V2025

පුවත්

විශ්වාසභංගයෙන් ජනතාව ඉල්ලන දේ හම්බෙයිද ? අකිල

ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ කිසිම ප්‍රශ්නයක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන නමුත් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් ගෝල්ෆේස් පිටියේ විරෝධතා දක්වන පිරිස ඇතුළු රටේ බහුතරය අපේක්ෂා කරන අරමුණ ඉටුවෙනවා දැයි සිතා බැලිය යුතුබව එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

එජාප උප නායකයා මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (27)පැවති මාධ්‍ය හමුවකදී ය.

ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒම කල් යන වැඩක් වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ ප්‍රතිපාදන තිබෙන බව කී එජාප උප නායකයා මේ කාරණය සම්බන්ධ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

 

 

තත්ත්වය උණුසුම් : විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවෙයි !

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) කැඳවා තිබේ.

වාර්තා වන ආකාරයට හෙට පස්වරු 2.00ට මේ රැස්වීම පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විසින් මෙම සාකච්ඡාව කැඳවෙන බවය.

පාර්ලිමේන්තුවේ යම් යම් පක්ෂ සහ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ගණනාවක් කතානායකවරයාට දැනටමත් බාරදී ඇත.

සමගි ජන බලවේගය සහ පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ පිරිසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කතානායකවරයාට බාරදී ඇති කණ්ඩායම අතර වෙයි.

මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සහ ඒවායේ න්‍යාය පත්‍ර පිළිබඳවද මෙම රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් දැනගන්නට ඇත.

මහින්ද ගෙදර යවන්න ජනාධිපති සූදානම් !

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමට සූදානමක් දැක්වෙන ආකාරයේ නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත්කර ඇත.

ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර තිබීම හමුවේය.

ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත ලිපියක් ද යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපතිවරයා සියලු පක්ෂ නායකයනට ජනපති මන්දිරයට අනිද්දා (29) පැමිණෙන්නැයි ආරාධනා කර ඇත.

සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලට ද මේ සඳහා ආරාධනා කර ඇති බවත් වාර්තා වේ.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෙට (28) පස්වරුවේ ජනාධිපති මන්දිරට කැඳවා ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත .

 

චෝදනා මත : වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රාණී ගෙදර යවයි !

අකාර්යක්ෂ්මතාවය හා දූෂිත ක්‍රියාකලාපය හේතු ලෙස දක්වමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ භද්‍රාණි ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කොට ඇත.

පසුගිය වසර දෙකක පමණ කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යාංශය විසින් දියත් කරන ලද වැඩසටහන් නිසි ලෙස කළමණාකරණය කිරීමට හෝ කාර්ය මණ්ඩලයට මඟ පෙන්වීමට නොහැකි වීම තුළ ජනතාවගේ අප්‍රසාදය මෙන්ම කාර්ය මණ්ඩලයේ හා ආයතන වල අප්‍රසාදයට ලක් වීම තුළ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

භද්‍රාණි ජයවර්ධන විසින් වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ධූරයට අමතරව ආයතන ගණනාවක සභාපති ධූරය ද, තවත් ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද දරමින් සිට ඇත.

මහපොළ නෙට්වෙල්ත් සමාගම, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යන ආයතන වල සභාපති ධූරයන් ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල් මණ්ඩලය යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද මෙම ලේකම්වරිය විසින් දරා ඇත.

ඒ අනුව, මෙරට වැදගත්ම අමාත්‍යාංශයක් වන වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරී ඇති රාජකාරී පැහැර හැරීම තුළ, අවම වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හෝ නොහැකිව දිගින් දිගටම මහජනතාව පත් වූ අපහසුතා සඳහා මෙම ලේකම්වරිය ඍජුවම වගකිව යුතු බව එම ආයතන වල කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි.

හිටපු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද අවස්ථා ගණනාවක දී මෙම ලේකම්වරියගේ ක්‍රියාකලාපය පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින්, කාර්යක්ෂ්ම ලේකම්වරයෙකු පත් කර දෙන මෙන් ඉල්ලා ඇතත්, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් මෙම ලේකම්වරිය ඉවත් කිරීමට තරයේ විරුද්ධ වී ඇති බව ද වාර්තා වී ඇත.

අමාත්‍යාංශ ලේකම් ධූරයට හිමි වාහනයට අමතරව, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් පත්වීමෙන් පසුව සභාපතිවරයාට නිල බලයෙන් හිමි වන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයද භද්‍රාණි ජයවර්ධන විසින් භාවිතා කර ඇත. එම ජීප් රථය සඳහා පසුගිය මාසය තුළදී පමණක් ඉන්ධන ලීටර් 435ක් ලබා ගෙන ඇති බවට මෙම ඇය විසින් බිල්පත් ඉදිරිපත් කොට ඇති බවත් , සතොස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම බිල්පත් සඳහා මුදල් ගෙවීම තරයේ ප්‍රතික්ෂේප කර, ගෙවීම් අත්හිටුවා ඇති බවත් වාර්තා වෙයි. එසේම මෙම ඉන්ධන භාවිතය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ද ක්‍රියාමාර්ග ගෙන ඇත.

ජාජබ තුනම විශ්වාසභංගයට පක්ෂව : අනුර සහතික වෙයි !

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි විශ්වාසභංගයට මන්ත්‍රීවරු එකසිය විස්සක් සහය දෙන බව සත්‍යයක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු මන්ත්‍රීවරයා මේ බව පැවසීය .

තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම ස්ථිර බව ද එහෙත් අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ගැන තමන්ට සහතික විය නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .

විශ්වාස භංගයට පක්ෂව ලැබෙන ඡන්ද ප්‍රමාණය ගැන ස්ථිර අදහසක් පැවසිය නොහැකි බවද ඔහු පැවසීය.

මුදල්වලට තනතුර වරදාන වරප්‍රසාදවලට පිල් මාරුකරන ස්ථාවරයන් වෙනස් කරන මහජන නියෝජිතයන් ගැන සහතික වීම මෝඩකමක් යැයිද ඔහු පැවසීය. එහෙත් මේ පාලකයන් ගෙදර යැවිය යුතුය යන ස්ථාවරයේ තම පක්ෂය සිටින නිසා තමන්ගේ කණ්ඩායම එයට සහය දිමට තීරණය කළ බවද එය ස්ථිරවම සිදුවන බවද ඔහු පැවසීය.

අප්‍රේල් 28 එජාප සත්‍යග්‍රහය රඹුක්කන : මැයි 01 ගෝල්ෆේස් අරගල බිම !

ජාතික පක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත පවසා ඇත .

වත්මන් මොහොත දේශපාලන පක්ෂ වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොවන හෙයින් ජනතාවගේ පොදු අරගලය වටා සියලු ජනතාව ඒකරාශි විය යුතු බව පවසා ඇති පාලිත රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තරුණ බලවේගය මැයි 1 දා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග එක්ව මැයි දිනය සැමරීමට නියමිත බව සඳහන් කර ඇත.

ගෝඨා ගෝ ගම තරුණ අරගලය දේශපාලන පක්ෂයකට වෙන් වූ අරගලයක් නොවන හෙයින් එජාප නායකයින් ඊට සහභාගී නොවන බවත් දේශපාලන පක්ෂ අරමුණු මොහොතකට හැර දමා මේ මොහොතේ මහපොළොවේ අරගලය සමග එකතු වීමට එජාප බිම් මට්ටමේ යාන්ත්‍රණයට අවස්ථාව ලබාදී තිබෙන බවත් ඔහු පවසා ඇත.

මේ අතර අප්‍රේල් 28 වනදා රඹුක්කන සිදුවූ ඝාතනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් සත්‍යග්‍රහයක් සූදානම් කර ඇති බවත් වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වන පෝස්ටරය පහත දැක්වෙයි.

vbjfj

සජිත්ගේ පැතුම විපක්ෂ නායක !

අන්තර් පාලනයක් යනු මෙරට බහුතර ජනතාවගේ පොදු තීන්දුවක් නොවන අතර තම තමන්ගේ හිත සුව පිණිස තනතුරු හා වරප්‍රසාද බෙදා ගැනීමක් බැවින් රට අපේක්ෂා නොකරන දෙයකට තමන් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීය සමග කළ විශේෂ සංවාදයකදී පැවසුවේය.

 ''රට ඉල්ලන්නේ නැති දෙකට සක්විති රජකම දෙනවා කිවුවත් ඒ පාවාදීම මම කරන්නේ නෑ. කවුරුහරි බහුතර කණ්ඩායමක් කිවුවොත් නෑ මේකම කෙරෙන්න ඕනා කියලා ඒ ගොල්ලන්ට කරගන්න කියනවා. මම එතන නෑ. තමන්ට ඕනා විදියකට 225ට එකතුවෙලා පුළුවන්ද ලක්ෂ 220 වෙනුවෙන් තම තමන්ගේ රුචිඅරුචිකම් අනුව ගනුදෙනු කරන්න. '' යනුවෙන් එහිදී ඔහු කියා සිටියේය.

කෙසේ වුවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රසිද්ධ youtube නාලිකාවක් පවසන්නේ විපක්ෂ නායක ධූරයෙ වරප්‍රසාද හේතුවෙන් ඔහු මේ මොහොතේ අගමැති නොවනු ඇති බවයි.

මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයකු විසින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගේ හිතවතෙකු හරහා එවනු ලැබූ පණිවිඩයක් ගැනත් විපක්ෂ නනායකවරයා ගේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.

ඒ අගමැති ට එරෙහිව විශ්වාසභංගය සම්මත වුවහොත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වන බවයි. එහිදී අගමැති වීම සඳහා වත්මන් විපක්ෂ නායක වෙත බහුතරයක් ඇත්දැයි යන්න ප්‍රශ්න කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ප්‍රෝඩාව හමාරයි - ඉන්ධන මිල සූත්‍රය අවශ්‍යයි : පොහොට්ටුව පිළිගනියි !

ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

ඩොලරයේ අගය ඉහළ යෑම නිසා සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන තත්වයක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

මැයි මාසයේ මුල් සතිය වනතුරු ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විදුලි බලාගාර සඳහාද ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇතැයි ද පැවසීය.

ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල කෝ !

නව කැබිනට් අමාත්‍ය කාංචන විජේසේකර ගේ මේ ප්‍රකාශය අනුව මෙරටට වඩාත් ගැලපෙන්නේ ලෝකය පුරා පිළිගත් ක්‍රමවේදයක් වන ඉන්ධන මිල සූත්‍රය බව තහවුරු වෙයි.

කෙසේ වුවත් වත්මන් ආණ්ඩුවේ කොටස් විපක්ෂයේ සිටි අවධියේදී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ට දැක්වූ විරෝධය ප්‍රෝඩාවක් බව ඒ අනුව තහවුරු වෙයි.

එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැනින් ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර වඩාත් ගැලපෙන්නේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල බව පවසා අරමුදලක් ගොඩනැගූ නමුත් එයත් ප්‍රෝඩාවක් බව මේ වන විට තහවුරු වෙයි.

අවසානයේ සිදුව ඇත්තේ මිනිසුන් රැවටීම පමණි.

 

අධිකරණ විෂයත් අලිසබ්‍රි ට !

මුදල් අමාත්‍ය ලෙස කටයුතු කරන අලිසබ්‍රි අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත්කර ඇත.

එසේම ඔහු මුදල් ඇමති ලෙසත් ඉදිරියට කටයුතු කරන බවත් වාර්තා වෙයි.

ලිට්‍රෝ ගෑස් මිල තවත් ඉහළට !

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු 4,860ක් දක්වා ඉහළ දැමීමට තීරණය වී ඇත.

කෙසේ වුවත් අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා සිටියේ කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා මිල ඉහළ දැමීමක් සිදු කළ යුතු ම බවය.

නැත්නම් ගෑස් සැපයීම අත්හිටුවීමට සිදුවන බවත් ඔහු පැවසීය.

චීනාගේ හැටි පෙන්වයි : ණය ගෙවීමට ණයක් පමණයි !

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවත්, එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවත්, චීනය යෝජනා කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ අවස්ථාවේ ණය ගෙවීම අසීරු බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් ශ්‍රී ලංකාව ණය හිමියන්ට දැනුම් දී ඇති බව කී ඇමතිවරයා ණය දී ඇති බටහිර රටවල් එයට සාධනීය ප්‍රතිචාර දක්වා ඇතත් චීනය ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථාවරයක් දරණ බවත් සඳහන් කළේය.

අමාත්‍ය නාලක ගොඩහේවා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

චීනය ලෝකයේ විවිධ රටවලට ණය දී ඇති බැවින් එක රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියහොත් අන් රටවලින් ද බලපෑමක් විය හැකි නිසා, එසේ නොකර ඒ ණය ගෙවීමට තවත් ණයක් දීමට සූදානම් බව ඔවුන් යෝජනා කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක 5ක හදිසි අවශ්‍යතාවයක් තිබෙන නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නිසාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් ඊට උපකාර කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමම විශාල ශක්තියක් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ තමයි චීනය !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ චීනය ස්වාභාවය මෙය බවත් එය පුදුමවීමට හෝ ලතැවීමට කාරණයක් නොවන බවත් ය.

"ඒ තමයි චීනය. ඔවුන් ලෝකයේ පුරා කටයුතු කර තියෙන්නේ මෙහෙම. විශාල ව්‍යාපෘති වෙනුවෙන් කිසිම ඇගයීමක් නැතුව ඔවුන් ණය නිකුත්කර සිටිනවා. දූෂිත ආණ්ඩු, මූල්‍ය කළමනාකරණය , විනිවිද භාවය , ගෙවීම් හැකියාව , මේ කිසිම දෙයක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ නෑ. මේ ගැන බලන්න සූඩානය වැනි රටවල් ඓතිහාසික නිදර්ශන. ඔවුන් රටවල් අවි හෝ වෙනත් භෞතික උපක්‍රම හරහා ආක්‍රමණය කරන්නේ නෑ . නමුත් ණය දීම හරහා එය සිදුකර ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගන්නවා. රාජපක්ෂවරුන් ට ඔවුන් ලැදි මේ නිසා . දැන් කරන්න දෙයක් නෑ . කුම්බලා මාළු කෑවා නම් බළලෝ විඳවපන් තියරිය තියෙන්නේ " යැයි අප වෙත අදහස් දැක්වූ දේශපාලන විචාරකයකු පැවසීය.

අරගලයේ අලුත් ගම : මයිනාගෝගම අරලියගහ මන්දිරය අසල ඉදිවෙයි !

කොළඹ අගමැති නිල නිවස සහ කාර්‍යාලය ඇතුළත් අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාකරුවන් විසින් මේ වන විට තාවකාලික කූඩාරම් ඉදිකර විරෝධය දක්වමින් සිටියි.

ජනාධිපති කාර්‍යාලය ආශ්‍රිත ගෝල්ෆේස් පිටිය ප්‍රදේශය " ගෝඨාගෝගම " ලෙස නම් කර ඇති අතර අරලිය ගහ මන්දිරය අසල " මයිනා ගෝ ගම " ලෙස නම්කර ඇත.

මේ අතර අරලිය ගහ මන්දිරය ආසන්නයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළත් එය අධිකරණය ප්‍රතිකේෂ්ප කර ඇත.

කෙසේ වුවත් ඊයේ (25) රාත්‍රියේ අරලිය ගහ මන්දිරය අසල පදික වේදිකාව හරස් කර පොලිසිය විසින් බස් රථ කිහිපයක් යෙදූ අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උනුසුම් තත්ත්වයක් ඇති විය.

ඇතිවූ තත්ත්වය සජීවී ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් විරෝධතාකරුවන් පොලිසියේ ක්‍රියාව දැඩිව විවේචනය කරනු දකින්නට ලැබිණ.

මිල වැඩි නොකළොත් ගෑස් සැපයුමත් නෑ : ලිට්‍රෝ සභාපති ප්‍රසිද්ධියේ කියයි !

කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා මිල ඉහළ දැමීමක් සිදු කළ යුතු ම බවත් එසේ නොකරන්නේ නම් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අද (26) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමාගමේ සභාපති විජිත හේරත් මේ බව පැවසීය.

එනිසා ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම රජය විසින් නිවේදනය කරනු ඇති බවද ඔහු පවසයි.

මිල වැඩි නොකිරීම මත සමාගමට දිනකට රුපියල් කෝටි 25ක අලාභයකට මුහුණදීමට සිදුවනු ඇති බවක් ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේදී ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.

මේ වන විට ලාෆ් ගෑස් සමාගම සොය මෙහෙයුම් කටයුතු නවත්වා ඇති බව නිල වශයෙන් සඳහන් කර නැති නමුත් කිසිදු අලෙවි හලක ලාෆ් ගෑස් නොමැත. මේ වන විට යම් ප්‍රමාණයකට ගෑස් සැපයුම සිදුකරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම පමණි. ඒ අනුව යම් ආකාරයකට ලිට්‍රෝ ගෑස් සමාගම සැපයුම නැවැත්වීමක් සිදුකළ හොත් මෙරට වෙළඳ පොළ තුළ ගෑස් නැත්තටම නැති වනු ඇත.

කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නෑ - මහින්ද : 124 ක් ඉන්නවා පුත්තලමෙන් හඬක් !

තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ අද (26) ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත් විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් එහිදී අගමැති පවසා ඇත.

ශ්‍රී ලංකා පෙරමුණ සඳහන් කරන්නේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන විටත් ඇති බවයි.

124ක් ඉන්නවා - පුත්තලමෙන් හඬක්

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු වන සනත් නිශාන්ත පවසා ඇත්තේ , අගමැති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124 දෙනකු සිටින බවයි.

එම 124 නොසලකා හැර 113 නොපෙන්වන කණ්ඩායමකට යම් විදියකින් හෝ අගමැති ධුරය බාර දුනහොත් අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම මන්ත්‍රීවරුන් 124 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බවත් ඔහු පවසයි.

 

මහින්දගෙන් බලය ගිලිහෙයි !

මේ වන විට පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ බහුතරය තහවුරු කිරීමට සමස්ථ විපක්ෂය සමත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

සමගි ජනබලවේගය පක්ෂය විසින් , ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූ විට, 113 හදා ගන්නේ නැතුව විශ්වාස භංග යෝජනා ගෙනැවිත් එය ආණ්ඩුවට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් වේවි කියා විරුද්ධ වුවත් , මේ වන විට මන්ත්‍රීවරුන් 120ක් තම පාර්ශ්වය සමග බව ඔහු පවසනවා.

අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .

 "දැන් ඔන්න 113ට 120ක්ම හරි. අපි ගණන් හදලා බලමු. විපක්ෂයට හිටියේ මන්ත්‍රිවරුන් 65යි. අපි 42ක් විපක්ෂයට ආවාත් තුනක් ආපසු ගියා. දැන් ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමේ 39 එකතු කළාම 104යි. අන්තර්කාලින ආණ්ඩුවකට අවස්ථාව සලසමින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 10ක් ලිඛිතව ප්‍රකාශ කළා. දැන් 114යි. ඒ අතරේ 20 වන සංශෝධනයේ දී ආණ්ඩුවට සහයට දීමට තීරණය කළ මුස්ලිම් මන්ත්‍රිවරුන් 3ක් ආණ්ඩුවට ලබා දෙන සහය ඉවත් කර ගෙන තම පක්ෂ වෙත යෑමට තීරණය කළා. දැන් 117යි. ඒ වගේම නාලක ගොඩහේවා ඇමතිතුමාත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමාත් චරිත හේරත් කෝප් සභාපතිතුමාත් අන්තර්කාලින ආණ්ඩුවකට සහය දක්වා ආණ්ඩුව ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. දැන් 120යි. ඒ වගේම තම මතය දැනට ප්‍රසිද්ධ නොකළ තවත් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් විශ්වාසභංගයකදී සහය දැක්වීමට සිටින බව ඉතාම විශ්වාසයෙන් කියන්න කැමතියි."

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා, වැඩිදුරටත් අනාවරණය කර සිටියේ ,පසුගිය දින වල අගමැති මහින්ද රාජපක්ෂ වෙත , සහය පළකිරීමේ යෝජනාවක් අසාර්ථක වූ බවයි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ඒ අනුව අගමැති මහින්ද ට සහය දක්වන යෝජනාවක් වෙනුවෙන්, පෙරේදා සිට කටයුතු සූදානම්ව තිබෙනවා. ඊට පොදුජන පෙරමුණේ ලේකම් ,මැදිහත්වීමක් කර , මන්ත්‍රීවරුන්ට අත්සන් තැබීමට නියෝග කර තිබෙනවා.එහෙත් ඔහුට එක්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ , මන්ත්‍රීවරුන් 46ක් පමණයි.

කෙසේ වුවත් මෙහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර සිටියේ ය.

"ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් මේ අර්බූදය මැද බල පොරයක් හදනවාට වඩා කළ යුතු දේ වන්නේ අන්තර්කාලින සර්ව පාක්ෂික ආණ්ඩුවට ඉඩ දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීමයි. අගමැතිතුමා ඉල්ලා අස්වුණොත් ඇමති මණ්ඩලය ඉබේම විසිර ගොස් අන්තර්කාලින ආණ්ඩුවට අවස්ථාව සැලසෙනවා.

20 ත් රිවර්ස් : කැබිනට් අනුමැතිය ලැබිලා !

20 වැනි සංශෝධනය ඉවත්කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට අද (25) රාත්‍රීයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා වන යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මෙහිදී යළි බලාත්මක වන්නේ 19 වැනි සංශෝධනය වන අතර එයත් සංශෝධන සහිතව බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවත් 20 සංශෝධනය ගෙනෙන අවස්ථාවේ ආණ්ඩුවේ පාර්ශ්ව කියා සිටියේ රට ඉදිරියට ගෙන යන්න 20 අත්‍යවශ්‍ය බවය. අවසානයේ එය මුලාවක් බව රට හමුවේ තහවුරු ව ඇත.

 

අරලිය ගහ මැදුර ඉදිරිපිට උද්ඝෝෂකයන් ඉවත් කරන්න : අධිකරණ නියෝගය නොලැබෙයි !

#GoHomeGota2022 අරගලයට සමගාමීව මේ වන විට පිරිසක් අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙමින් සිටින අතර ඔවුන් ඉවත් කිරීමට පොලිසිය ඉල්ලූ අධිකරණ නියෝගය ප්‍රතිකේෂ්ප වී ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම්වලට තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවය.

කෙසේ වෙතත් උද්ඝෝෂකයන් මහජන පීඩාවක් ඇති වන ලෙස කටයුතු කලහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 

ජනාධිපති දෙපා නැමැඳ කල් ඉල්ලයි : කල් දුන්නොත් බුදු සරණයි !

උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට පැවති සියලු ම රජයන් වග කිව යුතු අතර, ඒවාට තාවකාලික හා තිරසර විසඳුම් ලබා දීමට අප රජය මේ වන විට විධිමත් මාර්ගයකට අවතීර්ණ වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .

ඒ මහා නායක හිමිවරුන් වෙත ලිපියක් යවමිනි.

තමන් විසින් ගනු ලබන විධිමත් මාර්ගයකට අවතීර්ණවීමේ නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට යම් කාලයක් තමන් වෙත ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නායක හිමිවරුන්ගෙන් ‘දෙපා නැමැද ඉල්ලා සිටින’ බව එහි සඳහන් ය. ඒ අතර එම ආර්ථික අර්බුදයට නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඉතා ගෞරවයෙන් යුතුව ඉදිරියේදීත් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසයි.

 ජනාධිපතිවරයා යැවූ සම්පුර්ණ ලිපිය පහත පළවේ.

“අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්ස,

රට තුළ උද්ගත ව ඇති වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදය කඩිනමින් විසඳීමෙහි ලා ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳවයි.

වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදය විසඳීමෙහි ලා ඔබ වහන්සේලා විසින් මා වෙත, අග්‍රාමාත්‍යතුමන් වෙත සහ විපක්ෂ නායකතුමන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් වෙත 2022.04.20 වන දින යොමු කරන ලද ලිපිය හා බැඳේ.

ඔබවහන්සේලා විසින් මීට පෙර මා වෙත එවන ලද, එනම්: 2022 අප්‍රේල් මස 04 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ අන්තර්ගත කරුණු කිසි සේත් මා විසින් නො සලකා හැර නොමැති බව ඉතා ගෞරවයෙන් යුතුව ඔබවහන්සේලා වෙත ප්‍රථමයෙන් ම කාරුණිකව ප්‍රකාශ කර සිටිමි.

මේ වන විටත් ඔබවහන්සේලා විසින් පෙන්වා දෙන ලද රටේ මතු වී ඇති ආර්ථික අර්බුදය වහා ම විසඳීමෙහි ලා අප විසින් ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. ජනතාව මුහුණ දෙන ඉතා අසීරු ජීවන තත්ත්වය පිළිබඳව මා හට අවබෝධයක් ද නැතුවා නො වේ. දෛනික, සංඛ්‍යාලේඛන හා දත්ත මත පදනම්ව, විශේෂඥ සහාය ද ඇතිව මා අමාත්‍ය මණ්ඩලය සමඟ කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමි.

ඒ අනුව, මහජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර, ඖෂධ, ගෘහස්ථ ගෑස් මෙන් ම නොයෙකුත් ඉන්ධන සැපයීම් සම්බන්ධව සකස් කරන ලද සැලසුම් මේ වන විටත් දැඩි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ අනුව, නව මුදල් අමාත්‍යවරයා, නව මහ බැංකු අධිපති සහ නව භාණ්ඩාගාර ලේකම්, මවිසින් පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයින්ගේ මඟ පෙන්වීම මත, අදාළ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ මිත්‍ර රටවල් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටිති.

එහි ප්‍රතිඵලයක් වශයෙන් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල” හා ඉන්දීය රජය දැනටමත් යහපත් ප්‍රතිචාර දක්වා ඇති හෙයින්, පවතින ආර්ථික අර්බුදයට තිරසර විසඳුමක් ලබා ගන්නා තෙක් ඉදිරි සති කිහිපය තුළ තාවකාලික විසඳුමකට යා හැකි බවට තරයේ විශ්වාස කරමි.

මා ජනාධිපති ලෙස පත් වූ වහා ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නීති විශාරදයන්ගෙන් හෙබි කමිටුවක් පත් කරන ලදි. එම කමිටුවේ සාමාජිකයන් වනුයේ:

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා - සභාපති
විශ්‍රාමික මහාචාර්ය ජී. එච්. පීරිස් මහතා
විනිසුරු ඒ. ඩබ්. ඒ. සලාම් මහතා
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා
ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ මහතා
මහාචාර්ය ඒ. සර්වේස්වරන් මහතා
මහාචාර්ය ඩබ්. සෙනෙවිරත්න මහතා
ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා
කෞෂල්‍ය මොල්ලිගොඩ මහත්මිය - ලේකම්

මෙම කමිටුව වසර දෙකක පමණ කාලයක් තුළ විවිධ දේශපාලන පක්‍ෂ, විවිධ කණ්ඩායම් සහ විශේෂඥ පුද්ගලයින් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා නව ව්‍යවස්ථාවකට අදාළ කෙටුම්පත් සකස් කරමින් පවතී. එම කෙටුම්පත සකස් කොට අවසන් කිරීමට ආසන්න බව ද කමිටුව විසින් මට දන්වා ඇත. එසේ සකස් කරන ලද කෙටුම්පත ලැබුණු විගස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලද පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ගෞරවයෙන් දන්වා සිටිමි. එසේ ම ඔබ වහන්සේලාට ද එම කෙටුම්පතෙහි පිටපතක් ලැබීමට සලස්වන බැව් කාරුණිකව දන්වමි.

රටේ ජනාධිපතිවරයා වශයෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම උදෙසා මම කැප වී සිටිමි. ඔබවහන්සේලා විසින් සඳහන් කොට ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව ද පාර්ලිමේන්තුව තුළින් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඒ පිළිබඳව මාගේ සහයෝගය දක්වන බව ද, එවැනි සංශෝධනයක් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එක් ව සිදු කළ යුත්තක් බැව් ද කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.

තව ද, රටේ පවතින වර්තමාන තත්ත්වයට ස්ථීරසාර විසඳුමක් උදෙසා තම දායකත්වය අපේක්ෂාවෙන් සියලු ම දේශපාලන පක්ෂවලට සර්වපාක්ෂික සමුළුවට කරන ලද ආරාධනාවට ද, අමාත්‍ය ධුර භාර ගනිමින් රට පත් ව ඇති තත්ත්වයෙන් මුදවාලීම සඳහා සහාය ලබා දෙන ලෙසට පිරිසිදු චේතනාවෙන් යුතුව කළ ඉල්ලීමට ද මේ වන තෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නො ලැබීම කනගාටුවට කරුණකි. එසේ වුවත්, මාගේ ආරාධනය සියලු දේශපාලන පක්ෂ සඳහා තවදුරටත් එලෙස ම පවතින බව ද දන්වනු කැමැත්තෙමි.

අප කුමන දේ කළත්, සියලු ක්‍රියාදාමයන් ව්‍යවස්ථානුකූල විය යුතු අතර ජනතා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම වත්මන් ව්‍යවස්ථාව තුළ සිදු විය යුතු ය. එ නිසා, මා හෝ අප රජය හෝ කිසිදු අවස්ථාවක වත් ඔබවහන්සේලා ඉදිරිපත් කරන යෝජනා හෝ ජනතා අභිලාෂයන් හෝ බැහැර කොට කටයුතු නො කරන බවට සිහිපත් කරමි.

අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව රටක පරිපාලන කටයුතු මෙහෙයවිය නො හැකි ය. එසේ ම අමාත්‍ය මණ්ඩලයක් නොමැති වීම ප්‍රායෝගික ද නො වේ. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහාය ද ඇතිව, තරුණ මන්ත්‍රීවරුන් බහුතරයකින් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට මා හට සිදු විය. දැවෙන ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ම කෙටිකාලයකට මෙම පත්කිරීම් සිදු කළ බව ද ගෞරවයෙන් සඳහන් කරමි.

මෙතෙක් මාගේ ධුර කාලය වූ වසර දෙකහමාරක් තුළ නොයෙකුත් දේශපාලන පක්‍ෂ මෙන් ම නොයෙකුත් ජන කණ්ඩායම්, විශ්වවිද්‍යාල ශිෂ්‍යශිෂ්‍යාවන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් පවත්වන ලද උද්ඝෝෂණ, පෙළපාලි, සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන අයුරින් මාර්ග අවහිර කිරීම් වැනි දෑවලදී කිසිදු ආකාරයක බැටන් පොලු ප්‍රහාර හෝ කඳුළු ගෑස් වැනි සාමාන්‍යයෙන් උද්ඝෝෂණ මර්දනය කරන කිසිදු ආකාරයක කටයුත්තක් අපගේ රජය විසින් නො කරන ලද බැව් සිහිපත් කරනු කැමැත්තෙමි. මාගේ කාර්යාලය ඉදිරිපස සිටිමින් කරන ලද කිසිදු විරෝධතාවයකට හෝ උද්ඝෝෂණයකට පොලිසිය / ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් පහර දීම් වැනි මර්දනකාරී ක්‍රියා අනුගමනය නො කරන ලද බැව් ඔබ වහන්සේලාට ගෞරවයෙන් සිහිපත් කරමි.

2022.04.19 වන දින මහජන විරෝධතාවය අතරතුර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මා දැඩි සේ කම්පාවට පත් වන අතර ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කණ්ඩායම් කිහිපයකට ම උපදෙස් ලබා දී ඇත. එම පරීක්ෂණ අවසන් වූ වහා ම ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ඔබවහන්සේලා ද සඳහන් කරන පරිදි දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට පැවති සියලු ම රජයන් වග කිව යුතු අතර, ඒවාට තාවකාලික හා තිරසර විසඳුම් ලබා දීමට අප රජය මේ වන විට විධිමත් මාර්ගයකට අවතීර්ණ වී ඇති බැවින්, එයින් නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට යම් කාලයක් අප වෙත ලබා දෙන මෙන් ඔබවහන්සේලාගෙන් දෙපා නැමැද ඉල්ලා සිටින අතර ම ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා ඉතා ගෞරවයෙන් යුතුව ඉදිරියේදීත් අපේක්ෂා කරමි.

සියලු දේශපාලන පක්‍ෂ එකතු කර ගෙන වත්මන් අර්බුදකාරී දේශපාලන වාතාවරණය සමථයකට පත් කිරීමට හා අද අප රට පත් ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඔබවහන්සේලා මැදිහත් වී යම් කිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට යෝජනා කරන්නේ නම්, ඒ සඳහා මාගේ පූර්ණ දායකත්වය ලබා දෙන බැව් ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.
මෙයට,
ශාසනස්ථිතිකාමී,
ගෝඨාභය රාජපක්ෂ
2022 අප්‍රේල් මස 21 වන දින”

කල් දුන්නොත් බුදු සරණයි !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , තමන් වැඩිදුරටත් කිසිවක් නොකියන බවත් , කල් දුන්නොත් බුදු සරණයි කියා පමණක් කියන බවයි.

Page 338 of 463