V2025

පුවත්

ඉක්මනින් පළාත් සභා මැතිවරණය තබනු : ශ්‍රීලනිපය ආණ්ඩුවට දන්වයි !

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ප්‍රසිද්ධ දැනුම්දීමක් සිදුකර ඇත.

ඊයේ (15) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වී ඇති අතර හැකි ඉක්මණින් පළාත් සභා මැතීවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට දැනුම්දීමේ තීන්දුව ගෙන ඇත්තේ එහිදිය.

එසේම එදින මාධ්‍ය විසින් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මේ බව පැවසීය.

එසේම ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමටත් පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කොට ඇත.

ඒ අනුව වහාම හිස්ව පවතින ආසන සංවිධායක ධූර පිරවීමටද පක්ෂය තීරණය කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

රේගුවට බදු නොගෙවා නඩුත් දාලා : යුනිලීවර් වැඩක් !

මෙරට ප්‍රකට සමාගමක් විසින් රේගු බදු වංචා කර, පසුව එකී බදු මුදල් සහ දඩ ගෙවීමට නියම කෙරුණු විට ශ්‍රී ලංකා රේගුවට එරෙහිව නඩු පැවරීමේ සිදුවීමක් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් LNW ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක්ම අනාවරණය කර ඇත.

ඒ අනුව මෙකී සමාගම වන්නේ මෙරට සුප්‍රකට සමාගමක් වන යුනිලීවර් සමාගමයි.

මේ වන විට ලංකා රජය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර ඊට අදාළව රාජ්‍ය ආදායම අඩුවීම ප්‍රධානය. ඊට මූලික හේතුවක් ලෙස , ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ , රාජ්‍ය බදු ආදායම් අහිමිකර ගැනීමයි. එහිදී බදු වංචා විශේෂ බව තේරුම් ගන්නට අලුතින් ආර්ථික විද්‍යාව උගතයුතු නැත.

වාර්තා වන ආකාරයට 2018 ඔක්තෝබර් 09 සිට 2019 අප්‍රේල් 04 දක්වා කාලය තුළ යුනිලීවර් හී මෙකී ප්‍රශ්නගත සිදුවීම සිදුව ඇත. ඒ සබන් නිෂ්පාදනය කිරීමට යොදන සංඝටකයක් වන palm oil fatty acid ආනයනය කිරීමේදීය.

එකී සංඝටකයට අදාළ HS අංකය වන්නේ 3823.19.20 යි. ඒ ආනයනයේදී 25% ක රේගු බද්දක් ගෙවිය යුතුය. නමුත් අදාළ සංඝටකය, එහි HS අංක 3823.19.90 යටතේ ආනයනය කිරීමට යුනිලීවර් සමාගම කටයුතු කර ඇති අතර ඒ හරහා බදු මුදල් ගෙවීම මඟහැර ඇත.

කෙසේ වුවත් ශ්‍රී ලංකා රේගුව මේ බව අනාවරණය කරගෙන රුපියල් මිලියන 570ක බදු මුදල සහ අදාළ දඩය ගෙවීමට දැනුම්දි ඇත. ඒ අනුව රුපියල් බිලියනයක පමණ මුදලක් ගෙවීමට එකී සමාගමට සිදුව තිබේ.

නමුත් මෙහිදී යුනිලීවර් සමාගම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රේගුවට එරෙහිව අභියාචනාධිකරණයට නඩුවක් යොමුකිරීම ය. අදාළ නඩුව අංක 19/2021 ලෙස පවරා ඇති අතර ඒ 2021.01.11 වනදා ය.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව යි. නමුත් මේ වන විට නඩුව ගොඩින් සමතයට පත්කර ගැනීමට විවිධ බලපෑම් එල්ලවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ පිටුපස සිටින්නේ පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද ප්‍රබල සම්බන්ධතා ඇති බලවතුන් පිරිසකි. ඥාතීන් ආණ්ඩුව, විපක්ෂය යන දෙපාර්ෂවයම බවට පත්වීම මේ සමයේ විලාසිතාවක් වී ඇති අතර ඒ හරහා කොයි ආණ්ඩුව බලයට ආවත් තමන්ට අවශ්‍ය ලෙස වැඩකර ගැනීමේ හපනුන් බවට පත්ව ඇත.

මේවා මාරවැඩ ලෙස පෙනීගියත් මේ මාරවැඩ නිසා අමාරුවේ වැටෙන්නේ රටේ ආර්ථිකය ය. එනිසා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න යන ජනාධිපති , පසුගිය අඩුපාඩු හඳුනාගෙන ඉදිරිය නිවැරදි කරගන්නට සූදානම් වෙන ජනාධිපති මේවත් සොයා බැලුවොත් හොඳය.

විමල්ලා යුගදනවිය ගැන ජනාධිපති සමග ඉල්ලූ සාකච්ඡාව ප්‍රතික්ෂේප වෙලා !

යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමක් වෙත ලබාදීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ එළඹී ඇති ගිවිසුම් පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපති වෙතින් ඉල්ලා තිබූ සාකච්ඡාව ලැබී නැත.

මේ බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා හරහා ප්‍රසිද්ධ කෙරෙමින් තිබේ.

ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් අදාළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ලිඛිතව සිදුකර තිබුණු අතර ඊට ලිඛිතව ප්‍රතිචාර දක්වමින් ජනාධිපති පාර්ශ්වය දන්වා ඇත්තේ අදාළ කාරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසය.

මේ හේතුවෙන් අදාළ ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයින් අද දිනයේ දී හමුවීමට නියමිතය.

ඇමති වාසුදේව නානායක්කාර පවසා ඇත්තේ පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා තම ප්‍රතිචාරය ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.

කෙසේ වුවත් යුගදනවිය සම්බන්ධයෙන් අගමැති සහ මුදල් ඇමති සමග ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායම් නායකයන් මීට පෙර සාකච්ඡා කරනු ලැබිණ. මෙම පක්ෂ 11 කණ්ඩායම ජනාධිපති සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියේ ද එකී සාකච්ඡාව අසාර්ථක වූ නිසා ය.

දැන් සිදුව ඇත්තේ 20 සංශෝධනය අවස්ථාවේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ කරුණේදී වුවාටත් වඩා අසීරු දෙයකි. එහිදී ජනාධිපති සමග සාකච්ඡා කිරීමේදී ඔහු සංවේදී වූ නිසා කියා, 20 ට අත ඉස්සීම සාධාරණීකරණය කරගන්නට හැකි වුවත් මෙවර ඒ අවස්ථාවත් නැත. ඒ ජනාධිපති සාකච්ඡාවක් හෝ ලබාදී නැති නිසාය.

ලිතුවේනියාවෙන් ගෙනාවේ රසායනික පොහොර : ශ්‍රීලනිප මහ ලේකම් !

ලිතුවේනියාවේ සිට ආනයනය කර ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් නම් පොහොර බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

එම පොහොර වර්ගය ගොයම් ගස් වර්ධනය වැඩි කිරීම සඳහා යොදන බන්ඩි පොහොර වර්ගයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලොව කිසිම රටක කාබනික ගොවිතැන සියට සීයක් කරන රටක් සොයාගැනීමට නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළ අතර වර්තමාන ක්‍රමය යටතේ ඉදිරියේදී සහල් හිඟයක් ද ඇතිවනු ඇති බවත් අප්‍රේල් අලුත් අවුරුද්ද විශාල අමාරු තත්ත්වයකට පත්වනු ඇති බවත් පැවසීය.

’සරත් වීරසේකරට අපි බය නැහැ’ - ජෝශප් ස්ටාලින්

ගුරු විදුහල්පති අරගලය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමකරමින් සරත් වීරසේකර අමාත්‍යවරයා කතා කළද ඔහුගේ කතාවලට බිය නොවන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය වෙනුවෙන් ජෝශප් ස්ටාලින් අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

තර්ජනය කරන බව පවසමින් මීට ඉහතදීද ගුරුවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ නමුත් සිදු වූ දෙයක් නොමැති අතර රථ පෙළපාලියට පැමිණි ගුරුවරු කණ්ඩායමක්ද අත්අඩංගුවට ගෙන මර්දනය කිරීමට සැරසුණු බවද ස්ටාලින් සඳහන් කළේය.

සරත් වීරසේකර ඇමතිවරයාගේ මෙම මර්දනයට යටත් නොවන බවයි ඔහු පැවසුවේ.

''දෙමව්පියන්ට අපි කියන්නේ මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් වුණේ ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලය නිසා නොවෙයි. ආණ්ඩුව දැන් කොරෝනාවලින් තමන්ගේ නොහැකියාව වහගන්න ගුරුවරු පිට පටවනවා අධ්‍යාපන අර්බුදයක් ඇති වුණේ ගුරුවරුන්ගේ වර්ජනය නිසා කියල. විභාග ප්‍රතිඵල පරක්කු වුණේ ගුරු වර්ජනය නිසාද? විභාග තියන්න බැරි ගුරු අරගලය නිසාද? ඒවා ඔක්කොම කල් යන්නේ කොරෝනා වසංගත තත්ත්වය තුළ. අපේ ක්‍රියාවෙන් බාධාවක් වුණා නම් වුණේ ඔන්ලයින් ඉගැන්වීම්වලට. එයටත් හේතුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය ලෙස ප්‍රශ්නයට උත්තරයක් ලබා නොදීම.'' යනුවෙන් ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවත් කොවිඩ් මරණ 20ක් : සමස්ත කොරෝණා මරණ 13,499 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,449 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 14 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර පස්දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් නව දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

covid deth repot 890x1024

පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනිකයි කියලා පච කියන්න එපා !

රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ පවසන්නීය.

පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක යැයි ද සඳහන් කළාය.

රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ මෙම කරුණු ද්විත්වයම සපුරාලීමට අපොහොසත් නිසා ඒවා කාබනික පොහොර නොව රසායනික පොහොර බවත් රසායන විද්‍යාවට අනුකූලව යූරියා ද කාබනික සංයෝගයකක් වුවද රසායනිකව නිශ්පාදනය කරන බව ද පැවසුවාය.

එදිනෙදා ව්‍යවහාරයට අනුව කාබනික පොහොර යනු ශාඛ කොටස් වැනි කිසියම් හෝ ජීවි ද්‍රව්‍යක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර බවත් ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කිසියම් ඛනිජ නිධියකින් ලබාගත් අකාබනික ලවණයක් බවත් මහාචාර්යවරිය පවසන්නීය.

මෙලෙස ගෙන ආ පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිත කරන රසායනික පොහොරක් වන බවද ඇය වැඩිදුර පැහැදිලි කරමින් කියා සිටියාය.

කෘෂිකර්ම අමාත්‍යවරයාට පොහොර ගැන දැනුමක් නොමැති බැව් අනුමාන කළ හැකි වුවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව මහාචාර්යවරයෙකු බව කී මාහාචාර්ය මෙත්තිකා මහත්මිය පැවසුවේ වරායට ළගා වී ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර කාබනික පොහොර යැයි පැවසීම මුසාවක් බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

121077543 p 02 1 768x917

(Lanka lead )

යුගදනවි ගිවිසුම ආණ්ඩුවේ ප්‍රධානීන් දැකලත් නෑ !

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම ඇතුළුව අත්සන් කරණු ලැබූ ගිවිසුම පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සන්ධාන පක්ෂ පවා දැක නොමැති බව අනාවරණය වෙයි.

ඒ බව තහවුරු වන්නේ අදාළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඊයේ (14) ලිඛිත ඉල්ලීමක් සිදුකිරීම හමුවේ ය.

කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඉල්ලා ඇත්තේ , යුුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව්ෆොට්‍රස් සමාගමට පැවරීම සම්බන්දයෙන් වන සියළු තොරතුරු ඇතුලත් ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසයි.

අදාල ගිවිසුමේ තොරතුරු සහ එයට අදාල ලේඛන දින 14 ක් තුළ තමන් වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ නිලධාරියෙකු තමන් වෙත දැන්වූ බවත් ඔහු පැවසීය.

කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් මිස පසුගිය සමයේ දේශප්‍රේමී ලේබලය අලවාගත් බහුතරයක් මේ ආණ්ඩුවේ සිටියත් ඒ කිසිවෙක් මෙකි ගිවිසුමේ පිටපතක් ගැනීමට හෝ ඉදිරිපත් වීමට ධෛර්යයක් තිබුණේ නැත.

ඔවුන්ගේ දේශප්‍රේමීත්වයේ සීමාව මෙතනදී පැහැදිලිය.

විශ්මිත කෘෂි ඇමති මහින්දානන්ද: අගමැති කරමු ! 

පොටෑසියම් ක්ලෝරයිඩ් සඳහා කාබනික යනුවෙන් විශේෂණයක් යෙදීම හේතුවෙන් මේ වන විට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමාජ මාධ්‍ය තුළ හාස්‍යට ලක්වෙමින් සිටියි.

මේ ඒ සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් තැබූ සටහනකි.

විශ්මිත කෘෂි ඇමති මහින්දානන්ද: අගමැති කරමු !

එදා මෙදා තුර කෘෂිකර්ම ඇමතිවරු අතර විශිෂ්ඨතමයා මහින්දානන්ද අලුත්ගමගේ ම ය. එවැන්නෙකු අගමැති, ජනපති ධූරයන්ට පත් නොකර කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ තවදුරටත් තබා ගැනීම අපරාධයකි. අගතියකි. අකටයුත්තකි.

නිදහස් ලංකාවේ කෘෂිකර්මයට වැඩිම අවධානය දුන්නා යැයි කියන ඩී.එස්.සේනානායක අගමැතිතුමා, කාකි සූට් එක දාගෙන අම්පාරේ, පොළොන්නරුවේ ජනපද, වගා බිම් හදපු ජාතියේ පියා ය.

ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම උපාධිධාරියෙක් විතරක් නෙවෙයි, අසීමිතව ගොවිතැනට ආදරය කළ කාර්යාලයට වඩා ගොවි බිමේ හිටපු වැඩකාරයෙක්. ඩඩ්ලි නැත්තම් ලංකාවේ අල වගාවක් නෑ. ඩඩ්ලි හදපු වාරිමාර්ග ලැයිස්තුව එතුමාගේ මහත්මා ගුණයට වැඩිය දිගයි.

සර් ජෝන් කොතලාවල ගොවියෙක් නෙවෙයි, දොඩම්ගස්ලන්දේ කාඹුල්වානාඔය ජලාශය හදපු මිනිහා. වාරිමාර්ග නිලධාරීන් ඒකට ‘සර් ජෝන් කොතලාවල ජලාශය‘ නම දාලා බෝඩ් එකක් ගැහුවා. සර් ජෝන් ඒක දැක්කේ විවෘත කරන්න යන කොට. මහජන මුදල්වලින් හදපු ජලාශයට මගේ නම දාන්න පිස්සුද? මම යන්න ඉස්සර වෙලා, ඔය බෝඩ් එක ගලවනවා යැයි කියලා කෑගහපු අගමැතිවරයා. කෘෂිකර්මයේ දියුණුවට අවශ්‍ය පහසුකම්වලට ප්‍රමුඛත්වය දුන්න, තමන්ගේ නිවස ආණ්ඩුවට දුන්න අගමැති.

1956 කෘෂිකර්ම ඇමති පිලිප් ගුණවර්ධන - රහංගල කාෂිකර්ම පර්යේෂණායතනය පවරගත්ත එකම ඇති. අද පැෂන්ෆෘට්, නාරං ඇතුළු පළතුරු, එළවළු දුසිමක් විතර රහංගල නිෂ්පාදන.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්ථර හය හැදුවේ පිලිප් ගේ දැනුමෙන්. දැක්මෙන්.

ඊලඟ කෘෂිකර්ම ඇමති සී.පී. ද සිල්වා ට අදත් කියන්නේ මින්නේරිය දෙයියෝ කියලා. ඩී.එස්. සේනානායක පරාක්‍රම සමුද්‍රය හදනකොට පොළොන්නරුවේ දිසාපති.

1965 කෘෂි ඇමති එම්.ඩී.බණ්ඩා දක්ෂයෙක් විතරක් නෙවෙයි කුඹුරට බැහැලා වැඩ කරපු ගොවියෙක්. උතුරට දකුණට එක සමානව කෘෂි සම්පත් බෙදුවේ ඇමති බණ්ඩා.

1965 කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කැප්ටන් සී.පී.ජේ.සෙනවිරත්න - ගොවි හමුදාව හැදුවා. බදුල්ල කචේචේරියේ හිටපු දිස්ත්‍රික් ඉඩම් නිලධාරි (DLO) සුසිල් සිරිවර්ධන එතැනින් නිදහස් කරගෙන මහියංගනයට අරගෙන ගිහින් අද වගේ යන්ත්‍ර සුත්‍ර නැති කාලයේ වාරි ඇළවල් කැපුව. රටටම ඒක පුළුල් කරපු නියෝජ්‍ය ඇමති. (1970 ආණ්ඩුව ගොවි හමුදාව විසිරුවා හැරියාම ඒ අය 71 කැරැල්ලට ගියා)

හෙක්ටර් කොබ්බෑකඩුව - කාෂිකර්ම හා ඉඩම් ඇමති තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හැදුවේ. ලංකාවේ ඉඩම් නැති ගොවියන්ට ඉඩම් ලැබුණේ හෙක්ටර් කොබ්බෑකඩුවට පිංසිදුවන්නටයි. ඒ කෘෂිකර්ම ඇමති කොබ්බෑකඩුව ගැන නිබන්ධනයක් ලියන්න පුළුවන්.

මෛත්‍රීපාල සේනානායක වාරිමාර්ග ඇමති - මහවැලිය පොල්ගොල්ලෙන් උතුරට හරවන්න පටන්ගත්ත ඇමති. 1977 දී ගාමිණී දිසානායක වාරි ඇමති වෙන කොට අලුත් තරුණ ඇමතිවරයා එක්ක අමාත්‍යාංශයට ගිහින් මට දුන්න සහාය මේ තරුණයාට දෙන්න කිව්ව නිහතමානී අති විශිෂ්ඨයා. රටේ ඊලඟ අගමැති කියලා තමයි හැමෝම කිව්වේ.

ඊ.එල්. සේනානායක කෘෂිකර්ම ඇමති ගැන කියනකොට මතක්වෙන්නේ අර ඓතිහාසික වප් මඟුල.

ගාමිණී ජයසූරිය ගැන කියනකොට ඇමතිකමට වැඩිය හෘර්ද සාක්ෂිය වැදගත් කියලා පෙන්නපු ඊලඟ අගමැති වෙන්න තරම් සුදුසුකම් තිබ්බ දේශපාලනඥයා.

කෘෂිකර්ම රාජ්‍ය ඇමති විජේරත්න බණ්ඩා - කෘෂි රක්ෂණ හා ගොවි විශ්‍රාම වැටුප හැදුවා විතරක් නෙවෙයි ලංකාවට එළවළු - පළතුරු බෙදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සැලසුම්කරු.

ගාමිණී දිසානායක මහවැලිය හදලා රට අස්වද්දලා, මහවැලි සංස්කෘතියක් හදලා, ක්‍රීඩා පිට්ටනි, සමාගම් හදලා අවසානයේ වැවිලි කර්මාන්තයෙන් ලංකාවට ලෝකය දිනන්න පාර කපපු ඇමති.

ඇමති ලලිත් ඇතුලත්මුදලි - එදා තිබුණු සුළු අපනයන දෙපාර්තමේන්තුව වෙනුවට නවීන වෙළඳ යුගයට ගැලපෙන විදිහට ‘අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව‘ හදලා අමුද්‍රව්‍ය පිටරට යැවීම වෙනුවට නිමි භාණ්ඩ නිෂ්පාදනයට (Value Addition) ලංකාවේ කෘෂි ව්‍යාපාරය ගොඩ නගන්න පියවර තැබූ බිය නැති ප්‍රාඥයා.

මේ සියල්ලටම එක පොදු සාධකයක් තියෙනවා. ඒ හැමෝම හිටියේ ඊලඟ අගමැති ධූරය, ජනාධිපති ධූරය පාමුල. අගමැති - ජනපති පුටුවට පහල පඩියේ හිටපු අය.

ඩී.එස්. ගෙන් පස්සේ ඩඩ්ලි. ඩඩ්ලි ගෙන් පස්සේ සර් ජෝන්. සී.පී. ද සිල්වා ගේ අගමැති කතාව එජපයෙන් නැවතුණු හැටි ප්‍රකටයි. ෆීලික්ස් ඩයස් බලය ඇල්ලුවේ නැතිනම් මෛත්‍රීපාල සේනානායක තමයි ඒ ආණ්ඩුවේ දෙවැනියා. (අනුර - මෛත්‍රී කැරැල්ල මතයනේද?) කොබ්බෑකඩුව 1982 ජනාධිපති අපේක්ෂක වුණා. ගාමිණී ජයසූරිය, ඊ.එල්., ප්‍රේමදාස එක්ක අගමැතිකමට සටන් කරපු අය. ලලිත් - ගාමිණී ලංකාවේ ඔටුණු පළදින්න බැරි වුණු රාජ්‍ය නායකයෝ.

වත්මන් කෘෂිිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මේ හැමදෙනා වගේම අගමැති ධූරයට සුදානම්. ආසන්නයි.

හැබැයි ඒ සියල්ලටම වඩා විශිෂ්ඨයි.

කලින් හිටපු හැම කෘෂිකර්ම-වාරි-වැවිලි ඇමතිවරු, වැඩ කළේ ලංකාවට විතරයි. මහින්දානන්ද ලෝක කෘෂිකර්මයේ දැවැන්තම පිම්ම තබා තියෙනවා.

මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිතුමා ‘කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ්‘ සොයාගෙන තියෙනවා. ලංකාවට ගෙනල්ලා ලෝකයට හදුන්වාදීලා තියෙනවා. ලංකා කෘෂිකර්මයේ විතරක් නෙවෙයි ලෝක කෘෂිකර්මයේ නව පිටුවක් පෙරළලා තියෙනවා.

ලෝකයම බෑ කියද්දී, ලංකාව කාබනික කරලා, ලෝකයම කාබනික කෘෂිකර්මාන්තයේ දොරටුවට ගෙනල්ලා තියෙනවා. (රසායන විද්‍යාවට අනුව බෑ කියන අය අද සිංහල, English, Tamil පත්තර බලන්න. විද්‍යුත් මාධ්‍ය අහන්න. ඒ හැම එකකම ‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර‘ තියෙනවා.

ලංකාවට ශාක හා සත්ව නිරෝධායන පනතින් ගැලවිලා ඇපල්-මිදි ගෙඩියක් ගේන්න බෑ. හැබැයි, මහාචාර්ය කෘෂිකර්ම ලේකම් උදිත් ජයසිංහ එක්ක එකතුවෙලා කිසිම රසායනාගාර පරීක්ෂාවක් නැතිව ‘කාබනික‘ ගෙනල්ලා බෙදලත් ඉවරයි. රටේ ඩොලර් ආර්ථිකයට බරක් නැතිව, ‘බෝට්ටුවෙන් බඩු වලින්‘ ලංකාවේ මහ කන්නය ගොඩ දාලා ඉවරයි.

වසංගතයට පස්සේ සාගතය එනවා වගේ කථා කිය කිය ඉන්න ඇමතිවරු අතර කෘෂිකර්ම ඇමති විශ්වකර්මයෙක්. ප්‍රායෝගික මනුස්සයෙක්. ලංකාවටම හරියන ටිප් - ටොප් දේශපාලනඥයෙක්.

හෙට නෙවෙයි, අදම අගමැති කරන්න වටිනවා. නොබෙල් තෑග්ග දෙන්න වටිනවා.

මහින්දානන්ද අගමැති කරනු! රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබා දෙනු!!!

බොල් පිළිම කුඩු කරමු!!!! මහින්දානන්ද නමින් ගල් පිළිම නෙළමු!!!

රජිත් කීර්ති තෙන්නකෝන්

(ෆේස්බුක් ගිණුමෙනි )

නීතිපති චෝදනා ඉවත් කරගෙන : නඩුවෙන් බැසිල් නිදහස් !

ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදු කළ GI බට සම්බන්ධ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නඩු පවරා සිටි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිංස්ලි රණවක එම චෝදනාවලින් නිදහස් වී ඇත.

ඒ නීතිපතිවරයා විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිංස්ලි රණවක යන අයට එරෙහිව වූ අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ අරමුණින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 කට අධික මුදලක් වැය කොට ජී. අයි. බට මිලිදී ගෙන පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොතිබියදීත්, ඒවා එම ආයතන වෙත බෙදා හැරීමෙන් සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණ.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි කරුණු දක්වීය.

එම චෝදනාවලට හා සමගාමී චෝදනා යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබු නඩුවකින් කොළඹ වෙනත් මහාධිකරණයක් විසින් ඔවුන් නිදොස් කර නිදහස් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් 2020 නොවැම්බර් 30 වැනිදා අංක 8222-2016 යටතේ නිකුත් කර ඇති එම නියෝගය අනුව මෙම නඩුවේ අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නීතිපතිවරයා අදහස් නොකරන බැවින් අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි  අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ  විත්තිකරුවන් එම අධිචෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළේ ය.

ගුරු විදුහල්පති වෘත්තීය අරගලයට මුරුත්තෙට්ටුවේ හිමි වැඩ්ඩේ ඇයි ?

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ ගුරු විදුහල්පති වෘත්තීය අරගලයට විසදීම සදහා කියමින් මුරුත්තෙට්ටුවේ හිමියන් ‌සම්බන්ධ වීම ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් බවත්, ඊට හසු නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අවධාරණය කරයි.

මුරුත්තෙට්ටුවේ හිමියන් ‌අතගහද්දීම මෙය ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් බවත්, අගමැතිවරයාගේ කීම පිට මෙය සිදුවන බව තම පාර්ශ්වය දැනගෙන සිටි බවත් මන්ත්‍රීවරයා පවසයි.

ගුරුවරුන් වෙනුවෙන් ගුරුවරුන් කතා නොකොට ස්වාමීන් වහන්සේලා කතා කරන්නදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි අතර හෙද සේවය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා මැදිහත්වීමත් ඔහු සිහිපත් කර සිටියේය.

රතන හිමිගේ මන්ත්‍රී ධූරයට තට්ටු වෙයි !

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස පත්වූ අතුරලියේ රතන හිමියන් එකි පක්‍ෂයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි සඳහන් කරන ආකාරයට අපේ ජනබල පක්ෂයේ දෙශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.

රතන හිමියන් වෙත එල්ල වූ චෝදනා හතරකට උන්වහන්සේ වැරදිකරු බවට තීරණය කිරීමත් සමග පක්ෂයෙන් නෙරපීමේ තීරණය ගෙන ඇත.

ඒ බව මැතිවරණ කොමිසමට අද (14) දැන්වූ බවත් ඒ අනුව රතන හිමිගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙසත් දන්වා ඇතැයිද වාර්තා වෙයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ලබන 21 තෙක් රජයට කල් දෙනවා - ගුරු සංගම්

වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගුරුවරුන් ලබන 21 වැනිදා තෙක් රජයට කල් ලබා දෙන බව අද (14) ප්‍රකාශ කළේ ය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්  පැවසුවේ, 21 වනදාට පෙර විසඳුමක් නොලැබුණ හොත් 21 වනදා පාසල් ආරම්භය පිළිබඳ වෙනත් විසඳුමක් ලබාදීමට සිදුවන බවයි.

තව ද ලේකම්වරයා අවධාරණය කර සිටින්නේ, දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා කැපවෙන ගුරුවරුන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම රජයට කළ හැකි දෙයක් බවයි.

තව ද ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳීමට මුදල් නොමැති බව පවසන ආණ්ඩුවට මැතිවරණ ඉලක්ක කර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට, උප සභාපතිවරුන්ට ලක්ෂ 1200 ක් හැකියාව ඇත්තේ් කෙසේ ද යන්න පිළිබඳව ද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා ප්‍රශ්න කර සිටී.

”අපි පැහැදිලිව දන්නවා මේ වනකොට තීණ්දුවක් අරන් තියෙනවා ලක්ෂ 1,200 ක් දිස්ත්‍රීක් සංවර්ධන කමිටු සභාපතිවරුන්ටයි උප සභාපතිවරුන්ටයි දෙන්න. මේවා දෙන්නේ ඇයි. අපිට නම් පේන්නේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරලා තමයි මේක දෙන්නේ කියන කාරනාව. එතකොට මේ වගේ දේවල් කරන්න ආන්ඩුවට සල්ලි දෙනවා. ආන්ඩුවට සල්ලි නැත්තේ ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳන්න”

තවත් කොවිඩ් මරණ 21ක් : සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,429ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (13) දින තහවුරු කර ඇති එම මරණ 21ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,429ක් දක්වා ඉහළගොස් ඇත.

මියගිය අයගෙන් 16 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර පස්දෙනෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 15 දෙනකු සහ කාන්තාවන් 6 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

ලිප්ගල් තුනට කාන්තාව කොටුකරන්න යන ආණ්ඩුවට එරෙහි වෙමු !

වර්තමාන ආණ්ඩුව යටතේ අනුගමණය කරමින් තිබෙන ක්‍රියාමාර්ග නිසා කාන්තාව යළිත් වරක් ලිප්ගල් තුනට කොටු කිරිමේ උත්සාහයක් තිබෙන බැවින් ඊට එරෙහිව නැගී සිටින ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.

එම සංවිධානය අද (14) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් දැක්වීම සිදුවිය.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ, සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සහ විධායක සභික ප්‍රභාශිනී වික්‍රමසිංහ යන අය මෙම මාධ්‍ය හමුවට සහභාගී වූවෝය.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ එහිදී මෙසේ පැවසීය.

ජනාධිපතිගේ නම දන්නේ නැහැ හාල් මුදලාලිගේ නම් දන්නවා…!

“මේ වනවිට බඩු මිල වැඩිවීමෙන් අපේ රටේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ රටේ පාලකයන්ට පෙන්වා දෙන්න සිදු වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක්වත් ගත වෙන්න පෙර මැතිවරණවලදී විශේෂයෙන්ම කාන්තාවන්ට දුන් පොරොන්දු සියල්ල කඩකර තිබෙනවා. නමුත් අගමැතිකම, ජනාධිපතිකම, 2/3 බලය සහ 20 වෙනි සංශෝධනය යටතේ ජනතාධිපතිතුමාට වැඩි බලතල ලබාදීම සහ හදිසි නීතිය යටතේ තවත් බලතල රාශියක් ලබා ගත්තා. කාන්තාවන් මුහුණ දෙන ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන්න ඔවුන් බලය ඉල්ලුවා. කාන්තාවන් ප්‍රමුඛව ජනතාව බලය දීලා කෙටි කාලයකදීම මේ කණ්ඩායමට රටක් හදනවා තියා ගමේ පුංචි ප්‍රශ්නයක්වත් විදන්න බැහැ කියලා දැන් පැහැදිලි වෙනවා. අපේ රටේ ජනාධිපති, අගමැතිට වඩා හාල් මුදලාලිලාගේ නම් දන්නවා. සීනි මුදලාලිලාගේ නම් දන්නවා. පීඩාවට පත්වී උහුලගන්න බැරිව ඉන්න ජනතාවට දැන් විඳවන්න සිදුවී තිබෙනවා.

පහුගිය කාලයේ එන්නත් පෝලිම් තිබුණා. ඒ වගේම සමෘද්ධිය වගේ සහනාධාර ගන්නත් පෝලිම්වල හිටියා. මේ පෝලිම් සියල්ලටම වැඩිය අලුත් පෝලිම් ගමක් ගානේ ඇති වුණා. රොකට් වේගයෙන් රට සංවර්ධනය කරන බව කීවාට නැවතත් පෝලිම් යුගයට ගෙන ගියා. සීනි කිලෝ දෙකක් ගන්න, කිරිපිටි පැකට් එකක් ගන්න, අඩු මිලට හාල් ගන්න, ගෑස් ගන්න, මහපාරේ පොලිම්වල ඉන්න කාන්තාවන්ට සිදුවුණා. නමුත් අපේ රටේ නායකයෝ ගුවන්ගත වුණා. බහුතර කාන්තාවෝ පෝලිම්ගත වුණා. මේක තමයි ඇති කළ ආර්ථික සෞභාග්‍යය. ආණ්ඩුව ගෑස්, හාල්, සීනි මුලලාලිලාට මුවාවුණා. මේ නිසා ලංකා ඉතිහාසයේ 84%කින් ගෑස් මිල වැඩි කිරීමට ඒ කොම්පැනිකාරයෝ ක්‍රියාකළා. ගෑස් මිල වැඩි කිරීමෙන් ප්ලේන්ටියේ ඉඳලා මිල වැඩි වෙනවා. ප්‍රවාහන ගාස්තු අමතර ගාස්තු යනාදී වශයෙන් කොපමණ ගාස්තු එකතු කරනවාද?

IMG 20211014 WA0025

කාබනික පොහොරට කසළ තේ කළවම් කරන්න ගිහින් !

පොහොර නිෂ්පාදනයේදී කලවම් කිරීමට ගෙන ආ බවට කියන කසල තේ තොගවල ඇසුරුම් එප්පාවල, ඇඳගල ප්‍රදේශයේදී ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් හා එම ස්ථානයට පැමිණ සිටි පිරිස අතර ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි. රේගු අත්අඩංගුවට පත්වීමෙන් පසු විනාශ කිරීමට නියමිතව තිබූ මෙම කසල තේ තොග එප්පාවල රජයේ වී ගබඩාව වෙත රැගෙන විත් තිබුණේ, කාබනික පොහොරවලට කලවම් කිරීම සඳහායි.

අදාළ කසල තේ තොගය කන්ටේනර් දෙකකින් එම ප්‍රදේශයට ගෙන ගෙනවිත් තිබූ අතර අදාළ නිලධාරීන් ඒවා අසුරා තිබූ කාඩ්බෝඩ් ඇසුරුම් හා පොලිතීන් කවර එම පරිශ්‍රයේ ම ස්ථාන දෙකකදී ගිනි තැබීමට පියවර ගෙන තිබිණ.

එම ගිනිතැබීම් සමග තම නිවෙස්වලට දුමාරය පැමිණෙන බව පවසමින් ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඊට විරෝධය දක්වා දක්වා ඇති අතර පසුව එප්පාවල පොලීසියේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ තිබුණේ, ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මතයි.

මෙම ස්ථානයේ කසල තේ ගබඩා කිරීමට අවසරයක් දී තිබේදැයි, මෙහිදී පොලිස් නිලධාරීන් එහි සිටි නිලධාරීන්ගෙන් විමසා ඇති අතර එවැනි අවසර පත්‍රයක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත්ව නොමැත.

කෙසේවෙතත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම කසල තේ තොගය රැගෙන ආ බවට අදාළ නිලධාරීන් පොලීසිය හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් ගිනි තැබීමට සිය විරෝධය පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් උද්ගත ව ඇති අතර එය සමථයකට පත් කර ඇත්තේ, පොලීසියේ මැදිහත්වීමෙනි.

මේ අවස්ථාවේ අදාළ ස්ථානයේ සිටි පිරිස වෙතින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ නම සඳහන් වෙනු මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවල දැක්වෙයි.

හඬ පට සමග රන්ජන් පැන්ඩෝරා වේදිකාවේ !

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අල්ලස් කොමිසමට ලබාදීමට හැකි යැයි රන්ජන් රාමනායක ගේ නීතිඥයා අල්ලස් කොමිසමේ සභාපතිනිය වන ඊවා වනසුන්දර වෙත ලිඛිතව දැනුම්දීමක් කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාලව රන්ජන් රාමනායක සාක්ෂි ලබාදීමට කැමැත්තෙන් පසුවන බව එහිදී සඳහන් කර ඇත.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

FB IMG 1634215192181

මින්නේරි ගොවීහු පොහොර නැතිව මහ පාරේ......

වී ඇතුළු තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව මේ වනවිට මින්නේරිය නගරයේ දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා ගොවීන් 2000කට අධික පිරිසක් සහභාගී වී සිටින අතර මින්නේරිය නගරයෙන් මඩකලපුව කොළඹ මාර්ගය අවහිර වී තිබේ. රථවාහන ගමනා ගමනයද නතර කර ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කවුඩුලුවැව ගොවි සංවිධානය සහ මින්නේරිය ඒකාබද්ධ රජයේ ගොවි සංවිධාන ඒකාබද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

minneri 800px

Page 425 of 473