියෝව සගවා තබා ගත නොහැකි බවත්, එය ජනතාවගේ දැනගැනීම පිණිස මාධ්‍යයට ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් එහිදී වැඩිදුරටත් පැවසීය .

ලංකාවට සහය දෙනවා : IMF ජනාධිපතිට දන්වයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුව ඇති අතර ඊයේ (24) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී එය සිදුව ඇත .

සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යයනයට ලක් කරන බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි .

අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා සහ වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුහු ජනාධිපතිතුමා දැනුම්වත් කළ බවත් එහි සඳහන් ය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීමට අපේක්ෂා කරන බව නියෝජිත පිරිස කියා සිටි බවත් අදාළ නිවේදනය පවසයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර් (Peter Breuer), මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි (Masahiro Nozaki), නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිදානු සෙට්යාවන් (Tubagus Feridhanu setyawan), ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන් මාරි ගුල්ඩේ (Anne Marie Gulde), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, නියෝජ්‍ය මුදල් ලේකම් එම්.එස්.එස්. සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර මේ අවස්ථාවට එක්ව සිටි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

පාසල් පැවැත්වීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක් !

ඉදිරි සතියේ පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන අපහසුතා නොපවතින ග්‍රාමීය පාසල්වල ජුනි 20 සිට 24 දක්වා සතියේ අධ්‍යන කටයුතු සිදු කළ ආකාරයට ම ඉදිරි සතිය තුලද කටයුතු කරන ලෙසත් එහි සඳහන් ය.

පසුගිය සතියේ පාසල් නොපැවැත් වූ නාගරික පාසල් සතියේ දින තුනක් පමණක් පවත්වන ලෙසද උපදෙස් නිකුත්කර තිබේ.

සිසුන් නොපැමිණෙන දිනවල දී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කරන ලෙසද අදාළ නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

308132 1

විමලේ ආයෙත් පොදු හතුරෙක් හොයාගෙන !

"අප සියලුදෙනාගේම පොදු සතුරා තමයි මේ ආර්ථික අර්බුදය. අපි කවුරුත් වැඩ කරන්න ඕනේ ඒක පිළිඅරගෙන. ‘ආණ්ඩුව’ නැමැති සතුරා ඉන්නේ ඊට යටින්. ‘දේශපාලන ප්‍රතිවාදීන්’ සියල්ල ඉන්නේ ඊට යටින්. කේන්ද්‍රීය සතුරා තමයි ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදයට අපි වගකීම් සහගතව මුහුණ දීලා ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

මම කවදාවත් අග්‍රාමාත්‍යවරයා සහ බැසිල් සංසන්සදනය කරලා නෑ !

“ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහස් දැක්වීම පිළිබඳව මට පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඉඩ දෙන්න. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාට වඩා ඔබතුමා නරකයි, කියා මා පැවසූ බව අගමැතිතුමන් පැවසුවා. මම කොතැනකවත් ඔබතුමා හෝ ඔහු සංසන්දනය කරමින් හොඳ නරක කියන්න ගිහින් නැහැ. මම කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයාගෙ ‘ටයිකෝට් වර්ෂන් එක’ ඔබතුමා කියලයි.

‘පොදු සතුරා ආර්ථික අර්බුදයයි !

ගරු කතානායකතුමනි, අප සියලුදෙනාගේම පොදු සතුරා තමයි මේ ආර්ථික අර්බුදය. අපි කවුරුත් වැඩ කරන්න ඕනේ ඒක පිළිඅරගෙන. ‘ආණ්ඩුව’ නැමැති සතුරා ඉන්නේ ඊට යටින්. ‘දේශපාලන ප්‍රතිවාදීන්’ සියල්ල ඉන්නේ ඊට යටින්. කේන්ද්‍රීය සතුරා තමයි ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදයට අපි වගකීම් සහගතව මුහුණ දීලා ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. ඒක ජය ගන්න බැරි වෙනවා කියන්නේ ජාතියක් හැටියට අපේ අභාවය තීරණය වන බවයි. මේ ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට වැඩෙනවා. මානව ආපදාවක් දක්වා වැඩෙනවා කියන්නේ එතැනින් එහාට මේ ග්‍රිප් එක කාටවත් ලැබෙන්නේ නැහැ, ගිලිහෙනවා කියන එකයි.

‘මහජනතාවට දාපු වෙට්ටුවක් !

ඔබතුමා පැවසූ පක්ෂ දෙක පාර්ලිමේන්තුව වර්ජනය කිරීම පිළිබඳව බැරෑරුම්ව ප්‍රශ්න කළ යුතු නැහැ. අදට විතරයි වර්ජනය තිබෙන්නේ. මේ පාර්ලිමේන්තු සතිය අදින් අවසන් වෙනවා. ඒ වර්ජනය මහජනතාවට වෙන අදහසක් දෙන්න දාපු වෙට්ටුවක්. අපි පිළිගන්නවා, මේ ‘ආර්ථික අර්බුදය’ නැමැති කේන්ද්‍රීය සතුරා සමග කරන සටනේදී අනෙකුත් සටන් දෙවැනි තැනට දාන්න ඕනේ, කියා. ඊයේ අපි රුසියන් තානාපතිතුමන් හමුවීමට ගියේ තෙල් ටිකක් අරන් දීලා ඒකෙන් ගාණක් කපන අරමුණෙන් නොවෙයිනේ. අපටත් ඕනේ අර පීඩාවෙන් තෙල් පෝලිමේ ඉන්න මිනිහව ගෙදරට යවන දිනයක් දැකගන්නයි. ඒකට රුසියන් තානාපතිතුමන් හමුවෙලා උත්සාහයක් දැරිය යුතුයි, කියා අපට හිතෙනවා. ඒකට අපි ආණ්ඩුවේ ද ඉන්නේ, විපක්ෂයේ ද ඉන්නේ, කියන එක මම නම් අදාළ කර ගන්නේ නැහැ. ඒ නිසා අපි හැමවිටම කියන්නේ ‘විධිමත් උපායමාර්ගික සැලැස්මක්, ක්‍රියාකාරී සැලැස්මක් අපට පෙන්වනවා නම් ඒකෙ අපට ඉටු කරන්න පුළුවන් භූමිකාව ඉටු කරන්න අපි විපක්ෂයේ ඉඳගෙන හෝ ලැහැස්තියි’ කියලයි. ඒ අරමුණින් තමයි අපි ඒ දෙස බලන්නේ.

සම්ප්‍රදායික දේශපාලනය ගැන ජනතාව කළකිරීමෙන් !

මෙතැනදී අපි එකිනෙකා පිළිබඳව කල් තබා ඇති කර ගත්තු ආකල්ප මත ඉඳගෙන හැසිරෙන්න බැහැ. අපි ඒක ඉතාම තදින් විශ්වාස කරන දෙයක්. මේ අර්බුදය විසින් අපේ සාම්ප්‍රදායික දේශපාලනය අභියෝගයට ලක් කරලා තිබෙනවා. ‘පාරේ පෙළපාලි’ කියන ඒවා අද ‘සත පහකට’ ගණන් ගන්නේ නැති දේවල් බවට පත් වී තිබෙනවා. පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට ඒ පෙළපාලිවලින් ලැබෙන උත්තරය ගැන අදහසක් නැහැ. අද මිනිස්සු ඉන්නෙ සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳ තදබල කලකිරීමකින්. ඒ නිසා අපට වගකීමක් තිබෙනවා, ඒ කලකිරීම අඩුවන ආකාරයට මේ රටේ දේශපාලනයේ සිදුවිය යුතු තර්කානුකූල ඓතිහාසික වෙනස්කම් සඳහා මේ මොහොත සද්භාවයෙන් යොදාගන්න. එහෙම නැතිව එකිනෙකාගේ අරමුණු ඉටුකර ගැනීමට නොවෙයි මේ මොහොත යොදාගත යුත්තේ.

විශ්වාසය හදන්න සජිත් අනුර ඩලස් ඇතුළු පාර්ශ්ව ඇතුළත් භාරකාර මණ්ඩලයක් හදන්න : ඕන නම් මමත් එන්නම් !

ගරු කථානායකතුමනි, ඔබතුමා කීවා ‘යෝජනා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න’ කියා. මං පළමුව ඔබතුමාට යෝජනාවක් කරන්නම්. අපි දන්නවා විදෙස්ගතව සිටිනවා මිලියන තුනකට අධික ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක්. ඒ අතර ඇතැමුන් ව්‍යාපාරිකයන් ලෙසත් තවත් පිරිසක් රැකියාවල නියුතුවූවන් ලෙසත් ඉන්නවා. ඒ අය තුළ තදබල ආකල්පයක් ගොඩනැගී තිබෙනවා, ඔවුන් නීත්‍යනුකූල මාර්ගයෙන් එවන මුදල් මෙහෙ ‘හොරා කනවා’ යනුවෙන්. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් එම ආකල්පය වර්ධනය කිරීමට කටයුතු කරනවා. මේ රට තුළත් ඩොලර් තිබෙන පිරිස් ඉන්නවා. ඔවුන් පවා ඉන්නේ ඉහත ආකල්පය තුළයි. එහෙමනම් අපි පළමුව කළ යුත්තේ ඒ අය තුළ විශ්වාසය ජනිත කිරීමයි. විශ්වාසය ජනිත කිරීමට අපි කළ යුත්තේ කුමක්ද? අපි හිතමු, අපි අරමුදලක් හදනවා, කියා. මහ බැංකුව ඒ එවන ඩොලර් ටික තියා ගත්තාට කමක් නැහැ. ඒ ඩොලර් ටික වියදම් වන ආකාරය පිළිබඳව සොයා බලන්න, ආවේක්ෂණය කිරීමටයි අරමුදලක් හදන්නේ. එම අරමුදලට භාරකාර මණ්ඩලයක් පත් කරනවා. මම කියන්නේ ඒ භාරකාර මණ්ඩලයට සජිත් ප්‍රේමදාස මහත්තයා වගේම අනුර කුමාර දිසානායක මහත්තයාත් එන්න ඕනේ කියලයි. මටත් එන්න කිව්වොත් මමත් එන්නම්. ඩලස් අලහප්පෙරුම මහත්තයා වගේ කෙනෙකුත් එන්න ඕනේ. ඒ වගේ සියලු පාර්ශවල නියෝජනයක් සහිත භාරකාර මණ්ඩලයක් හදන්න.

භාරකාර මණ්ඩලේ වාසිය !

සාම්ප්‍රදායික දේශපාලන කෝණයෙන් බලන කොට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ආණ්ඩුවේ අභ්‍යන්තර පාර්ශ්වකරුවන් වීමට බැරි වෙන්න පුළුවන්. නමුත් මෙවැනි අරමුදලක් හදලා, භාරකාර මණ්ඩලය ඉහත කී අයගෙන් සමන්විත වුවහොත් ඒ භාරකාර මණ්ඩලයේ අනුදැනුමෙන් තොරව එම අරමුදලේ මුදල් කිසිවකට යෙදවිය නොහැකි බවට වගන්ති ඇතුළත් කළාම ඉහත කී අවිශ්වාසය නැති වෙනවා. විශ්වාසය ජනිත වෙනවා. අපට පුළුවන් එම අරමුදලට වැටුප විදිහට, ආධාර විදිහට මුදල් එවන අය වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධියට පත් කරන්න. එමගින් ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්න පුළුවන්. ඒ අරමුදලට දායක වන අයගේ ඥාතීන්ට ලැබෙන වාසිදායක අවස්ථා ප්‍රකාශයට පත්කරන්නත් පුළුවන්. කවර ආකාරයකින් හෝ ඔවුන් දිරි ගන්වන්න ඕන.

ඩොලර් මිලියන 800ක් හොයන්නේ කොහොමද ?

කල්පනා කර බලන්න ගරු කතානායකතුමනි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් ස්ථිර පදිංචි මිලියන 1.5 සහ ශ්‍රම බලකාය මිලියන 1.8 යන දෙකම සැලකූවිට මිලියන 3.3ක්, ලක්ෂ 33ක්. එම විදෙස්ගත ශ්‍රීලාංකිකයන් ලක්ෂ තිස්තුනෙන් අඩුම තරමින් ලක්ෂ 25ක්වත් මේ ක්‍රියාදාමයට හවුල් කරගැනීමට ලැබුණොත්, ඒ විතරක් නොවෙයි මේ රට තුළත් සංචාරක ව්‍යාපාරය වැනි ව්‍යාපාර මගින් ඩොලර් උපයන පිරිස ද මේ ක්‍රියාදාමයට දායක කරගැනීමට ලැබුණොත් අපට මේ මසකට අවශ්‍ය ඩොලර් මිලියන 750 – 800ක මුදල සොයාගැනීම මහා දුෂ්කර අභියෝගයක් වේවි, කියලා මම නම් හිතන්නේ නැහැ. බලන්න මෙතැනදී කරන්න තිබෙන්නේ පළමුව විශ්වාසය ජනිත කිරීම. දෙවනුව එම අරමුදලට දායකවන්නන් දිරිගන්වනසුලු පැකේජයක් යෝජනා කිරීම. එච්චරයි කරන්න තිබෙන්නේ. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි.

‘තෙල් පෝලිම්වල උතුරන මනුෂ්‍යත්වය’

ගරු කතානායකතුමනි, මේ රටේ මාධ්‍ය මඟින් තෙල් පෝලිම්වල උතුරන මනුෂ්‍යත්වය පෙන්වන්නේ නැහැ. අර හෙල්මට් බලකායෙන් ඇවිත් අල්ලන ගෝරිය විතරයි පෙන්වන්නේ. දැන් හෙල්මට් බලකායක් ඉන්නවානේ තෙල් පෝලිම වෛරයෙන් ඉන්නවා වගේ පෙනෙනවා නම් මොකක්හරි ‘පොයින්ට් එකක්’ දාලා ගෝරි අල්ලන. නමුත් තෙල් පෝලිමේ තිබෙනවා උතුරන මනුෂ්‍යත්වයක්. කෑම එකක් ගෙනැවිත් හතරදෙනෙක් බෙදාගෙන කනවා, තැඹිලි ගෙඩිය බෙදාගෙන බොනවා. එතැනදී අලුත් මානව සබඳතාවන් ගොඩනැගෙනවා. මම මේ කියන්නේ තෙල් පෝලිම හොඳයි කියලා නොවෙයි. අපේ මිනිස්සු මේ විපතටත් මුහුණදෙන්නෙ ධනාත්මකව. එහෙම මිනිස්සු ඉන්න රටක අපට ඇයි මේ ආර්ථික අර්බුදය, පුනරුදයේ මොහොත බවට පත් කරගන්න බැරි? අර්බුදය, පුනරුදය බවට පෙරළාගන්න පුළුවන්. අපට ලකුණු දාගන්න ඕනෙ නැහැ. කවුරු ලකුණු දාගත්තත් අපට කමක් නැහැ. නමුත් අපට තිබෙන වේදනාව මේ අර්බුදය පුනරුදයේ මොහොත බවට පෙරළාගන්නා බවක් පෙනෙන්නට නැති වීමයි. එහෙම දැක්මක්, නායකත්ව මගපෙන්වීමක්, උපායමාර්ගික සැලැස්මක් ඇති බවක් අපට පෙනෙන්නේ නැහැ.

‘පළමු කොන්දේසිය : විශ්වාසය තහවුරු කිරීම !

අද අගමැතිතුමාගේ කතාවේදී මොනවාද කීවේ? අයි.එම්.එෆ්. සමග සාකච්ඡාව, චීනය, ජපානය හා ඉන්දියාවෙන් ණය ගැනීම හැරුණාම ‘ගෙවතු වගා’ වැනි දේවල් ටිකකුත් කීවා. නමුත් ගරු අගමැතිතුමනි, මෙතැන තිබෙන පළමු කොන්දේසිය තමයි විශ්වාසය තහවුරුකර ගැනීම. අද අපේ ජන සමාජය සහ දේශපාලනතන්ත්‍රය අතර තිබෙනවා මහා විශාල විශ්වාසය පළුදුවීමක්, බිඳවැටීමක්. ඒ පළුදු වූ විශ්වාසය යළි තහවුරු කරන්න ගන්න ඕනේ පියවර මොනවාද? ඒකට නිර්මාණශීලීව හිතන්න වෙනවා. මම ඉහතදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ගෙන්වා ගැනීම පිළිබඳව පෙන්වා දුන්නේ එවැනි නිදසුනක්. මම විශ්වාස කරනවා අපේ විදෙස්ගත ලක්ෂ 33 අවදි කරලා ගත්තොත් ඔවුන් තුළ විශ්වාසය ජනිත කළොත් අපට මාසිකව අවශ්‍ය ඩොලර් මිලියන 800 හොයන්න වෙන කිසිවක් කිරීමට අවශ්‍ය නැහැ, කියා. එහෙම වුණොත් ඉස්පිරිතාලේ බෙහෙත් නැතිව අර සර්පයා ගහපු දරුවා වගේ දරුවන් මිය යන්නේ නැහැ.

මම මේ රටට ණයයි !

අපි හිතමු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 33න් ලක්ෂ 25ක් මේ වැඩේට දායක කරගත්තා කියලා. ඔවුන් එක් අයෙක් මාසයකට රුපියල් ලක්ෂය බැගින් එව්වොත් රටට ඩොලර් මිලියන 750ක් ලැබෙනවා රුපියල් ලක්ෂ දෙක බැගින් එව්වොත් රටට මාසිකව ඩොලර් මිලියන 1500ක් ලැබෙනවා. අපේ රටේ විදේශගත වෙලා ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් හැදුණු වැඩුණු මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ හිතේ තිබෙනවා ‘මම මේ රටට ණයයි’ කියන හැඟීම. ඒ නිසා එවැනි මිනිස්සු කවදාවත් කැමති වෙන්නේ නැහැ, තමන්ගේ අම්මා, තාත්තා, ඥාතියා, හිතවතා පෝලිමේ ඉන්න කොට තමන්ගේ ඩොලර් ටික පෙට්ටගමක දාලා තියාගෙන ඉන්න. ඒ හදවත් බොහොම විවෘත, දයාබරිත හදවත්. මුලින්ම ඒ හදවත්වලට ආමන්ත්‍රණය කරන්න.

‘මිනිස් පවුරට ආමන්ත්‍රණය කරන්න’!

ඔබතුමා ඉදිරිපත් කළ විදිහටත්, මින් පෙර කියැවුණු විදිහටත් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 550ක් පමණ, ගෑස් සඳහා ඩොලර් මිලියන 50ක් හෝ ඊට අඩු ගණනක්, ඖෂධවලට ඩොලර් මිලියන 50ක් හෝ ඊට අඩු ගණනක්, පොහොරවලට ඩොලර් මිලියන 50ක් හෝ ඊට අඩු ගණනක්, ධාන්‍යවලට මිලියන 10ක් ආදී වශයෙන් මසකට ඩොලර් මිලියන 800ක් අවශ්‍යයි. මේ ඩොලර් මිලියන 800 දෙන්න මොන තරම් විශාල මිනිස් පවුරක් ඉන්නවාද? ඇයි අපි ඒ මිනිස් පවුරට ආමන්ත්‍රණය නොකරන්නේ?

IMF , IMF කියමින් හිටියාම ගොඩ යයිද ?

සමහරු හිතනවා ‘අයි.එම්.එෆ්. – අයි.එම්.එෆ්’ කියමින් සිටියාම ‘මේක ගොඩ යයි’ කියලා. මොකක් හරි වෙයි. මම ඒ දිහා සෘණාත්මකව බලන්නේ නැහැ. මට එහෙම අවශ්‍යත් නැහැ. හැබැයි ඒ උපායමාර්ගයෙන් පමණක් මෙතැනින් එළියට එන්න බැහැ. මහා බලවේගය තමයි අපේ මිනිස්සු. ඒ මහා බලවේගය අවදි කිරීම අත්‍යවශ්‍යයි. ඒ මහා බලවේගය අවදි කිරීමෙන් පමණයි මේ අර්බුදය පුනරුදයේ මොහොත බවට පෙරළාගත හැක්කේ.

අන්තරේ දරුවන් එනවා , පෙරළනවා යනවා : මේක මාටියා ගැසීමේ වෙලාව වෙන්න දෙන්න එපා !

මීට ඉහතදී සංචාරක ව්‍යාපාරයෙන් අපි වාර්ෂිකව ඩොලර් බිලියන 05ක් පමණ හෙව්වා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 07ක් පමණ ලැබුණා. අපට හරියට මැදිහත් වුණොත් එය ඩොලර් බිලියන 12ක් කරගන්න පුළුවන්. ඔය විරෝධතාවලින් සිදුවන්නේ එය අඩු කිරීම මිස වැඩි කිරීම නොවෙයි. මෙතැනදී අපි සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. අර ‘අන්තරේ’ දරුවො ටික එක්කන් එනවා, පෙරළනවා, යනවා. ඒ දරුවන්ගේ කාලයත් අපතේ යනවා. මේ වෙලාව කියන්නේ සබුද්ධික වෙන්න ඕනේ වෙලාවක්. මනූෂ නානායක්කාර මැතිතුමා හෝ හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඇමතිකමක් අරගෙන සිටීම ගැන මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ට පුළුවන් කියා හිතෙන දෙයක් කරන්න. නමුත් මේ වෙලාව ‘මාටියා ගැසීමේ වෙලාව’ බවට පත්කර ගැනීමට ඉඩ නොදිය යුතුයි. ගරු අග්‍රාමාත්‍යතුමනි, මම කැමති නැහැ අනවශ්‍ය අවිශ්වාසයක් නිර්මාණය කරන්න. නමුත් මේ වෙලාවෙත් සමහර පුද්ගලයෝ උත්සාහ කරන්නේ ‘මොකක් හරි ඩීල් එකක් දාලා’ කීයක් හරි හොයාගන්න. මම මේ කියන්නෙ දේශපාලනතන්ත්‍රයත් සමග ගෑවුණු පිරිසක් ගැනයි. දෙවන පෙළක් ගැනයි එහෙම වුණොත් මහජනයා තුළ විශ්වාසය යළි ජනිත කිරීමට කිසිවකුටත් හැකි වන්නේ නැහැ.

‘ලී ක්වාන් යූ මුලින්ම කිව්වේ මොකක්ද ?

අපි සිංගප්පූරුව ගැන කතා කරනවා. එහි තිබෙන්නේ වර්ග කිලෝමීටර් 728ක පමණ භූමි ප්‍රමාණයක්. ලී ක්වාන් යූ මුලින් කීවේ, ‘සිංගප්පූරුව ලංකාව වගේ කරනවා’ කියලයි. දැන් අපි සෑහෙන කාලයක් තිස්සේ කියනවා, ‘ලංකාව සිංගප්පූරුවක් කරනවා’ කියලා. හැබැයි සිංගප්පූරුවේ කෘෂිකර්මාන්තය දළ ජාතික නිෂ්පාදිතයට දායක වන්නේ 0.5%කින්. ආහාර ද්‍රව්‍යවලින් 90%ක්ම ආනයනය කරනවා. නමුත් අද ආහාර සුරක්ෂිතතාව අතින් කරනවා අපේ විදෙස්ගත ලක්ෂ 33 අවදි කරලා ගත්තොත් ඔවුන් තුළ විශ්වාසය ජනිත කළොත් අපට මාසිකව අවශ්‍ය ඩොලර් මිලියන 800 හොයන්න වෙන කිසිවක් කිරීමට අවශ්‍ය නැහැ, කියා. එහෙම වුණොත් ඉස්පිරිතාලේ බෙහෙත් නැතිව අර සර්පයා ගහපු දරුවා වගේ දරුවන් මිය යන්නේ නැහැ.

හිටපු මුදල් ඇමති රවී කියපු කතාව !

අපේ රටේ සිටි එක් මුදල් ඇමතිවරයකු වූ රවී කරුණානායක මහතා වරක් කීවා, ‘මේ රටේ වී වගා කරලා වැඩක් නැහැ. ඊට වඩා අඩුවෙන් පිටරටින් සහල් ගෙන එන්න පුළුවන්’ කියා. ඒක නොවෙයි ආහාර සුරක්ෂිතතාව කියන්නේ. මේක රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනයා අවදි කළ යුතු වෙලාව. ඒ නිසා අපි මේ අර්බුදය දෙස බලන්නේ ධනාත්මකව. එහෙම නැතිව ඒකෙන් අපට පොටක් පාදා ගන්නේ කොහොමද, කියලා නොවෙයි. හැබැයි කවුරුත් ඒ මනසින් මේ අර්බුදයේ දෙස බලලා ඉන් ගොඩයෑමට උත්සාහ දරන බවක් අපට නම් පෙනෙන්නේ නැහැ ඒක තමයි කනගාටුවට කරුණ”

 

 

වෙල්ගම ලංගම නඩුවෙන් නිදහස් !

ප් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (24) නියෝග කර ඇත .

ඒ නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් , ඒ හේතුවෙන් මෙම සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ය.

මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අද අධිකරණය හමුවේ පෙනී සිටි බවත් වාර්තා වෙයි .

නිමල් ජපන් තානාපතිට සොරි කියයි !

ජපානය ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල්වීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි හමුවේ පවසා ඇති බව වාර්තා වෙයි .

ඒ අද(24) අමාත්‍යංශයේ දී ලංකාවේ ජපාන තානාපතිවරයා හමුවූ අවස්ථාවේදිය.

ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් ඇරඹූ කටුනායක ගුවන්තොටුපොළ දෙවන අදියරේ එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට මෙහිදී බාරදී ඇති බවත් වාර්තා වෙයි .

එහිදී ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි කොරෝනා උවදුර සහ වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවී ඇති බව තමාට වාර්තාවී ඇති බව පවසා ඇත .

එසේම මෙරට ඉදිකිරීම් කටයුතුවල නිරත බොහෝ විදෙස් සමාගම් මෙම අර්බුදයට මුහුණ දී ඇතැයි පෙන්වාදී ඇති තානාපතිවරයා ජපානය සම්බන්ධයෙන් පවතින දැඩි විශ්වාසය තවදුරටත් රඳවා ගන්නා ලෙසට ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි .

ශ්‍රී ලංකාව අසීරුතාවට පත් වූ සෑම අවස්ථාවකදීම ජපාන ජනතාව සහයට ඉදිරිපත්වීම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන බව නිමල් සිරිපාල සිල්වා ප්‍රකාශ කළ බවත් වාර්තා වෙයි .

එසේම තිරිකුණාමල වරාය ආශ්‍රිත නව කර්මාන්ත පුරයක් සඳහා ඉඩම් මේ වනවිට වෙන්කර ඇති බැවින් එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ජපන් ආයෝජකයන් දිරිමත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් දැනගන්නට ඇත .

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් (Hoshiai chiharu) හොෂිආයි චිහාරු කට්සුකී, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර සහ අතිරේක ලේකම් සුනිල් ගුණරත්න ඇතුළු පිරිසක් සහභාගීවූ බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

පොහොර සහ ඉන්ධන දුන්නා නම් ගැටලු රැසක් විසඳෙනවා : ජනාධිපති ඇත්ත පිළිගෙන !

මෙරට ජනගහණයෙන් 90%ක් ග්‍රාමීයව වෙසෙන අතර ඉන් 75%ක් කෘෂිකර්මාන්තයේ නියැලෙන අතර ඔවුන්ට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපයීම සම්බන්ධයෙන් විසඳුම් ලබාගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත .

ඒ යුරෝපා කලාපීය රටවල තානාපතිවරු අද (24) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ අදහස් දක්වමින් ය.

"යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන්න. මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙනවා’ යැයි ඊට එක්වූ විදෙස් දූත මණ්ඩල සාමාජිකයන් පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ලබාදෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව දූත මණ්ඩල සාමාජිකයන් පෙන්වා දුන් බවත් එහි සඳහන් වෙයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලෙස වගාකර නොමැති රජයේ ඉඩම් ලබාදීමට පියවර ගෙන තිබේ. යුද්ධයෙන් පසු ඇති වූ මානුෂීය තත්ත්වයන් සැලකිල්ලට ගෙන දීර්ඝකාලීන විසඳුම් ලබාදීමටත් නීතිය ක්‍රියාත්මක වීමේ දී කිසිවිටෙකත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති ආකාරයත් ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi), ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු (Eric Lavertu), ඉතාලි ජනරජයේ තානාපති රීටා මැනෙල්ලා (Rita Mannella), නෝර්වේ තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal), නෙදර්ලන්ත තානාපති ටාන්‍යා හොන්ග්‍රිච් (Tanja Gonggrijp), ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් (Holger Lothar Seubert), රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා (Victor Chiujdea), තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ (Rakibe Şekercioğlu), ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඔප්පු හිමිකම් නැති නිවාස ඉඩම් හිමියන්ගේ ප්‍රශ්නයට විසඳුමක් !

ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන් ට, ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දිමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

“සැමට හිමි බිමක්” වැඩපිළිවෙල යටතේ ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ වැඩසටහන අද (24) උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භවූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය .

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබයි

භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති දිවයිනේ සිටින සියළුම පුද්ගලයන්හට ඉඩමේ අයිතිය ලබාදීමේ පළමු පියවර අද දින සිට "හිමි බිම" ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය.

උපන් බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යානුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකටම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක් බිමේ හිමිකරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළද අද සිදු කෙරිණි.

හිමිකම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් පැවැති මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සහ ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන් හා ඔප්පුලාභීන් පිරිසක් සහභාගී වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි .

භූගත තෙල් ටැංකි විවෘත කර පෙන්වන : පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි !

ඉන්ධන පිරවුම්හල්වල ඇති භූගත ටැංකි විවෘතකර ජනතාවට පෙන්වීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සඳහන් කර ඇත .

පොලිස්පතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්ධන පිරවිම්හල්වල ඇති ඉන්ධන ටැංකි විවෘතකිරීම හෝ එය පරීක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ඛනිජතෙල් සංස්ථාවට සහ ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලයට බැවින් එම කටයුත්ත සඳහා පොලීසිය මැදිහත් නොවන ලෙස රටේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක්ඩ්ද නිකුත්කරමින්ය.

එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පොලීසිය ඉන්ධන පිරවුම්හල් වෙත යොදවා ඇත්තේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

 

පෙට්‍රල් නැව 24 එනවා - ඇමති : නැව එන්නේ නෑ - ආනන්ද : කවුද ඇත්ත කියන්නේ ?

අද(23) අලුයම මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව එක් දිනකින් ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අද (23) සහ හෙට (24) දිවයින පුරා සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බෙදා හරින බවය.

එසේම අමාත්‍යවරයා පවසන්නේ ඔටෝ ඩීසල් දිවයින පුරා උපරිම ධාරිතාවයෙන් බෙදාහැරෙන අතර සුපර් ඩීසල් සීමිත බෙදාහැරීමක් සිදු කෙරෙන බවය.

ඇමති කියන්නේ බොරු !

කෙසේ වුවත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පවසන්නේ හෙට දිනයේ (24) ඉන්ධන නැවක් පැමිණෙන බවට බලශක්ති ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවය.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත සදහන් කරන්නේ ඉන්ධන නැව් පැමිණෙන බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කර, ජනතාව රවටා ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීම වහාම නතර කරන ලෙසය.

රට මත්පැන් ඉල්ලුම 30% කින් පහලට : පාරිභෝගිකයන් කස්ටා වෙත ?

ජනතාවගේ ආදායම් අඩුවීම සහ මත්පැන් මිල ඉහළ දැමීම හේතුවෙන් රට මත්පැන් සම්බන්ධ ඉල්ලුම 30% කින් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි .

මේ බව අනාවරණය වී ඇත්තේ,පසුගිය ජුනි 20, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ය.

වාර්තා වන ආකාරයට එහිදී රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට සකස් කොට ඇති සැලසුම් පිළිබඳව කාරක සභා රැස්වීමේදී අවධානයක් යොමුව ඇත.

ඒ වෙනුවෙන් රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ කාරක සභා රැස්වීම සඳහා සම්බන්ධ කර ගෙන තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත.

මේ හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බව ද අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ විශ්ලේෂකයන් පවසන්නේ රට මත්පැන් ලෙස ප්‍රචලිත නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනය අඩුවීමට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් භාවිතය අනිවාර්යයෙන් ඉහළ යනු ඇති බවය.

ඒ අනුව මත්පැන් ආශ්‍රිත සෞඛ්‍ය අවධානමත් ඉහළ යනු ඇති බවත් ඔවුන් පවසයි .

අද හෙට දුම්රිය ගාස්තු 50% කින් ඉහළට !

ඉදිරියේදී දුම්රිය ගාස්තු අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (අධිකාරී - ගමනා ගමන) රංජිත් පද්මලාල් පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (අධිකාරී - ගමනා ගමන) රංජිත් පද්මලාල් මේ බව පවසා ඇත්තේ ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් සිදුවන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

Page 324 of 473