V2025

පුවත්

වැලිගම නගරාධිපතිනියගේ දේශපාලන උණ නිසා : සභාවම කොරෝනා අවධානමක !

වැලිගම නගරසභාවේ යමුනා කාන්ති නගරාධිපතිනියගේ (එක්සත් ජාතික පක්ෂය ) අත්තනෝමතික ක්‍රියාවක් හේතුවෙන් එහි සේවය කරන කාර්ය මණ්ඩලය කොවිඩ් 19 ආසාදිත අවධානමකට නිරානවරණයවීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම අවධානම මතුව ඇත්තේ, කොරෝනා ආසාදිත බවට රෝග ලක්ෂණ පෙන්නුම්කළ නගරසභා සේවකයකු සෞඛ්‍ය අංශ උපදෙස් පවා නොතකා නගරාධිපතිනිය සිදුකළ රාජකාරි පැවරීමක් නිසාය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අදාළ සේවකයා තමන්ට කොවිඩ් ආසාදනයවූ බවට සැකසංකා මතුවූ රෝග ලක්ෂණ හේතුවෙන් PCR පරීක්ෂණයක් සඳහා යොමුව තිබේ.

නගරසභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත සිදුකළ දැනුම්දීමක් අනුව මෙසේ නගරසභා සේවකයා PCR පරීක්ෂණයට යොමුව ඇති අතර, එහිදී දැනුම්දී ඇත්තේ, PCR පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව ලැබෙනතුරු සේවයට වාර්තා නොකර දින 7ක් නිවෙස් නිරෝධායනය සඳහා යොමුවන ලෙසය.

ඒ අනුව සේවකයා නිවෙස් නිරෝධායනයට යොමුව ඇත. නමුත් PCR ප්‍රතිඵල වාර්තාව ලැබීමට පෙර වැලිගම නගරාධිපතිනිය අදාළ සේවකයාට වහාම රාජකාරියට වාර්තා කරන ලෙස දන්වා ඇති අතර ඒ, ඊයේ (05) දිනට යෙදුනු එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නගරසභාව ආශ්‍රිත සැරසිළි සිදුකිරීම සඳහාය.

නගරාධිපතිගේ නියෝගය අනුව අදාළ සේවකයා රාජකාරියට වාර්තා කර ඇති අතර, එහිදී ඔහු සුපුරුදු පරිදි නගර සභාවේ අංශ කිහිපයක් වෙතද ගොස් ඇති බව ආරංචිමාර්ග පවසයි. මෙම සේවකයාට අදාළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව ලැබී ඇත්තේ, ඔහු සිය රාජකාරි සිදුකිරීමෙන් පසුව වන අතර එහි ප්‍රතිඵලය වී ඇත්තේ කොරෝනා positive බවය.

මේ සම්බන්ධව අදහස් දක්වන නගරසභා කාර්ය මණ්ඩලය චෝදනා කරන්නේ, නගරාධිපතිනිය දේශපාලන ලකුණු දමා ගැනීමට සිදුකළ අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් රැසකගේ ජීවිත අවධානමේ දැමුණු බවය. වසංගත සමයක සෞඛ්‍ය අංශ නියෝගපවා කඩකළ නගරාධිපතිනියගේ ක්‍රියාව හෙළාදකින ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව නගරාධිපතිනියට එරෙහිව සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාමාර්ග ගෙන දිවයිනේ රාජ්‍ය අංශ මෙන්ම පළාත් පාලන ආයතන වෙත එය අත්දැකීමක් කල යුතු බවය.

මහ කන්නයේ ‘කුඹුරු පිදුරු‘ සංකල්පය ‘සාගතයකින් කෙළවර වේවි - රෝහිණී

පොහොර නැතිව, වල් - කෘමි - දිලීර නාශක නැති මෙවර මහ කන්නය ‘කුඹුරු පිදුරු‘ කරනු ඇතැයි ද, ආණ්ඩුවේ ‘සාගතයක දැක්ම‘ මෙගා නාට්‍යය රඟදක්වමින් සිටින බව ද මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී  රෝහිණී කවිරත්න පවසයි.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.
අදාළ නිවේදනයේ මෙසේද දැක්වෙයි.

පොහොර හිඟය, වල් සහ කෘමි නාශක නොමැති නිසා මහ කන්නයේ වගාව ගොවීන් උනන්දුවක් නොදක්වති.  කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති තුනකි.  වෙනදා දක්නට ලැබෙන පූර්ව වගා සුදානම නැගෙනහිර, උතුරු මැද, මධ්‍ය, ඌව පලාත්වල දකින්නට නැත.  හේන් ගිණිතබා, ඇල මාර්ග සුද්ධ කර, පස පෙරලන්නට සුදානම් නැත. ගොවීන් වී සහ හේන් වගාවෙන් ඉවත් වීමේ අවදානමක් පවතී.

හේන් ගොවීතැනට භුමිය සකස් කිරීම සඳහා මේ වන විට වල් නාශක ලැබී තිබිය යුතුය.  ව්‍යාපාරිකයින් හා මහා පරිමාණ වගාකරුවන් රටේම වල් බෙහෙත් නැගෙනහිර ට අදිමින් සිටී. මේ ප්‍රශ්නයට විසඳුම් නෙැලැබෙන්නේ නම් පමාවී මහ කන්නයේ වගා අරඹන උතුරු මැද, මධ්‍යම හා ඌව, උතුරේ ගොවියාට යන එන මං නැති වනු ඇත.  

බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත.  හයිබ්‍රිඩ් බීජවර්ග ආරක්ෂා කර ගැනීම සඳහා කෘෂි රසායන යෙදීම අතශ්‍යවශවේ.  

කෙටි කාලීන වී වර්ගවල වල් මර්ධනය සඳහා වල් නාශක අත්‍යවශ්‍ය වේ. වී වපුරා හෝ පැල සිටවා දින 3 සිට සති 4 දක්වා කාලය තුල ගොයම් වගාවේ වල් මර්ධනය කළ යුතුය.  නැතිනම් වල් පැල පසේ සාරය උරාගෙන ගොයම් ගස දුර්වල වේ.  කෘෂි රසායනික නොමැතිව දැනටමත් රජරට කුඹුරු බොල් වී පිදුරු බවට පත්ව ඇත. කුඹුරේ පිදුරු මිස වී නැත.
මහ කන්නයේ ‘කුඹුරු පිදුරු‘ කරමින් රජය ‘සාගතයේ දැක්ම‘ මෙගා නාට්‍යය රඟ දක්වමින් සිටී.
 
තනි සමාගම් ඒකාධිකාරය සහ බෝට්ටු කෘෂි රසායන

කෘෂි රසායන වෙළඳපොලට නිකුත් නොකරන්නේ නම්, ගොවින් මහ කන්නයේ වගාවෙන් ඉවත්විම වැලැක්විය නොහැකිය.  ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට ගෙන්වනු ලැබන කිසිදු ප්‍රමිතියක් නැති කෘෂි රසායන (කෘමි හා වල් නාශක) ජාවාරමක් ඇරඹී ඇත. අධික විශ සහිත වල් නාශක ප්‍රසිද්ධියේම අලෙවි වේ.

තනි සමාගමකට කෘෂි රසායන ආයනයන ඒකාධිකාරය ලබාදීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇත.  සාධරණ තරඟකාරී වෙළෙඳපොලක් නිර්මාණය කර ගොවියාට පහසුමිලට කෘෂි රසායන ලබා ගැනීමට අවස්ථාව ලැබිය යුතුය. සලාක ක්‍රමයට කෘෂි රසායන ලබාදීමට උත්සහ දැරීම කළු කඩ ක්‍රමයක් නිර්මාණය කරනු ඇත.

එමෙන්ම, දිලීර රෝග, කෘමි රෝග සඳහා දිනක් හෝ දෙකක් තුල පිළියම් යෙදිය නොහැකි නම් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වේ. පොහොර සඳහා කාබනික ආදේශක සිමිත ප්‍රමාණයක් හෝ ඇති නමුත්, වානිජ්‍ය වගාවක කෘෂි රසායන සඳහා ආදේශක නොමැත.

මහ කන්නයේ දැඩි වර්ශාවක් ලැබෙන බැවින් දිලීර නාශක නොමැතිව වගා කළ නොහැකිය.  මීදුම, අධික වැස්ස දින තුනක් - හතරක් තුල නුවරඑළිය, නාවලපිටිය, නකල්ස් කදු පන්තිය, ඉහළ ඌව කලාපයේ එළවළු, පළතුරු, අර්තාපල්, මල් සහ විසිතුරු වගාවන් විනාශ විය හැකිය.  

රජයේ අදූරදර්ශී වැඩ පිළිවෙල ‘කුඹුරු - පිදුරු‘ කිරීමකි.  සාගතයට අත වැනීමකි.  මහ කන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම රජයේ වගකීමකි.

ජෝර්ජ් මාස්ටර් සමුගනියි !

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ 'ජෝර්ජ් මාස්ටර්' (George Master) අද (05) දින යාපනය රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිය මාස කිහිපයේ රෝගී තත්ත්වයන් යුතුව සිටි ඔහු මියැදෙන විට වයස අවුරුදු 85කි.

වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ වේලුපිල්ලේ කුමාරු පංචරත්නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ හඳුන්වන ලද්දේ ජෝර්ජ් මාස්ටර් යන නමිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වීමෙන් අනතුරුව ඔහු එහි දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම් සමඟ කටයුතු කළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භාෂා පරිවර්තකයකු වූ ජෝර්ජ් මාස්ටර් ඉංග්‍රීසි සහ සිංහල භාෂා ප්‍රවීණයකු වූ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර රට තුළ සහ විදේශයන්හි පැවැත්වුන සාම සාකච්ඡාවන්හි දී භාෂා පරිවර්තකයකු මට්ටමින් ඒවාට සහභාගී විය.

යුද්ධය නිමාවේ යුදකලාපයෙන් පිටව අනාථ කඳවුරකට පැමිණීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ජෝර්ජ් මාස්ටර් නීතිපති උපදෙස් මත හත්වසරකට පසු 2016 ජුලි 04 දා ඇප මත මුදා හරිනු ලැබුණි. ජෝර්ජ් මාස්ටර්ට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබුනේ 2009 වසරේ දී ය.

the leader

E h5DwPXsAgvukg

සැඟවූ ආහාර තොග වටලන නියෝගයක් එයි : සල්ලිත් දෙයි !

හදිසි අවස්ථා යටතේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයාට, සියලුම දිසාපතිවරුන් ට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ආහාර කොමසාරිස්වරයා වෙත ලිඛිත නියෝගයක් කර තිබේ.

එමගින් දන්වා ඇත්තේ නිත්‍යානුකූල නොවන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස් කරන්නන්ගෙන් එම තොග රජයේ අනුමත මිලට මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඒ සඳහා වන මැදිහත්වීම සිදු කර තමන් වෙත වාර්තා කරන ලෙස ද ඉන් නියෝග කර තිබේ.

කෙසේවුවත් මේ ආකාරයට අත්අඩංගුවට ගනුලබන ආහාර තොග සඳහා ආණ්ඩුව එම ව්‍යාපාරිකයන්ට මුදල් ගෙවීමක් සිදුකරන බවත් වාර්තා වෙයි.

පහත දැක්වෙන්නේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් නිකුත් කල නිවේදනයයි.

44444

 

එජාපයට 75 යි : ශ්‍රේෂ්ඨ ශ්‍රීලංකාව ගොඩනගන්න එක්වන්න - රනිල්

එක්සත් ජාතික පක්ෂයට වසර 75ක් පිරීම නිමිත්තෙන් වූ සංවත්සර සැමරුම අද (05) සිදුවිය.

"ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්" යන තේමාවෙන් මෙවර එජාප සංවත්සර සැමරුම් උත්සවය මෙවර පැවැත්වුණේ කොරෝනා වසංගතය හේතුවෙන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය.

එහිදී පිරිස අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ , තව වසර විසි හතකින් නිදහසේ සියවස සමරන දා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරන්නට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවය.

නව ශ්‍රී ලංකාවක් බිහි කරන වැඩපිළිවෙළ සමඟ අලුත් වූ එක්සත් ජාතික පක්ෂය අරඹන ගමනට නායකත්වය ගනිමින් එකතු වන්නැයි තරුණ පරපුර ඇතුළු සියලු දෙනාට ආරාධනා කරන බවත් එජාප නායකයා සංවත්සර උත්සවය අමතමින් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ප්‍රමුඛ පක්ෂයේ ආදි නායකයන් සිහිපත් කිරීමෙන් අනතුරුව වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරමින් සංවත්සර උත්සවය අමතනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී පිළිගැනීමේ කතාව කළ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් මේ අවස්ථාව සඳහා එක්වූහ.

කොරෝනා මරණ 10000 පනියි !

තවත් කොරෝනා මරණ තවත් කොරෝනා මරණ 189ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (05) නිවේදනය කර ඇත.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10140 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 96 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 93 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද වේ.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 34 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 154 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද නිකුත්කළ වාර්තාව පහත දැක්වෙයි.

98bb0f8a 09b9 4e4d 891b 38cc260f61e0

ජීවිත බේරගන්න තවත් මාසයක් රට වහන්න : විශේෂඥ උපදෙස්

කොරෝනා වසංගතයෙන් බේරාගත හැකි මිනිස් ජිවිත ගනන සැළකිල්ලට ගෙන රට වසා දැමීම තවත් කාලයක් දීර්ඝ කලයුතු බව ශ්‍රීලංකා වෛද්‍ය සංගමය ආණ්ඩුවට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා එක්ව අන්තර් වෛද්‍ය විද්‍යාල කමිටුව කොවිඩ් 19 සමනයට නිර්දේශ ඉදිරිපත් කරමින් පෙන්වාදී ඇත්තේ , ඔක්තෝම්බර් 02 වැනිදා තෙක් රට වසා දැමුවහොත් මිනිස් ජිවිත 10,000 ක් බේරා ගත හැකි බවයි.

''සංචාරක ව්‍යාපාරයට හිතකර තත්වයක් රට තුල ඇති කර ගැනීමට නම්, දිනකට වාර්තා වන රෝගීන් ගණන 950 කට අඩු විය යුතුව ඇති බවත් එසේම , පරීක්ෂණවලින් තහවුරු වන කොවිඩ් ආසාදිතයන් අනුපාතයද සියයට 2.5 ට අඩු විය යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න හා අන්තර් වෛද්‍ය විද්‍යාල කමිටුවේ කැඳවුම්කාර මහාචාර්ය තමාසි මකුළොලුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.  

සංචරණ සිමා හා සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් කෘෂි කාර්මික හා එළිමහන් වෙළඳපොල සඳහා අවසර ලබා දීම නිර්දේශ කරන වෛද්‍ය සංගමය, පොදු ප්‍රවාහන සේවා, මංගල උත්සව, රුපලවන්‍යාගාර, ආපන ශාලා, සමාජ ශාලා සහ තැබෑරුම් යළි විවෘත කිරීම නොකළ යුතු බවත් එම නිවේදනය සඳහන් කර ඇත.

දැනට රට වසා දැමීමේ ක්‍රමවේදයේ  ලිහිල්භාවය නිසා නිසි ප්‍රථිපල ලබා ගත නොහැකි බවද ඔව්හු අවධාරණය කරති.

  ''වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාටත්, වයස අවුරුදු 18 ත් 60 ත් අතර රෝගී අයටත් ප්‍රමුඛතාවය  දෙමින් එන්නත්කරණය කළ යුතුය'' යි  පවසන වෛද්‍ය සංගමය, ඒ සඳහා දැනට බහුලව ඇති සයිනොෆාම් එන්නත නිර්දේශ කරයි.  

  ප්‍රතිශක්තිය අඩු ලේ පිළිකා, ටියුමර්, අවයව බද්ධ කර ඇති අය,  ඩිජෝර්ජ් සින්ඩ්‍රෝමය, විස්කොට් ඇල්ඩ්රිච් සින්ඩ්‍රෝමය ආදී රෝගයන්ගෙන් පෙළෙන සහ ඒඩ්ස් ආසාදිතයන් ට ප්‍රමුඛතාවය දිය යුතු බවත්, වකුගඩු රෝග, පිළිකා, දියවැඩියාව, මස්තිෂ්ක අංශභාගය, හෘද රෝග, තැලසීමියා හා පෙනහළු, අක්මා, වල නිදන්ගත රෝග වලින් පෙළෙන වයස අවුරුදු 12 ත් 18 ත් අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට වෛද්‍ය සංගමය නිර්දේශ කරයි. 

  ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි බැවින් ඒ වෙනුවට ෆයිසර්, මොඩර්නා හෝ අස්ට්‍රෝසොනිකා එන්නත් ලබා දීමත්, එතරම් ප්‍රතිශක්තියක් නොමැති වයස අවුරුදු 60 ට වැඩි ඇස්ට්‍රෝසොනිකා, ෆයිසර්, සහ මොඩර්නා එන්නත් ලබා ගත් සියල්ලටම පළමු මාත්‍රා දෙක ලබා ගෙන මාස 6 කට පසු තුන්වෙනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනිකා එන්නත නිර්දේශ කර තිබේ. 

 ඊට අමතරව වෛද්‍ය සංගමය යෝජනා කරන්නේ ප්‍රතිශක්තිය අඩුව අයගේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා ''බුස්ටර්''` මාත්‍රාවක් ලබා දිය යුතු බවය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව : මනුෂගෙන් අනාවරණයක් !

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සැබෑ තත්වය අනාවරණය කරගැනීම වෙනුවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගෑමට උත්සාහ කරමින් සිටින බවත්, සුදු හුණු ගෑම පසෙකින් තබා දත්ත පද්ධතිය මකා දැමුවේ කවුරුන්ද යන්න අනාවරණය කරගැනීමට උත්සාහ ගන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

මෙම මන්ත‍්‍රීවරු කළ යුතුව ඇත්තේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීම බවද මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් ඔහු කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම ගැන වෙන කාටවත් ඇගිල්ල දිගු කරලා හරියන්නේ නෑ. මේ අධිකාරියේ තියෙන්නේ වටිනා දත්ත පද්ධතියක්. ලංකාවට ගෙන්වන ප‍්‍රාථමික බෙහෙත් පෙත්තේ ඉදලා සියලුම රෝග සදහා අවශ්‍ය, මිල අධික බෙහෙත දක්වා වන දත්ත තියෙන්නේ මෙම අධිකාරියේ.

මේ වගේ සංවේදී දත්ත පද්ධතියක් සතියකට වරක් නැවත වරක් ගබඩා කරගන්නවා. ඒ මේ වගේ දත්ත පද්ධතියකට මොන යම් හෝ හානියක් සිදුවුනොත් ඒක ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වෙන නිසා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ දත්ත පද්ධතිය භාරදීලා තියෙන්නේ එපික් ලංකා කියන ආයතනයටයි. ආචාර්ය දෙහිගම මහත්තයා තමයි මෙහි ප‍්‍රධානත්වය දරනවා. මේ ක්ෂේත‍්‍රය ගැන දැනුමක් ඇති අයෙක්. මේ දත්ත පද්ධතියේ වටිනාකම ඔහු දන්නේ නැද්ද?

මේ දත්ත පද්ධතිය තියෙන්නේ වෙනම ස්ථානයක. මේ දත්ත පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගත හැකි ක‍්‍රමවේදයන් කවරේද කියලා සොයා බැලුවේ නැද්ද?

මේ දත්ත පද්ධතිය මැකී ගොස් ඇත්තේ එක් පුද්ගලයෙක්ගේ වරදක් නිසා යැයි දැන් කියනවා. මේක වෙන කාගේවත් පිට දාලා බේරෙන්න හදන්නේ.

මේ දත්ත පද්ධතියට අයත් මුර පදය හතර දෙනෙක් අතේ තමයි තිබිලා තියෙන්නේ. මේ හතර දෙනාගේ අනුදැනුම නොමැතිව මේ දත්ත මැකිය හැකිද? මේ හතර දෙනාගෙන් කෙනෙක් නෙමෙයිද මේ දත්ත පද්ධතිය මකලා දැම්මේ. මේ හතර දෙනාගෙන් කෙනෙක් නම් කළේ ඒක කළේ කවුද?

සාමාන්‍යයෙන් අපේ ජංගම දුරකතනයෙන් ඡුායාරූපයක් ඉවත් කරන්න ගියත් ඒක ඉවත් කරන්නද කියලා අහනවා. ඒක මකලා දැම්මත් එකවර දුරකතනයෙන් ඉවත් වෙන්නේ නෑ. ඒක බින් එකට යනවා. එතැනිනුත් අයින් කරන්නද කියලා ඇහුවාම තමයි මේ ඡුායාරූප ඉවත් වන්නේ.

දැන් තියෙන අලුත් ජංගම දුරකතනයකින් ඡුායාරූපයක් ගත්තම ඒක ක්ලවුඩ් එකකට යනවා. දුරකතනයෙන් ඡයාරූපය ඉවත් කළත් ඒක ක්ලවුඩ් එකේ තියෙනවා. ඒ ගබඩාවෙන් ඉවත් කරන්න ගියත් මේක කරන්නම ඔ්නද කියලා අහනවා. එතකොට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකනකොට මේ ප‍්‍රශ්ණවලට උත්තර දුන්නේ කවුද? එක බොත්තමක් එබූ පමණින් ඉවත් එම දත්ත ඉවත් වෙන්නේ නැහැ.

මේ දත්ත පද්ධතිය ඉවත් කරනවා නම් ඒ සදහා ඉහළ අධිකාරියකින් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැද්ද?

මේ දත්ත මකා දැමීමට විධායන දුන් පුද්ගලයා කවුද? මේ විධායනය දුන් පුද්ගලයා කවුරුන්ද කියලා අයි.පී. ලිපිනය හරහා සොයා ගන්න පුලුවන්. කොතැනිින්ද පරිඝනයකට ඇතුළු වුනේ කියලා සොයා ගන්න පුලුවන්. කාගේ මුර පදයෙන්ද ඇතුළු වුනේ.

මේ එකකටවත් උත්තර දෙන්නේ නැතිව ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු සුදු හුණු ගාන්න, තමන්ගේ යාළු මිත‍්‍රයින් බේරා ගන්න උත්සාහ කරනවා. බෙහෙත් මාෆියාවට අවශ්‍ය කරන ආකාරයට කවුරුන් හෝ දත්ත පද්ධතිය මකා දැමූ විට ඒකට සුදු හුණු ගාන්න හදනවා.

රටේ වැදගත් දත්ත පද්ධතිය ආරක්ෂා කරගැනිමට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් තිබුණේ නැද්ද? මෙසේ ඉවත් වන දත්ත බැකප් කරගැනීම සදහා ක‍්‍රමවේදයක් තිබුණේ නැද්ද කියන එක බරපතල ප‍්‍රශ්ණයක්.

ජාතික ආරක්ෂාව රකිනවා කියලා ආණ්ඩුව ආවේ. ඒත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියවත් ආරක්ෂා කරගැනීමට නොහැකි වෙලා තියෙනවා.

තාක්ෂණික වශයෙන් ගත්තම මේ දත්ත මැකීමට ඉහළ විධානයක් තිබිය යුතුයි. ඒ විධානය දුන්නේ කවුද? මේ දත්ත පද්ධතියට ඇතුළුවුනේ කවුද? ඔහුගේ අයි.පී. ලිපිනය මොකක්ද? ඔහු දත්ත පද්ධතියට ඇතුළු වුනේ කොතැනින්ද? මේ දත්ත පද්ධතියේ මුර පදය හතර දෙනෙක් සතුව තිබෙනවා නම් ඒ හතර දෙනා කවුද? මේ හතර දෙනාගෙන් පිට අයෙක් මේ දත්ත පද්ධතියට ඇතුළු වුනා නම් ඒ කවුද? කොතැන තිබෙන පරිඝනකයකින්ද ඒ සදහා ඇතුළුවී තිබෙන්නේ? කුමන රටින්ද, කුමන තැනකින්ද ඒ පද්ධතියට ඇතුළු වුනේ කියලා සොයා ගැනීමට අමාරු දෙයක් නෙමෙයි.

මේ මන්ත‍්‍රීවරු කරන්න ඔ්න මේ ඇත්ත සොයා ගෙන ප‍්‍රසිද්ධ කිරීමයි. මේක වෙන ආණ්ඩුවක් පිටින් දාලා අත සෝදාගන්න එපා.

– Manusha Media

රට තුළ විනිමය අනුපාත 3ක් !

රට තුළ විනිමය අනුපාත තුනක් ක්‍රියාත්මක වන බව ඒ ගැන සිදු කළ විමර්ශනයකදී හෙළිදරව් විය.

ඉන් පළමුවැන්න අමෙරිකානු ඩොලර් සඳහා මහ බැංකුව නියම කරන විදේශ විනිමය විකිණීමේ නිල අනුපාතයයි. දැන් එය ඩොලරයකට රු. 204/-ක් පමණය.

දෙවැනි විනිමය අනුපාතය ක්‍රියාත්මක කර ඇත්තේ පෞද්ගලික වාණිජ බැංකු විසිනි. එම බැංකුවලින් නිවේදනය කර ඇති පරිදි ඩොලරයක් විකුණන්නේ රු. 226/-ත් 228/-ත් අතර මිලකටය.

මෙම විනිමය අනුපාත දෙකටම අමතරව කොළඹ චැතැම් වීදිය ඇතුළු කළුකඩ වෙළෙඳපොළේ ඩොලරයක් අලෙවි වන්නේ රු. 240/-ත් රු. 250/-ත් අතර මිලකටය. මෙම නිල නොවන මූල්‍ය වෙළෙඳාම සඳහා බලපත් ලැබූ ව්‍යාපාරිකයෝද සිටිති.

එහෙත් ඔවුන් මෙයට පෙර ඩොලර් අලෙවි කළේ මහ බැංකු අනුපාතයට වඩා රුපියල් දෙක තුනක් මිල ඉහළ නංවමිනි.

රටේ වාණිජ බැංකුද මහ බැංකු අනුපාතයට සාපේක්ෂව රුපියලක දෙකක මිල වෙනසක් ඇතිව ඩොලර් අලෙවි කළේය.

පවත්නා ඩොලර් හිඟය නිසා රට තුළ මේ වන විට ඩොලර් අලෙවියට විනිමය අනුපාත තුනක් ක්‍රියාත්මකය. එසේම අනාගත වෙළෙඳපොළ සඳහා (Forward Market) ඩොලර් අලෙවිය සිදු කිරීමේදී විවිධ ඉහළ මිල අනුපාත වාණිජ බැංකු විසින් නියම කර තිබේ.

– Deshaya

වයස අවුරුදු 20-29ත් අතර පිරිසට හෙට සිට එන්නත්

කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා හෙට(06) සිට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මේ වන විට එන්නත් ලබාදෙන ස්ථානයන්හීදිම හෙට දිනයේ මෙම වයස් කාණ්ඩ සඳහාද එන්නත් ලබා දීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව කොළඹ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් සදහා එන්නත්කරණය හෙට දිනයේදී දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, පනාගොඩ යුද හමුදා කදවුර හා වේරහැර හමුදා රෝහලේදී සිදු කරන බවද යුද හමුදාපති පැවසීය.

ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක්

මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.

ඒ අනුව අදාළ ඔක්සිජන් තොග රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම් සහ චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වි ඇතැයිද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉන්දිය රජයෙන් කළ පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය මාසයේ මැද සිට ඉන්දීය රජය ර්‍ශී ලංකාවට හදිසි ඔක්සිජන් සැපයුම් ලබා දීම සිදු කර ඇත.

මෙහි පළමු පියවර යටතේ ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අගෝස්තු 25 වැනිදා දී ද්‍රව වෛද්‍ය ඔක්සින් ටොන් 100 ක් කොළඹ වරායට රැගෙන ආවේය.

කොවිඩ් වැළඳී ආදිවාසී නායකයාගේ බිරිඳ මියයයි

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා  අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

හීන් මැණිකා  දරුවන් 09 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි.

ඔක්සි මීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3000 යි

ඔක්සි මීටරයක් සඳහා රුපියල් 3000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (04) විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිතය.

සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල  අද එම අමාත්‍යංශයේදී අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබීය.

පසුගිය දිනවල ඉතා අධික මිල ගණන්වලට ඇතැම් ඖෂධ වෙළඳසැල්හි ඔක්සි මීටර් අළෙවි කෙරුණු අතර ඇතැම් වෙළඳසැල්හි ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් අලෙවි කරන බවටද තොරතුරු ලැබී තිබිණි.

ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍ය රඹුක්වැල්ල පෙන්වා දෙයි.

ජෝගින් ට්‍රැක් ජෝගිය කන්තලේ වැවටත් ! (වීඩියෝ )

ජනතා විරෝධය මැද හකුලා ගැනුණු පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර රළපනාවේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ උත්සාහයට පසුව දැන් තවත් සුප්‍රසිද්ධ වැවක් ආශ්‍රිත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ උත්සාහයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

මෙවර වාර්තා වන්නේ, දෙවන අග්බෝ රජ සමයේ ඉදි කළ කන්තලේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ සූදානමක් ගැනය.

මෙකී ‌ව්‍යාපෘති යෝජනාව කන්තලේ නගර ශාලාවේ පැවැති රැස්වීමකදී අනාවරණයවී ඇති අතර මේ සදහා රුපියල් මිලියන 20ක මුදලක් සම්මත වී ඇති බවත් සඳහන්ව ඇත.

ඊට දැනටමත් ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් ඊට විරෝධය පළ කොට ඇති බවත් වාර්තා වෙයි.

මේ වන විට රට බරපතල මුල්‍ය අර්බුදයක පසුවන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ වෙළඳපොළේ ඇතැම් භාණ්ඩ හිඟතා ගැනත් මාධ්‍ය වාර්තා පළවෙයි.

එවැනි පසුබිමක මේ ආකාරයට ඇවිදින මංතීරු ඉදිකිරීමට මේ අවස්ථාව නොවන බවට මත පළවෙමින් තිබේ.

දරුවන් 25ක් කොරෝනාට බිලි !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත.

තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

කොවිඩ් ආසාදිතව මිය ගිය දරුවන්ගෙන් වැඩිදෙනෙකු රිජ්වේ ආර්ය්යා ළමා රෝහලේ දී මිය ගොස් ඇති අතර එය සංඛ්‍යාවක් ලෙස 18කි.

(aruna )

image 17a39e6aa5

තවත් කොරෝනා මරණ 145ක් !

කොරෝනා මරණ 145 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (04) නිකුත්කර ඇත.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,951 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 77 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 68 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 4 දෙනෙක් සිටිති.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 24 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 117 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

ඒ අනුව පසුගිය දින වලට ඊයේ දින (03) සාපේක්ෂව මරණ සංඛාවේ අඩුවක් පෙන්නුම් කරන අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි.

covid death 1000px

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙක්

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.

පත්කරනු ලබන අදාළ නිලධාරියා විසින් ආයතනික මට්ටමින් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා රෝගීන් කළමනාකරණය, වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සමග සමීබන්ධීකරණය ඇතුළු කටයුතු සිදු කළ යුතුයි.

කොවිඩ් කාර්යභාර නිලධාරියෙක් පත් කිරීම මගින් කොවිඩ් වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් පහළ යනු ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

ඩොලර් අර්බුදය තවත් උග්‍ර වෙයි !

ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත නමුත්

මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද?

චීනයෙන් ලැබුණු මුදල් කෘත්රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත. ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය. රාජ්ය මුල්ය බංකොලොත් භාවය,

රාජ්‍ය  ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්ය ප්රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත.

or

or2

or3

අපි ප්රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු.

• ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද?

• පවත්නා අභියෝගයන් සඳහා අවශ්ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද?

• විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?

• මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්රමෝපාය මොනවාද?

මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී. විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත. මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී.

විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත.

පුරාජේරු. වගාඩම්බර වලින් ප්රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්යන්තරය අවශ්ය නැත වැනි උද්දච්ච ප්රකාශ කිරීම, ප්රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්රශ්නය විසඳීමට හැකි වනුයේ ප්රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි.

ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත.

විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.

 පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Page 354 of 386