පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාරුව : රාජ්‍ය සේවා කොමිසමේ අවධානයට !
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ගේ ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුවී ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිසම හෙට (7) රැස්වන වන අතර එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාගේ මාරු වීම් සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ , රාජිත ශ්‍රී දමින්ද සහ කමල් සිල්වා මෙම මාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරු අතර සිටිති.

ලංකාවට ආහාර සහ ඖෂධ හිඟයක් : උදව් කරන්න UN ලෝකයෙන් ඉල්ලයි ?
ශ්‍රී ලංකාව වෙනුවෙන් ආහාර සහ ඖෂධ ලබාදීම සඳහා වන ගෝලීය ඉල්ලීමක් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටියි.
එම ඉල්ලීම සිදුකරන්න නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා රජය වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුව බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් හරහා කරුණු තහවුරු කරගෙන වාර්තා කර ඇත .
ඒ අනුව ජූනි මස 8 වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිල වශයෙන් මේ සඳහා වන ගෝලීය ඉල්ලීම සිදු කිරීමට නියමිතව ඇත.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙරට සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හමුවී මෙරට ඇති වීමට නියමිත ආහාර අර්බුදයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

නන්දලාල්ගේ මහ බැංකු අධිපති ධූර කාලය අවසන් : සේවා දිගුව රනිල්ගේ අතේ !
වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය මෙම ජූනි මස 30දා හමාර වීමට නියමිතය.
ඉන් පසුව නව මහ බැංකු අධිපතිවරයකු හෝ වත්මන් අධිපතිවරයාම නැවත පත්කිරීමට ජනාධිපතිවරයාට සිදු වෙයි.
පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීමට පෙර ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයා විසින් ලබාගත යුතුව ඇත . ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස සුදුසු නමක් නිර්දේශ කළ යුතුයි.
සාමාන්‍යයෙන් මහ බැංකුවට පත්කෙරෙන අධිපතිවරයකුගේ නිල කාලය වසර හයකි. ඒ අනුව වත්මන් අධිපති ආචාර්ය වීරසිංහ මේ ගත කරන්නේ 2016 වසරේ මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ නිල කාලයේ අවසන් මාසයයි.
සිය නිල කාලය සම්පූර්ණ නොකර ආචාර්ය කුමාරස්වාමි 2016 සිට 2020 දක්වා එම තනතුර දරා ඉල්ලා අස්වූ අතර ඉන්පසු වසර දෙකක් පමණ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, සහ අජිත් නිවාඩ් කබ්රාල් කෙටි කලක් මහ බැංකු අධිපති ලෙස කටයුතු කළා. නන්දලාල් වීරසිංහ පත්වෙන්නේ ඉන් පසුවය .
නමුත් ඒ සමගම 2016 සිට 2022 දක්වා වූ මහ බැංකු අධිපති ධූරයේ සය වසරක නිල කාලය අවසන්. ඊට අනුව දැන් නව අධිපතිවරයකු හෝ මෙම අධිපතිවරයාම නැවත පත්කිරීමට සිදුවෙයි. කොහොම නමුත් ව්‍යවස්ථාව අනුව නම් ඒ පත්කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය අත්‍යවශ්‍ය වෙයි.

ලාෆ් ගෑස් මිලත් ඉහළට
ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ.
එම සමාගමේ කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම නොකළ ලාෆ් ගෑස් සමාගම සැපයුම හෙට (6) නැවත ආරම්භ කිරීමට නියමිතය.

සහල් තොග සති දෙකකට පමණයි : මෝල් හිමියන් දන්වයි !
පවතින ආර්ථික අර්බුදය හමුවේ දිස්ත්‍රික්කයේ පෙර පැවති වී මෝල් 1000ක ප්‍රමාණය වෙනුවට සක්‍රීයව පවතින්නේ වී මෝල් 70ක් පමණක් බව සුළු හා මධ්‍යම ප්‍රමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි .
ඔවුන් ඊයේ (04) දිනයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සක්‍රීයව පවතින වී මෝල් 70ද, සහල් නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති දෙකකට පමණක් බවයි.
ඉදිරියේ දී සහල් හිඟතාව නිර්මාණය වී ඔඩුදුවන පසුබිමක සහල් පටවා ගත් ලොරි රථ හෝ ප්‍රවාහනය කිරීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.
ඊට හේතුව ලෙස සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ මිනිසුන්ට සහල් නොමැතිවීම කරණකොටගෙන පාරේ ගමන් ගන්නා සහල් රැගත් රථවලට ද පහර දී ඒවා ලබා ගැනීමට උත්සාහ ගැනීමට ඉඩකඩ ඇති බවයි.
කෘෂි ව්‍යාපාර කටයුතු අඩාල වීම හේතුවෙන් මේ වනවිට සහල් මෝල් හිමියන්ට සිය බැංකු ණය වාරික හෝ ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව පවතින බව ද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ .
මෙම ගැටලුව සඳහා වහාම ණය ගෙවීමට සහන කාලයක් ලබාදෙන ලෙසත්, එම සහනය රජය මැදිහත් වී ලබා නොදුනහොත් නියත වශයෙන් ම බැංකුවලට ද මෝල් හිමියන්ගෙන් තර්ජනයක් ඇතිවිය හැකි බවත් එහිදී අවධාරණය කෙරිණ .
මේ වනවිට බොහෝ පිරිස් සහල් තොග වශයෙන් ගෙන ගොස් සිය නිවෙස් හි ගබඩා කර ඇති බවත්, ඊට හේතුව සහල් වසර 05ක කාලයක් වන තෙක් තබාගත හැකි බවත් මෙහිදී සඳහන් විය.

මැයි 06 සිට : පැය 2 කට වැඩි විදුලි කප්පාදුවක් !
හෙට (06) දින සිට පැය 2 කට වැඩි විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව හෙට සිට 10 වනදා දක්වා දින 04ක් දෛනිකව පැය 02යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි .
එසේම ජුනි 11 සහ 12 යන දිනවල පැයක බැගින් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවද මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මේ අතර අද (05) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව සිදුනොකරන බවද මහජන උපයෝගිතා කොමිසම පවසයි .

ලංකාවේ සංචාරය නවත්වා ආපසු එන්න : රුසියාව දන්වලා !
ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාර අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියාව මෙරට සිටින රුසියානුවන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි .
ඒ අනුව මෙරට සංචාරය සඳහා පැමිණ සිටි රුසියානුවන් 300 දෙනෙකු පමණ අද (05) දිනයේදී කටුනායක ගුවන් තොටුපළින් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව මාධ්‍ය වාර්තා පවසයි .
රුසියාව බලා පියාසර කරන අවසන් එරෝෆ්ලොට් ගුවන් යානය මගින් අද දහවල් ඔවුන් මෙරටින් පිටව යාමට නියමිතව තිබෙන බවත් වාර්තා වෙයි .
මේ අතර එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රුසියානු බලධාරීන් දැනුවත් කර තිබෙන බවත් වාර්තා වෙයි . විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එම දැනුවත් කිරීම සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත .

සිකුරාදාට රාජ්‍ය සේවකයින් : ගෙදර ඉඳලා වැඩ !
සිකුරාදා දිනය රාජ්‍ය සේවකයන් සඳහා නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි .
ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 04ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කර ඇත .
ඇමතිවරයා මේ බව පැවසුවේ අදට (05) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙය රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් ගන්නා පියවරක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

අගමැතිකම ඩලස්ට දෙන්නැයි ඉල්ලීමක් ?
විමල්, ටිරාන් - ගම්මන්පිල ජනපති හම්බෙන්න ගිහින් ඩලස් අලහප්පෙරුම ව අගමැති කරන්න කියලා ඉල්ලීමක් කර ඇති බවට රාවයක් හේතුවෙන් , ඊයේ දේශපාලන කරලිය උනුසුම්ව ඇති බව වාර්තා වෙයි .
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ , ඔවුන් එවැනි කිසිම ඉල්ලීමක් කර නොමැති බවය. එසේම එවැන්නක් කවුරුන් හෝ සඳහන් කර ඇත්නම් එය ව්‍යාජ කට කතාවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත .
ඒ වගේම ඩලස් මන්ත්‍රීවරයත් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වා ඇත.
එහිදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මේ වෙලාවේ රනිල් ඉවත්කරන්න කුමන්ත්‍රණය කරන එක රටට කරන ලොකුම ද්‍රෝහිකමක් කියාය.
මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .
"මේ වෙලාවේ රට ම ලොකු අර්බුදයක .. දැන් අපට ඕන ජාත්‍යන්තරව මේ ගැන කටයතු කරන්න පුළුවන් ලෝකය පිළිගත්ත නායකත්වයක්. ජනාධිපතිතුමා රනිල්ව අගමැතිවිදියට පත්කරපු එක මේ අවස්ථාවේදී ගත්තු නිවැරදි තීන්දුවක්.
රනිල්ට මාස 6-7ක් දීලා බලමු.. රට ගැන හිතලා එතුමාට මෙවෙලාවේ අපෙත් සහයදිය යුතු වෙලාවක්. මේ වෙලාවේ රනිල් ගේ කකුලෙන් අදින්න ගියොත් මිනිස්සු අපිට පන්න පන්න ගහවි...''

අගමැතිට ළඟම අයගෙන් පරිස්සම් වෙන්න කියන්න : GR සාගලට දන්වයි !
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ළඟම ඉන්නා අයගෙන් ඔහුට ප්‍රවේසම් වෙන ලෙස දන්වන්න කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු අමාත්‍ය , අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා මේ දැනුම්දීම සිදුකර ඇත්තේ හිටපු අමාත්‍ය සාගල රත්නායක වෙත කැඳවීමක් සිදුකරමිනි.
එහිදී තම අයියණ්ඩිය වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට වැරදුනේද ළඟම සිටි පිරිස නිසා බවත් ජනාධිපතිවරයා පවසා ඇත .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට සමීපතම ලෙස සාගල රත්නායක , වජිර අබේවර්ධන , රුවන් විජයවර්ධන , පාලිත රංගේබණ්ඩාර සහ අකිල විරාජ් කාරියවසම් කටයුතු කරයි.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ අයගෙන්ද නැත්නම් වෙනත් පාර්ශ්වයක් වෙතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරිස්සම් විය යුතු බව ජනාධිපති පවසා ඇත්දැයි පැහැදිලි නැති බවයි.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ මෙරටට ඩොලර් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් සහය දැක්වීම සඳහා ඉදිරිපත් වූ පාර්ශ්වයක් වෙතින් අග්‍රාමාත්‍යවරයා ගේ ළඟම හිතවතෙකු ලෙස පෙනී සිටින අයෙකු එක්, ඩොලරයක් වෙනුවෙන් රුපියල් 15 ක සන්තෝසමක් ඉල්ලා ඇති බවය.
එකී ඉල්ලීම හේතුවෙන් එම පාර්ශ්වය ව්‍යාපෘතියෙන් ඉවත්ව යාමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .
මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ , බලය ගැනීම වෙනුවෙන් අති දක්ශයෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ලද බලය පවත්වා ගැනීමට දක්ශතාවක් නොමැති බව ඉතිහාසය තුළ ඔප්පු කර ඇති බවයි.
එබැවින් මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා පෙර වැරදි සිදුවීමට ඉඩනොදී ක්‍රියාත්මක වීමට කටයුතු කළ යුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි .

ව්‍යාජ ලේඛන දාලා : කොළඹ නිවාස තිබියදී මාදිවෙලෙන් නිවාස අරගෙන !
කොළඹ තමන්ට අයිති සුපිරි පන්නයේ නිවාස තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්ද නිවාස ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
කොළඹ තමන්ටම අයිති නිවාස ඇති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස ලබාදීම නීතිය අනුව තහනම් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. සමහර මන්ත්‍රීවරු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත්තේ තමන්ට කොළඹ නිවාස නැති බව ව්‍යාජය දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කරමින් බව කියති.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රී පිරිසට කොළඹ නගරයේ නිවාස දෙක තුනක හිමිකම ඇති අයද ඇතුළත් වෙතියි වාර්තාවේ.
මේ අතර මන්ත්‍රීවරු පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන කාලයක් තිස්සේ ඒවා වසා දමා වෙනත් ස්ථානවල පදිංචිව සිටින බවද පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
Lanka truth

කච්චතිව් ඉන්දියාවට දෙනවට උතුරේ නායකයන් විරුද්ධයි !
කච්චතිව් දුපත යළි ඉන්දියාව සතු කරගැනීමේ තමිල්නාඩු මහ ඇමැතිගේ යෝජනාවට උතුරේ දෙමළ පක්‍ෂවල විරෝධය එල්ලකර ඇත .
ඒ මෙම යෝජනාව සම්බන්ධයෙන් දකුණේ සිංහල නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති පසුබිමකය .
චෙන්නායි නුවර පසුගිය දා පැවති උත්සවයකදී තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලා සිටියේ තමිල්නාඩු හා උතුරු ලංකා ධීවරයන්ගේ ගැටලුව විසදීමට කච්චතිව් දුපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙසය.
එහිදී තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් පැවසුවේ තමිල්නාඩු ධීවරයන්ට අනුව ඉන්දු-ලංකා මුහුදේ ගැටලුවට හොඳම විසදුම වන්නේ කච්චතිව් යළි පවරා ගැනීම බවයි.
කෙසේ වුවත් ඊට විරෝධය පලකරමින් තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියේ කච්චතිව් දුපත කිසිසේත්ම උතුරේ ධීවරයන්ට අත්හැර දැමිය නොහැකි බවයි.
ඒ වවුනියාවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු මෙසේද පැවසීය .
''ඉන්දියාව එයාලගේ ආරක්ෂාව ගැන බය වෙන්න ඕනේ නැහැ. අපිට කොහොමත් කච්චතිව් ආපහු දෙන්න බැහැ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපිට ඉන්දියාව, තමිල්නාඩු මහ ඇමැති කරන උදව් ගැන ස්තුති කළත්,කච්චතිව් පවරා ගන්න යෝජනාවට නම් අපි විරුද්ධයි,''
තවද කච්චතිව් දුපත යළි ඉන්දියාවට පවරා ගැනීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා උතුරු ධීවරයන්ගේ ස්ථාවරය නම් එය නැවත ලබා දිය නොහැකි බවයි.
එසේ කිරීමෙන් උතුරේ ධීවරයන්ට විශාල හානියක් සිදුවන බැවින් තමිල්නාඩු ඉල්ලීම කොහෙත්ම ඉටුකළ නොහැකි බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.
කච්චතිව් කොදෙව්ව පිලිබඳ ප්‍රශ්නය රටවල් දෙකක් අතර ගිවිසුමක් මගින් විසඳා ගත් දෙයක් බැවින් යළිත් ඒ පිළිබඳව යම් ගැටළුවක් මතු වන්නේ නම් දෙපාර්ශවය එක්ව සාකච්ජා කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා පවසයි.
ඉන්දු-ලංකා ධීවර ආරවුලට මෙතෙක් තිරසාර විසදුමක් ලැබී නොමැති බැවින් ඊට අදාලවම මෙම කච්චතිව් අර්බුදය ද ඉන්දියාව සමග රාජතාන්ත්‍රිකව විසඳා ගත යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායකයා මාධ්‍යට සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ "ඩෙසර්ට් කට්' එකක් !
මතුව ඇති බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ පිරිස් සඳහා මේ දක්වා ලබාදී තිබූ අතුරුපස වර්ග සංඛ්‍යාව තුනකි.
පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති හෙයින් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු ආපන ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කර ඇත .
අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
එසේම අධික මිල ගණන් නිසා ඇතැම් ආහාර වර්ග මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පාර්ලිමේන්තුවේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන නිල ඇඳුම් ප්‍රමාණයද අඩු කර ඇතැයි වාර්තා වේ.
සෑම වර්ෂයකම නිල ඇඳුම් තුනක් මෙතෙක් ලබා දුන් අතර එය එකක් දක්වා අඩු කර ඇත.
ආර්ථික තත්වය නිසා නිල ඇඳුම් තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.
පාර්ලිමේන්තුවේ ලිපි ද්‍රව්‍ය පාවිච්චියද ආර්ථික ප්‍රශ්නය සැලකිල්ලට ගෙන සියයට 50කින් පමණ අඩු කරගෙන ඇතැයි එහි නිලධාරීහු පැවසූහ.

කොරේ පිටට මරේ : Aeroflot ගුවන් ගමන් කටුනායකට නෑ !
එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එරෝෆ්ලෝට් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බවත් වාර්තා වෙයි .
ඒ අනුව ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ද එරෝෆ්ලෝට් ගුවන් සමාගම විසින් අත්හිටුවා ඇති බවත් වාර්තා වෙයි .
මාධ්‍ය වාර්තා පවසන ආකාරයට එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.
රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇත.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේද රුසියාවයි.
පසුගියදා අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේය.

චීන ඖෂධ සහ උපකරණ දිවයිනට
චීන රජය පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය උපකරණ තොගයක් දිවයිනට ඊයේ මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.
අත්‍යවශ්‍ය ඖෂධ 14ක් ඇතුළු අමෙරිකා ඩොලර් මිලියන 28 ක් වටිනා මෙම සෞඛ්‍ය ආධාර තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට රැගෙන ඒම සිදුවිය.
ඖෂධ තොගය භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
චීන රජය මෙන්ම එරට බෞද්ධ සමිති සංවිධානය ඇතුළු ප්‍රජා සංවිධාන මෙම ඖෂධ හා උපකරණ පරිත්‍යාග කර තිබේ.

21ට පක්ෂ වෙන්න : විමල්ලාගේ පාර්ශ්වයේ සංශෝධන මෙන්න !
යම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී යම් සංශෝධනයක් සිදු කළොත් එකී සංශෝධනවල ව්‍යවස්ථානුකූලත්වය එකී පනතට කතානායක විසින් අස්සන් තබා මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑ ම පුරවැසියෙකුට අවස්ථාව තිබිය යුතු බවට 21 ව්‍යවස්ථා සංශෝධනයට එක්විය යුතු බව විමල් ගම්මන්පිල වාසු ඇතුලත් මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇත .
එසේම ඕනෑ ම ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකාණ්ඩුව අස්සන් කරන ද්විපාර්ශ්වීය ගිවිසුම් සහ බහුපාර්ශ්වීය ගිවිසුම් අස්සන් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බවටත් වන වගන්ති එම පනත් කෙටුම්පතට එකතු කරන ලෙසත් ඔවුන් යෝජනා කර තිබේ.
මේ කරුණු ඇතුළත් , ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධින වූ මේ පක්ෂ එකමුතුව විසින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කරන සංශෝධන 17ක් හා එකතු කිරීම් 7ක් සහිත යෝජනාවලියක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත බාරදී ඇති බවත් වාර්තා වෙයි .
පසුගිය ජුනි 01 වනදා අදාළ යෝජනාවලිය බාරදී ඇති අතර එහි පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි .
අදාළ යෝජනාවලිය පහත දැක්වෙයි .

හර්ෂ, යළිත් සුවසැරියට පණ දෙයි !
පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට තිබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙන යාම දැඩි අසීරුතාවයකට පත්වී තිබීම නිසා 1990 සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අද (03) කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවසැරිය සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
මෙම පරිත්‍යාගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සිදුකළ අතර මෙම අවස්ථාවට 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා , සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක , සුවසැරිය ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී විය. මෙහිදී, අදහස් දක්වමින් 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසීය.
"පවතින ආර්ථික අර්බුදය නිසා සුවසැරිය පවත්වාගෙන යාම ඉතාමත් අපහසු වී තිබෙනවා. අපි අමාරුවෙන් ආරම්භ කරපු මේ ජනතාවාදී සේවාව නතර කරන්න දෙන්න බෑ. ඒ නිසා, මම සුවසැරියට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියා. එයට යහපත් ප්‍රතිචාර දැක්වීම ගැන මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා. සුවසැරිය ආරම්භ කිරීමට සහයෝගය දුන්නෙත් ඉන්දියාව. මීට අමතරව, සුවසැරියට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරන ලෙස මා පසුගියදා කෝප් කමිටුවේදී මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා. එයටත් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා."

සාගතය වළක්වා ගන්න : අගමැති UNDP සමග තීරණාත්මක සාකච්ඡාවක !
ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .
ඒ රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් සමඟ අද (03) පැවැති සාකච්ඡාවකදීය.
එම වැඩසටහන ලබන මාසයේ එළිදැක්වීමට නියමිත අතර UNDP සහාය සඳහා එහිදී ආරධනා කර සිටි බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.
කෘෂිකාර්මික ක්ෂේත්‍රය දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය පොහොර සහ ඉන්ධන හිඟය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර ඇත .
ඉදිරියේදී විය හැකි ආහාර හිඟයක් මඟහරවා ගැනීම සඳහා තමන් විසින් ආරම්භ කරන ලද නාගරික කෘෂිකර්ම වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා විස්තර කර තිබේ.
මේ අතර පොහොර හිඟය මගහරවා ගැනීමට ගොවි ප්‍රජාවට උපකාර වන නව්‍ය ගොවි ආධාර වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව UNDP පැහැදිලි කර ඇත .
නාගරික කෘෂිකාර්මික වැඩසටහන ආධාර කිරීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇති බවත්, සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමකදී වැඩි මූල්‍ය ආධාර ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් පැහැදිලි කර ඇත .
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ආහාර අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සැලැස්මක් කෙටුම්පත් කරමින් සිටින බව විම්ලේන්ද්‍ර ශරන් ප්‍රකාශ කළේය.
ගොවීන් මුහුණ දී සිටින පොහොර ඉන්ධන ඇතුළු මුලික අවස්ථාවවල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස 5-6ක් ඇතුළත පාලනය කල හැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කර ඇත .
Page 332 of 474