V2025

පුවත්

A/L හා ශිෂ්‍යත්ව විභාග දින නියමයක් නැතුව කල් යයි

නොවැම්බර් මස පැවැත්වීමට තිබූ අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් දමන්නට සිදු වෙන බව අධ්‍යාපන ප්‍රතිසංකරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද(07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂනායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ අදහස් දැක්වීය.

අමාත්‍යවරයා පවසන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දීර්ඝ කලක් රට හා පාසල් වසා දැමීමම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වී ඇති බවයි.

අධ්‍යාපන බලධාරින් හා අනෙකුත් වගකිව යුතු නිලධාරින් සමඟ පවත්වන සාකච්ඡාවකින් අනතුරු ව විභාගය පැවැත්වෙන දින වකවානු තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා විභාග කල් දැමීමට සිදු වන බව පාර්ලිමේන්තුවේදී අද පැවැසුවේ දෙවැනි වතාවටයි.

මින් පෙර පසුගිය 05 වැනිදා ද ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු දෙමින් විභාග කල් දැමීමට සිදු වන බව හෙතෙම පැවසීය.

අධ්‍යාපන අයිතිය මර්දනයට එරෙහිව ජාත්‍යන්තර සහය !

උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට එරෙහිව සටන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ සහ  අඩන්තේට්ටමට ලක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අයිතිවාසිකම් උද්ඝෝෂකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගිතාවය නැග එමින් පවතී.
 
සිය විරෝධතා ක්‍රියාවන් හේතුවෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්නා ලද රටෙහි විශාලතම උපාධි අපේක්ෂක සංගමයේ තිදෙනකු ඇතුළු ප්‍රධාන ක්‍රියාකාරීන් පස් දෙනකු මාස දෙකකට ආසන්න කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව රඳවාගෙන සිටී. දේශපාලන ක්‍රියාකාරිනී කෝෂිලා හංසමාලි පෙරේරා රැඳවුම් භාරයේ සිටියදී කොවිඩ් 19 ආසාදනයට ලක්ව ඇත.
 
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයන් වන වසන්ත මුදලිගේ, අමිල සංදීප සහ හේෂාන් හර්ෂණ මෙන්ම චමීර කොස්වත්ත ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

243936193 1053045105235728 3070318652681951930 n

 

ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගත් සියළුම වෘත්තීය සමිති නියෝජිතයන්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව දියත් කරන මර්දනය නවතා ඔවුන් වහාම නිදහස් කරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිති සංවිධාන ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ යුරෝපීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ වරප්‍රසාදය සලසා දෙන GSP+සහනය ලබා දීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා පැමිණි ඉහළ පෙළේ යුරෝපා සංගම් නියෝජිත පිරිසක් මෙරට සිටින අතරතුරය. ජීඑස්පී+ සහනය ලෙස හඳුන්වන මෙම පහසුකම, මානව හා කම්කරු අයිතිවාසිකම්, යහපාලනය සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරන බවට වන කොන්දේසි මත රඳා පවතී.

නවසීලන්තයේ සියලුම ප්‍රධාන අධ්‍යාපන වෘත්තීය සමිති එක්ව "ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පාන සිසුන්ට, ගුරුවරුන්ට සහ වෘත්තීය සමිති ක්‍රියාකරුවන්ට එරෙහි මර්දනය අවසන් කරන ලෙස" ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.

නවසීලන්තයේ තෘතීයික අධ්‍යාපන සංගමය (TEU), පශ්චාත් ප්‍රාථමික ගුරු සංගමය, තේ රියු රෝ අධ්‍යාපන ආයතනය සහ ස්වාධීන පාසල් අධ්‍යාපන සංගමය (ISEA) විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රමුඛ ක්‍රියාධාරීන් වන කථිකාචාර්ය අමින්ද ලක්මාල් සහ කථිකාචාර්ය මහීම් මෙන්ඩිස්ට එරෙහි තර්ජන පිළිබඳවද සඳහන් කොට තිබේ.

"අත් අඩංගුවට ගත් ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසත්, චෝදනා ඉවත් කරන ලෙසත්, උසස් අධ්‍යාපන මිලිටරීකරණය ට (KNDU පනත් කෙටුම්පත ට) විරෝධය දක්වන වෘත්තීය සමිති, අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහි මර්දනය අවසන් කරන ලෙසත්, වසර 24 ක් පුරා නොවිසඳුන වැටුප් විෂමතාවන්ට විසඳුමක් ඉල්ලන වෘත්තීය සමිති දඩයම් කිරීම වහාම නතර කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු,” යැයි ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති, සමාජවාදීන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නිවේදනයක් නිකුත් කොට ඇත .

ඕස්ට්‍රේලියා - ආසියා සේවක සම්බන්ධතාවය (AAWL), කම්කරු සහයෝගිතාව, ASF - ජාත්‍යන්තර සේවක සංගමය, සමාජවාදී සන්ධානය, වික්ටෝරියාවේ සමාජවාදීන්, යාරා නාගරික මන්ත්‍රී ස්ටීවන් ජොලි, මොර්ලන්ඩ් නගර සභිකා සූ බෝල්ටන් සහ මාරිබිර්නොංහි නගර සභික ජෝර්ජ් ජෝර්කෙරා මෙම ප්‍රකාශයට අත්සන් තබා තිබේ.

2021 සැප්තැම්බර් 22 දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී ප්‍රශ්න කරන ලද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති වෘත්තීය සමිති සභාපති මොහාන් වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගම් සාමාජික සිරිනි ද සිල්වා යන අය පිළිබඳව ද නවසීලන්ත වෘත්තීය සමිති විසින් කරුණු දක්වා ඇත.

අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහිව සටන් වැදීම නිසා පසුගිය ජූලි මාසයේදී ගුවන් හමුදා කඳවුරක රඳවා සිටි ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ තවත් වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනකුට සහයෝගය පල කරමින් මතුවුණු ජාත්‍යන්තර විරෝධය හේතුවෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකාවේ රජයට සිදුවිය.

කෙසේ වෙතත්, වැඩ වර්ජනයේ යෙදී සිටින ගුරුවරුන්ට එරෙහිව 'දැඩි පියවර ගන්නා' බව ට මහජන ආරක්‍ෂක ඇමතිවරයා නිතරම තර්ජනය කරමින් සිටි බැවින් වෘත්තීය සමිති ක්‍රියාකරුවන් හා අධ්‍යාපනයේ අයිතිය සඳහා සටන් වදින ක්‍රියාකාරීන් අතර භීතියක් ඇති වී තිබේ.

(The leader .lk)

 
 

කාබනික පොහොර වැඩේ ලණුවක් : විමල්ගේ පක්ෂයත් පහර දෙයි !

කාබනික පොහොර සඳහා ගොවීන් ක්ෂණිකව යොමුකිරීම නොතිබූ සටනකට ඔවුන් බලහත්කාරයෙන් කැඳවීමක් බවත් එබඳු ක්‍රියාමාර්ග වී ගොවියා පමණක් නොව එළවළු ගොවීන්, තේ වගාකරුවන්, පොල් වගාකරුවන් ඇතුළු සමස්ත ගොවි ප්‍රජාව මෙබඳු ලෝක ව්‍යාප්ත වසංගත සමයකදී “කබලෙන් ලිපට ඇද දැමීමක්” බව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස පවසයි.

ඔහු මෙසේ පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඊනියා විද්වතුන්ගේ “ලණු කමින්” මෙවැනි ක්ෂණික තීන්දු ක්‍රියාත්මක කිරීම වෙනුවට ආණ්ඩුව තමන් බලයට පත් කළ 69 ලක්ෂයක ජනතාවගෙන් බහුතරය නියෝජනය කරන ගොවි ජනතාව පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුව තිබූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවැනි අපරිනත ආකාරයේ තීන්දු ක්‍රියාත්මක වීමට බලපාන්නේ මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට පූර්ණ ලෙස ආරම්භයේ සිට කටයුතු කළ බලවේග හා දේශපාලන පක්ෂ නායකයන් සමග නිසි සංවාදයක් පවත්වාගෙන නොයාම බව ද මන්ත්‍රීවරයා පැවසීය

මෙබඳු වසංගත කාලසීමාවක ආහාර සුරක්ෂිතතාව රැක ගැනීම ඉතා වැදගත් බවත් ඉහත ක්ෂණික කාබනික පොහොර ක්‍රියාන්විතය හේතුවෙන් ගොවීන් ගොවිතැන අත හරින තත්වයකට පත්ව ඇති බව කී පියතිස්ස මන්ත්‍රීවරයා මෙවර වගා කිරීමට නියමිත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 03 දක්වා අඩු වීමේ අවදානමක් ඇති බවටද අනතුරු ඇඟවූයේ ය.

වී ගොවිතැන ආරක්ෂාකර ගැනීමට ‘සහතික මිල ඉතා වැදගත් බවත්’ නාඩු වී කිලෝග්‍රෑමයට රුපියල් 60ක සහතික මිලක් නියම කර පාරිභෝගිකයාට නාඩු සහල් කිලෝග්‍රෑමය රුපියල් 110 ලබාදීම තම යෝජනාව බවත් පිටරටින් ගෙනෙන ඇපල් වැනි දෑට සහ සිගරට්, අරක්කු, බුලත්විට වැනි දෑට ඉහළ මිලක් ගෙවන පාරිභෝගිකයා තමන් තුන්වේලට කන බත්පත වෙනුවෙන් එම වියදම බරක් කර නොගන්නා බව තමන්ට විශ්වාස යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් කොරෝනා මරණ 44ක් !

තවත් කොරෝනා මරණ 44ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (06) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (07) නිකුත්කර ඇත.

ඒ සමග මෙරට කොරෝනා මරණ ගණන 13229 දක්වා ඉහල ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 25 ක් පිරිමි වන අතර ඉතිරි 19 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු කාන්තා එක් ආසාදිතයෙකු ද වේ.

ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ 04 ක් දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 39 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

9a4a1cdd index

ගම්මන්පිල ඇමතිට දේශද්‍රෝහි චෝදනාවක් !

ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් හරහා දේශද්‍රෝහි ක්‍රියාවක් සිදුකර ඇති බව වෘත්තීය සමිති චෝදනා කරයි.

මේ බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

1.ආණ්ඩුව නියෝජනය කරන ඛනිජ තෙල් විෂය භාර ගරු අමාත්‍යවරයා 2021. 10. 04 මාධ්‍ය සාකච්ජාවේදී ත්‍රී’මලේ තෙල් ටැංකි දැනටම ඉන්දියාව සතු බවට කරන ලද සාවද්‍ය ප්‍රකාශය දේශ ද්‍රෝහි ක්‍රියාවක් ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු,

  1. මෙම තෙල් ටැංකි සංකීරණය නීතිමය වශයෙන් මෙතෙක් ඉන්දියාවට පවරා නොමැති බව නීතිඥයෙකු ලෙසත් , දේශ ප්‍රේමියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු ලෙසත්, විපක්ෂයේ සිටියදී අප හටද ඒ බව තහවුරු කල පුද්ගලයෙකු ලෙසත් දැනට විෂය භාර ඇමති වරයා ලෙසත් හොදාකාරවම දන්නා බව අප හොදින් දනිමු,

3‍. මෙම ප්‍රකාශය අප දකින්නේ හුදෙක් සුළු ප්‍රකාශයක් ලෙස නොව මෙම තෙල් ටැංකි ඉන්දියාවට නීතිමය ලෙස වසර 50 කට පවරා දීමට එතුමන් ඉදිරිපත් කොට ඇති යොජනාව රහසේම බලාත්මක කිරීමට සමාජය නොමඟ යැවීම සඳහා හිතා මතා සැලසුම් සහගතව යටි අරමුණින් කරන ලද ප‍්‍රකාශයක් ලෙසයි,

  1. මෙම පිළිකුල් සහගත ප‍්‍රකාශය පිළිබදව අප වෘත්තීය සමිති ලෙසත්, රටේ සමාන්‍ය පුරවැසියන් ලෙසත් මහත් භිතියට පත්වන්නෙමු. ඒ මෙම තෙල් ටැංකි සංකීරණය ඉන්දීය තෙල් සමාගමකට නීතිමය ලෙස ලබා දීම සමඟ කෙටි කලකින් තෙල් බෙදා හැරීමේ සමස්ථ පාලනයම ඉන්දියාව සතු වනු නියත බැවිනි,

  2. 1987 ජුලි 29 අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමේ කිසිදු සෘජු කොන්දේසියකට තෙල් ටැංකි පිළිබදව සඳහනක් නොමැත. මෙහි සඳහන් වන්නේ එම ගිවිසුමේ අරමුණ මතය. J.R ජයවර්ධන මෙම ටැංකි සංකීරණය ඇමරිකාවට බදු දීමට දැරූ උත්සහය නතර කිරිමට රජීව් ගාන්ධි මහතා ජයවර්ධන මහතාට එවන ලද ලිපියක මෙම ක්‍රියාව කලාපීය හා ඉන්දීය ආරක්ෂාවට බලපාන බැවින් එය වැලැක්වීමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරන ලදි. එහි 2(iii) ජේදයේ මෙම ටැංකි සංකීරණය ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කල යුතු බව ප‍්‍රකාශ කරන ලදි. එම ලිපියට එකඟතාවය පලකොට JR ලිපියක් යවා ඇත. එම ලිපි දෙක මෙම ගිවිසුමේ ඇමිණුමක් ලෙස එක් කොට ඇත,

  3. මෙය කිසිදු ලෙස නීතිමය පැවරීමක් වන්නේ කෙසේද? මීලඟට ඇමතිවරයා 2003 ගිවිසුමක් ගැන කථා කරයි. 1987 ගිවිසුමෙන් පවරා ඇත්නම් 2003 පවරන්නට උත්සහ කරන්නේ කුමන හේතුවකටද? එනම් 1987 අවබෝධතා ගිවිසුමකින් නීතිමය පැවරීමක් සිදුකල නොහැකි බව ඔහුම පැහැදිලි කරයි,

  4. 2003 පෙබරවාරි 07 මුදල් අමාත්‍යංශයේ ලේඛම් ලෙස චරිත රත්වත්තේ, තෙල් සංස්ථා සභාපති ලෙස දහම් විමලසේන ලංකා ඉන්දීය තෙල් සමාගම වෙනුවෙන් එම් නාගේෂ්වරන් යන අය අත්සන් කල තාවකාලික ලේඛනයේ 1.2 කොන්දේසිය සදහන් වන්නේ උක්ත දින සිට මාස 06ක් ඇතුලත විධිමත් බදු ගිවිසුමකට එළඹෙන බවයි. නමුත් මෙතෙක් එම බදු ගිවිසුමට එලඹ නොමැති බැවින් 2003. 08. 06 පසු LIOC යට චීන වරායේ සිටිය නොහැකි බව ඉතා හොදින් පැහැදිලි කලේද ගම්මන්පිල ඇමතිවරයා විපක්ෂයේ සිටියදීය,

      1. 02 ඉන්දීය තෙල් සමාගමේ ශ්‍යාම් බෝරා මහතා නීතිපතිවරයාට ලිපියක් යවා ඇත්තේ ඛනිජ තෙල් පොදු සේවක සංගමය වන අප ගොනු කර ඇති මානව හිමිකම් නඩුව පාදක කරගනිමිනි. එහි පැහැදිලිව සදහන් කරන්නේ 1987 නොව තවත් අවස්ථා ගණනාවකදී ඉන්දියාව සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුම් වල මෙම ටැංකි සංකීරණය පිළිබදව සදහන් වුවද 2003 පෙබරවාරි 07 ගිවිසුමේ සදහන් පරිදි නීතිමය ගිවිසුමකට මෙතෙක් එළඹ නොමැති බවත් තමාට නීතිමය ලෙස මෙය අයිති නොවන නිසා සංවර්ධනය කල නොහැකි බවත්, ලංකා රජයට මේ පිළිබදව කිහිප වතාවකදී දැනුම් දුන්නද එය ඉටු නොවුණු බවත්ය. එම නිසා මෙම පැවරීම ඉක්මනින් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලදි,
  5. එනම් LIOC යද තමාට මෙතෙක් මෙය නීතිමය ලෙස පවරා නොමැති බව පිලිගනී. නමුුත් උදය ගම්මන්පිල ඇමතිතුමන් එය පවරා ඇති බව පවසයි,

  6. අර්ජුන රණතුංග ඇමතිවරයා මෙම ටැංකි ඉන්දියාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. එය ඉන්දියාවට පැවරුවේ 87 නම් නැවත කැබිනට් අනුමැතිය කුමකටද? මේ සම්බන්ධයෙන් 18/318 හා 18/319 ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 අධිකරණයේ ක්‍රියාත්මක වන්නේත් ඇමතිවරයා විපක්ෂයේ සිටියදී දුන් සහයෝගය මතය,

  7. අවසාන වශයෙන් අප ප්‍රශ්න කරන්නේ මේවා ඉන්දියා සතු නම් ඔවුන්ට සියල්ල පරිහරණයට බලය ඇත්නම් 87 සිට මේ දක්වා බලය ඉල්ලා ගිවිසුම් යදීද? ඇමතිවරයා ඔවුනට ටැංකි ලබා දීමට වෘත්තීය සමීති වලට යෝජනා ඉදිරිපත් කරයිද? දැනටමත් මෙහි අයිතිය රජය සතුය,

  8. මේ ඔහු ඉදිරිපත් කල පහල අංගනයේ ටැංකි 15 LIOC යටතේත්, ඉහල අංගනයෙන් ටැංකි 24 CPC යටතේ ඉතිරි ටැංකි 61 LIOC/CPC පොදු සමාගමක් ලෙස වසර 50 කට ඉන්දියාවට බලය දීමට ගෙන ආ යොජනාව ක්‍රියාත්මක කිරීමට දරණ කූට උපායක එක් ජවනිකාවක් පමණි. මෙය පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර අප සැවොම එක්ව මෙය පරාජය කරන්නෙමු.

ජනතාවට ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට එක්වන ලෙස ආයාචනා කරමු.

ස්තූතියි.

මෙයට,

අශෝක රංවල සභාපති,

ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය.

කටුනායක ගුවන් තොටුපළේ PCR නැවැත්වීම පිටුපස ගරානාවක් - සෝභිත හිමි

කටුනායක, ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට තිබූ අවස්ථාව නතර කරමින් ආර්මාර්ථකාමී ව්‍යාපාරිකයින්ට මුදල් ගසාකෑමට අවස්ථාව උදාකර ඇති බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ, මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමි මෙසේද පැවසීය.

''අපිට පේනවා කොරෝනා එන්නත මුල්කරගෙන යම්කිසි පිරිසක් ඉතාමත් ක්‍රමානූකූල, කපටි කයිරාටික ධනෝපායනයකට යොමුවෙලා තියෙනවා කියලා. ලාභයට ලෝක වෙළදපොලෙන් එන්නත් ගන්නේ නැතිව වැඩි මුදලකට එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශ්‍රී ලංකාව එන්නත් ලබා ගැනීමේ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ. ලබා ගන්න මිල ප්‍රසිද්ධ කරන්නේ නැහැ. දෙපාර්ශ්වයම එකග වෙනවා මිල ප්‍රසිද්ධ කරන්නේ නැතිව ඉන්න.

කෝ මෙතන විනිවිද භාවයක්. සමහර පෞද්ගලික සමාගම්ඉදිරිපත් වෙලා තියෙනවා එන්නත ශ්‍රී ලංකාවේ නිපදවන්න ආණ්ඩුව එයට අවසරදෙන්නෙ නැහැ. ඇයි ඒ?

රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සම්බන්ධයෙන් මතවාද පළවුණා. ඉතාමත් අඩු මුදලකට ගන්න රැපිඩ් ඇන්ටිජන් කට්ටල තිබියදී අතිවිශල මුදලකට ගන්න බවට චෝදනා ආවා.

එපමණකුත් නොවෙයි පීසීආර් පරික්ෂණ සම්බන්ධයෙන් කටුනායක සිදුවෙන මහා සාපරාධී ගසා කෑමක්. පෞද්ගලික හෝටල් වලට අහිංසක ගුවන් මගීහූ දක්කාගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මුදල් අයකර ගැනීමේ දාමරික ක්‍රියාවක් සිදුවෙමින් පැවතුණා.

ජනමධ්‍යයෙන් මෙය උලුප්පා දැක්කුවාට පසුව ආණ්ඩුව ආරම්භ කලා කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිත පීසීආර් මධ්‍යස්ථානයක්. ඒකට විශාල වියදමක් දරලා ආරම්භ කළ ආයතනයක් සාමාන්‍යයෙන් පැයකට පරික්ෂණ 500ක් පමණ කරන්න පුලුවනි. මේ ආයතනය වැඩ පටන් ගත්තා වැඩ පටන් අරගෙන ක්‍රියාත්මක වුණේ දවස් දෙකයි. ඒක නැවත වසා දැම්මා.

එහෙම නම් කුමක්ද මේ වෙන්නේ, ආත්මාර්ථකාමී පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා.

මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදීලිවම නිගමනය කරන්න වෙලා තියෙනවා අවංකත්වය පෙරදැරිකරගෙන නෙවෙයි මේ වැඩපිලිවෙල යන්නේ. එන්නත්කරණය පිළිබඳව යළිත් සිතන්න තම තමන්ගේ හෘද සාක්ෂීයට අනුව කටයුතු කරන්න හැබැයි අපිට අපේ පැත්තෙන් කියන්න තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ අවවාදයමයි.

මෛත්‍රී කුමන්ත්‍රණයක : ආණ්ඩුවෙන් යළිත් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටිහැටියේම අභයාරාමයට ගොස් ගුරු වැටුප් විසදීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මෙවැනි අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේසම් විය යුතු බවත් පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා වසර 5ක් තිස්සේ ජනාධිපති ධූරය දැරූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ කාලය තුළ මෙම ප්‍රශ්න නොවිසදා දැන් නින්දෙන් අවදි වී මෙන් ඒ පිළිබදව කතා කිරීම පිළිගත නොහැකි බවත් කියා සිටියේය.

මේ වනවිට ආණ්ඩුව ගුරු වැටුප් ප්‍රශ්නය විසදීම සදහා සංවේදීව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්, ඉදිරි අයවැයෙන් ඒ සදහා අඩිතාලම දමා ඇති බවත් සඳහන් කළ ප්‍රමිත බණ්ඩාර තෙතෙන්නකෝන් එවැනි වටපිටාවක් පැවතියදී හිටපු ජනාධිපතිවරයා සිදු කරන ‌අවස්ථාවාදී දේශපාලනය පිළිබදව ආණ්ඩුව මෙන්ම ජනතාවද විමසිල්ලෙන් සිටිය යුතු බවත් පැවසීය.

මෙය හරියට පියා ලෙඩ ඇදේ සිටියදී දරුවන් පැමිණ දේපොළ ලියා ගැනීමට ගන්න උත්සාහයක් වැන්නක් බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර වල දේශපාලන විචාරකයකු පවසා සිටියේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා දැඩි බැසිල්වාදියකු බවත් , මේ ගැටුම ඒ ඔස්සේ තේරුම් ගතයුතු බවත් ය.

එසේම ශ්‍රීලනිප පාර්ශ්වය ආණ්ඩුව වෙතින් උපක්‍රමික ඉවත්වීමකට වඩා අභ්‍යන්තර අර්බුද සිය වාසියට කළමනාකරණය කරන බවක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති ගේ ඇතුළු ශ්‍රීලනිප ප්‍රබලයන් කිහිපදෙනෙකුගේම හැසිරීමෙන් පෙන්නුම් කරන බවත් විචාරක අදහසය.

නිරූ සහ තිරූගේ ඩොලර් ලංකාවට ගේමු : දයාසිරිගෙන් යෝජනාවක් !

පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව්ව ඇති මුදල් ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයක් ඇති වී තිබෙන අවස්ථාවක විදේශ මුදල් ගෙන්වා ගැනීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

හෙලිදරවු වී ඇති ඩොලර් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගෙන්වාගත හැකි නම් ඉතාම හොඳ බවත් පවසන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණ කළ යුතු බවද පැවසීය.

කොරෝනා මරණ සංඛ්‍යාව 13,185 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 43 ක් අද (06) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,185 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 23 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 20 දෙනා කාන්තාවන් ය.

ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 07 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 36 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (06) වාර්තා කරන ලද මෙම මරණ 43 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

covid death 1000px

විසඳුම් වෙනුවෙන් අපි ඕනම ක්‍රියාමාර්ගයක් ගන්නවා - ගුරු සංගම්

අදට යෙදී ඇති ගුරු දිනයේදී ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අරගලය තවදුරටත් දැඩි කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබිණි. ඒ අනුව රටපුරා ස්ථාන රැසක විරෝධතා සංවිධානය කර ඇති අතර කලුක‍ොඩි ව්‍යාපාරයක්ද දියත් කර තිබේ.

ප්‍රධාන උද්ඝෝෂණය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද දහවල් පැවැත්විණි. ඒ සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

උද්ඝෝෂණ ව්‍යාපාරය නම් කර ඇත්තේ 'අඳුර නසන ගුරු පරපුර අඳුරට හෙළීමට එරෙහිව ජාතික කළු විරෝධතාවය' ලෙසය.

කොළඹ ලිප්ටන් වටරවුම අසලට රැස්වූ ගුරු හා විදුහපල්පති වෘත්තීය සන්ධානය අද පෙරවරු 10ට පමණ උද්ඝෝෂණය ආරම්භ කර තිබුණි.

ඊට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවලදී ද උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණි.

මෙම විරෝධතා සංවිධාන කර තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජන ඒකරාශීවීම් සඳහා අවසර හිමි නොවන පසුබිමක් තුළය.

උද්ඝෝෂණ සඳහා එක්වී සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

"අපි මේ උද්ඝෝෂණය කරලා ආණ්ඩුවට දෙන පණිවුඩය තමයි වහාම ගුරු - විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබාදෙන්න ඕනේ කියන එක. විසඳුම් වෙනුවෙන් අපි ඕනම ක්‍රියාමාර්ගයක් ගන්නවා."

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=6120#sigProIdc592ef8e30

NMRA දත්ත මැකූ ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සහකාර ඉංජිනේරුවරයා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මැකීම සම්බන්ධ චෝදනා මත එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය 28 වනදායි.

නිරූ සහ තිරූ රටින් ගිහින් !

නිරූපමා රාජපක්ෂ මේ වනවිට රටින් පිටවගොස් ඇතැයි වාර්තා වේ.

පැන්ඩෝරා පත්‍රිකා එළිදැක්වීමට දින දෙකකට පෙර, එනම් පසුගිය 01 දා ඇය කටුනායක ගුවන්තොටුපලින් උදෑසන 9ට ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් යානයකින් පිටවී ඩුබායි වෙත ගොස් තිබේ.

ඊට ප්‍රථම ඇයගේ සැමියාවන තිරු නඩේසන් රටින් පිටවී ඇත. (03) ගවේෂණාත්මක මාධ්‍යව්දීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) විසින් එලි දක්වන ලද ලෝක දේශපාලකයින්ගේ දූෂණ පිළිබඳ “පැන්ඩෝරා පත්‍රිකා“ මගින් නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා තිරු නඩේසන් රහසිගත සමාගමක් භාවිත කරමින් ලන්ඩනයේ සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුඛෝපභෝගී මහල් නිවාස සහ දේපළ මිලදී ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය කළේය.

තිරු නඩේසන් විසින් තවත් රහස් සමාගම් කිහිපයක් හරහා අකර්ෂණීය උපදේශන සේවා සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ විශිෂ්ඨ ගණයේ කලා නිර්මාණ මිලදී ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවටද පැන්ඩෝරා පේපර්ස් වාර්තාව විසින් එළිකරනු ලැබුවේය.

2018 වසරේදී මෙම සමාගම් අතරින් එකක් වන පැසිෆික් කොමොඩිටීස් සමාගම විසින් වටිනා සිතුවම් 31ක් සහ තවත් දකුණු ආසියාතික කලා නිර්මාණ ගණනාවක් ස්ටිව්සර්ලන්තයේ ජිනීවා හි අධි ආරක්ෂිත ගබඩාවක් වෙත කිසිදු බදු ගෙවීමකින් තොරව රැගෙන ගොස් ඇති බවද හෙළි කරන මෙම ගවේශකයන් 2011 වන විට නඩේසන් ගේ මෙම සමාගම් සතුව පැවැති වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 160කට අධික බව පෙන්වා දී තිබුණේය.

සැප්තැම්බර් 20 වනතුරු මේ හෙළිකීරීම්වලට අදාළ පැහැදිලි කිරීම් සඳහා චෝදනාවට ලක් වූවන්ට ඉඩකඩ ලැබී තිබේ.

(Lanka lead )

පැන්ඩෝරා පේපර්ස් : 43 සේනාංකයේ නීති අංශයෙන් දැඩි ප්‍රහාරයක් !

නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන් ළඟ ඇති බවට හෙළිදරව් වූ මුදල මෙරටින් හොරකම් කරගෙන ගිය මුදල් වලින් 10 % ක පමණ මුදල් ප්‍රමාණයක් පමණක් බව 43 සේනාංකයට අනුබද්ධ නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ , ණය ගෙවීම ඩොලර් බිලියන 7 ක් පමණ අවශ්‍ය වන බවය.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පහළ ගොස් තිබේ. කිරිපිටි, ගෑස් ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ නැති වෙමින් යන්නේ රට සතු ඩොලර් හිඟය නිසා ය.

“මේ ඩොලර් තියෙන්නේ කා ගාවද? තීරු නඩේෂන් ගාව. නිරූපමා රාජපක්ෂ ගාව. ඔය එළි වුනේ එක පොඩ්ඩයි. කීප දෙනෙක් විතරයි. ඔය අපේ රටෙන් හොරකම් කරගෙන ගියපු මුදල් වලින් මම කියන්නේ ඒක 10% ක වගේ ප්‍රමාණයක්. හැබැයි ඉතුරු තව 90% ක් මේ වැනි ඩොලර් සංචිත ලංකාවෙන් කොල්ල කාගෙන ගියපු දේශපාලඥයන් විසින් හොර සල්ලි කළු සල්ලි හැටියට තැන්පත් කරලා තියෙනවා.”

සිංගප්පූරු නීතියට අනුව යම් විදිහකින් යම් පුද්ගලයෙක් අක් වෙරළ සමාගමක් සමග ගනුදෙනු කරද්දී ඒ පුද්ගලයා යම් රටක දේශපාලන පවුලකට සම්බන්ධ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට වාර්තා කිරීමේ වගකීමක් ඒ අක් වෙරළ සමාගමට තිබේ. තිරු නඩේෂන් කියන මහතා ඇසට් නම් අක් වෙරළ සමාගම සමග ගනුදෙනු කොට ඇති නමුත් තිරු නඩේෂන් මහතා, රාජපක්ෂ පවුලත් සමග සම්බන්ධ බවට එකී අක් වෙරළ සමාගම දැන සිටි නමුත්, ඒ පිළිබඳව, සිංගප්පූරු රජයට වාර්තා කොට නොමැත. ඒ අනුව එය සිංගප්පූරු රජය ඉදිරියේ කරන ලද, නීතිය ඉදිරියේ කරන ලද වරදකි.

දෙවැනි කරුණ වන්නේ තිරු කුමාර නඩේෂන්ට විරුද්ධවම නීතිපතිවරයා විසින් අධිචෝදනා යොමු කරමින් වර්ෂ 2017 දී ගම්පහ අධිකරණයේ නඩුවක් පවරා තිබේ. ඒ අනුව චුදිතයෙක් හැටියට සිටින පුද්ගලයෙක් සමහ අක් වෙරළ සමාගමට ගනුදෙනු කළ නොහැක. නමුත් අදාළ ඒෂියා සිටි නම් සමාගම මේ සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට දැන්වීමක් සිදු කොට නොමැති අතර එය නීති විරෝධී කාර්යයකි.

“නිරූපමා රාජපක්ෂ මහත්මිය චලාම් ඔයිල් එන්ටර්ප්‍රයිසස් සහ රොසෙට්කි කියන ඉතාලිය අක්වෙරළ සමාගම් සමග ගනුදෙනු කරලා තියෙනවා. ඒ වගේම තිරු නඩේෂන් මහත්මයා අක් වෙරළ සමාගම් 21 ක් සමග ගනුදෙනු කරලා තියෙනවා. දැන් මේ වෙබ් අඩවිය සඳහන් කරන විදිහට තව පුද්ගලයෝ දෙන්නෙක් මේ අක්වෙරළ සමාගම් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එක්කෙනෙක් තමයි තිරකුමාර් අයංකා නඩේෂන් අනිත් පුද්ගලයා සනාරා නිරන්ත රාජපක්ෂ නඩේෂන් එතකොට පුද්ගලයන් හතර දෙනෙක් මේ අක්වෙරළ සමාගම් 11 ක් එක්ක ඩොලර් මිලියන 160 ක ගනුදෙනුව කරලා තියෙනවා. මේක බරපතලයි. එතකොට මේ හතර දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන්.”

මේ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ වගකීමක් අල්ලස් හෝ දූෂණ කොමිසමට තිබේ. එමෙන්ම අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් වත්කම් ප්‍රකාශ කිරීමේ නඩුවක් නැතහොත් විමර්ශනයක් පවත්වන්නට අමතරව දූෂණ සිදුකිරීම පිළිබඳව සාක්ෂි විමර්ශනය කිරීම කළ යුතුය. ඩොලර් මිලියන 160ක් යනු විශාල මුදලකි. ඒ සියලු මුදල අයිති ශ්‍රී ලාංකික පුරවැසියන්ට ය. ඒ මුදල් වංචා කොට ඇත්නම් ඒ මුදල නැවත අප වෙත ලබා ගත යුතුය.

“අපි රජයට කියනවා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න. ඒ වගේම අපි රජයට කියනවා මේ පුද්ගලයන් වහාම ලංකාවේ පවතින නීතිය යටතේ අත්අඩංගුවට ගන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ සිදුවෙලා තියෙන වංචාකාරී ගනුදෙනු ජාත්‍යන්තර මට්ටමෙන් සිදුවෙලා තියෙන්නේ. ඔවුන් මුදල් විතරක් නෙවෙයි හොරකම් කරලා තියෙන්නේ. මේ වාර්තා වල තියෙන විදිහට ජාත්‍යන්තර වශයෙන් වටිනා කියන ශ්‍රී ලාංකික චිත්‍ර 31 ක් මේ ගනුදෙනුවල තියෙනවා. ඔවුන් ස්විට්සර්ලන්තයේ චිත්‍ර සංරක්ෂිත තත්වයේ පවත්වාගෙන යා හැකි ගබඩාවක් තුළ තැන්පත් කරලා තියෙන්නේ. තිරුකුමාර නඩේෂන්ලගේ, ඔවුන්ගේ සහචරයොන්ගේ ගිණුම් ඇතුලේ මේ ඩොලර්, ඕන තරම් තියෙනවා. අපිට ඩොලර් නැතුව, අපි කන්න බොන්න නැතුව, අද බංකොලොත් ජාතියක් බවට පත්වෙනවා. ඒ නිසා, නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය හැටියට, අපිට අවශ්‍යතාවයක් තියෙනවා වහාම මේ නීති ප්‍රතිසංස්කරණය කරන්න. විශේෂයෙන්ම වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ පනත, වහාම නීතිය ඉදිරියේ සංශෝධනයට ලක්විය යුතුයි.

කෝටි 3200 ක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කොල්ල කාලා - නීතීඥ ගුණරත්න වන්නිනායක

IMG 20211006 WA0063

මෙහිදී අදහස් දැක්වූ නීතීඥ ගුණරත්න වන්නිනායක මෙසේ සඳහන් කළේය.

“ලංකා දේශපාලන ඉතිහාසයේ හොඳ හෙළිදරව්වක් වෙලා තිබෙනවා. මේ රටේ ජනයාගේ, මිනිසුන්ගේ, සල්ලි කොල්ල කාපු ආකාරයකින් හෙළිවෙමින් පවතිනවා. දැනට එක හෙළිදරව්වක් වෙලා තියෙනවා, දේශපාලන පවුල්වල සාමාජිකයන්ට, ඒ අනුව මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ කොල්ල කාලා තියෙන ධනයේ වටිනාකම මේ සමාජයට හිතාගන්න බෑ.

කෝටි 3200 ක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කොල්ල කාලා තිබෙනවා. ඒ නිසා දැන් මේ ආණ්ඩුවට යන එන මං නැති වෙන තත්වෙට උද්ගත වෙලා තියෙනවා.”

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු අතර, අල්ලස් කොමිසම ජනතාව වෙනුවෙන් වැඩ කරන ආයතනයක් නම් ඔවුන් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතු බව ද නීතිඥ වන්නිනායක අවධාරණය කළේය.

“එහෙම නැත්නම් අපි විශ්වාස කරන්නෑ මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරයි කියලා. ඒ නිසා අපි උත්සාහ කරනවා තව අවුරුදු දෙකකින් මේ ආණ්ඩුව නියත වශයෙන් ගෙදර ගියාම පසුව නැවත එළඹෙන ආණ්ඩුවක් තුළ මේවා ප්‍රශ්න කරන්න. ඒ නිසා තමුන්නාන්සේලා විශ්වාස කරන විදිහට මේ රටේ ධනය කොල්ල කාපු සියලු දෙනා මේ එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. විශාල චෞර වළල්ලක බද්ධ වෙලා තිබෙන මෙහෙ පරම්පරාවේ කොල්ලකරුවන් තව කොපමණ ප්‍රමාණ්‍යක් රටේ ධනය කොල්ල කා ඇද්ද යන්න අපිට ප්‍රශ්න කළ යුතුව තිබෙනවා.”

මේ රජය මෙය යට ගැසීමට කොතරම් උත්සාහ කළ ද මේ සිදුවීම මේ වන විට ලෝකය පුරා ගොස් අවසන් ය. ඒ අනුව දැන් මෙය වසා දැමීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැත.

“ඒ නිසා මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවෙනවා නම් ඉදිරි දේශපාලනය තව වසර දෙකකින් මේ කොල්ලකරුවන්ට දඬුවම් දෙන්න අපි නායකයෙක් හදන්න ඕනේ. ඒ නායකයා මේ නිකන් නම් පචන් නායකයෙක් නෙමෙයි. මේ රටේ බුද්ධියක් තිබෙන ඥාන ශක්තියක් තිබෙන පුරුෂ ශක්තියක් තිබෙන නායකයෙක් අපි ගොඩනගන්න ඕන. ඒ නිසා ඒ සඳහා මේ වන විටත් සාකච්ඡා පවත්වනවා.”

මේ රටේ සමස්ත ජනතාව දැන් තේරුම් ගත යුතු කරුණක් තිබේ. එනම්, සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට ඥාන මණ්ඩල දරිද්‍රතාවයෙන් පෙළෙන නායකයන්ට මේ කාර්යය කිරීමට නොහැකි බවය. ඒ අනුව නැවත මේ රටේ ඉතිහාසය වෙනස් කරමින් නැවත ඊළඟට පත්වන ආණ්ඩුවේ බුද්ධියෙන්, දැනුමෙන් සන්නද්ධ නායකයෙක් සහ කණ්ඩායමක් ගොඩනගන්න මේ රටේ සමස්ත ජනතාවම ඒකරාශී විය යුතුය යන්න තමන් විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේය.

“සාම්ප්‍රදායික දේශපාලනය තුළ පක්ෂ පාට නැත්තං තමන්ට ගැති භාවයෙන් කටයුතු කරන පුද්ගලයන්ට මේ සමාජයේ කොල්ලකරුවන්ට දඬුවම් දීමේ හැකියාවක් ඉතිහාසය විසින් ඔප්පු කරලත් නෑ. අපි විශ්වාස කරනවා වර්තමානයද එවන් තත්වයක් කටයුතු නොකරයි කියලා. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාව දැන් තේරුම් අරන් තිබෙනවා. මේ රටේ මේ කොල්ලකරුවන්ට දඬුවම් දෙන්න. එවන් ඍජු නයකයෙක් සහ කණ්ඩායමක් බිහිවිය යුතුයි.”

එහෙයින් මේ රටේ සකලවිධ දේශපාලන බලයක් ඒකරාශී කොට ගනිමින් මේ අපරාධකරුවන්ට දඬුවම් දීමේ වගකීම මේ රටේ සමාජයේ දෙවුර මත තිබෙන බව ද නීතිඥ ගුණරත්න වන්නිනායක අවධාරණය කළේය.

නිරූපමා රාජපක්ෂ ලංකාවේ ඇතුලේ කරපු එක ව්‍යාපාරයක් තියෙනවනම් කියන්න - හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වවර්ණසිංහ !

IMG 20211006 WA0060

නිරූපමා රාජපක්ෂ මහත්මියට එල්ල වී ඇති පැන්ඩෝරා චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින රාජපක්ෂ රෙජිමයේ කිසිම සාමාජිකයෙක් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කොට නොමැති බව මේ මාධ්‍ය හමුවට එක් වූ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දුන්නේය.

“රටට ඩොලර් නෑ. කිරිපිටි ටික ගේන්න විදිහක් නෑ. කිරිපිටි නැතුව පෝලිම් වල ජනතාව රස්තියාදු වෙනවා. හඩා වැටෙනවා තමන්ගේ දරුවන්ට කිරි ටිකක් දෙන්න විදිහක් නෑ කියලා. ඒ වගේම ගෙවල් වල උයන්න පිහන්න අවශ්‍ය කරන ගෑස් ටික නෑ. තෙල් ටික ගේන්න සල්ලි නෑ. ඒ වගේම තමයි ගෑස් ටික ගේන්න සල්ලි නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්න සල්ලි නෑ. ආනයන ආනයන සීමා කරලා තියෙනවා තහනම් කරලා තියෙනවා වාහන ගේන එක නතර කරලා තියෙනවා. එහෙනම් අපි අහන්නේ මේ ඩොලර් මිලියන 160 ක් මෙතන තියෙනවා.”

“නිරූපමා රාජපක්ෂ ලංකාවේ ඇතුලේ කරපු එක ව්‍යාපාරයක් තියෙනවනම් කියන්න. මොනවද කරපු ව්‍යාපාර? මොකක් හරි නිෂ්පාදනයක් මේ රට ඇතුලේ කරලා තියෙනවද? සිල්ලර කඩයක් කරගෙන ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් මොනවා හරි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට, ජාතික ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබාදෙන දෙයක් කරලා තියෙනවද? එහෙනම් කොහොමද මේ මුදල් උපයා ගත්තේ? ඒකයි අද තියෙන ප්‍රශ්නෙ. මේ මුදල් කොහොමද උපයාගත්තේ කියන එක අද කියන්න ඕනේ මේ රටට.

“මෙන්න මේ ආකාරයට මේ රටේ සාරය උරා බීලා, මේ රටේ ජාතික ධනය කොල්ල කාලා අයුතු විදියට මුදල් උපයගෙන මේවා ගෙනිහිල්ලා පිටරටවල් වල විවිධ තැන්වල තැන්පත් කරලා තියෙනවා. ලෝකයේ පිළිනොගත් ඇතැම් රාජ්‍යයන් ඇතුලේ එහෙම නැත්නම් මේ රහස් යභාවය රකිනවාය කියන විවිධ රාජ්‍යයන් අර්ධ රාජ්‍යයන් ඇතුළේ මේ විදිහට මේ මුදල් තැන්පත් කරලා පවත්වාගෙන යනවා. මේ මුදල් වලින් කොටසක් රට ඇතුලට ගන්න පුළුවන් නම් දැන් පහුගිය දවස් වල ඔය මුදල් විශුද්ධිකරණයට අදාළව ගෙනාවා පනතක්.

“මෙවැනි හෙළිදරව් කිරීම් පසුගිය කාලේ මේ රටේ ඉන්න බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, දූෂණ විරෝධී සංවිධාන කිව්වම ඒ සියල්ල නොසලකා හැරියා. එහෙම නැත්නම් ඒවට හිනා වුණා. ඒවා හෑල්ලුවට ලක් කරා. ඒවා පට්ටපල් බොරු කියලා කිව්වා. දැන් මේක හෙළිදරව් කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා පුලුවන්නම් වහාම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කියන්න. අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවරය කියන්න ඒ වගේම අපි කියනවා මුදල් ඇමතිතුමා අර විශ්වකර්මයා කියලා කිව්වේ මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන්, මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් වැඩ කරපු විදියට කිව්වේ මොළ හතක් තියෙනවයි කිව්වේ අන්න ඒ බැසිල් රාජපක්ෂට අපි කියනවා මේ සම්බන්ධයෙන් කරුණාකරලා තමන්ගේ ස්ථාවරය ඇවිල්ලා කියන්න. තමන්ගේ මේ ඥාති නැන්දණීය ගේ මේ ගනුදෙනුව පිළිබඳව අපේ තරුණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. දැන් මොකද කියන්නේ? මේකත් බොරුද? මේ ජාත්‍යන්තර පර්යේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සම්මේලනය කරලා තියෙන මේ හෙළිදරව්වක් තව බොරුවක්. අද මුළු ලෝකයම මේ ගැන සාකච්ඡා වෙනවා. ඒක නිසා ලංකාව චෞර වළල්ලකට හසු වෙච්ච චෞරයන්ගේ රාජ්‍යයක් කියන එක ජාත්‍යන්තර වශයෙන් තහවුරු වෙමින් තියෙනවා. අනාගතයේදී මේ රටේ ජාතික ධනය කොල්ලකාපු හොරාකාපු මේ සහගහන අපරාධ කරපු මේ සියලු දෙනාට එරෙහිව අනාගතයේදී ජනතා අධිකරණයක් ඉදිරියේ මේ සියලු දෙනාම වගඋත්තරකරුවෝ බවට පත්වෙනවා”

යොහානිට තනතුරක්

මේ වනවිට ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් ව සිටින නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සන්නාම තානාපතිවරියක ලෙස ගිවිසුම්ගත වීමට ගායික යොහානි ද සිල්වා එකගත්වය පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ අනුමැති ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක්ද යොමු කර ඇත.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක් වශයෙන් ඇය පළමුවෙන්ම ඩුබායි හි ආරම්භ වී ඇති ‘වර්ල්ඩ් එක්සපෝ-2020’ ප්‍රදර්ශනයේ සමාගමී අංගයක් වන ගෝල්බල් ෆෙස්ටිවල් හී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ”ශ්‍රී ලංකා සංචාරක ගීතය” ලබන ජනවාරි 03 වැනිදා එළි දක්වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

තවද එම ශ්‍රී ලංකා ජාතික දින සැමරුම් විශේෂාංගයේ කොටසක් ලෙස යොහානි සමග සංස්තෘතික විවිධ ප්‍රසංගයක්ද ඩුබායි එක්ස්පෝ හීදී පැවත්වන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

මෙම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යොහනී කළ එම ගීත නිර්මාණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ප්‍රදානය කිරීමටද නියමිත බවද පැවසේ.

තවද යොහානි විසින් පද රචනය කර ගායනා කරන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරන සංගීත රූප රචනාවක්ද ඉදිරියේදී සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් එළි දැක්වීමට නියමිතව ඇත.

යොහානි ද සිල්වා ”මැණිකේ මගේ හිතේ” ගීතය ප්‍රතිගායනා කරමින් නිකුත් කළ වීඩියෝව මේ වන යූ ටියුබ් ඔස්සේ කෝටි 14ක පිරිසක් නරඹා තිබේ.

අපි අහිංසකයි : නිරූපමාගේ සැමියාගෙන් ජනාධිපතිට ලිපියක්

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් ‘පැනඩෝරා පේපර්ස් " හෙළිදරව් කරන ලද වාර්තාවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගනුදෙනු ගැන වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබේ.

අද උදෑසන (06) අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ජනාධිපතිවරයා විසින් මෙම නියෝගයක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

එසේම අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක ඇමැති ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ අදාළ පරීක්ෂණ වාර්තාව මාසයක් ඇතුළත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි.

අපි අහිංසකයි : නිරූපමාගේ සැමියා ජනාධිපතිට ලියයි !

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරිය වන නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන ටී. නඩේෂන් විසින් ජනාධිපති වෙත යොමුකළ ලිපියක් මාධ්‍ය වෙත නිකුත්කර ඇත.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ රහසිගත වත්කම් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමක් විසින් හෙළිදරව් කළ ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකාවන්හි නම් සඳහන් තමා සහ ඔහුගේ බිරිඳ සම්පූර්ණයෙන්ම අහිංසක බවත් එල්ලවන කිසිදු චෝදනාවකට වැරදිකරු නොවන බවයි.

මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්වාධීන විමර්ශකයෙකු පත් කරන ලෙසත් එමගින් ඔහු ඉල්ලා ඇත.

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පළවූ එම ලිපිය පහත දැක්වෙයි.

lahiru

මනුෂගෙන් ආණ්ඩුවට අභියෝගයක් !

රසායනික පොහොර ගෙන්වීමට අවසර දිය යුතුද නැද්ද යන්න ගැන ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම අතර රහස් ඡුන්දයක් පවත්වන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ආණ්ඩුවට අභියෝග කළේය.

රහස් ඡන්දයක් තිබුවහොත් රසායනික පොහොර ගෙන්වීමට තුනෙන් දෙකක කැමැත්තක් හිමිවන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

පොහොර ප‍්‍රශ්ණය නිසා ගොවියා අසරණ වෙලා. කන්න බොන්න බැරි තත්වයකට ඔවුන් ඇදගෙන වැටෙනවා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඵලදායිතාවය වැටෙනවා.

පොහොර අවශ්‍යද නැද්ද කියලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු අතරේ රහස් ඡුන්දයක් තියන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා. පොහොර අවශ්‍ය යැයි කියලා තුනෙන් දෙකකින් දිනනවා.

පොහොර තහනම නිසා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ටත් ගෙදර යන්න බැරිව ඉන්නේ. ගමට යන්න බැරිව ඉන්නේ. ඒ නිසා ආණ්්ඩුවට රහස් ඡුන්දයක් තියලා විමසන්න කියලා අපි කියනවා

සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ 21 සිට ඇරඹේ

සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පළමු අදියරේදී පාසල් 3,000 ක් විවෘත කරන බවයි.

පළාත් සභා යටතේ පාලනය වන සියලු පාසල් එළඹෙන 21වන දා සිට යළි ආරම්භ කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ අද (05) පෙරවරුවේ පැවැති පළාත් ආණ්ඩුකාර සංසදයේ විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පැවසිය.

කොරෝනා මරණ සංඛ්‍යාව 13,142 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 40 ක් අද (05) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,142 ක් දක්වා ඉහළගොස් ඇත.

මියගිය පිරිස අතරින් 22 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන්  බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 04 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 36 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (05) වාර්තා කරන ලද මෙම මරණ 40 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

මේ අතර අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයින් 563 දෙනෙකු හඳුනාගෙන තිබේ.

968fca21 index

Page 341 of 386