පුවත්

25 වැනිදා සිට ගුරුවරු වැඩ කරන හැටි ..........
පාසල් විවෘත කිරීමෙන් පසු දෙවන දිනටත් ක්‍රියාත්මක ගුරු විදුහල්පති වැඩවර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
මෙම වැඩවර්ජනය හරහා ගුරු විදුහල්පතිවරු ආණ්ඩුවට දී තිබෙන පණිවිඩය අනුව අයවැයට පෙර සිය වැටුප ලබාදීම ගැන තීරණයක් ගන්නා ලෙසයි එම සන්ධානය සඳහන් කළේ.
මේ අතර ලබන 25 වැනිදා පස්වරු 02.00 න් පසු දැනට පාසල් පැමිණෙන සහ තවදුරටත් නිවෙස් වල සිටින ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතිවලට අනුව රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේය.
එළඹෙන අයවැයට පෙර මෙම වැටුප දෙන ආකාරය ගැන තීන්දුවක් නොගත හොත් හතරවන අදියරේදී සියලුම පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නම් එම පහසුකම් නැති දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද ඒවා ලබාදෙන්නේ නම් පමණක් ඔන්ලයින් ඉගැන්වීම් සිදුකරන බව ගුරු විදුහල්පති සන්ධානය අවධාරණය කරන ලදී.
25 වැනිදා 200ට අඩු දරුවන් සිටින 1- 5 ශ්‍රේණිවල දරුවන්ගේ දෙමව්පියන්ද මෙම ගුරු විදුහල්පති සටන ගැන දැනුවත් කර ඔවුන්ගේ සහයද ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කළේය.
මේ අතර ගුරු විදුහල්පතිවරු මෙතෙක් කාලයක් ඉගැන්වීම් කටයුතුවලට අමතරව පාසල් තුළ සිදුකළ සෙසු කටයුතු සියල්ලෙන් වැළකෙන අතර කැඳවා තිබෙන රැස්වීමවලට පස්වරු 01.30න් පසු සහභාගී නොවීමටද තීරණය කර ඇති බව වෘත්තීය සමිති නායකයින් පැවසීය.

යථාර්ථය තේරුම් ගෙන ඉවසීමෙන් හා සංයමයෙන් ක්‍රියා කරමු ! - කරු ජයසූරිය
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සඳහා ඊයේ දිනයේදී විසඳුම් ලැබෙනු ඇතැයි රටම බලාපොරොත්තුවෙන් සිටියද ගැටලුවට විසඳුම් ලැබෙන දිනයක් පිළිබඳව හෝ විශ්වාසය තැබිය නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ නිසි අධ්‍යාපනයක් නොලැබූ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඊයේ දිනයේදී ලබා ගැනීමට අවස්ථාව තිබූ නමුත්, ආණ්ඩුවේ සහ ගුරුවරුන්ගේ නොඉවසිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව අහිමි වූ බවයි එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.
රට මහා විනාශයක් අභිමුඛව සිටින මේ අවස්ථාවේ දැන්වත් බුද්ධිමත්ව යථාර්ථය තේරුම් ගෙන ඉවසීමෙන් හා සංයමයෙන් ක්‍රියා කරමු !
අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවුල ඊයේ විසඳෙනු ඇතැයි මුළු රටම බලාපොරොත්තු වුණා. දැන් එය නැවතත් දුරදිග යන ගැටුමක් බවට පත්වෙලා. සෑම පාර්ශවයක්ම ඉවසීමෙන් ක්‍රියා කළා නම් අවුරුදු දෙකකට පසු දරුවන්ට පාසල් යාමටත් නැවතත් තමන්ට අයිති ළමා කාලය ලබාගැනීමටත් හැකිව තිබුණා.
මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක්. එකඟ වීමට තිබුණේ දින තුනක (පැය 72 ක) වෙනසක්. පසුගිය වකවානුවේදී ගුරු වෘත්තියට දේශපාලකයින්ගෙන් හා පොලීසියෙන් විවිධ අඩන්තේට්ටම්වලට හා අපහාසවලට මුහුණ දීමට සිදුවුණා. මිනිස් හැඟීම් රජය විසිනුත් තේරුම් ගත යුතුයි.
දැන්වත් පලිගැනීම් නවතා වහසිබස් නොදොඩා, ලබන සඳුදා ගුරුදෙගුරු ආශිර්වාද මැද පාසල් වැඩ ආරම්භ කරන ලෙස ජාතියේ නාමයෙන් සියලු පාර්ශවවලට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආයාචනය කරනවා.
කොම්පෝස්ට් පොහොර ප්‍රශ්නයද ඔඩුදුවා ඇති මෙම අවස්ථාවේදී එය විශාල විනාශයකට හේතු වන්නට ඉඩ ඇති බව අපට පෙනී යනවා. රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතය පාරිසරිකව ඉතා වැදගත් වුවත්, ලෝකයේ කිසි රටක් ගොවීන්ට මාස කිහිපයකින් පොහොර භාවිතය වෙනස් කිරීමට බල කළේ නැහැ. එය කෙසේවත් කළ නොහැකියි. කොම්පෝස්ට් පොහොර භාවිතය විශාල පරිමාණයෙන් ආරම්භ කළ භූතානය පවා දැන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට 2030 වර්ෂය දක්වා බලා සිටිනවා.
මේ සියල්ලටම වඩා අපගේ අවධානය යොමුව ඇත්තේ ජනතා කෝපයටයි. මාධ්‍ය වාර්තා අනුව ඉහළ ගිය ජීවන වියදම් පීඩනයටද පත්ව සිටින ගොවීන් හා ජනතාව පාරට බැස්සොත් මහා ලේ වැගිරීමක් ඇතිවෙන්න පුළුවන්. එයට ඉඩ තබන්න එපා. රට තවත් විනාශ වේවි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රටේ පිළිගත් විද්වතුන් රජය ගත් පියවර අනුමත කරන්නේ නැහැ. මේ ගැන ඔවුන් ප්‍රසිද්ධ ප්‍රකාශ කර තිබෙනවා. දැනට විවිධ රටවලින් පොහොර ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. රජය එය සිදු කළ යුතුව තිබුණේ මීට මාස හයකට පමණ පෙර මෙම පොහොර අත්හදා බලා ගොවීන්ට විශ්වාසය ඇති කර දීමයි. දැනට ආනයනය කරන විවිධ පොහොර වර්ග එවැනි පරීක්ෂණයකට හෝ අත්හදා බැලීමකට යටත් වී නැහැ.
බලධාරීන්ට අප මේ අවස්ථාවේදී යෝජනා කරන්නේ බිම් මට්ටමේ යථාර්ථය වටහා වටහාගෙන ගොවීන්ගේ හඬටත් කන් දෙන ලෙසයි. මේ අප ජාත්‍යාලයෙන් කෙරෙන ගෞරවනීය යෝජනාවක්.
දේශබන්දු කරු ජයසූරිය සභාපති,
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ලසන්ත ඝාතනය ගැන නීතිපතියේ තවත් දැනුම්දීමක් !
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න අත් අඩංගුවට පත් වීමේ අවධානමක් නැති බව, නීතිපති ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දි ඇත.
ලසන්ත වික‍්‍රමතුංග මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (ශානි අබේසේකර එහි අධ්‍යක්ෂ ධූරය දැරූ සමයේ දී), ලසන්ත ඝාතනයට සම්බන්ධ තොරතුරු විනාශ කළ බවට චෝදනා කරමින් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත්තේ ය.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව , හිටපු පොලිස්පතිවරයා වූ ජයන්ත වික‍්‍රමරත්න අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේ දී හිටපු පොලිස්පතිවරයා, තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
තමන් අත් අඩංගුවට ගැනීව වළක්වන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගැනිණ.
එම අවස්ථාවේ දී නීතිපති නියෝජනය කරමින් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ, හිටපු පොලිස්පතිවරයා අත් අඩංගුවට පත්වීමේ අවදානමක් නැති බවයි.
ඒ අනුව, හිටපු පොලිස්පතිවරයා ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ දිනයේ දී ඉල්ලා අස්කරගෙන තිබේ.

චම්පිකගේ දුරකථන සංවාද හොරෙන් අහලා : මාට්ටු අය මෙන්න !
නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක චෝදනා කරයි.
ඒ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109:06 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශය තුළ සිදුවේ යැයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉන් දන්වා තිබූ බවත් රණවක මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
“ඒ නොතීසිය මා වෙත එව්වෙ ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මැතිතුමා. එහිදී විශාල මාධ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රකාශ කළා. මම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ඉන්න කාලේ රුපියල් මිලියන 150 ක් අවභාවිතාවක් කළාය කියලා ප්‍රචාරක වැඩ කටයුත්තක් ගැන. නමුත් ඒ නොතීසිය තිබුණේ රුපියල් මිලියන 75 ක ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න. අපේ හිටපු අග්‍රාමාත්‍යතුමාගෙ අමාත්‍යාංශයෙන් එවපු ලිපියකට අනුකූලව අදාළ අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කියලා ඒ ලිපියෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් මම අපේ ලේකම්තුමා ඇතුළු ඒ කාලේ හිටපු අපේ නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ කණ්ඩායමත් එක්ක කළමනාකරණ රැස්වීමේ මූලාසනය දරුවද කියලා ඇහුවා. මං කිව්වා ඔව් කියලා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අපි හැමදාම කළමනාකරණ රැස්වීම් පැවැත්වූවා. ඒ අනුව ඒ පැවැත්තුවද කියලා.”
සාමේකච්ඡාව ඉදිරියට යද්දී 2018 සහ 2019 වර්ෂවල තම දුරකතන සංවාදයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සවන් දී ඇති බව මෙහිදී හිටපු අමාත්‍යවරයාට දැනගැනීමට ලැබී තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වෙනි වගන්තියට අනුව එවැනි විමර්ශනයක යෙදෙන පොලිස් නිලධාරීන්, දුරකථන සංවාද සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ අවසරයක් ලබා ගත යුතුය .
“මම ඇහුවා එවැනි අවසරයක් ගත්තද මගේ දුරකථන වලට සවන් දෙන්න මහේස්ත්‍රාත්වරයාගෙන්? ඔවුන් මට ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ විසින් ඒවා ඔවුන්ට ලබා දීපු බව. එතකොට එවැනි මහේස්ත්‍රාත් අවසරයක් තිබුණු නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මගේ ඒ ප්‍රකාශයේ ඒ බවත් මම සඳහන් කළා.”
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම පුද්ගලිකත්වයට ඇති අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන් භුක්ති විදින පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල මෙහිදී නීති විරෝධීව උල්ලංඝනය කොට තිබෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 2 වැනි වගන්තිය මගින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද දැක්වෙන එහි 7 වැනි වගන්තිය මගින් ද මේ වරප්‍රසාදයන්ට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සතු වරප්‍රසාද ද මීට අයත් වන බව ඔහු මෙහිදී සිහිපත් කළේය.
“ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු ප්‍රධාන වරප්‍රසාදයක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එම වරප්‍රසාදය නිරුක්ති කර ගැනීමේදී මේ වන විට මේ රට තුල බලාත්මක වන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිළිබද සම්මුතියේ 19 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දේශ සීමා හා මායිම් තුළ නොසිට හා තොරතුරු හා අදහස් සොයා යාම ලබා ගැනීම හා බෙදාහැරීමේ නිදහස තම අදහස් වාචිකව ලිඛිතව මුද්‍රිතව ඕනෑම ආකාරයකින් වෙනත් මාධ්‍යයක් තුළින් ප්‍රකාශ කළ හැකි බවයි. ඉහත කී පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම දුරකථනය එම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යන්තයෙන්ම උපකාරී වන මෙවලමක් ඒ තුළ මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිදහසට යටත් වන තොරතුරක් වන තමන් සතු වරප්‍රසාද තොරතුරක්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝනය කරලා තියෙන බව මගේ හැඟීමයි.”
නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන්ට අදාළ දත්ත, අදාල දුරකථන සේවා සැපයුම්කරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදාහැරීම මගින් අදාළ සේවා සැපයුම්කරුවන් ද තම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
“ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු වරප්‍රසාද කඩ කිරීමට අදාළ විධිවිධාන පනතේ 22 වෙනි වගන්තිය මඟින් ප්‍රතිපාදනය කරලා තියෙනවා. මා කියා සිටින්නේ ඉහත වරප්‍රසාද කඩ කිරීමේ පනතේ ආ පරිශ්ඨයේ දහවෙනි වගන්තිය යටතට ගැනෙන වරද බවයි මේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා අදාළ දුරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා මූලික පරීක්ෂණයක් සිදුකරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම එකී මූලික පරීක්ෂණයෙන් අනතුරුව, 22:2 වගන්තියට අනුව, මෙම වරප්‍රසාද කඩකිරීම පනතේ, සඳහන් කොට ඇති වරදක් සිදුකොට ඇති බව, බැලූ බැල්මට පෙනී යන්නේ නම්, පනතේ 23 වෙනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිදුකරන ලද විමසීමකින්, දඬුවම් කළ හැකි වරදක් බවත්, මා මේ අවස්ථාවේ ඔබතුමාට සිහිපත් කරනවා.”
ඒ අනුව, මගේ වරප්‍රසාද උල්ලංඝනයට අදාළ පැමිණිල්ල පිළිබඳ පනතේ 25 වෙනි වගන්තිය මගින් සලසා ඇති ප්‍රතිපාදන මත කටයුතු කිරීම සඳහා ගරු කථානායකතුමා විසින් නීතිපතිවරයාගෙන් වාර්තාවක් කතානායකතුමන් වෙත කැඳවන මෙන්ද එසේ කැඳවන වාර්තාව සභාගත කරන මෙන්ද එම වාර්තාව පදනම් කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සිදුකරන යෝජනා සම්මතයක් මගින් පනතේ 23 වෙනි වගන්තිය යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද මෙනයින් මම ඉල්ලා සිටිනවා”
“මම අසවලාට කතා කළාය කියලා පණිවිඩයකින් හොයාගන්න මේ අපි දන්න තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතිය ඇතුළෙ නම් කරන්න බෑ. එකම ක්‍රමය පණිවිඩ වලට ඇහුම්කන් දෙන්න, ලබා දුන්නේ කවුදැයි කියන එක සම්බන්ධයෙන් වෙච්ච යම් සුවිශේෂී තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබුනොත් පමණයි. අපි කවුරුත් දන්නවා මේ පසුගිය කාලේ ප්‍රධාන පෙළේ පිරිස් ප්‍රංශයේ ජනාධිපති මැකෝන් ඒ වගේම ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි. මෙවැනි අයගේ පවා පණිවිඩ වලට ඒ ඒ රජයන්වල හෝ වෙනත් විදේශ රජයන් වල ඇහුම්කන් දීලා තිබෙන බව. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා පෙගසස් නමින් ඊශ්‍රායලයේ නිර්මාණය කරන ලද ඒ තාක්ෂණ මෙවලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තියෙනවද? එසේ නැත්නම් සාමාන්‍ය දුරකථන ඇමතුමක් නොවන ඇමතුමක් පිළිබඳ තොරතුරු ඔවුන් දැනගත්තේ කෙසේද කියන එක ගැනත් පරීක්ෂණ කරන්න” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
– media unit

SLIIT ආයතනයත් විනාසයි : රජයට පවරා ගැනීමේ සූදානමක් !
පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන මාලඹේ ස්ලිට් (SLIIT) හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට පවරා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට අදාළ යෝජනාව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත්කර ඇත.
ස්ලිට් ආයතනය ආරම්භ කර තිබුණේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබු මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් උපයාගැනීමේ අරමුණින් යුතුවය.
එසේ ආරම්භකර තිබු ස්ලිට් ආයතනය පවරාදීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මිට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණිල්ලක් සිදුකර තිබිණ.
මෙම පවරාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසන් සභාවක්ද පත්කර තිබිණ.
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් ද පසුගියදා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කර තිබිණ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටු සාමාජිකයකු පැවසුයේ, මෙම පවරා දීමේදී දුෂිත ගනුදෙනුවක් සිදුව ඇතිබවට අනාවරණය වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් හෙට (22) පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියේය.
මේ අතර මාලබේ SLIIT ආයතනය රැකගැනීම සඳහා යැයි කියන සමාජ මාධ්‍යය මෙහෙයුමක් ද මේවනවිට ආරම්භවී තිබේ.
#savesliit :SLIIT එකේ ලාබයට මාන බලන බලවතුන් කවුද?
#savesliit - SLIIT එකේ ලාබයට මාන බලන බලවතුන් කවුද? යන තේමාවෙන් යුතුව එම මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ, ලෝකය පුරා සිටින SLIIT උපාධිධාරීන්, සිසුන්, දෙමාපියන් පිරිසකගේ මැදිහත්වීමෙන්ය.
ඊට අනුව SLIIT ආයතනයේ මුදල්වලට මාන බලන බලවත් දේශපාලකයෙක් සහ නිළධාරීන් පිරිසක් SLIIT ආයතතනය විනාශයට දක්කන්නට යන බව #savesliit සඳහන් කරයි.
ඉහතින් දක්වා ඇති ආකාරයට #savesliit විසින් ප්‍රකාශිත සමාජ මාධ්‍ය සටහනක මෙසේද සඳහන් වේ.
මහපොල අරමුදලෙන් ලබාගත් ආයෝජන ණයක් මත 1990 දශකයේ අග භාගයේදී ස්ථාපිත කරන ලද SLIIT ආයතනය, එම සියලුම ණය මුදල් ආපසු ගෙවීමෙන් පසුව 2017 වසරේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකින් පසුව, ලාබ නොලබන පුද්ගලික ආයතනයක් ලෙස නිත්‍යානුකූලව හඳුනාගෙන තිබේ.
නමුත් මෑතකදී, නැවතත් SLIIT ආයතනය මහපොලට පවරාගත යුතු බව පවසමින් කෝප් කමිටු වාර්තා දෙකක්, පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද අතර නුදුරේදීම ඒවා විවාදයට ගැනීමට නියමිතය.
වැඩි පිරිසකට ලාබදායී මුදලකට උපාධි ලබාදෙන්නට යැයි පවසමින්, ඔවුන් මේ උත්සහ කරන්නේ, ලාබය කොල්ලකෑමට බව #savesliit සඳහන් කරයි.
දැනටමත් ඉතාමත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදෙමින්, ජාත්‍යන්තර සිසුන්ට පවා ස්ලිට් අධ්‍යාපනය ලබාදෙයි. එතරම් යහපත් සහ දියුණු සේවාවක් සිදුකරන මෙම ආයතනය, කෙටි කලකින් දේශපාලකයින්ගේ සාක්කු පුරවන පාඩු ලබන ආයතනයක් වනු ඇති බවට ඔවුන් පුරෝකතනය කර ඇත.
මාලඹේ SLIIT ආයතනයටත් සතොසට වූ දේ සිදුවන බවත්, එම ආයතනය බේරාගැනීමේ මෙහෙයුම වශයෙන් #savesliit මෙහෙයුම ක්‍රියාත්මක වේ.

කාදිනල්ගෙන් ආණ්ඩුවට ඉතාම බරපතළ චෝදනාවක් !
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ල කර ඇත.
ඊට අදාළව සිරස මාධ්‍ය ජාලයේ පලවූ වීඩියෝවක උන්වහන්සේ ප්‍රශ්න කර සිටින්නේ තමන් නිර්දෝෂී නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඉඩ නොදෙන්නේ මන්දැයි යනුවෙනි.
පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා ගැනීමේ කාර්යය සඳහා පොරොන්දු වූ විමර්ශණය කෙසේ දැයි යනුවෙන්ද හිමිපාණන් විමසයි.
එසේම වරද කළ අය උත්සාහ කරන්නේ අන් අය පිට වරද පටවා තමන් නිදහස් වීමට බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
අදාළ විමර්ශන නිලධාරීන්ට බලය නොදී සත්‍ය යටපත් කරන්නට උත්සාහ දරන්නේ මන්දැයි හිමියන් තවදුරටත් විමසයි.
අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න කිසිවකු උත්සාහ කළා නම් එම බලය භුක්ති විඳින්නට ඉඩ නොලැබෙන බවද රදගුරුතුමන් කියා සිටියහ.
අදාළ වීඩියෝව පහත දැක්වෙයි.

සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,562 ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 19 ක් අද (21) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,562 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 8 දෙනා කාන්තාවන් ය.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 4 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 15 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (21) වාර්තා කරන ලද මෙම මරණ 19 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇත.

මෙරට පළමු සය නිවුන් දරු උපතක්
ශ්‍රී ලංකාවේ පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී සිදුවිය.
පියා යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන අතර මව 31 හැවිරිදි වියේ පසු වන අතර මා පිය දෙපළ කොළඹ IDH ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
එම මවට දාව උපන් එම දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බව රෝහල් බලධාරීහු පවසති.
එම දුර්ලභ දරු උපත සිදුවී තිබුණේ මධ්‍යම රාත්‍රී 12.16ත් - 12.18ත් අතර කාලයේ දීය.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසේරියන් සැත්කමක් මඟින් දරු උපත සිදුවී තිබුණි.
”අපි ස්කෑන් කර කර බැලුවා බබාලාගේ වර්ධනය කොහෝම ද සහ ලේ ගමනා ගමනය කොහොමද කියලා. ඒ අවස්ථාවේ අපිට තීරණය කරන්න වුණා. එක් අවස්ථාවක බබාලා දෙන්නෙක්ගේ ලේ ගමනාගමනය ටික ටික අඩුවෙන්න යනවා. කියලා. ඒ මොහොතේ තීරණය කරලා අම්මාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා සති 31 තමයි හොඳම කාලය කියලා මොකද පොත්වලවත් සඳහන් නැහැ. ඒ අනුව තීරණය කළා. මේ ඩිලිවරි එක කරන්න. අද පාන්දරව නිරෝගිව ඒ බබාලා බිහි කළා.” – වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් –
දරුවන් හයදෙනා අතරට ගැහැණු දරුවන් තිදෙනෙකු අයත් ය.

ලංකා IOC තෙල් මිල ඉහළට
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් වැඩි වීමට නියමිතය.

නැනෝ නයිට්‍රජන් හිතන තරම් වැඩ නෑ : විශේෂඥ අනාවරණය මෙන්න !
නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩිකර ගැනීමේ අපේක්ෂාව ඉටු කරගත නොහැකි බව විශේෂඥ මතය වී තිබේ.
එසේම ඒ හරහා හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන අපේක්ෂාවන් ඉටු කර ගත නොහැකි බවත් ඔවුන් පවසයි.
මේ විශේෂඥ අදහස් දැක්වීම සිදුකර ඇත්තේ මෙරට දිවයිනේ විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම පීඨවල සහ තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කෘෂිකර්ම හා සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව විසිනි.
ඔවුන් සිදුකළ විද්‍යාත්මක සොයා බැලීමේදී මේ කරුණු අනාවරණයවී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
යූරියාවලට වඩා මිල අධික නැනෝ නයිට්‍රජන් දියරමය පොහොර කාබනික පොහොරක් නොවන බවට ශාකයක නයිට්‍රජන් අවශ්‍යතාවය මෙමගින් සැපිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවද එම සමිති සම්මේලනය සඳහන් කරයි.
නැනෝ නයිට්‍රජන් දියර පොහොර ශාකයක පත්‍ර මතට ඉසින බැවින් ඒ සඳහා නවීන ඩ්‍රෝන් තාක්ෂණය යොදා නොගෙන විශාල වපසරියකින් යුත් කෘෂි ක්ෂේත්‍රවලට සහ වඩා උසකින් යුත් බඩඉරිඟු හා උක් වැනි ගස්වල පත්‍රවලට දියර පොහොර යෙදිය නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම දියර පොහොර යූරියා පොහොරවලට වඩා මිල අධික හෙයින් ගොවීන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද මෙම පොහොර භාවිතයෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගත නොහැකි බවද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.

ගුරු වර්ජනය සාර්ථකයි - ජෝසප් ස්ටාලින්
අද (21) පාසල් යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබුණද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙනයන වැඩවර්ජනය හේතුවෙන් පාසල් ආරම්භ කිරීමට දැඩි බාධා එල්ල වී ඇති අතර, රටේ බොහෝ ප්‍රදේශවල ගුරුවරුන් බහුතරයක් වර්ජනයේ නිරතවෙමින් සිටින අතර සිසුන්ගේ පැමිණීමද ඉතා සීමිත වී ඇති බවයි වාර්තා වෙයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.
දකුණේ ගුරුවරුන් වර්ජනයේ නිරත වුවද උතුරු නැගෙනහිර වර්ජනය ක්‍රියාත්මක නොවන බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් ප්‍රකාශ කළද අද දිනයේදී උතුරු නැගෙනහිර පවා වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ස්ටාලින් පවසයි.
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙනයන වැඩවර්ජනය සඳහා දෙමව්පියන්ගෙන්ද සහාය ලැබී ඇති බවත්, බොහෝ පාසල්වල කිසිදු දරුවෙකු පාසලට පැමිණ නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
වර්ජනයේ නිරත ගුරුවරුන් විසින් සිය පාසල්වල තත්වය පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා තොරතුරු ප්‍රකාශයට පත්කර ඇති අතර බොහෝ පාසල්වලට පැමිණ තිබෙන්නේ ආරක්ෂාව සඳහා යොමුකළ පොලිස් නිළධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් පමණි.
ඇතැම් පාසල්වලට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල නිළධාරීන්ද පැමිණ ඇති බව වාර්තා වෙයි.=
ගුරුවරුන් අද ලබාදුන් පණිවුඩය ආණ්ඩුව හොඳින් තේරුම් ගතයුතු බවත්, අමාත්‍ය අනු කමිටුව විසින් යෝජනා කළ වැටුප් වැඩිවීම කඩිනමින් ලබාදීමට ක්‍රියා කළයුතු බවත් ගුරු සංගම් පවසයි.
ලබන 25 වැනිදා ගුරුවරුන් සේවයට වාර්තා කළද වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ සටන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති පවසයි. ඒ අනුව ඉදිරියේදී උද්ඝෝෂණ= ක්‍රියාත්මක කිරීමටද ගුරු සංගම් තීරණය කර තිබේ.
LNW

කොරෝනා මරණවල පැහැදිලි අඩුවක් : ගුවන් තොටුපළ ආශ්‍රිත ආරක්ෂාව තීරණාත්මකයි !
තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (20) තහවුරු කර ඇත.
ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,543ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මෙම මරණ අතරට කාන්තාවන් 07ක් සහ පිරිමි පුද්ගලයින් 11ක් අයත්ය.
මේ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් පෙන්නුම් කරයි.
ගුවන් තොටුපළ ආරක්ෂා කරමු !
කෙසේ වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාව අඩුවුවත් වසංගතය තවදුරටත් සක්‍රීය බැවින් සමාජ දුරස්ථභාවය ඇතුළුව සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව කටයුතු කළ යුතුව ඇති බවය.
එසේ නොවුණුහොත් රටේ තැන තැන කොරෝනා පොකුරු මතුවිය හැකි බවත් ඔවුන් පවසයි.
එසේම සංචාරක ක්ෂේත්‍රය සක්‍රීය කර ඇති පසුබිමේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ PCR පරීක්ෂණ සිදුනොකිරීම අවධානමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
ලංකාව වැනි දූපත් රාජ්‍යක් විශේෂ අවධානයක් ගුවන් තොටුපළ වෙත යොමුකළ යුතු බවත් , ඒ අත්‍යාවශ්‍යම කාරණය කුමන හෝ අවාසනාවන්ත තත්ත්වයක් හේතුවෙන් නොසලකා ඇති බවත් සෞඛ්‍ය සේවය ආශ්‍රිත විශේෂඥ මතය වී ඇත.

සැබෑ වියතුන්ට ආණ්ඩුව තිත්ත වෙයි !
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (19 දා) සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.
දැනගන්නට ඇති ආකාරයට මෙම ඉල්ලා අස්වීමට හේතුව ඖෂධ ආනයනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දේශපාලන බලපෑම් එල්ලවීමය.
එසේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් ජයකොඩි ද ඉල්ලා අස් වී ඇත.
ඉල්ලා අස්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යනු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජයග්‍රහණය කරවීමට ප්‍රසිද්ධියේ පෙනීසිටි අයෙකි.
එසේම ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පත්කිරීම සිදුකරනු ලැබුවේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බවත් දැනගන්නට ඇත.
දේශපාලන විචාරකයන් පවසන්නේ දූෂිත දේශපාලනයෙන් සිස්ටම් වෙනස් කිරීමට කියා පැමිණි විද්වතුන් අවසානයේ අපේක්ෂා භංගවී ගෙදර යමින් සිටින බවයි. ඔවුන් මෙහිදී පාරිභෝගික අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක ඉල්ලා අස්වූ කිහිපදෙනෙකු ම සිහිපත් කරයි.

21 ,22 ගුරුවරුන් නාවත් පාසල් පවත්වනවා : අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් !
ඇතැම් ගුරුවරුන් හෙට (21) සහ අනිද්දා (22) පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
කෙසේ වෙතත් ගුරුවරුන් ලබන 25 වෙනිදා පාසල්වලට අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඔහු සඳහන් කරයි.
තවද යල්වෙල හිමියන්, ජෝශප් ස්ටාලින්,මහින්ද ජයසිංහ යන වෘත්තීය සමිති නායකයන් ගැන තමාට විශ්වාසයක් ඇති බවද ප්‍රකාශ කර සිටි අතර ගුරුවරුන් සමග ආදරණීයව සහ සුහදශීලීව ගනුදෙනු කිරීමට සූදානම් බවද මහාචාර්යවරයා කීවේය.

පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කෙරේ
දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.
මීට පෙර තීරණය කරගත් පරිදි පළාත් අතර සංචාරණ සීමා අවසන්වීමට නියමිතව තිබුණේ හෙට (21) දිනයේය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කාබනික වැඩේ ටික ටික හැකිළේ : වල්නාශක ගෙන්වීමටත් අවසර !
කාබනික කෘෂිකර්මය කියමින් වත්මන් ආණ්ඩුව දියත්කළ ව්‍යාපෘතිය මේ වන විට මුළුමනින්ම අසාර්ථක වෙමින් ඇත.
ඒ අනුව මේ වන විට තහනම් බව කියූ වල් නාශක මෙරටට ආනයනය කිරීමට ඉඩදී ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ පවසන්නේ අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දෙන බවය.
එසේම ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් මගින් රැගෙන ආ බවත් එය විශේෂිත පොහොරක් බවත් ඔහු පැවසුවේය.
කෙනෙකුට එය කාබනික පොහොරත් යැයි පැවසිය හැකි බවත් තවත් අයෙකුට එය රසායනික පොහොරක් යැයි හැඳින්විය හැකි බවත් මහාචාර්යවරයා කීවේය.
යූරියා කිලෝ 50 ක කොට්ටයක් වෙනුවට මෙම නෑනෝ නයිට්‍රජන් මිලි ලීටර් 500 ක බෝතලයක් ප්‍රමාණවත් බව පැවසූ ජයසිංහ හෙක්ටෙයාරයකට අවශ්‍ය වන්නේ ලීටර් 2.5 ක් පමණක් බවද ප්‍රකාශ කළේය.

කාබනික අවුල මහින්දානන්දට භාරගන්න නියෝගයක් !
රට පුරා ගොවි උද්ඝෝෂණ විරෝධතා තීරණාත්මක ලෙස වර්ධනය වෙමින් ඇති පසුබිමක කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ථකවීමේ වගකීම ගන්නා ලෙස ජනාධිපති විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට දන්වා ඇති බව වාර්තා කර ඇත.
ඒ දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පතේය.
දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඒමේ ප්‍රමුඛ කාර්‍යයක් සිදුකළ සහ ළඟම හිතවතෙකු ලෙසත් සැලකේ.
පහත දැක්වෙන්නේ ඒ අරුණ පුවත්පත සිදුකළ අනාවරණයකි.
ඇල්ලේ හිමියන් බැහැදැක පැමිණි විගස ජනාධිපති ගෝඨාභය කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දුරකථනයෙන් අමතා ඇත. ආරංචි මාර්ග පවසන පරිදි කාබනික පොහොර පිළිබඳ මේ වන විට සමාජයේ ඇති වී ඇති අප්‍රසාදය පිළිබඳ වගකීම භාරගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම ඇමැතිවරයාට දොස් පවරා තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ජෙනරාල් සුමේධ පෙරේරා එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැතිවරයාට තිබුණු තදියම පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී දැඩි සේ විවේචනය කර ඇත.
ජෙනරාල් සුමේධ පෙරේරා යනු යාපනේ කොටුව කොටි ග්‍රහණයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම හා සරසාලේ යුද මෙහෙයුම දියත් කළ රණ විරුවා වේ. ඒ හැමටම වඩා සුමේද පෙරේරා කෘෂිකර්මාන්ත පිළිබඳ හසල දැනුමක් ඇති මහා ගොවියකු ලෙසද ප්‍රචලිතය. දුම්බර මිටියාවතේ ඔහු විසින් වගා කර ඇති මහා කෙත් යාය ඊට කදිම උදාහරණ සපයයි. නමුත් මහින්දානන්ද දිගින් දිගටම පසු ගිය කාලේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ සුමේධ එක්ක මේ කාබනික පොහොර ව්‍යා පෟතිය කරන්න බෑ. එයට තමන්ගේ මිනිහෙක් දාගන්න ඕන කියාය.
අවසානයෙදී ජනාධිපතිවරයා මහින්දානන්දගේ වදෙන් ගැලවෙන්න බැරි තැන සුමේධ ඉවත් කර මහින්දානන්දට අවශ්‍ය කෙනා දා ගැනීමට ඉඩ සැලසීය. පත් වූ වහාම මහින්දානන්දගේ ලේකම් කාබනික පොහොර ගැන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ‘‘It’s a simple thing, sir’’ කියායි. රටට අවශ්‍ය කාබනික පොහොර සියයට සීයම රට තුළ නිෂ්පාදනය කළ හැකි බවට ඔවුහු පම්පෝරි ගැසීය. නමුත් දිගින් දිගටම දිග්ගැස්සෙන පෝර අර්බුදය හමුවේ ගොවි උද්ඝෝෂණ දිනෙන් දින වැඩි වන විට මහින්දානන්ද හා ඔහුගේ ලේකම් කියා සිටියේ රටේ පෝර අවශ්‍යතාවෙන් සියයට 25ක ප්‍රමාණයක් පමණක් ඔවුනට නිපදවිය හැකි බවයි.
මේ සියලු දේ බලා සිටි ජනාධිපතිවරයා අවසානයේ මහින්දානන්දව ඇමතීය.
‘‘මහින්දානන්ද, ඔයා මට කිව්වනේ සුමේධ එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. එතුමා අයින් කරලා දෙන්න කියලා. කෝ දැන් එතුමා නැති වුණාම ඔයා වැඩේ හරියට කළාද? මම ඔයාට කිව්වනේ මේ වැඩේ ගැන දැනුම් තේරුම් තියෙන මිනිස්සු ටිකක් දාගෙන මේ වැඩේ පටන් ගන්න කියලා. නමුත් ඔයාට තාමත් මේ වැඩේ කරන්න බැරි වුණා. මේ වැඩේ කරන්න පුළුවන් මිනිහාවත් ඔයා අයින් කර ගත්තා. මේ ගැන මට ආයිත් වතාවක් කතා කරන්න තියන්න එපා. කරුණා කරලා මේ වැඩේ හරියට කරන්න. නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා’’ යැයි කියමින් ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කර ඇත.
– උපුටා ගැනීම දිනපතා අරුණ (පොලිටික්ස්)

වයඹ ආණ්ඩුකාර සහ ගුරු සංගම් ගැටෙයි !
ඔක්තෝබර් 21 වනදා නොපැමිණ 25 වැනි දි පාසල්වලට එන කිසිදු ගුරුවරයකු පාසලට ඇතුල්වීමට ඉඩ නොදෙන බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර විනය විරෝධී කටයුතුවල නිරත වන ගුරුවරුන්ගේ ලයිස්තුවක් කැදවන බවත්, ඔවුන්ගේ වැටුප පවා අත්හිටුවීමට කටයුතු කරන බවත් පැවසීය .
පළාත් ආණ්ඩුකාර ගේ මේ ප්‍රකාශය අද (20) පැවති මාධ්‍ය හමුවකදී ගුරු විදුහල්පති වැටුප් අරගලයේ වෘත්තීය සමිති නායකයන් වෙතින් බරපතළ ලෙස විවේචනයට ලක්විය.
එහිදී ගුරු වෘත්තීය සමිති නායක ජෝෂප් ස්ටාලින් පවසා සිටියේ රාජා කොල්ලුරේ ගැලපෙන්නේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති සඳහා නොව නොමිනිස් පක්ෂයේ සභාපති සඳහා බවයි.
තවද කොමියුනිස්ට් පක්ෂය තම වෘත්තිය සමිති සන්ධානය හමු වී වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ අරගලය සාධාරණ බව පවසා හිටියත් එහි සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගේ මේ ප්‍රකාශය හෙළා දකින බවත්. එසේම කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධව කරුණු දැක්විය යුතු බවත් ඔහු පැවසීය.
කුමන ප්‍රකාශ සිදුකළත් එක ගුරුවරයෙකුට හෝ අකටයුත්තක් සිදු වූවොත් ඒ සම්බන්ධ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසී ය.
එහි දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දුන්නේ, ජනතා අප්‍රසාදය නිසා ගමට යන්න නොහැකිව සිටි ආණ්ඩුවේ දේශපාලනඥයින් , ගුරු අරගලයට මුවා වී ගමට එන්නට අවස්ථාවක් හොයමින් සිටින බවයි.
Page 423 of 473