V2025

පුවත්

Online ඉගැන්වීම් අධීක්ෂණ කැබිනට් පත්‍රිකාවට විරෝධය

පාසල් වසා දමා වසරකුත් මාස 03 කට වැඩි කාලයක් ගතව ඇති අතර, කඩාවැටුණු පාසල් අධ්‍යාපන පවත්වාගෙන යාමට ගුරුවරු විසින් තම මුදල් වියදම් කරමින් ස්වේච්ඡාවෙන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම් අධීක්ෂණයට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2021.07.05 දින රැස් වූ කැබිනට් මට්ලයේ දී කැබිනට් පති‍්‍රකාවක් අනුමත කරවාගෙන ඇතැයි ද එසේ අනුමත කරගත් කැබිනට් පත්‍රිකාවට දැඩිව විරෝධය දක්වන බවත් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ පිළිබද වැඩිදුරටත් නිවේදනයේ මෙසේද සදහන් වේ.

‘ගෘහස්ත කි‍්‍රයාකාරකම් මගින් ළමුන්ගේ ඉගෙනීම පවත්වාගෙන යාම’ නමින් අධීක්ෂණ කි‍්‍රයාවලියක් 2021 අගෝස්තු 1 දින සිට කි‍්‍රයාත්මක කිරීමට මේ මගින් කටයුතු කර ඇත. ඒ අනුව ගුරුවරුන් විසින් කි‍්‍රයාකාරකම් නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම, ගුරුවරුන් විසින් සතිපතා සිසුන්ගේ කාර්යසාධනය තක්සේරු කර ශිෂ්‍ය කාර්යසාධන වාර්තා පවත්වාගෙන යාම, පාසලේ විදුහල්පති සහ ගුරුවරු විසින් දෙමාපියන් සහ සිසුන් සම්බන්ධ කරමින් ගෘහස්ත ඉගෙනුම් කටයුතු කි‍්‍රයාත්මක කිරීම, ගුරු උපදේශකයින් විසින් ගුරු කාර්ය සාධනය අධීක්ෂණය හා නියාමනය කිරීම කළ යුතු බව දක්වා ඇත.

මෙසේ සිසුන්ගේ ගෘහස්ත කි‍්‍රයාකාරකම් අධීක්ෂණය හා නියාමනය මාර්ගගත ක‍්‍රමවේද මගින් සිදු කිරීමේ දී ඊට අවශ්‍ය උපාංග, දුරකතන ඇමතුම් ගාස්තු සහ ඬේටා සඳහා යන වියදම් ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට ලබාදිය යුතුය. එසේ නොමැතිව මේ වන විට ගුරුවරු විසින් තම වියදමින් ස්වේච්ඡුාවෙන් සිදු කරනු ලබන මාර්ගගත ඉගෙනුම් අධීක්ෂණය මේ මගින් සිදු කරන්නේ නම් ඒ සඳහා අප දැඩි විරෝධය පළ කර සිටිමු.

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ ලක්ෂ 43 ක් පමණ වන සියලූ පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට ක‍්‍රමවේදයක් ආණ්ඩුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක නොකිරීම මත 60% කට වැඩි දරුවන් පිරිසකට අධ්‍යාපනය අහිමි වී ඇති තත්වයක තවදුරටත් ආණ්ඩුව විසින් මාර්ගගත අධ්‍යාපනය පවත්වාගෙන යාමට කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයකි. අධ්‍යාපන අමාත්‍යවරයා 2021.06.19 දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී සඳහන් කරන ලද්දේ අධ්‍යාපනය අහිමි වී ඇත්තේ 12% ක පමණ ශිෂ්‍ය පිරිසකට බවයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා 2021.07.06 දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරන ලද්දේ අධ්‍යාපනය අහිමිව ඇත්තේ ලක්ෂ 43 ක් පමණ වන සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ලක්ෂ 35 කට බවයි. එසේම ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසූයේ පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බවයි. කෝවිඞ් 19 වසංගතය තුළ කඩා වැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් තොරව අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම් දරන්නන් මෙන්ම ජනාධිපතිවරයා ද මේ ආකාරයෙන් පරස්පර අසත්‍ය ප‍්‍රකාශ කරමින් සිටීම බරපතල කනගාටුදායක තත්වයකි.

මාර්ගගත අධ්‍යාපනයට යොමු විය නොහැකි දරුවන්ට ප‍්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන සකස් කළේ යැයි දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපෘතියක නිරත වූ අධ්‍යාපනය අමාත්‍යාංශය එම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නිසි වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොකිරීම නිසාම එය අසාර්ථක වී ඇත. එම මධ්‍යස්ථානවලට කැඳවන ගුරු-විදුහල්පතිවරු එන්නත් නොකිරීම, එම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා නොගැනීම, උතුරුමැද පළාතේ සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබා නොදීම, දරුවන් 10 කට පහසුකම් ඇතිව සැකසූ මධ්‍යස්ථාන වෙත අපේක්ෂිත ලෙස දරුවන් නොපැමිණීම වැනි තත්වයන් මත එම කටයුත්ත මේ වන විට අසාර්ථ වී ඇත.

මේ තත්වය තුළ හුදු ප‍්‍රචාරක ව්‍යාපෘති පසෙක දමා කෝවිඞ් 19 වසංගත තත්වය තුළ අධ්‍යාපනය පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතුය.

මෙයට,

ජෝසප් ස්ටාලින් ප‍්‍රධාන ලේකම්

සිරස මාධ්‍ය මර්දනයක්: සජිත් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

සිරස මාධ්‍ය ජාලයට එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

විපක්ෂ නායකවරයා සිය විශේෂ ප්‍රකාශයේදී අවධාරණය කර සිටියේ, රජයේ ඉහළ පෙළ කණ්ඩායමක් නීතිඥවරුන් ද ඒකරාශී කර ගනිමින් සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය කුමන හෝ නීතිමය තත්ත්වයක් තුළ අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට විශ්වසනීයව දැන ගන්නට ලැබී ඇති බවයි.

විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, සිරස මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවයි.

ආණ්ඩුව අද මාධ්‍යවලට එරෙහිව දැවැන්ත මර්දන ක්‍රියාවලියක් අරඹා ඇතැයි ද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.

මාධ්‍ය මර්දනයෙන් ජනතා ප්‍රශ්න වහන්න බෑ - රුවන් විජයවර්ධන

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන  නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

සිරස ආයතනය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වහාම ප්‍රකාශයක් කළ යුතු බව කියන රුවන් විජයවර්ධන මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කැපවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂගෙන් පක්ෂයක් ලෙස ඉල්ලා සිටින බවද සඳහන් කරයි.

"එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය පුරාම ජනමාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයකි.

ජනමාධ්‍යයෙන් වැඩිම විවේචනයට ලක්වූවේ ද එක්සත් ජාතික පක්ෂය වුව ද අප කිසි විටෙකත් මාධ්‍ය මර්දනයට උත්සාහ ගත්තේ නැත. යහපාලන රජය සමයේ මාධ්‍ය හමුවේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා අප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ය. බෞද්ධ දර්ශනයට අනුගත වූ ඔහු විවේචනයන් ඉදිරියේ කම්පා වූවේ නැත. එය උසස් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. මාධ්‍ය විවේචන පිළිගැනීම රටේ අනාගතය‍ යහපත් වීම කෙරෙහි බෙහෙවින් උපකාරී වන බව අපේ විශ්වාසය යි. "යනුවෙන්ද රුවන් විජයවර්ධන සඳහන් කරයි.

මහින්ද ජයසිංහට ඇප ලැබෙයි

අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අද (07) දහවල් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනාව ඇපමත නිදහස් කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනාව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ ජන ජීවිත අනතුරේ හෙළමින් මුතුරාජවෙල තෙත් බිම් වැනසීමට එරෙහිව අද (07) පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙනි.

එම විරෝධතාවය අද මධ්‍යාන 12.00ට බෝපිටිය මංසන්ධියේදී පැවැත්වීමට සූදානම් කර තිබී ඇත. එම විරෝධතාවය ආරම්භ කර තිබියදී පොලිසිය විසින් එම උද්ඝෝෂණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. ඒ අනුව පිරිස විරෝධතාව නතර කර විසිර යමින් සිටියදී මෙලෙස මහින්ද ජයසිංහ මහතා පොලිසිය විසින් පමුනුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

දුමින්ද නාගමුව අත්අඩංගුවට

කොළඹ – 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ  පැවසුවේ, උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනා මත ඔහු ඇතුළු තවත් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් කොවිඩ් රෝග ව්‍යාප්තියට හේතු වන බවට ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් !

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය අද ජුලි 06 රාත්‍රී නිකුත්වීමට නියමිතව තිබෙනවා.

බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය, නිකුත්කිරීමට නියමිතව ඇත්තේ හෙට දහවල් කාලයේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට බැසිල් රාජපක්ෂ ජුලි 08 දා පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට පෙර, ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතයි.

මීට පෙර වාර්තා වූයේ බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටි බවයි.

එහෙත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ යෝජනා කර තිබුණේ සෑම අමාත්‍යාංශයක් සඳහාම මැදිහත් වියහැකි ආකාරයට මුදල් , ආර්ථික සංවර්ධන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය බවයි.

නමුත් පසුව මුදල් අමාත්‍ය ධූරය සඳහා පමණක් එකඟතාවට පත්කර ගෙන තිබෙනවා.

මේ අතර බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජුලි 06 උදැසන පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදෙනු ලැබුණත්, ඊට අදාළ සාකච්ඡා දින ගණනාවක් ඇදී ගිය බවත් වාර්තා වනවා.

ඒ බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත් වීමට, ජාතික ලැයිස්තුවට පත්කළ කිහිපදෙනෙකුම යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබූ නිසයි.

එවැනි සාකච්ඡාවලදී ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහට ඉල්ලා අස්වැන්නයි ඉල්ලීමක් කර තිබුනේ, ඔහුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා ද යෝජනා කරමින්.

නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ,

''එහෙනම් මම ගෙදර යන්නම්.. මට ඔය රටරට වල යන්න දැන් වයසක් නැහැ..'' යයි කියමින් .

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් ඉල්ලා අස්වීමට අකමැත්තක් නැතිබවක් පවසා තිබුනත් අගමැතිවරයා ඊට අනුකුලතාවයක් දක්වා නොතිබුණු බවත් වාර්තා වනවා.

මෙම මොහොමඩ් ෆලීල් මර්ජාන් මෙන්ම ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ද ජාතික ලැයිස්තුවට නම්කර තිබුනේ අගමැතිවරයාගේ නිර්දේශය මතයි.

අවසානයේ ජයන්ත කැටගොඩ මෙන්ම මහාචාර්ය රන්ජිත් බණ්ඩාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා අස්වීමට එකඟතාවය පළකර තිබෙනවා.

කෙසේ හෝ තමන් වෙනුවෙන් මන්ත්‍රී ධුරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ වෙත, ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යලි ගම් මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරීමට බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි ද , එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

එසේම ඉදිරියේදී තමන් විසින් යෝජනා කරන ආර්ථික සැලසුම් වලදී ආණ්ඩුව නියෝජනය කරන විමල් පාර්ශවයේ ජාතිකවාදීන් වෙතින් බලපෑම් එල්ලවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට තීන්දුකර ඇති පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අවශ්‍ය ඕනෑම මොහොතක දී ඕනෑම චන්දයකට මුහුණදීමට හැකිවන ආකාරයෙන් පක්ෂ යාන්ත්‍රනය සුදානම් කිරීමේ වගකීම ජයන්ත කැටගොඩ ට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහට පවරා ඇතැයි ද වාර්තා වනවා.

දේශපාලන වාර්තාකරු

අනාෆ් ජසීම් කවියාගේ නිදහස : නීතිපතිට සති දෙකක් !

අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර පොලිස් රැදවුම්බාරයේ රදවා තබා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වහාම මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට නියෝග කළේය.

සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බව ට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදි අධිකරණය මෙම නියෝගය කරන ලදී.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මෙම පෙත්සම පිළිබද නීතිපති සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ කේ.කනග් ඊස්වරන් කියා සිටියේ පෙත්සමේ යතුරු ලියන දෝෂ කිහිපයක් ඇති බැවින් ඒවා නිවැරදි කිරීමට අවසර ලබා දෙන ලෙසය.

අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.

මෙම පෙත්සම ලබන අගොස්තු 04 වැනි දින කැදවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් තුන ගොනු කරන්නැයිද නීතිපති ට නියම කළේය.

මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ , පොලිස්පති , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු කවියෙකි .කෙටිකතාකරුවෙකි.ලේඛකයෙකි.පෙත්සම්කරු ළමා කාලයේ සිටට ලේඛන නිර්මාණකරණයේ නිරතව සිටි අයෙකි.ඒසේම ඔහු සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන අගැයුම්ද ලබා ඇත්තෙකි.ඔහු කිසිවිටෙක සිය නිර්මාණ තුළින් අන්තවාදය හෝ ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කර නොමැත.

පෙත්සම්කරුව සියි නිවිසේ සිටියදී 2020 වසරේ මැයි 06 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණි අත්අඩංගුවට ගෙන ඇත.

පෙත්සම්කරු ගේ නිර්මාණ තුළින් මුස්ලිම් අන්තවාදයට සහ ළමා හිංසනයට සහයෝගය ලබා දීම යන්න ඔහුට එරෙහිව චෝදනා වශයෙන් ඉදිරිපත් කර තිබිණි.පෙත්සම්කරුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් රැදවුම් නියෝග යටතේ රදවා තබා ගෙන ඇත.

දැනට මාස 10කට ආසන්න කාලයක් ගෙවී ඇතත් පෙත්සම්කරුව කිසිදු මහේසත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර නොමැත.මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , තමන් රැදවුම් බාරයෙන් වහාම මුදා හැරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

උද්ඝෝෂණ රැස්වීම් තහනම් කරයි !

මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙන බව පොලිසිය පවසයි.

පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති බවයි.

ඒ හේතුවෙන් එම උද්ඝෝෂණ හා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු සිදු නොකළ යුතු බව පොලිසිය විසින් මහජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කර ඇති නියෝගය අනුව ඒ සම්බන්ධයෙන් නිරෝධායන රෙගුලාසි යටතේ කටයුතු කරන බවද පොලිසිය පවසයි.

මේ වන විට සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන ඇති අතර දිවයින පුරා පොහොර ඉල්ලා සිදුකරන ගොවි උද්ඝෝෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතියි.

තවත් මරණ 45ක් !

කොවිඩ් මරණ 45ක් ඊයේ (05) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) තහවුරු කර තිබේ.

කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු ඊයේ තහවුරු කරන ලද මරණ අතරට අයත්ය.

එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් ඇත.

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වූ කැටගොඩට : සුබ අනාගතයක් !

පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තු පැමිණීම සඳහා ඉල්ලා අස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩට රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

එසේම පොදුජන පෙරමුණේ බිම්මට්ටමේ සංවිධාන කටයුතු මෙහෙයවීමට වැඩි බලතල ප්‍රමාණයක් ලබාදෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට බැසිල්වාදි පාර්ශව කැටගොඩගේ ඉල්ලා අස්වීම විශාල පරිත්‍යාගයක් ලෙස හුවාදක්වමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් ගෙනයනු ද නිරීක්ෂණය වෙයි.

වාර්තා වන ආකාරයට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව තුළින් බැසිල් රාජපක්ෂ ගේ පැමිණීම වෙනුවෙන් කිහිපදෙනකු යෝජනා වුවත් අපේක්ෂිත ආකාරයට ඔවුන් කිසිවෙකු ඉල්ලා අස්වූයේ නැත.

ඒ ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, වෙති. පසුව ඉල්ලා අස්වීම සඳහා එකඟතාව පළකර ඇත්තේ රන්ජිත් බණ්ඩාර සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනා ය.

කොළඹට ෆයිසර් එන්නත හෙට සිට

වයස අවුරුදු 55ට වැඩි, කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර ඇති බව, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනූව එම පිරිස් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට (07) සිට එන්නත්කරණ අරඹන බව යුද හමුදාපතිවරයා පැවසීය.

කොළඹ නගරසභා බල ප්‍රදේශය තුල ස්ථාන තුනක දී එන්නත්කරනය සිදුකිරීමට නියමිත අතර අදාළ පුද්ගලයින්ට එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම්දීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් පවිත්‍රාට බාධා !

අමාත්‍ය මණඩල පත්‍රිකා ඉදිරිපත් කිරීම වළක්වමින් සෞඛ්‍ය අමත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ට බලපෑම් සිදුවන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණ්ඩලය පවසයි.

එබැවින් මතුව ඇති තත්ත්වය තුළ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත්වූ සාකච්ජාව අසාර්ථක වී ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණඩලය සමග අද (05) උදෑසන සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැත්වූ සාකච්ඡාවේදී ඉල්ලීම් පිළිබඳව කිසිදු නිශ්චිත තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය අපොහොසත් වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය ඇඛණ්ඩව ඉදිරියට ගෙනයාමට පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලද බව 'පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය' සභාපති, රවී කුමුදේශ් පැවසිය.

ප්‍රධාන ගැටළු කිහිපය සදහා අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ධනාත්මක අභිලාෂය හැගවීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිටීම මගින්, තීරණ ගැනීමට ඇයට බලපෑමක් පවතින බව ඉතා පැහැදිළි බවද ඔහු සඳහන් කළේය.

එබැවින් මෙම ගැටළුව විසඳීම සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බැවින්, ඊට මැදිහත් වෙන ලෙස වෘත්තීය සමිති නායකයින් ඔවුන් දෙදෙනා ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනූව වර්ජන ක්‍රියාමාර්ගය හෙට දවසේදීත් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සිදුවන බව වෘත්තීය සමිති නායකයින් අවදාරණය කර සිටියි.

ආණ්ඩුවේ තවත් තීන්දුවක් රිවර්ස් : මෙවර ඇලෝසියස්ට දුන්න මෙන්ඩිස් බලපත්‍රය !

මුදල් අමාත්‍යාංශයට අයත් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත්කළ අවසරයක් නැවත වෙනස් කර ඇත.

ඒ අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට තීන්දු කිරීමය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව පැවසෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතේ පවතින අතර විෂය අයත් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙතය.

අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය නිකුත් කිරීමට තීන්දු කිරීමත් සමග සමාජ මාධ්‍ය ඇතුළු විකල්ප ධාරවේ මාධ්‍ය එම තීන්දුව හාස්‍යයට ලක්කළ අතර ඒ විපක්ෂයේ සිටියදී වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව කළ කී දේ සිහිපත් කරමිනි.

චීනය බාල්දි පෙරළාවි : ඒත් සැමරුම් මැදින් බැසිල් එනවා සත්තයි !

කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇති බව මෙරට ජනප්‍රිය වෙබ් අඩවියක් වන 'ලංකා සී නිව්ස්' ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තාකර තිබෙනවා.

වෙබ් පුවත් වාර්තා වල දැක්වෙන්නේ , චීනය සහ ඇමරිකාව අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා, කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත, එය ඇමරිකානුවෙකු විසින් පාලනය නොකල යුතුය යන පදනමින්, මෙම දැනුම් දීම කර ඇති බවයි.

මේ පුවත්වාර්තා වල ඇත්ත නැත්ත කෙසේවෙතත්, ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ අමාත්‍යාංශයට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පැවරෙනු ඇතැයි 'ලංකාදීප' පළකර ඇති පුවත හා ඉහත පුවත් අතර සම්බන්ධතාවයක් තිබෙන බවක් පෙන්නුම් කරනවා.

අදාල ලංකාදීප පුවත් වාර්තාව සම්පාදනය කර ඇත්තේ, ප්‍රකට දේශපාලන වාර්තාකරුවකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ විසින්.

ගෝඨාබය ආණ්ඩුව පත්වූ මුලදී මුදල් අමාත්‍යංශය යටතේ අගමැති මහින්ද රාජපක්ෂ වෙත පවරා තිබු කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය , ඉන් අනතුරුව ජනාධිපතිවරයා යටතට පත්කරගනු ලැබුණා.

දැන් එය ක්‍රියාත්මක වන්නේ අචාර්ය PB ජයසුන්දරගේ අධීක්ෂණය යටතේයි.

පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට සැරසෙන බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා - ඇමරිකානු ද්විත්ව පුරවැසියෙකි.

එසේම ඔහුට ඉන්දියාව සමග සමීප ඥාති සම්බන්ධතාවයක් ඇති අතරම එරට දේශපාලනඥන් සමග තිබෙන්නේ සමීප ඇසුරක්.

බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත බවත්, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිතව ඇති බවත් ලංකාදීප වාර්තා කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර අද 'ලංකාදීප' වාර්තාකර ඇත්තේ, බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නොමැති බවයි.

බැසිල්ට ජූලි 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්‍ෂ එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට ඇතැයි ද ලංකාදීප වාර්තාවේ සඳහන් වනවා.

බැසිල් රාජපක්‍ෂ ට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති බව, දැනට මුදල් අමාත්‍යධූරය ද දරණ අගමැති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර තිබෙන බවක් ද , එම පුවත් වාර්තාවේ සඳහන්.

ලංකාදීප වාර්තාවට අනුව, ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගේ නිවසේදී ඉකුත් සෙනසුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදී.

එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද, බැසිල් රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වී තිබෙනවා.

රටේ පාලන බලය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට, ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවසේ පැවති සාකච්ජාවේදී පැහැදිලි තීන්දුවක් නොගත් බව, මිට ඉහතදී වාර්තා කළේ වගකීමකින් යුතුවයි.

එහෙත් ලංකාදීප පවසන්නේ, සුහද පවුල් හමුවක් වූ මෙම කතාබහේ දී බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇතත් පැමිණෙන දිනය නිශ්චිතව සඳහන් කර නැති බවයි.

කෙසේවුවද අමාත්‍ය නාමල් රාජපක්‍ෂ 'නෙත් නිවුස්' ඊයේ කළ විමසීමකදී සඳහන් කර සිටියේ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යළි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබද මෙතෙක් ආණ්ඩුව සමග සාකච්ඡා කර නොමැති බවයි.

මේ අතර අද 'ලංකාදීප' වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ, බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක් ලැබීමට නියමිත බවයි.

බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන ජනාධිපතිගේ නිවසේ සිදුකළ සාකච්ඡාවේදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් , අදහස් හුවමාරු වී ඇති බවද එම පුවත්පත් වාර්තාවේ සඳහන්.

එම පුවත් වාර්තාවට අනුව, බැසිල් රාජපක්‍ෂ වෙනුවෙන් සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කරගැනීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාටයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු වි ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ, පසුගිය මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ලැයිස්තුව පත්කළ බැසිල් රාජපක්ෂට තමා වෙනුවෙන් කෙනෙකු ඉවත්කර ගැනීම නාමල් ඇමතිවරයාට පැවරීමට සිදුවීම හාස්‍යයට කරුණක් බවයි..

එම ජාතික ලැයිස්තුව පත්කිරීමේදී ජනධිපතිවරයා විසින් නම් කල වියත්මග සාමාජිකයින් දෙතුන් දෙනා සහ අගමැතිවරයා විසින් නම්කරනු ලැබූ ෆලීල් මර්ජාන්, ජයන්ත වීරසිංහ වැනි දෙතුන් දෙනෙකු හැර , පොහොට්ටු පක්ෂයේ අන් සියලු දෙනාම පත්කරනු ලැබුවේ , බැසිල් රාජපක්ෂ විසින්.

වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව සුරේන් රාඝවන් ජාතික ලැයිස්තුවට පත්කළේ ද බැසිල් රාජපක්ෂ විසින් බවට එම පක්ෂයේ නායකයින් දිගින් දිගටම නගන චෝදනාවයි.

අනෙක් අතට ජාතික ලැයිස්තුවට නාමල්ගේ ගජ මිතුරන් හෝ , තාරුණ්‍යයට හෙටක් වැනි සංවිධානවල සිටි අයකු පත්කර ඇති බවක් වාර්තා වන්නේද නෑ ..

බැසිල් වෙනුවෙන් කෙනෙකු ඉවත්කර ගැනීම ඔහුට පවරා ඇත්තේ එවැනි වටපිටාවක් තුලයි.

මේ කරුණුවලින් තවදුරටත් පැහැදිලි වන්නේ, බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන්, පවුලේ සාමාජිකයින් මෙතෙක් අවසන් එකඟතාවකට එළඹ නොමැති බවයි.

කෙසේවුවද මෙරට බහුතර ජනතාවක් බලා සිටින්නේ බැසිල් පාර්ලිමේන්තු අද හෙටම ඇවිත් ජනාධිපති හා අගමැතිගේ ජිවන වියදම් කමිටුව ඉහල දැමූ ඉන්ධන මිල ඇතුළු බඩුමිල අඩුකරන තුරුයි.

කොහොම හරි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් දැනුවත් කරලා කියන්නේ බැසිල් රාජපක්ෂ 8 පාර්ලිමේන්තු එනවා , ඒ නිසා සැමරුම් සූදානම් කරන්න කියලා. හැබැයි ඔන්ලි බැසිල් නෙවෙයි ,අගමැති සහ ජනාධිපති එහෙමත් ඉස්සෙන විදියට.

දේශපාලන වාර්තාකරු

ඩෙල්ටාවේ ප්‍රතිඵල මාසෙන් එයි : වෛද්‍ය සංගමය අනතුරු අඟවයි !

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

මේ දිනවල පැතිරෙමින් පවතින එම ප්‍රභේදයේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැක ගත හැකි වනු ඇති බවත් ඇය පවසයි.

විශේෂඥ වෛද්‍යවරිය කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර දැනට කොරෝනා මරණ අඩුවීමක් පෙන්නුම් කරන්නේ පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සංචරන සිමා නිසා බවද සඳහන් කරයි.

මේ අවස්ථාවේ දී රට තුළ එන්නත්කරණය ඉතා වේගවත් කළ යුතු බවද ඇය අවධාරණය කරයි.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දක්නට ලැබෙනු ඇතැයි පැවසූ ඇය එවිට රෝගය පාලනය කර ගැනීමට හැකියාවක් නැති වනු ඇති බවටද අනතුරු අඟවයි.

තෝර්ට නිව්මෝනියාව උත්සන්නයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කොරෝනා ආසාදනය වූ “තෝර්” නමැති සිංහයාගේ නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීම නිසා විශේෂ ප්‍රතිකාර යළි අරඹා තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

මේ අතර සිංහයාගේ සමෙහි තුවාල හටගෙන තිබෙන බවත් සිංහයාගේ සෞඛ්‍ය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවත් සත්වෝද්‍යාන ප්‍රධානීන් ඒ ගැන අවධානයෙන් පසුවන බවත් ඔහු සඳහන් කරයි.

එසේම එම සිංහයාට ආසාදනය වූයේ ඇල්ෆා කොරෝනා ප්‍රභේදය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේදී හෙළිව තිබුණි.

රිෂාඩ්ගේ පෙත්සම් සලකා බැලිමේ තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අද(05) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල ⁣මෙම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.

ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන 08 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.

ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ සිව්වැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධනය.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී .නවාස් යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන්මෙ මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.

කිසිදු නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ නොමැති තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් රැදවුම් බාරයේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර සිටිති.

තවත් කොරෝනා මරණ 45 ක් : අලුත් මාර්ගෝපදේශ මාලාවත් ප්‍රසිද්ධ කරයි !

තවත් කොරෝනා මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කරයි.

ඒ සමග මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3246 දක්වා ඉහල යයි.

එසේම දැනට රටපුරා පළාත් මට්ටමින් පනවා ඇති සංචරණ සීමා තවත් සති 2 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දන්වා ඇත.

නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

001 768x999

002 708x1024

003 707x1024

004 768x665

Page 375 of 383