V2025

පුවත්

18 දක්වා රට වහන්න : විශේෂඥ කමිටුවෙන් උපදෙස් !

ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි.

ජීවිත බේරාගැනීමට නම් කඩිනම් පියවර ගත යුතු බවත් දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දීර්ඝ කළ යුතු අතරම එම දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.

දැනට පරීක්ෂා කර ඇති සාම්පලවලින් සියයට 90කට වැඩි සංඛ්‍යාවකින් පෙනී යන්නේ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ මෙන්ම අනෙක් පළාත්වලටත් පැතිර ගොස් ඇති බවත් එම කමිටුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය නව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ වාර්තාවට අනුව නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවත් රෝහල්වල සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත් එමෙන්ම වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එම වාර්තා වේ දැක්වේ. එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ දැක්වේ.

එමෙන්ම නිවාස තුළ ද වයිරසය පැතිරෙමින් තිබෙන බව මෙම වාර්තා වේ දැක්වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී දැඩි සීමා පැනවිය යුතු බවත් කඩිනමින් එම පියවර ගත බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් වාර්තාව පෙන්වාදෙයි. ඒ අතරවාරයේ දී එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව එහි දැක්වේ.

වයිරසය සම්ප්‍රේෂණය (ව්‍යාප්තිය), වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන් ය.

දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැය ද විශේෂඥ කමිටුව සඳහන් කරයි. එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ඉහළම ඒවායින් එකක් යැයි ද එම වාර්තා වේ සඳහන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම්ගේ විශේෂ නියෝජිත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන පහසුකම් සපයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවයි.

වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකත්වය දරති.

එම පිරිසට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරු පිරිසක් ද මීට එක්ව සිටිති.

– lankadeepa

මහානායක හාමුදුරුවොත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්ද? - මනුෂ ප‍්‍රශ්න කරයි

රට තබන ලෙසට ඉල්ලීම් කරන්නේ පාපිෂ්ඨ සාහසික යැයි සෞඛ්‍ය ඇමැතිවරයා පවසන බවත්, ඒ අනුව මහානායක හාමුරුවෝත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්දැයි ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි ප‍්‍රශ්ණ කරන බවත් අද සවස මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් මන්ත‍්‍රීවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

තවදුරටත් රට වසා තැබීම රටට ඔරොත්තු දෙන්නේ නෑ, රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නෑ කියලා මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් පණිවුඩයකින් පවසා තිබෙනවා. අද රට වසා තැබීමට සිදුවුනේ ඇයි? මේ රට වහන තැනට පත්වුනේ වෙන රටක ප‍්‍රශ්ණයක් නිසාද? එහෙම නැතිනම් අවශ්‍ය වෙලාවට තීන්දු ගත්තේ නැති නිසාද? නැතිනම් අවශ්‍ය වෙලාවට එන්නත් ගහපු නැති නිසාද කියලා කියන්න.

රට වහන්න කියලා හැමෝම කියද්දී, සෞඛ්‍ය අංශ කියද්දී රට වහන්නේ නැතිව සිටියා. අන්තිමේදී මහ නායක හාමුරුවෝ කිව්වම රට වැහුවා කියලා ආගමික වාසියක් ගන්න, අපි හාමදුරුවෝ කියන එක නම් අහනවා කියලා පෙන්වන්න හැදුවා. කොරෝනා නිසා රට වහනවද නැද්ද කියන තීරණය ගන්න ඔ්න හාමුදුරුවෝ කියන නිසා නෙමෙයි, සෞඛ්‍ය අංශ කියන නිසා. සෞඛ්‍ය අංශ කියන දේ අහන්නේ නැතිව, මහනායක හාමුදුරුවෝ කිව්ව නිසා අපි රට වහනවා කියලා තමන්ගේ ලැජ්ජාව වහගන්න හැදුවා. මාධ්‍ය සංදර්ශනයක් පෙන්වන්න හැදුවා.

දැන් රට වහන්න කියන අය පාපිෂ්ඨ සාහසික බලවේග කියලා අලුත් සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා. එතකොට, මහානායක හාමුදුරුවෝ පාපී හැගීම් තියෙන අය කියලා හගවන්න හදනවා. රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මහ නායක හාමුරුවන් අදහස් දැක්වීම පාපී ක‍්‍රියාවක්ද කියලා අපි අහන්න කැමැතියි.

අද රට වහල තියෙන නිසා ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා මුදල් ඇමැතිවරයා කියනවා. මේ රට ඇරගෙන ඉදලා, රටේ ජනතාවගේ ජීවිත නැතිවුනාම, මිනිස්සු නැති සුසානභූමියක් කන්නද? මිනිස්සු ලෙඩ වුනාම, දරුවන්ට තාත්තලා අම්මලා අහිමි වුනාම, අම්මලා තාත්තලාට දරුවන් අහිමිවුනාම, ආර්ථිකයක් මොකටද? ඒ වගේ තත්වයක් ඇතුලේ ආර්ථිකය බම්බුගහන්නද?

අපිට සියල්ලට වඩා වටින්නේ මිනිස් ජීවිත. ඒ නිසා තමයි රට වහලා හරි මිනිස් ජීවිත ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලුවේ. ආර්ථිකය දෙවනුව කල්පනා කරමු. හැබැයි මේ රටේ ආර්ථිකය විනාශ කරලා දැම්මේ මේ ආණ්ඩුවම තමයි. තමන්ගේ ගජමිතුරන්ට සැලකීමට අවශ්‍ය නිසා, තමන්ගේ ගජ මිතුරන්ට සැලකීමට අවශ්‍ය නිසා, තමයි ආර්ථිකය විනාශ කළේ.

කොරෝනා වසංගතය හමුවේ පැණි පොවලා, මුට්ටි ගගට දාලා, එන්නත ගේන්න ඔ්න වෙලාවට ගෙනාවේ නැත්තේ මේ ආණ්ඩුවම තමයි. මේ ආණ්ඩුවේ තිබුණ උද්දච්චකම නිසා තමයි අද වන විට කොරෝනාවලින් අටදහසකට වඩා වැඩි පිරිසක් මිය ගොස් තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවලට වඩා ආර්ථිකය වටිනවාද?

රටේ ආර්ථිකය වන්නේ මිනිස් ජීවිත ආරක්ෂාවුනොත් විතරයි. මිනිස් ජීවිතය රුපියල් ශතවලින්, මිලියනවලින් මනින්න බෑ. අපිට අවශ්‍ය මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන ආණ්ඩුවක්. මේ ආණ්ඩවට, මේ පාලකයින්ට මිනිස් ජීවිතවල වටිනාකම තේරෙන්නේ නෑ. මිනිස් ජීවිතවට ලංසු තියන මේ ආණ්ඩුවට ජීවිත ගැන කිසිදු හැගීමක් නෑ.

ඇමරිකාවෙන් තවත් ෆයිසර් එන්නත් පරිත්‍යාගයක්

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඊයේ (28) දිවයිනට ලැබී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, කොවැක්ස් පහසුකම හරහා අමෙරිකාවේ පරිත්‍යාගයක් ලෙස එම එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබුණු බවයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් = විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට තානාපති කාර්යාල නිල නිවසේදී එම පරිත්‍යාගය භාරදෙනු ලැබිණි.

එහිදී අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල  සඳහන් කළේ, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අමෙරිකාව ලබාදෙන සහයෝගය මිල කළ නොහැකි බවය.

මේ වසර අවසන් වනවිට මෙරට ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අගෝස්තු 26 වැනිදා වනවිට ජනගහනයෙන් 25% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවේ ය.

 

අග්‍රාමාත්‍ය සම්බන්ධයෙන් පළවන වාර්තා අසත්‍යයි - අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

අගමැතිවරයා සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදු කරමින් සිටින බවත්, යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.

අගමැතිවරයා රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පසුගිය සිකුරාදා පුවත් වාර්තා වී තිබිණි. කෙසේ නමුත් එදින පැවති කොවිඩ් මර්දන සාකච්ඡාවලටද ඔහු සහභාගි වී ඇති බව වාර්තා විය.

තවත් කොරෝනා මරණ 212ක් : කොවිඩ් මරණ 8,500 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 212ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(27) තහවුරු කරන ලද එම මරණ අතරින් 109 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 103 දෙනා කාන්තාවන් වේ.

එම කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් දෙදෙනෙක් සිටී.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 37 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 173 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළ ගියේ ය.

කොරෝනා මඩින ඖෂධයක් : ආචාර්ය ජීවන්දරගෙන් නිර්දේශයක් !

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ වෙනත් රටවල අනුමැතිය හිමි වූ (REGEN-COV) නමැති ඖෂධය සම්බන්ධයෙන් මෙරට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර නිර්දේශ ඉදිරිපත් කර ඇත.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මෙම ඖෂධය මගින් කොරෝනා මරණ අඩු කරගත හැකි බවයි.

විශේෂයෙන්ම දැඩි අවදානමක් සහිත කොරෝනා ආසාදිතයින්ගේ ජීවිත බේරා ගැනීමට එම ඖෂධය ඉවහල් වනු ඇති බව ඔහු නිර්දේශ කර ඇත.

එම ඖෂධය ලබාගන්නා පුද්ගලයින්ගෙන් සෙසු පුද්ගලයින්ට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම වන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

“රෙගන් කෝව් ටු” නමැති ඖෂධය හරහා කොරෝනා මරණ මෙන්ම ආසාදිතයින් වාර්තා වීම ද අඩුකරගත හැකි බව ඔහුගේ අදහස වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

chandima

REGEN COV Regeneron 1140x570

ලංකාවේ මරණ ගණන සතිපතා සියයට දාහතකින් ඉහළට - වර්ල්ඩෝ මීටර්

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගී මරණ සතිපතා 17%කින් පමණ ඉහළ යමින් තිබෙන බව මේ සම්බන්ධව පර් යේෂණ කරන ලොව සුප්‍රකට වර්ල්ඩෝ මීටර් වෙබ්අඩවිය ප්‍රකාශ කරයි.

පසුගිය සිකුරාදා අවසන් වූ සතිය තුළ ශ්‍රී ලංකාව තුළ පමණක් කොරෝනා රෝගයෙන් පුද්ගලයන් 1367ක් පමණ මරණ පත්ව ඇතැයි එම වෙබ්අඩවියේ නවතම සංඛ්‍යා දත්තවල සඳහන් වෙයි. එසේම පෙර සතියට සාපේක්ෂව ගතවූ සතියේ කොරෝනා රෝගීන්ගේ වර්ධනය 9%ක් පමණ වන බවද වර්ල්ඩෝ මීටර් වෙබ්අඩවිය වැඩිදුරටත් කියයි. ගතවූ සතියේ අවසන් දින හත තුළ නව ආසාදිතයන් 34,365ක් වාර්තා විය.

පෙර සතියට සාපේක්ෂව ලෝක තත්ත්වය ගත් කල ගතවූ සතියේ ලොව පුරා විවිධ රටවල සිදුවූ මරණ සංඛ්‍යාව 69,065කි. එහි සතියක වර්ධනය 0.7%ක් බවද එම වෙබ්අඩවිය පවසයි. ගිය සතිය තුළ ලොව පුරා නව රෝගීන් ලක්ෂ හතළිස් පහක් වාර්තා වෙද්දී ආසාදිතයන් තිස්අට ලක්ෂයක් පමණ සුවය ලබා ඇති බවද මෙම වෙබ්අඩවිය කියයි.

රට රතු කලාපයට : කොළඹ 100% සුපර් ඩෙල්ටා : ආර්ථිකය ගැන කබ්‍රාල් දුකෙන් !

මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව සැලකීමේදී කොරෝනා වසංගතයෙන් දරුණුම බලපෑම් එල්ල වී ඇති රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ද කොවිඩ් 19 වෛරසයට ගොදුරු වීම හා ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඇතුළු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම මීට මුල් වූ හේතුව බව අදාළ නිවේදනයේ දැක්වේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග අගය කරන අතර වසංගතයේ උච්චතම අවස්ථාවක පැන වූ ලොක්ඩවුන් නීති අපේක්ෂිත මට්ටමට ක්‍රියාත්මක නොවීම කණගාටුදායක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

කොළඹ 100%ක් සුපර් ඩෙල්ටා !

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ අද වන විට කොළඹ පුරා පැතිරී යන යන කොරෝනා වෛරස් ප්‍රභේදය 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බවය.

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

කබ්‍රාල් ආර්ථිකය ගැන කම්පා වෙයි !

කෙසේවුවත් රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් නම් පවසන්නේ, රට වසා තැබීම ශ්‍රී ලංකාවටත් තවදුරටත් ඔරොත්තු නොදෙන බවය.

මෙම රට වසා දැමීමේ විපාකවලට ජනගහනයෙන් අඩකට මුහුණ දීගත නොහැකි බවද සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට පමණ මේ නිසා ඇති වන පීඩාව තවදුරටත් දරා ගත නොහැකි බවත් ඔහු පවසා ඇත.

ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි මේ කරුණු සඳහන් කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්‍රාල් තැබූ ට්වීටර් සටහනක් උපුටා දක්වමිනි.

ආණ්ඩු හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, මෙමගින් රටේ සාර්ව ආර්ථික සාධක කම්පාවට පත්වන බවත් දිගුකාලීන ආර්ථික හානිය දැවැන්ත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී ඇති බවය.

කොරෝනා ආසාදිත නම් අනිවාර්යයෙන් කියවන්න !

කොරෝනා ආසාදනය වී නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ප්‍රෝටීන් බහුල ආහාර ඉතාම අවශ්‍ය බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණයවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

විශේෂඥ වෛද්‍යවරිය පවසන්නේ,මේ හරහා කොරෝනා ආසාදිතයින්ට සිය ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගතහැකි බවය.

ඒ අනුව, ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගත හැකි ශාකමය හෝ සත්ත්වමය ආහාර කොරෝනා ආසාදිතයින්ගේ දෛනික ආහාර වේල් සඳහා එක් කර ගැනීම ඉතා වැදගත් බව ඇය පවසයි.

තව ද විටමින් C බහුල ආහාර ආහාරයට එක් කර ගැනීම මෙන්ම, විටමින් D ශරීරයට ලබා ගැනීම සඳහා දවසකට පැය භාගයක් හෝ ඉර එළියට නිරාවරණය වීම ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළා ය.

මීට අමතරව ධාන්‍යමය ආහාර ලබා ගැනීමත්, නිරන්තරයෙන් වතුර පානය ද ඉතා වැදගත් වන නමුත්, මෙහිදී උණු වතුර සුවි‌ශේෂී වන බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ අතර කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබාදිය යුතු ආහාර සම්බන්ධයෙන් ද ඇය පැහැදිලි කළා ය.

කොරෝනා වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ට විශේෂයෙන්ම ස්වසන අපහසුතා හා ආහාර රුචිය අඩුනම්, ආහාර රුචිය වර්ධනය කරන හා ආහාර ජීර්ණය පහසු කරවන මෘදු ආහාර ලබා දීම සිදු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

ඒ අතර සුප්, කැඳ ආදිය ඉතා වැදගත් බවත් පවසයි.

පැයකට වරක් ඉතාමත් සුළු ආහාර වේලක් ලබා ගැනීම හෝ දියර වර්ග පානය ද කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වඩාත් උචිත බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරයි.

බන්දුලටත් කොරෝනා !

තමන් කොවිඩ් 19 ආසාදිතයකු බව සිදු කළ rapid antigen පරීක්ෂණ වාර්තාව අනුව තහවුරුව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මේ සම්බන්ධව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා අනාවරණය කර ඇති අතර පසුගිය සතියක කාලය තුළ ඔහුගේ ආශ්‍රිතයන්ට නිරෝධායනය වන ලෙසත් එහිදී පවසා ඇත.

මේ සම්බන්ධව අමාත්‍යවරයා ෆේස්බුක් හී තැබූ සටහනක් පහත දැක්වෙයි.

bandula

පසුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බලකා හමුවටද එක්ව එහිදී අදහස් දක්වනු මාධ්‍ය හරහා දකින්නට ලැබිණ.

කොරෝනා එන්නත්කරණයේ ප්‍රගතිය මෙන්න !

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තවදුරටත් ක්‍රියාමක වන අතර එහි නිල දත්ත ප්‍රකාශයට පත්කර ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව ඊයේ (27) පස්වරු 8.30 වනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනේ ප්‍රගතිය මෙසේ ය.

කොවිෂීල්ඩ්

පළමු මාත්‍රාව – 1,364,244

දෙවන මාත්‍රාව – 882,340

සයිනොෆාම්

පළමු මාත්‍රාව – 9,689,350

දෙවන මාත්‍රාව – 5,199,526

ස්පුටිනික්

පළමු මාත්‍රාව – 159,088

දෙවන මාත්‍රාව – 25,489

ෆයිසර්

පළමු මාත්‍රාව – 306,341

දෙවන මාත්‍රාව -181,759

මොඩර්නා

පළමු මාත්‍රාව – 771,459

දෙවන මාත්‍රාව – 584,024

හය

තවත් සයිනෝෆාම් මාත්‍රා ලක්ෂ 23ක් දිවයිනට

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 23ක් අද(28) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවේ ය.

ඒ, චීනයේ බෙයිජින් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ය.

ඒ අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට හමුදාවට පරිත්‍යාග කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් ද වේ.

එම එන්නත් භාර ගැනීමේ අවස්ථාවට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

3fab674a 5a5b7ec8 5f18 4cc4 930a e3254b011a32 1024x682

''රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් පැතිරීම පාලනය කළ නොහැකියි''

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් රට වසා දැමුවත් කොරෝනා පැතිරීම පාලනය කළ නොහැකිවනු ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  පවසයි.

ඇය පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට නම් සියලු දෙනා එන්නත් ලබාගැනීම වැදගත් බවත්, තෝරා තෝරා නොඉඳ ලැබෙන වර්ගයක් එන්නත් කර ගන්නා ලෙසත් අමාත්‍යවරිය පැවසුවාය.

"ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන වෛරසයක්. සියලුම ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් මම හිතන්නේ මේකේ පැතිරීම තවදුරටත් අපිට පාලනය කර ගන්න පුළුවන්. තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න මේක මේ වර්ගය හොය හොය ඉන්න එපා. ලංකාවේ තිබේ සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාව දෙනවා. ඒ බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ළඟම තියෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරයේ දුර තිය ගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්".

තවද රට වසා දැමුවත්, ජනතාව අනවශ්‍ය ආකාරයට සෙනඟ ගැවසෙන ස්ථානවල සැරිසරනවා නම් එය කොරෝනා පැතිරීමට අනුබලයක් වන බැවින් සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන ලෙසත් මෙය ජීවිතයත් සමඟ කරන ගනුදෙනුවක් බව සිහි තබා ගත යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද ප්‍රකාශ කළාය. ''රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම්, මීටරයේ දුර තියාගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මොකද මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්”.

ශ්‍රීලනිපය මංගලට පිං දෙයි

අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර වෙනුවෙන් ආගමානුකුලව පිං අනුමෝදන් කිරිම ඊයේ (26) දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණ.

ආගමිකවතාවත් සිදුකිරීම හුණුපිටිය ගංගාරාම විහාරධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව⁣ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහභාගි විය.

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු බලයට පත් කිරීම සඳහා බාරදුර කාර්යභාරයක් ඉටුකළ මංගල සමරවීර, 1994 සිට එම ආණ්ඩුවල ප්‍රබල ඇමැති ධූර පවා දැරූ ප්‍රබල චරිතයකි.

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් මස 06 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි, ජනාධිපති ප්‍රකාශකවරයා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි ය.

මේ අතර, දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 06 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

A/L හා ශිෂ්‍යත්වයට අයදුම් නොකළ සිසුන්ට දැනුම්දීමක්

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඒ බව සඳහන් කළේය.

ඒ අනුව 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වනදා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට සැලසුම්කර තිබේ.

කොරෝනා මරණ 209ක් : දිනක් තුළ සිදු වූ වැඩිම මරණ අද වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා මරණ 209 ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණ අතරින් 108 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 101 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 46 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 163 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.

26 8 21

තව සති දෙකක්වත් රට වහන්න - රනිල් ජනපතිට කියයි

මෙරට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය අවම කිරීමට නම් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටී.

දින 20ක් වැනි කෙටි කාලයක් තුල රටේ කොවිඩ් ආසාදිත මරණ 3,000 සීමාව ඉක්මවීමට ආසන්න බව පවසන හිටපු අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් මිනිස් ජීවිත බිලිගනිමින් සිටින කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වළවක්වා ගෙන මිනිස් ජීවිත සුරක්ෂිත කිරීමට නම් අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීම කළයුතු බවයි.

එසේම රට වසා තැබීම නිසා සිදුවන ආර්ථික හානියට වඩා මේ මොහොතේ මිනිස් ජීවිත විනාශ වීම වළක්වා ගැනීම වැදගත් බව අවධාරණය කරන හිටපු අගමැතිවරයා, වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කිරීම කළයුතු බව ද අවධාරණය කරයි.

ව්‍යසනයේ බරපතලකම ගැන සලකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය වෛද්‍ය විශේෂඥ උපදෙස් අනුව කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් හිටපු අගමැතිවරයා පවසා සිටියි.

එසේම මෙහිදී මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයාගේ හදිසි මරණය පිළිබඳව ද හිටපු අගමැතිවරයා සිහිපත් කරයි. ඒ ඇමරිකානු රාජ්‍ය නිලධාරිනියක වන සමන්තා පවර් මැතිනියගෙන් මෙරට කොවිඩ් වෛරසය වැළැක්වීම සඳහා කොවිඩ් මර්ධන එන්නත ඉල්ලා සිටි හිටපු මුදල් ඇමති මංගල සමරවීර ද ඊට ගොදුරුවූ බවයි.

එසේම ගතවු දින 02ක කාලය තුලදී තමන් දන්නා හඳුනන පුද්ගලයින් 06 දෙනෙකු වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ බව ද ඔහු කියා සිටියේය.

Page 349 of 377