පුවත්

දකුණේ අරගලකරුවන්ට මිදිය නොහැකි වගකීමක් : රැඩිකල් මැද සාමූහිකය පෙන්වයි !
උතුරේ දියත් කළ යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් සිරකොට තබාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසත්, යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කර සිටින අය පිළිබදව තොරතුරු නොපමාව හෙළි කරන ලෙසත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් 'රැඩිකල් මැද සාමූහිකය' (Radical Centre) ගෝඨාභය-රනිල් පාලනයෙන් ඉල්ලා සිටියි.
අද (මැයි 18) වැනි දිනක රජයේ හමුදාවට බාරදුන් තම දුවා දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් උතුරේ මව්වරුන් ගෙනයන අරගලය පිළිගෙන , ඊට රනිල් ආන්ඩුවට බල කිරීමේ වගකීමෙන් දකුණේ අරගල කරන කිසිවකුට මිදිය නොහැකි බවත් 'රැඩිකල් මැද සාමූහිකය' (Radical Centre) අවධාරණය කර ඇත .
හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකල 'රැඩිකල් මැද සාමූහිකය' එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ය.
"දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු ! බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් සොයා දෙනු ! ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනු !" යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
"දෙමළ වර්ග සංහාරය සිහි කරන යුද පීඩිත උතුරු නැගෙනහිර දෙමළ ජනයා යුද්ධයට ගොදුරු වු දස දහස් සංඛ්‍යාත සිය ඥාතීන් මුල්ලිවයික්කාල් භුමියේදී අනුස්මරණය කිරීමට සුදානම් වන අද දවසේ අප අවධාරණය කරන්නේ, මේ වන විට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පමණක් නොව දෙමළ ජනයාට එරෙහිව සිදුවු සියලු ආකාරයේ අපරාධ වලට මාරුවෙන් මාරුවට මෙරට පාලනය කළ ආණ්ඩුව වග කිව යුතු බවයි.
" 1948 ලද නිදහසින් පසු ගෙවුණු දශක 7කට වැඩි කාලයක් පුරාවට මෙරට පාලනයට සම්බන්ධ වූ සියලු දේශපලඥයන්ගේ අඩු වැඩි දේශපාලන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයන් ලෙස මෙරට සමස්ත පුරවැසියාම අතිශය පීඩාකාරී, වේදනාකාරී ජීවිතවල උරුමකරුවෝ වෙති. ඒ අතරින් දෙමළ ජනතාව විඳි පීඩාව මහමෙරටත් වඩා බරය.
අවුරුදු 13කට වැඩි කලක් තිස්සේ එම අම්මලා උත්තර නැතිව හොයන්නේ අද ජනපති ගෝඨාභය රාජපක්ෂ එදා ආරක්ෂක ලේකම් සමයේ හමුදාවට බාරදීමෙන් පසු අතුරුදහන් කරන ලද දරුවන් ය. අද අගමැති රනිල් වික්‍රමසිංහ එදාත් අගමැති ලෙසින් සිටියදී සොයා නොදුන් දරුවන් ය. ඒ දරුවන් සොයා ගැනීමට ආන්ඩුවට බල කිරීමේ වගකීමෙන් දකුණේ අරගල කරන අපට මිදිය නොහැකිය.
යුද්ධයේ අවසාන දින වලදී රජයේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ ඩංගුවේදීත් යුද්ධයේ අවසන් අදියරේදීත් අතුරුදහන් කරන ලද තමන්ගේ ලේ ඥාතීන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බලපෑම් කරමින් උතුරු නැගෙනහිර මව්වරු දින දෙදහකට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩ අරගලයක යෙදී සිටිති.
ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු සහ මේ පිළිබඳ වූ තවත් වාර්තා අනුව යුද්ධය අවසානයේ රජයේ ආරක්ෂක අංශ වලට පුද්ගලයන් 1,642 දෙනෙකු භාරදී ඇති බවත්, ඔවුන්ද ඇතුළුව අදටත් ආගිය අතක් නැති පුද්ගලයන් සංඛ්‍යාව 21,171 බව සඳහන් වේ.
බලහත්කාරයෙන් අතුරුදහන් කළ තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ ආරම්භයේ වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.
විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරු ජනමාධ්‍යයට වාර්තා කරන උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍යවේදීන් වාර්තා කර ඇති පරිදි බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 115 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමනට සමු දී තිබේ.
දකුණේ කිසිදු සහයෝගයක් නොමැතිව රජයේ ආරක්ෂක අංශ වල විවිධ බාධා කිරීම් මධ්‍යයේ කුසට නිසි අහරක් පවා නැතිව අනේක විද දුක් විදිමින් ලංකා ඉතිහාසයේ දීර්ඝතම අරගලයේ යෙදී සිටින දෙමළ මව්වරුන්ගේ සටනට සහාය පළ කරන 'රැඩිකල් මැද සාමූහිකය' දකුණේ අරගලකරුවන්ට මතක් කරන්නේ , අරගලයේ අරමුණ ජයගන්නා තෙක් පසු නොබැස සටන් වදින ආකාරය පිළිබදව අපි උතුරේ මව්වරුන්‌ගෙන් පාඩම් උගත යුතු බවයි.
"සිය සමීපතමයන් සොයාගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට මේ දක්වා එකම සමීපතමයකු හෝ සොයා දීමට අසමත් වු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සම්බන්ධයෙන්ද අපට ඇත්තේ අපැහැදීමක් පමණි.
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබා දීමට රජය ගෙන ඇති තිරණය පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත් නොවන 'රැඩිකල් මැද සාමූහිකය' එම ක්‍රියාව දකින්නේ අපරාධ යට ගැසීමට ගන්නා උත්සාහයක් ලෙසයි.
සිය ජනතාවගේ සුජාත අයිතිය වෙනුවෙන් සටන් වැදීම නිසා වසර ගණනාවක් තිස්සේ අමානුෂික ලෙස සිර කොට තබාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරන 'රැඩිකල් මැද සාමූහිකයේ' අප ඉල්ලා සිටින්නේ කොන්දේසි විරහිතව සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කර මනුෂ්‍යත්වයේ දෑත් උතුරට දිගු කරන ලෙසයි.
බලයේ සිටින දේශපාලනඥයන් සිය විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා ආකාරය 'රැඩිකල් මැද සාමූහිකය' විසින් අවස්ථා ගණනාවකදීම නිරීක්ෂණය කර තිබේ.
"රටේ කීර්ති නාමය ජාත්‍යන්තරය හමුවේ පවා පළුදු කිරීමට හේතු වී තිබෙන අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස යළි යළිත් රජයට බලකරන අප තවදුරටත් අවධාරණය කරන්නේ රටේ සියලු පුරවැසියන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙසයි."
රැඩිකල් මැද සාමූහිකය මේ නිවේදනය නිකුත්කර ඇත්තේ , පාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කාන්තාවක් පත්කර ගැනීමට දැරූ ප්‍රයත්නය පවා, පටු දේශපාලන කඹ ඇදීමක් තුළ අහිමිව ගිය පසුබිමක වීමත් විශේෂත්වයක් .
මේ වන විට නිර්පාක්ෂික සාමකාමී අරගලය සෑම ආකාරයකම ජාතිවාදී ආගම්වාදී සහ සියලු සමාජ ප්‍රතිගාමීත්වයන් ප්‍රතිකේෂ්ප කර ඉදිරියට යමින් තිබෙනවා .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන්ද පවසන්නේ , අරගලය ඉල්ලා සිටින ක්‍රම වෙනස ඉටුකර ගැනීමට නම් දකුණේ පමණක් නොව , උතුරේ ද හදවත් දිනා ගත යුතු බවයි.
ඒ වෙනුවෙන් රැඩිකල් මැද සාමූහිකය' සිදුකර ඇති මේ මැදිහත් වීම තීරණාත්මක බවත් , එය අරගලයේ ඉදිරි දිශානතිය නිවැරදිව දක්වන්නක් බවත් විචාරක මතය වී තිබෙනවා .
........the end .......

බලාපොරොත්තු රහිත බවේ දේශපාලනය..!
අද පාර්ලිමේන්තුව පට්ටම අප්සෙට් කියල හැමෝම බුකියේ ලියල තියනවා දැක්ක. ඔව්, මුං ටික පට්ටම අප්සෙට් තමයි. ඇතුළේ තනිකර කෙළින්නේ පිස්සු. ලොකු පරතරයක් තියනවා ජනතා අභිලාශ සහ එයාලගේ හැසිරීම කියන ප්‍රපංච දෙක අතරේ. අවම වශයෙන් ආසන්න ජනතා ප්‍රශ්න ගැනවත් සංවේදී නැහැ මේ අය.
ඒත් මුං පාර්ලිමේන්තු යැව්වෙත් අපිම නේද? අපේ කැමැත්තෙන් ගිය සෙට් එකක් නෙවෙයිද මුං?
මේ යුගය දේශපාලනයේ ඉච්චාභංග යුගයක් (politics of disappointment) කියල ඇතැම් විචාරකයින් හඳුන්වනවා. පොදු යහපත වෙනුවට උන්ගේ යහපත ගැන තදින් හිතන දුර්දාන්ත යුගයක් මේක.
මිට පෙර ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් අධ්‍යාපනය එක්ක ලෝකය පුරා විසිර ගිය දේශපාලන නායකයෝ මිනිස්සු ගැන යම් පමණකට හිතුවා. ඔවුන්ගේ වේදනාව දැක්ක. සහනාධාර ගැන හිතුවා. ප්‍රතිසංස්කරණ ගැන හිතුවා. දේශපාලනයට ඔවුන් උපදෙස් දුන්නත් ඒ දුන්නේ මිනිස්සුන්ගේ පැත්තේ ඉඳල. ඔවුන්ට උසස් දේශපාලන අර්ථ සහ පරමාදර්ශ තිබුණ.
අනික් පැත්තට දේශපාලනය නැත්නම් රාජ්‍යකරණය ගැන මිනිස්සුන්ගේ තියෙන්නෙත් අසම්පුර්ණ අදහසක්. චන්දේ දෙන්නෙත් දේශපාලන අදහසක් මුදුන් පමුණුවා ගන්නවට වඩා පුද්ගලික දේවල් ටිකක් බලාන.
ඇමෙරිකානු දාර්ශනික ජෝන් රෝව්ල්ස් (John Rawls) කියනවා මිනිස්සු යම් සදාචාර විනිශ්චයන් ප්‍රමාණයක් එක්ක නෙවෙයි තමන්ගේ නියෝජිතයෝ තෝරාගන්නේ කියල.
දේශපාලකයෝ දෙන බලාපොරොත්තු සහ ඒවා ඉෂ්ට වීම අතර ලොකු පරතරයක් තියනවා (disjunction between perceptions and expectations). මේ නිසා මිනිස්සු නිරායාසයෙන් බලාපොරොත්තු රහිත වෙනවා. නිකම් හිතන්න 'සෞභාග්‍යයේ දේශය' ගැන.
පොළොවේ පැලකරන්න බැරි වියුක්ත අදහස් (abstract ideas) සමුදායක් මිනිස්සු ඉදිරිපිට දිගහැරියත් ඒවායින් එකක් වත් උන්ට ඉෂ්ට කරන්න බැහැ. නිකම් හිතන්න ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්ව 'මහා ප්‍රසාදය' (great wall) ගැන. කෝ ගඩොලක් වත් තිබ්බද? රෝව්ල්ස් මේ නිසා කියනවා කරන්න පුළුවන් ප්‍රයෝගික දේවල් විතරක් (pragmatism) දේශපාලකයෝ කියන්න ඕනි කියල. අනික අසන්නා සිහිබුද්ධියෙන් අහන්නත් ඕනි.
ඇතැම් කොටස් සහභාගී කරගන්න බැරි කම තවත් එක ප්‍රශ්නයක් (lack of representation). ලංකාවේ නම් තරුණ කොටස් නියෝජිත දේශපාලනයෙන් ඉන්නේ ගොඩක් ඈත. ඔවුන්ගේ නූතන අභිලාශ කොහෙත්ම නියෝජනය වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ.
අනික අනුකම්පා නැති එක (lack of empathy). නිකම් බලන්න කපුටු තට්ටේ කතාව. යම් ප්‍රශ්න ප්‍රමාණයක් නිසා එළියට බැස්ස මිනිස්සුන්ට තමයි එහෙම කිව්වේ. ඉතින් මිනිස්සු ප්‍රචණ්ඩ වෙන එක අහන්නත් දෙයක් ද?
අනික් වැදගත් ම දෙය තමයි ලිංගභේදය නොසලකා හැරීම (gender discriminations). විශේෂයෙන් අද නියෝජ්‍ය කතානායක කමට ස්ත්‍රියක් ඉල්ලුම් කළා. ඒකට කිසිම සැළකිල්ලක්වත් ගෞරවයක්වත් දුන්නේ නැහැ. ඒ අසංවේදී බව ජනගහනයෙන් හරි අඩකටත් වැඩි පිරිසකට කොහොම දැනෙන්න ඇත්ද?
වාර්ගික අසංවේදී බව වගේ දෙයක් ගත්තොත් නිකමට හිතන්න කොච්චර සංකීර්ණද කියල දේශපාලන ඉච්චාභංග බව.
සූරාකෑම, අධික ලාභය, දුෂණ වංචා අහස උසට.
දැනුත් දේශපාලන කරන්නේ බය පදනම් කරගෙන. ඔන්න කන්න බොන්න නැතුව පාරේ මැරිලා යයි කියල රට බේරගන්න කට්ටිය විරයෝ වෙන්න හදනවා. හැමදාම දේශපාලනය කළේ 'මනුෂ්‍ය බිය' එක්ක.
තමන්ගේ නියෝජිතයෝ හැටියට පත්කරගන්න කළින් මිනිස්සු හිතන්න ඕනි මේ කියන දේවල් කරන්න පුළුවන් සෙට් එකක් ද මේ කියල. මේ පොරොන්දු යථාර්තවාදී ද කියල. අනික කියපු දේවල් කරාද කරනවද කියල මණින්න උපමානත් තියෙන්න ඕනි (measurement indicators).
Image@ World Economic Forum
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

වැඩ වැරදුණු විපක්ෂයෙන් : අග්‍රාමාත්‍ය රනිල්ට මඩක්: මෙන්න ඇත්ත !
අද (17) දිනයේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගත යුතු බවට වූ විපක්ෂයේ යෝජනාව පරාජයට පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බවට පලවන ප්‍රචාරය අසත්‍ය බව අනාවරණය වෙයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ අදාළ කරුණ ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළකිරීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් නොවන බවය.
මේ සම්බන්ධයෙන් මඩ සහ අග්‍රාමාත්‍යවරයා ගේ මැදිහත්වීම සාවද්‍ය ලෙස උපුටා දක්වමින් ගෙන යන ප්‍රචාරය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා ඇති අතර එය පහත දැක්වෙයි .
රනිල්ගේ කතාව !
මෙය පාර්ලිමේන්තුවේ සියලු කටයුතු වහාම අත්හිටුවා ජනාධිපතිවරයාට අප්‍රසාදය පිළිබඳ යෝජනාව විවාදයට ගැනීමේ ඡන්දයකි.
මම පසුගිය 16 වන දින එම්. පී. සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 74 දෙනෙකුගේ නිවාස හා කාර්යාලවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පළමුව විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වූ බැවින් මෙම ඡන්දය ඉදිරිපත් නොකරන ලෙසයි.
එසේ කිරීමට ඉඩ නොදුන්නේ නම් එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට අප්‍රසාදය පිළිබඳ යෝජනාව වහා විවාදයට ගැනීමට පක්ෂව ඡන්දය නොදෙනු ඇත.
අද දින සිදුවිය හැකිව තිබූ ප්‍රහාර පිළිබඳ විවාදය අද පැවැත්වීමට ඉඩ හැරියා නම් එය වඩා හොඳ වනු ඇති අතර තව දින කිහිපයකින් මෙම මන්ත්‍රීවරුන් 74 දෙනා සංකේතාත්මක අප්‍රසාදය යෝජනාවට පක්ෂව ඡන්දය දීමට බල කෙරෙනු ඇත.
දැන් ජනාධිපතිවරයාගේ මන්ත්‍රීවරුන් මෙම ඡන්දය පරාජය කිරීම අවස්ථාවක් කර ගන්නේ පසු දිනක අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට බාධා කිරීමටයි.
විපක්ෂය ඉදිරියේදී මීට වඩා තීක්ෂණ උපාය මාර්ගික ක්‍රමවේදයක් භාවිතා කරන්නේ නම් ඉතා වැදගත්.
එසේ වුවද, පසුගිය සතිය මුලදී අප සන්නිවේදනය කළ පරිදි, යෝජනාවට පක්ෂව ඡන්දය දීමට අපගේ කැපවීම නැවත තහවුරු කිරීමට මම කැමැත්තෙමි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

කපුටු කාක් කීවාට : සංජීවගේ අයියා කිපිලා !
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නගේ සහෝදරයා විසින් පාසල් ළමුන් දස දෙනෙකුට පමණ නිවස අසලින් ගමන් ගන්නා විට පහර දී තිබෙන බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඔහු ළමුන්ට වෙවලකින් පහරදී ඇති අතර මේ වන විට අඟුරුවාතොට පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් වාර්තා වෙයි .
ඊට අනුව අංක CIR 12694 යටතේ පැමිණිල්ලක් විභාග වෙමින් පවතී .
ළමුන්ට පහරදී ඇති මේ පුද්ගලයා එදිරිමාන්න මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන බවත් දැනගන්නට ඇත .
වාර්තා වන ආකාරයට ඊයෙ (16) පාසල් ළමුන් කණ්ඩායමක් දන්සල් වන්දනාවේ ගිය අවස්ථාවේ ‘කපුටු කාක්’ හඬින් නලා නාද කිරීම නිසා මේ පහරදීම කර ඇත.
මන්ත්‍රීවරයාගේ සහෝදරයාගේ නම සඳහන් වන්නේ නීල් එදිරිමාන්න යනුවෙන් වන අතර ඔහු සිටි අඟුරුවාතොට, වේරවත්ත නිවස අසලින් යද්දී පහරදීම සිදුවූ බවත් දැනගන්නට ඇත .

හරීන්ගෙන් රනිල්ට ලිපියක් : අමාත්‍යංශ පොකුරක් සමග ආණ්ඩුවට !
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අද (17) ලිපියක් යොමු කර ඇත .
එමගින් ප්‍රශ්න 7ක් යොමුකර ඇති අතර ඒ සඳහා පිළිතුරු අපේක්ෂා කරන බවත් අවධාරණය කර ඇත.
මෙම භාරදූර අභියෝගය ජය ගැනීමට නම් අග්‍රාමාත්‍යවරයා සහ දැනට පත් වූ කැබිනට් අමාත්‍යවරු මෙන්ම ඉදිරියේම වගකීම් ලබා දීමට බලාපොරොත්තු වන අයටද විශ්වාසය දින ගැනීම සඳහා එම කරුණු සඳහා පිළිතුරු අපේක්ෂා කරන බවත් ලිපියේ සඳහන් ය.
මේ ලිපිය සඳහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙන්ම මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ද අත්සන් තබා ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි .
හරීන්ට සහ මනූෂට අමාත්‍ය ධූර පොකුරක් !
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සහය දෙමින් ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇති බවයි.
මේ වන විට අදාළ ලිපිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට කරුණු පැහැදිලි කර ඇති බවත් වාර්තා වෙයි .
ඒ අනුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ට තරුණ කටයුතු , ක්‍රීඩා , ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු ප්‍රබල අමාත්‍ය ධූරයක් හිමිවනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .
එසේම මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා වෙත ජනමාධ්‍ය හෝ විදෙස් සේවා අමාත්‍ය ධූරය හිමිවනු ඇති බවත් වාර්තා වෙයි .

පොහොට්ටු මන්ත්‍රීවරුන් පැහැරගත් දුරකථන : යළි මාධ්‍යවේදීන් අතට !
සිරස පාර්ලිමේන්තු මාධ්‍යවේදී කසුන් සමරවීරට සහ ස්වර්ණවාහිනී පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාට, ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වීරසිංහ විසින්, අද (17) පාර්ලිමේන්තුවේදී තර්ජනය කර ඔවුන් සතු ජංගම දුරකථන පැහැරගෙන ඇති බව වාර්තා වෙයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ සිය ජංගම දුරකථන පැහැරගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ද මෙම සිද්ධියට මැදිහත්වූ බව එම මාධ්‍යවේදීන් පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුව අවස්ථාවේ කතානායකවරයා දැනුවත් කළහ.
කෙසේ වුවත් අද පස්වරුවේ කථානායකවරයාගේ මැදිහත්වීමෙන් එම ජංගම දුරකථන දෙක අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට භාරදී ඇති බවත් වාර්තා වෙයි .

ගෑස් බෙදීමට සූදානම් : ඉදිරි දින 2-3 තුළ ඉන්ධන තොග බෙදීමටත් සූදානම් !
ගෑස් නෞකා 02 ක් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව වාර්තා වෙයි .
මේ බව ලිට්‍රෝ සමාගම තහවුරු කර ඇති අතර ගෑස් මෙට්ට්‍රික් ටොන් 2800 ක් රැගෙන මෙරටට පැමිණ ඇති නෞකාවක ගැස් ගොඩබෑම අද (17) රාත්‍රියේ සිට ආරම්භ කරන බවත් සමාගම පවසයි .
ඒ අනුව හෙට (18) සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් බෙදාහරින බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටියි.
මේ අතර පවතින පෙට්‍රල් හිගය ඉදිරි දින 02 හෝ 03 ඇතුළත අවසන් වනු ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි .
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි ක්‍රිෂාන්ත වික්‍රමසිංහ මාධ්‍ය වෙත පවසා ඇත්තේ මේවනවිට පෙට්‍රල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කිරීමට සිදුව ඇති බවයි.
මේ අතර අද කොළඹ ප්‍රමුඛ දිවයින පුරා ඉන්ධන හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබිණ .

ගෝඨාගෝගම ප්‍රහාරය : මැරයන් තුනක් බන්ධනාගාරයට !
කොළඹ ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු තිදෙනා හෙට (18) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (17) නියෝග කර ඇත .
මේ තිදෙනා අතර මොරටුව නගර සභාවේ සේවකයෙක්ද වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූවේ ඊයේ (16) රාත්‍රියේදීය.

ආණ්ඩුවට සහ විපක්ෂයට හදිසි නීතිය අමතක වෙලා !
අද (17) පාර්ලිමේන්තුව රැස්වූවත් ආණ්ඩුවට සහ විපක්ෂයට හදිසි නීතිය අමතකවූ බව හිටපු ආණ්ඩුකාරවරයකු සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසයි.
එය පහත දැක්වෙයි .
ආණ්ඩුව හදිසි නීතිය පැනවූවේ 2022 මැයි 06 වන දිනයි. අදට දින 11 කි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (4) (i) (ii) වගන්තිය අනුව, හදිසි නිතිය පනවා දින 10 ක් තුල, (එනම් ඊයේ) එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ නොවන විට, දින 14 ක් තුල හදිසි නීතිය ඉබේම අහෝසි වී යයි.
මේ ලියන මොහොත දක්වාම හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.
ගෝඨාභය ජනාධිපතිවරයා මෙයට පෙර 2022 අප්‍රේල් 1 දා, හදිසි නීතිය පැනවීය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිදී යාම වලක්වා ගැනීමටය. අප්‍රේල් 5 දින එය ඉවත් කරනු ලැබූවේ පාර්ලිමේන්තුව තුල එය සම්මත කර ගත නොහැකි බව ස්ථිර වූ පසුය.
මෙවර ද හදිසි නීතිය පනවනු ලැබූවේ රාජපක්ෂ පාලනය රැකගැනීමට මිස මහජන ආරක්ෂාව සඳහා නොවේ.
හදිසි නීතිය දැම්මේ, හමුදාව කැඳවීමට නොවේ. ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ 12 (1) වගන්තිය යටතේ මහජන ආරක්ෂාවට හමුදාව කැඳවිය හැකි බව පහතින් පැහැදිලිව දැක්වේ.
Where circumstance endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, he may, by Order published in the Gazette, call out all or any of the members of all or any of the armed forces for the maintenance of public order in that area.
අද හදිසි නීතිය පනවා ඇත්තේ දුෂිත හා මැර දේශපාලනඥයින්ගේ දේපල ආරක්ෂාකර ගැනීමට සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට ය.
පුදුමය තියෙන්නේ, ආණ්ඩුවට තබා විපක්ෂයටවත්, හදිසි නීතිය ගැන වගේ වගක් නැතිවීමය. තම බල දේශපාලනය උදෙසා එකිනොකාට ආදර හසුන් ලියමින් පාර්ලිමේන්තුවේ පක්ෂ මහජනතාව අමතක කර දමා තිබේ.
හදිසි නීතිය මේ රටේ ගෑස් පෝලිමට, ඉන්ධන පොලිමට, සාගතයට එරෙහිව යොදවමින් ඇත.
ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද දැන් පාර්ලිමේන්තුවේ තම වගකීම ඉටු කළ යුතුව ඇත.
හදිසි නීතිය පාර්ලිමේන්තුව තුල පරාජය කිරීම විපක්ෂයේ කාර්ය භාරය යි. ඒ සඳහා සියළු සිවිල් සංවිධාන හා පුරවැසියන් ආණ්ඩුවටත් - සිය වගකීම් අමතක වී සිටින විපක්ෂයටත් එක ලෙස බලපෑම් කළ යුතුව ඇත.
රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

සනත් සහ මිලාන් අත්අඩංගුවට !
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය අසල මයිනාගෝගම සහ ගෝල්ෆේස් පිටියේ ගෝඨාගෝගම ට එල්ල කෙරුණු මිලේච්ජ මැර ප්‍රහාරයට අදාළව මේ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
මෙම මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලකරමින් සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ වනු දකින්නට ලැබිණ .
නීතිපතිවරයා විසින් ද පොලිස්පතිවරයාට දන්වා තිබුණේ මොවුන් ඇතුළු සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගන්නා ලෙසය.

පැරදුණත් දිනපු රෝහිණීගේ : ආණ්ඩුව හොල්ලපු කතාව !
"පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිතුමාගේ පළමුවෙනි යෝජනාව කාන්තාවකට මේ තනතුර ලබාදීමයි.
අගමැති ගේ පළමු යෝජනවා අද පාර්ලිමේන්තුවේ පරාජය වෙලා තියෙනවා. අගමැති ගත්ත පළවෙනි ප්‍රතිපත්තිය අද පරාජය වී තිබෙනවා. සමහරවිට මෙය අගමැතිවරයා ලබන පරාජයන් වැලක පළමුවැන්නයි. " යනුවෙන් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසයි .
"අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙනවා. රාජපක්ෂවරු තමන්ගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලියි.
මෙවැනි සුළු කටයුත්තකට වත් අගමැතිවරයාට එකඟත්වයක් ලබා ගැනීමට අගමැතිවරයාට පුළුවන් වෙලා නෑ. අද ආණ්ඩුව කරන්නේ ජනපති හෝ අගමැති නෙවෙයි කළුපාට කුරුල්ලෙක් පමණයි. "යනුවෙන්ද ඇය පවසයි .
රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මේ අදහස් දක්වා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේදී පැවති නියෝජ්‍ය කතානායක ධූරය සඳහා වූ ජන්ද විමසීම පරාජයට පත්වීමෙන් පසුව සභාව අමතමිනි.
එහිදී ජන්ද විමසීමේදී ආණ්ඩුවේ අපේක්ෂක වූ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජන්ද 109 ක් ලැබීය. විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ජන්ද 78ක් ලැබූ අතර ප්‍රතික්ෂේප වූ ජන්ද 23කි.
පාර්ලිමේන්තුවේ පක්ෂ 10 කණ්ඩායමේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ජන්දයක් පැවැත්වීමට එරෙහිව තමන් ජන්දය කටුගාන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එසේ පැවසීය .
රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුව අමතා සිදු කළ කතාව පහත දැක්වෙයි !
නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද ඉදගෙන කටයුතු කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කේන්තියකින් නෙවෙයි, උපහාසයෙන් කියන්නේ, මම පාර්ලිමේන්තුවේ වාචික හිංසනයට යොමු වන විට කතානායක පුටුවේ හිටපු අජිත් රාජපක්ෂ සමඟ මට තරඟ කරන්නට සිදුවීම දෛවයේ සරදමක් විදිහට මම සලකනවා.
ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායක, නියෝජ්‍ය කතානායක පමණක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරටවත් කාන්තාවක් පත්වී නැහැ.
ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිකරපු රටේ,
විධායක ජනාධිපති ධූරයට කාන්තාවක් පත් කර ගත් රටේ,
පාර්ලිමේන්තුවේ මුල් පුටුවලට තවමත් කාන්තාවකට පත් වෙන්නට අවස්ථාවක් නෑ.
පුරුෂ සමානාත්මතාවය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිසක්, මේ පාර්ලිමේන්තුවේ නොවෙයි.
ගරු කථානායකතුමනි,
නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට ඡන්දයක් පවත්වලා, මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් කාබාසිනියා කළා. මේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් වුණා.
2004 පැය 9 ක් පුරා දිග් ගැසුණු ඡන්දයකින් පසුව වී.ජ.මූ. ලොකුබණ්ඩාර මැතිතුමා කතානායක තනතුරට පත් වූ අවස්ථාව මට සිහි වෙනවා.
මේ පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන කතාව මට මුලින්ම ඇහුනේ, ලොකුබණ්ඩාර මැතිතුමන් කථානායක තනතුරට පත් 2004 අප්‍රේල් 4 දිනයි.
පසුගිය දා, ආයෙත් රටම ගිණිගත්තේ නියෝජ්‍ය කථානායක තනතුරේ අස්වීම, අස්වීම කල්ගැනීම, ඡන්දය, නැවත ඉල්ලා අස්වීම නිස යි.
2004 ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිණිගත්තා
2022 රටම ගිණිගත්තා.
මම ලංකා පාර්ලිමේන්තුවේ මේ අවසනාවන්තම සිදුවීම් දෙක ඇසින් දැක්කා.
තුන්වන අවස්ථාවේ පාර්ශවකරුවෙකු වෙන්නටත් සිදුවුණා.
මම මේ බල දේශපාලනයේ පාර්ශවරුවෙකු බවට පත්වීම පිළිබඳ කණගාටු වෙනවා.
ගරු කථානායකතුමනි,
ජවහල්ලාල් නේරු තුමන් පැවසූ දෙයක් මට සිහිවෙනවා
Every little thing counts in a crisis
‘අර්බුදයක දී සෑම කුඩා දෙයක්ම ගණන් ගැනෙනවා’ කියලා
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා වු ඡන්දය ලංකා පාර්ලිමේන්තු අර්බුදයේ දැවැන්ත බිදවැටීමක් ලෙස ඉතිහාසයට එක් වෙනවා.
1975 ඇමරිකානුවේ බිහිවූ සුවිශේෂම කතානායකවරයෙකු වන කාර්ල් බී. ඇබර්ට් ගේ කතාවක් මට මතක් වෙනවා.
I don't twist arms. I shake hands
‘මම කාගේවත් අත අඹරන්නේ නෑ. මම අතට අත දෙනවා’
මට මේ තනතුර වෙනුවෙන් කාගෙවත් අත අඹරන්නට ගියේ නෑ. මම ඒ වෙනුවට, මේ රටේ සියළුම ජනතාවට, අරගල භුමියෝ සිටින තරුණයින්ට, සහෝදරත්වයේ, මිත්‍රත්වයේ, ශිෂ්ඨත්වයේ දෑත දිගු කරනවා.
රොහිණී කවිරත්න කවුද කියලා පසු පෙළේ මන්ත්‍රීවරයෙක් ඇහුවා. අහගන්න.
මාගේ නම මේ තනතුරට යෝජනා කළ බවට විපක්ෂ නායකවරයාගේ ටුවිටර් පණිවුඩය දකින තුරු මම ඒ බව දැන සිටියේ නෑ. මම අභියෝගවලින් පැනලා නොයන බව දන්න නිසා එතුමා මා කෙරෙහි විශ්වාසය තියන්න ඇති.
මට අභියෝගයක් බාර දුන්නාම එය බාරගන්නවා. අභියෝගයක් බාරගත් පසු එයින් පැනලා යන්නේ නෑ.
මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මගේ අත්තා මුතුබණ්ඩා මැතිතුමා, මගේ පියා විජේරත්න බණ්ඩා, මගේ මාමා පි.බී.කවිරත්න, මගේ ස්වාමියා සංජීව කවිරත්න වත් අභියෝග හමුවේ පැනලා ගියේ නෑ.
ඊයේ හවස වෙනක් තිබ්බ එකඟතාවය ඊයේ රූ විනාශ වුණා. ඒ
රාජපක්ෂවරුන්ට මාව එපා වුණා. ඒ රාජපක්ෂවරුන්ගේ හොරකම් වංචා මම හෙළිකරපු නිසයි.
හැබැයි මිනිස්සුන්ගේ බදු සල්ලි විනාශ කරමින්,
ඔවුන්ගේ කෝපයට, වෛරයට ගොදුරු වෙන තැනට මේ පාර්ලිමේන්තුව අදත් පත්වීම ගැන මා කණගාටුවෙනවා.
අපේ තරුණයින් ගෝල්ෆෙස් පිටියේ, ගාල්ල, මහනුවර, අනුරාධපුර දැන් දවස් 39 ක් අරගල කරනවා.
ගොල්ෆේස් අරගලයට පහරදුන් දේශපාලනඥයින්,
මැරයින් තවමත් නීතිය හමුවට පමුණුවා නෑ.
එයට මාවත සකසා දුන් පොලිස් නිලධාරීන් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.
ගෑස් පොලීම්, ඉන්ධන පොලීම් මැදින් හමුදා බෆල් රථ ගමන් කරනවා.
මේක හදිසි නීතිය දැමූ රටක්.
අද අපි අවදි වුණේ ඇඳිරි නීතිය තිබුණු රටක.
රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නෑ.
මිනිස්සුන්ගේ රස්සා නැතිවෙලා.
දරුවන්ට අධ්‍යාපනය නෑ.
ලබන සතියේ සා.පෙ. විභාගයට ලියන ළමයින්ට විභාග මධ්‍යස්ථානයට යන්න බස් රථයක් තියේදැයි සැකයි.
රටම බලාගෙන ඉන්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුද කියන එක නෙවෙයි. මේ රටේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව දෙන උත්තර මොකක්ද කියන එකයි.
මතක තියාගන්න මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මේක නෙවෙයි.
අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි.
තරුණයෝ මැරුණේ, ඔළු පලාගත්තේ මේකට නෙවෙයි.
මම ඉන්නේ අරගල බිමේ තරුණ්‍යයක් ඒකක් මිසක් අවස්ථාවාදී බලලෝභි දේශපාලනයත් එක්ක නෙවෙයි.
නියෝජ්‍ය කතානායක ධූරයට මාගේ නම යෝජනා කළ, ස්ථිර කළ සැමට මගේ ස්තුතිය පිරිනමනවා.
මම මේ තනතුරට සුදුසු යැයි ප්‍රසිද්ධියේ කියූ අරගල භුමියේ තරුණ තරුණියන්ට ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ට මම ස්තුතිය පළ කරනවා. එහෙම කිව්ව උගත් බුද්ධිමත් සැමටම මම ස්තුතිවන්ත වෙනවා.
පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිතුමාගේ පළමුවෙනි යෝජනාව කාන්තාවකට මේ තනතුර ලබාදීමයි.
අගමැති ගේ පළමු යෝජනවා අද පාර්ලිමේන්තුවේ පරාජය වෙලා තියෙනවා. අගමැති ගත්ත පළවෙනි ප්‍රතිපත්තිය අද පරාජය වී තිබෙනවා. සමහරවිට මෙය අගමැතිවරයා ලබන පරාජයන් වැලක පළමුවැන්නයි.
අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙනවා.
රාජපක්ෂවරු තමන්ගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලියි.
මෙවැනි සුළු කටයුත්තකට වත් අගමැතිවරයාට එකඟත්වයක් ලබා ගැනීමට අගමැතිවරයාට පුළුවන් වෙලා නෑ.
අද ආණ්ඩුව කරන්නේ ජනපති හෝ අගමැති නෙවෙයි කළුපාට කුරුල්ලෙක් පමණයි.
මතක තියාගන්න, මිනිස්සු කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලයි.
ඒ ඉල්ලීම ඉටු වනු තුරු අරගලය ඉදිරියට යනවා.
ඒ ඉල්ලීම ඉටුවන තුරු පාර්ලිමේන්තුවේ අපගේ අරගලයත් ඉදිරියට යනවා.
අගමැතිතුමා ඊයේ ජාතික අමතා කළ කතාවේ කියූ කරුණු අතිශයින්ම වේදනාත්මකයි. හැබැයි, අද නියෝජ්‍ය කතානායක තනතුර සඳහා ඇතිකර ගත්ත ඒකඟතාව රකින්නට බැරුව රටට දෙන පොරොන්දු ඉටු කරන්න බැරි වෙයි.
ගෝල්ෆේස් සහ මහනුවර අරගලයට පහරදීමෛ ඒතිහාසික වරදක්.
එය නිවැරදි කළ යුතුයි
ඒ වරද සිදුකළ සැමට දඩුවම් ලැබිය යුතුයි.
ප්‍රහාරය සිදු කළ, දායක වුණු සියළු දෙනා අත්අඩංගුවට ගත යුතුයි.
තරුණයිනි, ඔබලාගේ අරගලයේ ජයග්‍රහණය කරන දවසේ,
අදට වඩා යහපත් පාර්ලිමේන්තුවක් මේ රටේ අනිවාර්යෙන්ම බිහිවේවි. කාන්තාවකට පාර්ලිමේන්තු කතානායක ධූරයට පත්වීමට අවස්ථාවක් සැලසෙන රටක් බිහිවේවි.
ඒ දවස උදා කරන්නට, මේ පාර්ලිමේන්තුව අදට වඩා ශිෂ්ඨ හා ගෞරවනීය තැනත් කරන්නට මම කැපවෙනවා.
ස්තුතියි,
රෝහිණී කුමාරි විජේරත්න

ආසයි බයයි හර්ෂ : සභාපති තනතුරක් පතයි !
සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට තමන් මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව පවසමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.
අදාළ සටහනේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .
"මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි.
කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු.
මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමටයි. පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට මා අදහස් කරමි. මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකියැයි මා විශ්වාස කරමි.
මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකිය. ඒ තරමටම මෙම කාරක සභාව බලවත්ය. ජනතා මතය සුරකිමින් මේ ආකාරයෙන් රටට මේ අවස්ථාවේ මාගේ සේවය ලබාදීමට මා අදිටන් කරගෙන සිටිමි."
ආසයි බයයි නේද හර්ෂ ?
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ගේ ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , මුදල් කාරක සභාවේ සභාපති වනවා නම් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම කටයුතු කළ ආකාරයට ප්‍රතිඥාවක් දියයුතුව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ පැවසීය .
" හර්ෂ ද සිල්වා සජිත්ගේ කතා අහලා පම්පෝරි ගැහුවට දැන් ආණ්ඩුවට එකතු වෙන්න ඕන වෙලා ඉන්නේ . නමුත් ඔවුන් ආණ්ඩුවට සහය දෙන බව ප්‍රසිද්ධියේ කියන්න ඕන . කොහොමටත් ආර්ථික අර්බුදය විසඳීමේ අභියෝගය රනිල් වික්‍රමසිංහ අගමැති භාරගෙන තියෙන්නේ . ඔතන හර්ෂට අලුතෙන් දෙන්න අදහස් නෑ . පැහැදිලිව ආර්ථිකය ගැන වුණත් , විසඳුම් ගැන වුණත් , රනිල්ට අඩුවෙන් මිස හර්ෂ දන්න වැඩි දෙයක් නෑ .
1990 සුවසැරිය පිහිටුවීම හර්ෂගේ වැඩක් වගේ පිම්බුවට, ඒක රනිල්ගේ අදහසක්. ඔය දැන් හර්ෂ එන්නෙත් එහෙම ගමනක්. රනිල්ගේ වැඩ වලින් ලකුණු ගන්න. මොකද හර්ෂ දන්නවා , රනිල්ගේ ප්‍රොජෙක්ට් ඉස්සුවට රනිල් සටනට එන්නේ නෑ කියලා .
ඒ නිසා අඩුම තරමේ ගම්මන්පිල , විමල්ලා , තරම්වත් අවංක වෙලා, ආණ්ඩුවේ වැඩ වලට සහය දක්වන පදනමින් එන්න ඕන . ආවත් හොඳ මීටරෙන් මෙයාලා ගැන ඉන්න ඕන .
අපි අවධාරණය කරලා කියන්නේ , අග්‍රාමාත්‍ය ලෙස රනිල් පත්වීමට එකඟ නැති මිනිස්සු , ඒ ආණ්ඩුව සාර්ථක වෙන්න වැඩ කරයිද ? වැඩ අවුල් කරයිද ? අනික හර්ෂලා එන්නේ නෑ කියලා වීර කතා කිව්වේ. දැන් එයාලා එන්නේ නෑ කියලා , රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩේ නවත්තලා නෑ . "

හැමෝම අගමැති ධූරය මඟහැරියේ ඇයි : රනිල් ඇත්ත හෙළිකරයි !
"මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි." යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ රටේ වත්මන් අර්බුදයේ සැබෑ ස්වරූපය අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් රට හමුවේ තබමිනි.
2019 ආණ්ඩුව බාරදෙන අවස්ථාවේ ඩොලර් බිලියන 7.5 ක් තිබුණත් මේ වන විට ඩොලර් මිලියනයක් හෝ සොයා ගැනීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය .
එසේම මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ක හිඟයක් පවතී. ජලභීතිකාව සඳහා විකල්ප ඖෂධයක් හෝ නොමැති බවත් ඔහු පවසයි .
කෙසේ වුවත් මේ වන විට මිත්‍ර රටවල් අර්බුදය සමනය කරගන්නට උදව් කිරීමට පොරොන්දු වී ඇති බවත් ඒ අනුව "මේ තත්ත්වය කෙටි කාලීනයි. " යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා පැවසීය .
මෙහිදී ආර්ථිකයට මහත් බරක්ව ඇති ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකකරණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ යෝජනා කිරීමත් සිදුවිය.
එසේම බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අයවැය වෙනුවට සහන අයවැයක් ද අග්‍රාමාත්‍යවරයා යෝජනා කර සිටියේ ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි .
මට ලැබුණු ආරාධනය පිළිගත්තේ !
පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.
මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්.
2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොළි අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි.
ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200 ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල් බිලියන 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගත්තා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න.
2019 නොවැම්බර් මාසයේ දී අපේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුනා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ.
මේ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම් ම ගැටලු කිහිපයක් තියනවා. ඉදිරි දින කිහිපයේ දී පෝළිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් පමණ සොයාගත යුතුව තිබෙනවා.
මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි.
ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ මැයි 19 සහ ජුනි 01 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා .
විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදාගන්නෙත් ඉන්ධන.
මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන තියෙන්නෙ. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුයි. භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි.
මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ.
අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නා බව මේ වන විටත් ඔබ දන්නවා. නමුත් මෙම සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩිසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි.
මේ අතර, තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්න තියන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා.
කණගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්, ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ.
මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලීකකරණය කරමු !
ඒ වගේම මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි.
කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.
රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.
මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.
කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි.
මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේ දි අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනව. නමුත් අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.
මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.
දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව තිබෙනවා.
එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටි කාලීන - මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා.
මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ.
මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම, මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගෙම සහයෝගය මට ලබා දෙන්න.
මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා.
ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.

තනතුරු එපා සහය දෙන්නම් කියා : සජබත් රනිල්ට නැවෙයි !
වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම අද(16)ඒකමතිකව තීන්දු කර තිබේ.
මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විශ්වාස කරන බැවින් මෙම තීන්දුව ගත් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද එහිදී මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , සමගි ජනබලවේගය පක්ෂය බෙදී වෙන්වීම වලක්වා ගැනීම සඳහා මේ තීන්දුව ගෙන ඇති බවයි.
ජනාධිපති විසින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වූ අවස්ථාවේ අගමැති ධූරය ලබාගන්නට සහ ආණ්ඩුවක් පිහිටුවීමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වෙත ආරාධනා කළත් එය භාරනොගෙන සිටි බැවින් පක්ෂ අභ්‍යන්තරයේ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් විරෝධයක් ඇති බවත් වාර්තා වෙයි .

පාඨලීගෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !
"2022 මැයි මස 09 වන දින රටපුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුලපුරමින් "ගෝඨාගෝගම" සාමකාමී උද්ඝෝෂණ භූමියට පහර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැර දේශපාලන බලවතුන් නීතිය හමුවට පැමිණවීම සදහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ?" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් විමසා ඇත.
ඒ අද (16) අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියක් හරහා ය.
"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර තිබේද? ඒ සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද? " යනුවෙන් ද එහිදී විමසා ඇත.
මේ ආකාරයට කාළීන සහ තීරණාත්මක දේශපාලන ආර්ථික ප්‍රශ්න රැසක් ඇතුළත් කර චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි .
2022.05.16
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
ගරු අගමැතිතුමනි,
නැවත වතාවක් රටේ අගමැති ධුරයට පත් ඔබතුමන්ට අපේ සුබ පැතුම් පිරි නමමු. රටේ ආර්ථික හා දේශපාලන අර්බුදයක් උත්සන්න වූ මොහාතක රටේ වගකීම දැරීම අතට ගත යුතු බොහෝ දෙනා විවිධ හේතු දක්වමින් මගහරිද්දී ඒ වෙනුවෙන් ඔබගේ ඉදිරිපත්වීමද අපි අගය කර සිටිමු. එහෙයින් මේ අවස්ථාවේදී ඔබවෙත වැඩිදෙනා එල්ල කරන සුලබ විවේචන වලින් මිදී මේ අවස්ථාවේදී ඔබ විසින් පැහැදිලි කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සහ මේ අවස්ථාවේ වැදගත් යැයි අප සිතන යෝජනා කිහිපයක් සම්බන්දයෙන් ඔබගේ අවධානය යොමු කරනු පිණිස පාර්ලිමේන්තුවේ සාමූහිකව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මේ ලිපිය ඉදිරිපත් කිරීමට මම අදහස් කළෙමි.
රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා උද්ගත වූ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වූයේ තරුණයින්ගේ අරගලයත් සමගමය. මේ අරගලය තුල ඉස්මතු වූයේ ආර්ථික සටන් පාඨ වලටත් වඩා දේශපාලන සටන් පාඨ බව බැහැර කළ නොහැකි යථාර්ථයයකි. රාජපක්ෂවරුන් බලය අත්හැරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, දූෂණයට මංකොල්ලයට වැට බැඳීම, අචාරධාර්මිකව හැසිරෙන දේශපාලන ප්‍රජාවක් ගොඩ නැගීම, ජාති ආගම් භේද වලින් තොර මානව ගරුත්වය සුරැකෙන පුරවැසි ජන රජයක් ගොඩ නැගීම ආදිය මේ සටන් පාඨවල සාරාර්ථය ලෙස දැක්විය හැකිය.
ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ එම දේශපාලන අරගලය තීව්‍ර වීමේ ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වශයෙනි. එහෙයින් "ගෝඨාගෝගම" අරගල බිමෙන් මතු වූ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරය පැහැදිලි, සංගත හා විනිවිද පෙනෙන්නක් ලෙස රට හමුවේ වහාම ඉදිරිපත් විය යුතුය යන්න අපගේ අදහසය. " ගෝඨාගෝගමට ආරක්ෂාව සපයන්නේය" යන සරල ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
අතැම් නායකයන් මේ අවස්ථාවේ ප්‍රායෝගිකව කළ නොහැකි මැතිවරණ සහ ජනවරම් ඉල්ලා සිටිද්දී, මේ අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව වගකීම අතට ගත් තාවකාලින අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිට විය යුතු බව අප දිගින් දිගටම දැරූ මතයයි.
එහෙයින් එවැනි ආණ්ඩුවක් බිහිවන්නේ නම් එවැන්නකට සහයෝගය ලබා දීම අපගේ යුතුකමය. ඔබ තුමන් විසින් නායකත්වය දෙන්නට සැරසෙන ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවට පත්වීමට නම් තරුණයින්ගේ අරගල බිමෙන් මතු වූ ඉහත දක්වන ලද දේශපාලන ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් ඔබ අදහස් කරන ක්‍රියාමාර්ග හා එහි මාර්ග සිතියම රට හමුවේ තැබීම අත්‍යවශ්‍යය. මෙහිදී පහත දැක්වෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබගෙන් අපි විවෘත පිළිතුරක් බලාපොරොත්තු වෙමු.
01. 2022 මැයි මස 09 වන දින රටපුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුලපුරමින් "ගෝඨාගෝගම" සාමකාමී උද්ඝෝෂණ භූමියට පහර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැර දේශපාලන බලවතුන් නීතිය හමුවට පැමිණවීම සදහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ? එමෙන්ම ඉන් පසු ඇමති මැති ආදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින්ගේ ජිවිත හා දේපල විනාශ කිරීම් පිලිබදව ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ?
02. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර තිබේද? ඒ සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද?
03. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම සදහා දැනට සිදු කර තිබෙන විමර්ශන වල අඩුපාඩුකම් ඇති බව පිළිගනිමින් නව ස්වාධින විමර්ශන ක්‍රියාවලියක් අරඹා වින්දිතයන්ට යුක්තිය ඉටු කරදීමට ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ?
04. ජනාධිපති බලතල සීමා කරමින් හා ස්වධීන අධිකරණ, පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ, විගණන කොමිෂන් සභා ආදිය බල ගැන්වෙන 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩනමින් ගෙන ඒමට ඔබ එකඟ වන කාල රාමුව කුමක්ද ?
05. දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය , මූල්‍ය විනිවිදභාවය, සමාජය කෙරෙහි වගවීම සහ මැතිවරණ වලදී විද්‍යුත් ජනමාධ්‍ය වල දේශපාලන පක්ෂපාතිත්වය වැලැක්වීම තහවුරු කෙරෙන මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයක් කඩිනමින් හඳුන්වාදීමට ඔබ කටයුතු කරන්නේද ?
එසේම පහත සදහන් යෝජනා ඔබගේ අවධානය පිණිස යොමු කරමි.
01. රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම පිණිස හදිසි විදේශ විනිමය ලබා ගැනීම පිණිස ඔබතුමා යෝජනා කරන වැඩපිළිවෙල රට හමුවේ ප්‍රසිද්ධ කල යුතුය.
02. රාජ්‍ය මුල්‍ය ස්ථායිකරණය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද ඔබතුමාගේ අදහස විවෘතව රට හමුවේ තැබිය යුතුය.
03. තරුණ අරගලකරුවන්ගේ දේශපාලන ඉල්ලීම් මහජන ප්‍රතිපත්ති බවට පත් කරගැනීමට ඉඩ සලසා දෙනු වස් ඔවුන්ගේ නියෝජිතයින්ට පාර්ලිමේන්තු ක්‍රියාදාමය අධීක්ෂණය කළහැකි ව්‍යුහයක් නිර්මාණය කර දෙන ලෙස යෝජනා කර සිටිමි.
04. ඊලග මැතිවරණයට පෙර දුෂණය වැලැක්වීම පිළිබද සිංගප්පුරු හා හොංකොන් රාජ්‍යයන්හි පවත්නා ආකාරයේ දුෂණය මැඩලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කලයුතු බව යෝජනා කරමි.
05. ශ්‍රී ලංකා මහා බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කොට එය මුළුමනින්ම දේශපාලනීකරණයෙන් බැහැර කොට පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවට පත්කලයුතු යැයි යෝජනා කරමි.
06. රාජ්‍ය බුදධි අංශ හා ආරක්ෂක අංශ දේශපාලන අතකොලු බවට පත් නොවී ඒවා ස්වාධින ලෙස පවත්වාගන යාම තහවුරු කළ යුතු යැයි යෝජනා කරමි.
2015 බල පෙරලියේදී ආර්ථික හා දේශපාලන ක්‍රියාමාර්ග අඩංගු දින 100 වැඩසටහන ඉදිරිපත් කරමින් ඔබ දැක් වූ විවෘතභාවය මේ අවස්ථාවේදීද දැක්විය යුතු බව අපගේ අදහසය. එබැවින් ඔබ විසින් පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් අප වෙත පැහැදිලි කරනා ලෙස ඉල්ලා සිටිමු. එය දෙස බලා ඔබගේ රජයට කවර මට්ටමින් අපගේ සහයෝගය ලබා දෙන්නේද යන්න අපි තීරණය කරනා බව ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමු.
පා.ම. පාඨලී චම්පික රණවක.
නායක,
43 සේනාංකය.

ඇඳිරි නීතියේ වෙනසක් : සියළුම පාසල් හෙට විවෘතයි
අද දින ඇඳිරි නීතිය පැනවෙන වේලාවේ වෙනසක් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව අද(16) රාත්‍රි 11.00 සිට හෙට(17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව එම නිවේදනයේ දැක්වේ.
මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද(16) රාත්‍රි 8.00 සිට හෙට(17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවන බවය.
සියළුහ පාසල් විවෘතයි
ඒ අනුව දිවයිනේ සියලුම පාසල් හෙට (17) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විමල් ගම්මන්පිල ඉන්න : පක්ෂ 10 යේ සහයත් රනිල්ට !
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර ඇති බව වාර්තා වෙයි .
අග්‍රාමාත්‍යවරයා සමග අද (16) පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ අමාත්‍යධුර කිසිවක් බාර නොගෙන රටේ රට ගොඩනැගීම සඳහා වන යෝජනාවන්ට තම කණ්ඩායමේ සහාය ලබාදෙන බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ පිහිටුවන කමිටු සඳහා ද තමන් දායකත්වය දක්වන බවද ඔහු පැවසීය .
මේ මොහොතේ රට තුල ඇති ගැටළුවලට පිලිතුරු සෙවීම සදහා තම සහාය හිමිවන බවත් කී ඔහු රට අස්ථවර, අරාජික කරන කටයුතු සදහා එක් නොවන බවද කියා සිටියේය.
කෙසේ වුවත් අසංක නවරත්න මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන්ගේ අදහස් ඊට ටිකක් වෙනස් බවත් , ඒ අනුව ආණ්ඩුව තුළට ගොස් ඊට සහය දැක්විය යුතු බවය.

යළිත් ඇඳිරි නීතිය !
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය අද (16) රාත්‍රී 8 සිට හෙට (17) අලුයම 5 දක්වා නැවත පනවා ඇත.
මේ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කර තිබේ.
කෙසේ වුවත් ඇඳිරි නීතිය ඊයේ (15) වෙසක් දින ක්‍රියාත්මක නොවීය.
Page 328 of 463