V2025

පුවත්

රනිල් - සජිත් ගැටුමෙන් මන්ත්‍රීවරුන් 750 කගේ තනතුරු අහිමිවේද? : කියවන්නම ඕන ලිපියක් !

මන්ත්‍රී  ධූර අහිමි වන පිරිසගෙන් කොටසක් එජාපය තම පරම සතුරා බවට පත් කර ගනු ඇත. රනිල් - සජිත් බල අරගලය තම තනතුර, දේශපාලන ජීවිතය අවසන් කළ බව සිතන තවත් විශාලම පිරිසක් ලැයිස්තුවට එක් වනු ඇත.
 
ඉතිහාසය පුරාම කැරළිකරුවන්, ඉඟුරු කල්ලි, දෝෂාභියෝග, නායකත්ව සටන්, පුද්ගලික ඉදිරිවාදිකම් මහජන නියෝජිතයින්ට තනතුරු අහිමි කර ඇත. අද සිදුවෙමින් ඇත්තේ ටිකක් වෙනස් ක්‍රියාවකි.
 
ප්‍රශ්නය  හා අතීත කතාව !
 
එජාපයෙන් තේරී පත් පලාත් පාලන නියෝජිතයින් බහුතරය පසුගිය මහා මැතිවරණයේ දී සජබ ට සහාය දුන් නිසා එජාපය 3% ක වැටුණේය. ඔවුන් අතරින් 10 කට ආසන්න පිරිසකට විනය පරීක්ෂණ පවත්වා තනතුරු අහිමි කර ඇත. 69 ක් සාමුහික අධිකරණ ක්‍රියාමාර්ගය  පරාජය වී ඉවත් කිරීමේ නිවේදනයට එජාපය මහ ලේකම් අත්සන් තබා ඇත. ගම්පොල නඟර සභාවේ සභාපති සමන්ත අතුළු පිරිසක් නැවත එජාපයට එක් වි තම තනතුර රැකගෙන ඇත. එම අවස්ථාව අතහැර දැමූ තංගල්ල සභාපතිවරයාට සියල්ල අහිමි වී ඇත. කලක් රනිල් විරෝධී සටනේ පෙරගමන්කරුවෙකු වූ, රනිල් එපා යැයි නිසාම පක්ෂ තහනමට ලක් වූ පාලිත රංග බණ්ඩාර මහ ලේකම්වරයාගේ පරණ කතා සජබ සමාජ මාධ්‍ය  කණ්ඩායම නැවත පළ කරමින් සිටී. නාටක රැසකි.
 
නඩු ගිය එජාපයෙන් මන්ත්‍රීවරුන්ට  මන්ත්‍රී  ආසන රැක ගැනීමට අවස්ථාවක් තිබුණේ ද? ඉතිරි පිරිසට තනතුරු අහිමිවිවේ ද? මේ ලිපිය ඉතිහාසයේ තවත් දුර්වලම විපක්ෂයක් බිහි කළ එජාප - සජබ ගැටුම ගැන නොවේ. හෙට (පෙහොට්ටුව ද ඇතුළු) ඕනෑම මහජන නියෝජිතයෙකුට අදාල විය හැකි ‘ඉවත් කිරීමේ ව්‍යවහාරය ගැන ය.
පාර්ලිමේන්තු, පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන්  පක්ෂයෙන් නෙරපීම/ඉවත් කිරීම/තනතුර අහිමි කිරීම පිළිබඳ ඇත්තේ එකම නීතිය කි. ව්‍යවහාරයකි. එසේ නම්, (පක්ෂ මාරු කරන) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  තනතුර රැකෙන්නටත්, පොඩ්ඩන්ට මන්ත්‍රී  ධූරය අහිමිවන්නටත් හේතුවක් නැත.
 
තනතුර අහිමි වන්නේ විනය පරීක්ෂණ, අධිකරණ ක්‍රියාදාමයේ දී සිදුවන ‘කරුණු ඉදිරිපත් කිරීමේ හා අවස්ථාවට මුහුණදීමේ‘ වැරදි නිසාම ය.
 
හේතුවක් ඇතිව හෝ නැතිව (විනය පරීක්ෂණයකින් වරදකරු වී හෝ නොවී) පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම/තහනම් කිරීම, පක්ෂයෙන් ඉවත් කිරීම හෝ වෙනත් කරුණු මත පක්ෂ ලේකම්වරයෙකු නිකුත් කරනු ලබන ලිපියක් ලැබුණු විට අදාළ මන්ත්‍රීවරයා  එයට එරෙහිව (දිසා) අධිකරණයේ පිහිට පැතිය හැකිය. ලේකම්වරයා ගේ ලිපියෙන් දින 21 යාමට පෙර තහනම් නියෝගයක් ලබා සිය පුටුවට වෙනත් අයෙකු පත් කිරීම වලක්වා ගත හැකිය. එසේ රැකගත්, රැකගෙන සිටින මන්ත්‍රීවරුන්  රැසකි. තහනම් නියෝගයක් ලබා ගත නොහැකි නම්, මහ ලේකම් ගේ ලිපියට අනුව, දින 21 කට පසුව මැතිවරණ කොමිසම අනිවාර්යයෙන්ම අලුත් මන්ත්‍රීවරයා  ගැසට් කළ යුතුමය. (එසේ නොවූ අවස්ථාවක මැතිවරණ කාර්යාලයට එරෙහිව එක් මහ ලේකම්වරයෙක් නඩුවක් පවා කෙටුම්පත් කළේය. එය දැනගත් විගසම නව මන්ත්‍රීවරයා  ගැසට් කිරීමෙන් අර්බුදය නිමා විය)
 
1995 කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී  ධූරය හේතුවෙන් මතු වූ ‘සිරිවර්ධන එදිරිව ෆාරුක්‘ ශ්‍රේෂ්ඨාධිකරණයේ  826/94 නඩු තීන්දුව දින 21 නීතිය පැහැදිලි කරයි. ශ්‍රී  ලංකා මුස්ලිම් කොන්ග්‍රස්  මන්ත්‍රී  ෆාරුක් ට තනතුර අහිමි වූ අතර, දින 21 ක් තුල තහනම් නියෝගයක් ලබා ගැනීමට ෆාරුක්ට නොහැකි විය. (තහනම් නියෝගය ලැබුණේ 22 වන දිනයේ දී ය.) එවිට මැතිවරණ දෙපාර්තමේන්තුවේ එදා සිටි සිරිවර්ධන මහතා පුරප්පාඩුවට වෙතන් මන්ත්‍රීවරයෙකු  ගැසට් කළේය. දින 21 කට පෙර තහනම් නියෝගයක් ගැනීම ‘අමාත්‍යමය තීරණයක්‘ බැවින් එය සිදු නොවන තැන තමන්ට නව සභිකයා පත් නොකර සිටීමට බලයක් නොමැති බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියූ අතර, මන්ත්‍රී  ෆාරුක් නඩුවෙන් පැරදුණේය.
නීතිය අතිශයින්ම පැහැදිලි හා නිරවුල් ය. මන්ත්‍රීවරයෙකු  ඉවත් කිරීම වැලැක්වීමට නම් දින 21 ක් තුල අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. නමුත්,
යම් පලාත් පාලන මන්ත්‍රීවරයෙකු  ගේ ධුරය අහිමි කරනු ලැබු විට එයට විරුද්ධව පලාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට (උදා- ප්‍රධාන  අමාත්‍යවරයාට ) නැතිනම් අද තත්වය අනුව ආණ්ඩුකාරවරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එවිට සිදුවන්නේ කුමක්දැයි අවශ්‍ය නම් කෙනෙකුට අවශ්‍ය  නම් තනතුර අහිමි කරන මන්ත්‍රීවරයෙකුට දැන් පරීක්ෂා කර බැලිය හැකිය.
 
ඉතා මෑතක දී මනෝ ගනේෂන් ගේ පක්ෂයේ (ඉනිමග) උඩපලාත ප්‍රා.සභාවේ මන්ත්‍රී  කනගරත්නම් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කළේය. කනගරත්නම් නඩුවක් පැවරීය. එක දවසකින් හෝ දෙකකින් ඔහු මන්ත්‍රී  ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් විය. කනගරත්නම් අදටත් උඩපලාත සභාවේ මන්ත්‍රීවරයෙකි.
මනෝ ගේ පක්ෂයේම මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රී  විග්නේෂ්වරන් සිය ගේ තනතුර රැකගන්න අභියාචනාධිකරණයට ගියේය. දැන් ඔහුගේ තනතුරට මහයියාවේ විමලචන්ද්‍රන් පත්ව ඇත. අභියාචනාධිකරණ නඩුව තවම විභාගයට ගෙන හෝ නැත. මනෝ ගේ පක්ෂයේ ම පන්විල ප්‍රා.සභාවේ විජේනද්‍රන් කිසිදු අධිකරණයට ගියේ නැතිවම තනතුර අහිමි කර ගත්තේය.
 
අනෙක් මෑතම උදාහරණය මඩකලපුවෙනි. ප්ලොට් සංවිධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ගෙය) සන්ධානගත පක්ෂයකි. 20 වන ව්‍යවස්ථා  සංශෝධනයට එම පක්ෂයේ මඩකලපුව මන්ත්‍රී  විලේන්ද්‍රන්   මහතා ආණ්ඩුව සමඟ ඡන්දය දුන් අතර ඔහුගේ සමීපතම ආධාරකරුවන් වූ පලාත් පාලන නියෝජිතයින් සිව් දෙනෙකු විනය පරීක්ෂණයක් හෝ තියන්නේ නැතිව නෙරපා හරින්නට ද්‍රවිඩ  සන්ධානය කටයුතු කළේය. එයට යාපනය මහාධිකරණයේ නඩුවක් පැවරුණි. ලිඛිත විරෝධතාවයෙන් පසුව ද්‍රවිඩ  සන්ධානය අවම වශයෙන් අධිකරණයට නීතිඥයෙකු හෝ යොමුු කළේ නැත. එම මන්ත්‍රීවරුන්  සිව් දෙනාගෙන් තිදෙනෙකුගේ මන්ත්‍රී  ධූර දැන් රැකී ඇත. අනෙක් මන්ත්‍රීවරයාගේ  තීන්දුව ඉදිරියේ ප්‍රකාශයට  පත් කිරීමට නියමිතය.
 
සමගි ජනබලවේගයට සහාය දුන් එජාප මන්ත්‍රීවරුන්  ගේ තනතුරු අහිමි වූ නමුත් එකම ආකාරයේ, එකම සිද්ධිවලට ඉනිමග, ගෙය ලකුණින් තරඟ කළ අය ගේ තනතුරු රැකී ඇත! විනය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් තාර්කික ප්‍ර වේශයක් ගත් සියළු දෙනාගේ මන්ත්‍රී ධූර රැකී ඇත!!
 
‘අපේ මන්ත්‍රී  ධූර රැකගත හැකිද?‘‘
 
පිළිතුර ‘ඔව්‘ යන්නය. දැන් නඩුවෙන් පැරදී ඇති 72 ත් විනය පරීක්ෂණයෙන් වරදකරු වී නියමිත කාලය තුල අධිකරණයට නොගිය පිරිසත් හැර අන් සියල්ලගේම මන්ත්‍රී  ධූර රැක ගත හැකිය.
 
සූරියවැව මන්ත්‍රී  සුජිත් මුතුකුමාරණ සිද්ධියේ දී ඔහුගේ තනතුර රැකුණේ නීතිඥ ගුණරත්න වන්නිනායක, අනුරුද්ධ ලියනගේ, කොල්ලුරේ ඇතුළු පිරිස නිසාය. හිටපු ආණ්ඩුකාර මෛත්‍රී  ගුණරත්න කෙහෙල්ඇවරිය පක්ෂයේ මන්ත්‍රීවරුන්  ගණනාවක ගේ තනතුරු අහිමි කළේය. එයට පෙර උසාවියට ගොස් එජාප මන්ත්‍රීවරුන්ගේ  තනතුරු රැක දුන්නේ ය. දේශපාලන පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන්ට  ඔවුන්ගේ තනතුර රැකගන්නට මම පාර කියා දුන්නෙමි. මේ ගැන විශේඥතාව සහිත පරිපාලන සේවයේ නිලධාරීන් රැසකි. 2015 බල පෙරළියට පාර කැපූ 2012 ඔක්තෝබර් 18 හයිඩ් පාර්ක් රැළිය නිසා පක්ෂ තහනමට ලක් වූ අශෝක් අබේසිංහ, පාලිත රංගේබණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම ගේ මන්ත්‍රී ධූර රැකුනේය. අද ඒ පාලිත රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා වී එජාප මන්ත්‍රීවරුන්  ඉවත් කිරීමට අත්සන යොදන්නේය. සිරිකොත තාප්ප පෙරලූ, කුරුදු  පොළු සටන් කළ, කෘත්‍යාධිකාරී  මණ්ඩලය තියන්නට පාරට තාර දැමූ දිනයේ කරු - සජිත් වෙනුවෙන් සටන් කළ කිසිදු මන්ත්‍රීවරුන්  ද තනතුරු රැක ගත්තේය. නීතිඥ ජගත් ලියනාරච්චි ගේ ශාස්ත්‍රීය  පරිචය, ශිරාල් ලක්තිලක ගේ සටන් අත නොහැරීමේ ගුණය නිසාය.
 
2020 මහා මැතිවරණ සමයේ එජාපය හා සජබ අතර මන්ත්‍රීවරු රැක ගැනීමට තිබුණේ දැවැන්ත සටනකි. එජාපය තෝරාගත් පිරිසකට විනය පරීක්ෂණ ලිපි යැවීය. පක්ෂයෙන් ඉවත් කිරීමේ ලිපි ද යැවීය. සජබ මේ මන්ත්‍රීවරුන්ගේ මොරාල් නංවන්නට එම ලිපි මත පදනම්ව නඩු පැවරීය.
 
විනය පරීක්ෂණයකට ලිපියක් ලැබුණු පමණින් තහනම් නියෝගයක් ඉල්ලීම ‘දේශපාලනිකව තාර්කික වූ නමුත්‘ මගේ අදහසට අනුව නම් ‘ජම්ප් ද ගන්‘ පන්නයේ (අනුවණ) ක්‍රියාවකි . වැරදි දේශපාලන තීරණයකි. නීතිය වගේම දේශපාලන සාධක ද එහි දී සැලකිය යුතුව තිබුණි. කිසිදු මන්ත්‍රීවරයෙකු  එජාපයෙන් නෙරපා හැර නව මන්ත්‍රීවරුන්  පත් කර නොතිබූ නිසා සජබ නීතිඥයින් ඉල්ලා සිටි ‘තහනම් නියෝගය‘ ලැබුණේ නැත. සැබවින්ම, එවැනි තහනම් නියෝගයක් ලබාදීමේ පදනමක් ද නොතිබූ අතර, ඉතිහාසයේ කිසිම දවසකට විනය පරීක්ෂණ ලිපියකට දිසා අධිකරණයක් තහනම් නියෝග ලබාදී ද නැත.
 
මහා මැතිවරණය අවසන් විය. සජබ ට සහාය දුන් මන්ත්‍රීවරුන්ගේ  මන්ත්‍රී ධූර රැක ගැනීමට කොළඹ  පලාත් අභියාචන මහාධිකරණය ද, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු පැවරුණි. දැන් එම නඩු දෙකම පරාජයට පත්ව ඇත.
 
දිසා අධිකරණයේ තහනම් නියෝග ලබා ගැනීම නීතිඥයින් සතු කටයුත්තකි. නමුත්, එය දේශපාලන තීරණයක් වූ වේ නඩුවේ ප්‍රමුඛ  නීතිඥයින් දිසා අධිකරණවලට යාමට දැක්වූ නොකැමැත්ත නිසා ය. (සිය රියදුරා වෙනුවෙන් නීතිඥ කබාය දමාගත් ලලිත් - ගාමිණි යුවල මට සිහි වේ) ශ්‍රේෂ්ඨාධිකරණ  නඩුවේ තාක්ෂණික දෝෂ තිබූ බව කියවේ. නඩුවේ ලේඛනගත නීතිඥයා ම දිවුරුම් ප්‍රකාශ  අත්සන් කිරීම වැනි මුලික ව්‍යාකරණ  වැරදීම පුදුම සහගත ය. මේ නඩු කටයුත්ත පිළිබඳ සැබෑ උනන්දුවක්, වෘත්තීය භාවයක් තිබුනාදැයි මට සැකය.
 
ප්‍රකට සරත් අමුණුගම නඩු තීන්දුව (SC SPL.(E) NO. 4/99) මගින් මන්ත්‍රී  ධූරය රැක ගැනීමේ ක්‍රමය  පැහැදිලිව කියා ඇත. සමහර මන්ත්‍රී  ධූර රැකුණු අන්දම ම විහිළු සහගත ය. මාතලේ මන්ත්‍රී  ඇලික් අළුවිහාරේ මිය යන විට එජාප ලැයිස්තුවේ ඊලඟට සිටි නන්දිමිත්‍ර  ඒකනායක යි. නන්දිමිත්‍ර  ඒ වන විට එජාපයෙන් ඉවත්ව, පුටුව ලකුණෙන් මධ්‍යම  පළාත් සභාවට පත්වූ මන්ත්‍රීවරයෙකි . ඇලික් මිය ගිය පසුව, 2009 ජූනි 9 දින නන්දිමිත්‍ර  නම් ශ්‍රීලනිප පලාත් සභා මන්ත්‍රීවරයා  එජාප මන්ත්‍රීවරයෙකු  ලෙස පාර්ලිමේන්තුවට ගියේය. නන්දිමිත්‍ර ට මන්ත්‍රීකම  ලැබීම වලක්වන්නට එජාපයට හැකිවූවේ නැත. මම මේ කථාවෙන් කියන්නේ, තේරී පත්වන මන්ත්‍රීවරයෙකු  ගේ තනතුර අහිමි කිරීම කොතරම් දුෂ්කර කාර්යයක් ද යන්න ය.
 
නමුත් ජූනි 18 (අද) කෑගල්ල නගර සභාවේ ලක්ෂමන් දිසානායක ගේ නඩුව ද කොළඹ දිසා අධිකරණය එජාපයට ගාස්තු ගෙවීමට යටත්ව නිෂ්ප්‍රභ  කරන ලදී. එජාපය මන්ත්‍රීවරුන්  එකිනෙකා නිශ්චිතව ඉවත් කරන විට, සජබ ට ඩයනා ගමගේ ඉවත් කරගන්න නොහැකිවීම තේරුම් ගත යුත්තේ කෙසේ ද?
 
20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේ පක්ෂයෙන් ඉවත් කළ හැකි බව කියමින් මම 2020 නොවැ. 01 දීර්ඝ ශාස්ත්‍රීය  ලිපියක් පළ කළෙමි. එහි අවසන් වැකිය මෙසේය. ‘‘පක්ෂ තීන්දුවලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉවත් කළ නොහැකි ය යන්න මිත්‍යාව කි. නමුත්, එය සිදු කිරීමට නම්, මා පෙර කී ලෙසම ‘‘විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතු‘‘ ව ඇත. එක රොත්තට මන්ත්‍රීවරුන්  72 ක්, සමහරවිට 750 ක් ඉවත් කිරීමට එජාපයට හැකිවන්නේ ‘විශේෂඥතාව හා වෘත්තීය භාවය‘ එජාපයට ඇති නිසා ද?
 
වැරදි උපක්‍රමය !
 
ඕනෑම පක්ෂ තීන්දුවලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉවත් කළ නොහැකි ය යන්න මිත්‍යාවකි. නමුත්, එය සිදු කිරීමට නම්, මා පෙර කී ලෙසම ‘‘විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතු‘‘ ව ඇත.
ඕනෑම විනය පරීක්ෂණයක දී කාලය අමිල සාධකයයි. කල් ගැනීමත්, උපක්‍රමශීලීව  මුහුණදීමත් කාල තරණයේ මාවතයි. විනය ක්‍රියාමාර්ග  අවසානයේ පක්ෂයෙන් නෙරපීම සිදු කරන්නේ නම්, එයට තනි තනිව දිසා අධිකරණයේ නඩු පවරා තහනම් නියෝගයක් ගැනීමට සජබ ආධාරකරුවන් වූ එජාප මන්ත්‍රීවරුන්ට  ඇත. අද පවත්නා කොරෝනා තත්වය අනුවත්, නඩු දින ලබාදීමේ රටාවත් අනුව පලාත් පාලන ආයතනයේ කාලය ලබන වසරේ අවසන් වන තුරු පහසුවෙන්ම නඩුව ඇදගෙන යා හැකිය.
අනාගතයේ දවසක සාගර කාරියවසම් මහ ලේකම්වරයාගේ ලිපියක් ලැබෙන්නේ නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට  ද, එය එලෙසම අදාළ වනු ඇත්තේය.
නමුත්, දැන් ප්‍රශ්නගත  මන්ත්‍රීවරුන්  69 හෝ 72 හි ඉරණම ලියැවී අවසන් ය. ඔවුන්ගෙන් අති බහුතරය මා දන්නා හදුණන රනිල් වික්‍රමසිංහ  නායකත්වයට එරෙහිව වසර 10 කට වැඩි කලක් සජිත් ප්‍රේමදාස  - කරු ජයසූරිය කඳවුරේ සිටි අයයි. සිරිකොත තාප්ප ගැලවූ, පිටකෝට්ටේ පාරට තාර දාන්නට, 2012 සජිත් ගේ මැයි දින පෙළපාලියට පැමිණි අය යි. දිස්ත්‍රික්කයේ  සජබ මතය මෙහෙයවන්නන් ය.
 
විසඳුම කුමක් ද?
 
එජාප - සජබ ප්‍රතිපත්ති  වෙනසක් නැත. ඇත්තේ කල්ලි ගැටුමකි. සජබ හා එජාප නායකයින්, තමන් වෙනුවෙන් කොට ඇද්ද මන්ත්‍රීවරු පිළිබඳ සැබෑ කැක්කුමක් ඇති නම් ඔවුන්ගේ මන්ත්‍රී  ධූර රැක දීම සඳහා නායකත්ව මට්ටමේ සාකච්ඡාවකින් ප්‍රශ්නය  විසඳාගත යුතුව ඇත. ඔය කොයි කණ්ඩායමටත් ඊලඟ ජනාධිපතිවරණයක දී හෝ පාර්ලිමේන්තු මැතිවරණයක දී බලය ලබා ගැනීමට අවශ්‍ය  බල ඇණිය දැන් මේ ගැටුමට මැදිවී සිටින 750 කට ආසන්න පිරිස ය. එකම පක්ෂයක් වෙනුවෙන්, එකම පාට තොප්පි දමාගෙන, එක කෑම පැකට් එක බෙදාගෙන කෑ පිරිසකගේ මන්ත්‍රී  ධූර අහිමි කිරීම/අහිමිවන තැනට කටයුතු යෙදීම කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත වන්නේ නැත. අවම වශයෙන් මේ පක්ෂ දෙක මේ මන්ත්‍රී  ධූර අවුල ලිහාගන්නට හෝ සාකච්ඡා මේසයකට පැමිණිය යුතුව ඇත.
රටකට විපක්ෂය නැතිවීමේ ඛෙදවාචකය 1977 සිට 1992 දක්වා අප තේරුම් ගත යුත්තේ ය. උතුර ගින්න ඇවිලීයන්නට අමිර්තලිංගම් ලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම හේතු විය. 2010 – 2014 රටේ විපක්ෂය වූයේ එජාපය නොව සිවිල් සංවිධාන යි. විපක්ෂය දුර්වලවීම එජාප - සජබ ගැටුමේ අවසන් ප්‍රතිඑලයි. එයින් කිසිවෙකුට සිදුවන වාසියක් නම් නැත.
 
සජබ ට ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධූරයෙන් ඉවත් කළ නොහැකි වූයේ ඇයි?
 
එජාපය ඉවත් කරන්නට යන මන්ත්‍රීවරුන්  750 හා සජබ මන්ත්‍රීනි  ඩයනා ගමගේ ට ඇත්තේ එකම චෝදනාව කි. ඒ පක්ෂයේ විනය කඩ කිරීම ය. නමුත්, ඩයනා ගමගේ ඉවත් කිරීම තබා, එහි මුලික අදියරට හෝ තවමත් සජබ පැමිණ නැත. (පුරවැසි භාවය පිළිබඳ නඩුවකින් ඇය ඉවත් කරන්නේ නම් එය වෙනම කාරණයකි) මෙය අහම්බයක් ද? කිසි ලෙසකින් හෝ එය අහම්බයක් නොවේ.
 
දේශපාලන පක්ෂයක් අවිධිමත් ආකාරයෙන් මහජන නියෝජිතයෙකු නෙරපා හරින්නේද? මන්ත්‍රී  ධූරය රැක ගැනීමට ඕනෑ තරම් මාවත් තිබේ. විනය චෝදනා එල්ල වූ මහනුවර සරත් අමුණුගම, කෙහෙළිය, බදුල්ලේ ලක්ෂමන් සෙනෙවිරත්න, පොළොන්නරුව අර්ල් ගුණසකර, ගාල්ල මනූෂ නානායක්කාර, ගම්පහ උපෙක්ෂා ස්වර්ණමාලී, කුරුණෑගල නිමල් විජේසිංහ, මහනුවර අබ්දුල් කාදර්, හම්බන්තොට නිහාල් ගලප්පත්ති, නියතපාල, ප්‍රදීප්  හපන්ගම, තිලක් කරුණාරත්න, හේමකුමාර, අනුර බන්ඩාරනායක මේ කිසිවෙකුට මන්ත්‍රී  ධූර අහිමි වූවේ නැත. මන්ත්‍රී  ධූරය අහිමි කර ගන්නේ නම්, එහි වරද ඔබගේම ය. මන්ත්‍රීවරුනි, අතහරින්න එපා. නිවැරදි මාවතේ උත්සහ කර බලන්න! සටන් කරන මිනිසුන්ට දිනන්නට පුළුවන් ය.
 
රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණ හා මධ්‍යම  පළාත් හිටපු ආණ්ඩුකාර

චීන කොමියුනිස්ට් පක්ෂයට සීයයි : රනිල් ලෝක සාමය සිහිකරයි !

ලෝක බලවතකු වෙමින් චීන කොමියුනිස්ට් පක්ෂයට, චීනයට නායකත්වය දෙමින් ලෝක සාමය තහවුරු කිරීමට විශාල වගකීමක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
 
ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් පසුගියදා  පැවැති සමුළුව අමතමින්ය.
 
එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.
 
අපි සියළු දෙනාම අතීතය ගැන අද සිහිපත් කරනවා. ශ්‍රී ලංකාවත්, චීනයත් අධිරාජ්‍යවාදීන්ට එරෙහි නිදහස් සටන ආරම්භ කළේ 1919 වසරේදීයි. එදා ලංකාවේ අපි "ලංකා ජාතික කොංග්‍රසය" ආරම්භ කළා. චීනය "මැයි 04" නම් ව්‍යාපාරය ආරම්භ කළා. එම ව්‍යාපාරය හරහා තමයි 1921 දී චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවුණේ.
චීන කොමියුනිස්ට් පක්ෂය තම 100 වන සංවත්සරය සමරන මේ මොහොතේ මාගේත්, එක්සත් ජාතික පක්ෂයේත් සුබ පැතුම් ඉදිරිපත් කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. 1949 මාවෝ සේතුං නායකතුමා චීන ජනරජය ඇති කරලා ඉන් අවුරුදු 100 ට පස්සේ චීනයට ස්ථාවරභාවයක්, ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න කටයුතු කර තිබෙනවා. චීනයේ දුප්පත්කම නැති කිරීමට චීන ජනරජය කටයුතු කර තිබීම අගය කළ යුතුයි.
 
චීනය ලෝක බලවතෙකු කළ  ඩෙන්ෂියාඕ පිං !
 
එදා වෙනස් වුන ලෝකයෙන් චීනය බලවතකු කරන්න චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නායකත්වය දුන් ප්‍රබලයෙකු වන්නේ ඩෙන්ෂියාඕ පිං ජනාධිපතිතුමායි. ඒ කාලයේ දී චීන අත්දැකීම් මත චීනයටම අනන්‍ය සමාජවාදයක් ඇති කළා. එදා ආර්ථික හා සමාජමය වශයෙන් ලෝක විපර්යාස සිදු වන කාලයේදී තමයි ලංකාවේත් විවෘත ආර්ථිකය ඇති කොට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බිහි කළේ.
 
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් රට ඉදිරියට ගෙනයාම වෙනුවෙන් නවීකරණ ප්‍රතිපත්ති 04 ක් නිර්මාණය කළා. ආර්ථිකය නවීකරණය කිරීම, කෘෂිකර්මය නවීකරණය කිරීම, විද්‍යාව හා තාක්ෂණය නවීකරණය කිරීම, ජාතික ආරක්ෂාව නවීකරණය කිරීම ඒ ප්‍රධාන කරුණු 04 යි. ආර්ථිකය විවෘත කිරීමෙන් චීනයට සංවර්ධනයේ දොරටු විශාල වශයෙන් විවර වුනා.
 
චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ඉලක්ක 3 ක් !
 
චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන ඉලක්ක 03 ක් පදනම් කරගෙන තමයි මේ මූලික ඉලක්කයට පැමිණියේ. 1983 සිට 1990 දක්වා දළ ජාතික නිෂ්පාදනය දෙගුණයක් කිරීම, 1980 පැවැති දළ ජාතික නිෂ්පාදනය 2000 වර්ෂය වන විට හතර ගුණයක් කිරීම, 2020 වන විට එරට ජනතාවට ගෝලීය මට්ටමෙන් මධ්‍යම පරිමාණයේ ඒකපුද්ගල ආදායමක හිමිකාරීත්වයක් ලබාදීම, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක 03 වුනා.
 
එම ගමන ජියෑන් ජෙමිං ජනාධිපතිතුමාත්, හු ජිංටෝ ජනාධිපතිතුමාත් ඉදිරියට ගෙන ගියා. අද ෂී ජිං පිං ජනාධිපතිතුමා යටතේ චීන ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ඉහළින් තහවුරු කිරීමට විශාල සංවර්ධනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සමගම හරිත ආර්ථිකයක් ලබා දෙන්න ක්‍රියා කරලා තියෙනවා. විශේෂයෙන්ම නවීන සේද මාවත (Belt and Road Initiative) මාර්ගය මගින්  ආසියාව, අප්‍රිකාව හා යුරෝපය එකතු කරන නව ආර්ථික රාමුවක් ඇති කරනවා. පළමු වරට තමයි ලෝකයේ මෙවැනි ආර්ථික රාමුවක් යළිත් ආසියාවෙන් ඇති වෙන්නේ.
 
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් කාර්මික නොවුනු කෘෂිකාර්මික රටක් කාර්මිකකරණය වූ රටක් බවට පත් කරන්නත්, තාක්ෂණික රටක් බවට පත් කරමින් සයිබර් යුගයකට ගෙන යෑමත් දක්වා වූ ඒ අත්දැකීම් දියුණුව සිතන අපි හැමෝටම වැදගත්. චීන කොමියුනිස්ට් පක්ෂය යථාර්තය හඳුනාගෙන, ලෝක දියුණුව හඳුනාගෙන තමයි මේ සියලු කටයුතු ආරම්භ කළේ. ලෝකයෙන් හෝ ලෝක ආර්ථිකයෙන් ඔවුන් ඈත් වුණේ නැහැ. ඒ සියල්ලටම ඇතුළු වී අවසානයේ ගෝලීයකරණය තමන්ගේ ප්‍රයෝජනයට ගත්තා. 
චීන කොමියුනිස්ට් පක්ෂය චීනයට දුන්න නායකත්වය !
 
චීන කොමියුනිස්ට් පක්ෂය චීනයට දුන්න ඒ නායකත්වය අපි අගය කළ යුතුයි. මොකද අපේ රටවලට එය ඉතාම වැදගත්. මෙයින් ඉගෙනගත හැකි පාඩම් ගණනාවක් අප වැනි රටවලට තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය අද ලෝක ආර්ථිකයේ බලවත්ම රාජ්‍ය බවට පත්ව තිබෙනවා. චීනයේ දියුණුවෙන් ආසියාව ඉදිරියට පැමිණ සිටිනවා. 
අනාගත සයිබර් යුගයට යන දියුණුව ශ්‍රී ලංකාවට අදාළ වන්නේ කෙසේද යන්නත් එයින් දියුණුවට යන්නේ කෙසේද යන්නත් අපම වටහා ගත යුතු කරුණක්. ලෝක බලවතකු වෙමින් චීන කොමියුනිස්ට් පක්ෂයට, චීනයට නායකත්වය දෙමින් ලෝක සාමය තහවුරු කිරීමට විශාල වගකීමක් තිබෙන බව මේ මොහොතේ සිහිපත් කරන්න කැමැතියි.
 
චීනයටත්, චීන කොමියුනිස්ට් පක්ෂයටත් යළිත් සුබ පැතුම් එකතු කරමින්, මට මේ අවස්ථාවට ඇරයුම් කිරීම ගැන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ද මාගේ ස්තූතිය නැවත එක් කරනවා.

විමල්ගේ අමාත්‍යාංශයේ සිටි බැසිල්වාදි ලේකම්ගේ ඉල්ලා අස්වීමත් : ප්ලෑන් එකේ කොටසක්ද ?

ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන සුළියක ලකුණු පෙන්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට ඉල්ලා අස්වී විශ්‍රාම ගෙන  ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රාජපක්ෂ පවුලේ විශේෂයෙන් බැසිල් රාජපක්ෂ ගේ අතිශය සමීපතමයකු ලෙස ඔහුව හැදින්වෙන අතර කුප්‍රකට සුදුරෙදි නඩුවේද චෝදනා ලැබූවෙකි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්ව අතර ගැටුමේ කොටසක් ලෙස මේ ඉල්ලා අස්වීම සිදුව ඇති බවයි.ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර  වෙත යොමු කර ඇති බවත් වාර්තා වෙයි. 

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ  සමඟ ඇතිවන රාජකාරිමය මත ගැටුම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත් තමන්ට නිල වශයෙන් විශ්‍රාම යාමට තවත් වසර හතරක කාලයක් ඇතැයිද අනූෂ පැල්පිට පැවසූ බවත් ආණ්ඩුව හිතවාදි මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර වරාය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ විශ්‍රාමික  ජනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර ඇත.

සංචරණ සීමා ගැන අලුත්ම නිවේදනය !

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා (21) උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවත් නැවතත් සංචරණ සීමා පනවනු ලබන්නේ 23වන දා රාත්‍රී 10ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

එසේ පැනවෙන සංචරණ 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.

හමුදාපති ගේ මේ ප්‍රකාශය තහවුරු කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයත් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

IMG 20210618 WA0009

කබ්‍රාල්ගේ තවත් හතරවරං බොරුවක් පත්තුවෙයි !

කොවිඩ් වසංගතය වෙනුවෙන් මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රය හරහා සහ රජයේ මැදිහත් වීමෙන් රුපියල් බිලියන 4,000ක සහන ලබා දී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් කර තිබෙන ප‍්‍රකාශය මුළුමනින් ම ජනතාව නොමඟ යවන සාවද්‍ය කරුණු දැක්වීමක් බව හෙළි වේ.

ඔහු සඳහන් කර තිබෙන්නේ, රජය මැදිහත් වීමෙන් මහ බැංකුවේ නියාමනය යටතේ මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රයෙන් සහ රජයෙන් ලබා දී ඇති මුළු සහන ප‍්‍රමාණය රුපියල් බිලියන 4,000ක් වන බව ය. එය රුපියල් කෝටි හාර ලක්‍ෂය (රු. කෝටි 4,00,000)කි. මෙම වසරේ රජයේ මුළු වියදම බිලියන 4,000කට අඩුවෙන් ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රකාශය එක් පැත්තකින් අසත්‍යය වී තිබේ.තව පැත්තකින් මෙරට මුළු බැංකු පද්ධතිය විසින් ම 2020දී ලබා දී තිබෙන ණය සහ අත්තිකාරම්වල මුළු එකතුව රුපියල් බිලියන 9,091.7කි. එය 2019දී බිලියන 8,122.4කි.

මේ අනුව කොවිඩ් වසංගතයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බැංකු ගනුදෙනුකරුවන්ට සහ අනෙකුත් පොදු ජනතාවට රජය මැදිහත් වීමෙන් රුපියල් කෝටි 400,000ක සහනාධාර ලබා දී ඇති බව ප‍්‍රකාශ කිරීම ද බොරුවක් වී තිබේ.මුදල් රාජ්‍ය ඇමැතිවරයාගේ ජනතාව නොමඟ යවන මෙම ප‍්‍රකාශයට රජයේ ‘දිනමිණ’ පුවත්පත විසින් අද විශාල ප‍්‍රසිද්ධියක් ලබා දී තිබේ.

මේ වන විට ආණ්ඩුවේ ඇමැතිවරු ජනතාව නොමඟ යවන මෙවැනි විවිධ ප‍්‍රකාශ නාට්‍යානුරූපිව විශාල වශයෙන් සිදු කරමින් සිටිති.

Lanka truth

දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න - අගමැති

පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳිමට ඉඩ ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

”පෙර පාසල කියන්නේ තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත්කරන්න එපා. දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න. එයාලගෙ ලෝකේ ජීවත්වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට ඇහුම්කම් දෙන්න. ඇතැම්විට මේ දරුවන් අතරෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්න පුළුවන්. ඔවුන්වත් රැක බලා ගන්න. ඒ දරුවන්ට ගුණ යහපත්කම දයාව කරුණාව ගැන කියලා දෙන තෝතැනන්නක් බවට පෙර පාසල පත්කරගන්න”

පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ ‘ගුරු අභිමානී’ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

‘ගුරු අභිමානී’ ජාතික උත්සවය ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත  යන අය මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබේ.

මේ අතර ‘ගුරු අභිමානී’ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ=ගේ සුරතින් අදාළ දීමනා ප්‍රදානය කෙරිණ.

සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ස්ථාපනය කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද මෙම උත්සවයෙදී සංකේතාත්මකව සිදු කෙරී ඇත.

අග්‍රාමාත්‍යවරයා උත්සවය අමතමින් පවසා ඇත්තේ, පෙර පාසල් ගුරුවරුන් 25000 කට වැඩි පිරිසක් දීමනාව ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් පෙර පාසල් ගුරුවරුන්ට ලබා දෙන මෙම දීමනාව විධිමත් පුහුණුවකින් පසු ස්ථිර මාසික වැටුපක පිහිටුවීම සඳහා ගත් ආරම්භයක් පමණක් බවත් ය.

පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් ගුරු පුහුණුවක් ලබාදීම අතිශය වැදගත් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, විශ්ව විද්‍යාල මට්ටමෙන් උපාධිය දක්වා දැනුම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.

මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උර දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම ජාතික උත්සවයට වැඩම කර ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස්, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=8226#sigProId92e39280c9

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඩ් පොසිටිව්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඩ් - 19’  වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වේ.

මීට ආසන්න දින කිහිපයේදී සත්වෝද්‍යානයේ විසූ සිබ්‍රාවෙකු හා හිපපොටේමස් සත්වයෙකුද හැටියේ මිය ගොස් ඇති බවත් එම සත්වයින්ගේ මරණයට හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.

කොවිඩ් ආසාදනය වී ඇතැයි පැවසෙන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන ආ තෝර් (Thor) නමැති සිංහයාට බව පැවසේ. සත්වෝද්‍යානයේ සිංහ දූපතේ 2012 වසරේදීම මෙරටට රැගෙන ආ ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු වෙසෙන බවද පැවසේ.

දින කිහිපයක් තිස්සේ කැස්සකින් හා උගුරේ වේදනාවකින් මෙම සිංහයා පීඩා විඳිම පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව සිංහයාගේ සෙම පටල පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමු කර තිබේ. එහිදී සිදු කරනු ලැබූ පරීක්ෂාවේදී සිංහයාට කොවිඩ් බවට තහවුරු ඇත.

මෙම සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් (Keepers) දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් මේ වනවිට නිරෝධායනය කර ඇති බව පැවසේ.

සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ‍්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් ඇති අතර, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැත.

වදය විනාශවී යනතෙක් ගල් ගහනවා : බැසිල් පාර්ශ්වය දන්වයි !

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව විෂය භාර අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල ඉල්ලා අස්වෙන ලෙස ආණ්ඩුවේ බැසිල් පාර්ශ්වය ගෙනගිය විරෝධය තවත් ඉදිරියට ගෙනයමින් බැසිල් පාර්ශ්වයේ තවත් ප්‍රබලයකු විසින් ගම්මන්පිල අමාත්‍යවරයා වෙත දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇත.
 
බැසිල් පිළේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජේෂ්ඨ කතිකාචාර්ය ජගත් වැල්ලවත්ත විසින් අදාළ දේශපාලන ප්‍රහාරය එල්ල කර ඇති අතර ඒ සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමිනි.
 
ඊට අනූව හැඟීයන්නේ ජනාධිපති සහ අගමැති මැදිහත්ව බැසිල් පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්වය අතර ඉන්ධන මිල පදනම් කරගෙන ප්‍රසිද්ධ කරළියට පැමිණි ගැටුම අවසන් නොමැති බවයි.
 
අදාළ සටහන ජගත් වැල්ලවත්ත අතර අවසන් කර ඇත්තේ "මෙවර නම් මේ දෙඹර කඩන්නා වදය විනාශ වී යන තෙක්ම ගල් ගසනු ඇත." යනුවෙනි.
 
අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
Screenshot 20210617 211723
 
බොලේ ගම්මං  පිලේ
 
තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පක්ෂයේ මතය ජනමාධ්‍යයට නිකුත් කලේ ඉකුත් සෙනසුරාදාය.  එම ලිපිය නිකුත් කරන විටත් එකී තීන්දුව ගනු ලැබුවේ කවර කමිටුවක් විසින්ද ? එම යෝජනාව ගෙන ආවේ කවුරුන්ද? එහි අපේක්ෂාව කුමක්ද යනාදී සියල්ල සාගර කාරියවසම් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොදැන සිටියා නොවේ. 
සියල්ල හොඳින්ම දැන සිටියේය. අනෙකුත් පාර්ශව “මේ ගැහුවේ මට නොවේ .ජනාධිපතිතුමාටය, අගමැතිතුමාටය “ කියන බවද නොදැන සිටියාද නොවේ . 
 
සාගරගේ ලිපියේ හරය කුමකිද?. මෙවර අතිගරු ජනාධිපතිවරයා විසින් සෑම ඇමතිවරයෙකුටම අමාත්‍යාංශ බාර දෙනවිට ඔහු විසින් ඉටුකළ යුතු සෞභාග්‍යයේ දැක්මේ ඇතුලත් කාර්යභාරයද ලිඛිතව දැනුම් දුන්නේය. එකී ලිපියෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඛණිජ තෙල් ඇමතිවරයා මේ වන විට ඉන් ඉටුකර ඇති කොටස කුමක්ද? යන්නයි. අවසන් අදියරේ පැවතිය යුතු කාර්යයන් ගෙන් සමහරක් තාමත් පවතින්නේ ආරම්භක අවධියේය . නැතිනම් ආරමිභ කිරීමට සිතාවත් නැත. අනෙක් අමාක්‍යාංශ ද මීට වඩා වෙනස් වන්නේ ඊට වඩා මදක් අඩුවෙන් වුවද මෙම අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය පොදුජනයාට මෙන්ම රටේ ආර්ථිකයේ සියලු අංශ වෙත ඉතා තදින් දැනෙන එකකි. පොදු ජනතාව කොරෝනා නිසා මරබියෙන් පසුවන, ආර්ථිකමය වශයෙන් කබලෙන් ලිපට වැටී සිටින මොහොතක පොදුජනතාව පත්වන අපහසුතාව ගැන ජාතික සමගියට මුල්තැන දෙන ප්‍රතිපත්තියේ සිටින එක්සත් ජාතික පක්ෂයටවත් එහි අංකූරය වන සමගි ජන බලවේගයටවත් කැක්කුමක් නැතිවිය හැකිය. නිදහස ගැන සිතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් ජාතික නිදහස ගැන සිතන ජාතික නිදහස් පෙරමුණටවත් හෙළයේ පිවිතුර නිදහස ගැන සිතන පිවිතුරු හෙළ උරුමයටවත් කැක්කුමක් නැතිවිය හැකිය. එහෙත් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පොදුජනතාව කේන්ද්‍රීය කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එසේ බලා ඉන්නට නොහැක. ආණ්ඩුව කාගේ වුනත් එහි නායකකාරකාදීන් කවුරුන් වුනත් පක්ෂය පෙනී සිටින්නේ පොදුජනතාව වෙනුවෙනි. තෙල් මිල ප්‍රශ්නයේදී පමණක් නොව ඉදිරියටත් එය එසේමය. 
 
සාගර කාරියවසම් පක්ෂය වෙනුවෙන් අසන ප්‍රශ්නයට පිළිතුරු නොදී ගම්මංපිල කරන්නේ බැසිල් රාජපක්ෂ දෙසට ඇගිල්ල දිගුකරගෙන ගෝඨාභය රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ දෙපරන්ද අස්සේ හැංගෙන්න හදන එකය. “මේ හාදයා කොතරම් අමන මරි මෝඩයෙක්දැයි “ රාජපක්ෂවරු ගැන දන්නා පොඩි ළමයෙක් වුවද නොසිතන්නේ නම් පුදුමයකි. ඉහත රාජපක්ෂ ත්‍රිත්වය තුළ ඇති සහෝදර බැඳීම නොදන්නා කෙනක් සිටිත් නම් 1971 මහින්ද රාජපක්ෂ මුහුණ දුන් පළමු මැතිවරණයේ සිට 2020 දී මහින්ද රාජපක්ෂ තෙවැනි වරටත් අගමැතිවරයා බවට පත්වන මැතිවරණ ඉතිහාසය දෙස සියුම්ව බැලිය යුතුය. “රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් ඔවුන් භේදබින්න කලයුතුය “ යැයි සිතූ පලමු මිනිසා විමල්වත් උදයවත් නොවේ .  එසේ සිතූ බොහෝ දෙනා එවැන්නක් සිතූ සැනින්ම දේශපාලනයෙන් අතුගෑවී ගියේය. 
 
විමල් - උදය එකතුව රාජක්ෂවරු දේශපාලනයෙන් අතුගාදමා තමන් රජවිය යුතුයැයි සිතන්නට පටන් ගත්තේ මෛත්‍රී ජනාධිපති වූ දා සිටමය. ඔවුන් මහින්දට යෝජනා කලේ ගෞරවනීයව විශ්‍රාම ගන්නා ලෙසය. එවිට මෛත්‍රී අති විශේෂ ගරු දේශපාලන තනතුරක් නිර්මාණය කරදීමට පොරොන්දු වන බවද කීවේය. මහින්ද සුළඟ හැදුවේ ද මෛත්‍රීගේ ඉල්ලීමටය . ඒ දේශපාලනයෙන් විශ්‍රාම ගත් මහින්ද වේදිකාවේ තබාගෙන ඒ ජනප්‍රියතාවෙන් තමන්ට රජ වෙන්නටය. එහෙත් නොසිතූ ලෙස අවශ්‍යම මොහොතේ රාජපක්ෂ ත්‍රිත්වය ක්‍රියාත්මක විය. ඔවුන් තැනූ වේදිකාවේ රාජපක්ෂවරු පිලුං ගහන්නට පටන් ගත්තේය. ඊට නායකත්වය දුනේනේ බැසිල්ය.  බැසිල් රාජපක්ෂ ඒ ගමන නතර කලේ මහින්ද අයියාට අහිමි කරන්නට ගිය කීර්තියේ ඔටුන්න නැවතත් ඔහු අතට දෙන අතරම සිය අනෙක් සොයුරු රාජපක්ෂ පවුලේ දෙවැනි ජනාධිපතිවරයා ද කරමිනි. 
 
සාගරගේ ලියුම උස්සාගෙන එහෙව් සහෝදරයින් දෙදෙනෙකු ළඟට ගොස් “බැසිල් මේ ගහන්නෙ මට නෙවෙයි. ඔය ගොල්ලන්ට”යැයි උදය කියන තරමට අඥාන වූ විට සාගර කාරියවසම්ගේ කට කොනට නැගෙන සිනහව මට මැවී පෙනේ. 
 
උදය ඔහොම නෙවෙයි ඔළුව බිම තියාගෙන ඉල්ලා අස්වෙයන් යැයි කීවත් එසේ නොකරන බව සාගර නොදනීද? අතිගරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණය කලහොත් උදයගේ ඇමතිකම බිමය. එවිට බැසිල් ගාවට දිවගොස් “මහින්දයි  ගෝඨයි මාව එලවනෝ” කියන්නත් මේ නොදරුවාට බැරිකමක් නැත.
 
ආදියේ පටන් දෙඹර කඩන්නට ඇති හොඳම ක්‍රමය දෙඹරෙට ගලක් ගහන එකය. එවිට කෝපයෙන් ඉහවහා යන දෙඹරුන් වදෙන් එළියට පැන ගල ගැසුවේ කවුදැයි නොදන්නා හෙයින් වටේ පිටේ සිටින හැම එකාටම ගැනගෙන ඇනගෙන යති. ඒ බව දන්නා පළපුරුදු දෙඹර කඩන්නෝ වදයට යටින් ගිනි ගොඩක් ගසති.  සාගර ගිනිගොඩක් වෙනුවට බට කැලේටම ගිනිතබා තිබේ . ඒ සමහර කපටි දෙඹරුන් ගිහිගොඩ දැක ඉන් ඈතට යා හැකි බැවිනි . එවැනි 8 දෙනෙක් දැනටමත් එළියට බැස තිබේ . ඊටත් වඩා රජ කපටින් ගිනි නිවී යන තුරු සිට නැවත වදය බදින අරමුණින් තවමත් වදය තුළම සැඟවී සිටිය හැකිය. එහෙත් මෙවර නම් මේ දෙඹර කඩන්නා වදය විනාශ වී යන තෙක්ම ගල් ගසනු ඇත.
 
 

online ඩිලිවරි රිවර්ස් : සුරාව නිසා ආයතන පැටලේ !

චීන වෛරසය හමුවේ රටේ සංකීර්ණ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම පමණක් නොව සරල භාණ්ඩ බෙදාහැරීමක් දක්වා කිසිවක් සම්බන්ධව වැඩපිළිවෙළක් නොමැති බව පෙන්නුම් කරයි.

එක් පසෙකින් ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකිව සිටින ආණ්ඩුව රාජ්‍ය ආදායම් ද  අහිමිව වඩවඩාත් දුෂ්කර තත්ත්වයක් වෙත ගමන් කරමින් තිබේ. විශේෂයෙන් ආනයන පාලනය හේතුවෙන් රේගු බදු අහිමිව ඇති ආණ්ඩුව දැන් රට වසා සුරාබදු ද  අහිමි කරගෙන සිටියි.

සුරාබදු ආදායම් යළිත් සක්‍රීය කිරීමට online පහසුකම යටතේ මත්පැන් බෙදීම සඳහා අවස්ථාව දීමට තීන්දු කෙරුණත් මේ වන විට නිසි ප්‍රතිපත්තියක් නොමැතිව යළිත් එය අත්හැර ඇත.

ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැති බව තහවුරු කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දුම්කොළ සහ මධ්‍යසාර ජාතික අධිකාරිය ලිපි ලියන්න ගෙන ඇත.

පහත දැක්වෙන්නේ ඒ ලිපියයි.

IMG 20210617 WA0023

වියත් මගේ ගොඩහේවාට මාතර ගුටියක් !

හිටපු දකුණු පලාත්සාභාවෙ අමාත්‍යවරයකු මෙන්ම මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වූ මනෝජ් සිරිසේන විසින් වියත්මගේ නාලක ගොඩහේවාට කණ කණ කිස්කන අතුල් පහරක් තම ෆේස්බුක් ගිණුම හරහා එල්ල කර ඇත.
 
එම ප්‍රකාශයේ සුවිශේෂී බව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයෙක් ලෙසත් මාතර ජනතාව වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව, වත්මන් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු විවේචනය කරමින් ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් යෝජනා ඉදිරිපත් කරමින් මේ මොහොතේ මාතර වැසියන් වෙනුවෙන් බලය නොමැති උවද ඔහගේ ක්‍රියා කළාපයයි.
 
වියත් මගේ නායකයෙක්ලු නේද….?
 
වියතුන්ට අලුත් අර්ඨකතනයන් හදන්න එපා, ඔබ වියත් මගේ ආරම්භක නායකයෙක්ලු නේද?,ගම්පහින් පළමුවැනියාලු නේද?,යන්න වාහන නෑ කියනවා, කැස්බෑ මරණ සාධාරණීකරනය කරනවා, මොනවද මේ ?
 
අමු අමුවේ සත්‍ය පෙනි පෙනී තිබියදීත් නාලක ගොඩහේවා විසින් දිගින් දිගටම ජනතාවට නොමඟ යැවීමට සිදුකරන ප්‍රකාශ මෙම ප්‍රකාශයත් සමගම මනාව පැහැදිය….සැබවින්ම සැබෑ වියතුන් බුද්ධිමතුන් සීග්‍රයෙන් වියත්මග හැර යන්නේද ගොඩගේවා වැනි පුස් දූෂිත චරිත නිසාවෙනි.
 
දේශපාලනයේ මනා කළ පුරුද්දක් හා පළපුරුද්දක් ඇති පොලොවේ පයගසා දේශපාලනයේ නියැලුන විටක  බෝම්බ ප්‍රහාරයක ගොදුරක්ද වූ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මනෝජ් සිරිසේනගේ වර්තමාන දේශපාලන භූමිකාව කළකිරුන ජනතාවට යම් අස්වැසිල්ලක් මෙන්ම, මෙවන් ජනතාව රවටන නිර්ලජ්ජිතව බොරු කියන ගොඩහේවලාගේ පැටිකිරිය සමාජගත කොට නිරුවත් කිරීමට අගනා සහයක් බව සිහිපත් කළ යුතුව ඇත.
 
IMG 20210617 WA0038
 
sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.
මිලානෝ,
ඉතාලිය.

සැපවාහන ගෙන්වීමට එරෙහිව ජවිපෙන් පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ  විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) පෙරවරුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර තිබේ.

නීතීඥ සුනිල් වටගල මාර්ගයෙන් ගොනු කර ඇති සිය පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවත් වහාම එම තීන්දුව අත්හිටුවීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙසය.

ජාතික රෝහල් සේවකයෝ උද්ඝෝෂණයක

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිටදී අද (17) පවත්වා තිබේ.

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණය අරඹා ඇත.

දින 180 සම්පුරණ කල සියලු අනියම් , ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙස හා සේවක හිගය වහා පියවීම ,අතිකාල රේට් ක්‍රමයට ලබා දෙන ලෙස සහ අමතර පැය 08 ට වැටුපෙන් 1/30 ක් දීමනාවක් ලබා දෙන ලෙසත් රජයට බලකරමින් එම උද්ඝෝෂණය පවත්වා තිබේ.

මේ සඳහා ජාතික රෝහලේ සුළු සේවකයෝ එක්ව සිට ඇත.

නාමල්වත් පටලවාගෙන : සීනි - පොල්තෙල් ජාවාරමුන් තවත් බදු වංචාවකට සැරසෙයි !

මෙරට රාජ්‍ය ආදායම් මුළුමනින්ම බිඳ දමමින් වත්මන් ආණ්ඩුවේ සහයෙන් කුප්‍රකට මහා සීනි බදු වංචාව සහ පොල්තෙල් බදු වංචාව දියත් කළ ආණ්ඩුවේ ගජමිතුරු ජාවාරම්කරුවන්  තවත් බදු වංචාවක් සඳහා සූදානම් වන බව ආණ්ඩු හිතවාදි වෙබ් අඩවියක් අනාවරණය කරයි.

අදාළ බදු වංචාව සිදුකිරීම සඳහා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවා දායක කරගෙන ඇති බවත් ඊට අදාළ තීන්දු තීරණ අද (17) ගනු ලැබෙනු ඇති බවත් එම පුවතේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවියේ දැක්වෙන එම පුවතයි.පොල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරියෙකුට අනුව එම ආයාතනයේම තවත් ප්‍රභල නිලධාරියෙකු විසින් අගමැතිතුමාට සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාට බලපෑම් කරමින් තෙල් ජාවාරම් කරුවන්ට නැවත වටයකින් බදු සහනයක් ලබා ගැනීමට හෙවත් බදු වංචාවකට සැරසෙන බව වාර්තාවේ.

මීට පෙර සීනි ආනයනයේදී සිදු කළ රුපියල් මිලියන 15,000ක බදු වංචාව කරණු ලැබූ ව්‍යාපාරිකයාම මෙම තෙල් ජාවාරමේ ප්‍රභලයෙකු බව කියවේ.

මෙම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාගේ මැදිහත් වීමෙන් මීට පෙර කළ සීනි වංචාවට අමතරව පොල්තෙල්වලට පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 170කින් අඩු කිරීම මගින් තවත් රුපියල් මිලියන 20,000ක බදු ආදායම් රටට අහිමි කළ බව දැන් ඔප්පු වී ඇත.ඔවුන් දැන් උත්සහා කරන්නේ පොල් තෙල් බද්ද තව දුරටත් කිලෝ ග්‍රෑ,ම් එකකට රුපියල් 100කින් අඩු කර ගැනීමට බව වාර්තාවේ.

එම රැස්වීම අද(17 ) දින පෙරවරු 11:00 ට පැවැත්විමට නියමිත අතර බවද වාර්තා වේ.

එමගින් රටට අහිමි වීමට නියමිත හෙවත් වංචා කිරීමට නියමිත බදු ප්‍රමාණය රුපියල් මිලියන 10,000කි.

Screenshot 20210617 121628

යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවෙන් ආණ්ඩුව සැලෙන්ඩර් : ත්‍රස්ත පනත සංශෝධනයට සූදානම්ලු !

GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 

"යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී.

මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන්, රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර, වෙනත් අධිකරණ බලයන් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත." ශ්‍රී ලංකා රජය සිය නිවේදනය නිකුත් කර ඇත්තේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එසේම මාස 10ක් පමණ නඩුවක් පවා නොමැතිව රඳවාගෙන සිටි මෙරට සිටි දක්ෂතම අපරාධ පරීක්ෂණ නිලධාරියා ලෙස ප්‍රකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ඇප ලැබීමටත් යුරෝපා සංගමයේ යෝජනාව බලපෑ බව විද්වත් මතය වී තිබේ.

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න - අගමැති

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  අද (16) අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම සම්බන්ධව මෙහි දී මහබැංකු නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කළහ.

මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මුල්‍ය ණය පහසුකම් ලබා ගත් ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විශේෂ අවධානය යොමු විය.

වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන්ම ණය මුදල ද ගෙවීයන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමවන අවස්ථා කොතෙකුත් ඇති නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි එස්. සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී.රත්නායක, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් වන කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, සහකාර මහ බැංකු අධිපතිවරුන් වන ජේ.පී.ආර්.කරුණාරත්න, ඒ.ඒ.එම්.තාසීම්, ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්ෂ සී.අමරසේකර , බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ සමන් නානායක්කාර මහත්වරු එක්ව සිටියහ.

චන්දිමාල් සහ පියුමිගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වීමෙන් අනතුරව නිරෝධායනයට යොමු කිරීමේදී සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හසංමාලි ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබෙන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කර ඇති අතර කළ වරද සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම අසාධාරණ බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන බවත් සඳහන් කර ඇත.

එසේම අදාළ පුවතට අනූව ඔවුන් නිරෝධානය කාල සීමාව අවසන් කර අද (16) දිනයේදී නිවෙස් වෙත පිටත්ව තිබේ. 

නිරෝධායන මධ්‍යස්ථානයේ දී ජන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් කිසිවකුට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් වාර්තා වේ.

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් වීමට පෙර ඩේලි මිරර් වෙත ඔවුන් අදහස් පළ කර ඇත්තේ මෙසේය.  “අපට පසුව පවා පෞද්ගලික සාද පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් බව අපට දැනගන්නට ලැබුණා.

කෙසේ වෙතත්, ඔවුන් සියල්ලෝම අප වගේ රැගෙන ගියේ නැහැ. නිවාස නිරෝධායනයට යටත් වුණා විතරයි. මෙතැන ලොකු අසාධාරණයක් වුණා. අපි නීතිමය මාර්ගයට එළැඹෙනවා”

මාස 10 කට පසුව ඇප ලබපු : කවුද මේ ශානි ?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්විණි.

නීතිඥ ගෞරි තවරාසා මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු වරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ.

ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කෙරිණි.

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගත වීම ද තහනම් කෙරිණි.

සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියද ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේ දී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව සඳහන් කළේය.

ශානි අබේසේකර හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු වන අතර ඔහු කොවිඩ් ආසාදිත වූ බව ද පෙත්සම් විභාගයේදී අනාවරණය විණි.

හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන ඔහුට හෘද සැත්කමක් සිදුකළ යුතු බවට වෛද්‍යවරු විසින් දැනටමත් උපදෙස් දෙනු ලැබ ඇතැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගෙන ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට තීන්දු කළ බවද සඳහන් කළේය.

මෙම නඩු තීන්දුවේ පිටපතක් ගම්පහ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරනු ලැබිණි.

දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් අත් අඩංගුවට ගන්නා ලදුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්වය.

ඉන් අනතුරුව මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී කෝවිඩ්-19 ආසාදිත වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ජාතික මානව හිමිකම් කොමිසම විසින් දෙවතාවක්ම බන්ධනාගාර කොමසාරිස්වරයාට කරන ලද සිහි කැඳවීම්වලින් අනතුරුව IDH රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පෙත්සම්කරුවන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ඔවුන් ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද එම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් නීතිඥ ගෞරි තවරාසා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

කවුද මේ ශානි අබේසේකර ?

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා හැඳින්විය හැකිය. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.

එම සිදුවීම් වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නව රජය පත්වීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කළේය.

ස්ථාන මාරුව ක්‍රියාත්මක වන අවස්ථාව වනවිට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව හා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය.

පසුගිය යහපාලන රජය පත්වීමත් සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ  2005-2015 පාලන කාලය තුළ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්හවූ අතර ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා එම විමර්ශන බොහොමයක් භාරව කටයුතු කළ අය අතර වේ.  

ශානි අබේසේකර සමඟ විමර්ශන වල එක්ව කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා නොවැම්බර් 24 දා ඇතැම් විමර්ශන ලිපිගොනුද රැගෙන විදේශ ගතවූ බවට වාර්තා විය. නිශාන්ත සිල්වා අවසරයකින් තොරව රටින් පිටව යාමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් 704 දෙනෙකුට පොලීසියේ අවසරයකින් තොරව රටින් බැහැර විය නොහැකි පරිදි ඔවුන්ගේ නාම ලේඛන ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලයට ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබිණ.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අවසරයකින් තොරව විදේශගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ විය.

රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට දේශපාලන බලපෑම් මත කටයුතු කළ බවට ඔවුන්ට ඒ අවස්ථාවේදී චෝදනා එල්ලවිණි. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ ඔවුහු, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ පමණක් තමන් යෙදී ඇති බව අවස්ථා ගණනාවකදී සඳහන් කළහ.

(බීබීසී)

බැසිල්ගෙන් කොන්ත්‍රාත්තුවක් : සජිත් බාරගනියි !

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව සමගි ජනබලවේගය විසින් අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල ට එරෙහිව ගෙනෙන්නට සූදානම් වන විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේම කොන්ත්‍රාත්තුවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 අද (16) සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  විසින් නැකැත් බලා මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම සමගි ජනබලවේගය ට හිතවත් මාධ්‍ය වාර්තා කර තිබිණ.
 
බැසිල්ගේ කොන්ත්‍රාත්තුව !
 
 නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ  මේ කොන්ත්‍රාත්තුව පවරා ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් සජිත් ප්‍රේමදාස වෙත ලබාදුන්නක් බවය.
 
එනිසාම මේ කරුණු 20කින් සමන්විත ලියවිල්ලේ කිසිදු වැදගත් හෝ තාර්කික කරුණක් නැති බවත් එම ආරංචි මාර්ග පවසයි.
 
චෝදනාවලින් ගැලවීමට මගක් !
 
දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම බැසිල් රාජපක්ෂ හිතවාදි පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ගේ නිවේදනය  නිසා අනවශ්‍ය ලෙස එළියට පැමිණි බවට බරපතළ චෝදනාවක් ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතී. ආණ්ඩුවේ යම් යම් මත ගැටුම් පැවතියත් මෙම නිවේදනය විසින් ආණ්ඩුවේ සාමූහිකත්වයට හානිකර ආණ්ඩුවේ බෙදීමක් ඇතිකරන්නම බලකෙරුනු බව ආණ්ඩුවේ බහුතර අදහස වී ඇත.
 
එහිදී පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිකුත්කළ නිවේදනය ගැන ප්‍රධාන ලෙස බැසිල් රාජපක්ෂටත් ගැලවීමක් නැති අතර ආණ්ඩුවේ බෙදීමක් නැති බව තහවුරු කිරීමට ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව පාවිච්චි කිරීම උපක්‍රමය වී ඇත.
 
ගෝඨාභය රාජපක්ෂ පාලනයේ පළමු වාරය අවසානයේ තමන්ට ජනාධිපති කිරුළ ලැබෙනු ඇතැයි සිතා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ යෝජනාව ඉස්මුදුණින් පිළිගෙන ඇත.
 
සමගි ජනබලවේගය පීචං වීමට නියමිතයි !
 
නමුත් ඉන්ධන මිල ඉහළ දැමීම ජීවන වියදම් ඇමති අනුකමිටුව විසින් ගනු ලැබූවකි. එසේම ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව නෛතික වගකීම මුදල් අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ගේ කටයුත්තකි. එසේම ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල අඩුවීම තුළ ලබන ලාභය පවා ගනු ලැබුවේ මහා භාණ්ඩාගාරය මිස ඛණිජ තෙල් සංස්ථාව නොවේ.
 
මේ පසුබිමේ විශ්වාසභංග යෝජනා විවාදය තුළ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට සිදුවන්නේ තොත්ත බබාලා මෙන් තේරුමක් නැතුව ගම්මන්පිල වෙත චෝදනා කර හිත හදාගන්න ය.
 
විශ්වාසභංග යෝජනාව පදනම් විරහිත බැවින් ආණ්ඩුවේ සියළු මැති ඇමතිවරුන් ට ඊට එරෙහිව ජන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ.
 
වාසිය ආණ්ඩුවට !
 
අවම වශයෙන් සංඛේතාත්මකව සමස්ථ ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ගෙනාවා නම් එය පරාජය වුවත් ආණ්ඩුව සම්බන්ධව ජනතා විරෝධය අවුලුවීමට එය අවස්ථාවක් කරගන්න තිබිණ. නමුත් දැන් ජනතා විරෝධය ආණ්ඩුව වෙතින් ඉවත්ව විපක්ෂ පදනම් විරහිත චෝදනා කරනවා යන සටන් පාඨය අස්සේ වැසීයාමේ අවධානමක් පවතී.
 
ඒ අනුව මේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට සෘජු වාසි දෙකක් ලබාදෙයි. පළමුව ආණ්ඩුවේ  බෙදීම් අවසන් කර ඉස්සරහට යන්න මේ   විශ්වාසභංග යෝජනාව පදනම් කර ගැනීමය. දෙවැන්න වසංගත සමයක විපක්ෂයේ පදනම් විරහිත චෝදනා ගැන ජනතාව විපක්ෂය වෙත චෝදනා කිරීමය. එයින් ජනතාව තුළ මතුව ඇති ආණ්ඩු විරෝධය වෙනතක යැවීමට අවස්ථාව හිමිවේ.
 
පහත දැක්වෙන්නේ සමගි ජනබලවේගය ට හිතවත් මාධ්‍යක පළකර තොබූ අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල ට එරෙහි සමගි ජනබලවේගය අත්සන් තබන විශ්වාසභංග යෝජනා ලියවිල්ල ය.

1 5

2 3

 

Page 458 of 460