සසිනිගේ යොවුන් කවි සිත පිබිද වූ 'පිණි බිඳක අවනඩුව'

සසිනිගේ යොවුන් කවි සිත පිබිද වූ 'පිණි බිඳක අවනඩුව'

Gen Z නමින් හැඳිවෙන වත්මන් තරුණ පරපුර සාම්ප්‍රදායිකත්වයෙන් තොරව ලෝකය සමාජය දැකීමේ වැඩි නැඹුරුවක් පළ කරන බවට පොදු මතයක් ගොඩ නැඟී තිබෙනවා.

නමුත් එලෙස සාම්ප්‍රදායිකතවයේ අක් මුල් සිඳ නොගෙන විවිධ ආකාර වලින් සමාජයට යම් මෙහෙවරක් කරන තරුණ තරුණියන් නැත්තේම නැහැ. මීට වසර කිහිපයක සිට කිවිඳියක ලෙස මුහුණු පොත ඔස්සේ පැහැදිලි ඉදිරි ගමනක පිය සටහන් සළකුණු කරමින් හිඳින සසිනි හේරත් එවැනි දුලබ ගණයේ යොවුන් කිවිඳියක් .

shashini1
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාකලගමුවේ ගැමි පවුලක එක ම දරුවා ලෙස උපත ලද සසිනි කුරුණෑගල තිරගම මහා විද්‍යාලයෙන් සහ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් ලෙස සේවය කරනවා. කුඩා කල සිට සත්ව අහිංසාව කෙරෙහි සුවිශේෂ උනන්දුවක් පළ කළ ඇය මේ වන විට සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස ද පුළුල් මෙහෙවරක් සිදු කොට ඇත්තේ තම වයස් සීමාව ද ඉක්මවූ පරිනත බවකින්.

shashini2
එමෙන්ම තම මුත්තනුවන් ගැයූ ජන කවි සහ ජන රංගන ශිල්පියකු ලෙස ද දස්කම් පෑ තම පියාගේ විවිධ ගායනා ආභාසයෙන් කවිකමට හුරු වූ සසිනි හුදු නවීනත්වයට නතු නොවූ සුමට බස් වහරක් යොදා ගනිමින් රචනා කොට ඇති “පිණි බිඳක අවනඩුව” නම් වන මේ පද්‍ය නිර්මාණය සොබා දහමේ සාමාන්‍ය සංසිද්ධියක් පදනම් කොට හරවත් ජීවන දැක්මකට ඉඩ සලසා දෙන සාර්ථක නිර්මාණයක් බවයි අප ගේ වැටහීම.

පිණි බිඳක අවනඩුව


සඳ සොයා කුර ගාන කළුවරෙන් පිදුම් ලද
කාන්සිය කැකෑරෙන වෘක්ෂයක් මතින් වැද
පාමුලේ වැතිරගත් වියළි පත් අතරමැද
කොපුල් තලයක පහස සෙවූ මුතු පිණි බිඳුව

මලක පෙති විසිරමින් චණ්ඩ වන පවන මඳ
බෑ කියා හඬද්දී අරන් දුර ය`නෙන ලද
වෙලාවක මොර ගසා මුළු ලොවට කියන ලද
වේදනාවන් අසා තැවෙයි අර තනි තරුව

පෙර`ඹරින් නැගී එන තෙ`දැති හිරු දෙව් රජිඳ
රන් කිරණ අතුරන්න පෙරාතුව නුඹේ හද
රැය පුරා ඇස් පියන් නිදා හුන් මහී ළඳ
අසාපන් පිණි බිඳක් කියන මේ අවනඩුව

macro nature water water drops wallpaper preview

(සසිනි හේරත්)

(උපුටා ගැනීම - vinivida.lk)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න