ජනවහරේ කදිම ප්‍රස්තාව පිරුළක් තියෙනවා 'නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහගත්තා වගේ' කියලා සහසුද්දෙන් ම ඒක මේ ප්‍රේමනාත් මංත්‍රී උන්නැහේට අදාළයි. ඒගැන කුමන කතා. ඔහේට තියා මේ ආණ්ඩුවට වත් ජීවිතය ප්‍රබෝධමත් කරන පරාජයෙන් ජය සොයා යන සංවේදී ගීත සමාජ ගත කිරීමේ අල්පමාත්‍ර වැඩපිළිවෙළක් නෑ.
ගුවන් විදුලි මළ විගඩම් සහ cover song
හොඳ ගීත කලාවක් ජාතියට දායාද කළේ ගුවනින් විදුලිය. fm පෞද්ගලික නාලිකා ආවාට පස්සේ ඒ ගී රසවිදීම බල්ල ගේ බලුකරලා දැම්මා. දැන් අලුත් ම කෙරුවාව cover song ප්‍රචාරය. ඇතැම් නෑසෙන ගීතයෙන් ගායනය කිරීම වටිනවා. ඒත් බොහෝ ගුවන් විදුලි මළ විගඩම් cover song ප්‍රචාරය කරනවා. එයින් මුල් ගායනා ශෛලීන් සහ හිමිකම් සියල්ල වළපල්ලට දාන්නේ. එවිට අලුත් පරපුර අනාථ වෙනව; රසවින්දනය වළපල්ලට යනවා. ඒගැන වගේ වගක් නැ ආණ්ඩුව. මේක බරපතළ සමාජ ගැටලුවක්. ජාතික ගුවන් විදුලියෙ හා ලක්හඬ විතරක් ඇති හොඳ ගී ප්‍රචාරය කරන්න ආණ්ඩුව පටන් ගන්නව නම්. එවිට රසිකයින් ඒ වටා රොදබැඳ ගන්නවා. ආං එතකොට පෞද්ගලික නාලිකා නිකම්ම හරි පාරට වැටෙයි. හොඳ ගී ඇසෙන්නේ නම් පාර්ලිමේන්තු අවලාද නැතිවේවි.
මෙන්න එක් නිදසුනක්
ඈ මංත්‍රීතුමෝ...,
ජීවිතයෙන් පලා යන්න නෙමෙයි අපිට දිවි නහගන්න බැරිවෙයි උදේ හවහ බස්වල වැඩට යන්නේ. දුර ගමන් සේවාවක, ඔහේ එනවකෝ දවසක බස් සිංදු අහන්න. ආණ්ඩුවට තාමත් බැරිවුණ මේ බස්වල ඝෝෂාව නවත්වන්න. ඒ එකක්. ඔහේ තියා ආණ්ඩුවේ කිසිදු බලධාරියෙකුට බැරි වුණා school vanවල ප්‍රචාරය කරන අවරගණයේ සිංදු තහනම් කරන්න. ඒ හිරිමල් පරම්පරාවට අස්සවන්නේ පරාජිත ගීත තමයි. මේ පසුගියදා ගුවන් විදුලියට ගෙන්වලා දේවානන්ද වෛද්‍යසේකර මහතා ඇගයීමට ලක් කළා . ඉතා වටිනා කාලීන ජාතික මෙහෙවරක් ඒක නම්. ඒත් එතුමාගේ ගීත කෝ ඇහෙනවා. එය ප්‍රවෘත්තිවලින් දුටු නිසා පසුදා විශ්වවිද්‍යාල සිසුන්ගේ ගී රසවින්දන වැඩසටහනට මා ආශා දෑසින් දකිනා සිහිනේ ගීතයත් පවන් සුසුම් ගීතය සහ අමරදේව සර්ගෙ දෑතේ එල්ලී මියුරු කතා කී ගීත තුන අහන්න දීල දේශනය කළත් ඒ ගී තියා උලලේනෝ, ලෙලි තළන, පාවේ වලා, කඩමණ්ඩියේ දොළ අයිනේ, හදවිල කලඹන , ගීත විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර විද්‍යාර්ථීන් අහලා නැ. දන්නේ නෑ. මා මේ ලියුවේ වත්මන් පරපුරට රසවත් ගීත අහන්න දුන්නේ නැති එකේ තරමට එක් නිදසුනක්.
ගුණාත්මක ගීත ප්‍රචාරය කිරීමට නියාමනයක්
අපට ගුණාත්මක රසවින්දනාත්මක ගීත තියෙනවා. ඒවා නූතන පරපුරෙන් ඉවත් කිරීමට එරෙහිව ආණ්ඩුව මීක් නැ. හොඳ ගී ප්‍රචාරය නොකර සංස්කෘතික මිනිසෙක් බිහි වෙන්නේ නෑ. රසයෙන් පෝෂිත විරහ ගීත කියන්නේ මනෝ චිකිත්සන ආහාරයක්. දිවි හානි නොකර චිත්ත ආවේග නිවන ගීත කරන්නේ සමාජ මනස සුවපත් කිරීම. හැබැයි දැන් ඇහෙන මේ අලුත් පරපුරේ සිංදු බහුතරයක් මනසට එල්ල කරන්නේ හානියක්. මිසයිල ප්‍රහාරයකට වඩා මේ ඝෝෂාකාරී නීරස සිංදු නැවැත්වීමට ආණ්ඩුව කළයුත්තේ රසයෙන් පෝෂිත ගුණාත්මක ගීත ප්‍රචාරය කිරීමට නියාමනයක් ඇති කිරීමයි. ගීත රචකයන්, ගායකයින් හෝ නිර්මාණකරුවන් සමාජයෙන් ඈත් කරල සංස්කෘතික මිනිසෙක් බිහිකිරීමට පුළුවන් ද කියලා ඔහේ තේරුම් ගන්න විට නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහගත්තා වගේ වෙන බවනම් සහතිකයි.
මහින්ද කුමාර දලුපොත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
