V2025

පුවත්

රුපියලේ ඓතිහාසික කඩා වැටීමක් !

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේ දී රු. 204.89 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දෙයි.

එය මෙතෙක් ඉතිහාසයේ ඒක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වේ. මීට පෙර වාර්තා වූ ඉහළම අගය වූයේ 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රු. 204.62 ක් ලෙසින් වාර්තා වීමය.

මේ අතර මෙරට විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මහ බැංකුවෙන් ගිලිහී තිබෙන බවත් එය නීති රීති දමා හෝ තර්ජනය කර හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කර පාලනය කිරීමට නොහැකි වනු ඇති බවත් අනාවරණය කරයි.

“මේ වනවිට කළු කඩය තුළ ඩොලර් එකක් රුපියල් 240, රුපියල් 250, රුපියල් 260 වගේ මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ කියන්නේ විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මේ වනවිට මහ බැංකුවෙන් ගිලිහී ගොස් තිබෙනවා. නීති රීති දාල හෝ තර්ජනය කරලා හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කරලා, මහ බැංකුවට මේක පාලනය කරන්න ලැබෙන්නෙ නෑ.“

යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසා ඇති අතර ඒ අන්තර්ජාල youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

එසේම ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය CCC සෘණ මට්ටම දක්වා පහත දමා ඇති බවත් මූඩීස් ණය වර්ගීකරණ ආයතනය ලංකාවට අනතුරු හඟවා තිබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ 2022 කල් පිරෙන බැඳුම්කර ශ්‍රී ලංකාවට නැවත ගෙවීමට නොහැකිවේ යැයි විශ්වාසයක් මේ වනවිට ආයෝජකයින් තුළ ඇතිවී තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

කොරෝනා මරණ 9000 පනියි !

තවත් මරණ 194ක් ඊයේ (30) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (31) නිකුත්කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර එළැඹෙන සැප්තැම්බර් 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසනු ලැබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ පවතින තත්ත්වයන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවය.

පින්නවලදී ප්‍රථම වරට නිවුන් අලි උපතක්

පින්නවල අලි අනාථාගාරයේදි පළමු වරට නිවුන් අලි පැටවුන් උපතක් සිදුව තිබේ.

අද අළුයම 4.00ට පමණ පළමු පැටවා උපත ලැබූ අතර, දෙවන පැටවා දහවල් 12.00ට පමණ උපත ලබා තිබේ.

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි උපතක් සිදු වූයේ ප්‍රථම අවස්ථාවේ මෙයයි.

අවුරුදු 24ක් පමණ වයසැති ‘සුරංගි’ නම් කෙනරක් මෙම අලි පැටවුන් බිහි කර ඇත. 1996 වසරේ ත්‍රිකුණාමලය සුරංගල්ගම ප්‍රදේශයේ උපත ලැබූ එම මෙම කෙනර 1997 වසරේදී පින්නවල අලි රංචුවට එක් වූ අතර ඇය 2009 වසරේදී කනක නම් අලි පැටවෙකු ද බිහි කළාය.

අලි අනාථාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ, කෙනෙර සහ පැටවුන් දෙදෙනා නිරෝගී සුවයෙන් පසුවන බවය.

වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයෙන් හමු වූ පණ්ඩු නම් ‘හස්තියා’ මෙම අලි පැටවුන් දෙදෙනාගේ පියා ලෙස සැලකෙයි.

image ali 1

WhatsApp Image 2021 08 31 at 3.29.45 PM

රජයේ වියදම් සීමා කරන්න - මුදල් ඇමති

රජයේ වියදම් සීමා කිරීම මෙන්ම අනවශ්‍ය වියදම් කපා හරින්නැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. 

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  ඊයේ(30) කැබිනට් රැස්වීමේදී කරුණු පැහැදිලි කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඔහු පවසා ඇත්තේ  කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බවය.

මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .

කැබිනට් රැස්වීමේදී  පහත සදහන් කරුණු කෙරෙහි ද දැඩිව අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත.

එනම්, සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .

සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.

තම ආයතනවල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .

වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

තවද දැඩි මූල්‍ය විනයක් පවත්වා ගන්නැයි ද එහිදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ  සඳහන් කළේය.

තවත් ස්පුට්නික් මාත්‍රා 15,000ක් මෙරටට

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙන ආවේය.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා අද (31) අලුයම මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.

එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

එම එන්නත් තොගය, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත ය.

ගුරුවරුන්ට රු.5000ක දීමනාවක්

ගුරු – විදුල්පති සේවා සංවෘත සේවා කිරීමටත්, වැටුප් වැඩිවීම අයවැය මගින් අදියරගතව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ අතර සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාස සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයට කැඳවයි

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  (31) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබේ.

මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම හා එම පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති බවටත්, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා සහ දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් ඔහු Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවට දැක්වූ අදහස් හේතුවක් කරගනිමිනි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි.

ඒ අනුව,  (30) සවස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හමුවීමට පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරයා දන්නා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බැවින් හෙට උදෑසන 8.30ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

ත්‍රිකුණාමලයෙත් කොරෝනා දත්තවල බරපතළ වෙනසක් !

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් තුන්වන රැල්ලේදී ආසාදිතයින් 8,200ක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා පවසයි.

කෙසේවෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව එම දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 3,600ක් ලෙසය.

ඒ අනුව බරපතළ දත්ත වෙනසක් පවතී.

වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා වැඩිදුරටත් පැවසුවේ තුන්වන රැල්ල තුළ එම දිස්ත්‍රික්කයේ මරණ 200කට අධික ගණනක් වාර්තා වන බවය.

එජාප හිටපු මන්ත්‍රී ගුණසේකරත් කොරෝනාට බිලි !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මිය යන විට ඔහු 86 වැනි වියෙහි පසුව ඇත.

හිටපු ජනාධිපති ජේආර්. ජයවර්ධනගේ ප‍්‍රභල ආධාරකරුවකු වූ ඔහු 77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු අතර ඔහු ගම්පහ ප‍්‍රථම දිසා ඇමැතිවරයාද ටියුඩර් ගුණසේකර ය.

මියගිය හිටපු මන්ත්‍රීවරයා පෝලන්තයේ පළමු ශ්‍රීලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.

එන්නත් පරදන කොරෝනා ප්‍රභේදයක් හමුවෙලා !

කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකිවී ඇති බව එරට බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන අතර මෙය මෙම වසරේ මැයි මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බව වාර්තා වේ.

C.1.2 ප්‍රභේදය ඉකුත් ජනවාරි මාසයේදී හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම වෛරසය වුහාන් වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත වන අතර මෙය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර තිබේ.

C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N440K සහ ‍Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරනු ලබන බව විද්‍යාඥයින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ නිසා කොවිඩ් -19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නතින් මිනිස් සිරුරේ නිපැදවෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමට මෙම වෛරසයට හැකියාව ලැබෙනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළකර තිබේ.

නව C.1.2 ප්‍රභේදය කොවිඩ් ප්‍රභේශයට වඩා භයානක වනු ඇත්දැයි හඳුනා ගැනීමට තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

වෛරසය පලමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින්ද වාර්තා වී ඇති බව පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

– aruna

සුසාන භුමිවල ඉඩ මදිවෙලා !

කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් සී නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ත්‍රිකුණාමලය පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල මෙම සුසාන භූමිය සූදානම් කරමින් පවතින බවය.

මේ අතර දැනට කොරෝනා මෘත දේහ භූමදානය කරන මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමියට අයත් තවත් අක්කර 2 ක භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ දී තවත් පුළුල් කර ඇති බවත් පුවතේ සඳහන් වෙයි.

එම සුසාන භූමියේ මේ වන විට භූමදානය කර ඇති මෘත දේහ ප්‍රමාණය 2264කි.

දුලාන්ගෙන් ලංකාවට පැරාලිම්පික් ලෝකඩ පදක්කමක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අද (30) සමත්විය. 

ඒ පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කු එහි ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත්විය.

ශ්‍රී ලංකා හමුදා පොලිස් සේවය නියෝජනය කරන දුලාන් මීට පෙර ජාත්‍යන්තර තරග බිමේ දී 2019 වර්ෂයේ ඩුබායිහිදී පැවති ලෝක පැරා ශූරතාවලියේදී එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත්තේය.

ලොක්ඩවුන් ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කරන්නට නිර්දේශ

2021 අගෝස්තු 26දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් රැස්වූ කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ හයවන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ රැස්වීම හරහා ඇඳිරි නීතිය ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. දැඩි ක්‍රියාමාර්ග අඩු වශයෙන් සැප්තැම්බර් 18දා දක්වා හෝ දීර්ඝ කළ යුතු බව ඔවුහු පවසති.

මෙම රැස්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලදමුත්, එමගින් අනිවාර්යයෙන් එම සංවිධානයේ මතය ඉදිරිපත් නොවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ගූගල් සිතියම්, ජංගම දුරකථන හා ෆේස්බුක් ඔස්සේ ලබාගත හැකි සංචලන දත්ත භාවිතා කරමින් වඩාත් වැදගත් ක්‍රියාමාර්ග හඳුනාගෙන ඒවා තීව්‍ර කිරීම හරහා සංචලනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස ද එම පිරිස නිර්දේශ කර තිබේ. එන්නත්කරණය සම්පූර්ණ කිරීමට, ඵලදායී රෝගී ප්‍රමුඛතා ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට හා නිවසේ සිට රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය ප්‍රශස්ථ කිරීමටත් හා රුධිරයේ ඔක්සිජන් මට්ටම පහත වැටීම නිරීක්ෂණය කිරීමටත් ඔවුන් නිර්දේශ කර තිබේ.

සීමාකිරීම් සැප්තැම්බර් 18දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් ද, ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් ද වළක්වාගත හැකි බව මෙම විශේෂඥවරු පෙන්වාදෙති. ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හා ඔක්සිජන් වැනි ඉතා වැදගත් සැපයුම් හිඟවීම වැනි හේතු මත ඇතිවන අධික පීඩනයෙන් මිදීම සඳහා සෞඛ්‍ය පද්ධතියට යම් කාලයක් ලැබෙනු ඇති බව ද ඔවුහු පවසති.

ඔක්තෝබර් 02දායින් අවසන් වන සති හයක සීමාකිරීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.22ක හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක හානියක් ආර්ථිකයට වන බව තක්සේරු ඉදිරිපත් කර තිබෙන මෙම කමිටුව පවසන්නේ ගෝලීය හා දේශීය සාක්ෂි මගින් පෙන්නුම් කරනුයේ සීමාකිරීම් ඉවත් කිරීමෙන් පසු ආර්ථිකයන් ඉක්මණින් යථා තත්වයට පත්වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක හා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කෝවිඩ්-19 සූදානම හා ප්‍රතිචාර (SEAR) පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන් විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනෙහි සභාපතිත්වය දරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං විසිනි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, මහාචාර්ය අසිත ද සිල්වා, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කාමිනී මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, මහාචාර්ය අතුල සුමතිපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දුනීසියා වෛද්‍ය නිලධාරි පබා පලිහවඩන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න, මහජන සෞඛ්‍ය විශේෂඥ හා සර්වෝදය සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න ඇතුළු විශේෂඥයන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

praja.lk

නඩු කටයුතු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිවේදනයක්

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ලබන හදිසි අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවීමට ගෙන තිබූ තීරණය ලබන 03 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එලෙස විවෘත අධිකරණයේ කැඳවීමට අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය නඩු අදාළ පාර්ශවකරුවන්ට දැනුම්දීමෙන් පසු සහ මෝසමක් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව කැඳවිය හැකි බව ඔහු පවසයි.

එම නඩු විභාගයන් පෙරවරු 11.00ට ආරම්භ කරන බව ඔහු පැවසීය.

ඒ අනුව, විනිසුරුවරයාගේ අවසරයකින් තොරව අදාළ නඩුවලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුළුවිය නොහැකි බවත් සියලුම නීතීඥවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල  වැඩිදුරටත් සඳහන් කළේය.

නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් රන් පදක්කමක්

නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් අද (30) සමත් විය.

ඒ පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන්ය.

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි.

ඒ අනුව ඔහුට එම ඉසව්වේ රන් පදක්කම හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයකි.

එක් අතක් වැලමිටට පහළින් හෝ ඉහළින් අහිමි ක්‍රීඩකයන් තරග වදින එෆ් 46 කාණ්ඩය යටතේ තරග වැදුණ දිනේෂ්, සිය තෙවැනි උත්සාහයේදී මිටර් 67.79 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්තාව පිහිටුවේය. ඔහුගේ පළමු උත්සාහය මීටර් 62.58 ක් ලෙසද, දෙවැනි උත්සාහය මීටර් 62.19 ක් ලෙසද සටහන් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 58.23 ක දුරක් හෙල්ල විසිකරමින් එෆ් 46 කාණ්ඩයේ ලෝකඩ පදක්කමට හිමිකම් ක්‍රීඩකයාද විය.

2017 වසරේ ලන්ඩන්හිදී (මීටර් 57.93) සහ 2019 වස⁣රේ ඩුබායිහිදී (මීටර් 60.59) පැවැති පැරා ලෝක ශූරතාවලි දෙකේදී රිදී පදක්කම් හිමිකරගත් ඔහු, 2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ආසියානු පැර ක්‍රීඩා උළෙලේදී මිටර් 61.84 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනාගත්තේය. මෙවර පැරලිම්පික් උළෙලට සහභාගී වීමට පෙර ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙසද එය සටහන් විය.

මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාව සතුවූ අතර එම පදක්කමට හිමිකම් කී ක්‍රීඩකයන් දෙදෙනාද පැරණි වාර්තාව අභිබවා යෑමට සමත් වීම එහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.

2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 63.97 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ දේවේන්ද්‍ර, එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පැරණි වාර්තාවට හිමිකම් කීවේය. මෙවර තරගාවලියේදී සිය ඉහළම දක්ෂතාව දක්වමින් මීටර් 64.35 ක දුරක් හෙල්ල විසි කිරීමට දේවේන්ද්‍ර සමත් වුවද, ඔහුට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

පැරා ලෝක ශුරතාවලි දෙකකදී (2017 සහ 2019) රන් පදක්කම් දෙකක් සහ පැරා ආසියානු ක්‍රීඩා උළෙලකදී (2018) රිදී පදක්කමක් දිනා සිටි ඉන්දියාවේ සුන්දර් සිං, මීටර් 64.01 ක දක්ෂතාවක් දක්වමින් මෙවර එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.

a28d7b08 208b16ee e8a8 489d be91 f795b35784ec

dinesh pera 1000px

ආණ්ඩුව මාෆියා සතුටු කරනවා - හඳුන්නෙත්ති

මාෆියා සතුටු කිරීම වෙනුවට ආණ්ඩුව ජනතාවට සහන දියයුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

කොවිඞ් වසංගතය හමුවේ සංචරණ සීමා පනවා තියෙන අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධවල මිල ඉහළ යාම සම්බන්ධයෙන්, ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අද (29) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කෙරුණු අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වීය.

මේ එහිදී හිටපු මන්ත්‍රීවරයා දැක්වූ අදහස් ය.

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට ඩොලරයේ අගය වැඩිවීම, රුපියල බාල්දු වීම සහ ආනයනය සීමා පැනවීම වගේම ආර්ථිකයේ පසුබෑම වැනි කරුණු ආණ්ඩුව විසින් දක්වනවා. පොදුවේ දකින්න ලැබෙන කරුණු මේ තත්වයේ තිබුණත් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යාම දරාගන්න බැරිවී තිබෙන්නේ මේ හේතු නිසාම නෙවෙයි. ජනතාව පවතින තත්වයන් බාරගන්න ඕනෑ බව ආණ්ඩුව පවසනවා. පාරිභෝගික කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ මේ මොහොතේදී උත්තරයක් නැහැ කියලා. මෙතරම් පීඩනයක් ජනතාවට තිබියදී වගකිව යුතු අමාත්‍යවරුන් කරන ප්‍රකාශ දිහා බැලුවාම ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය පැහැදිලියි.

ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵල !

සීනි සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2020 නොවැම්බර් 16 ගැසට් නිවේදනයක් නිකුත් කළා. තොග මිල රු. 80ක් සහ උපරිම සිල්ලර මිල රු. 85ක් නියම කළා. නමුත් මේ අතර සීනි ආනයනය කිරීමේ කිලෝවක බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කළා. මෙතැන රු. කෝටි 1,500කට වැඩි බදු වංචාවක් සිදුවුණා. අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළා. ඒ වෙනකොට මෙ.ටොන් 90,000ක් ගෙනත් තිබුණා. මැයි මාසය දක්වා මිල වැඩිවීමක් නොවන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළා. ආනයනකරුවන් සමග වෙළඳ ඇමතිවරයා විල්මා ආයතනය ඇතුළුව 12දෙනෙකු සමග විතරක් ගිවිසුම් අත්සන් කළා. නමුත් ඒ වෙනකොට 65 දෙනෙකු ආනයනය කිරීමේ යෙදී හිටියා. නමුත් මැයි මාසයෙන් පස්සේ සීනි මිල වේගයෙන් වැඩිවී අද රු. 240ක් ඉක්මවා තිබෙනවා. උපරිම මිල සීමාව අප්‍රේල් මාසයෙන් අවසන් වුණා. වෙළඳ ඇමතිවරයා කීවේ සීනි හිඟයක් නැති නිසා ප්‍රශ්නය ඉවරයි කියලා. දැන් පාරිභෝගික කටයුතු ඇමතිවරයා කියන්නේ රු. 100කින් මිල වැඩිවුණත් කරන්න දෙයක් නැහැ කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන් සහන දෙන්න තිබියදී බදු වංචා කරලා කිහිප දෙනෙක් අතර ඒකාධිකාරයක් පිහිටුවන්න ආණ්ඩුව ඉඩ දීලා. සහල් වෙළඳපොළේ තියෙන්නේ ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵලයි. ගොවි ජනතාවත් පාරිභෝගිකයත් අසරණ කරලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන රතු කැකුළු සහල් කිලෝ එකක් 115ක විතර ඉඳලා විවිධ වර්ගවල සහල් රු. 200 දක්වා මිල වැඩිවෙලා.

සතිපතා මිල වැඩිවීම් !

වෙළඳපොළේ මිල වැඩිවන අවස්ථාවල දේශීය නිෂ්පාදකයන්, දේශීය කර්මාන්ත දියුණු කරන්න සමහර ඇමතිවරු කතා කරනවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළෙත් ඒ විදිහට. ඊට පස්සේ මොනවාද සිද්ධ වුණේ? සැමන් කර්මාන්ත ශාලාත් එහෙමයි. අනෙක් පැත්තෙන් සැමන් සහ පරිප්පු සහනාධාර මිලට දෙනවා කියලා අද මොකද වෙලා තියෙන්නේ? අද දිනපතාම සියලුම අත්‍යාවශය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යනවා. රු. 150ට තිබුණු අල කිලෝ එක රු 200 සහ ලංකා අල කිලෝව 250 දක්වා ඉහළ ගිහින්. ලොකු ලූණු කිලෝ එක රු 130යි. 340ට තිබුණු හාල් මැස්සෝ කිලෝව රු. 1100 විතර දක්වා වැඩිවෙලා. වියළි මිරිස් 650යි. රු. 380ට තිබුණු පොල් තෙල් ලීටරය අද 750යි. අද කිරිපිටි හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම එළවළු සියලුම වර්ගවල මිල ගණන් දිනපතා ඉහළ යනවා. අද ආදායම් මාර්ග අහිමි වී, නිරෝධායනයට ලක්වී, නිරෝධායන ඇඳිරි නීතියට ලක්වී ඉන්න ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලු ගෑස් මිල, ඉන්ධන මිල, පාන් සහ බනිස් මිල ඇතුළු අත්‍යවශ්‍ය හැම දේකින්ම වේගයෙන් වැඩිවෙලා. ආදායම් මාර්ග නැතිවීම, පඩි වැඩිවීම් නැතිවීම, පවතින පසුබිමක පුංචි බිස්කට් පැකට් එකක පවා මිල රු. 10කින් විතර සතිපතා වැඩිවෙමින් තිබෙනවා.

මේ අතර ඖෂධවල උපරිම මිල තීරණය කරල අගෝස්තු 19වැනිදා ගැසට් එකක් නිකුත් කළා. ගැසට් නිකුත් කරන්න ඕනෑ පවතින මිලට වඩා අඩු මිලකට ලබාදෙන්න. නමුත් සිදුවී තිබෙන්නේ කොවිඞ් වසංගත තත්වය තුළ පවා අනෙකුත් ලෙඩ රෝගවලට ඖෂධ ගන්න බැරි තත්වයක් ඇතිවී තිබීමයි. ඖෂධ නාමයෙන් මිල තීරණය කර තිබෙන අතර වෙළඳපොළේ වෙළඳ නාමයන් යටතේ විශාල වැඩි මිලකට ඖෂධ විකුණනවා. නමුත් ගැසට් නිවේදනයෙන්ම ඖෂධ නාමයේ මිල ගණන් වැඩි කරලා තියෙන්නේ. අධි රුධිර පීඩනයට ගන්නා ලොසාටන් පොටෑසියම් මිලි ග්‍රෑම් 25 රු. 4 ඉඳලා 9.62 දක්වා වැඩි කරලා. ඒවගේම මිලිග්‍රෑම් 50 රු. 7 ඉඳලා 13.49 දක්වා වැඩි කරලා. ඒ වගේම කොලොස්ටරෝල්වලට ගන්නා ඇටෝවාන්ටැටීන් මිලි ග්‍රෑම් 10 රු. 4.50 ඉඳලා 14.60 දක්වා වැඩි කරලා. ඒ වගේම මිලි ග්‍රෑම් 20 ර.ැ 7.50 ඉඳලා 23 දක්වා වැඩි කරලා. දියවැඩියාවට ලබාගන්නා මෙට්ෆෝමින් මිලි ග්‍රෑම් 500 රු. 3.20 ඉඳලා 5.17 දක්වා වැඩි කරලා. ඒ වගේම ග්ලික්ලසයිඞ් මිලි ග්‍රෑම් 80 රු. 5 ඉඳලා 14.80 දක්වා වැඩි කරලා. ගැස්ටි්‍රක්වලට ලබාගන්නා ඔමෙප්‍රසොල් මිලිග්‍රෑම් 20 රු. 4.80 ඉඳලා 5.89 දක්වා වැඩි කරලා. ඒ වගේම පැන්ටොප්‍රසෝල් මිලි ග්‍රෑම් 30 රු. 3.50 ඉඳලා 22.25 දක්වාත් එම මිලි ග්‍රෑම් 40 රු. 4.50 ඉඳලා 36.65 දක්වාත් වැඩි කරලා. ආණ්ඩුවේ ගජ මිතුරන් සතුටු කරන්න වැඩ කරලා තියෙන්නේ මේ ආකාරයටයි. අපි කියන්නේ ආණ්ඩුව මේ මාෆියාව සතුටු කරනවා වෙනුවට ජනතාවට සහන දෙන්න ඕනෑ කියලා. ගැසට් නිවේදන නිකුත් කරන්න ඕනෑ සහන ලබාදීම වෙනුවෙන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම අත්‍යවශ්‍ය ඖෂධ මිල වැඩිකරලා ආණ්ඩුව ජනතාවගෙන් පළි ගන්නා බවයි අපිට දකින්න තියෙන්නේ.

හතර පස් දෙනෙක් මුළු රටේම වෙළඳපොළ හසුරුවමින් ඉන්නවා !

කොවිඞ් තත්වය වර්ධනය වෙද්දී රට වහන්න කියලා විශේෂඥයින් කියද්දී ආණ්ඩුව කීවේ පුංචි මිනිහා ගැන සලකන්න ඕනෑ කියලා. නමුත් මිල වැඩි කිරීමේදී ආණ්ඩුවට පුංචි මිනිහා මතක් වෙන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ තමන්ට බලයට එන්න උදව් කළ ජාවාරම්කාරයන් වෙනුවෙනුයි. මිනිස් ජීවිත බිල්ලට දීලා හරි ආණ්ඩුව මේ පිරිස රකින්න උත්සාහ කරනවා. මාධ්‍ය සංදර්ශන හැටියට දේශීය කර්මාන්ත, දේශීය ගොවියා ගැන කතා කරනවා. නමුත් පොහොර ප්‍රශ්නය එනකොට කෘෂිකර්ම ඇමතිවරයාට කොවිඞ් හැදුණා කියනවා. තෙල් මිල වැඩිවෙනකොට ඛනිජ තෙල් ඇමති විවිධ තර්ක ඉදිරිපත් කරලා පස්සේ කොවිඞ් හැදුණා කියලා පැත්තකට වෙනවා. බඩු මිල ගැන විවිධ තර්ක ඉදිරිපත් කරලා සතොසෙන් ඕනෑ කෙනෙකුට බඩු ගන්න පුළුවන් කියලා තර්ක කරලා අන්තිමේ කොවිඞ් හැදුණා කියලා පැත්තකට වෙනවා. ඊට පස්සේ වගකියන්න කෙනෙක් නැහැ. නමුත් හැම පැත්තෙන්ම හොරු ටික ඒකාධිකාරයන් පිහිටුවාගත් හතර පස් දෙනෙක් මුළු රටේම වෙළඳපොළ හසුරුවමින් ඉන්නවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ආණ්ඩුවට බල කරන්නේ රටේ ජනතාව තවත් අසරණ නොකර වහාම සහන දීමේ වැඩපිළිවෙළක් හදන්න ඕනෑ කියලා.

මේ දක්වා නිරෝධායනයට ලක්කර සිටින පවුල්වලට රු. 10,000ක වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදුන්නා. ජනතාවගෙන් අයකළ බදු මුදල්වලින් මේ වැනි සහනයක් කොවිඞ් වැළඳී අසරණව සිටින ජනතාවට දිය යුතුයි. නමුත් ඒ සහන මල්ලත් අගෝස්තු 24දා ඉඳලා කප්පාදු කළා. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අත්සනින් ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවා තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් වියළි ආහාර මල්ල ලබාදෙන්න කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සඳහන් කර තිබෙනවා. මේ වියලි ආහාර ද්‍රව්‍ය මල්ල ලබාදෙන්නේ සෞඛ්‍යමය හේතුන් මතද එහෙම නැත්නම් ඔවුන්ගේ වත්කම් මතද කියලා මේ ආහාර ද්‍රව්‍ය මල්ල ලබාදෙන්නේ ආසාදිතයන් නිවාසවලින් පිටතට එන්න වළක්වන්න. හැබැයි දැන් ආණ්ඩුව අඩු ආදායම්ලාභී අයට විතරක් මේ සහනධාර මල්ල ලබාදෙන්න චක්‍රලේඛ යවනවා. අඩු ආදායම්ලාභී නොවන අය ආසාධිතයන් වුණත් වෙළඳපොළට යන්න වෙනවා. එයින් ආණ්ඩුව නොකියා කියන්නේ වෛරස් එක බෝ කරන්න එළියට ගියාට කමක් නැහැ කියලා. පවුල් පිටින් නිරෝධායනය වන විශාල පිරිසකගේ සෞඛ්‍යමය හේතුන් නොතකා ආණ්ඩුව ආර්ථිකය ගැන පමණක් බලලා තියෙනවා.

5000 දුන්න අයව 2000 දෙනකොට කපලා : බඩු මිලත් ඉහළ දාලා !

අනෙක් පැත්තෙන් රු. 2,000 දීමනාව ලබාදෙන්නේ ජීවනෝපාය අහිමි පවුල්වලට. මෙයට රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි සහ ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන අය හැටියට නම්කර තිබෙනවා. ආණ්ඩුවෙන් මොන යම්ම හෝ දීමනාවක් ලබන කෙනෙකුට රු. 2,000 දීමනාව ලැබෙන්නේ නැහැ. මේ චක්‍රලේඛයට අත්සන් කරන ඇන්ටන් පෙරේරා අග්‍රාමාත්‍ය ලේකම්වරයාම 2021 අපේ්්‍රල් මාසයේ රු. 5,000 දීමනාව සඳහා අත්සන් කර තිබෙනවා. ඊට සමෘද්ධිලාභී පවුල්, වැඩිහිටි දීමනා ලබන පවුල් ආබාධිත දීමනා ලබන පවුල්, වකුගඩු රෝගී දීමනා ලබන පවුල් යන සියල්ලම ඇතුල් කර තිබුණා. එකම කොවිඞ් වසංගතය තිබෙන කාලයක රු. 5,000 දීමනාවට අඩංගු කර තිබුණු අය රු. 2,000 දීමනාව දෙනකොට බඩුමිල ඉහළ ගොස් තිබියදී කපාහැර තිබෙනවා. රු. 5,000 දීමනාව දෙනකොට අදාල වුණු පවුල් 2,000 දීමනාවේදී අදාල නොවෙන්නේ කොහොමද? හැම පැත්තෙන්ම භාණ්ඩ මිල වැඩිවී තියෙන අවස්ථාවක විශාල වශයෙන් සහනාධාර ලබන පිරිස කප්පාදු කර තිබෙනවා. 2,000 දීමනාව දිය යුතු අයව තෝරා ගන්න බැරිව නිලධාරීන් අසරණ වී තිබෙනවා. උදාහරණයක් හැටියට මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් 66,610ක් ඉන්නවා. නමුත් අඩු ආදායම්ලාභීන් හැටියට රු. 2,000 දෙන්න තෝරාගෙන තිබෙන්නේ 53,611යි. සමෘද්ධිලාභීන් අයින් කරලා මේ අය තෝරාගෙන තිබෙන්නේ. කෘෂි රක්‍ෂණයට දායක වුණු අය පවා මේ දීමනාවෙන් අයින් කර කිසිවක් ලබා නොදෙන පදනමකට ආණ්ඩුව ක්‍රියා කරනවා. මේ නිසා අපි ආණ්ඩුවට බලකරන්නේ මේ සොච්චම් මුදල පවා කප්පාදු කරනවා වෙනුවට අවශ්‍ය සහනාධාර දෙන්න කියලයි.

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු සහ පාර්ලිමේන්තුව ළඟ සඳුන් උයන් !

නමුත් ආණ්ඩුව මේ සහනාධාර කප්පාදු කරමින් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු හදනවා. ඒ වගේම කැබිනට් තීරණවලින් ඩොලර් ලක්ස 18කට වැඩිය වියදම් කරලා කැබ්රථ ගන්න යනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලයේ කාර්යාල ප්‍රතිසංස්කරණය කරන්න ලක්‍ෂ හත්සිය ගාණක් වියදම් කරනවා. මේවා අත්‍යවශ්‍ය වියදම්ද? අත්තනෝමතික වුවමනාවන්ට බඳවා ගත් 29 දෙනෙකුට වැටුප් ගෙවන්න ලක්‍ෂ 161ක් මාසිකව දරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ලඟ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයා සඳුන් උයනක් විවෘත කරන්න ලක්‍ෂ ගණනක් වියදම් කළා. මේවා රටේ ජනතාවට ප්‍රමුඛ අවශතාද? මෙහෙම තියෙද්දී සහනාධාර අවශ්‍යම අයට ලබාදෙන්න රු. 2,0000 පවා කප්පාදු කරන්නේ ඇයි? අත්‍යවශ්‍ය ඖෂධ මිල ගණන් වැඩි කරන්න ගැසට් ගහන්නේ ඇයි? ආණ්ඩුවේ ගජ මිතුරන්ට ජාවාරම් කරන්න සියලුම ඉඩකඩ හදා දීලා තියෙනවා. මේ ආණ්ඩුව තව දුරටත් ජනතාව වෙනුවෙන් නොකරන බව ජනතාව තේරුම් ගන්න ඕනෑ. ඒ වගේම ආණඩුවට බල කරනවා, ජනතාව ගැන වගකීම අත් නොහැර භාණ්ඩ මිල පාලනය කර සහන ලබා දිය යුතුයි. නිරෝධායනයට ලක්කර සිටින පවුල්වලට ලබාදෙන වියළි ආහාර කප්පාදුව නතර කරන්න ඕනෑ. ප්‍රමාණවත් නොවුණත් රු. 2,000 ප්‍රතිලාභය සියලු දෙනාටම ලබාදෙන්න ඕනෑ. ආණ්ඩුව මේ වෙනුවෙන් කටයුතු නොකර තමන්ගේ ගජ මිතුරන් සතුටු කරන්න ගෙනයන සූදුව තේරුම් ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මීට එරෙහිව ඔබ හැම දෙනාම මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදියෙකු යොමු කර තිබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්...

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිළිබඳව ප්‍රශ්නයක් කෙටි පනිවුඩයකින් යොමුකර තිබෙනවා. රජයේ රහස් දත්ත ගබඩාවකට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන්නේ හතර දෙනෙකුට බව ප්‍රකාශ කර තිබියදී මේ දත්ත මැකීම පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා නම් මේ අවස්ථාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳවත් අවධානය යොමුකළ යුතුව තිබෙනවා. දත්ත මැකීම එතරම්ම බරපතළ තත්වයක්. දත්ත භාරව සිටි හතර දෙනා ආණ්ඩුව විසින් හෙළිදරව් කළ යුතු වෙනවා. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට දත්ත පිළිබඳ වගකීම තිබෙනවා නම් ආණ්ඩුව ඒ සම්බන්ධ ක්‍රියා කිරීමේ සියලු ඉඩකඩ විවෘතව තිබෙනවා. ඖෂධ මාෆියාවක ඕනෑකම වෙනුවෙන් මේ දත්ත මැකුවාද කියන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අදාල කිසි කෙනෙක් ආණ්ඩුවෙන් ආරක්‍ෂා කරන්නේ නැත්නම් සියලු තොරතුරු සමාජයට හෙළිකළ යුතුයි. එහෙම හෙළි නොකරන්නේ නම් දත්ත මැකීම පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බව නිගමනය කරන්න සිදුවෙනවා.

හෑන්ඩ් සැන්ටයිසර් ටෙන්ඩරය සැකයි : චන්න ඇමතිගේ අවධානය පිණිසයි !

හෑන්ඩ් සැනිටයිසර් හදිසි තොගයක් ලෙස ලබා ගැනීම සඳහා DHS/RP/COV/189/2021 යන අංකයෙන් සිදුකර ඇති ටෙන්ඩර් කැඳවීම සැකසහිත බවට චෝදනා එල්ල වෙයි.

විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ ටෙන්ඩරය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන්ට පමණක් නොව එහි ලියාපදිංචිවී නොමැති සැපයුම්කරුවන්ටද අවස්ථාව ලබාදීම මෙම සැකයට හේතුවී තිබේ.

වාර්තා වන ආකාරයට ඖෂධ නියාමන අධිකාරිය තුළ මේ වන විට 10 කට ආසන්න සැපයුම්කරුවන් පිරිසක් ලියාපදිංචිව සිටියි. සැකය යොමුවී ඇති ටෙන්ඩරය හදිසි මිලදී ගැනීමක් යටතේ සිදුකරන්නට යන්නේ හෑන්ඩ් සැනිටයිසර් ලීටර් 160,000 ක ප්‍රමාණයකි.

ආරංචිමාර්ග සඳහන් කරන්නේ, මෙහිදී ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පහසුවෙන්ම මේ තොග ලබා ගැනීමට හැකියාව පවතින බවය. එසේම මේ වන විටත් හෑන්ඩ් සැනිටයිසර් සැපයීමට අදාළ ටෙන්ඩරයක සැපයීම් කිසිඳු ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක වන බවත් දැනගන්නට ඇත.

එවැනි පසුබිමක මේ ආකාරයට නිසි ලියාපදිංචියක් නොමැති පාර්ශව වෙතද ටෙන්ඩරය සඳහා යොමුවීමට අවස්ථාව හිමිකරදීම කිසියම් සැක සහිත ගනුදෙනුවක් මෙන්ම ප්‍රමිතියෙන් තොර තොග වුවත් ලැබීමේ අවධානමක් ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

එසේම මෙම ටෙන්ඩර් නිවේදනයේද ගැටළු ඇති බවත් වාර්තා වෙයි. ටෙන්ඩරය ආරම්භයේ "500 ml" ලෙස ඇනවුම් සැපයීම නියමකර ඇතත් ටෙන්ඩරයේ පසුව එය 5 l වශයෙන් සඳහන් කර ඇත.

එබැවින් මේ සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ අවධානය යොමුවීම අතිශය වැදගත්ය. ඒ මෙම හෑන්ඩ් සැනිටයිසර් සපයන්නේ කොරෝනා මර්දන කටයුතු වල නිරතව සිටින සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල සඳහා වන නිසාය. මෙවැනි අවධානම් ආකාරයට සැපයුම් ලබාගැනීම තුළ කිසියම් ප්‍රමිතියෙන් තොර සැපයුමක් ලැබීමේ සම්භාවිතාව කිසිසේත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ප්‍රශ්නගත ටෙන්ඩරය සම්බන්ධ ලේඛන පහත දැක්වෙයි.

WhatsApp Image 2021 08 29 at 20.54.10

WhatsApp Image 2021 08 29 at 20.54.25

මෙකී අවධාරණය කිසිසේත් බැහැර කළ නොහැකි වන්නේ දැනටමත් ඉතා බාල තත්ත්වයේ කොරෝනා ඇඳුම් කට්ටල ලබාදෙන බවට ප්‍රසිද්ධ චෝදනා එල්ල වෙමින් ඇති නිසාය.

කොරෝනා ඇඳුම් කට්ටලවලත් ගැහිල්ලක් !

රට පුරා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශයේ සේවකයන් 2000කට ආසන්න පිරිස, මේවන විට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටියි.. එවැනි පසුබිමක මේ සෞඛ්‍ය පළමු පෙළ කාර්ය මණ්ඩල සඳහා ප්‍රමිතියෙන් තොර ඉතා බාල තත්ත්වයේ කොරෝනා ඇඳුම් කට්ටල ලබාදෙන බවට අමානුෂික ජාවාරමක තොරතුරුද මේ වන විට අනාවරණය වී ඇත.

වාර්තා වන ආකාරයට සෞඛ්‍ය අංශයේ සේවකයන් සඳහා ලබාදෙන කොරෝනා ඇඳුම් කට්ටල, ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛරසයට ඔරොත්තු දිය හැකි මට්ටමේ තිබිය යුතු වුවත්, මේවන විට අනුරාධපුර, මීරිගම, කරාපිටිය සහ කරුණෑගල ආදී රෝහල් රැසකින් වාර්තා වන්නේ, ඔවුන්ට ලැබී ඇති කොරෝනා ඇඳුම් කට්ටල නුදුසුදු මෙන්ම භාවිතයට ගත නොහැකි මට්ටමේ ඇඳුම් බවයි.

මේ ඒ සම්බන්ධව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළ හෙද වෘත්තීය සමිති නායක එම්. එස්. බී. මැදිවත්ත සිදුකල අනාවරණය පහත වීඩියෝවේ දැක්වෙයි.

සෞඛ්‍ය සේව කාර්යමණ්ඩලයේ භාවිතය ගනු ලබන ආරක්ෂිත ඇඳුම් කට්ටලය, නියමිත සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණයක් සහිතව , ශල්‍යකර්ම සඳහා පමණක් භාවිතයට ගනු ලබන, සුවිශේෂී අත්වැසුම් හා ගුණාත්මක බවෙන් යුතු විශේෂිත රෙද්දකින් මසනු ලබන ඇඳුම් කට්ටලයකින් සමන්විත විය යුතුය.

පෞද්ගලික අංශයෙන් මිලදී ගනු ලබන මෙම ඇඳුම් කට්ටලය මිලදී ගැනීමේ දී, නියමිත ටෙන්ඩර් පටිපාටියකින් හා අදාළ සමාගම් විසින් සපයනු ලබන ඇඳුම් කට්ටල, සාම්පල් තාක්ෂණික කමිටුවක් මගින් අනුමත කළ යුතු අතර එම අනුමත කළ සාම්පලයට, 100%ක් සමාන PPE කට්ටල ටෙන්ඩලය ලැබූ සැපයුම්කරු විසින් සැපයිය යුතුයි.

එසේ සැපයුම්කරු විසින් ලබාදුන් සාම්පලයට අනුකූලව සැපයීම් කළ නොහැකි නම්, එම සමාගමට ලබාදුන් ටෙන්ඩරය අවලංගු කොට අදාළ තත්ත්වයන් සැපිරූ වෙනත් සමාගමකින් එම භාණ්ඩ ලබා ගැනීම සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය වෙයි.

මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සමඟ සැපයුම් ලබාදීම සඳහා, ලියාපදිංචි වී ඇති සමාගම් අතරින්, ආයතන දෙකක් විසින් සපයනු ලබන PPE ඇඳුම් සම්මත තත්ත්වයෙන් බැහැරව, ඉතා බාල තත්ත්වයෙන් සපයනු ලබන බවට, තොරතුරු හෙළිදරව් වී ඇත.

එසේම මෙම ආයතන දෙක ටෙන්ඩරය ඉල්ලුම් කරන අවස්ථාවේ ලබාදුන් සාම්පලවල ඇති ගුණාත්මක බව ඔවුන් විසින් සැපයුම් අංශය වෙත ලබාදෙන භාණ්ඩවල නොමැති බව ද තහවුරු වී තිබේ.

පසුගිය මාසය තුළ මෙම ආයතන දෙක සඳහා PPE ඇඳුම් කට්ටල ලක්ෂ 3ක් සැපයීමට ලබාදී ඇති අතර ඒ්වා භාවිතයට නුසුදුසු බව පවසමින් සෞඛ්‍ය සේවකයන් විසින් ප්‍රතික්ෂේප කරන නමුත් වගකිව යුතු කිසිඳු පාර්ශවයක් ඒ ගැන අවධානය යොමුකළ බවක් පෙනෙන්නට නැති බව සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් චෝදනා කරයි.

නමුත් මෙවැනි සිදුවීම් කොරෝනා මර්දන පළමු පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල චිත්ත ධෛර්ය හීනවීමට හේතුවන බව අවිවාදිතය. එබැවින් මෙවැනි චෝදනා සම්බන්ධව කාර්යක්ෂම ලෙස වගකිවයුතු පාර්ශව සොයා බැලීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

ෆයිසර් සම්බන්ධ පූර්ණ බලය යුද හමුදාවට !

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාවට පවරා ඇති බව ආණ්ඩු හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ හි අරුණ පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පුත්තලම ඇතුලු‍ ප්‍රදේශ කිහිපයකින් විවිධ අක්‍රමිකතා වාර්තා වීම හේතුවෙන් බවත් එහි සඳහන්ය.

ඒ අනුව මින් ඉදිරියට ෆයිසර් එන්නත ලබාදීම යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කල බවත් එම පුවතේ දැක්වෙයි.

එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එම එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත නොදෙන බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළ බවත් එම පුවතේ සඳහන් කර ඇත.

Page 356 of 385