පුවත්

අගමැති - විදෙස් ඇමතිගේ ඉතාලි සංචාරය : කාදිනල්ගෙන් චෝදනාවක් !
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලියේ සංචාරයක නිරත වෙමින් පාප්වහන්සේට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සූදානම් වීම පිළිබඳව අද (08) දින පැවති මාධ්‍ය හමුවේදී මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් විවේචනාත්මකව අදහස් දක්වනු ලැබිණ.
"අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒක අස්සේ හැංගෙන්න හදන එක ළඳ බොළඳ වැඩක්. ඒක නිසා කරුණාකරලා ඔය බාල්දු වන වැඩේ කරන්න යන්න එපා” යනුවෙන් කාදිනල් හිමි එහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල්තුමන් “ජනාධිපතිතුමා බලයට එන විට වේදිකාවල මොර දුන්නේ එක රටක් එක නීතියක් කියලා. දැන් අපිට පේනවා එක රටක්. හැබැයි ඕගොල්ලන්ට එක නීතියක්, අපිට එක නීතියක්. අපි නිතරම විරෝධතා පවත්වමින් ඉල්ලා සිටියේ අපිට සාධාරණය ඉටු කරන්න කියලා. ජාතිය හෝ ආගම හෝ භාෂාව පදනම් කරගෙනවත් ආණ්ඩුවේ කොටස්කාරයෙක් නිසාවත් මේකෙන් කට්ටිය බේරන්න බෑ. තමන්ව ආරක්ෂා කරගන්න ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරයේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න හදන එක පිටකොන්ද තියෙන මිනිස්සු කරන්නෑ, අවංක දේශපාලන නායකයන්ගෙන් මේක නෙවෙයි, බලාපොරොත්තු වෙන්නේ” යනුවෙන් ද පැවසීය.
විදෙස් අමාත්‍යංශ ප්‍රතිචාරය !
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විදෙස් අමාත්‍යංශය නිවේදනය කරන්නේ අති උතුම් පාප් වහන්සේ හමුවීමට අග්‍රාමාත්‍යවරයා කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් වතිකානයෙන් එවැනි ආරාධනයක් සිදු කර නොමැති බවත්ය.
අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සමුළුවක ප්‍රධාන දේශනයක් වෙනුවෙන් ඉතාලිය බලා පිටත් යන බව පසුගිය 06 වැනිදා විදේශ කටයුතු අමාත්‍යවරයා පැහැදිලිව සඳහන් කළ බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව, අද(08) රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා ඉතාලිය බලා පිටත්ව යෑමට නියමිතය.

කොරෝනා මර්දන රෙගුලාසි වෙනස් කරන්න සංචාරක සභාපතිනිය දන්වයි !
සංචාරක අධිකාරියේ සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු විසින් සැප්තැම්බර් 7 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට යොමුකළ ලිපියක් කොරෝනා මර්දන වැඩපිළිවෙළට සිදුකළ බලපෑමක් බව සෞඛ්‍ය ක්ශේත්‍රයේ විරෝධයක් මතුව තිබේ.
සභාපතිනිය අදාළ ලිපිය මගින් දැනුම් දෙන්නේ, සංචාරක කර්මාන්තයට සහයෝගය දෙමින් වහාම පහත තීරණවලට අවනත වන්නට ය.
ඊට අදාළ තීරණ මෙසේය.
-
පූර්ණ ලෙස එන්නත ලබා දී ඇති ගුවන් කාර්ය මණ්ඩලය සඳහා PPE ඇඳීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම.
-
පූර්ණ ලෙස එන්නත ලබා ගෙන ඇති සංචාරකයින් සඳහා ගොඩ වීමට පැය 72 කට පෙර සිදුකර යුතු PCR පරීක්ෂණ අවශ්‍යතාවය ඉවත් කිරීම.
-
යුරෝපා සංගම් රෙගුලාසි
වලට අනුකූලව අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා PCR පරීක්ෂණ ඉවත් කරන්න.
-
සංචාරක මාර්ගයේ පැමිණෙන පූර්ණ ලෙස එන්නත ලබා ඇති මගීන් සඳහා ගුවන්තොටුපලේදී කඩිනම් RAPID පරීක්ෂණ වලට ඉඩ දීම. ය.
අදාළ ලිපියේ ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , "සංචාරක ව්‍යාපාරයට අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පසුගිය සතියේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී සඳහන් කළ පරිදි සංචාරක ව්‍යාපාරයට සහයෝගය දැක්වීම සඳහා පහත සඳහන් කරුණු සැලකීමට ගත යුතුය." යනුවෙනි.
ඒ අනුව මෙය කොරෝනා මර්දනයට අදාළ සෞඛ්‍ය නිර්දේශ සංශෝධනය කිරීමට සිදුකර ඇති බලපෑමක් බව සෞඛ්‍ය ක්ශේත්‍රයේ පිරිස් වල විවේචනය වී තිබේ.
එසේම එම ආරංචි මාර්ග පවසන්නේ මේ හරහා ලෝකයේ ඇති තවත් කොරෝනා ප්‍රභේද මෙරටට ඇතුල්වීමේ අවධානමක් ඇති බවයි.
කොරෝනා වසංගතය මෙරට තුළ දරුණු ලෙස ව්‍යාප්තිය සිදුවෙමින් ඇති පසුබිමක ඒ ගැන කිසිදු තැකීමකින් තොරව මේ යොමුකළ බවක් පෙන්නුම් කර ඇතැයිද ඔවුන් පවසයි.
තවද කොරෝනා වසංගතය තීව්‍රව ඇති කිසිදු රටක් මේ ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් සිදුකර නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.
වඩාත් සුවිශේෂ කරුණක් වන්නේ විශේෂඥ උපදෙස් නොතකා කටයුතු සිදුවීම හේතුවෙන් මෙරට කොරෝනා මර්දන තාක්ෂණික උපදෙස් නිකුත්කරන කමිටුවේ විශේෂඥයන් ඉල්ලා අස්වෙන්න ගෙන ඇති පසුබිමක මෙවැනි ලිපියක් යොමුවීමය.
පහත දැක්වෙන්නේ සංචාරක අධිකාරියේ සභාපතිනිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇති ලිපියයි.

කොරෝනා මර්ධන කමිටුවෙන් ආනන්ද ඉවත්වීම යුද සමයේ හමුදාපති ඉල්ලා අස්වුණා වගේ වැඩක් !
කොරෝනා මර්ධන කමිටුවෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත්වීම සමාන වන්නේ යුද්ධය යන අතරවාරයේදී සරත් ෆොන්සේකා හමුදාපති ධුරයෙන් ඉවත් වීම සමාන තත්වයකට බව හිටපු අමාත්‍ය ,, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ආදායම් බදු නොගෙවා වංචා කළ පුද්ගලයන් මෙන්ම, වංචාවන් සම්බන්ධයෙන් නඩු පැවරී නැති අය එම වංචනික මුදල් යළි භාවිතයට ගැනීම සඳහා ආයෝජනය කිරීම හෝ තැන්පත් කිරීම සඳහා මෙම පනතින් අවකාශ සලසා ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
මෙහිදී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියළුම නීති පසෙකලා බදු වංචාකරුවන්ට දැවැන්ත බදු සහන ලබාදුන් ආණ්ඩුව, එම වංචාකරුවන්ට නඩු පැවරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇති හැකියාව මොට කරමින් ධන කුවේරයන්ට තවදුරටත් සහන සැළසීමේ අරමුණෙන් මෙම පනත ඉදිරිපත් කර ඇති බවය.
එසේ බදු සහන ලබාදුන්න ද, ආයෝජනයන් වැඩි නොවූ බවත්, ගෝඨාභය රජයේ මුල් මාස 3 තුළ ආර්ථික වර්ධන වේගය -1.6% දක්වා පසු බෑ බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම කිසිම ආකාරයක නිල ව්‍යාපාරික කටයුත්තකින් උපයා නොගත් මුදල් එනම් කළු සල්ලි සුදු කරගැනීම සඳහා ආණ්ඩුව විසින් අවස්ථාව සළසා දී ඇති බවත් ඔහු පැවසීය.
“මේ ආණ්ඩුව සත්ගුණවත්, ධර්මපාලතුමාගේ අවතාරය කියපු අය. මේ ආණ්ඩුව බෞද්ධ පංචශීලය මත ක්‍රියාත්මක වෙන බවට ජනතාවට පොරොන්දු දීපු අය. කුලියට මිනී කරපු මිනිස්සුන්ගේ සල්ලි නීතිගත කරන්න මත් කුඩු ජාවාරම් කාරයින්ගේ සල්ලි නීතිගත කරන්න රාජ්‍ය දේපල මංකොල්ල කාපු අයගේ සල්ලි නීතිගත කරන්න දරන මේ උත්සාහයට මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා අපි බලන් ඉන්නවා. ඒ වගේම වාමාංශික සටන් පාඨ කියමින් ධනපතියන්ට බැනවදිමින් ධනේශ්වර ක්‍රමය නව ලිබරල්වාදය ගැන සටන් පාඨ කියපු අයට කිසිම නව ලිබරල්වාදියෙක්වත් පසුගිය කාලවල් වල යෝජනා නොකර විදිහට තක්කඩි රංචු වලට, මංකොල්ලකාරයින්ට දඬුවම් දෙනවා වෙනුවට බදු සහන දීපු ආණ්ඩුවේ මේකට අද කොහොමද ඡන්දෙ දෙන්නේ කියන එක මත ඒගොල්ලන්ගේ වාමාංශික ඉතිහාසයත් තීරණය වෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.”
මේ රටේ පාසල් දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද මුහුණ දී තිබෙන අධ්‍යාපනයේ අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන රණවක මහතා සඳහන් කළේ නිවෙස්වලට කොටු වී සිටින දරුවන්ට අධ්‍යාපනය ද අහිමිව ඇති බවය.
ගුරුවරු විදුහල්පතිවරුන් අසහනයට පත්ව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුව තිබෙන වකවානුවක පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැත. රජයේ නායකයන්ගේ දරුවන් විදේශ රටවල ජීවත්වන නිසා ඔවුන්ට ඒ පිළිබඳව සහකම්පනයක් නැත.
විධිමත් වැඩපිළිවෙලක් යටතේ ජනවාරි 01 වැනිදා සිට හෝ රටේ පාසල් විවෘත කිරීමට කටයුතු කරන ලෙස ද හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන්ට සංකූලතා අඩුම එන්නත ලබා දීමේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. තරුණ කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික උවමනාවට එන්නත දේශපාලන සූදුවක නොයොදවා රටේ දරු පරපුර වෙනුවෙන් කොවිඩ් එන්නත යොදා ගන්නා ලෙස ද රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට හා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට සම්පූර්ණ පටහැනිව සිදුකරන එන්නත් කරන වැඩපිළිවෙල නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය විශේෂඥයන් ව්‍යාකූලත්වයට පත්ව තිබේ.
“මේ විකාරය නවත්තලා එන්නත විදේශගත වෙන ශිෂ්‍යයන්ට මෙන්ම මේ රටේ අපේ හතළිස් ලක්ෂයකට අධික පාසල් දරුවන්ටත් වහාම ලබා දෙන්න කටයුතු කරන හැටියට අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ඒක මේ රටේ දරුවන්ට කරපු සාහසික අපරාධය මේ අවුරුදු එකහමාරක් තුළ තවත් ඉදිරියට ගෙනයාමක්.”
අද ගුරුවරයා ඉතාම නින්දාසහගත තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඒ නිසා, මේ ගුරු ප් රශ්නය ඒ ගුරුවරුන්ට ලැබිය යුතු ගෞරවය හිමිකර දෙමින්, ගුරුවරුන්ට කාලකන්ණි කියමින්, ගුරුවරුන්ට අවමාන කරමින්, මිය යන මේ උද්ඝෝෂණ නිසා මියගිය බවට සමාජ මාධ් යවල පතුරවමින් ගුරුවරුන්ට එරෙහිව මේක යුද්ධයක් කර ගන්න එපා. මේක ගුරුවරු කියන්නේ මේ රටේ අනාගතය තනන ගුරු දෙගුරු කියලා අපි කිව්වේ. අපේ සංස්කෘතියේ දෙමාපියන්ට කලින් තමයි ගුරුවරයාව තිබ්බේ. ගුරු දෙගුරු කිව්වේ ඒකයි. ඒ සංස්කෘතිය ගැන කිසිම හැඟීමක් නැති පාදඩ රංචුවක් අද ඒ ගුරුවරුන්ට එරෙහිව යුද්ධයක් දියත් කරලා තියෙනවා.”
අද වන විට කොරෝනා රෝගයේ යම්කිසි පාලනයක් ඇතිවෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයන් පවසයි. රෝගයේ ව්‍යාප්තිය උපරිම තත්ත්වයට පත්ව පසුව අඩුවීගෙන යාමේ ස්වාභාවික වක්‍රය ඊට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව එම උපරිම තත්ත්වය පසුවූවාද නැද්ද යන්න විමර්ශනය කිරීම ආණ්ඩුවේ වගකීම බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
“රෝගය අද අතිවිශාල පිරිසකට වැළඳිලා ඉවරයි. ඔය පී. සී. ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණය කරපු නැති අතිවිශාල පිරිසකට මේ රෝගය වැළඳිලා, සමහරු දන්නෙත් නෑ, තමන්ට රෝගය වැළඳිලා සුව වුණා කියලා. මොකද, සීයට හැත්තෑවකට මේ රෝග ලක්ෂණ එන්නේ නෑ. ඒ නිසා රටේ සැලකිය යුතු පිරිසකට මේ රෝගය වැළඳිලා ස්වභාවික ප් රතිශක්තිය ඔවුන්ගේ සිරුරු තුළ ඇතිවෙලා තියෙන බව දැන් පැහැදිලියි මාස ගානක් යනකම් ඒ ශක්තිය පවතිනවා. තුන්වෙනි කාරණය එන්නත් කරනය රටේ ජනගහනයෙන් සියයට හතළිහකට අධික ප් රමාණයකට එන්නත් දෙකම ලබාදීම නිසා කෘතීම ප්‍රතිශක්තියක් ඇතිවෙලා තියෙනවා. ඒ එන්නත් කරනය ලබා දීම ගැන සෞඛ්‍ය බලධාරීන්ට හා ආරක්ෂක අංශවල අයට අපගේ ප්‍රණාමය පිරිනමනවා.”
එම සියළු කාරණා තිබියදී එන්නත්කරණය නිසි ආකාරයෙන් සිදුකළා නම් සිදුවූ මරණ සංඛ්‍යාව ද අවම කරගත හැකිව තිබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ද ශක්තිමත්ව කරගත හැකි ව තිබිණි.
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත, අගුළු දැමීමේ ප්‍රතිඵලයක් හැටියට මේ රෝග ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වී තිබේ.
“එන්නත් කරන්න තිබුණේ, 2020 ඔක්තෝබර් මාසේ. ධම්මික පැණියයි, කලුගෙඩි සෙල්ලමයි දදා අපේ ජනතාව මේ මරණය කරා දැක්කුවා. මේ ආණ්ඩුව. මේවා සිදුවුණේ ඝාතන, ඝාතන දහදාහක් සිදුවුණේ. ඒ බව අපි අමතක කළ යුතු නැහැ. ඒවා බේරාගත හැකිව තිබිච්ච ජීවිත නැති වුණේ.”
පස්වෙනි කොරෝනා රැල්ලක් පැමිණීමේ අවදානමක් ද පවතින බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා ඊට මුහුණ දිය හැක්කේ, විශේෂඥයින්ගේ සහයෙන් මිසක, ආඩම්බරකාර මුග්ධ, උද්දච්ච, එවගේම එන්නතනුත් ගසා කන එවැනි දේශපාලන ක්‍රියාදාමයකින් නොවන බව අවධාරණය කළේය.
“අද මේ රටේ වසංගත රෝග අංශයේ ඉන්න අපේ ප්‍රධානියා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ ක්‍රමය යටතේ තමන්ට තවදුරටත් ඉන්ඩ බෑයි කියලා ඉල්ලා අස්වෙලා තියෙනවා. බොහොම නිහතමානී වෛද්‍යවරයෙක්. මීට ප් රථම අර එන්. එම්. ආර්. එකේ සේවය කරපු වැදගත් වෘත්තීයවේදී වෛද්‍යවරු කිහිපදෙනෙක් මහාචාර්ය මලවිගේ ඇතුළු ඉල්ලා අස් වුණා. ඒ වගේම වෛද්‍ය ලක් කුමාර ඇතුළු පිරිස් ඉවත් කළා. විශේෂඥයෝ ඉවත් කර කර එහි යොදා ගත්තා. නම් පට බැඳිලා තිබුණට අපි දන්නවා වෛද්‍ය විශේෂඥයෝ වෙන්නේ නෑ. ඒගොල්ලෝ එහෙයියෝ. එහෙම එහෙයි යොදාගෙන මේක කරන්න පටන් ගත්තා. ඇත්තටම විජේවික්‍රම මහත්මයාගේ මේ ඉවත්වීම තීරණාත්මක දෙයක්.”
ආර්ථික විශේෂඥයින්ට ආර්ථිකයත් වෛද්‍ය විශේෂඥයින්ට වසංගත මර්ධනයත්, භාරගත යුතු කාලය එළඹී ඇති බව ආණ්ඩුවට මතක් කරන බව ද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කබ්‍රාල් ගියොත් යෝෂිතද ? කැටගොඩද ? : බැසිල් කැමති කැටගොඩට !
යළිත් වතාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාර ගැනීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නම් දෙකක් යෝජනා වී ඇත.
දේශපාලන ආරංචි මාර්ග පවසන ආකාරයට ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ය.
යෝෂිත රාජපක්ෂ සම්බන්ධ යෝජනාව අග්‍රාමාත්‍යවරයා ගේ පාර්ශවයෙන් ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වුවත් වැඩිදුරටත් වාර්තා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යළි පත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර ඇති බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස ජයන්ත කැටගොඩ පත් කර සිටියද බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු ඒම සඳහා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.
මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා රාජ්‍ය අමාත්‍ය කබ්රාල් ගෙන් ඉල්ලීමක් කර තිබු අතර එහිදී ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබු බව ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ආණ්ඩුව ජාවාරමුන් සමඟ ලුම්පන් ධනවාදයකට - සජිත්
මේ මොහොතේ රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියා ඇති බවත් ,ඒ හරහා ජාවාරම් කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඊයේ (07) ඔහු මේ බව සඳහන් කර සිටි අතර කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඊට ඕනෑ තරම් ප්‍රතිපාදන ඇති බවත් පැවසීය.
ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරන්නට උත්සාහ කරන්නේ 1% තරම් වූ සොච්චම් ප්‍රතිශතයකට, ජාවාරම්කාරයන්ට සහ සමහර ධන කුවේරයින්ට බදු සහන සලසා දීමට කටයුතු කිරීම යැයි ද පැවසීය.
ආණ්ඩුව මෙයින් උත්සාහ කරන්නේ ලුම්පන් ධනවාදයට රට තුළ ඉඩක් සලසා දෙමින් සමාජ සාධාරණත්වය උල්ලංඝනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකවරයා ,අසාධාරණ ලෙස ධනය උපයා ගෙන බදු මුදල් සඟවාගෙන සිටින ජාවාරම්කාරයන්ට මේ පනත හරහා රැකවරණය සැලසෙන බවද පැවසීය.
ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බවද ඔහු පැවසීය.

ලංකාව හතරවන මට්ටමේ : සංචාරය එපා - ඇමරිකාව
ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇත.
ඒ ශ්‍රීලංකාවද කොරෝනා අවධානම ඉහළින්ම ඇති හතරවන මට්ටමේ රටක් බව සඳහන් කරමිනි.
ලංකාවේ කොවිඩ්19 ව්‍යාප්තිය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ටද වෛරසය ආසාදනයවීමේ හැකියාව මෙන්ම පැතිරවීමේ හැකියාව පවතින බවත් ඔවුන් සඳහන් කර ඇත.
ඒ අනුව එම ගමනාන්ත වෙත ගමන් කිරීමෙන් වළකින්නැයි ඇමරිකානුවන්ගෙන් එරට රජය ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් රොයිටර් පුවත් වාර්තාවක් පහත දැක්වෙයි
U.S. CDC warns against travel to Sri Lanka, Jamaica, and Brunei

කොවිඩ් තාක්ෂණ කමිටුවෙන් තවත් සාමාජිකයෙක් ඉවත් වෙයි
කොවිඩ් මර්දන විශේෂඥ තාක්ෂණ කමිටුවේ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද එම කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
එම කමිටුවෙන් ඊයේ (07) විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ද ඉල්ලා අස්වී තිබිණි.
මේ වන විට එහි දෙවැන්නා වශයෙන් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න ඉවත්වී තිබේ.
එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂඥ නිර්දේශ නොතකා ආණ්ඩුව ගෙන යන අත්තනෝමතික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වගකිය නොහැකි බව දක්වමින් එම ඉල්ලා අස්වීම් සිදුකර තිබේ.
lankatruth

කොරෝනා මරණ 184ක් : අවුරුදු 30ට අඩු ආසාදිතයින් 04 දෙනෙක් ඒ අතර
තවත් කොරෝනා මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ ඊයේ (06) තහවුරු කරනු ලැබූ ඒවා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මියගිය පිරිස අතරින් 97 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 87 දෙනා කාන්තාවන් ය.
වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 4 දෙනෙක් සිටී.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන 46 දෙනෙකු සිටින අතර ඉතිරි මරණකරුවන් 134 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ පුද්ගලයින් වේ.

පාදෙණියගේ සංගමයෙන් හමුදාපතිට චෝදනාවක් !
යුද හමුදාපතිවරයා තමන්ට අවශ්‍ය පරිදි සෞඛ්‍ය ලේකම්වරයා හරහා වසංගත රෝග විද්‍යා අංශයෙන් එන්නත් ලබා ගනිමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ ලබා ගන්නා එන්නත් හමුදාව මගින් එන්නත්කරණයට යොදා ගන්නා බවද පැවසූ ඔහු වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයිද ඔවුන් කියා සිටී.
එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් එන්නත්කරණය අවසන් නොකළ ඇති පසුබිමක 20-30ත් අතර අයට එන්නත්කරනය ආරම්භ කිරීම තාක්ෂණික ක්‍රමවේදයෙන් බැහැර යාමක් බවද ඔහු පැවසීය.
එමෙන්ම ප්‍රමුඛතා දිස්ත්‍රික්ක තෝරාගැනීමේදී ද විශාල ගැටලුවක් ඇති වී තිබෙන බවත් හම්බන්තොට යනු ප්‍රමුඛතාව දිස්ත්‍රික්කයක් නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ආන්දෝලනාත්ම පනත සම්මතයි !
කළු සල්ලි සුදුකරන්නට අවස්ථාව සැලසීමක් ලෙස බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට තුඩුදුන් , හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ඉඩකඩ සැලසෙන මුදල් පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදී සම්මත විය .
මේ සම්බන්ධව පැවති ජන්ද විමසීමේදී ඊට පක්ෂව ජන්ද 134ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ජන්ද ප්‍රමාණය 44කි .
ඒ අනුව වැඩි ඡන්ද 90 කින් පනත සම්මත විය.
මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, හෙළිදරව් නොකළ බදු – වත්කම් හා ආදායම් ස්වේච්ඡාවෙන් හෙළි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනිමින් ය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ ය.
එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ , වගන්ති කිහිපයක් සංශෝධනයට ආණ්ඩුව පියවර ගන්නා බවයි.
ජාතිය ගොඩනැගීමේ බදු පනතේ හෝ ආර්ථික සේවා ගාස්තු පනතේ විධිවිධාන මත වන තක්සේරුවක් මේ වසරේ ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසු නිකුත් කරනු නොලැබිය යුතුය යන්න පනත් කෙටුම්පතෙන් මුළුමනින්ම ඉවත් කළ යුතු 17 වැනි වගන්තියේ සඳහන් විය.

වැලිකඩ එල්ලුම් ගහ : ගලවගෙන ගිහින් !
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී මැගසින් බන්ධනාගාරය පළමුවත් සෙසු බන්ධනාගාර ඉන් අනතුරුවත් මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කෙරෙන අතර වැලිකඩ එල්ලුම්ගහ ද මේ යටතේ හොරණට රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.
එමෙන්ම කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ(06) උපදෙස් ලබා දී තිබේ.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවට අරලියගහ මන්දිරයේ සිට එක්වෙමිනි.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහොතේ සිදු නොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරමින් පැවසිය.
බොරැල්ල පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමිය අක්කර 40 ක් .
එහි ඇති චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැළසුම්කර තිබේ.
ඒ හැරුණු කොට වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කෙරෙන අතර ආයෝජකයන් කිහිප දෙනෙකු මේ වනවිටත් එහි ව්‍යාපෘති සඳහා එකඟතාව පළකර තිබෙන බවද බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙහි දී සඳහන් කර සිටියේය.
දැනට එසේ කැමැත්ත පළ කර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙම හමුවේ දී උපදෙස් ලබා දී තිබෙන බවය.
(aruna )

සීනි තොග සැඟවූ වියත්මග මිතුරාගේ ලාභය දෙගුණ වෙලා : චෝදනාව ආණ්ඩුව ඇතුලෙන් !
සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණ බවට ආණ්ඩුවේ පාර්ශව වෙතින්ම චෝදනා එල්ලවෙමින් තිබේ.
පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවියේ පළවූ පුවතකි.
රුපියල් මිලියන 29,000ක බදු සහන හෙවත් බදු වංචාවට පසුව සීනි තොග සැඟවීම මගින් කරණ ලද කූට උපක්‍රමය හරහා පාලන මිලට වඩා සීනි කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 31ක් වැඩිපුර මුදලක් ලබා ගැනීමට සීනි ආනයන ජාවාරම්කරුවන් සමත් වී ඇත.
ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙළෙඳ පොලේ පවතින සීනි මිල සම්බන්ධයෙන් ජාතික සංවිධානවල මතය විමසූ විට ජාතිකි සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර ඉහත අදහස දැක්වීය.
වෛද්‍යය වසන්ත බංඩාර මහතාට අනුව ආණ්ඩුව විසින් ලබා දුන් බදු සහනය බදු වංචාවක් වන්නේ එම සහනයට අනුව සීනි මිල රුපියල් 49.75කින් අඩු කළ යුතු වුවත් ජාවාරම්කරුවන් විසින් ඒ වන විට රුපියල් 135ට තිබූ සීනි කිලෝවක මිල රුපියල් 205 දක්වා ඉහළ දැමීම හේතුවෙනි.එහිදී වෛද්‍යයවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බදු සහනය අනුව රජය සීනි කිලෝ ග්‍රෑම් 1කට නියම කළ මිල රුපියල් 85ක් වන බැවින් එම මිල තුළ සීනි ආනයනයකරුවන්ගේ සියලු වියදම් සහ සාමාන්‍යය ලාභයද ඇතුලත් වන බැවින් අත් අඩංගුවට ගනු ලැබූ සීනි වලට ගෙවිය යුත්තේ රුපියල් 85ක් හෝ ඊට වඩා අඩු මිලක් බවයි.
ඒ වෙනුවට එම සීනි තොග වලට කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 116ක් ගෙවීම මගින් ජාවාරම්කරුවන්ට රුපියල් 31ක අමතර ලාභයක් ලැබෙන බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ,අත්අඩංගුවට ගත් සීනි තොග සහ රටතුල තිබෙන අනෙකුත් සීනි තොග එම මිලට විකුණන්නේ නම් ජාවාරම්කරුවන්ට අමතරව රුපියල් මිලියන 20,000ක ලාභයක් ලැබෙන බවයි.
බැඳුම්කර වංචාවෙන් කළ හානියට වඩා සීනි බදු වංචාවෙන් කළ හානිය බරපතල බව පවසන වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා මෙවැනි ගොං වැඩ හෝ මෙවැනි අමුම අමු වංචා සිදුවන රටක් ලෝකයේ කොතැනක හෝ ඇත්තේනම් පෙන්වා දෙන ලෙස ඕනෑම කෙනෙකුට අභියෝග කරණ බවද අවධාරණය කළේය.
මෙම සීනි ජාවාරම්කරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමට පෙර සිටම වියත් මගේ කිට්ටුවන්තයන් ලෙස පෙනී සිටියේ මෙම වංචාවන් සඳහා වට පිටාව සකසා ගැනීමට බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය. අයුතු ලාභ ලැබීම වෙනුවෙන් මෙම පිරිස් ජනාධිපතිවරයාගේ ගෞරවයටද විශාල හානියක් කරණ බවද පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, ජාතික සංවිධාන දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය තහවුරු කිරීමට පෙනී සිටි බලපෑම් කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරයාගේ කීර්තියට මෙවැනි ජාවාරම්කරුවන් කරණු ලබන හානිය සුළු කොට නොතකන බවද අවධාරණය කළේය.

පාඨලීගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් !
''අපරාධයක් පිලිබඳව පරීක්ෂණ පැවැත්වීමේ මුවාවෙන්, පුරවැසියන් බිය ගැන්වීමට සැලැස්වීම හා කරදරයට පත් කිරීම සඳහා, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය තුළ අන්තර්ගත ප්‍රතිපාදන අවභාවිතා කිරීමට'' එරෙහිව, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
අද (07) විශේෂ පාර්ලිමේන්තු දිනයක් බැවින් එම පැමිණිල්ල භාරදීම සඳහා හිටපු අමාත්‍යවරයා පැමිණි නොසිටි අතර ඒ වෙනුවෙන් එම අවස්ථාව සඳහා සහභාගී වූ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මෙසේ වැඩිදුර අදහස් දැක්වීය.
‘’ අද අපි පොලිස් මූලස්ථානයට පැමිණියේ පොලිස්පතිතුමාට පැමිණිල්ලක් භාර දෙන්න. මේ පැමිණිල්ල භාරදෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා. එතුමා අද මෙම ස්ථානයට පැමිණිලා පොලිස්පතිතුමාට මේ පැමිණිල්ල භාර දෙන්නයි නියමිතව තිබුණේ. නමුත් අද දවසේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන නිසා, එතුමා එම පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වෙනවා. ඒ නිසා අද මේ පැමිණිල්ල භාරදීම සඳහා නීතිඥ රජික කොඩිතුවක්කු මහතාත්, ඒ වගේම,හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ වන මමත්, චම්පික ඇමතිතුමා වෙනුවෙන් අද අපි මේ පැමිණිල්ල, පොලිස්පතිතුමාට භාරදෙන්න කටයුතු කරනවා.
මොකක්ද මේ පැමිණිල්ලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? අපි දැක්කා පසුගිය දින කිහිපය තුළ, විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, මේ රටේ පුරවැසියන් බියවැද්දීම සඳහා, ඔවුන් කරදරයට පත් කිරීම සඳහා, ඔවුන් පොලිස් මූලස්ථානයට ඒ වගේම පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ඊට අදාලව තියෙන විවිධ අපරාධමය පරීක්ෂණ සඳහා කැඳවීම් කරනවා.
මාධ්‍යවේදීන්, ඒ වගේම වෘත්තීයවේදීන්, දේශපාලන ක්‍රියාකාරිකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ මේ රටේ සිවිල් පුරවැසියන් අද පොලිස් දෙපාර්තමේන්තුව විසින් කැඳවලා, ඔවුන්ව කිසියම් ආකාරයකට කරදරයකට පත් කිරීම, එහෙම නැත්නම් බියවැද්දීමක් සිදුකරනවා. මේක පැහැදිලිවම, පොලිස් දෙපාර්තුමේන්තුව සතුව තියෙන බලතල වල වපසරිය ඉක්මවා කටයුතු කිරීමක් විදියටයි අපි දකින්නේ. මේ රටේ ජනතාවට තියෙන භාෂණයේ නිදහස, ඒ වගේම දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වීමේ තියෙන අයිතිය සහ අනිත් පැත්තෙන් ගත්තම යම්කිසි මතයක් දැරීමට තියෙන අයිතිය, මේ අයිතිය තමයි අද මේ අභියෝගයට ලක් කරන්නේ.
එහෙම නැත්නම් එවැනි මත ප්‍රකාශ කරන, විශේෂයෙන්ම වෛද්‍යවරු ගණනාවක්, පසුගිය දිනවල අපි දැක්කා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනවා. ඒකට හේතු වුනේ ඔවුන් යම්කිසි සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පළ කරන අදහසක්, මතයක්. ඒ මත තමයි ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වේ.
ඒ වගේම අපි දැක්කා වෘත්තීය සමිති නායකයෙක්, විශේෂයෙන්ම මේ රටේ ඉන්ධන හිඟය පිළිබඳව මතයක් පළ කළා කියලා, ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා. ඒ වගේම වෛද්‍යවරයෙක් තමන්ගේ හැඟීම් සහ තමන්ගේ අදහස්, ඒ කියන්නේ තමන්ගේ රෝහල තුළ රෝගීන්ගේ තත්වය සම්බන්ධයෙන් ඔහුට තිබුණු සංවේදීමය හැඟීම් ප්‍රකාශ කරා කියලා, ඔහු පිටුපස මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඹා ගියපු හැටි අපි දැක්කා. දැන් සමාජ මාධ්‍යවේදීන්ටත් මේ විදිහටම, මේ තර්ජනය, බලපෑම කරන්න පටන් අරගෙන තියෙනවා.
ඉතින් ඒක නිසා අපි කියන්නේ පැහැදිලිවම, අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 109(6) යටතේ මෙවැනි පරීක්ෂණයක් කරන්න. ඒ කියන්නේ, යම්කිසි අපරාධමය පරීක්ෂණයක් කරන්න පොලිස් දෙපාර්තමේන්තුවට, ඒ කියන්නේ පුරවැසියන්ගෙන් සහය ලබාගැනීමේදී අනුගමනය කළ යුතු යම්කිසි බලතලමය වපසරියක් තියෙනවා. ඒ වපසරිය ඉක්මවා ගිහිල්ලා තමයි කටයුතු කරන්නේ.
යම් පුරවැසියෙක්ගේ ප්‍රකාශයක් සටහන් කරගන්න අවශ්‍ය නම් දැන් ඒ ප්‍රදේශයේ අදාළ මහේස්ත්‍රාත්වරයාගෙන් මේකට යම්කිසි බලයක් ලබාගත යුතුයි. නමුත් ඒ සියල්ල ඉක්මවා ගිහිල්ලා තමයි අද මේ පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින්නේ.
ඒ නිසා අපි පැහැදිලිව කියනවා, මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ඒ වගේම අනිත් පැත්තෙන් භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වීමේ නිදහස අද අභියෝගයට ලක් කරමින් තියෙනවා. මේ පොලිස් දෙපාර්තමේන්තුව අනීතික ආකාරයට.
ඉතින් ඒක නිසා, මෙන්න මේ පිළිබඳව පැහැදිලිව අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නත්, මෙමගින් රටේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ නීතිමය වශයෙන් පුරවැසියන්ට තියෙන රැකවරණය අහිමි කිරීමක්, බියවැද්දීමක්, ඔවුන් හිරිහැරයට, කරදරයට පත් මෙමගින් සිදු කරන්නේ. ඒක නිසා මේ පිළිබඳව පොලිස්පතිවරයාට තමන්ගේ දෙපාර්තමේන්තුවේ, අදාළ ආයතන වල තියෙන සීමාව ඉක්මවා කටයුතු කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා තමයි අද මේ පැමිණිල්ල පොලිස්පතිතුමාට භාරදෙන්නේ. ‘’
මේ ආකාරයට පොලිස්පතිට යොමුකල පැමිණිල්ල පහත දැක්වෙයි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද 'කෝවිඩ් කමිටුවෙන්' ඉවත්වූ හේතුව ?
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත.
කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊ-මේල් පණිවුඩයක් මගින් දැනුම්දී තිබේ.
විශේෂඥයින්ගේ උපදෙස් නොතකමින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉකුත් කාල සීමාවේදී ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල විය.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පළමුව කොවිඩ් එන්නත් ලබා දිය යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබුණද වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදීමට පියවර ගැනිණ.
ඒ හේතුවෙන් වයස අවුරුදු 60 ට වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයින් විශාල පිරිසකට එන්නත් ලබාදීම ප්‍රමාද වූ බවත්, එය මෙරට කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක් වූ බවත් විශේෂඥයින්ගේ මතයයි.
පෙර දිනයේ පවා කොවිඩ්-19 හේතුවෙන් මියගිය අති බහුතරය වයස අවුරුදු 60ට වැඩි අයයි. ඔවුන් අතරින් ද බහුතරය තවමත් එන්නත ලබාගැනීමට අවස්ථාව නොලැබුණු අයයි.
දිගින් දිගටම විශේෂඥයින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ එමගින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට වගකිව නොහැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත.
හම්බන්තොටට ෆයිසර් දීම !
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් ත් අතර තරුණයින් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමද විශේෂඥ මතයට බැහැරව සිදුවී ඇති බව පැවසේ.
විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කර ඇත්තේ විවිධ රෝගාබාධවලින් පෙළෙන අවධානම් කාණ්ඩයේ පසුවන දරුවන් සඳහා එම ෆයිසර් එන්නත මාත්‍රා 50,000 වෙන් කරන ලෙසයි.
කෙසේ වෙතත් එම උපදෙස් නොතකමින් ෆයිසර් එන්නත් 50,000 ක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු සඳහ යොමු කර ඇත.
theleader

හදිසි නීතිය සම්මතයි : කොරෝනා මරණ 180 යි !
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ සැඟවීම වැලැක්වීම සඳහා බව කියමින් ජනාධිපති ගේ නියෝග මත පැනවුණු හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද – 132 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද – 51ක් ලැබිණ.
විපක්ෂයේ සියලුම පක්ෂ හදිසි නීති යෝජනාවට එරෙහිව ජන්දය භාවිත කළේ, මතුව ඇති අර්බුදය විසඳීමට හදිසි නීතිය පැනවීම කිසිසේත් අවශ්‍ය කරුණක් නොවන බව අවධාරණය කරමිනි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් කරනු ලැබිණ.
අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පවතින බව සඳහන් කරමිනුයි.
ඒ අනුව මහජන ආරක්ෂාව රටේ යථා පැවැත්ම, සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාම සඳහා අදාළ පියවර ගන්නා බව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කෙරිණ.
කොරෝනා මරණ 180 !
මේ අතර තවත් කොරෝනා මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ තහවුරුව යටතේ, අද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනය කර ඇත.
මේ මරණ 180 ඊයේ (05) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 10320ක් දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 97 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 83 දෙනා කාන්තාවන් ය.
වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 7 දෙනෙක් සිටිති.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 40 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 133 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
ඊට අදාළ නිවේදනය පහත දැක්වෙයි.

වැලිගම නගරාධිපතිනියගේ දේශපාලන උණ නිසා : සභාවම කොරෝනා අවධානමක !
වැලිගම නගරසභාවේ යමුනා කාන්ති නගරාධිපතිනියගේ (එක්සත් ජාතික පක්ෂය ) අත්තනෝමතික ක්‍රියාවක් හේතුවෙන් එහි සේවය කරන කාර්ය මණ්ඩලය කොවිඩ් 19 ආසාදිත අවධානමකට නිරානවරණයවීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම අවධානම මතුව ඇත්තේ, කොරෝනා ආසාදිත බවට රෝග ලක්ෂණ පෙන්නුම්කළ නගරසභා සේවකයකු සෞඛ්‍ය අංශ උපදෙස් පවා නොතකා නගරාධිපතිනිය සිදුකළ රාජකාරි පැවරීමක් නිසාය.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අදාළ සේවකයා තමන්ට කොවිඩ් ආසාදනයවූ බවට සැකසංකා මතුවූ රෝග ලක්ෂණ හේතුවෙන් PCR පරීක්ෂණයක් සඳහා යොමුව තිබේ.
නගරසභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත සිදුකළ දැනුම්දීමක් අනුව මෙසේ නගරසභා සේවකයා PCR පරීක්ෂණයට යොමුව ඇති අතර, එහිදී දැනුම්දී ඇත්තේ, PCR පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව ලැබෙනතුරු සේවයට වාර්තා නොකර දින 7ක් නිවෙස් නිරෝධායනය සඳහා යොමුවන ලෙසය.
ඒ අනුව සේවකයා නිවෙස් නිරෝධායනයට යොමුව ඇත. නමුත් PCR ප්‍රතිඵල වාර්තාව ලැබීමට පෙර වැලිගම නගරාධිපතිනිය අදාළ සේවකයාට වහාම රාජකාරියට වාර්තා කරන ලෙස දන්වා ඇති අතර ඒ, ඊයේ (05) දිනට යෙදුනු එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නගරසභාව ආශ්‍රිත සැරසිළි සිදුකිරීම සඳහාය.
නගරාධිපතිගේ නියෝගය අනුව අදාළ සේවකයා රාජකාරියට වාර්තා කර ඇති අතර, එහිදී ඔහු සුපුරුදු පරිදි නගර සභාවේ අංශ කිහිපයක් වෙතද ගොස් ඇති බව ආරංචිමාර්ග පවසයි. මෙම සේවකයාට අදාළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව ලැබී ඇත්තේ, ඔහු සිය රාජකාරි සිදුකිරීමෙන් පසුව වන අතර එහි ප්‍රතිඵලය වී ඇත්තේ කොරෝනා positive බවය.
මේ සම්බන්ධව අදහස් දක්වන නගරසභා කාර්ය මණ්ඩලය චෝදනා කරන්නේ, නගරාධිපතිනිය දේශපාලන ලකුණු දමා ගැනීමට සිදුකළ අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් රැසකගේ ජීවිත අවධානමේ දැමුණු බවය. වසංගත සමයක සෞඛ්‍ය අංශ නියෝගපවා කඩකළ නගරාධිපතිනියගේ ක්‍රියාව හෙළාදකින ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව නගරාධිපතිනියට එරෙහිව සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාමාර්ග ගෙන දිවයිනේ රාජ්‍ය අංශ මෙන්ම පළාත් පාලන ආයතන වෙත එය අත්දැකීමක් කල යුතු බවය.

මහ කන්නයේ ‘කුඹුරු පිදුරු‘ සංකල්පය ‘සාගතයකින් කෙළවර වේවි - රෝහිණී
පොහොර නැතිව, වල් - කෘමි - දිලීර නාශක නැති මෙවර මහ කන්නය ‘කුඹුරු පිදුරු‘ කරනු ඇතැයි ද, ආණ්ඩුවේ ‘සාගතයක දැක්ම‘ මෙගා නාට්‍යය රඟදක්වමින් සිටින බව ද මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි.
පොහොර හිඟය, වල් සහ කෘමි නාශක නොමැති නිසා මහ කන්නයේ වගාව ගොවීන් උනන්දුවක් නොදක්වති. කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති තුනකි. වෙනදා දක්නට ලැබෙන පූර්ව වගා සුදානම නැගෙනහිර, උතුරු මැද, මධ්‍ය, ඌව පලාත්වල දකින්නට නැත. හේන් ගිණිතබා, ඇල මාර්ග සුද්ධ කර, පස පෙරලන්නට සුදානම් නැත. ගොවීන් වී සහ හේන් වගාවෙන් ඉවත් වීමේ අවදානමක් පවතී.
හේන් ගොවීතැනට භුමිය සකස් කිරීම සඳහා මේ වන විට වල් නාශක ලැබී තිබිය යුතුය. ව්‍යාපාරිකයින් හා මහා පරිමාණ වගාකරුවන් රටේම වල් බෙහෙත් නැගෙනහිර ට අදිමින් සිටී. මේ ප්‍රශ්නයට විසඳුම් නෙැලැබෙන්නේ නම් පමාවී මහ කන්නයේ වගා අරඹන උතුරු මැද, මධ්‍යම හා ඌව, උතුරේ ගොවියාට යන එන මං නැති වනු ඇත.
බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත. හයිබ්‍රිඩ් බීජවර්ග ආරක්ෂා කර ගැනීම සඳහා කෘෂි රසායන යෙදීම අතශ්‍යවශවේ.
කෙටි කාලීන වී වර්ගවල වල් මර්ධනය සඳහා වල් නාශක අත්‍යවශ්‍ය වේ. වී වපුරා හෝ පැල සිටවා දින 3 සිට සති 4 දක්වා කාලය තුල ගොයම් වගාවේ වල් මර්ධනය කළ යුතුය. නැතිනම් වල් පැල පසේ සාරය උරාගෙන ගොයම් ගස දුර්වල වේ. කෘෂි රසායනික නොමැතිව දැනටමත් රජරට කුඹුරු බොල් වී පිදුරු බවට පත්ව ඇත. කුඹුරේ පිදුරු මිස වී නැත.
මහ කන්නයේ ‘කුඹුරු පිදුරු‘ කරමින් රජය ‘සාගතයේ දැක්ම‘ මෙගා නාට්‍යය රඟ දක්වමින් සිටී.
තනි සමාගම් ඒකාධිකාරය සහ බෝට්ටු කෘෂි රසායන
කෘෂි රසායන වෙළඳපොලට නිකුත් නොකරන්නේ නම්, ගොවින් මහ කන්නයේ වගාවෙන් ඉවත්විම වැලැක්විය නොහැකිය. ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට ගෙන්වනු ලැබන කිසිදු ප්‍රමිතියක් නැති කෘෂි රසායන (කෘමි හා වල් නාශක) ජාවාරමක් ඇරඹී ඇත. අධික විශ සහිත වල් නාශක ප්‍රසිද්ධියේම අලෙවි වේ.
තනි සමාගමකට කෘෂි රසායන ආයනයන ඒකාධිකාරය ලබාදීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇත. සාධරණ තරඟකාරී වෙළෙඳපොලක් නිර්මාණය කර ගොවියාට පහසුමිලට කෘෂි රසායන ලබා ගැනීමට අවස්ථාව ලැබිය යුතුය. සලාක ක්‍රමයට කෘෂි රසායන ලබාදීමට උත්සහ දැරීම කළු කඩ ක්‍රමයක් නිර්මාණය කරනු ඇත.
එමෙන්ම, දිලීර රෝග, කෘමි රෝග සඳහා දිනක් හෝ දෙකක් තුල පිළියම් යෙදිය නොහැකි නම් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වේ. පොහොර සඳහා කාබනික ආදේශක සිමිත ප්‍රමාණයක් හෝ ඇති නමුත්, වානිජ්‍ය වගාවක කෘෂි රසායන සඳහා ආදේශක නොමැත.
මහ කන්නයේ දැඩි වර්ශාවක් ලැබෙන බැවින් දිලීර නාශක නොමැතිව වගා කළ නොහැකිය. මීදුම, අධික වැස්ස දින තුනක් - හතරක් තුල නුවරඑළිය, නාවලපිටිය, නකල්ස් කදු පන්තිය, ඉහළ ඌව කලාපයේ එළවළු, පළතුරු, අර්තාපල්, මල් සහ විසිතුරු වගාවන් විනාශ විය හැකිය.
රජයේ අදූරදර්ශී වැඩ පිළිවෙල ‘කුඹුරු - පිදුරු‘ කිරීමකි. සාගතයට අත වැනීමකි. මහ කන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම රජයේ වගකීමකි.

ජෝර්ජ් මාස්ටර් සමුගනියි !
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ 'ජෝර්ජ් මාස්ටර්' (George Master) අද (05) දින යාපනය රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
පසුගිය මාස කිහිපයේ රෝගී තත්ත්වයන් යුතුව සිටි ඔහු මියැදෙන විට වයස අවුරුදු 85කි.
වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ වේලුපිල්ලේ කුමාරු පංචරත්නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ හඳුන්වන ලද්දේ ජෝර්ජ් මාස්ටර් යන නමිනි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වීමෙන් අනතුරුව ඔහු එහි දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම් සමඟ කටයුතු කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භාෂා පරිවර්තකයකු වූ ජෝර්ජ් මාස්ටර් ඉංග්‍රීසි සහ සිංහල භාෂා ප්‍රවීණයකු වූ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර රට තුළ සහ විදේශයන්හි පැවැත්වුන සාම සාකච්ඡාවන්හි දී භාෂා පරිවර්තකයකු මට්ටමින් ඒවාට සහභාගී විය.
යුද්ධය නිමාවේ යුදකලාපයෙන් පිටව අනාථ කඳවුරකට පැමිණීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ජෝර්ජ් මාස්ටර් නීතිපති උපදෙස් මත හත්වසරකට පසු 2016 ජුලි 04 දා ඇප මත මුදා හරිනු ලැබුණි. ජෝර්ජ් මාස්ටර්ට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබුනේ 2009 වසරේ දී ය.
the leader
Page 441 of 473