V2025

පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතියත් කැඳවයි

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබේ.

රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති හදිසි කැබිනට් හමුවක් කැඳවයි !

අද (06) හවස විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට අද පස්වරු 5ට මෙම රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත .

අද හර්තාලය සමග රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.

කෙසේ වුවත් විපක්ෂය ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ මේ වන විට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් හෝ නොමැති බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය වගකීම කරට නොගෙන සිටීම හේතුවෙන් පොහොට්ටු ආණ්ඩුව තවදුරටත් තිබෙන බවටත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් චෝදනා කරයි.

රාසමණික්කම්ගේ චෝදනාවලට රනිල් පිළිතුරු දෙයි !

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (06) තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රසමානික්කම් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය තරයේ හෙළා දැක්කේය.

2013 පෙබරවාරි 21 වැනි දින මහින්ද රාජපක්ෂගෙන් මඩකලපුව පද්දිරුප්පු ආසනයේ සංවිධායක ධූරය ලබාගත් රාසමණික්කම් මුලින් සන්ධාන මන්ත්‍රීවරයකු වීම පිළිබඳව ඔහු අවධානය යොමු කළේය.

තමන් කිසිවිටෙක රාජපක්ෂවරුන් සමඟ ඩීල් තබා නොමැති බව ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයා, 2005 ජනාධිපතිවරණයේදී තමන්ව පරාජය කිරීමට රාජපක්ෂවරුන් එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ ඩීල් දමා තිබූ බව ජනතාවට සිහිපත් කළේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ පසු නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට රංජිත් සියඹලාපිටිය ගත් තීරණයට සහය පළ කරන බවත් ඒ වෙනුවට විපක්ෂයේ සිට එම ධූරය නැවත ලබා ගැනීමට සභාවේ විශ්වාසය ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය. එය හොඳ පූර්වාදර්ශයක් ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය කතා නායක ධූරයට සියභලාපිටිය  විපක්ෂයේ ඡන්දවලින් තරග කරන්නේ නම් ඊට තමා සහයෝගය ලබාදෙන් බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

එයට සියඹලාපිටිය මන්ත්‍රීවරයා එකඟ වූ බැවින් තමා ලබාදුන් වචනය වෙනස් කිරීමට කිසිදු හේතුවක් නොතිබුණු බවද ඔහු පැවසීය.

බදාදා සවස වන විට සියඹලාපිටියට එරෙහිව පාර්ලිමේන්තුවේ බහුතර බලය උරගා බැලීමට රජය උනන්දු නොවන නිසා රජය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව මාධ්‍ය මගින් තමා දැනුවත් වූ බවත් ඔහු පැවසීය .

පසුදා ශ්‍රීලනිප පා.ම. නිර්මාල් සිරිපාල ද මේ කතාවම තහවුරු කළේය. ස්වාධීන කණ්ඩායමෙන් සියඹලාපිටිය යෝජනා කරන්නේ නම් තමා සහය පළ කරන බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය .

සියඹලාපිටියට සහය පළ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ගැටලුවක් පවතින බවට ලැබුණු දැනුම්දීම අනුව දෙමළ ජාතික සන්ධානයට කතා කරලා මේ දෙපිරිස එකට එන්න පුළුවන්ද කියලා ඇසූ බවත් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ SJB අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත් ඔවුන් විසින්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව යැයිද දැනගන්නට ලැබී ඇත.

එවිට ඔහු යෝජනා කළේ රජය අපේක්ෂකයෙකු නම් නොකරන බැවින් විපක්ෂයේ කණ්ඩායම් දෙකට ඡන්දයකට යා හැකි නමුත් පසුව නැවත එක්ව කටයුතු කළ යුතු බවයි.

මනෝ ගනේෂන්, අනුර දිසානායක සහ ශ්‍රීදරන් යන මන්ත්‍රීවරුන් ඒ අවට සිටි අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමන්තිරන්, රාසමණික්කම් සහ අඩෙයිකලනාදන්ද සමඟ තමන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු පැවසීය. මෙම ගැටලුව විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව ඔහු පැවසීය.

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන් ඊට සහය පළ කරන බව ප්‍රකාශ කළ බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සුමන්තිරන් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට මුලින්ම සහයෝගය දුන්නේ ඔහුයි.

රාසමණික්කම් තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවත් එහි ප්‍රතිඵලය වී ඇත්තේ මෙම අසත්‍ය චෝදනාව මත ජනතාව මේ වනවිට තම නිවස වට කිරීමට සූදානම් වීම බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනතාව තමන්ට එරෙහිව පෙළපාලි යාමට අවශ්‍ය නම් තමාට ප්‍රශ්නයක් නොමැති බව පැවසූ රනිල් වික්‍රමසිංහ, නමුත් පාර්ලිමේන්තු කතා යොදා ගනිමින් ජනතාවට තර්ජනය කිරීම වැරදි බව ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයත් සමඟ මුළු රටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි වී ඇති බවයි. මන්ත්‍රීවරුන් පෞද්ගලික න්‍යාය පත්‍ර මත රණ්ඩු කරමින් මුළු දවසම නාස්ති කරන බවට ඔවුහු චෝදනා කළහ. රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන සභාවට නොපෙනී ගොස් ඇති බව ඔහු පැවසීය. ජනතාවට ඉන්ධන හෝ මුදල් නැත, ජුනි මාසය වන විට රටේ කුමක් සිදුවේදැයි අපි නොදනිමු.

පාර්ලිමේන්තුවේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තුවට නොහැකි වී ඇති බවත්, මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. සභාව කතා කර ඇත්තේ එකිනෙකාට පහර දීම පමණක් බවත් ඔහු පැවසීය.

තමන් ජනතාව සමඟ සිටින බව හෝ මහජනතාවගේ විශ්වාසය ඔවුන්ට ඇතැයි පාර්ලිමේන්තුවට පැවසිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කළේය. සභාවේ එකම උත්සුකය විය යුත්තේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම බවද ඔහු කියා සිටියේය

ඔවුන් වෙනුවෙන් කටයුතු කරන මහජනතාවට සහතිකයක් ලබාදීමට සභාව පියවර ගන්නා ලෙසත් එසේ නොකළහොත් මහජනතාව විසින් පාර්ලිමේන්තුව වටලනු ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කුමක් කිරීමට සැලසුම් කර ඇත්ද යන්න පිළිබඳව අද දිනයේ කටයුතු ආරම්භ කිරීමට පෙර තීරණයක් ගත යුතු බවත් එසේ නොමැතිනම් සියලු දෙනාම ගෙදර යා යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

පාර්ලිමේන්තුව 17 දක්වා කල් තියලා !

මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර ඇත .

හොරු ගෝ ගම වෙත එල්ලවූ නින්දිත පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය දැක්වූ බවත් එහිදී කතානායක සිය කාමරයේ නිහඬව සිටීම ගැනත් බරපතළ විරෝධයක් එල්ලවී ඇති බවත් වාර්තා වෙයි .

එහිදී කතානායක කාමරයට පොලිසිය පවා පැමිණි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ ඔවුන් ඉවතට ගිය බවත් වාර්තා වෙයි .

 

හොරු ගෝ ගමට : දරුණු පොලිස් මර්දනයක් !

බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුමෙහි පිහිටවූ හොරු ගෝ ගම විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය අද (06) අමානුෂික කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර සිටියේ ය.

මේ දරුණු මර්දන පිළිවෙත හේතුවෙන් මේ වන විට කිහිපදෙනෙකු රෝහල් ගතකර ඇති බවත් දැනගන්නට තිබේ .

මෙහිදී වඩාත් නින්දිත අමානුෂික සිදුවීම වන්නේ විරෝධතාකරුවන් වෙනුවෙන් ජනතාව සපයා තිබූ ආහාර සහ පානීය ජල බෝතල් තොග විනාශ කරවීමට කැරලි මර්දන ඒකක යොදවා තිබීමය.

කෙසේ වුවත් පුරවැසි අරගලකරුවන් පොලිසියේ දරුණු මර්දනය හමුවේ පවා හොරු ගෝ ගම ආසන්නයේ රැදී සිටිමින් නැවත සංවිධානය වන බවත් වාර්තා වෙයි.

ඊයේ (05) විරෝධතා පාගමනකින් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛ පුරවැසි ජනතාව මේ ස්ථානයේ හොරු ගෝ ගම පිහිටවූ අතර , ඒ රටේ මතුව ඇති අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුව නිසි දායකත්වයක් නොදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ය.

ඊයේ දිනයේද පොලිසිය විසින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් දියත් කළේය .

එය පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසලට සීමා නොකළ පොලිසියේ ඉහළ නිළධාරීන් කිහිපදෙනෙකු කැරලි මර්දන ඒකක යොදවා , දියත උයන, ඒ අසල කඩ සාප්පු සහ මහා මාර්ගය දෙසටත් ප්‍රහාරය ව්‍යාප්ත කළ බව මාධ්‍ය වාර්තා තහවුරු කර තිබිණ .

ඒ හේතුවෙන් දියත උයන වෙත පැමිණි සිටි කුඩා දරුවන් පවා ප්‍රහාරයට ලක්වූ ආකාරය සමාජ මාධ්‍ය හරහා වාර්තා කරනු දකින්නට ලැබිණ .

අරගලය ගැන පොලිසියේ ඉල්ලීම සලකා බැලීමෙන් : කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉවත් වෙයි !

ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කිරීමට ගිය ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  අද ඉවත් විය.

ගෝල්ෆේස් අරගල බිම පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (06) ඉවත්ව ඇති බව වාර්තා වෙයි .

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවේන්ද්‍ර වික්‍රම පවසා ඇත්තේ මෙම අරගලය සම්බන්ධයෙන් නඩු දෙකක් මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පොලිසිය ඉදිරිපත් කර ඇති බවයි.

මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණය සූදානම් නම් එම ඉල්ලිම තමා ඉදිරිපත් කරන බව රජයේ නීතිඥ ශවේන්ද්‍ර වික්‍රම එහිදී පවසා ඇත .

කෙසේ වුවත් අදාළ ඉල්ලීම කුමක් ද යන්න සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී අනාවරණ නොකෙරුණ බවත් වාර්තා වෙයි .

මෙහිදී අරගලකරුවන් වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් සමග පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් රජයේ නීතීඥවරයා ඉදිරිපත් කළ එම කරුණු සම්බන්ධව විරෝධය පළ කර ඇත .

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල තමා මෙම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එම ඉල්ලීම වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමුකරන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටි බවත් වාර්තා වෙයි .

අරගලය සම්බන්ධයෙන් පොලිසියට හිතුමතේ අධිකරණ නියෝග ගන්න දෙන්න එපා - නීතිඥ සංගමය

පොදුජන අරගලය සම්බන්ධයෙන් පොලිසිය යම් අධිකරණ නියෝගයක් ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට අදාළ සෙසු පාර්ශ්වයන්ගෙන් ද කරුණු විමසීමක් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර ඇත .

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායමක් අද (06) මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත .

පොලිසිය විසින් මෙවැනි නියෝග ඒක පාර්ශ්විකව ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් තමන්ට පෙනී යන බව සඳහන් කර ඇති ජනාධිපති නීතිඥවරයා එය වැරදි ක්‍රියාවක් බවත් පවසා ඇත .

සජබ මන්ත්‍රීට මැති සබේ එපා වෙයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කිහිපදෙනෙකු ගේ දුර්වල හැසිරීම හේතුවෙන් මේ වන විට සජබ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පැමිණීමත් අප්‍රසන්නවී ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසා සිටියේ ‘විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයේ හැර තවත් සභාවට නොපැමිණෙන බවය.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි .

පක්ෂයේ නායක තුමාගේ අවසරය මත මේ පියවර ගන්නා බවද රෝහන බණ්ඩාර එහිදී පැවසීය .

පාර්ලිමේන්තුවට පැමිණි පසු දිනෙන් දින සංගීත පුටු තරගයක මෙන් ආසනයෙන් ආසනයට යන්න සිදුවී ඇතැයි ද එමෙන්ම පාර්ලිමේන්තුවේ දී එළියෙ ජනතා ප්‍රශ්න කතා නොකරන බැවින් මෙම තීරණය ගත් බව ද රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

නිරායුද සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් !

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් දැඩි කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත .

නිරායුද සිසුන් ඉලක්ක කර පොලිසිය එල්ල කළ මේ කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ලිමේන්තු පිවිසුම අසලට පමණක් සීමා නොවුණු අතර දියත උද්‍යානයට පවා කඳුළු ගෑස් පතිත වූ බව ජනතාව පවසයි .

එහෙයින් රැකියා කටයුතු සඳහා ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි ජනතාවද ඉමහත් පීඩාවට පත්ව ඇත .

කෙසේ වුවත් නැවත සංවිධානය වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා දක්වමින් සිටියි.

ඉන්දීය ණය පහසුකමින් යකඩ ඇද්දාට : නීතිඥ සංගමය අධිකරණයේ !

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය වහාම කරුණු පැහැදිලි කළ යුතුව ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දි ඇත .

ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර ඇත .

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද සැලකිල්ලට ගැනින.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා එහිදී සඳහන් කර සිටියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ණය පහසුකමින් සියයට 30 ක ප්‍රමාණයක් වැය කරමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කර ඇති අතර ඒ බව මුදල් අමාත්‍යවරයාද පිළිගෙන ඇති බවත් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි .

රජය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ සඳහන් කර සිටියේ ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණයට යොමු කරනු ලැබ ඇති බවය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනකු නම් කරනු ලැබ ඇත.

TNA දේශපාලන සම්බන්ධයට කණකොකා හඬයි !

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග තවදුරටත් දෙශපාලනික ලෙස කටයුතු නොකල යුතු බවට අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම් දි අදහස් පල වි තිබෙන බව වාර්තා වෙයි .

අද පාර්ලිමේන්තුවදී ශානික්‍ය රාසාමානිකම් මන්ත්‍රීවරයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විචේචනය කිරීම ඇතුළු කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමෙන් පසුව මේ තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි .

නියොජ්‍ය කතානායක පත් කිරිමේ ජන්ද විමසීමේදී විපක්ෂයට බහුතරය පෙන්විමට තිබු අවස්ථාව TNA මන්ත්‍රී සුමදිරන් විසින් විසින් හිතාමතා අවුල් කල බව කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇති බවත් දැනගන්නට ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරය ට පත් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර මුලසිටම එකඟතාවක් තිබු බවත් එහිදී හිටපු අගමැතිවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව තමන් ගත් ස්ථාවරය අද දිනයේ වෙනස් නොකල බව එජාප නායකයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

මේ අතර එක්සත් ජාතික පක්ෂය දැන් වෙනත් දෙමල පක්ෂ සමග සහයෝගීතාව ඇරඹීම කල යුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමජිකයන් සදහන් කර ඇති බවත් වාර්තා වෙයි .

සජිත් පාවාදුන්නා : ප්‍රසිද්ධ විවාදයක් සඳහා අභියෝගයක් !

අද (05) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පැවති ජන්ද විමසීමේදී එය ආණ්ඩුවේ ජයග්‍රහණයක් බවට පෙන්නුම් කිරීමට කටයුතු කර සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවට චෝදනා එල්ල වෙයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සිට පසුගියදා ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සෘජුවම විපක්ෂ නායක වෙත චෝදනා කරනු ලැබිණ .

එහිදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියේ , ඊයේ සිදුවූ සාකච්ඡාව අවස්ථාවේ සජබ හෝ විපක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානායකවරයකු ඉදිරිපත් කරන බවක් සජබ නියෝජිතයන් නොපැවසූ බවය.

එසේම එවැනි පසුබිමක අන්තිම මොහොතේ විපක්ෂය බෙදමින් ආණ්ඩුව වෙත වාසි සැලසෙන ආකාරයට සජබ නියෝජිතයකු නියෝජ්‍ය කතානායක ලෙස ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය .

එහිදී හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් තීන්දුව ඊයේ තිරූ නඩේෂන් නිවසේ හේමා ප්‍රේමදාස ඇතුළු කිහිපදෙනෙකු ගේ රහසිගත සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂි ඇති බවත් එබැවින් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයක් සඳහා අභියෝග කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නියෝජ්‍ය කතානායක ජන්දය අස්සේ : මහා පාවාදීමක් !

ස්වාධින කණ්ඩායම' නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ අද (05) රහස් ඡන්දයෙන් නියෝජ්‍ය කථානායක ලෙස තේරී පත්වීය.

 නියෝජ්‍ය කතානායක සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ගේ නම නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත එම යෝජනාව ස්ථිර කළේය .

එහිදී සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම රංජිත් මද්දුමබණ්ඩාර විසින් යෝජනා කර සිටියේය .

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එම යෝජනාව ස්ථිර කළ අතර ඒ අනුව නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වූ අතර
එහිදී රංජිත් සියඹලාපිටිය ට ඡන්ද 148 ක්ද ඉමිතියාස් බාකීර් මාකර් ට ඡන්ද 65 ලැබිණ .

ඒ අනුව වැඩි ඡන්ද 83 ක් ලබා රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය…

කෙසේ වුවත් මෙහිදී සමගි ජනබලවේගය පක්ෂය මහා දේශපාලන පාවාදීමක් සිදුකළ බවට චෝදනා එල්ලවී තිබේ .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයකු පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ අසුන් ගන්නේ නම් ඔහුට සහය දැක්වීමට සජබ නියෝජිතයින් ඊයේ දිනයේ සහතික වූ බවයි.

කෙසේවුවද එම එකඟත්වයට පිටුපා අද දිනයේ ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කිරීම බරපතල පාවාදීමක් බවත් ඔහු සඳහන් කළේය .

අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටින මන්ත්‍රීවරුන් ප්‍රමාණය දෙස බලන විට එය ‌බෙදී ගොස් ඇත්තේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 117ක් ලෙස සහ විපක්ෂයට මන්ත්‍රීවරුන් 62ක් ලෙසයි .

ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස 35 දෙනකු පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි අතර එහිදී ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම යෝජනා කළ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ට එකඟවූ ආකාරයට නියෝජ්‍ය කතානායක ධූරය ලැබීමට ඉඩ නොදීම ප්‍රශ්නයක් බවත් , ඒ නිසා ආණ්ඩුව සුළුතරය බව පෙන්වීමේ අවස්ථාව අහිමිවූ බවටත් සමගි ජනබලවේගය වෙත චෝදනාව එල්ලවී ඇත .

ඔවුන් පවසන්නේ , ජී.එල්. පීරිස් අමාත්‍යවරයා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ට සහය දෙන බව පැවසීම බෙදුම් ජන්දයක් ඉල්ලීමට තරම් හේතුවක් නොවන බවයි.

 

නියෝජ්‍ය කතානායක ධූරයට : රහස් ජන්දයක්

අද (05) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා රහස් ජන්දයක් පැවැත්වීමට සිදුව ඇත.

ඒ අනුව මේ වන විට එකී ජන්ද විමසීම ඇරඹි තිබේ.

මේ ආකාරයට නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ජන්ද විමසීමක් සිදුවන්නේ , ඒ සඳහා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිට මේ වන විට ස්වාධීන ව සිටින රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ ඉම්ටියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන් ගේ නම් යෝජනා වූ නිසාය.

කතානායක නිවේදනය සමග නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පළමුව නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා ගේ යෝජනාවක් අනුව රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ගේ නම යෝජනා විය. එය ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත විසිනි.

එහිදී ජී.එල්. පීරිස් අමාත්‍යවරයා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ සහය ලැබෙන බව පැවසීය.

ඒ සමග නැගීසිටි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර විසින් නියෝජ්‍ය කතානායක ලෙස ඉම්ටියාස් බාකිර් මාකර් මන්ත්‍රීවරයා ගේ නම යෝජනා කර සිටියේ ය. ඒ සියඹලාපිටිය මන්ත්‍රීවරයා ට ආණ්ඩුවේ සහය ප්‍රකාශ කළ නිසා බෙදුමක් ඉල්ලන බව පවසමිනි.

එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සම්මත කරනු ලැබිණ.

පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවතලයි !

පොලිස් බලහත්කාරය යොදවා ඊයේ (04) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසලදී අත්අඩංගුවට ගනුලැබූ සාමකාමී උද්ඝෝෂකයන්ට ඇප ලබාදීමට කඩුවෙල අධිකරණය නියෝග කරනු ලැබිණ .

එසේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය සංවිධාන ඒකබාද්ධව පාර්ලිමේන්තුව අසලදී අද (05) සහ අනිද්දා (06) පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර ඊයේ (04) ප්‍රතික්ෂේප කළාය.

අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිටියේ අදාළ උද්ඝෝෂණය වැළැක්වීමට අදාළ හේතු වශයෙන් පොලීසිය ඉදිරිපත් කරන කරුණු ප්‍රමාණවත් නොවන බව පවසමින් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් යමෙකු මහජන පීඩාවක් ඇතිවන අයුරින් හැසිරුණ හොත් නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් මෙහිදී අධිකරණය සදහන් කළ බවත් වාර්තා වෙයි .

මෙම උද්ඝෝෂකයින් විසින් පවත්වනු ලබන විරෝධතා හේතුවෙන් අද (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ පාර්ලිමේන්තු සැසිවාරයන්ට බාධා පැමිණවිය හැකි බැවින් එම විරෝධතා නවතා දමන නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

මෙම උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගමන් ගන්නා මාර්ගවල රැදී සිටිමින් ඔවුන්ගේ වාහනවලට සහ ඔවුන්ට බාධා කිරීම හේතුවෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මේ හේතුවෙන් අදාළ විරෝධතා නවතා දැමීමට නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, පොලීසිය කළ එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.

279964299 548684730250440 5102833815471606527 n

අනුරට නඩු දානවා : යෝෂිත කියයි !

පෙරේදා (03) ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රාජ්‍ය දේපළ අවභාවිතා කළ දූෂණ චෝදනා ලාභීන්ගේ ලිපිගොනු ප්‍රමාණයක් අනාවරණය කළ අතර එහිදී අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ගේ නමත් සඳහන් විය.

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් අගමැති කාර්‍යාලයේ ලිපි ශීර්ෂයක් හරහා නිවේදනයක් නිකුත්කර ඇත .

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

FB IMG 1651685199244 1

අගමැති ඉල්ලා අස්වීම අසත්‍යක්ලු !

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩු පක්‍ෂ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

‘අගමැතිවරයා රටේ තියෙන ගැටලු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ආර්ථික, මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධවත්. එය බොහෝවිට හෙට හෝ අනිද්දා දිනයේ සිදුකළ හැකියි’ එහිදී අමාත්‍යවරයා පවසා ඇත .

කෙසේ වුවත් ඊයේ (03) වන තුරු අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් පැවති බව රහසක් නොවන බව දේශපාලන විචාරකයන් පවසයි .

ඔවුන් පෙන්වා දෙන්නේ අලුත් දේශපාලන ඩීල් එකක් හේතුවෙන් මේ ආකාරයට අගමැති වචන වෙනස් කර ජන අරගලය සමග සෙල්ලම් කිරීම අරඹා ඇති බව යි.

මේ වන විට අරගලය මර්දනය කිරීම ක්‍රමයෙන් තීව්‍ර කරමින් ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

රාජපක්ෂ මර්දනය ඇරඹේ : පාර්ලිමේන්තුව ඉදිරිපිට පැහැරගැනීමක් !

අද (04) පාර්ලිමේන්තුව ඉදිරිපිට පිවිසුම් මාර්ගය අසල සාමකාමීව උද්ඝෝෂණයේ යෙදුණු සිවිල් පුරවැසියන් පිරිසක් පොලිස් බලහත්කාරය යොදවා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

මේ විරෝධතාව පවත්වා ඇත්තේ ඉතාම සීමිත පිරිසක් වන බවත් එහිදී පොලිස් බස් රථයක පැමිණි කැරලි මර්දන භට පිරිසක් අමානුෂික ආකාරයට මේ සාමකාමී උද්ඝෝෂණයේ යෙදුණු පුරවැසියන් පැහැරගෙන ගිය බවත් එහි සිටි අප වාර්තාකරුවන් පවසයි .

එහිදී උද්ඝෝෂකයින් පැමිණ ඇත්තේ කතානායකට ලිපියක් බාරදීමට බවත් වාර්තා වන අතර එය පහත දැක්වෙයි .

එහිදී පොලිස් පැහැරගැනීමට ලක්වූ සාමකාමී උද්ඝෝෂකයන්ට පොලිස් පහරදීමක් සිදුව ඇති බවත් සඳහන් ය.

සාමකාමී විරෝධතා දැක්වීම පුරවැසි අයිතියක් බව පවසමින් අත්අඩංගුවට ගැනීමට එරෙහි වූවන්ට , එහි සිටි පොලිස් නිලධාරියෙකු තර්ජනය කර ඇත්තේ , මේ හරහා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර කතානායක දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙසේ පොලිස් පැහැරගැනීමට ලක්වූ උද්ඝෝෂකයන් මහරගම පොලිසියේ රඳවාගෙන සිටින අතර ඔවුන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , මේ වන විට ඉතාම පැහැදිලිව පොදුජන අරගලය මර්දනය කිරීම ආරම්භ වී ඇති බවයි.

සාමකාමී විරෝධතාකරුවන්ව මේ ආකාරයට පොලිස් පැහැරගැනීම් සිදුවනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් නොව මිලිටිරි පොලිස් රාජ්‍යක ලක්ෂණයක් බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මේ අතර නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ
ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව තම අවධානය යොමුව ඇති බවයි.

අදාළ නිවේදනය නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය , අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය තිබෙයි.

අදාළ නිවේදනය සඳහන් කරන ආකාරයට ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහට පොලිසිය දැඩිව තර්ජනය කර තිබේ .

ඊළඟ සිදුවීම ගෝල්ෆේස් විරෝධතා ව්‍යාපාරයට සහභාගී වී ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළ කළේ යැයි ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයන් දෙදෙනෙකුට යක්කල පොලිසිය මගින් (02) අත්අඩංගුවට ගෙන පහර දී තිබීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , මේ ආකාරයට අනීතික සහ පුරවැසි අයිතීන් කෙළෙසන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් පෞද්ගලිකව නෛතික ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=5994#sigProId7d2b83425f

Page 334 of 463