බන්ධනාගාර අධික්ෂණය සඳහා ස්ටෙෆනි සිරිවර්ධන පත්කිරීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර නියෝග නිකුත් කරලා කියන පුවත හැමතැනම පැතිරෙනවා දැක්කා.
ඒ අතරේ ස්ටෙෆනි ගේ බිකිනි ෆොටෝ දාගෙන මෙයාලට ඇයි තනතුරු දෙන්නේ මේ ආණ්ඩුවට පිස්සු ද වගේ කතාවක් ආණ්ඩුවට හිතවත් අය වගේම විපක්ෂය පැත්තෙනුත් ඇහෙන්න ගත්තා.
ලංකාවට බිකිනි මැජික්
පහුගිය ආණ්ඩුවල ඉරාජ්ල වගේ අයට තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක තනතුරක් දුන්න මාලිමාව පැත්තෙන් ආවෙත් ඔය හඬ ම තමයි. හැබැයි අපි වගේ සංස්කෘතිය සදාචාරය එක්ක අම්බානකට බද්ධ වෙලා ඉන්න රටක පුද්ගලයා ගෙ බාහිර ස්වරූපය හා සමාජයට නිරාවරණය වන ක්‍රියාකරකම් එක්ක චරිත සහතික දීලා ඉවර වුණා ම ඒ පුද්ගලයින්ට ගහන ලේබල් මහා ගොන් ලේබල්.

මුහුදක, පිහිනුම් තටාකයක නාන්න ගියත් සර්වාංගෙ ම වසාගෙන චීත්තයක් ඇඳගෙන ලංකාවේ ගෑනුන්ට නාන්න වෙලා තියෙන්නෙ ඊනියා වික්ටෝරියානු සංස්කෘතියේ බලපෑම ගෙඩිය පිටින් සිංහල සංස්කෘතියට මුසු කරගත් ලිංගික ඇරියස්කාරයින්ගෙන් බේරෙන්න ඕන නිසා මිස එයාලට ඒක පහසුවක් හින්දා නෙමෙයි. ඒ නිසා බිකිනිය මැජික් වුණ ලංකාවේ බහුතරයකට බිකිනිය් ඇන්ද ගෑණුන්ව දකින්නෙ සංස්කෘතිය කන්න ආව චිංචිමානවිකාවෝ වගේ.
ස්ටෙෆනි යනු කවුද...?
1988 පෙබරවාරි 5 වන දින කුවේට්හිදී ශ්‍රී ලාංකික පියෙකුට සහ ලෙබනීස් මවකට දාව උපත ලබන්නෙ දරුවන් හතර දෙනාගෙන් වැඩිමහල් දරුවා විදියට. වයස අවුරුදු 3ක් වුණා ම ගල්ෆ් යුද්ධය උත්සන්න වීම හේතුවෙන් ඇගේ පවුල ශ්‍රී ලංකාවට එනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය ඉතාලියටත්, ඊටපස්සේ කැනඩාවටත් ගොස්, මොන්ට්‍රියල් නගරයේ පිහිටි කොන්කෝර්ඩියා විශ්වවිද්‍යාලයෙන් මාධ්‍යකරණය, සන්නිවේදනය සහ දේශපාලන විද්‍යාව යන විෂය ක්ෂේත්රයන්හි උපාධිය ලබා ගන්නවා.
ඇය 2011 ජූලි මාසයේ දී ඇය ශ්‍රී ලංකාවේ මිස් යුනිවර්ස් කිරුළ දිනාගන්නව වගේම එම අවුරුද්දේ බ්‍රසීලයේ පැවැත්වූ මිස් යුනිවර්ස් තරගයට තම රට නියෝජනය කරනවා.
ස්ටෙෆනි සිරිවර්ධන ශ්‍රී ලංකාවේ මිස් යුනිවර්ස් කිරුළ දිනාගත් අවස්ථාව
ඇය Global Shapers Community හි සාමාජිකාවක් වගේම, ශ්‍රී ලංකා දෙවන යෞවන පාර්ලිමේන්තුවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව ලිංගික අපයෝජනයට ලක්වූ තරුණියන් සඳහා අන්තර්කාලීන ආරක්ෂිත නවාතැන් පහසුකම් ලබාදීම අරමුණ කරගත් Stephanie Siriwardhana Foundation සංවිධානයේ ආරම්භකයා වෙන්නෙත් ස්ටෙෆනි.
2013 වසරේදී ඇය කණ්ඩ චිත්‍රපටයක් වන Dirty Picture චිත්‍රපටයේ Silk Sakkath Maga හි ගීතයක පෙනී සිටියා.
කලබල නොවන්න
මේ කරුණු එක්ක බලන කොට සමාජ ක්‍රියාකාරිනියක් සහ විශේයෙන් ම කන්තා අපයෝජන ගැන පෙනී ඉන්න කෙනෙක් නිසා ස්ටෙෆනිට මේ වගේ තනතුරක් දුන්නා කියල අවුලක් නෑ. මේ වගේ දේවල්වලට ආණ්ඩුවවත් පොදු මහජනතාවවත් කලබල වෙන්න ඕනෙ නෑ. කලබල වෙන්න ඕනේ මේ දේවල්වලට නෙමෙයි එයා හරියට වැඩේ කළේ නැත්තම්.
ඒ නිසා මහත්වරුණි..., බිකිනියෙන් ස්ටෙෆනි වගේ අයගේ හැකියා සහ සුදුසුකම් වහන්න උත්සාහ කරන්න එපා.
(තොරතුරු ලබාගත්තේ චිරාත් උයනහේවාගේ සටහනකිනි)
අපි උපුටා ගත්තේ Shenu Pereraගේ face book පිටුවෙන්
වියමන අවසන් නැහැ.
මතු පළ වන්නේ ස්ටෙෆනිගේ බාප්පා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන සිය දියණිය පිළිබඳව සහ ඇය වෙත එල්ල කරමින් සිටින අපහාස පිළිබඳ ඔහු ගේ face book පිටුවෙහි පළ කළ තිබූ අදහසක්.
Stephanie Siriwardhana මාගේ සහෝදරයාගේ දියණිය යි. මෙම පත් කිරීමට වසර දහයකටත් පෙර සිට ඇය බන්ධනාගාර කොමසාරිස්වරුන් හමුවී බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට සහ ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විශේෂයෙන් ම සනිපාරක්ෂක තුවා, රැඳවියන්ට වෘත්තීය පුහුණුව සඳහා උපකරණ ආදිය බන්ධනාගාරවලට ගොස් ලබාදුන් දියණියකි. තව ද ඔවුන් වෙනුවෙන් සංගීතමය වැඩසටහන් පවා සංවිධානය කළ අයෙකි. තව ද සුළු වැරදි කර මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගත වී සිටි අසරණ කාන්තාවන් නිදහස් කර ගැනීමට තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කර ඔවුන්ට නිදහස ලබා දුන් අයෙකි.
මෙම පත්කිරීම සම්බන්ධව විවිධ මත පළ වී තිබුණ ද විශේෂයෙන් ම බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන් සම්බන්ධව සොයා බලා එම ගැටලු බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ස්වෙච්ඡාවෙන් කටයුතු කළ අයෙකි. එවැනි අයෙක් මෙවැනි තනතුරකට පත්කිරීම සුදුසු ද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුය. අපක්ෂපාතී විය යුතුය දේශපාලනයෙන් තොර විය යුතුය නිරපරාදේ තරුණියකගේ චරිතය ඝාතනය වන ලෙසට අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.
මම stephanie ගේ බාප්පා.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන
අපගේ අවධානය
ලංකාවේ එදා මෙදා තුර කවුරු කුමනාකාරයෙන් බලයට පත් වුව ද එලෙස බලයට පත්වූ පාර්ශ්ව කාන්තාවන් වෙත හෙළුවේ වෙනස් ම බැල්මකි. එම බැල්ම තුළ, එම කතා තුළ 'අර ගැනිට', 'ඒකිට' යනාදි ලෙස අපහාසාත්මක භාෂා විලාසයක් භාවිත කිරීම ද දිගින් දිගට ම පැවතුණි. මිනිස්සු ලෙස ජීවත් වුව ද අප තුළ පවත්නා ගෝත්‍රික ගති සොබා දූරිභූත කර දැමීමට අසමත් වන තුරු කාන්තාවන් මෙබඳු අපහසුතාවට ලක් වීම වැළැක්විය නොහැකි ය. සිදු විය යුත්තේ එම: අපහාස, උපහාස, චෝදනා සියල්ල පයට පෑගෙන දූවිලි කැටයක් තරමටවත් මායිම් නොකරමින් තමන්ගේ කටයුතු පවත්වාගෙන යැම ය. එවිට හඳට උඩුබුරලන සුනඛ රැළ හඳ බැස ගිය පසු නිහඬ වනවා සේ මේ ආකාරයට කාන්තාවන්ට නින්දා අපහාස කරන ගෝත්‍රික ප්‍රජාව ද නිහඬ වනු ඇත.
ජයසිරි අලවත්ත

