V2025

පුවත්

තවත් මරණ 94ක් : මිනිස්සු රෝහල්වල මැරිලා වැටෙනවා - රාජ්‍ය ඇමති චන්න

තවත් කොරෝනා මරණ 94 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මේ වාර්තා කර ඇත්තේ දිනක් ඇතුලත ඉහලම කොරෝනා මරණ ගණන විය යුතුය.

මෙම මරණ සමඟ මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ යයි.

මිනිස්සු මැරිලා වැටෙනවා - චන්න

මේ අතර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයකු වන චන්න ජයසුමන පවසන්නේ, කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇති බවය.

එසේම කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් ඔහු පැවසීය.

ඒ අද (05) පාර්ලිමේන්තුවේ පැවති කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදී අදහස් දක්වමිනි.

විශාල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී ඇති අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නැති බවත් උද්ඝෝෂණ නවත්වා රජයේ කොරෝනා පාලන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි තමා සියලු ගුරුවරුන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මංගල උත්සව සහ මූව ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීම වැනි කටයුතු කොවිඩ් පැතිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ සොයා ගෙන ඇති බවත් මේ තත්ත්වය නිසා එවැනි ක්‍රියාකාරකම් ගැන වඩාත් සැලකිලිමත් වීමට සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

දරුවන් 45831 කට කොරෝනා හැදිලා - පවිත්‍රා

කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831ක් මේ දක්වා වාර්තා වී ඇති බවත්, ඉන් වයස 18ට අඩු දරුවන් 14ක් මියගොස් ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

මෙසේ කොවිඩ් ආසාදනයවූ ළමුන් අතර , වයස අවුරුදු 10 ට අඩු 19,688ක්, වයස අවුරුදු 10ත්18ත් අතර 26,143ක් ඇතුළත් වන බවත් අමාත්‍යවරිය පැවසුවාය.

එසේම ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ රටේ කොවිඩ් 19 ආසාදිත දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි. .

මේ අතර මියගොස් සිටි දරුවන් 14 අතර, වයස අවුරුදු 0-5 අතර දරුවන් 7ක්, වයස අවුරුදු 6-10 අතර දරුවන් 3ක්, වයස අවුරුදු 11-15 අතර දරුවන් 2ක්, වයස 16-18 අතර දරුවන් 2ක්, වන බවත් සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

සියලුම රාජ්‍ය සේවකයන් වැඩට ගෙන්වීමේ නියෝගයත් රිවර්ස්

පසුගිය සඳුදා සිට සියලුම රජයේ සේවකයන් සේවයට වාර්තා කරන ලෙස කල නියෝගය වෙනස් කරමින් සේවා මුර දෙකකට සේවකයන් රාජකාරියට ගෙන්වීමට රජය තීරණය කල බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

මෙයට අමතරව රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරිය කිරීම සඳහා අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය කෙරුණු බව හෙතෙම සඳහන් කළේය.

මෙම තීරණ වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අනුව රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වශයෙන් මුර දෙකකට සේවයට කැඳවීමට පියවර ගැනෙනු ඇතැයි පැවසූ චන්න ජයසුමන  සෞඛ්‍ය නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෑම ආයතනයකම නිසි බලධාරියකු බැගින් පත් කිරීමටද එහිදී තීරණය කෙරුණු බව පැවසුවේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා එම කටයුතු සිදු කරනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

අනාෆ් ජසීම් කවියා හමුවීමට නීතිඥයන්ට ඉඩ දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන මාස 10ක් තිස්සේ පොලිස් රැදවුම්භාරය යටතේ කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් නැමැත්තා මුණ ගැසීමට ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර තිබේ.

සාහිත්‍ය නිර්මාණ හරහා අන්තවාදයට අනුබල ලබාදුන් බවට චෝදනා කරමින් අනාෆ් ජසීම් මාස 10 ක පමණ කාලයක් තිස්සේ අත්අඩංගුවේ පසුවේ. ඔහු දමිළ භාෂාවෙන් කාව්‍ය නිර්මාණ සිදු කරන මුස්ලිම් ජාතික කවියෙකි. සිය කාව්‍ය නිර්මාණ හරහා ඔහු අන්තවාදයට ආධාර අනුබල ලබාදී ඇති බවයි පොලීසිය පවසයි.=

අධිකරණයකට ඉදිරිපත් නොකර රැඳවුම් භාරයේ තබාගෙන සිටින තමාව නිදහස් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණි. ඒ මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මී‍න්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙන්වා දුන්නේ පසුගිය මැයි මාසයෙන් පසුව සිය සේවාදායකයා අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව සිය සේවාදායකයා හමුවීම සඳහා කිසිදු අවස්ථාවක් හිමිව නොමැති බවත්, එය පෙත්සමේ ඉදිරි කටයුතු සඳහා බාධාවක් බවත් නීතිඥවරුන් පෙන්වා දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ = සඳහන් කළේ රඳවා ගැනීමේ නියෝගය අවසන්වීමෙන් පසුව ඔහු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් සීමිත විරෝධතා ගොනුකර ඇති බවද ඔහු පවසා තිබේ.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අනාෆ් ජසීම් හමුවීම සඳහා නීතිඥවරුන්ට අවස්ථාව ලබාදෙන ලෙසට බන්ධනාගාර නිළධාරීන් වෙත නියෝග කර තිබේ.

පෙත්සම වැඩිදුර සලකා බැලීම සැප්තැම්බර් 08 වැනිදා දක්වා කල්තබා ඇත.

එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ සූදානමක්

ජනතාව එන්නත්කරණයට යොමු නොවන්නේ නම්, එන්නත්කරණයට යොමු වූ බවට සහතික කිරීමේ කාඩ්පත ඉදිරියේදී ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.

ඒ සම්බන්ධයෙන් සියලු අංශ සමග මේ වන විටත්, සාකච්ඡා කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තවදුරටත් කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය සිටී නම්, ඔවුන් පිළිබඳ සොයා බැලීමට ත්, එන්නත්කරණය සඳහා යොමු කිරීමටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම සේවකවරුන්ට උපදෙස් දී ඇති බවත්,  මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වේ නම් කඩිනමින් එන්නත්කරණයට යොමු වන ලෙසයි.

''ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා'' - ලංකාවේ මාධ්‍යවේදිනයක FBහි තැබූ සංවේදී සටහනක්......

ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා........

දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.

මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.

වාට්ටුවේ එක් ඇඳක රෝගීන් ⁣දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.

ඔවුන් අසාධ්‍ය රෝගීන්.

වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.

අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්. ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.

තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.

මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.

සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.

මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.

ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

කාර්ය මණ්ඩලය සීමිතයි.

ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ. මීට වඩා අසරණකමකුත් නෑ.

හෙට මමත් ආසාදිතයෙකු වෙයි.

මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.

කොරෝනා සුළුවෙන් තකන්න එපා.

පුළුවන් තරම් පරිස්සම් වෙන්න.

පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා. පරිස්සම් වෙන්න..

හොඳටම පරිස්සම් වෙන්න....

~ තිලක්ෂණී මධුවන්ති ~ 

(ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී)

226979527 10219460367689681 7919664244757288326 n

227661537 10219460369249720 2916975619494616174 n

228924901 10219460368089691 5446034547902937650 n

image 7d12ce6ae8

image bed4ad160e

thila 500

 

රෝහල්වලට වඩා පස් ගුණයක් කොරෝනා රෝගීන් සමාජයේ සිටිය හැකියි - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

රෝහල්ගතව සිටින කොවිඩ් – 19 ආසාදිතයන් මෙන් පස් ගුණයක ආසාදිතයින් සමාජයේ සිටිය හැකියැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

මේ තත්වය පාලනයට නම් හැකි පමණට සංචරණ සීමා පැනවීම කළ යුතු බවද වෛද්‍යවරිය සඳහන් කරයි.

රෝහල්වල වාට්ටු රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ජනතාව පොදුවේ සෞඛ්‍ය නීති හරියාකාරව පිළිනොපදින තත්වයක් පෙනෙන්නට ඇතැයිද කීවාය.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු බලධාරීන් සහ නිලධාරීන් නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ කොවිඩ් – 19 තවමත් සමාජගතවී නැති බවය.

මරණ දඩුවමෙන් බේරුණු දුමින්ද සිල්වාගේ රට සවාරි තහනම් කරන්න උසාවි යයි

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට වරදකරු වී මරණ දඬුවම් ලබා සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසාලි හුසේන් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වන්නේ නීතිපතිවරයායි.

මරණ දඩුවම් ලබා සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 34 (1) වගන්තී යටතේ බැවින් එම වගන්තීන්ට අනුව මරණ දඩුවම් ලැබුවන්ට ජනාධිපති සමාව ලබා දීමට ප්‍රථම ඒ පිළිබඳ වාර්තාවක් ඔවුන්ට දඩුවම් නියම කළ විනිසුරුවරුන්ගෙන් කැඳවිය යුතු බවයි පෙත්සමේ සඳහන් වෙන්නේ.

සමාව දීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපති වරයාට පවරා ඇති නමුත්, අධිකරණයෙන් හා නීතිපති වරයාගෙන් උපදෙස් ද, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ද ලබා ගැනීමෙන් තොරව එම බලය “අත්තනෝමතික ලෙස, අභිමත පරිදි” යොදා ගත නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිට ජූනි මාසයේ යවන ලද ලිපියකින් දැනුම් දී තිබුණි. මරණ දඩුවම ලැබ සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලියේදි මේ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බවයි පෙත්සම්කාර ගසාලි හුසේන් අධිකරණයට දන්වා ඇත්තේ.

කුමන පදනමක් මත සිරකරුට සමාව දුන්නේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැහැදිලි කිරීමක් කළ යුතු බව ද හිටපු මානව හිමිකම් කොමසාරිස් පෙන්වා දෙයි.

මෙම කරුණු මත දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කාර මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, ඒ මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ද ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා සිටි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට 2016 සැප්තැම්බර් 08 වැනි දින දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. එම නඩු විභාගයට ගැනීමෙන් පසු විත්තිකරුවන් 05 කට මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කොට මරණ දඩුවම් නියම කෙරිණි. තමන්ට මරණ දඬුවම පැනවූ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා සහ තවත් දෙදෙනකු ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් 2018 ඔක්තෝබර් 11 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කරණ ලද අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය පැනවූ මරණ දඩුවම ඒකමතිකව යළිත් අනුමත කෙරිණි.

එසේ මරණ දඩුවම තහවුරු කරනු ලැබ සිටි ආරක්ෂක අමාත්‍යංශයේ අධික්‍ෂණ මන්ත්‍රි ලෙස වත්මන් ජනාධිපති ආරක්‍ෂක ලේකම්ධුරය දරන කාලයේ ඔහු යටතේ කටයුතු කළ දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්ව දැවුරුද්දක් ගතවෙත්ම සමාව දී නිදහස් කර හරින ලදී.

ජාතික ආරක්ෂාව අනතුරේ : අනුරගෙන් අනාවරණයක් !

රටේ බල ශක්ති ක්ෂේත්‍රයෙන් සැලකිය යුතු පංගුවක් විදෙස් සමාගමකට පැවරීම රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමක් බව ජවිපෙ නායක අනුර දිසානායක අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රාජ්‍ය අයිතියෙන් 40%ක් ෆෝට්ට‍්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩලය පසුගියදා ලබාදී තිබූ තීරණය සම්බන්ධයෙන් 27/2 යටතේ ප්‍රශ්න කරමිනි.

එම ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටියදී ජනාධිපතිවරයාද පාර්ලිමේන්තු සභාගැබට පිවිසියේය.

එම ප්‍රශ්නය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නය – 2021.08.05

ශ‍්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයේ හිමිකම විදේශීය සමාගම් අතට පත්වීම හේතුවෙන් රටට හා ජනතාවට බලපෑ හැකි අවදානම්කාරී තත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත‍්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති බව පසුගියදා වාර්තා වුණා. එසේම එම කැබිනට් පත‍්‍රිකාවට අනුරූපීව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි ඇමරිකානු සමාගමත් බලශක්ති සම්පාදනය පිළිබඳ මූලික ප‍්‍රතිපත්තිමය ගිවිසුමක් අත්සන් කොට ඇති බවද එම සමාගම විසින්ම වාර්තා කොට තිබුණා. ඒ අනුව කෙරවලපිටිය ‘යුගදනවි’ විදුලි බලගාරය සඳහා ගෑස් සැපයීමට අදාළ පාවෙන ගෑස් ගබඩාව, නල පද්ධතිය ඇතුළු ගෑස් පිරවීමේ පර්යන්තය ඉදිකිරීම එම ඇමරිකානු සමාගමට පැවරෙනවා.

මෙම කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ අයිතිය ආයතන කිහිපයක් අතර බෙදී යනවා. මහා භාණ්ඩාගාරය, සේවක අර්ථසාධක අරමුදල, රජය සතු ලෙකෝ සමාගම, රජය සතු ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම එම කොටස් හිමි ආයතනයි. කෙසේ වුවද මෙම ඉදිකිරීමට සමගාමීව කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රාජ්‍ය අයිතියෙන් 40%ක් එම ඇමරිකානු සමාගමට ලබා දීමට නියමිතයි. එසේ වනුයේ විදුලි බල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව මේ වනවිට 2035 වර්ෂය වනවිට යුගදනවි බලාගාරය මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට අයිති විය යුතුව තිබියෙදීයි.

එසේම මේ වනවිට එම ඇමරිකානු සමාගම, කෙරවලපිටියේ මෙගා වොට් 350ක තවත් බලාගාරයක් පිහිටුවීමට ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට අනුබද්ධ ‘ලක්දනවි’ සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇති බවද වාර්තා වනවා. එම බලාගාරය සඳහාද ගෑස් සැපයීමට නියමිතව ඇත්තේ එම ඇමරිකානු සමාගම විසිනුයි.

ඒ අනුව ලංකාවේ විදුලි බල සැපයුමෙන් මෙගා වොට් 1000කට ආසන්න බලශක්ති සැපයුමේ පාලනය මෙම නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සතු වනවා. මෙය රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව අවදානමකට ඇද දමන බරපතළ කරුණක් වෙනවා.

එමෙන්ම මේ කෙරවලපිටිය බලාගාර සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් සහ ගෑස් ගබඩා කිරීම සඳහා වූ පාවෙන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් මේ වසරේ මුල් භාගයේදී විදුලි බල අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබ තිබුණා. එම ටෙන්ඩරයේ කාලය අවසන් වී තිබුණේ පසුගිය ජුනි මාසයේයි. දැනගැනීමට ඇති පරිදි එම ටෙන්ඩරය වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලයක් බඳවා ගනු ලැබ තිබූ අතර වෙනම කාර්යාලයක්ද විවෘත කරනු ලැබ තිබුණා. එසේ තිබියෙදී මෙම ඇමරිකානු ෆෝට්ට‍්‍රස් සමාගමටම එම ඉදිකිරීම් දෙකද ලබා දීමට මෙම කැබිනට් පත‍්‍රිකාව මගින් කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

එසේම බලාගාර සඳහා අවශ්‍ය වන ගෑස් මාසිකව හෝ වාර්ෂිකව ටෙන්ඩර් මගින් ලබා ගත යුතුව තිබුණත් එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ලබා දී තිබෙන බවද වාර්තා වනවා.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු විදුලි බල අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

කෙරවලපිටිය බලාගාර සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් සහ ගෑස් ගබඩා කිරීම සඳහා වූ පාවෙන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් විදුලි බල අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවනු ලැබ තිබුණේද?

ටෙන්ඩර් කැඳවනු ලැබූවේනම් ඒ කවරදාද? ඒ ටෙන්ඩරය අවසන් වී තිබුණේනම් ඒ කවදාද? එසේනම් කවර හෝ සමාගමක් ඒ සඳහා තෝරා ගනු ලැබ තිබුණේද? එසේනම් එහි නම කුමක්ද?

ටෙන්ඩර් ඉල්ලුම්කරුවන් අතර නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි නමින් සමාගමක් පැවතියේද? තෝරා ගනු ලැබුවේ එම සමාගමද?

ටෙන්ඩර් කැඳවනු ලැබ තිබූ ව්‍යාපෘතිය ටෙන්ඩර් පරිපාටියට පිටින් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගමට පැවරීමට තීරණය කර තිබේද?

ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබ, එය අවසන් කර තිබියෙදී එය අවලංගු කර එම ව්‍යාපෘති කැබිනට් පත‍්‍රිකාවක් මගින් විදේශීය සමාගමකට පැවරීම අනුමත කරනු ලබන්නේද?

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි ඇමරිකානු සමාගමත් මූලික ප‍්‍රතිපත්තිමය ගිවිසුමක් අත්සන් කොට තිබේද? එය මෙම සභාව හමුවේ තැබීමට කටයුතු කරන්නේද?

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රාජ්‍ය අයිතියෙන් 40%ක් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි ඇමරිකානු සමාගමට ලබා දීමට ආණ්ඩුව සූදානම් වන්නේද?

කෙරවලපිටිය ‘ලක්දනවි’ සමාගම, එම ඇමරිකානු සමාගම සමග හවුල් බලාගාර ඉදිකිරීමක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේද?

ගෑස් සැපයීමේ අයිතිය වසර 05ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ලබා දී තිබේද?

මෙම විදුලි බල උත්පාදනයේ හිමිකම විදේශීය සමාගමක් අතට පත්වීම රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව අවදානමකට ඇද දමන පියවරක් නොවන්නේද? රටේ බලශක්ති අයිතිය ඇමරිකානු සමාගමකට පැවරීම පිළිබඳව ස්ථාවරය කුමක්ද?

lanka truth

සමස්ත අධ්‍යාපනයට වැඩි මුදලක් කොතලාවලට - පුබුදු

වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනයට වෙන්කළ මුදලට වඩා සියයට 50 කට වැඩි මුදලක් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට වෙන්කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ චෝදනා කරයි.

නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මූලස්ථානයේදී අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මේ බව අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ 10500 ක් වන රාජ්‍ය පාසල්වලට සහ 15 කට අධික රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතු`ඵ සමස්ත අධ්‍යාපන පද්ධතියටම රුපියල් බිලියන 21 ක් (කෝටි 2100) බවත් ඔහු පැවසීය.

එසේ වුවත් ඔහු පවසන්නේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට පමණක් රුපියල් බිලියන 36 ක් (කෝටි 3600) වෙන්කර ඇති බවය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ‘කොවිඩ්’ වසංගතය මධ්‍යයේ උද්ඝෝෂණ කිරීම සුදුසු නොවේ නම් වසංගත මධ්‍යයේ ජනතාවට හොරෙන් වඩාත් සංවේදී පනත් සම්මත කිරීමට උත්සහ කිරීම ද සුදුසු නොවන බවය.

නිසි වෙලාවට එළියට : මෛත්‍රී රතු එළි දල්වයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසි වෙලාවට තනිවම තරග කර ඉදිරියේදී රජයක් පිහිටුවන බව, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ඒ පසුගියදා පවතී පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල පිහිටුවීම අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්සන් කළ ගිවිසුම් ප්‍රකාර කිසිදෙයක් ඉටු වී නැති බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතාව දැන් කලකිරී සිටින බවද පැවසිය.

එසේම බිම වැටිලා සිටින යෝදයා ඉදිරියේදී නැගිටුවන වන බවද පවසා ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය සංවිධාන ශක්තිමත් කළාම යෝධයා නැගිටුවීම අමාරු නැති බවද පවසා ඇත.

චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ පාලක ලේකම්, චමීර කොස්වත්ත මහතා සහ පක්ෂ ක්‍රියාකාරි කෝෂිලා හංසමාලි අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) පැවති විරෝධතාව අතරතුර රජයේ දේපළ අනර්ථය හා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අනුව මොවුන් දෙදෙනා අගෝස්තු 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොරෝනා ඇඳන් තව ඇත්තේ 3,000ක් පමණයි : කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

කෝවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් 33,000න්, 30,000ක් පමණ ඊයේ (03) දිනය වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් තිබූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

කෝවිඩ් සඳහා වෙන් කෙරුණු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වනවිට 90%කට වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇතුළත්ව සිටින බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එමෙන්ම අතරමැදි මධ්‍යස්ථානවල ඉතිරිව ඇත්තේ 10%ක පමණ ප්‍රමාණයක් බවද ඔහු පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක්

මේ අතර, රෝහල් කාර්ය මණ්ඩලයට කොවිඩ් ආසාදනවීමේ වර්ධනයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබේ.

කොරෝනා රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලයට ද ආසාදනවීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බව එම ලිපියේ සඳහන් වේ.

කොරෝනා ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොරෝනා ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදේශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී ඇත.

එමෙන් ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොරෝනා රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙන තුරු තමන්ගේ ඒකකවල වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත දැනුම් දී තිබේ.

ගුරු විදුහල්පති විරෝධතාවට ගිය 42ක් අත්අඩංගුවට !

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසදන ලෙස ඉල්ලමින් අද (04) උද්ඝෝෂණයේ නිරත 42 දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 16 දෙනෙකු ද වන අතර, අත්අඩංගුවට ගත් පිරිස සමග වාහන 10 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුව යන ප්‍රදේශවල සිට රථ පෙළපාළිවලින් කොළඹට පැමිණියේ ය.

වාර්තා වන ආකාරයට අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, අදාල පිරිස, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිතර වෙමින් සිටිය දී ය.

කොරෝනා හැදුනා නම් අතුරු ආබාධ 200ක් !

කොවිඩ් හේතුවෙන් රෝගීවූවන් දීර්ඝකාලීනව පීඩාවිඳින පශ්චාත් රෝග ලක්ෂණ 200ක් පමණ පවතින බවත් ඒවා අතුරින් හුස්ම හිරවීම, මතකය හා අවධානය අඩුවීම මෙන්ම තෙහෙට්ටුව බහුලව දක්නට ලැබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානයේ ‘සයන්ස් ඉන් 5’ (Science in 5) වැඩසටහන සමග එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සායනික කළමනාකරුවන වෛද්‍ය ජැනට් ඩයස් මෙලෙස පශ්චාත් කොවිඩ් තත්ත්වය හෙවත් සුවය ලැබූ රෝගීන් මුහුණ දෙන රෝග ලක්ෂණ පිළිබඳව පැහැදිලි කර ඇත.

ඉහත ප්‍රධාන රෝග ලක්ෂණවලට අමතරව කතාකිරීමේ අපහසුව, සංකාව, මානසික අවපීඩනය, පේශී වේදනාව, උණ, ගඳ සුවඳ නොදැනීම, රස නොදැනීම වැනි රෝග ලක්ෂණ කොවිඩ් 19 ආසාදනය වී සුවවූ පුද්ගලයන් ආශ්‍රිතව දැකගත හැකි වන බවයි.

බොහෝ පුද්ගලයන්ට පශ්චාත් රෝග ලක්ෂණ මාස තුනේ සිට මාස නවය දක්වා කාලයක් පවතින බව වාර්තා වී ඇති නමුත් මුළුමනින්ම ඒවා සුවවනවාද යන්න පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බවද ජැනට් ඩයස් ප්‍රකාශ කර තිබේ.

මෙවැනි කොවිඩ් පශ්චාත් රෝග ලක්ෂණ වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා පුනරුත්ථාපන වෘත්තිකයන්ගේ සහ මනෝ දේශකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල තවත් විශේෂඥයන් රැසකගේ සහාය අවශ්‍ය බවද ඇය පෙන්වා දී ඇත.

– aruna

මහින්දානන්දටත් කොරෝනා ?

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

 (03) දින සිදුකරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත් තවදුරටත් එය තහවුරු කරගැනීම සඳහා අමාත්‍යවරයාට අද (04) දිනයේ තවත් පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

අලුත්ගමගේ අමාත්‍යවරයා කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගනුලැබූවකු බවත් දැනගන්නට ඇත.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ, පසුගිය සතියේ සිට තම ආශ්‍රිතයන් වූ සියලු දෙනා නිරෝධායනයට යොමුවන ලෙසයි.

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

mahindananda

තවත් මරණ 74ක් !

තවත් කොරෝනා මරණ 74ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති අතර ඒ අනුව සමස්ත මරණ ප්‍රමාණය 4,645ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම අද දිනය තුල නව ආසාදිතයන් 2423ක් හදුනාගෙන තිබේ.

ඔවුන්ද සමගින් මෙරට හඳුනාගන්නා ලද ආසාදිත සංඛ්‍යාව 316192 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොතලාවල පනතට දුන්න : ශ්‍රීලනිප නිල සංශෝධන මෙන්න !

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පණත සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය මේ වන විට ජනාධිපති වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

අද (03) ලිපියක් හරහා මේ දැනුම්දීම සිදුකර ඇති අතර එහිදී අදාළ පණත සඳහා මූලික සංශෝධන 4ක් යෝජනා කර තිබේ.

ඒ අනුව,

  1. ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම,

  2. ආරක්ෂක නිලධාරීන් නොවන උපාධි අපේක්ෂකයන් ඇතුළත්කර ගැනීමේදී Z අගය මත පදනම් වූ සාධාරණ ක්‍රමයක් පැහැදිළිව සඳහන් කිරීම.

  3. රැකියාවක් කරමින් උපයන ආදායමින් ගෙවීමේ පදනමින් ණය මුදලක් ලබාදීම.

  4. පාලක සභා වල සිවිල් සාමාජික සංඛ්‍යාව බහුතරයක් බවට පත්කිරීම

අදාළ යෝජනාවල සාරාංශය ලෙස දැක්විය හැකිය.

මෙම ශ්‍රීලනිප සංශෝධන ඇතුළත් ලිපිය මෙම පණත සම්බන්ධව විමසා බැලීමට පත්කළ ශ්‍රීලනිප පක්ෂ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ අත්සනින් ජනාධිපතිට යොමුකර ඇති අතර පිටපත් යොමුකර ඇත්තේ, පක්ෂ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත පමණක් වීමත් විශේෂිතය.

පහත දැක්වෙන්නේ ශ්‍රීලනිප කමිටුව ජනාධිපති වෙත යොමුකළ සම්පූර්ණ ලිපියයි.

medical f 950

ආණ්ඩුව අඩියක් පස්සට අරගෙන !

මේ අතර දැඩි ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන සී නිව්ස් වාර්තා කර ඇති පුවතක් මෙසේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අතර ඇතිවූ සංවාදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

පනතට විරුද්ධව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම සුළු පක්ෂවල මන්ත‍්‍රීන් කිහිප දෙනෙකු ද අදහස් පළ කර ඇත.

ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කරන බවත් එහි තීරණය එනතෙක් පනත ඉදිරිපත් නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

ඒ අනුව මන්ත‍්‍රී කණ්ඩායම් හමුව විසදුමකින් තොරව අවසන් වී ඇත.

පොහොර තහනම ඉවරයි : හිටපු ආණ්ඩුකාර ජය සමරයි !

පොහොර තහනම අවසන් බවත් එබැවින් වගා හානි වූ ගොවීන්ට රජය වන්දි ගෙවිය යුතු බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය දුන් සැමට ස්තුතියද පුදකරමින් ඔහු මේ සම්බන්ධව නිවේදනයක් නිකුත්කර ඇත.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ අදාළ නිවේදනය පහත දැක්වෙයි.

2021 අගෝස්තු මස 01 දින සිට පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීමට රජය කටයුතු කර ඇත.

පොහොර ආනයනය සඳහා පනවා තිබූ තහනම රජය විසින් ඉවත් කර ඇත. එසේ නමුත්, පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දෙන්නේ කුමණ ව්‍යාපාරිකයින්ට ද, ගෙන්වනු ලබන්නේ කුමන පොහොර වර්ග ද යන්න පිළිබඳ නිශ්චිත නැත.

ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා පොහොර ආනයනය තහනම් කරනු ලැබූ නමුත් රජය කාබනික කෘෂිකර්මය සඳහා යැයි ඉතා ග්‍රාම්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා යැයි කියමින් රු. කෝටි 8 ක ප්‍රචාරක ව්‍යාපාරයක් භාතිය සංතෘෂ් සංගීත කණ්ඩායම සමඟ සැලසුම් කළ අතර ජනතා විරෝධය හරහා එය අතහැර දමන ලදී.

පොහොර තහනම හේතුවෙන් වී අස්වැන්නේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇත. අතිරේක ආහාර භෝග වර්ග 11ක අස්වැන්න අඩුවී ඇතැයි පසුගිය දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. තේ පොහොර නොමැතිවීම නිසා තේ දළු අස්වැන්න අඩුවිය.

සලාක ක්‍රමයක් යටතේ පොහොර ආනයන අත්ත දුෂිත ගණුදෙනුවක් බවට පත් විය හැකිය. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ප්‍රතිමිතියකින් යුතුව ආනයනය කිරීම සඳහා රජය පියවර ගත යුතුය ඇත. එමෙන්ම ප්‍රෝඩාකාරී පොහොර තහනම නිසා වගා හානියකට පත් පිරිසට වන්දි ගෙවීමට රජය පියවර ගත යුතු ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

2021 අගෝස්තු 3

Page 366 of 385