මහාචාර්ය කෝලිත භානු දිසානායක විසින් රචිත 'උත්තර භාරතීය හින්දුස්තානි සංගීතය පිළිබඳ ඉංග්‍රීසි - සිංහල ද්වි භාෂික විවරණීය පාරිභාෂිතය' පසුගිය දා ජනගත කෙරිණ.එදින, කෘතියෙහි අක්ෂර සංයෝජනය සහ පිටු සැලසුම් කළ ෆොන්ට් මාස්ටර් ආයතනයෙහි හිමිකරු වන පුෂ්පානන්ද ඒකනායක තම ආයතනය විසින් සිදුකරන ලද කාර්යයෙහි මතුපිට දක්නට නොලැබුණු තොරතුරු රාශියක් සහිත අදහස් ඉදිරිපත් කළේ ය.
අප එම අදහස් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කරුණු කිහිපයක් පාදක කරගෙන ය.
පරිගණක අක්ෂර (Fonts) නොතිබුණි නම්...
පළමු කාරණය නම් මේ වන විට ලංකාවේ මුද්‍රණය වන සියලුම කෘතිවල අන්තර්ගත පෙළ හෙවත් වියමන එසේත් නැතිනනම් එක මුද්‍රණය කර ඇත්තේ පුෂ්පානන්ද ඒකනායක නම් පරිගණක අක්ෂර නිර්මාණ ශිල්පියා ගේ අක්සර භාවිතයෙන් වීම ය. ඔහු නොසිටින්නට අපේ පොත් මුද්‍රණ කර්මාන්තය බොහෝ විට තවමත් පැරණි අච්චු අකුරු තත්ත්වයෙහිම පවතින්නට ඉඩ තිබිණ. මන්ද මුද්‍රණ තාක්ෂණය කෙතරම් දියණු වුව ද එම දියුණුවට සාපේක්ෂව පරිගණක අක්ෂර නිර්මාණය කිරීම සඳහා කිසිවකු සමත් වී නොතිබීම ය.
අත් පිටපතෙහි සිට මුද්‍රිත කෘතියක් දක්වා...
දෙවන කරුණ නම්, කිසියම් ලේඛකයෙක් හෝ ලේඛිකාවක් සිය කෘතියෙහි (අත් අකුරින් හෝ පරිගණක අක්ෂරවලින්) පිටපත ප්‍රකාශන ආයතනයක් වෙත බාර දීමෙන් ඉක්බිති එම කෘතිය මුද්‍රණද්වාරයෙන් නිකුත්වන තුරු පිටතට නොපෙනෙන දැවැන්ත කාර්යයක් සිදු කෙරෙණ බැවිනි. මෙම කටයුත්ත සඳහා: පරිගණක අක්ෂර සංයෝජනය (Typesetting), සෝදුපත් කියවීම (Proofreading), පිටු සැලසුම (Page layout) සහ ඉන් ඔබ්බට මුද්‍රණාලය සතු වගකීම් ද රාශියකි. නමුත් මේ බොහෝ කටයුතු පිළිබදව පාඨක ප්‍රජාව අවධානය යොමු කරනු ඇතැයි සිතිය නොහැකි ය; කිසිවකු ඒ පිළිබඳ ප්‍රකාශ කරන්නේ ද නැත; පුෂ්පානන්ද ඒකනායක තම අදහස් දැක්වීම පාදක කරගන්නේ යට කී නොපෙනෙන කටයුත්ත අනාවරණය කිරීම ය; පාඨක ප්‍රජාව මතු නොව ලේකක ලේඛිකාවෝ ද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ය.
හණමිටි අක්ෂරකරුවෝ...
තෙවන කාරණය නම් මෙම අදහස් ශ්‍රවණය කළ ඇතැම් පිරිස් සිංහල භාෂාවට නව අකුරු හඳුන්වා දීම සමිබන්ධයෙන් දක්වා තිබූ අදහස් කෙතරම් මුග්ධ දැයි අවබෝධ කරවීම ය. ඔවුන් ගේ අදහස්වලට අනුව නම් අපි තවමත් ලේඛනයෙහි යෙදිය යුත්තේ බ්‍රාහ්මීය අක්ෂරවලිනි. මන්ද සිංහල අක්ෂර මාලාව වර්ධනය වන්නේ ම බ්‍රාහ්මීය අක්ෂර රටා යම් යම් වෙනස්කම්වට බදුන් කිරීමෙනි. මා මේ පිළිබඳව මීට පෙර theleader.lk වෙබ් අඩවිය වෙත ලිපි දෙකක් ම ලියා ඇත.
පුෂ්පානන්ද ඒකනායක පවසන පරිදි මහාචාර්ය කෝලිත භානු දිසානායක විසින් රචිත 'උත්තර භාරතීය හින්දුස්තානි සංගීතය පිළිබඳ ඉංග්‍රීසි - සිංහල ද්වි භාෂික විවරණීය පාරිභාෂිතය' මුද්‍රණද්වාරයෙන් නිකුත් වීමට පෙර: වාර දහයක් සොදුපත් කියවා ඇත, කර්තෘ, සමස්ත කෘතිය සම්පාදනය කිරිම සඳහා විසි වසරක් පමණ කාලය වැය කර ඇත, කෘතියෙහි දක්ණට ලැබෙන්නේ භාෂා ද්වයක් වුව ද පුෂ්පානන්ද ඒකනායක පවසන පරිදි එහි භාෂා ත්‍රිත්වයක් අන්තර්ගත ය. ඒ: හින්දි, ඉංග්‍රිසි සහ සිංහල වශයෙනි.
පාඨක ප්‍රජාව ගේ අවධානයට
මුද්‍රිත කෘතියක් මිලදී ගෙන පාඨක ප්‍රජාවට මේ කිසිවකින් පලක් නොවන්නට පිළිවන; එහෙත් ඔවුන් මේ පිළිබද අවබෝධයක් ලබාගත යුතු ය; අදාල කර්තව්‍යයන්හි නියුතු, ඒ ඒ විෂය සම්බන්ධයෙන් කටයුතු කරන වෘත්තිකයින්ගේ දැනුම සහ කැපවීම පිළිබද අවතක්සේරු නොකළ යුතු ය. කිසියම් පාඨකයකු හෝ පාඨකාවකට කෙතරම් මුදල් තිබුණ ද, දැනුම පැවතිය ද යට කී සාමුහික ප්‍රයත්නය නොවන්නට ඔවුන්ට තමන් කැමති ආකාරයේ කෘතියක් මිලදී ගැනීමට නොහැකි ය. මන් ද එකී නිෂ්පාදන භාණ්ඩය නිෂ්පාදනය කිරීම පිටුපස දැවැන්ත: කායික, මානසික සහ බුද්ධිමය දායකත්වයක් පවතින බැවිනි.
කිසිවකුට, කිසිවක් තනිව නිර්මාණය හෝ නිෂ්පාදනය කළ නොහැකි ය; පාරිභෝගික ප්‍රජාවට අදාළ භාණ්ඩය මිලදී ගත හැකිවන්නේ ද එම භාණ්ඩය නිෂ්පාදනය කරන පිරිස ගේ විවිධ දායකත්ව නිසා ම ය; එසේ නොවන්නට ඒ කිසිවක් වෙළෙදපොළට පැමිණෙන්නේ ද නැත.
මතු පළ වන්නේ මහාචාර්ය කෝලිත භානු දිසානායක විසින් රචිත 'උත්තර භාරතීය හින්දුස්තානි සංගීතය පිළිබඳ ඉංග්‍රීසි - සිංහල ද්වි භාෂික විවරණීය පාරිභාෂිතය' කෘතිය ජනගත කෙරුණු මොහොතේ පුෂ්පානන්ද ඒකනායක විසින් කරන ලද කෙටි අදහස් දැක්වීම ය.
ලිපියෙහි සිරස පුෂ්පානන්ද ඒකනායක දැක්වු අදහස්වලින් ම උපුටා ගත්තකි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
