V2025

පුවත්

''රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් පැතිරීම පාලනය කළ නොහැකියි''

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් රට වසා දැමුවත් කොරෝනා පැතිරීම පාලනය කළ නොහැකිවනු ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  පවසයි.

ඇය පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට නම් සියලු දෙනා එන්නත් ලබාගැනීම වැදගත් බවත්, තෝරා තෝරා නොඉඳ ලැබෙන වර්ගයක් එන්නත් කර ගන්නා ලෙසත් අමාත්‍යවරිය පැවසුවාය.

"ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන වෛරසයක්. සියලුම ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් මම හිතන්නේ මේකේ පැතිරීම තවදුරටත් අපිට පාලනය කර ගන්න පුළුවන්. තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න මේක මේ වර්ගය හොය හොය ඉන්න එපා. ලංකාවේ තිබේ සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාව දෙනවා. ඒ බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ළඟම තියෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරයේ දුර තිය ගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්".

තවද රට වසා දැමුවත්, ජනතාව අනවශ්‍ය ආකාරයට සෙනඟ ගැවසෙන ස්ථානවල සැරිසරනවා නම් එය කොරෝනා පැතිරීමට අනුබලයක් වන බැවින් සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන ලෙසත් මෙය ජීවිතයත් සමඟ කරන ගනුදෙනුවක් බව සිහි තබා ගත යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද ප්‍රකාශ කළාය. ''රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම්, මීටරයේ දුර තියාගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මොකද මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්”.

ශ්‍රීලනිපය මංගලට පිං දෙයි

අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර වෙනුවෙන් ආගමානුකුලව පිං අනුමෝදන් කිරිම ඊයේ (26) දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණ.

ආගමිකවතාවත් සිදුකිරීම හුණුපිටිය ගංගාරාම විහාරධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව⁣ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහභාගි විය.

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු බලයට පත් කිරීම සඳහා බාරදුර කාර්යභාරයක් ඉටුකළ මංගල සමරවීර, 1994 සිට එම ආණ්ඩුවල ප්‍රබල ඇමැති ධූර පවා දැරූ ප්‍රබල චරිතයකි.

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් මස 06 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි, ජනාධිපති ප්‍රකාශකවරයා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි ය.

මේ අතර, දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 06 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

A/L හා ශිෂ්‍යත්වයට අයදුම් නොකළ සිසුන්ට දැනුම්දීමක්

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඒ බව සඳහන් කළේය.

ඒ අනුව 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වනදා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට සැලසුම්කර තිබේ.

කොරෝනා මරණ 209ක් : දිනක් තුළ සිදු වූ වැඩිම මරණ අද වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා මරණ 209 ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණ අතරින් 108 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 101 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 46 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 163 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.

26 8 21

තව සති දෙකක්වත් රට වහන්න - රනිල් ජනපතිට කියයි

මෙරට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය අවම කිරීමට නම් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටී.

දින 20ක් වැනි කෙටි කාලයක් තුල රටේ කොවිඩ් ආසාදිත මරණ 3,000 සීමාව ඉක්මවීමට ආසන්න බව පවසන හිටපු අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් මිනිස් ජීවිත බිලිගනිමින් සිටින කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වළවක්වා ගෙන මිනිස් ජීවිත සුරක්ෂිත කිරීමට නම් අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීම කළයුතු බවයි.

එසේම රට වසා තැබීම නිසා සිදුවන ආර්ථික හානියට වඩා මේ මොහොතේ මිනිස් ජීවිත විනාශ වීම වළක්වා ගැනීම වැදගත් බව අවධාරණය කරන හිටපු අගමැතිවරයා, වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කිරීම කළයුතු බව ද අවධාරණය කරයි.

ව්‍යසනයේ බරපතලකම ගැන සලකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය වෛද්‍ය විශේෂඥ උපදෙස් අනුව කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් හිටපු අගමැතිවරයා පවසා සිටියි.

එසේම මෙහිදී මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයාගේ හදිසි මරණය පිළිබඳව ද හිටපු අගමැතිවරයා සිහිපත් කරයි. ඒ ඇමරිකානු රාජ්‍ය නිලධාරිනියක වන සමන්තා පවර් මැතිනියගෙන් මෙරට කොවිඩ් වෛරසය වැළැක්වීම සඳහා කොවිඩ් මර්ධන එන්නත ඉල්ලා සිටි හිටපු මුදල් ඇමති මංගල සමරවීර ද ඊට ගොදුරුවූ බවයි.

එසේම ගතවු දින 02ක කාලය තුලදී තමන් දන්නා හඳුනන පුද්ගලයින් 06 දෙනෙකු වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ බව ද ඔහු කියා සිටියේය.

යුද හමුදා දායකත්වයෙන් කළුබෝවිල රෝහලට නව කොවිඩ් වාට්ටු සංකීර්ණයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව මගින් දකුණු කොළඹ මහාරෝහලේ මහල් 08 කින් යුතු නව ගොඩනැගිල්ලේ 04, 05 සහ 06 යන මහල් හි ස්ථාපනය කරනු ලැබු රෝගීන් 250 ක් සදහා ප්‍රතිකාර කල හැකි කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන් යන අයගේ සහභාගීත්වයෙන් අද ( 26) දින රෝහල් බලධාරින් වෙත භාරදෙන ලදි.

මෙම රෝහලේ රෝහල් වාට්ටු සංකීර්ණය සදහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාව දොඹගොඩ වෙතින් නිෂ්පාදනය කරන ලද ඇදන් 250 ක ප්‍රමාණයක් සහ මෙට්ට 250 ක්, කොට්ට 300ක් සහ කොට්ට උර 300 ක ප්‍රමාණයක් යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය විසින් පිරිනම ලද අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය රාශියක්ද රෝහල් බලධාරින් වෙත ලබාදීම යුද්ධ හමුදා සේවාවනිතා සභාපතිනිය විසින් සිදුකරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ අධික්‍ෂණය යටතේ ස්ථාපනය කරනු ලැබු මෙම වාට්ටු සංකීර්ණය ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා සහ 14 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥානරත්න සහ බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරි වරුන්ගේ අධික්‍ෂණය මත ඉතා කෙටි කාලයක් තුල මෙම වාට්ටු සංකීර්ණය ස්ථාපනය කිරිම ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ භඨපිරිස් විසින් සිදුකරනු ලැබීය.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=6426#sigProId743ba5c4ec

මේක පඩ ෂෝ ආණ්ඩුවක් පා:ම හර්ෂ කියයි….!

හිටපු අමාත්‍ය වත්මන් ස.බ.ජ. පාර්ලිමේන්තු මංත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් වත්මන් ආණ්ඩුවේ අධූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ පුරෝකතනය කරමින් ඉතා සාධාරණ විවේචනයන් ඉදිරිපත් කරමින් ඉන් අනාගතයේ රටත් ජනතාවත් මුහුණ දෙන ආර්තික සාමාජීය ගැටලු පිලිබඳව නිරන්තරයෙන් හෙළිදරව් කළහ.

ශක්ති සහල් කියන සංකල්පය මේ ආණ්ඩුව විනාශ කළා…..

පසුගිය යහපාලන සමයේ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නායකත්වයෙන් රටපුරා කුඩා පරිමාණ මෝල් හිමියන් 2000ක් පමණ නැවත දිරි ගන්වමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව සහල් මාෆියාවට තිත තබන ජාතික ව්‍යාපාරයක් ලෙස ජනතාවට සහනදායී මිළකට සහල් අලෙවි කිරීමට පියවර ගෙන ඉතා සාර්ථකව පවත්වාගෙන ආ ජාතික මට්ටමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම නවතා දැමීමට වත්මන් ආණ්ඩුව බලයට පත්වූ ගමන්ම සිදුවිය… 

රට පුරා මේජර්ලා බ්‍රිගේඩියර්ලා දාගෙන සහල් සඟවා ඇති ස්ථානත් ඒ ඒ සඟවා ඇති තොගවල ප්‍රමාණයන් හා පුද්ගලයන් පිලිබඳ සියලු දත්ත ඔරකල් ආටිෆිෂල් ඉන්‍ටෙලිජන්ස් දත්ත ගබඩා වල ඇතිබවත් පුරසාරම් දෙඩූ ආණ්ඩුව කැසට් ගණනට ගැසට් ගසා හෝ සහල් මිළ පලනණයට අද අසමත්ව ඇත.. නමුත් එදා "ශක්ති සහල් " යටතේ නාඩු කිලෝවක තොග මිළ රුපියල් 77ක් හා සම්බා කිලෝවක තොග මිළ රුපියල් 81ක් ලෙස ජනතාවට වෙළඳ පොල නිර්මාණය විය.

බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ මේක 'පඩ ෂෝ' ආණ්ඩුවක්……

තම ෆේස්බුක්පිටුවේ සටහනක් තබමින් තරමක ආවේගශීලී වඳනින්, වර්තමානයේ පාරිභෝගිකයා මුහුණ දෙමින් පවතින උසුලා ගත නොහැකි ජීවන බර වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් දක්වා ඇති අතර, සාමාන්‍යයෙන් ජෙන්ට්ල්මන් පොලිටීෂියන් කෙනෙකු ලෙස දේශපාලනයේ යම් ස්ථානයක් වෙන්කරගෙන සිටින ඔහුගෙන් මේ ආකාරයේ ප්‍රකාශයක් නිකුත් වීමට ආසන්නතම හේතුව ලෙස දැකිය හැකි එක් සුවිශේෂී කාරණාවක් ඇත…

එනම් පසුගිය 24වන දා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරයන්ගේ හදිසි වියෝව විය යුතුයි. මක්නිසාදයත් අවසන් කටයුතු වෙනුවෙන් ඊට සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති රෙගුලාසි වලට ගරු කරමින් බොරැල්ල කනත්ත පරිශ්‍රයේ රැඳෙමින් රටත් රටේ අනාගතයත් සැබෑ දේශපේමයෙන් නව නිදහස් මගකට හැරවීමේ පුරෝගාමී මෙහවර කරන්නට සිටි අසහාය සත්‍යවාදී මානවහිතවාදියාගේ වෙන්වීමේ අවසන් අවස්තාව තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශනය කරමින්

" ඉන්නම ඕන මංගල යන්න ගිහින්, Mangala's Last Journey, ' මගේ බොස්' වැඩකරපු කාලෙ මං දැනගත්ත, කිසි කෙනෙකුට බය නැතුව සත්‍ය වෙනුවෙන් පෙනීහිටිය, සිංහල දෙමල මුස්ලිම් කියල වෙනස් විදියට බැලුවෙ නෑ ශ්‍රී ලාංකීය අනන්‍යතාව වෙනුවෙන් ගොඩනැගෙන්න ඕන කියල වැඩකරපු උත්තම මනුෂ්‍යයෙක්'..

 

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

පොලිස් කණ්ඩායමක පහත් වැඩක් : සර්ව ආගමික නිවේදනයක් !

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් පිරිසක් පලකල අදහස් සම්බන්ධයෙන් ආගමික නායකයන් විරෝධය පළ කර ඇත.

අදාළ ප්‍රහාරයට පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් සිදු කරමින් ඇතැයි පවසමින් මෙම පොලිස් නිලධාරීන් පිරිස මහනුවර හා අනුරාධපුර ගොස් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පසුගියදා කටයුතු කළහ.

මේ පිළිබඳව විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කරන සර්වාගමික නායකයන් සඳහන් කරන්නේ මේ තුළ අදාළ විමර්ශන කටයුතු ජාතිවාදී හා ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ අරමුණක් පෙනෙන්නට ඇති බවයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

pasku1

බිස්නස් එකක් සමඟ තවත් ගැසට් එකක් රිවස් ? මනුෂ

කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය හරහා රිවස් කරමින් කෘෂි රසායන ගෙන්වීමට එක් සමාගකට අවසර ලබාදීමට සූදානම් වන බවත්, ආණ්ඩුව යළිත් වරක් ගජ මිතුරන්ට සැලකීමට උත්සාහ ගනිමින් සිටින්නේදැයි ප‍්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම සිදුකල අතර , කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක් අතරින් එක් සමාගමකට පමණක් රුපියල් බිලියන 10ක් වටිනා රසායන ගෙන්වීමට අවසර දෙන්නේ කාගේ අවශ්‍යතාවය අනුවදැයිද ප්‍රශ්න කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

ජාතික ආරක්ෂාව පෙන්නලා බලයට ඇවිත් මේ වන විට මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නැති වෙලා. මිනිස් ජිවිත නොවටිනාගානට ජීවිත අහිමිවෙමින් තිබෙන විට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය බරපතල අර්බුදයකට ලක්වෙලා.

පොහොර සම්බන්ධයෙන් අත්තනෝමතික තීන්දුවක් ගනිපු නිසාම ආහාර සුරක්ෂිතතාවය පිළිබද බරපතල අර්බුදයක් ඇතිවෙලා. අද වන විට මොනරාගල, අම්පාර, උතුරු මැද පළාතේ බඩ ඉරිගු ගොවියා ඊළග කන්නයේ වගා කිරීම ගැන කල්පනා කරනවා. තේ වගාකරුවා තවදුරටත් තේ වගාව පත්වාගෙන යනවාද කියලා හිතනවා. හෙට දවසේදී වී වගාවක කරනවාද කියලා වී ගොවියා නැවත වරක් සිතමින් ඉන්නවා.

ව්‍යාපාර කෘෂිකර්මාන්තය කරන බඩ ඉරිගු ගොවීන්ට බරපතල ගැටලුවක් ඇතිවෙලා. බඩ ඉරිගු කද තමයි සත්ව ආහාර ලෙස යොදාගන්නේ. ලබන අවුරුද්ද වන විට හරක්ට ආහාර ලෙස බඩඉරිගු කදන් නැතිවෙලා කිරි නිෂ්පාදනයටත් බලපෑම් එන්න පුලුවන්. එවිට මේ රටේ කිරි නිෂ්පාදනයත් පහළ ගිහින් බරපතල ප‍්‍රශ්ණයක් ඇතිවෙනවා.

වසරකට කෘෂි අපනයනයෙන් ඩොලර් බිලියන දෙකයි දශම පහක ආදායමක් ලැබෙනවා. මේ ආදායම අහිමි කරගැනිමටද ආණ්ඩුව සූදානම් වෙන්නේ.

ආණ්ඩුව පසුගිය දවසේ පකිස්ථානයෙන් හාල් අරගෙන ආවා. බැර ලෝහ තියෙන නිසා ජනතාව ලෙඩ වෙනවා කියලා රසායනික පොහොර තහනම් කළා. දැන් මේ විදියට පකිස්ථානයෙන් ගෙනාවේ කාබනික සහල්ද? ඒ සහල්වල බැර ලෝහ නැද්ද? ආණ්ඩුව ජනතාව වකුගඩු රෝගීන් විය හැකි බව කියලා, ජනතාවගේ හදවතට කතා කරලා අද අමාරුවේ වැටිලා ඉන්නවා.

හෙට අනිද්දා වන විට එළවළු ගොවීන්, එළවලු වගා කරන්නේ නැති වන විට, අඩුවන එළවළු නිෂ්පාදනයේ හිඩැස පුරවාගන්නේ කොහාමද? ඒ එළවළු ටිකත් පිටරටින් අරගෙන එනවාද? පිටරටින් ගේන්නේ කාබනික එළවළුද? ඒ විදියට කාබනික එළවළු ගෙන්වීමට ආණ්ඩුවට මුදල් තියෙනවාද?

ඩොලර් නැතිව තෙල් ණයට ගන්න ආණ්ඩුව, බංගලාදේශයටත් ණය වෙන ආණ්ඩුවට හාල්, එළවළු පිටරටින් අරගෙන එන්න ආණ්ඩුවට ඩොලර් තියෙනවාද? එහෙම වුනොත් බරපතල තත්වයක් මේ රටේ නිර්මාණය වෙන්න පුලුවන්.

මේවා අපිට චීනයෙන් නොමිලේ දේවිද දන්නේ නැහැ. එහෙම වුනොත් අපේ රට පවරාගැනීම හැර වෙන කිසිම දෙයක් කරන එකක් නැහැ.

දැනට ගෙන්වන ආහාර කාබනිකද, රසායනික ද‍්‍රව්‍ය යොදා තිනෙවාද කියලා සොයා නොබලන ආණ්ඩුව දැන් කිඹුල් කදුළු හෙලලා කාබනික වගාවක් ගැන කතා කරන්නේ ඩොලර් සාගතය නිසා මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි.

ආණ්ඩුව ගොවීන්ට මහ කන්නයේදී වගාව සදහා කාබනික පොහොර ලබාදීමට ආණ්ඩුවට තියෙන සැලසුම කුමක්ද? මහ කන්නයේදී අක්කර ලක්ෂ 14ක වී වගා කරනවා. මේ සදහා අවශ්‍ය කාබනික පොහොර සකස් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවාද? එහෙම නැතිනම් ආනයනය කිරීමට ද සූදානම් වෙන්නේ.

දැන් හැමතැනම කාබනික පොහොර නිෂ්පාදනය කරනවා. නමුත් ඒවායේ නියමිත නටිට‍්‍රජන් ප‍්‍රමාණය ඇතුළත් වෙන්නේ නෑ. නයිට‍්‍රජන් ප‍්‍රමාණය නියමිත පරිදි නැතිනම් කාබනික පොහාර නිෂ්පාදකයාට මොකද වෙන්නේ. එහෙම නැතිනම් දියර පොහොර කියලා ජනතාව නැවත වරක් ගොනාට අන්දන්නද ආණ්ඩුව සූදානම් වෙන්නේ කියලා ප‍්‍රශ්ණ කරනවා

ලංකාවට ආනයනය කරන රසායනික ද‍්‍රව්‍යවලින් සියයට 60ක්ම වල් නායශක. කාබනික වගාවට යනවා නම් වල් නාශක සදහා විකල්පයක් සොයා ගැනීමට සිදුවෙනවා. වී වගාවවත්, බඩ ඉරිගු වගාවවත්, තේ වගාවවත්, වල් නාශක නැතිව කරගෙන යන්න බැහැ. වල් නාශකවලට වගේම දිලීර නාශක සදහාත් ආණ්ඩුව කාබනික විසදුමක් සොයාගෙන තිබෙනවාද?

මේ කන්නයේදී ගොවියා අනාථ වෙලා තියෙන්නේ. ලබන කන්නයේදීත් ගොවියා අනාථ වුනොත් ආහාර සුරක්ෂිතතාවය ගැන බරපතල අර්බුදයක් ඇතිවෙනවා.

ආණ්ඩුව යළිත් වරක් ගැසට් රිවස් කරමින් ගජමිතුරෙක්ට සලකන්න හදනවා. මොනම හේතුවක් නිසාවත්, රසායනික පොහොර තහනම ඉවත් කරන්නේ නෑ කිව්වා. රසායනික පොහොර බිංදුවක් ගේන්න දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරයා කිව්වා. ජනාධිපති ප‍්‍රකාශකවරු නැවත නැවත කිව්වා. ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී කිව්වා.

ඒත් රසායනික පළිබෝධ 114 කින් 35ක් ගෙන්වීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරලා තියෙනවා. මේකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නාද

අවුරුද්දට රුපියල් බිලියන 12ක පළිබෝධනාශක ලංකාවට ආනයනය කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. එයින් රුපියල් බිලියන 10ක් වටිනා පළිබෝධනාශක ගේන්නේ එක සමාගමක්. ලංකාවේ සමාගම් 29ක් අතරින් එක් සමාගමකට පමණක් රසායනික පළිබෝධක ගෙන්වීමට අවසර දෙන්නේ කුමන අවශ්‍යතාවයක් නිසාද?

දිලීරනාශක සහ කෘමිනාශක ගෙන්වීමට තමයි අවසර ලබාදී තියෙන්නේ. වල් නාශක ගෙන්වීමට අවසර ලබාදී නැහැ. අපි මේ ලේඛණ මාධ්‍යයට ලබාදෙනවා.

ලෝකයේ පළමු කාබනික රට ලංකාව කියලා ජනාධිපතිවරයා කිව්වා. අනික් ගැසට් රිවස් කළා වගේ සද්ද නැතිව මේ ගැසට් එකත් රිවස් කරන්න හදන්නේ ගොවි ජනතාව රැුවටීමටද? ලෝකය රැුවටීමටද? නයි ධාතු පෙන්නුවා වගේ, මුට්ටි ගගට දැම්මා වගේ, ජනතාවට රවටන්නද හදන්නේ. ලෝකයේ එකම කාබනික රට ලංකාව කියලා කියන්න හදපු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හරහා ගැසට් එක රිවස් කරන්නද හදන්නේ කියලා ප‍්‍රශ්ණ කරනවා

සමාගම් 19 ක් තියෙන තැන එක සමාගමකට පමණක් දිලිර නාශක ගෙන්වීමට අවසර ලබාදෙන්නේ කාගේ අවශ්‍යතාවය මතද? ඇමැතිවරයාගේ අවශ්‍යතාවය මත මේක කරනවාද? නියෝජ්‍ය ඇමැතිවරයාගේ අවශ්‍යතාවය මත මේක කරනවාද? කාගේ උවමනාවට තනි පුද්ගලයෙක්ට මේ ව්‍යාපාරය ලබාදෙන්න හදනවාද?

අර සීනි ව්‍යාපාරය වගේ, ඇන්ටිජන් ඒකාධිකාරයක් හැදුව වගේ, හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරලා ගරානාවක් කරගැනීමට අවස්ථාව ලබාදුන්නා වගේ ගොවීන් අමාරුවේ දාලා කෘෂි රසායන ගෙන්වීමත් ගජ මිතුරන්ට සලකන ගරානාවක් බවට පත් කිරීමටද සූදානම් වෙන්නේ?

ඉන්දීය මහකොමසාරිස් හමුවූ කෙහෙළිය : ඔක්සිජන් ඉල්ලයි !

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ වෙතින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (25) සිදුවූ හමුවකදී මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටි බවත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසු ඉන්දීය මහකොමසාරිස් වරයා හා අමාත්‍යවරයා අතර නිල හමුව සිදුවූ බවත් ඒ සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී බවත්ය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මේ මොහොතේ අතිශය වැදගත් බවත් , ඔක්සිජන් අවශ්‍යතාව සදහා ප්‍රමුඛ අවධානයක් යොමුකළ යුතු බැවින් ඒ සඳහා ඉන්දියාවේ දැඩි අවධානයක් යොමුවනු ඇතැයි විශ්වාසය පළ කරන බව අමාත්‍යවරයා මෙහිදී කීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ඉන්දීය මහකොමසාරිස් වරයා අතර කරුණු කිහිපයක් සාකච්ඡා කෙරිණි. මෙයට අමතරව Tocilizumad ඖෂධය (Tozi) මෙරටට ලබාදීම කෙරෙහිද ඉන්දියාවේ අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

දිගු කාලීන මිත්‍රත්වයක් පවතින අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව මේ මොහොතේ මෙරට කොවිඩ් මර්දනය උදෙසා ඉටුකරන කාර්යභාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දැඩි පැසසුමට ලක් විය. දෙරට අතර පවතින එම සබඳතාවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් හැකි සෑමවිටම ඉන්දියාවෙන් ලබාදෙන සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයා නව සෞඛ්‍ය අමාත්‍යවරයාට සුභ පැතූ අතර , නව අමාත්‍යවරයා පත් කිරීම තුළින් රාජ්‍ය නායකත්වය අමාත්‍යවරයා කෙරෙහි පවතින විශ්වාසය පෙන්නුම් කළ බව හෙතෙම කීය. ඉන්දීය ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය හා සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බවත්,විශේෂයෙන් කොවිඩ් - 19 මර්දනයේදී ඉන්දියාවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා ගෝපාල් බාග්ලේ පවසා සිටියේය.

කොවිඩ් ව්‍යසනය මර්දනය වෙනුවෙන් දෙරටම අභියෝගයකට මුහුණ දී ඇති බවත් දෙරට මුහුණ දෙන අභියෝගාත්මක ක්‍රමවේදයන්හි ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීම මිත්‍ර රටවල් ලෙස අතිශය වැදගත් බව ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

මොළ හතේ කෙරුවාව : රෝහිණී හෙළිකරයි

"රුපියල් 65 ට රටට ගොඩබාපු සීනි කිලෝව අද රු. 220 ට විකුණනවා. රු. 84 ට තිබ්බ පරිප්පු අද, 240 යි. ඇමති කියනවා අසධාරණයි, හැබැයි කරන්න දෙයක් නෑ කියලා. බැංකු, මුල්‍ය ආයතන, ලැයිස්තුගත සමාගම්වල ගිණුම් වාර්තා පත්තරවල යනවා. ඔවුන්ගේ ලාභය දෙතුන් ගුණයකින් වැඩිවෙලා. සිය ව්‍යාපාරික ගජමිතුරන්ට ලාභ හොයන්න බදු සහන දුන් ආණ්ඩුව දැන් අන්ත දිළින්දන්ගේ බඩට ගහලා බදු සල්ලි හොයා ගන්න හදනවා" යැයි මන්ත්‍රීනී රෝහිණී කවිරත්න චෝදනා කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරිය මෙසේ චෝදනා නගන අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මේ ආණ්ඩුව බලයට ඇවිත් 2019 නොවැ. 27 පළමු කැබිනට්ටුවේ, පළමු රැස්වීමේ දී කරපු පළමු වැඩේ ඡන්දෙට වියදම් කරපු ගජමිතුරන්නට බදු සහන ලබාදීමයි. උපයන විට බද්ධ, වැට් බද්ධ, ජාතිය ගොඩනැගිමේ බද්ධ. කොටස් වෙළෙඳපොල බද්ද ආදී එකි මෙකී හැම බද්ධක්ම අඩු කරලා භාණ්ඩාගාරයේ ආදායම රුපියල් බිලියන 500කට වැඩි ප්‍රමාණයකින් ආණ්ඩුව අඩු කර ගත්තා. දැන් රජයේ සේවකයින්ගෙන්, පඩිය හිඟා කනවා. දැන් රට කරන්න දිගට හරහට ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා. අගෝස්තු 20 දවසට රු.බිලියන 29 ක් අච්චු ගැහුවා. අද මහ බැංකුව කියන්නේ සල්ලි අච්චු ගහන මැෂිමක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරන්නේ මුද්‍රණාලයාධිපති ගේ වැඩේ. මුදල් ලේකම් සල්ලි ඉල්ලලා ලියුම් ලියලා සල්ලි ඉල්ලලා, එයාම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට වාඩි වෙලා සල්ලි අච්චු ගහන්න අවසර දෙනවා.

මුදල් රාජ්‍ය ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති කියනවා මුදල් අච්චු ගැහුවට බඩු මිල ඉහළ යන්නේ නෑ කියලා. දැන් පලාත් සභාවට කතා කර කර කියනවා රට වහලා තිබ්බට කොහොම හරි මෝටර් රථ ප්‍රවාහණයේ ඇරලා සල්ලි ටික එකතු කරලා දෙන්න කියලා. මේ රටේ කවුරුත් ධනපතියන්ට බදු සහන දීලා සීනි, හාල්, පරිප්පු, ඖෂධ, ගෑස්, ඉන්ධන මිල ඉහළ දාන්න කිව්වේ නෑ. කෘෂි රසායන ගෙන්වන්න මුදල් නැති කර ගන්න කිව්වේ නෑ. සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකම මිල දෙගුණයකට වැඩිය වැඩිවෙලා තියෙනවා.

මොන අවාසනාවන්ත කාලය ආවත් ගොවිබිම්වල කන්න එළවළු - පළතුරු ටික හැදුණා. දැන් කෘෂි රාසායන නැතිව වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිව උඩරට එළවළු වත්තේ කුණු වෙනවා. ඒක කිව්වාම, ඡන්දෙට වියදම්කරපු ගජමිතුරෙකුට කෘමිනාශක, දිලීර නාශක අලෙවියේ ඒකාධිකාරය දෙන්න හදනවා. ගොවියාට බීලා මැරෙන්නවත් අද වල් නාශකයක් නෑ.

සීනි ඒකාධිකාරය දිලා රු. 65 ට ගෙන්වපු සීනි දැන් රු. 220 ට කනවා. මේ ආණ්ඩුව දුප්පතාගේ ඔළුවට පිස්තෝලේ නොතියා සේසතම පැහැර ගන්නවා.

පොහොර ටික, කෘෂි රසායන ටිකට සල්ලිවලට දෙන්න කැමති නැති ආණ්ඩුව කිරි පිටි වලට බදු සහන දුන්නා. දැන් ආණ්ඩුවට ආදායමත් නෑ. මිනිස්සුන්ට කිරි ත් දෙකම නෑ. ගොවියාට කෘෂිරසානයන ටික දුන්නා නම් රටට අල බතල ටික හදාගන්න තිබුණා. නිකං නෙවෙයි, සහන මිලට නොවෙයි, සල්ලිවලට වත් රටේ කෘෂි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගේන්න දෙන්නේ නැති ආණ්ඩුව කටින් රෝකට් යවනවා.

අද මුදල් අමාත්‍යාංශය යාලුවන්ට බදු සහන දෙන දන්සලක් වෙලා. අලුත් මුදල් ඇමතිතුමා එනකොට හන්දි ගානේ කොඩි දාලා රතිඤ්ඤා පත්තු කරලා කවි ගී ලිව්වා. නිදහසින් පස්සේ හිටපු මුදල් ඇමතිවරු, ජේ.ආර්., වන්නිනායක, ඇන්.එම්., ෆීලික්ස් ඩයස්, රෝනී ද මෙල්, චන්ද්‍රිකා, මංගල හත් දෙනාගේම මොළ හතම තියනවා කියලා බැනර් ගැහුවා. දැන් ඩී.බී.විජේතුංග මුදල් ඇමතිතුමා කිව්වා කිව්වා මගේ ප්‍රතිපත්තිය ධනපතියාගෙන් අරං දුප්පතාට සහන දෙන එක කියලා. දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත. ධනපතියෝ කිව්ව ජේ.ආර්., ෆීලික්ස් ඩයස්, රෝනී, චන්ද්‍රිකා ලා වත් මෙහෙම කළේ නෑ. වගා කරලා කාපු රටක් දැන් හිඟා කාලා කන තැනකට පත් වෙලා තියෙන එකෙන් මහා වැඩකාරයොන්ගේ මොළයේ ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන් යැයි ද රෝහිණී කවිරත්න නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අලි කුලප්පුවීමේ දේශපාලනයක් !

දළදා පෙරහැර හා ලංකා දේශපාලන අතර දැවැන්ත සම්බන්ධයක් තිබේ. ‘පූජනීය දළදා සංස්කෘතිය‘ දාහතරවන කලාපයට පෙරවදනක් ලියන්නට මම දළදා සංස්කෘතියේ දේශපාලනය අධ්‍යයනය කළෙමි.

දළදා සංස්කෘතියේ දේශපාලන කතාව කියන්නට දළදා හාමුරුවන්ගෙන් අවසරයි!

ඇත්තු කුලප්පු හා මැතිවරණ දේශපාලනය !

මහ­නු­වර දළදා පෙර­හැරේ අලි කුලප්පුවීමකින් 1959 අගෝස්තු 19 දින පුද්ගලයින් 15 ක් මිය ගියේය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඇතා ඝාතනය කළේය. මේ අලි කුලප්පුව ගැන දීර්ඝ ලිඛිත සාහිත්‍යයක් ‘අලි කොමිසම‘, පාර්ලිමේන්තුව, පත්තර, මහෙස්ත්‍රාත් විභාගය හරහා නිර්මාණය විය.

පසුව එය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් එපිට මැතිවරණ වේදිකාවට ද ගියේය. “දේශ­පා­ලන කුල­ප්පු­ව­ලින් අලින් කුලප්පු වෙලා” එදා මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා කීවේය. ටී.බී.ඉලංගරත්න ඇමතිගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පටන්ගත්තේය.

එදා පටන් අලි කුලප්පුව දේශපාලනය හා බැඳී ඇත.

1959 සැප්තෑම්බර් 25 බණ්ඩාරනායක ඝාතනය සිදු විය. ලංකා දේශපාලනය උඩු යටි කුරු කළ 56 විප්ලවයෙන්‘ 1956 අප්‍රේල් බිහි වූ ආණ්ඩුව සිය කාලය සම්පූර්ණ කිරීමටත් පෙර, 1959 දෙසැම්බර් 4 බිඳවැටුණි. 1960 මාර්තු මැතිවරණයෙන් එජාපයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු පිහිටවූවේය.

1976 අගෝස්තු ඇසළ පෙරහැරේ පත්තිනි දේවාල රන්දෝලියේ ඇතා කුලප්පුවිය. පොලිස් වෙඩි පහරින් පත්තිනි දේවාලයේ වතුර මල අසල දි ඇතා මැරී වැටුනේය. 1977 ජූලි 22 එජාපය 5/6 ක බලයක් සහිතව ආණ්ඩු බලය ලබාගත්තේය.

1992 අගෝස්තු නෙරංජන් විජේරත්න දියවඩන නිලමේ සමයේ දී, පෙරහර කරඩුව රැගත් මංගල හස්තිරාජයා කලබලයට පත් වූවේ විදුලි කාන්දුවක් හේතුවෙන් රන්සිවිගේ ගිණිගැනීමෙනි. 1992 කරඬුුව වඩම්වන්නට සිටි රත්නපුර සමන් දේවාලයේ ඇතා ඇත් ගොව්වාට පහර දී කලබැගෑනියක් ඇති වූවේ කරඬුව බඳින්නට සුළු වේළාවකට පෙරය. ඇතා නිර්වින්දනය කළ අතර, පෙරහැර කරඬුව වැඩම කරනු ලැබූවේ ජයරාජා නම් ඇතා පිට ය. 1993 මැයි 1 දින ජනාධිපති ආර්.ප්‍රේමදාස ඝාතනය විය. 1993 මැයි 17 පලාත් සභා ඡන්ද විමසීමේ දී බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් සභා බලය විපක්ෂයට ගියේය.

1993 අගෝස්තු ජනපති ඩී.බී.විජේතුංග සමයේ දෙවැනි කුඹල් පෙරහැරේ දී කරඩුව මඩම්මවන මගුල් ඇතු කුලප්පුවූවා පමණක් නොව ඇඳ වැටුණි. 1994 අගෝස්තු 16 දින එජාපයේ 17 වසරක පාලනය අවසන් වී චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිවරයා ලෙස පත් විය.

2012 හෝ 2013 පළමු කුඹල් පෙරහැර අතර, මහ වැසි වැටී මහමළුවේ තිබූ දැවැන්ත අට්ටාලයක් කඩා වැටුණි. එහි ශබ්දයට අලි කලබල වූ අතර, අලි රංචුවට බිය වී වැටී එක් (ගැබිණි කාන්තාවක්) මියගියේය. මහ වැස්ස නිසා එදා පෙරහැරේ බෙර වාදනය කළේ සුදු ඉටිරෙදිවලින් වසා (මළ ගෙදරක) වාගේ ය.

2014 මහ පෙරහැරේ දී කරඬුව මඩම්මවමින් සිටි ඉන්දි රාජා ට කොටුගොඩැල්ල වීදියේ දී දෑලේ සිටි බූරුම රාජා දළ පහරක් එල්ල කළේය. එදා පෙරහැර ගෙවැදුනේ දෑලේ ඇතුන් රහිතව ය.

2014 පෙරහැර අවසන් වී දින කිහිපයකින් ලංකාවේ දේශපාලනය වෙනස් වන්නට පටන් ගෙන, 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බිහිවිය.

2019 අගොස්තු මාලිගාවේ ඇතෙකුට පහරදීමට නාථ දේවාලයේ පෙරහැරට ගෙන ආ අලියෙක් උත්සහ කළේය. 2019 නොවැම්බර් මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව බිඳවැටුණේය.

අටුවා කථාව !

දළදා සංස්කෘතියේ අලි ඇත්තු කලබලවීම ගැන 1959 කතාවේ දී නුගවෙල නිළමේ කරඬුව වැඩම කළ ඇතා ගේ දළයෙන් අල්ලා ගෙන කලබලය සමනය කර ගත් අයුරු ගැන දීර්ඝ ලිඛිත සාක්ෂි ඇත.

1976 පත්තිනි දේවාලයේ ඇතා නවරත්න නිළමේ (අමාත්‍යවරයෙකි) ඉදිරිපිට වෙඩි වැදී මියයාම ගැන පොලිස් වාර්තා පවසන්නේ ‘අත්වැරැද්දකින් වෙඩි වැදීමක්‘ ලෙස ය.

1992 සිද්ධිය ජනමාධ්‍ය එදා වාර්තා කළේ නැත. සිද්ධිය ඇසින් දුටුවන්, අවසන් මොහොතේ පෙරහැර කරඬුව බැදීමේ කාර්යය ඉටු කළ ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ ඇතුළු කිහිප දෙනෙකු හැර සිද්ධියට ලිඛිත සාක්ෂි නැති තරම් ය.

1993 අවසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කරඬුව වඩම්මවමින් සිටි ඇතා ය. කරඬුවට හානියක් නොවු නමුත් ඇතා ඇඳ වැටුණු බව ඇසින් දුටුවන්ගෙන් මම අසා ඇත්තෙමි.

2019 අගොස්තු මාසයේ නාථ දේවාලය අසල බැඳ සිටි (පෙරහැරේ නොගිය) සතෙකු මාලිගාවේ පෙරහැරේ ගිය සතෙකුට පහරදීම/පහරදීමට උත්සහ දැරීම නිසා පෙරහැර ගෙවදීමට ආසන්නයේ කලබලය සිදුවිය. ‍එවකට මම මධ්‍යම පළාතේ ආණ්ඩුකායා වූ බැවින් සිද්ධිය මා දැනගත් නමුත්, ඉතිහාසය පුරාම සිදුවී ඇති අයුරින්ම එය සිරස්තලයක් වූවේ නැත.

2021 අගෝස්තු 22 අවසන් රන්දෝළි පෙරහැරේ දී කතරගම දේවාලයේ අලි තිදෙනෙකු හෝ සිව් දෙනෙකු කුලප්පු විය. කුලප්පු වූ එක් සතෙකු දළදා කරඬුව වැඩමවූ අලි පන්තිය අසලට පැමිණි නමුත්, නැදුන්ගමුවේ ඇතා ද, දෑලේ ඇත්තු ද නොසෙල්වී කිසිදු කලබලයකින් තොරව සිටියේය.

රූපවාහිනියෙන් ද, අන්තර් ජාලයෙන් ද සජීවී යැයි කියා පෙර දින පෙරහැර පෙන්වනු ලැබීය.

ටීකා ව !

පෙරහැර සංස්කෘතියකි! දේශපාලනය ද සංස්කෘතියකි!!

පසු සටහන - මෑත කාලයේ රටේම අලි ඇතුන් පෙරහැරට එක් කර ගන්නට දරණ උත්සාහය නිසා පෙරහැර දිගු වී ඇත. අලි කුලප්පුවීම් වැඩිවීමට එය ප්‍රධාන හේතුවකි.

හිටපු ආණ්ඩුකාර - රජිත් කීර්ති තෙන්නකෝන්

ස්මාට් එන්නත් කාඩ්පත ලබා ගන්න පහත අයදුම්පත පුරවන්න

එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන ස්මාට් එන්නත්කරණ කාඩ්පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (ශ්‍රී ලංකාව) සමඟ එක්ව කොවිඩ් -19 ස්මාර්ට් එන්නත්කරණ සහතික පත්‍රය දියත් කරන බව ICTA ආයතනය නිවේදනය කරයි.

මෙම සහතිකය දැනට නිකුත් කෙරෙන්නේ විදෙස්ගත වන අය සඳහා පමණි.

එන්නත්කරණය සිදුකළ බව සඳහන් කාඩ්පත අස්ථානගත වූ යම් පුද්ගලයකු සිටිනවා නම් තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී අදාළ උපදෙස් ලබාගැනීමට ක්‍රියාකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  පවසා ඇත.

ලියාපදිංචි වීම සඳහා මෙතන click කරන්න.

කොවිඩ් මරණ 198ක් : සමස්ත කොවිඩ් මරණ 7,948ක්

තවත් කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (24) දින තහවුරු කර ඇති එම මරණ 198ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,948ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 119 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

එම මරණ අතර අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද සිටින බව වාර්තා වෙයි.

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුයි

මේ වනවිට රජය පනවා ඇති සංචරණ සීමාවලට ජනතාව නිවැරදිව අනුගත නොවුනොත් එම සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ඒ බව සඳහන් කළේ ය.

"මේ දාලා තියෙන ලොක්ඩවුන් එක හරියටම ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව සහයෝගය ලබාදිය යුතුයි. එහෙම නැති වුණොත් මේ දාපු ලොක්ඩවුන් එක එක්කො දීර්ඝ කරන්න වෙයි. නැත්නම් ආයේ මාසෙකින් ලොක්ඩවුන් කරන්න වෙයි. එතකොට මේක අරිනවා.. වහනවා. මේ ආකාරයට ගමන් කරන්න බෑ. ඒක රජයටත් ජනතාවටත් අපහසුවක්. ඒ නිසා මේ සංචරණ සීමාවලට අනුගතවෙන අය වගේම ක්‍රියාත්මක කරන අයත් ඒක හරියටම කරන්න ඕනේ."

ඉරාජ් දොට්ට !

තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කර සිටි ඉරාජ් වීරරත්න නම් ගායකයා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (25) අදාළ ලිපිය තරුණ සහ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ වෙත යවා ඇති අතර එහි පිටපතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

lanka truth වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ඉරාජ් වීරරත්නට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුව දන්වා ඇති බවයි.

ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වෙයි.

guraj

ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගනී !

නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර එහි මෙසේද සඳහන් වෙයි.

ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පලිගැනීම ආරම්භ කොට තිබේ.

කෙටි කලකට හෝ රට වසා දමන්නැයි අප ආණ්ඩුවට බලකළේ පවත්නා බිහිසුණු කොරෝනා ව්‍යාප්තියෙන් ජීවිත බේරා ගැනීමට මිස එය ජන ජීවිත පීඩාවට පත් කිරීමට ආණ්ඩුවට දුන් බලපත්‍රයක් නොවේ.අප පුනපුනා කළ ඉල්ලීම කඩිනම් නොකර කල්මැරීමෙහි ආදීනව රටම භුක්ති විදිමින් සිටින අතර කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් රටවල් අතර ප්‍රමුඛ තැනකට අපේ රට පත්ව ඇත්තේද ඒ හිතුවක්කාරී ක්‍රියාපිලිවෙත නිසාය.

වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හදුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ අපේ බලපෑම නිසාම ජනතාවට දෙන්නට වූ අවම සහන මල්ල පවා අත් හිටුවීම ය.

“ජනතාවට කැපකිරීම් කරන්න”යැයි ආණ්ඩුව ඉල්ලා සිටින නමුත්,කොරෝනා උවදුර ආරම්භ වූ දවසේ සිටම ජනතාව කරනු ලබන කැපකිරීම ආණ්ඩුවට නොපෙනීම සහ නොදැනීම අදහාගත නොහැකි ය.

ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් ඉහළ දැමූ ආණ්ඩුව ය. ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ආහාර වියදම දරාගැනීමේ ශක්තිය අතින් ලංකාව ලොව දුප්පත්ම රටවල් 5 අතරට දමා වැටුපෙන් 66%ක් ආහාර වලට වැයකරන තැනට රට පත් කළ ආණ්ඩුව ය. ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ධන කුවේරයන්ට බදු සහන ලබා දී මිලියන හයසීයක් රටට අහිමි කළ ආණ්ඩුව ය.

ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ සීනි සහ පොල්තෙල් වංචාවන් හරහා ගජමිතුරන්ට සහන ලබා දුන් ආණ්ඩුව ය.

තුන් වේල තබා එක වේලක් හෝ කෑමට යමක් නැතිව සුසුම් හෙළන ලක්ෂ ගණනක් පුරවැසියන් ජීවත්වන රටක ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලීම තරම් සාහසික ඉල්ලීමක් තවත් නැත. කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමනවානම් ඒ ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකිය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක

Page 358 of 386