මෑතක දී සිනමා අර්බුදයේ විසඳිය යුතුයැයි සැලකෙන තවත් ගැටලු කිහිපයක් විසඳීම වෙනුවෙන් වත්මන් බලධාරීන් - නිලධාරීන් සහ තවත් අය පාර්ලිමේන්තුව තුළ දී එක්රැස් වී ඇත. සතුටට හේතුව නම් මෙහි කිසිදු සිනමා කසඩයෙක් නොසිටීමයි; සිටියයුතුම පිරිස මෙහි සිටි යි, මේ මොහොතේ මෙයින් පිට සිනමාවක් ගැන සිතාගත නොහැකි ය; සියල්ලන් උගත් - බුද්ධිමත් - දැනුවත් අය යි.
මෙහි ඇති විශේෂත්වය නම් මෙම හමුව උත්තරීතර පාර්ලිමේන්තුව තුළ සිදුවීම යි. කලින් ආණ්ඩු බලය සහිත පිරිස් පාර්ලිමේන්තුව තුළ ජෝගි නටා තිබිය දී (කලාව - සංස්කෘතිය පිළිබඳව) මේ පිරිස ඉතා ආදර්ශමත්ව කළ හැකි - කලයුතු දේ සාකච්ඡා කිරීම සඳහාම රැස්වී ඇතිබැව් පෙනේ,
මෙහි සිටිනුයේ ජනතාවයට වගකියනා පිරිසකි; ඔවුන් ජනතාවට බොරු නොකියයි; බොරු සාකච්ඦා නොපවත්වයි; කාලය කා නොදමයි. ජනතාව ගේ තේ කෝප්පයට පවා වගකියන, ජනතාවට කියනු ලබන දේ එලෙසින් ම ඉටුකිරීමට වගවන පිරිසක් බවට ගම්‍යවේ. අපට ඇත්තේ සතුටින් බලාසිටීමට පමණි. ඉතා හොඳ තීරණවලට පැමිණ ඇතැයි සිතිය හැකි ය.

මුල් පුටුව ගැනීමට සුදුසුකමක්
මෙහි දී කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු සංසදය මගින් මෙහි මූලිකත්වය උසුලා ඇත. එහි සභාපති මන්ත්‍රී ජගත් මනුවර්ණ යි. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්, ඒ ගැන නොකියාම බැහැ. දක්ෂ අධ්යක්ෂවරයෙක්; නමුත් හැදූ චිත්‍රපටය පෙන්වා ගන්න බැරිව අන්ද මන්ද වූ අයෙක්. පසුව සිනමා මාෆියාවේ මාර පොරක් වූ තක්කඩියෙක් පසුපස ගොස් තම චිත්‍රපටය පෙන්වාගත් සිනමාකරුවෙක්. එවැනි දේත් මෙවැනි සභාවක මුල් පුටුව ගැනීමට සුදුසුකමක් - අර්බුදය කුමක්දැයි බොක්කටම දැනී ඇති නිසා.
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනි ආචාර්ය කෞෂල්‍ය ආරියරත්න මන්ත්‍රීතුමියත් මුල් පුටුවේ.
කෙසේවෙතත් වත්මන් සිනමා බලධාරීන් සහ නිලධාරීන් වේදිකා උඩ සහ වේදිකාවෙන් පහළ ලබාදුන් විශිෂ්ඨ පොරොන්දුවලට මේ පොරොන්දු ද අලුතින්ම එකතුවේ ( සමාජ මාධ්‍යවල දක්වාතිබූ පරිදි ) තව වසර 3 ක් මේ පොරොන්දු ඉටු කිරීමට කාලය ද ඉතිරිව තිබේ. ඉටුකරන වගට සැකයක් ද නැත.
2025 මුල සිට බලධාරීන් ලබාදුන් පොරොන්දු
එහෙත්, අතීත හා 2025 මුල සිට බලධාරීන් ලබාදුන් පොරොන්දු නිකමට මෙන් පහත පරිදි සටහන් කර තබමු; ඒ අපගේම මතකය සඳහා පමණ ය.

1) ගරු ජනාධිපතිතුමා
එතුමා පාර්ලිමේන්තුව තුළ හැන්සාඩ් ගතකර විසඳීමට පිළියම් සෙවු කරුණු ( පහත පින්තූර බලන්න ), එදා ඒ සටහන මා විසින් සකස්කල අතර, ඇමති - සභාපති අතට 5 වතාවක් කොළ මිටි පිටින් ලබාදුන්නත් සත පහකට මායිම් නොකිරීම සහ නොසලකා හැරීම. ඔවුන් කිසිදු තැනක ජනාධිපතිතුමා ගේ මේ සටහන පිළිබඳව සඳහන් නොකරීම සහ වගේ වගක් නොමැතිවීම.
2) ඇමති
2025/01/21 - දින ජතික චිත්‍රපට සංවත්සරයේ දී චිත්‍රපට පෝලිම මාස හයෙන් ඉවරම කරනවා (වේදිකාව උඩ දී ) කලාකරුවන්නේ පිටට තට්ටු දමා වේදිකාව පහළ දී එය නැවත අවධාරණය කරන ලදී,
''වෙන ඇමති කෙනෙකුඅට අර්බුද විසඳන්න තියන්නේ නෑ; මම හොඳම සභාපති සංස්ථාවට දැම්මා''
3) සභාපති
තරුණයින් දහදෙනෙකු පෝලිම් ගස්සා සෑම අයෙකුට ම චිත්‍රපටයක් හදන්න මම මුදල් සොයා දෙනවා (2025/01/21 - සංවත්සරය )
චිත්‍රපට පෝලිම ඉක්මනින්ම නතර කරනවා ( 2025/01/21 - සංවත්සරය )
සිනමා ශාලා හිඟයට පිළියමක් ලෙසින් ජංගම සිනමා බස්රථ නිර්මාණයකර දෙනවා ( 2025/01/21 - සංවත්සරය )
සිනමා අර්බුද විසඳන්න තව සභාපති කෙනෙකුට ඉඩ තියන්නේ නෑ,
3) ජාතික චිත්‍රපට සංස්ථාවේසාමාන්යාධිකාරී
එක්කෙනෙක් ගියා; දෙවැන්නා සංස්ථා සේවකයින්ට එක එක පොරොන්දු දෙමින් සිටිනබව කියැවෙනවා. ඇමති තමාගේ හිතවතා බව කියනවා. එක කාමරේ සිටිය බව කියනවා. බලය තහවුරු කරන්න දඟලන බවක් පෙනුනට තවම වැඩ නෑ. දෙන්නං බැටේ කියල ආවට තවම මුකුත් නෑ බල්ටි නෑ - විසිල් විතරයි.
තත්ත්වය එසේ තිබියදීත් ( අලුත්ම අලුත් බඩු )

4) පාර්ලිමේන්තු සංසදයේ අලුත් ම සාකච්ඡා
ශ්‍රී ලංකා පදනම් අයතනය / ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සිනමා පාසැලක් නිර්මාණය කිරීම
( සභාපති මේවට තමයි ආස, එයා පදනම් ආයතනයෙ ඉන්න කාලේ ලමයින් ගෙන් මුදල් අරගෙන මේ වැඩේ දිගටම කළා. මම 2010 දී මේ පිළිබඳව පුවත්පතකට ලිව්වා. එයා ඒකට මා සමඟ උරනව එයත් මොන මොනවද ලිව්වා. මට ලියපු ලිපියක් කාලයක් යනකන් එයාගේ හිතේ සතුටට පදනම් ආයතනයේ Notice Board එකේ එල්ලගෙනත් හිටියා. ඒ එයාගේ හැටි ) ලංකාවේ විශ්වවිද්‍යාල තුළ දැනටමත් FILM MEDIA ඉතා හොඳින් උගන්වනවා. විශිෂ්ට ගුරුවරුන් පිරිසක් ඒ සඳහා මැදිහත්වෙලා තියෙනවා, සිනමා අර්බුදය පෙළගැස්වූ විට විශිෂ්ට සිනමා පාසලක අවශ්‍යතාව එන්නේ මූලිකව විසඳියයුතු කරුණු කිහිපයකට පසුවයි. ඇමති - සභාපති ඒවා විසඳීමට මැදිහත් වන්නේ නෑ; තේරෙන්නේ නෑ. ඇත්ත ඒකයි; අර්බුදය වලිගෙන් අල්ලාගෙන දඟලනවා. ප්‍රධාන අර්බුදයට අතගහන්න බයයි; ඒකට කැමති නෑ.
5) කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල නැවත පවත්වන්න ඕනෙ ලු
Film Directors Guild එකෙන් තියපු උළෙල ඒ අය තියයි. ඒක ඒ අය හොඳට කළා. ඇමති - සභාපති එකතුවෙලා ජනාධිපති සම්මාන උළෙලවත් තියන්න බලන්න. ඒකත් නෑ. 2025 හිස්. අවුරුදු එකට එකතු කරලා ඩබල්දාලා පෝලිම් ගස්සලා දෙන්න එපා. එතකොට නෙළුම් පොකුණත් මදිවේවි. ඇමති - මන්ත්‍රී - සභාපති එකතුවෙලා ජාතික සිනමාව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගන්න, පුද්ගලික අංශය සාර්ථකව චිත්‍රපට පෙන්වනව වගේම, සිනමා සංගම් ඒවා කරගනියි. පාර්ලිමේන්තු සාකච්ඡා ජාතික මට්ටමෙන් ජනයාට වගකියන දේ ඇර වෙන දේවල් ගේන්න එපා. එදා Film Directors Guild එකේ හිටපු විශිෂ්ටයෝ Film Festival එක මතක හිටින ලෙසටම කළා,
6) නවීන තාක්ෂණයෙන් සමන්විත නව සිනමා චිත්රාගාරයක් ඉඳිකිරීම
පරණ දලුගම සරසවි චිත්‍රාගාරය හැමදාම නවීකරණය කරනවා; ඒකවත් හරියට හදාගන්න බැරිව තව එකක් හදන්න දඟලනවා; තරංගනී ශාලාව හරියට නඩත්තු කරගන්න කොන්දක් නෑ. සිකුරාදා කැඩුනම කැඩිච්ච හේතුව හොයන්නේ සඳුදා. එතකන් නිවාඩු. මෙතෙක් සරසවිය නවීකරණය කරපු අය කෝ...? ඒ අයට දීපු මුදල් කෝ...? ලංකාවේ සිනමාකරුවෝ දලුගමට නොයා ඉන්දියාවට යන්නේ ළඟ නිසා ද...? හැමදාම තීන්ත ගානවා; කෝ ඒකේ නූතන පහසුකම්...? ලංකාවේ නිර්මාණ ශිල්පියෝ කොළඹ පොඩි පොඩි තැන්වලට රිංගන්නේ දලුගම දුර නිසා ද? ඇමති - සභාපති මූලික ගැටලු පසෙක ලා මොනවද මේ කරන වැඩ? මේකත් හරියට සනත් ගුණතිලක මේ කුඩා ලංකාවේ චිත්‍රපට කර්මාන්තෙට පිටපත් පට පටගාලා ගහන්න රජයේ චිත්‍රපට ආයතනයට ( GFU ) ගෙනාපු මැෂින් එක වගේ. කෝටි ගණන් පාඩුයි. ඒක මුල්ලක දිරනවා. සංස්ථාවට තමුන් ගේ ප්‍රේක්ෂකයාට චිත්‍රපටයක් පෙන්වන්න තමුන් ගේ කියලා සිනමාශාලාවක්වත් හදාගෙන නෑ. අනුන්ගේ හෝල් ටිකක් කිහිල්ලේ ගහගෙන එදා ඉඳන් වදවෙනවා. ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, පළාත් පාලන ආයතන තියාගෙන සිනමා ශාලාවක් හදාගන්න ගොඩනැගිල්ලක් ඉල්ලගන්න එකෙක් නෑ. හැබැයි වඩා පහසු ආතල්වැඩ ඔක්කෝම කරන්න දඟලනවා. ලංකාවේ බෞද්ධයා වගේ තමයි; උන්ට ප්‍රතිපත්ති පූජාව අරහං; ආමිෂ පූජාවටමයි කැමති. සංස්ථාවත් ඒ වගේ ප්‍රතිපත්ති ක්‍රියාකිරීම අරහං, බයයි, ඒවට ගොබ්බයි, අනිත් වැඩ ඔක්කොටම හා තමයි. ඒවට මාර වැඩ්ඩෝ; අනුන්ට උගන්වන්න හරි කැමතියි,

කෙසේවෙතත් යට සඳහන් යෝජනා සියල්ල වැරදි බවට පෙනෙන්නේ වත්මන් සිනමා කර්මාන්තයේ ඇති අතිශය අර්බුදකාරීත්වය මතයි. එනිසා පළමුව ඊට විසඳුම් ලබා දෙන්න; එවිට මෙවැනි සාකච්ඡා තියන්නත් පෙර කර්මාන්තයේ මිනිසුන් ම ඒ පහසුකම් ඉල්ලාවි. එතෙක් කළ යුතු ප්රමුඛ දේ නිවට නොවී ඉටුකරන්න. ගැටලුව නොතේරේ නම් විවෘත සාකච්ඡාවක් කැඳවන්න; කළ යුතු වැඩ පෙළගස්වා ගන්න; බොරු කතා - බොරු කයිය වැඩක් නෑ. බොරු සාකච්ඡා - සම්මන්ත්රණ වැඩක් නෑ.
ඉහත සාකච්ඡා පාර්ලිමේන්තුව තුළ ම සිදුවන එක හොඳයි; ඒක හොඳ සාක්ෂියක්.


