V2025

පුවත්

කොරෝනා මරණවල පැහැදිලි අඩුවක් : ගුවන් තොටුපළ ආශ්‍රිත ආරක්ෂාව තීරණාත්මකයි !

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (20) තහවුරු කර ඇත.

ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,543ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙම මරණ අතරට කාන්තාවන් 07ක් සහ පිරිමි පුද්ගලයින් 11ක් අයත්ය.

මේ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් පෙන්නුම් කරයි.

ගුවන් තොටුපළ ආරක්ෂා කරමු !

කෙසේ වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාව අඩුවුවත් වසංගතය තවදුරටත් සක්‍රීය බැවින් සමාජ දුරස්ථභාවය ඇතුළුව සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව කටයුතු කළ යුතුව ඇති බවය.

එසේ නොවුණුහොත් රටේ තැන තැන කොරෝනා පොකුරු මතුවිය හැකි බවත් ඔවුන් පවසයි.

එසේම සංචාරක ක්ෂේත්‍රය සක්‍රීය කර ඇති පසුබිමේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ PCR පරීක්ෂණ සිදුනොකිරීම අවධානමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

ලංකාව වැනි දූපත් රාජ්‍යක් විශේෂ අවධානයක් ගුවන් තොටුපළ වෙත යොමුකළ යුතු බවත් , ඒ අත්‍යාවශ්‍යම කාරණය කුමන හෝ අවාසනාවන්ත තත්ත්වයක් හේතුවෙන් නොසලකා ඇති බවත් සෞඛ්‍ය සේවය ආශ්‍රිත විශේෂඥ මතය වී ඇත.

සැබෑ වියතුන්ට ආණ්ඩුව තිත්ත වෙයි !

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (19 දා) සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

දැනගන්නට ඇති ආකාරයට මෙම ඉල්ලා අස්වීමට හේතුව ඖෂධ ආනයනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දේශපාලන බලපෑම් එල්ලවීමය.

එසේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් ජයකොඩි ද ඉල්ලා අස් වී ඇත.

ඉල්ලා අස්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යනු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජයග්‍රහණය කරවීමට ප්‍රසිද්ධියේ පෙනීසිටි අයෙකි.

එසේම ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පත්කිරීම සිදුකරනු ලැබුවේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බවත් දැනගන්නට ඇත.

දේශපාලන විචාරකයන් පවසන්නේ දූෂිත දේශපාලනයෙන් සිස්ටම් වෙනස් කිරීමට කියා පැමිණි විද්වතුන් අවසානයේ අපේක්ෂා භංගවී ගෙදර යමින් සිටින බවයි. ඔවුන් මෙහිදී පාරිභෝගික අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක ඉල්ලා අස්වූ කිහිපදෙනෙකු ම සිහිපත් කරයි.

21 ,22 ගුරුවරුන් නාවත් පාසල් පවත්වනවා : අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් !

ඇතැම් ගුරුවරුන් හෙට (21) සහ අනිද්දා (22) පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

කෙසේ වෙතත් ගුරුවරුන් ලබන 25 වෙනිදා පාසල්වලට අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඔහු සඳහන් කරයි.

තවද යල්වෙල හිමියන්, ජෝශප් ස්ටාලින්,මහින්ද ජයසිංහ යන වෘත්තීය සමිති නායකයන් ගැන තමාට විශ්වාසයක් ඇති බවද ප්‍රකාශ කර සිටි අතර ගුරුවරුන් සමග ආදරණීයව සහ සුහදශීලීව ගනුදෙනු කිරීමට සූදානම් බවද මහාචාර්යවරයා කීවේය.

පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කෙරේ

දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

මීට පෙර  තීරණය කරගත් පරිදි පළාත් අතර සංචාරණ සීමා අවසන්වීමට නියමිතව තිබුණේ හෙට (21) දිනයේය.

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

කාබනික වැඩේ ටික ටික හැකිළේ : වල්නාශක ගෙන්වීමටත් අවසර !

කාබනික කෘෂිකර්මය කියමින් වත්මන් ආණ්ඩුව දියත්කළ ව්‍යාපෘතිය මේ වන විට මුළුමනින්ම අසාර්ථක වෙමින් ඇත.

ඒ අනුව මේ වන විට තහනම් බව කියූ වල් නාශක මෙරටට ආනයනය කිරීමට ඉඩදී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ පවසන්නේ අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දෙන බවය.

එසේම ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් මගින් රැගෙන ආ බවත් එය විශේෂිත පොහොරක් බවත් ඔහු පැවසුවේය.

කෙනෙකුට එය කාබනික පොහොරත් යැයි පැවසිය හැකි බවත් තවත් අයෙකුට එය රසායනික පොහොරක් යැයි හැඳින්විය හැකි බවත් මහාචාර්යවරයා කීවේය.

යූරියා කිලෝ 50 ක කොට්ටයක් වෙනුවට මෙම නෑනෝ නයිට්‍රජන් මිලි ලීටර් 500 ක බෝතලයක් ප්‍රමාණවත් බව පැවසූ ජයසිංහ හෙක්ටෙයාරයකට අවශ්‍ය වන්නේ ලීටර් 2.5 ක් පමණක් බවද ප්‍රකාශ කළේය.

කාබනික අවුල මහින්දානන්දට භාරගන්න නියෝගයක් !

රට පුරා ගොවි උද්ඝෝෂණ විරෝධතා තීරණාත්මක ලෙස වර්ධනය වෙමින් ඇති පසුබිමක කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ථකවීමේ වගකීම ගන්නා ලෙස ජනාධිපති විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට දන්වා ඇති බව වාර්තා කර ඇත.

ඒ දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පතේය.

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඒමේ ප්‍රමුඛ කාර්‍යයක් සිදුකළ සහ ළඟම හිතවතෙකු ලෙසත් සැලකේ.

පහත දැක්වෙන්නේ ඒ අරුණ පුවත්පත සිදුකළ අනාවරණයකි.

ඇල්ලේ හිමියන් බැහැදැක පැමිණි විගස ජනාධිපති ගෝඨාභය කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දුරකථනයෙන් අමතා ඇත. ආරංචි මාර්ග පවසන පරිදි කාබනික පොහොර පිළිබඳ මේ වන විට සමාජයේ ඇති වී ඇති අප්‍රසාදය පිළිබඳ වගකීම භාරගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම ඇමැතිවරයාට දොස් පවරා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ජෙනරාල් සුමේධ පෙරේරා එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැතිවරයාට තිබුණු තදියම පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී දැඩි සේ වි‍වේචනය කර ඇත.

ජෙනරාල් සුමේධ පෙරේරා යනු යාපනේ කොටුව කොටි ග්‍රහණයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම හා සරසාලේ යුද මෙහෙයුම දියත් කළ රණ විරුවා වේ. ඒ හැමටම වඩා සුමේද පෙරේරා කෘෂිකර්මාන්ත පිළිබඳ හසල දැනුමක් ඇති මහා ගොවියකු ලෙසද ප්‍රචලිතය. දුම්බර මිටියාවතේ ඔහු විසින් වගා කර ඇති මහා කෙත් යාය ඊට කදිම උදාහරණ සපයයි. නමුත් මහින්දානන්ද දිගින් දිගටම පසු ගිය කාලේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ සුමේධ එක්ක මේ කාබනික පොහොර ව්‍යා පෟතිය කරන්න බෑ. එයට තමන්ගේ මිනිහෙක් දාගන්න ඕන කියාය.

අවසානයෙදී ජනාධිපතිවරයා මහින්දානන්දගේ වදෙන් ගැලවෙන්න බැරි තැන සුමේධ ඉවත් කර මහින්දානන්දට අවශ්‍ය කෙනා දා ගැනීමට ඉඩ සැලසීය. පත් වූ වහාම මහින්දානන්දගේ ලේකම් කාබනික පොහොර ගැන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ‘‘It’s a simple thing, sir’’ කියායි. රටට අවශ්‍ය කාබනික පොහොර සියයට සීයම රට තුළ නිෂ්පාදනය කළ හැකි බවට ඔවුහු පම්පෝරි ගැසීය. නමුත් දිගින් දිගටම දිග්ගැස්සෙන පෝර අර්බුදය හමුවේ ගොවි උද්ඝෝෂණ දිනෙන් දින වැඩි වන විට මහින්දානන්ද හා ඔහුගේ ලේකම් කියා සිටියේ රටේ පෝර අවශ්‍යතාවෙන් සියයට 25ක ප්‍රමාණයක් පමණක් ඔවුනට නිපදවිය හැකි බවයි.

මේ සියලු දේ බලා සිටි ජනාධිපතිවරයා අවසානයේ මහින්දානන්දව ඇමතීය.

‘‘මහින්දානන්ද, ඔයා මට කිව්වනේ සුමේධ එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. එතුමා අයින් කරලා දෙන්න කියලා. කෝ දැන් එතුමා නැති වුණාම ඔයා වැඩේ හරියට කළාද? මම ඔයාට කිව්වනේ මේ වැඩේ ගැන දැනුම් තේරුම් තියෙන මිනිස්සු ටිකක් දාගෙන මේ වැඩේ පටන් ගන්න කියලා. නමුත් ඔයාට තාමත් මේ වැඩේ කරන්න බැරි වුණා. මේ වැඩේ කරන්න පුළුවන් මිනිහාවත් ඔයා අයින් කර ගත්තා. මේ ගැන මට ආයිත් වතාවක් කතා කරන්න තියන්න එපා. කරුණා කරලා මේ වැඩේ හරියට කරන්න. නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා’’ යැයි කියමින් ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කර ඇත.

– උපුටා ගැනීම දිනපතා අරුණ (පොලිටික්ස්)

වයඹ ආණ්ඩුකාර සහ ගුරු සංගම් ගැටෙයි !

ඔක්තෝබර් 21 වනදා නොපැමිණ 25 වැනි දි පාසල්වලට එන කිසිදු ගුරුවරයකු පාසලට ඇතුල්වීමට ඉඩ නොදෙන බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර විනය විරෝධී කටයුතුවල නිරත වන ගුරුවරුන්ගේ ලයිස්තුවක් කැදවන බවත්, ඔවුන්ගේ වැටුප පවා අත්හිටුවීමට කටයුතු කරන බවත් පැවසීය .

පළාත් ආණ්ඩුකාර ගේ මේ ප්‍රකාශය අද (20) පැවති මාධ්‍ය හමුවකදී ගුරු විදුහල්පති වැටුප් අරගලයේ වෘත්තීය සමිති නායකයන් වෙතින් බරපතළ ලෙස විවේචනයට ලක්විය.

එහිදී ගුරු වෘත්තීය සමිති නායක ජෝෂප් ස්ටාලින් පවසා සිටියේ රාජා කොල්ලුරේ ගැලපෙන්නේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති සඳහා නොව නොමිනිස් පක්ෂයේ සභාපති සඳහා බවයි.

තවද කොමියුනිස්ට් පක්ෂය තම වෘත්තිය සමිති සන්ධානය හමු වී වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ අරගලය සාධාරණ බව පවසා හිටියත් එහි සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගේ මේ ප්‍රකාශය හෙළා දකින බවත්. එසේම කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධව කරුණු දැක්විය යුතු බවත් ඔහු පැවසීය.

කුමන ප්‍රකාශ සිදුකළත් එක ගුරුවරයෙකුට හෝ අකටයුත්තක් සිදු වූවොත් ඒ සම්බන්ධ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසී ය.

එහි දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දුන්නේ, ජනතා අප්‍රසාදය නිසා ගමට යන්න නොහැකිව සිටි ආණ්ඩුවේ දේශපාලනඥයින් , ගුරු අරගලයට මුවා වී ගමට එන්නට අවස්ථාවක් හොයමින් සිටින බවයි.

සයිනොෆාම් එන්නතේ ආයුෂ මාස 3 යි : බූස්ටර් එන්නතක් දෙන්න වෙලා !

චීන නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයින්ගේ ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීම අඩු වී ඇති බව දේශීය පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

‘විශේෂයෙන් අපේ වයස අවුරුදු 60ට වැඩි සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ගේ ප්‍රතිදේහ ප්‍රතිචාර අඩු වී ඇති බව අපගේ අධ්‍යයනයෙන් හෙළි වුණා. මේ හේතුවෙන් අපි බූස්ටර් එන්නතක් නිර්දේශ කරනවා. කෙසේ වෙතත්, කුමන බූස්ටර් එන්නත ලබා දිය යුතුද යන්න එන්නත් ලබා ගැනීමේ හැකියාව මත රඳා පවතීවි ”යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ‘මෝනින්ග්’ පුවත්පතට පවසා ඇත.

වෛද්‍ය ජීවන්දර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක වෛද්‍ය විද්‍යා අංශයේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු විද්‍යාඥයින් ගණනාවක් විසින් මෙම අධ්‍යයනය සිදු කර ඇත.

අගෝස්තු මස අග භාගයේදී, මහාචාර්ය මලවිගේ බහරේනයේ අධ්‍යයනයකින් හෙළිවූ තොරතුරු මත සිනොෆාම් එන්නත වෙනත් කොවිඩ් -19 එන්නත් වූ ෆයිසර්-බයෝඑන්ටෙක්, කොවිෂීල්ඩ්/ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් වී යන ඒවාට වඩා වඩා අඩු ඵලදායී විය හැකි බව තහවුරු කොට තිබිණ.

මහාචාර්ය මලවිගේ ඒ බව සිය නිල ට්විටර් ගිණුමෙහි සදහන් කරමින් ප්‍රකාශ කළේ: “බහරේන අධ්‍යයනයේ දත්ත මත පදනම්ව, වයස්ගත පුද්ගලයින් තුළ ෆයිසර්ට වඩා සිනොෆාර්ම් වල ක්‍රියාකාරිත්වය අඩු බව පෙනේ.” යනුවෙනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සන්නිවේදන අධ්‍යක්‍ෂ, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ ආපදා සූදානම් වීමේ හා ප්‍රතිචාර අංශයේ ප්‍රධානී වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ මාසය තුළ කියා සිටියේ බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට බූස්ටර් එන්නතක් ​​ලබා දෙන ලෙස නිර්දේශ කර ඇති බවත් ඒ සඳහා වන මාර්ගෝපදේශන ඉක්මනින් නිකුත් කෙරෙනු ඇති බවත්ය.

-මව්රට-

රසායනික පොහොර තහනම වැරදීමක් : කෘෂිකර්ම ලේකම් ප්‍රසිද්ධියේ පිළිගනියි !

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සදහන් කළේය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව කී ලේකම්වරයා, ඔවුනට අවශ්‍ය වූයේ විෂ කෘෂි රසායනික පොහොර භාවිත කරන සංස්කෘතියක සිට විෂ රහිත ගුණත්වයෙන් ඉතා ඉහළ පැළෑටි පෝෂක භාවිතය හදුන්වාදීම බවද කීවේය.

එම නිසා, කෘෂිරසායනික භාවිත කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ද ඔහු සදහන් කළේය.

එම ගැසට් නිවේදනය එලෙස නිකුත් කර තිබුණේ නම් අද රටේ තත්වය වඩාත් යහපත් එකක් වනු ඇති බවද ඔහු සදහන් කළේය.

වත්මන් තත්වය පිළිබදව ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පර්යේෂකයන් සහ පරිපාලකයන් සාක-ච්ඡා කළ බවත් වර්තමාන ගැටලුව විසදිය යුතු බවට ද එහිදී සාකච්ඡා වූ බවත් හෙතෙම කීවේය.

අනව්‍යශ විෂ සහිත පොහොර වෙනුවට ඉහළ ප්‍රමිතියකින් යුතු ජෛව පොහොර භාවිත කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

– lankadeepa

විදෙස් ගමන් බලපත් : එක්දින සේවය ගන්නා පිරිසේ වර්ධනයක් !

එක්දින සේවය යටතේ, විදෙස් ගමන් බලපත්‍ර (Passport) ලබා ගැනීමේ ප්‍රමාණය 500 කින් පමණ ඉහළ ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර සාමාන්‍ය දිනක එක්දින සේවය යටතේ, ලැබෙන ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව 1000 කි.

එහෙත් රට පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති සමයෙන් පසු එක්දින සේවය යටතේ සේවා ලබා ගන්නා අයැදුම්පත්‍ර සංඛ්‍යාව 1500 ඉක්මවා ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 ක කාලය තුළ එක්දින සේවයෙන්, සේවා ලබා ගෙන ඇති පිරිස 12,158 කි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එම කාල සීමාව තුළ සාමාන්‍ය සේවයෙන් පුද්ගලයින් 11,242 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයැදුම්කර ඇති බවයි.

මීට අමතරව, මාතර, මහනුවර, වව්නියාව සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින් ගතවූ දින 10 තුළ පමණක් පුද්ගලයින් 10,145 දෙනෙකු සේවා ලබා ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

අනුරට ගහපු මඩේ අරගෙන ජවිපෙ CID යයි !

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ප්‍රවාර්ධනය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාල වෙනුවෙන් රුපියල් කෝටි 5ක් වැය කර ඇති බවට පළ කරන ලද පුවත අසත්‍ය බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් අරඹන ලෙස එම පක්ෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පක්ෂය වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල සහ ජවිපෙ මධ්‍යම කාරක සභික සුනිල් හඳුන්නෙත්ති ඊයේ  (19) පෙරවරුවේ මෙම පැමිණීල්ල සිදුකර ඇත .

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙසේ පැවසීය.

පුවත්පත් මණ්ඩලයේ සභාපතිත් හවුල් වෙලා – සුනිල් හඳුන්නෙත්ති

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ, අපේ පක්‍ෂයේ නායකත්වය ප්‍රවර්ධනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කර ප්‍රචාරක ආයතනයක් ළවා දැන්වීම් සකස් කර සමාජ මාධ්‍යවල සහ යූ ටියුබ් චැනල්වල එම දැන්වීම් පළ කරනවා යැයි කියමින් මේ වනවිට ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙනුයි. එම අසත්‍ය ප්‍රචාරය ගෙනයන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ මඩ බළකාය මගින්. විශේෂයෙන්ම පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාගේ ෆේස්බුක් පිටුවේම මෙම කාරණාව ප්‍රචාරය කර තිබෙනවා. ඒ නිසා ඉතා පැහැදිළියි මෙය ආණ්ඩුවේ බංකොළොත්කම පෙන්වන තවත් එක අවස්ථාවක් කියලා.

Sunil Hhandunneththi655 768x432අපි දන්නවා අද බඩුමිල වැඩි වෙලා, ගොවියන්ට පොහොර ටික නැතිවෙලා, ගුරුවරු මහ පාරට වැටිලා, දරුවන්ගේ අධ්‍යාපනය නැතිවෙලා, අපේ රටේ සමස්ත ජනතාවම පීඩාවට පත්වෙලා ඉන්න මෙහොතක්. ආණ්ඩුව දුන් බොරු පොරොන්දු එකක්වත් අද ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා. මේ තත්වය නිසා ආණ්ඩුව අද ප්‍රතික්‍ෂේප වෙලා. ජනතාවට ආණ්ඩුව එපා වෙලා තියෙන නිසා එය තේරුම් ගත් බොහෝ පිරිස් අද ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙමින් ඉන්නේ. විශේෂයෙන්ම සමාජමාධ්‍යවල සමාජ ක්‍රියාකාරිකයින්, යූ ටියුබ් චැනල්වල ක්‍රියාකාරිකයින්ට අපි මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් අපි ගැන නිවැරදිව තේරුම් අරගෙන ඉන්නවා. ආණ්ඩුව හිතනවා ඇති, ආණ්ඩුවේ ප්‍රතිරූපය නංවන්න ඔවුන් රුපියල් කෝටි ගණන් වියදම් කරනවා වගේ අපිත් අපේ පක්‍ෂයේ ප්‍රතිරූපය නංවන්න වියදම් කරනවා ඇති කියලා. ඇත්තටම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා මේ මඩ ප්‍රහාරයන් එල්ල කරලා තියෙන්නේ අපිට නෙවෙයි. අද සමාජ මාධ්‍ය ජාලාවල ඇත්ත තේරුම් අරගෙන කටයුතු කරන අය ස්වේච්ඡාවෙන් මැදිහත් වී අනෙත් අයට කරුණු බෙදා හදා දෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ ධනය විතරක් නෙවෙයි තමන්ගේ ශ්‍රමය, හැකියාව දෙන්න සූදානම් වෙලා ඉන්නවා.

ආණ්ඩුවේ මඩ බලකාය මේ ප්‍රහාරය එල්ල කරන්නේ අපිට නෙවෙයි. ඇත්ත හැඟීම තියෙන මිනිස්සුන්ට. සවේච්චාවෙන් ඉදිරිපත් වූ මිනිස්සුන්ට. ආණ්ඩුවට පුරුදු ඇති ජනතාවගේ මුදල් මංකොල්ල කාලා රුපියල් කෝටි ගණන් වියදම් කරලා ප්‍රතිරූප පුම්බගන්න වියදම් කරලා. ඒ පුරුද්ද සමාජගත කරන්න තමයි මේ හදන්නේ. මහජනතාවගේ සල්ල විනාශ කර තමන්ගේ චරිත පුම්බගන්න ඒ ක්‍රමවේදය අනිත් අයටත් අදාලයි කියලා ඔවුන් හිතනවා ඇති.

මේ මඩ ප්‍රහාරය අපි හෙළා දකිනවා, තදින් ප්‍රතික්‍ෂේප කරනවා. මේ ප්‍රහාරය අපිට පමණක් එල්ල කළ ප්‍රහාරයක් විතරක් නෙවෙයි, සමාජ මාධ්‍ය හා යූ ටියුබ් නාලිකා ක්‍රියාකාරිකයින් ලෙසට ඔබටත් එල්ල කරපු ප්‍රහාරයක්. අපි විශ්වාස කරනවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරයි කියලා. ඒ සඳහා අවශ්‍ය කරන සාක්‍ෂි අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, ජනතාවට එපා වූ මේ පාලනය වෙනස් කරලා, ජනතාවට ලස්සන ජීවිතයක් දෙන්න පුළුවන්, ලස්සන රටක් හදන්න පුළුවන් වැඩපිළිවෙළක් වටා අපි එකතු වෙමු කියලා. ඒ සඳහා මෙවැනි පහත් ක්‍රියා හෙළා දකින්න මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අනතුරුව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ , නීතිඥ සුනිල් වටගල මෙසේ පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැමිණිලි දැම්මාම පැය කිහිපයක් ඇතුළත අදාල කෙනා අල්ලනවා – නීතිඥ සුනිල් වටගල

අද ජනතා විමුක්ති පෙරමුණ, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ නමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලාවල ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ඉලක්ක කරමින් සංවිධානාත්මක කල්ලි විසින් මඩ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. පදනම් විරහිත චෝදනා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට එල්ල කරමින් සිටිනවා.

watagala654 768x432මෙවැනිම පැමිණිලි රාශියක් අනුර දිසානායක සහෝදරයා, ටිල්වින් සිල්වා සහෝදරයා මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තාමේන්තුවට කරලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් රුපියල් මිලියන ගණනින් ප්‍රචාරක ආයතන වෙත ප්‍රචාරක දැන්වීම් සකස් කිරීම සඳහා යොමුකර ඇති බවට ව්‍යාජ පුවතක් නිර්මාණය කර ඒ පුවත මගින් පටු, පෞද්ගලික දේශපාලන අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට ඇතැම් පුද්ගලයෝ කටයුතු කර තිබෙනවා. මෙය සංවිධානාත්මක මඩ ප්‍රහාරයක් යැයි හිතෙන්නේ මේ අසත්‍ය පුවත පිටුපස පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාත් සිටීමෙන්. පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා කොහොමද මෙවැනි ආකාරයේ ප්‍රවෘත්තියක් ෂෙයාර් කර තමනුත් එයට අදහස් දක්වා තිබෙන්නේ? පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා කියන්නේ රජයේ ආයතනයක සභාපතිවරයෙක්. ඔහු පත් කරන්නේ රටේ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත ජනමාධ්‍ය අමාත්‍යවරයා. ඒ පත් කරන සභාපතිවරයා තමන්ගේ ෆේස්බුක් ගිණුම මගින් මේ අසත්‍ය ප්‍රචාරයට සම්බන්ධ වෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අපි කියන්නේ අපි නිසි සාක්‍ෂි සහිතව මේ පැමිණිල්ල කරලා තියෙන්නේ. එක් කෙනෙක් පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා. පැමිණිල්ල ඉතා පහසු කර තිබෙනවා. සියලුම ඇමුණුම් සහිතව අපි බාරදී තියෙනවා. අපි විශ්වාස කරනවා, අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැමිණිලි දැම්මාම පැය කිහිපයක් ඇතුළත අදාල කෙනා අල්ලනවා. එවැනි ආකාරයේ මැදිහත් වීමක් කරන්න මේ ආයතනයට හැකියාව තිබෙනවා. ඒ නිසා ඉතාම කඩිනමින් මේ පිළිබඳව විමර්ශනයක් කර ඇත්ත අපරාධකරුවන් හෙළිදරව් කරන්න කියලා තමයි අපි මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ.

( මූලාශ්‍රය lanka truth )

පාසල් හැරයාමේ ප්‍රතිශතය ඉහළ යා හැකියි - විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි

කොවිඩ් අවදානම හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ නිසි පරිදි සිදු නොවීය. අවසන් වරට පසුගිය අප්‍රේල් මාසයට පෙර වසා දැමූ පාසල් යළි ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන බළධාරීන් තීරණය කර තිබේ.

21 වැනිදා විවෘත වන්නේ සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි පමණි. පාසල් සම්පූර්ණයෙන් විවෘත කිරීම සඳහා අවම වශයෙන් තවත් මාසයකට වැඩි කාලයක් ගතවනු ඇත.

පාසල් යළි විවෘත කළද බොහෝ දරුවන් පාසල් යාමට මැලිකමක් දැක්විය හැකි බවත්, සැළකිය යුතු සිසු සිසුවියන් ප්‍රමාණයක් පාසල් හැරයාමට ඉඩ තිබෙන බවත්, කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හ‍ා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි පවසයි. දිගුකාලීනව පාසල් වසා තැබීම, ඔන්ලයින් අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු නොවීම ඊට හේතු ලෙස දැක්විය හැකි බවයි වෛද්‍යවරිය පවසයි.

විශේෂයෙන් 9 - 10 ශ්‍රේණිවල සිට ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් පාසල් හැරයන තත්ත්වයට පත්විය හැකි බවද වෛද්‍යවරිය සඳහන් කරයි.

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දරුවන් පරිගණක හා ජංගම දුරකතන සමග වැඩි කාලයක් ගත කළ අතර, එහි අහිතකර ප්‍රතිඵලයක් ලෙස දරුවන් අන්තර්ජාල ක්‍රීඩාවලට සහ සමාජ ජාලා මාධ්‍යවලට ඇබ්බැහි වී ඇති බවද වෛද්‍යවරිය පෙන්වා දෙයි.

මීට අමතරව මෙම කාල සීමාව තුළ පෙරට වඩා මානසික ගැටලුවලට දරුවන් ලක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවද දර්ශනී හෙට්ටිආරච්චි සඳහන් කර= අන්තර්ජාලයට ඇබ්බැහි වීම මෙන්ම කායික හා මානසිකව හිංසනයට ලක්වීම මේ සඳහා හේතු වී ඇති බවයි ඇය පවසයි. බොහෝවිට දරුවන් හිංසනයට ලක්වන්නේ සමීපතම ඥාතීන් අතින් බව පෙන්වා දෙන වෛද්‍යවරිය පවසන්නේ මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවයි.

LNW

සීනි මිල නියම කිරීම : ආනයනකරුවන් අතට ?

වෙළඳපොළේ සීනි පාලන මිල ඉවත් කරන ලෙස සීනි ආනයන කරුවන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් මෙම ඉල්ලීම සිදු කරන්නේ යළිත් වෙළඳපොල තුළ සීනි මිල ඉහළ ගොස් ඇති අවස්ථාවකය.

පාලන මිල ඉවත් කර ගැනීම සඳහා සීනි ආනයන කරුවන් මේ වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවත් වාර්තා වෙයි.

මේ වනවිට වෙළඳපොල තුළ සීනි සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද එම පාලන මිලට සීනි නැත.

පසුගිය කාලසීමාව තුළදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගිය තත්ත්වයක් ඇතිවිය.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණ නමුත් වෙළඳපොල තුළ සීනි කිලෝවක මිල රුපියල් 135ක් පමණ වෙයි . දුඹුරු සීනි කිලෝවක් සඳහා ද රුපියල් 125 ක පාලන මිලක් සඳහන් කර තිබුණත් එම මිලට වෙළෙඳ පොල තුළ සීනි නැත .

එසේම වෙළෙඳපොළ තුළ විටින් විට සීනි හිඟයක් සම්බන්ධවද වාර්තා ලැබී ඇත.

එහිදී වෙළඳ පොළ ආරංචි මාර්ග පවසන්නේ නමුත් ඩොලර් හිඟවීම නිසා සීනි ආනයනය දුෂ්කර වී ඇති බවයි.

පොහොට්ටු පාර්ශ්වය සහ විමල් පාර්ශ්වය : පුටු පොලු ගෙන ගුටි බැට හුවමාරුවක !

ආණ්ඩුවේ සිටින බැසිල් පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්වය ලෙස ජාතික තලයේ තිබූ බෙදීම මේ වන විට බිම්මට්ටම දක්වා ඔඩුදුවා ඇති බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

ඊට ආසන්නතම සිදුවීම ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින නුවරඑලිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර සිදුවූ ගුටිබැට හුවමාරුවයි.

කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන හමුවකදී මෙම ආරවුල ඇති වී ඇත්තේ සංවර්ධන කටයුත්තක් පිලිබද ඇතිවූ මතබේදයක් හේතුවෙනි.

එම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දරන්නේ නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා යි.

කෙසේ වුවත් මේ නිර්ලැජ්ජිත හැසිරීම මෙතනින් අවසන් නොවනු ඇති බව දේශපාලන නිරීක්ෂකයන් පවසයි. ඒ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් සහ පොදුජන පෙරමුණේ ප්‍රබලයන් අතර ගැටුමත් බිම්මට්ටම දක්වා යනු ඇති බවට පුරෝකථනය කරමිනි.

මෙහිදී දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ඇතුළු ප්‍රබලයන් මේ වන විට පොදුජන පෙරමුණේ ප්‍රබලයන් විසින් දැඩිව විවේචනය කිරීමක් සිදුවන බවයි. එසේම පසුගිය මහමැතිවරණයේදී එල්ලවූ "පොහොට්ටුවේ වේදිකා හූව"ත් ඔවුන් සිහිපත් කරයි.

කෙසේ වුවත් ආණ්ඩුව ලැබූ බරපතළ ජනතා අප්‍රසාදය හමුවේ ශ්‍රීලනිප සහ ජනිපෙ ක්‍රියාකාරීන් එකට එක කිරීම අරඹා ඇති බවත් දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙයි. මෙකී ගැටුම් නිරීක්ෂණය කිරීමේදී ඔවුන් ආණ්ඩුවේ බැසිල් පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්වය ලෙස පැහැදිලිව හඳුනා වෙන්කර ගැනීමට හැකි බවත් නිරීක්ෂක මතයවී තිබේ.

ගව ඝාතනය යළිත් තහනම් !

ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව යළිත් වරක් ක්‍රියාත්මක වෙමින් ඇත.

ඒ අනුව ඊයේ (18) ගව ඝාතනය තහනම් කරන යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ.

බුද්ධ සාසන හා අගාමකි කටයුතු ඇමති වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට වලංගුව පවතින නීති 5ක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

මේ ආණ්ඩුව බලයට පත්වූ වහාම ගව ඝාතනය තහනම් කරන බවට නිවේදනය කෙරුණු නමුත් එය සිදුවූයේ නැත.

එහෙත් එය ක්‍රියාත්මක නොවූ අතර ඉන්පසු අවස්ථා කිහිපයකදී මෙය නතර බවට අගමැතිවරයාම ප්‍රකාශ කර තිබුණ නමුත් එයත් ක්‍රියාත්මක වූයේ නැත.

Cabinet Decision on 18.10.2021 compressed page 004

SPC සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න : ඉල්ලා අස්වීමේ සූදානමක් !

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ඉහළ තනතුරු දෙකක් ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යෙන්ම හිස්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන බව මව්බිම පුවත්පත අනාවරණය කර ඇත.

අදාළ පුවත අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීම නිසා එම තනතුරු මෙසේ හිස්වන බව එම සංස්ථාවට සම්බන්ධ තොරතුරු අනාවරණය කර ඇත.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

දැනට කොවිඩ් මර්දනය සදහා එන්නත් ආනයනය කිරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකෙරෙන අතර එම කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින පසුබිමක සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ හිටිහැටියේම ඉල්ලා අස්වීම මතභේදයට තුඩු දී ඇතැයිද වාර්තාවේ.

ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ හදිසි ඉල්ලා අස්වීම සෞඛ්‍ය ඇමතිවරයා සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් නිසා නිර්මාණ වුවක් බව සභාපතිවරයාගේ සමීපතම ආරංචි සදහන් කරයි.

ඉකුත් සති කිහිපය තුල අවස්ථා කිහිපයකදී මෙම ඉහල නිලධාරින් කැබිනට් ඇමතිවරයාගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.

– මව්බිම

ගුරු - විදුහල්පතිවරු 25 වැනිදා සේවයට

ලබන සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු - විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද තීරණය කළේය.

ඒ අනුව 25 වැනිදා සිට සේවයට වාර්තා කරන බවයි එම සන්ධානය පවසයි.

අද පෙරවරුවේ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් හමු වී සාකච්ඡා කර ඇති අතර එහිදී එකඟතාවයකට පැමිණ තිබෙන්නේ 25 වැනිදා සිට පාසල්වල සේවයට වාර්තා කිරීමටයි.

සිසුන් 200 ට අඩු පාසල් 21 වැනිදා සිට විවෘත කිරීමට මේ වනවිටත් තීරණය කර ඇති අතර, කෙසේ නමුත් 25 වැනිදා දක්වා වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

වැටුප් විෂමතාව විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම්වලින් ඉවත්ව අදට දින 99 කි.

අනුරට ගහපු මඩේ : අතේ පත්තු වෙයි !

සමාජමාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා - සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය සහිතව ලංකා මැග් (Lanka MAG) නම් වෙබ් අඩවියේ පළකර තිබූ පුවත සාවද්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අදාළ පුවත සඳහා කූඨ ලේඛන සකසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය කටයුතු කරන බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

ව්‍යාජ පුවතක් සම්බන්ධ පැහැදිලි කිරීමයි !

“සමාජමාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා - සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය සහිතව ව්‍යාජ පුවතක් ලංකා මැග් (Lanka MAG) නම් වෙබ් අඩවියක පළ කරනු ලැබ තිබේ.

මෙම පුවත මේ වන විට සියලු ක්ෂේත්‍රයන්හි අසාර්ථක වෙමින්ද ජනතා විරෝධයට ලක්වෙමින්ද සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් ලෙස හඳුනා ගන්නා අපි මෙම අවලාදාත්මක පුවත තරයේ ප්‍රතික්ෂේප කරමු.

මෙම පුවතෙහි සඳහන් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනය සමග අපගේ කිසිදු සබඳතාවක් තිබී නැති අතර එය හුදෙක් අප පක්ෂයට අවලාද නැගීම වෙනුවෙන්ම මවන ලද පුවතකි. අප පක්ෂයේ බවට හැඟෙන ලද සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රාද පක්ෂයේ නායකයින්ගේ ව්‍යාජ අත්සන්ද යොදා ගනිමින් මෙම පුවත සකසනු ලැබ ඇත.

ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන මතයක් ගොඩනැගෙමින් තිබියෙදී එය වෙනතක හැරවීමට ආණ්ඩුව විසින් ගන්නා ලද තවත් අසාර්ථක උත්සාහයක් වශයෙන් මෙය හඳුනාගන්නා අපි මෙම ක්‍රියාමාර්ග පිටුපස ඇති දේශපාලනය පරාජය කිරීමට පෙරට එන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

එසේම මෙම ව්‍යාජ පුවත සහ ඊට පදනම් කරගත් කූට ලේඛනය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කරමු.

විජිත හේරත්

ප්‍රචාරක ලේකම්

ජනතා විමුක්ති පෙරමුණ

2021.10.18

8575d3c2 index

Page 336 of 386