"ජීවිතය යනු බොහෝ විට බිඳී ගිය සිහින සහ අතීතයේ තුවාල එකතු කරගත් ගමනකි. එහෙත් සැබෑ ආදරය එම තුවාල සුවපත් කරන ඔසුවක් ලෙසින් පැමිණි විට, ජීවිතය නැවතත් ආලෝකමත් වේ.
'ආදරණීය රිකාදෝ' කෘතියේ මධූ සහ රිකාදෝ යනු ඒ ආදරයේ ජීවමාන සාක්ෂිය යි. ඔවුන්ගේ බැඳීම භෞතික සීමා අභිභවා ගිය, විශ්වීය ප්‍රේමයක සංකේතයක් වැනිය."
මං පොත් එක්ක සෙක්ස් කරනවා
චාමිනී කුමාරතුංග විසින් රචිත, රසකතා ප්‍රකාශනයක් වන "ආදරණීය රිකාදෝ" (Loving Rikado) නවකතාව, හුදෙක් තවත් එක් සරල ආදර කතාවකට එහා ගිය, මිනිස් මනසේ සංකීර්ණත්වය, ආත්මීය බැඳීම් සහ ජීවිතයේ යථාර්ථය දෙස ඉතා ගැඹුරින් බලන අපූරු "ආත්මීය අන්දරයකි" (A Soul Story).(රිකාදෝ සහ කථකයා) අතර ඇති ආදරයේ විවිධ මාන ස්පර්ශ වේ. එක් තැනක ඔවුන් ඉටිපන්දම් එළියෙන් අඩ අඳුරු වූ කාමරයක, එඩ් ශීරන්ගේ "Perfect" ගීතයේ පදවැල් පසුබිමින් ඇසෙද්දී වැලඳගෙන නටන ඉතාමත් රොමෑන්තික, සුන්දර අවස්ථාවක් නිරූපණය වේ. තවත් තැනක මුහුද දෙස බලාගෙන, එකිනෙකාට බත් කටවල් කවමින් හදවතේ ඇති සියල්ල බෙදාහදා ගන්නා සමීප නිමේෂයන් දැකගත හැකිය.
39 වැනි පිටුවෙන් කතුවරිය ඉතා වැදගත් සමාජීය සාහිත්‍යමය කතිකාවක් මතු කරන්නී ය. සමාජයේ බොහෝ දෙනෙක් ලේඛකයින් ගෙන් බලාපොරොත්තු වන්නේ "රෝල් මොඩල්ස්" (Role Models) හෝ "මෝටිවේෂන්" (Motivational) පොත් වුව ද, කථකයාට අවශ්‍ය වන්නේ මිනිසුන්ව සැබෑ ලෙසම ස්පර්ශ කරන, ජීවිතයේ සැබෑ රස (ආදරය, විප්‍රයෝගය මෙන්ම ලිංගිකත්වය පවා) කිසිදු වසන් කිරීමකින් තොරව විඳිය හැකි පොතක් ලිවීමට යි.
"මං පොතක් රස වින්දේ ගෑනියෙක් පිරිමියෙක් රස විඳිනවා වගේ... මං පොත් එක්ක සෙක්ස් කරනවා කියලා කියන්නෙ ඒකයි."
මෙම ප්‍රකාශය හරහා සාහිත්‍යය සහ පාඨකයා අතර ඇති වන අතිශය සමීප, ආත්මීය සහ ආනන්දනීය සබැඳියාව ඉතා නිර්භීතව හා කලාත්මකව ප්‍රකාශ කර ඇත.
මිනිස් ජීවිතයේ පොදු සත්‍යය
පොතේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ චරිත මුහුණ දෙන අභ්‍යන්තර අරගලයයි. සමාජය හෝ පවුලේ අය තමන්ව තේරුම් නොගන්නා අවස්ථාවල දී පවා, තමන්ගේ ආත්ම විශ්වාසය රැකගන්නා ආකාරය මෙහි දැක්වේ.
"කවදා හරි ලෝකය වෙනස් වේවි කියලා..."
"කවදා හරි මගේ පවුලේ අය මාව තේරුම් ගනීවි කියලා..."
"කවදා හරි මට මාවම තෝරාගන්න, ඔයාව තෝරාගන්න තරම් හයියක් ලැබේවි කියලා..."
මෙමඟින් හැඟෙන්නේ තමන්ගේ අනන්‍යතාවය (Identity) සහ ආත්ම ගෞරවය වෙනුවෙන් කෙරෙන නිහඬ, නමුත් ප්‍රබල අරගලයකි.
(පිටු අංක 60) නවකතාවේ එන ඉතාමත් සංවේදී, හැඟීම්බර සහ චරිත දෙකේ අභ්‍යන්තර පරිණතභාවය කියාපාන සුන්දර අවස්ථාවක් නිරූපණය කරයි.
රිකාදෝ, කථකයාගෙන් (මධූගෙන්) ඉල්ලා සිටින්නේ ඇය මෙතෙක් කල් හිතේ හිරකරගෙන සිටි, ඇයට රිදවූ හැම දෙයක්ම පවසා සිත නිදහස් කරගන්නා ලෙසයි. අතීතයේ ඇය ලැබූ අමිහිරි අත්දැකීම්, ඇයව "අඳුරු ගුහාවකට" ඇද දමා තිබූ බවත්, ඒවායින් මිදී වර්තමානය තුළ සැනසීම සෙවිය යුතු බවත් මෙයින් පැහැදිලි වේ.
"අපි හැමෝම අහිමි වීම් අත දරන් ආපු මිනිස්සු රිකාදෝ..."
මෙම වැකියෙන් කියැවෙන්නේ මිනිස් ජීවිතයේ පොදු සත්‍යයකි. සෑම මනුෂ්‍යයෙකුටම තමන්ගේම කියා අහිමි වීම් සමූහයක් ඇත. නමුත් රිකාදෝ ඇයට පවසන්නේ, දැන් ඇය සිටින්නේ ඇයට වඩාත්ම සුදුසු, ඇය ලැබිය යුතුම තැනක බවයි. අතීතයේ සිදුවූ අහිමි වීම් සියල්ල අවසානයේ ඇයව මෙහෙයවා ඇත්තේ මේ සැබෑ ආදරය වෙතටයි.
ව්‍යාකූල, රිදවීම් බහුල ලෝකයක සැබෑ ආදරය
එක් මොහොතකදී මධූ රිකාදෝ ගෙන් අහනවා , "හැම රැකම ඔයා මාත් එක්ක ඉන්නවද?" කියා. මෙය එක්තරා අන්දමක මනෝවිද්‍යාත්මක සත්‍යයකි. සැබෑ ආදරය කියන්නේ තනිකම මකාගැනීමේ මෙවලමක් නොව, තවත් කෙනෙකුගේ පැවැත්ම තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍යම යැයි හැඟෙන ආත්මීය බැඳීමකි.
අන් අය නිසා තමන් කොතරම් ඇඬුවත්, රිකාදෝව තෝරාගැනීමෙන් පසු තමන් අත්විඳින සතුට සහ සැනසීම ඇය ප්‍රකාශ කරයි. පිටුවේ අවසාන වාක්‍යයෙන් එය ඉතාම සුන්දර ලෙස කූටප්‍රාප්තියට පත් වේ:
"අවුරුදු ගණනාවකට පස්සේ පළවෙනි වතාවට, මට සම්පූර්ණයෙන්ම, පරිපූර්ණ සාමයක් දැනුණා."
මෙමඟින් පෙන්වා දෙන්නේ ව්‍යාකූල, රිදවීම් බහුල ලෝකයක සැබෑ ආදරය හමුවේ මනුෂ්‍යයෙකුට ලැබිය හැකි ඉහළම තෑග්ග වන "අභ්‍යන්තර සාමය" (Peace of Mind) ඇයට රිකාදෝ වෙතින් ලැබී ඇති බවයි
61 වැනි පිටුවෙන් කතාව සම්පූර්ණයෙන්ම වෙනස්, වඩාත් ගැඹුරු මනෝවිද්‍යාත්මක මානයකට හැරේ. එහි ඉහළින්ම ඇති දාර්ශනික වැකිය සමස්ත පරිච්ඡේදයේම හරයයි.
"ඇතැම් විට ආදරය යනු එකට සිටීම නොව, ඇය ඔබ සිටින බව ඔබට හැඟෙන අවකාශයන් නිර්මාණය කිරීමය..."
ආදරය අහිමි වූ විට මිනිසෙකු ගේ පැවැත්ම
ශාරීරිකව ඈතින් සිටිය ද, මනසින් සහ හැඟීම්වලින් ඔවුන් එකිනෙකාට කෙතරම් සමීප වීද යන්න මෙයින් පැහැදිලි වේ. දුරස්තභාවය (Distance) මැද වුවද වචන සහ ෆැන්ටසිය හරහා ඔවුන්ගේ බැඳීම ගොඩනඟා ගත් සහ පවත්වා ගත් ආකාරය ඉතා කලාත්මකව විග්‍රහ කර ඇත.
මෙම කතාව පුරා ඔවුනොවුන් ගේ හැගීම් ප්‍රකාශනය සංකේත අනුසාරයෙන් ප්‍රකාශ කර ඇත්තේ පාඨකයාගේ හදවත ස්පර්ශ කරන ආකාරයෙනි.
රිකාදෝ ඇයට දුන් කබාය හුදෙක් ඇඳුමක් නොව, ඇයට දැනුණු ආරක්ෂාව සහ උණුසුමයි. එය අන් අය ගලවා දැමූ පසු ඇයට දැනෙන සීතල සමස්ත සමාජයෙන්ම ඇයට එල්ල වන රිදවීම් සංකේතවත් කරයි.
එලෙසම දෙමව්පියන් ඉදිරියේ දරුවන් කොතරම් අසරණවනවාද යන්න 64 ,65 පිටු ඔස්සේ ඉතා සංවේදීව චාමිනි විසින් ප්‍රකාශනය කර තියෙනවා"ආදරේ නැති වුණාම මිනිස්සු දරුණු වෙන බව මම මං දිහා බලලම ඉගෙන ගත්තා."
මෙම වැකිය මඟින් ආදරය අහිමි වීම මිනිසෙකුගේ මුළු පෞරුෂයම කෙතරම් ප්‍රචණ්ඩ හෝ අඳුරු තැනකට තල්ලු කරන්නේද යන්න මනෝවිද්‍යාත්මකව මැනවින් පැහැදිලි කරයි.
දෙමාපියන් තමන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරද්දී, තමන්ට ඔවුන් නොදන්නා සිහින සහ ආසාවන් තිබීම පිළිබඳව චරිතය තුළ ප්‍රබල අනුසය වරදකාරී හැඟීමක් ක්‍රියාත්මක වේ. තමන් ඔවුන් වෙනුවෙන් ජීවත් විය යුතුමයි යන සමාජීය සහ සදාචාරාත්මක බන්ධනය, තමන්ගේ පෞද්ගලික නිදහස සමඟ ගැටෙන ආකාරය මෙහි ඉතා සංවේදීව නිරූපණය කර ඇත.ප්‍රධාන තේමාව වන්නේ "ආදරේ නොකියා ආදරේ කිව හැකි බව ඔබ විශ්වාස කළ යුතුය" යන්නයි. රිකාදෝ ඇයට වෙනත් පිරිමින් මෙන් විශාල ප්‍රකාශයන් හෝ පොරොන්දු ලබා දෙන්නේ නැත. නමුත් ඔහුගේ හැසිරීම, ඇය අසලින් හිඳීම සහ ඇයව තේරුම් ගැනීම තුළින්ම ඔහු ඇයට ආදරය ප්‍රකාශ කර අවසන් ය.
ජීවත් වීමට ආශාවක් උපද්දවන සුවදායක ඔසුව
කතුවරිය මෙහි දී තවත් විශිෂ්ට ලෝක සාහිත්‍ය කෘතියක් වන පවුලෝ කොයියෝගේ "වෙරෝනිකා මියයන්න තීරණය කළා" නවකතාව සහ එහි එන වෙරෝනිකා ගේ චරිතය අපූරුවට සම්බන්ධ කර ගනී.
එම කතාවේ වෙරෝනිකාට සැබෑ ආදරය හමුවන්නේ ඇය මරණය අභිමුව සිටින විටදීය. ඒ ආදරය ඇය තුළ නැවතත් "ජීවත් වීමේ ආශාව" (Will to live) උපදවයි. රිකාදෝටද තමන්ගේ ජීවිතයේ අහිමි වූ කොටසක් නැවත පිරවීමට මේ බැඳීම ඉවහල් වී ඇති බව ඇය වටහා ගනී.
"මගේ පළවෙනි ආදරේ. ඒක පාර්ශවික ප්‍රේමයක්."
රිකාදෝ තමන්ගේ අතීතය සිහිපත් කරමින් පවසන මෙම වැකිය තුළින් ඔහුගේ හදවතේ තිබූ නිහඬ රිදවීමක් පළ වේ.
"අපි හැමෝටම අපේ ජීවිතේ එහෙම අහිමි වුණු මිනිස්සු ඉන්නවා... ඒ හිස්තැන් ජීවිත කාලේ පුරාවටම ඔසවන් යන්න වෙනවා" යනුවෙන් කතුවරිය දක්වන අදහස ඉතාමත් ප්‍රබල මනෝවිද්‍යාත්මක සත්‍යයකි. "පරිපූර්ණ මිනිසුන් කියා කොටසක් ලෝකයේ නැති බවත්, අප සැම අතීත අහිමිවීම්වල හිස්තැන් දරාගෙන යන මිනිසුන් බවත්ය". එහෙත් සැබෑ ආදරය කියන්නේ එම හිස්තැන් දෙස බලා ඊර්ෂ්‍යා කිරීම නොව, වෙරෝනිකාට මෙන් නැවත ජීවත් වීමට ආශාවක් උපද්දවන සුවදායක ඔසුවක් වීමයි.
විශ්වීය ප්‍රේමයේ ආලෝකය
එක තැනකදී මධූ රිකාදෝගෙන් මෙසේ අසයි.
"මට පුළුවන්ද උදේ වෙනකල්ම මාත් එක්ක නටන්න... හැමදේම අමතක වෙලා ඔයාව විතරක් මතකෙ තියෙනකල්..." .
මුහුදු රැල්ල බිඳෙන ශබ්දය ඔවුන්ගේ නැටුමට සංගීතය සපයන අතර, කතුවරිය එය හඳුන්වන්නේ "අලුත්ම සංධ්වනියක්" (A New Symphony) ලෙසයි. තරු සහ හඳ එළිය සාක්ෂිකරුවන් කරගනිමින් ඔවුන් කරන මෙම ආත්මීය නැටුම, කතාවේ මුල් භාගයේ (25 පිටුවේ) එඩ් ෂීරන්ගේ සින්දුවට කාමරය ඇතුළේ නටපු නැටුමට වඩා හාත්පසින්ම වෙනස්, වඩාත් ගැඹුරු අධ්‍යාත්මික තලයකට ගමන් කර ඇත.
පාවුල් කොයියෝගේ දර්ශනයට අනුව, සැබෑ ආදරය හමුවූ විට මිනිසෙකුගේ ඇස්වලින් මුළු විශ්වයේම ඇති දිව්‍යමය ආලෝකය (The Soul of the World) විහිදේ. මධූ රිකාදෝගේ ඇස් තුළින් දකින්නේ තමන්ගේ අඳුරු ජීවිතය සම්පූර්ණයෙන්ම ආලෝකමත් කරන, තමන්ව සුවපත් කරන ඒ විශ්වීය ප්‍රේමයේ ආලෝකය යි.
අතීතයේ තුවාල සහ වේදනාත්මක සෙවණැලි
මධුගේ සහ රිකාදෝ අතර ඇත්තේ හුදෙක් සබඳතාවයකට එහා ගිය සසම්බාවී සිදුවීමක් නොව , දෙදෙනාගේම ආත්මයන් විසින් සොයාගත් නවාතැනකි. "Everything you love will probably be lost, but in the end, love will return in another way" යන දාර්ශනික කියමන කතාව පුරාම දෝංකාර දෙයි. අතීතයේ තුවාල සහ වේදනාත්මක සෙවණැලි මැද ජීවත් වූ මධූ, රිකාදෝගේ ආදරය තුළින් ජීවිතය නැවතත් අලුතින් දකින්නට හුරු වේ. ඔවුන් දෙදෙනාගේ මෙම හදවත් බැඳීම, ඔවුන්ට සදාකාලික ආත්මීය නිදහසක් ලබා දෙයි
"ආදරණිය රිකාදෝ" යනු හුදෙක් ආදර කතාවක් පමණක් නොව, ජීවිතයේ අහිමිවීම් දරාගන්නා හැටි, සමාජ රාමුවලින් මිදී තමන්ගේ සැබෑ හඬ සොයාගන්නා හැටි සහ ආදරයේ ඇති සුවපත් කිරීමේ බලය (Healing Power) කියාදෙන, කියවා අවසන් වූ පසුවත් හදවතේ රැඳී තිබෙන, මනෝවිද්‍යාත්මක මෙන්ම දාර්ශනික පදනමක පිහිටා ලියැවුණු ප්‍රේමණීය නවකතාවකි.

සටහන - නිලක්ෂි බණ්ඩාර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
